භාවනා මග මිතුරෝ

අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන් වහන්සේ

පරිවර්තනය හා සැකසීම – ජෝර්ජ් කාරියවසම්

(උපුටා ගැනීමට හෝ පිටපත් කර බෙදා හැරීමට අවසර නැත)

භාවනාව බලගන්වන පංච ඉන්ද්‍රිය හා චතුර් ඉද්ධිපාද

භාවනාව වැඩි දියුණු කර ගන්නා ආකාරයත්, එය පිරිපහදු කර ගනිමින් භාවනාව බලගන්වා ගන්නා ආකාරයත් මම මෙහිදී විස්තර කර දීමට අදහස් කරමි. මෙතෙක් විස්තර කරදී ඇති භාවනා පිළිවෙත (‘බුදුදහමෙහි හදවත භාවනාවයි’, ‘ධ්‍යාන භාවනා’ ප්‍රකාශන) හා එයට එරෙහිව නැගී සිටින බාධකවලට අමතරව භාවනාව බල ගන්වන ආකාරය හා ඒ උදෙසා දියුණු කර ගත යුතු ගුණාංගයන් පහදා දීමෙන් ඔබේ භාවනාවේ ප්‍රගතියට නව පණක් ලැබෙනු නිසැකය.

පෙළ පොතෙහි සඳහන් වන පංච ඉන්ද්‍රියන් නැතහොත් පස් වැදෑරුම් ආධ්‍යාත්මික ආයතන භාවනා විධිමත් දිසාවකට යොමු කරවමින් එය බලගන්වන උපකාරක පහක්ය. එසේම අපි පාළි භාෂාවෙන්  හඳුන්වන ඉද්ධිපාද හතර නැතහොත් බල වඩන මාර්ග සතරද මේ සමග ඇතුළත් කරන්නේ එම ගුණාංගයන් දියුණු කර ගැනීමෙන් ඔබට භාවනාව බලවත්, විධිමත් හා අර්ථවත් කර ගැනීමට හැකියාවක් ලබා දෙන හෙයින්ය. භාවනාවෙහි යෙදෙන , විශේෂයෙන්ම ප්‍රඥාව දියුණු කර ගැනීමේ අභිලාෂයෙන් ගැඹුරු භාවනා අවධීන් වෙත එළඹීම සඳහා උනන්දුවක් දක්වන භාවනායෝගීන් උදෙසා පැහැදිලි කර දී ඇති මෙම පස් වැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයන් සහ බල වඩන මාර්ග සතර පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සඳහන්ව ඇත්තේ සංයුක්ත නිකායෙහිය.

පස් වැදෑරුම් ආධ්‍යාත්මික ආයතන ලෙස හඳුන්වන්නේ සද්ධා, වීරිය, සති, සමාධි සහ පඤ්ඤා යන පහය.

බල වඩන මාර්ග සතර නම් ඡන්ද සමාධි – තෝරාගත් ඉලක්කය නැතහොත් ඉටු කර ගැනීමට බලාපොරොත්තුවන කටයුත්ත වෙත පවත්වා ගන්නා වූ උනන්දුව හා කැමැත්ත; වීරිය සමාධි – එම අභිමථාර්ථය අරභයා යොදන වීර්යය; චිත්ත සමාධි – එම අභිමථාර්ථය වෙත යොමු කර ගත් සිත; විමංසා සමාධි – එම අභිමථාර්ථය සපුරා ගැනීම සඳහා කරන්නාවූ විමර්ශනයයි.

චතුර්විධ ඉද්ධිපාදයන් සහ පංච ඉන්ද්‍රියන් අතර එක්තරා අන්දමක සමානාත්මතාවයක් ඇති අතර ඒවා එකිනෙකට පිටුවහලක්ද වන්නේය. ඒ හේතුව නිසාම මෙහිදී ඒවා එක්ව සලකා බැලීමට මම අදහස් කරමි.

පහත දැක්වෙන වගුවෙහි පංච ඉන්ද්‍රියන් හා චතුර්විධ ඉද්ධිපාදයන් සැකෙවින් දක්වා ඇත. විටින් විට එය පරිශීලනය කළ යුත්තේ ඒවායින් ඉටු කෙරෙන කාර්යය පිළිබඳව පැහැදිලි රූ සටහනක් මනසෙහි ඇති කර ගැනීමට එය උපකාරවන නිසාය.

වගුව

පස්වැදෑරුම් ආධ්‍යාත්මික ආයතන (ඉන්ද්‍රිය) සහ බල වඩන මාර්ග සතර (ඉද්ධිපාද)

ආධ්‍යාත්මික ආයතන (ඉන්ද්‍රිය)බල වඩන මාර්ග සතර (ඉද්ධිපාද)
1. ශ්‍රද්ධාව     (සද්ධා)  1. අභිමථාර්ථය වෙත පවත්වා ගන්නා වූ උනන්දුව හා කැමැත්ත      (ඡන්ද සමාධි)
2. වීර්යය     (වීරිය)2. අභිමථාර්ථය අරභයා යොදන වීර්යය      (වීරිය සමාධි)
3. සිහිකල්පනාව     (සති)
4. පවත්වා ගන්නාවූ අවධානය     (සමාධි)
3. අභිමථාර්ථය වෙත යොමු කර ගත් සිත      (චිත්ත සමාධි)  
5. ප්‍රඥාව    (පඤ්ඤා)4. අභිමථාර්ථය සපුරා ගැනීම සඳහා කරන්නාවූ විමර්ශනය     (විමංසා සමාධි)

පළමුවෙනි ආධ්‍යාත්මික ආයතනය (සද්ධා) සහ පළමුවෙනි බල වඩන මග (ඡන්ද සමාධි)

පළමුවෙනි ආධ්‍යාත්මික ආයතනය සද්ධා නොහොත් ශ්‍රද්ධාවය. පළමුවෙනි බල වඩන මග ඡන්ද සමාධි නොහොත් ඉටු කර ගත යුතු කාර්යය වෙත පවත්වා ගන්නා වූ උනන්දුවය.

සද්ධා: ශ්‍රදධාව නැතහොත් විශ්වාසය

මෙය පංචවිධ ආධ්‍යාත්මික ආයතනයන්ගෙන් පළමුවැන්නය. භාවනාවෙන් නිසියාකාර දියුණුවක් ලබා ගැනීම සඳහා ශ්‍රද්ධාව අතිශයින්ම වැදගත්ය. විශේෂයෙන්ම එම විශ්වාසය පිහිටුවා ගත් යුත්තේ තම හැකියාව, තම භාවනා ගුරුවරයා සහ ‌ෙබෟද්ධ ඉගැන්වීම් කෙරෙහිය.

තමන්ගේ හැකියාව කෙරෙහි ඇති කර ගන්නාවූ විශ්වාසය

පසුගිය වසර කිහිපය තුළම ධ්‍යානයන් වැනි දෑ විස්තරාත්මකව පැහැදිලි කර දීමත්, මිනිසත් බවක් ලත් අප හට ඒවා අත්පත් කර ගැනීමට හැකියාවක් ඇති බව වටහා දීමත්, මගේ ජීවිතයේ මූලික කර්තව්‍ය විය. මා තරුණ භික්ෂුවක්ව සිටි අවධියේ මෙවන් දෑ කිසිසේත්ම සාකච්ඡාවට ලක් නොවීය. හැකිතාත් දුරට මනස සාමයට පත් කර ගැනීමටත්, සංසුන් කර ගැනීමටත් උපදෙස් දීම හැර වැඩිපුර වෙන යමක් භාවනාව සම්බන්ධව විස්තර නොකෙරුණි. ධ්‍යාන යනු කවරේදැයි ගැඹුරින් විග්‍රහ කිරීම තබා ඒවා ගැන සඳහන් කිරීමට පවා බොහෝ දෙනෙක් මැලි වූහ.

ඒ කෙසේ වෙතත්, ඒවා ගැන කථා නොකිරීමෙන් හා ඒවා විස්තර කර නොදීමෙන් අත්වූ අනිටු ප්‍රතිඵලය වූයේ මෙවැනි උත්කෘෂ්ට අවධීන් වෙත එළඹීම මෙකලදී කළ නොහැකි දෙයක් යන මිථ්‍යාව අප සිත්සතන් තුළ පැලපදියම් වීමය. කෙටියෙන් පවසනවා නම් බොහෝ දෙනෙකුගේ පිළිගැනීම වූයේ “කිසිවෙක් ඒ ගැන කථා නොකරන බැවින් ඒවා ලබා ගැනීමට නොහැකිය” යන අදහසය.

මෙවැනි අදහස් උදහස් ප්‍රචලිතව පැවතීම ගැන මම මහත්සේ කම්පාවට පත්වීමි. “මේ කාලේ ඕව කරන්න පුළුවන් වැඩද?, ඕව ලබා ගන්න නම් කෙනෙක් තුළ යම්කිසි විශේෂත්වයක් තියෙන්න ඕනෙ, ඔබ උපතින්ම ධ්‍යාන ලාභියෙක් වෙන්න ඕනෙ, එහෙම නැත්නම් ඕව ලබා ගන්න බැහැ.” යම්කිසිවෙකු ඒ අයුරින් පැමිණිලි කරන්නේ නම් එයින් සිදුවන්නේ කුමක්ද? ඔබේ හැකියාව එතැනම ලොප්වී යාමය. මුල්ම ඉන්ද්‍රියෙහි හා මුල්ම ඉද්ධිපාදයෙහි නැතහොත් ශ්‍රද්ධාවෙහි හා ඡන්ද සමාධියෙහි පිරිහීම ඇරඹෙන්නේ ඒ ආකාරයෙන්ය. එයින් මිනිස් සිතෙහි බොහෝ විට පවතින සැකය නැමැති නීවරණය දිරි ගැන්වේ. නමුත් සත්‍යය අනෙකක්ය. හැදුනු වැඩුනු ආගමික පරිසරයට අනුව අපි එසේ සිතන්නට පුරුදුවී සිටියත් එදා මෙන් අදත් ධ්‍යාන ලබා ගැනීමට අපට හැකියාවක් ඇති බව ධර්මයට අනුව අපි තේරුම් ගත යුතුය. එවැනි සත්‍යම වූ අත්දැකීම් පිළිබදව කථා කිරීමෙන් සිදුවන්නේ සැබෑ ධර්මය වෙත ශ්‍රද්ධාව හා විශ්වාසය තහවුරු වීමය. එමගින් ධ්‍යාන වැඩීමට හැකියාවක් ඇති බවට හැඟීමක් අප තුළ ඇති වන්නේය.

“සමහර විට මට බැරි වුනත් අනික් අයට නම් ධ්‍යාන ලබා ගන්න පුළුවන් කමක් ඇත” යන්න, තමා තුළ සැකය ඇති කරන තවත් බොළඳ සිතිවිල්ලක්ය. ඒ අතර, සමහර විට ඔබ තුළ මෙවන් සිතිවිලිද ඇතිවිය හැකිය. “වර්ණ දේහ අණුවලට ජාන එකතු කරද්දී ධ්‍යාන-ජානය එකතු කරන්න ඒ අයට අමතක වෙලා. මට ඒක දීල නැහැ.” දිනක් උදෑසණ හීල්දානය වළදද්දී, එතැන තිබූ ‘සෝයා’ කිරි පැකැට්ටුවේ පිටපැත්ත නිකමට කියවද්දී මා දුටුවේ මේ වගන්තියයි. “මෙය නිශ්පාදනය කර ඇත්තේ ජාන වෙනස් කරන ලද සෝයා බෝංචි යොදා ගැනීමෙන් නොවේ.” එවන් දෑ කළ හැකි නම් එය කදිමයි නේද? ඔබේ භාවනාවට බාධා කරන ඔබ තුළ ඇති ජානය හඳුනා ගත හැකි නම්, එය මොනතරම් වටීද? එසේ නම් භාවනාවේදී මතුවන දුෂ්කරතා මගහරවා ගැනීමට අපට පහසු වන්නේය. බුදුරජාණන් වහන්සේගේ සමහරක් ධාතු ලෝකයෙහි තවමත් නිරුපද්‍රිතව ඇත. එයින් කොටසක් භාවිතා කොට ඒවායේ ඇති වර්ණ දේව අණු විෂ්ලේෂණය කර එම දත්තයන්ගේ අනුසාරයෙන් ඔබේ ජානයන් ඊට ගැලපෙන ආකාරයට වෙනස් කර ගැනීමෙන් බුදුරජාණන් වහන්සේට මෙන් අපටත් පහසුවෙන් ධ්‍යානවලට සමවැදීමට හැකියාවක් ඇති කර ගැනීමට හැකියාවක් තිබිය හැකි නේද! ඒ කෙසේ වෙතත්, ධ්‍යාන ලැබීම ඒ ආකාරයෙන් සිදු කර ගත හැකි දෙයක් නොවේ. අවශ්‍ය කරන ධ්‍යාන-ජාන ඕනෑ තරම් ඔබට දැනටමත් ලැබී ඇත. සත්‍යාබෝධ කර ගැනීම, විශේෂයෙන්ම ධ්‍යාන ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන යමක් වේද ඒ සියල්ලක්ම ඔබ සතුය. අවශ්‍ය වන්නේ එවැනි විශ්වාසයක් මනුෂ්‍යයින් තුළ ඇති කිරීමය. “මට එය කළ හැකිද? කළ නොහැකිද?” යනුවෙන් සිතන්නේ නැතිව තමන්ටම මෙසේ පවසා ගන්න: “මම එය ලබා ගන්නවා. කවදාද එය ලැබෙන්නේ කියල විතරයි මට කියන්න බැරි. අනිත් අය ඒව ලබාගෙන තියෙනවා. ඒ නිසා මටත් පුළුවනි.”

කොතෙක් කල් ඔබ භාවනා කර ඇත්දැයි යන්න සැලකිල්ලට ගන්නේ නැතිව, ඔබ භාවනා කරන විට,  “මට මෙය කළ නොහැකිය” යන අදහසත්, විහින් සැකයක් ඇති කර ගැනීමත් නිසා පළමුවෙනි ආධ්‍යාත්මික ආයතනයට, ශ්‍රද්ධාවට එරෙහිව පැන නගින බාධකයෙන් ප්‍රවේසම් වන්න. ඔබ භාවනා කර ඇතත් තවමත් ධ්‍යානයක් ලබා නැත්නම්, එය බාධාවක් කර නොගන්න. විශිෂ්ට භාවනා වාරයකට ඉතා ආසන්නව සිටියත් ඔබ ඊට සැතපුම් ගණනාවක් ඈතින් සිටින ලෙසක් ඔබට හැඟෙන බව මෙවන් අවධීන් වෙත එළඹ ඇති අය හොඳාකාරව දන්නා දෙයක්ය. “එකම එක පියවරක්” තැබීමෙන් “දොරටුවෙන් ඇතුළට පිවිසීමට” ඉතා සමීපව සිටියත්, ඔබට ඒ ගැන දැනීමක් ඇත්තේම නැත. “ඔබ ධ්‍යානයකට කොපමණ ආසන්නදැයි කියා ඔබට වැටහී නැති බව දන්නවාදැයි” යම් ගුරුවරයෙක් ඔබට ඉඟි කර සිටියත් ඔබ සිතන්නේ වෙන ආකාරයකටය. “මොනවද ඔය කියන්නෙ? ධ්‍යාන තියා භාවනාවේ පළමුවෙනි පියවරටවත් ඒ ගන්න බැරිවයි මම මේ දඟලන්නේ. මම තාම හැතැප්ම ගණනාවක් එහායින් ඉන්නේ.” නමුත් ඔබ ඒසේ සිතුවත් එය සිදුවන්නේ ඒ ආකාරයට නොවේ. එය හරියට ඇලක ඉවුරක් දිගේ සැතපුම් ගණනාවක් ඉහළට පහළට ඇවිදිමින් සිටියත් එහි අනිත් ඉවුරට යාමට තැත් නොකරන්නේ යම් සේද, ධ්‍යාන අවධීන් කරා ඔබ කැඳවා ගෙන යන ඇල හරහා වැටී ඇති කෙටි පාලම් කොතෙක් තිබුණත් ඔබ ඒවා මත පිය තැබීමට තැත් නොකරන්නාක් මෙන්ය.

කිවයුතු අන්දමේ දියුණුවක් නොදකිමින් අවුරුදු බොහෝ ගණනාවක් භාවනාවෙහි යෙදී සිටි අය හිටි හැටියේම ධ්‍යානයන්ට සමවැදීම සාමාන්‍යවශයෙන් සිදුවන දෙයක්ය. ඉන් පසු, එවැනි අය මා සමග පවසා ඇත්තේ “අනේ මම දන්නේ නැහැ මොනවා කළාද කියල. නමුත් යමක් සිද්ද වුනා. මම ධ්‍යානයකට සම වැදුන. ඒ වුනත් දැන් මට ආපහු ඒක කර ගන්න බැහැ.” එවැනි අත්දැකීමකින් ඔවුන් අවබෝධ කර ගන්නේ තමන් ඒ තත්ත්වයට එළඹීමට කොතෙක් සමීපව සිටියාද යන්නය. නමුත් ඔවුන් දැන් ලතවෙන්නේ එම පියවර ගත්තේ කෙසේද කියා හරියාකාරව මතකයක් ඇති කර ගැනීමට නොහැකිවය. එය සිදුවූ අවස්ථාවේදී නම් එය, තමන් කළ ඉතා සුළු දෙයක් වූවත්, එය නැවත මතකයට ගෙන ඒමට ඔවුන් අපොහොසත්ය. මගපල අවබෝධ කර ගැනීම පවා සිදුවන්නේ මේ ආකාරයටමය.

සත්‍යාවබෝධ කර ගැනීමට කෙනෙකු ඉතා සමීප සිටීමට පිළිවන. ඔබ බොහෝ දෙනෙකු, විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් සියල්ලක්ම පාහේ දැන ඉගෙන ගෙන ඇත. දැන අසා ඇතුවා පමණක් නොව සමහර විට ඒවා කටපාඩම් කර ගෙන කටපාඩමින් ඒවා සජ්ඣායනය කිරීමටද හැකියාවක් ඇත. යම් ඉගැන්වීමක් ඇත්තේ කිනම් සූත්‍රයකදැයි කියා කිසිම පැකිලීමක් නැතිව ඔවුන්ට පැවසිය හැකිය. එය ඇතුළත් ගාථාව, පරිච්ඡේදය, සමහර විට පිටු අංකයද ඔවුන්ට මතකය. එවන් ධර්මඥාණයකින් හෙබි අය සත්‍යාවබෝධය වෙත එළඹීමට කොතෙක් සමීපව සිටිනවාදැයි කිවහොත්, කෙස් ගසකින් ඇටවූ උඟුලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යවන්නේ යම් පමණ ගැස්සීමක්ද, ඔවුන්ට අවශ්‍යවන්නේද, ඒ හා සමාන ඉතාමත් සුළු බලවේගයක්ය. එවිට ඔවුන්ගේ භාවනාව දියුණුවෙන් දිණුවට පත්වී සත්‍යාබෝධාත්මක අත්දැකීම් ගලා එන්නේ කඳු මුදුනක තිබූ හිම තට්ටුවක් කඩා හැලෙන්නා සේය.

ඉගැන්වීම් පිළිබඳව පිරිපුන් දැනුමකින් හා අවබෝධයකින් යුතු ඔබටද ධර්මය නමැති ‘හිම තට්ටුව’ මනස තුළට කඩා වැටී, නිවන සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වන්නේ සුළු ‘ගැස්සීමක්ය.’ ඔබ සිටින්නේ එතරමටම නුදුරින්ය. ඔබ මිනිසත් බව ලබා ඇත. ඔබ උපත ලබා ඇත්තේ ධර්මය ඉතා හොඳින් වටහා ගෙන, එය පුරුදු පුහුණු කරන අය ජීවත්ව සිටින භවයකය. ඒ සඳහා ඔබ තෝරා ගෙන ඇත්තේ ධර්මය හොඳින් උගන්වන භික්ෂූන් වහන්සේලා ජීවමානව සිටින්නාවූ ලොවක්ය. ඒ බව ඇසීමෙන් පවා මනසෙහි මතුවන්නේ බලවත් ශ්‍රද්ධාවක්ය. අවශ්‍ය කරන සියල්ලම එතැන ඇත. උවමනා කරන්නේ මුහුන් ඇබිත්තක්ය. නියපිටින් දිය හැකි අන්දමේ සුළු තල්ලුවක්ය.

