ධ්‍යාන භාවනා – 3 කොටස

අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන් වහන්සේ

පරිවර්තනය – ජෝර්ජ් කාරියවසම්

 (උපුටා ගැනීමට හෝ පිටපත් කර බෙදා හැරීමට අවසර නැත)

 

මෙය කියවීමට පෙර “ධ්‍යාන භාවනා – 1 හා 2 කොටස්” කියවන්න.

පටුන

  • සෑම ධ්‍යානයකටම පොදුවූ සළකුණු
  • සිතිවිලි නැත, තීරණ ගැනීමක් නැත, කාලය පිළිබඳ හැඟීමක් නැත.
  • ද්විත්වයකින් තොර විඤ්ඤානය.
  • නොවෙනස්ව, නොසෙල්වී පවතින අසීමිත ප්‍රීතිය පිළිබඳ දැනුවත්කම.
  • පංචේන්ද්‍රියන් සහමුලින්ම ක්‍රියාවිරහිතවීම.
  • සෑම ධ්‍යානයකටම අයත් පොදු සළකුණු පිළිබඳ සාරාංශය

ප්‍රථම ධ්‍යානය

  • සැලීම (විතක්ක විචාර)
  • ඒකාග්‍රතාවය (එක්තැන්වීම)
  • ප්‍රීතිය හා සුඛය (ප්‍රීතිසුඛ)
  • ප්‍රථම ධ්‍යානය – සාරාංශය

දෙවෙනි ධ්‍යානය

  • සැලීම සංසිඳවීම.
  • මනසෙහි පරිපූර්ණ ඒකිග්‍රතාවය (චේතසෝ ඒකෝදිභාවං).
  • සමාධියෙන් ජනිතවන ප්‍රීති ප්‍රමෝදය (සමාධිජං ප්‍රීතිසුඛං).
  • ක්‍රියාකාරකම් සියල්ලකගේම අවසානය.
  • දෙවෙනි ධ්‍යානයේ සාරාංශය

තුන්වෙනි ධ්‍යානය

  • ප්‍රීතිය අතුරුදහන් වෙයි.
  • තුන්වෙනි ධ්‍යානයේ සාරාංශය

හතරවෙනි ධ්‍යානය

  • සුඛය අතුරුදහන් වේ!
  • සාමයේ පරිපූර්ණත්වය.
  • හතරවෙනි ධ්‍යානයේ සාරාංශය

සමාලෝචනය

  • ධ්‍යාන හතර පිළිබඳව බුදුරජාණන් වහන්සේ ගෙනහැර දැක්වූ උපමා
  • ධ්‍යානයකින් තවත් ධ්‍යානයකට මාරුවීම
  • කාමර හතරක නිවසක්.
  • අත්හැරීම දියුණුකර ගන්නේ ධ්‍යානයකට ඇතුල්වීමට ප්‍රථමයෙන්ය.
  • ප්‍රීතිප්‍රමෝදය විග්‍රහ කර බැලීම.
  • සෑම ධ්‍යානයක්ම ඇත්තේ අනෙක් ධ්‍යානය තුළය.
  • අධිෂ්ඨාන බලය

සතර වැදෑරුම් අරූපාවචර සමාපත්ති

  • අසීමිත අවකාශයේ මානසික මූල පදනම (ආකාසානඤ්චායතනය).
  • අසීමිත විඤ්ඤානයේ මානසික මූල පදනම (විඤ්ඤාණඤ්චායතනය).
  • ශූන්‍යතාවයේ මානසික මූල පදනම (ආකිඤ්චඤ්ඤායතනය).
  • සංඥාවක් ඇත්තේත් නැත, සංඥාවක් නැත්තේත් නැත යන්නේ මානසික මූල පදනම (නේව සඤ්ඤා නා සඤ්ඤායතනය).

නිර්වාණය

  • සෑම සංඥානයකම අවසානය
  • ක්‍රමක්‍රමයෙන් නිරෝධය සිදුවන අනුපිළිවෙල
  • අවසන් වදන

 

සෑම ධ්‍යානයකටම පොදුවූ සළකුණු

සිතිවිලි නැත, තීරණ ගැනීමක් නැත, කාලය පිළිබඳ හැඟීමක් නැත.

ධ්‍යානයකට පිවිසි මොහොතේ සිට කෙනෙක් සතුව තිබූ පාලන බලය අහිමිවීයයි. සාමාන්‍ය වශයෙන් අණදීමට තිබූ හැකියාවද දැන් නැත. “මම ඊළඟට කළ යුත්තේ කුමක්ද?” වැනි අදහසක්වත් මනසෙහි මතුවන්නේ නැත. පාලනයට යොමු කෙරෙන ‘අභිමතය’ ඉවත්ව ගිය පසු, “මම කරමි” යනුවෙන් ගොඩනැගෙන අනාගතය පිළිබඳ සංකල්පද අහෝසිවීයයි. ‘ධ්‍යානයක්’ තුළදී කාලය පිළිබඳ සංකල්පනාද හටගන්නේ නැත. ධ්‍යානය සුවය අත්විඳිද්දී ඊළඟට කළ යුත්තේ කුමක්දැයි කෙනෙකුට තීරණය කළ නොහැකිය. එපමණක්ද නොව, ධ්‍යානයෙන් එළියට එන්නේ කුමන අවස්ථාවකද කියාවත් තීරණය කළ නොහැකිය. නියතවශයෙන්ම, අභිමත, චේතනා ඇතිකර ගැනීමට නොහැකිකම සහ ඊට අදාලව ‘ඉදිරියේදී’ යනුවෙන් කාලය පිළිබඳ හැඟීමක් මතු කර ගැනීමට පුළුවන්කමක් නැති නිසා, කාලසීමාවකින් තොරව පවතින ස්ථාවරත්වයක් ධ්‍යානයකට ලැබේ. එහි ප්‍රතිඵලය වන්නේ, අසීමිත ප්‍රීතියක ගිලී, සමහර විට පැය ගණනාවක් වුවත් ධ්‍යාන සුවය අත්විඳීමට හැකි වීමය.

ද්විත්වයකින් තොර විඤ්ඤානය.

අවධානය ඒකරාශි වීමේ සහ ඒකාග්‍රතාවයේ පරිපූර්ණත්වය හේතු කොට ගෙන ධ්‍යානයක් තුළදී යම්යම් දේ පිළිබඳව සැසඳීමක් කළ නොහැකි තත්ත්වයකට කෙනෙක් පත්වේ. වටහා ගැනීම රඳා පවතින්නේ අරදේ මේදේ, එතන මෙතන, දැන් ඉහත, යනුවෙන් යමක් තුළනාත්මකව සැසඳීමට අප සතු හැකියාව මතය. ධ්‍යානයකදී අත්විඳින්නාවූ එකම දෙය ද්විත්වයකින් තොර අසීමිත ප්‍රීතියයි. එය නොවෙනස්වන සුළුය, සිත් ඇදගන්නා සුළුය. අවධානය අඛණ්ඩය, යථාදර්ශය මතුවීමට (සැසඳීමට, සිතීමට හෝ අදහසක් ඇති කර ගැනීමට) ඉඩකඩක් එතුළ ඇත්තේම නැත. තමන් හොඳින් දැක පුරුදු දෙයක ඡායාරූපය, කලින් නොදුටු දෘෂ්ඨි කෝණයකින් ගෙනහැර දැක්වූ විට එය කුමක්දැයි අනුමාන කරනවා හැර අන් දෙයක් කිරීමට නොහැකි තත්ත්වයකට පත්වීම හා එය සමකළ හැකිය. එය ප්‍රහේලිකාවක්ය. එය කුමක්දැයි සිතා ගැනීමේ හැකියාව හීනවී තමන් අසීරු තත්ත්වයකට පත්වන්නේ, එය හරවා බැලීමටවත්, ඔළුව අර අතට මේ අතට අඹරවා එදෙස බැලීමටවත් ඉඩක් නැති හෙයින්ය. යථාදර්ශයට ඉඩක් නැති තැන වැටහීමක්ද නැත. එහෙයින් ධ්‍යානයක් තුළදී කාලය පිළිබඳ හැඟීමක් නැත්තා සේම දැන් කුමක් සිදුවන්නේදැයි යන හැඟිමක්ද නැත! එතැනදී තමන් සිටින්නේ කිනම් ධ්‍යානයේදැයි පවා සිතා ගත නොහැකිය. ඔබ දන්නා එකම දෙය වන්නේ නොසැලෙන, නොවෙනස්ව පවතින අසීමිත ප්‍රීතිය, මිනීමක් කළ නොහැකි කාලසීමාවක් තුළ අඛණ්ඩව පවතින බවය.

නොවෙනස්ව, නොසෙල්වී පවතින අසීමිත ප්‍රීතිය පිළිබඳ දැනුවත්කම.

ධ්‍යානයක් තුළදී යථාදර්ශය අහෝසිවීමෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව ලොප්වී ඇති නමුත්, ඇත්තවශයෙන්ම, කෙනෙක් සිහි විසඥවූ ස්වභාවයකට පත්ව නැති බව අවධාරණය කළ යුතුය. කෙනෙකුගේ සිහිකල්පනාව ඉතා බලසම්පන්න අන්දමින් අදහාගත නොහැකි තියුණු මට්ටමකට පත්ව ඇත. දැනුවත්කම අප්‍රමාණය. සිහිකල්පනාව නොසැලේ, එය ගල්ගැසී ඇත. ධ්‍යාන අතිදැකීමක්, තමන් මින් පෙර නොවිඳි අත්දැකීමක් බවට පත් කරන්නේ එහි ඇති පරිපූර්ණ දැනුවත් බවේ සහ ඒකාග්‍රතාවයේ බල මහිමයත්, උපශාන්ත නිහැඬියාවත්, සුපිරි බලැති සිහිකල්පනාවත් නිසාමය. මෙය සිහි විසඥවීමක් නොවේ. එය ද්විත්වයෙන් තොර විඤ්ඤාණයයි. එය දැනහිඳින්නේ එකමඑක දෙයක්ය: එනම් කාලසීමාවකට යටත් නොවූ, නොසෙල්වෙන අද්විතීය ප්‍රීති ප්‍රමෝදයයි.

කෙනෙක් ධ්‍යානයකින් එළියට පැමිණීමෙන් අනතුරුව විඤ්ඤාණයේ පරිපූර්ණ ඒකාග්‍රතාවය බිඳවැටීම ඇරඹෙයි. ඒකාග්‍රතාවය දුබල වීමත් සමඟ යථාදර්ශය නැවතත් මතුවී, කෙනෙකු පෙර පුරුදු පරිදි හැසිරීමට පටන් ගනී. සැසඳීමට සහ වටහා ගැනීමට මනසට තිබූ ඉඩපහසුකම නැවත මතුවෙයි. අපට හුරුපුරුදු විඤ්ඤාණ තලයට නැවතත් මනස අවතීර්ණය වේ.

ධ්‍යානයකින් එළියට පිවිසි මොහො‍තේම, ධ්‍යාන අත්දැකීම සහ සිදුවූයේ කුමක්දැයි සමාලෝචනය කිරීම කෙනෙක් විසින් ගතයුතු පොදු ක්‍රියා මාර්ගයක්ය. ධ්‍යානයකට පිවිසීම සුළුපටු දෙයක් නොවේ. එහි බලගතුකම ඇති කරන්නේ කෙනෙකුගේ මතකයෙහි නොමැකෙන සටහනක්ය. ඇත්තෙන්ම එය, කෙනෙකුට ජීවත්ව සිටින තුරා අමතක නොවන සිද්ධියක්ය. එහෙයින්, ඉන් ඉවතට ආපසු, එම නොමැකෙන මතකය, කෙනෙකුට විස්තරාත්මකව පහසුවෙන් ආවර්ජනය කර බැලිය හැකිය. එවැනි සලකා බැලීමක් මඟින්, සිදුවූයේ කුමක්දැයි විස්තරාත්මකව දැනගැනීමටත්, තමන් අත්වින්‍ඳේ කුමන ධ්‍යානයදැයි තේරුම් ගැනීමටත් පිළිවන. එපමණක් නොව, සමාලෝචනය මඟින් රැස් කර ගන්නා දත්තයන්, සත්‍යාවබෝධය සඳහා අවශ්‍ය විදසුන් නුවණෙහි පදනමද වන්නේය.

පංචේන්ද්‍රියන් සහමුලින්ම ක්‍රියාවිරහිතවීම.

ධ්‍යානයක් තුළදී පංචේන්ද්‍රියන්ගේ සියළුම ක්‍රියාකාරකම් සහමුලින්ම ඇනහිටීම ධ්‍යානයක ඇති තවත් අපූර්ව ලක්ෂණයක්ය. කෙනෙකුට පෙනෙන්නේ නැත, ඇසෙන්නේ නැත, ගඳසුවඳ දැනෙන්නේ නැත, රසයක් හෝ පහසක් දැනෙන්නේ නැත. කුරුල්ලන්ගේ නාදය නොඇසෙයි, කෙනෙකු කහින හඬ නොඇසෙයි. අසල සිදුවූ ගිගිරුම් හඬක් පවා ධ්‍යානයක් තුළදී ඇසෙන්නේ නැත. කෙනෙක් තමන්ගේ උරහිසට තට්ටු කළත්, උඩට ඔසවා බිම තැබුවත්, ධ්‍යානයක් තුළට පිවිසියෙකුට එබවක් නොදැනේ. ධ්‍යානගතවූ මනසෙහි, පංචේන්ද්‍රියන්ගේ දොරටු සියල්ලම මුළුමණින්ම වැසී ඇති හෙයින්, පිටතින් ඇතිකෙරෙන ඉන්‍ද්‍රිය උත්තේජක කිසිවකට බලෙන් ඇතුල්වීමක් කළ නොහැකිය. (උදාහරණ වශයෙන්, ශබ්දය ප්‍රථම ධ්‍යානයට බාධාවක් වූවත්, ඇත්තවශයෙන්ම තේරුම් ගතයුතුව ඇත්තේ, කෙනෙකුට ශබ්දය ඇසුණු මොහොතේ ඔහු තවදුරටත් ධ්‍යානයෙහි නොවන බවය.)

