භාවනා මග සතුරෝ

අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන් වහන්සේ

පරිවර්තනය – ජෝර්ජ් කාරියවසම්

(උපුටා ගැනීමට හෝ පිටපත් කර බෙදා හැරීමට අවසර නැත)

ගැඹුරු භාවනාව වළකාලන නීවරණ ධර්ම

මෙහිදී මා විස්තර කරදීමට අදහස් කරන්නේ පංච නීවරණ ධර්මයන් පිළිබඳවය. භාවනාවේදී මතුවන බාධක හැටියට ඒවා හැඳින්විය හැකිය. මෙම බාධකයන් මගහරවා ගන්නේ කෙසේදැයි ඔබ උගත යුතුය.

හැඳින්වීම

භාවනාවේ ගැඹුරු අවධීන් වෙත එළඹීමට ඉඩ නොදෙන මෙම බාධක පාළි භාෂාවේ හඳුන්වාදී ඇත්තේ නීවරණ යනුවෙන්ය. එහි වචනාර්ථය “අවහිරය”’ යි. එනම් යමකට ඇතුල්වීමට ඉඩ නොදෙන බාධකයට, නැති නම් දොර වැසීමකට එය සමාන කළ හැකිය. මේවා කෙනෙකුට ගැඹුරු භාවනා අවධීන්ට එනම් ධ්‍යානයන්ට සමවැදීම වළකාලන්නේය. එසේම, ඒවා නොදැන සිටීමෙන් අවිද්‍යාව වැඩි දියුණුවන අතර ප්‍රඥාව මතුවීම වළක්වා එහි අවනතිය ඇති කරයි. බුදු දහමෙහි භාවනාවට අවහිර කරන සතුරන් ගැන විස්තර කරද්දී ප්‍රධානතම සතුරා ලෙස මෙම පංව නීවරණයන් හඳුන්වාදී ඇත්තේ එහෙයින්ය. ඒවා මනුෂ්‍යයින්හට සතත්‍යාවබෝධය කරා එළඹීම මුළුමණින්ම ඇණහිටු වන්නේය. එහෙයින් මෙම පංච නීවරණයන් හරියාකාරව වටහාගෙන ඒවා මැඩපවත්වා ගැනීමට පියවර ගැනීම වැදගත්ය.

ඒවා වටහා ගැනීමෙහි හා මැඩපවත්වා ගැනීමෙහි වැදගත්කම මා අවධාරණය කර සිටින්නේ ඒවා පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතිකර ගෙන නොමැති නම් මෙම බාධක මැඩගෙන ඉදිරියට යාම ගැන අපට කිසි විශ්වාසයක් තැබිය නොහැකි නිසාය. පංච නීවරණ ධර්මයන් පහදාදීමේදී, විශේෂයෙන්ම ඉතා සියුම් බාධකයන්, එනම් මේ සතුරන් පස්දෙනාගේ සියුම් අංගෝපාංගයන් පිළිබඳ අවශ්‍යතරමේ පැහැදිලි විස්තර සමහර ගුරුවරු ඉදිරිපත් නොකරති. උසස්, ගැඹුරු භාවනා අවධීන්ට එළඹීමට මග අහුරණ මෙම සියුම් මට්ටමේ බාධක අයත් වන්නේද පංච නීවරණ පරපුරටමය. එහෙයින් යමෙකු මේවා හඳුනාගෙන ඒවා මැඩපවත්වා ගැනීමට කිසියම් උනන්දුවක්, උත්සාහයක් නොගන්නේ නම් ඔහුගේ මනස පාලනය කෙරෙන්නේ මෙම නීවරණයන්ගේ මනාපයට අනුකූලවය. එම නිසා, ඒවා කෙනෙකුට සුවදායක, ප්‍රීතිමත් මනසක ආස්වාදයක් විඳීමටත්, සත්‍යාවබෝධයේ ඵල නෙලාගැනීම සඳහා අවැසි විදසුන් නූවණ හෙළි පෙහෙළි කර ගැනීමටත් ඇති මග අහුරාලන්නේය.

කෙටියෙන් පවසනවා නම් සත්‍යාවබෝධය අත්විඳීම සහ ඔබ අතර ඇති මාර්ගය හරස්කොට ගෙන සිටින්නේ මෙම පංච නීවරණයන්ය. අපි ඒවා හඳුනාගෙන ඇත්නම් ඒවායින් ගැලවී ඉදිරියටම පිය නගන්නට බොහෝ සෙයින්ම ඉඩප්‍රස්ථා අපට සැලසී ඇත්තේය. ඔබ මෙතෙක් ධ්‍යානයන්ට සමවැදී නොමැති අයෙකු නම් එයින් අදහස් කරන්නේ ඔබ තවමත් මෙම නීවරණ ධර්මයන් සම්පූර්ණ වශයෙන්ම දැනහඳුනා ගෙන නොමැති බවය. එමෙන්ම ඔබ මනස ඉන් ඔබ්බට විහිදුවා ගෙන නැත. ඔබ එවැනි උත්තරීතර තත්ත්වයන්ට මනස පත්කර ගෙන ඇත්නම්, ඔව්! එසේ නම් ඔබ පංච නීවරණයන් යටපත් කර දැමීමට හැකියාව උපදවා ගෙන ඇත්තේය. එතරමටම එය සරලය, පැහැදිලිය.

බුදුන් වහන්සේ පංච නීවරණ ධර්මයන් නම්කොට ඇත්තේ පහත දැන්වෙන අයුරින්ය.

පළමුවැන්න කාමච්ඡන්‍ද පස්කම් සැපයට ඇලීම, පසිඳුරන් ලබාදෙන සැපයට ඇති කැමැත්ත
දෙවැන්න ව්‍යාපාද ද්වේශය, තරහ, අකමැත්ත
තුන්වැන්න ථීනමිද්ධ අලසකම, ඈලි මෑලි ගතිය, නිදිමත
හතරවැන්න උද්ධච්ච කුක්කුච්ච නොසන්සුන්කම, පසුතැවීම, සිතෙහි විසිරුණ බව
පස්වැන්න විචිකිච්චා සැකය, තීරණයකට එළඹීමට අපහසුතාවය

බුදුරජාණන් වහන්සේ ඒවා දක්වා ඇත්තේ එම පිළිවෙලටය. මෙතැනදී අපි ඒවා විස්කර කර දෙන්නේද ඒ ආකාරයටමය.

පළමුවෙනි නීවරණය – කාමච්ඡන්‍ද

බුදුන් වහන්සේ මෙයට මුල්තැන දුන්නේ එය ඉතාමත් වැදගත් වන නිසාය යනු මගේ අදහසය. මෙම බාධකය සම්පූර්ණ වශයෙන්ම වටහාගෙන ඇත්තේ ඉතා ටික දෙනෙකි. එය හරියාකාරව තේරුම්ගත් භාවනා යෝගීන් දුර්ලභය. භාවනාවෙහි ගැඹුරට යාමට ඉඩ නොදෙන ප්‍රධානතම බාධකය මෙයයි. පංච කාමයන්ට, පස්කම් සැපයට ඇති ඇලීම ලෙසින්ම එය හැඳින්විය නොහැක්කේ එලෙසින් එහි සම්පූර්ණ අදහස හෙළිදරව් නොවන හෙයින්ය. කාම යන පාළි වචනයෙහි තේරුම පසිඳුරන්ගේ ලෝකය ලෙස දැක්විය හැකිය. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන් ඔස්සේ පෙනීම, ඇසීම, ගඳ සුවඳ දැනීම, රස හා ශාරීරික පහස මගින් මවාපාන්නාවූ බාහිර ලෝකයයි මේ. කාම හා ඡන්ද යන පද යුගලය සංයුක්ත වශයෙන් දක්වන තේරුම ඊට වඩා ගැඹුරුය. ඇත්ත වශයෙන්ම එයින් අදහස් කරන්නේ ඉහත කී පසිඳුරන්ගේ ආශ්වාදයන්ගෙන් උද්දාමයට පත්වීමත්, තෘප්තිමත්වීමත්, ඒවා සමගින් පැවැත්මත් ඇතිකර ගැනීමත්, නොඑසේ නම් අඩුතරමින්වත් එම ලෝකයෙහි විසීමට කැමැත්තක් ඇතිවීමත් කාමච්ඡන්‍දය ලෙසින් හඳුන්වාදිය හැකිය. මේ සැමෙකකින්ම පෙන්නුම් කෙරෙන්නේ පසිඳුරන්ගේ ආධිපත්‍යයට අවනතවීමක්ය. පසිඳුරන් කෙරෙහි ඇලීමත්, බැඳීමත්, සමග විසීමට කැමතිවීමත් කාමච්ඡන්‍දයෙහි සංසරණයන්ය.

පසිඳුරන්ගේ ලෝකය අත්හැරීම

‌ෙබාහෝ මනුෂ්‍යයින්හට මෙ‌ම පසිඳුරන්ගේ ලෝකය අත්හරින්නට නොහැක්කේ ඒ හැර අන්දෙයක් ඔවුන් නොදන්නා හෙයිනි! පසිඳුරන්ගේ ලෝකය අත්හැරීමෙන් අදහස් කරන්නේ එම ලෝකයෙන් චුතවීමය, මරණයට පත්වීමය. ඉන්පසු එතැනට කුමක් පණපොවා ගත යුතුදැයි ඔවුන් නොදනිති. එය ඇත්තවශයෙන්ම චුතවීමක් යැයි මා පවසන්නේ මා ගුරු හිමි අජාන් චා හිමිපාණෝ බොහෝ විට භික්ෂූන් වහන්සේලා අමතමින් “මෙහාට ආවෙ මැරෙන්න සූදානම්වී දැයි” අසන ප්‍රශ්නය සිහිපත් කරගෙනය. ඒ ආකාරයෙන් උන්වහන්සේ ප්‍රශ්න කර සිටින්නේ “ඔබ මෙතැනට ආවේ ශරීරය අත්හරින්නද? පසිඳුරන්ගේ ලෝකයෙන් මිඳෙන්නටද?” කියාය. ශරීරය නම් පසිඳුරන්ය, පසිඳුරන් නම් මේ ශරීරයයි. අප සාමාන්‍ය වශයෙන් කෙසේ සිතා සිටියත්, මේ පසිඳුරන් ඇත්තේ ශරීරය ආරක්ෂා කිරීමට නොවේ. සත්‍යතාවය නම් ශරීරය ඇත්තේ පසිඳුරන්ගේ පැවැත්ම සඳහාය. දැකීමට, ඇසීමට, ගඳ සුවඳ දැනීමට, රස බැලීමට, අතපත ගෑමට හැර ශරීරය අවශ්‍ය වෙන කුමකටද? ශරීරය හා පසිඳුරන් අතර ඇති සමානාත්මතාවය යමෙක් හරි ආකාරව වටහා ගත්විට කාමච්ඡන්‍දය යන්නෙන් අප අදහස් කරන්නේ මෙම පසිඳුරන් වටා ගොඩනංවාගත්  යම් අන්දමක ඇලීමක්, බැඳීමක්, උනන්දුවක් වැනි උද්වේගයන් බව ඒත්තු ගැන්වීම එතරම් අපහසු නොවේ.

ප්‍රායෝගික වශයෙන් සලකා බලද්දී අපට පෙනීයන්නේ ශබ්දයක් පිටතින් ඇසුණු විට ඇත්තෙන්ම අපට එය අත්හැර දැමීමට නොහැකි බවය. එය නොසලකා සිටීමට, අමතක කර දැමීමට අපට නොපුළුවන. ඊට උනන්දුවක්, කමැත්තක් දක්වමින් අපි එය අසා සිටින්නෙමු. “මොකක්ද ඒ?”, “වීදුරුව බිඳුනද?”, “කව්ද වැටුනෙ?”, “අනතුරක්ද?”, “බයවෙන්න දෙයක් නෑ.” භාවනාවේදී පිටතින් ඇසෙන නොයෙකුත් ශබ්ද මේ හැටියෙන් අපට බාධා පමුණුවන්නේ ඇයි? අපි ඒවාට උනන්දුවක් දැක්වීම ඊට හේතුවය. ඇත්තෙන්ම අපි ඇදී යන්නේ ඇසෙන ඕනෑම දෙයකට කන්දීමටය. “මොනවද ඒ අය කියන්නේ?”, “ඒකෙ තේරුමක් තියෙනවද?”, “ඒ අය කතා කරන්නේ මා ගැනද?” මෙලෙසින්ම, ශරීරයට යම් පහසක් දැනෙන විටදී මෙන්ම අනිකුත් ඉන්ද්‍රියන්ගේ ආස්වාදය විඳිද්දී අපි හැසිරෙන්නේ මේ ආකාරයටමය. ඇත්තෙන්ම අපි ඒවා වෙත ඇදී යන්නෙමු. මනා සිහිකල්පනාවක් පවත්වා ගනිමින් ඔබ සුපරික්ෂාකාරීව සිටින්නේ නම් ශරීරය ඉදිරිපත් කරන කැසීම්, රිදීම් වැනි නොයෙකුත් වේදනා වෙත සිත ඇදීයන්නේ නිතැතින්ම බව ඔබට පෙනීයනු ඇත. ඇත්තෙන්ම, ඔබට පෙනීයන්නේ ඕනෑකමකින් කරපොවමින්, එබී බලමින් ගතේ වේදනා, කැක්කුම් මතුවන්නේ කොතැනකද කියා ඔබ සෙවිල්ලෙන් සිටින බවක්ය. ඒවාට ඒ හැටියෙන් මතුවන්නට, පවතින්නට ඉඩදීමට ඔබට නොහැකිවා සේය. එදෙස නොබලා සිටින්නටවත් ඒවා නොසොයා අමතක කරදැමීටවත් අපිට නොහැකිය. ඒවා අත්හැර දමන්නට, අයින් කරන්නට නොහැකි මන්ද? එම ලෝකය වෙත අප තුළ ඇති ඇල්ම ඊට හේතුවය. එම ලෝකයෙහි ගැත්තෙකු වී, එයට දක්වන ලෙන්ගතුකම තවත් හේතුවක්ය. අපි එයට ඇලී, ගැලී, බැඳී සිටින්නෙමු. මෙයයි ඇලීම. එය සිතිවිල්ලක් නොවේ. එය යම් අදහසක්ද නොවේ. පරම සත්‍යය එයයි. ඇත්තටම අපිට එම අත්හැරීම කළ නොහැකිව ඇත. බොහොමයක් භාවනා යෝගීන්ට පවා අත්හැරීමට ඉතාමත් දුෂ්කරවූ වෙන්වීමට සිත් නොදෙන මෙම තදබල ඇලීම කාමච්ඡන්‍දය ලෙස හැඳින්විය හැකිය.

පමණ නොඉක්මවූ සුව පහසුවක් ඇතිකර ගන්න

ඔබේ මෙට්ටය මත හෝ පුටුව මත හෝ බංකුව මත හෝ වෙන කොතැනක හෝ හිඳගත්තද ඔබට යම්කිසි වේදනාවක්, කැක්කුමක්, රිඳීමක් දැනීම නොවැළැක්විය හැකිය. බොහෝ කාලයක සිට භාවනාවේ යෙදී සිටින්නෙකු වූවද, තවමත් එවැනි රිදීම්, කැක්කුම් මටද ඇති වේ. ශරීරයේ යම්කිසි අපහසුවක්, කොතැනක හෝ රිදීමක්, කැක්කුමක් මට හැමවිටම අත්විඳීමට සිදුවේ. සර්වප්‍රකාරයෙන්ම සුවපහසු තත්ත්වයක් කිසි ලෙසකින්වත් ඇතිකර ගැනීමට නොහැකි බව මා දන්නා හෙයින් හැකි පමණ සුවපහසුවට හිඳගෙන භාවනා කිරීම එකම මග බව මා වටහා ගෙන ඇත. භාවනාවට හිඳගත් විට බුදුරජාණන් වහන්සේට පවා සර්සම්පූර්ණ සුවපහසුවක් නොතිබෙන්නට ඇති බව මගේ විශ්වාසයයි. ඔබ වාඩිවෙන්න. මේ බොහොම හොඳයි. ඔබට රිසි අන්දමේ සිසිලසක සුවයක් හෝ සෞම්‍ය උණුසුමක් ගතට නොදැනෙන්නට පුළුවන. සම්පූර්ණ නිහඬතාවය කිසි ලෙසකින්වත් නොපතන්න. යම්යම් ශබ්ද අවටින් ඇසුණද ඊට කම් නැත. සිතට ගැලපෙන අයුරින් සුවපහසු ඇතිව ශරීරය පිහිටුවා ගන්න. දැන් ශරීරයට කියන්න, “පස්සේ හමුවෙමු. මම වෙනතැනකට යනවා.” ශරීරය සමගින් ඔබ කළ යුත්තේ එයයි. ඇත්තටම භාවනාවේදී ඔබ ශරීරය විසිකර දමනවායයි කීම නිවැරදිය. වාඩිවෙන්න. ඔහොම ඉන්න. මදුරුවන්ගෙන් ඇතිවන පීඩාව ගැන ඇතුළතින් මැසිවිලි නොනගන්න. මෙහෙම හිතන්න, “කෑවොත් හොඳයි, නොකෑවොත් බොහොම හොඳයි.” සීතලත්, රශ්නයත් එකලෙසින් පිළිගන්න. අවටින් ඇසෙන ශබ්ද වෙත කන් නොයොමන්න. අවට සිටින අයගේ කටයුතු ගැන සැලකිලිමත් නොවන්න. “මට ඒවායින් ඇති වැඩක් නැහැ,” තමන්ටම කියාගන්න. ශරීරයේ ඕනෑඑපාකම් බලාගැනීම ශරීරයටම පවරා ඔබ පැත්තකට වෙන්න. “දැන් මගේ සූදානම මනස නමැති ලෝකයට තුළට යන්නයි,” තමන්ටම පවසාගන්න. මේ අයුරින් ශරීරයට අයත් පසිඳුරන්ගේ ලෝකය අත්හැරදමා ඉන් ඉවත්ව යාමට හැකියාවක් ඔබ ගොඩනගා ගත යුතුය. “ඒවා සමග පැටලෙමින් මා ගත කළ කාලය දැන් හොඳටම ඇති. මේ මගේ විවේක ගැනීමේ කාලයයි.” රැකියාවේදී ඔබ කරන, ඔබට පුරුදු දෙයම දැනුත් ක්‍රියාවට නංවන්න. සිකුරාදා පහ, පහමාර වෙද්දී තවත් කළ යුතු වැඩ කොතෙක් තිබූවත් ඔබ ඒ ගැන සැලකිලිමත් වෙනවාද? “හරි, වෙලාව පහමාරයි. ඔන්න මම ගියා. මම ගෙදර යනවා. ආයි සඳුදට හමුවෙමු. ඒ ආවාම ඉතිරි වැඩ ටික කරල දාන්නම්.” භාවනාවේදීද ශරීරය සමගින් ඔබ හැසිරිය යුත්තේ ඒ ආකාරයටමය. “හරි මම කන්න දුන්නා, සේදුවා, නෑව්වා, දත් මැද්දා , වැසිකිළියට එක්ක ගෙන ගියා, උදේටත් මම කන්න දුන්නා, තව මොනවද? දැන් වාඩි කෙරෙව්වා. ඒ ඇති, දැන් කළ හරිය. මීට වැඩිය මම මුකුත්ම කරන්නේ නැහැ.”

