චිත්ත භාවනා 4 කොටස – භාවනාව සඳහා වැදගත්වන කරුණු

අජාන් තේජනියා මහ තෙරුන් වහන්සේ 

පරිවර්තනය – ජෝර්ජ් කාරියවසම්

 (උපුටා ගැනීමට හෝ පිටපත් කර බෙදා හැරීමට අවසර නැත)

(‌මීට ප්‍රථමයෙන් “චිත්ත භාවනා 1, 2 හා 3 කොටස්” කියවන්න.)

භාවනාව සඳහා වැදගත්වන කරුණු

ධර්ම සාකච්ඡාවලදී භාවනා යෝගීන් බොහෝ දෙනෙක් විසින් විටින්විට ඉදිරිපත් කෙරුණු කරුණු කිහිපයක් පහත දක්වමු. ඔවුන්ගෙන් සමහරෙක් භාවනාවට කෝඩුකාරයින් වූවත් බොහෝ දෙනෙක් ඉතා පළපුරුදු යෝගීහු වූහ. පෞද්ගලිකව ඔබ භාවනාව දියුණු කරගෙන ඇති මට්ටමට අනුව මින් සමහරක් කරුණු තේරුම් ගැනීමට හෝ නො ගැනීමට ඉඩකඩ ඇත. ඔබට වටහා ගැනීමට අපහසු වන කරුණු ගැන ලත නො වන්න. ඒවා ඔබේ ඇතුළාන්තයට කිඳා බැසීමට ඉඩ හරින්න. ඒවායෙහි අදහස හෙළිදරව්වීමත්, ඒවා පිළිබදව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමත් සිදුවන්නේ කාලය ගත වීමත් සමග ඇතිවන ඔබේ පුහුණුවේ ප්‍රගතිය තුළින්ය. භාවනාවේ දියුණුවත් සමග කෙමෙන්කෙමෙන් මෙම කාරණා සියල්ලක් ම ඔබට අවබෝධ වනු ඇත. පුහුණුවට අවශ්‍ය පෙළඹවීම ඇති කර ගැනීම සඳහාත්, භාවනාවට අඳාළ කරුණු කිහිපයක් දැන ගැනීමට කුතුහලයන් ඇති වූ විටදීත්, මෙයින් කරුණු කිහිපයක් තෝරාගෙන කියවන්න. ඔබ වෙත ඒවා ඉදිරිපත් කර ඇත්තේ යම් ක්‍රමවේදයකට අනුව නොවන බව ද සැලකිල්ලට ගන්න.

  1. භාවනාවෙන් අදහස් කරන්නේ මෙට්ටයක් මත හිඳගෙන සිටීම ම නොවේ. ඔබ සිටින ඉරියව්ව කුමක්වූවත්, දැනුම් තේරුම් ඇතිව සිහිය පවතින්නේ නම් ඔබ භාවනාවෙහි යෙදී ඇත.
  2. ඔබ යමක් නො දකින්නේ නම් දැකීමක් ඇති කර ගැනීම සඳහා බලය නො යොදන්න. සුවපහසුව හා විවේකී සුවය ඇති කර ගැනීමට මුලදී ඉගෙන ගන්න.
  3. විටින්විට බිම දිගාවී භාවනා කිරීමට උත්සාහ ගන්න. සෑම ඉරියව්වකදී ම දැනුවත් කම ඇති කර ගැනීමට පුරුදු වන්න. අත්විඳින්නේ කුමක්දැයි හැමවිට ම දැන හිඳිමින් ඒ ඒ ඉරියව්වලදී එම දැනුම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන මානසික වීර්යය සෝදිසි කර බලන්න.
  4. නිවැරදි වීර්යය යනු නො පසුබට උත්සාහයයි. බලය යෙදීමවත්, පාලනයවත්, තදින් අවධානය යොමු කිරීමවත්, මනස කොටු කර ගැනීමවත් ඉන් අදහස් නො කෙරේ. තදින් අවධානය පවත්වා ගැනීමට මුල්වන්නේ ආසාව හෝ අකමැත්තයි, නැත්නම් පුහුණුව පිළිබඳව ඇති පටු අවබෝධයයි.
  5. කායික වේදනා, මානසික හැඟීම්, මානසික ක්‍රියාකාරකම් ගැන ඔබට දැනුවත්ව සිටිය හැකිය. නමුත් ඒවා ‘මගේ’ යයි නො සිතන්න. ඒවා ඒ ආකාර දේවල් පමණි. වේදනාව යනු වේදනාවය, හැඟීම් යනු හැඟීම්ය, මානසික ක්‍රියාකාරකම් යනු මානසික ක්‍රියාකාරකම්ය. ඒවායේ ස්වභාවය ඒ ආකාර මිස වෙනත් ආකාරයක් විය හැකිද? ඒ ආකාර දෘෂ්ඨිකෝණයකින් ඒවා දෙස බැලීමට පුරුදු වන්න. එසේ නො කර ඒවායේ හිමිකරුවා ලෙස ඒවා ‘මගේ’ ය යනුවෙන් ග්‍රහණය කර ගතහොත් ඇලීම, නොරිස්සීම හා අකමැත්ත හැර අන් දෙයක් ඔබට අත්විඳිය හැකිද?
  6. යම් දෙයක ඇති යථා ස්වභාවය නිරීක්ෂණය කර, විමසා බලා, අවබෝධ කර ගැනීමට ඉගෙනීම; ඒවා යටගසා ගැනීමට හා ඒවා දූරීභූත කර ගැනීමට දරණ උත්සාහයට වඩා වැදගත්ය. අත්විඳිනා දෙය ඉවත් කර දැමීමට දරණ උත්සාහය වැරදි ආකල්පයක්ය.
  7. දැන හිඳිනා මනස කෙලෙස් වලින් තොරව පවතින විට ඔබට ඇත්තේ නිවැරදි සිහිකල්පනාවක්ය.
  8. දැන හිඳිනා මනස (විඤ්ඤාණය) යනු ඉන්ද්‍රියන් ඹස්සේ ගලා එන අරමුණු දැන ගන්නා මනසය. එය හැමවිටම පවතින්නේ වී නමුත් අරමුණු හඳුනා ගැනීමට හෝ ඒවා පිළිබඳව අර්ථ විග්‍රහයක් කිරීමට එයට හැකියාවක් නැත. ප්‍රඥාවෙන් තොරය. සිදුවන්නේ කුමක්දැයි එයට පැවසිය නො හැකිය. දැන හිඳිනා මනසට ඇති එකම හැකියාව දේවල් දැන හිඳීමය.
  9. විමසිලිමත් මනස හෝ දැනුවත් මනස තමන් අත්විඳිනා දෙය කුමක් වූවත් එය හොඳින් දැන හිඳී. දැන හිඳිනා බව ඔබ දනී නම් ඔබ ඒ දකින්නේ දැන හිඳිනා මනසය.
  10. මනස පිළිබඳ දැනුමක් අපට ඇති වන්නේ ඒ තුළ උපදින හැඟීම් හා ක්‍රියාකාරකම් තුළින්ය. ආසාවන්, බලාපොරොත්තු කඩවීම්, සිතිවිලි හෝ තරහ මනසෙහි පවතින බව දැනුවත් වූ හැමවිටක ම මනස පිළිබඳ දැනුවත්කමක් ඇති වේ. ඒ දේවල් ඇති කර ගන්නේ මනසය. ඒ දේවල් මනසෙහි ඇති බව දැන හිඳින්නේ ද මනස බව ඔබ වටහා ගත යුතුය.
  11. බලා හිඳින මනසට ඇඟිලි ගැසීමට ගියහොත් විදසුන් නුවණ නූපදී. හුදු අවධානය පමණක් යොදා ගනිමින් ඇති දේ ඇති හැටියෙන් බලා හිඳීමට ඉගෙන ගන්න.
  12. මනස දෙස බලා හිඳින විට ඔබ මෙතෙක් නො නුදුටු තදින් ග්‍රහණය කර ගත් අදහස් උදහස්, ඕනෑඑපා කම්, බිය, සිතුම් පැතුම් යනාදිය දැකීමෙන් ඔබ විමතියට, තිගැස්සීමට හා වික්ෂිප්තභාවයට පත්වනු ඇත.
  13. පොතපත කියවීම, සංගීතයට සවන්දීම, ක්‍රීඩා අභ්‍යාසයන්හි යෙදීම ආදී එදිනෙදා කටයුතු වලදී සිතීමත්, සංකල්පනය හා විකල්පනය කිරීමත් අවශ්‍යය. එසේ නොමැති නම් බාහිර දේවලින් ඇති කෙරෙන මානසික ප්‍රබෝධය තේරුම් විරහිත වනු ඇත. නමුත් භාවනාවෙහි නිරතව සිටියදී සංකල්පනා හා විකල්පනා මතුවන්නේ නම් ‘මනස සිතන’ බව දැනගන්න.