නිවසේ භාවනා කරමින් සිටියදී අහම්බෙන් බලගතු ධ්‍යානයකට සමවැදීමේ සිද්ධියක් ගැන ගිහි භවතෙකු මට මෙසේ පවසා ඇත. භාවනා කරන ඉරියව්වෙන් සිටියදී, බොහෝ වේලාවක් තුළ ඔහුගේ ශරීරයේ කිසිම හැලහොල්මනක් පෙනෙන්නට නොතිබූ නිසා ඔහු මියගොස් ඇතැයි අනුමාන කළ ඔහුගේ බිරිඳ, බියට පත්ව, ගිලන් රථයක් කැඳවා ඇත. අනතුරු හැඟවීමේ නලාව හඬවමින් ඔහු රෝහල වෙත ගෙනයාමෙන් අනතුරුව, හදිසි අනතුරු ඒකකයේදී කරන ලද විද්‍යුත් පරීක්ෂණ වලට අනුව පෙනීගොස් ඇත්තේ ඔහුගේ හදවතත්, මොළයත් අක්‍රීය තත්ත්වයකට පත්ව ඇති බවය. ඒකකය භාර වෛද්‍යවරයා ඔහුගේ හදවත නැවත පණගැන්වීම සදහා විද්‍යුත් හෘද ස්පන්දකයක්ද භාවිතා කොට ඇත. විද්‍යුත් කම්පනයන්ට භාජනය කිරීමේදී ඔහු රෝහලේ ඇඳ මත උඩට පහළට විසි වූවත් ඔහුට ඒ බවක් දැනී නැත! කිසි කරදරයක් නැතිව, හදිසි අපදා කාමරය තුළදීම ඔහු සාමාන්‍ය අන්දමින් ධ්‍යානයෙන් එළියට පැමිණි විට, ඔහු එතැනට පැමිණියේ කෙසේදැයි කියාවත් කිසිම දැනීමක් ඔහුට නොවීය. ගිලන් රථයේ නලා ශබ්දය හෝ විද්‍යුත් ශරීර කම්පන ඔහුට දැනී නැත. ධ්‍යානයට සමවැදී සිටි එම දිගු කාලසීමාව තුළදී ඔහු සම්පූර්ණයෙන්ම දැන සිටි එක් දෙයක් විය. ඒ අසීමිත ප්‍රීතියයි. ධ්‍යානයක් අත්විඳිද්දී පංචඉන්ද්‍රීය සංවේදනා අතුරුදහන්වී යාමෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි කරදීම සඳහා මෙය කදිම උදාහරණයක්ය.

සෑම ධ්‍යානයකටම අයත් පොදු සළකුණු පිළිබඳ සාරාංශය

ධ්‍යානයක් තුළදි:

  • සිතීමට කිසිම හැකියාවක් නැත.
  • තීරණ ගැනීමට හෝ නිගමනවලට එළඹීමට නොහැකිය.
  • කාලය පිළිබඳ හැඟීමක් නැත.
  • විඤ්ඤාණය ද්විත්ව නොවේ. සැසඳීම මඟින් තේරුම් ගැනීමට ඉඩක් නැත.
  • එක් දෙයක් ගැන පමණක් ඉතා තදබල දැනුවත්කමක් ඇත. ඒ නොවෙනස්ව පවතින අසීමිත ප්‍රීතියයි.
  • පංච ඉන්ද්‍රියන් සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිතව ඇත. ක්‍රියාත්මකව පවතින එකම ඉන්ද්‍රිය මනේන්ද්‍රියයි.

මේ ධ්‍යානයක ගතිලක්ෂණය. එම නිසා ගැඹුරු භාවනා වාරයක් තුළදී, තමා සිටින්නේ ධ්‍යානයකදැයි කෙනෙකුට කුකුසක් ඇති වුවහොත්, සත්‍යවශයෙන්ම ඔබ සිටින්නේ ධ්‍යානයක නොවේ! ධ්‍යානනිහැඬියාව තුළ සිතිවිලි මතුවිය නොහැකිය. ඉහත දැක්වූ ලක්ෂණ කෙනෙකුට හඳුනා ගත හැකි වන්නේ, ධ්‍යානයෙන් එළියට විත්, මනස පෙර පැවති මට්ටමට පැමිණීමෙන් පසු තමා සතු ආවර්ජනය කර බැලීමේ හැකියාව යොදා ගැනීමෙන් අනතුරුවය.

ප්‍රථම ධ්‍යානය

සැලීම (විතක්ක විචාර)

සෑම ධ්‍යානයක් ම සම්පූර්ණයෙන් ම වාගේ අතරක් නැතිව අසීමිත ප්‍රීති ප්‍රමෝදයෙන් මනස පිරීගිය තත්ත්වයන්ය. කෙසේ වෙතත්, ප්‍රථම ධ්‍යානය තුළ පැහැදිලිව දැකිය හැකි සෙලවීමක් ඇත. ප්‍රථම ධ්‍යානයෙහි පවතින මෙම සෙලවීම, ‘සැලීම’ යනුවෙන් මම නම් කරමි. කෙනෙක් දැනුවත්ව සිටින අසීමිත ප්‍රීතිය කෙතරම් බලවත්දැයි පවසනවා නම් එහි බලය මගින් මමත්වයෙහි කොටසක් වූ කිරීම හා පැතීම සහමුලින්ම යටපත් කරයි. ධ්‍යානයක් තුළදී කෙනෙක් පාලනය පිළිබඳ හැඟීමකින් තොරව, ස්වයංක්‍රීය නියමුවෙකු සේ හැසිරෙයි. ඒ කෙසේ වෙතත් ප්‍රීති ප්‍රමෝදය ගෙනදෙන අධික ප්‍රසන්නත්වය නිසා හටගත් අවශේෂ ඇල්මක් තවමත් ඉතිරිව පවතී. මෙතැනදී කරන්නා නොව, මනස, ස්වයංක්‍රීයව ප්‍රීති ප්‍රමෝදය ග්‍රහණය කර ගනී. නමුත් ප්‍රථම ධ්‍යානයේදී විඳින්නා වූ එම ප්‍රීති ප්‍රමෝදය උදාවූයේ අත්හැරීම මූලික පදනම කරගත් නිසා බව ඔබට මතක ඇත. එහෙයින් අනුදැනීමක් නොමැතිව කෙරෙන මෙම ග්‍රහණය නිසා සිදුවන්නේ ප්‍රීති ප්‍රමෝදය දුබල වීමය. එවිට, ප්‍රීති ප්‍රමෝදය දුබලවෙමින් පවතින බව මනසට දැනීයාමෙන් එය ස්වයංක්‍රීයව ග්‍රහණය අත්හරින නිසා, ප්‍රීති ප්‍රමෝදයෙහි බලය නැවත වර්ධනය වේ. ඉන්පසු මනස නැවතත් ග්‍රහණයට පෙළඹේ. නැවතත් මනස අත්හරී. මෙලෙස, අනුදැනීමෙන් තොරව සිදුවන මේ ඉතා සියුම් සෙලවීම නිසා ප්‍රථම ධ්‍යානය තුළ සැලීමක් ඇත.

මෙම ක්‍රියාවලිය වෙනත් ආකාරයකින් ද තේරුම් කළ හැකිය. අනුදැනීමක් නොමැතිව කෙරෙන මෙම ග්‍රහණය මගින් සිදුවන ප්‍රීති ප්‍රමෝදයේ දුබල වීම පෙන්නුම් කරන්නේ සිහිකල්පනාව ටික දුරක් ප්‍රීති ප්‍රමෝදයෙන් ඈත් වූ බවය. එවිට මනස ස්වයංක්‍රීයව ග්‍රහණය අත්හරින නිසා නැවතත් සිහිකල්පනාව ප්‍රීති ප්‍රමෝදය වෙතට ඇදී එයි. ප්‍රීති ප්‍රමෝදයට ආසන්නව සිදුවන මෙම එහාට මෙහාට ඇදීයාම හරහා ද ප්‍රථම ධ්‍යානයෙහි ඇති මෙම සැලීම පහදා දිය හැකිය.

මෙම සැලීම, අනෙකක් නොව, විතක්ක විචාර නමින් හඳුන්වන ප්‍රථම ධ්‍යානයෙහි, පළමුවෙනි හා දෙවෙනි ධ්‍යානාංග යුගලයය. ‘විචාර’ යන්නෙන් අදහස් කරන්නේ අනුදැනීමක් නොමැතිව කෙරෙන ප්‍රීති ප්‍රමෝදය ග්‍රහණය කර ගැනීමය. ‘විතක්ක’ යන්නෙන් අදහස් කරන්නේ ස්වයංක්‍රීයව නැවතත් ප්‍රීති ප්‍රමෝදය වෙතට ඇදී යාමය. සමහරක් විචාරකයෝ විතක්ක, විචාර යුගලය “යොමු කරන සිතිවිල්ල” හා “පවත්වා ගන්නා සිතිවිල්ල” යනුවෙන් ඒවා හඳුන්වා දෙති. අන් තැනකදී, විශේෂයෙන්ම ධ්‍යානයකට සම වැදීමට ප්‍රථම, හුස්ම අරමුණු කොටගෙන සිටියදී, එම යුගලය සිතිවිලි ලෙස හඳුන්වාදීමෙහි වරදක් නැතත්, ධ්‍යානය තුළදී නිශ්චිත වශයෙන්ම එවායින් අදහස් කරන්නේ අන් දෙයක්ය. ධ්‍යානය තුළ පවතින ඉතාමත් පිරිසිදු මානසික තත්ත්වයක් යටතේ සිතීම වැනි ඉතා රළු ක්‍රියාවලියක් ඇතිකර ගැනීම කිසිසේත්ම කළ නොහැකි දෙයක්ය.ඒ හැරෙන්නට, සිතිවිලි අත්හැරියේ ධ්‍යානයකට පිවිසීමට බොහෝ කලකට පෙරය. ධ්‍යානයකදී, විතක්ක, විචාර යන දෙකම සිතිවිල්ලක් නූපදවිය හැකි මට්ටමේදී සිදුවන මානසික ක්‍රියාවක් නිසා ඒවා සිතිවිලි ගණයට ඇතුළත් කළ නොහැකිය. විතක්ක යනු සිතිවිලි නූපදින මට්ටමේදී සිදුවන ප්‍රීති ප්‍රමෝදය වෙතට සිත ඇදී යාමය. විචාර යනු සිතිවිලි නූපදින මට්ටමේදී ප්‍රීති ප්‍රමෝදය ග්‍රහණය කර ගැනීමට යාමය. ධ්‍යානයකින් පිටතදී මනසෙහි සිදුවන එවැනි සෙලවීමක්, බොහෝ විට, සිතිවිලි උපදවයි. සමහර විට, එමගින් ඇතුළත කතාව ද මතු විය හැකිය. නමුත් ධ්‍යානයකදී විතක්ක, විචාර කෙතරම් සියුම්දැයි පවසනවා නම් ඒවාට සිතිවිලි ඉපදවීමට නොහැකිය.ඒවාට කළ හැකි එකම දේ, සිහිකල්පනාව ප්‍රීති ප්‍රමෝදය වෙත යොමු කිරීම හා සිහිකල්පනාව එහි රඳවා තබා ගැනීමය. මෙම සෙලවීම ප්‍රථම ධ්‍යානයෙහි පවතින සැලීම වන අතර එය නියෝජනය කරන්නේ ප්‍රථම ධ්‍යානයෙහි, ධ්‍යානාංග වශයෙන් හඳුන්වන විතක්ක, විචාර යන මුල් ධ්‍යානාංග යුගලයය.

ඒකාග්‍රතාවය (එක්තැන්වීම)

පළමුවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානාංගය ඒකාග්‍රතාවය නමින් හැඳින්වේ. ඒකාග්‍රතාවයෙන් පෙන්නුම් කරන්නේ ඉතාමත් තියුණු අන්දමින් සිහිකල්පනාව, අපේ පැවත්මෙහි ඉතාමත් කුඩා කොටසකට යොමු කරගෙන සිටීමය. මනස අවධානය යොමු කරගෙන සිටින්නේ, ප්‍රීති ප්‍රමෝදයෙහි කේන්ද්‍රස්ථානය වෙත හා ඉහත විස්තර කර දුන් පළමුවෙනි ධ්‍යානයෙහි පවතින සැලීමට අදාල, ප්‍රීති ප්‍රමෝදය අවට ඉතා සුළු වපසරියක් තුළ පමණක් වන බැවින් එය අවකාශයෙහි එක් තැනකට යොමු වී ඇතැයි කිව හැකිය. එය කාලයෙහි එක්තැන් වූයේයැයි පවසන්නේ, මනසට මේ මොහොත හැර අන් මොහොතක හැඟීමක් ධ්‍යානය තුළදී ඇති කර ගත නොහැකි බැවින්ය. සුවිශේෂ ලෙස මේ මොහොත හැර වෙන කිසිවක් නැත්තා සේ කාලය පිළිබඳ සියළුම සංකල්පනා සහමුලින්ම මනසින් ඉවත්වී ඇත. එමෙන්ම, එය සංසිද්ධීන් හෝ ප්‍රපංචයන් අතර එක්තැන් වූයේයැයි නොපවසන්නේ, තමාගේ භෞතික ශරීරය හා පංචේන්ද්‍රියන් මගින් මවන ලෝකය සමග මොනයම් ආකාරයකින්වත් ගනුදෙනුවක් ඇති කර නොගනිමින්, ඒවා සහමුලින්ම අත්හැර දමා, දැනුවත්ව සිටින්නේ ප්‍රීතිසුඛය නමැති මානසික අරමුණ ගැන පමණක් වන බැවින්ය.

ධ්‍යානවලදී පමණක් අත්විඳිය හැකි, අවකාශය තුළ එක්තැන්වීම මගින් ජනිතකරන්නා වූ අත්විඳීම අසාමාන්‍යය. එය ඉහතදී විස්තරාත්මකව පහදා දුන් ද්විත්යකින් තොර විඤ්ඤානයක්ය. කෙනෙක්, එකම දෘෂ්ඨිකෝණයකින්, කාලයකින් සීමා නොවූ කාල පරි‌ච්ඡෙදයක් තුළ එකම එක දෙයක් පිළිබඳව දැනුවත්ව හිඳීමේ, ද්විත්වයකින් තොර විඤ්ඤානය මගින් පෙන්නුම් කරන්නේ ධ්‍යානයක් තුළ පවතින සැබෑ තත්ත්වයයි. එක් දෙයක් මත බලවත් ලෙස විඤ්ඤානය පිහිටුවා ගැනීම නිසා කෙනෙකු සතු යථාදර්ශය කිරීමේ හැකියාව තාවකාලිකව ඇණහිට ඇත. ධ්‍යානයෙන් මිදීමෙන් පසු කෙමෙන් කෙමෙන් ඒකාග්‍රතාවය තුනී වී ගියකල, යථාදර්ශය නැවත මතුවීමෙන් ප්‍රථම ධ්‍යානයෙහි ගුණාංගයන් හඳුනා ගැනීමටත් ඒවා හරියාකාරව අවබෝධකර ගැනීමටත් අවකාශ ලැබෙන්නේය.

කාලයෙහි එක්තැන්වීම මගින් ඇති කෙරෙන ප්‍රථම ධ්‍යානයෙහි අසාමාන්‍ය ස්ථාවරත්වය හේතු කොටගෙන ඉතා දිගු කාලයක් ආයාසයකින් තොරව කෙනෙකුට එතුළ රැඳී සිටීමට හැකිය. කාලය පිළිබඳ සංකල්පයන් රඳාපවතින්නේ අතීතයේ සිට වර්තමානයට හෝ වර්තමානයේ සිට අතීතයට යනුවෙන් කාල පරි‌ච්ඡේදයන් මැනීමට යාම නිසාය. ප්‍රථම ධ්‍යානය තුළදී අපිට හැඟීමක් ඇතිකරගත හැකි වන්නේ ඒකාන්ත වශයෙන්ම මේ මොහොත පිළිබඳව පමණක් වන බැවින් එතුළදී කාලය මැනීමට අවකාශයක් නැත. සෑම පරතරයක්ම පියවී ඇත. ඒ වෙනුවට එතැන ඇත්තේ නොවෙනස්ව පවතින කාලයකින් කොටු නොවූ බවක හැඟීමක්ය.