අවුරුදු කීපයකට ඉහත, ග්‍රීෂ්ම සෘතුවේ විශ්ව විද්‍යාල දීර්ඝ නිවාඩු සමයේදී දිනක් මා ඇවිදිමින් සිටියේ, ස්කොට්ලන්තයේ ගම්බද පළාතක මුහුදට ඉතා සමීපව පිහිටි උස් කඳු මුදුන් පෙලක් සිසාර දිවෙන පටු මගක් ඔස්සේය. එය ඉතාමත් පැහැබර දිනයක් විය. ග්‍රීෂ්ම සෘතුවේ දීප්තිමත් හිරුරැසින් මුහුදු ජලය දිදුලමින් පැවතින. තණ නිල්ලෙන් පොළව වසාගත්, කාලවර්ණ ගල් කුලින් බහුල, පෙනෙන තෙක් මානය පුරා විහිදුණු ලොකු කුඩා දූපත් සිය ගණනක් මගේ දර්ශණ පථයෙහි විය. රෙදි සෝදන සබන් කුඩු සඳහා යොදා ගත හැකි, වෙළඳ දැන්වීමකට සුදුසු අන්දමේ තනි සුදු පැහැයෙන් යුතු, ලිහිණියන් සහ වැහි ලිහිණියන් සුළඟෙහි පාවෙමින් සිටියේ නිරායාසයෙන්මය. එය අප වසන ග්‍රහ ලෝකයේ ඉතා චමත්කාර දර්ශනයන්ගෙන් හෙබි භූමි පරිසරයක, ඉතා කලාතුරකින් උදාවන්නා වූ අසිරිමත් දිනයක් විය. මොනයම් හෝ බැඳීමකින් හෝ වගකීමකින් තොරව ප්‍රීතියෙන් මුසපත්ව හිතූ මනාපයේ මා ඇවිද ගෙන ගියේ උණුසුම් වායු ධාරාවන් ඔස්සේ ඉහළට ඇදී යන ලිහිණියෙකු විලසින්ය.

ටික වේලාවක් මෙසේ ඇවිද ගෙන යද්දී මා නෙත ගැටුනේ, අසලවූ බෑවුමකට නුදුරින් නවතා තිබූ මෝටර් රථයක්ය. එම රථයේ රියදුරාද මා මෙන් මේ සිත් ඇදගන්නා චමත්කාර දර්ශණයෙන් විශ්මයට පත්ව, එහි රස උරා බීමට මඳක් නතර වූයේයයි යන අදහස මා සිත තුළ පහළ වූයේ ක්ෂණිකවය. නමුත් රථයට ආසන්න වූ විට මා දුටුවේ පුවත්පතක් කියවීමෙහි නිමග්නව හිඳින්නාවූ පුරුෂයෙක්ය. ඔහු දිගහැර ගෙන සිටි පුවත්පතේ පිටුවල දිග පළල ඉන් ඔබ්බෙහිවූ දෑ සියල්ලක්ම ආවරණය කිරීමට සමත් විය. යුද්ධ, දූෂණ, දේශපාලන, හදිසි අනතුරු, ආපදා, පාපන්දු, සිනමා තොරතුරු පිළිබඳ වර්ණනාත්මක වචන ආවරණය කර සිටියේ ඉතා කළාතුරකින් නෙත ගැටෙන ස්වභාව ධර්මයට දිය හැකි විශිෂ්ටතම, නොකිලිටි විභූතියෙන් කොටසක්ය. පුවත්පත මුද්‍රණය කර තිබුණේ ඉතා සිනිඳු කොළවලය. මගේ ඔලගුවේ තිබූ කතුර ඉවතට ගෙන පත්‍රය මැද සිදුරක් තනා දීමට මට සිත් වූයේ එතුළින්වත් එහා පැත්තේ ඇති දර්ශනය කුමක්දැයි ඔහුට දැක ගැනීමට අවස්ථාවක් උදා කර දීමේ අදහසින්ය. තත්පරයක් දෙකක් තුළදී පහසුවෙන්ම මට එය කර දීමට හැකියාවක් තිබූවද මා ඊට නොපෙළඹුණේ රියදුරු අසුනේ සිටි පුද්ගලයා දැවැන්ත ස්කොට්ලන්ත ජාතිකයෙකු වූ බැවින්ය. මන්දපෝෂණයෙන් පෙළුන, වැහැරී ගිය ශරීර කූඩුවකින් හෙඹි කුඩා සිසුවෙකු වූ මා එකල එතරම් ධෛර්ය සම්පන්නයෙකුද නොවීය.

එම සිද්ධිය අවුරුදු බොහෝ ගණනාවක් යනතුරුත් මගේ මතකයෙහි රැඳී පැවතින. දැන් මා එය යොදා ගන්නේ ධ්‍යානයන්හි රස විඳීමට අපි කොතරම් සමීපව සිටිනවාදැයි පෙන්වාදීමේ අරමුණින්ය. ඔබට ඇත්තේ පුවත්පත් භාෂාවෙන් හැඩ ගැන්වූ සිතිවිලි වලින් ඉහවහා ගිය මනසක් වූවත් ඉහත දැක්වූ උදාහරණයේදී මෙන් ඊට මිලි මීටරයකටත් වඩා අඩු දුරකින්, නොසංසුන් ‘පුවත්පත් මනසට’ නුදුරින් ඇත්තේ නිරුත්සාහයෙන්ම වාගේ අත් කර ගත හැකි සාමයේ විභූතියයි. මගේ කතුර ඉල්ලා ගෙනහෝ ඔබේ මනස වසා ගෙන ඇති ඇලීම් බැඳීම් අතරින් පොඩි සිදුරක් සාදා ගෙන ‘එම සිනිඳු පත්තර පිටු ආවරණයට’ එහා පැත්තේ ඇති ධ්‍යාන වෙතින් ලබා ගත් හැකි විශිෂ්ටතම ස්වභාවික ප්‍රමෝදය අත් කර ගැනීමට ඔබත් අවස්ථාවක් සලසා ගන්න.

ඔබ සූත්‍ර කියවා බලන්නේ නම් විශේෂයෙන්ම, දහම් මග දිනූ එකල විසූ උත්තමයින්ගේ චරිතාපදාන තුළින් පැහැදිලි වන්නේ, එතුමන්ලා පවා කිසි ලෙසකින්වත් නොසිතූ අන්දමින් සත්‍යාවබෝධයට කොතරම් සමීපව සිටියාද යන්නය. මෙවන් අත්දැකීම් මුල් කර ගෙන බුදුන් කල විසූ භික්ෂු, භික්ෂුණී රහතන් වහන්සේලා විසින් ප්‍රකාශිත ප්‍රීති වාක්‍ය ඇතුලත් ‘ථෙර ගාථා’ සහ ‘ථෙරී ගාථා’ පොත් කියවීමෙන් උන්වහන්සේලා මුහුණ දුන් දුක් ගැහැටත්, එකල ජීවන පසුබිමත් දැනහඳුනා ගැනීමෙන් ඔබට පෙනී යන්නේ ඔබ හා ඔවුන් අතර විශේෂත්වයක් නොමැති බවය. ඔවුන් තුළ වූයේද අප තුළ ඇත්තාවූ ක්ලේශයන්මය. විඳි දුක් ගැහැට පවා එසේම විය. භාවනා කරන විට ඔවුන් එකල විඳි දනිස් කැක්කුම් වල වේදනා හා අපි මෙකල විඳින වේදනා අතරද සැලකිය යුතු වෙනසක් නොවීය. 

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ ජීවත්වූ එක්තරා භික්ෂූන් වහන්සේ නමක්, තමා දිගු කලක් භික්ෂුවක් ලෙස ගත කලේ වූවද පිඬු සිඟායාමේදී කිසිම දිනෙකවත් තමන්ගේ සිතට ගැලපෙන ආහාර වේලක් නොලැබුණ බව සඳහන්ව තිබූ පොතක් කියවූවා මට මතකය. එකෙනෙහිම මා සිතෙහි මතුවූයේද “හැබෑ නේන්නම්, මගේ අත්දැකීමත් ඒකමයි” යන සිතිවිල්ලය. ශතවර්ෂ විසි පහකට ඉහත විසූ ඉන්දියානු ජාතික භික්ෂූන් වහන්සේ නමකටත්, මෙකල වසන බටහිර භික්ෂූන් වහන්සේ නමකටත් එකම දේ හැඟුණු ආකාරයෙහි හෝ මතුවුනු සිතිවිලි අතර වෙනසක් ඔබට දැකිය හැකිද?

වසර ගණනාවක් භාවනාවෙහි යෙදී සිටි භික්ෂුණීන් වහන්සේ නමකගේ ප්‍රීති වාක්‍ය, ථෙරී ගාථා පොතෙහි විස්තර වන්නේ මෙසේය. මේ ‘සීහ’ භික්ෂුණීන් වහන්සේය. මම මේ සඳහන් කරන්නේ සෑම අවුරුද්දකම හෝ මාස හයකට වරක් දින නවයේ හෝ දහයේ භාවනා මුළු වලට සහභාගී වන අයෙකු ගැන නොව, පුරා අවුරුදු හතක්ම ඉතා කැපවීමකින් දිවා රෑ භාවනාවෙහි යෙදීමට උත්සාහ කළ අයෙකු පිළිබඳවය. භාවනාවෙන් ප්‍රතිඵලයක් ලබා ගැනීමට තබා මොහොතකටවත් මනසෙහි සාමයක් ඇති කර ගැනීම ඇයට ඉතා අසීරු කටයුත්තක් විය. එක තැනකටවී ටික වේලාවක් හෝ එකම ඉරියව්වෙන් හිඳගෙන සිටීමට තරම් සංසුන්කමක් ඇති කර ගැනීමටවත් ඇයට නොහැකි විය. සත් අවුරුද්දක්ම මෙසේ කල් ගෙවීමෙන් පසු ඇය ඉතා බලවත් සේ කලකිරීමට පත්වූවාය. සිවුරු හැරයාමටද කැමැත්තක් නොවූයේ පෙර ගතකළ ජීවිතයටද කිසිම රුචියක් ඇය තුළ නොවූ හෙයින්ය. දිනක් ලණුවක් රැගෙන ඇය ගියේ අසලවූ වනලැහැබටය. එක් කෙළවරක් ගසක අත්තක ගැට ගසා ඉතිරි කෙළවර ගෙලවටා බැඳගෙන ඇගේ සූදානම් වූයේ බිමට පැනීමටය. කලකිරීම එතරම් බලවත් විය. ඊළඟ මොහොතේ සිදුවූ දේ පුදුමාකාරය. පැනීමට ඔන්න මෙන්න කියා තිබියදී ඇයගේ මනස නිදහස් විය. ඇය සත්‍යාවබෝධ කර ගත්තීය. ඇගේ මනස කිසිම ගතයුත්තක් නැති මනසක් සේ ඇයට හැඟුණත් සත්‍යාවබෝධය වෙත ඇය කොතරම් සමීපව සිටියාදැයි ඇසීම පවා විශ්මය දනවන්නේය. ඇයට හැඟුණු ආකාරය, භාවනාවෙහි යෙදෙන අප අතර සිටින බොහෝ දෙනෙකුටත් පහසුවෙන් වටහා ගත හැකි නේද? නවදින භාවනා මුළු පවත්වද්දී ඒ අසලක හෝ පෙනෙන තෙක් මානයේවත් ලණු, කඹ ආදිය අපි නොතබන්නේ ඒ හේතුව නිසාමය. හා! හා! හා!

ගුරුවරයා කෙරෙහි ඇති විශ්වාසය හා භක්තිය

ථෙරී ගාථාවල සඳහන් වන තවත් මෙහෙණීන් වහන්සේ නමක් වන උත්තමා මෙහෙණිය වසර ගණනාවක්ම භාවනාවෙහි නිරතව සිටියත් කිසියම් අර්ථවත් දෙයක් මනසෙහි සිදු නොවන බව ඇය වටහා ගත්තීය. ඇය පටාචාරා භික්ෂුණියගේ පිහිට පැතුවේ මෙතැනදීය. යමක් පහදා දීමට විශිෂ්ට හැකියාවක් තිබූ  පටාචාරා භික්ෂුණිය භාවනා කරන පිළිවෙලෙහි තරමක වෙනසක් ඇති කර ගැනීමට උත්තමා භික්ෂුණියට උපදෙස් දුන්නාය. තමන් කෙරෙහි විශ්වාසය හා ආත්මශක්තිය ගොඩනගා ගැනීමට දිරි ගන්වමින්, භාවනාව පහසුවෙන් කළ හැකි දෙයක් බව ඇයට අවබෝධ කර දුන්නීය. පටාචාරා භික්ෂුණියගේ ගුරු උපදෙස් ලබා ගත් භික්ෂුණීන් වහන්සේලා බොහෝ විය. පටාචාරා භික්ෂුණියට රහත්බවට පත්වීමට හැකි වූයේ නම් ඇත්තෙන්ම අන් අයටද එය අපහසුවක් නොවිය යුතුය. ගිහි ජීවිතයේදී ඇයට මුහුණ දීමට සිදුවූයේ එසේ මෙසේ දුක් කරදර වලට යයි ඔබ සිතනවාද? සැමියාගේ වියෝවත්, දරු දෙදෙනා මරුට බිලිවීමත්, එකම සොහොයුරාගේ සහ දෙමාපියන්ගේ අභාවයත්, ඇයට විඳදරා ගැනීමට සිදුවූයේ එකම දවසේය! නමුත් ඇය ජය ලැබුවාය. තමා කළ දෙයම අන් අයටද කළ හැකි බවට විශ්වාසය ඈ ඔවුන් තුළ ඇති කළාය. පටාචාරා පිළිබද කථාව කිසාගෝතමියගේ ගාථාවල සඳහන්ව ඇත.

“විශ්වාසය ඇති විට එය කළ හැකිය.” යමක් ඉටු කර ගැනීම සඳහා අවැසි දේවලින් සියයට අනූවක්ම වන්නේ එයයි. එනම් විශ්වාසයයි. මහණවීමට කලින්, අවුරුද්දක පමණ කාලයක් මම ගුරු වෘතියෙහි යෙදී සිටියදී මගේ පංතියේ එක ළමයෙක් ගණිතයෙන් ඉහත වසරේදී ලබා ගෙන තිබුණේ අඩුම ලකුණු සංඛ්‍යාක්ය. හිතාමතාම ඔහුට වැඩි අවධානයක් දීමෙන් සිදුවන්නේ කුමක්දැයි නිරීක්ෂණය කිරීමට මට සිතක් පහළ විය. මගේ ගෝලබාලයින් සෑම දෙනෙකුටම එවැනි සැලකිල්ලක් දැක්වීම මට කළ හැකිවූ දෙයක් නොවීය. නමුත් මම ඉහත සඳහන් සිසුවාට පමණක් විශේෂ සැලකිල්ලක් දැක්වූවෙමි. පංතියේ පහළටම වැටී සිටි ළමයෙකුට විශේෂ සැලකිල්ලක් දැක්වීමෙන්, ටිකක් වැඩිපුර ඔහු ගැන සැලකිලිමත් වීමෙන්, වැඩිපුර උපකාර කිරීමෙන් යම් වෙනසක් සිදුවන්නේ දැයි සොයා බැලීමට මට අවශ්‍ය විය. ඊට වඩා වැඩි යමක් එහි නොවීය.

වසර අවසානයේදී ඔහු මුල් තැනට නොපැමිණියේ නම් “ඔව්! ඔබ කැමති දේකට මම ඔට්ටුය.” එම අත්දැකීම තදින්ම මට දැනෙන්නට වූයේ මෝඩයෙකු යයි සලකා කොන් කර දමන සිසුවෙකු, දක්ෂයෙකුගේ තත්ත්වයට ගෙන ඒම, දිරි ගැන්වීමෙන් කළ හැකි දෙයක් බව ඒත්තු යාමෙන්ය. ඉන්පසු අවුරුදු ගණනාවක්ම මගේ සිතෙහි පිළිරැව් දුන්නේ “ඇත්තටම ඒ සිසුවා දක්ෂයෙක්ද, නැත්නම් අදක්ෂයෙක්ද? එසේත් නැත්නම්, ඔහු අදක්ෂයෙක් යයි විශ්වාසයක් ඇති කර ගෙන සිටියේද?” යන්නය. එය එසේ නම්, භාවනාවේදීද “මට භාවනාව හරි යන්නේ නැහැ, අනික් අයට පුළුවන් බව නම් මම දන්නවා, නමුත් මට බෑ” යනාදී ලේබල් කරපින්නා ගෙන සිටීම යුක්ති සහගතදැයි මම දැන් ඔබෙන් ප්‍රශ්න කර සිටිමි. විශ්වාසයේ දුබලකම නිසා අත්පත් කර ගත හැකි දේ වළකාලන අනර්ථකාරී බලවේග ඔබට දැන් පැහැදිලි වන්නට ඇතැයි මම සිතමි.

සමහරක් ප්‍රතිභාසම්පන්න ගුරුවරු අනෙක් ගුරුවරුන් මෙන්ම එක හා සමාන උපදෙස් නිර්දේශ කර සිටියත් විශ්වාසය ‌ගොඩනංවාලීම සඳහා ඔවුන්ට ඇත්තේ අපූරු කුසලතාවයක්ය. “එය කළ හැකි” බව ඔබට ප්‍රත්‍යක්ෂ කර වන්නේ එවන් උතුමෝය. බෝලය අරපැත්තට මේ පැත්තට තල්ලු කරමින් එය හසුරුවා ගන්නා අන්දම හා දිනීමට අවශ්‍ය කපටි සූක්ෂම ක්‍රම සියල්ලක්ම කියා දෙන අය මම මෙයින් අදහස් නොකරමි. දිණන බව කණ්ඩායමට ප්‍රත්‍යක්ෂ කර දෙන, ප්‍රතිවිරුද්ධ පිල අභිබවා යාමට හැකි බව පෙන්වා දෙන, විරුද්ධ වාදීන් පරාජය කළ හැකි බව ඔබට ඒත්තු ගන්වන පුහුණුකරුවෝ පුහුණුකරුවන් අතරින් ශ්‍රේෂ්ඨය! ඔබටත් එවැනි ශූරත්වයක් ඇත්නම් ඔබ ඉස්තරම් ගණයේ පුහුණුකරුවෙක්ය. ඔබ විශිෂ්ට ගුරුවරයෙක්ය. කළ නොහැකියයි විශ්වාසය කර ගෙන සිටි දේවල් ඔවුන් ලවා කර වීමට ඔබට දක්ෂතාවයක් ඇත.

කෙනෙකුට භාවනාවෙන් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට ශ්‍රද්ධාව සහ විශ්වාසය බලවත් සේ මහෝපකාරී වන්නේ ඉහත දැක්වූ හේතූන් නිසාය. බුරුමය වැනි සම්ප්‍රදායික බෞද්ධ ආසියාතික රටවල වැසියන්ට භික්ෂූන් වහන්සේලා කෙරෙහි ඇත්තේ බලවත් ශ්‍රද්ධාවක්ය. භික්ෂූන් වහන්සේ නමක් යමක් කළ හැකි බව පවසනවා නම් කිසිදු පැකිලීමකින් තොරව එය විශ්වාස කිරීමට ඔවුන් පෙළඹෙන්නේ එම නිසාය. තායිලන්තයේ සිටින භික්ෂූන් වහන්සේලාට විශ්වාසය පදනම් කර ගෙන කළ හැකි දේවල් විශ්මයජනකය. තමා හමුවට පැමිණෙන කිසි දිනෙක භාවනා කර නැති විශාල පිරිසකට වුවත් ගැඹුරු භාවනා අවධීන් වෙත එළඹීමට මග පෙන්වා දිය හැකි අන්දමේ දක්ෂතාවයක් කලකට ඉහත විසූ භික්ෂූන් වහන්සේ නමක් සතුව පැවතින. ඉන්පසු උන්වහන්සේ ඔවුන්ට පෙන්වා දුන්නේ එම සමාධි ආධාර කර ගනිමින් අපාය සහ දිව්‍යලෝක වල සංවාරයක යෙදෙන ආකාරයයි. ඔවුන් ඒ අත්දැකීම් ලත් බව සත්‍යයක්ය! එය මොනතරම් විශ්මයජනකද? එවැනි දේ කළ හැකිවීම අරුම පුදුම නේද? නමුත් එය අරුමයක්ද? එයට මූලික වූයේ උන්වහන්සේට එවැනි චාරිකා වල යෙදීමට හැකියාවක් ඇති බව හා අන් අයටත් එවැනි තත්ත්වයත් ඇති කර ගැනීම සඳහා මග පෙන්වා දීමට හැකි ඉතා දියුණු, බලගතු මනසක් උන්වහන්සේ සතුව පැවති බවට ඔවුන් තුළ තිබූ සීයට සීයකම විශ්වාසයයි.

ඔබේ ජයග්‍රහණය සඳහා ඉතා වැදගත් වන්නේ විශ්වාසයයි. ඇත්තෙන්ම මම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර සියල්ලක්ම කියවා ඇත්තෙමි. ධ්‍යාන වෙත එළඹීමට හෝ නිවන් අවබෝධ කර ගැනීමට එරෙහිවූ යම් අපහසුතාවයක්, කිසියම් ස්වාමීන් වහන්සේ නමකට හෝ ගිහි භවතෙකුට තිබිය හැකි බවක් ඉන් එක සූත්‍රයකවත් සඳහන්ව නැත. අනෙකුත් භික්ෂූන් වහන්සේලාද මෙය අනුමත කරනු ඇත. අංගුත්තර නිකායේ සඳහන් වන්නේ නිවන් අවබෝධ කර ගැනීමේ හැකියාව අහිමි වන්නේ බුදුවරයෙකුගේ ලේ සොලවන ලද, සංඝභේදය ඇති කළ, සිය මව හෝ පියා හෝ රහතන් වහන්සේ නමක් ජීවිතක්ෂයට පත් කළ පුද්ගලයෙකුට පමණක් බවය. එවැනි දෙයක් ඔබ  අතින් සිදුවී නොමැති නම් ඔබට ඇති අවහිරය කුමක්ද? සත්‍යාවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය සෑම සුදුසුකමක්ම ඔබට ඇත. පෙර ආත්මයකදී ඉහත සඳහන් අන්දමේ වරදක් ඔබ අතින් සිදුවී තිබුණත්, වරද සිදු කළ ජීවිතයේදී හැර අනෙකකදී එහි බලපෑමක් නැති හෙයින් මේ ජීවිතයේදී නිවන් අවබෝධ කර ගැනීමට එය බාධාවක් නොවන්නේය. ඉහත දක්වන ලද කර්ම තුනෙන් එකක්වත් මේ ජීවිතයේදී නොකළ ඕනෑම පුද්ගලයෙකුට නිවන් අවබෝධ කර ගැනීමට හැකියාව ඇති බව බුදුරජාණන් වහන්සේ එයින් පෙන්වා දෙන ලද සේක. ඔබට එය කළ හැකිය. එම නිසා “මම හිතන්නේ මට ඒක කර ගන්න බැහැ” යනාදී වශයෙන් සිතමින් බාධාවක් ඇති කර ගන්නේ නැතිව තමන්ටම මෙසේ පවසා ගන්න: “ඒක සිද්ද වෙන්නේ කවදද කියන එක විතරයි මම නොදන්නේ?”

