ධ්‍යාන භාවනා – 1 කොටස

අජාන් බ්‍රහ්මවංසෝ ස්වාමීන් වහන්සේ

පරිවර්තනය – ජෝර්ජ් කාරියවසම්

(උපුටා ගැනීමට හෝ පිටපත් කර බෙදා හැරීමට අවසර නැත)

පටුන

  • පෙරවදන
  • බුදුරජාණන් වහන්සේගේ මූලික සොයා ගැනීම
  • කෙනෙකුට ධ්‍යානයන්ට ඇලිය හැකිද?
  • ධ්‍යානයන්ට බොහෝ දුරස්තරව සිටින අය සඳහා
  • ධ්‍යානයන්ට තරමක් සමීපව සිටින අය සඳහා
  • පියකරු හුස්ම: ධ්‍යාන ම‍ඟේ ආරම්භය
  • ප්‍රීති ප්‍රමෝදයට බිය නොවන්න
  • ආයාසයකින් තොර පියකරු හුස්ම
  • පීතිසුඛ – ප්‍රීතිය සහ සුඛය
  • පීතිසුඛ ප්‍රධාන වර්ග තුන
  • පියකරු හුස්ම, පියකරු මෛත්‍රීය, පියකරු හිස් කබල
  • පීතිසුඛය මතු නොවන්නේ නම්
  • සංසුන්වීමට මඟ
  • හුස්ම අතුරුදහන්වූ විට
  • ඉන්ද්‍රිය සංවේදිතාවය සංසිඳවීම
  • සාරාංශය
  • දැන් “ධ්‍යාන භාවනා – 2” කොටස කියවන්න.

 

පෙරවදන

බෞද්ධ පෙළ පොතෙහි භාවනාව සඳහා යොදාගෙන ඇත්තේ එක් වචනයක් පමණි, එය ‘ධ්‍යාන’ නම් වේ. ගෝපක මොග්ගල්ලාන සූත්‍රයෙහි (ම. නි. 108,27) ආනන්ද මහ රහතන් වහන්සේ වඳාරා ඇත්තේ බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරන එකම භාවනාව ධ්‍යාන වැඩීම බවය. ධ්‍යාන මඟින් හැඳින්වෙන්නේ බෞද්ධ භාවනාවේ නිවැරදි පිළිවෙතය. එමඟින් භාවනායෝගියාගේ මනස සෑම සිතිවිල්ලකින්ම මුදවා, පංචේන්ද්‍රීය ක්‍රියාකාරකම් වලින් ඈත් කරවා, ලෝකෝත්තර ප්‍රමෝදයෙන් මනස ප්‍රභාමත් කෙරෙයි. කොටින්ම පවසනවා නම් ධ්‍යාන නූපවදන භාවනාව, සත්‍ය බෞද්ධ භාවනාවක් නොවේ. සමහර විට, බුදුරජාණන් වහන්සේ විසින් හෙළිදරව් කරන ලද ආර්ය අශ්ඨාංගික මාර්ගයේ අවසාන අංගය වන ‘සම්මා සමාධිය’ ධ්‍යාන හතරට අඩු සමාධියකින් සම්පූර්ණ නොවන බව පෙන්වාදී ඇත්තේ මේ හේතුව නිසා විය හැකිය.

බුදුරජාණන් වහන්සේගේ මූලික සොයා ගැනීම

බුදුරජාණන් වහන්සේ විසින් ධ්‍යාන සොයාගත් බව පෙළ පොතෙහි (ස. නි. 2,7; අ. නි. 9,42) සඳහන් වේ. විපස්සනාව බුදුරජාණන් වහන්සේ විසින් සොයාගත් බව පෙළ පොතෙහි කොතැනකවත් සඳහන්ව නැත. වගකීමකින් යුතුව ලියවුනු මෙ‍ම ග්‍රන්ථයන්හි බුදුවරයෙකුගේ පහළවීමත් සමඟ පමණක් ධ්‍යාන හතර හෙළිදරව් වන බව සඳහන් වේ. (ස. නි. 45,14-17). බුදුරජාණන් වහන්සේ විසින් ධ්‍යාන සොයාගත් බව අප විසින් පසෙක ලා නොහිය යුත්තේ සත්‍යාවබෝධය සඳහා උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයෙහි මෙ‍ම සොයාගැනීම ප්‍රධාන ක්‍රියාවක් වන හෙයින්ය.

ආනන්ද මහ රහතන් වහන්සේ වැනි වගකීමකින් යුතු රහතන් වහන්සේ නමක් විසින් බුදුරජාණන් වහන්සේ විසින් ධ්‍යාන සොයාගත් බවට කරන ලද ප්‍රකාශයෙන්, ඊට ඉහත කිසිවකු විසින් ධ්‍යාන අත්විඳ නැතැයි යන අදහස ඉදිරිපත් නොකෙරේ. උදාහරණයක් වශයෙන්, කස්සප බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේදී ගිණිය නොහැකි තරම් ගැහැණු සහ පිරිමි සංඛ්‍යාවක් ධ්‍යාන ලබාගෙන, පසුව ඔවුහු නිවන් අවබෝධ කර ගත්හ. නමුත් ශතවර්ෂ විසිහයකට පෙර ඉන්දියාවේ ධ්‍යාන පිළිබඳ සියළු දැනුමක්ම අතුරුදහන්වී තිබිණ. මීට උදාහරණ වශයෙන්, ධ්‍යාන පිළිබඳ විස්තර අසා බැලීමෙන් පසු, බුදුරජාණන් වහන්සේ හා සමකාලීනව විසූ ජෛනාගමේ නායකත්වය දැරූ මහාවීර ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේ, ඒවාට සමවැදීම කළ නොහැකි දෙයක් බැවින් ඒවා තමන් ප්‍රතික්ෂේප කරන බවය (ස. නි. 41,8). ‍බොහෝ විද්වතූන්ට අනුව, එයින් නිගමනය කළ හැකි වන්නේ, එක්කෝ, එකල විසූ කීර්තිමත් ආගමික නායකයින් සාමාන්‍ය මට්ටමේ ආධ්‍යාත්මික පුහුණුවක් පිළිබඳව වත් හසරක් නොදැන සිටි බව හෝ එසේ නැතිනම් ඇත්තවශයෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් ධ්‍යාන සොයාගත් බවය. ආදිකාලීන අධ්‍යාත්මික ග්‍රන්ථ කිසිවෙක ධ්‍යාන පිළිබඳව කිසිම සඳහනක් නොමැති වීම, ඉහත සඳහන් කළ දෙවෙනි කරුණ පිළිගැනීම වඩා සාධාරණ බවට තවත් වැදගත් සාධකයක්ය.

සමහරු මෙම අදහසට විරුද්ධත්වයක් දක්වන්නේ බුදුරජාණන් වහන්සේගේ මුල් කාලීන ගුරුවරුන් වන ආලාර කාලාම සහ උද්දක රාමපුත්ත විසින් උන්වහන්සේට ධ්‍යාන උගන්වා ඇති බව පෙළ පොතෙහි සඳහන් වන හෙයින්ය. එහි සඳහන්ව ඇත්තේ බෝධිසත්වයින් හට (බුදුවීමට පෙර) මෙම ගුරු දෙපළ, ශූන්‍යතා සමාපත්තිය සහ සංඥාවක් ඇත්තේත් නැති, නැත්තේත් නැති සමාපත්තිය යන මානසික අවධීන් වලට එළඹෙන අන්දම ඉගැන්වූ බවය (ම. නි. 26). මෙම සමාපත්තීන් දෙක ධ්‍යාන ලෙස මුල් පෙළ පොත් වල සඳහන් නොවේ. ඒවා අරූප ධ්‍යාන ලෙස හඳුන්වාදී ඇත්තේ මෑත කාලීනව ලියවුනු අටුවා වලය. එමෙන්ම එම සමාපත්තීන්ට සමවැදීමට හැකි වන්නේ ධ්‍යාන හතර වෙන්වෙන්ව අනුපිළිවෙලට ප්‍රගුණ කිරීමෙන් පමණක්ය. එම නිසා එම ගුරුවරුන් දෙදෙනා ධ්‍යාන හතර දැන සිටියේ නම් ඒවා බෝසතුන්හට ඉගැන්වූයේද?

ඔවුන් දැන සිටියා නම්, බුදුරජාණන් වහන්සේ විසින් ඔවුන්ගේ ක්‍රමය නිවනට මඟ නොවන බවත් (ම. නි. 26, 16), නමුත් නිවනට මඟ ධ්‍යාන බවත් පවසා සිටීද? (ම. නි. 36, 31; 52; 4-7; 9-12). ‍බෝසතුන් උග්‍ර තපස්දම් අත්හැර දමා “සත්‍යාවබෝධය සඳහා වෙනත් මඟක් වේදැයි” තමන්ගෙන්ම විමසා බැලූ විට (ම. නි. 36, 30), තම ගුරු දෙපල යටතේ මෑතදී ලබා ගත් එම බලගතු ධ්‍යාන සිහිපත් නොවී, ඊට බොහෝ කලකට පෙර ළදරු වියේදී, තම පියා වප්මඟුල් උත්සවය පවත්වන අතරතුරදී, ජම්බු ගසක සෙවනේ හිඳ සිටියදී තමන් අත්විඳි ප්‍රථම ධ්‍යාන සුවය සිහිපත් වූයේ මන්ද? යම් කෙනෙකු, ආලාර කාලාම සහ උද්දක රාමපුත්ත යන දෙදෙනා ධ්‍යාන ඉගැන්වූයේයැයි යන අදහස තවදුරටත් සනාථ කර සිටිනවා නම් ඉහත සඳහන් ප්‍රශ්න වලට සතුටුදායක පිළිතුරු සැපයීමට ඔවුන් සමත් විය යුතුය.

