අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන් වහන්සේ
පරිවර්තනය හා සැකසීම – ජෝර්ජ් කාරියවසම්
(උපුටා ගැනීමට හෝ පිටපත් කර බෙදා හැරීමට අවසර නැත)
පස්වෙනි නීවරණය විචිකිච්ඡාවයි.
විචිකිච්ඡාව කියන වචනයේ තේරුම සැකය හැටියට අරගන්න පුළුවනි. නමුත් මෙතැනදි ඒ යම් කෙනෙක් කෙරෙහි අවිශ්වාසය උඩ ඇති කර ගන්න සැකය නෙවෙයි. මේ කියන සැකය මතුවෙන්න පුළුවන් බුදුදහමෙ තමන් ඉගෙනගෙන තියෙන දේවල් සම්බන්ධව. තමන්ට ධර්මය කියා දෙන ගුරුවරයාගේ ඉගැන්වීම් ක්‍රම පිළිබඳවත් ඒක මතුවෙන්න පුළුවන්. ඒ ඇරෙන්න තමන්ගේ පුහුණුවීමේ හැකියාව හොඳ මඳියි කියල සැකයක් මතුවීමටත් බොහෝ විට ඉඩකඩ තියෙනව.
මේ අන්දමේ සැක විටින් විට මතුවුනත්, හිතට එකඟව භාවනාව පිළිවෙලකට පුහුණු කිරීමෙන්, හිතට සුවයක් ලබාදෙන ප්‍රතිඵල ලැබෙන බවට විශ්වාසයක් මේ වන විටත් ඔබ ගොඩනංවා ගෙන ඇති. සමහරක් ප්‍රතිඵල දැනටමත් ඔබ අත්විඳ ඇතුවාට සැකයක් නැහැ. ඒ අත්දැකීම් මුල් කරගෙන භාවනාවෙන් ලබාගත හැකි ආනිසංශ ගැන විස්වාසයක් ගොඩනගා ගන්න. මනසේ පැහැදිලිකම ඇතිකර ගැනීමට, සැනසීමෙන් යුතු පුද්ගලයෙකු හැටියට ජීවත් වීමට, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ටිකින්ටික අවබෝධ කරගැනීමටත් අපි භාවනාවෙ යෙදෙන්න ඕනෙ. මනස සමාධියට හුරුකර ගැනීමෙන්, විශේෂයෙන්ම ධ්‍යානයන්ට සමවැදීමට මනස දියුණු කර ගැනීමෙන්, ඔබ ඉටුකර ගන්නේ තමන්ගේ සුභසිද්ධිය සඳහා සුවිශේෂී මෙහෙවරක්.
ක්‍රීඩා උපදේශකයෙක් තමන් යටතේ පුරුණුවන අයට කරන සේවය මොකක්ද කියල අපි දන්නව. භාවනා ගුරුවරයෙක් කරන්නෙත් ඒ වගේම දෙයක්. ඔවුන්ගේ කාර්යභාරය ෙවන්නේ තමන්ගේම අත්දැකීම් ජයග්‍රහණ තුළින් ලත් දැනුම් සම්භාරය පදනම් කරගෙන තමන් යටතේ පුහුණු වන අයත් ජයග්‍රහණය කරා මෙහෙයීමට ක්‍රියාවෙන් හා උපදෙස් වලින් ඔවුන් දිරිමත් කරවීමයි. නමුත් ගුරුවරයෙක් කෙරෙහි විශ්වාසයක් ඇතිකර ගැනීමට කලින් ඔහුගේ චර්යාව පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍යම දෙයක්. තමන්ගේ ගෝලයින්ට දේශනා කරන දේවල් ඔහුටවත් ඇත්තටම පිළිපැද ගන්න බැරි නම් ඒ උපදේශකත්වයෙන් ඇති වැඩක් නැහැ. කෙනෙක්ගේ චරිත ස්වභාවය දිහා ටික කලක් බලා හිටියාම ඔබට ඒක පෙනෙනව. ගුරුවරයා දෙන ගුරුහරුකම් ඔහු විසින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවද කියල ඔහුගේ පැවැත්මෙන්, සංවරකමෙන් හා ආදර්ශයෙන් මොනවට පැහැදිලි ෙවනවද? හොඳ ආදර්ශයෙන් යම් ගුරුවරයෙක් මග හෙළි කර දෙනව නම් ඔහු හෝ ඇය කෙරෙහි විශ්වාසයක් ඇති කර ගන්න.