පළමුවැනි ධ්‍යානයට සමවැදී සිටින කාලය පුරාම, විශ්වාස කළ නොහැකි අන්දමින්, ප්‍රමෝදයෙන් ප්‍රමෝදයට පත්වෙමින්, එය දිගින්දිගටම භුක්ති විඳීමට හැකිවීම ප්‍රපංචයන් අතරේ ඒකාග්‍රතාවයට පත්වීම මගින් ඇතිකෙරෙන අතිවිශේෂ සංසිද්ධියක්ය. එමනිසා ප්‍රථම ධ්‍යානය, විවේකීව විසීමට ඉතා සුදුසු නැවතුම් පොළක්ය. ධ්‍යානය තුළ අත්විඳින බලගතු නිහඬතාවයට හේතුභූතවන්නේ ප්‍රපංචයන් අතරේ උදාකරගත් මේ ඒකාග්‍රතාවයයි.

එහෙයින් ප්‍රථම ධ්‍යානයේ ඒකාග්‍රතාවය ඇසුරින් කෙනෙක් අත්විඳිනු ලබන්නේ ද්විත්වයකින් තොර විඤ්ඤානය, සීමාන්තික නොවූ කාලය සහ ආයාසයකින් තොර නිහැඬියාවය.

ශාස්ත්‍රීය භාවිතයට අනුව පාළි භාෂාවේ ඒකාග්‍රතා යන්නෙන් අදහස් කරන්නේ “එක්-මුදුනක්-ඇති” යන සමූහ වචනයෙන් දැක්වෙන අර්ථයයි. අග්ග යන මැද වචනයට (සංස්කෘතයෙන් අග්‍ර) කන්දක මුදුන, අත්දැකීමක උච්චම අවස්ථාව හෝ පළාතක අගනුවර (පැරණි ඉන්දීය මෝගල් අධිරාජ්‍යයේ අගනුවර අග්‍රා) යන තේරුම් ඇත. එහෙයින් එය “එක-මොනයම් හෝ මුදුනක්-ඇති” යන පටු අර්ථයට වඩා, උදාර දෙයක් මත ඉහළින්ම පවත්වා ගන්නා ඒකීය අවධානයක් ඉන් අදහස් කෙරේ. ප්‍රථම ධ්‍යානයේ ඒකාග්‍රාතාවය මගින් අවධානය යොමුකරගෙන සිටින අති උත්කෘෂ්ඨ මස්ථකය අනෙකක් නොව ප්‍රීතිසුඛය ගෙන දෙන අති උදාර ප්‍රීති ප්‍රමෝදයයි.

ප්‍රීතිය හා සුඛය (ප්‍රීතිසුඛ)

සැබෙවින්ම ප්‍රථම ධ්‍යානයේ අවසාන ධ්‍යානාංග දෙක ප්‍රීතිය හා සුඛයයි. මෙතැනදී මා, එම යුගලය ගැන එකවර සාකච්ඡා කරන්නේ ඒවා ඉතා ළඟින් එකිනෙක හා සම්බන්ධව පවතින නිසාය. ඇත්තවශයෙන්ම ඒවා වෙන්වන්නේ ප්‍රීතිය අත්හැර සුඛය පමණක් තනිකර ගනිමින් තුන්වෙනි ධ්‍යානයට සැපත් වූ විටය. එම නිසා කෙනෙක් නියත වශයෙන්ම, මේ ප්‍රීතියය, මේ සුඛයය යනුවෙන් වෙන්වෙන් වශයෙන් ඒවා හඳුනාගන්නේ තුනවෙනි ධ්‍යානයට සමවැදීමෙන් පසුවය. මෙතැනදී එම යුගලය එකක් ලෙස සලකා විස්තර කරදීම ප්‍රමාණවත්ය. ප්‍රථම ධ්‍යානයේදී මූලික වශයෙන් අත්විඳින්නාවූද, අවධානය ඒකරාශි කරගෙන සිටින්නාවූද ප්‍රීති ප්‍රමෝදය, ප්‍රථම ධ්‍යානයේ අවසාන ධ්‍යානාංග දෙකින් පෙන්නුම් කර සිටී. ප්‍රථම ධ්‍යානයෙන් නැගී සිට එම අත්දැකීම මෙනෙහි කර බලද්දී කෙනෙක් මුලින්ම හඳුනාගන්නේ මෙහි බලගතුම අංගය වන ප්‍රීතිසුඛයයි. බෞද්ධාගම හැර වෙනත් යෝගී සම්ප්‍රදා අනුගාමිකයින් ප්‍රථම ධ්‍යානයේදී අත්විඳින්නාවූ හුදු අප්‍රමාණ්‍යය, අනාත්මීය, නිසංසල, අති උත්කෘෂ්ඨ, විඳිය හැකි අවසාන අත්දැකීමයයි කිව හැකි, ලෞකීකත්වයෙන් බැහැරවූ, අති පිරිසිදු ප්‍රීති ප්‍රමෝදයෙන් කෙතෙක් දුරට වශීභාවයට පත්වන්නේදැයි පවසනවා නම් එය සමාලෝචනය කර බැලීමෙන් පසු, ඉතිහාසය පුරාම ඔවුන් සඳහන් කර සිටින්නේ එම අත්දැකීම, “දෙවියන් සමග එක්වීමක්” ලෙසටය. ඒ කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ මෙය ලෝකෝත්තර ප්‍රීති ප්‍රමෝදයේ එක් ස්වරූපයක් පමණක් බවය. මීටත් වඩා අති උත්කෘෂ්ඨ වූ ප්‍රීති ප්‍රමෝදයේ ස්වරූපයන් තවත් ඇති බවය! බෞද්ධාගමට අනුව ධ්‍යානයක් අත්විඳිද්දී, නොයෙකුත් මට්ටමේ ලෝකෝත්තර ප්‍රීති ප්‍රමෝදයන් ඇති බව කෙනෙක් වටහා ගනී. ප්‍රථම ධ්‍යානය ඒවායින් පළමුවැන්නය. එසේ වූවත්, ප්‍රථම ධ්‍යානයට සමවැදීමෙන් පසු, මීටත් වඩා ප්‍රීති ප්‍රමෝදයක් තවත් ඇත්දැයි උපකල්පනය කළ නොහැකි වූවත්, තවත් බොහෝ ඇත.

අසීමිත ප්‍රීති ප්‍රමෝදයේ මෙම විවිධාකාර මට්ටම්වලට ආවේනික වූ විවිධ රසාස්වාදයන් ඇත්තා සේම ඒවා වෙන්කොට හඳුනාගත හැකි ගතිලක්ෂණ ද ඇත. මෙතැනදී ඒ ඒ රසාස්වාදයන්ගේ ගුණාත්මක භාවයන් පැහැදිලි කරදිය හැකිවන්නේ එම ප්‍රීති ප්‍රමෝද උදාකරදීම සඳහා ආධාරවූ හේතුසාධකයන් මගින්ය. හිරු එළියෙන් දැනෙන උණුසුමට වඩා වෙනත් ගතිලක්ෂණ දර ගින්නක් උපදවන උණුසුමෙහි ඇත. එමෙන්ම උදුනකින් පිටවන තාපයෙහි ඇති ‘රසය’ ඊටම ආවේනිකවූ ගුණාංගයන්ගෙන් යුක්තය. මෙයාකාරයෙන්ම විවිධ හේතුසාධක මගින් ජනිත කරනු ලබන ප්‍රීති ප්‍රමෝදයද, වෙන්කොට හඳුනා ගත හැකි ගතිලක්ෂණයන්ගෙන් හොඹනේය.

පංචේද්‍රිය ක්‍රියාකාරකම් නතරවීමෙන් බලගැන්වෙන ප්‍රීති ප්‍රමෝදය, ප්‍රථම ධ්‍යානයෙහි කැපී පෙනෙන අංගලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකිය. පංච ඉන්ද්‍රියන්ගේ දොරටු වැසීයාමෙන් පසු, සිතිවිලි ලෙස විද්‍යාමාන වන ඒවායේ දෝංකාරයද නතර වන බැවින්, කෙනෙක් ශරීරය සහ භෞතික වස්තූන්ගෙන් සැදුම්ලත් ලෝකය (කාම ලෝක) හැරපියා පිරිසිදු මනසින් යුත් ලෝකයට (රූප ලෝක) සැපත් වන්නේය. එවිට ඇතිවන්නේ මහත් බරකින් මිදුනා හා සමාන හැඟීමක්ය. අජාන් චා හිමිපාණන් මෙය විස්තර කරන්නේ, මතක ඇති කාලයේ සිට තම ගෙල වටා තදින් ඔතන ලද කඹයකින් ගෙන දෙන පීඩනයට සමාන වූවක් ලෙසටය. කොතෙක් කල් එය විඳ දරාගෙන සිටියේදැයි පවසනවා නම් එමඟින් ගෙන දෙන වේදනාව නොදැනෙන තරමට අප එයට හුරුවී ඇත. යම් ආකාරයකින්, හදිසියේම එම කඹය ගිලිහී, දැණුනු තදගතිය දැන් පහව ගොස් ඇත. කෙනෙකුට දැනෙන ප්‍රීතිය, අධික පීඩනයකින් මිදීමෙන් ලැබෙන වින්දනයට සමානය! මේ ආකාරයටම, ප්‍රථම ධ්‍යානයේදී දැනෙන ප්‍රීති ප්‍රමෝදයට හේතුවන්නේ “තදින් බැඳි රැහැන” බුරුල් වීමය, එනම් ලෝකය ලෙස තදින් දරා සිටි දේවල් ලිහිල්වී යාමය. ප්‍රථම ධ්‍යානයෙහි ප්‍රීති ප්‍රමෝදයට හේතුවන කරුණු පිළිබඳව ලබාගන්නා මෙම විදසුන් නුවණ, දුක්ඛය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම සඳහා පදනම වන්නේය.

ප්‍රථම ධ්‍යානය – සාරාංශය

සාරාංශ වශයෙන් ප්‍රථම ධ්‍යානය වෙන්කොට හඳුනාගන්නා ධ්‍යානාංග පහ මෙහිදී තුනකට සම්පිංඩනය කොට දක්වමි.

1+2. විතක්ත-විචාර : සැලීමක් ලෙස අත්විඳින්නාවූ ප්‍රීති ප්‍රමෝදයෙන්, ඉවතට හා ඇතුළට, ඉතා සියුම් ලෙස සිදුවන චලනය.

  1. ඒකාග්ගතා : ද්විත්වයකින් තොර, කාලය පිළිබඳ හැඟීමක් ඇති කරගත නොහැකි, උපශාන්ත අත්විඳීම.

4+5. ප්‍රීතිසුඛ : භෞතික ලෝකයේ විඳි සෑම අත්විඳීමක්ම පරයා යන අති උත්කෘෂ්ඨ ප්‍රීති ප්‍රමෝදය. පවිත්‍ර ‘මනස’ අත්විඳීමට හැකි, මෙම ලෝකයට පිවිසෙන්නේ තමන් මෙතෙක් දැනසිටි භෞතික ලෝකය අභිබවා යාමෙන්ය.

දෙවෙනි ධ්‍යානය

සැලීම සංසිඳවීම.

ප්‍රථම ධ්‍යානය පැහැදිලි කිරීමේදී එහි අංගයක්වූ සැලීමට හේතුවන්නේ විතක්ක-විචාර බව මම ඉහත සඳහන් කළෙමි. විචාර යනු සිහිකල්පනාව ප්‍රීති ප්‍රමෝදයෙන් ඈත්වීමට මගපාදන අනුදැනීමකින් තොරව සිදුවන ප්‍රීති ප්‍රමෝදය ග්‍රහණය කර ගැනීමය. විතක්ක යනු ප්‍රීති ප්‍රමෝදය වෙත ස්වයංක්‍රීයව මනස නැවත ආපසු පැමිණීමය.

ප්‍රථම ධ්‍යානය ගැඹුරු වනවිට, සැලීම ක්‍රමක්‍රමයෙන් හීනවී ප්‍රීති ප්‍රමෝදය වඩවඩාත් තහවුරු වෙයි. විචාරය මගින් ඉතා සියුම් අන්දමින් ප්‍රීති ප්‍රමෝදය ග්‍රහණය කරගෙන සිටියත්, ප්‍රීති ප්‍රමෝදයෙහි ස්ථිරත්වයට බලපෑමක් කිරීමට තරම් දැන් එය ප්‍රමාණවත් නොවේ. විචාරය නිසා ප්‍රීති ප්‍රමෝදයෙහි අඩුවීමක් සිදු නොවන නිසා දැනගත හැකි අන්දමින් සිහිකල්පනාව මූලාශ්‍රයෙන් ඈත්වන්නේ නැත. ප්‍රීති ප්‍රමෝදයේ ඇති බලගතුකම නිසාම විචාරයෙන් දැන් එයට බලපෑමක් සිදු නොවේ. සුළුවශයෙන් විචාරය තවමත් ක්‍රියාත්මකව පැවතියත් තවදුරටත් එමගින් විතක්කය ඇති නොකෙරේ, එනම් ප්‍රීති ප්‍රමෝදයේ ප්‍රභවය වෙත මනසෙහි ඇදී ඒමක් දැන් සිදු නොවේ. සැලීම අවසන් වී ඇත. විතක්කය මගහැරී ගොස් විචාරය මඳ වශයෙන් පවතින, සූත්‍රවල සඳහන් (දි. නි. 33, 1.10.50; අ. නි. 8 බැගින්, 63) ධ්‍යාන තත්ත්වය මෙයයි. මෙය ප්‍රථම ධ්‍යානයට වඩා දෙවෙනි ධ්‍යානයට වඩාත් සමීපවන බැවින් එම තත්ත්වය බොහෝ විට දෙවෙනි ධ්‍යානයටම ඇතුළත් කළ හැකිය.

ප්‍රීති ප්‍රමෝදයේ බලගතුකම නිත්‍ය ස්ථාවරත්වයකට වර්ධනය වීමත් සමග විචාරය මගින් කෙරෙන ග්‍රහණය අර්ථශූන්‍ය ස්වභාවයකට පත්වේ. මේ අවධියේදී, මනස සම්පූර්ණ ආත්ම විශ්වාසය තහවුරු කරගත් විට එය ග්‍රහණය සම්පූර්ණ වශයෙන් අත්හැර දමයි. ප්‍රීති ප්‍රමෝදයෙහි ස්ථාවරත්වය පිළිබඳ ඇතුළතින් විශ්වාසය තහවුරු වීමත් සමගම කෙරෙන මෙම අවසාන අත්හැරීම නිසා විචාරය අතුරුදහන්වී කෙනෙක් නිත්‍ය වශයෙන්ම දෙවෙනි ධ්‍යානයට සැපත්වේ.

