භාවනා මග සතුරෝ 3 තීනමිද්ධ නීවරණය

අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන් වහන්සේ

පරිවර්තනය හා සැකසීම – ජෝර්ජ් කාරියවසම්

(උපුටා ගැනීමට හෝ පිටපත් කර බෙදා හැරීමට අවසර නැත)

තුන්වෙනි නීවරණය තීනමිද්ධ යයි.

අලසකම, නිදිමත ගතිය, ඈලිමෑලි ගතිය, මේ මොන නමින් ඒක හැඳින්නෙව්වත් තීනමිද්ධ නීවරණය ගැන වැඩ දෙයක් කියන්න අවශ්‍ය නැත්තේ, භාවනාවේ යෙදෙද්දී අනිවාර්යයෙන්ම අපි හැමෝම ඒක අත්විඳින්න ඇතුවාට සැකයක් නැති නිසයි. භාවනා කිරීමේ අරමුණින් අපි වාඩිවෙලා හිටියත් අපි එහෙම ඉඳගෙන බලා ඉන්නේ මොකක් දිහාද කියලවත් වෙලාවකට අපි ඇත්තටම දන්නේ නැහැ. ඒක මේ මොහොතද, නිහඬතාවයද, හුස්මද, නැති නම් වෙන මොකක්ද කිය අපිට හරියටම කියාගන්න බෑ. සිහිය අවුල්. මනස මලානික වෙලා. මේ හරියට මනස ආලෝකමත් කරන්න පානක් පත්තු කරල නැතුව වගේ. මනසෙ තියෙන්නේ අඳුරු අපහැදිලි ගතියක්.

එක අතකින් බැලුවාම මේ උදාසීනත්වය ව්‍යාපාදයේම කොටසක් හැටියට, ඒ කියන්නේ අකමැත්ත නිසා ඇතිවන දෙයක් කියල ඔබට පේන්න පුළුවන්. දැන් තියෙන තත්ත්වයෙන් සෑහීමකට පත් නොවී එතැනින් ගැලවී යන්න හදන කොට සිද්ද වෙන්නේ මනස මේවගේ උදාසීන, මලානික, කිසිම වැඩකට නැති තත්ත්වයකට පත්වීමයි. එක හිර ගෙදරක ඉඳල වෙනත් හිර ගෙදරකට මාරුවීමක් ලබා ගත්ත වගේ දෙයක්.  බලාපොරොත්තුවුන දේ මොකක් වුනත් දැන් සිද්ද වෙලා තියෙන්නේ ඊට වෙනස්ම එකක්. භාවනාවට වාඩි වෙද්දි තිබුණ උද්යෝගය දැන් කෝ. දිවෙලා ගිහින්. මේක ඇත්තටම ගැලවීමක් නෙවෙයි. මේ ගැන හොඳට කල්පනා කරල බැලුවොත් පෙනේවි ඈලිමෑලි ගතිය ඒතරම් සුවදායක දෙයක් නෙවෙයි කියල. එයින් අවැඩක් මිසක් ප්‍රයෝජනවත් දෙයක් සිද්ද වෙන්නෙ නෑ. ඒ විදියට ගත කරන කාලය සම්පූර්ණයෙන්ම කාලය කා දැමීමක්.