තමා ගැන සැකයක් මතුවී තියෙනව නම් එය දුරු කර ගන්න ගුරුවරයෙකුගේ පිහිට අවශ්‍ය වෙනව. ඔබ තුළ උනන්දුවක් ඇතිකරල, ඔබේ සැඟවී ඇති හැකියාව පෙන්නුම් කර දෙන්න සමත්කමක් ගුරුවරයෙක් ළඟ තියෙන්න ඕනෙ. අධෛර්යට පත්ව ඉන්න කෙනෙකුට “ඔව්, ඔබට ඒ සෑම දෙයක්ම සාර්ථක කර ගන්න පුළුවනි” කියල ඔබට පෙන්නුම්කර දීල, ඔබ දිරි ගැන්වීම ගුරුවරයෙක් සතු වගකීමක්. ඔබට ඉදිරියෙන් මේ මාර්ගයේ ගිය අය බොහෝ දෙනෙක් මේ දේවල් සාක්ෂාත් කරගෙන තියෙනව. එහෙම නම් ඔබටත් එය කරගන්න ඇයි බැරි? ගුරුවරයෙක් නැතත් ඒ විදියට හිතල තමන්ව දිරිමත් කරගන්න.
ඔබ තුළ මතුවෙලා තියෙන සැකය, මෙහෙම හිතන්න ඔබ පොළඹවනවා වෙන්න පුළුවන්; “මම කිසි කමකට නැහැ. මට මේක කරගන්න බැහැ. මම වැඩකට නැති පුද්ගලයෙක්. මම දන්නවා භාවනා කරනව කියන මේ හැමෝම ධ්‍යාන ලබා ගෙන ඇති. මට විතරයි මුකුත්ම නැත්තේ.” ඒ අන්දමින් නොවුවමනා විදියට හිතන්න එපා, තමන් හෑල්ලුවට ලක්කර ගන්න එපා. ඔබට උවමනා දේ මොකක්ද, එය ලබා ගන්න ඔබටත් හැකියාවක් ඇති බවට විශ්වාසයක් ඇතිකර ගන්න. විශ්වාසයත් කැපවීමත් එක්තැන් වෙනව නම් දිනුම් කණුව වෙත ළඟා වෙන්න වැඩිකලක් ගත නොවෙන බව හොඳින් හිතට ගන්න. එතෙන්ට ළඟා වෙන්න බැරි වෙන්නේ, මුල ඉඳලම ඔබ ඒ අදහස අත්හැර දැම්මොතින්. අත් නොහරින්න. සැකයෙන් ප්‍රවේසම් වෙන්න. ජය සිකුරුයි.