  14. යම් දෙයක් වෙත ඔබේ අවධානය පහසුවෙන් යොමු කර ගෙන සිටිය හැකි නම් එය කාරණා දෙකක් මත සිදු විය හැකිය. එක්කෝ එම දෙයෙහි රළු ස්වභාවය වෙත ඔබේ සිත ඇදී ගොස් ඇත. එසේ නොමැති නම් ඔබේ සිහිකල්පනාව බලවත්ය. රළු දේවල් මත පමණක් මනස පවත්වා ගැනීමේ හැකියාවෙන් සෑහීමකට පත් නො වන්න. සියුම් දේ මත අවධානය යොමු කිරීමට ඉගෙනීමෙන් ඔබේ සිහිකල්පනාව බලවත්වනු ඇත.
  15. ඔබ නොරිස්සන යම් පුද්ගලයෙකු දුටු මොහොතේ ම යම් අන්දමක සළකුණක් හෝ පෙර රැස් කර ගත් අදහස් උදහස් ඔබේ මනසෙහි මතුවනු ඇත. එම සළකුණු, කරුණු කාරණා හේතු කොට ගෙන එම පුද්ගලයා යම් රටාවට අනුව දෘශ්‍යමාන වන හෙයින් ඔහුගේ හෝ ඇයගේ සැබෑ ස්වරූපය දැකීමට ඔබට නොහැකි වන්නේය. අවිද්‍යාවේ ක්‍රියාකාරිත්වය එබඳුය.
  16. ඇති දේ ඇති හැටියට දැකීමට මනසෙහි ප්‍රවණතාවය ඇති විට, එම දැකීම මතුවන්නේ ස්වභාවිකවම ය, ක්ෂණිකවය. එය මතුවේය යන බලාපොරොත්තුවක් හෝ ඒ පිළිබඳ විමසිලිමත් බවක් ඇති කර නො ගන්න. එවැනි බලාපොරොත්තු ඇති කර ගත හොත් සාවධ්‍ය දේ මනස උපදවනු ඇත.
  17. ඔබ අත්විඳින දෙය කුමක් වූවත් ඒ පිළිබඳව විවෘත මනසක් ඇති කර ගන්න. හදිසි නිගමන වෙත නො එළඹෙන්න. ඉතා සූක්ෂමව, එම අත්දැකීම දිගින්දිගටම මෙනෙහි කිරීමෙහි හා විමසා බැලීමෙහි නිරත වන්න. හදිසි නිගමන වෙත එළඹීමෙන් අවබෝධය ගැඹුරු වීම ඇණහිටිනු ඇත.
  18. ගැටළු සහගත අවස්ථාවන් මගහැර යාමෙහි ඔබ යෙදී සිටින්නේ නම් එමගින් දැන ඉගෙන ගැනීමෙහි දියුණුවක් සිදු නොවනු ඇත. විශේෂයෙන් ම කෙලෙස් සමග කටයුතු කරද්දී මෙය සත්‍ය වශයෙන් සිදුවන දෙයක්ය. කෙලෙස්වලට මුහුණ දීමට ඉගෙන ගැනීමෙන් ඒවායේ ස්වභාවය දැන ගැනීමටත් ඒවා මෙනෙහි කර බැලීමටත් අවස්ථාව සැලසෙන හෙයින් එය කෙලෙස් මැඬලීමට ද උපකාර වන්නේය.
  19. ගැටළු සහගත අවස්ථා පිළිබඳ උනන්දුවක් ගොඩනගා ගන්න. සුහදශීලීව ඒවාට මුහුණ දීමෙන් සිදුවන්නේ එම තත්වයන් උදාවීමට තුඩුදුන් හේතූන් ක්ෂණිකව ඔබහට අවබෝධ වීමට පටන් ගැනීමය.
  20. වේදනාවන් දැනුණු විට එය සුව වේදනාවක්ද, දුක් වේදනාවක්ද, මධ්‍යස්ථ වේදනාවක්දැයි විමසා නො බලන්න. වේදනාව යනු හුදු වේදනාවක් පමණක් බව සිහිපත් කර ගන්න. එය දැනෙන ආකාරයෙන් ම පිළිගන්න.
  21. චිත්‍රපටයක් නරඹද්දී ප්‍රේක්ෂකයින් එය නිරීක්ෂණය කරන්නේ තමතමන්ගේ සිතැඟියාවන්ට අනුකූලවය. ලාමක මනසක් ඇත්තෝ එය හුදු විනෝදාස්වාදය ලබාගැනීම සඳහා ම නරඹති. නමුත් දියුණුවට පත් මනසක් ඇත්තෝ එය තමන් වෙත ගෙන එන පණිවිඩය කුමක්දැයි දැනගැනීමට තැත් කරති. භාවනා කරද්දී ද සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට ඔබ උත්සාහ කළ යුතුය.
  22. යම් දෙයක් මත එක එල්ලේ තදින් අවධානය යොමු කර ගෙන සිටීම සඳහා වැඩි ශක්ති ප්‍රමාණයක් ඔබ වැය කළ යුතුය. එය, පුහුණුව පීඩාකාරී, විඩාව ගෙන දෙන කටයුත්තක් බවට පත් කරයි. ඇත්තවශයෙන් ම ඔබේ සිහිකල්පනාව දුබලවීම ද එමගින් සිදු විය හැකිය. ඒ බව දුටු සැණින් සිහිකල්පනාව ඉහල මට්ටමකට ගෙන ඒමට තදින් උත්සාහ දැරීමට යාමෙන් තවතවත් ශක්තිය ඒ සඳහා වැය වෙනු ඇත. දිගුකාලීන භාවනා මුළුවකදී ඔබ සතු මුළු ශක්තිය කෙමෙන්කෙමෙන් පිරිහී යාමට එය ද එක් හේතුවක් විය හැකිය.
  23. සිහිකල්පනාව පවත්වා ගැනීම සඳහා තදබල ආයාසයක් ඔබ යොදන්නේ නම් එයින් ඔබේ ශක්තිය ඉක්මණින් පිරිහී යන නිසා දවස පුරා ම සිහිකල්පනාව පවත්වා ගෙන යාමට ඇති ඉඩකඩ ඇහිරී යන්නේය. තැන්පත් බවකින් යුතුව ඔබ පුහුණුවෙහි යෙදෙන්නේ නම් එය ඔබේ ශක්තිය ආරක්ෂා කර ගැනීමට උපකාර වන නිසා දිගු කාලයක් තුළ ඔබට පුහුණුවෙහි යෙදී සිටිය හැකිය. ඔබ භාවනාව සඳහා දිගු කාලයක් ගත කරන්නෙක් නම් ශක්තිය අපතේ හැරීම ඔබ විසින් නො කළ යුතුය. භාවනාව ජීවිත කාලය පුරා විහිදුනෙකි. එය මීටර සීයේ කෙටි ධාවනයක් නොවේ. ඉතා දිගු මැරතන් ධාවනයක්ය.
  24. තමා වෙත එලඹෙන සෑම මොහොතක් ම සිහිකල්පනාව දියුණු කර ගැනීමට ලත් මහඟු අවස්ථාවක් සේ සලකන්න. නමුත් එලෙස පුහුණුවීමට උවමනාවට වඩා තදින් සිතට නො ගන්න. ඔබ එය ඒ අයුරින් කරපින්නා ගත හොත් සිතෙහි මතුවන ආතතියත් සමග පුහුණුවෙහි ඇති ස්වභාවිකත්වය ගිලිහී යනු ඇත.
  25. තැන්පත් වන අන්දම ඔබ හඳුනාගත් විට ඔබේ ඕනෑඑපා කම් පිළිබඳව පිරිපුන් අවබෝධයක් ඔබට ලැබෙනු ඇත. එවිට අනවශ්‍යය ලෙස ශක්තිය වැය කරන අවස්ථාවන්වලදී ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිවීමෙන් ශක්තිය රැක ගැනීමට ඔබට හැකි වන්නේය.
  26. අන් අයගේ භාවනා අත්දැකීම් පිළිබඳ විස්තර අසා දැන ගැනීමෙන් හෝ අධ්‍යයනය කිරීමෙන් පසු දැනුවත්ව ම හෝ නො දැනුවත්ව ම ඔබ බලා හිඳින්නේ එවන් දෙයක් අත්දැකීමට නො ඉවසිලිමත්වය. ඒ හා සමාන දෙයක් අත්දැකීමට ලැබුණු විට එය විදසුන් නුවණක් ලෙස නිගමනය කිරීමට ඔබ වහා පෙළඹෙනු ඇත. නමුත් එය හැඳින්විය හැක්කේ එක හා සමාන අත්දැකීමක් ලෙස පමණක්ය. විදසුන් නුවණින් අදහස් කරන්නේ යථාර්ථය පිළිබඳ ගැඹුරු අවබෝධයක්ය.
  27. සිත විසිර යාම ස්වභාවිකව සිදුවන මානසික ක්‍රියාදාමයක්ය. අප එය ප්‍රතික්ෂේප කරන්නේ නම් අපි ස්වභාවිකත්වය පිටු දකින්නෝ වෙමු. අපි එය පිළිගන්නේ නම් අපි ඇති කර ගෙන ඇත්තේ නිවැරදි ආකල්පයක් බැවින් විසිර යන මනස දෙස බලා හිඳීම පහසු වන්නේය. මුලදී ඔබ එම සිතිවිලි සමග පැටලෙනු ඇත. නමුත් එහි කිවයුතු වරදක් නැත. කාලයත් සමග ඔබේ පුහුණුව වර්ධනය වීමෙන් විසිර යන මනස දෙස බලා හිඳීම පහසු වූ විට ඒවා ‘සිතිවිලි හැර අන් දෙයක්’ නොවන බව ඔබට වැටහෙනු ඇත. වැඩි වේලාවක් ඒවා අතර අතරමංවී සිටීම ද ක්‍රමක්‍රමයෙන් අඩුවනු ඇත.