හිරේ ඉන්දෙද්දි, දවසකට වැඩිපුර පැයක් නිදා ගත්තාම, ගත කරන්න වෙලා තියෙන හිර දඬුවම් කාලයෙන්, පැයක් ගෙවිල යනවයි කියල තමයි හුඟක් හිරකාරයො හිතාගෙන ඉන්නේ. හිර ගෙවල්වල නේවාසිකයො ඒක එහෙමෙයි කියල හිතාහිටියත් එදිනෙදා ජීවිතයේදී  පැයක් නිදා ගැනීමෙන් ඇත්තටම සිද්ද වෙන්නේ වටිනා ජීවිත කාලයෙන් පැයක් අපතේ හැරීමක්. ඒ විදියට ඔබේ වටිනා ජීවිත කාලයෙන් මාස ගණනාවක් නැත්නම් අවුරුදු ගණනාවක් නැතිවෙලා යනවට ඔබ කැමතිද? කාලෙකට ඉස්සර මම මේ ගැන හිතල බැලුවාම මට පෙනුනෙ ඒක මෙන්න මෙහෙමයි. ඔබ හැමදාම පැය හත වෙනුවට, පැය අට ගානෙ වැඩිපුර එක පැයක් නිදාගත්තොත් ඔබ එයින් කරන්නේ දළ වශයෙන් ඔබේ ජීවිතයෙන් දාසයෙන් පංගුවක් විසිකර දැමීමයි. අපි හිතමු, ඔබ අවුරුදු අසූවක් ජීවත් වෙනව කියල. එතකොට ගණන් හදල බැලුවොත්  ඒ අවුරුදු අසූවට ඔබ නාස්තිකර දමන කාලය අවුරුදු පහක් වෙනව. එහෙම බලපුවාම ඔබේ නින්ද දිනකට පැය හතකට විතරක් සීමා කරල, පැයක් වැඩිපුර ඇහැරගෙන හිටියොත්, ඒකෙන් ඔබට ජීවිතයේ ප්‍රයෝජනවත් විදියට ගත කරන්න තවත් අවුරුදු පහක් ලැබුණ හා සමාන වෙනව නේද? ඒ එක්කම මෙතන කල්පනාවට ගන්න ඕනෙ තවත් වැදගත් කාරණාවක් තියෙනව. ඔබ ඒ කාලය ජීවිතයට එකතුකර ‌ගන්නේ වයසට ගිහින් දිරාපත් වෙලා,  මොනවත් කරකියා ගන්නට බැරිව ලතවෙන ඔබේ ජීවිතයේ අන්තිම කාලයේදි නෙවෙයි. ඔබ හොඳ සවිශක්තිය ඇතිව, නිරෝගීව ජීවත්වන කාලයේදී බවත් අමතක කරන්න එපා! ඒ නිසා දවසකට පැයක් අඩුවෙන් නිදා ගත්තොත් අඩුතරමින් වැඩිපුර අවුරුදු පහක කාලයක් ජීවිතයට එක්කර ගත හැකියි. ඇයි එහෙම නම් ඒවගේ වටිනා කාලයක්, වටිනා අවුරුදු කිහිපයක් ඔබේ ජීවිතයට එක්කර නොගන්නේ? දැන් ඒ විදියට බැලුවාම භාවනාවෙදිත් නිදිමත බේරිබේරි ගත කරන කාලයත් ඒ ගොඩටම එකතු වෙනව. ඔබ මේ උදාසීනකම, කම්මැලිකම නිසා මොනතරම් වටිනා, ඵලප්‍රයෝජනයට ගත හැකි කාලයක් අපතේ හැර දානවද? කම්මැලිකම නැතිව ටිකක් ඒ ගැන හිතල බලන්න.

හැම නිතරම බෞද්ධ ඉගැන්වීම් වල අපට පෙන්නා දෙන්නේ ලබා ඇති මිනිස් ජීවිතයේ ඇති වටිනාකම. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා දැනගැනීමට අවස්ථාව ලැබුණු මේ ජීවිතය අතිශයින්ම වැදගත්. පුහුණුවෙන්න ඔබට දැන් ඕනතරම් ඉඩකඩ සැලසී තියෙනව. මේවගේ අවස්ථාවක් ලබාගන්න, ඕන කරපු පුණ්‍ය සම්භාරය, එක්රැස් කරගන්න සසරෙ ඔබ ගෙවා ඇති ජීවිත ගණන සුළුකොට හිතන්න එපා. ඒවගේ ජීවිත ගණනාවක් තුළ එක්රැස් කරගත් හොඳ කර්ම, හරි විදියට ආයෝජනය කරල ඔබත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ලංවීමට ඉඩකඩ සලසා ගන්න. ඒ නිසා මේ වටිනා ජීවිතයේ එක මොහොතක්වත් උදාසීනව, කම්මැලිකමින් ගත කරන්න එපා. කාලය අපතේ හරින්න එපා.

