දුක්ඛයේ දුක්ඛය

අජාන් ජයසාරෝ මහ තෙරුන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්

(මෙහි සියලු අයිතීන් පරිවර්තක සතු බව සළකන්න)

දුක්ඛයේ දුක්ඛය

තව දවස් කීපයකින් මම, ඉන්දියාවෙ වන්දනාවෙ යන්නයි හිතාගෙන ඉන්නෙ. ගිය වරට වඩා මෙවර ගමන පහසු වෙයි කියල මම හිතනව. ගිය වතාවෙ මම ඒ හැම තැනම ඇවිද්දෙ පයින්. යන දවස කිට්ටු වෙන්න, වෙන්න මගෙ හිත ඇදිල යන්නෙ, ගිය වතාවෙ මම ඉන්දියාවෙ ඉදිද්දි විඳපු අත්දැකීම් ගැනයි. මේ දේශනාව පටන් ගන්න ඒක හොඳ මාතෘකාවක් කියල මට හිතෙනව.

පොඩි කාලෙ ඉඳල ම මගේ හිතේ තිබුණෙ, යෝගියෙක් වෙන්න ඕනෙයි කියන අදහස. සෘෂිවරයෙක් වගේ, ඉන්දියාවෙ කඳු මුදුනක ගුහාවකට වෙලා, තනියම ජීවත් වෙන්න මට ලොකු ආසාවක් තිබුණ. අවුරුදු දාහතේදි මම තනියම ඉන්දියාවට ගියා. වැඩි කාලයක් ගියේ නැහැ, මාස කිහිපයකට පස්සෙ, මම යෝගියෙක් වගේ ජීවත් වෙන්න පටන් ගත්ත.

ඒ දවස්වල මා ළඟ තිබුණෙ දේවල් හරි ම ටිකයි. දැන් මේ හාමුදුරුනමක් වෙලා ඉන්න කොට තියෙනවටත් වඩා අඩුවෙනුයි. ඇඳුම් කියල තිබුණෙ සරමකුයි, බැනියම් තුනකුයි, ඔලුවෙ බඳින තලප්පාවකුයි විතරයි. නාගන්න සබන් කැටයක් තිබුණ. ඒ බඩු ටික දාගන්න පොඩි බෑග් එකකුත් තිබුණ. කෑම උයා ගන්නත් තිබුණෙ එක භාජනයක් විතරයි.

පොත්වල මම කලින් කියවල තිබුණ, යෝගීන් වළදන්නෙ දවසකට එක සැරයයි කියල. මමත් හිතා ගත්ත ඒ විදියට ම කරන්න. එක වේලක් කාල ජීවත් වෙන්න. ඒකට ඉතින් හුඟක් උවමනා කරන්නෙ නැහැනෙ. මා ළඟ තිබුණෙ හාල් මල්ලකුයි, පරිප්පු මල්ලකුයි, ගිනි පෙටිටියකුයි, ලුණු පැකට් එකකුයි, විතරයි.

උයනව කියල මම හැමදාම කළේ එක ම දේ. ගිනි ගොඩක් ගහල අර භාජනය ඒක උඩින් තියල, ඒකට වතුරයි,හාලුයි, පරිප්පුයි, ලුණු ටිකකුයි දාල තැම්බෙන්න අරින එක. තැම්බුණාට පස්සෙ, වතුර ටික වාෂ්ප වෙලා යනකන් ඉඳල හැන්දක් අරගෙන කනව. ඒ තමයි දවසෙ ම‌ෙග ආහාර වේල. මේ විදියට මම හුඟ කලක් ජීවත් වුනා. මේ වගේ උදාරතර අදහස් වලින් ඔළුව පුරව ගෙන, බොහොම දැඩි අදිෂ්ඨාන වලින් අන්ධවෙලා හිටි නිසා, මගේ ශරීර සෞඛ්‍යය පිරිහෙන බව මට පෙනුනෙ ම නැහැ.

මට නැවතිල ඉන්න හොඳ ගල්ගුහාවක් තිබුණ. කලින් ඒක ශිව දෙවියන්ට පුදපූජා පවත්වපු තැනක්. භාවනා කරන්න එතැන පරිසරය බොහොම හොඳට තිබුණ. එක පැත්තකින් ඈත බෑවුම හරි ලස්සනට පේනව. හරි කෙලින් බැලුවොත් අඩි සීයක් විතර ගැඹුරු බෑවුමක් ඒක. කන්ද පාමුලින් ගඟක් ගලා ගෙන ගියා. ඒක විසාල ගංගාවන් නෙවෙයි. මම හිටි තැනට ඉහලින් තවතවත් උස කඳු තිබුණ. මම හිටි ගුහාව තිබුණෙ කඳුවල මැදට වෙන්න වගේ.

මා ළඟ තිබුණ හාල්, පරිප්පු අඩුවැඩිය අහවර වේගන යන නිසා ඒව අරගෙන එන්න, දවසක් මට ගම්මානයට යන්න සිද්ද වුනා. ගමට යන්න පැයක් විතර ගත වෙනව. ඒක පොඩි ගම්මානයක්. ගමට ම තිබුණෙ එකම එක කඩයයි. එතනට ගියාම, එතැන තිබුණ ලොකු සීනි හකුරු මුලක් දැකල, මට ඒක නොගෙන ම ඉන්න බැරි වුනා. ඕන කරන බඩු ටිකත් අරගෙන, මේ හකුරු මුල මම දාගත්ත මගේ උර මල්ලෙ, ආපහු යන ගමන් ටිකක් කන්න හිතා ගෙන.

මම දැන් ආපහු ගුහාවට යන දිග ගමන පටන් අරගෙන. මම හිටියෙ හරි දුර්වල තත්ත්වයක. මහන්සිය මගහරව ගන්න හිතාගෙන, මම හකුරු කෑල්ලක් හපන්න පටන් ගත්ත. ඒක හරි ම රසයි. ගමනෙ මහන්සියත්, ඒ මොහොතෙ ම අඩුවුනා වගේ මට දැනුණ. තවත් කෑල්ලක් කෑවොත් තවත් හොඳ වෙයි නේද කියල මට හිතුන. ඒකත් කෑවාම තවත් ටිකක් පණ ආව වගේ මට දැනුණ. ඒගමන මට හිතුන කටවල් දෙක තුනක් කෑවාම මෙහෙම නම් තවත් කටක් කෑවොත් කොහොමට හිටීවිද කියල. මම තවත් කටක් හකුරු වලින් පුරව ගත්ත. දැන් මට හකුරු කෑම නතර කර ගන්න බැරි තත්ත්වයත් උදා වෙලා. මේක දැන් මහ කරදරයක් වෙන්නයි හදන්නෙ, කියල මගෙ හිතට දැනුණ. ඒ හින්ද මම ටිකක් කල්පනා කරල බලල, හකුරු මුල මල්ලට දාගන්න තීරණය කළා. දෙයියනේ! තවත් අඩි කීපයක් ඉදිරියට ගිහින් බලපුවාම, මෙන්න මගෙ කට ආපහු හකුරු වලින් පිරිල. මට ම පුදුම හිතුන. කොහොමද එහෙම වුනේ? මේ විදියට දෙපැත්තට හිතහිතා හකුරු කකා යන කොට මට පෙනුන, දැන් හකුරු මුලෙන් බාගයක් ම දැන් අන්තර්ධාන වෙලා බව. ඒ ගමන මට හිතුන දැන් ඉතින් බාගයක් ඉවර කරපු එකේ, මොන දේකට ද ඉතුරු ටික තියාගෙන ඉන්නෙ කියල? අනෙක තාම මගෙ බඩ හරියකට පිරිලත් නැහැනෙ? එහෙම හිතල වැඩි වෙලාවක් යන්න ලැබුණෙ නැහැ; මේන් බලන කොට හකුරු මුල දැන් කාලකට බැහැල. දැන් ඉතින් මේ පොඩි කෑල්ලක්, ඔච්චර දුර උස්සගෙන යන එකේ තේරුමක් තියෙනවද? ඒ ටිකත් කාල දැම්මාම ඔක්කොම ඉවරයි නේද කියල මට හිතුන. ඒ එක්කම ලොකු ලැජ්ජාවකුත් යටි හිතේ මතුවෙන්න පටන් ගත්ත. අනේ ඇත්තටම මට මේක නොකා ඉන්න බැරි වුන හැටි? මම මොනතරම් කෑදරයෙක්ද? ඒ ලැජ්ජාව වහගන්න හිතල, ඉතිරි වෙලා තියෙන සාක්කි ටිකත් විනාස කරල දැම්මාම, හිත හොඳින් ගිය හැකි නේද කියල, මම ඉතිරි ටිකත් කාල දැම්ම. ත්ත්! බලපුවාම මොකක්ද ඕක? හකුරු මුල ඕන්නම් වැඩි ම වුනොත් රාත්තලකට වඩා පොඩ්ඩක් වැඩි ඇති! අනෙක මගෙ බඩගින්න! ඔන්න ඔහොමයි වුනේ. නරක ම නැහැ කරපු වැඩේ.

