භාවනා මග සතුරෝ 2 ව්‍යාපාද නීවරණය

අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන් වහන්සේ

පරිවර්තනය හා සැකසීම – ජෝර්ජ් කාරියවසම්

(උපුටා ගැනීමට හෝ පිටපත් කර බෙදා හැරීමට අවසර නැත)

දෙවෙනි නීවරණය ව්‍යාපාදයයි. 

ද්වේශය එහෙම නැත්නම් අකමැත්ත හැටියට හඳුන්වා දෙන්න පුළුවන් ව්‍යාපාදය  බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් දෙවෙනි නීවරණයයි. ව්‍යාපාදය කියන නම ඇහුණ ගමන්ම ඒකෙන් අදහස් කරන්නේ අනික් අයට දක්වන වෛරය හෝ තරහ කියලයි හුඟ දෙනෙක්ගෙ හිතට එන්නේ. නමුත් ව්‍යාපාදයේ සම්පූර්ණ අදහස ඒ විදියට සීමා කරන්න බැහැ. මොකද? ඒක අන් අය වෙතම එල්ල වෙන දෙයක් හැටියටම සලකන්න බැහැ. තමන් වෙතටත් ඒක යොමු කරගන්න පුළුවනි. ඒ විතරක් නෙවෙයි මේ අකමැත්ත හෝ ද්වේශය තමන් වෙත වගේම තමන්ගේ භාවනා අරමුණ වෙතත් ඇති කර ගන්න පුළුවන්. දැනුවත්වම හෝ නොදැනුවත්වම මේ විදියට ද්වේශයක් ඇතිකර ගැනීම භාවනා යෝගීන් භාවනාවට එල්ල කර ගන්න බලවත් අවහිරයක්.

තමන් වෙත ඇතිකර ගන්න ද්වේශය බොහොම වෙලාවට තමන්ගේ භාවනා අරමුණ දියුණුවෙනවා දකින්න තියෙන අකමැත්තක් හැටියටයි මතුවෙන්‌ෙන. තමන් භාවනාවෙන් ලබන අධ්‍යාත්මික ප්‍රීතිය, සතුට විඳීමට තරම් තමා සුදුස්සෙක් නොවේය කියන හැඟීමක් හැටියට ඒක තමන්ට දැනෙන්න පුළුවන්. නමුත් අපි කවුරුද වැරදි කරල නැත්තේ? ඒ වුනත් අතීතයේ තමන් අතින් වැරදි සිද්ද වෙලා තියෙනව නම් භාවනාවෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන්න තරම් තමන් ශුද්ධවන්තයෙක් නෙවේය කියල සමහරුන්ට හිතෙනව. කව්ද මම වගේ කෙනෙකුට සමාව දෙන්නේ. ඒවගේ තත්ත්වයකට එන්න තරම්, අනේ! මම පිං කරල නැහැනෙ කියල තවත් සමහරු හිතනව. තමන් පොඩිකාලෙ හැදී වැඩී තියෙන පරිසරය, වතාවරණය වගේ දේවල්, මේ විදියෙ අදහස් උදහස් හිතේ තදින් කාවැදී තියෙන්නත් හේතුවක් විය හැකියි. සමහරු ජීවිතයේ යම්යම් වකවානුවලදි නොයෙකුත් අඩම්තේට්ටම් වලට මැදිවෙලා බොහොම අමාරුවෙන් ජීවිතය ගැටගහගත්ත අය වෙන්න පුළුවන්. ඒ අයට එහෙම හිතෙන එක සාධාරණයි. නැතිබැරි කාලෙ සමහර වෙලාවට,මොකක්ද ඒකෙ ඇති වරද කියල හිතල, පොඩිපොඩි දේවල් හොරකන් කරල තියෙන්න වුනත් පුළුවනි. මොන හේතු තිබුණත්, කාට වුනත්, වැරැද්ද වැරැද්ද හැටියට දැකල ඒක පිළිඅරන් පහු කාලෙකදි යහමගට එන්න පුළුවන් කම තියෙනව.

තමන් ගැනම මතු වෙන්න පුළුවන් මේ ද්වේශය ගැන භාවනාවේදී අපි සොදිසියෙන් ඉන්න ඕනෙ. භාවනාවේ ගැඹුරට යෑම ඉඩ අහුරන ලොකුම බාධකය මේක වෙන්න ඉඩ තියෙනව. මම දන්න  එක මෙහෙණීන් වහන්සේ නමක් ඇයගේ භාවනාව පිළිබඳව මා එක්ක සාකච්ඡා කරද්දි ඇය මුහුණ පාන ගැටළුව, මේ හැටියට සඳහන් කළා. එතුමිය කිව්ව විදියට භාවනාවේ ඉතා ගැඹුරට ඇයට යන්න පුළුවන් වුනත් ධ්‍යානයකට සමවදින්න ඇයට කවදාකවත් බැරිවුනා කියල. එහෙම වෙන්නේ ධ්‍යානයක දොරකඩටම ආවත් එයට ඇතුළ්වෙන්න බැරිවුනේ ඒතරම් ප්‍රීතියක් භුක්ති විඳින්න තරම් තමන් සුදුස්සෙක් නොවේය යන හැඟීම ඒ වෙලාවට මතුවන නිසාය කියල ඈ මට කිව්ව.