කෙනෙකුට මම මීට ඉහත පෙන්වාදී ඇති ආකාරයට නිදිමත ගතිය දුරල ගන්න ඔබ කළ යුත්තේ මේකයි. පාරක් දිගේ ඇවිදගෙන යද්දී දෙමං හන්දියකට ආවයි කියල හිතන්න. වම් අත පැත්තෙන් යන්නේ නිදිමත දිහාවට. දකුණු අත පැත්තෙන් ගියොත් යන්නේ සිහිකල්පනාව දිහාවටයි. සාමය පිහිටල තියෙන්නෙත් ඒ පැත්තෙම වැඩි ඈතකින් නෙවෙයි. ඔබ තෝරාගන්නේ කොයි පැත්තට යන මගද? වම් පැත්තට ඇති මග දිගේ ගියොත් නොවරදවාම ඔබට නිදිමත වෙත ළඟා වෙන්න පුළුවන්. භාවනා කරද්දී ඔබ විමසිල්ලෙන්, සිහිනුවණින් ඉන්නව නම් මම මේ කියන දේ යම්කිසි අවස්ථාවකදි ඔබ දකිනව. ඒ අවස්ථාව ආවාම  ඔබ බොහොම වෙලාවට තෝරාගන්නේ නිදිමත පැත්තට යන පාර. එතෙන්දි ඔබ මොකද කරන්නේ ඒක එහෙම වෙන්න ඉඩදීල ඔහේ නිකම් බලා ඉන්නව. ඒ මොහොතට ආවාම, ඒ තීරණාත්මක අවස්ථාවේදී වම්පැත්තේ මග අත්හැර දාල දකුණු පැත්තට වැටී ඇති මග දිගේ යන්න ඔබට හැකියාව තියෙනව. නමුත් ඔබ ඒක බොහොම වෙලාවට මග හරිනව. දකුණු පැත්තේ මග වැටිල තියෙන්නේ ඉතා මනරම්, සාමකාමී, එමෙන්ම ප්‍රමෝදය ගෙන දෙන වාතාවරණයක් ඇති තැනකටයි. මම නැවතත් මතක් කරන්නේ මේ මංසන්දියට ආවාම හොඳින් ප්‍රවේසම් වෙන්න කියලයි. වම්පැත්තට යන කොට ඔබ කරන්නා අත්හැර දමන බව නම් ඇත්ත. නමුත් වරදකට තියෙන්නේ ඔබ ඒ එක්ක දැනහිඳින්නත් අත්හැර දාන එකයි. ඔව් ඉතින් නිදාගන්න නම් ඒ දෙන්නම අත්හැ දාන්න එපැයි. දකුණු අත පැත්තට යන කොට ඔබ කරන්නා හිතාමතා අත්හැර දැම්මත් ඔබ යන්නේ දැනහිඳින්නා ඉස්සර කර ගෙනයි. ඔබ සම්පූර්ණයෙන්ම දැනහිටියත් ඔබ අතින් කෙරෙන දෙයක් නැහැ. පැහැදිලි කමින්, සාමයෙන් පරිපූර්ණ වුනු අතිශයින් චමත්කාර මේ අවධිය ඇත්‌තෙන්ම ඔබ අත්විඳ බැලිය යුතුමයි. එය නිදිමතෙන් පෙළෙන, මලානික, අන්දමන්ද, කාලය කාදමන අවධියක් නම් නෙවෙයි.

නිදිමත ගතිය, කම්මැලිකම මගහරවා ගන්න සෙන්ක්‍රමයට අනුව භාවනාව පුහුණු කරවන ගුරුවරයෙකුගෙ ළඟට යන එක, තවත් ක්‍රමයක්. මෙතෙන්දි විශේෂත්වයකට තියෙන්නේ භාවනායෝගීන්ගේ පිටිපස්සෙන් ඇවිදින ගුරුවරයගෙ අතේ වේවැලක් තිබීමයි! ඒක නොවරදින ක්‍රමයක් කියල මම සොයා ගත්තේ එංගන්තයේදී මම සහභාගි වුන ඒවගේ භාවනා මුළුවකදි. ඒ ඉරිදා දවසක උදේ පාන්දර බව මට අද වගේ මතකයි. අම්මෝ එහෙම හීතලක්, කියල වැඩක් නෑ. එතන භාවනාවට ඉඳගෙන හිටි හැමෝම වගේ සීතලෙන් ගැලවෙන්න තඩි බ්ලැන්කට් පොරොව ගෙනයි හිටියෙ. ඒවගේ පොරෝනයක් ළඟපාතක තියෙන බව දැක්කාමත් හීතලයි නිදිමතයි දෙකම බලා ඉන්දෙද්දි උග්‍රවෙනව! ටික වෙලාවක් ගතවුනාට පස්සේ  ඒ ගුරුවරයා මගේ ළඟින් පිටිපස්සෙන් යනකොට මගේ අසල්වැසි යෝගිය, පව් දෙයියනේ චුට්ටක් නිදිකිරා වැටෙමිනුයි හිටියෙ. මුල් වේවැල්පාර වැදුනේ උන්දැට. බලන්නකො ඒකෙත් හැටි! ගුටි කෑවෙ එක්කෙනෙක්, නමුත් සාලාවෙ හිටි අපි හැමෝගෙම නිදිමත කොහෙන් ගියාද කියල නෑ. නැතිව ගියා ඒ සැ‍ණින්. එක් කෙනෙක්ට දුන්නාම ඒකෙන් අනික් අයත් සෑහීමකට පත්වෙනව කියල අහල තිබුණට, මම ඇත්තටම දැන ගත්තේ එදා. බය අපේ වැහිල තියෙන ඇස් අරවනව. පුදුමයි!