  28. විරුද්ධත්වයක් නොපාන්න. බලාපොරොත්තු ඇති කර නො ගන්න. දේවල් ඇති හැටියෙන් පිළිගන්න.
  29. විසිර යන මනස ප්‍රශ්නයක් නොවේ. ප්‍රශ්නය වන්නේ ‘එය එසේ නො යායුතුය’ යන ඔබේ ආකල්පයයි. අරමුණ ඇත්තවශයෙන් ම නො වැදගත්ය. වැදගත් වන්නේ ඔබ එය දකින ආකාරයයි, විමසන ආකාරයයි.
  30. විමසිලිමත්ව සිටිද්දී ඔබ විමසිලිමත්ව සිටින්නේ කුමක් ගැනදැයි දැන ගැනීම නො වැදගත්ය. වැදගත් වන්නේ ඒ වෙත ඇති ඔබේ අවධානයයි.
  31. සෑම මොහොතක් ම භාවනාව සඳහා නිවැරදි මොහොතක්ය.
  32. යම් යම් මානසික අවධීන්ට සමවැදීම සමථයෙහි පරමාර්ථයයි. විපස්සනාවේ පරමාර්ථය ඉගෙනීම හා අවබෝධ කර ගැනීමය.
  33. සති භාවනාව චිත්‍රපටියක් නැරඹීම හා සංසන්දනය කළ හැකිය. සුවපහසු ඇතිව හිඳගෙන තැන්පත්ව එය නරඹන්න. බලා හිඳිනා දෙයින් ඉදිරිපත් කෙරෙන කථාන්තරය හෙළිදරව් වන්නේ ස්වභාවිකවමය. ඔබ බලා හිඳිනා දෙයින් මොනතරම් දේ උගෙනීදැයි යන්න රඳා පවතින්නේ ඔබේ අවබෝධාත්මක ඥානයේ පරිමානය මතය.
  34. ඔබට නිවැරදි ආකල්පයක් නැති විට ඔබේ මනස මොනයම් ආකාරයකින් හෝ කෙලෙස්වල දැවටෙනු ඇත.
  35. විදසුන් නුවණ ලබා ගැනීමේ පළියට ම එය ලබා ගැනීමෙහි හරයක් නැත. මෙහිදී එහි වැදගත්කම ලෙස සැලකිය හැක්කේ එමගින් ඔබේ මනසෙහි ඇති කෙරෙන පරිණාමනය හේතු කොට ගෙන අනාගතයේදී එවන් අවස්ථාවක් හමුවේ කෙලෙසුන්ගේ ආධිපත්‍යයෙන් මිදී කටයුතු කිරීමට ඔබ ලබා ගන්නා හැකියාවය.
  36. මනසෙහි කෙලෙස් ඇති විට ඒවා පවතින බව දැන හිඳින්න. ඒ බව පිළිගන්න. එලෙසම මනසෙහි කෙලෙස් නැති විට ඒ බව දැන හිඳීම ද වැදගත් බව සලකන්න.
  37. අවබෝධය එක දිගට එක පිළිවෙලකට සිදු වන දෙයක් නොවේ. දේවල් අවබෝධ කර ගැනීම නොයෙකුත් ආකාරයෙන්, විවිධ මට්ටමින් හා නොයෙකුත් පැතිවලින් සිදුවිය හැකිය.
  38. ප්‍රඥාව නැඹුරු වන්නේ යහපත් දේ වෙතටය. නමුත් ඒවාට ඇලෙන්නේ නැත. එය අයහපත් දේවලින් අයින් වන්නේය. නමුත් ඒවා වෙත පිළිකුළක් ඇති කර ගන්නේ නැත. නුවණැති හා අනුවණැති කටයුතු අතර වෙනස ප්‍රඥාව හඳුනා ගන්නා අතර අනුවණ කටයුතුවලින් සිදුවන අයහපත ද එය හොඳින් වටහා ගනී.
  39. අවිද්‍යාව ඔබට පෙන්නුම් කර සිටින්නේ දේවල් උඩුයටිකුරු කොටය. වැරදි දේ නිවැරදි දේ ලෙසටත් නිවැරදි දේ වැරදි ලෙසටත් ඔබට මවාපාන්නේ අවිද්‍යාවයි.
  40. කරදරකාරී අවස්ථා වලින් පැනයාමට හෝ ඒවායින් ඉවත් වීමට බලගතු වීර්යයක් හෝ ස්ථානෝචිත ප්‍රඥාවක් අවශ්‍ය නොවේ. නමුත් එසේ හැසිරීමෙන් ඔබේ හැකියාවේ සීමාවන් උරගා බැලීමේ අවස්ථාවන් මගහැරී යන අතර ඔබේ වැඩීමක් ද එමගින් සිදු නොවේ. අපහසුතාවයන්ට මුහුණදීමට හැකියාවක් ඇති කර ගැනීම ඔබේ වැඩීමට මහත් සේ උපකාර වන්නේය. ඒ කෙසේ වෙතත් ඔබට මුහුණ දීමට ඇති අවස්ථාව ගෙන දෙන දුක් දොම්නස් ඉවසා දරා ගත නොහේ නම් අවස්ථානුකූලව මඳක් පසුබැස ප්‍රඥාන්විතව එයට අවශ්‍ය ශක්තිය ගොඩනැගෙන තෙක් නතරවී සිටින්න.
  41. ප්‍රඥාව ගොඩනගා ගැනීම අපේ පරමාර්ථයයි. ප්‍රඥාව වැඩෙන්නේ කෙලෙස් හඳුනා ගැනීමට, අවබෝධ කර ගැනීමට සහ ඒවා අභිභවා යාමට හැකියාව ඇති කර ගත් විටදීය. ඔබේ සීමාවන් පරීක්ෂා කර බැලීමට මෙන් ම ඔබේ වැඩීමට ආධාර වීම පිණිස ක්ලේශයන්ට මුහුණ දීමට අවස්ථාව සලසා ගත යුතුය. ජීවිතයේ අභියෝගයන්ට මුහුණ නො දෙන්නේ නම් ඔබේ මනස දුර්වල මට්ටමක ම පවතිනු ඇත.
  42. සිහිකල්වනාව ජීවිතාන්තය දක්වා ම පුහුණු කළ යුතු කටයුත්තක්ය. එම නිසා ඉක්මන් වීමට හෝ පසුතැවීමට කාරණාවක් නොමැත. නිවැරදි ආකාරයට පුහුණුවෙහි යෙදීම වැදගත් වන්නේ ඔබ එයින් ඉගෙන ගන්නා දේවල් භාවනා ශාලාව තුළදී පමණක් නොව ඉන් පිටත එදිනෙදා ජීවිතයේදී ද ඵලප්‍රයෝජනවත් වන නිසාය.
  43. යම් දෙයක් දැකීමට යොදන ආයාසය වැඩි වූ තරමට ඔබ දකින දෙයෙහි පැහැදිලිකම ද ඒ තරමට ම අඩු වන්නේය. යමක් ඇති හැටියට දැකීමට හැකි වන්නේ ඔබ තැන්පත් වූ තරමටය. ආයාසයෙන් යමක් දැකීමට තැත් නො කරන්නන්හට බොහෝ දේ පෙනේ.
  44. බලවත් සිහිකල්පනාව යම්කිසි බල ශක්තියක් නොවේ. සිහිකල්පනාව බලවත් වන්නේ කෙලෙස් නැති විටය. එමෙන් ම ඔබට නිවැරදි ආකල්පයක් ඇති විටය.
  45. විමසිලිමත්ව බලා හිඳින්නේ කිනම් ආකල්පයකින් යුතුවදැයි දැන හිඳින්න. විමසිලිමත්ව සිටීම පමණක් නො සෑහේ.
  46. ඔබට දැනෙන වේදනාවට හේතුව ශාරීරික ආබාධයක් හෝ දුර්වලතාවයක් නම් ප්‍රවේසම් වන්න. එය උග්‍ර කර ගැනීමෙන් වලකින්න.
  47. බාධක හමුවේ මනස ඇතැම් විට පුහුණුවෙහි යෙදීමට හෝ විමසිල්ලෙන් සිටීමට අකමැත්තක් දක්වනු ඇත. ඔබේ හැකියාවට සහ මානසිකත්වයට අනුව දැනහිඳීම දිගට ම පවත්වා ගෙන යාමට හෝ එතැනින් නතර කොට හොඳ සිහියෙන් සිටීමට හෝ ගන්නා තීරණය ඔබ සතුය.