සූත්‍රවල, දෙවෙනි ධ්‍යානය හඳුන්වා දීම සඳහා යොදාගන්නා එහි පළමුවෙනි ධ්‍යානාංගය ලෙස දැක්වෙන “අවිතක්කං අවිචාරං” යන්නෙන් අදහස් කරන්නේ විතක්කය හා විචාරය නැත යන්නය. අත්දැකීමක් වශයෙන් එහි අදහස මනසෙහි සැලීමක් නැති බවය. “අජ්ජත්තං සම්පසාදනං” නමින් හැඳින්වෙන දෙවෙනි ධ්‍යානාංගයෙහි අදහස “(ආත්ම විශ්වාසය පිළිබඳ) අභ්‍යන්තර නිසැකභාවයයි.” අත්දැකීමක් වශයෙන් එයින් අදහස් කරන්නේ විචාරය ඉවත්ව යාමට ආධාර වූ ප්‍රීති ප්‍රමෝදයේ ස්ථාවරත්වය පිළිබඳ නොසැලෙන ආත්ම විශ්වාසයක් සිතෙහි හටගෙන ඇතැයි යන්නය.

මනසෙහි පරිපූර්ණ ඒකිග්‍රතාවය (චේතසෝ ඒකෝදිභාවං).

දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානාංගයවූ චේතසෝ ඒකෝදිභාවං යන්නෙන් අදහස් කරන්නේ මනසෙහි පරිපූර්ණ ඒකාග්‍රතාවයයි. දෙවෙනි ධ්‍යානය අත්විඳීමේදී කැපීපෙනෙන ගුණාංගය වන්නේ ඒකාන්තවශයෙන්ම පරිපූර්ණවූ මනසෙහි ඒකාග්‍රතාවයයි. තවදුරටත් මනසෙහි සැලීමක් නොපවතින විට එය නොසැලෙන පර්වතයක් මෙන්ය, කන්දකටත් වඩා සෙලවීමට අපහසුය, දියමන්තියකටත් වඩා දැඩිය. කිසිම බලපෑමක් කළ නොහැකි, අනම්‍ය නිසලතාවයෙහි පරිපූර්ණත්වය ඇදහිය නොහැකිය. අංශුමාත්‍රයක හෝ සැලීමක් නොමැතිව මනස ප්‍රීති ප්‍රමෝදයෙහි ගිලී සිටී. මෙය, සමාධිය ලෙස හඳුන්වන මානසික ගුණාංගයෙහි පරිපූර්ණත්වය බව ධ්‍යානයෙන් ඉවත්වූ පසු හඳුනා ගනී.

සමාධිය යනු අවධානය පවත්වා ගැනීමේ මානසික ගුණාංගයයි. දෙවෙනි ධ්‍යානය තුළදී මෙම අවධානය අරමුණ වෙත පවත්වාගෙන සිටින්නේ මොනයම් අන්දමකවත් සැලීමක් නොමැතිවය. ඉතා සුළු වශයෙන් දෝලනය වීමක්ද එතැන නැත. කෙනෙක් ගල්වී ඇත, අයිස් කුට්ටියක් මෙන් ඝනවී ඇත. ‘සුපර් ග්ලූ’ වැනි මැලියමකින් අලවා තැබුවාක් මෙන්ය, අඩුතරමින් වෙව්ලීමටවත් හැකියාවත් නැත. මොනයම් හෝ කැලැත්තීමක් නොමැත්තේය. මනසෙහි මීටත් වඩා ප්‍රබල නිහැඬියාවක් තවත් නැත. මෙය පරිපූර්ණ සමාධියයි. මෙම ධ්‍යානාංගය දෙවෙනි ධ්‍යානයට පමණක් නොව ඊට ඉහළ ධ්‍යානයන්ටද අයත් ගුණාංගයක්ය.

සමාධියෙන් ජනිතවන ප්‍රීති ප්‍රමෝදය (සමාධිජං ප්‍රීතිසුඛං).

දෙවෙනි ධ්‍යානයේදී ප්‍රීති ප්‍රමෝදය ලබාදෙන ඊටම ආවේනිකවූ රසයට හේතුවන්නේ මෙම පරිපූර්ණ සමාධියයි. සැලීම හේතුකොට ගෙන පළමුවෙනි ධ්‍යායෙහි පැවති හිරිහැරය දෙවෙනි ධ්‍යානයේදී අත්හැරී යයි. දැනහිඳිනා දේ ඇතුළු සෑම දෙයක්ම දෙවෙනි ධ්‍යානය තුළදී පරිපූර්ණ නිසලතාවයකට පත්වේ. මනසෙහි සැලීම මගින් ඇතිකළ මානසික හිරිහැරය ඉවත් කිරීමට මූලික වූයේ සමාධියේ පරිපූර්ණත්වයයි. නිර්මල සමාධියෙන් පුබුදුවාලන බලගතු ප්‍රීති ප්‍රමෝදය එමගින් අනාවරණය වෙයි. දෙවෙනි ධ්‍යානයෙහි පවතින ප්‍රීතිසුඛය සූත්‍රවල (දි. නි. 9, 11) හඳුන්වන්නේ සමාධිය මගින් ජනිතවන ප්‍රීතිසුඛය ලෙසින්ය. මෙම ප්‍රීති ප්‍රමෝදය කෙතරම් බලවත්ද යැයි පවසනවා නම් එය පංචේන්ද්‍රියයන් අභිබවා යාමෙන් හටගත් ප්‍රීති ප්‍රමෝදයටත් වඩා සුවදායකය! මෙය කෙනෙක් බලාපොරොත්තු නොවන අන්දමේ ප්‍රීති ප්‍රමෝදයක්ය. ඔබ සිතාසිටියාට වඩා සහමුලින්ම වෙනස් වූවක්ය. දෙවෙනි ධ්‍යානය අත්විඳීමෙන් පසු දුර්ලභ ගනයේ ලෝකෝත්තර ප්‍රීති ප්‍රමෝදයක රසය උපරිම මට්ටමින් විඳගැනීමෙන් පසු කෙනෙක් තුළ කුතුහලයක් ඇතිවන්නේ ඉදිරියේදී අත්විඳිය හැකි ප්‍රීති ප්‍රමෝදයේ අනෙකුත් ප්‍රභේදයන් කිනම් ආකාර විය හැකිද යන්නය. ප්‍රීති ප්‍රමෝදයට කෙළවරක් ඇත්දැයි යන ප්‍රහේලිකාවද කෙනෙක් තුළ මතු වේ.

ක්‍රියාකාරකම් සියල්ලකගේම අවසානය.

දෙවෙනි ධ්‍යානය තුළදී ක්‍රියාකාරකම් සියල්ලක්ම ඇණහිටීම එහි තවත් කැපීපෙනෙන අංගලක්ෂණයක් ලෙස දැක්විය හැකිය. සැලීමට හේතුවූ අනුදැනීමක් නොමැතිව සිදුවූ “ක්‍රියාවද” දැන් සම්පූර්ණයෙන්ම නතරවී ඇත. “කරන්නා” මිය ගොසින්ය. කෙනෙක් දෙවෙනි ධ්‍යාන අත්දැකීම් ලබා ඇත්තේ නම් පමණක් “කරන්නා” යන යෙදුමෙහි සැබෑ අර්ථය සම්පූර්ණයෙන්ම වටහා ගනී. ඉස්ගෙඩියන් “වතුර” යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි හරියාකාරව වටහා ගන්නේ, මැඬියෙක් ලෙස මුල්වරට දියෙන් ගොඩටවිත් ගොඩබිම කුමක්දැයි අත්විඳීමත් සමගය, නැතහොත් “වතුර” මියගිය විටය. දෙවෙනි ධ්‍යානය තුළදී “කරන්නා” අතුරුදහන්වී ඇත. තවදුරටත් එය නැත. ඉතිරිව ඇත්තේ නිහඬතාවය පමණක්ය. එපමණක් නොව කෙනෙකුගේ “සදාතනික පුද්ගල” සංඥාවේ අත්‍යවශ්‍ය කොටසක් සේ පැහැදිලිවම දක්නට තිබූ “කරන්නා”, පැවැත්මෙන් දැන් මැකී ගොස් ඇත. දැන් ඉතාමත් පැහැදිලිව දකින්නට තිබෙන දෙයක්, පසුවදී එය මිරිඟුවක්, මුලාවීමක් ලෙස හඳුනාගත් වාර කෙතෙක්ද! දෙවෙනි ධ්‍යානයට සමවැදීමෙන් පසු “කරන්නා” තම ආත්මය ලෙස සලකාගෙන සිටි මිත්‍යාව හෙළිදරව් කරගැනීමට හැකිවන්නේය. අළුත් අතදැකීමෙන් ලබාගන්නා තොරතුරු වලට අනුව චේතනා මායාවක් බව නිගමනය කර ගැකීමට කෙනෙකු හැකියාව ලබා ගනී. “කිරීමෙන් තොර පැවැත්මක් නැත” යන නිගමනයට එලැඹි දාර්ශනිකයාට දෙවෙනි ධ්‍යාන මට්ටමේ මානසිකත්වයක් පිළිබඳ දැනීමක් නොතිබූ බවට සැකයක් නැත. දෙවෙනි ධ්‍යානය තුළ “පැවැත්මක්” ඇති බව දැනුවත්කම තුළින් දැන සිටියත් එතැන “කිරීමක්” නම් නැත. මේ ධ්‍යාන අතදැකීම් අද්භූතය. ඒවා සාමාන්‍ය අත්දැකීම් වලට වඩා හාත්පසින්ම විරුද්ධය. නමුත් ඒවා තාත්විකය, අප දන්නා ලෝකයට වඩා තාත්විකය. ඒ හැරෙන්නට අනාත්මයේ සැබෑ තතු ඔබට අනාවරණය කර දෙනු ලබන්නේ දෙවෙනි ධ්‍යානය සහ ඉහළ ධ්‍යානයන්ය.

දෙවෙනි ධ්‍යානයේ සාරාංශය

එකට ගොනු කළ අංග ලක්ෂණ හතරක් මගින් දෙවෙනි ධ්‍යානය වෙන්කොට හඳුනා ගැනීමට හැකිය:

1+2. විතක්ත-විචාර, අජ්ජත්තං සම්පසාදනං: ප්‍රීති ප්‍රමෝදයේ ස්ථාවරත්වය පිළිබඳව ඇතුළතින් විශ්වාසය ගොඩනගා ගැනීමත් සමග පළමුවෙනි ධ්‍යානයේ “සැලීම” පහව යාමෙන් ලබාගන්නා අත්දැකීමක්ය.

  1. චේතසෝ ඒකෝදිභාවං: ප්‍රීති ප්‍රමෝදය මත සම්පූර්ණ විශ්වාසය ඇතිවීමෙන් මනසෙහි හටගන්නා පරිපූර්ණ ඒකාග්‍රතාවයයි. සාමාන්‍ය වශයෙන් පර්වතයක් වැනි නිසලතාවයකින් යුත් අත්විඳීමක්ය. තාවකාලිකව “කරන්නාගේ මරණයයි”, නැතහොත් සමාධියේ පරිපූර්ණත්වයයි.
  2. සමාධිජං ප්‍රීතිසුඛං: මනසෙහි සෑම සෙලවීමක්ම අවසානවීමෙන් ජනිතවන්නාවූ ලෝකෝත්තර ප්‍රමෝදය, මෙම ධ්‍යානයේදී අවධානය යොමුවී ඇති එකම දෙයය.
  3. ක්‍රියාකාරකම් සියලේම අවසානය: “කරන්නා” සම්පූර්ණ වශයෙන්ම අතුරුදහන්වී ඇතිබව ප්‍රථම වරට කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගනී.

තුන්වෙනි ධ්‍යානය

දැනුවත්බවේ නිසලතාවය, නැතහොත් සමාධිය, බොහෝ කාලයක් තුළ ස්ථාවරව පවත්වා ගැනීමෙන් එම දැනුවත්බවේ නිසලතාවය තවතවත් වර්ධනයවී එය ඉතාමත් බලගතු වේ. ධ්‍යානයක් තුළදී දැනහිඳින්නේ කුමක්ද? ඒ මනසේ ඡායාවයි, නැතහොත් චිත්තයයි. දැනුවත්බව මනසයි, නැතිනම් දැනුවත්ව සිටින්නේ මනසයි. වෙනත් අයුරකින් පවසනවා නම්, දැනුවත්බවේ ඡායාව, ධ්‍යානයක් තුළදී, දැනුවත් බව දැනහිඳී. පළමුව, දැනුවත් බව නිසංසල වේ. ඉන්පසු එහි ඡායාව, දැනහිඳිනා දේ, ක්‍රමක්‍රමයෙන් නිසංසල වේ.

පළමු හා දෙවෙනි ධ්‍යානවලදී, මනසෙහි ඡායාව ලෙස හඳුනාගත්තේ, මේ වනතුරු ප්‍රීතිසුඛය ලෙස හඳුන්වා දුන් අසීමිත ප්‍රීති ප්‍රමෝදයයි. තුන්වෙනි ධ්‍යානයේදී, මනසෙහි ඡායාව, නිසංසලත්වයේ ඊළඟ අවධියට ගොස්, මීට ඉහතදී කෙනෙක් අත්විඳ නැති අන්දමේ, අතිශයින්ම වෙනස් ආකාරයක ප්‍රීති ප්‍රමෝදයක් ලබා දෙයි.

ප්‍රීතිය අතුරුදහන් වෙයි.

තුන්වෙනි ධ්‍යානයට පෙර, සෑම ප්‍රීති ප්‍රමෝදයකටම ආවේනිකවූ පොදු ගුණයක් විය. ඒ අතරම ඒවා ජනිත කරවීමට හේතුභූතවූ විවිධ හේතූන් කරනකොට ‌ෙගන ඒවා ලබාදුන් “රසයෙහි” ද විවිධත්වයක් විය. ඒ පොදුවූ දෙය ප්‍රීතිය හා සුඛයේ ඒකාබද්ධතාවයයි. ඒවා හැමවිටම එක්ව, දෙබිඩි නිවුන් දරුවන් මෙන් වෙන් කළ නොහැකි අන්දමින් පැවති බැවින්, ඒවා වෙන්කොට විස්තර කරදීම කළ නොහැකි දෙයක් වූවක් මෙන්ම, එසේ කිරීමෙහිද හරයක් නොවීය. ධ්‍යාන තුළදී මේ දක්වා විඳි සෑම ප්‍රීති ප්‍රමෝදයකටම පොදු රසයක් ලබා දුන්නේ මේ සබැඳියාවය. දැන්, තුන්වෙනි ධ්‍යානයේදී, සුඛය ඉතිරි කරමින් ප්‍රීතිය හැර යන නිසා, මෙහිදී උදාවන්නේ අමුතුම මාදිලියේ ප්‍රීතිප්‍රමෝද විශේෂයක්ය.