ඒ යන ගමන් මගේ කෑදරකම ගැන මම දුක් වෙන්න පටන් ගත්ත. කෑම කොච්චරක් මේ ශරීරය ඉල්ලනවද? මේක කෑදරකම නිසා වුන දෙයක්ද? එහෙම නැත්නම් ශරීර සෞඛ්‍යය පිරිහීම නිසා ද? කියල මට හිතාගන්න බැරිව ගියා. කොහොම වුනත් අර විදියට මේ විදියට හිතහිතා, ආපහු ගල්ලෙනට ආව ඉතිරි බඩු ටිකත් අරගෙන. එදා මේ කතන්දරේ එතැනින් ඉවර වුනේ නැහැ. බලන්නකො ඒකෙත් හැටි!

මේක වෙච්ච දවසෙ ම රෑ අමුත්තො කට්ටියක් ආව මම හිටි තැනට. හින්දු සාධුවරයෙකුයි, එයාගෙ අතවැසියො දෙන්නයි. ඉහල කඳු මුදුනක ඉඳල පහලට යන ගමන් මම ඉන්න තැන දැකල, රෑ නවතින්න හිතා ගෙන. ඒ අය ළඟ බඩුබාහිරාදිය ගොඩක් තිබුණ. බොහොම කඩිසරයි. ඔක්කොම වැඩ කලේ හරි පිළිවෙලට. ඒ කරන දේවල් ඒ අය හොඳින් දැන හිටිය. වැඩි වෙලාවක් ගියේ නැහැ; ලොකු ගිනි මැලයක් අවුළුවල යකඩ තැටියක් අරගෙන රෑට කන්න චපාති රොටි හදන්න පටන් ගත්ත. හදල ඉවර වෙලා සාධුල මටත් අඬගැහැව්ව ඒ අයත් එක්ක රොටි කන්න.

හපෝ! ඒක කරන්නෙ කොහොමද? මම දවසකට එක වේලක් විතරක් කන භාවනා යෝගියෙක්නෙ? තවත් පාරක් කන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ එක්කම මට ආයිත් හිතුන, ඒ වුනත්? මේ අය එක්ක රොටි නො කෑවොත් ඒ අයට හිතෙයි, මම ඒගොල්ලන්ටත් වඩා ඉහල මට්ටමේ යෝගිවරයෙක්ය කියල. පොඩියට හිටියට, මම ඒ අයටත් වඩා යම්කිසි විශේෂත්වයක් තියෙන යෝගියෙක්ය කියන හැඟීම, ඒ අය ඇති කර ගන්න පුළුවනි. නෑ!නෑ! ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. නමුත් මට ඒගමන හිතුන, ඒකට කමක් නැහැ, මම හරි විදියට හැසුරුණොත්, ඒ අය පිළිගනීවි මගේ යම්කිසි ප්‍රතිපත්තියක් තියෙන නිසයි මම නො කන්නෙ කියල. එතකොට ඒ ගොල්ලන්ගෙ හිත රිදෙන එකක් නැහැ. ඒ වුනත් මේ අය මෙතැන නතර වෙන්න ඇත්තෙ, මගේ මොකක් හරි හොඳක් දැකල වෙන්න ඕනෙ? එහෙම හිතපු මේ ආගන්තුකයින්ගෙ හිත රිදවන එක හරිද? ඒක හොඳ මදි.

දැන් මේ විදියට මගෙ හිත ඇතුළෙ මේ සංවාදය තදින් දිගට ම කෙරී ගෙන යනව. ආයිත් මට හිතෙනව, කවුරු වෙන්න ද මම මේ හැටි දඟලන්නෙ? මම කවුරු කියල ද හිතා ගෙන ඉන්නෙ? දැනටමත් සීනි රාත්තලක් ම ගිලලයි ඉන්නෙ. කෝකට වුනත් මම මේ කට්ටියට කරුණාවන්ත වෙන්න ඕනෙ. අනික මට පෙන්නන්න ඕනෙ කිසි දේකට, ප්‍රතිපත්තියකට වුනත් මම ඇලිල නැතෙයි කියන එක. ඒ හින්ද මම හිතා හදාගත්ත මේ අය එක්ක රොටි කන්න.

මේ ඇවිත් හිටියෙ ශිව දෙවියො අදහන සාධු කෙනෙක්. ඒ අය කිව්ව කෑම කන්න කලින්, දෙවියන්ට පොඩි පූජාවක් කරන්න තියෙනවයි කියල. මටත් ඒකට සහභාගි වෙන්න කියල ආරාධනා කළා. මාත් හා හොඳයි කියල, දැන් ඕන් බලා ගෙන ඉන්නව. ගංජ බොන එක මේ පූජාවෙ ම කොටසක්. දැන් මේ අයගෙ ලෑස්තිය ගංජ බොන්න. අනේ! ඒකනන් කීයටවත් කරන්න බැහැ. මම ගල්ලෙනක ඉන්න යෝගියෙක්, දවසකට එක වේලයි කන්නෙ. කඩනවයි කියල මේ විදියට එක දිගට ප්‍රතිපත්ති කඩන්න පුළුවන්ද? ඒත් එක වේලයි කියල කිව්වට ඔය ඇත්තම ද? දැනටමත් හකුරු රාත්තලක් ම කාලයි ඉන්නෙ. එහෙම නෙවෙයි, මට මේක දැන් හොඳ අවස්ථාවක්. දැන් මට පුළුවනි, ගංජ බිව්වට පස්සෙ වුනත්, මගෙ සිහිකල්පනාව හොඳින් තියාගෙන ඉන්න පුළුවන්ද කියල හොයල බලන්න! මම දැන් හුඟ කාලෙක ඉඳල එරමිණිය ගොතා ගෙන භාවනා කරන කෙනෙක්නෙ? ඒ හින්ද දැනටමත් ඒ පුළුවන්කම මට ලැබිල ඇති. සමහර වෙලාවට මේ ඇවිත් තියෙන්නෙ, මගෙ මනසෙ එහෙම දියුණුවක් ඇති වෙලා තියෙනව ද බලන්න ම යෙදුන අවස්ථාවක් ද කියන්නත් බැහැනෙ?. එහෙම එකක් මග හරින එක නරකයි. හා හොඳයි කියල, දැන් මගේ ලෑස්තිය, ඒකත් බීල බලන්න.

අපේ පූජාවලට වඩා වෙනස් ඒ පූජාව. ශිව දෙවියන්ට වගේ ම තවතවත් දෙවිවරුන්ට ආරාධනා කරකර පූජාව පැවැත්තුව. ලස්සනට කැටයම් කරපු දේව රූප ගොඩක් තියපු පූජාසනයක් ඉදිරියේ, මේක හොඳ ලස්සනට කෙරුණ. හරි, දැන් ගංජ උරන වෙලාව ඇවිල්ල. මට එකපාරට ම හිතුන මේ අයට හොඳ පපුවක් තියෙන්න ඕනෙ කියල – ඒ ගංජ ගුලිය දැක්කාම! මගෙ ඒව පොඩි වුනාට, මේ අයගෙ පෙණහළු මහ විසාලෙට ඇති. ඒ මොක වුනත්, දැන් මගේ වාරය ඇවිල්ල. මමත් කාටත් පේන්න එක්ක බඩකට පිරෙන්න හොඳ දුම් උගුරක් ඉහළට ඇද්ද. මම පස්සට විසිවෙලා ගිහින් බිම පතිත වුනා. එච්චරට සැරයි. ඒකට මේ සාධුල! ඒ ගොල්ල ගංජ උරන කොට ඒ අයගෙ සිහිකල්පනාව තවත් වැඩි වුනා වගේ මට පෙනුණෙ. අඩු තරමින් ඒ විදියටයි ඒ අය හැසිරුණෙ. බොහෝම තැන්පත් කමකින්, කරන දේවල් හොඳ පිළිවෙලකට, තාලයකට කළා. ඒකට, මම. මේ පොඩි සාධු හතර ගාතෙන් වැටිල, දැන් නැගිට ගන්න බැරුව, ගහකට හේත්තු වෙලා ඉඳගෙන ඔහෙ බලා ඉන්නව.