ධ්‍යානයකදී දැනෙන සතුට භුක්ති විඳින්න ඇයට බැරි වුනේ තමන් කෙරෙහි ඇය ඇතිකර ගත් නොහොඳ නිසයි. තමා නුසුදුස්සෙක්ය යන හැඟීම ඇය තුළ දෝංකාර දෙනව. මේ අත්දැකීමම විඳපු අය තව කීපදෙනෙක් මට ඉන් පස්සෙත් මුණගැහිල තියෙනව. භාවනාවේදී මනස තැන්පත් වෙලා, සාමය ගොඩනැගෙමින් සිතේ ප්‍රීතිය මතුවී ගෙන එන කොට, මෙතැන මොක්ක හරි වරදක් ඇතෙයි කියල හැඟීමක් ඔවුන් තුළ ඇති වෙනව. තමන්ට නිදහස්වීමට, ප්‍රීතිමත්වීමට ඉඩ නොදෙන අන්දමේ බලවත් ද්වේශයක්, දැන්වත්වම හෝ නොදැන්වත්වම ඔවුන් හිතේ තහවුරු කරගෙනයි ඉන්නේ.

ඉතා සියුම්ව මතුවන මේ ව්‍යාපාද නීවරණය ධ්‍යාන සුවයෙ රස විඳින්න ඇයට ඉඩ නොදෙන එකම බාධාව බව ඒ මෙහෙණින් වහන්සේ මනසින් තේරුම් අරගෙන හිටිය. නමුත් ඒවගේ ප්‍රමෝදයක ආස්වාදය විඳීමට තමනුත් සුදුස්සෙක්ය කියල හිත හදාගන්න ඇයට බැරි වුනා. ඔබ ඊට නොසුදුසුද? නැහැ! ඇත්තෙන්ම නැහැ. එවන් ආස්වාදයක් විඳීමට හොඳම සුදුස්සා ඔබයි. ඒකෙ ඇති වැරැද්ද මොකක්ද? කාටද ඒකට විරුද්ධ වෙන්න පුළුවන්? මේ ලෝකෙ මොනතරම් නීති විරෝධී ආස්වාද වල මිනිස්සු යෙදිල ඉන්නවද? ඒව මොනවගේ ඒවද කියල මම නොකිව්වට හිතා ගන්න පුළුවන් නේද?  කොච්චර තහංචි පැනෙව්වත් ඒ රස විඳීම් මිනිස්සු නවත්තනවද? සමහරු ඒව අරගන්නේ පංසිල් පදත් එක්කම. නැද්ද?  අනේ අපි ඒව කරාට බොහොම පොඩියටනෙ කරන්නේ කියල සාධාරණය කරන්න හේතුත් පෙන්නනව. සමහරක් ඒ ක්‍රියාවල අතුරු ඵල හැටියට ඔබට ලැබෙන්නේ නොයෙකුත් භයානක ලෙඩ රෝග. ධ්‍යාන වැළඳ ගැනීමෙන් පැතිරෙන්න පුළුවන් කිසිම ලෙඩක් නැහැ. ධ්‍යානයන්ට පිවිසීමෙන් නීතියට එරෙහි වීමක් වෙන්නෙත් නැහැ, එයින් ළඟා කරගන්න හානිදායක අතුරු ඵල කිසිවකුත් නැහැ.

මේ ව්‍යාපාද නීවරණය ඉස්මතු වෙන්නේ ධ්‍යානයකට සමවදින්න ඔන්න මෙන්න තියෙද්දි විතරක් නෙවෙයි කියල, භාවනා කරගෙන යන විදිය හොඳට සෝදිසි කරල බැලුවොත් ඔබටම පෙනේවි. සමහර වෙලාවට ඒක භාවනාවේ මුල ඉඳලම පවතින දෙයක් ‌ෙවන්න පුළුවන්. භාවනාවේ මුල් අවධිවලදි දැනෙන ආස්වාද සුව‌ෙය තරම සුළු එකක් වුනත් ඒ සුවයවත් නොවිඳීමෙන්, භාවනාව අමාරුකර ගන්න එක ඔබ අතින් නොදැනුවත්වම වගේ ‍වෙන්න ඉඩ තියෙනව. තමන් එක්ක ඇති කර ගත්තු තරහක් පිරිමහන්න හිතාගෙන, හිතාමතාම ශරීරයට වදදෙන්න හරි තමන්ගෙ හිත සාමයට පත්වෙනව දකින්න අකමැත්තක් ඔබ ඇති කර ගත්ත වෙන්න පුළුවන්. එතෙන්දිත් ඔබ කරන්නේ සැනසිලි දායක සුවයක් රස විඳින්නවත්, ප්‍රමෝදයට පත්වෙන්නවත්, නිදහසේ සුව විඳින්නවත් තමන් නුසුදුසුය කියල ඔබ හිතනව. මේ ඇති වෙන්නෙත් හදවතේ තදින් කාවැදිල තියෙන තමන් වැරදිකාරයෙක්ය කියන හැඟීම මුල්කර ගෙන “සතුටක් විඳීමට තරම් සුදුස්සෙකු නොවේය” කියන හැඟීම මතු කරගැනීම නිසාමයි.