සත්‍යාවබෝධය සඳහා ධ්‍යාන වල උචිතත්වය අගයමින්, ගුරුවරු දෙදෙනාගේ ඉගැන්වීම් ඒ සඳහා උචිත නොවන්නේයැයි බුදුරජාණන් වහන්සේ සඳහන් කර සිටියේ නම් (ම. නි. 108, 27), එම ගුරුවරුන් දෙදෙනා උගන්වන ලද්දේ කුමක්දැයි යන ප්‍රශ්නයට පිළිතුර වන්නේ ආලාර කාලාම සහ උද්දක රාමපුත්ත කිසි දිනෙක ධ්‍යාන නොඉගැන්වූ බවය. උගන්වන ලද අරූපාවචර සමාපත්තීන් සත්‍ය ඒවා නොවූ අතර, බොහෝ විට, ඒවා කස්සප බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට පැවත ආ අගයෙන් පිරිහීගිය සමාපත්තීන් විශේෂයක් විය හැකි බවය. උදාහරණ වශයෙන් දක්වනවා නම්, එය, අද දිනයේදීත්, දැන් සිටින සමහර ගුරුවරුන් යම්කිසි මට්ටමකට මනස ගෙන ආ හැකි භාවනාවක් උගන්වා, ඒ ධ්‍යානයයි නම් කර සිටියත්, ඒවා ධ්‍යාන නොවන්නා සේමය. තවත් අයුරකින් පවසනවා නම්, විශ්වවිද්‍යාල වශයෙන් හඳුන්වා ගන්නා සමහරක් අධ්‍යාපන ආයතන වලට යම් මුදලක් ගෙවීමෙන් පසු හැරෙන තැපෑලෙන් උපාධි සහතිකයක් ගෙන්වා ගැනීමට හැකි වූවත් ඒවා නියම උපාධි නොවන්නා සේමය. ආලාර කාලාම සහ උද්දක රාමපුත්ත විසින් උගන්වන ලද සමාපත්තීන් සත්‍ය ඒවා නොවන බව ඒ අයුරින් පහදා දිය හැකිය. ‘නියම ඒවා’ ලෙස සැලකෙන ශූන්‍යතාවය පදනම් කොට ගත් අරූපාවචර සමාපත්තිය සත්‍යා‍‍බෝධය සඳහා මඟ පෙන්වා දෙන ලද්දේ වී නමුත් (ම. නි. 52, 14), ආලාර කාලාම විසින් එම නමින්ම අත්විඳීමට සැලැස්සූ දෙයින් එවැන්නක් සිදු නොවීය.

බුදුවරයෙකුගේ පහළවීමට පෙර, ධ්‍යාන පිළිබඳ දැනීමක් නොතිබීමට තවත් හේතුවක් ලෙස දැක්විය හැක්කේ ධ්‍යාන වැඩීම සඳහා පිහිටාධාර වන මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ දැනීමක් එකල නොතිබීමය. ධම්මචක්කපවත්තන සූත්‍රය වැනි (බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පළමුවෙනි සූත්‍රය, ස. නි. 56, 11) සූත්‍ර වලින්ද පෙන්නුම් කෙරෙන්නේ ආර්ය අශ්ඨාංගික මාර්ගය ලෙසින් හැඳින්වෙන මධ්‍යම ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගත් බවය. අතීතයෙන් යටපත්වී තිබුණු පැරණි නගරයක‍ට පිවිසෙන මාර්ගය සොයා ගත්තාක් මෙන් බුදුරජාණන් වහන්සේ විසින් ආර්ය අශ්ඨාංගික මාර්ගය නොහොත් මැඳුම් පිළිවෙත සොයා ගත් බව තවත් සූත්‍රයක (ස. නි. 12, 65) සඳහන් වේ. ආර්ය අශ්ඨාංගික මාර්ගය නොහොත් මැඳුම් පිළිවෙත ධ්‍යාන වලින් අවසන් වන ක්‍රමානුකූලව පුහුණු කළ යුතු මඟක් බවද අමතක නොකළ යුතුය (අ. නි. 10, 103). ආර්ය අශ්ඨාංගික මාර්ගය නොහොත් මැඳුම් පිළිවෙත බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගත් බව යමෙක් පිළිගන්නේ නම් ධ්‍යාන වලින් කෙළවර වන, එම‍ඟෙහි අවසාන කොටසද, උන්වහන්සේ විසින් සොයා ගත් බව පිළිගැනීමට ඔහුට සිදුවේ.

අරන-විභංග සූත්‍රයෙහි (ම. නි. 139) මධ්‍යම ප්‍රතිපදාව සමාන කොට ඇත්තේ ධ්‍යාන පුහුණුවත් සමඟය. කෙනෙක් තපෝවෘත අනුගමනය කිරීමවත්, පංචේන්ද්‍රියන්ගෙන් ලබන සුව පසුපස හඹා යාමවත් නොකළ යුතු බව සඳහන් කෙරෙන එම සූත්‍රයෙහි කෙනෙකු පුහුණු කළ යුත්තේ මධ්‍යම ප්‍රතිපදාව බව සවිස්තරව දක්වා ඇත. ඉන්ද්‍රියන් හයට පීඩා ගෙනදෙන ජීවන රටාවක් (තපෝවෘත) කෙනෙකු අනුගමනය නොකරන්නේ නම් හා පංචේන්ද්‍රියන් ඇසුරින් විඳින රසාස්වාදයෙහි (කාමසුඛ) නොඇලෙන්නේ නම් ඉතිරිව ඇත්තේ මනස නමැති හයවෙනි ඉන්ද්‍රිය මඟින් ගෙන දෙන සුවය පමණි. එසේ නම්, එය මධ්‍යම ප්‍රතිපදාව විය යුතුය. තවදුරටත් මෙම සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ අප දිරිගන්වා ඇත්තේ මෙම අභ්‍යන්තර සුවය සොයා යාමටය. මෙය අනෙකක් නොව මධ්‍යම ප්‍රතිපදාවය. උන්වහන්සේ එය ධ්‍යාන පුහුණුව ලෙස අර්ථ දක්වා ඇත්තේ මෙතැනදීය. එයින් නිගමනය වන්නේ ධ්‍යාන පුහුණුව යනු මධ්‍යම ප්‍රතිපදාව බවය.

බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වූ ආකාරය සඳහන් වන විස්තරයේ, සම්බෝධියට මඟ ධ්‍යාන බව වටහා ගැනීමෙන් පසු එකෙනෙහිම උන්වහන්සේට අවබෝධ වූයේ ධ්‍යාන වෙත එළඹීම සඳහා, ජරාජීර්ණවූ ශරීරය, බාධාවක් වන නිසා හොඳින් ආහාර ගත යුතු බවය. මේ බව දුටු උන්වහන්සේගේ ගෝලයින් පස්දෙනා, තමන්ගේ ගුරුවරයා සත්‍යාවබෝධ කර ගැනීමට වීර්යය අත්හලේයයි සලකා උන්වහන්සේ අත්හැර ගියහ (ම. නි. 36, 32). මෙයින් පෙන්නුම් කර සිටින්නේ ධ්‍යාන වෙත එළඹීම සඳහා මූලික වශයෙන් කළ යුතු කය සංසිඳවීම වැනි සාමාන්‍ය පුහුණුවක ඇති වැදගත්කම පවා බුදුවරයෙකු පහළ වීමට පෙර මෙ‍ම ප්‍රඥාන්විත ගෝලයින් ඇතුළු සත්‍ය ගවේශකයින් දැන නොසිටි බවය. ධ්‍යාන වෙත පිවිසෙන ම‍ඟෙහි මූලිකව කළ යුතු කටයුතු වල ඇති වැදගත්කම එකල ප්‍රචලිතව නොපැවතියේ නම් එම‍ඟෙහි පියනැගීමක් හෝ අවසානයේදී ධ්‍යාන වෙත පිවිසීමක් සිදු නොවීයයි පැවසීම පුදුම සහගතද? අලුතින් බුද්ධත්වය අවබෝධ කර ගත් බුදුවරයාගේ ප්‍රථම දේශනයේ මුල් කොටසින් ධ්‍යාන (වෙත එළඹෙන) සහ ඉන් ඉදිරියෙහිවූ සත්‍යාවබෝධය වෙත දිවෙන මාර්ගය විවෘත කරමින් ආර්ය අශ්ඨාංගික මාර්ගය නොහොත් මධ්‍යම ප්‍රතිපදා දේශනාව පවත්වන ලද්දේ මන්දැයි ඔබට දැන් පැහැදිලි වනු ඇත.