මම හැමදාම රෑට වන්දනා කරල, ඊළඟට භාවනා කරලයි නිදා ගන්නෙ. ඒ හින්ද අද මට ඒක මග හරින්න නම් කොහොමටවත් බැහැ. ප්‍රතිපත්ති කඩනව කියල දැන් මම කීයක් කියල කැඩුවද? නිදාගන්න කලින් ඒක මම කොහොම හරි කරල නිදාගන්න ඕනෙ. හිත එහෙම කිව්වට නැගිට ගන්නවත් බැහැ. ඔළුව කැරකෙනව බඹරයක් වගේ. ඇඟට පණ නැහැ. මගෙ හිතට මහ මොකක්ද වගේ. මොන භාවනාවක්ද? මට එතැන ම නින්ද ගියා. උදේ ඇහැරුණා ම නැගිටින්නවත් හිතුනෙ නැහැ. මට ම ලැජ්ජයි මා ගැන. අනික් පැත්තට හැරිල ආයිත් නිදා ගත්ත. ඒකෙන් උදේ භාවනාවත් මග ඇරුණ.

මේ වගේ වැරදුන, විහිළු ගොඩකට මැදි වුන, කෝළම් කාරයෙකුගෙ තත්ත්වයට මම වැටුනෙ; මෙතන මේ ඇතුළෙ ඉන්න තරුණ, පිරිසිදු පොඩි සාධුවරයා ගැන ඕනෑවට වඩා ඉහළින් මම හිතා ගෙන හිටි හින්දයි. අනේ මේ පොඩි සාධුවරය, එක වේලක් කෑම කෑවට, ගල් ලෙනකට වෙලා හිටියට, තමන් ගැන විශ්වාසයක් සත්‍යවාදී බවක් ඇති කර ගෙන තිබුණෙ නැහැනෙ. ඇඟට ඕන කරන මූලික ආහාරපාන, පෝෂ්‍යදායි කෑම බීම ගැනවත් හරි අවබෝධයක් නැතිව හිටි කෙනෙක්නෙ. පරිප්පුයි බතුයි කකා ඔහේ දිගින් දිගටම ජීවත් වුනා. ගම්මානයට ගිහින් අර සීනි ගුලිය දකිනකන්, වෙනත් ආහාරත් අවශ්‍යයයි කියන හැඟීමක්, මට ඇති වුනේ ම නැහැ. ඒක අතට ගත්ත ගමන්, මට නතර කර ගන්න බැරි වුනේ ඒකයි.

නමුත් බෞද්ධ ඉගැන්වීම් මනස යොමු කරවන්නෙ, එක්තරා ක්‍රමානුකූල පිළිවෙලකටයි. මම ඇත්තට ම පැහැදීමට පත්වුනා තමන් අවට සිදුවන දේවල් ගැන සෝදිසියෙන්, සිහිකල්පනාවෙන් ඉඳීමේ වැදගත්කම පිළිබඳ ඉගැන්වීම් ගැන, අහන්න ලැබුණාම. ආධ්‍යාත්මික ගුණවගාව දියුණු කරනව කියන්නෙ ඇත්තට ම මොකක්ද? ඒක යම්කිසි ව්‍යාපෘතියක් බවට පත්කර ගෙන, තමන් යම්කිසි කෙනෙකුගේ තත්ත්වයට පත්වෙන්න හදන, වෑයමක් නො වෙන්න ඕන ඒක. පොඩිකාලෙ ඉඳල අපේ මනසෙ තිබුණෙ අන්න ඒ වගේ අදහස්; කව්රු හරි වෙන්න. සමහර විට ඔබ දැකල ඇති මේ යෝගීන්ගෙ පිංතූර; ගංගානම් ගඟ අද්දර එහෙමත් නැතිනම් හිමාලයේ උස් කඳු මුදුන් උඩට වෙලා, තුනී රෙදි කෑල්ලක් විතරක් ඇඳගෙන හිම උඩ වාඩි වෙලා, භාවනා කරන අයගෙ පිංතූර. මටත් ඒ වගේ කෙනෙක් වෙන්නයි ඕන කරල තිබුණෙ. නමුත් මට ඇත්තට ම ඒ තත්ත්වයේ අහලකටවත් එන්න පුළුවන් කමක් ලැබුණෙ නැහැ.

ථෙරවාද බුද්ධාගම උගන්වන්නෙ ජීවිතයත් එක්ක සම්බන්ධ වුන කරුණු කාරණාවන් ගැනයි. ඒකට ඔබ යෝගියෙක්, සෝවාන්කාරයෙක්, අෂ්ඨසමාපත්ති ලැබූවෙක් වෙන්න හදන්න උවමනා නැහැ. කව්රුවත් ම වෙන්න එපා. ඔබ පුරුදු පුහුණු වෙන්න ඕනෙ, ඔය ඉන්න විදියට ම ඉඳගෙන, දැන්දැන් ම ලබාගන්න පුළුවන්, ප්‍රතිඵල ලැබෙන ආකාරයේ පහසු ක්‍රමවත් පිළිවෙලකට අනුවයි. අපි කාටත් තියෙන ප්‍රශ්න වලට පිළිතුරු හැටියට නොයෙකුත් ක්‍රමෝපායන්, පිළිවෙලවල් බෞද්ධ සම්ප්‍රදාය තුළ කොතෙකුත් දකින්නට තියෙනව. අපි ඒව අනුගමනය කරන්න ඕනෙ, ක්‍රම තිබුණ පලියට ම එකක් අල්ල ගැනීමෙන් නෙවෙයි. ඒ ක්‍රම ගැන සිහිනුවණින් සලකා බැලීමෙන් පසුවයි.

මගෙ හිත ඇදිල ගියේ බුදුරජාණන් වහන්සේ දුක්ඛය පැහැදිලි කරල දුන්නු එක්තරා සූත්‍රයකටයි. මොකක්ද ඒ ධම්මචක්ක පවත්තන සූත්‍රයෙන් උන්වහන්සේ අපට පැහැදිලි කරල දෙන්නෙ. ඔබ පුහුණු වෙන්න ඕනෙ දුක්ඛය අවබෝධ කර ගන්නයි. එය නැති කර ගැනීම ගැන අවබෝධ කර ගන්නයි. එය නැති කර ගැනීමට ඇති මාර්ගය අවබෝධ කර ගෙන, ඒ මග දිගේ තවතවත් ඉදිරියට යන්නයි.

කොයි අතින් බැලුවත්, ක්‍රමානුකූලව පුහුණුවීම සඳහා පැහැදිලි පහසු ආකාරයකුයි, ඒ සූත්‍රයෙන් පෙන්වා දී තියෙන්නෙ. අපේ පුහුණුවේ මූලික පියවර වෙන්න ඕනෙ, ඒ පුහුණුව තුළින් මේ දුක තේරුම් ගැනීමයි. නමුත් අපේ අත්දැකීම් තුළින් අපට ලේසියෙන් ම නිගමනය කර ගන්න පුළුවනි, අපි තවමත් හරියාකාරව මේ දුක්ඛය තේරුම් ගෙන නැති බව. අපි හුඟ දෙනෙක් දුක ගැන කතා කර කර ඉන්න නම් බොහොම කැමතියි. නමුත් ඒ දුක තේරුම් ගෙනම ද, එහෙම කතා කරන්නෙ? ඒ වගේ ම ලෝකෙ ඉන්න බොහොම දෙනෙක් මොකද කරන්නෙ, දුක දැනෙන දැනෙන වෙලාවට? නොයෙක් විදියෙන් තමන්ට දුක දැනෙනව කියල, ඒ ගැන මැසිවිලි කියකියා ඉන්නව. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔය කියෙව්වට, අපි ඇත්තෙන් ම මේ දුක්ඛය කියන වචනයේ අදහස, තවමත් හරියට ම තේරුම් ගෙන නැති බවයි.