වැරදිකාර හැඟීම හැමතිස්සේම මතු කරන්නේ මේ වගේ අදහස්. වැරදිකාරයෙක්ය යන සිතිවිල්ලත් එක්කම මතුවෙන්නේ තමන් ඒකට යම්කිසි දඬුවමක් විඳිය යුතුය කියන සිතිවිල්ල. උසාවියේදී කෙනෙක් වැරදිකරුවෙක් හැටියට නඩුකාරය ගන්න තීරණයත් එක්කම ඊට සුදුසු දඬුවමක් පැවරීමේ වගකීමත් පැවරල තියෙන්නේ ඔහුටමයි. වරදයි, දඬුවමයි ඒකාබද්ධ දෙයක් හැටියටයි හැම සංස්කෘතියකම වගේ උගන්වන්‌ෙන. ඒ අදහස අපේ සිත්සතන් තුළ තදින් කාවැදිලයි තියෙන්නේ. වැරැද්දක හැඟීමක් හිතේ මතුවෙච්ච ගමන්ම අපි හදන්නේ ඊට සුදුසු දඬුවම මොකක්ද කියල හොයල බලන්නයි. නිදහස සීමා කරන්න, සතුටු වෙන්න තියෙන අවස්ථා නැති කරන්න නේද අපි ඉක්මන් වෙන්නේ. අපි දරුවන් කාලෙ, අම්මල තාත්තල අපට කරේ ඒක; අපි අම්මල තාත්තල හැටියට දරුවන්ට අපි කරන්නෙත් ඒක. ඒක වැරදිමයි කියනව නෙවෙයි. නමුත් දැන් වෙලා තියෙන්නේ අපි දැන් අම්මල තාත්තල හැටියට, අපි අපිටම කරගන්නෙත් ඒකමයි. ඒ පුරුද්ද අපෙන් ගිහිල්ල නැහැ. දඬුවම් පමුණුවා ගන්නේ අපිමයි. අපි හුරුවෙලා තියෙන්නේ තව තවත් දඬුවම් සොයන්නයි. මේවගේ පිස්සුවත් තවත් තියෙනවද?

අපි විහින්ම අපේ සුභසෙත සලසා ගන්න ඕනෙ. ව්‍යාපාදය, තමන් නොදැනුවත්වම භාවනාව කෙරෙහි තදින් බලපාන නීවරණයක් විය හැකියි. මේක අයින් කරගන්න අපි කරන්න ඕනෙ මෛත්‍රී සහගත සිතිවිලි දියුණු කර ගැනීමයි. සාමය අත්විඳින්න ඔබටත් සුදුසුකම් තියෙනව. එය අත්කර ගන්න ඔබටත් අවස්ථාවක් දෙන්න. ඒකට මෙන්න මෙහෙම තමන්ටම කියා ගන්න: “ඔන්න මගේ හදවතේ දොර මුළුමණින්ම මා වෙනුවෙන් විවෘත කළා. ප්‍රීතිවීමට දැන් අවසර තියෙනව. එයට ඉඩ දෙන්න. මා එක්ක සුහදශීලී, මිත්‍රශීලී බවක් මම ඇතිකර ගන්නව. සැනසීමෙන්, සාමයෙන් මගේ හද පිරී ඉතිරී යන්න. භාවනාවේදි මගේ සිත ප්‍රීතිමත් වේවා! සැනසීම මා වෙත ළඟා වේවා! මා සතුටු සිත් ඇත්තෙක් වෙම්වා!” තමන්ටත් සතුටුවීමට ඉඩ හරින්න. තමා වෙත මෙහෙම යොමුකර ගන්න හොඳ හිත මෛත්‍රීය මිස වෙනදෙයක් නෙවෙයි. තමන්ට දයාවක්, ආදරයක් දක්වගන්න ඔබට අපහසුවක් දැනෙනව නම් ඒ ගැන ප්‍රශ්න කරන්න. යම්කිසි දඬුවමක් බලාපොරොත්තුවෙන් ඔබ හැසිරෙන්නේ යටි හිතේ තදින් කාවැදී ඇති, අතීතයේදී තමා අතින් සිදුවී ඇති යම්කිසි අකටයුත්තකට සමාව දීගන්න බැරිවයි. ඔබ තවමත් කොන්දේසි රහිතව සර්වසාධාරණ සමාවක් ඔබට පවරාදීල නැහැ.