ධම්මපද අටුවාවෙහි ඇතුළත් මෙම කථාවෙහි සඳහන් වන්නේ විශිෂ්ට ප්‍රඥාවකින් හෙබි භාවනායෝගී භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳවය. භාවනා කටයුතුවල යෙදෙමින් නිවී සැනසිල්ලේ හුදකලාව වැඩ විසීමට මුන්වහන්සේ කැමැත්තක් දැක්වූහ. දිනක් තරුණ භික්ෂූන් වහන්සේ නමක් මුන්වහන්සේ බැහැදැකීමට පැමිණ උන්වහන්සේ යටතේ වැඩ වාසය කිරීමට අවසර පැතීය. දෙදෙනා වහන්සේ අතර ඇති වූයේ මෙවැනි සංවාදයක්ය. තරුණ භික්ෂූන් වහන්සේ ඉල්ලා සිටියේ උන්වහන්සේ වෙතින් භාවනාව හදාරා සත්‍යාවබෝධ කර ගැනීමට මග පෙන්වා දෙන ලෙසටය. නමුත් ගුරු ස්වාමීන් වහන්සේ පැවසූයේ ගෝලබාලයින් හදා ගැනීමක් තමන් නොකරන බවය. එවිට තරුණ භික්ෂූන් වහන්සේ නැවතත් අයැද සිටියේ “සමාවෙන්න ස්වාමීන් වහන්ස, අනේ කරුණාකර ඔබ වහන්සේ යටතේ භාවනාව හැදෑරීමට මට අවසර දෙන්න” කියාය. එවිට ගුරු ස්වාමීන් වහන්සේ පැවසූයේ “මේ අහන්න. ගෝලයෝ කව්රුවත් කියන දේ අහන්නේ නෑ. ඒ හින්දයි මම ගෝලයෝ නොහදන්නේ. ඒ අය මට බොහොම දුක් කරදර ඇති කරනවා. මම යමක් කරන්න කිව්වාම ඒ අය හොයා ගන්නවා ඊට වඩා ලේසි ක්‍රමයක්. ඒ අය කියන විදියට උපදෙස් පිළිපදින්නේ නැහැ.” ඉන්පසු සංවාදය කෙරීගෙන ගියේ මෙලෙසින්ය. “ඔබ වහන්සේ කියන ඕනෑම දෙයක් කරන්න මම පොරොන්දු වෙනවා.” එවිට ගුරු ස්වාමීන් වහන්සේ  ඔහු කියන්නේ ඇත්තක්දැයි පරීක්ෂා කර බැලීමට කල්පනාකර මෙසේ පැවසීය. “ඔබ දැන් මම කියන දේ කරනවා නම් ගෝලයෙකු හැටියට මම ඔබ බාර ගන්නම්.”, “ඔව් මම කියන ඕනෑම දෙයක් කරන්නම්.”, “හොඳයි එහෙනම් දැන් අන්න අර පැත්තට හැරිල ඉස්සරහටම ඇවිදගෙන යන්න. නතර වෙන්න එපා.” තරුණ භික්ෂූන් වහන්සේ ක්ෂණිකව ඊට අවනත විය. ඔහු ඇවිදගෙන යද්දී ඉදිරියෙන් වූයේ විශාල ජලාශයක්ය. නමුත් ගුරුතුමාගේ උපදේශය වූයේ නොනැවතී ඉදිරියට යාමටය. ඒ නිසා ඔහු නොනැවතී ජලාශයේ ගැඹුරට යන්නට විය. මුලින් දණහිස තෙක් ගැඹුරුවූ වතුර ක්‍රමක්‍රමයෙන් ඔහුගේ බඩ, උරහිස තෙක් ගැඹුරුවී අවසානයේදී නාසය දක්වාම ගැඹුරු වන්නට විය. ගුරුවරයාගෙන් ඊළඟ උපදෙස ලැබුණේ එතැනදීය. “හොඳයි දැන් නතර ‌ෙවන්න. ආපහු එන්න ‌ෙමහාට. ඔබ, මම බලාපොරොත්තු වන අන්දමේ හොඳ ගෝල‌ෙයක්. මරණය ඉදිරියේදී වුවත් උපෙදස් පිළිපැදීමට ඔබ සූදානම් බව මට දැන් පැහැදිලියි.” තම ගුරුවරයා ‌ෙක‌ෙරහි තිබිය යුතු වන්නේ එවන් විශ්වාසයක්ය. නමුත් සමහර විට එවැනි විශ්වාසයක් ඇති කර ගැනීම තමන්ට අන්තරායක්ද විය හැකිය. ඔබ විශ්වාසය තැබූ ගුරුවරයා ‘බොරුව මවා පාන්‌ෙනකු’ නම් එවැන්‌ෙනකු කෙරහි අචල විශ්වාසයක් ඇති කර ගැනීමෙන් අත්වන්නේ භයානක ඉරණමක් විය හැකිය. කනවැල අල්ලා ‌ෙගන යාමෙන්ද වළකන්න.

ඉගැන්වීම් ‌ෙක‌ෙරහි ඇති කර ගන්නාවූ ශ්‍රද්ධාව

අප බුදුන්, අචල භක්ති ප්‍රණාමයකින් යුතුව සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි ගුරු උතුමාණන් වහන්සේ නමක්ය. බොරු මවා පෑමක් උන්වහන්සේගේ ධර්ම‌ෙයහි කොතැනකවත් ඔබට දැකිය හැකිද? බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකින් භාවනා කරන පිළිවෙල අපට දක්වා ඇත්තේද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එම උපදෙස් පිළිපැදීම අපගේ බලවත් යුතුකමය. එම උපදෙස් වැදගත් සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බව එවිට ඔබට ප්‍රත්‍යක්ෂ වන්නේය. උන්වහන්සේගේ උපදෙස් කෙරෙහිත් පෙන්වා දී  ඇති ක්‍රමවේදය කෙරෙහිත් විශ්වාසය ඇති කර ගන්න.

එම උපදෙස් පිළිපදිමින් තමා කටයුතු කරන්නේ නම් නොවරදාම ප්‍රතිඵල ලැබෙන බවට ඇති විශ්වාසය දැඩි කර ගන්න. ඔබ ක්‍රමය වෙනුවෙන් කැපවෙන්න. ඔබ එම ක්‍රමයෙහි පිහිටා සිටින්න. එම ක්‍රියාවලිය වෙනුවෙන් සහමුලින්ම කැපවී ප්‍රතිඵල ළඟා කර දීම සඳහා කාලයට ඉඩ දෙන්න.

දී ඇති උපදෙස් පිළිබඳ සම්පූර්ණ විශ්වාසයක් ඇති කර නොගැනීම බලාපොරොත්තු විය හැකි අන්දමේ ප්‍රතිඵල බොහෝ දෙනෙකුට නොලැබීමට ප්‍රධාන හේතුව වශයෙන් දැක්විය හැකිය. විශ්වාසයේ දුබලකම නිසා ඔවුන් උපදෙස් හොඳාකාරව පිළිපදින්නේ නැත. කෙනෙකුගේ භාවනාව දියුණු නොවන්නේ මන්දැයි සොයා බැලූවිට මට නිතරම දකින්නට ලැබී ඇත්තේ ඔවුන් උපදෙස් නිසියාකාරව නොපිළිපදින බවය. උපදේශයන් නැවත නැවතත්, නැවත නැවතත් මා මතක් කර දෙන්නේ ඒ හේතුව නිසාමය. ඒ අයුරින්, උපදෙස් මොනවාදැයි දැන ගැනීමට ඔබට නිතරම අවස්ථාව සැලසෙන්නේය. එහෙත් ඒවා පිළිපැදීමෙහි හෝ නොපිළිපැදීමෙහි වගකීම රැඳී ඇත්තේ ඔබ අතය. එනිසා විශ්වාසයත්, භක්තියත් හැකිතාක් දුරට බලවත් කර ගන්න. එමගින් ඔබ දියුණු කර ගන්නේ තමාගේ ජයග්‍රාහී බලවේගයයි, ගුරුවරයා සහ ඉගැන්වීම් මගින් ප්‍රතිඵල අත් කර ගැනීමට ඇති හැකියාවයි. ධ්‍යාන නමින් හඳුන්වන දේවල්වල සත්‍යතාවයක් ඇති බවත් ඒවායින් ලබන ප්‍රමෝදය අති උත්කෘෂ්ඨ බවත් විශ්වාසයට ගන්න. සත්‍යාවබෝධය යනුවෙන් හඳුන්වන්නේ සත්‍යමවූ අත්දැකීම් බව තේරුම් ගන්න. ඒවා උදා කර ගත හැකි, තමන්ට ළඟා විය හැකි, මහත් වැඩදායී අත්දැකීම් බව සිතට ගන්න.

ගුරුවරයාගේ කාර්භාරය වන්නේ වෙළඳ දැන්වීම් සකස් කරන ආයතනයක අධිකාරීවරයෙකු මෙන් අවශ්‍ය කරන භාණඩය ඉහළ මට්ටමකින් අළෙවි කිරීම සඳහා හොඳ ප්‍රචාරයක්, සිත් කාවදින අයුරින්  ඉදිරිපත් කිරීමය. “සත්‍යාවබෝධය නැතිවම බැරි දෙයක්. කාහටත් එය අවශ්‍යය. විශේෂ දීමනාවක් ලෙස ඉදිරි සති අන්තයේදී එය පහසුවෙන් ලබා ගැනීම සඳහා පහසුකම් සලසා ඇත. ඔබත් සහභාගි වන්න.” එය කළ හැකිය. ඔබ උපදෙස් පිළිපදින්නේ නම් ඔව්, ඔබට එය කළ හැකිය.

තෝරාගත් ඉලක්කය වෙත පවත්වා ගන්නාවූ දිරිය

භාවනායෝගීන් නියමිත ඉලක්කය කෙරෙහි බලවත් කැමැත්තක් ඇති කර ගත යුතුය. එම ඉලක්කය සපුරා ගැනීමට හැකි බවට විශ්වාසය ඇති කර ගත් විට එවෙත ළඟාවීම සඳහා තමා තුළ ඇති බලවත් කැමැත්ත නැතහොත් ඡන්ද සමාධිය දිගටම පවත්වා ගෙන යාම පහසු වන්නේය. මෙම බලවත් කැමැත්ත ඇති වන්නේ භක්තිය හා විශ්වාසය තුළින්ය. එනම් “එම අභිමතාර්ථය සපුරා ගත හැකිය. එය මට කළ හැකිය. ඒ සඳහා මාර්ගය මෙයය” යනාදී සිතිවිලි අගය කිරීමෙන්ය. මෙම ඉද්ධිපාද නැතහොත් බල වඩන මාර්ග අතිශයින්ම වැදගත්ය. ඉන් පළමුවැන්න වන ඡන්ද සමාධිය ඇත්තෙන්ම එක්තරා අන්දමක සමාධියක්ය. ඒ, අධිෂ්ඨාන ශක්තිය දිගටම පවත්වා ගෙන යාමේ සමාධියයි. එම නිසා තමන්ටම මෙසේ පවසා ගන්න: “මගේ උත්සාහය මෙය අත් කර ගැනීමටය. ඒ සඳහා කොතෙක් කල් ගත වූවත් මම එය ප්‍රශ්නයක් කර නොගන්නෙමි. කෙසේවත් මම එය අත් නොහරින්නෙමි.” බොහෝ විට උත්සාහය අසාර්ථක වන්නේ අධිෂ්ඨානය අතර මගදී අත්හැර දැමීම නිසාය. තමා ගත් තීරණය මත ස්ථිරව පිහිටා සිටීමට ඇති නොහැකියාව මිස එය තමන්ගේ බැරි කමක් නම් නොවේ.

මෙම ඉද්ධිපාදය, එනම් ඉලක්කය වෙත පවත්වා ගන්නාවූ දිරිමත් අවධානය බුද්ධාගමේ මූලික ඉගැන්වීමක්ය. භාවනාවේදීද ඉලක්ක ඇති කර ගැනීම අවශ්‍යය. ඉලක්ක කර ගත යුතු දේ ඇත. අත් කර ගත යුතු දේ ඇත. භාවනාවේදී යම්යම් ඉලක්ක ඇති කර ගැනීම ඉතාමත් ප්‍රායෝගිකය. ඔබ විසින් එසේ නිශ්චිත අරමුණු ඇති කර ගන්නේ නැතිව වූවත්, යම් අන්දමක පහසුවක්, සතුටක්, සාමයක් ලබා ගත්තද ඒ ආකාරයෙන් සිදු වන්නේ භාවනාවෙන් ලබා ගන්නා ප්‍රතිඵල අවම මට්ටමකට සීමා වීමය. යහපත් දෙයක් බලාපොරොත්තුවෙන් ඔබ ඉලක්ක ඇති කර ගන්නා නිසා, අවසානයේදී ඔබට එට සපුරා ගැනීමට හැකි වන්නේය. නමුත් ප්‍රවේසම් වන්න. ඉලක්කයක් ඇති කර ගැනීමත් සමගම එය සපුරා ගැනීම සඳහා දුක්වේඳනා විඳීමට සිදුවීම නොවැළැක්විය හැකි බව සිහියෙහි තබා ගන්න. මෙම ගමනේදී යම්යම් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදු වූවත් කෙසේ හෝ ඒ ගමන යාමට අපට සිදුවී ඇත. එය නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නම් අපි මහන්සිවී යම්යම් දේ අත්පත් කර ගත යුතුය. නතරවී බලා සිටීමට අපට පුළුවන් කමක් නැත. නිවන කරා යන ගමනේදී මෙන්ම භාවනාවේදීද අපි සිතාමතා ක්‍රියාශීලී බවක් ඇති කර ගත යුතුය. නොඑසේ නම් අරමුණකින්, අධිෂ්ඨානයකින් තොරව කෙරෙන භාවනා කටයුතු, ඉලක්කයක් නැතිව විදින ලද ඊතළයක් මෙන් කොතැනකට යොමු වන්නේදැයි කියා විශ්වාසයක් ඇති කර ගැනීමට නොහැකි වීමය. සංසාර ගමනේ අපට ලැබී ඇති මේ ජීවිතයේදී අපි බොහෝ විට ඉදිරියටත්, ආපස්සටත් ඇදෙමින් සිටින්නෙමු. අවුරුදු කීපයකට පසුවදී වුවද අපි දකින්නේ අවුරුදු කීපයකට පෙර සිටි තැනම රැඳී සිටින්නාක් මෙන්ය. කිවයුතු වෙනසක්, ලබාගත් ප්‍රඥාවක්, බුදු මගෙහි ඉදිරියට යාමක් අපි නොදකින්නෙමු.

බුදුරජාණන් වහන්සේ මඤ්ජිම නිකායේ සඳහන් කර ඇත්තේ භික්ෂූන් වහන්සේලා පවා ඉලක්ක ඇති කර ගත යුතු බවය. නමුත් එවැනි ඉලක්ක ඇති කර ගැනීමේදී ඒවා සාධාරණදැයි මුලදීම ඔබ සොයා බැලිය යුතුය. අත් කර ගැනීමට පහසු අරමුණක් ඇති කර ගන්න. බුදුවීම හෝ රහතන් වහන්සේ කෙනෙකුට මෙන් සෘදිබල ලබාගැනීම වැනි අධිෂ්ඨාන ඇති කර නොගන්න. ඔබේ හැකියාවට ගැලපෙන මට්ටමේ ඉලක්ක තෝරා ගන්න. අරමුණ තෝරා ගැනීමෙන් පසු එය සාක්ෂාත් කර ගැනීමට අවැසි කටයුතු  කර ගෙන යාමට මනසට ඉඩ දෙන්න. නැවත නැවතත් ඇඟිලි ගැසීමෙන් වළකින්න. ඒ සඳහා ඇරඹූ කාර්යයන් අතර මඟ කඩාකප්පල් කර නොදමන්න. “මෙන්න මේ දේ සිදු වෙනවා දැකීමටයි මට උවමනා” ආදී වශයෙන් මනසට පැහැදිලි උපදෙස් දෙන්න. ඉන්පසු මනසට එය කර ගන්න ඉඩ හරින්න.

තවමත් මගේ අභිමතාර්ථය සපුරා ගැනීමට නොහැකිවීයයි යන හැඟීම නිසා කළකිරුණු ස්වභාවයක් මනසෙහි මතුවීම ඉලක්කයක් ඇති කර ගැනීමෙන් මතුවන දුෂ්කරතාවයක්ය. දරදඬු න්‍යාය පත්‍රයක් සකසා ගැනීමෙන් හෝ අභියෝගාත්මක කාලසටහනකට අනුව කටයුතු කිරීමෙන් තමා විහින්ම ඇති කර ගන්නාවූ නොඉවසිලිමත්කම නිසා බොහෝ විට ඇතිවන්නේ කළකිරීමය. සමහර විට ඔවුන් තුළ මෙවැනි සිතිවිලිද මතු විය හැකිය: “සත්‍යාවබෝධ කර ගන්න කියල මේ තරම් කාලයක් මිඩංගු කරන්න පුළුවන්ද? මේ සති අන්තයේදී මම ඒක කොහොම හරි කර ගන්නවාමයි. නැත්නම් මේ සතිය තුළදීවත් ඉවරයක් කර ගන්න ඕනෙ. ගෙදර දොරේ වැඩ ගොඩගැහිල, තියෙන වැඩ පල මොනතරන්ද?” තමා වෙනුවෙන් යම් න්‍යාය පත්‍රයක් සකසා ගැනීමේදී, සමහර විට, තමා සිතන අයුරින්ම ක්‍රියාවලිය ඉදිරියට නොඇදෙන බව හොඳින් මතක තබා ගන්න. ක්‍රියාවලිය සිදුවන්නේ ඊට ආවේනිකවූ කාල සටහනකට අනුවය. එම නිසා ඔබ නොඉවසිලිවන්තයෙකු නම් සිතෙහි කළකිරීම මතුවූ විට ඉන් පුදුමයට පත් නොවන්න!

නොඉවසිල්මක්කම ගැන මගේ මුල්ම ගුරුවරයාගෙන් අසා දැනගත් මේ කථාව තදින් මගේ සිතබැඳ ගත්තක්ය. එතුමා නැණවතෙක් විය. ඇත්ත වශයෙන්ම මට එතුමා වෙත ඇත්තේ බලවත් ගෞරවාදරයක්ය. මෙම කතාවට මුල්වූ දෙය සිදුවූයේ එතුමා කුඩා කල බැංකොක් නුවර ගතකළ කාලයේදීය. දිනක් ඔහුගේ පියා තවාන් කිරීම සඳහා මල් ඇට කීපයක් ඔහු අතට පත් කළේය. මේ ඔහු ජීවිතයේ මුල් වතාවට තවාන් කළ ඇට කීපය විය. ඔහු ඒවා පස්යට දමා දිනපතා වතුර ඉසිමින් හොඳින් රැකබලා ගත්තේය. නමුත් දින තුනක් ඇවෑමෙන් ඔහුගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේ කිසිවක් සිදුවන හැඩක් ඔහුට නොපෙණුන හෙයින්ය.  වාසනාවකට මෙන් එවිට ඔහුගේ පියා ඔහුට විස්තර කර දුන්නේ මතුපිටින් නොපෙණුනත් පොළව යට ඒවා වැඩෙමින් පවතින බවය. පියා ඒ බව ඔහුට සහතික කර සිටියේය. ඔහු තුළ බිඳ වැටී තුබුණ විශ්වාසය නැවතත් පණ ගැන්වීමට එය සමත් විය. ඇත්තෙන්ම, දින දෙකකට පමණ පසු මුල්ම අංකුරය පොළවෙන් මතුවී තිබෙණු ඔහු දුටුවේය. ඔහුට ඇතිවූයේ නිම්හිම් නැති ප්‍රීතියක්ය. දිනපතා උදය සවස ඒවාට දිය ඉසිමින් තවත් දින තුන හතරක් ඉවසාගෙන සිටියත් පැලවල සැලකිය යුතු වැඩීමක් ඔහුට දකින්නට නොලැබිණ. නැවතත් ඔහුගේ ඉවසීම මුළුමණින්ම පහව යාමට එය හේතුවක් විය. පියා ගෙදර නැති දිනෙක ඔහු තීරණය කළේ අංකුර එකින් එක ඉහළට අදිමින් ඒවායේ උස වැඩි කිරීමටය. ඒවායේ වර්ධනයට හවුල්කාරයෙකු වීම ඔහුගේ එකම පරමාර්ථය විය. ඔව්! ඇත්තටම ඒ ආකාරයෙන්, අංකුර සිල්ලම විනාශ කර දැමීමට ඔහු හවුල්කාරයෙකු විය.

