භාවනා මග සතුරෝ 4 උද්ධච්ඡ කුක්කුච්ඡ නීවරණය

අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන් වහන්සේ

පරිවර්තනය හා සැකසීම – ජෝර්ජ් කාරියවසම්

(උපුටා ගැනීමට හෝ පිටපත් කර බෙදා හැරීමට අවසර නැත)

හතරවෙනි නීවරණය උද්ධච්ඡ කුක්කුච්ඡ යයි.

නොසන්සුන්කම, පසුතැවීම ලෙස හඳුන්වන්න පුළුවන් මේ උද්ධච්ඡ කුක්කුච්ඡ කියන නීවරණය භාවනාවට බාධා කරන්නේ ඉතා සියුම් ආකාරයකිනුයි. මේ දෙකෙන් දුරල ගන්න අමාරු එක නොසන්සුන්කමයි. මෙතෙන්දි නොසන්සුන්කම දෙවෙනුවට සලකා බලන්න තියල, පසුතැවීම කොයි විදියටද භාවනාවට බලපාන්නේ කියල අපි දැන් මුලින්ම හොයල බලමු.

කාලයකට ඉහතදී තමන් අතින් කෙරුණු වරදකට හරි කියපු දේකට, ප්‍රතිවිපාකය හැටියට තමන්ම ඇතිකර ගන්නා දෙයක් තමයි මේ පසුතැවීම. සමහර විට මේ පසුතැවීම තමන්ගේ නොමනා හැසිරීම් නිසා සැරින් සැරේ මතුවන මානසික පීඩනයක් හැටියටත් මතුවෙන්න ඉඩ තියෙනව. භාවනාවේදී හරි අනිකුත් වෙලාවලදි පසුතැවීමක් මනසෙ මතු වෙනව නම්  සමහරු කියන විදියට, ඒ වැරදි ගැන නැවත නැවතත් මෙනෙහි කර බලමින් ඉන්නේ නැතිව, ඔබ කරන්න ඕනෙ, තමා අතින් සිදුවූ ඒ වරදට හෝ වැරදි වලට සමාව දී ගැනීමයි. වැරදි සිදු නොවන්නේ කා අතින්ද? අනේ අපේ අතින් නම් කිසි දවසක වරදක් වෙලා නැතෙයි කියල ලොකු පම්පෝරි ගහන අය නෙවෙයි, තමා අතින් ලොකු හෝ පොඩි වැරදි වෙලා තියෙනව නම් ඒ වැරදිවලට සමාව දීගෙන, ඒවයින් යමක් ඉගෙන ගන්න අයයි නුවණැති පුද්ගලයින් හැටියට ගණන් ගැණෙන්නේ. සමහරක් අය තුළ පසුතැවීම කොයිතරම් දුරට කිඳා බැහැල තියෙනවද  කියනව නම්  තමන්ට කොහෙත්ම ධර්මානුකූලව හැසිරෙන්න, සත්‍යාවබෝධ කරගන්න බැහැයි කියන හැඟීම ඔවුන් තදින් හිතේ තදකර ගෙනයි ඉන්නේ.

මේ වගේ අදහස් අයින්කර ගන්න අංගුලිමාල චරිත කතාව බොහොම වැදගත්. අපි මේ කථාව අහල තියෙනව ඕන තරම්. තමන්ගේ ගුරුවරයගේ පෙළඹවීම නිසා ඔහුට දුන් පොරොන්දුවක් ඉෂ්ඨ කරන්න, අංගුලිමාල දරුණු මිනීමරුවෙක් වෙලා, මිනිස්සු මරල ඔවුන්ගෙන් එක ඇඟිල්ල බැගින් එකතු කරමින් ඇඟිලි මාලයක් ‌ෙබල්ලෙ බැඳගෙනයි හිටියෙ. ගුරුතුමාට පුදන්න දහස් වෙනි ඇඟිල්ල සොයමින් සිටියදියි ඔහු ඉදිරියට බුදුරජාණන් වහන්සේ වැඩිම කලේ. නමුත් බුදු කෙනෙකු මැරීම කළ හැකි දෙයක් නෙවෙයි. සිදුවුනේ බුදුන් වහන්සේ ඔහු මරා දැමීමයි. ඔහුගේ දූෂිත වූ ගතිගුණ මරා දැමීමයි. ඔහුගේ කෙලෙස් මරා දැමීමයි. අංගුලිමාල පැවිද්දෙක් බවට පත් වුනා.