කවුරු හරි ඔබට අසාධාරණයක් කරල තියෙනව නම් ඒකට කමක් නැති බව බුදුරජාණන් වහන්සේ අපට උගන්වලයි තියෙන්නේ. අහවලා මට බැන්න, මට විරුද්දව කේලම් කිව්ව, මට හිරිහැර කළා, මට ගැහැව්ව, මාව නොසලකා හැරිය වගේ දේවල් හිතේ කැකෑරෙන තාක්කල් අපි සැනසීමක්, සතුටක් නොලබන බව අපි ඉගෙන ගෙන තියෙනව. ඒ දේවල් මොනතරම් අසාධාරණ වුනත්, කොයිතරම් කෲර වුනත්, කොපමණ කලක් ඔබ ඒවාට ගොදුරු ‌ෙවලා හිටියත්, කිසිසේත්ම එවැනි අතවරයකට ඔබට මුහුණදීමට සිදුවීම, සිදු නොවිය යුත්තක් වුනත් ඒකට කමක් නැහැ. ඒව ඒ විදියට සිද්ද වුනත්, කිසි පැකිලීමක් නැතිව, හිතේ කිසිම කිළුටක් ඉතිරි කර නොගෙන, සහමුලින්ම සමාව දෙන්න ඔබට හැකියාවක් තියෙනව. කියන්න නම් ලේසියි කියල දැන් ඔබට හිතෙන්න පුළුවන්. ඔව් ඒක ඇත්ත තමයි. නමුත් අධිෂ්ඨානය,වීර්යය කියන ගුණ ධර්මත් බුදු දහමෙ උගන්නනව. අපි ඒව ඕන තරම් අහල, කියවල තියෙනව. ඕන් ඔය දැන් තියෙන්නේ ඒක උරගා බලන්න අවස්ථාවක්. ඔබ ඒව දියුණු කර ගැනීමේ යෙදිල මේ වගේ අවස්ථාවලදි ඔබේ හැකියාව පරීක්ෂා කර බලන්න ඕනෙ. ඒකයි මාර්ගයේ ඉදිරියට යාම කියන්නේ. බුදු දහම තියෙන්නේ ඇසූපිරූ තැන් ඇත්තෙක් වීමට නෙවෙයි. පුහුණුව තුළින්ම පමණක් ඉදිරියට යාමට හැකි මගක් බුදු දහම පෙන්නල දෙන්නේ. හුඟ වෙලාවට අපේ සමාජයේ බොහෝ අය කියන්නේ, විශේෂයෙන්ම දැන් සමාජ ජාලවල නිතරම දකින්න ලැබෙන්නේ, සමාව දීමට බැරි දේවල් අප අතර තියෙන බවට ඉඟි කිරීම්. හුඟ දෙනෙක් ඒවගේ අදහස් පරම සත්‍ය හැටියට පෙන්නල දෙන්න වලිකනව. තියෙන සුළු නුවණින් හරි ඒ කියමන් විමසල බලන්නෙම නැතිව ඒව හිස් මුදුණින් පිළිගන්න කොටසකුත් ඉන්නව. ඒ නම් බුදු දහම නෙවෙයි. බුදු දහමට අනුව නම් ඔබට සමාව දිය නොහැකි දෙයක් ඇත්තෙම නැහැ. කිසිසේත්ම නැත. ඔබත් අහල ඇති, අවුරුදු කිහිපයකට උඩදි මන්දබුද්ධිකයෙක් ස්කොට්ලන්තයේ පාසැලකට ඇතුල් වෙලා නිරපරාදයේ කුඩා ළමයි හුඟ දෙනෙක් වෙඩි තියල මරල දැම්ම. ඩන්බ්ලේන් නගරයේ සිදුවුන මේ ඝාතනයෙන් මියගිය අය වෙනුවෙන් පැවැත්වූ ආගමික තේමාවේදී එහි ප්‍රධානත්වය දැරූ එක්තරා සුප්‍රසිද්ධ දේව ගැතිවරයෙක් දෙවියන්ගෙන් අයැද සිටියේ “අහෝ දෙවියනි! මේ පුද්ගලයාට නම් සමාව නොදෙනු මැනවි” යනුවෙන්. ඔහු තර්ක කර හිටියේ සමාව දිය නොහැකි දේවල් අපි අතර තියෙන බවයි. මේ ඉන් එකක් බව ඔහු කියා හිටිය. දරුණු ඛේදවාචකයකට මුහුණදීල ඉතා දරුණු ලෙස කම්පාවට පත්වෙලා හිටි ජනකායකගෙ සිත්සතන් සුවපත් කරන්න, සමාවදීමේ අගය පෙන්වා දෙන්න ආගමික නායකයෙකුට නොහැකිවීම ගැන ඇහැව්වාම, මගේ හදවත කම්පා වුනා. මේ වෙනත් ආගමකට පහර ගැහීමක් නෙවෙයි. උදාරණයක් හැටියට ගත්ත විතරයි. මේවගේ නායකයොයි කියා ගන්න අය අපේ හැම ආගමකම ඉන්නව.

බුදු දහමට අනුව සමාව දීමට නොහැකි යමක් මේ මිහිපිට නැහැ. සුවපත් වීම උදාවෙන්නේ සමාව දීම තුළින්. ඉදිරි ගමනට මග හෙළිකර දෙන්නේ සමාවයි. අනුන්ට සමාව දීම වගේම තමන්ටත් සමාවක් දීගන්න කෙනෙකුට අමාරුකමක් දැනෙනව නම් ඒ අය තුළ තදින් මුල් බැසගත් වැරදි ආකල්පයන් ඇති බව මගේ අදහසයි. ඒක තමන්ගේ හිතේ ගැඹුරින් කිඳා බැසගත් ව්‍යාකූල ප්‍රශ්නයක් වෙන්න පිළිවනි. සමහර වෙලාවට ඇත්තටම ඒක මොකක්ද කියලවත් හරිහැටි සිතා ගන්නවත් ඔබට බැරි වෙන්න පුළුවන්. ඒත් තමන්ට සමාව දීගන්න බැරියෙයි කියල හිතන, තදින් සංතානයේ පැලපදියංවූ, විහින් වරද පටවා ගන්නා යම් දෙයක් හදවතේ කැවෙමින් තියෙනව. ඒක මොකක්ද කියල ඔබට නිශ්චිතවම කියාගන්න බැරි වුනත් සතුටු වීමට, නිදහස් වීමට, ධ්‍යාන සුවය විඳීමට, සත්‍යාබෝධය කරා යාමට ඉඩ නොදෙන්නේ තවමත් හිතාගන්න බැරි යම්කිසි හේතුවක් නිසායි.