තුන්වෙනි ධ්‍යානය අත්විඳීමෙන් පසුවදී පමණක්, සුඛය මේයයි කෙනෙකුට හඳුනාගත හැකිවන්නේ, පෙර පැවති ප්‍රීතිය මේ ආකාර වීයයි කෙනෙකුට එම අවස්ථාවේදී නිගමනයකට එළඹිය හැකි බැවින්ය. “පීඩාකාරී” යන වචනය දෙවෙනි ධ්‍යාන වතාවරණයට සාපේක්ෂව ගත්කල පමණක්, ප්‍රීතිය, ප්‍රීති ප්‍රමෝදයේ පීඩාකාරී කොටස ලෙස පෙනී යන්නේ යයි පැවසිය හැකිය. සුඛය, ප්‍රීති ප්‍රමෝදයේ, වඩාත්ම සියුම් පිරිසිදු කොටසය. තුන්වෙනි ධ්‍යානයේදී සිදුවන්නේ, දෙවෙනි ධ්‍යානයේදී අත්විඳි ප්‍රීති ප්‍රමෝදය තවදුරටත් පිරිපහදුවී, එයින් ප්‍රීතිය නමැති තද කොටස ඉවත්වී, සුඛය නමැති මුදුමොළොක් කොටස පමණත් ඉතිරි වීමය.

අධිබලැති සිහිකල්පනාව, පැහැදිලි දැනුවත්කම හා උපේක්ෂාව.

සෑම ධ්‍යානයකදීම මෙන්ම මෙහිදීද ධ්‍යාන අත්දැකීම විස්තර කරදීම කළ නොහැකි දෙයක්ය. කෙසේ වෙතත්, ධ්‍යානවල ඉහළට යාමත් සමග, ඒවායෙන් ලබන අත්විඳීමද එතරමටම ගැඹුරුවන නිසා ඒවා වචනවලින් පැවසිය නොහැකිය. මෙම අවධීන් සහ ඒවා තේරුම්ගත හැකි භාෂාව ලෞකික මට්ටමින් බොහෝ දුරස්තරය. හැකි අයුරින් පවසනවා නම්, තුන්වෙනි ධ්‍යානයේදී අත්විඳින්නාවූ සුඛයෙහි බලවත් ලෙස දැනෙන සැහැල්ලු බවක්, නිහඬතාවයක් සහ ශාන්ත බවක් ඇත. ඒහා කැටිවී පවතින තවත් ගුණාංග ලෙස සිහිකල්පනාව (සති), පැහැදිලි දැනුවත්කම (සම්පජඤ්ඤ) හා උපේක්ෂාව (උපේක්ඛා) සූත්‍රවල දක්වා ඇතත්, මෙම ගුණාංගයන් අනෙකුත් ධ්‍යාන තුළද පවතින බව අනුපාද සූත්‍රයෙහි (ම. නි. 111) සඳහන් වේ. මේවා තුන්වෙනි ධ්‍යානයෙහි පවතින ගුණාංගයක් ලෙස සූත්‍රවල අවධාරණය කර සිටීමට හේතුව, තුන්වෙනි ධ්‍යානයේදී කෙනෙක් තුළ පවතින අසාමාන්‍ය සිහිකල්පනාවත්, ඉතා පැහැදිලි දැනුවත්කමත්, (උපේක්ෂාවේ මූලික අදහස ලෙස දැක්විය හැකි) මනසෙහි කිසිම සෙලවීමක් නොමැතිව දිගින්දිගමට බලාහිඳීමේ හැකියාවත් නිසා විය හැකි බව කෙනෙකුට අනුමාන කළ හැකිය.

ඉහත සඳහන් කළ ගල්කුලක් වැනි නිසලතාවය හා කරන්නෙක් නැතිවීම.

ගල්කුලක් වැනි නිසලතාවය, කරන්නා ඉවත්ව සිටීම හා පංචේන්ද්‍රියන්ගේ ලෝකයට නතු නොවී සිටීමට ඇති හැකියාව තුන්වෙනි ධ්‍යානය තුළද පවතී. එසේ වූවත්, එය දෙවෙනි ධ්‍යානයේදී විඳි ප්‍රීති ප්‍රමෝදයෙන් වෙන්කොට හඳුනාගත හැකිවන්නේ, එය ඉහළ නැග ඇති මට්ටමින් හා එය වෙනයම් ආකාරයක ප්‍රීතිප්‍රමෝද විශේෂයක් ලෙස පෙනෙන නිසාය. ඒ කෙසේද යත්, තුන්වෙනි ධ්‍යානය පිළිබඳ රහත්භාවයට පත් උත්තමයින්ගේ අදහස ලෙස සූත්‍රවල දැක්වෙන්නේ “සිහිකල්පනාවෙන් යුතුව ප්‍රීති ප්‍රමෝදයෙහි (තුන්වෙනි ධ්‍යානයට ආවේනික) ගිලී වාසය කරන්නෙකු කරනුයේ, බලාසිටීම පමණකි” යනුවෙන්ය. (උදා. දි. නි. 9.12)

තුන්වෙනි ධ්‍යානයේ සාරාංශය

එහෙයින් තුන්වෙනි ධ්‍යානයෙහි අඩංගු ගුණාංගයන් මේවාය:

  1. ප්‍රීති ප්‍රමෝදයෙහි රළු කොටසවූ ප්‍රීතියෙන් එය ඉවත්වී ඇත.
  2. ප්‍රීති ප්‍රමෝදයෙහි ඉතිරිව ඇති කොටසවූ සුඛය, බලගතු සිහිකල්පනාව, පැහැදිලි දැනුවත්කම හා බලා හිඳිනවා පමණක්ය යන හැඟීම යන ගුණාංගයන් එහි ඇත.
  3. ගල්කුලක් වැනි බලගතු නිහඬතාවය හා කරන්නෙකු නැතිවීම දෙවෙනි ධ්‍යානයේදී මෙන් මෙහිද පවතී.

හතරවෙනි ධ්‍යානය

සුඛය අතුරුදහන් වේ!

දැනහිඳින්නාගේ නිහඬතාවය මගින් දැනහිඳින දේ සංසුන් කෙරෙන විට, මුල් ධ්‍යාන තුනෙහි මූලික ලක්ෂණයවූ ප්‍රීතිප්‍රමෝදය, හතරවෙනි ධ්‍යානයට සම්ප්‍රාප්තවීමේදී වෙනස් ස්වරූපයක් ගනී. එය නොසිතූවිරූ අන්දමින් වෙනස්වන්නේ මෙතැනදීය. සුඛය මුළුමණින්ම නොදැනී යයි. එය අතුරුදහන් වේ. කෙනෙකුට ඉතිරිවන්නේ පරිපූර්ණ නිහඬතාවය අත්විඳින්නාවූ සම්පූර්ණයෙන්ම නිහඬතාවයට පත් දැනහිඳින්නාය.

සාමයේ පරිපූර්ණත්වය.

හතරවෙනි ධ්‍යානයට සාපේක්ෂව ගත්කල, ඉහත ධ්‍යානයන්හිදී අත්විඳී ප්‍රීතිප්‍රමෝදය යනු ඇලීම හේතුකොටගෙන, වඩා බලගතු යමක් ආවරණය කරගෙන එතෙක් ඉවත් නොවී තිබූ, (මානසික අරමුණේ) සුළු සෙලවීමක් බව දැන් පෙනීයන්නේය. ප්‍රීතිප්‍රමෝදය (ප්‍රීතිසුඛ) පහන්වූ කල ඉතිරිවන එකම දෙය හතරවෙනි ධ්‍යානයෙහි සංකේතයවූ බලගතු සාමයයි. මෙතැන කිසිවක් සෙලවෙන්නේ නැත. කිසිවක් බබලන්නේ නැත. ප්‍රීතිය විඳින්නෙක් හෝ අසහනයක් විඳින්නෙක්ද නැත. කෙනෙකුට දැනෙන්නේ මනසේ කේන්ද්‍රයෙහි පවතින අසමසම සමබරතාවයයි. සුලි සුලඟක කේන්ද්‍රයෙහි පවතින නිසලතාවය මෙන්, මනස් ඇසේ කේන්ද්‍රයෙහිද කිසිම සෙලවීමක් නැත. නිහඬතාවයේ පරිපූර්ණතාවය සහ දැනහිඳීමේ පරිපූර්ණතාවය මුල්කොටගත් පරිපූර්ණතාවයක හැඟීමක් මෙතැන ඇත. බුදුරජාණන් වහන්සේ මෙය හඳුන්වා දී ඇත්තේ සිහිකල්පනාවෙහි පරිශුද්ධතාවය හෙවත් බලාසිටීම පමණක් ලෙසය. (උපේක්ඛා සති පරිසුද්ධිං, දි. නි. 9.13)

හතරවෙනි ධ්‍යානයේදී ලබාගන්නා සාමය මෙන් සාමයක් මිහිපිට නැත. එය සාක්ෂාත් කරගැනීමට හැකිවන්නේ මුල් ධ්‍යාන තුන ඹස්සේ ලබාගන්නා අත්දැකීම් මගින්ය. කෙනෙක් අත්විඳි එම නොසෙල්වෙන සාමය අන්කිසිවක් නොව හතරවෙනි ධ්‍යාන අත්දැකීම බව කෙනෙක් තහවුරු කරගන්නේ එම ගමන් මාර්ගය ඹස්සේ යාමෙන් පමණක්ය. එපමණක් නොව, හතරවෙනි ධ්‍යානයෙහි පවතින බලගතු නිසලතාවය කොතෙක්දැයි පවසනවා නම් පැය බොහෝ ගණනාවක් කෙනෙක් එම තලයෙහි රැඳී සිටිනු ඇත. ඊට අඩු කාලසීමාවක් තුළ හතරවෙනි ධ්‍යානය අත්විඳීම කෙනෙකුට කිසිසේත්ම කළ නොහැකි දෙයක්ය.

හතරවෙනි ධ්‍යානය තුළදී පරිශුද්ධ සාමය පමණක් ඉතිරි කරමින් ප්‍රීතිය හා සුඛය අත්හැරී තිබුණත් පසුවදී එම අත්විඳීම සමාලෝචනයට ලක්කිරීමෙන් අනතුරුව කෙනෙක් වටහාගන්නේ එම සුවය අති ශ්‍රේෂ්ඨ ලයාන්විත හැඟීමක් ලෙසය. ප්‍රීතිප්‍රමෝදය ඉවත්වී තිබුණත්, හතරවෙනි ධ්‍යානයෙහි විඳි පරිපූර්ණ සාමය කෙනෙකුට හැඟෙන්නේ මෙතෙක් විඳි ඉස්තරම්ම ප්‍රීතිප්‍රමෝදය ලෙසටය. එය, මීටත් වඩා ප්‍රමෝදයක් නැතිවීමෙන් ජනිතවන ප්‍රමෝදයයි! එය, ව්‍යක්තබවක් කියාපෑමට හෝ ගුප්තබවක් ඇඟවීමට වචන එහාට මෙහාට හැරවීමෙන් කරන අතිශයෝක්තියක් නොවේ. ඒ එහි ස්වභාවයයි.

හතරවෙනි ධ්‍යානයේ සාරාංශය

පහත දැක්වෙන ගුණාංග හතරවෙනි ධ්‍යානයෙහි ඇත.

  1. සුඛය අතුරුදහන්වීම.
  2. පළමුවෙනි, දෙවෙනි හා තුන්වෙනි ධ්‍යාන හරහා ලබාගන්නා, ඉතාමත් දීර්ඝ කාලයක් තුළ පවත්නා, නොවෙනස්ව පවතින සාමයේ ඇති පරිශුද්ධතාවයේ හැඟීම.
  3. දෙවෙනි හා තුන්වෙනි ධ්‍යානවලදී අත්විඳි පර්වතයක් මෙන් නොසෙල්වෙන නිසලතාවය සහ කරන්නෙක් නොමැතිවීම.
  4. කෙනෙක්ගේ ශරීරය හෝ පංචේන්ද්‍රියන් ඹස්සේ ලෝකය පිළිබඳව මොනයම් ආකාරයක හෝ සම්බන්ධතාවයක් කිසිසේත්ම පවත්වා ගැනීමට නොහැකි වීම.

ධ්‍යාන හතර පිළිබඳව බුදුරජාණන් වහන්සේ ගෙනහැර දැක්වූ උපමා

බුදුරජාණන් වහන්සේ, බොහෝවිට ධ්‍යාන හතරේ අත්දැකීම් විස්තර කරදීම සඳහා ඒවාට ගැලපෙන අන්දමින් හැඟීම් දනවන උපමා යොදාගෙන ඇත. (ම. නි. 39, 15-18, ම. නි. 77, 25-28 ආදී වශයෙන්) මෙම උපමා විස්තර කිරීමට මත්තෙන්, ඒ උපමා සියල්ලෙහිම යොදාගෙන ඇති “කාය” යන මුඛවචනය පැහැදිලි කරදීමෙහි වැදගත්කමක් ඇත. “කාය” යන පාලි වචනය භෞතික ශරීරය යන අර්ථය සඳහා පමණක් නොව වෙනත් අර්ථ ගෙනහැර දැක්වීම සඳහාද යොදාගෙන ඇත. උදාහරණයක් වශයෙන් “නාම-කාය” යන වචනයෙන් මානසිකාංග සමූහය යන්න අදහස් කෙරේ (දි. නි. 15, 20). ධ්‍යාන තුළදී, පංච ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරකම් නතරව ඇති හෙයින් භෞතික ශරීරය පිළිබඳ හැඟීමක් නැත. මේ ශරීරය අභිබවා ඇති තත්ත්වයක්ය. එම නිසා බුදුරජාණන් වහන්සේ එම උපමා හතරේදී “…. එහෙයින්, ඔහුගේ මුළු කයෙහි, (ප්‍රීතිප්‍රමෝදය) නොපැතුරුණු කොටසක් නැත …” යනුවෙන් අදහස් කරන්නේ “…. එහෙයින්, ඔහුගේ මානසික කයෙහි, (ප්‍රීතිප්‍රමෝදය) නොපැතුරුණු කොටසක් නැත …” යන්නය (ම. නි. 39, 16). මෙම කරුණ බොහෝවිට වරදවා වටහාගෙන ඇත.