  48. ඔබේ ජීවිතයේදී අන් අය වෙනුවෙන් කරන හොඳ කටයුතු වලදී මොනයම් ආකාරයක හෝ ප්‍රතිලාභයක් අපේක්ෂා නො කළ යුතුය. එමෙන් ම සිහිකල්පනාව සමග කටයුතු කරද්දී ද මොනයම් ප්‍රතිඵලයක් හෝ හොඳ අත්දැකීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කර නො ගැනීමට ඔබ ඉගෙන ගත යුතුය.
  49. මාන්නය මොට කර ගැනීමට මෙන්ම එහි වර්ධනය මොට කර ගැනීම සඳහා එය හඳුනා ගැනීම අතිශයින් ම වැදගත්ය. ප්‍රඥාව පහල වන්නේ මාන්නය අත්හැර දැමූ විටය.
  50. විදසුන් නුවණ මේ මේ ආකාර විය යුතු යැයි ගතිකානුගතිකව අප විසින් ඇති කර ගෙන ඇති අදහස් උදහස් අන්තරාදායකය. එවැනි අදහස් උදහස් වලට ගැලපෙන අන්දමේ අත්දැකීමක් ලත් විට මාන්නය ඇති කර ගැනීමට පෙළඹීම එක් උදාහරණයක්ය. සත්‍යතාවයේ සැබෑ ස්වරෑපය දැකිය හැක්කේ අදහස් උදහස් හා මතිමතාන්තරවලට වඩා ඔබ්බෙන්ය. අදහස් උදහස් හා මතිමතාන්තර යනු අවිද්‍යාව මුල් කොට ගෙන උපදවා ගන්නා දේවල්ය.
  51. පුහුණුව භාවනා මුළුවකට පමණක් සීමා නො කරන්න. දිනපතා ම එහි යෙදෙන්න. භාවනා මුළුවෙන් පිටව යන විට ඔබේ පුහුණුවත් ඒ සමග රැගෙන යන්න.
  52. මනස බලවත් නම් යම් දෙයක් සමග එය ගැටුණු කල්හි එම දෙය විනිශ්චය කිරීමෙහි එය නො යෙදෙයි. ඇති හැටියෙන් එම දෙය තේරුම් ගනී.
  53. හැකි හැමවිටම, ගැටළු සහගත අවස්ථාවන්හිදී මනස ඒවාට මුහුණ දෙන ආකාරය සෑම දෘෂ්ඨිකෝණයකින් ම බලා හිඳීමට උත්සාහ ගන්න. එවන් අවස්ථාවලදී මනස කටයුතු කරන ආකාරය ගැන ඔබ මනා අවබෝධයක් ලබා ගත්තාට පසු ස්වභාවිකව ම ප්‍රඥාව එහි කාර්භාරය නිසිපරිදි ඉටු කරනු ඇත. ඉදිරියේදී ඔබ එවැනි ගැටළු සහගත අවස්ථාවකට මුහුණ පෑ විට, අනුවණ ආකාරයෙන් ඊට ප්‍රතික්‍රියා දැක්වීම වළකාලන්නේ එම ප්‍රඥාවය. කළ යුතු කුමක්දැයි එය පෙන්නුම් කර දෙන්නේය.
  54. සිතිවිලි දෙස බලා හිඳීම ඇරඹූ මුලදී ම එය මනසින් කෙරෙන කටයුත්තක් ලෙස හඳුනා ගැනීමට ඔබට අපහසු වනු ඇත. මුලදී ඔබ දැනහිඳින්නේ සිතිවිලි සහ ඒවායේ අන්තර්ගතව ඇති දෑ පමණි. නැවත නැවතත් සිතිවිලි දෙස බලා හිඳිමින් පුහුණුවෙහි යෙදී සිටින විට ඔබට පැහැදිලි වන්නේ සිතීමෙහි යෙදෙන්නේ මනස බවය. මෙය වචන වලින් විස්තර කර දීම තරමක් අපහසුය. නමුත් එම අවබෝධය ඇති කර ගත් පසු, මනස අරමුණක් ලෙස සලකමින් එදෙස බලා සිටීමට හැකියාව ඔබ ලබා ගන්නේය. සිතිවිලි මනසෙහි මතු වන විට ඔබට මනසත්, එම සිතිවිලිත් වෙන් කර හඳුනා ගැනීමට හැකිවනු ඇත. මොනයම් මොහොතක හෝ වේවා මතුවන සිතිවිලි පිළිගැනීමට පුරුදුවන්න. ශරීරය මත පමණක් ඔබේ අවධානය යොමු කර ගෙන සිටිමින් මතුවන සිතිවිලි මග නො හරින්න. එමගින් මනසෙහි ස්වභාවය, ඒය ක්‍රියාකරන අන්දම ඔබට මග හැරී යනු ඇත.
  55. ඔබේ සිහිකල්පනාව බලවත්ව දිගින්දිගට ම පවතින විට ඉතා සියුම් දේට පවා ඔබේ අවධානය යොමුවන්නේ නිතැතින්මය. එලෙස සියුම් දේවල් දෙස බලා හිඳීමේ හැකියාව තවතවත් පණපොවන්නේ සිහිකල්පනාවටය. එය අතිශයින් ම සියුම් දේවල් දෙස බලා හිඳීමට ඔබට උපකාර වන්නේය. සියුම් දේවල් නිරීක්ෂණය කිරීමේ හැකියාව දියුණු වන්නේ ක්‍රමක්‍රමයෙන්ය. එය බලය යෙදීමෙන්වත්, මහත් වීර්යයකින් එවැනි සියුම් දේ මත අවධානය යොමු කර ගෙන සිටීමෙන්වත් මුදුන් පමුණුවා ගත නො හැකිය. ශ්‍රද්ධාව, වීර්යය, සති, සමාධි සහ ප්‍රඥා යන අධ්‍යාත්මික ආයතනයන් පහ සමබර කර ගැනීමෙන් ඇති කර ගන්නා වූ මානසික තත්වයක් ලෙස බලවත් සිහිකල්පනාව හඳුන්වා දිය හැකිය. එසේම නිතිපතා පුහුණුවෙහි යෙදීමෙන් ජනිතවන බලශක්තිය මගින් උදා කර දෙන මානසික අවධියක් ලෙසින් ද එය හැඳින්විය හැකිය.
  56. දැනහිඳීම හෝ සිහියෙන් සිටීම එතරම් අපහසු දෙයක් නොවේ. අපහසුව එය අඛණ්ඩව පවත්වා ගැනීමය. මේ සඳහා අවශ්‍ය නිවැරදි වීර්යයි. එනම් නොපසුබට උත්සාහයයි.
  57. තැන්පත්කම හා නිවැරදි මානසිකත්වය පුහුණුවේ ප්‍රධානතම අංගයන්ය. අනෙකුත් සෑම දෙයක් ම දෙවෙනි තැනට ලා හැකිය. ඔබට ඇත්තේ නිවැරදි මානසිකත්වයක්දැයි දැන හිඳීම; ඇත්තෙන් ම “හොඳ භාවනාවකදී” අත්විඳින්නා වූ මනසෙහි සාමකාමිත්වයට වඩා වැදගත්ය.
  58. සෑම භාවනා වාරයකදී ම නිදිමත සෑදේ නම් ඔබ නරක පුරුද්දක් ඇති කර ගෙන ඇත. නිදිමත දැනෙන විට ඇස් අරින්න. එය තවදුරටත් දැනේ නම් නැගිට සක්මන් කරන්න. ඔබ හිඳින්නේ ද, සක්මනෙහි යෙදෙන්නේ ද යනු නො වැදගත්ය. වැදගත් වන්නේ මනසෙහි පිබිඳුණු ගතියයි.
  59. අවදිමත්ව සිටීමට ඔබට සිහිපත් කර සිටින්නේ නිවැරදි වීර්යයයි. යම් අරමුණක් වෙත බලවත් අවධානයක් යොමු කර ගෙන සිටීම නිවැරදි වීර්යයක් ලෙස නො සලකන්න.
  60. සවස්කාලය වන විට ඔබට විඩාව දැනේ නම් බොහෝ විට ඔබ දහවල්කාලය තුළ පමණ ඉක්මවා ශක්තිය වැය කොට ඇත. හරියාකාරව පුහුණුවේ යෙදෙද්දී බලය ආරෝපනය විය යුතුය. බල ශූන්‍යතාවයකින් නො පෙළිය යුතුය. එම නිසා වඩා හොඳ සිහිකල්පනාවක් ඇති කර ගැනීමේ අභිප්‍රායෙන් ශක්තිය වැය නො කරන්න. සිහිකල්පනාවෙන් සිටිය යුතු බව මතක් කරදීම පමණක් සෑහේ.
  61. භාවනාව සඳහා සූදානම් වී දෑස පියා ගත් විට හදිසියේ ම මෙන් සිතිවිලි කන්දරාවක් මනසෙහි මතුවී ඇති බවක හැඟීමක් ඇතිවනු ඇත. එයින් පෙන්නුම් කෙරෙන්නේ මනස ඒ ආකාරයෙන් හැමවිට ම සිතීමෙහි නිරතව සිටි බවය. නමුත් ඒ අවස්ථාවලදී ඒ වගක් ඔබට නො හැඟුණේ ඔබේ ඇස් ඇරී ඇති විට ඔබ බොහෝ සෙයින් අවධානය යොමු කරන්නේ සිතිවිලිවලට නොව බාහිරව දකින දේවල් වෙත හෙයින්ය.