තමන් වෙත පාන අකරුණාව ඔබේ භාවනා කටයුතු සාර්ථක නොවීමට හේතුවක් විය හැකියි. ඒක ඇත්තක්ද, එහෙම නම් ඒක සාධාරණද කියල ටිකක් සෝදිසි කර බලන්න. ඊළඟ භාවනා වාරයේදි මම කළින් කියපු විදියට මෛත්‍රීය තමන් වෙත පතුරුවා ගන්න උත්සාහ කරන්න. මෛත්‍රීය වඩන්න වෙනත් අවස්ථාවක් එනකන් බලා ඉන්න එපා. සමහර වෙලාවට මම භාවනා මුළුවක ආරම්භයේදීම මෛත්‍රී භාවනාව වඩන්න කියල, මම භාවනායෝගීන් උනන්දු කර වන්නේ හුඟ දෙනෙක් ව්‍යාපාදයේ ඇති බරපතලකම සුළුකොට හිතන්න පුරුදු වෙලා ඉන්න නිසයි. මම ආයිත් මතක් කරන්නේ තමා වෙත ඇතිකර ගන්නා ව්‍යාපාදය භාවනාවේ දියුණුවට ලොකු බාධාවක් වෙන බවයි. කොච්චර වැරදි කරල තිබුණත් මුළුමණින්ම තමන්ට සමාව පිරිනමා ගෙන, අනුන් අතින් තමන්ට කොච්චර වැරදි සිද්ද වෙලා තිබුණත් ඒ ගොල්ලන්ටත් තමන්ගෙ සමාව පිරිනමල, හිතේ ඇති කහට මකාගෙන, මෛත්‍රී සහගත සිතිවිලි ඇතිකර ගන්න. අතීතයේ තමන්ට සිදුවෙලා තියෙන නොහොඳ මොක වුනත්, තමන්ගේ සිත, කය, වචනයෙන් කර ඇති වැරදි කොයි ආකාරයේ ඒවා වුනත්, ඒක පාර්ශිකව සම්පූර්ණ සමාවක් පිරිනමන්න උත්සාහ ගන්න. කොයි තරම් දුරට ඔබ මේ විදියට අතීත වැරදි අත්හැර දාන්න ඕනෙද, තමා වැරදි කරුවෙක්ය කියන හැඟීම ඉවතලන්න ඕනෙද කියනව නම් තමන්ගේ හදවතේ ඉතා උණුසුම් ප්‍රබෝධමත් හැඟීමක් මතුවන තෙක් ඔබ එය කළ යුතුයි. තමන්ට සතුටු ‌ෙවන්න ඉඩ දෙන්න. සාමය, සැනසීම ලංකර ගන්න. මේ ආකාරයට ඔබ සකස් කර ගන්නේ, මොනයම් ආකාරයක හෝ ප්‍රීති සහගත වින්දනයක් හිතේ මතු වුනාම නිර්භීතව ඊට මුහුණ දෙන්න ඇති හැකියාවයි. ඊට පස්සේ ඔබ සිතාමතාම ඒව නවතාලන්න ගන්න උත්සාහය නතර කරනව. ප්‍රීතියේ ගිලෙමින් එය තවදුරටත් දියුණු කර ගන්නයි ඉන් පස්සේ ඔබ කටයුතු කරන්නේ. ව්‍යාපාදයෙන් අත්මිඳිල ඉන් ඔබ්බට යන්න නිදහස ලබාගන්න මනස, ඉන් පිටතට නොගිහින් එතුළම ඇලීගැලී ඉන්න ශක්තියක් උපදවා ගන්නව.

දැන් අපි භාවනා අරමුණ කෙරෙහි ඇතිකර ගන්න අකමැත්ත ගැන අපේ අවධානය යොමු කරමු. මෙතෙක් භාවනාවෙන් බලාපොරොත්තු වුන ආකාරයේ ප්‍රතිඵලයක් නොලබපු, විශේෂයෙන්ම අනාපානසතිය වැඩීමෙහි යෙදෙන අයට, ආවේනිකවූ පොදු ප්‍රශ්නයක් මේක. මම මෙතෙන්දි ‘මෙතෙක්’ කියල කිව්වේ, වැඩි කාලයක් ගත නොවී අනිවාර්යයෙන්ම අපි හැම දෙනෙකුටම භාවනාවෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන නිසයි. නිරන්තරයෙන්ම වගේ භාවනාව වැනි යහපත් කටයුතු සාර්ථක වීම සොබාදහමේ අසිරියක්. නමුත් අපි සමහරෙකුට එයින් ඉක්මන් ප්‍රතිඵල නොලැබෙන බව අපට පිළිගන්න වෙනව. ඒ හින්ද මේ වගේ අවස්ථාවලදී භාවනාව කෙරෙහි හෝ භාවනා අරමුණ කෙරෙහි අසතුටක් ඇතිවීම ඒ තරම් පුදුම වෙන්න කාරණයක් නෙවෙයි. සමහර වෙලාවට භාවනා කරමින් මෙහෙම හිතනව: “කෝ තාම හරියන පාටක් නැහැනෙ.” “මොන කරුමයක්ද මේ?” “දැන්නම් මට ඇතිවෙලා තියෙන්නෙ.” “අනික් අය කරන නිසා මාත් ඔහේ එල්ලීගෙන ඉන්නවා.” වගේ අසතුටු සිතක් ඇතිකර ගෙන භාවනා කරන කොට හොඳ ප්‍රතිඵල ලැබේවිද? සමහර වෙලාවට මෙහෙමත් හිතෙනව “හොඳ බෞද්ධයෙක් නම් භාවනා කළ යුතුම නේද?” “භාවනා කරන්නෙ නැති නම් බෞද්ධකමෙන් ඇති වැඩේ මොකක්ද? ” එහෙම හිතල කරනන් වාලේ, හැඟීමකින් තොරව භාවනාවෙහි යෙදුනහොත් ඉන් නිසි ප්‍රතිඵල නොලැබෙන බව කියන්න ඕනෙද? එහෙම අය භාවනාවට ඉඳගන්නේ බාධකයක් ඉදිරිපිටින් තියාගෙනයි.

