ධ්‍යාන භාවනා – 2 කොටස

අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන් වහන්සේ

පරිවර්තනය – ජෝර්ජ් කාරියවසම්

 (උපුටා ගැනීමට හෝ පිටපත් කර බෙදා හැරීමට අවසර නැත)

මෙය කියවීමට පෙර “ධ්‍යාන භාවනා – 1” කොටස කියවන්න.

පටුන

  • නිමිත්ත: ‘ධ්‍යාන’ තුළට පිවිසෙන දොරටුව අභියස
  • ‘නිමිත්ත’ කලින්ම මතුවන්නේ නම්
  • මුලදී නිමිත්ත නොසලකා හැරීම
  • නිමිත්ත හුස්මෙහි මැදට ගැනීම
  • මේ පළපුරුදු යෝගීන් සඳහා පමණක්ය
  • නිමිත්ත දිස්වන්නේ නැති නම්
  • ප්‍රමාණවත් අයුරින් ප්‍රීතිය සහ සුඛය වර්ධනය කිරීම
  • භාවනාවේදී මතුවන ප්‍රීතිප්‍රමෝදයට බිය නොවීම
  • වීර්යය දැනහිඳීම වෙත යෙදීම
  • කළකිරීම ගැන සෝදිසියෙන් සිටීම
  • ‘මේ මොහොතේ අවධානයේ’ ගැඹුරටම යාම
  • ප්‍රයෝජනවත් හා නිශ්ප්‍රයෝජනවත් නිමිති
  • දර්ශන.
  • ගිනිකෙළියක් සේ දිස්වන නිමිත්ත.
  • කුලෑටි නිමිත්ත.
  • හොඳම නිමිත්ත.
  • නිමිත්ත දීප්තිමත් කිරීම
  • සීලයෙහි ඇති වැදගත්කම.
  • ලස්සන කේන්ද්‍රයට අවධානය යොමු කිරීම
  • නිමිත්ත ස්ථාවර කර ගැනීම
  • තැතිගැන්ම.
  • විශ්මය.
  • ස්ථාවර නිමිත්තට බාධා පැමිණවීම
  • ප්‍රභාශ්වර මනස පිළිබඳ සටහනක්
  • ධ්‍යානයට පිවිසීම
  • ‘යන – එන’ ධ්‍යාන සහ ‘නයි – හිණිමන්’ ක්‍රීඩාව
  • දැන් “ධ්‍යාන භාවනා – 3” කොටස කියවන්න.

නිමිත්ත: ‘ධ්‍යාන’ තුළට පිවිසෙන දොරටුව අභියස

සාමාන්‍ය වශයෙන් ‘නිමිත්ත’ මතුවන්නේ හුස්ම අතුරුදහන්වී මනස ප්‍රීතිප්‍රමෝදයෙන් පිරී ඉතිරී ගිය විටය.‘නිමිත්ත’ හා එහි ගතිලක්ෂණ කෙටියෙන් මා ‘බුදු දහමෙහි හදවත භාවනාවයි’ යන පොතෙහි සඳහන් කර ඇත. කෙසේ වෙතත් ඒ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට දැන් අවස්ථාව යෙදී ඇත. මෙතැනදී ඉදිරිපත් කිරීමට යෙදෙන විස්තරයට උචිත වන අයුරින්, ‘නිමිත්ත’ මනසෙහි මතුවන අලංකාර ‘ආලෝකයක්’ ලෙස හඳුන්වාදීම වඩා සුදුසුයයි මම සිතමි. එනමුදු ‘නිමිති’ ඇසට පෙනෙන දෘශ්‍යමාන වස්තූන් නොවන බව අවධාරණය කර සිටින්නේ ඒවා චක්ඛු ඉන්ද්‍රියට ගෝචර නොවන නිසාය. භාවනාවේ මේ අවධියේදී ඇසේ සංවේදීතාවය ඇනහිට ඇත. ‘නිමිති’ තනිකරම මානසික අරමුණුය. ඒවා දැනෙන්නේ මනේන්ද්‍රියටය. කෙසේ වෙතත්, සාමාන්‍ය දැනුමට අනුව, බොහෝ විට එය ආලෝකයක් ලෙස සංඥානනය කර ගනු ලැබේ.

මෙතැනදී සිදුවන දෙය, ‘නිමිත්ත’ වැනි මනෝමය සංසිද්ධියක් අපි අත්දැක ඇති සංඥානයන්ට අනුව හඳුනා ගැනීමට දරණ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය. අපේ අත්දැකීම්, අපට වටහා ගැනීමට පහසු වන අන්දමින් අර්ථනිරූපනය කිරීමට මනසට ඇති හැකියාව සංඥානයයි. අතීතයේදී අප අත්දැක ඇති අත්දැකීම් ගොනුවෙහිවූ, ඒ හා සමකළ හැකි අත්දැකීම් සමඟ සංසන්දනය කර බලා, ඒ අනුව තීරණාත්මක විශ්වාසයක පිහිටා, නව අත්දැකීමට අර්ථනිරූපනයක් දීමට වඩා යමක් සංඥානයට කළ නොහැකිය. කෙසේ වෙතත්, මෙවන් පිරිසිදු මානසික සංසිද්ධීන් මීට ඉහතින් අධීක්ෂණය කර නැති නිසා, ඒ හා සමකළ හැකි පෙර අත්දැකීමක් සොයා ගැනීමට නොහැකි වීමෙන් සංඥානය ඉමහත් අපහසුතාවයකට පත් වේ. මින් පෙර කිසි දිනෙක අත්විඳ නැති දෙයක් බැවින්, ‘නිමිත්ත’ අද්භූත දර්ශනයක් වන්නේය. කෙසේ වෙතත්, ‘නිමිත්ත’ ලෙස හඳුන්වන මෙම සංසිද්ධියට යන්තමින් හෝ සමකළ හැකි දෙයක් ලෙස පෙර අත්දැකීම් ගොනුවෙන් සොයා ගැනීමට හැකිවන්නේ, මෝටර් රථයක ඉදිරි පස විදුලි පහනක එලිය හෝ අඳුරේ දැල්වූ විදුලි පන්දමක එලිය හෝ රෑ අහසේ බබලන පුරසඳ හා සමාන එලියක්ය. එහෙයින් සංඥානය විසින්, අසම්පූර්ණ වූවත් ඉතාමත් සමීපතම දෙය ලෙස ආලෝකය තෝරා ගෙන ඒ අනුව තමන් දන්නා ආලෝක හා සසඳමින් නිමිත්තට අර්ථනිරූපනයක් සපයයි. මේ ආකාරයට, කෙනෙක් නිමිත්තක් අත්විඳින්නේ ආලෝකයක් ලෙසටය, මනසින් දකින ආලෝකයක් ලෙසටය.

නිමිති අත්දැක නැති සෑම දෙනෙකුටම එය, එක හා සමාන අත්දැකීමක් ලෙස හැඟීයාම ඇත්තවශයෙන්ම පුදුමයට කරුණක්ය. නමුත් ඒ එකම අත්දැකීම ඒ ඒ භාවනායෝගීන් විවිධාකාරයෙන් අර්ථදක්වන්නේ ඔවුන්ගේ සිතැඟියාවන්ට අනුකූලවය. මනසින් දකින මේ නිමිත්ත කෙනෙකුට පෙනෙන්නේ නිර්මල සුදු පැහැති ආලෝකයක් ලෙසටය, තවත් අයට පෙනෙන්නේ රන්වන් පැහැයෙන්ය, තවත් සමහරෙකුට එය දිස්වන්නේ තද නිල් පැහැයෙන්ය. එහි හැඩය සමහරුන්ට පෙනෙන්නේ කවාකාරවය, තවත් සමහරෙකුට එහි හැඩය දිගැටිය, සමහරෙකු එහි ස්ථිර පැතිකඩවල් දකී, ඒ අතරම හැඩයක් කිව නොහැකි දෙයක් ලෙසද සමහරු එය දකිති. නොයෙකුත් භාවනායෝගීන්ගේ විස්තරයන්ට අනුව නිමිත්තෙහි අංගලක්ෂණ වල නිමාවක් නැත. නමුත් මෙතැනදී වැදගත් කරුණ වන්නේ නිමිත්තේ පැහැයවත්, හැඩයවත් අපට අඳාල නොවන බවය. එය යම්කිසි දෙයක් ලෙස හඳුනා ගැනීමට ඇති කුතුහලය නිසා කෙනෙක් තමන්ගේ සංඥානයට අනුව එයට හැඩයක් සහ වර්ණයක් සපයා ගැනීම ඊට හේතුවක් ලෙස දැක්විය හැකිය.

‘නිමිත්ත’ කලින්ම මතුවන්නේ නම්

සමහර විට, භාවනාවේ මුල් අවධිවලදීම මනසෙහි ආලෝකයක් මතුවීමට ඉඩ ඇත. කෙසේ වෙතත්, පළපුරුදු භාවනායෝගීන් හැරුනු විට අන් අය වෙත, මෙවන් ‘අනපේක්ෂිත අමුත්තන්ගේ’ රැඳීම බොහෝ සෙයින්ම අස්ථිරය. භාවනාවේ මුල් අවධිවලදී කෙනෙක් තමන්ගේ අවධානය එවැනි දෙයකට යොමු කිරීමෙන් කිසියම් ඵලදායී දෙයක් සිදු නොවනු ඇත. ‘නිමිත්තකට’ සුදුසු කාලය එය නොවේ. එහෙයින් ආරම්භයේදී මේවා තමා වෙත පැමිණෙන බාධක සේ සලකා ඒවා ගැන තැකීමක් නොකොට මූලිකවම කළ යුතු කාර්යයන්හිම යෙදෙන්න.

මුලදී නිමිත්ත නොසලකා හැරීම

පියකරු හුස්ම අවධියේදී වුවත් මුලදීම නිමිත්තක් මතු වුවහොත්, අතුරුදහන්වී යාම සඳහා සුදුසු මට්ටමට හුස්ම තවමත් සංසිඳී නැති නිසා කළ යුතු හොඳම දේ කුමක්දැයි කියා කෙනෙකු අවිනිශ්චිත තත්ත්වයකට පත්වේ. එසේ නම් නැවතත් නිමිත්ත මතුව ඇත්තේ කඩාකප්පල්කාරි ස්වභාවයකින්ය. මෙතැනදී සිදුවන්නේද, පියකරු හුස්මෙහිම අවධානය රඳවාගෙන සිටීමේ කාර්යයට බාධාවක් ඇති කරමින් එය හා ගැටීමක් ඇති කිරීමය. කෙනෙක් සිතාමතාම, මෙතැනදී තම අවධානය හුස්මෙන් ඉවතට ගෙන, එය නිමිත්ත වෙත යොමු කළහොත්, බොහෝ විට නිමිත්ත වැඩිකල් නොපවතිනු ඇත. නිමිත්ත වැනි ඉතා සියුම් මානසික අරමුණක් වෙත අවධානය යොමු කර ගෙන සිටීමට තරම් මනස තවමත් පිරිපහදුවී නොමැත. මෙවැනි කෙනෙක් හුස්ම සමඟ කරන පුහුණුව තවත් ප්‍රබල කර ගත යුතුය. එම නිසා කළ යුතු හොඳම දේ නිමිත්ත නොසලකා හැර තම අවධානය පියකරු හුස්ම මතම රඳවා ගෙන සිටීමය.

මෙම උපදේශය අනුගමනය කරන්නේ නම්, බොහෝ විට නැවත මතුවන නිමිත්ත බලවත්ය, දීප්තිමත්ය. නැවතත් එය නොසලකා හරින්න. ඊටත් වඩා බලවත්ව, දීප්තිමත්ව තුන්වෙනි වතාවටත් එය මතුවූ විට, නැවත හුස්ම වෙතටම යන්න. මේ අයුරින් පුහුණුවීමෙන් සිදුවන්නේ, අවසානයේදී, ඉතා බලවත්, අතිශයින්ම දීප්තිමත් නිමිත්ත නොදැනුවත්වම ඔ‍බේ අවධානය සොරා ගැනීමය. ඔබ එයත් සමඟ රැ‍ඳෙන්න. ඇත්තවශයෙන්ම, එය නොසලකා හැරීමට නොහැකි තරම්ය. මේ නිමිත්ත ඔබ රැගෙන යන්නේ ධ්‍යාන වෙතය.