ශරීරය සමග අනවශ්‍ය අන්දමේ ඇලීමක්, බැඳීමක් ඇති කරන්නේ කාමච්ඡන්‍දයයි. ශරීරයේ වේදනා ගැන හිතහිතා කල්මැරීමට පොළඹවන්නේ කාමච්ඡන්‍දයයි. ශරීරය වෙත එන ශබ්ද ගැන නූවමනා අන්දමින් ඇඟිලි ගසන්නේ කාමච්ඡන්‍දයයි. කාමච්ඡන්‍දය අපට කරන දේ තමයි ඒ.

ශරීරය ටිකින් ටික අත්හරින්න

ශරීරය අත්හැර දැමීමට ඉහත පෙන්වා දුන් උපදෙස් ප්‍රමාණවත් වූවත් එපමණින්ම ධ්‍යානයන්ට පිවිසීමට බොහෝ දෙනෙකුට නුපුළුවන. “හොඳයි ඒ ඇති. ආයෙත් නැහැ, මම නුඹ ගැන ලත වෙන්නේ” යනුවෙන් කෙනෙකු සිය ශරීරය පිළිබඳව අධිෂ්ඨානයක් ඇතිකර ගත්තද එසේ එකවරම ශරීරය අතහැර දැමීමට තරම් ශක්තියක් ගොඩනගා ගැනීම එතරම් පහසු නොවේ. එහෙයින් මෙම පිළිවෙතට අනුව (සාරාංශය බලන්න) අපි ශරීරය අත්හැර දැමීම අරඹන්නේ ටිකින් ටික පියවරෙන් පියවරටය. එලෙසින් අපි කාමච්ඡන්‍දය ක්‍රමක්‍රමයෙන් දුබල කර ගන්නෙමු. පංචකාම ලෝකය පිළිබඳ සිතිවිලි, චිත්තවේග හෙමින් සීරුවේ අත්හැර දමන්නෙමු.

භානාවේදී ඔබ මුලින්ම කළ යුත්තේ මේ මොහොතින් එහාට ඇති අනාගත ලෝකය අත්හැර දැමීමය. මන්දයත්, පසිඳුරන්ගේ ලෝකය, කාමච්ඡන්‍දය බොහෝ කොට රඳා පවතින්නේ අනාගතය පිළිබඳ සිතුම් පැතුම් මතය. එනම් ඊළඟ මොහොතේ සිදුවීමට යන්නේ කුමක්දැයි දැන ගැනීමට, ඊළඟ මොහොතේ තමන්ට උවමනා දේ මේ යයි සිතා බැලීමට, යනාදී ආශාවන් පදනම් කරගෙනය. තවත් උදාහරණයක් ගෙනහැර දක්වනවා නම් ඔබ පුලපුලා බලා සිටින්නේ දැන් විඳින අසහනය, අපහසුව නැතිභංග කරගෙන ඊළඟ මොහොත සැපවත් කර ගැනීමටය. නොඑසේ නම් දැන් ඇසෙන ශබ්දය වෙනුවට ඊට වඩා මිහිරි හඬක් හෝ අඩුතරමින් නිහඬතාවයවත් මතු නොවන්නේ මන්දැයි ප්‍රශ්න කරමින්ය.

ඉඳුරන් පිනවමින් සිටින ලෝකයේ අනාගතය මෙයාකාරය. අතීතය හා අනාගතය පිළිබඳ සිතිවිලි බොහොම විට ගොඩනැගෙන්නේ මේ පංච ඉන්ද්‍රියන් ඇසුරුකොටගෙන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. අර අතට මේ අතට හැම අතටම ඇදීයන සිතිවිලි සිතෙහි මතුවූවත් මනස බොහෝ විට රැඳී සිටින්නේ මේ මොහොතේය. එහෙයින් ප්‍රථමයෙන් අප කළ යුත්තේ ඉහත දැක්වූ ආකාරයට “අතීතය හා අනාගතය” යන ශරීර කොටස් අතහැර දමමින් පසිඳුරන්ගේ ලෝකයෙන් සෑහෙන කොටසක් අත්හැර දැමීමය.

පසිඳුරන්ගේ ලෝකය පිළිබඳ සිතිවිලි

ඉතා සියුම් ස්වරූපයකින් මතුවන කාමච්ඡන්‍දයේ ප්‍රභේදයන් බුදුරජාණන් වහන්සේ හඳුන්වාදී ඇත්තේ කාම විතක්ක යන නමිනි. මේ පංචකාම ලෝකය පිළිබඳ සිතිවිලිය. මෙතෙක් මුදුන් පමුණුවා ගැනීමට නොහැකිවූ සිතේ පැසවන තදබල ආශා, අනාගතය පිළිබඳ සිතුම් පැතුම් මෙන්ම, “මට මේවා මේ හැටියට තවත් උහුලගෙන ඉන්න බැහැ. ඇයි දෙයියනේ කවදද නිවනක් ලැබෙන්නේ?” ආදී සිතිවිලිද මේ ගණයට අයත්ය. මේ සෑම සිතිවිල්ලක්ම පංචකාම ලෝකය පිළිබඳ ඇතිකර ගන්නා උද්වේගයන්ය. දැනට පවතින වතාවරණය වෙනස්වූ විට ඔබ කළ යුතු දෑ පිළිබඳ සිතිවිලි, භාවනා මුළුවේ ළඟින් වාඩිවී සිටින පුද්ගලයා පිළිබඳ සිතිවිලි යනාදිය තවත් උදාහරණ වශයෙන් දැක්විය හැකිය. මෙවන් සිතිවිලි හැමෙකක්ම ගෙතී, බැඳී ඇත්තේ එම ලෝකය පිළිබඳවය. මොන ලෝකයද? ගතට ආවඩමින් සිටින ලෝකය, ඇස් විහිදුවාගත් ලෝකය, කන් යොමාගත් ලෝකය, තළුමරමින් සිටින ලෝකය, අතපතගාමින් වල්මත්වී සිටින ලෝකයයි ඒ.

මේ අයුරින් ඇතිකර ගන්නා සිතිවිලි කාම විතක්ක නමින් හැඳින්වෙන කාමච්ඡන්‍දයේ ඉතා සියුම් කොටසක්ය. දෙවෙනි අවධියේදී අපි අත්හරින්නේ පංචකාම ලෝකය පිළිබඳ මතුකර ගන්නාවූ, ඇතිකර ගන්නාවූ මෙවන් සිතිවිලිය. අපේ අරමුණ තවදුරටත් සිතිවිලි ඇතිකර නොගැනීමටය. එම උත්සාහයෙන් සතුටුදායක ප්‍රතිඵල ලබා නොදෙන්නේ නම් එයින් පිළිබිඹු කෙරෙන්නේ ඔබ තවමත් ඇලී ඇති බවය. ඔබ ඇලී ඇත්තේ ඔබට අත්හැර දැමීමට නොහැකි ඒවාටය. ඔබ ඇලී ඇති එම සිතිවිලි සම්බන්ධව ඔබෙන් මෙසේ ප්‍රශ්න කර බලන්න: “ඇයි? මොකක්ද මම ඒ රස විඳිමින් ඉන්න දේ?” අන්න ඒ රසය තමයි ඔබ අලවා තබන මැලියම. “මොනවද ඇත්තටම මම අගය කරන්නේ?”, “මේ දේවල් ගැන ඇයි මම මේ හැටි සැලකිල්ලක් දක්වන්නේ?” ඒ අයුරින් ඔබ විමර්ශනයක යෙදෙනවා නම් එය, එම ඇලීම කපා හැරීමට ඔබට ආධාර වන්නේය. අලවා තැබීමට යම්කිසි මැලියමක් අවශ්‍යය. ඔබ ඇලීමකින් යුතුව බලන දේ වෙත ඔබේ සැලකිල්ල යොමු කරවා ගැනීම සඳහා ඇලෙන සුළු දෙයක්, යම් අන්දමක රසවත් බවක් එයට තිබිය යුතුය. එයයි බන්ධනය.

බන්ධනය හඳුනා ගැනීම

මේ බන්ධනය හඳුනා ගැනීමට ඔබට හැකි නම් එයින් මිඳීමට ඔබට පහසු වන්නේය. සිතීමෙන් ඔබ තෘප්තිමත් වන්නේ මන්ද? සිතීම ඇත්තටම කරදරයක් නේද? කිසිවිටෙක සත්‍ය වෙත යොමු නොකෙරෙන මේ සිතිවිලි ඔබ මෙතරම් අගය කරන්නේ මන්ද? සිතීම කාලය නාස්තිකර දැමීමක් නොවන්නේද? මෙලෙසින් ඔබ මෙනෙහි කරන්නේ නම් සිතිවිලි නතර වන්නේය. ඔබ සිතිවලවල අගය කපාහරින විට ඒවායේ උත්පාදක ශක්තිය පිරිහී යන්නේය.

මගේ ශ්‍රමණ දිවියේ මුල් කාලයේ දිනක් සක්මන් භාවනාවේ නිරතව සිටියදී සිතෙහි මතුවන සිතිවිලි ගැන සෝදිසියෙන් සිටියා මට මතකය. ඒවායේ නිස්සාර බව මට වැටහුනේ ඒවා මම කුඩා අවධියේදී සිට හැදුණු වැඩුණු ආකාරය හා පුරුදු පුහුණු කරගත් දේ මත සම්පූර්ණයෙන්ම රඳා පවතින බව පෙනී යාමෙන්ය. මා සිතන ආකාරය එකකි. නමුත් තායි භික්ෂූන් වහන්සේලා ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකින් සිතන්නේ ඔවුන්ගේ සංස්කෘතියත් මගේ සංස්කෘතියත් අතර පවතින වෙනස නිසාය. කව්ද හරි? ඔවුන් සිතන ආකාරයද? නැති නම් මා සිතන ආකාරයද? දෙගොල්ලෝම වැරදිය. අපි සෑම දෙනෙක්ම සිතන්නේ අපි මනස සකස් කරගෙන, පදම් කරගෙන ඇති ආකාරයන්ට අනුකූලවය. ඒවා අපි ඉගෙන කියාගත් දෙයෙහි අනුවර්තනයක් පමණි. සාමන්‍ය මට්ටමින් සලකා බැලූවිට එම සිතිවිලි අපි අළුතින් සකස් කරගත් ඒවා නොව අපේ ගුරුවර දෙමාපියන්ගේම මායාකාරී අදහස් උදහස් වැමෑරීමක් බව පෙනීයන්නේය. ඒවා අපි නිවැරදි මගට යොමු නොකරන්නේ මූලික වශයෙන්ම ඒවායෙහි ගැබ්වී ඇති රෝග නිධානයන් නිසාය. පුහුණුවී ඇති ආකාරයටම  සිතන්නට අපි පුරුදුවී සිටින්නෙමු. මේ සිතිවිලි කිසි දිනෙක සත්‍ය පෙන්නුම් නොකරන බවත්, කොයියම් ආකාරයකින් ඔබ සිතුවත්, සිතීමෙන් කොතැනකටවත් යාමක් සිදු නොවන බවත් ඔබට අවබෝධවීමට පටන්ගත් තැන්සිට මේ සිතිවිලි නතරවීම ඇරඹෙන්නේය. මේ නුවණ පහළවීමෙන් පසු හොඳ රසවත් භාවනා වාරයන් අත්විඳි බව මට මතකය.

මේ ආකාරයෙන් මම සිතිවිලිවල පාදකය නැති නම් සිතන්නා අරක්ගෙන සිටි අසුන පුපුරුවා හැරිවිට ටික දිනක් යනතෙක් ඔහුට හරිබරි ගැහී හිඳගැනීමට තැනක් සොයා ගැනීමට අපහසු විය. ලෝකය පිළිබඳ සිතිවිලි, කාමවිතක්කය නතර කරන්නේ අන්න ඒ ආකාරයෙන්ය. කිසි හරයක් නැති මේ සිතිවිලිත් සමග කල්මැරීම මොනතරම් මෝඩ ක්‍රියාවක්ද? අනිත් අතින් ඒවා අපට ගෙනදෙන අසහනය කොතරම්ද? සිතීම කාමච්ඡන්‍දයෙහි කොටසක් බව මතක තියාගන්න. ලෞකීය දේ පිළිබඳව විමසිලිමත්වීම, සැලකිලිමත්වීම, එම ලෝකයට ඇති ඇලීම නැති නම් පංචකාම ලෝකය වෙත ඇති ඔබේ කැමැත්ත මේ සිතිවිලි පෙන්නුම් කර සිටී.

විවිධත්වයේ සිට ඒකීයත්වයට

මුළු ලෝකයම අපට එක්වර අත්හැර දැමිය නොහැකි නිසා ඊළඟ අවධියේදී අපි කරන්නේ එම ලෝකයෙන් එක කොටසක් පමණක් ඉතිරි කරගෙන සෙසු සියල්ලම අත්හැර දැමීමය. අපි ඉතිරි කරගන්නා එම කොටස ආශ්වාස ප්‍රශ්වාසයයි. එය එම පංචකාම ලෝකයෙහි කොටසක් වන්නේ හුස්ම රැල්ලෙහි පහස අපට දැනේනේ එය ශරීර ඉන්ද්‍රියත් සමග ඇතිකරන ස්පර්ශය නිසාවෙන්ය. ඒ හැර අනිකුත් සෑම ඉන්ද්‍රිය සංවේදනයක්ම අපි අත්හරින්නෙමු. සෑම පෙනීමක්ම, ආඝ්‍රාහණයක්ම, රසයක්ම, ශබ්දයක්ම අපි අත්හරින්නෙමු. හුස්ම රැල්ලෙහි පහස පමණක් අත්විඳිමින් පංචකාම ලෝකය පිළිබඳ සෑම දැනීමකින්ම, හැඟීමකින්ම, සිතීමකින්ම අපි අත්මිඳෙන්නෙමු. දීර්ඝ කාලයක් තුළ එක් දෙයක් මත අවධානය යොමු කරගෙන සිටීමටත්, ඒ දැනීම නොකඩවා පවත්වා ගැනීමටත් ඇති හැකියාවේ ප්‍රබලත්වය අනුව සෙසු සියල්ලම අත්හැර දමා ඇති බව අපි නිගමනය කර ගන්නෙමු.

දිගු කාලීනව, බොහෝ වාරයක් තුළ හුස්ම වෙත අවධානය නොකඩවා පවත්වාගත හැකි නම් පංචකාම ලෝකයෙන් සියයට අනූනවයක් පමණ කපා හැර ඇති බව ඔබට පෙනීයන්නේය. පළමුවෙනි නීවරණය ඔබ දැන් බොහෝ දුරට ප්‍රහීන කරගෙන ඇති අතර ඉතිරිව ඇත්තේ අංශු මාත්‍රයක් පමණකි. ඉතිරිව ඇති මේ ඇබිත්තෙහි අවසානය වෙත ඔබට පහසුවෙන් ළඟාවිය හැකිය. ඒ සඳහා ඔබ කළ යුත්තේ එය අතුරුදහන්වී යනතෙක් හුස්ම තවතවත් සංසුන් කිරීමය. දැන් ඔබට ඉතිරිව ඇත්තේ මනස නමැති ලෝකයයි. නොසැලෙන මනසෙහි ඡායාව නොහොත් සමාධි නිමිත්ත මතුවන්නේ මෙතැනදීය. සමාධි නිමිත්ත මතුවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ මනස විකසිතවූ බවය, විවෘතවූ බවය, මනස දිස්වෙන්නට පටන් ගත් බවය. පළමු නීවරණය, කාමච්ඡන්‍දය සාර්ථකව මැඩපවත්වා ගෙන ඇති බව එම සළකුණින් පෙන්නුම් කරන්නේය. මේ, අවට ලෝකය පිළිබඳ සෑම හැඟීමක්ම, දැනීමක්ම ඔබ කෙරෙන් ඉවත්වූ අවධියයි.

කාමච්ඡන්‍දය අත්හැරීමෙන් පසු

සමාධි නිමිත්ත වෙත ඔබේ අවධානය පවත්වා ගෙන සිටිය හැකි නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ ක්ෂණිකව මොහොතකට පමණක් ඔබ පළමුවෙනි නීවරණය යටපත් කළ බවක් නොවේ. ඇත්තටම ඔබ එය බිමට ඇද දමා ඇත්තේ දිගු කාල පරිච්ඡේදයකටය. සමාධි නිමිත්ත අත්විඳීමේ අසිරිය හා එහි ස්ථාවරත්වය පෙන්නුම් කරදෙන්නේ ඔබ කාමච්ඡන්‍දය මැඩගෙන ඇති බවය. ඉවතට ඇද දැමූ මෙම පළමුවෙනි නීවරණය ප්‍රහීන කිරීම ඉතා අපහසු දැඩි නීවරණයක්ය. බුදුරජාණන් වහන්සේ ධ්‍යාන පිළිබඳ විස්තරය අරඹන්නේ විචිකිච්චේව කාමෙහි යන වගන්තියෙනි (උදාහරණයක්: සල්ලේඛ සූත්‍රය, 8). කාම යන්ගෙන් වෙන්වී, දුරස්තරවී, ඒවා අත්හැරදමා යනු එහි අදහසය. එනම් කාමච්ඡන්‍දය නොහොත් කාම ලෝකය නොහොත් පසිඳුරන්ගේ ලෝකය අත්හැර දැමීමය. එයින් වෙන්වීමය. එයින් දුරස්තර වීමය. උන්වහන්සේ ධ්‍යාන පිළිබඳ විස්තරයේ මුල් වචන කිහිපයට අනුව ඔබ ඒ ලෝකය නිෂ්ක්‍රමණය කර ඇත.

සමාධි නිමිත්ත මතුවන්නේ නම් ඔබ සිටින්නේ ධ්‍යානයන්ට ඉතා සමීපවය. ඔබට ඒ සමාධි නිමිත්තෙහි ස්ථාවරත්වය රැකගත හැකි නම් එයට හේතුව අන්කිසිවක් නොව ශරීරය පිළිබඳව, පංචකාම ලෝකය පිළිබඳව ඔබ තුළ තිබූ සෑම උද්වේගයකින්ම අත්මිඳීමට ඔබට හැකිවීමය. ගුප්තබල, අද්භූත බලපුළුවන්කාරකම් වල යෙදෙන සෙසු ආගමිකයින්හට පවා මෙවැනි ගුඪ අවධීන් කරා එළඹීම සඳහා භෞතික ශරීරය පිළිබඳ සෑම උද්වේගයක්ම අත්හැර දැමීමට සිදුවන්නේ එහෙයින්ය. ඔබ කෑම බීම ආදී දේ ගැන ලතවන්නෙකු නම්, ශරීරයේ සුවපහසුව හෝ දුක්ගැනවිලි ගැන විමසිලිමත්වන්නෙකු නම් ඔබට කිසි ලෙසකින්වත් ගුප්ත බලධාරියෙක් විය නොහැකිය. එවැන්නෙකුට කිසිසේත්ම මනසෙහි ගුප්ත බලයන්ගේ රසය උකහා ගැනීමටවත්, ධ්‍යානයකට එළඹීමටවත් නොහැකි බව පැවසිය යුතුය. ඊට හේතුව ඔබ සැලකිලිමත් වන්නේ එමගට එරෙහිවූ යම්යම් දේවල් ගැනය. එය පිරිසිදු මනස අත්විඳීමට ඔබ ඇතිකර ගන්නා බාධකයක්ය.