එකපාරමට ඈලිමෑලි ගතිය අයින් කරල දාන්න උදව්වෙන, වරදක් කියන්න බැරි, ඒවගේ බිය සාධාරණයි. ඊට සමාන බියක් ඇතිකර ගන්න මේ විදියට මතුරල බලන්න. “මැරෙන බව සහතිකයි, කොයි වෙලේද දන්නෑ.” කාලය අපතේ නොහැර මේ මොහොත නිසියාකාරව යොදා ගන්න ඒවගේ වදන් ඔබව දිරිමත් කරනව. මතක්වෙන වෙලාවට ඒව නැවත නැවතත් තමන්ටම කියා ගන්න. එතකොට නිදිමත ගතිය යනව. තායිලන්ත සම්ප්‍රදායට අනුව ගල් කුළුක් වගේ ලේසියෙන් පහලට ඇදගෙන වැටෙන්න පුළුවන් බය හිතෙන තැනෙක වාඩි වෙලා භාවනා කිරීමත් නිදිමත ඇරගන්න යොදාගන්න තවත් ක්‍රමයක්. ඇද වැටිල තුවාල වෙන්න ලේසි තැනක් ඔබ තෝරා ගත්තොත් නිදිමත ලේසියෙන් එන්නේ නෑ. ඒවගේ තැනකදී ඔබ භාවනා කරන්නේ හොඳ කල්පනාවෙන්. වේවැලක් අතේ තියාගෙන පිටිපස්සෙන් ඇවිදින සෙන් භාවනා ගුරුවරයෙකුගෙන් සිද්ද වෙන්නෙත් ඒකමයි. ඒ එකක්වත් කරගන්න පහසුකම් ලැබිල නැත්නම් රෑ එළිමහනේ ඉඳගෙන භාවනා කරන ගමන් සැරින් සැරේට අහල තියෙන පරණ භූත කතා මතක් කරන්න! හැබැයි ඒකෙන් එහෙමපිටින්ම හිත හොල්මන් වෙලා යන්න දෙන්න එපා. ඒ පහසුකම නම් හැමෝටම තියෙනව. මේ හැම ක්‍රමයකම අරමුණ පිබිඳුනු, ක්‍රියාශීලී, සූදානම් ශරීරයක් ඇති කෙරෙන දේක යෙදීමයි. එතකොට නිදිමත ගතිය නැතිවෙලා යන බව ඔබට පෙනේවි.

භාවනා කරන කොට අනවශ්‍ය අන්දමින් සුවපහසුවක් ඇතිකර ගන්න එපා. ඒකත් නිදිමත ගතිය එන එක වළක්ව ගන්න උපකාර වෙනව. කොට්ට මෙට්ට දාගෙන බිත්ති වලට හේත්තුවෙලා හොඳට හරිබැරි ගැහිල ලකලෑස්ති වෙන අය සූදානම් වෙන්නේ භාවනා කරන්න නෙවෙයි නිදාගන්නයි. හුඟදෙනෙක් පෝයදාට අතපය ඉස්මන් කරල පංසලට යනනෙත් හොඳ තැනක් අල්ලගන්න. අනේ ඒ මොකටද මන්ද? පෙරව ගෙන භාවනා කරන්න එපා. පොරෝනා අහකට දාල ටිකක් සීතල විඳදරා ගන්න. ඒ‌කෙන් පිබිඳුනු ගතිය ඇතිකරනව. නිදිමත නම් සක්මන් භාවනාව  කරන්න. එළිමහනට යන්න. උදේට නැගිටල සක්මන් භාවනාවෙ යෙදෙන්න හුඟ දෙනෙක් කම්මැලි සීතලට අකමැති නිසායි. සීතල දැනෙන එක එච්චර තදින් හිතට ගන්න එපා. ටික වේලාවක් එළිමහනේ ඉන්න කොට ඒක විඳදරා ගන්න පුළුවන් වෙනව. ඒකෙන් ගත සිත දෙකම ප්‍රබෝධමත් කරනව. කරල බලන්න. එතකොටත් නිදිමත ගතිය, කම්මැලිකම මගහැරෙනව.