මගේ ගුරුවරයා පවසා සිටියේ භාවනාව ගැනත්, අංකුර ගැනත්, විශේෂයෙන්ම ජීවිතය ගැනත් වැදගත් පාඩමක් ඉන් ඔහු උගත් බවය. ජීවිතයේ ‘අදින්න’ බැරි දේවල් බොහොමයක් අප අතර ඇත. ස්වභාව ධර්මයට එරෙහිව ඒවායේ වැඩීම වේගවත් කිරීමට අපට හැකියාවක් නැත. කළකිරීම මතු වීමට ඇත්තටම මෙය හේතුවක් නොවන්නේද? සොබාදහමට අනුව කටයුතු සිදුවෙද්දී, වැඩි කාලයක් ගත වන්නේ යයි යන හැඟීම මුල් කර ගෙන ඒවා ‘ඇදීමෙන්’ වැඩ ඉක්මන් කර ගැනීමට බොහෝ විට අපි තැත් කරන්නෙමු. මෙය ඉලක්ක ඇති කර ගැනීමේදී මතුවන ස්වභාවික ගැටළුවක්ය. බලාපොරොත්තු සුන්වූ අවස්ථාවලදී ඔබ නිතැතින්ම යුහුසුළු වන්නේ ඉක්මන් කෙටි ක්‍රම සෙවීමෙහිය. නොඉවසිලිමත්කම නිසා බොහෝ දෙනෙක් වැඩිපුරම බලාපොරොත්තු සුන්කර ගන්නේ ‘අංකුර’ මතුවී ඒවායේ වැඩීම ඇරඹෙන මුල් අවධිවලදීමය.

එම නිසා බල වඩන පළමුවෙනි මාර්ගයවූ ඡන්ද සමාධියෙන් අදහස් කරන්නේ ළඟා විය හැකි පහසු අරමුණක් ඇති කර ගෙන එය ඉටුවන තෙක් වීර්යය පවත්වා ගෙන යාමය. තමන්ට මෙසේ පවසා ගන්න: “මෙයයි මට අවශ්‍යය. කාලය කොයිතරම් ගත වුනත් මට ප්‍රශ්නයක් නැහැ. ඔව් එයයි මම කරන්න අදහස් කර ගෙන ඉන්නේ. අතර මගදී මම එය අත්හැරල දාන්නේ නැහැ. අතර මගදී මම කළකිරීම ඇති කර ගන්නෙත් නැහැ. ඊට අවශ්‍ය කාලය කොතෙක්ද, මම එහෙම පිටින්ම එය ලබා දෙනවා. දින නවයක් වේවා, අවුරුදු නවයක් වේවා, ජීවිත නවයක් වේවා නැත්නම් ජීවිත අනූනවයක් වේවා මම එය ලබා දීමට සූදානම්. මෙය ඉෂ්ට කර ගත යුතු වැදගත් දෙයක්. ඒ නිසා මම එය කොහොම හරි කර ගන්නවාමයි.” අධිෂ්ඨානයෙහි ඇත්තේ පුදුමාකාර බලවේගයක්ය. එය ජයග්‍රහණයේ සංකේතයයි. කෙසේ හෝ අවසානයේදී ඔබ එය ලබා ගත යුතුය. මගෙහි ඉදිරියට යාමට ඇති කැපවීම හා අරමුණ පවත්වා ගැනීම සඳහා කරන කැපවීම බලවත් නම් ඔබ යන මග අහුරාලීමට කිසිවෙකුට නොහැකිය. එසේ බාධක මතු වූවත් එය බොහෝ කාලයකට නම් නොවේ.

පළමුවෙනි ආධ්‍යාත්මික ආයතනය (සද්ධා) සහ පළමුවෙනි බල වඩන මග (ඡන්ද සමාධි) පිළිබඳ සාරාංශය

අවධියෙන් අවධියට අවතීර්ණ වන අයුරින් මා උගන්වන භාවනා පිළිවෙතට අනුව (‘බුදුදහමෙහි හදවත’, ‘ධ්‍යාන භාවනා’ ප්‍රකාශන) ඉදිරියට යද්දී, ඔබට ඇති කර ගැනීමට ඇත්තේ පහසු ඉලක්කයන්ය. පළමුවෙනි අවධිය, එනම් ‘මේ මොහොතේ අවධානය’ ඔබේ ඉලක්කය ලෙස තෝරා ගත්තේ නම් එය ඉටු කර ගැනීම ඔබේ එකම අරමුණ විය යුතුය. ඒ සඳහා කොයිතරම් කාලයක් ගත වූවත් ඒ ගැන කම්පා නොවන්න. එම අවධියට කෙසේ හෝ ඔබ ළඟා විය යුතුය. මේ මොහොතේ අවධානය රැක ගැනීමෙහි ඇති වටිනාකම තේරුම් ගැනීමෙන්, එවෙත ළඟා විය හැකි බවට විශ්වාසයක් ඇති කර ගැනීමෙන් හා ඒ සඳහා නොපසුබට උත්සාහයක් ඇති කර ගැනීමෙන්, එය ළඟා කර ගත හැකිය යන විශ්වාසය ගොඩනගා ගත් විට ඔබට එම අවධානය පවත්වා ගෙන ගිය හැකිය. එය සාර්ථක වන්නේ එවිටය.

“මේ මොහොතෙහි නිහඬ අවධානය” නොහොත් දෙවෙනි අදියර හා සෙසු අදියරයන් ගැනද එයම පැවසිය හැකිය. විශ්වාසයත්, අධිෂ්ඨානයත් එක් තැන්වූ විට දෙවෙනි අදියර සඳහා අවශ්‍ය නිහඬතාවය ඔබ තුළ ගොඩනැගෙනු ඇත. එය සිදු වන්නේය. සැක නොසිතන්න. මීට පෙර කොතෙක් වාර ඔබ ජයගෙන ඇද්ද, තවත් කොපමණ වාර ඔබ පරාජයවී ඇද්ද යනු නොවැදගත්ය. විශ්වාසය තුළින් ඔබට ජය ගත හැකිය. බුදුරජාණන් වහන්සේ එසේ පවසා සිටින සේක. අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන් වහන්සේද පවසන්නේ එයයි. සෙසු භික්ෂූන් වහන්සේලාගේ මතයත් එයමය. එය සිදුවන්නේය. ඔබ කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය කාලය ලබා දීම පමණය.

උදාහරණයක් ලෙස හුස්ම පිළිබඳ අවධානය ගැන සිතන්න. හුස්ම පිළිබඳ සම්පූර්ණ අවධානය තුළින් ඔබ සමාධි නිමිත්ත හා ධ්‍යාන වෙත පිවිසෙන්නේය. එගැන විශ්වාසයක් ඇති කර ගන්න යයි මා පවසන්නේ එවන් විශ්වාසයක් නොමැතිව එය ඉටු කර ගැනීමට අපහසු බැවින්ය. අරමුණ වෙත දැඩි විශ්වාසයක් පවත්වා ගනිමින් අවධානය එවෙතටම යොමු කරන්න. නොනැවතී ඉදිරියටම යන්න. කිව නොහැක්කේ එය සිදුවීමට කොතෙක් කල් ගතවේද යන්න පමණක්ය. අරමුණ වෙත අවධානය පවත්වා ගෙන යාමෙහි ඇති වැදගත් කම රැඳී ඇත්තේ එතැනය. මන්දෝත්සාහය නිසා අදහස අත්හැර දැමීමෙන් සැකය මතුවී ඔබ මෙසේ සිතන්නට පිළිවන: “ඒව ඇත්ත වෙන්න පුළුවනි. නමුත් මට නම් බෑ ධ්‍යාන ලබාගන්න. ඒ සුදුසු කම් ඇත්තේ ස්වාමීන් වහන්සේලාට විතරක් වෙන්නැති. ඒකට පහුගිය ජීවිතයේ බ්‍රහ්ම ලෝකයකවත් ඉපදිල තියෙන්න ඕනෙ. මම වගේ අය මේ ලෝකෙට එන්න ඇත්තේ සත්ව ලෝකෙ ඉඳල. එහෙමත් නැත්නම් ඊටත් වඩා පහළ ලෝකයක ඉඳල වෙන්නැති. නෑ,නෑ, මං වගේ අයට මේව කරන්න බැරි දේවල්” මෙයාකාර සිතිවිලි උපදින්නේ ආත්මවිශ්වාසයෙහි ඇති දුබලකම හේතු කොට ගෙනය. එයාකාර සිතිවිලි මගින් පිබිදීම ඇති කර ගැනීම හා විශ්වාසය ගොඩනගා ගැනීම අඩපණ කර දමන්නේය.

දෙවෙනි ආධ්‍යාත්මික ආයතනය (වීරිය) සහ දෙවෙනි බල වඩන මග (වීරිය සමාධි)

දෙවෙනි ආධ්‍යාත්මික ආයතනය වීර්යය නගා සිටුවීමය. එම වීර්යය නියමිත ඉලක්කය වෙත පවත්වා ගෙන සිටීම දෙවෙනි බල වඩන මාර්ගයයි. ඉලක්කය වටා ඒවා එක්වන්නේ මෙතැනදී ඒ ආකාරයෙන්ය. ඉලක්කය අරමුණ කර ගැනීමෙන් පසු “එය මට ඉටු කර ගත හැකිය” යන දැඩි විශ්වාසය ඇති කර ගැනීමෙන් වීර්යය උද්දීපනය වේ. එය කළ නොහැකි දෙයක් ලෙස හෝ ඵලප්‍රයෝජනවත් දෙයක් ලෙස විශ්වාසයක් හෝ පිළිගැනීමක් නොමැති නම්  වීර්යය අතුරුදහන්වී යන්නේ ඇස්පනා පිටය. ඔබ අධෛර්යමත් වන්නේය. අධෛර්යට පත්වූ විට උත්සාහයක් ඇති කර ගැනීමට තරම්වත් ශක්තියක් ඔබට ඇති නොවේ. වීර්යය සිදී ගොස්ය. දකින සෑම දෙයකම පෙනෙන්නේ අප්‍රසන්න ස්වභාවයක්ය. මූලික වශයෙන් ඔබ දැන් කුසීතයෙකු බවට පත්වී ඇත.

බලවඩන පළමු මග වන වීර්යය වැඩීම සඳහා සුදුසු අරමුණක් තෝරා ගැනීමෙන් පසු එය තමන්ට කළ හැකි බව සිතට ගන්න. භාවනාවෙහි අගයක්, බලාපොරොත්තුවක්, අරමුණක් හා යා යුතු මගක් නැති කල වීර්යය වැඩීම ඉතාමත් අපහසුය. එහි යෙදෙන්නේ මන්දැයි කියා වැටහීමක් නැති නම් ඔබ කරන දෙයෙහි ඇති පරමාර්ථය කුමක්ද? නිදා ගත්තා නම් ඊට වඩා හොඳ නැද්ද? නැති නම් කොතැනකට හෝ වී රවුමට කැරකෙන්න. පැහැදිලි අරමුණක් හා නිශ්චිත ඉලක්කයක් ඇති කර ගැනීමෙන් පසු එතැනට ළඟා විය හැකිය යන විශ්වාසය ගොඩනගා ගත් විට වීර්යය වැඩෙන්නේ පුදුමාකාර අන්දමින්ය. ඉලක්කය වෙත අවධානය යොමු වන්නේ නිරුත්සාහයෙන්මය.  වීර්යය ජනිත වීමට පාදක වන්නේ තමා ඇති කර ගන්නාවූ ඉලක්කයයි. ඉලක්ක කර ගැනීමට කිසිවක් නැති නම්, කළ යුත්තේ කුමක්දැයි කියා හරි අවබෝධයක් නැති නම්, ඉටු කර ගත යුතු දේ මේ යයි හැඟීමක් මතු නොවන්නේ නම්, උදාසීනත්වය හා ඈලි මෑලි ගතිය මතු වීමෙන් ඊළඟ භාවනා වාරය බිඳ වැටෙන බව කිව මනාද? ප්‍රබෝධමත් බවක් ඇති කිරීමට සුදුසු යමක් පදනම් කර නොගන්නේ නම්, තිරසාර යමක් භාවනාවෙන් සිදුවේයයි කියා බලාපොරොත්තුවක් ඇති කර ගත නොහැකිය.

අසහනයේ අන්තයටම ඇද වැටීම නිසා සිය දිවි හානි කර ගැනීමට පවා සිත් දෙන තරමට ඇතැම් අයගේ මනස විපරීත බවට පත්වන්නේ ඔවුන්ගේ අභිප්‍රායන් සියල්ලක්ම වියලී යාම හේතු කොට ගෙනය. තවදුරටත් ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අරමූණක් සොයා ගැනීමට පවා ඔවුන් අපොහොසත්ය. ඔවුන් උදෑසණ අවදිවන්නේ කුමක් සඳහාද? කළ යුතු දෙයක් කියා කිසිවක්ම නැත. ඒ අතර, එය දිව්‍යමය සතුටක් ලෙස සලකන පුද්ගලයෝද අප අතර ඇත්තාහ. “අද කරන්න කිසිම දෙයක් නැහැ. නියමයි! කළ යුතු දේකුත් නැහැ. වගකීමකුත් නැහැ. බලාපොරොත්තුවක් කියල දේකුත් නැහැ. මට ඔහේ නිකන් ඉන්න පුළුවන්.” නමුත් ජීවිතය ඒ අයුරින් සලකන අයගේ ඒ අති මහත් ප්‍රමෝදය, අන්තිමට කෙළවර වන්නේ ඈලි මෑලි ගතියෙන් පෙළෙන දුබලයෙකුගේ තත්ත්වයට ඔවුන් පත් කරමින්ය.

 නමුත් අරමුණක් ඇති විට උදාවන්නේ වීර්යයයි. අරමුණක් ඇති කර ගැනීමත් ඒ මත විශ්වාසයක් ඇති කර ගැනීමත් යන දෙක එක්තැන් වූ විට උණුසුමක් ඇති වන්නේ, ගිනි ගොඩක් අවුළුවා ගැනීම සඳහා ඉන්ධනත්, ගිනිකූරත් එකට එක් වන්නා සේය. හොඳ අරමුණක් ඇතිව, එය කෙසේ හෝ ඉටු කර ගනිමි යන අදිටනෙහි සිත පිහිටුවා ගත් විට වීර්යය වර්ධනය වීම සිදුවන්නේය. ආරම්භයේදීම එවන්  වීර්යයක් හඳුනා ගැනීමට නොහැකි වූවත් ඔබ මෙසේ සිතිය යුතුය: “මම ඉදිරියටම යන්නෙමි. මම මෙය කෙසේ හෝ ඉටු කර ගන්නෙමි. කොතරම් කාලයක් ඒ සඳහා ගත වූවත් මට කම් නැත.” වඩවඩාත් ශක්තිමත් වෙමින් වීර්යය වර්ධනය වන ආකාරය ඔබට දැකගන්නට ලැබෙන්නේ එවිටය. එය කොතැනක සිට මතුවන්නේ දැයි කියා සිතා ගැනීමටත් බැරිව, ඔබ මවිතයට පත්වනු ඇත. ඇත්තටම මෙය සිදුවන්නේ කෙසේද? බොහෝ විට ඒ ගැන හැඟීමක් ඇති කර ගැනීමට පවා ඔබට අසීරු වනු ඇත. දවස මුළුල්ලේම බොහෝ වෙහෙස මහන්සිවී වැඩපල වල නිරතවී සිටියත් සමහර විට මුළු රැයම වූවත් භාවනාවේ යෙදී සිටීමට ඔබට පුළුවන. කිව නොහැකි තරමට ඔබ විඩාවට පත්වී සිටින අවස්ථාවකදී පවා පැහැදිලි ඉලක්කයක් ඇතිව භාවනාවෙහි යෙදෙන්නේ නම් මුළු ලොව සතු වීර්යය ඔබ වෙත ගලා එන්නේය.

භික්ෂු ජීවිතයේ මුල් වසරේදී මට පසුව මහණකම ලබා ගත් භික්ෂූන් වහන්සේලා කීප නමක් සිවුරු පඬු පෙවීම සඳහා දිනක් මුළු රැයම නොනිදා එම කටයුතුවල යෙදුනා මට මතකය. පැය විසිහතරක කාලයක් නිදිවරා ගෙන සිටි ඒ අයට තවත් එක් රැයක් ඒ කටයුතු නිම කර ගැනීම සඳහා නිදි වර්ජිතව සිටීමට සිදුවී තිබිණ. බොහෝ කටයුතුවල යෙදීමෙන් එදින මා බොහෝ වෙහෙසට පත්වී සිටියත් ඔවුන් අමතා මම මෙසේ පැවසීමි. “ඊයේ මුළු රෑම නිදිමරලා නේද ඉන්නේ? යන්න ගිහින් ඔක්කොම නිදා ගන්න. මම පඬු හැළිය බලා ගන්නම්.” එදා මුළු රැයම, මම තනිවම සිවුරු පඬු පෙවීම සඳහා අවශ්‍ය කරන එම පඬු හැළිය බලා ගත්තෙමි. “දැන්, උදේ තුනට භාවනාවට ගියාම පුදුම නිදි මතක් දැනේවි.” එළිවෙන යාමයේ මට එවැනි සිතක් පහළ වූවත් සම්පූර්ණ අවදියෙන් එදින මම භාවනාවෙහි යෙදුනෙමි. හොඳින් නිදාගත් දවසකටත් වඩා බලවත් වීර්යයක් එදින උදෑසණ භාවනාවේදී මට ඇති විය. එකළ ආරණ්‍යාධිපතිව සිටි අජාන් සුමේධො ස්වාමීන් වහන්සේගෙන් මම ඒගැන විමසා සිටියෙමි. “ඇයි මට නිදිමතක් නොදැනුනේ? මුළු රෑම නිදිමැරුවත් වෙනදටත් වඩා හොඳ උද්යෝගයක්,වීර්යයක් මට දැනුනේ ඇයි?” උන්වහන්සේ මට එතැනදී විස්තර කර දුන්නේ මනස හැසිරෙන ආකාරය පිළිබඳවය. යම්කිසි අරමුණක් ඇති කර ගත් විට, වීර්යය උපදවා ගැනීම සඳහා යමක් තමන් වෙත ඇති බව උන්වහන්සේ මට පෙන්වා දුන්නේය. වීර්යය ඇති කර ගන්නේ තමන්මය. ඔබ වීර්යය උපදවා ගන්නා ආකාරය දනී නම් එය ගලා එන්නේ නොසිඳෙන උල්පතකින් ජලය ගලා එන්නාක් මෙන්ය.

මානසික වීර්යය හා කායික වීර්යය එකිනෙකට වෙනස්ය

යම්කිසි අරමුණක් ඇති කර ගෙන මානසික වීර්යය වැඩීම ආරම්භ කරන්න. මම මෙතැනදී කතා කරන්නේ ප්‍රමාණය සීමිත වූ කායික වීර්යය ගැන නොව අරමුණක් ඇතිව වඩන්නාවූ මානසික වීර්යය ගැනය. එවන් වීර්යය ඇති පුද්ගලයෝ ඔබ බොහෝ විට දැක ඇත. කළ යුතු යමක් ඇති විට නොපසුබටව එහි නිරත වන පුද්ගලයෝ එම ගණයට අයත් වෙති. එම කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔවුන් තුළ ඇති කැපවීමත් ඒ සඳහා මනස එකළස් කර ගනිමින් ඔවුන් යොදන වීර්යයත් ඔබ දැක ඇතිවාට සැකයක් නැත. ඔවුන් විඩාවට පත් නොවන පුද්ගල විශේෂයක් යයි විටෙක ඔබට සිතෙනු ඇත. අප තුළ නැති යම්කිසි සුවිශේෂ ගුණාංගයක් ඔවුන් තුළ පිහිටා ඇත්තේදැයි විටෙක සාධාරණ සැකයක් පහළ වීමටද ඉඩ ඇත. ඔබ කුසීතව බලා සිටිද්දී ඔවුන්ට ඉදිරියටම, ඉදිරියටම යාමට දිරිය ලැබෙන්නේ කොහෙන්ද? ඒ මන්ද? වෙර වැඩීමට ඔවුන් හැකියාව ඇති කර ගන්නේ යමක් කරන විට පැහැදිලි අරමූණක් හා ස්ථිර අධිෂ්ඨානයක් පෙරදැරි කර ගැනීමෙන්ය.

