ජෝර්ජ් කාරියවසම්
“ඔබට පිටස්තර වූ දෙයකින් ඔබ මෙහෙය වීමට අවශ්‍යතාවයක් නැත. ඔබේ ජීවිතයේ ආශ්චර්යමත් දේ සිදුවන්නේ යම්කිසි බලපෑමක් නිසා නොවේ. ඒවා හෙළිදරව් වන්නේ ඔබේ උද්යෝගීමත්කම තුළින්ය.”
නමුත් අපි හැඩගැහිල ඉන්නෙ ඊට වෙනස් ආකාරයකටයි. අපි දේවල් ඉහලින් සිද්ද කර දෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නෙ. කොච්චර යාඤා කලත්, කන්නලව් කලත්, බැගෑපත් වුනත්, එක අතක් නෙවෙයි දෑතම වුනත් අහසට දික්කරල ඉල්ලා හිටියත්, අපි බලාපොරොත්තුවන දේවල් ඉෂ්ඨ වෙන්නෙ නැහැ. ඉතින් කියනව දෙයියො අහක බලාගෙන කියල. ඒකට හේතු නැතිව ම නෙවෙයි. අපිට ඕන කරන දේවල්, අපේ සිතැඟියාවන්ට අනුව හොඳින් කෙරෙනව නම්, ඔය කලින් කිව් එක දෙයක්වත් අපි කරනවද? නැහැ. ඒ වෙලාවට දෙයියො නෙවෙයි, අපියි අහක බලා ගෙන ඉන්නෙ? තලුමරමර ලැබෙන දේවල්වල රස භුක්ති විඳින්නෙ? අපිට දෙයියො මතක් වෙන්නෙ, තිබිච්ච දේවල් නැති වේගන යන කොට, වැඩ වරදින කොට. ඉතින් ඒ වෙලාවට දෙයියො අහක බැලුවාම ඇති වැරැද්ද මොකක්ද? තමනුත් ඒකමනෙ කලින් කලේ. ඇයි දැන් දෙයියොන්ට විතරක් බනින්නෙ?
අපි ඇසුරු කරන්නෙ හිතවත් අය එක්ක, අපි උදව් උපකාර කරන්නෙ හිතවත් අයට, උදව් පදව් ඉල්ල ගන්නෙ හිතවත් අයගෙන්. මෙතැනදි හිතවත් කියල කිව්වෙ හිත දිනාගත් කියන එක. ඒක යාළුකම ම නෙවෙයි. උඩින් එකක් පෙන්නගෙන යටින් තව එකක් කරන යාළුවො ඕන තරම් ඉන්නව. අපි ඒ අය එක්ක ගනුදෙනු කරන්නෙ බොහොම පරිස්සමින්. සමහර වෙලාවට මේ හිත දිනා ගැනීම තවත් විදියකට වෙන්නත් පුළුවන්. “එක වල්ලෙ පොල්” කියල කතාවක් අහල තියනවනෙ? අන්න, ඒ වගේ. දෙගොල්ලො ම එක ජාතියෙ. එකතුවෙලා හොඳට බොන අය, හොරමැරකම් කරන අය, අනුන් තාඩන පීඩනවලට ලක්කරල, කාට හෙණගැව්වත් මට කමක් නෑ කියල, තමන්ගෙ ම මඩි පුරව ගන්න අය. එකට කාගෙන බීගෙන ඉන්න මේ අයත්, බොහොම හිතවත්, බොහොම ලෙන්ගතුයි. එකිනෙකාට පණ වුනත් දෙන්න ලෑස්තියි. ඔන්න ඒකනෙ, එකෙක් හිර වෙන්නයි යන්නෙ කියල දැක්ක ගමන් ම, මොන සූස්තරේ දාල හරි සගයව බේර ගන්නෙ. බොරුද? නමුත් එවැනි අයගෙ හදවත් හිස්. උඩින් ලොකුකම් පෙන්නුවට, ලොකුවට හිටියට, ගතයුතු වැදගත් යමක් ඒ හදවත්වල තැන්පත් වෙලා නැහැ. තියෙන්නෙ ම හොර, බොරු, වංචනික, තක්කඩි අදහස් උදහස්.