පළමුවෙනි ධ්‍යානය සඳහා බුදුරජාණන් වහන්සේ විසින් යොදාගෙන ඇත්තේ, වියලි බවකුත් නැති, එමෙන්ම තෙතගතිය පිටතට රූරා නොයන, නිවැරදි ප්‍රමාණයේ තෙතමනයකින් යුත්, සබන් සඳහා එකල භාවිතා කළ මැටි ගුලියක උපමාවය. මෙතැනදී මැටි ගුලියෙන් අදහස් කරන්නේ එක්තැන්වූ මනසය. සිහිකල්පනාව එක්තැන් වූයේ කොයි ප්‍රමාණයකටද යත්, “සැලීම” නිසා නිර්මාණය වූ ඉතා සුළු වපසරියකට පමණක් එය සීමාවී ඇත. තෙතමනය යන්නෙන් අදහස් කරන්නේ පංචේන්ද්‍රිය ලෝකය සම්පූර්ණ වශයෙන්ම අත්හැරීමෙන් උත්පාදිත ප්‍රීතිප්‍රමෝදයයි. තෙතමනය මැටිගුලිය පුරා පැතිර පවත්නා බවින් අදහස් කරන්නේ, මානසික අත්දැකීමේ කාලය සහ අවකාශය තුළ ප්‍රීතිප්‍රමෝදය පැතිර පවත්නා බවය. මෙය, අතරක් නැතිව මනස ප්‍රමෝදයෙන් ප්‍රමෝදයට, ප්‍රමෝදයෙන් ප්‍රමෝදයට පත්වීම බව පසුවදී වටහා ගන්නේය. පිටතට රූරා නොයන තෙතමනයක් යන්නෙන් අදහස් කරන්නේ, ධ්‍යානය පවතින කාලය පුරා ප්‍රීතිප්‍රමෝදය, “සැලීම” නිසා ජනිතවූ අවකාශය තුළට පමණක් සීමාවී ඇති බවය. එය කිසිසේත්ම, මෙම මානසික අවකාශය හැර ඉන් පිටතවූ පංචේන්ද්‍රිය ලෝකයට රූරා නොයන්නේය.

දෙවෙනි ධ්‍යානය සමානකොට ඇත්තේ පිටතින් ජලය ගලා නොඑන, එනමුත් පතුලෙහිවූ උල්පතකින් ගලා එන සීතල වතුරින් පිරී ගිය වැවකටය. වැවෙන් අදහස් කරන්නේ මනසය. කිසිසේත්ම පිටතින් ජලය ගලා නොඑන බවින් අදහස් කරන්නේ, දෙවෙනි ධ්‍යානයේදී, පිටතින් ඇතිකෙරෙන කිසිම බලපෑමක් මනසට ඇතුල්විය නොහැකි බවය. එවැනි මනසක් තුළට කරන්නාටවත් ඇතුල්විය නොහැකිය. පිටත බලපෑම් කිසිවකටවත් ප්‍රවේශවීමට නොහැකි තපෝගුණය, දෙවෙනි ධ්‍යානයේ පර්වතයක් වැනි නිසලතාවයට හේතුවේ. සීතල වතුර සපයන අභ්‍යන්තර උල්පතින් අදහස් කරන්නේ, “අජ්ජත්තං සම්පසාදනං” නොහොත් දෙවෙනි ධ්‍යානයේදී මතුවන ප්‍රීතිප්‍රමෝදය පිළිබඳව ඇතිවන්නාවූ බලගතු අභ්‍යන්තර විශ්වාසයයි. අභ්‍යන්තරයෙන් ඇතිවන මෙම විශ්වාසය මගින් සම්පූර්ණ අත්හැරීම සිදුවන නිසා නිසලතාවයේ සිසිලසින් මනස නැහැවී සෑම ක්‍රියාකාරකමකින්ම මනස නිදහස් වේ. ධ්‍යානය පුරා පවතින, මානසික අත්දැකීම පුරා නොවෙනස්ව පැතිර පවත්නා, නිසලතාවය නැතහොත් සමාධිය නිසා හටගත් ප්‍රීතිප්‍රමෝදය උපමාකොට ඇත්තේ එම සිසිලසටය.

තුන්වෙනි ධ්‍යානය පැහැදිලි කරදීම සඳහා යොදාගෙන ඇත්තේ වැවක සිසිල් ජලයෙහි හොඳින් වැඩෙන නෙළුම් මලක්ය. නෙළුම් මලෙන් අදහස් කරන්නේ තුන්වෙනි ධ්‍යානය තුළ පවතින මනසය. නෙළුම් මලෙහි පෙතිත්, කොළත් සිසිලසට පත්කිරීමට ජලයට හැකි වූවත් ඒවා විනිවිද යාමට නොහැකිවන්නේ ජලය නෙළුමෙහි නොරඳා රූරා වැටෙන හෙයින්ය. මෙහිදී, සිසිලසින් සුඛයත්, තෙතමනයෙන් ප්‍රීතියත් අදහස් කෙරේ. වතුරෙහි ගිලී පවතින නෙළුම් මලක් මෙන් තුන්වෙනි ධ්‍යානයේදී මනස තෙතමනයෙන් (ප්‍රීතියෙන්) සිසිලසට (සුඛයට) පත්වූවත් තෙතමනයට (ප්‍රීතියට) එය විනිවිඳ යා නොහැකිය. තුන්වෙනි ධ්‍යානයේදී මනස අත්විඳින්නේ සුඛය පමණි. මෙම උපමාවේදී නෙළුම් මල ජලයෙහි කිමිඳී පවතින්නාක්මෙන් තුන්වෙනි ධ්‍යානයේදී මනස පර්වතයක්මෙන් නොසෙල්වෙන නිසලතාවයෙහි ගිලී පවතින අතර ඉන් පිටතට නොයයි. තුන්වෙනි ධ්‍යානයේදී ප්‍රීතිප්‍රමෝදය මගින් මනස එතුළම පවත්වාගෙන සිටින්නේ, ප්‍රීතිප්‍රමෝදය ලෙස උපමා කොට දැක්වූ සිසිල් ජලය, නෙළුම හොඳින් වැඩීමට ආධාර කරන්නාක් මෙන්ය. නැවතත්, තුන්වෙනි ධ්‍යානයට ආවේනිකවූ ප්‍රීතිප්‍රමෝදය, එම අත්දැකීමේ මුල සිට අග දක්වා පැතිර පවතින්නේ, මෙම උපමාවෙහි සිසිල් ජලයෙහි සිසිලස නෙළුමෙහි මුලේ සිට අග කෙළවර දක්වාම පැතිර පවතින්නාක් මෙන්ය.

හතරවෙනි ධ්‍යානය සමානකොට ඇත්තේ හිසේ සිට දෙපතුළ දක්වා සුදුවතකින් වසාගෙන සිටින පුද්ගලයෙකුටය. මෙහි පුද්ගලයාගෙන් අදහස් කරන්නේ මනසය. පිරිසිදු සුදුවතින් අදහස් කරන්නේ හතරවෙනි ධ්‍යානයේ සංකේතයවූ පරම පවිත්‍ර උපේක්ෂාව සහ සිහිකල්පනාව යන දෙකය. හතරවෙනි ධ්‍යානයේ පවතින මනස පිරිසිදු රෙද්දක් මෙන් කැලැල් රහිතය, පැල්ලම් රහිතය, පරිපූර්ණ නිසලතාවයකින් යුතුව, පවිත්‍ර සරල මනස බලාහිඳී. හිසේ සිට යටිපතුල් දක්වා සම්පූර්ණයෙන්ම පිරිසිදු සුදුවතින් මිනිසා වසා සිටින්නාක් මෙන්, ඇත්තවශයෙන්ම, ආරම්භයේ සිට අවසානය දක්වාම, හතරවෙනි ධ්‍යානයේ පවතින මානසික අත්විඳීම පුරා පැතිර පවතින්නේ, නිර්මලතාවයෙන් පරිපූර්ණවූ සාමකාමිත්වයයි.

ඉහත දැක්වූයේ බුදුරජාණන් වහන්සේ ධ්‍යාන හතර සඳහා යොදාගත් උපමාවල අදහස මා තේරුම්ගත් ආකාරයෙන්ය.

ධ්‍යානයකින් තවත් ධ්‍යානයකට මාරුවීම

මා ඉහත සඳහන් කළ ආකාරයට ධ්‍යානයකට සමවැඳී සිටින අයෙකුට ශාරීරිකව හෝ මානසිකව කිසිවක් කළ නොහැකිය. “මෙම ධ්‍යානයේ සිට වෙනත් ධ්‍යානයකට පිවිසෙමි” යනුවෙන් තීරණයකට එළඹිය නොහැකිය. “මම දැන් ධ්‍යානය අවසන් කරමි” යනුවෙන්වත් තීරණයක් ගැනීමට කෙනෙකුට නුපුළුවන. ධ්‍යානයක් තුළදී එවැනි පාලනය කිරීම් සියල්ලක්ම අත්හැර දමා ඇත. එපමණක් නොව, යථාදර්ශය ලෙස හඳුන්වන මනසෙහි ක්‍රියාකාරිත්වය, ධ්‍යානය තුළ පවතින සුපිරි මට්ටමේ නිසලතාවය මගින් කෙතෙක් දුරට නතරවීමට සලස්වා ඇත්දැයි පවසනවා නම් තමන් විඳින්නාවූ අත්දැකීම පවා වෙන්කොට හඳුනා ගැනීමට හැකියාවක් නැත. ධ්‍යානයක මග සළකුණු තේරුම් බේරුම් කර හඳුනාගන්නේ ධ්‍යානයෙන් ඉවත්වීමෙන් පසු කෙරෙන සමාලෝචනය මගින්ය. එහෙයින්, ඕනෑම ධ්‍යානයක් තුළ, කිසිවක් කිරීමටවත්, මා සිටින්නේ කිනම් තත්ත්වයකදැයි දැනගැනීමටවත්, මෙතැනින් කොතැනකට යම්දෝයි කියා තීරණයක් ගැනීමටවත් නොහැකිය! එසේ නම්, එක් ධ්‍යානයක සිට තවත් ධ්‍යානයකට මාරුවීමක් සිදුවන්නේ කෙසේද?

කාමර හතරක නිවසක්.

ඇතුල්වීමට එක් දොරක් පමණක් ඇති කාමර හතරක නිවසක් සිතෙහි මවා ගන්න. එම දොර තුළින් ඇතුල්වීමෙන් කෙනෙක් පළමුවෙනි කාමරයට පිවිසෙයි. දෙවෙනි කාමරයට පිවිසීමට කෙනෙක් පළමුවෙනි කාමරය තුළින් යා යුතුය. තුන්වෙනි කාමරයට පිවිසීම සදහා දෙවෙනි කාමරය තුළින් යා යුතුය. හතරවෙනි කාමරයට පිවිසිය හැක්කේ තුන්වෙනි කාමරය හරහාය. එහෙයින් හතරවෙනි කාමරයෙන් කෙනෙකුට එළියට ආ හැකි වන්නේ තුන්වෙනි කාමරය හරහාය, තුන්වෙනි කාමරයෙන් කෙනෙක් එළියට එන්නේ දෙවෙනි කාමරය හරහාය, දෙවෙනි කාමරයෙන් කෙනෙක් එළියට එන්නේ පළමුවෙනි කාමරය හරහාය, පළමුවෙනි කාමරයෙන් කෙනෙක් එළියට එන්නේ එම කාමරයට ඇතුළුවූ දොරටුව හරහාමය. මොනයම් ආකාරයකින්වත් තමන්ගේ ගමන් වේගය වැඩිකර ගැනීමට නොහැකිවන තරමටම එම කාමර හතරේම පොළව තදින් ලිස්සන සුළුයයි දැන් සිතට ගන්න. එහෙයින් කෙනෙක් ගෙට ඇතුල්වූයේ සුළු ප්‍රවර්තක ශක්තියකින් නම් (ගැම්මකින් නම්) ඔහු ලිස්සාගොස් නතරවන්නේ පළමුවෙනි කාමරය තුළය. ඇතුල්වීමේ ප්‍රවර්තක ශක්තිය වැඩි නම් දෙවෙනි කාමරය තුළ හෝ එසේ නැතිනම් තුන්වෙනි කාමරය තුළ ඔහුගේ නතරවීම සිදුවිය හැකිය. එමෙන්ම ඔහුගේ ප්‍රවර්තක ශක්තිය තවත් බලවත් වූයේ නම් ඔහුට හතරවෙනි කාමරයට වුවත් ලිස්සා යා හැකිය.

එක් ධ්‍යානයකින් තවත් ධ්‍යානයකට පිවිසෙන්නේ කෙසේදැයි පහදා දීම සඳහා එය හොඳ උදාහරණයක්ය. ගෙතුළදී, බොහෝ සෙයින් ලිස්සණ සුළු පොලොව මත අමතරව ගැම්මක් උත්පාදනය නොකළ හැකිවා සේම ධ්‍යානයක් තුළදී පාලනයක් නැත, චේතනා ඇතිකර ගැනීමට නොහැකිය. කෙනෙක් සුළු ප්‍රවර්තක ශක්තියක් ඇතිව ධ්‍යානවලට පිවිසෙන දොරටුවෙන් ඇතුළු වුවහොත්, ඔහු නතරවන්නේ පළමුවෙනි ධ්‍යානයෙහිය. ඊට වඩා වැඩි ප්‍රවර්තක ශක්තියක් ඇතිවිට දෙවෙනි හෝ තුන්වෙනි ධ්‍යානය වෙත පිවිසිය හැකිය. ඇතුල්වීමේ ප්‍රවර්තක ශක්තිය තවත් බලවත් වුවහොත් කෙනෙකුට හතරවෙනි ධ්‍යානයට පිවිසිය හැකිය. පාලනය සඳහා හැකියාවක් ඇති වතාවරණයකදී පමණක්, එනම් ධ්‍යානයෙන් පිටතදී ඇතුල්වීමේ ප්‍රවර්තක ශක්තිය උත්පාදනය කරගත හැකිය. මෙතැනදී සඳහන් කරන ප්‍රවර්තක ශක්තිය අනෙකක් නොව අත්හැරීමේ ප්‍රවර්තක ශක්තියය.

අත්හැරීම දියුණුකර ගන්නේ ධ්‍යානයකට ඇතුල්වීමට ප්‍රථමයෙන්ය.

නොදැනුවත්වම ඒවෙත මනසෙහි නැඹුරුවක් ඇතිවන තෙක්, අත්හැරීම දියුණුකරගත යුත්තේ ධ්‍යානයකට පිවිසීමට පෙරය. එය බලවත් ස්වභාවක නැඹුරුවක් විය යුතුමය. අවශ්‍ය පමණට වඩා මඳක් වැඩි “අත්හැරීමේ ප්‍රවර්තක ශක්තියක්” සහිතව කෙනෙක් ධ්‍යාන දොරටුවෙන් ඇතුල් වුවහොත් ඔහු නතරවන්නේ පළමුවෙනි ධ්‍යානයෙහිය. අත්හැරීමට ඇති නැඹුරුව වෙත බලවත් ස්වභාවික ඇලීමක් ගොඩනගාගත්තෙකු දෙවෙනි හෝ තුන්වෙනි ධ්‍යානයෙහි නතරවනු ඇත. අත්හැරීමට බලවත් නැඹුරුවක් ඇත්තේ නම් කෙනෙකුට හතරවෙනි ධ්‍යානයට පිවිසිය හැකිය. ඒකෙසේ වෙතත්, ධ්‍යානයක් තුළ සිටිමින් කෙනෙකුට අත්හැරීමේ ප්‍රවර්තක ශක්තිය බලසම්පන්න කරගත නොහැකිය. කෙනෙකුට ඇත්තේ ඇතුල්වෙද්දී තමා සතුව තිබූ ප්‍රවර්තක ශක්තිය පමණි.

ප්‍රීතිප්‍රමෝදය විග්‍රහ කර බැලීම.