ඉතා භයානක මිනීමරුවෙක්ව හිටි අංගුලිමාලටත් ධ්‍යාන පවා ලබාගැනීමට හැකි වුනා. ඔහු සියලු කෙලෙසුන් නසා රහත් බවටත් පත් වුනා. ඔබ කව්රු හරි මරල තියෙනවද? ඔබ ඒ වගේ දාමරිකයෙක් නෙවෙයිනෙ? මම හිතන්නේ නැහැ ඔබට ඒවගේ දෙයක් ගැන හිතන්නවත් පුළුවන් කමක් තියෙනවයි කියල. අංගුලිමාල වැනි පුද්ගලයින්ටත් නිවන් අවබෝධ කර ගන්න පුළුවන් වුනා නම් ඔබට ඇති නුසුදුසුකම මොකක්ද? අතීතයේදී ඔබ අතින් නොයෙකුත් අන්දමේ අයහපත් දේවල් හිතල හෝ නොහිත සිද්ද වෙන්න ඇති. සමහර වෙලාවට ඔබ දැන් ඒව ගැන හිතහිතා පසුතැවෙමින් ඉන්නව වෙන්න පුළුවන්. නමුත් අංගුලිමාල රහතන් වහන්සේ ගැන හිතල බැලුවාම ඒව මොන වැරදිද?  ඒ විදියට හිතුවාම ඔබේ හිත රිදවන පසුතැවීම් දුරුවී යනවාට සැකයක් නැහැ.උන්වහන්සේ අතීතයේදී මිනීමරුවෙක් වෙලා හිටියත් සත්‍යාවබෝධ කර ගන්න ඒක උන්වහන්සේට බාධාවක් වුනේ නැහැ. එහෙම නම් ඔබට ඇති ප්‍රශ්නය මොකක්ද? ලත වෙන්න එපා, අතීතය අත්හරින්න, සමාව දෙන්න. පසුතැවීමෙන් මිදීමට ඇති එකම මග ඒකයි. තමන්ම ගැන හිතල තමන්ම ඇතිකර ගන්න පසුතැවීම් නැති කර ගන්න ඕනෙ තමන්මයි. ඒකයි පුහුණුවීම කියන්නේ.

අත්හැර ගන්න හුඟක් අමාරු නොසන්සුන්කම ගැන දැන් අපි සලකා බලමු. නොසන්සුන්කම නිතරම වගේ මනසෙ මතුවන්නේ, සෑහීමකට පත්වීමෙන් ලබන සතුට හඳුනා ගන්නවත් එය අගය කරන්නවත් අපි ඉගෙන ගෙන නැති නිසයි. යම් මොහොතක මුකුත්ම නොකර හිඳීමෙන් ලැබෙන සතුට ගැන අපේ කිසිම හැඟීමක් නැහැ. ඒ සැපත, වාසනාව අගැයීමට අපට හැකියාවක් නැහැ. මේ මොහොතෙ තියන දේ, විඳින දේ, ඒ හැටියෙන් පිළිඅරගෙන එයින් සෑහීමකට පත් වෙලා මුකුත් නොකර නිකන් ඉන්න අපි දන්නේ නැහැ. දැනට එතැන ඇති දෙයින් සෑහීමට පත්වෙනව වෙනුවට අපි සොයන්නේ එතැන ඇති වැරදි. අපට තිනේනේ වැරදිම සොයන මනසක්. ඒ පුරුද්ද හින්ද භාවනා කරද්දිත් නොසන්සුන්කම මතුවන්නේ ඔබ ඒ යෙදී ඉන්න දෙයින් සතුටක් ලබ‌ා නොගන්න නිසයි. ඔබට ඒ වෙලාවට කරන්න දෙයක් නැති බව, යන්න එන්න තැනක් නැති බව, වගකීමක් නැති බව, කොටින්ම කියනව නම් සම්පූර්ණයෙන්ම නිදහස ඇති බව ඔබ තේරුම් අරගෙන නැහැ. යමක් හරියට හඳුනා ගන්න, තේරුම් ගන්න, හිතට ගන්න ආකාරය මෙහෙයවන, ඊට මූලික වන, අපි සංඥානය කියල හඳුන්වන දේ එක්ක පරීක්ෂණ කරන්න ඕනෙ මෙන්න මෙතෙන්දියි. සංඥානය අපිට ඕන විදියට සකස්කර ගන්න හරි වෙනස්කර ගන්න හරි අපට හැකියාවක් තියෙනව. අපි යම්යම් දේ හිතට ගන්න ආකාරය නැත්නම් සංඥාණනය කරන ආකාරය පවතින්නේ අපේ අනසක යටතෙයි. වීදුරුවක් දැක්කාම ඒක හරි ලස්සනයි, බොහොම වටිනා දෙයක් හැටියට හිතල ඒකට ආසාවක් ඇතිකර ගන්න අපිට පුළුවන්කම තියෙනව. එහෙම නැත්නම් ඒක ලේසියෙන් බිඳෙන, එදිනෙදා ජීවිතයේදි ප්‍රයෝජනයට ගන්න, ඒ හැටි ලොකුවට ගන්න දෙයක් නැති,  සාමාන්‍ය දෙයක් හැටියට සලකල, ඒ වෙත ඇස් යොමු කරන්න අපිට පුළුවන්. තදින් සංඥාන ගත‌ෙවන්නේ, එහෙම නැති නම් අපි තදින් හිතට ගන්නේ, අපි අත්විඳිනා දේට අමතරව ඊට අපි අතින් එකතු කර ගන්නා දේවලුයි. වීදුරුව ලස්සනයි කියල ඒක අපිට කියන්නේ නැහැ. ඒක හරි වටිනවයි කියල ඒකෙ කොටල නැහැ. අපි ඒක වටිනව කියල හිතුවට පොඩි ළමයෙක් ඒක බිම අතඇරල ඒක කෑලිකෑලි වලට කැඩෙන හැටි ආසාවෙන් බලා ඉන්න පුළුවන්. ලස්සණ, වටිනාකම අපිට ලේසියෙන් අතින් එකතු කර ගන්න පුළුවන් දේවල්. ඒ අපි එක එක්කෙනා දකින විදිය. අපි ලේසියෙන් මුලාවට පත්වෙන ආකාරය.