අමුත්තෙක් ඔබේ ගෙදර දොරට තට්ටු කිරීම හා මෙය සමකළ හැකිය. ඒ දොරට තට්ටු කරන්නා තමන්ට අනවශ්‍ය පුද්ගලයෙක් විය හැකිය. එම නිසා එය අමතක කොට තමන්ගේ වැඩකටයුතු සොයාබලා ගැනීමෙහිම යෙදෙන්න. බොහෝ විට එය එතැනින් අවසානය. සමහර විට, නැවතත් ඔහු, වැඩිවේලාවක් ඉතා තදින් දොරට තට්ටු කිරීමට පුළුවන. දෙවෙනි වරටත් එය නොසලකා හරිමින් තමන්ගේ කාර්යය දිගටම කරගෙන යන්න. නැවතත් ඔහු මහ හඬ නංවමින් ඉතා වැරෙන් දොරට තඩි බෑමට පුළුවන. එයින් පෙන්නුම් කෙරන්නේ ඒ ඔබේ අත් නොහැරිය හැකි මිතුරෙකු විය හැකි බවය. ඒ නිසා දොර අරින්න. ඇතුළට එන්න ඉඩ හරින්න. එක්ව ප්‍රීතිමත් කාලයක් ගත කරන්න.

නිමිත්ත හුස්මෙහි මැදට ගැනීම

හුස්මෙහි මැදට නිමිත්තත් එකතු කර ගැනීම, පියකරු හුස්ම අවධියේදී මතුවිය හැකි නිමිත්ත සමඟ කටයුතු කළ හැකි තවත් ආකාරයක් ලෙස හඳුන්වා දිය හැකිය. නෙලුම් මලක පෙති මැද, තබා ඇති මැණිකක් මෙතැනදී සිතින් මවා ගන්න. ප්‍රභාමත් මැණික යනුවෙන් අදහස් කරන්නේ පියකරු හුස්මය. නිමිත්ත මත රැඳී සිටීමට මනස තවමත් අපොහොසත් නම් ඒ සඳහා සුදුසු තවත් දෙයක් ලෙස, හුස්ම, තවමත් ඒ අසල ඇත.

සමහර විට, නිමිත්තක් රඳවා ගැනීමට සූදානමක් නැති මනස එය වෙත ඇදී ගියත්, අවසානයේදී නිමිත්ත අතරුදහන්වී ගිය විට තවමත් පසුබිමෙහි පවතින පියකරු හුස්මෙහි මනස රැඳී සිටිනු ඇත. නමුත් ඒ ආකාරයට පියවරක් පසුබෑමෙන් භාවනාවට බාධාවක් සිදු නොවේ. තවත් විටෙක, නිමිත්ත රඳවා ගැනීම සඳහා සුදුසු පදමට මනස අතිශයින්ම ශක්තිසම්පන්න වූවිට නිමිත්ත ඉතා බලවත්ව වර්ධනය වීමෙන් හුස්ම පිළිබඳව තිබූ දැනුවත්කම සිහිකල්පනාවේ සීමාවෙන් ඉවතට තල්ලුවී, ඒ වෙනුවට නිමිත්ත පිළිබඳ දැනුවත්කම එතැනට ආදේශ වනු ඇත. මෙය කුසලතාපූර්ණ ක්‍රමයක් ලෙස හැඳින්විය හැක්කේ එක් දෙයකින් තවත් දෙයකට මාරුවීමක් මෙතැනදී සිදු නොවන බැවින්ය. එවැනි මාරුවක් ස්වභාවයෙන්ම රළුය, භාවනාවට අතිශයින්ම හානිකරය. ඒ වෙනුවට, මෙලෙසින්, අතපෙවීමකින් තොරව, පසෙකටවී, සිහිකල්පනාවට පියකරු හුස්ම වෙතින් නිමිත්තට සංක්‍රමණය වීමට හෝ සමහර විට, ආපසු ඒමට ඉඩදී මෙම ක්‍රියාවලියෙහි ඉදිරි ගමන හෝ පසු ගමන, කෙනෙකුගේ බලපෑමකින් තොරව සිදුවන ආකාරය ඔබටම නැරඹිය හැකිය.

මේ පළපුරුදු යෝගීන් සඳහා පමණක්ය

මෙහි පහත දැක්වෙන උපදෙස් පළපුරුදු භාවනායෝගීන් සඳහා පමණක් වූවත්, පැහැදිලි කර දීමේ පූර්ණතාවය සලකා ඒවා සඳහන් කිරීම සුදුසුය. පළපුරුදු භාවනායෝගීන් යනුවෙන් මා මෙහිදී අදහස් කරන්නේ ධ්‍යාන වලට සමවැදී බොහෝ අත්දැකීම්  ලත් තැනැත්තන්ය. ධ්‍යාන වලට සමවැදීමට හැකියාව ඇති අයගේ සහ මෑතදී ධ්‍යානයකට සමවැදී ඇති අයෙකුගේ මනස, භාවනාවට සූදානම් වීමටත් පෙර, කල්තියාම ඉතාමත් නිශ්චල හා බලගතු බැවින් ඔහුට මූලික භාවනා අවධීන් බොහොමයක් මඟ හැරිය හැකිය. කෙටියෙන් පවසනවා නම් එවැන්නෙකුට භාවනාවට හිඳගත් විගසම මෙන් නිමිත්ත මතු කර ගත හැකිය. නිමිත්තට මනස තදින් හුරුව ඇති බැවින් සහ සතුටුදායක අන්දමින් ඒ වෙත සුවිශේෂී නැඹුරුවක් ගොඩනගා ගෙන ඇති හෙයින්, නිමිත්ත වෙත ඇදී යන මනසට එහි රැඳී සිටීමටද හැකියාවක් ඇත, වහවහා ධ්‍යාන වෙතද පිවිසිය හැකිය. එවැනි පළපුරුදු භාවනායෝගීන්ට, කල්යල් නොයවාම නිමිත්ත මතුවීම වඩා වාසිදායකය.

නිමිත්ත දිස්වන්නේ නැති නම්

සමහරෙකුට, හුස්ම අතුරුදහන්වී ගියත් නිමිත්තක් මතුවන්නේ නැත. ඔවුන්ගේ මනසෙහි ආලෝකයක් මතු නොවේ. ඒ වෙනුවට ඔවුන්ට ඉතිරිව ඇත්තේ සාමකාමී බවක හැඟීමක්, හිස් බවක්, කිසිවක් නැති බවක්ය. මෙය ඉතා අර්ථදායි මානසික අවධියක් මෙන්ම පහසුවෙන් ළඟාවීමට නොහෙන අවධියක් වූවත්, එය ධ්‍යානයක් නොවේ. එමෙන්ම ඉන් ඔබ්බට යාමට බලයක් එහි නැත. ඔපවත් පිරිසිදු බවක් එහි ඇතත් එතැන හිරවීමක් සිදුවන නිසා තවදුරටත් මනස ඉහළට ගෙනයාමට ඇති ඉඩ ඉන් ඇහිරේ. මෙම අවධිය මඟහැර යමින්, නිමිත්ත මතු කර ගෙන ගැඹුරට ගොස් ධ්‍යානවලට පිවිසීම සඳහා ගත හැකි පියවරවල් කිහිපයක් ඇත.

ප්‍රමාණවත් අයුරින් ප්‍රීතිය සහ සුඛය වර්ධනය කිරීම

ඉහත සඳහන් කළ අවධියට පැමිණ කෙනෙක් එතැන හිරවෙන්නේ හුස්මත් සමඟ නිසි පමණට ප්‍රීතිය හා සුඛය වර්ධනය කර නොගත් බැවින්ය. එසේ වුවහොත්, හුස්ම අතුරුදහන්ව යන විට ප්‍රමාණවත් ප්‍රීතිප්‍රමෝදයක් මනසෙහි ගොඩනැගී නැති නිසා මනස එක්තැන් කර ගැනීම සඳහා පිරිසිදු මානසික අරමුණක් සිහිකල්පනාවට නොලැබී යන්නේය. හුස්ම දෙස බලා සිටියදීම මනසෙහි ප්‍රීතිප්‍රමෝදය වර්ධනය කර ගැනීමෙහි වටිනාකම හොඳින් වටහා ගත යුතු කරුණක්ය. බලගතු සුන්දරත්වයක හැඟීමක් මනසෙහි උත්පාදනය වන අයුරින් එය වර්ධනය කර ගත යුතුය. උදාහරණයක් වශයෙන්, ගස්වැල් වලින් පිටකෙරෙන අම්ලකර වායුව, ඔබේ පැවැත්ම සඳහා පුද කෙරෙන පරිත්‍යාගයක් ලෙස  ඔබ වෙත රැගෙන එන්නා, හුස්ම ලෙසත්; එම ගස්වැල්වල පැවැත්ම සඳහා ඔබ හෙළන අංගාරිකාම්ල වායුව, ඔබෙන් කෙරෙන පරිත්‍යාගයක් ලෙස ගස්වැල් වෙත රැගෙන යන්නා, හුස්ම ලෙසත් ඔබට සැලකිය හැකිය. තුරුලතාවන්ගේ හා ඔබේ පැවැත්මට අවශ්‍යවන ජීව ශක්තීන්, එකිනෙකා අතර බෙදා ගන්නේද, එකිනෙකා අතර නොබිඳිය හැකි අන්න්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ගොඩනැංවී ඇත්තේද, රීද්මයානුකූලව සිදුවන ආශ්වාස ප්‍රශ්වාස නැමැති මේ වායු හුවමාරුව තුළින්ය. එවැනි හෝ වෙනයම් අන්දමක රූපාලංකාරයක් උපයෝගි කර ගෙන හුස්මත් සමඟ අත්වැල් බැඳගන්නා ප්‍රීතිප්‍රමෝදය කෙරෙහි සිහිකටයුතු උනන්දුවක් ඇති කර ගැනීමෙන් එම ප්‍රීතිප්‍රමෝදය වඩවඩාත් උද්දීපනය වනු ඇත.

භාවනාවේදී මතුවන ප්‍රීතිප්‍රමෝදයට බිය නොවන ලෙස ඉහත පරිච්ඡේදයේදී මම අනතුරු ඇඟවීමක් කරන්නට යෙදුණෙමි. එම උපදෙස් මම ඉතාමත් වැදගත් ලෙස සලකන නිසා ඒවා වචනයක් වචනයක් පාසා නැවත මතක් කර දීමට කැමැත්තෙමි.

භාවනාවේදී මතුවන ප්‍රීතිප්‍රමෝදයට බිය නොවීම

බොහොමයක් භාවනායෝගීන් ප්‍රීතිය අනවශ්‍ය දෙයක්යයි සලකා එයට පිටුපෑමට පෙළඹේ. එම ප්‍රීතිය භුක්තිවිඳීමට ඔබ නුසුදුස්සෙකුයයි සිතීම ඊටත් වඩා භයානකය. ප්‍රීතිය, භාවනාවේදී අත්‍යවශ්‍යම දෙයක්ය. තවද, ප්‍රීතියෙන් මුසපත්වීමට වූවද ඔබ සුදුස්සෙක්ය. භාවනාමය අරමුණ මුල් කර ගෙන හට ගන්නා ප්‍රීතිප්‍රමෝදයෙහි ගිලීම මෙම භාවනා ම‍ඟෙහි වැදගත් අංගයක්ය. එම නිසා හුස්ම ඇසුරු කර ගනිමින් ප්‍රීතිප්‍රමෝදය මතු වන විට එය වටිනා සම්පතක් ලෙස සලකා එය ආදරයෙන් රැක බලා ගන්න, සුරක්ෂිත කර ගන්න.