පෙළ පොතෙහි සඳහන් දේ ඉදිරිපත් කරමින්, මෙම කරුණ පිළිබඳව දීර්ඝ විස්තරයක් මා ඉදිරිපත් කරන ලද්දේ මෙය බොහෝ දෙනෙකුට නව අදහසක් වන හෙයින්ය. හිතවත් පාඨකයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ, තමන් දරණ මත මොහොතකට ඉවතලා, මතවාද වල එල්ඹ ගෙන සිටීම සත්‍යාවබෝධය සඳහා බාධාවක් වන බව බුදුරජාණන් වහන්සේ අනුදැන වඳාළ හෙයින්, මා මෙහි ඉදිරිපත් කරන ලද කරුණු සමබරව විමර්ශනයට ලක් කරන ලෙසටය. අවසාන වශයෙන්, පළමුවෙනි සංගායනාවේදී පන්සීයක් රහතන් වහන්සේලා විසින් නිවැරදි ධර්මය ලෙස ප්‍රකාශයට පත් කරන ලද සූත්‍ර පිටකයෙහි අන්තැනකද (අ. නි. 9, 42), මෙම සූත්‍රය පිළිබඳව සඳහන් කර ඇති නිසා සැකයෙන් තොරව ඉපැරණි සූත්‍රයක් ලෙස සැලකිය යුතු පංචාලචන්දෝ සූත්‍රයෙහි, (ස. නි. 27) සඳහන්ව ඇත්තේ බුදුරජාණන් වහන්සේ ධ්‍යාන සොයාගත් බවය.

කෙනෙකුට ධ්‍යානයන්ට ඇලිය හැකිද?

සත්‍යාවබෝධය සඳහා මඟ ධ්‍යාන බව බෝසතාණන් වහන්සේට වැටහී යාමෙන් පසු උන්වහන්සේට මෙවන් සිතක් පහළ විය. “පංච ඉන්ද්‍රියන් හෝ අයහපත් දේ සමඟ, කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව ලබාගන්නාවූ මේ සතුටට මා බිය වන්නේ මන්ද? ධ්‍යානයන්ගෙන් විඳිය හැකි තෘප්තියට මම බිය නොවන්නෙමි!” (ම. නි. 36). දැනුදු, ඇතැම් භාවනායෝගීන්, ඉමහත් ප්‍රමෝදයක් ගෙන දෙන්නාවූ ධ්‍යාන, දුක කෙළවර කර ගැනීම සඳහා පිටුවහලක් නොවන්නේය යන වැරදි විශ්වාසය ඇති කර ගෙන සිටිති. ඔවුන් පසුවන්නේ ධ්‍යාන වලට බියෙන්ය. ඒ කෙසේ වෙතත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සූත්‍රවල නැවත නැවතත් සඳහන් කර ඇත්තේ “ධ්‍යාන සුවය සොයා යා යුතුය. ඒවා ප්‍රගුණ කර ගනිමින් තවතවත් ඒවාට සමවැදිය යුතුය. ඒවාට බිය නොවිය යුතුය” යනුවෙන්ය (ම. නි. 66).

ධ්‍යාන වලට ඇලීම හේතු කොට ගෙන කිසි දිනෙක නිවන් පසක් කර ගැනීමක් සිදු නොවනු ඇතැයි යන මතයෙහි පිහිටාගත් ඇතැම් අය, නවක යෝගීන් නොමඟට යොමු කරවන්නේ බුදුරජාණන් වහන්සේ විසින්ම දෙන ලද මෙම පැහැදිලි උපදේශයට පටහැනිවය. ඇලීම සඳහා බුදුරජාණන් වහන්සේ යොදා ගත් වචනය ‘උපාදාන’ බව මෙහිදී සඳහන් කළ යුතුය. උන්වහන්සේ එම වචනය යොදා ගෙන ඇත්තේ පංචේන්ද්‍රියන්ගෙන් විඳින ආස්වාදයන්ට ඇලීම හා වැරදි දෘෂ්ඨීන්ට ඇලීම (ආත්මයක්, කෙනෙක් ඇතැයි යන ආකල්පය) වැනි ඇලීම් සම්බන්ධයෙන් පමණක්ය. උන්වහන්සේ කිසි විටෙකවත් ධ්‍යාන වැනි යහපත් දෙයින් විඳින්නාවූ නිරාමිස සුවයට ඇලීම, උපාදානයක් ලෙස පෙන්වාදී නොමැත.

සරලව පෙන්නුම් කර දෙනවා නම්, ධ්‍යාන යනු අත්හැර දැමීමේ (අත්මිඳීමේ) අවධීන්ය. අත්හැර දැමීමේදී කෙනෙකුට ඇලීමක් ඇති කර ගත නොහැකිය. අත්හැර දැමීමට ඇති හැකියාව ඇලීමක්ද? මෙය  හරියට, නිදහස කෙනෙකුට, අවහිරයක් හෝ සම්භාධකයක් නොවන්නා සේමය.

අත්හැරීමෙන් ළඟා කර ගන්නාවූ ප්‍රමෝදයෙහි, ධ්‍යාන සුවයෙහි ගිලී සිටීමෙහි වරදක් නැති වූවත් සමහරෙක් එයට බිය වන්නේ නොමඟ යැවීම හේතු කොට ගෙනය. එනමුත් පාසාදිකා සූත්‍රයෙහි, (දී. නි. 29, 25) බුදුරජාණන් වහන්සේ සඳහන් කර සිටින්නේ ධ්‍යාන සුවයෙහි වැඩි වැඩියෙන් රස විඳින්නන් හට බලාපොරොත්තු විය හැක්කේ ප්‍රතිඵල හතරක් පමණක් බවය: සොතාපත්ති ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි  ඵලය,  රහත් ඵලයයි ඒ! මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ධ්‍යානයන්ට ඇලුම් කිරීමෙන් කෙනෙකු ළඟාවන්නේ මාර්ග ඵලයන් වෙත පමණක් බවය. බුදුරජාණන් වහන්සේගේ වචන වලින්ම පවසනවා නම් “ධ්‍යානයන්ට බිය නොවන්න”, එසේ සඳහන් කොට ඇත්තේ ම. නි. 66 වෙනි ලටුකිකෝපම සූත්‍රයෙහිය.

ධ්‍යානයන්ට බොහෝ දුරස්තරව සිටින අය සඳහා

ධ්‍යාන අවධීන් ඇත්තේ තමා වෙතින් බොහෝ දුරස්තරවයයි සිතීමෙන්, ඒවා අනවශ්‍ය දෙයක්යයි යන හැඟීම සමහරක් භාවනායෝගීන් ඇති කර ගෙන ඇත. නමුත් සත්‍යය අනෙකක්ය. මෙවැනි උත්තරීතර අවධීන් සාකච්ඡාවලට භාජනය කර ගැනීමෙන්, ශ්‍රද්ධාව ප්‍රබල වනවා පමණක් නොව, තමා අභියස ඇති භූමිකාව පිළිබඳ මනා අවබෝධයක් ඇතිවීමෙන් නිවැරදි මඟ කුමක්දැයි හෙළිදරව් කර ගැනීමට ඔවුන්ට පහසු වන්නේය. මෙවැනි නිදහස්, බලගතු, උත්කෘෂ්ට අවධීන් වෙත ආසන්න වෙද්දී තමා හැසිරිය යුත්තේ කිනම් ආකාරයකින්දැයි යන වග දැනහිඳීම අතිශයින්ම ප්‍රයෝජනවත්ය. අවසානයේදී ඔබ ඇති කර ගන්නේ ධර්මය පිළිබඳ හා විශේෂයෙන්ම, තුන්වන ආර්ය සත්‍යයෙන් දැක්වෙන දුක අවසන් කර ගැනීමෙන් අත්වන නිවන පිළිබඳ ගැඹුරු අවබෝධයක්ය. ධ්‍යාන සමාපත්තියකදී විඳින අතිමහත් ප්‍රමෝදය නියමිත කාලයකට සීමා වූවත්, එයින් පෙන්නුම් කර දෙන්නේ, සංසාර දුකින් එතෙර වීමෙන් විඳින සුවය පිළිබඳ හැඟීමක්ය. දැනට ධ්‍යාන අවධීන් අසලට අප පැමිණ නොසිටියත්, ඒ පිළිබඳව කෙරෙන සාකච්ඡා මඟින් අප ලබා ගන්නා දැනුම සුළු කොට තැකිය නොහැකිය.

ධ්‍යානයන්ට තරමක් සමීපව සිටින අය සඳහා

තවත් සමහරක් භාවනායෝගීන් මේ වන විට ලබා ඇති අත්දැකීම් තුළින් මෙම පැහැදිලි කිරීම් වටහා ගැනීමට ශක්තියක් දැනටමත් උදා කර ගෙන ඇති නිසා, අවසාන බාධක බිඳ ගනිමින් ධ්‍යාන තුළට පිවිසීම සඳහා මෙය උපකාරයක් වනු ඇත. තවදුරටත්, භාවනායෝගියෙක් ඇත්තෙන්ම ඉතා බලගතු භාවනාමය අවධියකට පත්වූ විට, එය කුමක්දැයි මෙනෙහි කර බලා, ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේගේ විස්තර දේශනා වලට අනුව එම අවධිය හොඳාකාරව තේරුම් ගැනීමට ඔවුන්ට සිත් වේ. එම නිසා භාවනාවේදී තමන් එළඹෙන අවධීන් වල ගැඹුර නියත වශයෙන්ම හඳුනා ගැනීමට හැකියාවක් ඇති කර ගැනීම ඉතා වැදගත්ය.