තමන්ට උවමනා නම් මේ විදියටම ආනාපානසති භාවනාවේදි අරමුණ සඳහා තෝරා ගත්තු හුස්ම කිසි ගතියක් නැති, ලකයක් නැති,  ඉබේටම සිදුවන සාමාන්‍ය දෙයක් හැටියට හිතමින් අලසකමින් පිරුණු මනසකින් ඒ දිහා බලා හිටිය හැකියි. එහෙම නැති නම් ඒක ඉතා වැදගත්, ඉතා ලස්සන, ඉතා වටිනාකමකින් යුතු, සුළුකොට තැකිය නොහැකි මුළු ජීවිතයම හා සබැඳි දෙයක් හැටියට හිතමින්, ප්‍රබෝධමත් මනසකින් ඒ දිහා බලා හිටිය හැකියි. භාවනාවේදී විටින් විට මේ විදියට දෙවිධියකට අපි හුස්ම සංඥාණනය කරන්නේ අපේ මනාපය අනුවයි. ඉතා වටිනාකමක් තියෙන, අසාමාන්‍ය දෙයක් හැටියට සංඥාණනය කරමින් හුස්ම දිහා බලා ඉන්නව නම් නොසන්සුන්කමක් මනසෙ මතු වෙන්නේ නැහැ. එතකොට වෙනත් දෙයක් සොයසොයා අයාලේ යන්න මනසට උවමනාවක් ඇති වෙන්නේ නැහැ. නොසන්සුන්කම ඇති ‌ෙවන්නේ ඇති දෙයින් සෑහීමට පත් නොවී නැති දෙයක් සොයමින් මනස සැරිසරන කොටයි. මෙතැන මේ මොහොතේ නොරැඳී මනස සොයන්නේ වෙන දෙයක් එක්ක පැටලෙන්නයි, වෙන දෙයක් කරන්නයි, තවත් දෙයක් ගැන හිතන්නයි, වෙන කොතැනකට හෝ පැනල යන්නයි. නොසන්සුන්කම කියන්නේ අන්න ඒකටයි.