ඒ නිසා අපි ලං වෙන්නෙ, එකතු වෙන්නෙ හදවත්වල තියෙන සමාන කම් දිහා බලල. ඒව හොඳ වෙන්න වුනත්, නරක වෙන්න වුනත් පුළුවන්. අපි යම් හොඳක් අපි වෙනුවෙන් බලාපොරොත්තු වෙනව නම්, අපි බලන්නෙ ඕනෙ හොඳ පැත්ත. අපි හොඳ නම්, තව කෙනෙක් ළඟ තියෙන හොඳ අඳුනගන්න පුළුවන් ඉවක්, අපි ළඟ තියෙනව. සුවඳක ඉවක් දැනිල අපි ඒ සොයා ගෙන ගියත්, ඒක ඒ දැනනු සුවඳ තරම් හොඳ සුවඳක් නොවෙන්න වුනත් පුළුවන්. ඒ නිසා ඉව පස්සෙ ම ගියොත් බලාපොරොත්තු කඩවීම් සිදු වෙන්නත් පුළුවන්. ඉවෙන් දැනෙන දේ, අපි ප්‍රඥාවෙනුත් මැනගන්න, පුරුදු වෙන්න ඕනෙ. මොකද සුවඳෙත් තියෙනව අනර්ග වර්ග වගේ ම බාල වර්ගත්. ඇඟේ ගාගෙන ම බලන්න වෙනව. සමහර ඒව සෝඩ බෝතල් වගේ. ඇරපු ගමන් ම නම් හරි රැස්, ශෝක්, පුස්බයි. නමුත් ටික වෙලාවකට පස්සෙ මුකුත් ම නෑ. සුවඳ නෙවෙයි, ගෑවුන තැනත් පිච්චෙනව වගේ දැනෙනව.
අපි ඒ සුවඳට ඇදිල යනව වගේ, සමහර විට, අනික් අයත් අපි ළඟට ඇදිල එන්නත් පුළුවන්, තමන්ගෙ සුවඳෙ බලවත්කමක් තියෙනව නම්. වැඩි සුවඳක් නැති අය වට වුනොත්, ඒ බාල සුවඳ වර්ගත් එක්ක මුසුවෙලා, තමන්ගෙ තියෙන සුවඳත් බාල වෙනව කියල, අපි අහල තියෙනව, දැකල තියෙනව. ඒකෙනුත් පරිසස්ම් වෙන්න ඕනෙ. පාප මිත්‍ර, කළ්‍යාන මිත්‍ර කියල දෙකොටසකුත් ඉන්නවනෙ? ටිකක් අමාරුයි අඳුන ගන්න.
හැම ආගමක ම දෙවිවරු ගැන සඳහන් වෙනව. ඒව පිළිගන්න අයත් ඉන්නව, නො පිළිගන්න අයත් ඉන්නව. තමන් නො දන්න දේවල්වලට වඩා, දන්න දේවල් වැඩියි කියල හිතන අයට, ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නය ඒ විදියට ම තිබුණාවෙ. ඒකෙන් කාටවත් පාඩුවක් වෙන්නෙ නැහැනෙ?