තමන් එළැඹි තත්ත්වය පිළිබඳ මානසික ප්‍රබෝධයක් ඇති කර ගැනීමෙහිද වැදගත් කමක් ඇත. එවැනි ධනාත්මක චිත්තවේග ඔබ උනන්දු කරවන්නේ තවදුරටත් අත්හැරීමටය. ඒ අනුව, ධ්‍යාන අවධීන් කොතරම් බලගතු, උත්කෘෂ්ට අවධීන්දැයි පෙන්නුම් කර දෙමින්, නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා ධ්‍යාන අත්දැකීම් වල ඇති වැදගත්කම විදහා දැක්වීම මගේ අභිලාෂයයි.

ධ්‍යාන පිළිබඳ මෙවැනි විවරණයක් කියවා බැලීම තුළින් රෝපනය වී පෝෂණය වන බීජ, වැඩී, කෙදිනක හෝ ඒවා ඵලදරනු ඇත. මානසික පිබිදීම සඳහා අවශ්‍ය, චේතනා නමින් හඳුන්වන මානසිකාංගය, ඇත්තවශයෙන්ම හටගන්නේ කෙසේදැයි කෙනෙක් වටහා ගත් තැනදී, ධ්‍යානයන් පිළිබඳ මෙවැනි තොරතුරු සහ පෙළඹවීම්, පිටතින් ලබාගැනීමෙහි ඇති වැදගත්කම වටහා ගන්නේය. එමඟින්, යථාකාලය එළැඹි විට, කළ යුතු කුමක්දැයි මනස ස්වයංක්‍රීයවම දැනුවත් වන්නේය.

උදාහරණයක් වශයෙන්, ‘නිමිත්තක්’ පහළවූ විට, එසැණෙහිම ඊට ප්‍රතිචාර දැක්විය යුතු අන්දම මනස හඳුනා ගනී. පසුවදී, එම චේතනාත්මක නිගමනයට ඔබ ක්ෂණිකව එළැඹියේ කෙසේදැයි විමසා බැලීමට ඔබට සිත් වේ. මෙවැනි සාකච්ඡා කියවීමෙන් ලත් දැනුම නිසා මනසෙහි එම යොමුවීම සිදුවූ බව ඊට පිළිතුර ලෙස ඔබ වටහා ගනී. ඇතැම් විට, එය ඔබේ ගුරුවරුන්ගෙන් ලත් උපදෙස් අනුසාරයෙන් මතුවූ බව ඔබට කිව හැකිය. නො එසේ නම්, පෙර ජීවිත වලදී ඔබ ලත් අත්දැකීම් ඊට මුල් වූවා විය හැකිය!

මනස ශාන්ත, නිසල තත්ත්වයන්හි පවත්වා ගැනීමට අවශ්‍යවන සියුම් මඟපෙන්වීම් සහ උපදෙස්වල මූලය ලෙස ඒවා දැක්විය හැකිය. ඒවා ඔබෙන් උත්පාදනයවූ උපදෙස් නොවේ. ඔබ මැදිහත්වී යමක් කිරීමට උත්සාහ ගතහොත්, එය භාවනාවට බාධකයක්වී තිබූ සාමයත් බිඳවැටී යන්නේය.

ඔබ තවමත් මෙවන් අවධියකට පැමිණ නොසිටියත්, කරුණාකර මේ සාකච්ඡා ඔබට අනවශ්‍යයයි නොසිතන්න. ඇත්තවශයෙන්ම ඒවා ඔබට වැදගත්ය. මේවායෙහි ඇති වැදගත්කම ඔබට අවබෝධ වන්නේ ධ්‍යානයකට සමවැදීමෙන් පසුව, ඒ ගැන මෙනෙහි කර බලද්දී, ඔබට අමතකවී ඇතැයි සිතා සිටි එම උපදෙස් නියමිත අවස්ථාවේදී මනසෙහි මතු වීම නිසා ධ්‍යානයට සමවැදීමට මනස යොමුවූ බව ඔබට සිහිපත් වීමෙන්ය.

පියකරු හුස්ම: ධ්‍යාන ම‍ඟේ ආරම්භය

මෙතෙක් මා ධ්‍යාන පිළිබඳ කරුණු විමර්ශනයට ලක් කරන ලද්දේ ‍ඓතිහාසික හා න්‍යාත්මක දෘෂ්ඨි කෝණයකින්ය. ධ්‍යාන සඳහා කළ යුතු පුහුණුව පැහැදිලි කිරීමට දැන් කාලය එළඹ තිබේ. ධ්‍යාන මඟ පිළිබඳ විස්තරය මුල පිරීමට සුදුසුම ස්ථානය ‘පියකරු හුස්මෙහි’ ආරම්භයයි. මෙම අවධියට සම්ප්‍රාප්ත වීමට මත්තෙන්, විඤ්ඤානයේ ගැඹුරු අවධීන් වෙත මනස දියත් කර හැරීම සඳහා අවශ්‍යවන සංතෘෂ්ටියත්, සිහිකල්පනාවත්, ස්ථාවරත්වයත් මනසෙහි තවම ගොඩනැගී නැත. අතරක් නොමැතිව, දීර්ඝ කාලයක් තුළ නිරුත්සාහයෙන්ම හුස්ම පිළිබඳ දැනුවත්කම මනසෙහි පවත්වා ගැනීමට කෙනෙකුට හැකියාව ඇති විට, එවැනි පරිපූර්ණ දැනුවත් කමකින් යුතු අවධියකට මනස සම්ප්‍රාප්ත වූවිට, හුස්ම ගෙන දෙන්නේ ඉමහත් ප්‍රමෝදයක්ය. ධ්‍යාන කරා ගමන් ඇරඹීමට ඔහු දැන් සුදුසුකම් ලබා ඇත.

ප්‍රීති ප්‍රමෝදයට බිය නොවන්න

භාවනාවෙන් ලැබෙන ප්‍රීති ප්‍රමෝදයට බිය නොවිය යුතු බව මෙතැනදී අවධාරණය කර සිටීමට මම කැමැත්තෙමි. බොහෝ භාවනායෝගීන් එම සංතෘෂ්ටිය නොවැදගත් දෙයක්යයි සිතමින් හෝ ඊටත් වඩා අසාධාරණ අන්දමින්, එවැනි ප්‍රසන්න සුවයක් විඳීමට තමන් සුදුස්සෙකු නොවන්නේයයි සිතමින්, එය ඉවතලීමට පෙළඹෙති. භාවනාවෙන් ලැබෙන සතුට ඉතා වැදගත්ය! එසේම, එම අසීමිත ප්‍රීතිය විඳීමට ඔබ සුදුස්සෙක්ය. ප්‍රීතියෙන් හුස්මෙහි ගිලී සිටීම මෙම‍ඟෙහි අත්‍යවශ්‍ය කොටසක්ය. එම නිසා හුස්මෙහි නිමග්නව සිටියදී, ඒ සමඟ මතුවන ප්‍රීති ප්‍රමෝදය වටිනා සම්පතක් සේ සලකා, ඔබ එය රැක බලා ගත යුතුය, එය නතු කර ගත යුතුය.

ආයාසයකින් තොර පියකරු හුස්ම

පියකරු හුස්ම අත්විඳින අවස්ථාව එළැඹි විට මතුවන ප්‍රසන්නත්වය, මනස හුස්මට අලවා තබන මැලියමක ස්වභාවයට පත්වන්නේ, හුස්මෙහි රැඳී සිටීමට මනසට අවශ්‍යතාවයක් ඇතිවන නිසාය. ආයාසයකින් තොරව මනස හුස්මෙහිම රැඳී සිටීම එහි ප්‍රතිඵලයයි. එවිට කෙනෙක් සම්පූර්ණ අවධානය යොමු කරමින් හුස්මෙහි රැඳී සිටින්නේ ඒ හැරෙන්නට අන්දෙයක් මනසට අවශ්‍ය නොවන නිසාය. මෙම අවධියේදී මනස හුස්මෙහි පහස විඳිමින් එදෙසම බලා සිටින්නේ වෙනතක යාමට අවශ්‍යතාවයක් නැති නිසාය. නිරායාසයෙන්ම මනස රැඳී සිටින්නේ හුස්මෙහිය. ප්‍රසන්න, පියකරු හුස්මෙන් සෑහීමකට පත්වන මනස අයාලේ යාමෙන් වැළකී සිටී. තවදුරටත් පාලනය කිරීමට අවශ්‍යතාවයක් නැති මනස හුස්ම පිළිබඳව සම්පූර්ණ දැනුවත්කමකින් යුක්ත වේ. කෙනෙක් මෙතැනදී හුස්ම පිළිබඳ දැනුවත්කම පවත්වා ගන්නේ නිරුත්සාහයෙන්මය.

ප්‍රීතියක් අත්නොවිඳින කල එතැන ඇත්තේ යම් අන්දමක අසහනයක්ය. අයාලේ යාමට මනස පාදක කර ගන්නේ මේ අසහනයයි. පියකරු හුස්ම අත්විඳීමේ අවධියට ළඟාවීමට ප්‍රථම, සිහිකල්පනාව හුස්ම වෙතින් ඉවතට ඇදගෙන යන්නේ මේ අසහනයයි. එහෙයින්, සිහිකල්පනාව හුස්මෙහි රඳවා ගැනීමේ එකම මඟ වන්නේ පාලනය තුළින් ඇති කර ගන්නා චේතනාත්මක බලවේගයයි. නමුත් පියකරු හුස්ම අත්විඳීමේ අවධියට පැමිණි විට ප්‍රීතිය මඟින් ඇති කෙරෙන දීර්ඝකාලීන සංතෘෂ්ටිය නිසා මනස නිදැල්ලේ යාම අත්හිටුවයි. එවිට පාලනය ලිහිල් කිරීමටත්, ආයාසය හීන කර ගැනීමටත් හැකිවන අතර මනස ස්වභාවිකවම නිසලතාව‍යේ රැඳී සිටී.