ඔබේ අරමුණ ධ්‍යාන ලබා ගැනීමට නම් එම අදහස පැහැදිලිව මනසේ කාවද්දා ගෙන ඉදිරියටම යන්න. මන්දෝත්සාහී බවත් කළකිරීමත් ඇති කර ගන්නේ නැතිව සැබෑ විශ්වාසයකින් සහ තිර අධිෂ්ඨානයකින් යුතුව භාවනාවෙහි යෙදෙන්නේ නම් වීර්යය දිගින් දිගටම, දිගින් දිගටම වැඩෙන බව ඔබට ප්‍රත්‍යක්ෂ වනු ඇත. ඔබට හැඟෙන්නේ මුළු ලොවම ඇති ශක්තිය ඔබ තුළ ඇත්තා සේය. එය පුදුම සහගතය! උදාහරණයක් ලෙස ගතහොත්, තමන් සහභාගී වූ භාවනා මුළුවක් ආරම්භයේදී සමහර විට මනසෙහි උදාසීන ගතියක් ඔබට දැනනේ නම් ඊට හේතුව වන්නේ ගෘහස්ථ ජීවිතය හා සබැඳුනු පරිසරයක සිට ඊට හාත්පසින්ම වෙස්වූ හුදකලා ආරණ්‍යගත පරිසරයකට මාරුවීමය. මුලදී දැනෙන මෙම උදිසීනත්වය තරමක් බලගතුය. නමුත් අරමුණෙහි පිහිටා ඔබේ කැපවීම පවත්වා ගෙන යමින් “මම සිත එකළස් කර ගන්නෙමි. නොනැවතී ඉදිරියටම යන්නෙමි” යනුවෙන් සිත ධෛර්යමත් කර ගත් විට වීර්යය වර්ධනය වෙමින් ඔබ ඉදිරියට ඇදී යන්නේ නොදැනුවත්වමය. ඔබේ අභ්‍යන්තර ශක්තියෙහි වර්ධනය හා මනසෙහි පැහැදිලි තියුණු ස්ථාවර බව ඔබට පැහැදිලි වන්නේ භාවනා මුළුව අවසානය කරා ළඟාවන විටදීය. ඒවා තමා වෙත ළඟා වූයේ කොතැනක සිටද? පැහැදිලි අරමුණක් ඇති කර ගැනීම හේතු කොට ගෙන මෙම වීර්යය නොකඩවා වර්ධනය කර ගැනීමට ඔබ සමත් විය.

වීර්යය විනෝදය ඇති කරයි

වීර්යය ගෙන දෙන්නේ විනෝදයක්ය. මේ බලවත් මානසික ශක්තිය මනස පුබුදුවාලයි. ඔබේ ජීවිතය පණ ගන්වා මනස මොළොක් බවට පත් කිරීමට එයට හැකියාවක් ඇත. මනස හකුළුවා එය දරදඬු  කරන්නේ මනසේ උදාසීනත්වයයි. වීර්යය ඔබේ මනස පණ ගන්වා එයට බලයත්, සැනසීමත් ලබා දෙන්නේය. මූලික වශයෙන් අසහනයත්, කළකිරීමත් ඇති කරන්නේ මනසේ උදිසීනත්වයයි. ප්‍රීතිමත් මනස හැමවිටම වීර්යය සම්පන්නය. එම නිසා ප්‍රීතියත්, වීර්යයත් මනසෙහි මතුවන්නේ එක විටය. ඇත්තවශයෙන්ම මනසෙහි ප්‍රීතිමත් අවධීන් ලෙස අප සළකන්නේ මනස වීර්යෙන් ඔඳ ගැන්වී ඇති අවධීන්ය. එය ශරීරය පදනම් කර ගත් වීර්යයක් නොවේ.

ඔබේ ශාරීරික දුබලතා, ලෙඩරෝග හෝ වයස මානසික වීර්යය මත කිසිදු බලපෑමක් ඇති නොකරයි. එය ශරීරයේ පැවැත්ම මත රඳා නොපවතින්නක්ය. මා මෙසේ පවසන්නේ එය මගේ ඔළුවට ගලා එන තවත් එක අදහසක් ලෙස නොවේ. තායිලන්තයේ ඌබොන් ප්‍රාන්තයේ ගම්බද රෝහලක ටයිෆස් උණෙන් පෙළෙමින් සිටියදී සිදුවූ සිද්ධිය මීට උදාහරණ කොට දැක්විය හැකිය. මා සිටියේ ඉතා අසාධ්‍ය තත්ත්වයකය. එතැන සිටියදී මා විඳි කටුක වේඳනා සිහිපත් වන විට දැනිදු මගේ ඇඟ කිලිපොලා යන්නේය. දුප්පත් ආසියාතික රටක නොදියුණු රෝහලක මා ගත කළ මුල්ම අවස්ථාව එය විය. මා එම වාට්ටුවේ සිටි අනිකුත් සංඝයා වහන්සේලා අතරේ ඇඳේ වැතිර සිටියේ මරණාසන්න හැඟීමකින් යුතුවය. සවස හයට පමණ වාට්ටුව බාරව සිටි පිරිමි සාත්තුකාරයා වැඩ අවසන් කර පිටවී ගිය විට මා බලා සිටියේ රෑ රාජකාරි කටයුතු සඳහා පැමිණෙන සාත්තුකාරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන්ය. ටිකෙන් ටික වෙලාව ගතවී හවස හත ඉක්මවා ගොස් තිබූවත් කිසිවෙකු පැමිණෙන බවක් පෙණෙන්නට නොවීය.

ටික වේලාවකට පසු මට අසන්නට ලැබුණේ රාත්‍රි කාලයේදී වාට්ටුව බලා ගැනීමට කිසිවක් නොපැමිණෙන බවය. සාත්තුකාරයෙකු යොදවා තිබුණේ දවල් කාලයේදී ලෙඩුන් බලා ගැනීම සඳහා පමණක්ය. රෑට ලෙඩුන්ට ඇතිවන අපහසුතා වලට හෝ ලෙඩුන්ට පිහිට වීමට කිසිවෙකු එහි නොවීය. මෙයින් මා කළබලයට පත්ව සිටිනු දුටු අසල ඇඳක හුන් ස්වාමීන් වහන්සේ නමක් “රෑට මොනව හරි අමාරුවක් වෙලා වැඩේ වැරදුනොත් ඒ ඉතින් තමන්ගේ කරුමෙ තමයි” යනුවෙන් ධර්මාවවාදයක් දුන්නේ මා සනසනු අටියෙන්ය.

“අනේ මට ගෙදර යන්න ඕනෙ” ආදී වශයෙන් සිතිවිලි මනසට ගලා එනන්ට විය. වැසිකිළියට යාමට අවශ්‍යතාවයක් ඇති බව අඟවන සිතිවිල්ලක්ද ඒ අතර විය. වාට්ටුව ලෙඩුන්ගෙන් පිරී තිබුණත් අසාධ්‍ය ලෙඩුන්ගේ එවැනි අපහසුතාවයන් සඳහාවත් එවැනි පහසුකම්වත් සලසා නොතිබිණි. ඇඳන් අතර පරතරය අඩියකට දෙකකට වඩා නොවීය. වැසිකිළියට යාම සඳහා මගේ ඇඳ අල්ලාගෙන යන්තමින් නැගිට ගෙන ඇඳන්වල විට්ටම් අල්ලා ගෙන එතැනට ඇඳෙන්නට මහත් වෑයමක් දරන්නට මට සිදු වූයේ දෙපයේ කිසිම වාරුවක් නොතිබුණ නිසාය. උණෙන් පෙළෙන ශරීරය සහමුලින්ම අඩපණව ගොස්ය. තවත් ඇඳක් ළඟට ඇදී ගත්තද එතැන තව විනාඩි කීපයක් රැඳී සිටීමට මට සිදු වූයේ ඊළඟ ඇඳ ළඟට යාම සඳහා පණ උපදින තෙක්ය. ගතේ දුබලතාවය එබඳු විය. මෙය අතිශෝක්තියක් නොවේ. වාට්ටුව කෙළවරේ පිහිටා තිබූ වැසිකිළියට යාමට මා පණ උපදවා ගත්තේ ඒ ආකාරයෙන්ය. ආපසු ගමනට අවශ්‍ය පණ උපදින තෙක් පැයකට ආසන්න කාලයක් එතැන ගත කිරීමට මට සිදු විය. එදින ඇත්තටම මට හැඟුණේ වැසිකිළියට යාමට වඩා හිමාල කඳු මුදුනට යාම වඩා පහසු විය හැකි බවය. කෙනෙකුගේ උදව්වක් හෝ ඇඳකට වාරු වීමක් නොමැතිව දෙපයින් නැගී සිටීමටවත් නොහැකි තරමට ශරීර ශක්තිය සහමුලින්ම පිරිහී තිබුණු අවධිය, මා විස්තර කළේ ටයිෆස් වැනි උණකින් පෙළෙන විට ඇතිවන ශාරීරික දුබලතාවය කෙබඳුදැයි පෙන්වා දීම සඳහාය.

සීමාවේ දොරටු විවෘත කර ගනිමින් සිහිනයකින්වත් නොසිතිය හැකි දේවල් කළ හැකිදැයි පරීක්ෂා කර බැලීමට කුතුහළයක් අන් හැමවිටකදීම මෙන්ම මේ වතාවරණයේදීද මා සිතෙහි මතු විය. මාගේ කායික ශක්තිය අන්තයටම පිරිහී තිබුණත් භාවනාවේ ඉතා ගැඹුරට යාමට මනසට හැකියාවක් ඇති බව මම එදින අවබෝධ කර ගත්තෙමි. භාවනාවේ ඉතා ගැඹුරු මානසික අවධීන්ට එළඹීම සඳහා ශාරීරික වීර්යය කිසිසේත්ම අවශ්‍ය නොවන බව මට එයින් තහවුරු විය. ඒවා සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මානසික වීර්යය මතය. ඒ සඳහා අවශ්‍ය වන්නේ තමාගේ කැපවීම, නැඟීසිටින වීර්යය හා එය කළ හැකි බවට තමා ඇති කර ගන්නා ආත්මවිශ්වාසයයි. ඔබත් උත්සාහ ගෙන බලන්න. පණකඳක් නැත්තෙකු සේ ශාරීරිකව ඔබ කෙතරම් දුබලව සිටියත්, ගැඹුරු ධ්‍යානයන්ට සමවැදීමට ඇත්තටම ඔබට අවශ්‍යතාවයක් ඇත්නම්, ඒ සඳහා ඔබ කාහටත් ඇත්තේ එක හා සමාන හැකියාවක්ය. මානසික බලය එයාකාරය.

දෙවෙනි ආධ්‍යාත්මික ආයතනය (වීරිය) සහ දෙවෙනි බල වඩන මග (වීරිය සමාධි) සාරාංශය

දෙවෙනි ඉන්ද්‍රියත්,දෙවෙනි ඉද්ධිපාදයත් ලබා දෙන්නේ වීර්යයි. නමුත් මෙය නොකඩවා පවත්වා ගත යුතු වීර්යයක් බව අමතක නොකරන්න. ඕනෑම කටයුත්තක් ආරම්භයේදී ඒ සඳහා සැලකිය යුතු වීර්යයක් යෙදීමට කෙනෙකුට හැකි වූවත්, කළකිරීමෙන් හා විශ්වාසයේ දුබල කමින් එය අතර මැද දමාගසා යාම බොහෝ විට අප අතර දක්නට ලැබෙන එක් දුබලතාවයක්ය. වීර්යය යෙදීම අතර මග නතර කිරීමෙන් සිදු වන්නේ සෑම දෙයක්ම කැඩී, බිඳී, විසිරී යාමය. අවසානයේදී ඔබ අත් කර ගන්නා දෙයක් නැත. නොකඩවා වීර්යය පවත්වා ගන්නේ නම් ඉදිරියට යාම, ඉදිරියටම යාම සිදු වන්නේ නිතැතින්මය. ඔබේ මනස දීප්තිමත්ය. ඔබ අවදිමත්ය. ඔබ විමසිලිමත්ය. ඔබ ප්‍රීතිමත්ය. වීර්යයේ බලවත්කම නිසා මනස ප්‍රමෝදයෙන් ඉපිල යන්නේය.

තායිලන්තයේ සමහරක් ආරණ්‍යගත ස්වාමීන් වහන්සේලා පවසන්නේ “හොඳ සැර කෝපි කෝප්පයක් බීමෙන් ජීවිතයට අළුත් පණක්” ලැබෙන බවය. හහ්! හහ්! හා! එහි යම්කිසි සත්‍යතාවයක් ඇත. කෝපි කෝපිපයක් බීවාට පසු ඔබට එවැනි අමුත්තක් දැනෙන්නේ ගතට ශක්තිය ලැබීමෙන් ඈලි මෑලි දුබල ගතිය පහව යන නිසාය. එය පවතින්නේ සුළු වෙලාවකට පමණක්ය. ඒ පිටතින් ශක්තිය වඩා ගන්නා ක්‍රමයක්ය. නමුත් මා මෙතැනදී විස්තර කර දුන්නේ නියම වීර්යය ඇතුළතින් දියුණු කර ගන්නා ආකාරයක්ය. ඒ ආකාරයෙන් කටයුතු කළ විට මනසෙහි උපදින්නේ ඉතා ශක්තිමත් බලවේගයක්ය.

තුන්වෙනි හා හතරවෙනි ආධ්‍යාත්මික ආයතන (සති, සමාධි) සහ තුන්වෙනි බල වඩන මග (චිත්ත සමාධි)

තුන්වෙනි ආධ්‍යාත්මික ආයතනය සති නොහොත් සිහිකල්පනාවය. හතරවෙනි ආධ්‍යාත්මික ආයතනය සමාධි නොහොත් නොකඩවා පවත්වා ගන්නාවූ අවධානයයි. තුන්වෙනි බල වඩන මග චිත්ත සමාධි නොහොත් අභිමථාර්ථය වෙත යොමු කර ගත් සිතය. ඉහත පෙන්වා දුන් වීර්යය පදනම කර ගනිමින්, එය බලාපොරොත්තු වන්නාවූ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා ආධාර කර ගන්නේ කෙසේදැයි පෙන්වා දීමේ පහසුව සලකා සති, සමාධි හා චිත්ත සමාධි යන මේ සියල්ලම මා මෙම මාතෘකාව යටතේ සැලකිල්ලට භාජනය කරමි.

සිහිකල්පනාව (සති – තුන්වෙනි ආධ්‍යාත්මික ආයතනය)

සතිය හෙවත් සිහිකල්පනාව භාවනා මගෙහි ඉතා වැදගත් ස්ථානයක් හිමි කර ගන්නා අතර එය අන් තැනක සැකවින් පැහැදිලි කර දී ඇත (‘බුදුදහමෙහි හදවත භාවනාවයි’ හා ‘ධ්‍යාන භාවනා’ ප්‍රකාශන). ඒ කෙසේ වූවත් සිහිකල්පනාව ආධ්‍යාත්මික ආයතන හා සම්බන්ධවී ඇති ආකාරය හා එය බල වඩන මගෙහි ගැබ්වී ඇති ආකාරය ගැන සුළු පැහැදිලි කිරීමක් මෙහි ඇතුළත් කිරීමට මම අදහස් කරමි.

සිහිකල්පනාවේ අංගයක්වූ සුපරීක්ෂාකාරී බව ඇති කර ගැනීම සඳහා වීර්යය පිටුවහළක් වන්නේය. ඔබ අලසකමින් හා නිදිමත ගතියෙන් පෙළෙමින් මනසින් ඉතා සුළු ශක්ති ප්‍රමාණයක් පමණක් යොදන විට සිහිකල්පනාව දුර්වලය. ශක්තියෙන් පිරිහුනු බැටරි සහිත විදුලි පන්දමක් අතැතිව රාත්‍රි කාලයේදී වනාන්තරයෙහි ඇවිද ගෙන යාම හා මෙය සමකළ හැකිය. ඔබට යන්තමින් ඉදිරියෙහි ඇති දේවල්වල හැඩරූ හඳුනා ගැනීමට හැකි වූවද අවශ්‍ය පමණ පැහැදිලි කමකින් ඒවා නොදකින නිසා ගල්මුල්වල හැපෙන්නටත් පයපැකිලී වැටෙන්නටත් ඉඩකඩ ඇත. ඔබට තුවාල සිදු විය හැකිය. නමුත් ඔබ බලශක්තිය උපදවා ගෙන ඇත්තේ නම්, දෙවෙනි හා හතරවෙනි ආධ්‍යාත්මික ආයතන වන සතියත්, සමාධියත් දෙවෙනි බල වඩන මග වන චිත්ත සමාධියත් වඩාගෙන ඇත්තේ නම්, ඔබ වනාන්තරය මැදින් ඇවිදගෙන යන්නේ නවීන පන්නයේ සුපිරි අන්දමින් බලගැන්වූ පිරික්සුම් එළියක් අතැතිවය. දැන් ඔබට ඉතා පැහැදිලිව, විස්තරාත්මකව ඉදිරියෙහි ඇති දේවල් පෙනෙන නිසා අපහසුතාවයකින් තොරව ඔබට අවශ්‍යවූ තැනට නිරුද්පද්‍රිතව යා හැකිය. බාධක මගහැර යාමටත්, සිදුවන දේවල් පැහැදිලිව දැකීමටත් හැකි වන්නේ බලශක්තියෙන් ඔඳගැන්වුනු මනසකටය.

සිහිකල්පනාවේ අනෙක් අංගය වන්නේ “උපදෙස් මතක තබා ගැනීමය.” මෙය බලගැන්වෙන්නේ පළමුවෙනි බල වඩන මග වන ඡන්ද සමාධිය, “තෝරාගත් ඉලක්කය වෙත පවත්වා ගන්නාවූ දිරිය” මගින්ය. “සති නමැති දොරටුපාලයාගේ” කාර්යභාරය ඉටු කරන සිහිකල්පනාවට ඉතා නිවැරදි උපදෙස් දීමට හැකිවන්නේ, ඔබේ භාවනාව සඳහා පැහැදිලි ඉලක්කයක් හා ස්ථිර අරමුණක් ඇතිව දිරි වඩන්නේ නම් පමණක්ය. බොහෝ විට, “සති නමැති දොරටුපාලයාට” ඔබ අපහැදිලි උපදෙස් දීම නිසා භාවනාවෙන් නිසි ඵල ලබා ගැනීමට නොහැකි වනු ඇත.

සිහිබුද්ධියෙන් යුතු, යම් පමණකට සාමකාමී බවට පත්වූ, මොනයම් අන්දමේ සිතිවිල්ලක්වත් මනසෙහි නූපදින එක්තරා අවධියකට, භාවනාවේදී ඔබ එළඹීමට ඉඩ ඇත. ඔබට තවමත් පිටත ඇති ශබ්ද ඇසෙන්නේය, ඔබට ශරීරය පිළිබඳ හැඟීම් ඇතිවන්නේය, විටින්විට සිතිවිලි පවා ඔබ දැනහිඳිනා වපසරියෙහි මතුවන්නේය, එනමුත් ඒවා ඔබේ සාමයට බාධා කරන ආකාරයෙන් වැඩි වේලාවක් රැඳෙන්නේ නැත. භාවනා කරද්දී කිසිවකට දැන් පෙරපරිදි ඔබ “ඇලීමක්” ඇති කර ගන්නේ නැත. මගේ මහණ ජීවිතයේ මුල් කාලයේදී, නිතරම වාගේ මෙම අවධිය උදා කර ගැනීමට මට හැකිවූයේ, “මට කිසිවක් උවමනා නැත” හෝ “තියෙන හැටියට තියෙද්දෙන්” යන ආකාරයට මනසින් මැතිරීමෙන්ය. මැනෙවින් ප්‍රසන්නවූ මෙම අවධියෙහි පැයක්, දෙකක් පහසුවෙන් රැඳී සිටීමට මට හැකි විය. ඒ කෙසේ වෙතත්, එතැන බලගතු කමක්, ප්‍රීති ප්‍රමෝධයක් හෝ අවිද්‍යාව කපා හැරදැමීමට සමත්වන අන්දමේ මනසෙහි තියුණු බවක් නැති බව මම පසුවදී වටහා ගත්තෙමි. මූලිකවම, මට පැහැදිලි අභිප්‍රායක් නොතිබුණ බැවින් මගේ දොරටුපාලයාට, අවශ්‍ය පමණට මම උපදෙස් දී තිබුණේ නැත.

මම ඒ අවධිය හඳුන්වන්නේ “අලස භික්ෂුවගේ භාවනාව” යනුවෙන්ය. ඒ අඩක් සාමකාමී බවට පත්වූ තවමත් විවිධත්වයෙහි නියැලුනු මනසක්ය. එය දුර්වලය. එය බලවත් විය යුතුය, ඒකීය බවට පත්විය යුතුය, ඒකාග්‍රතාවයට පත්විය යුතුය. හිරු ප්‍රභේදයකින් තොරව සෑම දෙනෙකු මතම පතිත වෙමින්, තේරීමක් නැතිව සැවොම උණුසුම් කරන ආකාරය මෙයට කදිම නිදසුනක්ය. ඒ ආකාරයටම, මෙම අවධියට සැපත්වූ විට මනසේ පරිශ්‍රයට පැමිණෙන සෑම දෙයක්ම ප්‍රභේදයකින් තොරව එය පිළිගනී. බලවත් සැනසීමක්, සාමයක් එතැන ඇත. නමුත් සතත්‍යාවබෝධ කර ගැනීමේ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

අවධානය පවත්වා ගැනීම (හතරවෙනි ආධ්‍යාත්මික ආයතනය හා තෙවෙනි බල වඩන මග)

හිරු එළිය පිළිබඳව දක්වන ලද උදාහරණය නැවතත් සිහියට ගන්න. එම හිරු රැස් ඉදිරියේ කාචයක් නොසොල්වා අල්ලා ගෙන එම කිරණ එක තැනකට යොමු වීමට ඉඩ සැලසුවහොත් එමගින් එතැන දවාලීමට හෝ ගින්නක් ඉපදවීමට තරම් බල ශක්තියක් එම කිරණ මගින් ලබා ගත හැකිය. ‘දවාලන’ යන අරුත ‘ධයාන’ යන පාළි වචනයෙහි ගැබ්වී ඇති බව ඔබේ දැනගැනීම සඳහා මෙතැනදී සඳහන් කිරීම වැදගත්ය. එම නිසා මනසෙහි ඇති ශක්තියද සිහිකල්පනාවේ ආධාරයෙන් එක්තැන් කර ගනිමින් කාලයක් පවත්වා ගෙන ගියහොත් එම ශක්තිය බලවත්වී ඔබේ ඇලීම්, බැඳීම් දවාලීමට හැකියාවක් උපදවා ගන්නා බව ඔබ වටහා ගනු ඇත.