වීර්යය දැනහිඳීම වෙත යෙදීම

දැනුවත්කම ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමාණවත් ශක්තියක් නොයෙදීමද, නිමිත්ත මතු නොවීමට තවත් හේතුවක් ලෙස පෙන්වා දිය හැකිය. ඉහත පරිච්ඡේදයෙහි ‘පීතිසුඛය මතු නොවන්නේ නම්’ ඡේදය යටතේ පැහැදිලි කර දුන් ආකාරයට ප්‍රමෝදය හටගන්නේ හැකිතාක් වීර්යය දැනහිඳීමට යෙදීමෙන්ය. බොහෝ කොට අපේ මානසික ශක්තිය වැය වන්නේ නොයෙකුත් දේවල් කිරීම උදෙසාය. එනම්, විශේෂයෙන්ම, සැලසුම් කිරීමට, පාලනය කිරිමට හා සිතීමටය. දේවල් කිරීම සඳහා කෙනෙක් යොදවන ශක්තිය මුළුමණින්ම එයින් ඉවත් කොට මුළු ශක්තියම, දැනහිඳීමට, අවධානයෙන් හිඳීමට, යොමු කළහොත් එවිට මනස දීප්තිමත්වී ප්‍රීතිප්‍රමෝදයෙන් එය බල ගැන්වෙන ආකාරය කෙනෙකුට අත්විඳීමට හැකි වන්නේය. ප්‍රීතිප්‍රමෝදයෙන් මනස ඉහවහා ගිය විට, පීතිසුඛය බලවත් වූවිට සිදුවන්නේ හුස්ම අතුරුදහන්වී නිමිත්ත මතුවීමය. එම නිසා, වුවමනාවටත් වඩා වැඩි ශක්තියක් පාලනය සඳහා යොදවා එය අපතේ හැර, දැනුවත්ව හිඳීම සඳහා අවශ්‍ය පමණ ශක්තියක් වැය නොකිරීම, නිමිත්තක් මතු නොවීමට හේතුව ලෙස දැක්වීමට පුළුවන.

කළකිරීම ගැන සෝදිසියෙන් සිටීම

කෙසේ වෙතත්, හුස්මක් නොදැනෙන අවධියේදී නිමිත්තක් මතු වූයේ නැතිනම් ඉන් කළකිරීමට හා අසහනයට පත් නොවීමට සිතට ගන්න. අසහනයට පත්වීමෙන් සිදුවන්නේ තිබූ පීතිසුඛයත් අහෝසිවී මනස නොසන්සුන්තාවයට ඇද වැටීමය. මේ අසහනය මඟින් සිදු කෙරෙන්නේ නිමිත්ත මතුවීමට තිබූ ප්‍රවණතාවය නැත්තටම නැති කිරීමය. එම නිසා කෙනෙකු කළ යුත්තේ ඉවසිලිවන්තව සංතෘෂ්ටිය ගොඩනගා ගැනීම එකම පිළිසරණය බව තේරුම් ගෙන එය තහවුරු වීමට ඉඩ හැරීමය. බොහෝ විට, සංතෘෂ්ටිය පිළිබඳව දැනුවත්ව හිඳීමෙන්ම එය බලවත් වේ. සංතෘෂ්ටිය වැඩෙන විට ප්‍රමෝදයද බලවත් වේ. ප්‍රමෝදය බලවත් ලෙස පණගැන්වෙන විට නිමිත්ත මතු වේ.

‘මේ මොහොතේ අවධානයේ’ ගැඹුරටම යාම

හුස්ම අතුරුදහන්වූ විට නිමිත්ත මතු කර ගැනීම සඳහා යොදා ගත හැකි තවත් ප්‍රයෝජනවත් ක්‍රමයක් ලෙස මේ මොහොතේ අවධානය ඉතා බලවත් කර ගැනීම සඳහන් කළ හැකිය! මෙම භාවනා මාර්ගයේ පළමුවන අදියර ලෙස ‘මේ මොහොතේ අවධානය’ හඳුන්වා දී ඇත. (මෙම පරිවර්තක යටතේම ‘බුදු දහමෙහි හදවත භාවනාවයි’ පොත බලන්න.) එම නිසා එම අවධිය මුලදීම ප්‍රගුණ කර ගෙන තිබිය යුතුය. නමුත් පුහුණුවේදී, භාවනාවේ ඉදිරියට පිය නගද්දී, අනෙකුත් දේවලට සිත යොමු කිරීම නිසා ‘මේ ‍මොහොතේ අවධානය පිළිබඳව’ නොසැලකිලිමත් කමක් ඇතිවීමටද ඉඩ ඇත. එම හේතුවෙන් කෙනෙකුගේ සිහිකල්පනාව මේ මොහොතේ අවධානය වෙත නිශ්චිත වශයෙන්ම ත්‍රීර්වව, තරව පවතිනවා වෙනුවට ඒ වටා විසිරී පැවතීමට ඉඩ ඇත. මෙයින් ඇතිවන ප්‍රශ්නය ප්‍රඥාන්විතව හොඳින් තේරුම් ගැනීමෙන්, සිහිකල්පනාව දැන් මේ මොහොතේ කේන්ද්‍රය වෙත දැලිපිහියක් සේ තියුණු අන්දමින් ත්‍රීර්ව කර ගැනීමට රුකුලක් වනු ඇත. ඡායාරූප ගැනීමේදී, කැමරාව තුළ දර්ශනය වන අපැහැදිලි රූපය, කැමරාවෙහි කාචය සකස් කර ගැනීමෙන් ඉතාමත් පැහැදිලි කර ගන්නා අන්දම හා මෙය සැසඳිය හැකිය. මේ මොහොත වෙත ඇති අවධානය තියුණුවන විට එහි බලශක්තිය අත්විඳීමද තියුණු වන්නේය. අවධානය තියුණු කර ගැනීමෙන් පීතිසුඛය මතුවී, ඒ පසුපසින් ඔබ වෙත ළඟාවන නිමිත්තද දැක ගැනීමට ඔබට හැකිවනු ඇත.

ප්‍රයෝජනවත් හා නිශ්ප්‍රයෝජනවත් නිමිති

බෙහෙවින්ම යෝග්‍යවන්නේ, ආලෝකයක් ලෙස දිස්වන නිමිති වැඩි දියුණු කර ගැනීමය. ධ්‍යාන වෙත රැගෙන යන හොඳම වාහනය ‘ආලෝක නිමිති’ ලෙස හැඳින්විය හැකිය. කෙසේ වෙතත්, නමුත් බොහෝ කලාතුරකින්, ‘සුඛ වේදනාවක් ලෙස දැනෙන නිමිති’ වලින් පවා එම ප්‍රවාහනය සිදු කර ගත හැකි බව සඳහන් කළ යුතුය. මෙයින් මා අදහස් කරන්නේ ආලෝකයක ස්වරූපයෙන් නිමිත්තක් නොදකින මනසට, ඒ වෙනුවට දැනෙන්නේ ප්‍රීතිප්‍රමෝදය නිසා මනසෙහි මතුවී ඇති බලවත් සුඛ වේදනාවය. මේ අවධියේදී ස්පර්ෂය නිසා හටගන්නා වේදනා මනස අභිබවා ගොස් ඇති බැවින් මෙතැනදී ප්‍රීතිප්‍රමෝදය හේතු කොට ගෙන මතුවන එම දැනීම, හැඟීම පූර්ණවශයෙන්ම මනෝමය සංවේදනාවක් බව අවධානයට ගැනීම වැදගත්ය. මෙය ඉතා පිරිසුදු මානසික අරමුණක් වූවත් කෙනෙකු එය සංඥානනය කර ගන්නේ ප්‍රීතිප්‍රමෝදයෙන් දැනෙන ශාරීරික වේදනාවක් හා සමානවූ දෙයක් ලෙසටය. මෙය සත්‍යමවූ නිමිත්තක්ය. ධ්‍යානයක් වෙත එළඹීමට මෙවැනි නිමිත්තක් දියුණු කර ගැනීම සඳහා කටයුතු කිරීම එතරම් පහසු කාර්යයක් නොවූවත්, එය කළ නොහැකි දෙයක්යයි මම නොපවසමි. ධ්‍යාන වෙත ඔබේ ඇල්මක් ඇත්නම්, ඉහත සඳහන් කළ හේතූන් මත, ආලෝක නිමිත්තක් දියුණු කර ගැනීම වඩා යෝග්‍ය බව මම නිර්දේශ කර සිටිමි.

ධ්‍යාන වෙත පිවිසීමට ප්‍රයෝජනවත් නොවන සමහරක් දර්ශනාත්මක නිමිතිද ඇත. මෙවැනි අප්‍රයෝජනවත් නිමිති ගැන මූලික අවබෝධයක් ඇති කර ගැනීමෙන් ඒවා සමඟ රැඳී, අපතේ හරින කාලය මඟ හරවා ගත හැකිය.

දර්ශන.

සමහර විට, අංගසම්පූර්ණ දර්ශන පැහැදිලිව මනසෙහි මැවී පෙනෙන්නට පුළුවන. විටෙක මේවා තැනිතලා, ගොඩනැගිලි හෝ මිනිසුන් පිළිබඳව දැක පුරුදු හෝ පුදුමාකාර අද්භූත දර්ශන විය හැකිය. මේවා, නරඹමින් සිටීමට සිත පොළඹවන මනස්කාන්ත දර්ශන වූවත් එයින් ලැ‍බෙන ඵලප්‍රයෝජන අල්පය. එලෙසම, ඒවායෙහි ගත යුතු හරයක් නොමැති බැවින් ඉන් යම් සත්‍යයක් හෙළිදරව් කරන්නේයයි යන අදහසෙහිද එල්බ නොගත යුතුය! මගේ අත්දැකීම් වලට අනුව මේ අවධියේදී මතුවන මෙවැනි දර්ශන, මනස රැවටීමට නම්දැරූ, කිසිසේත්ම විශ්වාස කළ නොහැකි, ඒවා බව පැවසිය හැකිය. කාලය අපතේ හැරීමට කෙනෙකුට අවශ්‍ය නම් ඒවා සමඟ ටික කාලයකට රැඳී සිටීමටද පුළුවන. නමුත් කළ යුතු නිවැරදි දේ ලෙස මා නිර්දේශ කර සිටින්නේ ඒවාට ඇති ඇල්ම අත්හැර දමා නැවත පියකරු හුස්ම වෙත යාමටය. බොහෝ සෙයින්ම, එවැනි සංකීර්ණ දර්ශන, අවුල් සහගතවූ මනසෙහි හුදු පරාවර්තනයක්ය. හුස්ම අත්හැර දැමීමට මත්තෙන්, ක්‍රමවත්ව, ඵලදායි අන්දමින් මනස සරල, සංසුන් මට්ටමකට ගෙන ආ යුතුව තිබිණි. මනස සරලතාවයට ගෙන ඒමට කෙනෙක් පුහුණු වන්නේ, අඛණ්ඩව දීර්ඝ කාලීනව පියකරු හුස්මෙහිම මනස රඳවා ගෙන හිඳීමෙන්ය. එවිට හුස්ම අතරුදහන් වීමත් සමඟ මතුවන නිමිත්ත, සරල එමෙන්ම අසංකීර්ණ එකක් වනවා මෙන්ම එය ඉදිරි ගමනට යෝග්‍ය වූවක්ද වන්නේය.

ගිනිකෙළියක් සේ දිස්වන නිමිත්ත.

වැඩි ආටෝපයක් නොමැති වූවත්, එහෙත් තවමත් අතිශයින්ම සංකීර්ණ බවකින් යුතු නිමිත්තක්, ගිනිකෙළි නිමිත්තක් ලෙස හැඳින්විය හැකිය. නමින් පෙන්නුම් කරන අන්දමටම මෙය; ඉකුත්වන, නිකුත්වන, වැඩි කාලයක් නොපවතින, විහිදෙමින්, පැතිරෙමින්, පුපුරායන එළිවලින් සමන්විත වූවක්ය. විවිධ වර්ණයන්ගෙන් වර්ණවත්වූ එකවිටම සිදුවන පිපිරීම් සමූහයක ස්වරූයෙන්ද මේවා දිස්විය හැකිය. නැවතත්, ගිනිකෙළි නිමිත්තකින් පෙන්නුම් කෙරෙන්නේද මනස තවමත් ව්‍යාකූල සහ චංචල බවින් මිදී නොමැති බවය. කෙනෙකුට අවශ්‍ය නම් මේ අතුරු සැණකෙළියෙන් ආස්වාදයක් විඳිය හැකිය. නමුත් එතැනටවී වැඩි කාලයක් අපතේ නොහැරීමට වගබලා ගන්න. ගිනිකෙළි නිමිත්ත ගෙනහැර පාන සංදර්ශනය අමතක කර දමා නැවත හුස්ම වෙත ගොස් ඒකාග්‍රතාවය සහ සංසුන් බව වැඩීමට සිතට ගන්න.

කුලෑටි නිමිත්ත.