මුල් නීවරණය කාමච්ඡන්‍දය වගේම මේ හතරවෙනි නීවරණය නොසන්සුන්කමත් භාවනාවට බලවත් බාධාවක්. දිගු කාලයක් එකතැනක නොහෙල්ලී ඉඳගෙන ඉන්න ඉඩ නොදෙන්නේ නොසන්සුන්කමයි. මෙතැනින් ගැලවිල වෙන තැනකට පැනයන්න පොළඹවන්නෙත්  නොසන්සුන්කමයි. ඒ නිසා මෙතැන මේ මොහොතේ අවධානය රැකගැනීමේ පියවරින් භාවනාව අරඹන්න කියල මම ඔබ පොළඹවන්නේ, “මට උවමනා මේ මොහොත හැර වෙන ඕනෑම තැනක්” යන සිතිවිල්ල වටා ගොඩනගා ගන්න මනසෙ ගොරෝසු ගතිය, නැත්නම් මේ කියන නොසන්සුන්කම මගහැර ගන්නයි. මෙතැන කොතැනක් වුනත්, එතැනදී ඔබ කොයි අන්දමේ සුවපහසුවක් ඇතිකර ගත්තත්, ඔබේ නොසන්සුන්කම ඒත් කියන්නේ මේ හොඳ මදි  කියලයි. ආයිමත් මම ඔබට පෙන්නල දෙන්න හදන්නේ නොසන්සුන්කම කියන්නේ වැරදි සෙවීමේ මනසට බවයි. භාවනාවට ඉඳගන්න සූදානම් වෙලා තමන් තෝරගත්තු මෙට්ටය දිහා බලල “මේක තද වැඩියි, මොළොක් වැඩියි, විසාල වැඩියි, පොඩි වැඩියි, පළල වැඩියි, උස වැඩියි” කියල ඔබට උපදෙස් දෙන්නේ වැරදි සොයන මේ අති පණ්ඩිත මනසයි. භාවනා මුළුවකට ගියාම එතැන ශාලාව “පොඩි වැඩියි, පහසුකම් මදියි, හැම පැත්තෙම සද්ද වැඩියි, බිත්තිවල පාට තද වැඩියි” කියල හිත අධෛර්ය කරන්නෙත් ඒ මනසමයි. ඒක හැම වෙලේම යෙදී ඉන්නේ හැම දෙයකම ඇති වැරදි හොයහොයා, ඒව මීට වැඩිය හොඳට පාලනය කර ගන්නෙ කොහොමද, හසුරුවා ගන්නෙ කොහොමද, නිවැරදි කර ගන්නෙ කොහොමද කියල උත්තර සොයමින්. ඔබට ඇත්තෙ වැරදි හොයන මනසක් නම් ඔබ හැම වෙලේම ඉන්නේ නොසන්සුන්කමේ පාලනයට යටත් ‌ෙවලා. ඒක එහෙම නම්, කොයිම වෙලාවකවත්, කොතැනක හිටියත් ඔබ සෑහීමකට පත් වෙන්නෙ නැහැ. 

සෑහීමට පත්වීමෙන් ඔබ ලබන සතුට පුදුම දෙයක්. ඒක විඳලම බලන්න ඕනෙ. වැරදි සෙවීමෙ යෙදිල ඉන්න මනසට සෑහීමට පත්වීමෙන් ලැබෙන සතුට අවබෝධ කර දුන්නොත් ඔබට නොසන්සුන්කම අඩුකර ගන්න ලේසි වේවි. ඒකට ඔබ කරන්න ඕනෙ, ඔබ කොතැනක හිටියත් ඔබ ඉදිරියෙහි ඇති දේ මොකක් වුනත් එයින් සෑහීමකට පත්‌වෙන විදියට ඔබේ සංඥානය සකස්කර ගන්න, හැම වෙලාවකදිම උත්සාහ ගැනීමයි.

