අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන් වහන්සේ
පරිවර්තනය හා සැකසීම – ජෝර්ජ් කාරියවසම්
(උපුටා ගැනීමට හෝ පිටපත් කර බෙදා හැරීමට අවසර නැත)
භාවනාවේදී මතුවන බාධක හැටියටයි අපි නීවරණ ධර්ම හඳුන්වන්නේ. මේ බාධක මගහරවා ගන්නේ කොහොමද කියල ඔබ ඉගෙන ගන්නම ඕනෙ.
භාවනාවේ ගැඹුරු අවධීන්ට ළඟා වෙන්න ඉඩ නොදෙන, මේ බාධක, පාළි භාෂාවේ හඳුන්වාදී තියෙන්නේ නීවරණ කියන නමින්. ඒ වචනයේ තේරුම “අවහිරය” කියල කියන්න පුළුවන්. කොතැනකට හරි ඇතුල්වෙන්න ඉඩ නොදෙන බාධකයට, නැති නම් දොර වැසීමකට ඒක සමාන කරන්න පුළුවන්. කෙනෙකුට ගැඹුරු භාවනා අවධීන්ට එළඹෙන්න මේව ඉඩ දෙන්නෙ නැහැ. ඒවා තේරුම් නොගත්තොත් අවිද්‍යාව වැඩි දියුණු වෙනව, ප්‍රඥාව මතුවීම වළක්වනව. බුදු දහමෙ, භාවනාවට අවහිර කරන සතුරන් ගැන විස්තර කරද්දී ප්‍රධාතම හතුරා හැටියට මේ පංව නීවරණ හඳුන්වාදීල තියෙන්නෙ ඒ නිසයි. ඒවා අපිට සතත්‍යාවබෝධය කරගන්න ඉඩ දෙන්නෙ නෑ. ඒ හින්ද මේ පංච නීවරණ හරියට අඳුනගෙන ඒවා මැඩපවත්වා ගන්න එක බොහොම වැදගත්.
ඒවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතිකර ගෙන නැත්නම් මේ බාධක මැඩගෙන ඉදිරියට යාම ගැන අපට කිසි විශ්වාසයක් තියන්න බැහැ. පංච නීවරණ ධර්මයන් හැමතැනකදිම වගේ විස්තර කරල දුන්නත්, විශේෂයෙන්ම මේ සතුරන් පස්දෙනාගේ සියුම් බාධක ගැන, අවශ්‍ය තරමේ පැහැදිලි කිරීමක් බොහොමයක් ගුරුවරු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ නිසා ටිකක් විස්තර ඇතිව මම ඒව පෙන්නල දෙන්නම්. ගැඹුරු භාවනා අවධීන් වෙත එළඹීමට මග අහුරණ මෙම සියුම් බාධක අයිති වෙන්නෙත් මේ පංච නීවරණ වලටමයි. ඒ හින්ද කෙනෙක් මේවා අඳුනාගෙන ඒවා මැඩපවත්වා ගන්න උනන්දුවක්, උත්සාහයක් ගන්නේ නැත්නම් ඔහුගේ මනස හැසිරෙන්නෙත් මේ නීවරණයන්ගේ මනාපයට අනුවයි. එතකොට කෙනෙකුට සුවදායක, ප්‍රීතිමත් මනසක ආස්වාදයක් විඳන්නත්, සත්‍යාවබෝධයේ ඵල නෙලාගන්නත් ඕන කරන විදසුන් නූවණ ලබාගන්න ඒව ඉඩ දෙන්නේ නැහැ.
කොටින්ම කිව්වොත් සත්‍යාවබෝධය අත්කර ගැනීමත්, ඔබත් අතර ඇති මග හරස් කරගෙන ඉන්නේ මේ පංචනීවරණයි. අපි ඒවා අඳුනාගෙන තියෙනව නම් ඒවායින් ගැලවිල ඉදිරියටම යන්න අපිට ඉඩකඩ ලැබෙනව. ඔබ මෙතෙක් ගැඹුරු සමාධියකට සමවැදිල නැත්නම් එයින් අදහස් කරන්නේ ඔබ තවමත් මේ නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන්ම හඳුනා ගෙන නැති බවයි. ඔබ මනස වැඩි ඈතකට විහිදුවා ගෙන නැහැ. එවැනි උත්තරීතර තත්ත්වයකට මනස පත්කර ගන්න ඔබටත් පුළුවන් වුනා නම්, ඔව්! එහෙම නම් ඔබ පංච නීවරණ යටපත් කරන්න හැකියාව උපදවා ගෙනයි ඉන්නේ. ඒ තරමටම ඒක සරලයි, පැහැදිලියි.
බුදුරජාණන් වහන්සේ පංච නීවරණ ධර්මයන් නම්කර තියෙන්නේ මෙන්න මේ පිළිවෙලටයි. පළමුවැන්න කාමච්ඡන්‍ද, දෙවැන්න ව්‍යාපාද, තුන්වැන්න ථීනමිද්ධ, හතරවැන්න උද්ධච්ච කුක්කුච්ච, පස්වැන්න තමයි විචිකිච්චා.
හොඳයි අපි දැන් මේ දේශනා මාලාවේ පළමු වැන්නෙන් පළමුවෙනි නීවරණය වන කාමච්ඡන්‍දය ගැන සාකච්ඡා කරල ඊළඟ දේශනා හතරෙන් ඉතිරිව සලකා බලමු.