දේවත්වයට පත්වෙන්නෙ දේව ගති තියන අය. අහල තියෙනවනෙ? ඒව අමුතු ගතිගුණ නෙවෙයි. අපිත් දන්න කියන ගුණයහපත්කන් ම තමයි ඒව. වෙනස, ඒවයෙ ඉහළ මට්ටමකට ඒ අයට යන්න පුළුවන් වෙලා තියෙනව. වෙන විදියකට කියනව නම්, ඒ අය තම තමන්ගෙ හදවත් ඉතා හොඳින් පිරිසිදු කර ගෙන තියෙනව. අපි කැමතියි අපිට ගැලපෙන අයත් එක්ක ආශ්‍රය කරන්න. හොඳ හෝ නරක. ඒ වගේ ම දෙවිවරු කියන්නෙ අමුතු ජාතියක් නෙවෙයිනෙ? ගුණයහපත්කම් අතින් පිරුණු අය. ඒ අය කැමති වෙන්නෙ, ඒ අයට ගැලපෙන අය එක්ක ඇසුරු කරන්න. මොකක්ද ඒකෙ ඇති වරද? ඒ නිසා අපි කොච්චර කන්නලව් කලත්, “එන්න එන්න අපි ළඟට” කියල, “අපි දිහාත් බලන්න” කියල. ඒ අය අහලකටවත් එයිද? අපි ළඟ තියෙන ගති පැවතුම් දැක්කාම. ඒක සිද්ද වෙන්නෙ නැහැ. ඒ ආකර්ශණය නැහැ. “යා දෙක නො රත රත, සමග පෑහීමක් නැත.” ඒ කියමන බොරුවක් නෙවෙයිනෙ? අපි වෙනුවෙන් උන්වහන්සේලා ‘බාල’ වෙන්නෙ නැහැ. එකතු වෙන්න නම්, උදව් ඕනෙ නම්, අපි ‘උසස්’ වෙන්න උත්සාහ කරන්න ඕනෙ.
බැංකුවකට ගිහින්, අනේ අපට අමාරුයි, අපට දාහක් හමාරක් දෙනවද කියල ඉල්ලුවට, දෙනවද? අපි ගැන හොඳට හොයල බලල, සුදුසුකමක් තියෙනව නම් විතරයි දෙන්නෙ. ඒව ලබාගන්න තරම් සුදුසු මට්ටමක අපි ඉන්න ඕනෙ. ඒ දුන්නත් දෙන්නෙ තවත් කවුරු හරි ඇපේට තියා ගෙන. මේ මනුස්සයො විස්වාස කරන්න බැරි සත්ව කොට්ටාසයක්. අනේ මාව විස්වාස නැද්ද, ආපහු දෙනව දෙනවමයි කියල කිව්වට, ටික වෙලාවකට පස්සෙ පස්ස හරවනව. අනේ අපිට හරි අමාරුයි, පිහිට වෙන්න කියල දුක් අඳෝනාවල් කිව්වට, ඒව ගනන් ගන්නෙ නැහැ.
හොඳට නාල සුද්ද පවිත්‍ර වෙලා, සුදු පිරුවට ඇඳගෙන, ලොකු පූජා වට්ටි ඔළුව උඩ තියාගෙන, ඔය දේවාල වටේ රවුන් ගැහැව්වට, උන්වහන්සේලා අපි ළඟට එන්නෙ නැහැ. ඒ කරන දේවල් වල වැරැද්දක් නැහැ. බොහෝම දෙනෙකුට දෙවියන් වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළ ම දේ තමයි ඒක. නමුත් එහෙම කරල, අපිත් හොඳ පිරිසිදු අය කියල පෙන්නල, දෙවියො අපි එක්කත් එකතුවෙයි කියන, අනිසි බලාපොරොත්තුව නම් ඇති කර ගන්න එපා. අනික් අය රවටන පලියට මට දෙයියොත් රවට්ටන්න පුළුවන් කියල නම් හිතන්නවත් එපා ගොයියො. ඒව බොරු.
දෙවිවරු සුවඳ පතුරන්නෙ මල් වට්ටි ළඟ තියාගෙන නෙවෙයි. ඒ සුවඳ හමන්නෙ, උන්වහන්සේලාගේ හදවත් වලින්. ඒවයෙ තියෙන පිරිසිදු කම නිසා. ඒ සුවඳට එකතු වෙන්න ඕනෙ නම්, අපේ හදවත් වලිනුත් ඒ සුවඳ විහිදෙන්න ඕනෙ. ඒත්, අපි කොච්චර හොඳ වුනත්, එකට එකතු වෙන්න පුළුවන් කම ලැබුණත්, උන්වහන්සේලාට වුනත්, අපිට පිහිට වෙන්න බැරි වෙලාවල් තියෙනව. තමන්ටත් එහෙමනෙ? සමහර වෙලා වලදි, පුළුවන් කම තියෙද්දිත්, අපි පණ දෙන්න වුනත් කැමති අයට, පිහිට වෙන්න, අපිටත් බැරි වෙලා තියෙනව.