වැරදි සොයාගෙන යන්න මනස දක්වන කැමැත්ත ගැන භාවනාවේදී ඔබ ප්‍රවේසම් විය යුතුයි. “ඇයි මට භාවනාවේ ගැඹුරට යන්න බැරි? කොයිතරම් කල් මම මේ මොහොතේ අවධානය දියුණු කළාද? කෝ, ඒත් නැහැනෙ තවම කිසි දියුණුවක්.” යම් අවස්ථාවක ඒ විදියෙ සිතිවිල්ලක් ඔබේ මනසෙ මතු වුනොත්, නොසන්සුන්කමේ මූලාරම්භය ඒ වගේ සිතිවිලි බව ඔබ තේරුම් ගන්න ඕනෙ. මේ මොහොතෙ මනසෙ පවතින තත්ත්වය ගැන අප්‍රසාදය, සාමයක් ඇති කර ගන්න බැරිකම, සෑහීමට පත් නොවීම යන කාරණා හේතුකොට ගෙන ඒ වගේ සිතිවිලි මතු වෙන්න පුළුවනි. ඔබට ඕන විදියට භාවනාව කෙරීගෙන යනවද නැද්ද කියල හිතහිතා ඉන්නේ නැතිව, තත්ත්වය මොකක් වුනත් මේ මොහොතේ ඔබට සම්පූර්ණයෙන්ම සෑහීමට පත් වෙන්න පුළුවන් නම් භාවනාවේ ගැඹුරට ඔබ යාවි. ඔබේ භාවනාවේ දියුණුව ගැන ඔබ හිත පාරවාගන්නව නම් භාවනාව ඇද වැටෙන්නේ ප්‍රපාතයට. “මේ මොහොතේ මම සෑහීමට පත්ව සිටිමි” යයි තමන්ටම කියා ගනිමින් හැම මොහොතකම සෑහීමට පත්වී ඉන්න පුරුදු ‌ෙවන්න.

ධ්‍යාන ගැන කෑදර වෙන්න එපා. ඒව ලැබීම නොලැබීම ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි. මේ මොහොතේ රැඳී සිටීමෙන්ම සෑහීමට පත් ‌වෙන්න. ධ්‍යානයන්ට පිවිසෙන්නේ ඒ සෑහීමට පත්වීමේ ගුණාංගය ක්‍රමක්‍රමයෙන් ගැඹුරු කර ගැනීමෙන්. නිහඬතාවය දිහා බලා හිඳිමින්, කිසිවක් නොපවසා නිහඬව හිඳීමෙන් සෑහීමට පත්වන්න. ඔබ ඇත්තටම සෑහීමට පත්වුනා නම් කතා කරන්න අවශ්‍යද? ඇතුළත කතාව ‌බොහොම වෙලාවට ගෙතී තියෙන්නේ පැමිණිලි වටා නේද? “මෙක වෙනස් කළ යුතුයි, වෙන දෙයක් කළ යුතුයි” කියකියා මේ මොහොතින් ඔබ පැන යන්නේ බාහිර ලෝකයේ ඇති සිතිවිලි, අදහස් උදහස් සමග පැටලීමට ඇරෙන්න වෙන මොකකටද? ඔබ සිතිවිලි වල ගිලිල ඉන්නව නම් එයින් පෙන්නුම් කරන්නේ නොසෑහීමට පත්ව ඇති බවයි. නොසෑහීම ඇති තැන මතුවෙන්නේ සිතිවිලියි! ඔබ ඇත්තටම සෑහීමට පත්වුන පුද්ගලයෙක් නම් ඔබ තැන්පත්. ඔබ හොලවන්නේ අසංතෘෂ්ඨියයි. ඇත්තටම සෑහීමට පත්වුන අය නිහඬයි, නිසලයි. නොසන්සුන්කමට හාත්පසින්ම විරුද්ධවූ දිශාවට ඔබ කැඳවාගෙන යන සෑහීමට පත්වීම තුළ තවතවත් ගැඹුරටම කිමිදෙන්න.

නොසංසුන්කම ඇති කරන තවත් දෙයක් තමයි ශරීරයේ ඇතිවන වේදනා. අසනීප ගතියක් දැනෙන කොට හරි ශරීරයේ වේදනාවක් හටගත්තු වෙලාවට, ඔබේ මනස ඊට පුරුද්දෙන් ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස්කර ගන්න. ඒ ගැන විමසිලිමත්කමක් විතරක් ඇතිකර ගෙන, කුතුහලය දනවන දෙයක් හැටියට සලකන්න හරි අනේ මට මොකෝ, ශරීරයේ හැටි ඔහොම තමයි කියල ඒක බරපතල දෙයක් හැටියට නොසලකා ඉන්න මනස පුරුදු කර ගන්න ඔබට පුළුවනි. ශරීරයේ ඇතිවන වේදනා, කැක්කුම් පස්සේ එලවන්නේ නැතිව ඒවත් එක්ක සෑහීමට පත් වෙන්න පුළුවන්ද කියල සොයල බලන්න. ඒක හොඳ වුනත්, නරක් වුනත්, බරපතල වුනත්, මොකක් වුනත් සතුටින් බාරගෙන, ඇතුළට එන්න ඉඩ දෙන්න. අකමැත්තෙන් ඉවතට තල්ලු කරන්න උත්සාහ ගන්න එපා.