කාමච්ඡන්‍දයට බුදුන් වහන්සේ මුල්තැන දුන්නේ එය ඉතාමත් වැදගත් වන නිසාය කියන එක මගේ අදහසයි. මේ බාධකය සම්පූර්ණයෙන්ම වගේ වටහාගෙන තියෙන්නේ බොහොම ටික දෙනයි. කාමච්ඡන්‍දය හරියාකාරව තේරුම්ගත්තු භාවනා යෝගීන් දුර්ලභයි. භාවනාවෙ ගැඹුරට යන්න ඉඩ නොදෙන ප්‍රධානම බාධකයයි මේ. පංච කාමයන්ට, පස්කම් සැපයට ඇති ඇලීම හැටියටම මේක හැඳුන්වා දීල එතැනින් නතර වීම වරදක්, මොකද ඒකෙන් සම්පූර්ණ අදහස හෙළිදරව් නොවන නිසා. කාම කියන පාළි වචනයේ තේරුම පසිඳුරන්ගේ ලෝකයයි. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංච ඉන්ද්‍රීන් ඔස්සේ පෙනීම, ඇසීම, ගඳ සුවඳ දැනීම, රස හා ශාරීරික පහස මගින් මවාපාන බාහිර ලෝකයයි මේ. කාම හා ඡන්ද යන පද දෙක එකට ගත්තාම එතන තේරුම ඊට වඩා ගැඹුරුයි. ඇත්‌ෙතන්ම එයින් අදහස් කරන්නේ ඒ කිව් පසිඳුරන්ගේ ආශ්වාදයන්ගෙන් උද්දාමයට පත්වීමත්, තෘප්තිමත්වීමත්, ඒවා සමගින් පැවැත්මත් ඇතිකර ගැනීමත්, එහෙමත් නැත්නම් අඩුතරමින්වත් ඒ ලෝකයේ විසීමට කැමැත්තක් ඇතිවීමත් කාමච්ඡන්‍දය හැටියට හඳුන්වා දිය හැකියි. මේ හැමෙකකින්ම පෙන්නුම් කෙරෙන්නේ පසිඳුරන්ගේ ආධිපත්‍යයට, බලපෑමට අවනතවීමක්. පසිඳුරන් කෙරෙහි ඇලීමත්, පසිඳුරන් කෙරෙහි බැඳීමත්, පසිඳුරන් සමග විසීමට කැමතිවීමත් කාමච්ඡන්‍දයයි.
ෙබාහෝ දෙනෙකුට මේ පසිඳුරන්ගේ ලෝකය අත්හැර දාන්න බැරි ඒ අයට ඒ ඇරෙන්න වෙන දෙයක් තියෙනවද කියලවත් හිතා ගන්න බැරි නිසයි! පසිඳුරන්ගේ ලෝකය අත්හැරීමෙන් අදහස් කරන්නේ ඒ ලෝකයෙන් චුතවීමයි, මරණයට පත්වීමයි. ඉන්පස්සෙ ඒ හිස් තැන පුරවගන්න මොනවද කරන්න ඕනෙ කියල ඒ අය දන්නේ නැහැ. මේක ඇත්‌ෙතන්ම චුතවීමක්ය කියල මම කියන්නේ අජාන් චා, මගේ ගුරු හාමුදුරුවො “මෙහාට ආවෙ මැරෙන්න සූදානම් වෙලාද” කියල අපෙන් අහපු ප්‍රශ්නය මතක් වෙලයි. ඒ ආකාරයෙන් උන්වහන්සේ අපෙන් ඇහැව්වේ “ඔබ මෙතෙන්ට ආවේ ශරීරය අත්හරින්නද? පසිඳුරන්ගේ ලෝකයෙන් මිඳෙන්නද?” කියලයි. ශරීරය කියන්නේ පසිඳුරන්, පසිඳුරන් කියන්නේ මේ ශරීරයයි. මේ පසිඳුරන් තියෙන්නේ ශරීරය ආරක්ෂා කරන්නයි කියල අපි බොහෝ දෙනෙක් හිතා හිටියට ඒක නෙවෙයි ඇත්ත. ඇත්ත ඒකෙ අනික් පැත්තයි. ශරීරය තියෙන්නේ පසිඳුරන්ගේ පැවැත්මටයි. දැකීමට, ඇසීමට, ගඳ සුවඳ දැනීමට, රස බැලීමට, අතපත ගෑමට ඇරෙන්න ශරීරය ඕන වෙන්නේ වෙන මොකකටද? ශරීරයත්, පසිඳුරනුත් අතර තියෙන සමානකම අපි හරියටම තේරුම් ගත්තාම කාමච්ඡන්‍දයෙන් අදහස් කරන්නේ මේ පසිඳුරන් වටා ගොඩනංවාගත් යම් අන්දමක ඇලීමක්, බැඳීමක්, උනන්දුවක් වැනි හිතේ ඇතිකර ගත් උද්වේග බව තේරුම්ගන්න ඒ තරම් අමාරු නැහැ.
හොඳට බලන්න, ශබ්දයක් ඇහුණාම ඇත්තෙන්ම අපිට ඒක අත්හැර දාන්න පුළුවන්ද? ඒක නොසලකා ඉන්න පුළුවන්ද? අමතක කර දාන්න පුළුවන්ද? ඒක එච්චර ලේසි නෑ. ඒකත් එක්ක පැටලි පැටලි අහගෙන ඉන්නමයි ඕනෙ. “මොකක්ද ඒ?”, “කවුද ඒ?”, “වීදුරුව බිඳුනද?”, “කව්ද වැටුනෙ?”, “හදිසියක්ද?” “මොකට බය වෙන්නේ?” ඒවගේ ප්‍රශ්න නේද ශබ්දයක් ඇහුණ ගමන්ම අපේ ඔළුවට පාත් වෙන්නේ. භාවනා කරන කොට පිටතින් ඇහෙන හැම ශබ්දයක්ම ඇයි මේ හැටියෙන් අපට බාධා පමුණුවන්නේ? ඊට හේතුව ඒවාට අපේ ඇති උනන්දුවයි. ඇත්තෙන්ම අපට හිතෙන්නෙම ඇහෙන ඕනෑම දේකට කන්දෙන්නයි. “මොනවද අරගොල්ල කුටුකුටු ගාන්නේ?”, “මං ගැනද දන්නෑ කතා කරන්නේ?” “මේ මිනිස්සුන්ට ඔය කචකචේ නවත්තන්න බැරිද?”, මේ විදියටම නේද අපි, ඇඟට හොඳ පහසක් හරි වේදනාවක් හරි දැනෙන කොට, දේවල් දකින කොට, රසක් සුවඳක් දැනෙන කොට, හැසිරෙන්නේ? ඇත්තෙන්ම අපි ඒවට කාන්දමක් වගේ ඇදිල යනව. හොඳ සිහිකල්පනාවෙන් ඉන්නව නම්, ශරීරය ඔබ වෙත ගෙනෙන කැසීම්, රිදීම් වැනි නොයෙකුත් වේදනා වලට හිත ඇදී යන්නේ නොදැන්වත්වම බව ඔබට පේනව. ඇත්තෙන්ම, ඔබට පේනව බොහොම ඕනකමකින් කරපොවපොව, එබිඑබී බලනව ගතේ වේදනා, කැක්කුම් මතුවන්නේ කොතැනකද කියල, ඔබ හැමතිස්සේම ඉන්නේ සෙවිල්ලෙන් බව. ඒවාට ඒ විදියට මතුවෙන්න, පවතින්න ඉඩදෙන්න අපිට බොහොම අමාරුයි. ඒව දිහා නොබල ඉන්නවත්, ඒවා ගැන නොහොයා අමතක කරදාන්නවත් අපිට බැහැ. ඇයි එතකොට ඒවා අත්හැර දාන්න, අයින් කරලදාන්න අපිට බැරි? ඊට හේතුව ඒ ලෝකය වෙත අපේ ඇති ඇලීමයි. අපි ඒ ලෝකයේ ගැත්තෙක් වෙලා. අපි ඒකට ඇලී, ගැලී, බැඳී ඉන්නව. මෙකයි ඇලීම කියන්නේ. ඒක සිතිවිල්ලක් නෙවෙයි. ඒක යම් අදහසකුත් නෙවෙයි. ඒකයි පරම සත්‍යය. ඇත්තටම අපිට ඒ අත්හැරීම කරගන්න බැරිවයි ඉන්නේ. බොහොමයක් භාවනා යෝගීන්ටත් අත්හැර ගන්න බැරි ඉතාමත් දුෂ්කර, වෙන්වීමට හිත් නොදෙන මෙම තදබල ඇලීම කාමච්ඡන්‍දය කියල හඳුන්වන්න පුළුවන්.