භාවනාව ඇර වෙනත් හිත් ගන්නා දෙයක් මට ඇත්තේම නැත. මම ඒතරමටම භාවනාවට ලැදියි. මට මතකයි වරක් මම භාවනා මුළුවක් පවත්වන්න පටන් ගන්න ලෑස්තිවෙද්දි ඊට සහභාගි වුන අනෙක් හාමුදුරුවරුන්ට මම කිව්වවේ “මොනතරම් දෙයක්ද? තවත් භාවනා මුළුවක්. මීට වඩා තවත් මොනවද?” ඇත්තටම මම ගොඩනැගිල්ලට ඇතුල් වුනේ කියන්න බැරි තරම් සතුටකින්. පහුවදා උදේ නැගිට්ට ගමන්ම එකපාරටම මට මතක් වුනේ “මම ඉන්නේ භාවනා මුළුවක නේද? මට අද මුළු දවසම භාවනා කරන්න පුළුවන්. මොනතරන් දෙයක්ද? අනෙක් වැඩරාජකාරි මුකුත්ම නැහැ. මම නිදහස්.” හැම වෙලේම මම භාවනාවට දක්වන්නෙ අන්න එහෙම ආකල්පයක්. ඊට දක්වන අසීමිත ලැදියාව නිසා ඒ එක්ක මම ඇතිකර ගෙන තියෙන්නේ පුදුමාකාර ලෙන්ගතුකමක්. කොයිම වෙලාවකවත් නාම මාත්‍රයක අනාදරයක් භාවනාව ගැන මගේ හිතේ ඇති ‌ෙවන්නේ නැහැ. කොච්චර භාවනා කළත් මට එයින් වෙහෙසක් දැනෙන්නේ නැහැ. කොටින්ම කියනව නම් මම ඒකට දැන් ඇබ්බැහි වෙලා. ඔබටත් ඒ වගේ කැමැත්තක් භාවනාවට ඇතිකර ගන්න පුළුවන් නම් බුදු හාමුදුරුවො පෙන්වාදුන් විදියට ඔබේ හිත ඇදී යන්‌ෙනත් භාවනාවටමයි.

මේකටම ලස්සනට ගැලපෙන මේ උදාහරණය අරගෙන බලන්න. වීදියක් දිගේ ඇවිදගෙන යනකොට හිතන්න ඔබ දකිනව පාරෙ අනෙක් පැත්තේ ඇවිද ගෙන යන ඔබේ පරණ යාළුවෙක්. ඔබට මතක් වෙනව එකපාරටම ඔහු එක්ක ගතකළ පරණ අතීතය. ඒ මොනතරම් ලස්සන අතීතයක්ද. යන්න තිබුණ ගමන නවත්තල පරක්කු වුණත් කමක් නැහැ, වැඩ ඔහේ තිබුණ දෙන් කියල පාර පැනල දුවගෙන ගිහින් යාළුවගෙ අත් දෙකෙන් අල්ල ගෙන ලංකර ගන්නේ නිරායාසයෙන්මයි. “මම මේ හදිසි වැඩකට ආපු ගමන්, වැඩේ පරක්කු වුනාට කමක් නැහැ. යමු තේ එකක් බොන්න. මොනතරම් කාලෙකට පස්සෙද දැක්කෙ? ඉතින්, ඉතින් කොහොමද වාසෙදේසෙ? යමු, ගිහින් අපි ටිකක් කතා කර කර ඉමු.”

භාවනා අරමුණ එක්කත් සතුටින් කාලය ගත කරන්න ඇත්තටම ඔබට උවමනා නම් ඒක පරණ යාළුවෙක් ගානට දාල අනෙත් හැම දෙයක්ම අල්ලල දාන්න ඔබ ලෑස්ති වෙන්න ඕනෙ. මම භාවනාව සලකන්නේ අන්න එහෙමයි. භාවනාව මගේ අර පරණ මිත්‍රය. ඒ පරණ මතක කොච්චර ලස්සනද? භාවනාව හැතැප්මක් දුරදි දැක්කත්, දැක්ක හැමවෙලේම දුවගෙන ගිහින් තදින් අල්ල ගෙන කොතැනකට හරි වෙලා එකට කල් ගෙවන්න තමයි මම පුරුදු වෙලා ඉන්නේ. භාවනා අරමුණට මම  තෝරා‌ගෙන තියෙන හුස්මත් එක්ක මට තියන බැඳීම ගැන මටම පුදුමයි. මා හුස්මත් එක්ක හරිම යාළුයි. මක්කරලවත් අත් හරින්න බැහැ. මගේ හොඳම යාළුව හුස්ම. ඔබත් හුස්ම වෙත දක්වන සැලකිල්ල ඒ විදිය නම්, ඒත් එක්ක ඒ විදියට ළඟින් ඉන්න පුළුවන් නම්, භාවනාවේදී හුස්ම අත් නොහැර ඉන්න එක ඔය කියන තරම් අමාරු නැති බව ඔබට පෙනේවි.