භාවනාවේදී, ඔබ අත්විඳිනා දේ පිළිබඳවත්, ඔබට සැක පහළ විය හැකියි. “මම දැන් අත්විඳින්නේ මේ මොහොතේ අවධානයද? මොකක්ද මේ ධ්‍යානයක්ද?” මේ විදියට ඔබ සැක ඇතිකර ගන්න ගියොත් ඒක භාවනාවට බාධාවක් වෙනවමයි. භාවනාවෙහි යෙදිල ඉන්න ගමන්, ඒකෙ හොඳ නරක තක්සේරු කර බලන්න, කාලය ඒක නෙවෙයි. ඒකට භාවනාව ඉවර වෙනකල් ඉන්න. භාවනාව තුළදී ඔබ හැකිතාක් දුරට මනසෙ සාමය පවත්වා ගත යුතුයි. හැකිතාක් දුරට අත්හරින්න. හැකිතාක් දුරට ප්‍රීතිය හා සාමය අත්විඳින්න. භාවනාව අවසාන වේගන එන කොට, භාවනාව අවසාන කරන්න සුළු වේලාවකට ඉස්සෙල්ල, අන්න එතකොට භාවනා වාරය සමාලෝචනය කරල බලන්න. “මම ඒ වින්ඳේ මොන වගේ අත්විඳීමක්ද? හරිම පුදුම දෙයක් ඒක? මොකක්ද ඇත්තටම එතැන සිද්ද වුනේ?” ඔබ අත්වින්ඳේ ධ්‍යානයක්ද, නැද්ද කියල සොයා බලන්නේ අන්න ඒ වෙලාවට, නැතිව හිතට සැකයක් පහළවෙන වෙලාවෙන් වෙලාවට නෙවෙයි. භාවනාව කරගෙන යද්දී “මේ ධ්‍යානයක් ද?” කියල සිතිවිල්ලක් ඇති වුනොත්, ඒ නම් ඇත්තටම ධ්‍යානයක් නෙවෙයි. හිතේ තියන කෑදරකමක් එළියට පැනීම. ඒවගේ ඉතා ගැඹුරු අවධීන්ට සම්ප්‍රාප්ත වුනාම, හිතාමතා සිතිවිල්ලක් තියා නිකන් සිතිවිල්ලක්වත් ඇති කර ගන්න මනසට හැකියාවක් නැහැ. ඒ වගේ අවස්ථාවලදි ඒ වගේ විග්‍රහවල ඔබට යෙදෙන්න බැරි, ඒ කාලසීමා තුළදි මනස සෙලවීමට කිසිම ඉඩකඩක් නැති හින්දයි. ඒ නිසා භාවනාව අවසානයේදී ඔබේ අත්දැකීම් ඔක්කොම මෙනෙහි කරල, ඒවා සාධාරණව විග්‍රහ කර බලල, ඒ අත්දැකීම් වල සත්‍යතාවය අවබෝධකර ගන්න. ඒ නිසා අත්විඳීම් සැක නොකරන්න, විග්‍රහ නොකරන්න, කට පියාගෙන නිහඬව භාවනාවෙ දිගටම යෙදෙන්න.
දැන් අවසාන වශයෙන් සලකා බැලුවොත් මේ දේශනා පහෙන් අපි පැහැදිලි කරල දුන්නේ භාවනාවට බාධාකරන නීවරණ ධර්මයන් පහයි. කෙටියෙන් කිව්වොත්: කාමච්ඡන්‍දය කියන්නේ ශරීරය හා පසිඳුරන් වෙත දක්වන ඇලීම; ව්‍යාපාදය තමන් කෙරෙහි හෝ අන් අය කෙරෙහි හෝ භාවනා අරමුණ කෙරෙහි දක්වන අකමැත්තයි; ථීන මිද්ධ කියල කියන්නේ නිදිමත ගතිය හා අලසකම; උද්දච්ච කුකුකුච්ච නොසන්සුන්කම හා පසුතැවීමයි; විචිකිච්ඡාව සැකයයි.
භාවනාවේදී බාධකයක් මතු වුනොත්, ඒ ඉහත විස්තර කළ බාධකවලින් එකක් හෝ ඒවායේ මිශ්‍රණයක් බව මතක තියාගන්න. එහෙම අවහිරයක් ඇති වුන වෙලාවට ටිකක් නතරවෙලා තමන්ගෙන්ම මෙහෙම අහල බලන්න. “මොකක්ද මේ නීවරණය? මොකක් නිසාද මේ වගේ අපහසුතාවයක් ඇතිවුනේ?” හේතූවත්, අපහසුතාවයත් දැනහැඳින ගත්තට පස්සෙ ඊට විසඳුමත්, ප්‍රතිකාරයත් මතක්කර ගන්න. පසිඳුරන් ආශ්‍රයෙන් මතු වුනු ආශාවක් නම් ඔබේ අවධානය පසිඳුරන්ගෙන් ටිකින් ටික ඉවත් කරගෙන එය හුස්ම වෙත හරි මනස වෙත යොමු කරන්න. ඒ තරහක් නම් මෛත්‍රීය වඩන්න. නිදිමත හා අලසකම දුරලා ගන්න පුළුවන් නයින් පිළිබඳ උපමාව වගේ බය හිතෙන දෙයක් සිහිපත් කර ගැනීමෙන්. මතුවුනේ නොසන්සුන්කම හෝ පසුතැවීම නම් මතකයට ගේන්න ඕනෙ සෑහීමට පත්වීම, සෑහීම, සෑහීමමයි. නැති නම් තමන්ට සමාව දී ගැනීමයි. සැකය ඇති වුනොත් ඉගැන්වීම් මත ශ්‍රද්ධාව ඇති කර ගන්න.