ඔබ මෙට්ටයක් උඩ, පුටුවක, බංකුවක, කොතැනක ඉඳගත්තත් මොකක් හරි වේදනාවක්, කැක්කුමක්, රිඳීමක් දැනෙන එක දැනෙනවමයි. හුඟ කාලයක් භාවනාවේ යෙදිලත්, තවමත් ඒවගේ රිදීම්, කැක්කුම් මටත් තාම ඇති වෙනව. ඇඟේ කොතැනක් හරි රිදෙනව. හැමඅතින්ම සුවපහසු තත්ත්වයක් මොන විදියකින්වත් ඇතිකර ගන්න බැරි බව දන්න නිසා, පුළුවන් විදියට සුවපහසුක් ඇතිකර ගෙන භාවනා කරන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති බව මම තේරුම් අරගෙනයි ඉන්නේ. භාවනාවට ඉඳගත්තාම බුදුහාමුදුරුවන්ටත් සර්සම්පූර්ණ සුවපහසුවක් තියෙන්න ඇතෙයි කියල මම හිතන්නේ නැහැ. වාඩිවෙන්න. මේ බොහොම හොඳයි. ඔබ ආසකරන විදියෙ සුවයක්, උණුසුමක් ඇඟට නොදැනෙන්න පුළුවනි. සම්පූර්ණ නිහඬතාවයක් ගැන හිතන්නවත් එපා. සද්ද ඇහුණට කමක් නැහැ. හිතට ගැලපෙන විදියට සුවපහසු ඇතිව ශරීරය පිහිටුවා ගන්න. දැන් ශරීරයට කියන්න, “පස්සේ හමුවෙමු. මම වෙනතැනකට යනව” කියල. ශරීරය එක්ක ඔබ කරන්න ඕනෙ ඒකයි. ඇත්තටම, භාවනාවේදී ඔබ ශරීරය විසිකරල දානව. වාඩිවෙන්න. ඔහොම ඉන්න. මදුරුවො කෑවත් කමක් නැහැ, ඉවසගෙන ඉන්න බලන්න. මෙහෙම හිතන්න, “කෑවොත් හොඳයි, නොකෑවොත් බොහොම හොඳයි” කියල. හීතල, රශ්නෙ ඒව තියන විදියටම පිළිගන්න. අවටින් ඇහෙන ශබ්ද එක්ක පැටලෙන්න එපා. වටපිටාවෙ ඉන්න අයගේ කටයුතු ගැන හිතන්න එපා. “මට ඒවායින් ඇති වැඩක් නැහැ,” තමන්ටම කියාගන්න. ශරීරයේ ඕනෑඑපාකම් බලාගන්න එක ශරීරයටම පවරල ඔබ පැත්තකට වෙන්න. “දැන් මගේ සූදානම මනස කියන ලෝකයට යන්නයි,” තමන්ටම කියාගන්න. මේ විදියට ශරීරයට අයිති පසිඳුරන්ගේ ලෝකය අත්හැර දාල පැත්තකට වෙන්න. “ඒවා එක්ක පැටලි පැටලි ගත කරපු කාලෙ දැන් හොඳටම ඇති. මේ මගේ විවේක ගැනීමේ කාලය” කියල හිතන්න. රස්සාවට ගියාම කරන පුරුදු වෙලා තියෙන දේම ඇයි දැනුත් කරන්න ඔබට බැරි? සිකුරාදාට හවස පහ, පහමාර වෙද්දී තවත් කළ යුතු වැඩ කොච්චර තිබුණත් ඔබ ගණන් ගන්නවද? “හරි, වෙලාව ආව. ඔන්න මම ගියා. ගෙදර යනවා. ආයිත් සඳුදට හම්බ වෙමු. ඒ ආවාම ඉතිරි වැඩ ටික කරල දාන්නම්. දැන් බෑ” භාවනාවේදි ශරීරය එක්කත් ඔබ හැසිරෙන්න ඕනෙත් ඒ විදියටමයි. “මම කැව්ව, සේදුවා, නෑව්වා, දත් මැද්දා , වැසිකිළියට එක්කන් ගියා, තවත් මොනවද කරන්න කියන්නේ? ඒ මදැයි, දැන් ඔය කළ හරිය. ඔන්න මම දැන් වාඩි කෙරෙවව්. මීට වැඩිය මට මුකුත් කියන්න එපා. මම මුකුත්ම කරන්නේ නෑ.”
ශරීරය එක්ක ඕනැවට වඩා ඇලීමක්, බැඳීමක් ඇති කරගන්නෙත් කාමච්ඡන්‍දයයි. ශරීරයේ වේදනා ගැන හිතහිතා කල්මැරීමට පොළඹවන්නෙත් කාමච්ඡන්‍දයයි. ඇහෙන ශබ්ද ගැන නූවමනා අන්දමින් ඇඟිලි ගහන්නෙත් කාමච්ඡන්‍දයයි. කාමච්ඡන්‍දය අපට හැම තිස්සේම කරන්නේ ඕකමයි.