අපි ලෙඩ වුනාම කාගෙන්ද පිහිට ඉල්ලන්නෙ? දොස්තර මහත්වරුන්ගෙන්. ඒ අය ලෙඩේට බෙහෙත් දෙනව. බිව්වාම හොඳ වෙනව. සමහර වෙලාවට කුඩුමුල් දෙනව. බෙහෙත් වතුර දෙනව. නමුත් අහල තියෙනවනෙ, ඕවයෙ ඔය කියන තරම් බලගතු කමක් නැහැ. අර ‘බෙහෙත්’ කියන හැඟීම උඩ, බිව්වාම ලෙඩ හොඳ වෙනව. සමහර වෙලාවට බෙහෙත් ගත්තත් හොඳ වෙන්නෙ නැහැ. ඒ ගමන අර දොස්තර ගාවට, මේ දොස්තර ගාවට යනව. වැඩියෙන් දීල ‘චැනල්’ කරනව. නමුත් ලෙඩේ එහෙමමයි. සමහර වෙලාවට ටික දවසක් හොඳ වෙලා තිබිල ආපහු උත්සන්න වෙනව. පූජා වට්ටි කර තියා ගෙන ඔන්න ආයිමත් පෝලිමේ!
කොච්චර ඉහළ දොස්තර මහත්තරු එකතු වෙලා බෙහෙත් දුන්නත්, හොඳ නො වෙන ලෙඩත් තියෙනව. නමුත් ලෙඩේ හොඳ නො වෙන බව දැනදැනත් බෙහෙත් අරන් නො දී ඉන්නෙ නැහැනෙ? බලන්න, මේකෙන් හොඳ වෙයි, මේකෙන් හොඳ වෙයි කියල, තුන්ඩු ලියල දෙනව. අරක කරල බලන්න මේක කරල බලන්න කියල උපදෙස් දෙනව. බෙහෙත් නො ගෙන ම ලෙඩ හොඳ වෙන වෙලාවලුත් තියෙනව. ඒ නිසා, අනේ ඔය බෙහෙත් ඕනෙ නැහැ, මම ඕව විස්වාස කරන්නෙ නැහැ කියල, අත්හැර දාන්නෙ ම නැහැනෙ. කවද හරි බෙහෙත් ඕන වෙනව. සමහරු, තවම එහෙම අබැද්දියකට මූණ පාල නැති නිසා, කටමෑත දොඩවනව, යහතින් ඉන්නකන් – දෙයියන්ගෙ පිහිටෙන්! ඉන්න එහෙම, ඒකට කමක් නැහැ. ඒකෙන් වෙන කාටවත් වරදක් වෙන්නෙ නැහැ.
තවත් සමහර වෙලාවට විශිෂ්ඨ දොස්තර මහත්වරු හිටියත්, බෙහෙත් තිබුණත්, නවීන පහසුකම් සහිත රෝහල් තිබුණත්, අනේ ඒවට අපට කිට්ටු වෙන්න බැහැනෙ, මොනව කරන්නද? ඔය තියෙන සොච්චමක් දීල, ගොඩ වෙදකමක්වත් කරල බලනව කියල, හිත සනස ගන්න අයත් ඉන්නව. නමුත් දොස්තර මහත්වරු ඉන්නෙ, රෝහල් තියෙන්නෙ, ලෙඩුන්ට පිහිට වෙන්න. ඒක ඒ විදියට ම සිද්ද වෙනවද? නමුත් හැමෝටම ඒ පිහිට ලැබෙන්නෙ නැහැ. සුළු පිරිසකට විතරයි. ගොඩ පිරිසකට ඒ පිහිට නැහැ. එදා ඉදල ම, මනුස්සයො හැටියට එහෙම සර්වසාධාරණයක් සිදුවුන රටක්, වකවානුවක් ගැන කියන්න පුළුවන්ද? අර ක්‍රමයෙන් පුළුවනි, මේ ක්‍රමයෙන් පුළුවනි කීවට, මනුෂයයින්ගෙ මේ විෂමතා තියෙනතාක් කල්, කවදාවත් ඒව සිද්ද වෙන්නෙ නැහැ. විෂමතා නැති වෙන ක්‍රමයක්, දවසක් උදා වෙනකන්ද බලා ඉන්නෙ? ඉන්න, ඒකට කාගෙන්වත් බාධාවක් නෑ. උදාහරණ, ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නන්න උවමනා නැහැ නේද? ටිකක් ඇස් ඇරල වටපිට බලන්න. තණ්හා, ලෝභ, දෝෂ තියෙන තාක්කල් එහෙම වෙන්න බැහැ. ඒකයි සත්‍යය. මේ කාගෙවත් වරදක් නිසා නෙවෙයි. “ඒ තමයි ලබා උපන් හැටි.”