‘සෙන්’ බුද්ධාගම අදහන අය පුහුණු වෙන එක විදියක් තමයි, ‘කොවන්’ කියල හඳුන්වන; උඩින් බලපුවාම තේරුමක් නැති, සමහර විට විහිළුවක් වගේ හිතෙන ප්‍රශ්නයක් අරගෙන, ඒක ගැඹුරට ම මෙනෙහි කරල බලන එක. දැන් එයින් එක උදාහරණයක් ගත්තොත්, “එක අතකින් අප්පුඩියක් ගැහැව්වොත් ඇහෙන හඬ මොන වගේද?” තවත් එකක් තමයි, “සුදු පාට කියන්නෙ මොකක්ද?” මේව ගැන කොච්චර හිතුවත්, අන්තිමට, හිතාගන්න බැරි තැනකට මනස වැටෙනව. ඒ කියන්නෙ තව දුරටත් හිතන්න බැරිව මනස නතර වෙනව. සිතිවිලි නතර වුනාම මනස තැන්පත් වෙනව. සමාධිගත වෙනව. අවබෝධය, ප්‍රඥාව වැඩෙන තැන එතැන.

ඇත්තට ම බලපුවාම, “දුක්ඛය කියන්නෙ මොකක්ද?” ඒකත් හිතල කෙළවරක් කරන්න බැරි ප්‍රශ්නයක්. දුක්ඛ කියන වචනය නොයෙකුත් විදියට හඳුන්වල දීල තිබුණත්; අපි පටන් ගන්න ඕනෙ ඒක අපේ බුද්ධියට අහුවෙන වටහා ගන්න පුළුවන් තැනකිනුයි. හරියට ඉනිමගක් වගේ; තමන් ඉන්න තැන ඉඳල ඉහළට යන්න පුළුවන් කම ලැබෙනව. දුක්ඛය වචනයෙන් විස්තර කරන්න බැරි වුනත්, අපි පටන් ගන්න ඕනෙ වචනයෙන් විස්තර කරන්න පුළුවන් තැනින්. ඒ වචන වලින් දුක්ඛය සම්පූර්‍ණයෙන් ම නො වැටහුනත්, අපිට ඒ හැඟෙන තේරුම සම්පූර්‍ණයෙන් ම අත්හැර දාන්නත් ‍බෑ. එතැනදි හරියාකාර විනිවිද දැකීමක් සිදුවුනේ නැතත්, එතැනිනුයි අපි පටන් ගන්න ඕනෙ. ඒ ඒක්කම අපි නිතර ම මනසට මතක් කර දෙන්න ඕනෙ; දුක්ඛය වචනයෙන් විස්තර කර දෙන්නත් බැහැ, වචන වලින් හරියට තේරුම් ගන්නත් බැහැ,  විනිවිද දැකීමක් ඔය හිතා ඉන්න විදියට සිද්ද වෙන්නෙත් නැහැ, කියන වග. මම හිතනව, ඒ ඒ යෙදෙන තැන්වලට අනුව මේ වචනයට නොයෙකුත් තේරුම් තියෙන බව, මතක තියා ගත යුතු තවත් ඉතා වැදගත් කාරණයක්ය කියල.

අඩුතරමින්වත් ඔබ මේ අදහස හිතට ගත්තෙ නැත්නම් බොහෝ විට ඉඩ තියෙනව, නොමග යන්න හරි, වැරදි දෘෂ්ඨියක් ඇති කර ගන්න හරි, ප්‍රතිථල නො ලැබෙන පුහුණුවක යෙදී ඉන්න හරි. සමහර විට ඔබ ඔය යන පාර, හරි මගට නොවැටෙන අතුරු පාරක් වෙන්න වුනත් ඉඩ තියෙනව.

හුඟ දෙනෙක් කියනවා බුද්ධාගම; ‘ජීවිතය කියන්නෙ දුකක්’ කියල, උගන්වන ආගමක්ය කියල. ඒක ඇත්තක්ද? ඒකෙන් ඇත්තට ම අදහස් කරන්නෙ මොකක්ද? ජීවිතය කියන්නෙ දුකක් කියන එක, මට නම් තේරුමක් නැති කියමනක්. හොඳට ටිකක් හිතල බලන්න. ජීවිතය කියන්නෙ දුකක් කියන කොට ඔබ එයින් අදහස් කරන්නෙ; ගණිතයෙදි වගේ A සමානයි B කියනව වගේ දෙයක් නේද? ඔබ කියන්නෙ ඒ දෙකෙන් ම කියන්නෙ එකම දේ කියලද? මේක සමානයි අනිකට කියනව වගේ දෙයක් වෙන්නෙ කොහොමද? අපි එහෙම කිව්වට, හිතුවට ජීවිතය දුකක් කියන එකෙන් කිසිම දෙයක් හරියට තේරුම් කෙරෙන්නෙ නැහැ. ජීවිතය කියන්නෙ දුකක් කියන කොට ඒකෙන් අදහස් කෙරෙන්නෙ ජීවිතයත්, දුකත් එක ම දෙයක් කියන එක නේද? එහෙම නම් අපි මෙතන පුහුණු වෙනව කියන්නෙ මොකක්ද? පුහුණු වෙන්න තියෙන්නෙ මොකක්ද? මහණදම් පිරීම, සිල් රැකීම කාලය නාස්ති කර දැමීමත් වෙනව නේද? ඊට හේතුව ඒ දෙකම එකක් නම් අපිට දුකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ.

ඒ ඉතා වැදගත් ධම්මචක්ක පවත්තන සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙනව; දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. ඒ හතරට කියන්නෙ චතුරාර්ය සත්‍ය කියල. ඉපදීම, ලෙඩ රෝග, මහළු වයස, මරණය දුකක්; කැමති දේ නොලැබීම දුකක්; ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් හා එක්වීම දුකක්. මේ හැම එකක්ම අපි ජීවිතයේදී මුහුණ දෙන දේවල්. ඒ වගේ ම විපස්සණාව පුහුණු කරන කොට අපි මූලිකව ම යොදා ගන්නා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගත්තාම; එතැනදි දුක්ඛය හඳුන්වා දෙන්නෙ පැවැත්මේ කොටසක් හැටියටයි. ඒ කියන්නෙ අස්ථිරත්වය, දුක්ඛය, අනාත්මය කියන පැවැත්මේ ඇති ඉතා වැදගත් ම මූලික ලක්ෂණ තුන. දුක්ඛය කියන වචනයේ, ඒ යොදා ගන්නා තැන අනුව තේරුමේ වෙනසක් තියෙනව. මොකක්ද මේ වෙනස? ත්‍රිලක්ෂණය හඳුන්වා දෙන කොට, එතැනදී එය යොදා ගන්නා ආකාරය අනුව, දුක්ඛය සෑම සංසිද්ධියකම ඇති මූලික ලක්ෂණයක් වෙනව. නමුත් චතුරාර්ය සත්‍යයේ දුකඛය සඳහන් වෙන කොට එතැනදී එය යෙදෙන්නෙ මනුෂ්‍යය ජීවිතය එක්ක සම්බන්ධ වුන දෙයක් හැටියට.  දුක්ඛයේ මේ එක් විශේෂ අවස්ථාවක්.