ශරීරය හිතෙන් අත්හැර දාන්න පෙන්නල දුන්නු උපදෙස් ප්‍රමාණවත් වුනත් ඒ කිව් පලියට සමාධිවලට එළබෙන්න අමාරුයි. “හොඳයි ඒ ඇති. ආයෙත් නැහැ, මම උඹ ගැන ලත වෙන්නේ” කියල කෙනෙක් තමන්ගේ ශරීරය ගැන අධිෂ්ඨානයක් ඇතිකර ගත්තත්, එහෙම ඒක එක පාරට අතහැර දාන්න තරම් හිතේ හයියක් ඇතිකර ගන්න එක එච්චර ලේසි නෑ. ඒ හින්ද අපි ශරීරය අත්හැර දැමීම අරඹන්නේ ටිකින් ටික පියවරෙන් පියවරටයි. ඒ විදියට අපි කාමච්ඡන්‍දය ටිකෙන්ටික දුර්වල කර ගන්නව. පංචකාම ලෝකය පිළිබඳ සිතිවිලි, චිත්තවේග හෙමින් සීරුවේ අත්හැර දානව.
භානාවේදි ඔබ මුලින්ම කරන්න ඕනෙ මේ මොහොතින් එහා තියෙන අනාගත ලෝකය අත්හැර දැමීමයි. ඇයි අපි එහෙම කරන්න ඕනෙ? පසිඳුරන්ගේ ලෝකය, කාමච්ඡන්‍දය බොහොම දුරට රඳා පවතින්නේ අපි ඇති කරගන්නා අනාගතය පිළිබඳ සිතුම් පැතුම් මතයි. වෙන විදියකට කියනව නම් ඊළඟ මොහොතේ වෙන්න යන්නේ මොකක්ද කියල දැනගන්න, ඊළඟ මොහොතේ තමන්ට ඕන මොනමොන දේවල් කියල හිතහිත ඉන්න තමයි, අපි ආසකරන්නේ. මේකට තවත් උදාහරණයක් තමයි ඔබ බලා ඉන්නේ දැන් තියෙන වේදනාව, අපහසුව නැතිභංග කරගෙන ඊළඟ මොහොත සැපවත් කර ගන්නයි. ඒත් නැත්නම් දැන් ඇහෙන සද්දෙට මම ආස නෑ, මීට වැඩිය හොඳ හඬක් නැද්ද? අඩුතරමින් ඇයි නිහඬතාවයවත් මතු නොවෙන්නේ? මේ ප්‍රශ්න ඔළුවට වද දෙනව.
ඉඳුරන් පිනවමින් ඉන්න ලෝකේ අනාගතය මෙයාකාරයි. අපිට ඕනෙ හැටියට නෑ. අතීතය, අනාගතය ගැන සිතිවිලි බොහොම වෙලාවට ගොඩනැගෙන්නේ මේ පංච ඉන්ද්‍රියන් ඇසුරුකොටගෙන නේද කියන එක තේරුම් ගන්න බලන්න. අර අතට මේ අතට හැම අතටම හිත ඇදිල යන සිතිවිලි හිතේ මතුවුනත් මනස, බොහොම වෙලාවට මනස රැඳී තියෙන්නේ මේ මොහොතේයි. ඒක තේරුම් ගත යුතු වැදගත් කාරණයක්. මේ මොහොත කියන එක සිතිවිලි අස්සෙන් දකින්න. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්ද මුලින්ම අප කරන්න ඕනෙ “අතීතය හා අනාගතය” යන ශරීර කොටස් අතහැරල, මුළුමණින්ම බැරි වුනත් පසිඳුරන්ගේ ලෝකයෙන් සෑහෙන කොටසක් අත්හැර දාන්න උත්සාහ කිරීමයි.
ඉතා සියුම්ව මතුවන කාමච්ඡන්‍දයේ වෙනත් වෙනත් පැති, බුදුරජාණන් වහන්සේ හඳුන්වාදී තියෙන්නේ කාම විතක්ක කියන නමින්. මේ පංචකාම ලෝකය පිළිබඳ සිතිවිලියි. මෙතෙක් කල් ඉෂ්ඨ කර ගන්න බැරිවුන හිතේ පැහැවන තදබල ආසාවල්, අනාගතය පිළිබඳ සිතුම් පැතුම් වගේම, “අනේ මට මේවා මේ හැටියට තවත් උහුලගෙන ඉන්න බැහැ. ඇයි දෙයියනේ කවදද නිවනක් ලැබෙන්නේ?” වගේ සිතිවිලිත් මේ ගොඩට අයතියි. මේ හැම සිතිවිල්ලක්ම පංචකාම ලෝකය පිළිබඳ ඇතිකර ගන්න උද්වේග. දැනට තියෙන වටපිටාව වෙනස් වුනාම ඔබ කරන්න හිතා ඉන්න දේවල් පිළිබඳ සිතිවිලි, භාවනා මුළුවේ ළඟින් වාඩිවී ඉන්න පුද්ගලයා පිළිබඳ සිතිවිලි, ආදී දේවල් තවත් උදාහරණ හැටියට ගන්න පුළුවන්. මේ සිතිවිලි හැමෙකක්ම ගෙතී, බැඳී තියෙන්නේ ඒලෝකයත් එක්කයි. මොන ලෝකයද? ගතට ආවඩමින් ඉන්න ලෝකය, ඇස් විහිදුවාගත් ලෝකය, කන් යොමාගත් ලෝකය, තළුමරමින් ඉන්න ලෝකය, අතපතගාමින් වල්මත්වී ඉන්න ලෝකයයි ඒ.