  62. භාවනාව සම්බන්ධව ඔබ අත් කර ගෙන ඇති යම්කිසි දක්ෂතාවයක් වේ නම් එය සුරක්ෂිත කර ගැනීමට හැකි වන්නේ අඛණ්ඩව පුහුණුවෙහි යෙදීමෙන්ය. එම නිසා භාවනා පුහුණුව අත් නො හරින්න. කොතැනක සිටියත් හැකිතාක් දුරට පුහුණුවෙහි යෙදෙන්න. ඔබ උගත් දේ නිකරුනේ නාස්ති වී යාමට ඉඩ නොදී නො පසුබටව කටයුතු කරන්න.
  63. ඔබ දැනහිඳී නම් දැනහිඳින බව දැකීමෙන් සතුට ට පත්වන්න. ඒ නිවැරදි ආකල්පයක්ය. ඔබ අභියස මතුවී ඇති ක්ලේශය පහවී යන බවක ලකුණක් නො පෙනුනත් එය ක්ලේශයක් බව හඳුනා ගැනීමෙන් පමණක් වුව ද සිතේ සතුටක් ඇති කර ගත යුතුය. එය ක්ලේශයක් බව දැන සිටින තාක්කල් ඔබේ කල්ක්‍රියාව යහපත්ය.
  64. කෙලෙස් ධර්මයෙහි කොටසක්ය. ඒවා ප්‍රතික්ෂේප නො කරන්න. ක්ලේශයක් ඉන්මණින් පහව යෑම ගැන එක්තරා යෝගිනියක් කණස්සල්ලට පත්වූවාය. ඒ ඇයට කෙලෙස් අවශ්‍ය වූ නිසා නොව ඇය ඒවායින් ඉගෙනීමට හා ඒවා තේරුම් ගැනීමට මහත් උනන්දුවක් දැක් වූ හෙයින්ය. කෙලෙස් වලට මුහුණ දීමට සිදු වූ විට ඔබේ ආකල්පය ද එපරිද්දෙන් ම සකස් කර ගන්න.
  65. කෙලෙස් යනු කෙලෙස්ය. ඒවා හරි හැටි හඳුනා ගැනීමට උත්සාහ ගන්න. ඒවා ඔබේ කෙලෙස් නොවේ. ඒවා තමන්ගේ හැටියට අල්ලා ගැනීමට හෝ ඒවා ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ ගන්නා හැමවිට ම ඔබ ඒවායෙහි බලය වැඩි වීමට ඉඩ සලසන්නේය.
  66. කෙලෙස් දුරු කරන්නේ ඔබ නොවන බව හැමවිට ම මතක තබා ගන්න. එය ඉටු කර දෙන්නේ ප්‍රඥාවයි. ඔබ සිහිකල්පනාව අඛණ්ඩව පවත්වා ගන්නේ නම් ප්‍රඥාව විකසිත වන්නේ ස්වභාවිකවමය.
  67. යම් කිසිවෙකු ඔබෙන් යමක් සොරා ගෙන ඇත්තේ නම් එය ඔබ විසින් කරන ලද පරිත්‍යාගයක් ලෙස සිතමින් හිත හදාගන්නෙක් වීමට උත්සාහ නො කරන්න. එය මනසින් කරන රැවටිල්ලක්ය. එයින් තමාට සිදුවී ඇති හිරිහැරය නිසා මනසේ මතු වී ඇති කණස්සල්ල හඳුනා ගෙන එය පිළිගන්න! එම අසහනයට කෙලින් ම මුහුණ දී, එය තේරුම් ගැනීමෙන් පමණක් එය සම්පූර්ණ වශයෙන් ම අත්හැර දැමීමට ඔබට හැකි වන්නේය.
  68. තැන්පත් බව අත්විඳීම එතරම් වැදගත් නැත. තැන්පත්කම මතුවන්නේ කෙසේද එමෙන්ම එය මතුනොවන්නේ මන්දැයි දැන හඳුනා ගැනීම ඊට වඩා වැදගත්ය.
  69. තථ්‍යතාවය දැන ගැනීම සඳහා ඔබ නිර්භීතමත් විය යුතුය. සත්‍යතාවය වෙත ළඟා වීමට ඔබට අවශ්‍යතාවයක් ඇතහොත් පළමුව තමා හඳුනා ගැනීම සඳහා භාවනාවෙහි යෙදීම ආරම්භ කළ යුතුය. තම මනසෙහි කෙලෙස් ඇති බව පිළිගැනීම මූලික පියවරය. ප්‍රවේශය එය වේ. අප සැමට අවශ්‍යව ඇත්තේ තමන් හොඳ පුද්ගලයෙකු බව කියා පෑමට නිසා අපේ හොඳ පැත්ත පමණක් පෙන්වා සිටීමට අපි තැත් කරන්නෙමු. කෙලෙස් වලට අපි මුහුණ නො දෙන්නේ නම් අවසානයේදී තමන්ටත්, අනුන්ටත් අපි ‘බොරුව’ මවා පාන්නෙමු. ඔබේ ම යහපත සඳහා කටයුතු කරන්නෙකු නම් ඔබේ වැරදි පැත්ත ද දැකිය යුතුය. අව්‍යාජවන්තව ඔබේ ගුණ යහපත්කම් මෙන් ම, ඔබේ නුගුණ දැකීමේ හා පිළිගැනීමේ ආරම්භය වෙත ළඟා වී ඇත්තේ නම් ඔබේ කටයුතු හොඳින් කෙරෙන බව පැවසිය හැකිය.
  70. සිතීමෙන්, කථා කිරීමෙන් හෝ ක්‍රියා කිරීමෙන් වැළකී සිටින්න යයි බුදුරජාණන් වහන්සේ කිහිපවිටක් පවසා ඇත. උන්වහන්සේ අනුදැන වඳාළේ කෙලෙසුන්ගේ මනාපයට අනුව සිතීමෙහි, කථා කිරීමෙහි හෝ ක්‍රියා කිරීමෙහි නො යෙදී ප්‍රඥාව පෙරදැරි කරගෙන එම කටයුතු වල නිරත වීමටය.
  71. කතාබහ කරන විට අවධානය පිටතට යොමු කිරීමට අපි ඇබ්බැහි වී සිටින්නෙමු. කතාබහට මුල් වූ මාතෘකා සහ පිළිසඳරෙහි යෙදී ඇති පුද්ගලයා පිළිබඳව අපි වැඩි සැලකිල්ලක් දක්වන්නෙමු. බොහෝ විට අපි වැඩි සැලකිල්ලක් දක්වන්නේ අනෙක් පුද්ගලයාගේ මනෝභාවයන් පිළිබඳවය. ඒ වෙනුවට නො කඩවා ම තමන්ගේ ඇතුළාන්තය බලා හිඳීමට පුහුණුවන්න. ස්වභාවිකව ම එම දක්ෂතාවය ක්‍රමක්‍රමයෙන් ගොඩනැගෙනු ඇත. ඒ අතර ම ඔබේ ආකල්පය කෙරෙහි අවධානයෙන් සිටීමට ද අමතක නො කරන්න. පිළිසඳරෙහි යෙදෙද්දී මනෝභාවයන්ගෙන් ඈත්වී සිටි පමණ කෙතරම් ද එපමණට අවබෝධය උදාපත්වනු ඇත. ඔබේ සීමාවන් හඳුනා ගැනීමත්, කථාව නතර කිරීමට සුදුසු කාලය ගැන දැනුවත් වීමත්, කථා කළ යුතු හා කථා නො කළ යුතු දේ මොනවාදැයි ප්‍රත්‍යක්ෂ වීමත්, මනෝභාවාත්මකව නො පැටලෙමින් සංවාදයේ යෙදෙන්නේ කෙසේදැයි දැන ගැනීමත් මේ සමග ම ඇරඹෙනු ඇත.
  72. යම් අරමුණක් දෙස බලා හිඳින විට ඒ වෙත ඇති ඔබේ අවධානය නැවත නැවතත් පරීක්ෂා කර බැලිය යුතුය. එසේ කිරීමෙන් අරමුණ වෙත ඇති අවධානය ගැන; අවධානයෙන් සිටීමට ඔබට හැකි වන්නේය. වෙනත් අයුරකින් පවසනවා නම් දැනහිඳිනා මනස; දැනහිඳීමට ඔබ ඉගෙන ගන්නේය.
  73. භාවනාවෙහි යෙදීමට ඇති හැකියාව වර්ධනය වීමත් සමග ම භාවනාව පිළිබඳ හොඳ අවබෝධයක් ඔබට ලැබී ඇතැයි යන අදහස සිතෙහි මතුවිය හැකිය. නමුත් එවැනි හදිසි නිගමනයන් වෙත එළඹීමෙන් සිදුවන්නේ භාවනාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීම ඇණහිටීමය.