ස්වභාව ධර්මයේ ඇති දේවල්, ඒවා පවතින ආකාරය ඒ ඇති හැටියෙන් ම තේරුම් ගන්න, අපි ඒව ගැන මෙනෙහි කරන කොට, ඒවා දුක්ඛයක් බව තේරුම් ගන්නෙ කොහොමද? මේ කෝප්පය දුකක් කියල කිව්වොත් ඒක හරිද, වැරදිද? මේ මේසය දුකක්, මේ කටහඬ දුකක්, ඇත්තට ම අපට ඒක ඒ විදියට පේනවද? එතැනදි අපි දුක්ඛ කියන එකෙන් අදහස් කරන්නෙ ඒවයෙ ස්ථිර පැවැත්මක් නැති බව. අනිත්‍ය ස්වභාවය හේතු කොට ගෙන දුක්ඛය නිරන්තරයෙන්ම ඇතිවන බව ලේසියෙන් ම අපිට නිගමනය කළ හැකි දෙයක්. වෙනත් විදියකට කියනව නම්, හේතු ප්‍රත්‍යයන් මත පවතින සෑම සංසිද්ධියක් ම ඇතිවෙලා, පැවතිලා, ඊළඟට නැතිවෙලා යනවා; හේතු ප්‍රත්‍යයන්ගේ ස්වභාවය නිසා ම. මේ සංසිද්ධීන් කොයි එකකවත් ගතයුතු අරටුවක් කියල දෙයක් නැහැ, කෙනෙක් හැටියට ගත හැකි දෙයක්, ආත්මයක් එතැන නැහැ. ඒව මූලික වශයෙන් ම ස්ථිරව පවතින දේවල් නෙවෙයි. ඒව පවතින්නෙ හේතුන් මතයි. එක පැත්තකින් බැලුවාම අපිට පෙනෙනවා එතැන ඇති අනත්ත ස්වභාවය. අරටුවක් රහිත බව. බලාපොරොත්තු ගොඩනගා ගන්න පුළුවන් විදියෙ, ස්ථිරසාර දෙයක් ඒවා තුළ නැති බව. තවත් විදියකට බැලුවාම අපිට පෙනෙනව, මේ එක සංසිද්ධියකටවත් ඒවායෙ පැවැත්ම ඒ විදියට ම පවත්වා ගෙන, කාලයත් එක්ක වෙනස් නොවී, ස්ථිරව රැඳී හිටින්නට ඒවාට හැකියාවක් නැති බව. අන්න එහෙම බැලුවාම අපිට දකින්න ලැබෙනවා, පිටතින් නොපෙනුනත්, ඇතුළතින් දකින්න ලැබෙනවා, ඒවායෙ ඇති දුක්ඛ ස්වභාවය. එතැන යමක් තියෙනවා දුක්ඛ කියල. මේ විදියට දුක්ඛය තේරුම් ගෙන නැති එකෙන් අපිට හැම තිස්සෙම වගේ, ඒවායෙ ඇති දුක්ඛය පෙනෙන්නෙ නැහැ. අපි දුක්ඛය පටලවා ගෙනයි ඉන්නෙ. අපි දුක්ඛය, දුක කිව්ව ගමන්ම එකපාරට ම අපේ හිත ඇදිල යන්නෙ, මනුෂ්‍යය ජීවිතයත් එක්ක සම්බන්ධ කර ගත්තු ශාරීරිකව දැනෙන, මානසිකව දැනෙන දුක වෙතටමයි. අන්න ඒ නිසා මේ මේසය දුකක්, බිත්තිය දුකක්, මගේ කටහඬ දුකක් කියල කියපුවාම අපි උඩ බිම බලනවා. ඒ හින්ද හිතල බලන්න; ත්‍රිලක්ෂණයන්ගෙන් එකක් හැටියට ගන්න, දුක්ඛයේ නියම අදහස අපි හරියට ම තේරුම් ගන්නෙ, සංසිද්ධීන්ගෙ පැවැත්මෙ ඇති අස්ථිරභාවය හරියාකාරව තේරුම් ගැනීමෙනුයි.

රහතන් වහන්සේලාගේ වැදගත් කියමනක් තමයි, රහත් වුනාට පස්සෙ උන්වහන්සේලා අත්විඳින්නෙ දුක්ඛය හට ගන්නවා, දුක්ඛය අවසන් වෙනවා, එපමණයි. එහෙම නම් “දුක ඇති වෙනවා, දුක නැති වෙනවා” කියන කියමනෙන් අදහස් කරන්නෙ මොකක්ද? මමනන් හිතන්නෙ නැහැ, රහත්වුනාට පස්සෙ උන්හවන්සේලාට දුක්ඛය ඇරෙන්න, වෙන කිසි දෙයක් අත්විඳින්න ලැබෙන්නෙ නැති බවක්, එයින් අදහස් කෙරෙනවය කියල. ඒ කියමනේ හරි අදහස වෙන්න ඕනෙ, තමන් වහන්සේලා අත්විඳින්නේ යමක්ද, ඒවා ත්‍රිලක්ෂණයට අනුව සලකා බලපුවාම ඒවායේ කිසිම ස්ථිර පැවැත්මක් නැහැ, අස්ථිරයි. ඒ නිසා ඒ හැම අත්විඳීමකම ඇත්තෙ අස්ථිරභාවය කියන එකයි. දුක ගෙන දෙන දෙයක් ඇතිවෙලා, දුක ගෙන දෙය නැති වෙලා යනවා. දුක ඇතිවෙනවා දකිනවා, දුක නැතිවෙනවා දකිනවා. එච්චරයි.

චතුරාර්ය සත්‍යය මගින් අපිට  හඳුන්වා දෙන දුක්ඛය කියන්නෙ, දේවල් වල පැවැත්මෙ තියෙන අස්ථිරත්වයේ සත්‍යතාවය, අපේ අත්දැකීම් තුළින් ම අපිට පෙන්නුම් කර දෙන දුක්ඛයක්. ඒ හින්ද ජීවිතය කියන්නෙ මොකක්ද කියල, තමන් කියන්නෙ කවුද කියල, හඳුනා ගන්න නම් අපි තවතවත් සොයා බලන්න ඕනෙ, මේ දුක්ඛය කියන වචනයෙන් අදහස් කරන්නෙ මොකක්ද කියන එක. ඒ එක්කම අස්ථිරත්වය කියන්නෙ මොකක්ද කියල වටහා ගැනීම මගිනුත් දුක්ඛය තේරුම් ගන්න ඕනෙ. දුක්ඛය, අස්ථිරත්වය කියන මේ දෙක අපේ ජීවිතයත් එක්ක සම්බන්ධවෙන්නෙ, ජීවිතය මත බලපාන්නෙ, කොහොමද කියන එකත් අපි හොයල බලන්න ඕනෙ. ඒ වගේ ම සෑම සංසිද්ධියක් තුළින් ම අපි දකින්න ඕනෙ එතැන ඇති දුක්ඛයත්, අස්ථිරත්වයත්.

විශේෂයෙන් ම අපි මේ සලකා බැලීම කරන්න ඕනෙ අපේ ශරීරය, වේදනා, සිතිවිලි, සංඥාණය, චිත්තවේග, නරකපුරුදු, විඤ්ඤාණය කියන සෑම දෙයක් මත ම මේ දෙක දුක්ඛයත්, අස්ථරත්වයත් බලපාන්නෙ කොහොමද කියලයි. සංසිද්ධීන්වල පවතින, ඒවාට ම ආවේනික වුන අස්ථිරත්වය හේතු කොට ගෙන, ඒ සංසිද්ධීන්වලට බැහැ අපි බලාපොරොත්තු වන ස්ථිරභාවයත්, ආරක්ෂිතභාවයත් අපට ලබාදෙන්න. ඒවායින් අපි අපේක්ෂා කරන බලාපොරොත්තු වන සතුට, සාමය, සැනසීම කොහෙත්ම ලැබෙන්නෙ නැහැ. ලැබුණත් ලැබෙන්නෙ කෙටි කාලීනවයි. ඒ නිසා ඒවා අපට ගෙන දෙන්නෙ දුකක්.