ඊළඟ වර්ගයේ නිමිත්ත, කුලෑටි (ලජ්ජාශීලී) නිමිත්ත ලෙසින් හැඳින්විය හැකිය. ඉතා දීප්තිමත්, පිරිසිදු, එක් ආලෝකයක් ක්ෂණයකින් නැගීවිත් ක්ෂණයකින් නොපෙනී යාම එහි ස්වභාවයයි. ටික කාලයකට පසු එය නැවතත් නැගී එයි. ඒ සෑම වාරයකම එය දර්ශනය වන්නේ ඉතා සුළු මොහොතකට පමණක්ය. එවැනි නිමිත්තක් මතුවීම, කලින් සඳහන් කළ නිමිතිවලට වඩා සුභදායකය. එහි සරල බවින් පෙන්නුම් කෙරෙන්නේ මනස එක්තැන්වී ඇති බවය. එහි ඇති දීප්තියෙහි බලගතුකම මනසෙහි ඇති පීතිසුඛය පිළිබිඹු කරයි. එය විනිවිදවිත් විඤ්ඤාණයට මුසු වූවත් එය වැඩි කාලයක් ග්‍රහණයෙහි තබා ගැනීමට ඇති නොහැකියාවෙන් පෙන්නුම් කෙරෙන්නේ තවමත් මනස නිසි පමණට සංසුන්වී නැති බවය. එහෙත් එවැනි අවස්ථාවකදී කෙනෙක් නැවතත් පියකරු හුස්ම වෙත නොයා යුතුය. ඒ වෙනුවට කළ යුත්තේ ඉවසිලිවන්තව සිටිමින්, ඉතා කුලෑටි නිමිත්ත, මනා සංයමයකින් යුතුව පිළිගැනීමට සුදුසු තත්ත්වයකට මනස පත්වන තෙක්, මනසට සංසුන්වීමට ඉඩ හැරීමය. නිමිත්ත අතුරුදහන් වීමට බොහෝ විටම හේතුව, එය දර්ශනය වීමත් සමඟම ඇති කර ගන්නා නූවමනා බිය හා තිගැස්සීම මඟින් දක්වන ප්‍රතිචාර නිසා බව පසුවදී පුළුල් වශයෙන් විස්තර කර දීමට මම අදහස් කරමි. වඩා ප්‍රබල සංසුන්කමක් හා ආත්ම විශ්වාසයක් ඇති කර ගැනීම තුළින් එවැනි ප්‍රතිචාර දැක්වීම අත්හිටුවා ගැනීමෙන්, නැවතත් කුලෑටි නිමිත්ත දිස්වන වාරයක් පාසා එය වඩා දිගු කාලයක් රැඳී පවතිනු ඇත. මනස සංසුන්කමකින් යුතුව එය හොඳින් පිළිගන්නා බව හැඟීයාමෙන්, වැඩිකල් නොයවා, එවැනි නිමිත්තක ඇති ලජ්ජාශීලී බව මඟ හැරී ගොස්, එය දර්ශනපථයෙහි බොහෝ කාලයක් රැඳී සිටිනු ඇත. කෙනෙක් ඒ අන්දමින් එවැනි නිමිති සමඟ කටයුතු කිරීමට මුලදී උත්සාහ දැරිය යුතුය. නමුත් එම නිමිත්ත එහි ‘ලජ්ජාශීලී’ බව අත් නොහැර, වැඩිකල් නොරැඳීමට පෙළඹෙන්නේ නම් කෙනෙක් කළ යුත්තේ කුලෑටි නිමිත්ත අමතක කර දමා නැවත පිකරු හුස්ම වෙත යාමය. එසේ පියකරු හුස්ම උපයෝගි කර ගැනීමෙන් මනසෙහි නිසලතාවය සහ ශාන්ත බව හොඳින් ගොඩනගා ගැනීමෙන් පසු නැවත කුලෑටි නිමිත්ත වෙත ගොස් එහි ස්ථිරතාවයක් පවතීදැයි නැවතත් පරීක්ෂා කර බැලිය යුතුය.

තිතක් වැනි නිමිත්ත.

‘තිත් නිමිත්ත’ තවත් වර්ගයක නිමිත්තක්ය. තිතක් මෙන් ඉතා කුඩා, සරල, නමුත් ඉතාමත් දීප්තිමත් බලගතු එළියක් ලෙසින් මෙය දිස්වේ. මේ ඉතා ඵලදායි නිමිත්තක්ය. එමඟින් පෙන්නුම් කෙරෙන්නේ මනසෙහි ඒකාග්‍රතාවය විශිෂ්ට බවය. අවශ්‍ය පමණට මනස සංසුන් වූවත් පීතිසුඛය මඳ බවක්ද ඉන් පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත්, කෙනෙකු මෙතැනදී කළ යුත්තේ, ඉතා සංසුන්ව, ගැඹුරින් ‘තිත් නිමිත්ත’ දෙස බලා හිදිමින්, සිහිකල්පනාවට එතුළට කිඳා බැසීමට ඉඩ හැරීමය. එමඟින් සිදුවන්නේ කෙනෙකුගේ අවධානය තවතවත් නිමිත්තටම සමීපවීම නිසා එහි ප්‍රමාණය විශාල වීමය. එහි ප්‍රමාණය සුළු වශයෙන් හෝ විශාල වන විට කෙනෙකුගේ අවධානය යොමු විය යුත්තේ එහි කේන්ද්‍රයට මිස එහි වටරවුමටවත් ඉන් පිටතටවත් නොවේ. තිත් නිමිත්තෙහි කේන්ද්‍රය වෙත අවධානය තියුණු කර ගැනීමෙන් එහි බලය වර්ධනය වේ, පීතිසුඛය ප්‍රබල වේ. ඉක්මණින්ම, නිමිති අතුරින් හොඳම නිමිත්ත මෙය බව ඔබට ප්‍රත්‍යක්ෂ වන්නේය.

හොඳම නිමිත්ත.

ධ්‍යානයකට සමවැදීම සඳහා යෝග්‍යවන නිමිති අතුරින් හොඳම නිමිත්ත උපමා කර දැක්විය හැක්කේ වළාකුලින් තොර රැයක මධ්‍යම රාත්‍රියේ පායා ඇති පුන්සඳක් ලෙසටය. හුස්ම සීරුවෙන් අතුරුදන්වී ගෙන යන විට මෙම නිමිත්ත මතුවන්නේ මනා සංයමයකින් යුතුව ‍ හෙමින්සීරුවේය. මතුවීමෙන් තත්පර තුනහතරක් වැනි සුළු කාලයක් තුළදී එය තැන්පත්වී, නිශ්චලව මනැස ඉදිරියේ පියකරු අන්දමින් දෘශ්‍යමාන වන්නේය. එසේ දිස්වෙමින්, ආයාසයකින් තොරව එය දීප්තියෙන් සහ ආලෝකයෙන් ඔපවත් වන්නේ ස්වභාවිකවමය. ඉක්මණින්, එය මධ්‍යාහ්නයේ හිරුටත් වඩා දීප්තියකින් බබලමින් පීතිසුඛය විහිදුවීම අරඹන්නේය. තමන් මුළු ජීවිතයටම දැක ඇති ඉතාමත් සුන්දර දෙය බවට එය පත්වේ. එය විහිදුවන බලයත්, ලස්සනත් කෙනෙකුට දරා සිටීමට පවා අසීරු බවක් දනවයි. නමුත් ඔබට එය දරා සිටිය හැකිය. කෙනෙකුට දැනෙන පීතිසුඛයේ සීමාවක් නැත. මෙතැනදී කෙනෙක් ඉතාමත් බලවත් පීතිසුඛයක ගිල්වමින් නිමිත්ත පුපුරා යාමට හෝ මෙම දිදුලන ප්‍රමෝදයේ මැදට කිමිඳ යාම සිදුවිය හැකිය. කෙනෙකුට එතැන එසේ රැඳී සිටිය හැකි නම් ඔබ සමවැද සිටින්නේ ධ්‍යානයකටය.

නිමිත්ත දීප්තිමත් කිරීම

නිමිත්ත යනුවෙන් හඳුන්වන දෙය මනසේ ප්‍රතිබිම්භය බව වටහා ගැනීම ඇත්තවශයෙන්ම කෙනෙකු ලබාගන්නා ප්‍රබල දූරදර්ශී නුවණක්ය. කණ්ණාඩියකින් මුහුණ බලන විට තමන්ගේ මුහුණෙහි ඡායාව කෙනෙකු දකින්නේ යම්සේද, ඒ ආකාරයටම මේ අවධියේදී පවතින බලගතු තැන්පත්කම තුළින් කෙනෙකු තම මනසෙහි ඡායාව දකී. නිමිත්ත යනු කෙනෙකුගේ මනසෙහි, පරාවර්තනයවූ එම ඡායාවය.

සීලයෙහි ඇති වැදගත්කම.

දිස්වන නිමිත්ත දුබල නම් හෝ කිලිටි නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ තමන්ගේ මනසෙහි දුබල බවය, එසේ නැතිනම් කිලිටි බවය! බොහෝ විට එයට හේතුව වශයෙන් දැක්විය හැක්කේ, මෑතදී, තරහ හෝ ආත්මාර්ථකාමි බව වැනි යමක් මනසෙහි මතුවීමට ඉඩ දීමෙන් තමන් සීලය දුබල කර ගත් බවය. මෙම අවධියේදී කෙනෙක් සෘජුවම බලා සිටින්නේ තමන්ගේම මනස දෙස බැවින් බොරුවෙන් ජය ගැනීමට හෝ තමන් මුලා කර ගැනීමට මෙතැනදී ඉඩකඩක් ඇත්තේම නැත. ඒ දකින්නේ තම මනසෙහි සත්‍ය ස්වභාවයයි. එම නිසා පිළිඹිබු වන මනස අපැහැදිලි නම් හෝ පැල්ලම් සහිත නම් තම දෛයිනික ජීවිතය පිරිසිදු කර ගැනීමට උත්සාහ ගන්න. සිල්පද ආරක්ෂා කර ගැනීමට, කරුණා පෙරදැරිව කථාබහ කිරීමට, පරාර්ථකාමි කටයුතුවල යෙදීමට නොපසුබට වන්න. නිමිති පහළවන මෙම අවධියේදී ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කර සිටින දෙයක් වන්නේ භාවනාවේ ප්‍රගතිය සඳහා සීලය අත්‍යවශ්‍ය අංගයක් වන බවය.

පසුගිය අවුරුදු කිහිපය තුළදී භාවනා වැඩමුළු රාශියක් පවත්වා ඇති බැවින්, භාවනාවේදී සිත්ගන්නා ප්‍රතිඵල ලබාගන්නේත්, පහසුවෙන් භාවනාවේ ඉදිරියට යන්නේත්, නිර්මල පිරිසිදු හදවත් ඇති භාවනායෝගීන් පමණක් බව මට හොඳින් පෙනී ගිය කරුණක්ය. මෙම උදාර ගණයට ඇතුළත් වන්නේ අන් අයට සිහිනෙකින්වත් කරදරයක්, හානියක් කිරීමට සිත් නොදෙන, මුදු වදනින් කථා කරන, පරිත්‍යාගය සතුටත් කරගත්, මුදු මොළොක් හදවතක් ඇති ඉතා ප්‍රීතිමත් පුද්ගලයින්ය. ඔවුන්ගේ ජීවන රටාව මෙන්ම මනසද ලස්සනය. සිල්වත් ජීවන රටාවක් පවත්වා ගැනීමට ඔවුන්ට ආධාරවන්නේ ඔවුන්ගේ ලස්සන මනසය. එවැන්නෝ භාවනාවේ මෙම අවධියට සැපත්වූ විට, ඔවුන්ගේ මනස පිළිබිඹු කෙරෙන නිමිත්ත පිරිසිදුකමින් හා දීප්තියෙන් බබලන හෙයින්, ඔවුන්ට පහසුවෙන්ම ධ්‍යානයකට සමවැදීමට හැකි වන්නේය. මෙයින් නිගමනය වන්නේ ඉඳුරන් පිනවීමෙහිම නිරතවූ අසංවර ජීවන රටාවන් ගෙන යන්නවුන් හට භාවනාවේ දියුණුවක් දැකීම අපහසු බව හා ඒ වෙනුවට, සංවරකම බලවත් කර ගන්නා, කරුණාව දයාව දියුණු කර ගන්නා අයගේ මනස නිතැතින්ම භාවනාවට යෝග්‍යවන අයුරින් සැකසෙන බවය.

එම නිසා අපැහැදිලි, අපිරිසිදු නිමිත්තක් ඔප්නංවා ගැනීම සඳහා ගත යුතු හොඳම ක්‍රියා මාර්ගය වන්නේ, භාවනාවෙන් පිටතදී තමන්ගේ කල්ක්‍රියාව පවිත්‍ර කොට ගෙන තමන් කරන කියන කටයුතුවල පිරිසිදු කමක් ඇති කර ගැනීමය.