මේ විදියට ඇතිකර ගන්න සිතිවිලි තමයි කාම විතක්ක නමින් හැඳින්වෙන කාමච්ඡන්‍දයේ ඉතා සියුම් කොටස. දැන් මේ අවධියේදී අපි අත්හරින්නේ පංචකාම ලෝකය පිළිබඳ මතුකර ගන්න, ඇතිකර ගන්න මේවගේ සිතිවිලියි. අපේ අරමුණ තවදුරටත් සිතිවිලි ඇතිකර නොගැනීමටයි. අඩුතරමින්වත් ඒව අඩුකර ගැනීමටයි. ඒ උත්සාහයෙන් සතුටුදායක ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ ඔබ තවමත් තදින් ඇලී ඇති බවයි. ඔබ ඇලී ඇත්තේ ඔබට අත්හැර දැමීමට බැරි ඒවටයි. ඔබ ඇලී ඇති, අත්හැර ගන්න බැරිව ඉන්න ඒ සිතිවිලි සම්බන්ධව ඔබෙන්ම මෙහෙම ප්‍රශ්න කරල බලන්න: “ඇයි? මොකක්ද මම ඒ රස විඳිමින් ඉන්න දේ?” අන්න ඒ රසය තමයි ඔබ අලවල තියන මැලියම. “ඇත්තටම ඇයි මම මේව මේතරම් අගය කරන්නේ?”, “ඇයි මේ දේවල් ගැන මම මේ හැටි උනන්දුවක් දක්වන්නේ?” ඒ විදියට ඔබ විමසල බලන එක ඒ ඇලීම් කපා හරින්න ඔබට ආධාර වෙනව. අලවල තියන්න නම් ඒකට මැලියමක් ඕනෙ. ඔබ ඒ ඇලීමකින් බලන දේ වෙත ඔබේ සැලකිල්ල යොමු කරව ගන්න ඇලෙන සුළු දෙයක්, යම් අන්දමක රසවත් බවක් ඒකට තිබිය යුතුය. අන්න එයයි අලවන්නේ. බැඳල තියන්නේ.
මේ බැඳීම හඳුන ගන්න පුළුවන් නම් එයින් මිඳෙන එක ඔබට පහසු වෙනව. සිතීමෙන් ඔබ තෘප්තිමත් වන්නේ ඇයි? සිතීම ඇත්‌ෙතන්ම කරදරයක් නෙවෙයිද? කොයිම විදියක්න්වත් සත්‍යතාවය වෙත යොමු නොකෙරෙන මේ සිතිවිලි ඇයි ඔබ මේතරම් අගය කරන්නේ? සිතීම කාලය නාස්තිකර දැමීමක් නේද? මෙහෙම ඔබ මෙනෙහි කරනව නම් සිතිවිලි අඩු වෙනව. ඔබ සිතිවලවල අගය කපාහරින කොට ඒවායේ උත්පාදක ශක්තිය පිරිහී යනව.
මගේ මහණදිවියේ මුල් කාලෙ දවසක් සක්මන් භාවනා කරන කොට හිතේ මතුවන සිතිවිලි ගැන සෝදිසියෙන් හිටිය මට මතකයි. ඒවායේ නිස්සාර බව මට වැටහුනේ ඒවා මම කුඩා කාළේ ඉඳල හැදුණු වැඩුණු ආකාරය, පුරුදු පුහුණු කරගත් දේවල් මත සම්පූර්ණයෙන්ම රඳා පවතින බව මට පෙනී ගියාමයි. බලන්න මම හිතන ආකාරය එක විදියක්. නමුත් තායි හාමුදුරුවරු හිතන්නේ මට වඩා හුඟාක්ම වෙනස් ආකාරයකිනුයි. මගේ සංස්කෘතියයි ඔවුන්ගේ සංස්කෘතියයි අතර පවතින වෙනස නිසයි එහෙම වෙන්නේ. කව්ද හරි? ඔවුන් සිතන ආකාරයද? නැති නම් මම සිතන ආකාරයද? දෙගොල්ලෝම වැරදියි. අපි හැම දෙනෙක්ම හිතන්නේ අපි මනස සකස් කරගෙන, පදම් කරගෙන ඇති ආකාරයට අනුවයි. ඒවා අපි ඉගෙන කියාගත් දේවල් වල නැවත පෙළ ගැස්වීමක් විතරයි. සාමන්‍ය මට්ටමින් සලකා බැලුවාම ඒ සිතිවිලි අපි අළුතින් සකස් කරගත් ඒවා නොවෙයි. ඒවා අපේ ගුරුවර දෙමාපියන්ගේ අදහස් උදහස් වල වැමෑරීමක් බව ඔබට පෙනීයනව. ඒවා අපි නිවැරදි මගට යොමු නොකරන්නේ මූලික වශයෙන්ම ඒවායේ තියෙන රෝග නිධාන නිසයි. පුරුදු වෙලා තියෙන විදියටම හිතන්න අපි පුරුදු වෙලා ඉන්නව. මේ සිතිවිලි කිසි දවසක සත්‍ය පෙන්නුම් නොකරන බව පෙනිපෙනිත් අපි ඒවම හිතනව. කොයි විදියට ඔබ හිතුවත්, සිතීමෙන් කොතැනකටවත් යාමක් සිදු නොවන බව ඔබට තේරුම් ගිය වෙලේ ඉඳල මේ සිතිවිලි නතරවීම පටන් ගන්නව. මේ නුවණ පහළවීමෙන් පස්සෙ හොඳ රසවත් භාවනා වාර අත්විඳි බව මට මතකයි.
මේ විදියට මම සිතිවිලිවල පාදකය නැත්නම් සිතන්නා වාඩිවෙලා හිටි පුටුව පුපුරුවා ඇරියාම ටික දවසක් යනකන් එයාට හරිබරි ගැහිල වාඩිවෙලා ඉන්න තැනක් හොයා ගන්න අමරු වුනා. ලෝකය පිළිබඳ සිතිවිලි නැත්නම් කාමවිතක්කය නතර කරන්නේ අන්න එහෙමයි. කිසි හරයක් නැති මේ සිතිවිලිත් එක්ක කල්මැරීම මොනතරම් මෝඩ වැඩක්ද? අනිත් අතින් ඒවා අපට ඇතිකරන අසහනය මොනතරම්ද? සිතීම කාමච්ඡන්‍දයේ කොටසක් බව මතක තියාගන්න. ලෞකීය දේ පිළිබඳව විමසිලිමත්වීම, සැලකිලිමත්වීම, එම ලෝකයට ඇති ඇලීම, නැති නම් පංචකාම ලෝකය වෙත ඇති ඔබේ කැමැත්ත, මේ සිතිවිලි වලින් පෙන්නුම් කරනව.