පෙට්ට්‍රල්, ගෑස් වැනි ඉන්ධනයක් වාහනයක චලනය ඇති කිරීමට ආධාර කරන්නා සේ මනසෙහි චලනය ඇති කරන්නේ අසහනය නැමැති ඉන්ධනයයි. වාහනයට ඉන්ධන සැපයීම නතර කළ විට එහි ගමන හෙමින් සීරුවේ නතර වේ. තිරිංග තද කිරීමක් අවශ්‍ය නැත. එය නිසලතාවයට පත්වන්නේ ස්වභාවිකවමය. ඒ අයුරින්ම, මනසෙහි අසහනය සිඳී ගිය විට, පියකරු හුස්ම ඉස්මතුවීමත් සමඟ මනස ඉතා මෘදු අන්දමින් නිසලතාවයට පත්වේ. එහෙයින්, චිත්ත බලවේගය නැමැති තිරිංග තද කිරීමක් අවශ්‍ය නොවේ. මනස නිසලතාවයට පත්වන්නේ ස්වභාවිකවමය.

පීතිසුඛ – ප්‍රීතිය සහ සුඛය

පාළි භාෂාවේ යෙදෙන පීතිසුඛ යන සංයුක්ත වචනයෙන් අදහස් කෙරෙන්නේ ප්‍රීතිය සහ සුඛයෙහි එක්වීමය. ලෞකික මට්ටමේ වේවා, ඕනෑම වර්ගයක සිත ප්‍රබෝධමත් කරන අත්විඳීමක් හැඳින්වීමට එම වචනය කෙනෙකුට යොදාගත හැකිය. නමුත් භාවනාවේදී, පීතිසුඛ වචනය යොදා ගන්නේ අත්හැරීම තුළින් උපදින ප්‍රීතිය සහ සුඛය හැඳින්වීම සඳහාය.

ගින්න හට ගැනීමට මුල්වූ ඉන්ධනයට අනුව, විවිධ වර්ගයේ ගිනි; දරගිනි, තෙල්ගිනි, ලැව්ගිනි ආදී වශයෙන් හඳුන්වනවාක් මෙන් විවිධ අන්දමේ පීතිසුඛ හැඳින්වීම සඳහා ඊට මූලිකවූ හේතුව යොදාගත හැකිය. පියකරු හුස්මෙන් ජනිත වන්නාවූ ප්‍රීතිය හා සුඛය සඳහා මුල් වූයේ අතීත හා අනාගත වගකීම්වල පැටලීම, ඇතුළත කථාව ආදී විසිරී යාමට විඤ්ඤානයෙහි ඇති ප්‍රවනතාවය අත්හැර දැමීමෙන්ය. අත්හැරීම තුළින් මෙම ප්‍රීතිප්‍රමෝදය බිහිවූ නිසා එතැන ඇලීමක් නැත. අත්හැරීමත්, ඇලීමත් කෙනෙකුට එක්වර කළ නොහැකිය. පියකරු හුස්ම සමඟ ඉස්මතුවන මෙ‍ම සංතෘෂ්ටිය සැබෙවින්ම යම් අන්දමක අත්හැරීමක් සිදුවූ බව පෙන්වන පැහැදිලි සංඥාවක්ය.

පීතිසුඛ ප්‍රධාන වර්ග තුන

ඉන්ද්‍රියන් පිනවීමෙන් උපදවා ගන්නා හෝ පෞද්ගලික ජයග්‍රහණ මඟින් හටගන්නා හෝ අත්හැරීම තුළින් ජනිත වන්නාවූ පීතිසුඛය ආදී වශයෙන් එය වර්ග කොට දැක්විය හැකිය. උත්පාදනයට මුලිකවූ හේතූන් මත ඒවා වෙනස් ස්වරූපයක් ගන්නා අතර ස්වභාවයෙන්ද ඒවා වෙනස්ය. ඉන්ද්‍රියන් ආශිතව හටගන්නා කාමභෝගී සංතෘෂ්ටිය උත්තේජකාරක උණුසුම් සුවයක් ගෙනදුන්නත් අවසානයේදී, එය කෙනෙකු විඩාවටත්, කැළඹීමටත් පත්කරයි. නැවත නැවතත් ඒවායෙහි යෙදීමෙන් හා ඒවා පරිහරණය කිරීමෙන්, මුල් වින්දනයේදී දැණුනු ප්‍රබලතාව‍ය කාලයත් සමඟ කෙමෙන් කෙමෙන් හීනවීයයි. පෞද්ගලික ජයග්‍රහණ ඔස්සේ දැණෙන උණුසුම් සුවයෙන්, හදවත ප්‍රීතියෙන් උතුරා ගියත් එය වැඩිකල් නොපැවතී, ක්ෂයවී යන්නේ නැවත පුරවා ගැනීමට හිස්තැනක් හදවතෙහි ඉතිරි කරමින්ය. නමුත් අත්හැරීම තුළින් ජනිත වන්නේ දීර්ඝකාලීන සිසිලසක්ය. ස්ථිරසාර නිදහසක හැඟීමක් නිරතුරුවම එය ඇසුරු කොට පවතී.

ඒහැරෙන කොට, කාමභෝගී පෙළඹවීම්වල උසිගැන්වීම නිසා ඉන්ද්‍රියන් ඇසුරින් ලබා ගන්නා ප්‍රීතිය මනස යොමු කර වන්නේ, සංසිඳවා ගත නොහෙන බලවත් ආශාවන්ටය. මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවෙකුට, දිනපතා භාවිතයට ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රමාණය දිගින්දිගටම වැඩි කර ගැනීමට පෙළඹෙන්නේ එවන් ප්‍රීතියෙහි ඇති අස්ථිරතාවය හා නොදැනුවත්වම ඔහු එම ආසාවන්ගේ වහලෙකු බවට පත්වන නිසාය. පෞද්ගලික ජයග්‍රහණ මඟින් ලබාගන්නා සතුට තවදුරටත් පවත්වා ගැනීම සඳහා වැඩි ආයෝජනයක් කළ යුතු අතර පෞද්ගලික බලයේ මායාවෙන් මුලාවී ඒවා හැසිරවීමෙහි යෙදෙන ඔබ, සෙමෙන් සෙමෙන් පාලන උන්මත්තකයෙකුගේ තත්ත්වයට පත්වේ. අවසානයේදී, සෑම සතුටක්ම වනසා දමන්නේ එම පාලකයාමය. අත්හැරීම තුළින් උපදින ප්‍රීතිය තවතවත් අත්හැරීමට පෙළඹවීමක් ඇති කරන අතර, ඇත්තවශයෙන්ම ඔබේ මැදිහත්වීමක් ඊට අවශ්‍ය නොකරන තරම්ය. මක්නිසාද යත්, එමඟින් කෙනෙක් උනන්දු කරවන්නේ, තියෙන දෙයට ඒ හැටියෙන් තියෙන්නට ඉඩ දෙන්නටය. ආයාසයකින් තොරව දිගුකල් පවත්වා ගතහැකි මෙම ප්‍රීතිය හැමතින්ම ස්ථිරසාරය. එම ප්‍රීතිය බොහෝ සෙයින්ම හේතුප්‍රත්‍යයන්ගෙන් නිදහස්ය. බාහිර බලපෑමකින් ඵල නොගැන්වුනු, හේතුවකින් හට නොගත් (අසංකත) දෙයකට සමීපතම දෙයක් ලෙස මෙම ප්‍රීතිය හඳුන්වා දිය හැකිය.

මේ අයුරින් විවිධාකාර පීතිසුඛයන් හඳුනා ගැනීම භාවනාවේ දියුණුව සඳහා වැදගත්ය. හුස්ම මත සිහිය රඳවා ගැනීමෙන් ලබන ප්‍රීතිය, කාමභෝගී පෙළඹවීම් මඟින් ලබන ප්‍රීතිය හා සම වන්නේ නම්, උදාහරණ වශයෙන් එය දියරැලි මෙන් ගත පුරා ශාරීරික වින්දනයක් ලෙස දැනෙන්නේ නම්, එවන් ප්‍රීතිය, උත්සාහය අත්හල සැණින් අතුරුදහන්වී යන්නේ තදගතිය හා විඩාව ඉතිරි කරමින්ය. මෙතැනදී එවැනි ප්‍රීතියකින් සෑහීමකට පත්විය නොහැකිය. එය ජයග්‍රහණයක හැඟීමක් හා මුසුවූ ප්‍රීතියක් නම්, උදාහරණ වශයෙන්, “අනේ හොඳයි! යන්තම් මම භාවනාවේ යම් තැනකට ආවා” යනුවෙන් සිතුනහොත්, බොහෝ විට මොහොතකින් එම ජයග්‍රාහී රසය බොඳවීගෙන යාමට පටන් ගන්නේ; නැවතත් මමත්වයේ ආධිපත්‍යයට යටවීමට හා හදිසියේම පාලකයාගේ ආගමනයට ඉඩ හැරීමෙන් කර ගත් විනාශය නිසාය. මෙයින් බැහැරව, පියකරු හුස්ම සමඟ උපදින ප්‍රීතිය පැන නැංගේ අත්හැරීම හේතුකොට ගෙන නම් කෙනෙකුට හැ‍ඟෙන්නේ, මෙතැනදී යමක් කීමට හෝ කිරීමට අනවශ්‍ය බවය. මෙම ප්‍රීතියේ, සහෝදරයා නිදහසය, සහෝදරිය සාමයය. ප්‍රභල දීප්තියකින් යුතුව එය විකසිත වන්නේ ‘ධ්‍යාන’ නැමැති උද්‍යානයෙහි ඉබේ පුබුදින පුෂ්පයක් මෙන්ය.