තමන් අත්විඳි ප්‍රීතිප්‍රමෝදය විග්‍රහ කර බලා ඇලීම ලෙස හඳුන්වන, අත්හැරීමට ඇති බාධක හඳුනා ගැනීමෙන් කෙනෙකුට මෙම ප්‍රවර්තක ශක්තිය ධ්‍යානයෙන් පිටතදී වැඩි දියුණු කරගැනීමට පිළිවන. අත්හැරීමේ අවධීන් තුළදී විඳි සංතෘෂ්ඨියේ බලවත්කම හඳුනාගැනීමෙන් අත්හැරීමට ඇති නම්‍යතාවය වඩවඩාත් බලවත් වන්නේය. සමහර විට මම මගේ අකීකරු මනසට මෙවන් සිතිවිලි මගින් කරුණු පහදා දෙන්නෙමි. “බලන්න මනස! බලන්න! අත්හැරීමේ අවධීන් තුළ මොනතරම් ප්‍රීතිප්‍රමෝදයක් තියෙනවද කියා පේනව නේද? හිතල බලන්න ඒ ගැන! ඒක අමතක කරන්න එපා මනස! මතක තියාගන්න, හොඳද?” එවිට මනස පෙරටත් වඩා තදින් අත්හැරීමට පෙළඹෙයි. තවතවත් ප්‍රීතිප්‍රමෝදය ළඟාකර ගැනීමට බාධා පමුණුවන, අත්හැරීමට හරස්වී සිටින නොයෙකුත් මට්ටමේ ඇලීම් ප්‍රීතිප්‍රමෝදය ගැඹුරින් අත්විඳීමට බාධාවක් බව මනස තේරුම් ගනී. තමන්ගේම ප්‍රීතියට විරුද්ධව කටයුතු කරන සතුරන් ලෙස හැසිරෙන ඇලීම් මොනවාදැයි මෙවැනි විග්‍රහ මගින් මනස හඳුනා ගැනීමෙන් පසු ප්‍රඥාව මගින් ඒවා අත්හැරීමට ඇති නැඹුරුව බලගන්වනු ඇත. ධ්‍යානවලින් පිටතදී කෙනෙක් අත්හැරීමේ ප්‍රවර්තක ශක්තිය දියුණු කරගන්නේ ඒ අන්දමින්ය. ඒ ආකාරයට පුහුණුවීමෙන් ධ්‍යානයන්ට සමවැඳීමට අවශ්‍ය බලගතු අත්හැරීමේ බලශක්තියකින් යුතුව කෙනෙකුට ධ්‍යාන දොරටුවෙන් ඇතුල් විය හැකිය.

සෑම ධ්‍යානයක්ම ඇත්තේ අනෙක් ධ්‍යානය තුළය.

පියලි දහසකින් සැදුම් ලත් නෙළුම් මලේ උපමාව උදාහරණ කොට ගැනීමෙන් ධ්‍යානයකින් තවත් ධ්‍යානයකට පිවිසෙන්නේ කෙසේදැයි තවත් ආකාරයකින් පැහැදිලි කරදීමට පිළිවන. හිරු එළියෙන් උණුසුම් වීමෙන් පසු පමණක්, මෙම පෙති එකින් එක දිග හැරෙන්නේ ස්ථිර අනුපිළිවෙලකට අනුවය. මෙහි දුර්ලභ හා ඉතා සියුමැලි 993 වෙනි පෙති තට්ටුව පළමු ධ්‍යානය හා සංසන්දනය කළ හැකිය. හිරු එළියෙන්, දැන් උණුසුම්වන 993 වෙනි පෙති තට්ටුව, එය තුළ නොපෙනෙන අයුරින් රඳවාගෙන සිටින්නේ ඊටත් වඩා සුගංධයෙන් පිරි 994 පෙති තට්ටුවය. එලෙසින්ම,අත්හැරීම මගින්, දැන් උණුසුම ලබන දුර්ලභ හා ඉතා සියුමැලි පළමුවෙනි ධ්‍යානය, නොපෙනෙන සේ රඳවාගෙන සිටින්නේ ඊටත් වඩා ප්‍රීතිප්‍රමෝදයකින් යුත් දෙවෙනි ධ්‍යානයය. නෙළුමෙහි 993 වෙනි පෙති තට්ටුව විවෘතවී, 994 වෙනි පෙති තට්ටුව දිස්වීමට පටන් ගනී. මේ ආකාරයටම, පළමුවෙනි ධ්‍යානය විකසිතවී, අවසානයේදී එහි නේන්ද්‍රයෙහිවූ දෙවෙනි ධ්‍යානය එළිදක්වයි. එහෙයින්, ඇත්තවශයෙන්ම දෙවෙනි ධ්‍යානය ඇත්තේ පළමුවෙනි ධ්‍යානය තුළය, තුන්වෙනි ධ්‍යානය ඇත්තේ දෙවෙනි ධ්‍යානය තුළය, හතරවෙනි ධ්‍යානය ඇත්තේ තුන්වෙනි ධ්‍යානය තුළය.

මෙය තවත් ආකාරයකින් විදහා දක්වනවා නම් කාමර හතරකින් යුත් නිවසෙහි කාමර තනා ඇත්තේ ඒක කේන්ද්‍රීය වන ලෙසට යයි සිතන්න. එහෙයින් දෙවෙනි ධ්‍යානයට පිවිසීම සඳහා කෙනෙකු පළමුවෙනි ධ්‍යානයෙන් පිටතට පැමිණෙන්නේ නැත. ඒ වෙනුවට, දෙවෙනි ධ්‍යානයට ඇතුල්වීම සඳහා කෙනෙක් පළමුවෙනි ධ්‍යානයේ ගැඹුරටම යයි, තුන්වෙනි ධ්‍යානයට ඇතුල්වීම සඳහා කෙනෙක් දෙවෙනි ධ්‍යානයේ ගැඹුරටම යයි, හතරදෙවෙනි ධ්‍යානයට ඇතුල්වීම සඳහා කෙනෙක් තුන්වෙනි ධ්‍යානයේ ගැඹුරටම යයි. ඊළඟ ධ්‍යාන මට්ටම ඇත්තේ දැන් සිටින ධ්‍යානය තුළය.

අධිෂ්ඨාන බලය

ධ්‍යාන පිළිබඳ අත්දැකීම් බොහෝ සේ ප්‍රගුණ කර ගැනීමෙන් පසු, අධිෂ්ඨාන බලයේ ආධාරයෙන් කෙනෙකුට එක් ධ්‍යානයකින් තවත් ධ්‍යානයකට මාරු විය හැකිය. මෙම වතාවරණය යටතේ අධිෂ්ඨාන යන පාළි වචනයෙන් අදහස් කරන්නේ මනස සැලසුම් කිරීමේ බෞද්ධ පිළිවෙතය. කලින් තීරණය කරගත් කාල සීමාවකට ධ්‍යාන ගතවීම සඳහා භාවනාවේ ආරම්භයේදී කෙනෙකුට මනස සැලසුම් කළ හැකිය. සැබෙවින්ම, මෙය ක්‍රියාත්මක කළ හැකි වන්නේ, තමන්ගේ අවසාන ඉලක්කය හොඳින් හඳුනාගත් සහ එතැනට යන මාර්ගය හොඳින් හුරුපුරුදු කරගත් අයට පමණි. භාවනාවෙහි මනා නිපුණත්වයක් ඇති අය යොදාගන්නේ මේ ක්‍රමයයි. ගුවන්ගත වීමෙන් ටිකකාලයකට පසු ස්වයංක්‍රීය නියමුවාට පාලනය බාරදීම හා මෙය සමාන කළ හැකිය. ඒ කෙසේ වෙතත්, එවැනි විශාරද භාවනායෝගීන් පවා නියමිත ධ්‍යානය වෙත එළඹෙන්නේ එකම ගමන් මාර්ගයක් ඔස්සේය. උදාහරණයක් ලෙස තුන්වෙනි ධ්‍යානය වෙත එළඹීම සඳහා කෙනෙක් මනස සැලසුම් කරන ලද්දේ නම් එවිට ඔහු පළමුවෙනි ධ්‍යානය හරහා දෙවෙනි ධ්‍යානයට පිවිස, දෙවෙනි ධ්‍යානය හරහා තුන්වෙනි ධ්‍යානයට පිවිසෙයි. වෙනසකට ඇත්තේ පහළ ධ්‍යානයන් හරහා යාමට ඔහුට ගතවන්නේ සුළු කාලයක් පමණක් වීමය.

සතර වැදෑරුම් අරූපාවචර සමාපත්ති

ඉහත දැක්වූ දහසක් පියලින් හෙඹි නෙළුම් මලේ උපමාවේ 993 වෙනි පෙති තට්ටුව පළමුවෙනි ධ්‍යානය ලෙසටත්, 994 වෙනි පෙති තට්ටුව දෙවෙනි ධ්‍යානය ලෙසටත්, 995 වෙනි හා 996 වෙනි පෙති තට්ටු තුන්වෙනි හා හතරවෙනි ධ්‍යානය ලෙසටත් උපමා කොට දැක්වූවෙමි. එසේ නම් 997 වෙනි, 998 වෙනි, 999 වෙනි හා 1000 වෙනි පෙති තට්ටු වලින් අදහස් කරන්නේ කුමක්දැයි දැන ගැනීමට ඔබට දැන් කුතුහලයක් ඇතිවනවා නේද?

ධ්‍යාන හතරට ඔබ්බෙන් ඇත්තේ සතර වැදෑරුම් අරූපාවචර සමාපත්තීන්ය. මෙම සමාපත්තීන් ගැන සඳහන් කරද්දී බුදුරජාණන් වහන්සේ සූත්‍රවල ඒවා ධ්‍යාන වශයෙන් හැඳින්නොවූ බව සැලකිල්ලට ගතයුතු කරුණක්ය. ඒවා ධ්‍යාන වශයෙන් හඳුන්වා දී ඇත්තේ අවුරුදු දහස් ගණනකට පසු ලියවුනු අටුවාවල පමණි. සතර වැදෑරුම් සමාපත්තීන් මේවාය:

  1. අසීමිත අවකාශයේ මානසික මූල පදනම (ආකාසානඤ්චායතනය).
  2. අසීමිත විඤ්ඤානයේ මානසික මූල පදනම (විඤ්ඤාණඤ්චායතනය).
  3. ශූන්‍යතාවයේ මානසික මූල පදනම (ආකිඤ්චඤ්ඤායතනය).
  4. සංඥාවක් ඇත්තේත් නැත, සංඥාවක් නැත්තේත් නැත යන්නේ මානසික මූල පදනම

(නේව සඤ්ඤා නා සඤ්ඤායතනය).

හතරවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය තුළ පිහිටියාක් මෙන්, පළමුවෙනි අරූපාවචර සමාපත්තිය ඇත්තේ හතරවෙනි ධ්‍යානය තුළය. ඒආකාරයටම ඒවා පවතින්නේ නෙළුම් මලේ පෙති තට්ටු මෙන්ය. එහෙයින්, අත්‍යවශ්‍යතාවය නිසා ධ්‍යානවල අන්තර්ගත පහත සඳහන් ගුණාංගයන් සමාපත්තීන් තුළටද විහිදී යයි:

  1. ශරීරය පිළිබඳව මොනයම් හැඟීමක්වත් හෝ පංචේන්ද්‍රිය ලෝකය පිළිබඳ දැනීමක්වත් මනස තුළට ප්‍රවිෂ්ඨ නොවේ.
  2. ඉතා දිගු කාල පරිච්ඡේදයක් තුළ මනස පර්වතයක්මෙන් නිසලතාවයේ පවතී. සැලසුම් කිරීමක් හෝ සිතිවිල්ලක්වත් ඇතිකර ගැනීමට නොහැකිය.
  3. යථාදර්ශය සහමුලින්ම ඇණහිටින නිසා තමන් අතවිඳිනා දේ කුමක්දැයි, ඒ මොහොතේ සිතා ගැනීමට නොහැකිය. යථාදර්ශය නැවත මතුවන්නේ අත්දැකීම අවසන් වූවාට පසුවය.
  4. හතරවෙනි ධ්‍යානයේ පවතින පවිත්‍ර, පරිපූර්ණ උපේක්ෂාව සහ සිහිකල්පනාව සෑම අරූපාවචර සමාපත්තියකටම පදනම වන්නේය.

මුල් ධ්‍යාන තුන අරමුණ සඳහා විවිධ ආකාරයේ මානසික ප්‍රීතිප්‍රමෝදයන් සහ හතරවෙනි ධ්‍යානය උත්කෘෂ්ඨ බවින් පරිපූර්ණවූ පිවිතුරු සාමය අරමුණ කොට ගත්තා සේ සෑම අරූපාවචර සමාපත්තියක්ම අරමුණ ලෙස තෝරාගන්නේ පිරිසිදු මානසික අරමුණක්ය. මෙම අරමුණ පිළිබඳ සංඥානයන් (හැඟීම්) “මානසික මූල පදනම්” ලෙස මා හඳුන්වන්නේ අරූපාවචර සමාපත්තීන් රඳාපවතින්නේ එම මානසික වේදිකාවන් මත වන හෙයින්ය. මෙම නොසැලෙන මනස්මූල, අරූපාවචර සමාපත්තීන්ගේ අනුපිළිවෙල අනුව තවතවත් පිරිසිදු බවට හා ශූනය බවට පත්වේ.

හතරවෙනි ධ්‍යානය ගැන සලකා බැලූවිට එහිදී මනස ඉතා බලගතුය. එනමුත්, පංචේන්ද්‍රිය ලෝකය අභිබවා පරිපූර්ණ ඒකාග්‍රතාවයෙන් සිටියත්, එය තවමත් බලාසිටින්නේ පරිපූර්ණ සාමය තුළය. ඒකාග්‍රතාවය ඉලක්ක කරගෙන සිටින මෙම අරූපාවචර සමාපත්තිවලදී ලෝකයෙන් උකහාගත් සාමාන්‍ය සංකල්පයන් ගිලිහී ඒ වෙනුවට එතැන මතුවන්නේ වෙනත් ලෝකෝත්තර සඤ්ඤානයන්ය.