දැන් බලමු අපි කොහොමද මේක කරන්නේ කියල. මුළු ලෝකයම අපිට එකපාරටම අත්හැරල දාන්න බැරි හින්ද ඊළඟ අවධියේදී අපි කරන්නේ ඒ ලෝකයෙන් එක කොටසක් විතරක් ඉතිරි කරගෙන අනිත් ඔක්කොම අත්හැර දැමීමයි. අපි ඉතිරි කරගන්නෙ ආශ්වාස ප්‍රශ්වාසය විතරයි. ඒකත් පංචකාම ලෝකයේම කොටසක්. හුස්ම රැල්ලේ පහස අපට දැනේනේ ඒක ශරීර ඉන්ද්‍රියත් එක්ක ඇතිකරන ස්පර්ශය නිසයි. මේ දැනෙන පහස ඇරෙන්න අනික් හැම ඉන්ද්‍රිය සංවේදනයක්ම අපි අත්හරිනව. සෑම පෙනීමක්ම, ගඳසුවඳ දැනීමක්ම, රසයක්ම, ශබ්දයක්ම අපි අත්හරිනව. ඒ කියන්නේ හුස්ම රැල්ලේ දැනීම පමණක් අත්විඳිමින් පංචකාම ලෝකය පිළිබඳ සෑම දැනීමකින්ම, හැඟීමකින්ම, සිතීමකින්ම අපි අත්මිඳෙනව. දීර්ඝ කාලයක් තුළ එක් දෙයක් මත අවධානය යොමු කරගෙන, ඒ දැනීම පමණක්ම නොකඩවා දැනහිඳීමට ඇති හැකියාවේ බලත්වකම අනුව, අනිකුත් දේවල් කොයිතරම් දුරට අත්හැර දාලද කියන එක අපිටම නිගමනය කර ගන්න පුළුවන්.
දීර්ඝ කාලයක් තුළ බොහෝ වාර ගණනක් හුස්ම වෙත අවධානය නොකඩවා පවත්වා ගෙන ඉන්න පුළුවන් නම් පංචකාම ලෝකයෙන් සියයට අනූවක් විතර කපා හැර දැමූ බව ඔබට පෙනීයනව. මෙහෙම යනකොට පළමුවෙනි නීවරණයේ බලය ඔබ බොහෝ දුරට දැන් අඩු කරගෙනයි ඉන්නේ, ඉතිරි වෙලා තියෙන්නේ අංශු මාත්‍රයක් විතරයි. ඉතිරිව ඇති මේ ඇබිත්තෙ අවසානය වෙත ළඟා වෙන්න නම් ඒකට ඔබ කළ යුත්තේ ඒක අතුරුදහන්වී යනතෙක් හුස්ම තවතවත් සංසුන් කිරීමයි. අන්තිමට ඔබට ඉතිරිව වෙන්නේ මනස නමැති ලෝකයයි. නොසැලෙන මනසෙ ඡායාව, ඒ කියන්නේ සමාධි නිමිත්ත මතුවන්නේ මෙතැනදියි. සමාධි නිමිත්ත මතුවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ මනස විවෘත වූ බවයි, මනස දිස්වෙන්න පටන් ගත් බවයි. පළමු නීවරණය, කාමච්ඡන්‍දය සාර්ථකව මැඩපවත්වා ගෙන ඇති බව ඒ සළකුණින් පෙන්නුම් කෙරෙනව. මේ අනෙකක් නෙවෙයි, අවට ලෝකය පිළිබඳ සෑම හැඟීමක්ම, දැනීමක්ම ඔෙබන් ඉවත්ව ඇති අවධියයි.
සමාධි නිමිත්ත වෙත ඔබට අවධානය පවත්වා ඉන්න පුළුවන් නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ ක්ෂණිකව මොහොතකට විතරක් පළමුවෙනි නීවරණය ඔබ යටපත් කරගෙන ඇති බව නෙවෙයි. එහෙම නම් ඇත්තටම ඔබ එය බිමට ඇද දාල තියෙන්නේ දිගු කාලයකටයි. සමාධි නිමිත්ත අත්විඳින්නට ඇති පුළුවන් කම, ඒකෙ ස්ථාවරත්වය පෙන්නුම් කරන්නේ ඔබ කාමච්ඡන්‍දය මැඩපවත්වා ගෙන ඇති බවයි. ඉවතට ඇද දැමූ මේ පළමුවෙනි නීවරණය, ප්‍රහීන කරන්න හරිම අමාරු නීවරණයක්. සල්ලේඛ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ධ්‍යාන පිළිබඳ විස්තරය පටන් ගන්නේ විචිකිච්චේව කාමෙහි යන වගන්තියෙන්. කාමයන්ගෙන් වෙන්වී, දුරස්තරවී, ඒවා අත්හැරදමා කියන එකයි ඒකෙ අදහස. ඒ කියන්නේ කාමච්ඡන්‍දය, කාම ලෝකය නැතිනම් පසිඳුරන්ගේ ලෝකය අත්හැර දැමූ බවයි. එයින් වෙන්වීමයි. එයින් ඈත්වීමයි. එහෙම නම් උන්වහන්සේගේ ධ්‍යාන පිළිබඳ විස්තරයේ මුල් වචන කිහිපයට අනුව ඔබ දැන් ඒ ලෝකය ජය අරගෙනයි ඉන්නේ.
සමාධි නිමිත්ත මතුවෙන කොට ඔබ ඉන්නේ ධ්‍යානයන්ට ඉතාමත් කිට්ටුවෙන්. ඔබට ඒ සමාධි නිමිත්තෙ ස්ථාවරත්වය රැකගන්න පුළුවන් නම් ඒකට එකම හේතුව වෙන මුකුත් නෙවෙයි ශරීරය පිළිබඳව, පංචකාම ලෝකය පිළිබඳව ඔබ තුළ තිබුණු සෑම උද්වේගයකින්ම අත්මිඳෙන්න ඔබට හැකිවුන බවයි. ගුප්තබල, අද්භූත බලපුළුවන්කාරකම් වල යෙදී ඉන්න අනිකුත් ආගමිකයින්ට පවා මේවගේ අවධීන් කරා එළඹෙන්න නම් භෞතික ශරීරය පිළිබඳ සෑම උද්වේගයක්ම අත්හැර දාන්න පුළුවන්කම තියෙන්න ඕනෙ. කෑම බීම වගේ දේවල් ගැන ඔබ ඕනෑවට වඩා ලතෙවන කෙනෙක් නම්, ශරීරයේ සුවපහසුව ගැන හරි නොයෙකුත් දුක්ගැනවිලි ගැන හිතහිතා ඉන්න කෙනෙක් නම් කොහොමවත් ඒවගේ ගුප්ත බලධාරියෙක්ගෙ තත්ත්වයට ඔබට පත්වෙන්න බැහැ. ඒවගේ අයට කොහොමවත් මනසෙ ගුප්ත බලවල රස විඳින්නවත්, ධ්‍යානයකට එළඹෙන්නවත් බැරි බව මෙතෙන්දි කියන්නම ඕනෙ. ඊට හේතුව ඔබේ උනන්දුව තියෙන්නේ වෙනත්වෙනත් දේවල් ගැනයි. ඒක පිරිසිදු මනසක් අත්විඳින්න ඔබ ඇතිකර ගන්න බාධකයක්.