මහණ වෙලා ඉන්න කාලෙ කීප වතාවක්ම ඉතා දරුණු වේදනාවන්ට මූණ දෙන්න මට සිද්ද වුනා. වේදනාවෙන් ගැලවෙන්න මගක් හොයමින් නොසන්සුන්කම ඇති කර ගන්නේ නැතිව ඒක සම්පූර්ණයෙන්ම පිළි අරගෙන ඒ එක්ක සෑහීමට පත්‌ෙවන විදියට මනස සකස්කර ගන්න මට හැකි වුනා. මගේ අත්දැකීම්වලට අනුව ඕනෑම වේදනාවක් එක්ක සාමය ඇති කර ගන්න හැකියාවක් අපට තියෙනව. එහෙම කළාම ඉවත් ‌ෙවලා යන්නේ වේදනාවේ දරුණුම කොටසයි. තවදුරටත් එතැන නොසන්සුන්කමක් ඇති වෙන්නේ නැහැ. දුරින්දුරු කරන්න කියල එතකොට එතැන මුකුත් ඉතිරි වෙන්නෙත් නැහැ. දැනෙන වින්දනය එක්ක තැන්පත්කමක් ඇතිකර ගන්න ඔබට හැකියාවක් තියෙනව. බොහොම වෙලාවට වේදනාවක දැරිය නොහැකි කොටස ‌ෙවන්නේ, ඒවට අවලාද කියන්න ගිහින් ඇති කර ගන්න නොසන්සුන්කමයි. සෑහීමට පත්වීමෙන් නොසන්සුන්කම පළවා හැරියට පස්සේ ඒ වේදනාවන් එක්ක හිතවත්කමක් ඇතිකර ගන්න පුළුවන්ද කියල හොයල බලන්න.

ඔබ මුහුණ පා ඇති දේ මොකක් වුනත් කමක් නෑ, ඒ එක්කල සෑහීමට පත්‌ෙවන්න. මේ මොහොතේ සෑහීමට පත්‌වෙන්න. නිහඬතාවයෙන් සෑහීමට පත්‌ෙවන්න. හුස්මෙන් සෑහීමට පත්‌ෙවන්න. කොතැනක හිටියත් සෑහීමට පත්වීම දියුණු කර ගන්න. ඒ සෑහීමෙන්ම, එහි කේන්ද්‍රය තුළට යා මෙන්ම භාවනාව බලගැන්වෙන බව ඔබට ප්‍රත්‍යක්ෂ වේවි. නොසන්සුන්කම මැඩපවත්වා ගන්නේ එහෙමයි. ඒ නිසා යම් මොහොතක ඔබේ මනසේ නොසන්සුන්කම මතු වුනොත්, එතකොටම සෑහීමට පත්වීම කියන වචනය සිහිපත් කරන්න. නොසන්සුන්කමට පාර කපන වැරදි සෙවීමේ යෙදෙන්න එපා. නොසන්සුන්කමට හැම වෙලේම පෙනෙන්නේ වැරදිමයි. නොසන්සුන්කම ඔබ වහල්භාවයට පත්කරනව. හැමදේකම ඇති හොඳ පැත්ත දැකීම ඇරඹෙන්නේ සෑහීමට පත්වීමෙන්. එය ඔබ තැන්පත් කරනව. බුදුරජාණන් වහන්සේ නොසන්සුන්කම උපමා කරන්නේ ආඥාදායකයෙකු හැටියටයි. ඔහු හෝ ඇය ඔබට හැමවිටම අණ කරන්නේ “ගිහින් අරක කරන්න”, “අරක මෙහාට ගේන්න”, “ඒක හරි නැහැ”, “මොකක්ද ඒ කරපු වැඩේ” යන විදියට. මොහොතකටවත් විවේකයක් ගන්න ඔබට ඉඩ නොදී හැම වෙලේම ඔබ ගමනේ යොදවන්නේ ඒ නොසන්සුන්කමයි. වැරදි සෙවීමේ යෙදී ඉන්නේ මේ ආඥාදායකයායි. එක්තැන් වෙන්න ඉඩ නොදෙමින් හැමවිටම ඔබ සොලවන්නේ ඔහුයි. නොසන්සුන්කම ඇතිකරමින් සුළු මොහොතකටවත් ඔබට ඉස්පාසුවක් ලබා නොදෙන මේ ආඥාදායකයා පළවා හරින්නේ සෑහීමට පත්වීම බලවත් කර ගැනීමෙන්.