උදාහරණ වශයෙන්, භාවනායෝගියෙකුට මුල් අවධියේදී මේ මොහොත වෙත මුළුමණින්ම අවධානය යොමුකරගෙන සිටීමට හැකියාව ලත්විට, කාලයෙහි එක්තැන්වූ විට, කාලය පිළිබඳ සාමාන්‍ය සංකල්පයන් ගිලිහී ගොස් ඒ වෙනුවට එතැන මතුවන්නේ කාලය පිළිබඳ ලෝකෝත්තර මට්ටමේ හැඟීම්ය. කෙනෙක් මේ මොහොතේ සැබවින්ම කේන්ද්‍රගතවී සිටින විට ඔහුට එක් අතකින් දැනෙන්නේ කාලය කියා දෙයක් නැති බවය, අනික් අතින් දැනෙන්නේ මුළු ලෝකයෙහිම ඇති කාලය ඔහුට ලැබී ඇති බවය. නිරපේක්ෂ දැන්, මේ මොහොතෙහි, කාලයට මායිමක් නැත. එය අර්ථ දැක්විය නොහැකිය. එහි මිනීමක් කළ නොහැකිය. එක් අතකින් එය ශූන්‍යය, අනික් අතින් එය අපරිමාණය. එය අනන්තය. භාවනායෝගියෙක් ලෙස භාවනාවේ ප්‍රාරම්භක අවධීන්වලදී, කාලයෙහි එක්තැන්වීමෙන් ලත් අත්දැකීම් විවරණය කර බැලීම; ඉතා බලගතු ඒකාග්‍රතා අවධීන් ලෙස හඳුන්වන අරූපාවචර සමාපත්තිවලදී එකවර අත්දැකීමට ලැබෙන කාලයෙහි අපරිමාණ ස්වභාවයත්, එමෙන්ම එහි ශූන්‍ය ස්වභාවයත්, වටහාගැනීම සඳහා ඉමහත් පිටුවහලක් වන්නේය.

හතරවෙනි ධ්‍යානයෙහි සිටියදී මනසට පරිපූර්ණ සාමය දෙස ඉතා ගැඹුරින් බලා සිටීමට ඇති හැකියාව, අවකාශයෙහි මනස සහමුලින්ම ඒකාග්‍රතාවයට පත්වීම කුමක්දැයි අවබෝධ කර ගැනීම සඳහා යොදාගත හැකිය. පරීක්ෂාකර බැලීම සඳහා හැමවිටම විවෘතවූ, හතරවෙනි ධ්‍යානයෙහි ගුණාංග වලින් එකක්වූ මෙය, ඇත්තවශයෙන්ම අරූපාවචර සමාපත්තීන්ට ඇතුල්වීම සඳහා ඇති දොරටුවය. මෙම පරිපූර්ණ ඒකාග්‍රතා අවධීන් තුළදී එකවරම අවකාශයෙහි ඇති අපරිමාණ ස්වභාවයත්, එමෙන්ම එහි ඇති එහි ඇති ශූනය ස්වභාවයත් දැකීමෙන් ඇතිවන්නේ අවකාශයක් නැතැයි යන හැඟීමක්ය. අවකාශය සීමා සහිතය යන හැඟීම ඇතිකරවන්නාවූ රූප සංඥාව මෙහිදී බැහැරවීමෙන් ඇතිවන්නාවූ අරූප සංඥාව මෙම සමාපත්තියෙහි හා අනිකුත් සමාපත්තිවල මූලික අංග ලක්ෂණයක් වන නිසා, ඒ සියළුම සමාපත්තීන් අරූපාවචර සමාපත්තීන් ලෙස හැඳින්වේ.

අසීමිත අවකාශයේ මානසික මූල පදනම

අප්‍රමාණ බවක් හා ශූන්‍ය බවක් යන හැඟීම් දෙකම දනවන, මෙපමණයයි මිනුමක් කළ නොහැකි, අසීමිත අවකාශයේ මානසික මූල පදනම පළමුවෙනි අරූපාවචර සමාපත්තිය වේ. මෙම සමාපත්තියට සමවැදී සිටින ඉතා දිගු කාල පරිච්ඡේදය තුළදී ඇසිපිය හෙළන මොහොතකටවත් බිඳීමකින් ‌තොරව මනස සහමුලින්ම පිරී පවතින්නේ ඉහත දැක්වූ සංඥානයෙන්ය. බලගතු, පවිත්‍ර, නිශ්චල සිහිකල්පනාව එම හැඟීමෙහි ගිලී පවතින්නේ පරම සංතෘෂ්ඨියකින්ය.

අසීමිත විඤ්ඤානයේ මානසික මූල පදනම

අවකාශය අසීමිතය යන සංඥානය තුළම, අවකාශයක් නැත යන සංඥානය පවතින බැවින් අවකාශය යන අදහස අර්ථ ශූන්‍යභාවයට පත්වේ. පළමුවෙනි අරූපාවචර සමාපත්තියේදී මෙම ස්වභාවය වෙත මනස යොමුකරද්දී අවකාශය අතුරුදහන්වී මනස දැනුවත්බවෙහි (විඤ්ඤානයෙහි) ඒකාග්‍රතාවයට පත්වේ. මීට ඉහත පැහැදිලි කරදුන් අයුරු, කාලයෙහි මනස ඒකාග්‍රතාවයට පත්වූ විට මනස අත්විඳි පොදු ගුණාංගයන්ම, මනස විඤ්ඤානයෙහි ඒකාග්‍රතාවයට පත්වූ විටද අත්විඳී, එනම් විඤ්ඤානයේ අප්‍රමාණ බව, එමෙන්ම එහි ශූන්‍ය බව, මිනීමක් කළ නොහැකි බව හා අර්ථ දැක්විය නොහැකි බවයි ඒ. කෙනෙක් මේ සම්ප්‍රාප්තවී සිටින්නේ විඤ්ඤානයේ මානසික මූල පදනම වූ දෙවෙනි අරූපාවචර සමාපත්තියටය. ඉහතදීටත් වඩා ඉතා දිගු කාලයක් තුළ කිසිම සෙලවීමකින් තොරව මනස මුළුමණින්ම පිරී පවතින්නේ එම සංඥානයෙන්ය.

ශූන්‍යතාවයේ මානසික මූල පදනම

අසීමිත විඤ්ඤානයේ හැඟීම තුළ විඤ්ඤානයක් නැත යන හැඟීම මතුවන්නේ විඤ්ඤානය යන අදහස අර්ථ ශූන්‍යභාවයට පත්කරමින්ය. දෙවෙනි අරූපාවචර සමාපත්තිය තුළදී මේ ගුණාංගය වෙත මනස යොමුකිරීමේදී විඤ්ඤානය පිළිබඳ සෑම හැඟීමක්ම නිරුද්ධ වේ. භෞතික ස්වරූප (රූපාවචර) හා අවකාශය පිළිබද හැඟීම්ද නිරුද්ධව ඇති නිසා කෙනෙකුගේ මනසෙහි ඉතිරිව ඇති එකම දෙයවූ ශූන්‍යතාවය මත මනස ඒකාග්‍රතාවයට පත්වේ. කෙනෙක් මේ පමප්‍රාප්තවී ඇත්තේ ශූන්‍යතාවයේ මානසික මූල පදනම වූ තුන්වෙනි අරූපාවචර සමාපත්තියටය. වෙනස්වීමකින් තොරව ඉතා දීර්ඝ කාලයක් තුළ මනස මුළුමණින්ම පිරී පවතින්නේ එම සංඥානයෙන්ය.

සංඥානයක් ඇත්තේත් නැත, සංඥානයක් නැත්තේත් නැත යන්නේ මානසික මූල පදනම

“කිසිවක් නැතැයි (ශූන්‍ය)” යන සංඥානය තුළ “කිසිවක් නැතැයි කියා දෙයක්ද නැතැයි” යන සංඥානය පවතී. මේ සියුම් ගුණාංගය හඳුනා ගැනීමට මනස සමත්වූයේ නම් කිසිවක් නැතැයි යන සංඥාව අතුරුදහන්වී එතැන මතුවන්නේ සංඥානයක් ඇත්තේත් නැත, සංඥානයක් නැත්තේත් නැත යන සංඥානයයි. මෙම හතරවෙනි අරූපාවචර සමාපත්තිය ගැන කෙනෙකුට පැවසිය හැකි එකම දේ, එයත් එක් සංඥානයක් බව පමණය (අ. නි. 9 ඒවා, 42). පෙති දහසේ නෙළුම් මලේ උපමාවට අනුව, මෙම අවධිය පෙන්නුම් කරන්නේ, 999 වෙනි පෙති තටටුව සම්පූර්ණයෙන්ම විවෘතවී, තවමත් වැසී පවතින 1000 වෙනි පෙති තට්ටුවය. දහස්වෙනි පෙති තට්ටුව, මල් පියල්ලකටවත් සම කළ නොහැකි, සෑම දෙයකටම වඩා ඉතාමත් සියුම්, අනභිබවනීය දෙයක්ය. මේ දුහුල් ආවරණය තුළ, එය කැටිකොට ගෙන සිටින්නේ “නෙළුමේ හදවතෙහි පිහිටි මැණිකය”, එනම් නිර්වාණයයි.

නිර්වාණය, සෑම සංඥානයකම අවසානය

සංඥානයක් ඇත්තේත්නැත, නැත්තේත් නැත යන සංඥානය තුළ පවතින්නේ සෑම සංඥානයකම අවසානයයි, ඒ සියල්ලේම නිරෝධය දැනෙන්නේ, එසේ නැතිනම් හැ‍ඟෙන්නේ නිවන ලෙසය. මනසට මෙම තත්ත්වය උදාකර ගත හැකි නම්, මනස නතර වේ. ඉන්පසු මනස නැවත ආරම්භවූ විට, ඵල වශයෙන් ඇත්තේ දෙකක් පමණි. ඒවා නම් අනාගාමි ඵලය සහ රහත් ඵලයයි.

ක්‍රමක්‍රමයෙන් නිරෝධය සිදුවන අනුපිළිවෙල

ධ්‍යාන සහ සතර වැදෑරුම් අරූපාවචර සමාපත්තීන් අනුපිළිවෙලට සලකා බැලීමෙන් ක්‍රමක්‍රමයෙන් නිරෝධය සිදුවන අන්දම තවත් ආකාරයකින් වටහා ගත හැකිය. පංචේන්ද්‍රීය ලෝකය සමඟ ශරීරයත්, ක්‍රියාකාරකම් සියල්ලත්, නිරෝධයට පත්කිරීමේ ක්‍රමාවලිය තුළින් මනස යොමු වන්නේ පළමුවෙනි ධ්‍යානය වෙතටය. සතුට හා අසතුට හැඳින ගන්නා මනසේ යම් කොටසක් වේද, එම කොටස පළමුවෙනි ධ්‍යානයේ සිට හතරවෙනි ධ්‍යානය කරා දිවෙන මාර්ගය ඔස්සේ නිරෝධයට පත්වේ. ‘දැනුවත්කම’ නමින් මනසෙහි ඉතිරිව ඇති ක්‍රියාකාරිත්වය සහමුලින්ම වාගේ නිරෝධයට පත් වන්නේ හතරවෙනි ධ්‍යානයේ සිට හතරවෙනි අරූපාවචර සමිපත්තියට සමවැඳීමේ මාර්ගය ඔස්සේය. අවසාන පියවර වශයෙන් ඇත්තේ දැනුවත්කමේ අවසාන අංශු මාත්‍රයද නිරෝධයට පත්කිරීමය. ධ්‍යාන සහ අරූපාවචර සමිපත්තීන් තුළින් කෙනෙක් මුලින්ම අත්හරිනු ලබන්නේ පංචේන්ද්‍රීය ලෝකය සහ ශරීරයයි. කෙනෙක් ඉන් පසු සතුට සහ අසතුට අත්හරී. ඉන්පසු අවකාශය සහ විඤ්ඤානය අත්හරිනු ලැබේ. ඊළඟට අත්හරිනු ලබන්නේ සෑම දැනුවත්කමක්මය. කෙනෙක් යම් අරමුණක් අත්හැරියේ නම් එම අරමුණ අතුරුදහන් වේ. එය ඉතිරිව පවතී නම්, කෙනෙක් අත්හැර නැත. සෑම දැනුවත්කමක්ම අත්හැරීමෙන්, දැනුවත්කම නිරෝධයට පත්වේ. මේ සෑම දෙයකම නිරෝධයයි. මනසද ඊට ඇතුළත් වේ. විඤ්ඤානය තවදුරටත් විද්‍යමාන නොවන්නේ මෙතැනදීය. පඪවි (තද ගතිය), ආපෝ (ඇලෙන ගතිය), තේජෝ (රශ්නය), වායෝ (වායුව) යන සතර මහා භූතයන්ගේ පිහිටීමක් නැති තැන මෙතැනය. නාම රූප සම්පූර්ණයෙන්ම නිරෝධයට පත්වන තැන මෙතැනය. (දී. නි. 11, 85). ශූන්‍යතාවය! නිරෝධ‍ය! නිවන! නෙළුමේ හදවත තුළ ඇති ‘මැණික!’

අවසන් වදන

මා ඔබ කැඳවා ගෙන ගියේ න්‍යාය මට්ටමේ සිට ප්‍රායෝගික අන්දමින් ඉහළ කඳුවැටි සිසාරා පිහිටි ධ්‍යාන නමින් හැඳුන්වන කඳු මුඳුන්පෙත් වලටය. එමෙන්ම ඊටත් වඩා ඉහළින් පිහිටි දුර්ලභ ගනයේ ගිරි ශිඛරයන්ටය. අද හෙටම ළඟා විය නොහැකි අන්දමේ චාරිකාවක් ලෙස එය ඔබට පෙනුනත්, දැනටමත් ඔබ ඒ ගමන් මාර්ගයට පිවිස ඇති බව ඔබට වැටහෙනු ඇත. මාර්ග සිතියම ඔබ අතට පත්වීමෙන්, අද දිනයේදී පවා, එය ඔබට මහත් රුකුලක් වන බව මට නිසැකය. ඒ හැරෙන්නට, ධ්‍යාන අති මහත් ධන සම්භාරයකින් පිරි රන් ආකරයක් බඳුයයි පැවසිය හැකිය. එනමුත් ඒවා පිරී ඇත්තේ ලෝහයන් අතර අනර්ඝතම ලෝහයටත් වඩා වටිනා, ඉතා දුර්ලභ ගනයේ විදසුන් නුවණින්ය. එතුළින් ඔබ උකහා ගන්නා අමු ද්‍රව්‍ය සහ බලාපොරොත්තු නොවූ අන්දමේ දත්තයන් මඟින් ඔබ ගොඩනගා ගන්නේ නිවන වෙත ඔබේ ඇස් අරවන අති විශේෂ විදසුන් නුවණය. බුදු දහමේ උවනත අලංකාර කිරීම සඳහා පැලදි මැණිකක් ලෙස ධ්‍යාන සමකළ හැකිය.

එපමණක්ද නොව, නිවන් අත්විඳීම සඳහා ධ්‍යාන අත්‍යවශ්‍ය වනවා මෙන්ම ඒවා අත්විඳීමට අදද හැකියාවක් ඇත.

බුදුරජාණන් වහන්සේගේ වචන වලින්ම මම මෙය අවසාන කිරීමට කැමැත්තෙමි.

නත්ථි ජානං අපඤ්ඤස්ස – පංඥා නත්ථි අජායතො

යම්හි ජානං ච පංඥා ච      – ස වෙ නිබ්බාන සංතිකෙ

 

ප්‍රඥාවෙන් තොර ධ්‍යානයන් නැත –

ධ්‍යානයන්ගෙන් තොර ප්‍රඥාවක් නැත

ධ්‍යාන සහ ප්‍රඥාව ඇති යම් කෙනෙක් වේද –

ඔහු වසන්නේ නිවන අසලය.

නිමි.

සාධු! සාධු! සාධු!

Leave a comment