හිතට කම්මැලිකම එන්නේ හිතෙන් දැනුවත්වකම යනකොට. තීනමිද්ධ නීවරණය යටපත් කරන්න යොදාගත හැකි හොඳම ක්‍රමය තමයි ඒ ගැන සිහිකල්පනාවෙන් ඉන්න එක. ආනාපානසති භාවනාවෙ යෙදෙන කොට ඔබ ගන්න මුල්ම හුස්ම වාර කීපය නම් හරිම පැහැදිලියි. නමුත් විනාඩි පහක් දහයක් යනකොට කොතැනකදි හරි හුස්ම ගැන අවධානය ගිලිහිල ඔබ ගිහින් වැටෙන්නේ අලසකමේ පතුලටමයි. නිදිමත භාවනා යෝගියා වෙලාගන්නේ පිඹුරෙක් දඩයම හෙමින් සීරුවේ වෙලාගන්නව  වගේමයි. ඔබට කිසිම ඉඩක් නොදී, වටේට දඟර දාල වෙලාගෙන ඔබව අඩපණ කිරීම ආරම්භ කරන්නේ හොර රහ‌සෙමයි. මුලින්ම ඒක ඔබේ සිහිකල්පනාව අඩපණ කරනව. ඊළඟට ඔබේ අවදිමත්කම නැති කරල දානව.        

මේක පැදිලි කර දෙන්න මම මෙතෙන්දි නයින් පිළිබඳ උපමාව ගෙනහැර දක්වන්නම්. හාමුදුරුනමක් හැටියට මුල් කාලේ අවුරුදු ගණනාවක්ම මම ජීවත් වුන තායිලන්තයේදි පාවහන්වල හිඟකම නිසා වනාන්තරය මැද්දෙන් බොහොම වෙලාවට අපි ඇවිදගෙන ගියේ පාවන් නැතිවයි. ටෝච් වලට දාන්න බැටරිත්  හිඟයි.ඒ නිසා සමහර දාට රෑ යාමේ අපට එහා මෙහා යන්න වුනේ තනි කළුවරේ. තායිලන්‌තයේදි නිතරම අහන්න ලැබෙන කියමනක් තමයි “එකෙක් ඇරෙන්න වනාන්තරයේ ඉන්න හැම සර්පයෙක්ම ඉතාමත් විසකුරුයි” කියල. එහෙ ඉන්නව වර්ග සීයක විතර සර්පයින්. ඉන් අනූනව දෙනෙක්ම විස ඝෝර සර්පයො. ඉතිරි එකා ඔබ මරන්නේ හුස්ම හිර කරල. කොටින් කියනව නම් ඒ හැම සර්පයෙක්ම අති භයානකයි. කෑවොත් ඉවරම තමයි. මරුවගෙන් බේරෙන්න මම කළේ මේකයි. හැම තැනකම වගේ විසකුරු සර්පයො ඉන්න පුළුවන් බව මම දැනගෙන හිටි නිසා රෑබෝ වුනාම මම ඇවිද්දේ බොහෝම පරිස්සමින්. හැම වෙලේම අඩිය තිබ්බේ දැන් දැන් එකෙක් පෑගේය කියන හැඟීමෙන්. භාවනා සාලාවේ ඉඳල කුටියට රෑ කළුවරේ පාවහනුත් නැතිව අඩිපාර දිගේ ඇවිදගෙන ගියේ ඒ විදියෙ පරිස්සමක් ඇතිව නිසා කල්වේලා ඇතිව උන්ව දැකගැන්න මට පුළුවන් වුනා. ඒ පරිස්සම නිසා උන්ව මගහැරල යන්න මට පුළුවන් වුන නිසා මට කවදාකවත් නයෙක්ගෙන් අනතුරක් සිද්ද වුනේ නැහැ.