ක්‍රමානුකූලව භාවනාවෙ යෙදෙමින්, අවස්ථානුකූලව අවශ්‍යව කරන ප්‍රතිශක්තිකරන එන්නතය තෝරාගෙන, පමා නොවී ඒක එන්නත් කර ගත්තොත් ප්‍රතිශක්තිකරනයේ ප්‍රතිඵල ඉක්මණින් ලබාගත හැකියි. ඒ ආකාරයෙන් කටයුතු කරනව නම් කොයි අන්දමේ බාධකයක් මතුවුනත් එයින් දීර්ඝ කාලීන බාධාවක් භාවනාවට සිදුවෙන එකක් නැහැ. මුහුණ දෙන බාධාවන් දැක ගැනීමටත්, දැනහඳුනා ගැනීමටත්, ඒවා මැඩපවත්වා ගනිමින් ඉදිරියට පිය නැගීමටත් අවශ්‍ය උපදෙස් දැන් ඔබට තියෙනව. භාවනාව ගැඹුරට නැඹුරුවීමත් එක්කම, මේ පංචනීවරණයන් කොයි විදියට භාවනාවට බාධා පමුණුවනවදැයි කියල තමන්ටම අවබෝධ ෙවනව වගේම ඒවා දුරලගන්නේ කොහොමද කියලත් තේරුම් ගන්න ඔබට පහසු වේවි.
නීවරණයන් යටපත් කළාට පස්සේ ඒ නීවරණයන් කොයිතරම් ෙවලා යටපත් ෙවලා තියෙනවද කියන එක නිතරම හිතට එන ප්‍රශ්නයක්. ඒවා යටපත් කළාට පස්සේ ඒවා බල ශූන්‍යව පවතින්නේ සදාකාලිකවද එහෙම නැත්නම් භාවනා කරන කාල පරිච්ඡේදය තුළදී පමණක්ද?
මුලදී ඒවා යටපත් කරන්නේ තාවකාලිකවයි. ඒවායින් අත්මිඳිල නිදහස ලබාගත්තාම ඔබ ඒවායින් මිඳුණු බව ඔබට පැහැදිලි ෙවනව. නීවරණයන්ගේ බලපෑමකින් තොරව මනස කොයිතරම් වේලා පවතිනවද කියන එක රඳා පවතින්නේ ඔබේ සිහිකල්පනාව, සතිය දියුණු කරගෙන තියෙන මට්ටමට අනුවයි. ඉතා ගැඹුරු භාවනා අවධීන්ට පිවිසීමට හැකියාවක් ඔබට තියෙනව නම් ඒවායින් ඉවතට ආවට පස්සෙත් නීවරණයන්ගේ ආධිපත්‍යයෙන් මිඳිල, දිගු කාලයක් නිදහසේ ඉන්න පුළුවන් බව ඔබට පෙනේවි. භාවනාවෙන් බලගැන්වෙන මනස ඉතාමත් තියුණුයි. අචලයි. යම් දෙයක් වෙත අවධානය රඳවාගෙන බොහෝ කාලයක් හිටිය හැකියි. කොයියම් අන්දමක හෝ අසතුටක් මනසෙ මතු වෙන්නේ නැහැ. කව්රු හරි ඔබේ ඔළුවට ගැහැව්වත් කලින් වගේ ඒ ගැන අමනාපයක් ඔබ ඇති කර ගන්නේ නැහැ. කාමාසාව වගේ දේවල් ගැන ඇල්මක් දැන් මනසෙ මතු වෙන්නේ නැහැ