අඩුම වශයෙන්වත් භාවනා කරන කෙටි කාලය තුළදීවත් බාහිර ලෝකය අත්හරින්න. එම ලෝකය එලෙසින්ම එතැනම පවතී. ඒගැන බිය නොවන්න. ඒ කාලය තුළ ශරීරයෙහි ඇලීගැලී නොසිටින්න. සුවපහසු ආස්වාදයන්ට කෑදරයෙකු නොවන්න. ගඳ, සුවඳ, සීතල, උෂ්ණය, කැසීම්, රිදීම්, කැක්කුම් ගැන නූවමනා අන්දමින් කලබලයට පත් නොවන්න. මනසට ලංවීම සඳහා දැන් ඔබේ එකම පරමාර්ථය මේ ඉන්ද්‍රිය සංවේදන ඇතිකරන දැඩි බාධාවන් අබිභවා යාමටය.

ණයෙන් නිදහස්වීම

පංච ඉන්ද්‍රියන්ගේ ග්‍රහණයෙන් මනස මුදවා ගත්විට දැනෙන සුවය අතිශයින්ම බලවත්ය. ඔබ අත්කර ගන්නේ මොනතරම් ලස්සන නිදහසක්ද? කාමච්ඡන්‍දය නැතිකල විට දැනෙන සුවය මොනතරම් සැනසිලිදායක දැයි එවිට පරීක්ෂාකර බලන්න. බුදුරජාණන් වහන්සේ  කාමච්ඡන්‍දයෙහි ආදිනව සමකලේ ණයගැතිවීමක් ලෙසටය. පසිඳුරන්ගේ ආස්වාදය විඳින සෑම මොහොතක් සඳහාම නොවරදවාම ගෙවීමක් කළයුතු වීම ඊට හේතුවය. ඔබ සතුට ලබාගන්නේ ණයටය. “පුහුදුන් ලෝකයේ අපි සැප වේදනාවක් හැටියට සලකන සෑම අවස්ථාවක්ම ඇත්තේ ඇත්තවශයෙන්ම දුක් වේදනාවන් හැටියට සලකන අවස්ථාවන් දෙකක් අතරය. එලෙසින්ම අපි දුක් වේදනාවන් හැටියට සලකන අවස්ථාවක් මැදිවී ඇත්තේ සැප වේදනා අවස්ථාවන් දෙකක් අතරය”යි මා හැමවිටම පවසන්නේ එහෙයින්ය. හොඳ රසවත් ආහාර වේලක් භුක්ති විඳීමෙන් පසුව ඔබට දැනෙන්නේ යම් හිස් බවක්ය. තිබුණු හොඳ දෙයක් නැතිවූ බවක හැඟීමක්ය. එය භුක්ති විඳීමට කලින් තිබූ හිස්බව ගැන කවර කථාද? “ සැපයක් අවසන් වූවිට දැනෙන්නේ දුකක්ය.” අසාධ්‍ය රෝගයක් වැළඳී එයින් සුවය ලබන විට ඉතා සතුටු හැඟීමක්, මහත් සොම්නසක් ඔබට දැනෙන්නේ මන්ද? “දුකක් කෙළවරවූ විට දැනෙන්නේ සැපයක්ය.” ඒ නිසා පසිඳුරන්ගේ ආධිපත්‍ය යටතේ පවතින පංචකාම ලෝකයේ අපි සතුට හැටියට හඳුන්වන්නේ දුක් සහගත අවධීන් දෙකක් අතර ඇති සුළු විරාමයයි, ඉඩකඩයයි.  අපි දුක හැටියට හඳුන්වන්නේ ප්‍රීති සහගත අවධීන් දෙකක් අතර ඇති සුළු විරාමයයි, ඉඩකඩයයි. ණයට ගත්දේ ආපසු ගෙවා දැමීමට අපට සිදුවේ. අපි තවතවත්, නැවත නැවතත් ණයට ගන්නෙමු. අපි ඒවා ගෙවා දැමිය යුතුය. ඒ තමයි ලෝකය! සැපය පස්සේ ලුහුබැඳ යන්නෝ ණයගැතියෝ බව බුදුරජාණන් වහන්සේ  පැවසූයේ එහෙයින්ය.

ණය ගෙවා නිම කළ විට ඔබ නිදහස්ය. නිදහස ලැබූවෙකුට කැමති විටෙක කැමති තැනකට යාමට ඊමට අවසර ඇත. කාමච්ඡන්‍දය, පළමුවෙනි නීවරණය මැඩපැවැත්වූ විට පවතින තත්ත්වයද එයාකාරය. ශබ්දවලට ඇහුන්කම්දිය යුතු යැයි දැන් නියමයක් නැත. ශරීරයේ මැසිවිලිවලට පිළියම් කිරීමට අවශ්‍යතාවයක් නැත. නීවරණයෙන් මිදුනු පසු ඔබ අත්විඳින්නේ එයයි. ඔබට කැමති විටෙක මනස නමැති ලෝකයට ඇතුල්විය හැකිය. එවිට ශරීරයක හැඟීමක් ඔබට ඇත්තේ නැත. එය කැසීමටවත්, ඉරියව් වෙනස් කිරීමටවත්, ශරීරයේ අනිකුත් උවමනාවන් ගැන සලකා බැලීමටවත්, එවිට අවශ්‍යතාවයක් නැත. ගල්කුලක් මෙන් නිසලව එකම ඉරියව්වෙන් සිටින මේ අවධියේදී, ශරීරය වෙත මොනයම් අන්දමකවත් අවධානයක් යොමු නොකර සම්පූර්ණවශයෙන් එම අවධානය ඔබ යොමු කරගෙන සිටින්නේ මනස වෙතටය. ශරීරයේ වේදනා, අපහසුකම් ආදිය ගැන එතරම් තැකීමක් නොකරන ඔබට පෙනීයන්නේ මහළු වයස, ලෙඩරෝග, මරණය පිළිබඳව තිබූ අස්ථාන බිය දැන් පහව ඇත්තා සේය. එයට හේතුව මේ ශරීරය ගැන වැඩිපුර යමක් දැන් ඔබ අවබෝධ කරගෙන සිටීමය. මනස නමැති ලෝකය කුමක් දැයි දැන් ඔබ වටහාගෙන ඇත. සැබැවින්ම ඔබ අමරණියත්වය කරා, නොබියව මරණින් ඔබ්බට යාම සඳහා ගත යුතු ප්‍රධාන පියවර තබා ඇත. සාමාන්‍ය ව්‍යවහාරයේ මරණය සමග අපි සම්බන්ධ කරගෙන ඇත්තේ ශරීරයය, එනම් ශරීරයේ අභාවයය. මනස ගැන කථාකරද්දී එහි මරණය අපි හඳුන්වන්නේ නිරෝධය යන නමින්ය. (නමුත් එය මෙතැනදී විස්තර කිරීමට බලාපොරොත්තු නොවන තවත් වැදගත් විෂයක්ය). ඔබට කාමච්ඡන්‍දය ප්‍රහීන කරගත හැකි නම් ඒ සමග මරණ බියද බොහෝ දුරට ඉවත්වී යනු ඇත. එමෙන්ම මහළු වයස, ලෙඩරෝග, මරණය හේතුකොටගෙන උපදින්නාවූ දුක්වේදනා ගැන බිය ඇතිකර ගන්නේද නැත. මේවා සියල්ලම පළමුවෙනි නීවරණයේ,  කාමච්ඡන්‍දයේ අණසක යටතේ පවතින්නාවූ දේවල් වීම ඊට හේතුවය.

සාරාංශය කාමච්ඡන්‍ද

පළමුවෙනි නීවරණය ප්‍රහීන කිරීම සඳහා ක්‍රමානුකූල පිළිවෙතක් අනුගමනය කරමින් භාවනා කටයුතුවල නිරත විය යුතුය. බුදු දහමෙහි හදවත භාවනාවයි, භාවනා අත්වැල හා ආනාපාන සති සූත්‍රය නමැති දැනට ප්‍රකාශිත ග්‍රන්ථ, දීර්ඝ වශයෙන් විස්තරකර දී ඇත්තේ මෙවැනි පිළිවෙතක්ය.

  1. මේ මොහොතේ අවධානය.
  2. මේ මොහොතේ නිහඬ අවධානය.
  3. හුස්ම පිළිබඳ මේ මොහොතේ නිහඬ අවධානය.
  4. හුස්ම පිළිබඳ සම්පූර්ණ අවධානය.

මේ සෑම අවධියකදීම මෙම නීවරණ ක්‍රමක්‍රමයෙන් දුබල කර ගැනීමේදී දැනෙන සුවය, හුදු සාමකාමීත්වය, අසීමිත ප්‍රීතිය අත්විඳීමට, අගැයීමට ඔබට හැකි නම්, එය මැඩපවත්වා ගන්නා නිසි මග ඔබ හෙළි කරගෙන ඇත. කාමච්ඡන්‍දය  ඇති කරන අවුල් වියවුල්, පමුණුවන වදහිංසා කො‌තෙක් දැයි සිතට කාවද්දා ගතහැකි නම් ඔබ එයින් ගැලවීමට යත්න දරණු නොඅනුමානය. එයම සියයට අනූවක ජයග්‍රහණයක්ය. මෙම නීවරණ මනසෙහි පැළපදියම් වීමට මූලික හේතුව වන්නේ එය ලබාදෙන්නේ රසාස්වාදයක් යැයි අප සිතා සිටීමය. අපි එම ලෝකය අගය කරන්නෙමු, හුවා දක්වන්නෙමු. එම ලෝකය ඔබ හිර කරගෙන ඉන්නා අන්දම හා ඔබට පමුණුවන වදහිංසා ගැන යම්කිසි හැඟීමක් ඇතිකර ගැනීමට සමත්වූ විට ඔබ ගමනින් බාගයක මග ගෙවා ඇත. එය දුකක් (දුක්ඛ) බව ඔබට අවබෝධ වී ඇත.

මේ නීවරණය අඩපණ කරගත් හැම විටකදීම එය තව තවත් නිදහස කරා, සංතෘෂ්ඨිය කරා, අභ්‍යන්තර සැනසීම කරා තබන්නාවූ ජයග්‍රාහී පිවරක් ලෙස ඔබට පෙනෙන්නේ නම් ඔබ පිය නගන්නේ නිවැරදි මාර්ගයේය. ඔබ රළුපරළු දේ අත්හැර මුදු මොළොක් දේ ලංකර ගැනීමෙහි යෙදෙනු ඇත. එය සිදුවන්නේය! එය සිදුවනු නොවැළැක්විය හැකිය! සමහර භාවනාවාර වලදී කෑමබීම, කාමුක ආසා, සුවපහසුව, වේදනා, ශබ්ද, උෂ්ණ යනාදිය පිළිබඳව කිසිම හැඟීමක්, තැකීමක් නොමැතිව භාවනා අරමුණෙහිම සිත නොසැලී පවතින බව ඔබට පෙනීයනු ඇත. අවසානයේදී ඔබ ඒ සියල්ලක්ම අත්හැර දමා මනස නමැති ලෝකයට පිවිසෙන්නේ කිසිම පිටස්තර ශබ්දයක් නොඇසෙන, ශරීරය පිළිබඳ කිසිවක් නොදැනෙන, එම ලෝකය පිළිබද සිතිවිල්ලක් පවා ඇතිකර ගත හැකි නොවන පරිදි ගත හා සිත තැන්පත් කර ගෙනය. ඔබට දැනෙන නිදහස හා සැනසීම අසීමිතය.

දෙවෙනි නීවරණය – ව්‍යාපාද

ද්වේශය සහ අකමැත්ත ලෙස අර්ථ දැක්විය හැකි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් දෙවෙනි නීවරණය ව්‍යාපාදයයි. එයින් අදහස් කරන්නේ අන් අය කෙරෙහි දක්වන වෛරය හෝ අකමැත්ත යයි බොහෝ දෙනෙකු සාමාන්‍ය වශයෙන් පිළිගෙන ඇති මතයක්ය. නමුත් ව්‍යාපාදයෙහි සම්පූර්ණ අදහස එයින් පැහැදිලි නොවේ. එය අන් අයට පමණක් සීමා නොවීම ඊට හේතුවය. මෙම අකමැත්ත හෝ ද්වේශය තමා කෙරෙහිම හෝ භාවනා අරමුණ කෙරෙහි දැනුවත්වම හෝ නොදැනුවත්වම යොමුකර ගැනීම බොහෝ විට භාවනා යෝගීන් විසින් ඇතිකර ගන්නාවූ බලවත් බාධකයක්ය.

තමන් වෙත ඇතිකර ගන්නා ද්වේශය

තම භාවනා අරමුණ දියුණුවෙනවා දැකීමට අකමැත්තක් හෝ අධ්‍යාත්මික වශයෙන් ප්‍රීතියත්, සතුටක් විඳීමට තරම් තමා සුදුස්සෙකු නොවේ යයි යන  හැඟීමක ස්වරූපයෙන් එය මතුවිය හැකිය. අතීතයේ තමා අතින් සිදුවී ඇති යම්යම් වැරදි හේතු කොටගෙන තමන් අශුද්ධවන්තයෙක්ය, සමාවක් නොලැබිය යුත්තෙක්ය, පිං විරල වූවෙක්ය යනාදී වශයෙන් සලකන දෝෂත්වග්‍රස්තියෙන් යුතු පුද්ගලයින් බොහෝ වෙත්. තමන් හැදුනු වැඩුනු පරිසරය හා වතාවරණය මෙවන් අදහස් සිතෙහි තදින් කාවැදීමට හේතුවක් විය හැකිය.

තමන් කෙරෙහි මතුවන ද්වේශය පිළිබඳව භාවනාවේදී අපි විමසිලිමත් විය යුතුය. භාවනාවේ ගැඹුරට යාමට ඉඩ අහුරන ප්‍රධාන බාධකය මෙය වීමටද ඉඩ ඇත. මෙය, එක් බටහිර මෙහෙණීන් වහන්සේ නමක් ඇයගේ භාවනාව පිළිබඳව මා සමග සමාලෝචනයක යෙදෙමින් සිටියදී මතු කළ එක් ගැටළුවක්ය. ඇයගේ පාපෝච්චාරණයට අනුව භාවනාවේ ඉතා ගැඹුරට ප්‍රවිෂ්ඨ වූවත් ධ්‍යානයකට සමවැදීමට ඇයට කිසි විටෙකදීවත් නොහැකි විය. ධ්‍යානයක එළිපත්තටම පිවිසියේ වූවද එයට පිවිසීම වැළැක්වූයේ එතරම් ප්‍රීතියක් භුක්ති විඳීමට තරම් තමා සුදුස්සෙක් නොවන්නේ යයි යන හැඟීම මතුවන හෙයින් බව ඈ මා සමග පැවසුවාය.

එවන් ප්‍රමෝදයක් භුක්ති විඳීමට ඇයට නොහැකි වූයේ තමා කෙරෙහි ඇතිකර ගත් නොහොඳ නිසාය. තමා නුසුදුස්සෙක්ය යන හැඟීම ඇය තුළ විය. මෙවන් පුද්ගලයින් තවත් බොහෝ දෙනෙක් ඉන් පසුවත් මට මුණගැසී ඇත. භාවනාවේදී මනස තැන්පත්වී, සාමය ගොඩනැගෙමින් සිතෙහි ප්‍රීතිය මතුවන විට මෙතැන යම්කිසි වරදක් ඇතැයි යන හැඟීම ඔවුන් තුළ ඇතිවේ. තමන්ට නිදහස්වීමට, ප්‍රීතිමත්වීමට ඉඩ නොදෙන අන්දමේ බලවත් ද්වේශයක් ඔවුන් සිත් තුළ තහවුරු කරගෙන ඇත.

ඉතා සියුම් අන්දමකින් මතුවන මෙම ව්‍යාපාද නීවරණය ධ්‍යාන සුවයෙහි රස විඳීමට ඇයට ඉඩ නොදෙන එකම බාධාව බව ඉහත කී මෙහෙණිය මනසින් අවබෝධ කරගෙන සිටියාය. නමුත් එවැනි ප්‍රමෝදයක ආස්වාදය විඳීමට සුදුස්සෙක් යයි ඇය නොසිතුවාය. ඔබ ඊට නොසුදුසු මන්ද? එවන් ආස්වාදයක් විඳීමට හොඳම සුදුස්සා ඔබය. එහි වරදක් ඇත්ද? එයට විරුද්ධත්වයක් පෑ හැකිද? මෙලොව නීති විරෝධී ආස්වාදයන් කොතෙකුත් ඇත. ඉන් සමහරක් බෞද්ධ ශික්ෂාපද ඉක්මවීමෙන් ලබන රසාස්වාදයන්ය. තවත් සමහරක් අතුරු ඵල ලෙස ඔබට ළඟාකර දෙන්නේ නොයෙකුත් භයානක ලෙඩ රෝගයන්ය. ධ්‍යාන වැළඳ ගැනීමෙන් පැතිරී යා හැකි කිසිදු ලෙඩ රෝගයක් නැත. ධ්‍යානයන්ට පිවිසීමෙන් නීතියට පටහැනි වීමක් හෝ ඉන් අත්කර ගන්නාවූ හානිදායක අතුරු ඵලයන් කිසිවක්ද නැත.

ධ්‍යානයන්ට සමවැදීමට ඉතා සමීපවූ විටදී පමණක් මෙම ව්‍යාපාද නීවරණය ඉස්මතු නොවන බව භාවනා කරන පිළිවෙල හොඳින් පිරික්සා බලද්දී ඔබට පෙනී යනු ඇත. සමහර විට එය භාවනාවේ මුල සිටම පැවත එන්නක් විය හැකිය. භාවනාවේ මුල් අවධීන්හිදී දැනෙන සුවය අත්විඳීමට තමන් ඉඩ සලසා නොගැනීමෙන් ඔබ අතින් භාවනාව අමාරුකර ගැනීමද නොදැනුවත්වම වූවද සිදුවිය හැකිය. ශරීරයට වදදීමට හෝ සාමය අස්වසාලීමට ඔබ අරමුණු කර ගත්තා වන්නටද පිළිවන. සැනසිලි සුවයක රසය විඳීමටවත්, ප්‍රමෝදයට පත්වීමටවත්, නිදහසක් ලබාගැනීමටවත් තමා නුසුදුසු යයි ඔබ සිතනවා විය හැකිය. හදවතේ තදින් කාවැදී ඇති තමා වැරදිකාරයෙක්ය යන හැඟීම මුල්කොට ගෙන සතුටක් විඳීමට තරම් “මම සුදුස්සෙකු නොවෙමි” යන හැඟීම ඉස්මතු කරගැනීම තවත් හේතුවක්ය.