අඩුම තරමින්වත් භාවනා කරන කෙටි කාලය තුළදීවත් බාහිර ලෝකය අත්හරින්න. ඒ ලෝකයට මුකුත් වෙන්නේ නැහැ. ඔබ හැර යන්නේ නැහැ. ඒක ඒ විදියටම එතැනම තියේවි. ඒ ගැන බයක් ඇතිකර ගන්න එපා. ඒ කාලය තුළදීවත් ශරීරයේ ඇලීගැලී ඉන්න එපා. සුවපහසු දැනීම් වලට කෑදර වෙන්න එපා. ගඳ, සුවඳ, සීතල, උෂ්ණය, කැසීම්, රිදීම්, කැක්කුම් ගැන ඕනවට වැඩිය කලබල ෙවන්න එපා. ගනන් ගන්න එපා. මනසට ලංවෙන්න නම් දැන් ඔබේ එකම පරමාර්ථය වෙන්න ඕනෙ ඉන්ද්‍රිය සංවේදන ඇතිකරන මේ දැඩි බාධාවන් ඉක්මවා යාමටයි.
පංච ඉන්ද්‍රියන්ගේ ග්‍රහණයෙන් මනස මුදවා ගත්තාම දැනෙන සුවය ඇත්තෙන්ම අති බලවත්. ඔබ අත්කර ගන්නේ මොනතරම් ලස්සන නිදහසක්ද? කාමච්ඡන්‍දය නැතිකලාම දැනෙන සුවය මොනතරම් සැනසිලිදායකදැයි කියල විකක් හිතල බලන්න. බුදුරජාණන් වහන්සේ කාමච්ඡන්‍දයේ ආදිනව සමාන කලේ ණයගැතිවීමක් හැටියටයි. පසිඳුරන්ගේ රසවිඳින හැම මොහොතකටම ඔබ නොවරදවාම ගෙවීමක් කළ යුතු වීම ඊට හේතුවයි. ඔබ සතුටක් ලබාගන්නේ ණයටයි. “මේ අපි ජීවත් වෙන ලෝකයේ අපි සැප වේදනාවක් හැටියට සලකන හැම අවස්ථාවක්ම තියෙන්නේ ඇත්තෙන්ම දුක් වේදනා හැටියට සලකන අවස්ථා දෙකකට මැදි වෙලයි. ඒ වගේම අපි දුක් වේදනා හැටියට සලකන අවස්ථාවක් මැදිවී ඇත්තේ සැප වේදනා අවස්ථා දෙකක් අතරයි” කියල මම කියන්නේ අන්න ඒ නිසයි. හොඳ රස ආහාර වේලකට පස්සෙ ඔබට දැනෙන්නේ යම් හිස් කමක් නේද? තිබුණු හොඳ දෙයක් නැතිවුනා වගේ හැඟීමක්. එහෙම නම් ඒක රස විඳින්න කලින් තිබුණු හිස්බව ගැන කියන්න ඕනෙද? “සැපයක් අවසන් වුනාම දැනෙන්නේ දුකක්.” අමාරු ලෙඩක් හැදිල ඒක සනීප වුනාම ඔබට දැනෙන්නේ මොනතරම් සතුටක්ද? “දුකක් කෙළවරවුනාම දැනෙන්නේ ලොකු සැපයක් වගේ.” පසිඳුරන්ට යටවෙලා ජීවත්වෙන මේ පංචකාම ලෝකයේ අපි සතුට හැටියට අරගන්නේ දුක් සහගත අවධීන් දෙකක් අතර ඇති සුළු විරාමයක්, පුංචි ඉඩකඩක්. අපි දුක හැටියට අරගන්නේ ප්‍රීති සහගත අවස්ථා දෙකක් අතර ඇති සුළු විරාමයක්, පුංචි ඉඩකඩක්. ණයට ගත්දේ ආපහු ගෙවා දාන්න අපට සිද්ධ වෙනව. ඒත් අපි තවතවත්, නැවත නැවතත් ණයට ගන්නව. අපි ඒවා ගෙවා දැමිය යුතුමයි. ඒ තමයි ලෝකය! සැපය පස්සේ ලුහුබැඳ යන අය ණයගැතියෝය කියල බුදුරජාණන් වහන්සේ පැවසුවෙ ඒ නිසයි.