මෙය තේරුම් ගැනීමෙන් පසු ‘අලස භික්ෂුවගේ භාවනා’ අවධියෙන් මිදී මගේ භාවනාව වර්ධනය කර ගත්තේ අරමුණ පිළිබඳ පැහැදිලි උපදෙස් ‘සති නැමැති දොරටුපාලයාට’ ලබා දීමෙන්ය. ‘බුදු දහමෙහි හදවත භාවනාවයි’ ප්‍රකාශන වල විස්තර කර දී ඇති අවධීන්ට අනුකූලව හුස්ම වෙත අවධානය යොමු කර ගෙන එය මැනවින් පවත්වා ගෙන යන ආකාරය ගැන මම එහි පැහැදිලි උපදෙස් දී ඇත. විවිධත්වයක් සමග ඈඳී තිබුණු පෙර කී සමාධිය ගෙන දුන් සුවය හා සාමය ගිහිලී යාමෙන්, මුලදී මට තරමක අසහනයක් ඇති වූවත් මම එයින් අධෛර්යට පත් නොවීමි. මේ සමාන අයුරින්, උදේ පාන්දර ඇඳෙන් නැගිටින හැමවිටකදීම, ඇඳෙහි දිග ඇදී වැතිර ගෙන සිටීමෙන් විඳින සුවයත්, සැනසීමත් මා වෙතින් ඉවත්වී යන බව එවිට මට සිහිපත් විය! උදේ පාන්දර අවදිවී තමන්ටම මෙසේ පවසා ගන්නවායයි සිතන්න. “මේ හොඳයි. මෙහෙම හොඳයි. වැඩි යමක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආසාවක් නැහැ.” ඒ අයුරින් ඔබ සිතසිතා සිටියොත් කිසි දිනෙක ඔබ ඇඳෙන් නැගිට පය බිම තබයිද? හුස්මට කිට්ටුවී එවෙතම අවධානය පවත්වා ගෙන යාමෙන් තාවකාලික අසහනයක් මතු වූවත් මගේ වෑයම අත් නොහලෙමි. ඉදිරියටම ගියෙමි. දොරටුපාලයා උපදෙස් පිළිපදිමින් සිය කාර්භාරය සපුරාලද්දී සතරවෙනි අධයාත්මික ආයතනය (සමාධි), තෙවෙනි බල වඩන මගත් (චිත්ත සමාධි) සමග එකට බැඳෙමින් සාමය එක්තැන් කර දී, ක්‍රමයෙන් එය ප්‍රීතියකට පත් කර ලීය. ඉන්පසු එම ප්‍රීතිය පෙරළී ගියේ එකාකාරව පැවතුන අධික ප්‍රමෝදයකටය. දොරටුපාලයාට නිසි උපදෙස් ලබාදුන් බව මට වැටහී ගියේ එතැනදීය. මනසේ පවත්වා ගන්නාවූ අවධානය මගින් සිදු කෙරෙන තවත් වැදගත් කටයුත්තක් වූයේ නිවැරදි භාවනා මගින් ඉවත්වී, අතුරු මගක් ඔස්සේ නොසන්සුන්කම නැමැති මුඬු බිම කරා යාමට මනසට ඉඩ නොදී, ඇතුළත වැඩෙමින් පැවති බලශක්තිය ආරක්ෂා කර දීමය. මනසෙහි බලවත් ශක්තියක් ඇති විට එක් අරමුණක් වෙත අවධානය පවත්වා ගෙන යාම සඳහා නිසි උපදෙස් සිහිකල්පනාවට නොදීමෙන් සිදුවන දෙය සමාන කළ හැක්කේ, සැර කොපි කොප්ප කීපයක්ම එක දිගට බීමෙන් මනස පත්වන තත්ත්වයටමය. හසුරුවා ගත නොහැකි ක්‍රියාශූර බවක් එවිට ගතට ආරූඪ වන්නේය. ඔබට එක තැනක නතරවී සිටිය නොහැකිය. නිදිමත ගතිය සම්පූර්ණයෙන්ම පහව ගොස්ය. තැන්පත් බවක් ඇත්තේම නැත. කෙරෙන කටයුතු වල ඇත්තේ රළුපරොස් බවක්ය. මුදු මොළොක් පැවැත්මක් ඇති කර ගැනීම අපහසුය. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ශක්තියෙන් ඉහවහා ගිය බවක් නොව තමා තුළ ඇති ශක්තිය නිසියාකාරව හසුරුවා ගැනීමට අපොහොසත් බවක්ය. ධ්‍යානය ආස්වාදය විඳීමෙන් පසු මනසෙහි ජනිත වන්නා වූ අසමසම බලවේගය කෙබඳුදැයි ධ්‍යානයන්ට සමවැදී ඇති භික්ෂූන් වහන්සේලා හොඳාකාරව අවබෝධ කර ගෙන ඇත්තාහ. සමහර විට දින කීපයක් ගතවනතුරුත් නිදිමත ගතියක් මතු වන්නේ නැත. කෙටියෙන් පවසනවා නම් මනසට විඩාවක් දැනෙන්නේ නැත. එසේ වූවත් හැමවිටම මනසෙහි පවතින්නේ එක්තැන්වූ බවක්ය. ඉතා බලවත් සාමයක්ය. නමුත් එය කොපි බීම වැනි දෙයකින් ලබාගන්නාවූ අස්වාභාවික ශක්තියට වඩා බොහෝ සෙයින් වෙනස්ය. සිහිකල්පනාවට හරියාකාරව පැහැදිලි උපදෙස් ලබාදීමෙන් ගොඩනගා ගන්නාවූ මනසෙහි නොවිසුරුනු අවධානාත්මක පැවැත්ම, එසේ ජනිත වන්නාවූ බලගතු ශක්තිය, ඵලදායී අයුරින් යොදා ගැනීමට ඉඩකඩ සලසා දෙන්නේය.

අවධානය රැක ගැනීම සඳහා කෙනෙකු වැඩි දියුණු කර ගත යුත්තේ ඉවසීමය. මා මුලදී පෙන්වා දුන් අයුරින් අභිප්‍රායක් ඇති කර ගෙන, එය ඉලක්කය කර ගනිමින් අවධානය පවත්වා ගෙන යද්දී, එය බාධා පමුණු වන්නේ මනසෙහි මතුවන ‘අසහනයයි.’ අසහනය ඇති වීමට මූලික හේතුව වන්නේ නොඉවසිලිමත්කමය. එම නිසා මෙම හතරවෙනි අධ්‍යාත්මික ආයතනයත් (සමාධි) තෙවෙනි බල වඩන මගත් (චිත්ත සමාධි) දියුණු කර ගනිද්දී ඔබේ විශේෂ අවධානය යොමු කළ යුත්තේ ‘පවත්වාගැනීම’ යන වචනයේ අර්ථය හොඳින් තේරුම් ගැනීමටය. නොනැවතී ඉදිරියටම යන්න. ගොඩවී සිටින ‘බස් රථයෙන්’ බිමට නොබසින්න. සමහර විට එය වටරවුමකින් ඔබ රැගෙන යාමට ඉඩ ඇතත්, භාවනාව නැමැති ‘බස්රථය’ ඔබ රැගෙන යන්නේ එකම එක ගමනාන්තයකටය. එය බස්රථයේ ඉදිරියෙහි මැනවින් ප්‍රදර්ශනය කර ඇත. ‘මාර්ග අංක 8 – නිවන මේ ජීවිතයේදීම.’

සිහිකල්පනාව සහ පවත්වා ගන්නාවූ සිහිය අතර ඇති සම්බන්ධතාවය

තුන්වෙනි හා හතරවෙනි අධ්‍යාත්මික ආයතනයත් (සති හා සමාධි) එක්තැන් වූවිට එය තෙවෙනි බල වඩන මගට (චිත්ත සමාධි) නොහොත් අරමුණ වෙත අවධානය රඳවාගෙන සිටීමටම සමාන වන්නේය.

කාර්‍යයක්ෂම කර්මාන්තායතනයක, ‘නියාමකයා’ සිහිකල්පනාවය. ‘කම්කරුවෝ’ එහි ශක්තියයි. නියාමකයා පිටතට ගිය විට කම්කරුවෝ කෙළිදෙලෙන් පසුවෙති! වැඩ මගහැරීමට මානබලන, මහන්සිවී වැඩ නොකරන කම්කරුවන්ගේ නොයෙකුත් කපටිකම් පිළිබඳව, හොඳ සිහිකල්පනාවකින්, සිහිනුවණින් කටයුතු කිරීමට නියාමකයා වගබලා ගත යුතුය. එපමණක්ද නොව කර්මාන්තායතනයේ ‘පරිපාලකයෝ’ නිම කිරීමට අවශ්‍ය ‘භාණ්ඩය’ කෙසේ නිර්මාණය විය යුතුදැයි කියා ‘සති නැමැති නියාමකයාව’ හොඳින් දැනුවත් කළ යුතුය. අරමුණ කුමක්දැයි දැනගෙන එය සිහියේ තබා ගැනීම සිහිකල්පනාවට අයත් කාර්‍යයක්ය. එමගින් ‘සති නැමැති නියාමකයාට’, කළ යුතු කටයුත්ත වෙත යොමු කරන ලද ශක්තිය, එම කටයුත්ත අවසන් වන තුරු අඛණ්ඩව පවත්වාගෙන යාමට පහසුවක් සලසන්නේය. එපමණක්ද නොව නිමකෙරෙන කටයුත්තෙහි ‘පරිපූර්ණත්වය පරිපාලනය කිරීමෙහි’ වැදගත් කාර්‍යයභාරයද ඔහු අතින් මැනවින් ඉටු වන්නේය. නිමවෙමින් පවතින භාණ්ඩයෙහි තත්ත්වය හොඳාකාරව දන්නා සිහිකල්පනාව එහි ඇති ‘අඩුපාඩු’ සොයා බලා ‘කම්කරුවන්ගේ’ අවධානය නැවත නැවතත් අරමුණ වෙතට නැඹුරු කර වීම  සිහිකල්පනාව සතු වගකීමක්ය.

භාවනාවේදී ‘අඩුපාඩු’ සොයා බලා ඒවා ගැන සැලකිලිමත්වීම ඉතා වැදගත්ය. නිමා කළ හැකි අනර්ඝ ‘භාණ්ඩයන්’ ඔබේ ග්‍රහණ පථයේ තිබියදී, වැදගැම්මකට නැති දිළිඳු මට්ටමේ භාවනාවෙන් කිසිසේත්ම සෑහීමට පත් නොවන්න. මෙයාකාර කැපවීමක් ඇති කර ගත් විට හුස්ම වෙත නොකඩවා අවධානය පවත්වා ගෙන යාමට හෝ ‘නිමිත්ත’ මත අවධානය රැක ගැනීමට ඔබට ඇති දක්ෂතාවය ඉතා කෙටි කාලයක් තුළදී ඔබට විද්‍යමාන වනු ඇත. දිණුම් කණුව වැඩි දුර නොවේ. ඔබේ හැකියාවෙහි ඇති බලපෑම නිසා නොව, මෙය ස්වභාවිකවම සිදුවන ක්‍රියාවලියක් නිසා ජය අත්වීම නොවැළැක්විය හැකිය. නිරායාසයෙන්ම දැන් සිදුවන භාවනාව ප්‍රමෝදය ගෙන දෙන්නේය. එමෙන්ම එය ඉතා බලගතුය.

පස්වෙනි අධ්‍යාත්මික ආයතනය (පඤ්ඤා) සහ හතරවෙනි බල වඩන මග (විමංසා සමාධි)

සමහර විට භාවනාවේදී මෙන්ම එදිනෙදා ජීවිතයේදීද ගැටළු මතුවීම ස්වභාවිකය. බාධක හා අපහසුකම් ඇති වීම නොවැළැක්විය හැකිය. හතරවෙනි ඉද්ධිපාදය (විමංසා සමාධි) වන විමසා බැලීමත් පස්වෙනි අධ්‍යාත්මික ආයතනය (පඤ්ඤා) වන ප්‍රඥාවත් ආධාර වන්නේ මෙතැනදීය. සිහිනුවණින් විමසා බැලීමේදී පහළවන ප්‍රඥාවෙන් මෙවන් ගැටළු විසඳා ගැනීමට හැකියාව ඔබ ලබා ගන්නේය.

‘බිත්තියේ ඔළුව ඇණගැනීම’

සමහර විට භාවනාවේදී අරමුණ ඔබට ඉතාමත් පැහැදිළිය. අවශ්‍ය ශක්තියද ගොඩනැගී ඇත. කළ යුතුව ඇති කටයුත්තෙහි ඔබ මනස යොදවයි. එහෙත් කිසිවක් සිදුවන බවක් නම් පෙණෙන්නට නැත. යම් කිසිවක් ඔබේ ප්‍රගතිය අවහිර කර සිටී. ඉහත දැක්වූ හතරවෙනි ඉද්ධිපාදය වන විමංසා සමාධියත් පස්වෙනි අධ්‍යාත්මික ආයතනය වන ප්‍රඥාවත් හොඳාකාරව අවබෝධ කර ගෙන ඇතත් පත්වී ඇති තත්ත්වයෙන් මිදීමක් සිදුවන හැඩක් නැත. මෙවන් අවධියකදී ඔබ හැම විටම කළ යුත්තේ ඊට හේතුව කුමක්දැයි හොඳින් විපරම් කර බැලීමය. පහත දැක්වෙන උදාහරණය දැන් මා ඔබට ඉදිරිපත් කරන්නේ මගේ භාවනාවේදී එය මට සාර්ථක ප්‍රතිඵල ලබා දුන් බැවින්ය. එය ඔබේ භාවනාවේ ප්‍රගතියටද උපකාරයක් වනු ඇතැයි යනු මගේ විශ්වාසයයි. යම්කිසි බාධාවක් මතුවීමෙන් මගේ භාවනාව අඩාල වූ විට මට විටකදී හැඟුණේ ඔළුව ‘බිත්තියක ඇණගන්නාක්’ මෙන්ය. “මට මෙය තුළින් යා නොහැකිය. මට කිසිසේත්ම ඉදිරියට යා නොහැකිය.” මට එසේ සිතෙන්නේ එතැන ඇති ප්‍රශ්නය ගැන මා විමසා බැලීමක් නොකරන හෙයින්ය. විමසා බැලීමෙන් මා අදහස් කරන්නේ එතැනින් ටිකක් මෑත්වී ප්‍රශ්නය කුමක්දැයි සොයා බැලීමය. එසේ කළ විට මා දකින්නේ ඉදිරියේ ඇති බිත්තියේ ‘වම්පසට’ වෙන්නට ඇති දොරටුවය. බොහෝ වෙලාවක් බිත්තියේ ඔළුව ඇණගනිමින් සිටින්නේ නැතිව මා කළ යුතුව තිබුණේ ටික දුරක් වම් පසට ‘ඇවිද ගොස්’ එතැන තිබූ දොරටුවෙන් ඇතුල් වීමය. කළ මෝඩකම දැනුනේ එවිටය. එම දොරටුවෙන් ඇතුල්වී බිත්තියේ අනෙක් පැත්තට යාමත් සමගම භාවනාව ඇදී ගියේ ගැඹුරටය. උචිත පරිදි විමසා නොබැලීම, හරියාකාර පැහැදිලි දැකීමක් ඇති නොවීම, ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කර නොගැනීම නිසා එය දුබල මට්ටමක පැවතීම, ආදී කරුණු බොහෝ විට භාවනාවේදී අවහිර වලින් පෙළීමට මුල් වන්නේය.

ප්‍රඥාන්විත භාවනායෝගීන් මෙවැනි ‘ගඩොල් බිත්ති’ නැතහොත් බාධක හා කෙළෙස් ඇත්තේ කොතැනකදැයි දැක ගැනීම සඳහා අවශ්‍ය නුවණ භාවනාවේදීම දියුණු කර ගනිති. එම බිත්තිවල ඇති දොර කපොලු සොයා ගැනීමට ඔවුන්ට උපකාර වෙන්නේ ප්‍රඥාව හා විදසුන් නුවණය. උදාහරණ ලෙස දක්වනවා නම් මෙවන් බොහොමයක් බිත්ති හරහා යාමට ඇති ඉතා පහසුම දොරටුව ‘මේ මොහොතේ අවධානයයි.’ බොහෝ විට ඔබ හිස ඇණ ගන්නේ අතීතය හා අනාගතය නැමැති ඔබම තනා ගත් ගඩොල් බිත්ති වලය. ඉටු නොවූ බලා පොරොත්තු මග අවුරා හිඳී. නොඑසේ නම් අතීතයේදී සිදුවී ඇති දේවල් ගැන සිතීමෙන් අවහිරයක් ගොඩනගා ගෙන ඇත. ඔබ කළ යුත්තේ මේ මොහොතේ අවධානය හැකිතාක් දුරට තීර්ව කර ගැනීමය. මොහොතකට පෙර සිදුවූ දෙයින් දැන් කම් නැත. ඊළඟට සිදුවන්නට යන දෙය ගැන සිතීම නිශ්ඵලය. ඊළඟ මොහොතට මඳක් නතර වෙන්නට පවසා මේ මොහොත වෙතම අවධානය එක්තැන් කර ගෙන සිටින්න. මම මේ මොහොතේ අවධානයෙහිම පිහිටා සිත තැන්පත් කර ගත් විට, මනස ඇති කර ගත් බාධක බොහොමයක්ම ඉවත්වී ගියේය. ‘මේ මොහොතේ අවධානය’ නැමැති දොරටුවෙන් කෙළින්ම බිත්තියේ අනෙක් පැත්තට යන්න. එවිට ඔබට හැඟෙන්නේ අවහිරයක් එතැන නොතිබුණාක් මෙන්ය.

සමහර විට බාධකය වන්නේ මේ ‘පාලකයා’ නැත්නම් ‘කරන්නාය.’ භාවනාව ඉදිරියේ ඔබට හමුවන උසට, හරහට, දිගට විහිදී ඇති බිත්තිය එයයි. “මම මේ බිත්තිය බිඳගෙන කොහොම හරි අනික් පැත්තට යනවා, යනවාමයි.” බොහෝ විට ඔබ මනස දිරිමත් කරන්නේ මෙවැනි ‘ඔළුව ඇණගන්නා’ සටන්පාඨ අනුගමනය කිරීමෙන්ය. එලෙසින් දිගින් දිගටම ඔබ ඇති කර ගන්නේ අසහනයයි. ඔබ සිටින්නේ කමකට නැති නූවමනා ඇතුළත කථාවෙහි යෙදෙමින් හා අනුවණ උපදෙස් මෙනෙහි කරමින්ය. නමුත් විමර්ශනාත්මක මනස යෙදෙන්නේ “මොකක්ද ප්‍රශ්නය? කෝ බලන්න” යනුවෙන් නැවතනැවතත් විමසීමෙහි නිරත වෙමින්ය. එකම ප්‍රශ්නය ‘පාලකයාය.’ ප්‍රශ්නය එය බව ප්‍රඥාව කෙදිනක හෝ වටහා ගනී. භාවනාවට අකුල් හෙළන්නේ ඔබමය. “ෂ්..ෂ්… සද්ද නොකර ඉන්න.” ඔබ උපදෙස් දීම නතර කළ විට ‘බිත්තිය’ අතරුදහන්වී භාවනා ගැඹුරට ඇදී යන්නේය. ‘කරන’ සෑම දෙයක්ම ‘නොකර’ සිටීම සාමයට පිවිසෙන රන් දොරටුවය.

ස්වයං විමර්ශනය

අවහිරයක ලකුණු පහළ වූ විට එහි ඔළුව ඇණගනිමින් නොහිඳින්න. එය නිරාවරණය කර ගැනීමට ගුරුවරයෙකුගේ පිහිට ලැබෙන තෙක් බලා නොසිටින්න. අප සැමදෙනම ප්‍රඥාවෙන් හෙබි පුද්ගලයෝය. අපට ඇත්තේ ප්‍රඥාවෙහි අඩුකමක් නොව එය පරිහරණය කිරීමෙහි ඇති අකාර්යක්ෂමතාවයයි. සිදුවන්නේ කුමක්දැයි පැහැදිලිව වටහා ගැනීමට මනසට ඇති හැකියාව වර්ධනය කර ගන්න. තායිලන්තයේදී මට මුණ ගැසුණු  එමෙන්ම කලක් ඇසුරු කිරීමට වාසනාව ලත් ඉහළ පෙළේ ගුරු ස්වාමීන් වහන්සේලා විමර්ශනය කිරීමේ හැකියාව ඉතා හොඳින් දියුණු කර ගත්තෝ වූහ. භාවනාවේදී මතුවන බාධකයන් මග හරවා ගන්නා අන්දම ගැන විශාරද දැනුමක් හා ඒ වෙනුවෙන් යොදා ගත හැකි නොයෙකුත් උපක්‍රම හා ක්‍රමවේදයන් උන්වහන්සේලා විසින් ප්‍රගුණ කර ගෙන ඇත්තාහ.