ලස්සන කේන්ද්‍රයට අවධානය යොමු කිරීම

සීලයෙහි ඇති වැදගත්කම එසේ සඳහන් කළත්, දෛනික ජීවිතයේදී තමන්ගේ කල්ක්‍රියාව තදින් අපවිත්‍ර බවට පත් නොවී නම් භාවනා වාරය තුළදීම, දුර්වර්ණ නිමිත්තක් වුවත් පැහැපත් කර ගැනීමට ඔහුට අවස්ථාව ඇත. මෙය ඉටු කර ගැනීම සඳහා කළ යුත්තේ තම අවධානය නිමිත්තේ කේන්ද්‍රය වෙත යොමු කිරීමය. නිමිත්තෙහි වැඩි කොටසක් දුර්වර්ණව දිස් වූවත්, එහි කේන්ද්‍රය අවට කොටස හැමවිටම දීප්තියෙන් හා පිරිසිදු බවින් යුක්තය. එය වෙනස් කළ නොහැකි, වැඩකට නැති රළු නිමිත්තක් සේ දිස් වූවත්, එහි කේන්ද්‍රය මෘදුය. කෙනෙක් එම කේන්ද්‍රය වෙත අවධානය යොමු කර ගෙන සිටීමෙන් සිදුවන්නේ එය බැලුනයක් මෙන් ප්‍රසාරණයවී වඩා පැහැපත්, පිරිසුදු දෙවන නිමිත්ත එතැන මතුවීමය. එම දෙවෙනි නිමිත්තෙහිද වඩා පැහැපත් පිරිසිදු කොටසවූ එහි කේන්ද්‍රය වෙත අවධානය යොමු කර ගෙන සිටීමෙන්, එයද බැලුනයක් මෙන් ප්‍රසාරණයවී ඊටත් වඩා දීප්තියෙන් සහ පවිත්‍ර බවින් යුතු තුන්වන නිමිත්ත මතු වන්නේය. කේන්ද්‍රය දෙස ඕනෑකමකින් බලා සිටීමෙන් සිදුවන්නේ නිමිත්තෙහි දීප්තිය වර්ධනය වීමය. මේ ආකාරයෙන් කෙනෙක් ප්‍රභාශ්වර බවින් අනූනවූ ලස්සන නිමිත්තක් මතුවන තෙක් කටයුතු කළ යුතුය.

කෙනෙක්, දැඩි ලෙස වැරදි සෙවීමෙහි යෙදෙන මනසක් තම ජීවිතයේදී ගොඩනගා ගෙන ඇත්තේ නම්, අර දෙයෙහි මේ දෙයෙහි වැරදි සෙවීම අත් නොහල හැකි අන්දමේ පුරුද්දකට පරිවර්තනය කර ගෙන තිබේ නම්, තමා ඉදිරියෙහි දර්ශනය වන අඳුරු නිමිත්තෙහි කේන්ද්‍රය තෝරාබේරා ගෙන එවෙතට අවධානය යොමු කිරීම කිසිසේත්ම කළ නොහැකි දෙයක් වන බව තමන්ටම පැහැදිලි වනු ඇත. අනුන්ගේ සහ දේවල්වල අඩුපාඩු සෙවීම තම ජීවිතයෙහිම කොටසක් කරගෙන ඇති අයට, ජන්මෙට වඩා පුරුද්ද ලොකු බැවින්, නිමිත්තෙහි අඳුරු අපිරිසිදු කොටස් අමතක කොට එහි ලස්සන කේන්ද්‍රයට පමණක් අවධානය යොමු කිරීම ඉතාමත් අපහසු කාර්යයක් වන්නේය. මෙයින්ද පැහැදිලි වන්නේ තම ජීවිතයේදී ඇති කර ගන්නා අයහපත් ආකල්පයන් භාවනාවේ ප්‍රගතියට බලපාන අන්දමය. කෙනෙක්, වැරදි වලට සමාවදීමට ආකල්පයක් තම ජීවිතය තුළ ගොඩනගා ගෙන ඇත්තේ නම්, හොඳ නරක දෙකම ප්‍රභේදයකින් තොරව පිළිගැනීමට හැකියාවක් ඇති කර ගෙන තිබේ නම්, දැඩි ලෙස බදා ගැ‍නීමෙහිත්, දැඩි ලෙස හෙලා දැකිමෙහිත් නොයෙදී මධ්‍යස්ථව සිටීමට පුරුද්දක් ඇති කර ගෙන තිබේ නම්, එවැන්නෙකුට දුර්වර්ණ අපිරිසිදු නිමිත්තක ඇති අඩුපාඩුවල පවා ලස්සනක් ඇති බව පෙනෙනවා පමණක් නොව එහි කේන්ද්‍රයෙහි ඇති ලස්සන වඩාත් හොඳින් සිතට නැගෙනු ඇත.

ධ්‍යාන වෙත ළඟාවීම සඳහා දීප්තිමත්, ඔපවත් නිමිත්තක පිහිට අවශ්‍යය. දුර්වර්ණවූ අපිරිසිදු නිමිත්තක්, ගමන මැදදී ක්‍රියා විරහිත වන්නේ අබලන්වූ මොටර් රථයක් මෙන්ය. දුර්වර්ණවූ නිමිත්තක් පණගැන්වූයේ නැත්නම් ටික වේලාවකට පසු එය අතුරුදහන්වී යාම ස්වභාවිකය. එම නිසා නිමිත්ත පණගැන්වීමට අපහසු කටයුත්තක් සේ කෙනෙකුට හැ‍ඟේ නම්, එවිට නැවත පියකරු හුස්ම වෙත ගොස්, එහි පියකරු ලෙස හැඳින්වූ කොටස වඩාත් ශක්තිමත් කර ගන්න. පීතිසුඛයත්, බලවත් ප්‍රීතියත්, ප්‍රමෝදයත් වැඩිවැඩියෙන් උපදවා ගන්න. එවිට, ඊළඟ වතාවේදී හුස්ම අතුරුදහන්වී ගිය විට මතුවන නිමිත්ත ඉහතදී මෙන් අඳුරු බවින් හා අපිරිසිදු බවින් තොරව වඩා දීප්තිමත්ව, ඔපවත්ව මතුවෙනු ඇත. දැන් ඔබ ඒ යෙදී සිටියේ පියකරු හුස්ම අවධියේදී මතුවන නිමිත්ත ඔප් නැංවීමෙහිය.

නිමිත්ත ස්ථාවර කර ගැනීම

නිමිත්ත දීප්තියෙන් බබලන විට එය ඉතා අලංකාරය. එහි අලංකාරය කෙතෙක් ගැඹුරුදැයි පවසනවා නම්, එය මිහිපිට දැකිය නොහැකි දෙයක් සේ හා කෙනෙක් මීට පෙර කිසිදිනෙක අත්විඳ නැති විශ්මයජනක දෙයක් සේ හැ‍ඟෙනු ඇත. නිමිත්තෙහි වර්ණය කුමක් වූවත් එය තම දෙනෙතින් දැක ඇති වර්ණයකට වඩා දසදහස් ගුණයකින් වර්ණවත්ව දිස්වන්නේය. එවැනි බලගතු, අති විශිෂ්ට අලංකාරය, කෙනෙකුගේ අවධානය ඇදබැඳ ගැනීමට සමත්වන හෙයින් නිමිත්ත ස්ථාවරව රඳන්නේය. නිමිත්තෙහි අලංකාරය කෙතරම්ද, එපමණටම නිමිත්තද ස්ථාවර වන බව පැවසිය හැකිය. එහි සෙලවීමක්ද නැත. ඉහත විස්තර කරදුන් පරිදි, නිමිත්ත ස්ථාවර කර ගැනීම සඳහා යොදා ගත හැකි ක්‍රමවලින් හොඳම ක්‍රමය වන්නේ අතිශයින්ම දීප්තිමත් වන තෙක් නිමිත්ත බැබලවීමය. එමඟින් එය දිගුකලක් නොසැලී දිස්වනු ඇත.

කෙසේ වෙතත්, පෙලක් දීප්තිමත් නිමිති, දිගු කාලයක් නොරඳන්නේය. ඒවා දැනුවත්කම නැමැති මානසික භූමියට බලවත් පීතිසුඛයක් දනවමින් කඩාබිඳ ගෙන පැමිණියත්, පැහැදිලි අහසෙහි දිස්වන ප්‍රභාමත් උල්කාපාතයක් මෙන් එය වැඩි කල් පවතින්නේ නැත. එවැනි නිමිති බලශක්තියෙන් ප්‍රබල වූවත් ස්ථාවරත්වයෙන් දුබලය. එවැනි නිමිත්තක් ස්ථාවර කර ගැනීම සඳහා නිමිත්තෙහි ස්ථාවරත්වය සිඳබිඳ දමන සතුරන් දෙදෙනා වන තැතිගැන්ම සහ විශ්මය හඳුනා ගැනීම මෙහිදී වැදගත්ය.

තැතිගැන්ම.

සතුරන් දෙදෙනාගෙන් වැඩිපුරම මුණගැසෙන්නේ හා වඩාත්ම පැහැදිලිව දකින්නට ලැබෙන්නේ තැතිගැන්මය. දීප්තියෙන් හා බලයෙන් අනූනවූ මෙවැනි නිමිති දිස්වූ සැණින් කෙනෙකු තැතිගැනීමට පත්වේ. තමන්ට වඩා බලවත්වූ යමක් හඳුනාගත් සැණින් කෙනෙකු සංත්‍රාසයට පත්වීම ස්වභාවිකය. වඩාත්ම, අත්දැකීමෙහි ඇති නුහුරු නුපුරුදු බව නිසාම කෙනෙකුට දැනෙන්නේ තම ආරක්ෂාවට බලවත් තර්ජනයක් වූවා සේය. කෙනෙකුට හැ‍ඟෙන්නේ තමන් සතුව තිබූ බලපුළුවන්කාරකම සහ පාලනය ගිලිහී ගියාක් මෙන්ය. ඔව්, එය එසේ වන්නේ නම් මොනතරම් හොඳද? එම ගිලිහී යාම සිදුවන්නේ, කෙනෙක් ‘තමා’ යන හැඟීම අත්හැර දමා නිමිත්ත කෙරෙහි සම්පූර්ණ විශ්වාසය ඇති කර ගැනීමෙන්ය. එවිට කෙනෙක් අත්විඳින්නේ ආශාව සහ පාලනය අභිබැවූ ලෝකෝත්තර ප්‍රමෝදයක්ය. එපමණක්ම නොව, කෙනෙක් තම ආත්මය ලෙස තදින්ම සලකා ගෙන සිටි, පාලනය අතුරුදහන්වූ විට, එතැන ඉතිරි වන්නේ නිදහස් වීමේ අසීමිත ප්‍රීතියය. බලගතු නිමිත්තක් අභියසදී කෙනෙකුට සිතෙහි චකිතයක් පහළවීමට මූලික වන්නේ, මමත්වයේ බලගතු කොටසවූ පාලනය, අත්හැර දැමීමට සිදු වීමය.

බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීමක්වූ අනාත්මය, තමන් කියා කෙනෙකු නැති බව, යන්තමින් හෝ වටහා ගැනීමට හැකියාවක් ඇති අයට මෙම තැතිගැන්ම මැඬපවත්වා ගනිමින් නිමිත්ත පිළිගැනීමට පහසු වන්නේය. එවැනි පුද්ගලයන්, ආරක්ෂා කර ගැනීම සඳහා කිසිවක් මෙතැන නැති බව අවබෝධ කර ගැනීම නිසා, ශූන්‍යතාවය, කිසිවක් නැති බව මත විශ්වාසය තබා පාලනය හැර දමන්නේය. එමඟින්, මමත්වයකින් තොරව මනසෙහි අලංකාරය සහ බලය භුක්ති විඳීමට අවස්ථාව සැලසෙන්නේය, නිමිත්ත ස්ථාවර වන්නේය. මෙතැන කිසිවකු නැත යන සංකල්පය, ප්‍රඥාන්විතව විමසා බැලීමෙන් ලත් හුදු මානසික අවබෝධය වූවත්, ඇතුළාන්තයෙන් මතුවන පාලනය අත්හැර දැමීමට ඇති මෙම බිය මැඬපවත්වා ගැනීමට, මෙතැනදී මහත් පිටුවහලක් වන්නේය. ඒ කෙසේ වෙතත්, අනාත්මයෙහි සත්‍යතාවය පිළිබඳ කුකුසක් ඇති අයට පවා, ඊට වඩා බලගතු අන්දමින් තමා විඳින අධික ප්‍රමෝදයෙහි වින්දනය ගැන සිතා බැලීමෙන්, ඒ වෙනුවට ආදේශ කර ගැනීමෙන්, මෙම බිය තුරන් කර ගත හැකිය. පිහිනුම් තටාකය සහ කුඩා දරුවා වටා ගෙතුනු මෙම උපමා කතාවෙන් මෙය පහසුවෙන් වටහා දීමට පිළිවන.