සදොස්බව නිරතුරුවම මතු කරන්නේ මෙවන් දෑය. වැරදිකාරයෙක්ය යන සිතිවිල්ලත් සමගම පැන නැගෙන්නේ තමන් ඒ සඳහා යම්කිසි දඬුවමක් විඳිය යුතුය යන සිතිවිල්ලය. උසාවියේදී යමෙක් වරදිකරුවෙක් ලෙස විනිසුරු ගන්නා තීරණයත් සමගම ඊට සුදුසු දඬුවමක් පැවරීමේ වගකීමද පැවරී ඇත්තේ ඔහුටය. වරද හා දඬුවම ඒකාබද්ධ වූවක් ලෙස අප සංස්කෘතියෙහි හා සිත්සතන් තුළ තදින් කාවැදී ඇත. වැරැද්දක හැඟීමක් සිතෙහි මතුවීමත් සමගම අපි පසුවන්නේ ඊට සුදුසු දඬුවම කුමක් දැයි කියා විපරම් කරමින්ය. නිදහස සීමා කිරීමටත්, සැනසීම අහිමි කිරීමටත්, සතුට මොට කීරීමටත් අපි යුහුසුළු වන්නෙමු. දඬුවම් පමුණුවා ගන්නේ අපිමය. අපි හුරුවී ඇත්තේ තව තවත් දඬුවම් සෙවීමටය. මෙවන් උමතුවක් තවත් ඇත්ද?

විහින් සුභසෙත සලසා ගැනීම

ව්‍යාපාදය, තමා නොදැනුවත්වම භාවනාව කෙරෙහි දැඩි ලෙස බලපාන්නාවූ නීවරණයක් විය හැකිය. මෙය ප්‍රහීන කර ගැනීම සඳහා මෙත් සිත දියුණු කර ගන්න. සාමය ඇතිකර ගැනීමට ඔබටත් අවස්ථාවක් දෙන්න. මේ අයුරින් තමන්ටම පවසා ගන්න: “මගේ හදවතේ දොර මුළුමණින්ම මා වෙනුවෙන් විවෘත කළෙමි. ප්‍රීතිවීමට මට අවසර ඇත. එයට ඉඩකඩ ලබා දෙන්නෙමි. මා කෙරෙහි සුහදශීලී, මිත්‍රශීලී බවක් මා ඇතිකර ගන්නෙමි. සැනසීමෙන්, සාමයෙන් හද පිරීයාමට ඉඩ සලසන්නෙමි. භාවනාවේදී මාගේ සිත ප්‍රීතියෙන් ඉපිල යේවා! සැනසීම මා වෙත ළඟා වේවා! මා සතුටු සිත් ඇත්තෙක් වෙම්වා!” තමන්ටත් සතුටුවීමට ඉඩ හරින්න. තමා වෙත යොමුකරගත් හොඳ හිත මෛත්‍රීය මිස අනෙකක් නොවේ. තමා කෙරෙහි දයාවක්, ආදරයක් දක්වන්නට ඔබට අපහසුවක් දැනෙයි නම් ඒ ගැන ප්‍රශ්න කරන්න. යම්කිසි දඬුවමක් බලාපොරොත්තුවෙන් තව දුරටත් ඔබ හැසිරෙන්නේ යටි හිතේ තදින් කාවැදී ඇති අතීතයේදී තමා අතින් සිදුවී ඇති යම්කිසි අකටයුත්තක් සඳහා සමාව දීගත නොහැකිවය. ඔබ තවමත් කොන්දේසි රහිතව සර්වසාධාරණ සමාවක් ඔබට පවරාදී නොමැත.

කවරෙක් හෝ ඔබට අසාධාරණයක් කර ඇත්නම් ඊට කම් නැති බව බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කර ඇති සේක. කොපමණ කාලයක් ඔබ ඊට ගොදුරුව සිටියත්, එය මොනතරම් අසාධාරණ වූවත්, එය කොයිතරම් කුරිරු සහගත වූවත්, කිසිසේත්ම එවැනි අතවරයකට ඔබට මුහුණදීමට සිදුවීම, සිදු නොවිය යුත්තක් වූවත් ඊට කම් නැත. එය එසේ සිදුවූවත් කිසි පැකිලීමක් නැතිව, හිතේ කිසිම කිළුටක් තබාගන්නේ නැතිව, සහමුලින්ම සමාව දීමට ඔබට හැකියාවක් ඇත. ඇතැම් විට අප සමාජයේ සමහරක් අය පවසන්නේ සමාව දීමට නොහැකි දේවල් අප අතර සිදුවන බවය. ඒ බුදු දහම නම් නොවේ. බුදු දහමට අනුව ඔබට සමාව දිය නොහැකි කිසිවක් නැත. කිසිසේත්ම නැත. අවුරුදු කිහිපයකට ඉහතදී මන්දබුද්ධික පුද්ගලයෙක් ස්කොට්ලන්තයේ පාසැලකට ඇතුල්වී නිරපරාදයේ කුඩා ළමුන් බොහෝ දෙනෙක් වෙඩි තබා ඝාතනය කළේය. ඩන්බ්ලේන් නගරයේ සිදුවූ මේ ඝාතනයෙන් මියගිය අය වෙනුවෙන් පැවැත්වූ ආගමික තේමාවේදී එහි ප්‍රධානත්වය දැරූ එක්තරා සුප්‍රසිද්ධ දේව ගැතිවරයෙක් දෙවියන්ගෙන් අයැද සිටියේ “අහෝ දෙවියනි! මේ පුද්ගලයාට නම් සමාව නොදෙනු මැනවි” යනුවෙනි. ඔහු තර්ක කර සිටියේ සමාව දිය නොහැකි දේවල්ද අපි අතර ඇති බවය. මේ ඉන් එකක් බව ඔහු පවසා සිටියේය. දරුණු ඛේදවාචකයකට මුහුණදීමෙන් බලවත්සේ කම්පාවී සිටි ජන සමුහයකගේ සිත්සතන් සුවපත් කිරීම සඳහා සමාවදීමේ අගය පෙන්වා දීමට ආගමික නායකයෙකුට නොහැකිවීම ගැන ඇසීමෙන් මා හදවත කම්පා විය.

බුදු දහමට අනුව සමාව දීමට නොහැකි යමක් මේ මිහිපිට නැත. සුවපත් වීම උදාවන්නේ සමාව දීම තුළින්ය. ඉදිරි ගමනට මග හෙළිකර දෙන්නේ සමාවය. තමා වෙත සමාවක් පිරිනමා ගැනීමට කෙනෙකුට අපහසුතාවයක් දැනෙන්නේ ඔවුන් තුළ තදින් මුල් බැසගෙන ඇති වැරදි ආකල්පයන් බව මගේ අදහසය. එය තමන්ගේ සිතෙහි ගැඹුරින් කිඳා බැසගත් ප්‍රශ්නයක් වෙන්නට පිළිවන. සමහර විට ඇත්තටම එය කුමක් දැයි හරිහැටි සිතා ගැනීමට පවා ඔබට හැකියාවක් නැත්තා සේය. එහෙත් සමාව දීමට නොහැකි යයි ඔබ සිතන්නාවූ, තදින් සංතාන ගතවූ, විහින් වරද පටවා ගන්නාවූ යම් දෙයක් හදවතෙහි කැවෙමින් පවතී. එය කුමක් දැයි ඔබට නිශ්චිත වශයෙන්ම පැවසිය නොහැකි වූවත් සතුටු වීමට, නිදහස් වීමට, ධ්‍යාන සුවය විඳීමට, සත්‍යාබෝධය කරා යාමට ඉඩ නොදෙන්නේ කිසියම් සැඟවුණු හේතුවක් නිසාය.

තමන් වෙත දක්වන අකරුණාව ඔබේ භාවනා කටයුතු ප්‍රතිඵල රහිත වීමට හේතුවක් විය හැකිය. එය ඇත්තක් දැයි ටිකක් සෝදිසි කර බලන්න. ඊළඟ භාවනා වාරයේදී මා කළින් සදහන් කළ අන්දමට මෛත්‍රීය තමන් වෙත පතුරුවා ගැනීමට උත්සාහ කරන්න. මෛත්‍රීය වැඩීමට වෙනත් අවස්ථාවක් උදාවන ‌තෙක් බලා නොසිටින්න. කලකට ඉහතදී පවත්වන්නට යෙදුනු භාවනා මුළුවක ආරම්භයේදීම මෛත්‍රී භාවනාව වැඩීමට මා භාවනායෝගීන් උනන්දු කර වූයේ බොහෝ දෙනෙකු එහි ඇති බරපතලකම සුළුකොට තැකීමට පුරුදුව සිටින හෙයින්ය. නැවතත් මා මතක්කර සිටින්නේ තමා වෙත පවත්වා ගන්නා ව්‍යාපාදය භාවනාවේ දියුණුවට මහත් බාධාවක් වන බවය. මුළුමණින්ම සමාව පිරිනමමින් තමන් වෙත මෛත්‍රී සහගත සිතිවිලි ඇතිකර ගන්න. අතීතයේ සිදුවී ඇති දෙය කුමක් වූවත් සිත, කය හෝ වචනයෙන් කර ඇති වැරදි කෙබඳු වූවත්, ඒක පාර්ශිකව සම්පූර්ණ සමාවක් පිරිනමා ගැනීමට උත්සාහ ගන්න. කොතෙක් දුරට ඔබ මේ අයුරින් අතීත වැරදි අත්හල යුතුද, තමා වැරදි කරුවෙක්යයි යන හැඟීම ඉවතලා දැමිය යුතු දැයි පවසනවා නම් තමා කෙරෙහි ඉතා උණුසුම් ප්‍රබෝධමත් හැඟීමක් හදවතෙහි මතුවන තෙක් ඔබ එය කළ යුතුය. තමන්ට සතුටු වන්නට ඉඩ දෙන්න. සාමය, සැනසීම ලංකර ගන්න. මේ අයුරින් ඔබ සකසා ගන්නේ, මොනයම් ආකාරයක හෝ ප්‍රීති සහගත වින්දනයක් සිතෙහි මතුවූ විට නොබියව ඊට මුහුණ දීමට ඇති හැකියාවය. ඉන්පසු ඔබ සිතාමතාම එය මැඩලීමට තැත් නොකරනු ඇත. ප්‍රීතියෙහි ගිලී සිටිමින් එය තවදුරටත් ප්‍රගුණ කර ගැනීමෙහිද ඔබ යෙදෙනු ඇත. ව්‍යාපාදයෙන් අත්මිඳී ඉන් ඔබ්බට යාමට නිදහස ලබාගන්නා මනස, පිටතට නොගොස් එතුළම ඇලීගැලී සිටීමට ශක්තිය උපදවා ගන්නේය.

භාවනා අරමුණ කෙරෙහි දක්වන අකමැත්ත

භාවනා අරමුණ කෙරෙහි ඇතිකර ගන්නාවූ අකමැත්ත පිළිබඳව අපේ අවධානය දැන් යොමු කරමු. මෙතෙක් භාවනාවෙන් බලාපොරොත්තුවූ ආකාර ප්‍රතිඵලයක් නොලත්, විශේෂයෙන්ම අනාපානසතිය වැඩීමෙහි යෙදෙන අයට ආවේනිකවූ පොදු ප්‍රශ්නයක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. ඉහත මා “මෙතෙක්” යන පදය යෙදුවේ වැඩි කාලයක් ගත නොවී අනිවාර්යයෙන්ම අපි සෑම දෙනෙකුම භාවනාවෙහි නිරතවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නා බැවින්ය. නිරන්තරයෙන්ම භාවනාව වැනි යහපත් කටයුතු සාර්ථක වීම සොබාදහමේ අසිරියක්ය. අපි සමහරෙක් ඉන් මෙතෙක් ප්‍රතිඵල නොලද බව සැබෑවක්ය. එහෙයින් මෙවන් අවස්ථාවලදී භාවනාව කෙරෙහි හෝ භාවනා අරමුණ කෙරෙහි අසතුටක් ඇතිවීම එතරම් අරුමයක් නොවේ. සමහර විට භාවනා කරද්දී ඔබට මෙසේ සිතෙනවා විය හැකිය: “කෝ තාම හරියන පාටක් නැහැනෙ.” “මොන කරුමයක්ද මේ?” “දැන්නම් මට ඇතිවෙලා තියෙන්නෙ.” “අනික් අය කරන නිසා මාත් ඔහේ එල්ලීගෙන ඉන්නවා.” “මම හොඳ බෞද්ධයෙක් නම් භාවනා කළ යුතුමයි.” “භාවනා කරන්නෙ නැති නම් බෞද්ධකමෙන් ඇති වැඩක් නැහැ.” භාවනාව කෙරෙහි  මෙවැනි අසතුටු සිත් භාවනාව මුලදීම ඇතිකර ගෙන, කරනන් වාලේ, හැඟීමකින් තොරව භාවනාවෙහි යෙදුනහොත් ඉන් නිසි ප්‍රතිඵල නොලැබෙන බව කිව මනාද? ඔබ භාවනාවට හිඳගන්නේ බාධකයක් ඉදිරිපිටින් තබාගෙනය.

භාවනාව හැර වෙනත් සිත් ගන්නා දෙයක් මට ඇත්තේම නැත. මම එතරමටම භාවනාට ලැදි භික්ෂුවක්මි. වරක් මා භාවනා මුළුවක් පවත්වන්නට සැරසෙද්දී ඊට සහභාගීවූ අනෙක් ස්වාමීන් වහන්සේලාට මා පැවසූයේ “ආ! මොනතරම් අගේද? තවත් භාවනා මුළුවක්. මීට වඩා තවත් මොනවද?” ඇත්තටම මා ගොඩනැගිල්ලට ඇතුල් වූයේ ඉමහත් උද්යෝගයකින්ය. පසුවදා උදෑසන අවදිවූවිට එකවරටම මට සිහිපත් වූයේ “මා ඉන්නේ භාවනා මුළුවක නේද? මුළු දවසම භාවනා කළ හැකියි. මොන සතුටක්ද? බාහිර වැඩ කිසි දෙයක් මට කරන්න නැහැ. මම නිදහස්.” හැමවිටම මා භාවනාවට දක්වන ආකල්පය එයාකාරය. ඊට දක්වන අසීමිත ආදරය නිසා ඒ සමගින් මා ඇතිකර ගෙන ඇත්තේ පුදුමාකාර ලෙන්ගතුකමක්ය. නාම මාත්‍රයක හෝ අනාදරයක් භාවනාව කෙරෙහි මා තුළ ඇති වන්නේ නැත. කොතෙක් භාවනා කළත් එයින් මට විඩාවක් ඇති නොවේ. කෙටියෙන් පවසනවා නම් මම ඊට ඇබ්බැහි වූවෙක්මි. ඔබටත් එවැනි ආකල්පයක් ඇතිකර ගත හැකි නම් බුදුරජාණන් වහන්සේ මජ්ඣිම නිකායෙහි 112 වෙනි සූත්‍රයෙහි පවසා ඇති ආකාරයට ඔබේ මනස ඇදී යන්නේ භාවනාවටමය.

මෙය තවදුරටත් තහවුරු කරදීම සඳහා මා ගෙනහැර දක්වන්නේ මේ උපහැරණයයි. වීදියක් දිගේ ඇවිදගෙන යද්දී ඔබ නෙත ගැටෙන්නේ මාර්ගයෙහි අනෙක් පැත්තේ ගමන් කරමින් සිටින ඔබේ පැරණි මිතුරෙක්ය. ඔහු සමග ගතකළ රසබර අතීතය කෙතරම් සුන්දරදැයි ඔබට සිහිපත්වන්නේ එකවරමය. යා යුතු ගමන පමා වූවත් පැවරී ඇති කටයුතු කුමක් වූවත් ඉන් ඔබට කම් නැත. හැකි ඉක්මණින් මග හරහා ගොස් පැරණි මිතුරාගේ දෑතින් අල්ලාගෙන ඔබ ඔහු ලංකර ගන්නේ නිරායාසයෙන්මය. “මගේ වැඩේ පරක්කු වුනාට කමක් නැහැ. යමු තේ එකක් බොන්න. මොනතරම් කාලෙකට පස්සෙද දැක්කෙ? ඉතින්, ඉතින් කොහොමද තොරතුරු? යමු, ගිහින් අපි ටිකක් කතා කර කර ඉමු.” භාවනා අරමුණ සමග එක්ව කාලය ගත කිරීමට ඔබට ඇත්තටම උවමනා නම් එය පැරණි මිතුරෙක් හා සමාන යයි සලකා අනෙකුත් සෑම දෙයක්ම පසෙකට දැමීමට ඔබ සූදානම් විය යුතුය. මා භාවනාව සලකන්නේ ඒ ආකාරයටය. භාවනාව මගේ ඒ පරණ මිතුරාය. ඒ ගැන ඇති පරණ මතකයන් මොනතරම් රසවත්ද? භාවනාව හැතැප්මක් දුරදී දුටුවත් හැමවිටම ඒ වෙත දුවගොස් එය තදින් අල්ලා ගෙන කොතැනකට හෝ වී එක්ව කල් ගෙවීම, මා ලත් හුරුවය. භාවනා අරමුණ සඳහා තෝරාගත් හුස්ම සහ මා අතර ඇත්තේ මොනතරම් බැඳීමක්ද? මා හුස්ම ඇසුරු කළේ මොනතරම් සමීපවද? අත්හැරීමට බැරි තරමේ එම බැඳීම කෙතරම් බලවත්ද? මගේ හොඳම මිතුරා හුස්මය. ඔබ හුස්ම වෙත දක්වන සැලකීම එයාකාර නම්, එවන් සුහදතාවයක් ඒ වෙත දැක්විය හැකි නම්, භාවනාවේදී හුස්ම අත් නොහැර සිටීම ඔබට පහසුවෙන් කළ හැකි කටයුත්තක් බව ඔබට පෙනී යනු ඇත.