නිදිමතයි, අලසකමයි මේ දෙකත් ඒවගේමයි. හැම තිස්සෙම ඒව අපි වටේට කැරකි කැරකි ඉන්න බව අපි හොඳින් දන්න කාරණයක්. ඒ ගැන කල්පනාවෙන් හොඳ සිහියකින් ඉන්නව නම් ඔබට නොදැනෙන්න හෙමින් සීරුවෙ ඒවට ඔබව වෙලාගන්න බැහැ . සිහියෙන් ඉන්නව නම් නිදිමත ළඟට ඇදීගෙන එන බව ඔබට කල්වේලා ඇතිව දැනෙනව. නිදිමත හෝ අලසකම ලංවෙද්දී ඒක මගහැරල පැත්තකට වෙන්න හරි ඊට උඩින් පැනල යන්න ඔබට හැකියාවක් තියෙනව. ඒකට අහුවෙන්න උවමනාවක් නැහැ. භාවනාවේදී හමුවන දෙමං හන්දි උදාහරණයේදි වගේම මෙතෙන්දිත් එක මගක් නිදිමත හා උදාසීනකම පැත්තට ඔබව එක්කගෙන යන බව ඔබේ සිහිකල්පනාවයි, සැලකිලිමත්කමයි ඔබට පෙන්නල දේවි. අනෙක් පැත්ත ඔබ එක්කගෙන යන්නේ සාමය හා සැනසුම කරා. ඒ විතරක් නෙවෙයි ප්‍රබෝධමත්කමත් එතැන ඇති බව ගියොත් ඔබ දකීවි. භාවනා මග දිගේ යනකොට නියම වෙලාව ආවාම ඒ දෙමං හන්දිය මුණගැහෙනවද කියල හොයල බලන්න. බොහෝ භාවනා වාරවලදි ඔබ උදාසීනකම පැත්තට යන මග තෝරාගත් බව සිහියට අරගෙන මේපාරවත් හරි මග දිගේ ඉදිරියට යන්න අධිෂ්ඨාන කර ගන්න. නිදිමත හා උදාසීන ගතියෙන් තොර සාමය හා සැනසීම වෙත ළඟාවෙන උතුම් මග දිගෙයි එතකොට ඔබ යැවෙන්නේ.

අලසකම මතු වේගන එනකොට පිබිදීම ඇති කරන, සිහිකල්පනාවෙන් කළයුතු කටයුත්තක නිරත වන්න. උදාහරණයක් හැටියට තෙරුවන් ගුණ සජ්ඡායනය කරන්න. මනස පණ පොවා ගන්න. හුස්ම ගණන් කරන්න පටන් ගන්න. හුස්ම හිතෙන් ගණන් කරන එක මේකට යොදාගන්න පුළුවන් හොඳ  උපායක්. ඒ ක්‍රමයෙන් එතකොට ඔබට, නිදිමත ගතියෙන් ඔබ පෙළෙනවදැයි කියල සැකහැර දැන ගන්න පුළුවනි. මෙන්න මේකයි ඒ ගණන් ක්‍රමය. “හුස්ම ඉහළට යනකොට – එකයි, හුස්ම පහළට යනකොට – එකයි, හුස්ම ඉහළට – දෙකයි, හුස්ම පහළට – දෙකයි, ඉහළට – තුනයි, පහළට – තුනයි, ඉහළට – හතරයි, පහළට – හතරයි.” මේ විදියට එකේ ඉඳල “ඉහළට – නවයයි, පහළට – නවයයි” දක්වා හිතෙන් හුස්ම වාර නවයක් ගණින්න. ආපහු එකේ ඉඳල ගැනීම ආරම්භ කරන්න.  නමුත් මේ පාර අටේදි නතර කරන්න. ඊළඟ වාරයේ එකේ ඉඳල හතට, ඒගමන එකේ ඉඳල හයට, එකේ ඉඳල පහට, එකේ ඉඳල හතරට, එකේ ඉඳල තුනට, එකේ ඉඳල දෙකට, එකේ ඉඳල එකට ගණින්න. කියපු පිළිවෙළටම ඔබට ඒක කරන්න බැරි නම් හරි ඊළඟ වාරයේදි ගණින්න ඕනෙ එක් ඉඳල කීයටද කියල සැකයක් මතුවෙනව නම් ඒකෙන් පෙන්නන්නෙ, නිදිමත ගතිය නිසා ගණන් වැරදුන බවයි. ආයි ඒක කරන්න ගියාමත් වරදිනව නම් බොරුවට ලැඟගෙන ඉන්න එපා. නැගිටින්න සක්මන් භාවනාවෙ යෙදෙන්න. ඇල් වතුරෙන් මූණකට හෝද ගන්න. ගතසිත පණ පොවෙන අන්දමේ වෙන කටයුත්තක ටික වෙලාවක් යෙදිල ඉන්න.