පොළව මත දෙපයින් සිටගැනීමට ආත්ම විශ්වාසයක් ඇති කර ගෙන ඇති දරුවෙක්, මුල් වතාවට පිහිනුම් තටාකයක් දැකීමෙන් බියට පත්වීම නිතැතින්ම සිදුවන දෙයක්ය. නුපුරුදු වතාවරණයක් ඇති කරන්නේ ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක්ය. මගේ කුඩා ශරීරය තදගතියක් නැති ජලයෙහි කෙසේ සමබරව පවත්වා ගත හැකිදැයි ඔහු තුළ බලවත් විමතියක් ඇති‍ වේ. පාලනය නැති වීමට යන්නේය යන හැඟීම ඔහුට ඇති කරන්නේ තදබල බියක්ය. මුලදී ඔහු කරන්නේ කකුලේ එක් ඇඟිල්ලක් වතුරට ඔබා ඉක්මණින් ඉවතට ඇද ගැනීමය. එහි අමුත්තක් නැති බව ඔහුට හැඟීයයි. එම නිසා කකුලේ ඇඟිලි තුනක්ම වතුරෙහි ටික වේලාවක් ඔබා ගෙන සිටී. එහිද වරදක් නැති බව ඔහුට වැටහේ. ඊළඟට ඔහු මුළු අඩියම වතුරෙහි ගිල්වයි. ඉන්පසු මුළු කකුලම වතුරෙහි ඔබා බලයි. මෙලෙසින් විශ්වාසය තහවුරු වන්නට වන්නට පිහිනුම් තටාකය විනෝදය ගෙන දෙන දෙයක්ය යන හැඟීම ඔහුගේ මනසෙහි ඇති වේ. සංතෘෂ්ටියේ අපේක්ෂාව, බියට වඩා බලවත් වෙයි. දරුවා දියට පැන දියේ කිමි‍ඳෙයි. ඔහු එයින් විඳින ආස්වාදය කොතෙක්දැයි පවසනවා නම් අවසානයේදී දෙමාපියන්ටවත් ඔහු වතුරෙන් ඉවතට ගැනීමට බොහෝ සෙයින් අපහසු වනු ඇත!

ඒ හා සමානව, බලගතු නිමිත්තක් අභියසදී ‘බිය’ පැන නැඟුනු විට කෙනෙකුට කළ හැකි එකම දේ, ඒ සමඟ මොහොතකට නතර වීමය. මෙය, දරුවා එක් ඇඟිල්ලක් වතුරෙහි ඔබා එසැණින්ම එය ඉවතට ඇඳ ගැනීම හා සමානය. කෙනෙක්, එය හැඟුනේ කෙසේදැයි ආවර්ජනය කර බලයි. එය ආශ්චර්යයක්යයි කෙනෙක් පැවසුවහොත්, එය ඇත්තටම අවතක්සේරු කිරීමක්ය. එම නිසා, ඊළඟ වතාවේදී ඊට වඩා වැඩි කාලයක් එතැන රැඳී සිටීමට සිත ධෛර්යමත් කරන්නේ පෙර අත්දැකීමෙන් ලත් ආස්වාදයය. මෙය, කකුලේ ඇඟිලි තුනක් හා ඊළඟට මුළු අඩියම වතුරේ එබීමට පෙලඹවීම හා සමානය. පසුවදී, කෙනෙකුට බලගතු නිමිත්ත සමඟ වැඩි කාලයක් රැඳී සිටීමට සිත් දෙන්නේ, මුළු කකුලම වතුරෙහි ඔබා ගෙන සිටීමෙන් වැඩි ආස්වාදයක හැඟීමක් දැනෙන්නා සේමය. ක්‍රමක්‍රමයෙන් සිදුවන මේ ක්‍රියාවලියෙන් ආත්ම විශ්වාසය ඉක්මණින් තහවුරු වේ. ලැබිය හැකි සංතෘෂ්ටියේ බලවත්කම පිළිබඳ අපේක්ෂාව උත්සන්න වේ. එමඟින් සිදුවන්නේ, තැතිගන්නා සුළු, එවැනි බලගතු නිමිත්තක් ඉදිරියේදී මතුවූ විට, කෙනෙක් බියක් සැකක් නැතිව එතුළට පැන එහි කිමිඳීමය. එපමණක්ද නොව ඔබ එයින් විඳින ආස්වාදය, ප්‍රීතිප්‍රමෝදය කොතෙක්දැයි පවසනවා නම් එතැනින් ඔබව ඉවතට ගැනීමට කෙනෙකුට මහත් පර්ශ්‍රමයක් දැරීමට සිදු වන්නේය.

මෙම අවධියේදී මතුවන බිය, විශේෂයෙන්ම, එතරම් බලගතු බියක් නොවේ නම්, එය මැඬපවත්වා ගැනීම සඳහා යොදාගත හැකි සූක්ෂම උපක්‍රමයක් ලෙස, තම විශ්වාසය නිමිත්තට පවරාදීමේ මනසින් කෙරෙන පූජාවකට හා සමාන දෙයක් මම පැහැදිලි කර දෙමි. මෙතෙක් කල් භාවනාව මෙහෙය වූයේ තමායයි සිතා සිටියේ නම්, එහි පාලනය සම්පූර්ණයෙන්ම නිමිත්තට පවරා දීමට සුදුසු මොහොත දැන් එළඹ ඇත. තම මෝටර් රථය පදවා ගෙන යාමට තමාට විශ්වාසය ඇති යහළුවෙකුට පවරා දෙන ආකාරයට, වාහනයේ යතුරු කැරැල්ල නිමිත්තට බාරදෙන මොහොත සිතේ නිර්මාණය කර ගන්න. යතුරු කැරැල්ල අතිනත හුවමාරු කර ගැනීමේ ක්‍රියාවත් සමඟ ඔබ පවරා දෙන්නේ ඔබේ පාලන බලයයි. මේ ආකාරයට ඔබ කළ යුත්තේ පාලනය සහ මෙහෙයවීම අත්හැර දමා සම්පූර්ණ විශ්වාසය නිමිත්ත මත තැබීමය. විශ්වාසය තමා වෙතින් නිමිත්ත වෙත පැවරීමෙන් සිදුවන්නේ නිමිත්තෙහි ස්ථාවරත්වය තහවුරුවී එහි බලවත්කම වර්ධනය වීමය.

ඇත්තවශයෙන්ම, මෙතැනදී කෙනෙක්, ‘දැනහිඳීම’ මත ශ්‍රද්ධාව හා විශ්වාසය ඇති කර ගෙන, මෙතෙක් කල් ‘කිරීම’ වෙත තබා සිටි විශ්වාසය ඉන් ඉවත් කර ගනී. සහමුලින්ම, භාවනාවට පාදකවූ තේමාව මෙයයි. කෙනෙක් මුල සිටම යෙදී සිටින්නේ ‘නොමැදහත් දැනහිඳීම’ පුහුණු කිරීමෙහිය. එනම්, දැනහිඳින අරමුණ සමඟ පැටලෙන්නේ නැතිව ඒ මත හොඳ සිහිකල්පනාවක් පවත්වා ගැනීමට ඇති හැකියාව දියුණු කර ගැනීමය. විශ්වාසයකින් යුතුව ශක්තිය යෙදිය යුත්තේ සිහිකල්පනාවට මිස අනෙකුත් ක්‍රියාකාරකම් වලට නොවේ. ඇඟිලි ගැසීමකින් ‍තොරව හුස්ම වැනි සාමාන්‍ය අරමුණක් වෙත අවධානය යොමු කර ගෙන සිටිමේ හැකියාව ගොඩනගා ගැනිමෙන් පසු, ඊළඟට ඔබේ ඒ නොමැදහත් අවධානයට අභියෝග කර සිටින්නේ, ඊටත් වඩා සිත පොළඹවන අරමුණක්වූ පියකරු හුස්මය. එපරිද්දෙන්ම, ඔබට ඒ නොපැටලී සිටීමේ සමත්කම දැක්වීමට නැවතත් හැකිවූ විට, සියළුම අරමුණුවලට වඩා ඉතාමත් අභියෝගාත්මකවූ නිමිත්ත ඔබ ඉදිරියෙහි පෙනී සිටින්නේ ඔබේ නොමැදහත් අවධානයේ බලවත්කම පරීක්ෂා කර බැලීමේ අවසාන පරීක්ෂණය සඳහාය. යන්තමින් හෝ පාලනයක් ඇති කර ගනිමින්, ඔබ ඒ නිමිත්ත සමඟ පැටලීමේ උත්සාහයක යෙදුනහොත් ඔබ එම අවසාන පරීක්ෂණයෙන් අසමත්වී, මනසේ පුනරුත්ථාපනය සඳහා නැවතත් පියකරු හුස්ම වෙත යාමට සිදුවනු ඇත. වැඩි වැඩියෙන් භාවනාවෙහි යෙදීමෙන් ඔබ ඉගෙන ගන්නේ, ක්‍රියාකාරකම් වලින් මනස ඉවත් කර ගෙන, දැනහිඳීම අතිශයින්ම බලවත් කර ගන්නා ආකාරයය. මෙම කුසලතාවය පරිපූර්ණවූ විට, පළුදු රහිත නොමැදහත් දැනහිඳීම මඟින් නිමිත්තෙහි ස්ථාවරත්වය තහවුරු කර දෙන නිසා, අවසාන පරීක්ෂණයෙන් ඔබට පහසුවෙන් සමත්වීමට හැකිවනු ඇත.

දැන්, කැඩපතෙහි උපමාව මෙතැනට යෝග්‍යය. කෙනෙක් කැඩපතකින් මුහුණ බලද්දී එහි පිළිබිඹු වන මුහුණෙහි ඡායාව, ඒ මේ අතට සෙලවීම නතර කර ගැනීම සඳහා කැඩපත තදින් අල්ලා ගෙන එය නොසොල්වා තබා ගැනීමට උත්සාහ දැරීම නිශ්ඵල ක්‍රියාවක්ය! ඇත්තෙන්ම ඔබ එසේ කළහොත්, ඡායාව ඊටත් වඩා තදින් සෙලවෙන බව ඔබට ප්‍රත්‍යක්ෂ වනු ඇත. කැඩපතෙන් දිස්වන ඡායාව සෙලවෙන්නේ බලා හිඳින දෙය සෙලවෙන නිසාය. කැඩපත නොසොල්වා, එය තදින් අල්ලා ගෙන, ඡායාවේ සෙලවීම නතර කිරීමට යාම බොළඳ ක්‍රියාවක්ය. වරද ඇත්තේ දැනුවත්ව සිටින්නාගේය, දැනහිඳින්නාගේය.

නිමිත්තෙහි යථාර්ථය මනසෙහි පිළිබිඹුවයි, දැනහිඳිනා දෙයෙහි ඡායාවයි. නිමිත්ත ලෙස හැඳින්වූ මෙම ඡායාව, ඒ මේ අතට සෙලවෙන විට, එය තදින් අල්ලා ගැනීමෙන්, එය ස්ථාවර කර ගත නොහැකිය! ඇත්තෙන්ම ඔබ එසේ කළහොත් නිමිත්ත ඊටත් වඩා සෙලවෙනු ඇත. නිමිත්ත සෙලවෙන්නේ නිමිත්ත දෙස බලාහිඳින දෙය සෙලවෙන නිසාය. මෙය අවබෝධ කර ගත් විට, කෙනෙක්, අල්ලා ගැනීමෙන් හා නොයෙකුත් දේවල් ‘කිරීමට’ යාමෙන් වැළකී, දැනහිඳින දෙය වෙත අවධානය යොමු කොට, එයට නිශ්චල වීමට ඉඩ හරී. දැනහිඳින දෙය නොසෙල්වෙන්නේ නම්, නිමිත්තද සෙලවෙන්නේ නැත. කැඩපතෙහි දිස්වන කෙනෙකුගේ ඡායාව මෙන්, දැනහිඳින්නා නිශ්චල නම්, එහි ඡායාවද නිශ්චලය. සත්‍යතාවය එයයි.