විදර්ශනා භාවනාව

ඔබේ පරම අභිප්‍රාය විදසුන් නුවණ වඩා ගැනීමට බව අමතක නොකරන්න. මා විස්තර දෙන භාවනා පිළිවෙත අඩංගු ලිඛිත ප්‍රකාශන හා හඬපට තවතවත් පරිහරණය කරමින් ඒවායේ පැහැදි කර දී ඇති භාවනාමය අවධීන් ප්‍රගුණ කර ගැනීමෙහි ඉතසිතින් යෙදිය යුතුවන්නේ ඒ නිසාය. අපහසුතාවයක් හමුවූ විට, බාධකයක් මග අවහිර කරන විට, දුෂ්කරතාවයක් මතුවූ විට, භාවනා කටයුතු වල වේගවත් බවක් නොදැනෙන විට ඔබ කළ යුත්තේ කුමක්ද? ටිකක් මෑත්වී නතරවී එතැන සිදු වන්නේ කුමක්දැයි සොයා බලන්න. ඇත්තටම ඒ උදාවී ඇත්තේ හැඬීමට, දෙඬීමට නොව විමර්ශනය කර බැලීම සඳහා කාලයයි. විදසුන් නුවණ දියුණු කර ගැනීම සඳහා උපකාරවන යථාර්ථය තේරුම් ගැනීමට භාවනාවේදී මතුවන මෙම බාධක ඔබට ලබා දෙන්නේ මාහැඟි අවස්ථාවන්ය. ඒවා ඉවත නොදමන්න.

විදසුන් නුවණ ගැන පැහැදිලි කරද්දී ලෝකයේ ඇති නොයෙකුත් දේ පිළිබඳ නැණ නුවණ ඇති කර ගැනීම ගැනද සඳහන් කළ හැකිය. අප ගත කරන ජීවිතය නැතහොත් ජීවන පැවැත්ම පිළිබඳව අවබෝධ කටයුතු කරුණු කාරණා ඇත්තවශයෙන්ම සීමා රහිතය. මෙතැනදී විදසුන් නුවණ ලෙස මා සලකන්නේ භාවනා කටයුතු සම්බන්ධවූ දෑ ගැනය. එනම් ඔබේ මනසෙහි ක්‍රියාකාරිත්වය, භාවනාව වෙත ඔබ ඇති කර ගත් ආකල්ප, භාවනා අරමුණ පිළිබඳ ඔබේ ආකල්ප යනාදී දෑ පිළිබඳ විදසුන් නුවණය. මේ ආකාරයෙන් ඔබ අත් කර ගන්නේ ඔබේ චරිතය, ඔබේ චෛතසිත ස්වභාවය, ඔබේ සිතුම් පැතුම්, ඔබේ ශරීරය හා සබැඳි විදසුන් නුවණය. ඔබේ දෛනික ජීවිතයේදී ප්‍රීතිය හා සැනසීම මෙන්ම භාවනාව දියුණු කර ගැනීමේ හැකියාවද, එපමණක් නොව සත්‍යාවබෝධ කර ගැනීම සඳහාද මෙම විදසුන් නුවණ අතිශයින් මහෝපකාරී වන්නේය.

බාධක යනු පංච නීවරණයන්ය

බාධකයක් හමුවූ විට තමන් මෙතෙක් අනුගමනය කළ ක්‍රියාපටිපාටිය වෙනස් කර ගන්න. මඳක් පසුබැස තමන් කරන දේ හොඳින් පිරික්සා බලන්න. එම බාධකය කුමක්දැයි හඳුනා ගැනීමට උත්සාහ ගන්න. ‘භාවනා මග සතුරෝ’ ලිපි පෙළින් හා හඬපටි මගින් අපි මීට ඉහතදී පංච නීවරණයන් කවරේදැයි පැහැදිලි කර දුන්නෙමු. භාවනාවේ මතුවන සෑම බාධකයක්ම එහි සඳහන් කළ පංච නීවරණයන්ගෙන් එකක් හො ඒවායේ එකතුවක් බව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී සිටි සේක. භාවනාවේදී යම්කිසි බාධකයක් මතුවූ විට නතර වන්න. පහදා දුන් පංචනීවරණ සැකිල්ල භාවිතයට ගෙන මතුවී ඇති බාධකය කවර නීවරණය හ සැසදෙන්නේද නැතහොත් නීවරණ ධර්ම කීපයකම එකතුවක්දැයි සෝදිසි කර බලන්න. සමහර විට එය නීවරණ කීපයක එකතුවක් සේ පෙනුනත් එයින් එකක් වඩා ප්‍රබලව ඉස්මතුවී පෙනෙනු ඇත. එය පසිඳුරන් වෙත ඇති ඇලීම වේවා, අකමැත්ත වේවා, අලසකම නිදිමත වේවා, නොසන්සුන්කම හෝ පසුතැවීම වේවා, සැකය වේවා, කොයියම් විටකදී හෝ බාධකයක් මතුවූයේ නම් නතරවී මෙම නීවරණ ධර්මයන් ආශ්‍රීතව මතුවී ඇති ප්‍රශ්නය කුමක්දැයි වටහා ගැනීමට උත්සාහ ගන්න. ප්‍රශ්නයට මූලිකවූ හේතුව සොයා ගත් විට එම නීවරණය අභිබවා යාම සඳහා යෙදිය යුතු පිළියම කුමක්දැයි මේ වන විට ඔබට හොඳින් මතක තිබිය යුතුය.

බාධකයක් අභියස නතරවී එදෙස හොඳින් බැලුවොත් ඔබට පෙනෙන්නේ කිසි ලෙසකින්වත් එතැන තිබිය නොහැකියැයි ඔබ සිතූ දෙයක් එතැන ඇති බවය. උදාහරණයක් ලෙස, හුස්ම දෙස බලා හිඳීමට සමහර විට ඔබට ඇතිවන අපහසුතාවය ගැන සිතා බලන්න. කිසි ලෙසකින්වත් එතැන ව්‍යාපාදයක්, අකමැත්තක් තිබිය හැකිදැයි ඔබට සිතෙනු ඇත. විදසුන් නුවණ, එය විශිෂ්ට විදසුන් නුවණක් නම් එය ඇත්තෙන්ම ඔබ මවිතයට පත් කරනු ඇත. ඔබ දකින්නේ බලාපොරොත්තු නොවූවක්ය. භාවනාවේ මෙම අවධියේදී “බාධා පමුණුවන්නේ ව්‍යාපාද නීවරණයයි” කියා ඒත්තු ගැනීමෙන් පසු ඔබ කළ යුත්තේ කුමක්ද? කිසිසේත්ම දැන්, වැරදි සෙවීමෙහි නොයෙදෙන්න. එවෙත මෛත්‍රීය පතුරන්න. එය සුහදව පිළිගන්න. මනසෙහි මුදු මොළොක් බවක් ඇති කර ගන්න. එහි තද ගතිය ලිහිල් කරන්න.

භාවනාවේදී යම් ගැටළුවක් මතු වූ සැණින් එයට එක්වරම ප්‍රතිගරලය (එය නැති කර ගැනීමට යොදා ගන්නා දෙය) යෙදුවොත් දෙකින් එකක් සිදුවිය හැකිය. එනම් ක්ෂණිකව සාර්ථක  ප්‍රතිඵල ලැබීම හෝ එය ව්‍යර්ථ වෑයමක් වීමය. නමුත් ගැටළුව කුමක්දැයි ඔබ හරියාකාරව දැන හඳුනා ගෙන ඉන්පසුව එයට නිසි ප්‍රතිගරලය යොදන්නේ නම් එකෙනෙහිම බාධකය ඉවත්ව ගොස් භාවනාවේ ගැඹුරට ඔබ පිවිසෙන්නේය. එසේ සිදු නොවූයේ නම් නැවතත් නතරවී තවදුරටත් ඒ ගැන විමසා බලන්න. භාවනාව පුහුණු කරද්දී එහි ගැඹුරට යාම සඳහා ගත හැකි බලවත් උපකාරකයක් ලෙස හැඳින්විය හැක්කේ මේ අයුරින් නුවණි විමසා බැලීමට ඔබට ඇති හැකියාවය. ඇත්තවශයෙන්ම එය මා ලත් අත්දැකීමක්ය. සමහර විට භාවනා කර ගෙන යද්දී යම් අර්ථවත් දෙයක් සිදු නොවන බව පෙනී ගිය විට මා කරන්නේ මඳක් නතරවී ඒ ගැන විමසා බැලීමය. “මොකද මේ? ඇයි මෙහෙම වෙන්නේ?” ඉතා ඉක්මණින් වරද සොයා ගෙන එයට හේතු වූයේ කවර නීවරණයදැයි මා වටහා ගත් සැණින් ඒ සඳහා පිළියම මනසෙහි පහළ වන්නේ නිතැතින්මය. එසැණින්ම අවහිරයද පහව යන්නේය. එවිට මා ඇදී යන්නේ භාවනාවේ ගැඹුරටය. එවිට, ගැඹුරු භාවනාවට සමවැදීමට මා ඉතා ආසාවෙන් සිටියේ මන්දැයි දැකීමෙන් දැනෙන තෘප්තිය ඉතා බලවත්ය. චමත්කාරජනකය. ඔබ එතැනට පැමිණීම වැළැක්වූයේ සුළු බාධකයක්ය. ඔබටද ධ්‍යානාස්වාදය විඳීමට ඉඩ නොදෙන්නේ එවැන්නක්ය.

ඔබට ඇති අවහිරය නීවරණයන්ගෙන් එකක් ලෙස හැඳින ගත්තේයයි දැන් සිතන්න. “මට මේක කර ගන්න බැහැනෙ. මම දන්නවා මට ඒක අයින් කර ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියල.” එවැනි සිතිවිලි මතුවන්නේ මන්ද? ඒ මතු වන්නේ සැකයයි. එය නීවරණයක්ය. එය පිටුදකින්නේ විශ්වාසය තුළින්ය. එනම් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් කෙරෙහි විශ්වාසය ඇති කර ගැනීමෙන් බව අංගුත්තර නිකායෙහි සඳහන්ව ඇත. නොඑසේ නම් බුදු ගුණ සිහිකිරීමෙන්ය. සමහර විට භාවනාවේදී මා කරන්නේ එයයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කිරීම ඇරඹූ සැණින් සැකය දුරුවී යන්නේය. මා තුළ විශ්වාසය බලවත් වන්නේය. ශ්‍රද්ධාව වැඩීයාමත් සමගම භාවනාවද ගැඹුරුවී යන්නේය.

ඉහත දක්වන ලද්දේ භාවනාවේදී විටින් විට මතුවන යම් යම් ගැටළු විසඳා ගැනීම සඳහා පහසුවෙන් යොදාගත හැකි ක්‍රියාකාරකම් වලින් කීපයක්ය. මෙහිදී හැමටම වඩා වැදගත් වන්නේ මෙම ගැටළු විසඳා ගැනීමෙන් මා අත් කර ගත් විදසුන් නුවණය. එම ගැටළු ඉවතට තල්ලු කර දැමීමක් මෙහිදී ඔබ අතින් සිදු නොවිය යුතුය. මඳක් පසු බැස ඉඩ අවස්ථාව සලසා ගෙන ඒවා ගැන විමසිලිමත්වී ඒවායේ යථාර්ථය සොයා ගැනීමට ඔබට හැකියාවක් ඇත. ඊට අවශ්‍ය ප්‍රතිගරලය යෙදීමෙන් අනතුරුව මතුවන සාමය ඔබට පෙන්වා දෙන්නේ ඒවා ඇත්ත වශයෙන්ම සාමයට බාධා පැමිණවූ බවය. එපමණක්ද නොව බාධකයක් හමුවේ ඔබ විඳි අත්විඳීමත්, එය ඉවත්වූ කල විඳි අත්විඳීමත් යන දෙක අතර වෙනස දැන් ඔබ හොඳින් වටහා ගැනීමට හැකිවනු ඇත. මෙවන් ගැටළු දුක (දුක්ඛ) ඇති කරන්නේ මන්දැයි ඔබ පසක් කර ගන්නේ මෙතැන් සිටය.

භාවනාවේදී බාධක මතුවන්නේ ඇලීම හේතු කොට ගෙන බව මෙතැනදී ඔබ අවබෝධ කර ගනු ඇත. ඇලීම දුකක් බව බුදුරජාණන් වහන්සේ අප හට සංයුක්ත නිකායෙහි පෙන්වා දී ඇති සේක. මෙම තෘෂ්ණාව බොහෝ විට මතු වන්නේ නිවරණ ධර්මයන් කීපයක් මුල් කර ගෙනය. මුල් නීවරණය වූ පසිඳුරන් වෙත ඇලීම හේතු කොට ගෙන මෙය මතුවිය හැකිය. යම් යම් දේ ගැන නැවත නැවතත් ආසාව මතු වීමෙන් එම බාධකයම නොසන්සුන්කම හා අවිවේකය ඇති කරන්නේය. සමහර විට දැනට විඳින්නාවූ දෙයින් වැඩි සතුටක් නොලැබෙන බව හැඟී යාම නිසා, අන් දෙයක් අත්විඳීමට ආසාවක් ඇති වීමෙන් එම බාධකයෙහිම කොටසක් ලෙස ව්‍යාපාදය නොහොත් අකමැත්තද ඉස්මතු විය හැකිය. ඒ තවත් නීවරණයක්ය. මේ සියල්ලම තණ්හාව වටා බැඳී ඇති බව ඔබ වටහා ගන්නේය. තණ්හාව මනසට කරන විනය දැන් ඔබට මේ අයුරින් පැහැදිලි වන්නේය. “ධ්‍යානයකට සමවදින්නටයි මට කොහොම හරි ඕනෙ, ඇත්තටම මේ කෙරෙන කමකට නැති භාවනාවෙන් මම ගැලවෙන්නේ කොහොමද?” අවශ්‍යතාවය කුමක් වූවත් එයින් මඳක් මෑත්වී, මනසේ මතුවී ඇති තණ්හාව හැඳින ගන්න.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හොඳාකාරව දන්නා ඔබට තණ්හාව යොමු කරන්නේ දුක් වේදනා ගෙනදීමට බව අමුතුවෙන් කිව මනාද? එම දැනුවත්කම නිසා කිසිදු පැකිලීමකින් තොරව තණ්හාව අත්හැර දැමීමට ඔබට පිළිවන. අත් නොහරින්නේ නම් එය ළඟා කර ගන්නේ නොයෙකුත් අන්දමේ වේදනාවන්ය. පුදුමය නම් තණ්හාවක් බව හඳුනා ගැනීමෙන්ම එය අනතුරුදහන්වී යාමය. එය සිදුවනු දැකීමෙන් ඔබ මවිතයට පත්වනු ඇත. මනස සාමකාමීත්වයට පත්වන්නේ තණ්හාව අත්හැර දැමූ විටය. යමක් ලබා ගැනීමේ අදහසින් තණ්හාවෙන් යුතුව කෙරෙන භාවනාව මා හඳුන්වන්නේ දෙවෙනි ආර්ය සත්‍යයට අනුව කෙරෙන භාවනාව යනුවෙන්ය. එමඟින් දුක ඇතිවීම වැළැක්විය හැකිද? ඒ නිසා තණ්හාවක් ඈඳා ගන්නේ නැතිව කරන භාවනාව මා හඳුන්වන්නේ තුන්වෙනි ආර්ය සත්‍යයට අනුව කෙරෙන භාවනාව යනුවෙන්ය. එය ඔබ යොමු කරන්නේ දුක නැති කර ගැනීමටය, ධ්‍යානයන්ගේ රසාස්වාදයෙන් ප්‍රබෝධමත් වීමටය, නිවන් දොර විවර කර ගැනීමටය.

අපි විදසුන් නුවණ යොදා ගන්නේ බාධකයන් දැන හඳුනා ගෙන ඒවා සමථයට පත් කර ගනිමින් භාවනාවේ ගැඹුරට පිවිසීම සඳහාය. තොරතෝංචියක් නැතිව ඇතුළත කථාවෙහි නියැලී සිටින මේ මනස උදාහරණයක් ලෙස අර ගන්න. බොහෝ විට මනසෙහි පවතින මේ ඇතුළත කෙඳිරිය ඇති කරන්නේ නොසංසුන්කමය. භාවනා පිළිවෙත කෙරෙහි ඇති දුබල විශ්වාසය නිසා ඇතිවන සැකයද ඊට හේතුවක් විය හැකිය. සැකයත්, නොසංසුන්කමත් ඇති තැන, හැමවිටම ඔබ පසුවන්නේ තමන්ටම නොයෙකුත් ගුරුහරුකම් දී ගන්මින්ය. පාලනයකින් තොරව භාවනාව කළ හැකිදැයි ඔබට සමහර විට සැක පහළ වනු ඇත. ඔබට හැමවිටම උවමනා කරන්නේ භාවනාවේ පාලනය සියතට ගැනීමටය. භාවනා කටයුතු ස්වභාවික අන්දමින් සිදුවීමට ඉඩ නොදී හැමවිටම අණ දෙමින්, පාලනය අත්හැර දැමීමට අකමැත්තෙන් පසුවන ඔබ, බලා හිඳින්නෙකු වීමට අකමැතිය. පාලනය කිරීමට ඇති තදබල ආශාව නිසා සිදුවන ව්‍යසනයත් එය භාවනාවේ ප්‍රධානතම ගැටළුව බවත් ඔබ යම් දිනෙක වටහා ගන්නේය. එය මැඬපවත්වා ගැනීම සඳහා යොදාගත හැකි සූක්ෂම උපක්‍රම බොහොමයක් දැන් ඔබ සතුව ඇත.

ඔබ වාහනයක ගමන් ගන්නා මගියෙකු යයි සිතාගෙන එහි රියැදුරා අඩි හතක් පමණ උස හැඩිදැඩි දැවැන්ත පුද්ගලයෙක් යයි සිතින් මවා ගන්න. එවැන්නෙකුට රිය පදවන ආකාරය පිළිබඳව උපදෙස් දීමට යාමෙන් සිදුවන්නේ ඔබේ මුහුණකට සමතලා කර ගැනීමය. “මේ කරුණාකරල ඔය කට පියා ගන්නවද?” ඔහු එක එල්ලේම ඔබට පවසනු ඇත. මොහොතකට පෙර කටට ආ උපදෙසුත් දැන් ඔබට අමතකය. ඔහුට අණදීමට දැන් සිත් දෙන්නේම නැත. එය මොනතරම් අගේද? එමගින් ඔහුට ඔහුගේ වගකීම පහසුවෙන් ඉටු කර දීමට හැකි වන්නේය! එසේ නැත්නම් ඔබ ගුවන් යානයක ගමන් ගන්නා මගියෙකු යයි සිතන්න. කොතැනකට යතත් ඔබ දැන් ඉතාමත් අසරණ තත්ත්වයකට පත්වී ඇති බව ඔබ දනී. ඔබට කළ හැකි කිසිවක් දැන් නැත. හිඳගෙන බලා සිටිනවා මිස වෙන මොනවා කරන්නද? ගුවන් යානා මගියෙකුය යන හැඟීම මනසෙහි ඇති කර ගත් විට අණ දීමක් කළ නොහැකි පුද්ගලයෙකු බවට ඔබ පත්වන්නේය. එම හැඟීම භාවනාවේදී ඔබට ඉසුමතු කර ගත හැකි නම් එකෙනෙහිම ඔබේ ඇතුළත කථාවත්, විස්තර අටුවා සැපයීමත්, ඇතුළත පවතින කන්කෙඳිරියත් අතුරුදහන්වී යන්නේය. එය ඔබට හැමවිටම මතකයට නගා ගත හැකි නම් භාවනාවේ යෙදෙද්දී, ඒ පිළිබඳ සමාලෝචනයක් යෙදීමටවත්, තර්ක විතර්ක කිරීමටවත්, කුතුහලය ඇති කර ගැනීමටවත්, ඔබට සිතක් පහළ වන්නේ නැත. ගුවනේදී ගුවන්යානා මගියෙකුට පිරිනැමෙන රසවත් ගුවන් සත්කාර සේවා සංග්‍රහයෙන් රස විඳින්නාක් මෙන් හොඳින් හරිබරි ගැහී හිඳගෙන භාවනාවේ රස විඳීමට පුරුදු වන්න.