මේ අතරෙ සමහරු, ඕන් මම දැන් සාමකාමී අවධියකට ආවයි කියල හිතල, “මේ නම් ධ්‍යානයක් තමා, හරි ෂෝක්නෙ” කියල හිතනව.  නමුත් ටික වේලාවකට පස්සෙ ඇහෙන්නේ ගොරවන හඬ. ඒක ඉතින් ධ්‍යානයක් නම් නොවෙයි. නමුත් ඒක ධ්‍යාන සුවයක් නොවුනත් සමහරු එයින් හොඳ සුවයක් විඳිනව, ආපහු ඇහැරෙනකම්ම. ඒ හින්ද විශේෂයෙන්ම, උදේ පාන්දර නැගිටල භාවනා කරද්දී හුස්ම ගණන් කරල බලන්න. ඔබ ඇත්තටම හොඳ සිහිකල්පනාවෙන් ඉන්නවද කියල බලන්න ඒක ලේසි  ක්‍රමයක්. ගැනීම හරියාකාරව කර ගන්න බැරි නම් ඔබේ මනසෙ පැහැදිලිකමක් නැති බවයි ඒකෙන් පෙන්නුම් කෙරෙන්නේ. මනසෙ පණ උපදවා ගන්න යමක් කරන්න. පිරිත් සජ්ඡායනය කරල බලන්න. නැත්නම් එළියට ගිහිල්ල සක්මන් භාවනාව කරන්න. ඒත් නිදිමත ගියේ නැති නම් පස්සෙන් පස්සට ඇවිදින්න. හැබැයි, ඔන්න වැටුනොත් මම නෑ. එහෙමත් නැති නම් හිතට ධෛර්යය අරගෙන බ‌ෙලන් හරි ටික වේලාවක් හුස්ම ඉහළ පහළ යන විදිය බලා ඉන්න.

භාවනාව හොඳින් කෙරීගෙන යන කොට, ප්‍රීතිය ගෙනදෙන ආස්වාදයෙන් මනස ප්‍රබෝධමත් වුනාම, නිදිමතටයි අලසකමටයි මනසට රිංග ගන්න බැහැ. අලසකමයි, නිදිමත ගතියයි ඇති කරන්න මුල්වෙන්නෙ උනන්දුවක් නැතිකම, සෑහීමකට පත් නොවීම, කරන කටයුත්තෙ ඇති අගය නොවැටහීම. ඔබ යෙදිල ඉන්න කටයුත්ත කොයිතරම් වටිනවද? හරියාකාරව භාවනාවෙ යෙදෙනව නම් ඔබ ලබාගන්නා ප්‍රඥාවෙ බලය කොහොම විස්තර කරල දෙන්නද? ඒ නිසා බොරුවෙන් කාලය කා දාන්න එපා. හැම හුස්මකටම වටිනාකමක් දෙන්න. ඔබට වැදගත් ‌වෙන්නේ මේ මො‌හොතේ කෙරෙන භාවනාවයි. භාවනාවෙ යෙදී ඉන්න මේ පැය වෙනුවෙන් රුපියල් දාහක් ගෙවල තියෙනව කියල හිතන්න. එහෙම නම් ඔබ ඒ කාලය නිකරුනේ අපතේ අරිනවද? ඒ හින්ද භාවනා වාරය වෙනුවෙන් සෑහෙන මුදලක් වියදම් කරල තියෙනවයි කියල හිතල ඒකෙ වටිනාකම ගන්න පුළුවන්වෙන විදියට භාවනාවෙ යෙදෙන්න. මොහොතක්වත් කාලය අපතේ හරින එක වැරදියි? මේ ආකාරයට ඔබ කටයුතු කරනව නම් නිදිමත හෝ අලසකම ඔබේ සිතට අවතීර්ණ වෙන්නේ නැහැ. සිහිකල්පනාවෙන් හොඳින් භාවනා කරන්න!

ඔබ සුවපත් වේවා!

Leave a comment