විශ්මය.

නිමිත්තෙහි ස්ථාවරත්වය කෙරෙහි බලපාන අනෙක් සතුරා විශ්මය හෝ බලවත් උද්‍යෝගය බව මම කළින් සඳහන් ක‍ළෙමි. “ආ….! මේ මොකක්ද?” යන අන්දමේ ප්‍රතිචාරයක් දැක්වීම ලෙසද මා එය හඳුන්වා දී ඇත. භාවනාවෙහි සාර්ථකත්වය සමඟ විශ්මයජනක දේවල් සිදුවන විට භාවනායෝගියා නිතැතින්ම කළබලයට පත්වන බව අමුතුවෙන් කිවයුතු නැත. මෙය, විශේෂයෙන්ම සිදුවන්නේ, හිරුටත් වඩා දීප්තිමත්ව, දැක ඇති විසිතුරු මල්වල ඇති අතිශ්‍ය සුන්දරත්වයටත් වඩා අලංකාර අන්දමින් නිමිත්ත පළමු වතාවට දිස්වන විටදීය. එම නිසා “මොකක්ද මේ?” වැනි හැඟීමක් සිතෙහි මතුවීම ස්වභාවිකය. නමුත් අභාග්‍යකට මෙන් එම විශ්මිත හැඟීම සිතෙහි මතුවීමට මොහොතකට පසු නිමිත්ත නොපෙනී ගොස්, සමහර විට මාස කිහිපයක් වැනි දිගු කාලයකට වුවත් නැවත ආපසු නොපැමිණෙනු ඇත. එවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයක් මඟහරවා ගැනීමට නම් ‘ආනාපානසති සූත්‍රය’ පොතෙහි (මෙම පරිවර්තක යටතේම) මා සැකෙවින් විස්තර කර ඇති අජාන් චා හිමිපාණන් වහන්සේගේ ‘නිසල වනදිය පොකුණ’ උපමාව නැවත සිහිපත් කර ගන්න.

ඔබේ මතකය අලුත් කර දීමක් වශයෙන් නැවත මම එය මෙසේ දක්වමි. වනවාසී භික්ෂූන් වහන්සේලා හුදකලාව වනයේ සැරිසරද්දී, දවසේ අවසාන භාගය ලංවන විට අසලක දිය පොකුණක් හෝ ඇලක් දොලක් ති‍බේදැයි විපරම් කර බලති. ඔවුන්ට නෑමට, බීමට සහ සිවුරු සෝදා පවිත්‍ර කර ගැනීමට ජලය අවශ්‍ය වේ. පිපාසය සංසිඳවා ගැනීමෙන් සහ ඇඟපත සෝදා ගැනීමෙන් අනතුරුව, පොකුණට නුදුරු තැනෙක, මඳුරු දැලක් සහිතව සකස් කළ කුඩය, ගසක එල්ලා ගන්නේ සවස් භාගයේ භාවනා කටයුතු වල යෙදීම සඳහාය. අජාන් චා හිමිපාණන් වහන්සේ පවසා ඇත්තේ, ඇතැම් විට එතුමා මඳුරු දැල තුළටවී ඇස් ඇරගෙන විමසිල්ලෙන් බලා සිටින්නේ සැඳෑ එළියත් සමඟ දිය බීමට, නෑමට සහ කෙළිදෙලෙන් පසුවීමට පොකුණ වෙත පැමිණෙන වනසතුන් නැරඹීම සඳහා බවය. නමුත් ඔවුන් දිය බීමට පැමිණෙන්නේ එතුමා නොසෙල්වී සිටියහොත්ය. යන්තමින් හෝ සෙලවීමක් කළහොත් තමන් එතැන සිටින බව ඉවෙන් මෙන් දැන ගන්නා වනසතුන් බියෙන් නැවත වනයට පැනයන්නේ දින කිහිපයකට ඒ අසලකටවත් නොපැමිණෙන්නටය. එහෙයින් එතුමා නිසලව හිඳගෙන සිටින්නේ එබවක් වනසතුන්ට දැන ගැනීමට ඉඩකඩක් නැති තරමට ශාන්තවය. එතුමෝ, එම සතුන් දිය බොමින්, දිය කෙළිමින් සමහර විට දබර කර ගනිමින් හැසිරෙන ආකාරය දැකීමෙන් ප්‍රීතියට පත්වූහ. උන්වහන්සේට අතිශයින්ම ප්‍රියජනක වූයේ ස්වභාව ධර්මයට අයත් මෙම වන දරුවන්ගේ උසුළු විසුළු නැරඹීමය.

එවන් අවස්ථාවලදී අජාන් චා හිමියන් හිඳගෙන සිටින්නේ ඉතාමත් නිශ්චලවය. එවිට, සාමාන්‍ය වනසතුන් පොකුණු තෙරින් නික්ම ගිය පසු, කටු අකුල් සිසාරා පවතින අඳුර තුළින් නාඳුනන පුදුමාකාර සතුන් මතුවන්නේ ආරක්ෂාව ගැන ඉතාමත් සැලකිලිමත් වෙමින්ය. වනසතුන්දැයි කියා සිතීමටවත් නොහැකි, මෙම දුර්ලභ ගණයේ අලංකාර සතුන්ගේ පැවැත්මක් ගැන කිසිවෙක් ඉන් ඉහතදී එතුමාට පවසා නැත. එසේ පවසා ඇත්නම්, එතුමාට ඒ බව වැටහී නැත. ඔවුන්ගේ නම් එතුමා නොදනී. මොවුන් වනයෙන් එළියට පිවිසෙමින්, කන්යොමා අවට ගැන සුපරික්ෂාවෙන්, බයාදු ලෙස ඉව කර බලන්නේ අනතුරක් ඇත්දෝයි යන සැකයෙන්ය. අජාන් චා හිමියන් ඉතා සුළුවශයෙන් හෝ සෙලවීමක් කළේ නම් හෝ විශ්මය පළකිරීමට මුදු හඬින් “අහා!” යයි තෙපලේ නම් එම ඇසිල්ලේම, එතුමා එතැන සිටින බව දැනගන්නා එම වනසතුන් වනයෙහි සැඟවෙන්නේ මාස ගණනාවකටවත් නැවත නොපැමිණෙන්නටය. ඔවුන් වනයේ වසන අනෙකුත් සතුන්ට වඩා කුලෑටීය. එමෙන්ම, ඉතාමත් දුර්ලභ ගණයේ අතිශයින්ම සුන්දර මෙම සතුන්, වචනයෙන් විස්තර කිරීමට පවා උගහටය.

මෙම උපමාවෙහි, වනදිය පොකුණින් අදහස් කරන්නේ මනසය; ඒ අසල හිඳගෙන සිටින භික්ෂුව සිහිකල්පනාවය. සිහිකල්පනාව නිසල නම් පියකරු හුස්ම හා පීතිසුඛය වැනි ‘සතුන්’, ‘වනයෙන්’ පිටතට විත් මනස කෙළවරෙහි ‘ක්‍රීඩා’ කරන්නේ නොබියවය. සිහිකල්පනාව චංචල බවින් හා ඇඟිලි ගැසීමෙන් තොර නොවුවහොත් පියකරු හුස්ම හා පීතිසුඛය කළබලවී වනගත වන්නේ නැවත ලෙහෙසියෙන් පිටතට නොපැමිණෙන්නටය. නමුත් දැනහිඳින්නාත්, සිහිකල්පනාවත් ඉතාමත් සංසුන් නම්, පියකරු හුස්ම හා පීතිසුඛය මඟින් ඉටු විය යුතු කාර්යභාරය නිමා වූවාට පසු, ලස්සන, එනමුත් කුලෑටි නිමිත්ත මනසෙහි රඟපෑම සඳහා කළඑළි බසින්නේ ඉතා සුපරික්ෂාකාරීවය. සිහිකල්පනාව සෙලවෙන බව හෝ “අහා!” යයි තෙපලමින් කළබලයට පත්වන බව නිමිත්තට දැනේ නම් කුලෑටි නිමිත්ත එසැණෙහිම වනයට පැනයන්නේ බොහෝ කාලයකට නැවත මතු නොවන්නටය. සෙලවීමෙන් සිහිකල්වනාව සිදු කර ගන්නේ මාහැඟි අවස්ථාවක් නැති කර ගැනීමය. එම නිසා බලගතු ලස්සන නිමිත්ත මතුවූ විට ඉහත දැක්වූ උපමාව සිහියට ගෙන, වනමැද පොකුණු තෙරේ අජාන් චා හිමිපාණන් සහමුලින්ම නිසලව සිටියාක් මෙන් නිසලව, එය නරඹන්න. කෙනෙක් මොනයම් ආකාරයකින්වත් විශ්මයට පත් නොවිය යුතුය. එම නිසා කෙනෙක් මෙම අපූර්ව, අති චමත්කාර නිමිත්ත ඉතා දිගු කාලයක් තුළ නරඹනරඹා මනස ප්‍රීතිප්‍රමෝදයට පත් කර ගන්නේ, ධ්‍යානයක් තුළට කැඳවා ගෙන යාමට එයට ඇති හැකියාව සුදුසු මට්ටමකට පත්වන තෙක්ය.

ස්ථාවර නිමිත්තට බාධා පැමිණවීම

නිමිත්ත ස්ථාවර හා ප්‍රභාශ්වර නම් කෙනෙක් ධ්‍යානයකට පිවිසීමේ දොරටුව අසලටම පැමිණ ඇත. කිසිවක් කිරීමෙහි නොයෙදී සංසුන්කම ආරක්ෂා කර ගනිමින් කෙනෙක් ඉවසිලිවන්තව සිටීමට පුහුණු විය යුත්තේ ධ්‍යාන තත්ත්වයට මනස පත්වීම සඳහා අවශ්‍ය වතාවරණය හා හේතු සාධක සපිරෙන තෙක්ය. කෙසේ වූවත් සමහරක් භාවනායෝගීන් මෙම අවධියේදී නිමිත්තේ වපසරිය වෙත අවධානය යොමු කිරීමට යාමෙන් සිදු කර ගන්නේ මෙම ක්‍රියාවලියට බාධා පමුණුවා ගැනීමය.

නිමිත්ත ස්ථාවරව හා දීප්තිමත්ව බබලන විට නොදැනුවත්වම කෙනෙකුට එහි ප්‍රමාණය සහ හැඩය පිළිබඳ උනන්දුවක් ඇති විය හැකිය. එය දිගටිද නැතිනම් කවාකාරද? නිමිත්තෙහි මායිම එකාකාරද නැතිනම් කඩතොලු සහිතද? එය ලොකුද කුඩාද? කෙනෙක් එහි මායිම සහ වපසරිය පිළිබඳව එසේ විමසිලිමත් වීමෙන් සිදුවන්නේ ඒකාග්‍රතාවය මනසින් ගිලිහී යාමය. මායිම් අසලදී කෙනෙකුගේ සිතට නැ‍ඟෙන්නේ ඇතුළත හා පිටත පිළිබඳ ද්විත්ව හැඟීමක්ය. ද්විත්වය, ඒකාග්‍රතාවයට ප්‍රතිවිරුද්ධ වූවක්ය. එහෙයින් කෙනෙක් නිමිත්තේ මායිම වෙත උනන්දුවක් ඇති කර ගතහොත් එහි ස්ථාවරත්වය දුබලවී එය නොපෙනී යාමට ඉඩ ඇත. මායිම වෙත සිත නොයොමා කෙනෙක් නිමිත්තෙහි කේන්ද්‍රය වෙතටම අවධානය යොමු කළ යුත්තේ, මායිමක හැඟීම සිතෙන් පලවා හැර, ද්විත්ව සංඥානයකින් තොර ඒකාග්‍රතාවයම මනසෙහි ස්ථාපිත කර ගැනීම සඳහාය. ඊට සමානව, කෙනෙක් නිමිත්තෙහි ප්‍රමාණය හැකිලීමට හෝ ප්‍රසාරණය කිරීමට උත්සාහ ගන්නේ නම් ඔහු නැවතත් යෙදෙන්නේ ඒකාග්‍රතාවය පාවාදීමේ ක්‍රියාවලියකය. යමක් හැකිලීමට හෝ ප්‍රසාරණය කිරීමට නම් එහි ප්‍රමාණය පිළිබඳ හැඟීමක් ඇති කර ගත යුතුය. ඒ සඳහා නිමිත්තෙහි වපසරිය හා ඊට පිටතින් ඇති අවකාශය පිළිබඳව දැනුවත්කමක් ඇති කර ගත යුතුය. කිසිදු ඵලප්‍රයෝජනයක් නැති අනවශ්‍ය හැකිලවීමකට හෝ ප්‍රසාරණයකට  ඉදිරිපත් වීමෙන් කෙනෙක් නැවතත් පැටලෙන්නේ, ඒකාග්‍රතාවය නැති කර ගනිමින් ද්විත්වය නමැති උගුලෙහි හිරවීමටය.