  74. භාවනාව පිළිබඳ පුළුල් ගැඹුරු අත්දැකීම් බහුලවීමත් සමග ම ඔබ එම අත්දැකීම්වල ස්වභාවයන් පිළිබඳ යම් යම් නිගමනයන් වෙත එළඹීමට නැඹුරුවක් දක්වනු ඇත. අනිත්‍ය වැනි ගැඹුරු මූලික සත්‍යතාවයන් පිළිබඳ මුහුකුරා ගිය නුවණක් ඇත්තෙකුය යන හැඟීම ද පහළ වනු ඇත. එවැනි උපකල්පනයන් ඇති කර ගැනීමෙන් සිදුවනේ, තවතවත් ගැඹුරින් සොයා බැලීමට ඇති උනන්දුව බාල වීමෙන්, ඔබේ ප්‍රගතිය මන්දගාමී වීමය.
  75. ඔබේ මනසෙහි මතුවන සියුම් ආවේගයන් පවා සනිටුහන් කර ගැනීමට හැකියාව ලත් විට ඔබට පෙනී යන්නේ, ඒ සමග ම මනසෙහි හට ගන්නා සියුම් චේතනා පිටුපසින් ඇත්තේ ක්ලේශයන් බවය.
  76. “කොතෙක් වේලා මම හිඳගෙන සිටිමිද?” යනුවෙන් තීරණයක් නො ගන්න. කාලය මගින් ආතතියක් ඇති කිරීමට එය හේතුවක් විය හැකිය. භාවනා මුළුවකට සහභාගි වෙද්දී ඔවුන් ඉදිරිපත් කරන කාල සටහන අකුරට ම පිළිපැදීමට තදින් සිතට නො ගන්න. හැකිතාක් දුරට සෑම ඉරියව්වකදී ම ඔබේ සිහිකල්පනාව අඛණ්ඩව පවත්ගෙන සිටීමට මනසට මතක් කර දෙන්න.
  77. ප්‍රගතිය පිළිබඳව උවමනාවට වඩා සැලකිලිමත් වීමට ගියහොත් මේ මොහොතේ පූර්ණ අවධානය ඔබ වෙතින් ගිලිහී යාමට ඉඩ ඇත. ඔබේ ආකල්පය ගැන විමසිලිමත් වීම වැදගත් වන්නේ ඒ නිසාය. “නිවැරදි ආකල්පය දිගින්දිගට ම පවත්වා ගනිමි” යනුවෙන් ඇති කර ගන්නා ආකල්පය වැරදි ආකල්පයක් ලෙස තමා අවබෝධ කර ගත් බව එක්තරා යෝගියෙක් පවසා ඇත.
  78. පෙලඹවීම හේතුකොට ගෙන සෑම චේතනාවක් ම හට ගනී. පෙලඹවීම් බොහොමයක් ම කෙලෙස්ය. කෙලෙස් හොඳා කාරව හඳුනා ගැනීමෙන් හා තේරුම් ගැනීමෙන් පමණක් ප්‍රඥාව පහළ වේ. එවිට ඔබේ චේතනාවන් සඳහා පෙලඹවීම ඇති කරන්නේ ප්‍රඥාවය.
  79. කෙරෙන කරන සෑම ක්‍රියාකාරකමකම මූලාරම්භයේදී ම පමණක් චේතනා හට ගන්නා බව පැවසිය නො හැකිය. ක්‍රියාවෙහි යෙදී සිටිනා මොහොතක් මොහොතක් පාසා ම චේතනා හට ගනී. එපමණක් නොවේ; දැන් ඔබ මේ හිඳගෙන සිටින සිටින සෑම මොහොතක් ම චේතනාත්මකය. මෙය සිතෙහි තබා ගැනීම වැදගත්ය.
  80. කෙලෙස්වල ඇති භයානකත්වය දැන හඳුනා ගැනීමෙන් පසු හැමවිට ම හැකිතාක් දුරට මනස ධනාත්මකව පවත්වා ගැනීමට ඔබට අවශ්‍යවනු ඇත.
  81. වස්තූන් සමග ගැටීම ස්වභාවිකව ම මනස උරුම කොට ගෙන ඇති හෙයින් වස්තූන් දැක ගැනීමට විශේෂ උත්සාහයක් ගැනීමට අවශ්‍යතාවයක් නැත. එතැන ඇති දේ දකින්න, ඒ ගැන දැනුවත් වන්න, දැකීමට සුදුසු දේ කුමක්දැයි සිතා බැලීමට තැත් නො කරන්න. ඔබේ අත්විඳීම හැසිරවීමට හෝ පාලනය කිරීමට යාම අනවශ්‍ය කටයුත්තක්ය.
  82. භාවනාව ආරම්භයේදී ම බොහෝ දෙනෙක් “පුහුණුව මේ මේ ආකාරයෙන් සිදුවිය යුතුය” යන ස්ථිර නිගමනයන්ට බැස ගැනීමට පෙළඹෙති. නමුත් භාවනාවේදී යමක් කිරීමට හෝ නිර්මාණය කිරීමට අවශ්‍යතාවයක් නොමැත. විමසිල්ලෙන් බලා හිඳීම සඳහා ඔබ කළ යුත්තේ අඛණ්ඩව සිහිකල්පනාව පවත්වා ගැනීමය. කළ යුතු එපමණය. යමක් සිදු වීමට සැලැස්වීම ඔබට කළ නො හැකිය. නමුත් නිවැරදි සිහිකල්පනාව දියුණුවට පත්කර ගත් විට දේවල් සිදුවීම ඇරඹේ. සුළු අවබෝධයක් හෝ ගැඹුරු අවබෝධයක් වේවා, වෙනකක් තබා නිවන් අවබෝධය ම වේවා, ඊට අඳාළ ප්‍රඥාව පහළවන ආකාරය පිළිබඳව ද මෙය සත්‍යයක්ය.
  83. ඔබට යමක් කළ හැක්කේ ඵලය සමගින් නොවේ. ඊට හේතුභූත වන කරුණු කාරණා සමගින්ය. යමක් ඉලක්ක කර ගත් පමණින් එය අයත් කර ගත නො හැකිය. උදාහරණයක් වශයෙන් ඒකාග්‍රතාවය සඳහා වෙර වැඩීමෙන් පමණක් මනස ඒකාග්‍රතාවය වෙත නො එළඹේ. ඒකාග්‍රතාවය දියුණු කර ගන්නේ කෙසේදැයි ඔබ උගත යුතුය. එය දියුණු වන්නේ නිවැරදි ආකල්පයකින් යුතුව සිහිකල්පනාව දිගින්දිගට ම පවත්වා ගැනීමෙන්ය. ඇත්තවශයෙන් ම ඔබට කළ හැක්කේ සිහිකල්පනාවෙන් සිටීමට තමන්ට ම මතක් කර ගන්මින් ඔබ එහි යෙදී සිටින්නේ නිවැරදි ආකල්පයකින් යුතුවදැයි පරීක්ෂා කර බැලීම පමණක්ය. වෙනත් වචන වලින් පවසනවා නම් ඔබට ඇත්තේ නිවැරදි සිහිකල්පනාවක් සහ නිවැරදි වීර්යයක් නම් නිවැරදි ඒකාග්‍රතාවය උදාවන්නේ ස්වභාවිකවම ය. හේතුව සහ ඵලය අතර ඇති සම්බන්ධතාවය ඔබ මැනවින් අවබෝධ කර ගෙන ඇත්තේ නම් ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට ඔබට හැකි වන්නේය. ඔබේ අභිමතාර්ථය සපුරා ගැනීම සඳහා අවශ්‍යවන හේතූන් සහ වාතාවරණය ගැන අවබෝධයක් ඇද්දැයි හැමවිට ම ඔබෙන් විමසා බලන්න. ඉන්පසු එම හේතූන් සහ වාතාවරණය සකසා ගැනීම සඳහා අවශ්‍යවන කටයුතු සම්පාදනය කර ගන්න. මෙම නිවැරදි දෘෂ්ඨිය ඔබට තිබිය යුතුමය.
  84. නිවැරදි සිහිකල්පනාව යනුවෙන් අදහස් කරන්නේ නිවැරදි අරමුණ වෙත ඇති දැනහිඳීම අමතක වන්නට ඉඩ නො හරිමින් එය දිගින්දිගට ම පවත්වා ගැනීමය. නො පසුබට උත්සාහය නිවැරදි වීර්යයයි. මනසෙහි ස්ථාවරත්වය හෝ නිසලතාවය නිවැරදි ඒකාග්‍රතාවයයි. ඔබ අත්විඳිනා දෙය නිවැරදි අරමුණයි. උදාහරණයක් ලෙස සිතෙහි තරහ මතු වූ විට තම අරමුණ විය යුත්තේ තරහ හේතු කොට ගෙන හටගත් මනෝභාවය මිස තරහ ඇති කර ගත් පුද්ගලයා නොවේ.
  85. පුහුණුව බරපතල දෙයක් ලෙස නො සලකන්න. සාමකාමීව ගෞරවයකින් යුතුව එහි නියැලෙන්න.