මේ විදියට නොසන්සුන්කමේ කැපී පෙනෙන රළු කොටස් මැඩපවත්වා ගත්තට පස්සේ, භාවනාවේ ගැඹුරු අවධීන් වලට එළඹෙන කොට ඔබට මුහුණ දෙන්න සිද්ද ‌වෙන්නේ ඉතා සියුම් අන්දමේ නොසන්සුන්කමකටයි. භාවනාවේ මේ අවධිය මම හඳුන්වන්නේ සමාධි නිමිත්ත නැත්නම් තැන්පත්වූ මනසෙහි ඡායාව පෙනෙන්න පටන් ගන්න අවධිය කියලයි. භාවනාවේ ගැඹුරට යන්න ඔබ මනස දියුණු කරගෙන තිබුණත් මේ අවධියෙදිත් නොසන්සුන්කම මතුවෙල, නොයෙකුත් දේවල් කරන්න, හසුරුවන්න, පාලනය කරන්නයි ඔබ බලන්නෙ. ඔබ ඉදිරියෙ සමාධි නිමිත්තක් මතු වෙලා තිබුණත්, ඔබ ඒත් එයින් සෑහීමට පත්‌ෙවන්නේ නැහැ. ඔබේ දැන් බල‌ාපොරොත්තුව ඊටත් වඩා වැඩි යමක් ලබා ගන්නයි. සමහර වෙලාවට ඔබ ඉදිරියේ දකින දෙයින් ඔබ කලබලයට පත්‌ෙවන්නත් ඉඩ තියෙනව. මේ නොසන්සුන්කමට සමාධි නිමිත්තලේසියෙන්ම විනාශ කරල දාන්න පුළුවන්. ඔබ කාලයක ඉඳල පුලපුලා බලා හිටිය තැනට දැන් ඇවිත් හිටියත්, ඒත් එයින් සෑහීමට පත්‌ෙවනවා වෙනුවට ඔබ දැන් හදන්නේ නොසෑහීම මතුකර ගන්නයි. ඇත්තටම දැන් ඔබට තවත් කරන්න දෙයක් ඉතිරිවෙලා නැහැ. ඇඟිලි නොගහ ඉන්න. කිසිවක් නොකර  ඉන්න. නිහඬව ඉඳගෙනසමාධි නිමිත්ත ක්‍රමයෙන් බලවත් වෙලා ධ්‍යානයක් කරා, එය ඔබ රැගෙන යන ආකාරය බලා ඉන්න. ඔබ කිසිවක්ම කළ යුතු නැහැ. කළ යුත්තේ බලා හිඳීම පමණයි. ඒකට පැයක් ගත වුනත්, විනාඩි පහක් ගත වුනත්, ඒ විදියට සිද්ද නොවුනත් ප්‍රශ්නයක් නැහැ. ඒ වෙන දෙයින් සෑහීමට පත්‌ෙවන්න. ධ්‍යානයකට සමවදින පිළිවෙත තමයි ඒක.

නිමිත්ත සෙලවෙනව නම්  එයින් පෙන්නුම් කෙරෙන්නෙත් මේ අවධියේදී මනසේ ඇති නොසන්සුන්කමයි. යමක් පාලනය කරන්න, හසුරුවන්න ගන්නා ප්‍රයත්නයේ ප්‍රතිඵලය තමයි නොසන්සුන්කම. නිමිත්ත මතුවෙලා, ඒක නැතිවෙලා යනව නම් ඒ පෙන්නන්නෙත් මනසේ ඇති නොසන්සුන්කමයි. නිහඬ ‌වෙන්න, තැන්පත් ‌ෙවන්න, සංසුන් ‌වෙවෙ, සෑහීමට පත්‌ෙවන්න. කිසිම ආයාසයක් නොගෙන සමාධිනිමිත්ත වෙත අවධානයඔබට යොමුකර ගෙන ඉන්න පුළුවන්  නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ ඔබ නොසන්සුන්කම මැඩපවත්වා ගෙන ඇති බවයි.

ඔව් ඒ තමයි හතරවෙනි නීවරණය වන උද්දච්ඡ කුක්කුච්ඡයේ අවසානය.

ඔබ සුවපත් වේවා!

Leave a comment