මෙහි අනිත් පැත්ත ගැනත් දැන් අපි සලකා බලමු. හුස්ම සමග සිටීම ඔබට පහසු කටයුත්තක් නොවේ නම් අකමැත්තෙන් වූවද ඔබට එහි රැඳී සිටීමට සිදුවන නිසා නිරායාසයෙන්ම ඔබ තුළ ඇතිවන්නේ හුස්ම ගැන අසතුටක්ය. විශේෂයෙන්ම භාවනාමුළු වලදී නිමිත කාලසීමාවක් තුළ දිගින් දිගටම භාවනා කරන්නට යෙදුනු අවස්ථා ගැන සිහිපත් කරන්න. වීදිය අනිත් පැත්තේ හුස්ම එනවා දුටු විගස සිතෙහි මතුවන්නේ “මොන කරදරයක්ද මේ? ඔන්න ආයිත් එනවා” වැනි සිතිවිල්ලක්ය. විදුලි කණුවකට හෝ මුවාවී හුස්ම මගහැරීමට ඔබ නොගන්නා වෑයමක් නැත. ඔබට උවමනා එයින් ගැලවී යාමටය. හුස්ම වෙත දක්වන ව්‍යාපාදයයි ඒ. අවාසනාකට මෙන් සමහරෙක් හුස්ම වෙත දක්වන්නේ එවැනි අකමැත්තක්ය. ඔවුන්ට මෙය හරියාකාරව පෙන්නුම් කරදී නැති නම් ඔවුන් භාවනාව සලකන්නේ තමන්ට පැවරී ඇති තවත් අමතර කටයුත්තක් ලෙසටය. ඔවුන්ට එය ගෙන දෙන්නේ සතුටක් නොව හිසරදයක්ය. සනීපාරක්ෂාව සඳහා දිනපතා කළ යුතු ව්‍යායාමයන් වෙත ඔබ දක්වන ආකල්පයට මෙය සමාන කළ හැකිය. ශරීරය පුෂ්ටිමත් කරගැනීම සඳහා බර ඔසවන ව්‍යායාම වල යෙදෙන අය, ශරීරයට අපමණ වෙහෙසක් ගෙන දෙමින් ඒ වෙනුවෙන් බොහෝ කාලයක් වැයකොට එහි යෙදෙන්නේ, එයින් යමක් ලබා ගැනීමේ අදහසින් මිස කැමැත්තකින් නොවේ. ඔබ භාවනාවට පිවිසෙන්නේ ඒ ආකාරයට නම් සතුටුදායක ප්‍රතිඵලයක් කෙසේ බලාපොරොත්තු වන්නද?

ඒ නිසා භාවනා අරමුණ සමග සුහද මිත්‍රශීලී බවක් ඇතිකර ගන්න. භාවනාවට සතුට දනවන කටයුත්තක් ලෙස සලකන්න. හිතන්න: “ආ! මොනතරම් ලස්සනද? මට කරන්න ඇති එකම දේ නිකන් ඉඳීමයි. යන්න තැනක් නැහැ. කරන්න දෙයක් නැහැ. කතා කරන්නවත් උවමනා නැහැ. වෙනකක් තියා හිතන්නවත් ඕනෙ නැහැ. වාඩිවෙලා ඉඳගෙන පරණ යාළුවා (හුස්ම) එක්ක ඉන්න එක විතරයි තියෙන්නෙ.” එසේ ඔබට සිතිය හැකි නම් හුස්ම එක්ක ඇතිකර ගත් ව්‍යාපාදය සිතින් ඉවත්වී යන්නේය. ඒ වෙනුවට ඔබ දියුණු කරගන්නේ හුස්ම වෙත ලයාංවිත හැඟීමක්ය.

භාවනාවෙන්හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සිත දිරිමත් කිරීමට මා යොදා ගන්නා තවත් උපායක් මෙසේය. අළුත උපන් ඔබේ දුව හෝ පුතා ලෙසට හුස්ම සමාන කළ හැකි නම් සාප්පුවකට ගිය විට ඔබ ඒ ළදරුවා අමතකවීමෙන් එතැන දමා යයිද? පාරතොටේ ඇවිදගෙන යද්දී නොදැනුවත්වම දරුවා ඔබේ අතින් ගිලිහී බිමට වැටේවිද? දරුවා නොපෙනෙන තැනකටවී ඔබට සිටිය හැකිද? කොතැනකදී හෝ ඔබට අමතකවී දරුවා මගහැරී යයිද? ඔහු අත්හැර දමා වෙන තැනකට යා හැකිද? එය එසේ නම් හුස්ම වෙත අවධානය රඳවාගෙන සිටීමට ඔබට අපහසු මන්ද? නැවතත් මා අවධාරණය කර සිටින්නේ හුස්ම වෙත ආදරයක් ඇති නොවීම ඊට හේතුව බවය. ඔබ එයින් සෑහීමකට පත් නොවීමය. එය ඔබට සතුටක් ගෙන නොදීමය. ඔබට එහි අගය නොවැටහීමය. ඔබේ දරුවා මෙන් හෝ මෙතෙක් දරුවෙකු නොලත් කෙනෙක් මෙන් හුස්ම අගය කොට සැලකීමට ඔබට හැකි නම්, තමාට ඉතාමත් සමීපවූ නමුත් පහසුවෙන් මගහැරී යාමෙන් අනතුරකට හෝ හිරහැරයකට පත්විය හැකි අයෙකු ඔබ කෙසේවත් අත්හැර දමා යාවිද? කෙලෙසකින්වත් වැලහී යාමට ඉඩ හරීද? ඒ අය සමග එක්ව සිටීමට උත්සාහ ගන්නා අතර හැමවිටම ළඟපාතක සිටී දැයි කියා ඔබ විසිලිලෙන් සිටිනු ඇත. ඔබ හුස්මට ආදරය දක්වන්නේ නම් කිසිවිටෙක ඔබ එයින් දුරස්තර නොවන්නේය. නමුත් ඔබ එයට දක්වන්නේ අකමැත්තක් නම් එය අමතක කර දමා ඔබ වෙනතක යාමෙන් එය මගහැරී යන්නේය. එයට දක්වන අකමැත්ත නිසා එය මගහැරී ගියත් ඔබ ඒ ගැන සැලකිලිමත් නොවනු ඇත. ඔබ වෙනතක යන්නේ ඒ නිසාය. භාවනාවේදී සමාධිය පිරිහී යන්නේ මෙලෙසින්ය. ඔබ යෙදී සිටින කටයුත්ත වෙත සැලකිල්ලක්, ආදරයක් නොදැක්වීම ඊට මූලික හේතුවය.

සාරාංශය – ව්‍යාපාද

ව්‍යාපාදය භාවනාවට බාධාවක්ය. එය ප්‍රහීන කරගැනීම සඳහා මෛත්‍රීය පෙරදැරි කරගත් දයාවත්, කරුණාවත් ඔබ වෙත හා අන් අය වෙත දක්වන්න. භාවනා අරමුණ ආදරයෙන් රැක බලාගන්න. භාවනාව වෙත හොඳ හිත පතුරුවමින් එය සුහදව පිළිගන්න. එයින් තෘප්තිමත් වන්න. හුස්ම සමග මිත්‍රත්වයක් ඇතිකර ගන්න. එය ළදරුවෙක් සේ සලකන්න. තමන් ඉතාමත් සිඟිති, සුකොමල ළදරුවෙකුට දක්වන අන්දමේ, කොතෙක් කාලය ඒ වෙනුවෙන් මිඬංඟු කළත් ඉන් සෑහීමකට පත් නොවන අන්දමේ සෙනෙහසින් හුස්ම රැකබලා ගන්න. දයාබර දෙමාපියන් තම ළදරුවා අසල ගැවසෙන්නාක් මෙන් ඔබත් හුස්ම සමග රැඳී සිටීමට අවශ්‍ය බව සිතට ගන්න. ඔබ හුස්ම ගැන සැලකිලිමත්ව, සැලකිල්ලෙන් පසුවන්නේ නම් හුස්ම ඔබේ ග්‍රහණයෙන් ගිලිහී නොයනු ඇත.

නිහඬතාවය වෙතද ඔබේ ආදරය පළ කර සිටින්න. එමෙන්ම මේ මොහොතත්, ඒ ආකාරයෙන්ම සැලකීමට අමතක නොකරන්න. ඔබේ මනසේ නවාතැන් ගෙන සිටින මේ මිතුරන් දෙදෙනා ගැන හොඳින් සොයා බලන්න. භාවනාමය අරමුණු ලෙස සැලකෙන ඒවා කෙරෙහිද ව්‍යාපාදයක් ඇතිවීම  ඒ අයුරින් වළකා ගත හැකිය. අරමුණ වෙත මෛත්‍රී සහගත සිතක් ඇතිකර ගත්විට එය සුරැකිව තබා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු නොවන්නේය. එයට දැක්විය යුතු ආදරය කොතෙක්ද යත් ඒ සමග සිටීම සිදුවිය යුත්තේ නිරායාසයෙන්මය. එහෙයින් දෙවෙනි බාධකයවූ ව්‍යාපාදයෙහි ප්‍රභේද ලෙස මෙම කරුණු තුන සිහියෙහි තබා ගන්න.

  1. වෙනත් අයෙකු කෙරෙහි ඇතිවන තරහ හෝ අකමැත්ත ලෙස එය මතුවිය හැකිය.
  2. බොහෝ විට එය තමන් වෙත එල්ලකර ගැනීමටද අවකාශ ඇත.
  3. භාවනා අරමුණ කෙරෙහි දක්වන අප්‍රසාදය ලෙසින්ද මෙය ඉස්මතු විය හැකිය.

මේ සියල්ල මැඩලා ගැනීම සඳහා මෛත්‍රී සහගත සිතිවිලි වැඩි දියුණුකර ගන්න.

තුන්වෙනි නීවරණය – ථීන මිද්ධ

අලසකම, නිදිමත ගතිය, ඈලිමෑලි ගතිය, මේ කුමණ නමකින් එය හැඳින්වූවත් ථීන මිද්ධ නීවරණය පිළිබඳ වඩා යමක් පැවසීමට අවශ්‍ය නොවන්නේ, භාවනාවේ යෙදෙද්දී අනිවාර්යයෙන්ම අපි කොයිකවුරුත් එය අත්විඳ ඇතුවාට සැකයක් නැති හෙයින්ය. භාවනා කිරීමේ අරමුණින් හිඳගෙන සිටියත් අපි බලාහිඳින්නේ කුමක්දැයි කියාවත් සමහර විට අපි ඇත්තටම නොදන්නෙමු. එය මේ මොහොතද, නිහඬතාවයද, හුස්මද, නැති නම් වෙන යමක්දැයි කියා නිශ්චිත අවබෝධයක් අපට නැත. මනසෙහි මලානික බව එයට හේතුවය. මෙය හරියට මනස ආලෝකමත් කිරීමට පහනක් නොදල්වා ඇත්තා සේය. මනසෙහි ඇත්තේ අඳුරු අපහැදිලි ස්වභාවයක්ය.

එක් අතකින් බැලුවොත් මේ උදාසීනත්වය ව්‍යාපාදයේම කොටසක් හෝ ඊට සම්බන්ධවූවක් ලෙස ඔබට පෙනී යන්නේය. දැන් පවතින වතාවරණයෙන් සෑහීමට පත් නොවී එතැනින් ගැලවී යාමට තැත් කිරීමෙන් සිදුවන්නේ මනස මෙවැනි උදාසීන, මලානික, කිසිම වැඩකට නැති තත්ත්වයකට පත්වීමය. බලාපොරොත්තුවූ දේ කුමක් වූවත් සිදුවූයේ අනෙකක්ය. මෙය ඇත්තටම ගැලවීමක් නොව එක් සිපිරි ගෙයකින් තවත් සිපිරි ගෙයකට ස්ථාන මාරුවීමක් ලබා ගැනීම හා සමාන වූවක්ය. මේ ගැන හොඳින් මෙනෙහි කර බලන්නේ නම් ඈලිමෑලි ගතිය එතරම් සුවදායක දෙයක් නොවන බව ඔබට වැටහෙනු ඇත. එයින් අවැඩක් මිස ඵලදායී යමක් සිදු නොවන්නේය. එසේ මිඩංගු කරන කාලය සම්පූර්ණයෙන්ම කාලය කා දැමීමක්ය. දවසකට වැඩිපුර පැයක් නිදා ගැනීමෙන් නියමිත දඬුවම් කාලයෙන් පැයක් ගෙවී යන්නේ යයි සිර ගෙවල්වල නේවාසිකයින් සළකන්නේ වූවත් එදිනෙදා ජීවිතයේදී  පැයක් නිදා ගැනීමෙන් සිදුවන්නේ වටිනා ජීවිත කාලයෙන් පැයක් අපතේ හැරීමය. මේ ආකාරයෙන් ඔබේ වටිනා ජීවිතයෙන් මාස ගණනාවක් නැති නම් අවුරුදු ගණනාවක් විසිකර දැමීමට ඔබට පුළුවන්ද? කලකට පෙර මේ ගැන සොයා බලද්දී මට පෙනී ගියේ මෙයයි. ඔබ දිනපතා පැය අට බැගින් වැඩිපුර එක පැයක් නිදාගත්තොත් ඔබ එයින් කරන්නේ දළ වශයෙන් ඔබේ ජීවිතයෙන් දහසයෙන් පංගුවක් විසිකර දැමීමය. ඔබ අවුරුදු අසූවක් ආයු වළදන්නේ නම් ඒ කාලය තුළ ඔබ නාස්තිකර දැමූ කාලය අවුරුදු පහකට සමානය. ඒ නිසා ඔබේ නින්ද දිනකට පැය හතකට සීමා කළහොත් එයින් ඔබේ ජීවිතයට අවුරුදු පහක් එක්කලා හා සමාන නොවන්නේද? නමුත් කල්පනාවට ගත යුතු තවත් වැදගත් කරුණක්ද ඇත. ඔබ ඒ කාලය ජීවිතයට එකතුකර ගන්නේ වයසට ගොස් දිරාපත්වී,  කිසිවක් කරකියා ගන්නට බැරිව ලතවෙන ඔබේ ජීවිතයේ වයෝවෘධ කාලයේදී නොව ඔබ හොඳ ශක්තියෙන්, නිරෝගීව ජීවත්වන කාලයේදී බවද අමතක නොකරන්න! ඒ නිසා දවසකට පැයක් අඩුවෙන් නිදා ගැනීමෙන් අඩුතරමින් වැඩිපුර අවුරුදු පහක කාලයක් ජීවිතයට එක්කර ගත හැකිය. එසේ නම් එවැනි ඵලදායී කාලයක්, වටිනා අවුරුදු කිහිපයක් ඔබේ ජීවිතයට එක්කර නොගන්නේ මන්ද? ඔබ මේ උදාසීනකම, කම්මැලිකම නිසා මොනතරම් වටිනා, ඵලප්‍රයෝජනයට ගත හැකි කාලයක් අපතේ හැර දමනවාද? කම්මැලි නැතිව ටිකක් ඒ ගැනත් සිතා බලන්න.

සෑම බෞද්ධ ඉගැන්වීමක්ම අපට පෙන්වා දෙන්නේ ලබා ඇති මිනිස් ජීවිතයෙහි ඇති වටිනාකමය. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා දැනගැනීමට අවස්ථාව ලත් මෙවන් ජීවිතයක් අතිශයින්ම වැදගත්ය. පුහුණුවීම සඳහා ඔබට දැන් ඉඩකඩ සැලසී ඇත. මෙවන් අවස්ථාවක් ලබාගැනීම සඳහා අවශ්‍යවූ පුණ්‍ය සම්භාරය එක්රැස් කරගැනීමට සසරෙහි ඔබ ගෙවා ඇති ජීවිත ගණන අල්ප කොට නොසිතන්න. එවන් ජීවිත ගණනාවක් තුළ එක්රැස් කරගත් හොඳ කර්ම නිසිලෙස ආයෝජනය කිරීමෙන් ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සමීපවීමට ඉඩකඩ සලසා ගන්නේය. ඒ නිසා මේ වටිනා ජීවිතයේ එක මොහොතක්වත් උදාසීනව, කම්මැලිකමින් ගත නොකරන්න. කාලය අපතේ නොහරින්න.

කෙනෙකු මට පෙන්වාදී ඇති ආකාරයට නිදිමත ගතිය දුරලීමට ඔබ කළ යුත්තේ මෙයයි. පාරක් දිගේ ඇවිදගෙන යද්දී දෙමං හන්දියකට සම්ප්‍රාප්ත වූයේ යැයි සිතන්න. වම් අත පැත්තෙන් යන්නේ නිදිමත කරාය. දකුණු අත පැත්තෙන් ගියොත් යන්නේ සිහිකල්පනාව වෙතය. සාමය පිහිටා ඇත්තේ ඊට නුදුරින්ය. ඔබ තෝරාගන්නේ කොතැනට යන මාර්ගයද? වම් පැත්තට ඇති මග ඔස්සේ ගමන් කළොත් නොවරදවාම ඔබට නිදිමත වෙත ළඟාවිය හැකිය. භාවනා කරද්දී ඔබ විමසිල්ලෙන්, සිහිනුවණින් සිටිනවා නම් මා මේ පවසන දේ ඔබට වැටහෙනු ඇත. භාවනාවේ යම් අවස්ථාවකදී ඔබ බොහෝ විට තෝරාගන්නේ නිදිමත කරා දිවෙන මාර්ගයයි. ඔබ කරන්නේ එය එසේ සිදුවීමට ඉඩදී නිකම් බලා සිටීමය. ඒ මොහොතට එලැඹි විට, ඒ තීරණාත්මක අවස්ථාවේදී වම්පැත්තේ මග අත්හැර දමා දකුණු පැත්තට වැටී ඇති මග දිගේ යාමට ඔබට හැකියාව ඇත. දකුණුපස මග වැටී ඇත්තේ ඉතා මනරම්, සාමකාමී, එමෙන්ම ප්‍රමෝදය ගෙන දෙන වාතාවරණයක් ඇති තැනකටය. මා නැවතත් මතක් කර සිටින්නේ මේ මංසන්දියට පැමිණි විට හොඳින් ප්‍රවේසම් වන ලෙසටය. වම්පැත්තට යන විට ඔබ කරන්නා අත්හැර දමන බව නම් සැබෑය. නමුත් වරදකට ඇත්තේ ඔබ ඒ සමග දැනහිඳින්නා ද අත්හැර දැමීමය. දකුණු අත පැත්තට යන විට ඔබ කරන්නා හිතාමතා අත්හැර දැමූවත් ඔබ යන්නේ දැනහිඳින්නා පෙරැටි කොට ගෙනය. ඔබ සම්පූර්ණ වශයෙන් දැනසිටියත් ඔබ අතින් කෙරෙන දෙයක් නැත. පැහැදිලි කමින් හා සාමයෙන් ඔඳ වැඩුණු අතිශයින් චමත්කාරවූ මේ අවධිය ඇත්තවශයෙන්ම ඔබ අත්විඳ බැලිය යුතුය. එය නිදිමතෙන් පෙළෙන, මලානික ස්වභාවයෙන් යුතු, අන්දමන්දවූ, කාලය කාදමන අවධියක් නම් නොවන්නේමය.