පියකරු හුස්ම, පියකරු මෛත්‍රීය, පියකරු හිස් කබල

හුස්ම හැරෙන්නට තවත් නොයෙකුත් භාවනා අරමුණු ඇත්තේය. කෙනෙකුට සිහිකල්පනාව යොමුකිරීම සඳහා මෛත්‍රීය (මෙත්තා), ශරීරයේ කොටස් (කායගතාසති), සිතින් මවා ගන්නා වර්ණයක් වැනි සරලවූ දෙයක් (කසින) හෝ වෙනත් යමක් තෝරා ගත හැකිය. කෙසේ වෙතත්, ධ්‍යාන වැඩීම සඳහා යොදාගන්නා ඕනෑම භාවනාවකදී, අත්හැරීම තුළින් ජනිත වන පීතිසුඛය අත්විඳින අවධියට කෙනෙක් එළඹිය යුතුය. උදාහරණ වශයෙන් මෛත්‍රී භාවනාව විවෘත කර දෙන්නේ මුළු විශ්වය පුරා පැතිරිය හැකි අති චමත්කාර, විශිෂ්ට, කොන්දේසි විරහිත ආදරයකින් භාවනායෝගියාගේ සිත ප්‍රණීතවත් සංතෘෂ්ටියකින් පුරවාලන මඟකටය. අත්හැරීම තුළින් උපදින පීතිසුඛය අත්විඳින්නාවූ මෙම අවධිය, ‘පියකරු මෛත්‍රීයයි.’ තවත් උදාහරණයක් ගෙනහැර දක්වනවා නම්, සමහරක් භාවනායෝගීන් අරමුණු කොට ගන්නේ ශරීරයේ කොටසක්ය, බොහෝ විට හිස්කබලය. භාවනාව තියුණු වෙමින්, සිහිකල්පනාව, අභ්‍යන්තරයෙන් මවාගත් හිස්කබලේ ඡායාව මත රැඳී පවතින විට ඉස්මතු වන්නේ විශ්මිත ක්‍රියාවලියක්ය. තමන් මවාගත් හිස්කබලේ චිත්ත රූපය සුදුපැහැ ගැන්වීමට පටන් ගෙන, එහි වර්ණය තවතවත් දීප්තිමත්වී අවසානයේදී ප්‍රභල දීප්තියකින් එය දිදුලන්නේ ‘පියකරු හිස්කබලක්’ ලෙසටය. නැවතත්, අත්හැරීම තුළින් ජනිතවන පීතිසුඛය මඟින් සමස්ථ අත්දැකීමම ප්‍රීතිප්‍රමෝදයෙන් පුරවාලන ආකාරය, එයින් පෙන්නුම් කර සිටී. කුණුවෙමින් පවතින මළමිනීයක් අරමුණ කර ගෙන අසුභ භාවනාව වඩන ස්වාමීන් වහන්සේලා පවසා සිටින්නේ, මුලදී අතිශයින් අප්‍රසන්නවූ පිළිකුල් සහගත මළමිනීය හදිසියේම තමන් දැක ඇති ඉතාමත් පියකරු චිත්ත රූපයකට පරිවර්තනය වන බවය. අත්හැරීම ඉමහත් සංතෘෂ්ටියක් ඇති කරන බැවින්, චිත්ත රූපය සමඟ ස්වභාවිකව මතුවන අරුචිය යටපත්වී, මනස පීතිසුඛයෙන් උතුරායාමට පටන් ගනී. මෙම අවධිය ‘පියකරු මළමිනිය’ ලෙසින් සිතට ගත යුතුය.

අවධීන් දහසයකින් යුත් ආනාපානසති සූත්‍රයෙහි (ම. නි. 118) පස්වෙනි හා හයවෙනි අවධීන්, ආනාපානසතියේ පීතිසුඛය අතිවිඳින අවධීන් බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇත. (මෙ‍ම පරිවර්තක යටතේම ‘ආනාපානසති සූත්‍රය’ පොත බලන්න.) භාවනාවේදී මෙය ඉතාමත් තීරණාත්මක අවධියක් වන බැවින් එය විස්තරාත්මකව පැහැදිලි කරදීමට මම කටයුතු කළෙමි.

පීතිසුඛය මතු නොවන්නේ නම්

පීතිසුඛය මතු නොවන්නේ නම් මනසෙහි ප්‍රමාණවත් සංතෘෂ්ටියක් නොමැතිවීම ඊට හේතුව විය හැකිය. වෙනත් අයුරකින් පවසනවා නම්, කෙනෙක් තවමත් පමණට වඩා උත්සාහයක් දරමින් සිටිනවා විය හැකිය. කෙනෙක් මෙතැනදී මුල් නීවරණ දෙක මෙනෙහි කර බැලිය යුතුය. (මෙ‍ම පරිවර්තක යටතේම ‘භාවනා මඟ සතුරෝ සහ මිතුරෝ’ පොත බලන්න.) පළමුවන නීවරණය වන පසිඳුරන් වෙත ඇති ඇලීමෙන්, කැමැත්ත මතුවූ දෙයකට සිත ඇදී යාම නිසා මනස හුස්මෙන් ඉවත් වන්නට ඇත. නැත්නම් දෙවන නීවරණය වන ද්වේශය පහළවී අත්විඳින්නාවූ හුස්මෙහි ඇති වැරදි සෙවීමට යාමෙන්, හුස්ම සමඟ අමනාපයක් ඇතිවීම නිසා අවධානය හුස්මෙන් ඈත්වන්නට ඇත. මෙම මුල් නීවරණ යුගලය වන කාමච්ඡන්දයත්, ව්‍යාපාදයත් අතර ඇති ‘මැද මාවත’ සංතෘෂ්ටියයි, සෑහීමකට පත්වීමයි, ලද දෙයින් සතුටුවීමයි. පීතිසුඛය මතුවන තෙක්, සෑහෙන කාලයක් තුළ හුස්ම සිහිකල්පනාවෙහි රඳවාගෙන සිටීමට, සෑහීමකට පත්වූ මනස ඉඩ සලසා දේ.

භාවනාවේදී වීර්යය සතු කාර්යභාරය කුමක්දැයි යනුවෙන් විටෙක ඔබ සිතෙහි කුකුසක් මතුවනු ඇත. භාවනාවේදී පියකරු හුස්ම මතුවීමට මදකට පෙර, ක්‍රියාශීලී බවින් මනස මුදා ගෙන, කෙනෙක් වීර්යය යෙදිය යුත්තේ ‘දැනහිඳීමට’ පමණක්ය. භාවනාව ඵලගන්වා ගන්නා අටියෙන්, ‘භාවනා කිරීම’ සඳහා කෙනෙකු වීර්යය යෙදීමෙන්, එනම්, සෑම දෙයක්ම පාලනය කිරීමට යාමෙන් සිදුවන්නේ, ‘කරන්නා’ බලගතුවී, ඔහු නොසන්සුන්තාවයේ මුහුණුවර ගැනීමය. මේ තවත් නීවරණයක්ය. නමුත් තමන් යොදන වීර්යය ‘කරන්නා’ ගෙන් ඉවත් කොට, එය සහමුලින්ම දැනහිඳීමට යොදන්නේ නම්, එමඟින් නොසන්සුන්කම පහව යනවා පමණක් නොව ඒ සමඟ අලසකම හා නිදිමතද ඉවත්වීයයි. අලසකම හා නිදිමත පංච නීවරණයන්ගෙන් තවත් එකක්ය. එය මතුවන්නේ දැනුවත්කමේ බලශක්තිය පිරිහී යාම නිසාය. බොහෝ කොටම මීට හේතුව වශයෙන් දැක්විය හැක්කේ කෙනෙකුගේ වීර්යය සම්පූර්ණයෙන්ම ‘කිරීමට’ යෙදීමය. එනම් මනස ක්‍රියාශීලී බවට පත්කරමින් පාලනය සියතට ගැනීමය. එමඟින් සිදුවන්නේ, දැනුවත්කම, එනම් ක්‍රියාවෙන් තොරව දැනුවත්ව හිඳීමට මනසට ඇති හැකියාව, හාමත්කරවීම නිසා අලසකමින් හා නිදිමතින් මනස මලානික වීමය. නමුත් කෙනෙක් තම ශක්තිය හා වීර්යය, සිහිකල්පනාව සහ දැනහිඳීම වෙත යොදවන්නේ නම් අලසකම හා නිදිමත මඟහැරී ගොස් එතැන මතුවන්නේ බලගැන්වුනු දැනහිඳීමය.

කෙනෙකු සතු සම්පූර්ණ වීර්යය දැනුවත්කමට යෙදීම, හුස්මත් කැටිව පීතිසුඛය ගොඩනගා ගැනීමට හැකි තවත් මඟක්ය. ප්‍රීතියෙන් පිළිඹිබු කරන්නේ මනසෙහි ඇති බලශක්තියයි. එම නිසා, තවමත් පීතිසුඛය මතුවී නොමැති නම්, දැනුවත්කම වෙත යෙදිය යුතු වීර්යය ඔබ තවමත් ‘කරන්නා’ වෙත යොදමින් සිටිනවා විය හැකිය.