මේ කිව්වේ ගැඹුරු භාවනාවෙන් අත්වන ප්‍රතිඵල ගැනයි. භාවනාවේ කිමිඳී ගිය ගැඹුරත්, ඒ ආකාරයෙන් ගතකළ කාලයටත් අනුකූලව තීරණය කෙරෙන කාල පරාසයකට පස්සේ නැවතත් නීවරණ ධර්මයන් ඉස්මතු වීම ඇරඹෙනව. මේක උදාහරණයකින් පෙන්නනව නම් “බොක්සින්” තරඟයකදී එල්ල කෙරෙන දරුණු පහරකින් බිම ඇදවැටුනු ප්‍රතිවාදියා මොනවත් කරකියා ගන්න බැරිව වේදිකාව මත වැටිල ඉන්න ආකාරය මේකට සමාන කරන්න පුළුවන්. ඔහු එතැන සිහිමුර්ජා වූවෙක් හැටියට වැතිර ඉන්න කාලය රඳා පවතින්නේ එල්ල කළ පහරේ තිබුණ බලවත්කම අනුවයි. ඒ කොයිහැටි වුනත් අවසානයේදි සිහිඑළව ගන්න මේ ප්‍රතිවාදියා ටිකක් දුර්වල අන්දමට හැසිරුණත්, පරණ පුරුදු ආකාරයටම ඔබට අභියෝග කරමින් නැවතත් ඔබ එක්ක සටනට ඒවි. නමුත් බල බිඳ දැමීමෙන් ලත් අත්දැකීම දැන් ඔබේ අතේ තියෙනව. හුඟ වාරයක් මේ විදියට දරුණු ප්‍රහාර එල්ල කරකර ඔබ ප්‍රතිවාදියා බිම හෙලුවොත් ඔහුගෙ බලය එන්න එන්නම පිරිහීමට පත්කරන්න ඔබට පුළුවන්. මෙහෙම නැවත නැවතත් ගැඹුරු භාවනා අවධීන් වලට එළඹෙන්න මනස පුරුදු පුහුණු කළාම සිද්ද වෙන්නේ ක්‍රමක්‍රමයෙන් නීවරණයන්ගේ බලය පිරිහීමයි. අවසානයේදී ඒවා සදහටම නැතිකර දැමීම සත්‍යාවබෝධාත්මක විදසුන් නුවණ වෙත පැවරී ඇති කටයුත්තක්.
මේ තමයි අනාදිමත් කාලයක ඉඳල පැවත එන බුදු මග. භාවනාව තුළින් පංචනීවරණයන්ගේ බලය බිඳ දැමීමෙන්, ප්‍රඥාව උපදවා ගැනීමට මග, ඔබට හෙළිදරව් ෙවනව. නීවරණ ප්‍රහීන කිරීම හේතුකොට ගෙන එක්තැන් වන මනසෙ පහළවන විදසුන් නුවණ යොදා ගනිමින්, තවදුරටත් ඒ නීවරණයන් මෙනෙහි කර බැලීමෙන්, ඒවා නැත්තටම නැති කළ හැකියි. නීවරණයන් ඔබ සහමුලින්ම විනාශ කර ගෙන තියෙනව නම් ඔබ සත්‍යාවබෝධ කර ගත්ත වෙනව. ඔබ සත්‍යාවබෝධ කරගත් කෙනෙක් නම් ඔබ බාධකයන් අභිබවා ගිය කෙනෙක් නිසා ධ්‍යානයන්ට සමවැදීමට කිසිම අපහසුවක් ඔබට දැන් තියෙන්න බැහැ. ඔබත් ධ්‍යානත් අතර තිබූ, මා මුලදීම සඳහන් කළ ‘අවහිරය’ දැන් සහමුලින්ම ඉවත්වෙලා ගිහින්.
ඔබ සුවපත් වේවා!