උදාසීනකම හා කම්මැලිකම මගහරවා ගන්නා අන්දම

නිදිමත ගතිය හා කම්මැලිකම මගහරවා ගැනීම සඳහා සෙන් ක්‍රමයට අනුව භාවනාව පුහුණු කරවන ගුරුවරයෙකුගේ පිහිට පැතීම එක් ක්‍රමයක්ය. මෙහි විශේෂත්වයකට ඇත්තේ භාවනායෝගීන්ගේ පිටුපසින් සක්මන් කරන මොහු අත වේවැලක් තිබීමය! එය නොවරදින ක්‍රමයක් බව මා වටහා ගත්තේ එංගන්තයේදී මා සහභාගිවූ එවැනි භාවනා මුළුවකදීය. ඒ ඉරිදා උදෑසනක් බව මට හොඳින් මතකය. හිමිදිරි පාන්දර අධික සීතලෙන් යුතු විය. බොහෝ දෙනෙක් සීතලෙන් වැළකීම සඳහා ඝනකම් පොරෝනා වලින් ගත වසාගෙන සිටියහ. එවැනි පොරෝනයක් ළඟපාතක ඇතිබව දැකීමෙන් පවා නිදිමත ඇතිවීම ස්වභාවයෙන්ම සිදුවන්නකි! පිටුපසින් ගුරුවරයා සක්මන් කරමින් සිටියදී මා අසලින් සිටි යෝගියා නිදිකිරා වැටෙමින් සිටියේය. මුල් වේවැල්පහර වැදුනේ ඔහුටය. ආශ්චර්යකි! ඔහු ඒ පහර ලත් සැ‍ණින් ශාලාවේ සිටි සැවොමගේම නිදිමත අතුරුදහන් වූයේ ක්ෂණිකවය. පුදුමයකි! කෙනෙක් පහර කෑ විට එයින් අන්අයද සෑහීමකට පත්වේ. බිය අප පුබුදුවාලයි.

ඈලිමෑලි ගතිය තුරන් කිරීමට සමත්, දොසක් කිව නොහැකි එවන් බිය සාධාරණය. ඒ හා සමාන බියක් ඇතිකර ගැනීම සඳහා මෙය මතුරා බලන්න. “මැරෙන බව මම දනිමි, එගැන නැත සැකයක්.” කාලය අපතේ නොහැර මේ මොහොත නිසියාකාරව යොදා ගැනීමට ඔබ දිරිමත් කරන එවැනි වදන් නැවත නැවතත් තමන්ටම කියා ගන්න. එය ඔබ අවදි කළ යුතුය! ඊසාන දිග තායිලන්තයේ සම්ප්‍රදායට අනුව කඳු මුදුනක් වැනි පහසුවෙන් ඇද වැටිය හැකි බිය දනවන තැනෙක හිඳගෙන භාවනා කිරීමටද අපි පුහුණුවී ඇත්තෙමු.

ඇද වැටී තුවාලවීමට පහසු තැනක් ඔබ තෝරා ගත්තොත් එවන් තැනකදී ඔබ භාවනා කරන්නේ හොඳ සිහිනුවණින් යුතුවය. වේවැලක් අතැතිව පිටුපසින් සැරිසරන සෙන් භාවනා ගුරුවරයෙකුට එය සමාන කළ හැකිය. කොටි ගැවසෙන වනාන්තරයක හිඳගෙන භාවනා කිරීම තවත් නොවරදින ක්‍රමයක්ය! නොඑසේ නම් රෑ එළිමහනේ හිඳගෙන භාවනා කරමින් භූතයින් ගැන සිහිපත් කරන්න! මේ සෑම ක්‍රමයකම අරමුණ පිබිඳුනු, ක්‍රියාශීලී, සූදානම් ශරීරයක් ඇති කෙරෙන දෙයක නියැලීමය. එවිට නිදිමත ගතිය ඉවත්වී යන බව ඔබට පෙනීයනු ඇත.

අනවශ්‍ය අන්දමින් සුවපහසුවක් ඇතිකර නොගන්න

මෙයද නිදිමත ගතිය වළකාලීමට කළ හැකි තවත් දෙයක්ය. බ්ලැන්කට් වැනි උණුසුම් පොරෝනා ඉවත දමා ටිකක් සීතල විඳදරා ගන්න. එමගින්ද පිබිඳීම ඇතිකර ගත හැකිය. නැති නම් සක්මන් භාවනාවෙහි යෙදෙන්න. එළිමහනට යන්න. උදෑසන පිබිදී  සක්මන් භාවනාවෙහි යෙදීමට කෙනෙක් මැලිවන්නේ සීතලට දක්වන මැලිකම නිසාය. සීතල පිළිබඳ හැඟීම තදින් සිතට නොගන්න. ටික වේලාවක් එළිමහනේ සිටින විට එය විඳදරා ගැනීමට හැකිවනවා පමණක් නොව එය ගත සිත ප්‍රබෝධමත් කරන්නේය. එමගින්ද නිදිමත ගතිය හා කම්මැලිකම මගහරවා ගත හැකිය.

දැනුවත්ව සිටීම

ථීන මිද්ධ නීවරණය යටපත් කිරීම සඳහා යොදාගත හැකි ඉතා සුදුසු ප්‍රධානතම ක්‍රමෝපාය වන්නේ ඒ ගැන දැනුවත්ව සිහියෙන් සිටීමය. ආනාපානසති භාවනාවෙහි යෙදෙන විට ඔබ ගන්නා මුල්ම හුස්ම වාරය නම් ඉතාමත් පැහැදිලිය. නමුත් විනාඩි පහක දහයක පමණ කාලයක් ඉක්ම ගියතැන කොතැනකදී හෝ හුස්ම ගැන අවධානය ගිලිහී ගොස් ඔබ ඇදවැටෙන්නේ අලසකමේ පතුලටය. නිදිමත භාවනා යෝගියා වෙලාගන්නේ පිඹුරෙක් සිය දඩයම හෙමින් සීරුවේ වෙලාගන්නා ආකාරයටමය. ඔබට කිසි ඉඩකඩක් නොතබාම නිදිමත, ඔබ වටා දඟර දමා වෙලාගෙන අඩපණ කිරීම ආරම්භ කරන්නේ හොර රහසේමය. එය ඔබේ සිහිකල්පනාව අඩපණ කරන්නේය. එය ඔබේ අවදිමත්කම අඩපණ කරන්නේය. මෙතැනදී නයින් පිළිබඳ උපමාව මා යොදාගන්නේ එම නිසාය.

භික්ෂුවක් ලෙස වසර ගණනාවක්ම දිවි ගෙවූ තායිලන්තයේදී පාවහන්වල හිඟකම නිසා වනාන්තරය මැදින් බොහෝ විට අපි ඇවිදගෙන ගියේ පා ආවරණ නොමැතිවය. එලෙසම බැටරිවල හිඟකම නිසා සමහර දිනවල රෑ යාමේ අපට ගමන් කිරීමට සිදුව තිබුණේ විදුලි පන්දම් රහිතවය. “එකෙකු හැර වනාන්තරයේ සිටින සෑම සර්පයෙක්ම ඉතා විසකුරුය.” ඒ විසකුරු සර්පයින් පිළිබඳව තායිලන්තයේදී අසන්නට ලැබෙන කියමනක්ය. එහි වර්ග සීයක සර්පයින් ඇත. ඉන් අනූනව දෙනෙකු පමණක් විස ඝෝරය. අනෙකා ඔබ මරන්නේ හුස්ම හිර කිරීමෙන්ය. කෙටියෙන් පවසනවා නම් සෑම සර්පයෙකුම අති භයානකය. කොයි අන්දමකින් හෝ මරු කැඳවා නොගැනීමට මා ගත් පියවර කුමක්ද? කොතැනක වූවත් විසකුරු සර්පයින් ගැවසෙන බව මා දැන සිටි නිසා රෑබෝ වූ විට මා ඇවිද්දේ ඉතාමත් සැලකිල්ලෙන්ය. හැමවිටම අඩිය තැබුවේ දැන් දැන් එකෙකු පෑගේ යයි යන හැඟුමින්ය. භාවනා ශාලාවේ සිට කුටියට රෑ කළුවරේ පාවහනුත් නොමැතිව අඩිපාර දිගේ ඇවිදගෙන ගියේ ඉතා සුපරික්ෂාකාරීව බැවින් කල්වේලා ඇතිව උන් දැකගැනීමට මට හැකි විය. එසේ මගහැර යාමට ඉඩකඩ සලසා ගත් බැවින් කිසිවිටෙක මට නයින්ගෙන් අනතුරක් සිදු නොවීය.

නිදිමත හා අලසකම මේ හා සමානය. එය අවට කොතැනක හෝ ඇති බව ඔබ හොඳින් දන්නා කරුණක්ය. ඒ ගැන සුපරික්ෂාකාරීව මනා සිහියකින් යුතුව හිඳින්නේ නම් ඔබට නොදැනෙන අන්දමින් එයට ඔබ වෙලාගත නොහැකිය. නිදිමත ළඟට ඇදීගෙන එන බව ඔබට කල්වේලා ඇතිව දැනගැනීමට පිළිවන. නිදිමත හෝ අලසකම ලංවෙද්දී එය මගහැර පැත්තකට වීමට හෝ ඊට උඩින් පැන යාමට ඔබට අවකාශ ඇත. එයට අහුවීමට අවශ්‍යතාවයක් නැත. භාවනාවේදී හමුවන දෙමං හන්දි උදාහරණයේදී මෙන් එක මගක් නිදිමත හා උදාසීනකම වෙත දිවෙන බව ඔබේ සිහිකල්පනාව හා සැලකිලිමත්කම ඔබට පෙන්වා දෙයි. අනෙක් මග ඔබ කැඳවාගෙන යන්නේ සාමය හා සැනසුම කරාය. එතැන ඇත්තේ සාමය හා සැනසුම පමණක් නොව පිබිඳුණුකම හා ප්‍රබෝධමත්කමය. භාවනා මග ගෙවද්දී එම දෙමං හන්දිය සනිටුහන් කර ගැනීමට හැකිදැයි සොයා බලන්න. බොහෝ භාවනා වාරවලදී ඔබ උදාසීනකම කරා දිවෙන මග තෝරාගත් බව සිහියට ගෙන මෙවර එය අත්හැරීමට අදිටන් කර ගන්න. නිදිමත හා උදාසීන ගතියෙන් තොර සාමය හා සැනසීම වෙත ළඟාවෙන උතුම් මග ඒ වෙනුවට තෝරා ගන්න.

අලසකම මතුවන විට පිබිදීම ඇති කෙරෙන, සිහිකල්පනාවෙන් කළයුතු කටයුත්තක නිරත වන්න. තෙරුවන් ගුණ සජ්ඡායනය කරන්න. මනස පණ පොවා ගන්න. හුස්ම ගණන් කිරීමට පටන් ගන්න. හුස්ම හිතෙන් ගණන් කිරීම මේ සඳහා යොදාගත හැකි කදිම උපක්‍රමයක්ය. එමගින් ඔබ නිදිමත ගතියෙන් පෙළෙන්නේදැයි සැකහැර දැනගත හැකිය.ඒ සඳහා යොදාගත හැකි සරල ක්‍රමයක් මෙසේය. “හුස්ම ඉහළට – එකයි, හුස්ම පහළට – එකයි, හුස්ම ඉහළට – දෙකයි, හුස්ම පහළට – දෙකයි, ඉහළට – තුනයි, පහළට – තුනයි, ඉහළට – හතරයි, පහළට – හතරයි.” මෙසේ නවය දක්වා හිතෙන් හුස්ම වාර ගණන ගනින්න. නැවතත් එකේ සිට ගැනීම අරඹන්න.  නමුත් මෙවර අටෙන් නතර කරන්න. ඊළඟට එකේ සිට හතට, එකේ සිට හයට, එකේ සිට පහට, එකේ සිට හතරට, එකේ සිට තුනට, එකේ සිට දෙකට, එකේ සිට එකට ගණින්න. පිළිවෙළට ඔබට එය කළ නොහැකි නම් හෝ ඊළඟ වාරයේදී ගැනිය යුත්තේ එක් සිට කීයටදැයි සැකයක් මතුවන්නේ නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ ඔබ නිදිමත ගතියෙන් පෙළෙන බවය. නැගිටින්න සක්මන් භාවනාවෙහි යෙදෙන්න. ඇල් වතුරෙන් මූණකට සෝදා ගන්න. නැවතත් ගතසිත පණ පෙවෙන අන්දමේ කටයුත්තක යෙදෙන්න.

සමහර විට ඔබ සාමකාමී අවධියකට පිවිස මෙසේ සිතනවා විය හැකිය. “මේ නම් ධ්‍යානයක් තමා.” නමුත් ටික වේලාවකට පසු  ඇසෙන්නේ ඔබ ගොරවන හඬය. සැබෙවින්ම එය ධ්‍යානයක් නොවේ. විශේෂයෙන්ම, උදෑසන භාවනා කරද්දී හුස්ම ගණන් කර බලන්න. ඔබ ඇත්තටම හොඳ සිහිකල්පනාවෙන් යුතුදැයි තක්සේරු කර ගැනීමට එය පහසු මගක්ය. ගැනීම හරියාකාරව කරගත නොහැකි නම් ඔබේ මනසෙහි පැහැදිලිකමක් නැත. මනසෙහි පණ උපදවා ගැනීමට යමක් කරන්න.පිරිත් සජ්ඡායනය කර බලන්න. එළියට ගොස් සක්මන් භාවනාවෙහි යෙදෙන්න. නිදිමත පහව ගියේ නැති නම් පස්සෙන් පස්සට ඇවිදින්න. එසේත් නැති නම් සිතට ධෛර්යය ගෙන බලයෙන් හෝ ටික වේලාවක් හුස්ම ඉහළ පහළ යාම දෙස බලා ඉන්න.

අවසානයේදී භාවනාව හොඳින් කෙරීගෙන යන විට, ප්‍රීතිය හා සුවය ගෙනදෙන ආස්වාදයෙන් මනස ප්‍රබෝධමත් වූ විට, නිදිමතට හා අලසකමට ඇතුළු විය හැකි දොරටු සියල්ලම ඇහිරී යනු ඇත. අලසකම හා නිදිමත ගතිය ඇති වීමට ප්‍රධාන හේතූන් ලෙස උනන්දුවක් නැතිකම, සෑහීමකට පත් නොවීම හා කරන කටයුත්තෙහි අගය නොවැටහීම මෙහිලා දැක්විය හැකිය. ඔබ යෙදී සිටින කටයුත්ත කෙතරම් අගේද? හරියාකාරව භාවනාවෙහි යෙදෙනවා නම් ඔබ අත්කර ගන්නාවූ ප්‍රඥාවෙහි බලවත්කම කෙසේ විස්තර කරන්නද? ඒ නිසා බොරුවෙන් කාලය කා නොදමන්න. සෑම හුස්මක්ම අගය කොට සලකන්න. ඔබට වැදගත් වන්නේ මේ මො‌හොතේ දැන් කෙරෙන භාවනාවය. එහි යෙදී සිටින මේ පැය වෙනුවෙන් රුපියල් දහසක් ගෙවා ඇතැයි සිතන්න. එසේ නම් ඔබට ඒ කාලය නිකරුනේ අපතේ හැරිය හැකිද? ඒ නිසා භාවනා වාරය සඳහා සෑහෙන මුදලක් වැයකොට ඇතැයි සිතා ඊට සරිලන අන්දමින් භාවනාවෙහි යෙදෙන්න. මොහොතක්වත් කාලය අපතේ හැරීම සුදුසුද? මේ ආකාරයෙන් ඔබ කටයුතු කරන්නේ නම් නිදිමත හෝ අලසකම ඔබේ සිතට අවතීර්ණ නොවනු ඇත.

හතරවෙනි නීවරණය – උද්ධච්ච කුක්කුච්ච

නොසන්සුන්කම හා පසුතැවීම ලෙස හැඳින්වෙන උද්ධච්ච කුක්කුච්ච නීවරණය ඉතා සියුම් ආකාරයකින් භාවනාවට හානි පමුණුවන බාධකයක්ය. මෙම නීවරණයේ බලවත් කොටස වන්නේ නොසන්සුන්කමය. නමුත් මෙතැනදී නොසන්සුන්කම දෙවෙනුව සලකා බැලීමට තබා පසුතැවීම කෙබඳු ආකාරයෙන් භාවනාවට බලපාන්නේ දැයි මුලින්ම අපි සිත යොමුකර බලමු.

අතීතයේදී තමන් කරන ලද හෝ  කියන ලද දෙයක ප්‍රතිවිපාකය පසුතැවීම ලෙස හැඳින්විය හැකිය. වෙනත් අයුරකින් පවසනවා නම් මෙය, තමන්ගේ නොමනා හැසිරීම් හේතු කොට ගෙන විටින් විට මතුවන මානසික තත්ත්වයක්ය. භාවනාවේදී පසුතැවීම මනසෙහි මතුවූ විට ඒ ගැන නැවත නැවතත් මෙනෙහි කිරීමෙහි යෙදී නොසිට ඔබ කළ යුත්තේ තමා අතින් සිදුවූ එම වරදට සමාව දීමය. වැරදි සිදු නොවන්නේ කා අතින්ද? කිසි දිනෙක වරදක් නොකරන අය නොව කරන ලද වැරදිවලට සමාව දී එයින් යමක් ඉගෙන ගන්නා පුද්ගලයින් ඥාණාන්විත පුද්ගලයින් ලෙස සැලකිය හැකිය. සමහරක් පුද්ගලයින් තුළ පසුතැවීම කොතෙක් දුරට කිඳාබැස ඇත්දැයි පවසනවා නම් කිසිසේත්ම තමන්ට සත්‍යාවබෝධ කරගත නොහැකි යයි යන හැඟීමක් ඔවුන් සිත් තුළ ස්ථාපිත කරගෙන ඇත.

මෙවන් අදහස් ඉවත්කර ගැනීම සඳහා අංගුලිමාල චරිත කතාව මෙහිදී වැදගත් වේ. ‌ෙබෟද්ධ පෙළ පොතෙහි (මජ්ඣිම නිකාය, 11, 86 වෙනි සූත්‍රය) සඳහන් මෙම කථාව බොහෝ දෙනෙකු අසා ඇතිවාට සැක නැත. අංගුලිමාල දරුණු මිනීමරුවෙක් විය. තම ගුරුතුමාගේ පෙළඹවීම නිසා ඔහුට දුන් පොරොන්දුවක් ඉෂ්ඨ කිරීමේ අටියෙන් මිනිසුන් මරා ඔවුන්ගෙන් එක ඇඟිල්ල බැගින් එකතු කරමින් සාදාගත් මාලයක් ඔහු ගෙල පැළඳ සිටියේය. ගුරුතුමාට පිඳීම සඳහා එය දහසක් ඇඟිල්ලෙන් බැඳි මාලයක් කර ගැනීමට ඔහු සිටියේ තව එක් ඇඟිල්ලක් සොයමින්ය. ඒ අඩුව පුරවා ගැනීමට සූදානමින් සිටි ඔහු ඉදිරියට වැඩියේ බුදුරජාණන් වහන්සේය. නමුත් බුදු කෙනෙකු මැරීම කළ හැකි දෙයක් නොවේ. සිදු වූයේ බුදුන් වහන්සේ ඔහු මැරීමය. ඔහුගේ දූෂිත වූ ගතිගුණ මරා දැමීමය. ඔහුගේ කෙලෙස් මරා දැමීමය. අංගුලිමාල පැවිද්දෙක් බවට පත්විය.