එම නිසා නිමිත්ත ස්ථාවර හා දීප්තිමත් නම් කිසිවක් නොකර ඉවසන්න. නොසෙල්වී ඉන්න. එවිට කෙනෙක් ගොඩනගා ගන්නේ ඒකාග්‍රතාවය සහ පීතිසුඛය යන ධ්‍යානාංගයන්ය. ඒවා නිසි පමණට බලවත් වීමත් සමඟම ධ්‍යාන විකසිත වන්නේ එතුළින්මය.

ප්‍රභාශ්වර මනස පිළිබඳ සටහනක්

බොහෝ දෙනෙක් නිතර උපුටා දක්වන, එනමුත් වැරදි ලෙස තේරුම්ගත්, මෙතැනට අදාල සූත්‍ර පාඨයක් ඇත. එය සඳහන් වන්නේ අංගුත්තර නිකායෙහිය.

“මහණෙනි, මේ මනස ප්‍රභාශ්වරය. නමුත් එය ආගන්තුක ක්ලේශයන්ගෙන් දූශිතව ඇත. ඇත්තවශයෙන්ම, එය ඒ ආකාර බව නිසි උපදෙස් නොලත් පුහුදුන් පුද්ගලයා තේරුම් නොගනී. එබැවින් ඔහුට මානසික සංවර්ධනයක් ඇති කර ගත නොහැකිය.”

“මහණෙනි, මේ මනස ප්‍රභාශ්වරය. එය ආගන්තුක ක්ලේශයන්ගෙන්ද නිදහස්ය. ඇත්තවශයෙන්ම, එය ඒ ආකාර බව නිසි උපදෙස් ලත් ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයා තේරුම් ගනී. එබැවින් ඔහුට මානසික සංවර්ධනයක් ඇති කර ගත හැකිය.”

අලංකාරයෙන් සහ ස්ථාවරත්වයෙන් අනූනව නිමිත්ත පවතින විට, අදහාගත නොහැකි තරමට එය දීප්තිමත්ය, ප්‍රභාශ්වරය. එමෙන්ම, ඉහත පැහැදිලි කර දුන් අන්දමට නිමිත්ත යනු මනසෙහි ප්‍රතිබිම්භයයි. කෙනෙක් එවැනි නිමිත්තක් අත්දකින විට, එය, ඉහත ධර්ම පාඨයෙහි සඳහන් ප්‍රභාශ්වර (හෝ රැස් විහිදෙන) මනස බව වටහා ගනී. මෙම නිමිත්ත බබලන්නේ මනස, ‘ආගන්තුක කෙලෙසුන්ගෙන්’, එනම් පංච නීවරණයන්ගෙන් නිදහස්වී ඇති බැවින්ය. එවිට, කෙනෙක් මෙම නිමිත්ත (පංච නීවරණයන්ගෙන් නිදහස්වූ ප්‍රභාශ්වර මනස) ධ්‍යානයකට පිවිසීමේ දොරටුව බව වටහා ගනී. එමෙන්ම ‘මානසික සංවර්ධනය’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔහු සත්‍යවශයෙන්ම අවබෝධ කර ගනී.

ධ්‍යානයට පිවිසීම

නිමිත්ත ස්ථාවරව හා දීප්තිමත්ව පවතින විට එහි ශක්තිය මොහොතින් මොහොත වර්ධනය වේ. මෙය, සාමය ඉහවහා යන තෙක්, සාමය මත තවතවත් සාමය එකතු කිරීමක් වැනිය. අතිමහත් සාමයක් ගොඩනැගුනු විට, පීතිසුඛයද අතිමහත්ය. එවිට නිමිත්ත දීප්තියෙන් උතුරා යාමට පටන් ගනී. මෙහිදී කෙනෙකුට, නිමිත්තෙහි කේන්ද්‍රය වෙතටම අවධානය යොමු කරමින් ඒකාග්‍රතාවය දිගින්දිගටම පවත්වා ගෙන යා හැකි නම්, මනසෙහි බල ශක්තිය එහි උච්චතම අවස්ථාවට එළඹේ. කෙනෙකුට දැනෙන්නේ, දැන හිඳින්නා නිමිත්ත තුළට ඇදී යන්නාක් මෙන්ය. ඔහු ඇදී යන්නේ අති උත්කෘෂ්ඨ ප්‍රමෝදයක් මැදට‍ය. නො එසේ නම්, කෙනෙකුට හැ‍ඟෙන්නේ නිමිත්ත තවතවත් සමීපවී, දැනහිඳින්නා සහමුලින්ම එයින් වසාගන්නා බවය, විශ්වීය ප්‍රමෝදය තමා ගිලගන්නා බවය. ඒ කෙනෙක් ධ්‍යානයකට සම්ප්‍රාප්තවූ වගය.

‘යන – එන’ ධ්‍යාන සහ ‘නයි – හිණිමන්’ ක්‍රීඩාව

පළපුරුද්දක් නැති භාවනායෝගියෙකු, නිමිත්ත තුළට ඇදී යාමත් සමඟ එසැණින්ම එළියට විසිවී, කළින් සිටි තැනටම ඇද වැටීම, සමහර විට සිදුවිය හැකි දෙයක්ය. රබර් පටියක ගැට ගැසූ බරක් මෙන් ඉහළට පහළට ඇදෙමින් පවතින ආකාරයට ‘යමින් එමින්’ පවතින නිසා මෙවැනි ධ්‍යාන, ‘යනඑන’ ධ්‍යාන ලෙස මම හඳුන්වමි. සෑහෙන කාලයක් නොපවතින නිසා ඒ සත්‍ය ධ්‍යානයක් නොවේ. නමුත් එය ධ්‍යානයකට සමීප නිසා මම එය එසේ හැඳින්වූයෙමි. ඉහතදී පැහැදිලි කළ ‘විශ්මය’ නමැති සතුරාගේ බලපෑම නිසා, සිහිකල්පනාව, ධ්‍යානයෙන් ඉවතට විසිවීම නිසා එය සිදුවේ. නිමිත්ත තුළට යාමේදී අත්විඳින, කිසි දිනෙක නොවිඳි අන්දමේ අධිබල ප්‍රමෝදයේ බලගතු කම නිසා එවැනි ප්‍රතික්‍රියාවක් ඇති වන්නේ මන්දැයි කෙනෙකුට අවබෝධ කර ගත හැකිය. ලිංගිකව ලබන තෘප්තිය අතිමහත් ආස්වාදයක්යයි කෙනෙක් සිතා සිටියා නම් ධ්‍යානයකින් ලබන තෘප්තිය හා සසඳා බැලූවිට එය සාමාන්‍ය මට්ටමේ දෙයක් බව කෙනෙකු අනාවරණය කර ගනී. ධ්‍යානයක ඇති බලය කෙතරම්දැයි පවසනවා නම් ඒවා ගෙන දෙන ඉමහත් ප්‍රමෝදයෙන් ඔබ තුශ්නීම්භූත භාවයට පත්වනු නිසැකය.

මෙවැනි ‘යනඑන’ ධ්‍යානයකට වූවත්, සමවැදීමෙන් පසුව, කෙනෙක් ප්‍රීතියෙන් හඬාවැටෙනු ඇත. ඔබ හඬන්නේ එය තම මුළු ජීවිතයටම ලත් අති චමත්කාරජනක අත්දැකීම වන හෙයින්ය. ආධුනික භාවනායෝගීන් මුලදීම අත්දකින්නේ මෙවැනි ‘යනඑන’ ධ්‍යාන බව නොරහසකි. එවැනි අධිබල ප්‍රමෝදයක් හසුරුවා ගැනීම සඳහා කෙනෙකුට මනා පුහුණුවක් අවශ්‍ය වේ. එමෙන්ම, විශ්මයට පත්වීම මඟහරවා ගැනීම සඳහාද අවශ්‍ය වන්නේ විශිෂ්ට ප්‍රඥාවක්ය. ඒ ආකාරයෙන්, ආධ්‍යාත්මික ජීවිතයේදී ඔබට අත් කර ගත හැකි අනර්ඝතම ත්‍යාගයන් පෙළ ගැසී බලා සිටින්නේ, ඔබට ඒවා ග්‍රහණය කර ගැනීමට හැකි වේයයි යන බලාපොරොත්තුවෙන්ය.

කුඩා කල ඔබ ක්‍රීඩා කර ඇති ‘නයින් හා හිණිමන්’ දාදු ක්‍රීඩාවේදී තමන්ගේ ඉත්තා නොයායුතු අති භයානකම කොටුව, අවසාන කොටුවට ඉදිරියෙන් ඇති කොටුව බව ඔබට සමහර විට මතක ඇත. මේ අනූනවවෙනි කොටුවේ ඇත්තේ දිගම නයාගේ ඔළුවය. ඊළඟට ඇති සියවෙනි කොටුවට ගොඩවුවහොත් ජයග්‍රාහකයා ඔබය. නමුත් අනූනවවෙනි කොටුවට වැටුනහොත්, ඔබේ ඉත්තා ආපසු එම නයාගේ වලිගය කෙළවර වන ක්‍රීඩාවේ ආරම්භක කොටුව වන පළමුවෙනි කොටුවටම පසු බැසිය යුතුය! ‘යනඑන’ ධ්‍යාන, නයින් හා හිණිමන් ක්‍රීඩාවේ අනූනවවෙනි කොටුවට වැටුනා හා සමානය. කෙනෙක් ‘ක්‍රීඩාවෙන් දිනීමට’ සහ ධ්‍යානයකට සම වැදීමට ඉතා ආසන්න වූවත්, විශ්මයට පත්වීම නිසා, ලකුණු එකක් අඩුවෙන් ලැබී නයාගේ කටට වැටීමෙන් ඔබ ලිස්සා යන්නේ, නැතිනම් විසිවී යන්නේ මූලාරම්භයටය.

ඒ කෙසේ වෙතත්, ‘යනඑන’ ධ්‍යාන, සත්‍ය ධ්‍යානයකට ඉතා සමීප බැවින් ඒවා ලුහුකොට නොසිතිය යුතුය. ඒවායින් පවා ඔබ අත්විඳින්නේ පිරී උතුරා යන ප්‍රීතියක්ය, අති උත්කෘෂ්ට ප්‍රමෝදයක්ය. කාලගුණය නිරීක්ෂණය කිරීම සඳහා යොදා ගන්නා ඉහළ අහසට පා කර හරින බැලූනයක් මෙන්, මෙවැනි ධ්‍යානයක් තුළදී පවා ලෝකය ගැන තැකීමකින් තොරව, ඉන් දුරස්තරව, නිදහස්ව; ඔබට සිටිය හැකිය. මනසේ ඇති ශක්තියේ අතිශ්‍ය බලවත්කම නිසා නිදිමතක් දැනෙන්නේද නැත. මෙය කෙනෙක් තම ජීවිතයේ අත්විඳින බලගතු අත්දැකීමක්ය. එමඟින් ඔබේ දිවි පැවැත්මෙහිද වෙනසක් සිදුවනු ඇත.

තවදුරටත් පුහුණුවීමෙන් සහ අත්දැකීම් ප්‍රඥාන්විතව මෙනෙහි කර බැලීමෙන්, පිටතට විසිවීමකින් තොරව, නිමිත්ත තුළට කිඳා බැසීම සඳහා හෝ එයින් ආවරණය වීම සඳහා ඉඩදීමට ඔබට හැකිවනු ඇත. එවිට ඔබ පිවිසෙන්නේ සිත මවිත කරන ධ්‍යාන ලොවටය.

දැන් “ධ්‍යාන භාවනා – 3” කොටස කියවන්න.

Leave a comment