  86. “දිගින්දිගට ම ඔබ බලා සිටින්නේ එක ම දෙයක් දෙසය” යන සිතිවිල්ල මනසෙහි මතුවුවහොත් ඔබ උදිසීන බවට පත් වන්නේය. එනමුත් ඉතා සමීපව ඔබේ අත්විඳීම දෙස බලා සිටියහොත් ඔබට පෙනී යන්නේ අත්විඳීම එක හා සමාන යයි පැවසිය හැකි මොහොතවල් දෙකක් එතැන නොමැති බවය. නීරස බවක් ඔබට දැනෙන්නේ “බලා හිඳින්නේ එක ම දෙය යයි” ඔබ සිතන නිසාය. කිසිකලෙක කිසිවක් එක ලෙස නො පවතී. හැමවිට ම, හැම මොහොතක ම නවතාවයක් ඇත. සත්‍යවශයෙන් ම ඔබ මෙය දැකගත් විට ඕනෑම දෙයක් දෙස මහත් උනන්දුවකින් බලා හිඳීමට මනස හුරුවනු ඇත. ඉන්පසු කිසි ම මොහොතක් නීරස නො වන්නේ ‘දේවල්’ සියල්ලක් ම නොකඩවා වෙනස්වන බව ඔබේ අත්දැකීම තුළින් ඔබට ප්‍රත්‍යක්ෂවන හෙයින්ය.
  87. ඔබට හැඟෙන ආකාරය මෙහෙයවනු ලබන්නේ ඔබේ සිතිවිලිය. “ඔබ කරන දේවල්” ඔබ විසින් දකින ආකාරය ඉතා වැදගත්ය.
  88. පුහුණු වීමෙන් ලැබෙන ඵලප්‍රයෝජන වටහා ගත්තෙකු කිසි දිනෙක පුහුණුව අත්හැර නො දමනු ඇත. එය අත්හැර දැමූවෝ පුහුණුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි පූර්ණ වශයෙන් වටහා නො ගත් පුද්ගලයෝය.
  89. යම් මොහොතක දැන් කළ යුතු කුමක්දැයි කියාවත් සිතාගත නොහැකි තත්වයකට මනස වැටී ඇත්නම් නතර වෙන්න, කිසිවක් නො කර ඉන්න.
  90. පූර්ණ සිහිකල්පනාව ඇත්තේ මනස දැනුවත් කමින් පරිපූර්ණ වූ විටය.
  91. දැනුවත්කම දියුණු වීමට කාලය අවශ්‍යය. දැනුවත්ව සිටීමට මුල් අවධිවලදී හැමවිටම මනසට මතක් කර දිය යුතු නමුත් එය බලගැන්වීමත් සමග ඔබ ස්වභාවයෙන් ම සිහිකල්පනාවෙන් යුතු අයෙකු බවට පත්වන්නේය. සිහිකල්පනාව බලගැන්වීම බලයෙන් කළ හැකි දෙයක් නොවේ. නිරතුරුව ම දැනුවත්ව හිඳීමෙන් පමණක් එහි බලගැන්වීම සිදුවේ.
  92. මනස පිරිසිදු බවින් යුතුව, තැන්පත්ව, උපේක්ෂා සහගතව පවතින විට ඉතා සියුම් ක්ලේශයකින් හටගත් ශාරීරික ආතතියක් වුවත් ඔබට ක්ෂණිකව හඳුනා ගැනීමට හැකි වන්නේය.
  93. ක්ලේශයන් තේරුම් ගැනීමට නම් ඔබ ඒවා දෙස නැවත නැවතත් බලා සිටිය යුතුය. හොඳ අත්දැකීමක් බලාපොරොත්තු වීමෙන් හෝ අත්විඳීමෙන් ඔබ අත්කර ගන්නා ප්‍රතිඵලය කුමක්ද? ඔබ ක්ලේශයන්ගේ ස්වභාවය හඳුනා ගන්නේ නම් ඒවායේ බලය හීනවී යන්නේය. ක්ලේශයන් හසුරුවා ගැනීමට ඔබට හැකියාව ලත් විට හොඳ අත්දැකීම් උදාවන්නේ ස්වභාවිකවම ය. කෙලෙස් සමග කටයුතු කිරීම පසෙකට ලා හොඳ අත්දැකීම් බලාපොරොත්තුවෙන් කල්මැරීම බොහොමයක් යෝගීන් විසින් කරනු ලබන අනුවණ ක්‍රියාවක්ය.
  94. යම් යම් දේ පිළිබඳව දැනුවත්ව සිටීම කාලය අපතේ හැරීමක් ලෙස ඇතැම් විට ඔබට හැඟෙනු ඇත. ඒ අදහස සම්පූර්ණයෙන් ම වැරදිය. පුහුණුවට මූලිකව ම පිහිටාධාර වන්නේ දැනහිඳීම මිස දැනහිඳිනා දෙය නොවේ. දැනහිඳීම පවතිනතාක් කල් ඔබ ගමන් කරන්නේ නිවැරදි මාර්ගය ඹස්සේය.
  95. “මගේ සිත කිලිටිව ඇතැයි” නො සිතා කෙලෙස්, කෙලෙස් හැටියට සලකා බැලීමට ඉගෙන ගන්න.
  96. සිහිකල්පනාව දියුණු වී ඇති මට්ටම ඒ හැටියෙන් ම පිළිගත යුතුය. ප්‍රශ්න උද්ගත වන්නේ එය කිනම් මට්ටමක පැවතිය යුතුදැයි උපකල්පනය කර ගැනීමෙන්ය. ඔබේ සිහිකල්පනාව දැනට පවතින මට්ටම ඔබ නො පිළිගන්නේ නම් ඔබට ඇත්තේ වැරදි ආකල්පයක්ය. එසේ නම් ඔබ බොහෝ විට යෙදී ඇත්තේ මනඃකල්පිත අත්දැකීම් ලබා ගැනීමට වෙහෙසෙමින්ය.
  97. නිවැරදි සමබරතාවය ඔබ සොයා ගන්නේ අන්තයන් අත්විඳීමෙන් හා ඒවා හරියාකාරව අවබෝධ කර ගැනීමෙන්ය.
  98. සිහියෙන් සිටීමට තදබල ආයාසයක් යෙදීම අනවශ්‍යය. මේ මොහොතෙහි රැඳී සිටින්නේ නම් මෙතැන සිදුවන දේ ගැන දැනුවත්කමක් අපට ලැබෙන්නේය. සිහියෙන් සිටීමට අවශ්‍ය කරන මුලුමහත් ආයාසය ම, හැම මොහොතක ම මෙතැන රැඳී සිටීමට මතක් කර ගැනීම පමණක් බව සිහියට ගන්න.
  99. සිහිකල්පනාව බලගැන්වෙන විට සිහියෙන් සිටින බව දැනහිඳින සිහිකල්පනාව ම තවතවත් එය බලවත් කරන්නේය.
  100. මනස සාමයට හා තැන්පත් බවට පත් වූ විට ඔබ බලා හිඳින්නේ අසවල් අරමුණ දෙස යයි ඔබට පැවසිය නො හැකිය. එම මොහොතෙහි ගැබ්වී ඇති බලශක්තිය හා ගුණාත්මකභාවය හඳුනා ගැනීමට එය අවස්ථාවක් කර ගන්න.
  101. ඔබේ පුහුණුව මෝරා වැඩුණු විට අපහසු අවස්ථාවක් සමග කටයුතු කිරීමට ඔබට හැකියාවක් ලැබෙන්නේ, එම අවස්ථාවන් උදා වීමට තුඩු දුන් පසුබිම ඔබට වැටහෙන හෙයින්ය. පසුබිම හොඳින් අධ්‍යයනය කර ගැනීමෙන් පසු ඊට තුඩුදුන් හේතු ප්‍රත්‍යයන් සමග කටයුතු කිරීම ඔබට පහසු වන්නේය. එය එසේ නම්, ගැටළු සහගත අවස්ථාවන්, ඉගෙනීම සඳහා ලත් මාහැඟි අවස්ථාවන් ලෙස ඔබ නො සලකන්නේ මන්ද?
  102. උපකල්පනයන් නැතහොත් අනුමාන කිරීම් ගැන ඔබ විශේෂයෙන් ම සැලකිලිමත් විය යුතුය. ඒවාට පදනම් වන්නේ වැරදි දෘෂ්ඨියයි. එමගින් ඇති දේ ඇති හැටියෙන් වටහා ගැනීමට ඇති ඉඩකඩ ඇහිරී යන්නේය.
  103. ඈත් මෑත් වී බැලීමෙන් දේවල් හොඳාකාරව තේරුම් ගැනීම විපස්සණාවෙහි අදහසය. ඒකාග්‍රතාවයෙන් අදහස් කරන්නේ අරමුණට කිඳාබැස එතැන ම රැඳී සිටීමය. ඈත් මෑත් වී බැලීම අවබෝධය උදාවීමට ඉඩ සලසයි.
  104. ආරම්භයේදී ඔබ කළ යුතුව ඇත්තේ දැනුවත්ව හිඳීමය. ක්‍රමවත්ව දිගින්දිගට ම මේ මොහොත වෙත සිත යොමු කිරීමේ හැකියාව ගොඩනගාගත් විට ඔබ දැනහිඳිනා දේ ගැන විමසිලිමත් වීම හෝ ඒ පිළිබඳව මෙනෙහි කිරීම ආරම්භ කළ හැකිය.