භාවනාව කරන අතර තුරදී එය තක්සේරු කර බැලීමට සැරසෙන්නේ නැතිව භාවනාවේ අවසානයට ළඟාවන තෙක් මඳක් ඉවසා සිටින්න. ලකුණු දැමීම ඇරඹෙන්නේ විභාගය අවසානයේදී මිස එය පවත්වා ගෙන අතර මැදදී නොවේ. එය මතක තබා ගත හැකි නම් භාවනාවේ අතර මැදදී එහි ගුණාගුණ පිරික්සා බැලීමට ඔබ නොපෙළඹෙනු ඇත. එලෙසම භාවනාවේදී ඔබ ස්වයං විවේචනයකද නොයෙදෙන්නේය. එවැනි අභ්‍යන්තර පාපෝච්චාරනයකට එය සුදුසු අවස්ථාවක්ද නොවේ. පර්යේෂණ කටයුතු වල යෙදී සිටින විද්‍යාඥයෙකු යම් පරීක්ෂණයක අඩුපාඩු දිනුම් පැරදුම් විමසා බලන්නේ අවශ්‍ය කරන දත්තයන් සියල්ලක්ම ලබා ගත්තාට පසුවය. එලෙසම භාවනා යෝගියෙකුද තමන්ගේ භාවනා කටයුතු සමාලෝචනයකට භාජනය කළ යුත්තේ භාවනාව අවසන් කිරීමෙන් පසුවය. බාධකය කුමක්දැයි විමසා බැලීමට විදසුන් නුවණ යොදාගත හැකිය. ඔබ ටිකක් නතරවී, ඉඩප්‍රස්ථාව ලබාගෙන, භාවනාවේදී මුහුණ දෙන බාධක කිනම් අන්දමේ නීවරණදැයි විමසා බැලුවද භාවනාවේ ප්‍රගතිය විමර්ශනයකට ලක් කළ යුත්තේ භාවනාව අවසන් කළ පසුව බව හොඳින් මතක තබා ගන්න.

තමා හඳුනා ගැනීමේ විදසුන් නුවණ

සිතෙහි මතුවන නීවරණ කිනම් ආකාරයේ ඒවාදැයි අවබෝධ කර ගැනීමෙන් තම චරිතය හැඩ ගැසී ඇති ආකාරය පිළිබඳව හෝඩුවාවක් ඇති කර ගැනීමටද ඔබට අවස්ථාව සැලසෙන්නේය. විටින්විට හදවතෙහි මතුවන දුක් වේදනාවන්ගේ මූලය හඳුනා ගැනීමටද පහසුවක් වේ. ඔබ භාවනා කරන ආකාරයත් ඔබ ජීවිතය ගත කරන ආකාරයත් අතර ඇත්තේ ඉතා කිට්ටු සම්බන්ධතාවයක්ය. භාවනාවේදී යමක් ඔබට බාධා කර සිටින්නේද එයම ඔබේ ජීවිතයට බාධා පමුණුවන බව හැඳින ගැනීම එතරම් දුෂ්කර නොවේ. එම බාධක භාවනාවේ ගැඹුරට යාමට ඉඩ නොදී, මනස සාමකාමී බවට පත් කර ගැනීමට අකුල් හෙළන්නේ යම්සේද ඒවා එලෙසින්ම එදිනෙදා ජීවිතයේදි ඔබ අත් කර ගැනීමට බලාපොරොත්තු වන සංතෘෂ්ටියත්, සාමයත් උදාවීම වළකාලන්නේය. සාමාන්‍ය ජීවිතයේදී විටින්විට ඔබට මුහුණ දීමට සිදුවන දුක්වේදනා වලට මූලික හේතුන් මොනවාදැයි හෙළි කර දෙන්නේද මේ විදසුන් නුවණය. උදාහරණයක් වශයෙන් ව්‍යාපාදය භාවනාවේදී නිතරම මතුවන නීවරණයක් නම් එය ඔබේ සාමාන්‍ය ජීවිතයේදීද බහුලව මතුවන සිතිවිල්ලක් බව ඔබට පෙනී යනු ඇත. භාවනා කරද්දී මේ මොහොතේ සෑහීමට පත්වී සාමය උදා කර ගැනීම ඔබට පහසුවෙන් කළ හැකි නම් සාමාන්‍ය ජීවිතයේද ඔබ නිතරම සෑහීමට පත්වන්නෙකුය. වැරදි සෙවීම භාවනාවේදී ඔබ අතින් සිදුවන ක්‍රියාවක් නම් එදිනෙදා ජීවිතයේදීද සමාවදීමෙන් අදහස් කරන්නේ කුමක්දැයි කියාවත්, එහි ඇති අනර්ථවත් භාවයවත් ඔබට තවමත් අවබෝධවී නැත.

සාමාන්‍ය ජීවිතයේදී ඔබ වටා ගෙතී ඇති සතුට, අසතුට, අසහනය වැනි දේවල් තේරුම් ගැනීම සඳහා ඒවායේ හදවතට ඔබ කැඳවා ගෙන යන්නාවූ මෙම විදසුන් නුවණ ඇත්තෙන්ම ඔබ ලබා ගන්නේ භාවනා මෙට්ටය මතදීය. නරක භාවනාවක් කියා දෙයක් නැති බව මා අන් තැනක පවසා ඇත්තේ එහෙයින්ය. බාධා කරන, අසහනය ඇති කරන යමක් භාවනාවේදී ඉස්මතු වන්නේ නම් එයින් අදහස් කරන්නේ ඉගෙන ගැනීමට යමක් එතැන ඇති බවය. සාමාන්‍යයෙන් අපි නරක භාවනා වාරයක් යනුවෙන් හඳුන්වන්නේ විදසුන් නුවණ වඩා ගැනීමට පිරි නැමුණු මාහැඟි අවස්ථාවක්ය. එනමුදු එවැනි අවස්ථා ප්‍රඥාන්විතව යොදා ගන්නේ නැතිව අපි අපතේ හරින භාවනා වාර කොතරම්ද? ඒ මොනතරම් අවාසනාවක්ද? භාවනාවේදී අපහසුතාවයක් උදාවූ සැණින් එය නරක භාවනාවක් ලෙස නම් කරන්නේ නැතිව එය විදසුන් නුවණ වැඩීමේ අවස්ථාවක් ලෙස පිළිගන්න. අපහසුතාවය ඇතිවීමට මූලික වූයේ කුමක්දැයි වටහා ගැනීමට දිරිගන්න. එය මතුවන්නේ එක් නීවරණයක් ලෙසද එසේ නැති නම් එවායේ එකතුවක් ලෙසින්දැයි සොයා බලා ප්‍රතිගරල යොදමින් කිනම් ප්‍රතිගරලය වඩාත් සුදුසු වන්නේදැයි පරීක්ෂා කර බලන්න. මෛත්‍රීය වැඩීමෙන් බාධකය ඉවත් වූයේ නම් ඔබට බාධා කළ නීවරණය ව්‍යාපාදයයි. භාවනාවේදී මතුවූ අවහිරය සාර්ථකව විසඳා ගැනීමට ඔබට හැකිවූයේ නම් අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතයටත් බලපාන්නාවූ එම නීවරණය මනසින් ඉවත් කර ගැනීමට ශක්තිය ඔබ උපදවා ගත්තා වන්නේය.

විදර්ශනා භාවනාවෙහි යෙදෙන්නේ ඒ ආකාරයටය. භාවනාවේ ගැඹුරු අවධීන්ට එළඹෙද්දී ඊට සරිලන ගැඹුරු විදසුන් නුවණද ඔබට අත්‍යවශ්‍ය වන්නේය. උදාහරණයක් ලෙස ‘නිමිත්ත’ ස්ථිරව පවත්ව ගැනීම උගහට නම් ඔබෙන්ම මෙසේ අසා බලන්න: “මෙතන ඇති නීවරණය කුමක්ද?” එවිට අත්හැරීමට ඇති බිය කුමක්දැයි වටහා ගන්නනවාක් මෙන්ම, බියෙහි මූලය තෝරා බේරා ගැනීමට අවශ්‍ය ඉතා බලගතු විදසුන් නුවණ උපදවා ගන්නේ, එවන් අවධින් වලදී බව ඔබ වටහා ගන්නේය. අයිතිය තහවුරු කර ගැනීම බියෙහි මූලයයි. යමකට අයිතිවාසිකමක් ඇති කර ගත් විට එය අත්හැරීමට ඔබ මැලි වන්නේය. අයිතිවාසිකම් වැඩිවන විට බියද වැඩි වන්නේ ඒ හා සමානවය. තමාගේ සැබෑ ස්වරූපය නුවණින් දකින්නේ මෙතැනදීය. ඔබ කිසිවක අයිතිකරු නොවේ. ඔබට කිසිවක් අයිති නැත. ඔබ යම්කිසිවකුද නොවේ. මෙවන් දෑ පිළිබඳව අවබෝධය මුහුකුරා යන විට අත්හැර දැමීම පහසු වන්නේය. මෙවැනි අවධීන් වලට සම්ප්‍රාප්තවූ විට ඇත්තවශයෙන්ම ඔබ යෙදී සිටින්නේ එවන් දෑ අවබෝධ කර ගනිමින්ය. ‘නිමිත්ත’ මත අවධානය ස්ථිරව පවත්වාගෙන යාමට නම් ‘කරන්නා’ ගෙන් ඔබ අත්මිඳිය යුතුය. පාලනය අත්හැර දැමිය යුතුය. ඔබ හා සබැඳි සෑම දෙයම ‘ඔබ සතුය’ යන හැඟීමත්, ඒවා ‘පාලනය ඔබ අතය’ යන අදහසත්, ඔබ අත්හැර දැමිය යුතුය. අනත්ත නැතහොත් ‘ආත්මයක් නැත’ යන්න පිළිබඳව ඉතා බලගතු විදසුන් නුවණ ඔබට පහළ වන්නේ මෙවන් අවධීන් වලදීය. එසේ නැතිව ඒ බව මතුරමතුරා හෝ සිතසිතා සිටීමෙන් නොවේ. දුකෙහි ස්වභාවය ඉතාමත් ගැඹුරින් ඔබ අවබෝධ කර ගන්නේ මෙවන් වතාවරණයකදීය. මෙතන්හිදී ලබාගන්නා විදසුන් නුවණ ඔබේ භාවනාව කෙරෙහි තදබල බලපෑමක් ඇති කරනවා පමණක් නොව ඔබේ ජීවිතයෙහි නොසිතූ විරූ පෙරළියක් ඇති කිරීමටද එය සමත් වන්නේය.

සතුට දුකක්ය, දුක සතුටක්ය

බොහෝ විට ‘නිමිත්තක්’ පහළවූ කල්හි ඇත්තටම එය ඉතා ලස්සන දෙයක් ලෙස භාවනායෝගියා දකී. එතැන ඇත්තේ අධික ප්‍රමෝදයක් බව ඔහු හොඳාකාරව දනී. එම පිරිසිදු මනස්කාන්ත ප්‍රමෝදය දෙස ඔහු බලා සිටින්නේ ජනේලයක් තුළින් බලා සිටින්නාක් මෙන්ය. එහෙත්, ඒ ‘ජනේලය’ තුළින් හෝ ‘දොර’ බිඳගෙන හෝ එතැනට යා නොහැකිව ඔහු බලා හිඳින්නේ අසරණවය. “අර අතන බලවත් ප්‍රීතියක් (සුඛ) තියෙද්දි ඇයි මම මෙතැනටවී දුකත් (දුක්ඛ) එක්ක නතරවී ඉන්නේ?” ඔහු තමන්ගෙන්ම ප්‍රශ්න කර සිටී. ‘දුක්ඛ’ යනු ඇත්තටම කුමක්ද? ‘මෙතැන’ දුකක් බව හැඟෙන්නේ ඇයි? ‘අතන’ බලවත් ප්‍රමෝදයක් ඇත්තේ මන්ද? ශරීරය අත්හැර දැමීමෙන් හා පසිඳුරන් අත්හැර දැමීමෙන් එම බලවත් ප්‍රමෝදය ජනිත වන බව ඊට පිළිතුරය. මෙය සිදුවීම ඇරඹෙන අවධියේදී භාවනායෝගියා බොහෝ සෙයින්ම සාමකාමී බවට පත් සිටින්නේ මන්ද? එය ඉතාමත් ප්‍රීති සහගත අවධීන් වන්නේ මන්ද? එයට හේතුව සසර පුරා කර ගසාගෙන ආ කිව නොහැකි තරම් බර පොදියක්, දුක් කන්දරාවක් අපි අත්හැර දමන නිසාය. නිමිත්තක් පහළ වූ තැන්හිදී පමණක් අපට ලබා ගැනීමට හැකිවන්නාවූ මෙම විදසුන් නුවණ දුක්ඛ හා සුඛ අතර ඇති වෙනස මනා කොට ඔබට අවබෝධ කර දෙන්නේය. බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මචර්ය ජීවිතයත් ගත කළේ මන්දැයි ඔබ විදසුන් නුවණින් වටහා ගන්නේ මෙතැනදීය.

ලෝකයේ ජීවත්වන බහුතර ජනයා සිතා සිටින්නේ ඔවුහු දුක හා සැප යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි හොඳින් වටහා ගෙන ඇති බවය. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වඳාළේ “පෘතග්ජන පුද්ගලයින් සැප ලෙස හඳුන්වන දේ ආර්ය පුද්ගලයින් සලකන්නේ දුකක් ලෙසටය, පෘතග්ජන පුද්ගලයින් දුක ලෙස හඳුන්වන දේ ආර්ය පුද්ගලයින් සලකන්නේ සැපක් ලෙසටය” යනුවෙන්ය. සංයුක්ත නිකායේ උන්වහන්සේ පෙන්වා දෙන්නේ, පුහුදුන් පුද්ගලයින්හට අවශ්‍ය පමණ දත්තයන් හා අත්දැකීම් නැති නිසා ඔවුන්ට එම වෙනස හරිහැටි අවබෝධ කර ගැනීමට නොහැකි බවය. ඒ සඳහා අවශ්‍ය දත්ත හා අත්දැකීම් ලබා ගන්නේ ගැඹුරු භාවනාමය  අවධීන්ට සමවැදීමෙන්ය. ඇත්තවශයෙන්ම ඔබට සම්පූර්ණ ධ්‍යානාස්වාදය විඳගැනීමට නොහැකි වූවත් අඩුතරමින්වත් එහි පියස්ස යටට යාගත හැකි නම් එතැනදී ඔබට පෙනී යන්නේ ගැඹුරු අවබෝධාත්මක ඤාණ හෙවත් විදසුන් නුවණ ලබා ගැනීම සඳහා එතැන නිදන් ආකරයක් බඳුය යන්නය. ධ්‍යානයකට ඉතා සමීපවූ තත්ත්වයක් ඔබට ගොඩනගා ගත හැකි නම් එතැනදී ඔබ බලවත් විදසුන් නුවණ රැසක් අත්පත් කර ගන්නේය.

පස්වෙනි ආධ්‍යාත්මික ආයතනය (පඤ්ඤා) සහ හතරවෙනි බල වඩන මග (විමංසා) පිළිබඳ සාරාංශය

ඔබට භාවනාවේදී බාධකයක් මතු වුවහොත් එතැන ඇති ගැටළුව කුමක්දැයි සෝදිසි කර බලන්න. ඒ හතරවෙනි ඉද්ධිපාදය වන විමංසාවය. එමගින් විදසුන් නුවණ වඩා ගැනීම සඳහා ඔබ අවස්ථාව සලසා ගන්නේය. එම විදසුන් නුවණ ඔබ වෙත ගෙන එන්නේ ප්‍රඥාවය. ඒ පස්වෙනි ඉන්ද්‍රිය වන පඤ්ඤාය. සෑම අවධියකදීම ඔබ නතරවී විමසා බැලිය යුතු වූවත්, විශේෂයෙන්ම එය කළ යුත්තේ භාවනා වාරය අවසානයේදීය. සෑම භාවනා වාරයකම අවසානයේදී එකවරම භාවනාවෙන් පිටතට එන්නේ නැතිව මඳක් ඉවසා, ‘ඔබට කුමක් සිදුවූයේද, ඔබ අත් කර ගත් දේ කුමක්ද? කොතෙක් දුරට ඔබ සාමකාමී බවට පත්වූයේදැයි’ විමසා බලන්න. එවිට ඔබ පුදුමයට පත්වනු ඇත. එය නරක භාවනා වාරයක් සේ ඔබට මුලදී හැඟුනත් හොඳින් විමසා බැලූවිට ඔබට පෙනී යන්නේ එහිදී යම් ප්‍රමාණයක හෝ සාමයක් ඔබ විඳි බවය. භාවනාවට මනස යොමු කිරීමට හා භාවනාවෙහි නිරතව සිටීමට දැරූ උත්සාහය මගින්, පටන් ගනිද්දීට වඩා සාමයක් භාවනාව අවසානයේදී ඔබ ගොඩනගාගෙන ඇති බව ඔබට පෙනී යන්නේය. එලෙසම, එය ඉතා සාමකාමී භාවනා වාරයක් වූයේ නම් ඊට හේතුවූයේ කුමක්දැයි ඔබෙන්ම අසා බලන්න: “ඒ තත්ත්වයට පත්වීම සඳහා මා කළ දේ කුමක්ද?” සෑම භාවනා වාරයකම අවසානයේදී ඒ අයුරින් විමසිලිමත් වන්න. එසේ විමසා බැලීම ඉතා වැදගත් වන්නේ භාවනාව නමින් හැඳින්වෙන ක්‍රියාවලිය කුමක්දැයි නුවණින් අවබෝධ කර ගැනීමට එය ඔබට අවස්ථාව සලසා දෙන හෙයින්ය.

භාවනාව මග මිතුරෝ පසුදෙසුම

භාවනාව නිසියාකාරව හසුරුවමින් නියමිත තැනට යාමට මග පෙන්වා දෙන්නේ පස් වැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයන්ය. නැවතත් සිහිපත් කර දෙනවා නම්, ඒවා මෙසේය: සද්ධා – ඔබේ හැකියාව, ගුරවරයා සහ අභිප්‍රායෙහි ඇති වටිනාකම තේරුම් ගෙන එය සපුරා ගැනීම සඳහා අනුගමනය කරන පිළිවෙත මත දැඩි විශ්වාසයක් හා භක්තියක් ගොඩනගා ගැනීමය; වීරිය – මෙම ශ්‍රද්ධාව ඇති කර ගැනීමෙන් වීර්යය ජනිත වන අතර එය භාවනාවද ප්‍රීති සහගත බවට පත් කරන්නේය; සති – භාවනාවේ නියම මග ගමන් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මතකයෙහි තබා ගනිමින් නිසි දිශාවට ගමන් කරන්නේදැයි නිතරම සෝදිසියෙන් සිටීමට ආධාර වන්නේ සිහිකල්පනාවය; සමාධි – අවධානය නොකඩවා පවත්වා ගෙන යාමට සහ එක් දෙයක් මත අවධානය රැක ගැනීමට ඇති හැකියාව සමාධියයි; පඤ්ඤා – මතුවන බාධක දැන හඳුනා ගනිමින් ඊට නිසි පිළියම් යොදන්නේ ප්‍රඥාවය.

බල වඩන මාර්ග හතර නැවත සඳහන් කරන්නේ නම් ඒවා මෙසේය: ඡන්ද සමාධි – තෝරාගත් අරමුණ වෙත පවත්වා ගන්නාවූ අධිෂ්ඨාන ශක්තිය, පැහැදිලි අරමුණක් ඇති කර ගැනීම, එම අරමුණ හොඳාකාරව මනසෙහි තැන්පත් කර ගැනීම; වීරිය සමාධි – වීර්යය පවත්වා ගෙන යාම, “මෙයයි මම ඉටු කර ගන්න යන්නේ” යයි තමන්ටම පවසා ගනිමින් වීර්යය ඇති කර ගැනීමට මනස දිරි ගැන්වීම; චිත්ත සමාධි – තෝරා ගත් අරමුණ වෙත මනස යෙදවීම, එම අරමුණෙහිම මනස පවත්වා ගැනීම, අත්හැර නොදැමීම, ඉදිරියටම යාම; විමංසා සමාධි – අභිප්‍රාය ඉෂ්ට කර ගැනීම සඳහා යෙදූ මනසෙහි පැවැත්ම විමර්ශනය කිරීම, මතුවන බාධක ගැන හැමවිටම සෝදිසියෙන් සිටිමින් ඒවා අභිබවා යාම සඳහා නිසි පියවර ගැනීම, බාධකය මගහැර යාමට වම් පසින් ‘දොරටුවක්’ ඇත්දැයි සොයා බැලීම, හැකි නම් ‘තාප්පය’ උඩින් පැනයාම, දකුණු පසට වෙන්නට ‘ඉනිමගක්’ ඇත්දැයි විමසිලිමත් වීම, දැඩි අධිෂ්ඨානයෙහි එල්බ ගෙන තදින් බලය යොදමින් බිත්තියෙහි ඔළුව ඇණගැනීමෙන් වැළකී සිටීමට උත්සාහ ගැනීම.

මේ ආකාරයෙන් අපි මනසෙහි පැවැත්ම, විශේෂයෙන්ම භාවනාව සිදුවන ආකාරය පිළිබදව විදසුන් නුවණ ලබා ගන්නෙමු. එනම් භාවනා පිළිවෙත, එයට එරෙහිව නැගී සිටින බාධක හා ඒවා මැඬපවත්වා ගන්නා ආකාරය පිළිබද ප්‍රඥාව ඇති කර ගැනීමය. මෙය ඔබට කළ හැකි නම් එසේ ජනිත වන විදසුන් නුවණ ඔබේ භාවනාව බල ගන්වන්නේය. එමෙන්ම සංසාරයෙන් එතර වීම සඳහා අනිත්‍ය, දුක්ඛ, හා අනාත්ම යන ත්‍රිලක්ෂණ අවබෝධ කර ගැනීමටද ඔබට එය අතහිත දෙන්නේය.

ඔබ සුවපත් වේවා!

(අපැහැදිලි තැනක් හෝ අක්ෂර දෝශයක් දුටුවේ නම් කරුණාකර දන්වන්න)






Leave a comment