ඒක ‘කර්මය’ කියල කිව්වට හිත නරක් කර ගන්න එපා. ඒ ගැන හොඳට හිතල බලන්න. ඒකට වෙන නමක් දා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. නම මොකක් වුනත් ඒකෙ ප්‍රතිථල විඳින්නෙ තමන්මයි. හැබැයි හැම දේම කර්මය පිට පටවන්නත් එපා. උතු නියාම (වසංගත, ගංවතුර,…), බීජ නියාම (පරම්පරාවෙන් එන රෝග,…), ධම්ම නියාම (හන්දිපත් රුදාව, අවයව අක්‍රීය වීම,…), කර්ම නියාම (පෙර කළ කුසල් අකුසල් හේතුවෙන්,…), චිත්ත නියාම (සිතිවිලි මගින්,…) යන නියාම ධර්ම පහත්, අපේ ජීවිතවලට බලපාන බවත් මතක තියා ගන්න. සමහරු කියනව වසංගත වලට අපි ගොදුරු වෙන්නෙ අපේ කරපු පව් නිසා නිසා කියල. ඔහොම දේශනා කරන අයගෙන් ම මම අහල තියෙනව, බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙක උපදින්න මහා පිං ගොඩක් කරල තියෙන්න ඕනෙ කියල, කියනව. එතකොට විසාලා මහනුවර ඒ කාලෙ ඉපදිච්ච එවුන් හුඟාක් පිං කරපු අය වෙන්න ඕනෙ නේද? එතකොට එහෙම ඉපදිල, දුර්භික්ෂය අහුවෙච්ච එවුන් මොකුන්ද? පව් කරපු උන්ද, පිං කරපු උන්ද? කවුරු කටමෑත දෙඩෙව්වත් අපි සිහි බුද්ධියෙන් හිතල බලන්න ඕනෙ. අපි කරන පව් පිං හින්ද තමයි අපි නැවත නැවතත් උපදින්නෙ. ඒ ඉපදෙන අයට ලෝකෙ තියන විෂමතාවයන්ට මුහුණ දෙන්න සිද්ද වෙනවමයි. ඒකයි බුදුහාමුදුරුවො පෙන්නල දුන්නෙ, උපතෙ තියන භයානක කම. දැන් ඔය එක පළාතක ඉන්න අයට වකුගඩු රෝගය හැදෙන්නෙ. ඇයි? ඒ පළාතෙ වතුරෙ තියෙන විෂ, ලවණ වර්ග නිසා. ඕන් දැන් කියයි, පෙර ආත්ම වල පව් කරමු නිසයි, ඒවගෙ පළාතක ඉපදුනෙ කියල. ආ! ඇත්තද? දැන් හොඳට තේරෙනවනෙ? එහෙම නම් අපි කරන කියන දේවල කර්ම ශක්තියෙන්, ඒ විතරක් නෙවෙයි පෙර ආත්මවල කරපු ඒවත් එක්ක එකතු වෙලා, කාට කියන්න පුළුවන්ද, අපි මොන තූත්තුකුඩියක උපදීද කියල? ඒ උපදින්නෙ මොන රටේ, මොන ජාතියෙ, මොන ආගමේ, ගෑනු, පිරිමි, දුප්පත්, පොහොසත්, මොන ආකාරයෙන්ද කියල අපි දන්නවද? අපි හිතන, කරන, කියන, ආකාරයට අනුව දැනටමත්, අපි හැමෝම එතැන ගොඩනගා ගනිමිනුයි ඉන්නෙ. නමුත් ඒ කොයි වගේද කියන්න බැරි, පෙර ආත්මවල දේවලුත් ඒකට ඒකතු වෙන නිසයි. ඒ නිසා අපි දැන් කරන්නෙ, එතැන ඔප මට්ටම් කර ගන්න එක විතරයි. නමුත් සමහරු, අවිද්‍යාව නිසා, හිතන, කරන, කියන, දේවලින් එතැන සමතලා කර ගන්න හදනව. මොනව කරන්නද? ‘නිවන් සැප ලැබේවා’ කියල බෝඩ් එකක්වත් ගහන්න, කාටහරි කියල, යනකොට යන්න!