ඉතා භයානක මිනීමරුවෙක්ව සිටි අංගුලිමාලට පවා ධ්‍යාන ලබාගැනීමට හැකිවිය. ඔහු සියළු කෙලෙසුන් නසා රහත් බවට පත්විය. ඔබ කිසිවෙකු මරා තිබේද? ඔබ එවැනි දාමරිකයෙක්ද? ඔබට එවැන් දෙයක් ගැන සිතීමටවත් බැරි පුද්ගලයෙකු බව නොඅනුමානය. අංගුලිමාල වැනි පුද්ගලයින්ටත් නිවන් අවබෝධ කරගැනීමට හැකිවූවා නම් ඔබට ඇති නුසුදුසුකම කුමක්ද? අතීතයේදී ඔබ අතින් නොයෙකුත් අන්දමේ අයහපත් දේවල් සිදුවන්නට ඇත. සමහර විට ඔබ දැන් පසුතැවෙන්නේ ඒවා වෙනුවෙන් විය හැකිය. නමුත් අංගුලිමාල රහතන් වහසේ ගැන සිතා බලන්නට හැකි නම් ඒ හිත රිදවන පසුතැවීම් දුරුවී යනවාට සැක නැත. උන්වහන්සේ අතීතයේදී මිනීමරුවෙක් වූවත් සත්‍යාවබෝධ කර ගැනීම සඳහා එය බාධාවක් නොවීය. එසේ නම් ඔබට ඇති ප්‍රශ්නය කුමක්ද? ලත නොවන්න, අතීතය අත්හරින්න, සමාව දෙන්න. පසුතැවීමෙන් මිදීමට ඇති මග එයයි.

නොසන්සුන්කම

සෑහීමකට පත්වීමෙන් ලබන සතුට හඳුනා ගැනීමටවත් එය අගය කිරීමටවත් අපි නොදන්නා හෙයින් නිතරම මනසෙහි මතුවන්නේ නොසන්සුන්කමය. කිසිවක් නොකර සිටීමෙන් අත්කර ගත හැකි සැපත අගැයීමට අපට හැකියාවක් නැත. දැනට මෙතැන ඇති දෙයින් සෑහීමට පත්වෙනවා වෙනුවට අපි සොයන්නේ එතැන ඇති වැරදිය. අපට ඇත්තේ වැරදි සොයන මනසක්ය. භාවනා කරද්දී නොසන්සුන්කම මතුවන්නේ නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ ඔබ ඒ යෙදී සිටින දෙයින් සතුටක් ලබ‌ා නොගන්නා බවය. යමක් හඳුනා ගන්නා, තේරුම් ගන්නා, සිතට ගන්නා, ආකාරය මෙහෙයවන හා ඊට මූලික වන, සංඥානය නමින් අපි හඳුන්වන දේ සමග පර්යේෂණ කළ යුත්තේ මෙතැනදීය. සංඥානය අවැසි පරිදි සකසා ගැනීමටත්, වෙනස්කර ගැනීමටත් අපට හැකියාවක් ඇත. අප යම්යම් දේ සිතට ගන්නා ආකාරය නැතහොත් සංඥාණනය කරන ආකාරය අපේ අනසක යටතේ පවතී. වීදුරුවක් ඉතා ලස්සන, ඉතා වටිනා දෙයක් ලෙස හිතට ගනිමින් හෝ එසේ නැති නම් සිතෙහි සනිටුහන් කර ගැනීමට තරම් දෙයක් එහි නැති සාමාන්‍ය දෙයක් ලෙස සලකමින්, එය වෙත අපේ ඇස් යොමුකළ හැකිය. ප්‍රධාන කොට සංඥාන ගතවන්නේ, එසේ නැති නම් ප්‍රධාන කොට හිතට ගන්නේ, අපි අත්විඳිනා දෙයට අමතරව අපි ඊට අතින් ඒ එකතුකර ගන්නාවූ කරුණුය. ආනාපානසති භාවනාවේදී අරමුණ සඳහා තෝරාගත් හුස්ම කිසි ගතියක් නැති, ලකයක් නැති,  ඉබේටම සිදුවන සාමාන්‍ය දෙයක් ලෙස සලකා අලසකමින් පිරුණු මනසකින් එදෙස බලා සිටිය හැකිය. එසේ නැති නම් එය ඉතා වැදගත්, ඉතා ලස්සන, ඉතා වටිනාකමකින් යුතු, සුළුකොට තැකිය නොහැකි, මුළු ජීවිතයම හා සබැඳි දෙයක් ලෙස සලකා ප්‍රබෝධමත් මනසකින් එදෙස බලා සිටිය හැකිය. භාවනාවේදී විටින් විට මෙලෙස දෙයාකාරයකින් අපි හුස්ම සංඥාණනය කරන්නේ අපේ මනාපයට අනුකූලවය. මහත් වටිනාකමකින් යුතු, අසාමාන්‍ය දෙයක් ලෙස සංඥාණනය කරමින් හුස්ම දෙස බලා හිඳින්නේ නම් නොසන්සුන්කමක් මනසෙහි මතු නොවන්නේය. එවිට අන් දෙයක් සොයසොයා අයාලේ යාමට මනසට අවශ්‍යතාවයක් නොමැතිය. නොසන්සුන්කම ඇතිවන්නේ ඇති දෙයින් සෑහීමට පත් නොවී අන් දේ සොයමින් මනස සැරිසරන විටදීය. මෙතැන මේ මොහොතේ නොරැඳී එය සොයන්නේ වෙන දෙයක් සමග පැටලීමටය, අන් දෙයක් කිරීමටය, තවත් දෙයක් ගැන සිතීමටය, වෙන කොතැනකට හෝ පැන යාමටය. නොසන්සුන්කම කියන්නේ එයටය.

කාමච්ඡන්‍දය මෙන් නොසන්සුන්කමද භාවනාවට බලවත් බාධාවක්ය. වැඩි කාලයක් නොසෙල්වී හිඳගෙන සිටීමට ඉඩ නොදෙන්නේ නොසන්සුන්කමය. මෙතැනින් ගැලවී වෙන තැනකට පැනයාමට පොළඹවන්නේ නොසන්සුන්කමය. මෙතැන මේ මොහොතේ අවධානය රැකගැනීමේ පියවරින් භාවනාව ඇරඹීමට මා ඔබ පොළඹවන්නේ, “මට උවමනා මේ මොහොත හැර වෙන ඕනෑම තැනක්” යන සිතිවිල්ල වටා ගොඩනගා ගන්නා මනසෙහි ගොරෝසු ගතිය නොහොත් නොසන්සුන්කම, දුරලීම සඳහාය. මෙතැන කොතැනක් වූවත්, එතැනදී ඔබ කොයි අන්දමේ සුවපහසුවක් ඇතිකර ගත්තත්, ඔබේ නොසන්සුන්කම එතැනදීත් කියන්නේ මේ හොඳ මදි  කියාය. නැවත් වරක් මා ඔබට කියා සිටින්නේ නොසන්සුන්කම කියන්නේ වැරදි සෙවීමේ මනසට බවය. භාවනාව සඳහා හිඳගැනීමට තෝරාගත් මෙට්ටය දෙස බලා “මෙය තද වැඩියි, මොළොක් වැඩියි, විශාල වැඩියි, කුඩා වැඩියි, පළල වැඩියි, උස වැඩියි” කියා පවසන්නේ වැරදි සොයන මනසය. භාවනා මුළුවකට ගියවිට එතැන ශාලාව “කුඩා වැඩියි, පහසුකම් මදියි, හැම පැත්තෙම සද්ද වැඩියි, බිත්තිවල පාට තද වැඩියි” කියා සිතන්නේත් එම මනසමය. එය යෙදී සිටින්නේ හැටවිටම හැම දෙයකම ඇති වැරදි සොයමින් ඒවා වඩාත් හොඳින් පාලනය කර ගන්නේ, හසුරුවා ගන්නේ, නිවැරදි කර ගන්නේ කෙසේදැයි සැලසුම් කරමින්ය. ඔබට ඇත්තේ වැරදි සොයන මනසක් නම් ඔබ හැමවිටම යටත්ව සිටින්නේ නොසන්සුන්කමේ පාලනයටය. එය එසේ නම් කිසිවිටෙක, කොතැනක සිටියත් ඔබ සෑහීමකට පත් නොවනු ඇත.

සෑහීමට පත්වීමේ ඇති සතුට

වැරදි සෙවීමෙහි යෙදී සිටින මනසට සෑහීමට පත්වීමෙන් ලැබෙන සතුට අවබෝධ කරදීමෙන් නොසන්සුන්කම ප්‍රහීන කරගැනීමට ඔබ සමත්වනු ඇත. ඔබ කොතැනක සිටියත් ඔබ ඉදිරියෙහි ඇති දේ කුමක් වූවත් එයින් සෑහීමකට පත්වන අයුරින් ඔබේ සංඥානය සකසා ගැනීමට හැම විටකදීම උත්සාහ දැරිය යුතුය.

වැරදි සෙවීම වෙත ඇදී යාමට මනස දක්වන කැමැත්ත ගැන භාවනාවේදී ඔබ ප්‍රවේසම් විය යුතුය. “ඇයි මට භාවනාවේ ගැඹුරට යන්න බැරි? කොයිතරම් කල් මම මේ මොහොතේ අවධානය දියුණු කළාද? කෝ ඒත් නැහැනෙ තවම කිසි දියුණුවක්.” යම් අවස්ථාවක ඒ ආකාරයේ සිතිවිලි ඔබේ මනසෙහි මතුවනු ඇත. නොසන්සුන්කමේ මූලය එවන් සිතිවිලිය. මේ මොහොතෙහි මනසෙහි පවතින පැවැත්ම ගැන අප්‍රසාදය, සාමයක් නොමැතිකම, සෑහීමට පත් නොවීම යන කරුණු හේතුකොට ගෙන එවැන් සිතිවිලි මතු විය හැකිය. ඔබේ අදහසට අනුව භාවනාව කෙරීගෙන යන්නේ කෙසේදැයි තක්සේරු කරමින් නොසිට, මේ මොහොතේ ඔබට සම්පූර්ණයෙන්ම සෑහීමට පත්විය හැකි නම් භාවනාවේ ගැඹුරට ඔබ ප්‍රවිෂ්ඨ වනු ඇත. ඔබේ ප්‍රගතිය පිළිබඳ ඔබ සිත පාරවා ගන්නේ නම් භාවනාව ඇද වැටෙන්නේ ප්‍රපාතයටය. “මේ මොහොතේ මම සෑහීමට පත්ව සිටිමි” යයි තමාටම පවසා ගනිමින් සෑම මොහොතකම සෑහීමට පත්ව සිටීමට පුහුණු වන්න.

ධ්‍යානයන් ගැන කෑදර නොවන්න. මේ මොහොතේ රැඳී සිටීමෙන්ම සෑහීමට පත්වන්න. ධ්‍යානයන්ට පිවිසෙන්නේ එම සෑහීමට පත්වීමේ ගුණාංගය ක්‍රමක්‍රමයෙන් ගැඹුරු කර ගැනීමෙන්ය. නිහඬතාවය දෙස බලා සිටීමෙන්, කිසිවක් නොපවසා නිහඬව හිඳීමෙන් සෑහීමට පත්වන්න. ඔබ ඇත්තටම සෑහීමට පත්ව ඇත්නම් කතා කිරීමට අවශ්‍යද? ඇතුළත කතාව ‌ෙබාහෝ විට ගෙතී ඇත්තේ පැමිණිලි වටා නේද? “මෙය වෙනස් කළ යුතුය, වෙන දෙයක් කළ යුතුය” කියමින් මේ මොහොතින් ඔබ පැන යන්නේ බාහිර ලෝකයේ ඇති සිතිවිලි, අදහස් උදහස් සමග පැටලීමට හැර අන් කුමකටද? ඔබ සිතිවිලි වල නිමග්න වෙනවා නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ නොසෑහීමට පත්ව ඇති බවය. නොසෑහීම ඇති තැන මත්වන්නේ සිතිවිලිය! ඔබ ඇත්තටම සෑහීමට පත්වූ පුද්ගලයෙක් නම් ඔබ තැන්පත්ය. ඔබ සොලවන්නේ අසංතෘෂ්ඨියයි. ඇත්තටම සෑහීමට පත්වූවෝ නිහඬය, නිසලය. නොසන්සුන්කමට හාත්පසින්ම විරුද්ධවූ දිශාවට ඔබ කැඳවාගෙන යන සෑහීමට පත්වීම තුළ තවතවත් ගැඹුරටම කිමිදෙන්න.

අසනීප ගතියෙන් පෙළෙන විට හෝ ශරීරයේ යම් වේදනාවක් ඇති විට, ඔබේ මනස එය තහවුරු කරගන්නා හුරුපුරුදු ආකාරය වෙනස්කර ගෙන, එය කුතුහලය දනවන හෝ ඇත්තෙන්ම සතුටක් ඇති කරන දෙයක් ලෙස සැලකීමට මනස පුරුදු කරගත හැකිය. ශරීරයේ ඇතිවන වේදනා, කැක්කුම් සමගින් සෑහීමට පත්වීමට හැකිදැයි සොයා බලන්න. එය කුමක් වූවත් සතුටින් බාරගෙන, ඇතුළට එන්න ඉඩ හරින්න. අකමැත්තෙන් ඉවතට තල්ලු කිරීමට උත්සාහ නොගන්න. මහණ දිවියේ කිහිප වතාවක්ම ඉතා දරුණු වේදනාවන්ට මුහුණ දීමට මට සිදුවිය. වේදනාවෙන් ගැලවීමට මගක් සොයමින් නොසන්සුන්කම ඇතිකර ගන්නේ නැතිව එය සම්පූර්ණයෙන්ම පිළිගනිමින් ඒ සමග සෑහීමට පත්වන අයුරින් මනස සකසා ගැනීමට මට හැකිවිය. මගේ අත්දැකීම්වලට අනුව ඕනෑම වේදනාවක් සමගින් සාමය ඇතිකර ගැනීමට අපට හැකියාවක් ඇත. එසේ කිරීමෙන් ඉවත්ව යන්නේ වේදනාවේ දරුණුම කොටසය. තවදුරටත් එතැන නොසන්සුන්කමක් ඇති නොවන්නේය. දුරින්දුරු කිරීමටද එතැන කිසිවක් ඉතිරි වන්නේද නැත. දැනෙන වින්දනය සමග තැන්පත්කම ඇතිකර ගැනීමට ඔබට හැකියාවක් ඇත. බොහෝ විට වේදනාවක දැරිය නොහැකි කොටස වන්නේ ඒ සමග මතුවන නොසන්සුන්කමය. සෑහීමට පත්වීමෙන් නොසන්සුන්කම පළවා හැරිය පසු වේදනාව සමග විනෝදයක් ඇතිකර ගැනීමට හැකිදැයි සොයා බලන්න.

ඔබ ඉදිරියෙහි ඇති දෑ කුමක් වූවත් ඒ සමග සෑහීමක් ඇතිකර ගන්න. මේ මොහොතේ සෑහීමට පත්වන්න. නිහඬතාවයෙන් සෑහීමට පත්වන්න. හුස්මෙන් සෑහීමට පත්වන්න. කොතැනත සිටියත් සෑහීමට පත්වීම දියුණුකර ගන්න. එම සෑහීමෙන්, එහි කේන්ද්‍රය තුළට පිවිසීමෙන් භාවනාව බලගැන්වෙන බව ඔබට ප්‍රත්‍යක්ෂ වනු ඇත. නොසන්සුන්කම මැඩපවත්වා ගන්නේ එලෙසින්ය. ඒ නිසා යම් මොහොතක ඔබේ මනසේ නොසන්සුන්කම ඉස්මතු වේද එකෙනෙහිම සෑහීමට පත්වීම යන වචනය සිහිපත් කරන්න. නොසන්සුන්කමට මග පාදන වැරදි සෙවීමෙහි නොයෙදෙන්න. එයට හැමවිටම පෙනෙන්නේ වැරදිමය. නොසන්සුන්කම ඔබ වහල්භාවයට පත්කරයි. හැම දෙයකම ඇති හොඳ පැත්ත දැකීම ඇරඹෙන්නේ සෑහීමට පත්වීමෙන්ය. එය ඔබ තැන්පත් කරයි. මජ්ඣිම නිකායේ 30 සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නොසන්සුන්කම උපමා කොට දක්වන්නේ ආඥාදායකයෙකු ලෙසටය. ඔහු හෝ ඇය ඔබට හැමවිටම අණකර සිටින්නේ “ගිහින් අරක කරන්න”, “අරක මෙහාට ගේන්න”, “ඒක හරි නැහැ”, “මොකක්ද ඒ කරපු වැඩේ” ආදී වශයෙන්ය. මොහොතකටවත් විවේකයක් ගැනීමට ඉඩ නොදෙමින් හැමවිටම ඔබ ගමනෙහි යොදවන්නේ ඒ නොසන්සුන්කමය. වැරදි සෙවීමෙහි යෙදී සිටින්නේ මේ ආඥාදායකයාය. එක්තැන් වීමට ඉඩ නොදෙමින් හැමවිටම ඔබ සොලවන්නේ ඔහුය. නොසන්සුන්කම ඇතිකරමින් සුළු මොහොතකට හෝ ඔබට ඉස්පාසුවක් ලබා නොදෙන මේ ආඥාදායකයා පළවා හරින්නේ සෑහීමට පත්වීම බලවත් කර ගැනීමෙන්ය.

මෙලෙසින් නොසන්සුන්කමේ කැපී පෙනෙන රළු කොටස් මැඩපවත්වා ගැනීමෙන් භාවනාවේ ගැඹුරු අවධීන් කරා එළඹෙන විට ඔබට මුහුණ දීමට සිදුවන්නේ ඉතා සියුම් අන්දමේ නොසන්සුන්කමකටය. භාවනාවේ මේ අවධිය මා හඳුන්වන්නේ සමාධි නිමිත්ත නැතහොත් තැන්පත්වූ මනසෙහි ඡායාව ප්‍රකට වන අවධිය ලෙසය. භාවනාවේ ගැඹුරට යාමට ඔබ මනස දියුණු කර ගෙන ඇතත් මෙවන් අවධියකදී පවා නොසන්සුන්කම මතුවී නොයෙකුත් දේ කිරීමට, හැසිරවීමට, පාලනය කිරීමට ඔබ යත්න දරණු ඇත. ඔබ ඉදිරියෙහි ඇති සමාධි නිමිත්තෙන් පවා ඔබ සෑහීමට පත්වන්නේ නැත. ඔබේ දැන් බල‌ාපොරොත්තුව ඊටත් වඩා වැඩි යමක් ලබා ගැනීමටය. සමහර විට ඉදිරියෙහි ඇති දෙයින් ඔබ කලබලයට පත්වනු ඇත. මේ නොසන්සුන්කමට සමාධි නිමිත්ත පහසුවෙන් විනාශකර දැමිය හැකිය. ඔබ කලක සිට පුලපුලා බලා සිටි තැනට දැන් සම්ප්‍රාප්ත වී ඇතත් එයින් සෑහීමට පත්වනවා වෙනුවට ඔබ තැත් කරන්නේ නොසෑහීම මතුකර ගැනීමටය. ඇත්තටම දැන් තවත් කළ යුතු දෙයක් ඉතිරිව නැත. ඇඟිලි නොගසා ඉන්න. නොකිරීමෙහි යෙදෙන්න. නිහඬව හිඳගෙන සමාධි නිමිත්ත ක්‍රමයෙන් බලවත්වී ධ්‍යානයක් කරා එය ඔබ රැගෙන යන ආකාරය බලා ඉන්න. ඔබ කිසිවක් කළ යුතු නැත. ඒ සඳහා පැයක් ගතවූවත්, විනාඩි පහක් ගතවූවත්, එය සිදු නොවූවත් ප්‍රශ්නයක් නැත. ඉන් සෑහීමට පත්වන්න. ධ්‍යානයකට සමවදින පිළිවෙතයි ඒ. නිමිත්තෙහි ඇති චංචල ස්වභාවයෙන් පෙන්නුම් කෙරෙන්නේ මේ අවධියේදී මනසේ ඇති නොසන්සුන්කමය. යමක් පාලනය කිරීමට, හැසිරවීමට ගන්නා ප්‍රයත්නයේ ප්‍රතිඵලය නොසන්සුන්කමය. නිමිත්ත මතුවී, එය නැතිවී යන ස්වභාවයෙන් යුක්ත නම් එයින් පිළිබිඹු කෙරෙන්නේද මනසේ ඇති නොසන්සුන්කමය. නිහඬ වන්න, තැන්පත් වන්න,සංසුන් වන්න, සෑහීමට පත්වන්න. කිසිම ආයාසයකින් තොරව සමාධි නිමිත්ත වෙත අවධානය ඔබට යොමුකර ගෙන සිටිය හැකි නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ ඔබ නොසන්සුන්කම මැඩපවත්වා ගෙන ඇති බවය.