ණය ගෙවල දැම්මාම ඔබ නිදහස්. නිදහස ලැබූ කෙනෙකුට ඕනම වෙලාවක, ඕනම තැනකට යන්න එන්න අවසර තියෙනව. කාමච්ඡන්‍දය, පළමුවෙනි නීවරණය මැඩපැවැතුවාම තියෙන්නෙත් ඒ තත්ත්වයමයි. ශබ්දවලට ඇහුන්කම් දෙන්න ඕනෙමයි කියල දැන් නියමයක් නෑ. ශරීරය කියාගෙන එන මැසිවිලිවලට දැන් ඒ හැටි පිළියම් කරන්න වුවමනා නැහැ. නීවරණයෙන් මිදුනාම ඔබ අත්විඳින්නේ අන්න ඒ සුවයයි. නිදහස! ඔබට කැමති වෙලාවක මනස නමැති ඒ ලෝකයට ඇතුල් වෙන්න පුළුවන්කම දැන් තියෙනව. ඒ කාලය තුළ ශරීරයක හැඟීමක් ඔබට නැහැ. එය කසන්නවත්, ඉරියව් වෙනස් කරන්නවත්, ශරීරයේ අනිකුත් උවමනාවන් ගැන සලකා බලන්නවත්, එතකොට අවශ්‍ය වෙන්නෙ නැහැ. ගල් පර්වතයක් වගේ නොහෙල්ලී එකම ඉරියව්වෙන් ඉඳගෙන, ශරීරය ගැන මොනයම් අන්දමකවත් තැකීමක් නොකර, සම්පූර්ණයෙන්ම ඔබ අවධානය යොමු කර ගෙන ඉන්නේ මනස වෙතටයි. ශරීරයේ වේදනා, අපහසුකම් ආදිය ගැන දැන් ඒ තරම් තැකීමක් නොකරන ඔබට පෙනීයන්නේ මහළු වයස, ලෙඩරෝග, මරණය පිළිබඳව කලින් තිබුණ බය දැන් නැතිව ගියා වගේ. ඊට හේතුව තමයි ශරීරය ගැන වැඩිපුර යමක් දැන් ඔබ අවබෝධ කර ගෙන සිටීමයි. අපි ලොකුවට ඇලීගෙන හිටි ශරීරයට වඩා බලවත් දෙයක් මෙතන තියෙන බව ඔබ දැන් දන්නව. මනස කියන ලෝකය මොකක්ද කියල දැන් ඔබට වැටහෙනව. අමරණියත්වය කරා, නොබියව මරණින් ඔබ්බට යාමට තැබිය යුතු ප්‍රධාන පියවර දැන් ඔබ තියලයි ඉන්නේ. සාමාන්‍ය ව්‍යවහාරයේ අපි මරණය සම්බන්ධ කරගෙන ඉන්නේ ශරීරයේ අභාවය එක්කයි. මනස ගැන කථාකරද්දී මනසෙ මරණය අපි හඳුන්වන්නේ නිරෝධය කියන නමින්. නමුත් ඒක මෙතැනදී විස්තර කරන්න බලාපොරොත්තු නොවන තවත් වැදගත් විෂයක්. ඔබට කාමච්ඡන්‍දය ප්‍රහීන කරගන්න පුළුවන් නම් ඒ එක්ක මරණ බියත් බොහෝ දුරට අඩුවෙලා යනව. තවදුරටත් ඔබ මහළු වයස, ලෙඩරෝග ආදී දේ ගැනත් බියක් ඇතිකර ගන්නේ නැහැ. මේ ඔක්කොම පළමුවෙනි නීවරණයේ, කාමච්ඡන්‍දයේ අණසක යටතේ පවතින දේවල් වීමයි ඊට හේතුව.
පළමුවෙනි නීවරණය තුනී කරගන්න නම් ක්‍රමානුකූල පිළිවෙතක් අනුගමනය කරමින් භාවනා කටයුතුවල යෙදෙන්න ඕනෙ. බුදු දහමෙහි හදවත භාවනාවයි, ආනාපාන සති සූත්‍රය කියන පොත්වල, භාවනා අත්වැල දේශනවල දීර්ඝ වශයෙන් විස්තරකර දීල තියෙන්නේ මේවගේ පිළිවෙතක්. ඒ විස්තර කෙරෙන, මේ මොහොතේ අවධානය, මේ මොහොතේ නිහඬ අවධානය, හුස්ම පිළිබඳ මේ මොහොතේ නිහඬ අවධානය, හුස්ම පිළිබඳ සම්පූර්ණ අවධානය කියන මේ සෑම අවධියකදීම මෙම නීවරණ ක්‍රමක්‍රමයෙන් දුබල කර ගැනීමෙන් දැනෙන සුවය, හුදු සාමකාමීබව, අසීමිත ප්‍රීතිය අත්විඳීමට, අගැයීමට ඔබට පුළුවන් නම්, කාමච්ඡන්‍දය මැඩපවත්වා ගන්නා ක්‍රමය ඔබ හෙළි කර ගත්ත වෙනව. කාමච්ඡන්‍දය ඇති කරන අවුල් වියවුල්, පමුණුවන වදහිංසා මොනතරම්ද කියල හිතට කාවද්දා ගත්තොත් ඔබ එයින් ගැලවෙන්න උත්සාහ ගන්නවාමයි. ඒකම සියයට අනූවක ජයග්‍රහණයක්. මේ නීවරණය මනසෙ පැළපදියම් වෙන්න මූලික හේතුව වුනේ එය ලබාදෙන්නේ රසාස්වාදයක් කියල අපි හිතා ඉන්න නිසයි. අපි ඒලෝකය අගය කරනව, හුවා දක්වනව. ඒ ලෝකය ඔබ හිර කරගෙන ඉන්න අන්දම, ඔබට පමුණුවන වදහිංසා ගැන තරමක හරි හැඟීමක් ඇතිකර ගත්තොත් ඔබ ගමනින් බාගයක් දුර ගිහිල්ල. ඒ දුක, දුක්ඛය බව ඔබට අවබෝධ වී තියෙනව.
මේ නීවරණය අඩපණ කරගත්තු හැම විටකම එය තව තවත් නිදහස කරා, සංතෘෂ්ඨිය කරා, අභ්‍යන්තර සැනසීම කරා තබන ජයග්‍රාහී පිවරක් හැටියට ඔබට පෙනෙනව නම් ඔබ පිය නගන්නේ නිවැරදි මාර්ගයේයි. ඔබ රළුපරළු දේ අත්හැරල, මුදු මොළොක් දේ ලංකර ගැනීමෙ ඔබ යෙදෙනව. එය සිදුවෙනවාමයි! එය වළක්වන්න බෑ! සමහර භාවනාවාර වලදී කෑමබීම, කාමුක ආසා, සුවපහසුව, වේදනා, ශබ්ද, උෂ්ණ ආදී දේ ගැන කිසිම හැඟීමක්, තැකීමක් නැතිව භාවනා අරමුණේම හිත නොසැලී පවතින බව ඔබට පෙනෙනව. අවසානයේදී ඔබ ඒ සියල්ලක්ම අත්හැර දාල මනස නමැති ලෝකයට ඇතුළ්වෙන්නේ කිසිම පිටස්තර ශබ්දයක් නොඇසෙන, ශරීරය පිළිබඳ කිසිවක් නොදැනෙන, ඒ ලෝකය පිළිබද සිතිවිල්ලක් පවා ඇතිකර බැරි අන්දමට ගත හා සිත දෙකම තැන්පත් කර ගෙනයි. ඔබට දැනෙන නිදහස හා සැනසීම අසීමිතයි.
ඔබ සුවපත් වේවා!