ඔය සිද්ද වෙන දේවල්වලට තමන් උරුමක්කාරයෙන් නෙවෙයි නම් ඒව තමන්ට සිද්ද වෙන්නෙ විදියක් නැහැ නේද? ඒ වගේම, තමන්ට ඒ දේවල් ඒ විදියට සිද්ද වුනේ නැත්නම්, ඔය ඉන්නෙ ඒව සිද්ද වුන කෙනා නෙවෙයිනෙ? වෙනස් පුද්ගලයෙක්. එහෙම වුනොත් ඔතන ඉන්නෙ තමන් නෙවෙයිනෙ? ඔය ඉන්න තමන්, නැති වෙලා, ඒ වෙනුවට වෙන කෙනෙක් ඇවිත්, ‘මම’ අන්තර්ධාන වෙලා. තවත් පරිස්සම් වෙන්න. එහෙම නම්, ඔය ඉන්නෙ ව්‍යාජ පුද්ගලයෙක්. එහෙම හිතූ පලියට ‘මගෙන්’ අයින් වෙන්න බැහැ. ඒක සිතිවිල්ලක් විතරයි. ඕක තමයි ‘ආත්මයෙ’ වරද. ඒකෙත් හැටි බලන්න! හොඳින් දේවල් සිද්ද වෙන කොට ඒ ‘මම’ තමයි. නමුත් ඒව නරකට හිටියාම ‘මමත්’ එපා, මගෙ ‘ආත්මෙත්’ එපා. එහෙම හිතෙනව. සාධාරණයි. නමුත් එහෙම ලේසියෙන් ‘මම’ අයින් කරන්න බැහැ. එහෙම හිතුවාම වෙන්නෙ, නො දැනුවත්වම ‘මම’ පිළිබඳ හැඟීම තව තවත් බලගතු වෙනව. ඒ විභව තණ්හාව. හිත නරක් කර නො ගෙන, ‘මම’ වගේ අය, මට වඩා අන්ත අසරණ අය, මේ ලෝකෙ කොතෙක් කියල ඇද්ද? කියලත් ටිකක් හිතල බලන්න.
ඒ නිසා, මේ ලැබිල තියෙන දේවල්, ලැබෙන දේවල්, ලැබෙන්න තියෙන දේවල් ගැන හූල්ල හූල්ල ඉන්නෙ නැතිව, දේවල් තේරුම් අරගෙන හිත එකලාසියක් කර ගන්න. මේ ලැබිල තියෙන හදවත හොඳ පිරිසිදුවට තියා ගන්න. ඒක බාල කරගත්තොත්, ඊළඟට තවත් අමාරු වෙනව. ඒ නිසා හදවත තුවාල කර නොගෙන, අපිරිසිදු කර නොගෙන, ඔය ගුණයහපත් කියල කියන දේ වලින් ඒක පුරව ගන්න. සුවඳවත් කර ගන්න. ඒකට දුප්පත්, පොහොසත්, අබල, දුබල කම් හරස්වෙන්නෙ නැහැ.
ඔබේ හදවත දෙව් මැදුරක් නොවේ නම්, එය දෙව් මැදුරක් තුළදී සොයා ගැනීමට නො පිළිවන! මොනතරම් වැදගත් කියමනක්ද?