දැන් බලමු, අපට නිරතුරුව ම දකින්න තියෙන දුක්ඛයේ තවත් පැත්තක්. වෙලාවකට අපි කියනව පංචස්කන්ධය දුකක් කියල. ඒ කියන්නෙ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ස්කන්ධ පහ දුකක් කියල. නමුත්, ඒකෙන් අදහස් කෙරෙනවද ඒවා දිගින්දිගට ම, මොහොතින් මොහොත අපට දුකක් ඇති කර දෙන වගක්. එහෙම හිතනව නම් ඒක වැරදියි. ඒවාට පුළුවන් කමක් තියෙනව අපට රිද්දන්න. නමුත් හරි අදහස, ඒවායේ පැවැත්ම, ඒවාට ආවේනික වූ අස්ථිර, අනාත්ම ස්වභාවය නිසයි එහෙම රිදෙන්නෙ. මේකට හොඳ උදාහරණයක් තමයි, විසකුරු නයි කියල, අපි නයින්ව හඳුන්වන විදිය. දැන් බලන්න, නයෙක් විසකුරුයි කියන එක ඇත්තට ම සාධාරණද? ඔබ ඔය දැකල තියෙන හැම නයෙක් ම විදකුරුයි කියල කිව්වට, ඇත්තට ම බැලුවොත් ඒ නයි ජීවත්වෙන මුළු ජීවිත කාලය තුළම, අපි කාටවත් අනතුරක් කරල නැතිව ඇති. නමුත් ඔබ නයෙක් දැක්ක ගමන් ම කියනව, හපෝ! මේ මහ විසකුරු සර්පයෙක්ය කියල. ඇයි අපි එහෙම කියන්නෙ? ඇත්තට ම අපි ඒකෙන් අදහස් කරන්නෙ මොකක්ද? අපි ඌව පෑගුවොත්, එහෙම නැත්නම් ඌට හිරිහැරයක් කළොත්, ගහන්න, මරන්න හැදුවොත් තමයි අපව දෂ්ඨ කරන්නෙ. ඔය කියන විස ඇඟට ඇතුල් කරන්නෙ. ඒ වගේම තමයි, අපේ මේ ස්කන්ධ පහත්, ඒවා ඒ ආකාරයෙන් ම දුකක් වෙන්නෙ නැහැ. දැන් ඒවායින් එකක් අරගෙන බලන්න. හොඳ උදාහරණයක් තමයි අපිට දැනෙන ‘වේදනාව’. මේක දුක්ඛයක් හැටියට දැකීම, අපි හැමෝගෙම සාමාන්‍ය අත්දැකීමක්. අපි හැමෝටම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ආකාරයට, දුක්ඛය අපට හමුවන, හොඳට හුරුපුරුදු අවස්ථාවක් ඒක. ඒ තියෙන හැටියෙන් ‘වේදනා’ දුකක් ගෙන දෙනවද? නැහැ. ඒවයෙ ඇති වරදක් නැහැ. නමුත්, අපි ඒ වේදනාව, ‘මගේ වේදනාව’ කියල අලල්ගත්ත මොහොතෙ ම අපිට දුක දැනෙන්න පටන් ගන්නව. ඒ නිසා, ඒ සෑම ස්කන්ධයකට ම පුළුවන් අපිට රිද්දන්න; අපි ඒව එක්ක අනුවණ ආකාරයෙන් සම්බන්ධයක් ඇති කර ගත්තොත්. නමුත් ඒ වගේම අපිට පුළුවනි කරදරයක් නැතිව සැනසීමෙන්, සාමයෙන් ඒවා එක්ක ජීවත්වෙන්නත්.

මේ සංසිද්ධීන් කොයි ආකාරයෙන් අපි හමුවට ආවත්, අපිට පුළුවන් කමක් තියෙනව නොසැලී ඉන්න. ඒවට ඇලෙන ගතිය, ඒවා අල්ලගන්න අපේ ඇති නැඹුරුව, මගහරව ගන්න පුළුවන් නම් ඒව අපට දුකක් ගෙන දෙන්නෙ නැහැ. ඇයි අපි මේ වටපිටාවෙ සිදුවෙන දේවල්වලට, සංසිද්ධීන්වලට ඇලෙන්නෙ? දැනුවත්ව හෝ නොදැනුවත්ව, අපි හිතනව, අපි වෙනුවෙන් යම්කිසි දෙයක් ඒවයෙ තියෙනව කියල. ඒවායින් යම්කිසි ලාභ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වේය කියන හැඟීමක් අපිට තියෙනව. ඒවා අපිට උවමනා දේ, අවශ්‍ය කරන දේ ලබා දේය කියල අපි හිතනව. අපි හොයන දේවල් ඒවයෙ තියෙනව කියල අපි හිතා ඉන්නව. ඒවායින් තෘප්තියක් ලැබෙනවයි කියල හිතෙන තාක් කල්, ඒ වගේම ඔබට අවශ්‍ය කරන දේ ඒවට ලබා දෙන්න බැරි බව ඔබට හැඟෙන්නෙ නැති තාක් කල්, ඔබ හැම වෙලේම ඒවාට ඇලෙන එක නතර කරනන් බැහැ.

මෙන්න මේව අපිට පෙන්නුම් කරල දෙනව, අපේ නිවැරදි දෘෂ්ඨියෙත්, නිවැරදි ආකාරයට දේවල් වටහා ගැනීමෙත් ඇති වැදගත්කම. ඔබ තවදුරටත් දකිනව නම් යම්කිසි විදියක සැඟවුණු ආස්වාදයක් ඒව තුළ තියෙන බවක්, එහෙම හැඟෙනව නම්, ඒතාක් කල් ඔබට නිසි ප්‍රතිඵල ලැබෙන්නෙ නැහැ. මේ මාර්ගය පුහුණු වන කෙනෙක් හැටියට, බුදුරජාණන් වහන්සේගේ ධර්‍මයෙන් පහසු කොටසක් විතරත් අරගෙන, ඒ ආකාරයට හැසිරිල, අපි ජීවත් වෙන විදිය, අපේ අත්දැකීම් වල නම් කියන තරම් වැරැද්දක් නැහැ කියල, හිත හදාගන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. එහෙම නෙවෙයි, අපේ පැවැත්ම වෙන්න ඕනෙ, ධර්‍මයට අනුකූලව හැඩ ගැහෙන එක. ඒක බොහොම අමාරු දෙයක් කරන්න. ඔබ ඒක දන්නව. ඊට පිටුපාන්න එපා. දිගින් දිගටම ලොකු උත්සාහයක් අරගෙන, වෙර වෑයම් කරල ආරක්ෂා කර ගන්න ඔබේ සීලය, ඔබේ සමාධිය. එතුළින් ඇතිවන ප්‍රඥාව පෙන්නල දෙන යහපත් ගුණධර්‍ම පුහුණු කිරීම තුළිනුයි මේ දේවල් අවබෝධ වෙන්නෙ.

මේවයෙ සත්‍යතාවය අවබෝධ කර ගන්න, ඇතිතතු ඒ හැටියෙන්ම දැකගන්න, අපිට පිහිට වන එකම දේ තමයි, මේ මනස. නමුත් ස්වභාවිකව හැඩගැහිල තියෙන මේ මනසට, මේ පවතින තත්ත්වයෙන් ඒ දේ කරගන්න බැහැ. පණ මදි. ප්‍රමාණවත් නැහැ. මනස මේ තියෙන ආකාරයෙන් බොහොම දුර්වලයි. මේ දුක, දුක්ඛය දැකගන්න, වටහාගන්න පුළුවන් වෙන්නෙ ප්‍රීතිමත් මනසකට විතරයි. ඔබ දැන් කලබල වෙනව, ඒ කොහොමද එහෙම වෙන්නෙ කියල. මේක තමයි අපට තේරුම් ගන්න තියෙන අමාරු, පරස්පර විරෝධි අදහස. ඒ කියන්නෙ දුක තේරුම් ගන්න පුළුවන් කම තියෙන්නෙ, දුකින් ඉන්න මනසකට නෙවෙයි, සතුටින් ඉන්න මනසකටයි කියන එක. ඔබට ඒක හිතා ගන්න පුළුවන්ද? හොඳට බලන්න, ඔබ ඉන්නෙ අසතුටින් නම්, ඔබේ මනස අසහනයට පත් වෙලා නම්, ඔබට නැහැ ඒ හැටි අවශ්‍යතාවයක්‍, ඔබ ගැන ඔබට ම නැහැ විශ්වාසයක්, මනසෙ ප්‍රබෝධමත් ගතියක් නැහැ, කැමැත්තක් නැහැ; ඒ මොකටද? ඔබ දිහා බලන්න. එහෙ මෙහෙ විසිර නොගිය, තැන්පත් නිරවුල් ප්‍රීතිමත් මනසක් තමයි; ඔබට උවමනා කරන ඒ විශ්වාසය, ඒ හැකියාව ඔබට ලබා දෙන්නෙ, ඇත්තටම මෙතැන කෙනෙක්, දෙයක් නැති බව හොයල බලන්න, අල්ලගන්න.