දැන් මේකෙ වෙන්න පුළුවන්  අනිත් විරුද්ද පැත්ත ගැනත් අපි හිතල බලමු. හුස්මත් එක්ක ඉන්න එක ඔබට ලේසි දෙයක් නෙවෙයි නම් බලෙන් වගේ එහෙම ඉන්න ගියාම, හුස්මත් එක්ක ඔබට ඇති වෙන්නේ තරහක්, නොරුස්සණ ගතියක්. විශේෂයෙන්ම භාවනා මුළුවකදි හරි පෝය දවසක පංසලේදි පැයක විතර කාලයක් එක දිගටම භාවනා කරන්න යෙදුනු අවස්ථා ගැන හිතල බලන්න. ඒ වගේ වෙලාවල් වලට, හරියට අර පාරෙ අනිත් පැත්තේ එන තරහකාරයෙන් දැක්ක වගේ, හුස්ම එනවා දැක්ක ගමන් හිතේ මතුවන්නේ “මොන කරදරයක්ද මේ? ඔන්න ආයිත් එනවා මේ යෝදය” වගේ සිතිවිල්ලක් නේද? ලයිට් කණුවකට හරි මුවාවෙලා හුස්ම කියන තරහකාරය මගහරින්න ඔබ නොගන්නා උත්සාහක් නැහැ. ඔබට ඕනෙ එයින් ගැලවෙන්න. හුස්ම වෙත දක්වන ව්‍යාපාදයයි ඒ. අවාසනාවකට වගේ සමහරෙක් හුස්ම වෙත දක්වන්නේ ඒවගේ අකමැත්තක්. ඒ අයට මේ බව හරියාකාරව පෙන්නල දීල නැති නම් ඔවුන් භාවනාව සලකන්නේ තමන්ට පැවරිල තියෙන තවත් අමතර වගකීමක් විදියටයි. බලන්නෙ කොහොම හරි මග හරින්නයි. ඒ අයට ඒක සතුටක් නෙවෙයි, හිසරදයක්. දැන් බලන්න කෙනෙක් නිරෝගීකම රැක ගන්න හැමදාම උදේට කරන ව්‍යායාම දිහා බලන්නෙත් මේ වගේ ආකල්පයකින් නේද? ශරීරය පුෂ්ටිමත් කරගන්න බර ඔසවන ව්‍යායාම වල යෙදෙන අය, ශරීරයට නොසෑහෙන තරමට වද දීගෙන ඒ වෙනුවෙන් පැය ගණන් කාලය ගත කරන්නේ, එයින් යමක් ලබා ගන්න මිසක් කැමැත්තකින් නෙවෙයි, කරන්නම වෙලා තියෙන නිසා. ඔබත් භාවනාවට පිවිසෙන්නේ ඒ විදියට නම් සතුටුදායක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

ඒ නිසා භාවනා අරමුණ එක්ක සුහද මිත්‍රශීලී බවක් ඇතිකර ගන්න. භාවනාවට සතුට දනවන කටයුත්තක් හැටියට සලකන්න. හිතන්න: “ආ! මොනතරම් හොඳද? මට කරන්න තියෙන එකම දේ නිකන් ඉන්න එක. යන්න තැනක් නැහැ. කරන්න දෙයක් නැහැ. කතා කරන්නවත් උවමනා නැහැ. වෙනකක් තියා හිතන්නවත් ඕනෙ නැහැ. වාඩිවෙලා ඉඳගෙන පරණ යාළුවා, හුස්ම එක්ක ඉන්න එක විතරයි තියෙන්නෙ.” ඔබට එහෙම හිතන්න පුළුවන් නම් හුස්ම එක්ක ඇතිකර ගෙන තියෙන ව්‍යාපාදය හිතෙන් ඉවත්වෙලා යනව. ඒ වෙනුවට ඔබ දියුණු කරගන්නේ හුස්ම වෙත ලයාංවිත හැඟීමක්.

භාවනාවෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න, මම හිත උනන්දු කරවන්න යොදා ගන්නව මෙන්න මේ වගේ තවත් උපායක්. හුස්ම ඔබේ අළුත උපන් ඔබේ දුව හෝ පුතා හැටියට හිතා ගත්තාම, සාප්පුවකට ගියාම ඔබ ඒ දරුවා අමතකවීමෙන් එතැන දාල යනවද? පාරතොටේ ඇවිදගෙන යද්දී නොදැනුවත්වම දරුවා ඔබේ අතින් ගිලිහිල බිමට වැටෙයිද? දරුවා නොපෙනෙන තැනකට වෙලා ඔබට ඉන්න පුළුවන්ද? කොතැනකදි හරි ඔබට අමතක වීමෙන් දරුවා මගහැරෙයිද? එයාව අත්හැර දාල වෙන තැනකට යන්න පුළුවන්ද? එහෙම හිතන්න පුළුවන් නම් හුස්ම වෙත අවධානය රඳවාගෙන ඉන්න ඇයි ඔබට ඔයතරම් අමාරු? මෙයින් නැවතත් මම ඔබට පෙන්නල දෙන්නේ හුස්ම වෙත ඔබේ ආදරයක් ඇති නොවීම ඊට හේතුව බවයි. ඔබ එයින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. එය ඔබට සතුටක් ගෙන දෙන්නේ නැහැ. ඒකෙ ඇති වටිනාකම ඔබට වැටහෙන්නේ නැහැ. ඔබේම දරුව වගේ හරි, මෙතෙක් දරුවෙක් නොලත් කෙනෙක් වගේ හරි ඔබ හුස්ම අගය කොට සලකන්නව නම්, තමන්ට ඉතාමත් සමීප, ළඟම ඉන්න, ඒ වගේ දෙයක් ඔබ ලේසියෙන් අත්හැර දමාවිද? වැලහී යන්න ඉඩ අරීවිද? ඒ අයත් එක්කම ඉන්න උත්සාහ ගන්නනව වගේම, හැවෙලේම ළඟපාතක ඉන්නවද කියල ඔබ සෝදිසියෙනුයි ඉන්නේ. ඔබ හුස්මට ආදරය කරනව නම් කොහොමවත් ඔබ එයින් ඈත් වෙන්නේ නැහැ. නමුත් ඔබ ඊට දක්වන්නේ අකමැත්තක් නම් ලේසියෙන්ම ඒක අමතක කර දාල වෙනතක යන හින්ද ඒක මගහැරෙනව. එයට දක්වන අකමැත්ත නිසා එය මගහැරිල ගියත් ඔබ ඒ ගැන සොයන්නෑ. ඔබ කිසි ගානක් නැතිව අයාලේ යන්නේ ඒ නිසායි. භාවනාවේදී සමාධිය පිරිහිල යන්නේ මේ විදියටයි. ඔබ යෙදී සිටින කටයුත්තට සැලකිල්ලක්, ආදරයක් නොදැක්වීම ඊට මූලික හේතුවයි.

සාරාංශ වශයෙන් කිව්වොත් මෙන්න මේ කරුණුයි අපි පෙන්නල දුන්නේ. ව්‍යාපාදය භාවනාවට බාධාවක්. එය ප්‍රහීන කරගන්න නම් මෛත්‍රීයෙන් යුතුව ඔබ වෙත වගේම අන් අය වෙතත් දයාවත්, කරුණාවත් දක්වන්න ඕනෙ. භාවනා අරමුණ ආදරයෙන්, හොඳින් රැක බලාගන්න. භාවනාව වෙත හොඳ හිත පතුරුවමින් එය සුහදව පිළිගන්න. එයින් තෘප්තිමත් වන්න. හුස්ම සමග මිත්‍රත්වයක් ඇතිකර ගන්න. එය ළදරුවෙක් හැටියට සලකන්න. තමන් ඉතාමත් සිඟිති, සුකොමල ළදරුවෙකුට දක්වන අන්දමේ ආදරයකින්, මොනතරම් කාලයක් ඒ වෙනුවෙන් ගත කළත් එයින් සෑහීමකට පත් නොවන අන්දමේ සෙනෙහසකින් හුස්ම රැකබලා ගන්න. දයාබර දෙමාපියන් තමගේ ළදරුවා ළඟ ගැවසෙනව වගේ ඔබත් හුස්ම එක්ක රැඳී ඉඳීම අවශ්‍ය බව හිතට ගන්න. ඔබ හුස්ම ගැන සැලකිලිමත්ව, සැලකිල්ලෙන් ඉන්නව නම් හුස්ම ඔබේ ග්‍රහණයෙන් ගිලිහී යන්නෙ නැහැ.

නිහඬතාවය වෙතත් ඔබේ ආදරය දක්වන්න. ඒ වගේම මේ මොහොතටත්, ඒ ආකාරයටම සලකන්න අමතක කරන්න එපා. ඔබේ මනසේ නවාතැන් අරගෙන ඉන්න නිහඬතාවය, මේ මොහොත, කියන මිත්‍රයින් දෙන්නා ගැනත් හොඳින් සොයා බලන්න. භාවනාමය අරමුණු ලෙස සලකන ඒවා කෙරෙහිත් ව්‍යාපාදයක් ඇතිවීම මේ විදියටම වළක්වාගන්න පුළුවන්. අරමුණ වෙත මෛත්‍රී සහගත සිතක් ඇතිකර ගත්තාම ඒක ආරක්ෂා කරගන්න ඒ තරම් මහන්සි වෙන්න ඕනෙ නැහැ. තමන්ගේ අරමුණ වෙත දැක්විය යුතු ආදරය කොයිතරම්ද කියනව නම් ඒ එක්ක ඉන්න එක සිද්දවෙන්න ඕනෙ නිරායාසයෙන්මයි.

දෙවෙනි බාධකය ව්‍යාපාදය මෙන්න මේ විදියෙ තුන් ආකාරයකින් මතුවෙන් පුළුවන් බව මතක තියා ගන්න. වෙනත් අයෙකු කෙරෙහි ඇතිවන තරහ හෝ අකමැත්ත හැටියට ඒක මතුවිය හැකියි. බොහොම වෙලාවට ඒක තමන් වෙතම එල්ලකර ගන්නත් ඉඩ තියෙනව. භාවනා අරමුණ වෙත දක්වන අකමැත්ත හැටියටත් ඒක මතු වෙන්න පුළුවන්.

මේ ඔක්කොම මැඩපවත්ව ගෙන භාවනාවෙ ඉදිරියට යන්න නම් අපිට මෛත්‍රී සහගත සිතිවිලි වැඩිවැඩියෙන් දියුණුකර ගන්න වෙනව.

ඔබ සුවපත් වේවා!

Leave a comment