සංසුන්වීමට මඟ

සංසුන්කමින් අදහස් කරන්නේ නොසැලීමය. මනස සැලෙන්නේ මන්ද? යම් අභිමාර්ථයක් මුල් කර ගෙන ‘අභිප්‍රායාත්මක චේතනා’ ඇති කර ගැනීම මනසේ සැලීමට හේතුවය. ඔබට සංසුන්කම, තැන්පත්කම අත්විඳීමට අවශ්‍ය නම් සෑම චේතනාවක්ම, සෑම මානසික ක්‍රියාවන්ම (‘කිරීමක්ම’), සෑම පාලනයක්ම අත්හල යුතු වන්නේ එම නිසාය.

ගසක කොලයක් තදින් අල්ලාගෙන සිටීමට ඔබට හැකි වූවත් එමඟින් එය නිශ්චලව තබා ගැනීම ඔබට කිසිසේත්ම කළ නොහැකිය. අතේ මාංශපේෂීන්ගේ කම්පනය නිසා හැමවිටම යම් ප්‍රමාණයක ගැස්සීමක් ඇතිවීම නොවැළැක්විය හැකිය. කෙසේ වෙතත්, ඔබට එය සුළඟින් ආරක්ෂා කර ගත හැකි නම්, අවසානයේදී එය නිශ්චල වන්නේ ඉබේටමය. චංචල වීමට හේතුකාරකවූ සුළඟ ඉවත් කිරීමෙන්, කොලය ඊට ආවේනිකවූ ස්වභාවික නිශ්චලතාවයට පැමිණේ.

ඒ ආකාරයෙන්ම, අධිෂ්ඨාන බලය යොදා මනස තදින් ග්‍රහණය කර ගැනීමෙන් ඔබ බලාපොරොත්තු වන සංසුන්කම ඇති කර ගැනීමට නොහැකිය. එහෙත් මනස සෙලවීමට ප්‍රධානතම හේතුකාරකයකවූ චේතනා ඉවත් කිරීමෙන් ඉක්මණින්ම මනස ඊට ආවේනිකවූ ස්වභාවික නිසලතාවයට පත්වේ.

එහෙයින් බලය යෙදීමෙන් හෝ චේතනාත්මක සිතිවිලි මඟින් මනස නිසල කළ නොහැකිය. අත්හැරීම තුළින් ජනිතවන පීතිසුඛය මනසෙහි නිසලතාවයට මඟ පාදයි. පියකරු හුස්මත් සමඟ ප්‍රසන්න බව ඉස්මත්වූ තැනදී චේතනාත්මකව බලය යෙදීමෙහි ඇති නිසරු බව ඔබට වැටහෙනු ඇත. එවැනි දෙයක් අවශ්‍ය නොවන්නේ, ආයාසයකින් තොරව සිහිකල්පනාව හුස්මෙහි රඳන නිසාය. සිහිකල්පනාව බලවත් තෘප්තියකින් හුස්මෙහි රැඳී සිටින නිසා ඒ සඳහා බලය යෙදීමක් අවශ්‍ය නොවේ. පියකරු හුස්ම අවධියේදී මතුවන පීතිසුඛය හේතු කොට ගෙන, හුස්ම ශාන්ත බවට පත්වී, සංසුන්කම විද්‍යමානවීමට පටන් ගනී. ඒ සඳහා වීර්යයක් අවශ්‍ය නැති තරම්ය.

සංසුන්කම ඇතිවූ විට එය පීතිසුඛය පෝෂණය කරයි. වර්ධනය වන පීතිසුඛය මඟින් වීර්යය අවම වශයෙන් යෙදීමට අවස්ථාව සලසාදීම නිසා සංසුන්කම තවතවත් බලවත් වේ. මෙය ස්වයංක්‍රීයව බලය වර්ධනය වීමේ හා එකිනෙක පෝෂණය කර ගැනීමේ ක්‍රියාවලියක ආරම්භයයි. සංසුන්කම පීතිසුඛය වර්ධනය කරයි. පීතිසුඛය සංසුන්කම ගැඹුරු කරයි. බාධා කිරීමක් සිදු නොවුවහොත් අඛණ්ඩව ඉදිරියට ඇදී යන මෙම ක්‍රියාවලිය නතර වන්නේ ධ්‍යානයකින්ය. එතැනදී සංසුන්කම ඉතාමත් තියුණුය, පීතිසුඛය අමන්දානන්දය.

හුස්ම අතුරුදහන්වූ විට

පියකරු හුස්ම අවධියට ළඟා වීමට ප්‍රථම හුස්ම අතුරුදහන්වී යන්නේ නම් අවධානයේ දුබලකම නිසා ඇතිවන අලසකම හා නිදිමත එයට හේතුව වශයෙන් දැක්විය හැකිය. ඔබ කළ යුත්තේ නැවත ආරම්භක අවධීන් කරා ගොස් මේ මොහොතේ අවධානයත්, නිහඬ අවධානයත් බලගතු කර ගැනීමය. හැකිතාක් ශක්තිය සිහිකල්පනාවට යොදන්න.

නමුත් කෙනෙක් පියකරු හුස්ම අවධිය වෙත එළඹ ඇත්තේ නම්, ඉතා දිගු කාලයක් අනායාසයෙන්ම හුස්ම වෙත සිහිකල්පනාව රඳවා ගැනීමට හැකියාවක් ඇත්තේ නම් හා හුස්ම බලවත් ප්‍රීතිප්‍රමෝදයක් ගෙන දෙන්නේ නම්, එවිට මනසෙහි නිසලතාවය වර්ධනයවී හුස්මෙහි දැනීම නැතහොත් හුස්මක් ඇතැයි යන සංඥාව ක්‍රමක්‍රමයෙන් ගිලිහී ගොස් හුස්ම ඉතාමත් සියුම් බවට පත්වන්නේය. මේ වන විට ආශ්වාස කරමි හෝ ප්‍රශ්වාස කරමි හෝ මේ හුස්මෙහි මුලය, මැදය හෝ අගය යන හැඟීමක් මනසෙහි සනිටුහන් වන්නේ නැත. කෙනෙකුට දැනෙන්නේ, නොවෙනස්ව පවතින්නේයයි සිතෙන අන්දමේ හුස්මෙහි සංඥාව පමණක්ය. එය මෙහොතින් මොහොතට වෙනස් වන්නේයයි කියාවත් පැවසිය නොහැකි ඒකාකාර අත්විඳීමක්ය. මෙතැනදී සිදුවන්නේ ආශ්වාසය, ප්‍රශ්වාසය හෝ හුස්මෙහි මුල මැද අග වැනි හුස්ම පිළිබඳ බාහිර ගතිලක්ෂණ සියල්ලක්ම අභිබවා යාමට හැකියාවක් මනසට ඇති වීමය. කෙනෙක් මෙවිට අත්විඳින්නේ එවැනි සළකුණු වලට ඔබ්බෙන් පවතින හුස්මෙහි හදවතය.

භාවනා අරමුණෙහි, එනම්, හුස්මෙහි ඇති ඉතා සරල බව නිසා, නිසල බව හා පීතිසුඛය තවත් බලවත් වීමට පිළිවන. ඒවාට බලවත් වීමට ඉඩ දෙන්න. මෙතැනදී, කෙනෙක් බලා සිටිය යුත්තේ හුස්මෙහි මෙම ඉතා සියුම් අත්විඳීම දෙසදැයි කුකුසක් ඇති කර ගනිමින් සැකයේ ගොදුරක් නොවීමටද සිතට ගන්න. හුස්ම ඉහළට ගැනීම, පහළට හෙළීම, හුස්මෙහි මුල මැද අග යන සංඥා අතුරුදහන්වීම ගැන ලත නොවන්න. සිදුවිය යුතු දේ එයයි. එම ක්‍රියාවලියට බාධා නොකරන්න. නිසල බව හා පීතිසුඛය තවතවත් බලවත්වන විට සිදුවන්නේ හුස්ම අතුරුදන් වීමය.

පියකරු හුස්ම අවධියේදී හුස්ම අතුරුදහන්වී ඉතිරි වන්නේ පියකරු බව පමණක්ය. කෙනෙක් මේ දකින්නේ කිසිවක් නැති බව නොවේ. හුස්ම පිළිබඳ සංඥාවක් නැති පීතිසුඛයයි. කෙනෙකුගේ භාවනාවේ මෙය තවත් සංධිස්ථානයක්ය. ධ්‍යානයකට ඔබ තවත් පියවරකින් ලංවී ඇත.

ඉන්ද්‍රිය සංවේදිතාවය සංසිඳවීම

බුදු දහමෙහි හැමවිටම පැහැදිලි කර දෙන්නේ සංවේදී බව ඇති වන්නේ පස් ආකාරයකින් නොව හය ආකාරයකින් බවය. ඒවා නම් දැකීම, ඇසීම, ආඝ්‍රහණය, රසය, ස්පර්ෂය හා මනසය. ආනාපානසති භාවනාවේදී කෙනෙක් මුල් සංවේදීතා හතර සංසුන් කර ගනිමින් ඒවා අතුරුදහන් වීමට සලසා ගන්නේ, හුස්ම වෙතට පමණක් අවධානය යොමු කර ගැනීමෙන්ය. ඉන්පසු හුස්මක් ඇති බව දැනගන්නේ ස්පර්ෂය හා මනස ඇසුරෙන්ය.