පස්වෙනි නීවරණය – විචිකිච්ඡා

සැකය ලෙසින් නම් කෙරෙන මෙම නීවරණය බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි හෝ තම ගුරුවරයා කෙරෙහි හෝ තමා කෙරෙහිම හෝ මතුවීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත.

යම්යම් අන්දමේ සැක විටින් විට මතුවූවත් සිතට එකඟව භාවනාව හොඳින් පුහුණු කිරීමෙන් සිත් ඇදගන්නා ප්‍රතිඵල ලැබෙන බවට විශ්වාසයක් මේ වන විට ගොඩනංවා ගැනීමට ඔබ සමත්වී තිබිය යුතුය. සමහරක් ප්‍රතිඵල දැනටමත් විඳ ඇතුවාට සැක නැත. එම අත්දැකීම් මුල් කරගෙන භාවනාවෙන් ලද හැකි ආනිසංශ ගැන විස්වාසයක් ගොඩනගා ගන්න. මනසේ පැහැදිලිකම ඇතිකර ගැනීමත්, ප්‍රීතිය උදාකර ගැනීමත්, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අවබෝධ කරගැනීම සඳහාත්‍; භාවනාවෙහි යෙදී මනස සමාධියට හුරුකර ගැනීමෙන්, විශේෂයෙන්ම ධ්‍යානයන්ට සමවැදීමට මනස දියුණුකර ගැනීමෙන්, ඔබ ඉටුකර ගන්නේ තම සුභසාධනය සඳහා සුවිශේෂී මෙහෙවරක්ය.

භාවනා ගුරුවරයෙක්, බොහෝ විට ක්‍රීඩා උපදේශකයෙක් ලෙසින්ද අපට සැලකිය හැකිය. ඔවුන්ගේ කාර්යභාරය වන්නේ තමන්ගේම අත්දැකීම් තුළින් ලත් දැනුම් පදනම් කොට ගෙන තමන් යටතේ පුහුණු වන්නන් ජයග්‍රහණය කරා මෙහෙයීමට ක්‍රියාවෙන් හා උපදේශයන්ගෙන් ඔවුන් දිරිමත් කරවීමය. නමුත්  ගුරුවරයෙක් කෙරෙහි විශ්වාසයක් ඇතිකර ගැනීමට කලින් ඔහුගේ චර්යාව පරීක්ෂාකර බැලීමට අතිශයින් නුවණට හුරුය. තම ගෝලයින්ට දේශනා කරන දෑ ඔහු ඇත්තටම පිළිපදින්නේ දැයි ඔහුගේ චරිත ස්වභාවය තුළින් ඔබට දිස්වනු  ඇත. ගුරුවරයා දෙන ගුරුහරුකම් ඔහු විසින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන ඇත්තේ දැයි ඔහුගේ පැවැත්මෙන්, සංවරකමෙන් හා ආදර්ශයෙන් මොනවට පැහැදිලි වන්නේද? හොඳ ආදර්ශයෙන් යම් ගුරුවරයෙක් මග හෙළිකර දෙන්නේ නම් ඔහු හෝ ඇය කෙරෙහි විශ්වාසයක් ඇතිකර ගන්න.

තමා කෙරෙහි සැකයක් මතුවී ඇත්තේ නම් එය අස්වසාලීම සඳහා ගුරුවරයෙකුගේ පිහිට අවශ්‍ය වන්නේය. ඔබ තුළ උනන්දුවක් ඇතිකර ඔබේ සැඟවී ඇති හැකියාව පෙන්නුම් කරදීමට සමත්කමක් ගුරුවරයෙකු සතුව පවතී. අධෛර්යට පත්ව සිටින්නෙකුට “ඔව්, ඔබට ඒ සෑම දෙයක්ම සාක්ෂාත් කරගැනීමට හැකිය”යි පැවසීම සහ දිරි ගැන්වීම ගුරුවරයෙක් සතු වගකීමක්ය. ඔබට ඉදිරියෙන් මෙමග ගිය බොහෝ දෙනෙක් මෙවන් දෑ සපුරාගෙන ඇත. එසේ නම් ඔබට එය කළ නොහැකි වන්නේ මන්ද? මේ අයුරින් තමාව දිරිමත් කරගන්න. ඔබ තුළ ඇති සැකය මෙසේ සිතීමට ඔබ පොළඹවනවා විය හැකිය. “මම කිසි කමකට නැහැ. මට මේක කරගන්න බැහැ. මම වැඩකට නැති පුද්ගලයෙක්. මම දන්නවා භාවනාකරන මේ හැමෝම ධ්‍යාන ලබා ගෙන ඇති. මට විතරයි මුකුත්ම නැත්තේ.” නොනිසි අයුරින් එලෙස නොසිතන්න. අවශ්‍ය යමක් ඇත්ද, එය ලබා ගැනීමට තමන්ට හැකියාවක් ඇති බවට විශ්වාසයක් ඇතිකර ගන්න. විශ්වාසයත් කැපවීමත් එක්තැන්වූ විට දිනුම් කණුව වෙත ළඟා වීමට වැඩිකල් නොගන්නා බව හොඳින් සිහියට ගන්න. එතැනට ළඟාවීම සිදු නොවන්නේ මුලදීම ඔබ එම අදහස අත්හැර දැමුවහොත්ය. අත් නොහරින්න. සැකයෙන් ප්‍රවේසම් වන්න. ජය සිකුරුය.

භාවනාවේදී ඔබ “දැන්” අත්විඳිනා දේ පිළිබඳව සැක පහළ විය හැකිය. “මම දැන් අත්විඳින්නේ මේ මොහොතේ අවධානයද? මොකක්ද මේ ධ්‍යානයක්ද?” මේ අන්දමින් මතුවන සැකය භාවනාවට බාධාවක්ය. භාවනාවෙහි යෙදී සිටියදී එහි ප්‍රගතිය කෙසේ දැයි තක්සේරු කර බැලීමට කාලය එය නොවේ. ඒ සඳහා භාවනාවේ අවසානය තෙක් ඉවසන්න. භාවනාව තුළදී හැකිතාක් දුරට මනසෙහි සාමය පවත්වා ගන්න. හැකිතාක් දුරට අත්හරින්න. හැකිතාක් දුරට ප්‍රීතිය හා සාමය අත්විඳින්න. භාවනාව අවසාන කිරීමට ස්වල්ප වේලාවකට මත්තෙන් එම භාවනා වාරය පිළිබඳ සමාලෝචනයක යෙදෙන්න. “ඒ කුමක්ද? එය පුදුම සහගතනේද? මොකක්ද ඇත්තටම එතැන සිදුවුනේ?” ඔබ අත්වින්දේ ධ්‍යානයක්දැයි, නැත්දැයි සොයා බලන්නේ එවිටය. භාවනාව කරගෙන යද්දී “මේ ධ්‍යානයක් දැයි” කියා සිතිවිල්ලක් ඇතිවූයේ නම් සැබෙවින්ම එය ධ්‍යානයක් නොවේ. එවැනි ඉතා ගැඹුරු අවධීන්ට සම්ප්‍රාප්තවූ විට එයාකාර සිතිවිලි ඇතිකර ගැනීමට මනසට හැකියාවක් නැත. එවැනි අවධීන් තුළදී එවැනි විග්‍රහයන් ඔබට කිසිසේත්ම කළ නොහැකි වන්නේ එතුළදී මනස සෙලවීමට කිසිම ඉඩකඩක් නොමැති බැවින්ය. භාවනාව අවසානයේදී ඔබේ අත්දැකීම් ගැන මෙනෙහි කොට “ආ! එහෙමත් දෙයක්. ඒ නම් ධ්‍යානයක් තමා.” එසේ ඒවා විග්‍රහ කොට අත්දැකීම් වල සත්‍යතාවය අවබෝධ කරගන්න. ඒ නිසා අත්විඳීම සැක නොකරන්න, විග්‍රහ නොකරන්න, කට පියාගෙන නිහඬව භාවනාවෙහි දිගටම යෙදෙන්න.

සාරාංශය – නීවරණ

ඒ පැහැදිලි කර දුන්නේ භාවනාවට බාධාකරන නීවරණ ධර්මයන් පහය. කෙටියෙන් දක්වනවා නම්: කාමච්ඡන්‍ද – ශරීරය හා පසිඳුරන් වෙත දක්වන ඇලීම; ව්‍යාපාද – තමන් කෙරෙහි හෝ අන් අය කෙරෙහි හෝ භාවනා අරමුණ කෙරෙහි දක්වන අකමැත්ත; ථීන මිද්ධ – නිදිමත ගතිය හා අලසකම; උද්දච්ච කුකුකුච්ච – නොසන්සුන්කම හා පසුතැවීම; විචිකිච්ඡා – සැකය.

මෙම නීවරණයන් හා ඒවා මැඩපවත්වා ගැනීමට අනුගමනය කළ හැකි පිළිවෙත පහත සටහනේ දැක්වේ.

බාධකය මිඳීමට මග
පංච කාමයට ඇති ඇලීම ටිකින් ටික පසිඳුරන් අත්හැර දමන්න.
අකමැත්ත, ද්වේශය මෛත්‍රීය වඩන්න.
නිදිමත හා අලසකම මෙම බාධකය ගැන හොඳ සිහියෙන් ඉන්න.
නොසන්සුන්කම හා පසුතැවීම සෑහීමට පත්වන්න, තමා වෙත සමාව පිරිනමා ගන්න.
සැකය විශ්වාසය ඇතිකර ගන්න, ඉගැන්වීම් හොඳින් මතක තබාගන්න.

පසුවදන

භාවනාවේදී බාධකයක් මතුවේ නම් එය ඉහත විස්තර කළ බාධකවලින් එකක් හෝ ඒවායේ මිශ්‍රණයක් බව මතක තබාගන්න. යම් අවහිරයක් ඇතිවූ විට නතරවී තමන්ගෙන් මෙසේ අසන්න. “මොකක්ද මේ නීවරණය?” කුමක් හේතු කොටගෙන මෙවැනි අපහසුතාවයක් ඇතිවූයේ දැයි සොයා බලන්න. හේතූවත්, අපහසුතාවයත් දැනහැඳින ගත්තාට පසු ඊට විසඳුමත්, ප්‍රතිකාරයත් මතක තබා ගන්න. ඉඳුරන් කෙරෙන් උද්ගතවූ ආශාවක් නම් ඔබේ අවධානය පසිඳුරන්ගෙන් ටිකින් ටික ඉවත් කරගෙන එය හුස්ම වෙත හෝ මනස වෙත යොමු කරන්න. එය තරහක් නම් මෛත්‍රීය වඩන්න. නිදිමත හා අලසකම දුරලා ගත හැක්කේ නයින් පිළිබඳ උපමාව සිහිපත් කිරීමෙන්ය. මතුවූයේ නොසන්සුන්කම හෝ පසුතැවීම නම් මතකයට ගෙන ආ යුත්තේ සෑහීම, සෑහීම, සෑහීමය. නැති නම් තමන් වෙත සමාව දැක්වීමය. සැකය ඇති විට ඉගැන්වීම් මත ශ්‍රද්ධාව ඇතිකර ගන්න. ක්‍රමානුකූලව භාවනාවෙහි යෙදෙමින් අවස්ථානුකූලව අවශ්‍යව ඇති ප්‍රතිශක්තිකරන එන්නතය තෝරාගෙන පමා නොවී එය එන්නත් කර ගන්නේ නම් ප්‍රතිශක්තිකරනයේ ප්‍රතිඵල ඉක්මණින් ලබාගත හැකිය. ඒ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් කොයි අන්දමේ බාධකයක් මතුවූවත් එයින් දීර්ඝ කාලීන බාධාවක් භාවනාවට සිදු නොවන්නේය. මුහුණ දෙන බාධාවන් දැක ගැනීමටත්, දැනහඳුනා ගැනීමටත්, ඒවා මැඩපවත්වා ගනිමින් ඉදිරියට පිය නැගීමටත් අවශ්‍ය උපදෙස් දැන් ඔබ හමුවේ ඇත. භාවනාව ගැඹුරට නැඹුරුවීමත් සමගම මෙම පංචනීවරණයන් කෙබඳු ආකාරයකින් භාවනාවට බාධා පමුණුවන්නේදැයි තමන්ටම අවබෝධවන අතර ඒවා දුරලාගන්නේ කෙසේදැයි වටහා ගැනීමට ඔබට අපහසු නොවන්නේය.

නීවරණයන් යටපත් කළවිට

නීවරණයන් කෙතෙක් වේලා යටපත්ව පවතින්නේදැයි යන්න නිතරම පැන නගින ප්‍රශ්නයක්ය. ඒවා යටපත් කළ විට එසේ ඒවා බල ශූන්‍යව පවතින්නේ සදාකාලිකවද එසේ නැති නම් භාවනා කාල පරිච්ඡේදය තුළදී පමණක්ද?

මුලදී ඒවා යටපත් කරන්නේ තාවකාලිකවය. ඒවායින් අත්මිඳී නිදහස ලබාගත් විට ඔබ ඒවායින් මිඳුණු බව ඔබට පැහැදිලි වන්නේය. නීවරණයන්ගේ බලපෑමකින් තොරව මනස කොතෙක් වේලා පවතීදැයි යන්න රඳා පවතින්නේ ඔබ සිහිකල්පනාව, සතිය දියුණු කරගෙන ඇති මට්ටමට අනුවය. ඉතා ගැඹුරු භාවනා අවධීන්ට පිවිසීමට හැකියාවක් ඔබට ඇත්තේ නම් ඒවායින් ඉවතට ආ විටදී පවා නීවරණයන්ගේ ආධිපත්‍යයෙන් මිඳී දිගු කාලයක් නිදහසේ සිටීමට හැකි බව ඔබට පෙනී යන්නේය. භාවනාවෙන් බලගැන්වෙන මනස ඉතා තියුණුය. අචලය. යම් දෙයක් වෙත අවධානය රඳවාගෙන බොහෝ කාලයක් ගතකළ හැකිය. කොයියම් අන්දමක හෝ අසතුටක් මනසෙහි ඇති නොවන්නේය. කෙනෙකු ඔබේ ඔළුවට පහරක් දුන්නත් ඒ ගැන අමනාපයක් ඇතිකර ගන්නේ නැත.  කාමාසාව ගැන කිසිම ඇල්මක් දැන් මනසෙහි නැත. මේ දැක්වූයේ ගැඹුරු භාවනාවෙන් අත්වන ප්‍රතිඵලය. භාවනාවේ කිමිඳ ගිය ගැඹුරත්, එහි නිමග්නව සිටි කාලයටත් අනුකූලව තීරණය කෙරෙන කාල පරාසයකට පසු නැවතත් නීවරණ ධර්මයන් ඉස්මතු වීම ඇරඹෙන්නේය. උදාහරණයක් ලෙස දක්වනවා නම් “බොක්සින්” තරඟයකදී එල්ල කෙරෙන දරුණු පහරකින් බිම ඇදවැටුනු ප්‍රතිවාදියා කිසිවක් කරකියා ගත නොහැකිව තරඟ වේදිකාව මත වැතිර සිටින අන්දම හා මෙය සමාන කළ හැකිය. ඔහු එහි සිහිමුර්ජා වූවෙකු සේ වැතිර සිටින කාලය රඳා පවතින්නේ එල්ල කළ පහරේ බලවත්කම අනුවය. කෙසේ නමුත් අවසානයේදී සිහිඑළවා ගන්නාවූ මෙම ප්‍රතිවාදියා මඳක් දුබල අන්දමින් හැසිරුණත් පරණ පුරුදු ආකාරයටම අභියෝග කරමින් නැවතත් ඔබ සමග සටන් වදිනු ඇත. නමුත් බල බිඳ දැමීමෙන් ලත් අත්දැකීම දැන් ඔබ වෙත ඇත. බොහෝ වාරයක් මෙසේ දරුණු ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිවාදියා බිම හෙළීමෙන් ඔහුගේ බලය එන්න එන්නම පිරිහීමට පත්කළ හැකිය. මෙසේ නැවත නැවතත් ගැඹුරු භාවනා අවධීන් වෙත එළඹීමට මනස පුරුදු පුහුණු කිරීමෙන් සිදුවන්නේ ක්‍රමක්‍රමයෙන් නීවරණයන්ගේ බලය පිරිහී යාමය. අවසානයේදී ඒවා සදහටම නැතිකර දැමීම සත්‍යාවබෝධාත්මක විදසුන් නුවණ වෙත පැවරී ඇති කටයුත්තක්ය.

මේ අනාදිමත් කාලයක සිට පැවත එන බුදු මගය. භාවනාව තුළින් පංචනීවරණයන්ගේ බලය බිඳ දැමීමෙන් ප්‍රඥාව උපදවා ගැනීමට මග හෙළිදරව් වන්නේය. නීවරණයන් ප්‍රහීන කිරීම හේතුකොට ගෙන එක්තැන් වන මනසෙහි පහළවන විදසුන් නුවණ යොදා ගනිමින් තවදුරටත් එම නීවරණයන් මෙනෙහි කර බැලීමෙන් ඒවා නැත්තටම නැති කළ හැකිය. නීවරණයන් ඔබ සහමුලින්ම විනාශ කර ඇත්තේ නම් ඔබ සත්‍යාවබෝධ කරගෙනය. ඔබ සත්‍යාවබෝධ කරගෙන ඇත්තේ නම් ඔබ බාධකයන් අභිබවා ගොස් ඇති බැවින් ධ්‍යානයන්ට සමවැදීමට කිසිම අපහසුතාවයක් නැත. ඔබත් ධ්‍යානත් අතර තිබූ “අවහිරය” දැන් සහමුලින්ම ඉවත්වී ඇත.

නිමි

Leave a comment