ඔබේ පැවැත්ම පිරිසිදු කරගෙන සිත, කය, වචනය සංවරකර ගත්තාම තමයි, ඔබ මේ ගමන යන්න පටන් ගන්නෙ. අපේ පැවැත්මත්, සීලයත් දියුණු කර ගන්නයි අපි පුරුදු වෙන්න ඕනෙ. බුදුරජාණන් වහන්සේ දිගින්දිගටම අනුදැන වඳාළේ, අපේ සුළු වරදක් නිසා හරි ඇතිවන අන්තරාය ගැන හැම වෙලේම සිහියෙන් ඉන්න කියලයි, සිහිපත් කරන්න කියලයි. හැමදාම දවසෙ අන්තිමට නින්දට වැටෙන්න කලින් බලන්න ඕනෙ‍‍; සිත, කය , වචනයෙන් යම්කිසි වැරැද්දක්, අඩුපාඩුවක් වෙලා තියෙනවද කියල? ඒ වැරදියි කියල හිතන දේ ගුණයහපත් කෙනෙකුගෙන් දොස් අහන්න පුළුවන් තරමෙ වැරැද්දක්ද කියල? ඒත්, ඔබ කියපු කරපු දෙයක් ඔබේ හිතට හරි නැති වුනත්, ඒකෙන් හිත පාරව ගන්න එපා. ඔබ වැරදි කාරයෙක්ය කියන හැඟීම ඇති කර ගෙන, පසුතැවීම ඇති කරන සිතිවිලි, හිතේ ඇති වෙන්න ඉඩ දෙන්න එපා. ඔබේ අධිෂ්ඨානය දුර්වල කරන විදියෙ, ඔබේ මනස හිර කරන, හකුලුවන අන්දමේ නීවරණ ධර්‍මයන්ට නැගී හිටින්න, කොහෙත්ම ඉඩ දෙන්න එපා. ඒවාට එරෙහිව කටයුතු කරන්න. ඒවා මැඬපවත්වා ගන්න. ඔබේ මනසෙ තැන්පත්කම, එකලස්කම වැඩි දියුණු කර ගන්න. ඔබ වහල්භාවය පත්කරන, ඔබව හිරගත කරන දේවල් කපා හරින්න.

පුහුණුව ආරම්භ කළාම ගොරෝසු වැදගැම්මකට නැති සිතිවිලි තුනීවෙලා යන්න පටන් ගන්නව. ඒවා බොහෝ දුරට අඩුවෙලා යනව. ඔබට එතකොට පහසු වෙනව ඒව ගැන සිහියෙන් ඉන්න. කාමුක හැඟීම්, පලිගැනීමේ චේතනා, තරහ සිතිවිලි වගේ දේවල් මනසෙ මතුවුන ගමන් ම ඔබට පේනව ඒවයෙ ඇති නිස්සාරකම. ඒවයින් මනස විකෘති වෙලා යන්නෙ කොහොමද කියල ඔබට පෙනෙනව. ඒව මනසෙ පැලපදියම් වෙන්න කලින්, තමන්ට ඒව අල්ලගන්න පුළුවන් වෙනව. ඔබට පේනව ඒව ඔබේ පුහුණුවත් එක්ක නොගැලපෙන බව.

නමුත් අන්තිමට බලපුවාම, ඔබේ පුහුණුව ඇනහිටුවන, ඉදිරි ගමන දුර්වල කරන බරපතල සිතිවිලි ඒව නෙවෙයි. මේ හැමතිස්සේම මතුවන, මේ අහිංසකයි වගේ පෙනෙන, සාමාන්‍ය සිතිවිලියි වඩා දරුණු. කරදරයක් ඇති නොකරන, උපද්‍රව රහිතයි වගේ පෙනෙන, දිනපතා දිගින්දිගටම මනසෙ මතුවන සිතිවිලි තමයි, අපේ ඉදිරි ගමනෙ පසුබෑම ඇති කරන ලොකුම බාධකය. සමහර වෙලාවට ඔබට ඒව පෙනෙන්නෙ යහපත්, ධර්‍මානුකූල, තර්‍කානුකූල මාතෘකා යටතේ මතවන හොඳ සිතිවිලි කියලයි. බොහොම අමාරුයි ඒව ඇති කරන අන්තරාය පිටතින් දකින්න. මතුපිටින් බලපුවාම නම් එහෙම වරදක් පෙන්නුම් කරන්නෙ නැහැ. ඔබට ලේසියෙන් පෙනෙන්නෙ නැහැ ඒවායෙ ඇති වරදක්, නරකක්. නමුත් ඒවයෙ භයානක කම තියෙන්නෙ මෙතැනයි. වැඩකට නැති අනුන්ගේ දේවල් ගැන, සමාජයේ අකටයුතු ගැන, දේශපාලන කටයුතු පිළිබඳව, හොඳනරක පිළිබඳව, ඕපදූප ගණයට වැටෙන නො වැදගත් මේ වගේ සිතිවිලි වලින් මනස පුරව ගත්තාම කොහෙද එතකොට ඒකෙ තව ඉඩක්? ඒවායින් ම මනස පිරිල. දූෂණය වෙලා. තැන්පත්, සාමකාමී මනසකටයි හරියට හිතල බලල යමක් කරන්න පුළුවන්. ඔබ ඒව ගැන හිතහිතා ඉන්නව නම්, ඔබ ඒ වෙලාවට මනස යොමු කරන්නෙ නැහැ; වෙන ගුණයහපත්, ඔබේ ගමනට ප්‍රයෝජනවත් දේකට. එහෙම යොමු කරන්න පුළුවන් තරමෙ තැන්පත් කමක් මනසෙ නැහැ. ඇත්තට ම බලපුවාම ඔබට පෙනෙන්නෙ නැහැ; මනසෙ විසුරුණු ගතිය ඇති කරන්න උදව්වන, මේ සිතිවිලි වල ඇති නරකක්, අන්තරායක්. මෙතැනදි තේරුම් ගන්න ඕනෙ වැදගත් ම කාරණාව තමයි, එහෙම මනස විසිරිල පවතින කොට මනසට ශක්තියක් නැහැ. එකලස් බවක් නැහැ. උනන්දුවක් නැහැ. ඒකාග්‍රතාවයක් නැහැ. මනසෙ යථා ස්වරූපය තේරුම් ගැනීම, විඤ්ඤාණය කියන්නෙ මොකක්ද කියල තේරුම් ගැනීම වගේ, බලගතු ධර්‍මයන් අවබෝධ කර ගන්න උදව්වන, මනස ගෙන යා යුතු, පවත්තා ගත යුතු, ගැඹුරු අවධීන්ට එළඹෙන්න; මේ සිතිවිලි මනසට ඉඩ දෙන්නෙ නැහැ.

ඒ නිසා මේ බලගතු මානසික ශක්තිය, මානසික බලවේගය අපට අවශ්‍යයි. ඒක නැතිව බැහැ, මේ පුහුණුව කර ගෙන යන්න. ඒකෙන් අදහස් කරන්නෙ මේකයි. මනසෙ මතුපිට ඇති දේවල් එක්ක අපි පැටලි පැටලි ඉන්නව මිසක්, මනසෙ ඇති බලගතු හැකියාව, ශක්තිය අපි යොදවන්නෙ නැහැ, යොදා ගන්න බැහැ, ධර්‍මය ගැඹුරින් අවබෝධ කර ගන්න, ජීවිතය ගැඹුරින් වටහා ගන්න. ඒ නිසා අපට පුළුවන් කමක් තියෙන්න ඕනෙ, ඇති කර ගන්න ඕනෙ, ජීවිතයේ අපි ගත කරන හැම මොහොතකදී ම මනසෙ ඇති බලශක්තීන් ඒකරාශි කර ගන්න. ළඟින් ඉන්න අය එක්ක අපි කොයි විදියටද කටයුතු කරන්නෙ? කථාබහ කරන්නෙ? අපි ඇවිදින්නෙ කොහොමද? අපි හිටගෙන ඉන්නෙ කොහොමද? අපිට ලැබිල තියෙන දේවල් පරිහරණය කරන්නෙ කොහොමද? ශරීරය හසුරුවන්නෙ කොහොමද? අපි ඉන්න තැන අවට පිරිසිදුව තබාගෙන ඉන්නවද? ගමන්බිමන් යනකොට හැසිරෙන්නෙ කොහොමද? කෑමබීම ගන්න කොට ඒකෙ පිළිවෙලක් තියෙනවද? මේ සෑම දෙයක දී ම අපි සිහියෙන් ඉන්න ඕනෙ.