භාවනාවේ වර්ධනයත් සමඟ ස්පර්ෂ සංවේදීතාවය ක්‍රමක්‍රමයෙන් සංසිඳී ගොස් මානසික සංවේදිතාවය ප්‍රමුඛත්වය ගනී. පියකරු හුස්මට මනස පත්වන අවධියේදී, හුස්ම අත්විඳීමේ දැන්වත්කමින් සුළු කොටසක් ස්පර්ෂ සංවේදිතාවයට බැර කළ හැකි වූවත් ඉන් වැඩි කොටසක් දැනෙන්නේ මනෝ සංවේදීතාවය ඔස්සේය. ස්පර්ෂ සංවේදීතාවය තුළින් කෙනෙකුට දැනෙන්නේ හුස්ම පිළිබඳ සංඥාවය. මනෝ සංවේදීතාවය තුළින් දැනෙන්නේ එහි පියකරු බව පිළිබඳ සංඥාවය. ‘හුස්ම’ අතුරුදහන් වූවිට එයින් පෙන්නුම් කෙරෙන්නේ, කෙනෙක් ස්පර්ෂ සංවේදීතාවය අතුරුදහන්ව යන තෙක් එය සංසිඳවා ගෙන ඇති බවය. අවසානයේදී, බාහිර ඉන්ද්‍රිය පහ මඟින් දැනෙන සංවේදීතා පහ දැන් මඟහැරී ගොස්ය. ඉතිරිව ඇත්තේ මනෝ ඉන්ද්‍රිය මඟින් දනවන සංවේදීතාවය පමණක්ය. එම සංවේදීතාවය තුළින් අත්විඳින්නේ හුස්මෙහි පියකරු බවය.

ඇත්තෙන්ම, මෙම අවධියේදීත් කෙනෙක් හුස්ම ගනිමින් සිටියත්, එය සිදුවන්නේ ඉතාමත් සියුම් ලෙසටය. එයින් පැහැදිලි වන්නේ, කෙනෙක් දැන් හුස්ම පිළිබඳව දැනුවත්කමකින් පසුවන්නේ මනෝ සංවේදීතාව ඇසුරින් මිස ස්පර්ෂ සංවේදීතාවය ඇසුරින් නොවන බවය. පරණ පුරුදු ආකාරයෙන් දැන් හුස්මෙහි අත්විඳීමක් නොකරන නිසා හුස්ම නතරවී ඇතැයි කෙනෙකු නිගමනය කරන්නට පිළිවන. නමුත් හුස්ම නතරවී නැත. බිය නොවන්න. භාවනාවේ මේ අවධියේදී කෙනෙකු මරණයට පත්වන්නේ නැත! කෙනෙක් දැන් හුස්ම අත්විඳින්නේ ඉතා චමත්කාරජනකවූ නවතම ආකාරයකින්ය. අත්විඳීම දැන් මුළුමණින්ම සිදුවන්නේ මනෝ ඉන්ද්‍රිය ඔස්සේ පමණි, එය දනවන්නේ අසීමිත ප්‍රීතිප්‍රමෝදයක්ය.

දිදුලන දියමන්තියක් දර්ශනය වන ආකාරය හා මෙය සමකළ හැකිය. කෙනෙකු ප්‍රථමයෙන්ම හැඟීමක් ඇති කර ගන්නේ එහි හැඩය, ප්‍රමාණය සහ එහි විවිධාකාර මුහුණත් පිළිබඳවය. නමුත් එහි සිත් ඇදගන්නා අලංකාරය නිසා, සමහර විට, ටික වේලාවකට පසු කෙනෙකුට එහි හැඩය හා ප්‍රමාණය ගැන තිබූ හැඟීම ටිකින් ටික අමතකව යන්නේය. සමහර විට, මුහුණත් පිළිබඳ හැඟීමද නැතිව යා හැකිය. මුළුමණින්ම දැන් කෙනෙකුට සටහන් වන්නේ, දැනීම වශයෙන් ඉතිරි වන්නේ, එහි ඇති ‘දීප්තිය’ හා ලස්සනය. දියමන්තිය තවමත් එතැන ඇතත් කෙනෙකු දකින්නේ, නවතම ආකාරයකින් එතැන ඇති විශ්මයජනක අති චමත්කාරයයි.

එසේ නැතිනම් ‘බුදු දහමෙහි හදවත භාවනාවයි’ යන පොතෙහි මා විස්තර කර දී ඇති ආකාරයට ලුවිස් කැරොල්ගේ ‘ඇලිස්ගේ විශ්මලන්තය’ පොතෙහි සඳහන් බළලාගේ උපමාව මෙතැනට යොදාගත හැකිය. මුලදී නිල්වන් අහසෙහි විද්‍යමාන වන්නේ බළලාගේ සිනාසෙන මුහුණය. ඇලිස් සහ රතු රැජින එම දර්ශනය නරඹමින් සිටියදී බළලාගේ හිස ක්‍රමයෙන් අතුරුදහන්වීයයි. ටික වේලාවකට පසු ඉතිරි වන්නේ බළලාගේ සිත්බඳනා සිනහවෙන් යුතු කට පමණක්ය. ඉන්පසු කටද නොපෙනී යන්නේ සිනහව පමණක් ඉතිරි කරමින්ය. ශරීරය අතුරුදහන් වූවත් පියකරු බව එතැන ඉතිරිව ඇත.

මනෝ ඉන්ද්‍රිය ඉතිරි කරමින් බාහිර ඉන්ද්‍රියන් පහ සම්පූර්ණයෙන්ම අතුරුදහන් වූවිට සිදුවන දේද මේ හා සමානය. කෙනෙකුට මෙවැනි පිරිසිදු මානසික අරමුණු ගැන හැඟීමක් නොමැති නම් භෞතික ලෝකය සමඟ පැවැත්වූ සම්බන්ධතා මේ ආකාරයෙන් අත්හැරුනු විට කෙනෙක් පහසුවෙන් ව්‍යාකූල බවට පත්විය හැකිය. එතැනදී ඔබට පිහිට වන්නේ විශ්වාසය හෝ ශ්‍රද්ධාවයි. අත්දැකීම් මඟින් උපදවා ගෙන ඇති ඥානය දුර්වල නම්, පියකරු හුස්ම අවධියේදී ප්‍රීතිප්‍රමෝදය පිළිබඳ හැඟීම ඉතිරි කරමින් හුස්ම අතුරුදහන්වී ගිය විට එතැනදී දැනෙන හැඟීම, පිරිසිදු මානසික අරමුණක් බව විශ්වාසයකින් යුතුව වටහා ගන්න. ඒ විශ්වාසය මත රඳන්න. ඔබ එතැනදී විඳින සාමකාමී ප්‍රීතිප්‍රමෝදයට එරෙහිව සැකය නැමැති නීවරණයට හිස එසවීමට ඉඩ නොදීමට වගබලා ගන්න. ඔබ අත්විඳින දෙය පිළිබඳව විග්‍රහයක යෙදීමට සුදුසු කාලය මෙය නොවන බව සිතා එය භාවනාවේ අවසානයට කල් තබන්න. මීට පෙර බොහෝ වතාවල පවසා ඇති ආකාරයට, වැදගත්යයි සිතන යම් අත්දැකීමක් වේ නම්, ඒ පිළිබඳව විමසා බැලීම සඳහා භාවනාවේ අවසාන මිනිත්තු කිහිපය යොදා ගැනීමට අමතක නොකරන්න.

සාරාංශය

මෙ‍ම පරිච්ඡේදය වෙන් කරන ලද්දේ ‘ධ්‍යාන’ හඳුන්වාදීම සඳහාය. ධ්‍යාන වල ඉතිහාසය පිළිබඳ කෙටි හැඳින්වීමකින් පසු මෙම සම්භාවනීය මාතෘකාව යටතේ බොහෝ විට ඉදිරිපත් කෙරෙන සමහරක් ආන්දෝලනාත්මක අදහස් පිළිබඳව විමර්ශනයක මම යෙදුනෙමි. නැවත වතාවක් ‘පියකරු හුස්ම’ වෙත මා ඔබේ අවධානය යොමු කරවන්නට යෙදුනේ ධ්‍යාන වලට පිවිසෙන ම‍ඟෙහි ආරම්භය එය වන බැවිනි. භාවනාවේදී මතුවන ප්‍රීතිප්‍රමෝදයට බිය නොවන ලෙස පියකරු හුස්ම සමඟ සමාරම්භව අනුශාසනා කරන්නට යෙදුනේ මනසෙහි අවධානය හුස්මට අලවා තබන ‘මැලියම’ එම ප්‍රීතිප්‍රමෝදය නිසාවෙන්ය.

මීළඟ පරිච්ඡේදය තුළින් සමාධීන්ට අවතීර්ණ වන ම‍ඟෙහි තවත් ඉදිරියට යාමට අපි අදහස් කරමු. ‘ධ්‍යාන’ තුළට පිවිසෙන දොරටුව අභියසදී මතුවන ‘නිමිත්ත’ එහිදී මුලින්ම සාකච්ඡාවට භාජනය කරමු.

දැන් “ධ්‍යාන භාවනා – 2” කොටස කියවන්න.

Leave a comment