අපි මේ විදියට පුරුදු වෙන්න මහන්සි ගන්නෙ, හැම මොහොතකම මනසෙ පැහැදිලිකම, පිබිදුණු ගතිය, දවස පුරා ම පවත්වා ගෙන, ජීවිතයේ හැම මොහොතකදී ම එය හොඳින් ආරක්ෂා කර ගෙන, ජීවිතය හොඳින් හසුරුවා ගන්නයි. ඒකට බාධා කරන, අපට ප්‍රයෝජනවත් නොවෙන, අපේ ඉදිරි ගමනට ආධාර නො කරන කිසිම දෙයක් ගැන, ඉඩකඩ තිබුණු පලියට ජීවිතයේ හැම මුල්ලකට ම, හැම කුණු ගොඩකට ම හොස්ස දමන්න ඉඩ දෙන්නෙ නැතිව, හොඳ අධිෂ්ඨානයක් ඇතිවයි අපි මේ ගමන යායුතු. ඔබට හැකියාව තියෙන්න ඕනෙ, පැටලි පැටලි ඉන්න විස්තර වලින් මනස මුදවා ගෙන, ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමේ අදහසින් සිහිකල්පනාව ඇතිව දවස කල් ගෙවන්න.

ඔබ විමසා බලන්න ඕනෙ, සැලකිල්ලට ගන්න ඕනෙ, ඔය දැන් කරන දේ යහපත්ද? අයහපත්ද? කියන එක විතරක් ම නෙවෙයි. මේ මනස දිගින්දිගට ම පවත්වා ගෙන යන්නෙ, දහම් මගේ ඉදිරියට ම යැවෙන ආකාරයෙන් ද කියන හැඟීම, හැම නිතර ම මනසෙ පවතින්න ඕනෙ. නිතර ම ඒ ගැන සෝදිසියෙන් ඉන්න අන්දමට, මනස පවත්වා ගෙන යන්න ඕනෙ. මනස නැඹුරු වෙලා තියෙන්නෙ ඒ පැත්තට ද? තමන් ඒ වෙනුවෙන් යමක් කරනව ද? එහෙම නැත්නම් මධ්‍යස්ථව, ඔය කියන උපේක්ෂාවෙන් ඔහෙ බලා ඉන්නව ද? කෙලෙස් වලින් මනස මුදවා ගන්න උත්සාහ කරන මනස, ඒ බලාපොරොත්තුවෙන් පිරුණු එකක් වෙන්න ඕනෙ. බලශක්තියක් නැතිව කෙලෙස් එහෙම ලේසියෙන් කපා හරින්න බැහැ. අවිද්‍යාව දුරු කරන්න බැහැ.

ඒකට උවමනා කරන්නෙ එක්තැන් වුන, බලවත් සමාධියක් ඇති මනසක්. යම් දෙයක් වෙත බලවත් ඕනෑකමකින්, ගැඹුරින් මනස යොමුකරන්න නම් මනසෙ බලගතු සමාධියක් තියෙන්න ඕනෙ. ඒකට උවමනා කරන්නෙ මේ මාර්ගයේ, මේ ආර්ය අශ්ඨංගික මාර්ගයේ ඇති සෑම අංගයක් ම, තමන්ගෙ පුළුවන් කමේ හැටියට, සුදුසු පරිමාණයකට අනුව, ඒ ඒ අංග සාමූහිකව සලකා බලමින් ඉදිරියට යන්න සූදානම්, උද්යෝගීමත්, අපේ අභිමතාර්ථය සපුරා ගන්න, එක හිතින් හිතාගත්තු මනසක්.

නැවත අපි මාතෘකාව පැත්තට හැරුණොත් මොකක්ද මේ දුක්ඛය කියන්නෙ? එයින් පෙන්නුම් කර හිටින්නෙ මොකක්ද? අපි හිතනවාට වඩා ගැඹුරු අදහසක් ඒකෙ තියෙනව. ඇත්තෙන්ම කියනව නම් ඔබ ඒ වචනය හරියට තේරුම් ගත්තොත්, ඔබ අවබෝධ කර ගන්නවා ඊට හේතුව, ඒ කියන්නෙ දුක්ඛයට හේතුව. ඒ වගේ ම එය අවසාන කර ගන්නෙ කොයි ආකාරයෙන් ද කියලත්, ඒ ඒක්ක ම වටහා ගන්නව. ඒ හින්ද මතක තියා ගන්න, දුක්ඛය කියන්නෙ මගේ දුක්ඛයවත්, ඔබේ දුක්ඛයවත් නෙවෙයි. මේ දුක්ඛයේ දුක්ඛයයි.

මෙතැනදි තමයි අපි නිහතමානි වෙන්න ඕනෙ,මේ දුක්ඛය කියන වචනය හරියට ම තේරුම් ගෙන නැති වග පිළිගන්න. අපේ බුද්ධියට මේකෙ අර්ථය යම්කිසි ආකාරයකට වැටහෙනව. ඒක ඇත්තක්! ඒ මත පිහිටල තමයි අපි මේ ගමන ආරම්භ කරන්න ඕනෙ, මේ කියන ගවේෂණයෙ යෙදෙන්න ඕනෙ, දුක්ඛයේ සැබෑ අර්ථය හෙළිදරව් වෙනකන් ම.

අනිත් ආගම්වලත් දුක ගැන සඳහන් කරල තිබුණත්, බුදුරජාණන් වහන්සේ තරම් ගැඹුරින්, ඉතා පුළුල්ව, එය විනිවිද දැකිය හැකි ආකාරයෙන්, ක්‍රමානුකූල පිළිවෙලකට, මේ වචනය පැහැදිලි කර දීල නැහැ. ඒ නිසා දුක්ඛය කියන වචනය බුදු දහමට ම ආවේනික වූ වචනයක් කියල, එක අතකින් බලපුවාම, ඇත්තට ම අපිට සඳහන් කරන්න පුළුවනි. බුදු දහමෙ ඉතා වැදගත් තැනක් හිමි වන මේ වචනයේ තේරුම වඩවඩාත් ගැඹුරින් තේරුම් ගැනීමට, බලවත් කැපවීමකින්, උත්සාහයකින්, ඒ සඳහා පුබුදුවා ගත යුතු මානසිකත්වය ඇති කර ගන්නා හැටියට මම ඔබව උනන්දු කර හිටිනවා.

දුක්ඛය තේරුම් ගන්න, තේරුම් ගන්න, ඔබේ මනස තවතවත් විවෘත වෙනවා. ප්‍රබෝධමත් වෙනවා. සාමය, සැනසීම මනසෙ ඇති වෙනවා. තමන් වෙත දයාව, කරුණාව ඇති කර ගන්නවා. අන් අය වෙතත් ඔබේ දයාව, ගෞරවය ඇති වෙනවා. ඒ තමයි ඔබ දුක්ඛය කොයි තරම් දුරට අවබෝධ කර ගෙන තියෙනවාදැයි පෙන්නුම් කර දෙන හොඳ ම මිනුම් දණ්ඩ. ඒ ගැන මෙනෙහි කර බලත්වායි යන අදහසින් මම මේ කරුණු කරණා ටික ඔබ වෙත ඉදිරිපත් කර සිටිනවා.

ඔබ සැම සුවපත් වේවා!

 

 

Leave a comment