  105. සිතිවිලි ඇත්තේ මනසෙහිය. සාමය ඇත්තේ ද මනසෙහිය. මේ දෙය තේරුම් ගැනීමෙන් පසු ‘මගේ’ යන හැඟීමෙන් ඒවා පෞද්ගලීකරණය කර ගැනීමකින් තොරව ඒ දෙස බලා හිඳිය හැකිය. සාමය යනු මනසෙහි පවතින තත්වයක් ලෙස හඳුනා නො ගතහොත් ඔබ ඒ වෙත ඇදී යනු ඇත. ඇදී යාමෙන් හෝ අල්ලා ගැනීමට යාමෙන් එය පවත්වා ගත නො හැකිය.
  106. ඔබේ ආකල්පය කුමක්දැයි සොයා බලන්නේ ද සිහිකල්පනාවය.
  107. භාවනාවෙහි යෙදෙන්නේ කෙසේදැයි නොදත් විට හෝ භාවනාවට ඇති කැමැත්ත හීන වී ගිය විට එයින් කම්පාවට පත් නො වන්න. භාවනාවට අනිසි බලපෑමක් නො කර තැන්පත්ව සිටීමට සිත දිරි ගන්වන්න. ටික කාලයකට පසු භාවනාවට ඇති කැමැත්ත ස්වභාවිකව ම නැවත උදාවනු ඇත. බලවත් ආයාසයක් යෙදීමෙන් සිදු වන්නේ එය තවතවත් අසීරු වීම පමණක්ය.
  108. විරෝධතාවයක හැඟීමක් මනසෙහි උද්ගත වූ විට එයට කෙළින් ම මුහුණ දෙමින් එය අත්විඳීමට ඉගෙන ගන්න.
  109. භාවනාවේදී මතුවන අපහසුතාවයන්ට මුහුණදී ඒවා අත්විඳිමින් ඒ සමග කටයුතු කිරීමට බොහෝ දෙනෙකු අකමැතිය. බොහෝ සෙයින් ම අපට යමක් උගත හැකි වන්නේ සුවපහසු අත්දැකීම් වලින් නොව කටුක අත්දැකීම් වලින්ය. සමහර විට ඒවා ඉතා ගැඹුරු අවබෝධයක් උදාකරලීමට ඉඩ සලසනු ඇත. එම නිසා හොඳ මෙන් නරක අත්දැකීම් ද අත්විඳීමට පුරුදු වන්න.
  110. පොතපත කියවීමෙන් ලබාගන්නා ඥානයෙහි වැදගත් කමක් ඇත. නමුත් එම චින්තනාත්මක අදහස්වල එල්ඹ නො ගන්න. තමා ලත් අත්දැකීමක් එවැනි යම් න්‍යායාත්මක අදහසක් සමග සැසඳේයයි හැඟුණු සැණින් තීරණයන් වෙත නො එළඹෙන්න. අවබෝධාත්මක යමක් තත්වාකාරයෙන් වැටහුණු විට ඒ පිළිබඳව ඔබ දරණ න්‍යායාත්මක අර්ථනිරූපනය හා ඔබේ සැබෑ අත්දැකීමෙන් ලත් අවබෝධය අතර ඇති බලවත් වෙනස ඔබට හොඳින් පැහැදිලි වනු ඇත.
  111. ඔබට සැබැවින් ම අත්විඳිය හැක්කේ මේ මොහොතේ සිදුවන යමක් පමණක්ය. අතීතයෙහි සිදුවී ඇති යමක් හෝ අනාගතයෙහි සිදුවිය හැකි යමක් ඔබට අත්විඳිය නො හැකිය.
  112. සිදුවන දේ සමග නො පැටලෙන්න. ඒ ගැන දැනුවත්ව සිටීමට පමණක් ඉගෙන ගන්න.
  113. ඔබ දැනුවත්ව සිටින බව දනී නම් ඔබ භාවනාවෙහි නිරතව ඇත.
  114. ස්වභාවිකව, අරමුණ තෝරා ගැනීමට මනසට ඉඩ දෙන්න. ඔබට ඇත්තේ ඔබේ සිහිකල්පනාවෙහි ඇති ගුණාත්මකභාවය ගැන සිහි එළවාගෙන සිටීම පමණක්ය.
  115. ඔබේ දැනුවත්කම පිළිබඳව විමසිලිමත්ව සිටීමට හැකියාව ඇති කර ගත් විට දැනුවත්කම පවතින බව සැකහැර දැනහිඳිනවාක් මෙන් ම සුළු මොහොතකට හෝ එය ගිලිහී ගිය විට එය නොපවතින බව ද ඔබ දැනගනී.
  116. එදිනෙදා ජීවිතයේදී සිහිකල්පනාව දිගින්දිගට ම පවත්වා ගැනීම අපහසු කාර්යයක් වූවත් එය පුහුණු කිරීමට නොමඳව උත්සාහවන්ත විය යුතුය. සිහිය පවත්වා ගැනීමට දරණ සුළු වෑයමකින් පවා ඔබේ ජීවිතයෙහි සැලකිය යුතු වෙනසක් ඇති කරන බව වැඩිකල් නොයවා ම ඔබට ප්‍රත්‍යක්ෂ වනු ඇත.
  117. “අසවල් දේ දැකිය යුතුය” යනුවෙන් ඇති කර ගත් පූර්ව නිගමනයකට අනුව යමක් දැකීමට බලාපොරොත්තුවෙන් සිටීම සති භාවනාවක් නොවේ. සති භාවනාවෙන් අදහස් කරන්නේ ඔබ අභියසට පැමිණෙන්නා වූ යමක් වේ ද, ඒ ගැන දැනුවත්ව හිඳීමය.
  118. ඔබ යමක් නිරීක්ෂණය කරන විට එය තමන්ගේ දෙයක් ලෙස නො සලකන්න. ‘මමය’, ‘මගේය’ යන සිතිවිල්ල ඉවත් කර ගන්න. එය දැනහිඳිය යුතු, නිරීක්ෂණය කළ යුතු හා අවබෝධ කර ගත යුතු දෙයක් ලෙස සලකා එපමණින් එය පිළිගන්න.
  119. සිහිකල්පනාවට පැවරී ඇති කටයුත්ත දැනහිඳීම පමණක්ය. යහපත් කටයුතු අයහපත් කටයුතු තෝරා බේරා ගැනීමේ වගකීම පැවරී ඇත්තේ ප්‍රඥාවටය.
  120. සත්‍යවශයෙන් පිළිගැනීම හා සත්‍යවශයෙන් ම අත්හැරීම උදා කර දෙන්නේ ප්‍රඥාවය.
  121. ප්‍රඥාවෙන් යුතු හැමවිටම ඔබට දැනුවත්කමක් ඇත. නමුත් දැනුවත්ව සිටි පලියට ඔබ ප්‍රඥාවෙන් යුක්ත යැයි ඉන් අදහස් නො කෙරේ.
  122. හිඳගෙන භාවනා කිරීමට මත්තෙන් ඔබේ ආකල්පය කෙබඳුදැයි සොයා බැලීමට අමතක නො කරන්න. සරලවන්න, හිඳගන්න, සිදුවන්නේ කුමක්දැයි බලා හිඳින්න. මේ දැන්, ඔබ කරමින් සිටින්නේ කුමක්දැයි දැනහිඳීම ඔබට අපහසුද?
  123. ආරම්භයේදී ප්‍රඥාව පහළවන්නේ දැනුවත්කම ඇතිවීමෙන්‍‍‍‍ කෙටිකාලයකට පසුවය. කෙසේ නමුත් කාලයාගේ ඇවෑමෙන්, පුහුණුව තුළින් ඔබේ ප්‍රඥාව වැඩි දියුණු වූ විට ප්‍රඥාවත්, දැනුවත්කමත් ඇති වන්නේ එකවරමය.
  124. දේවල් හොඳ නම් ඒවාට නො ඇලීමට ඉගෙන ගන්න. දේවල් නරක නම් ඒවා පිළිගැනීමට පුරුදු වන්න.
  125. පුහුණුව ආරම්භයේදී බලා හිඳිය යුතු දේවල් පමණ ඉක්මවා ඇතැයි යන හැඟීමක් ඔබ තුළ ජනිත වන්නේය. නමුත් මානසික බලවේගය ගොඩනැගෙත් ම අවට දේවල් සිදුවන්නේ අප සිතනවාට වඩා හෙමින් සීරුවේ බව ඔබට පෙනී යනු ඇත. විස්තර සහිතව ඒ සෑම දෙයක් ම දැනහිඳීමට එයින් ඔබට ඉඩකඩ සැලසෙන්නේය. ගමන් කරන දුම්රියක් සමග මෙය සමාන කළ හැකිය. දුම්රිය මග අසලට වී ඉදිරියෙන් දිව යන දුම්රියක් දෙස බලා සිටියහොත් එය ඔබ පසු කර ගෙන වේගයෙන් යන බව දුටුවත් විස්තරාත්මකව එහි යමක් දැකිය නො හැකිය. සමාන්තරව එක ම දෙසට සමාන වේගයෙන් ගමන් ගන්නා දුම්රිය දෙකක් ගැන දැන් සිතන්න. ඉන් එක් දුම්රියක ඔබ ගමන් කරන්නේ නම් අනෙක් දුම්රිය පූර්ණවශයෙන් ම දැක ගැනීට ඔබට නො හැකි වූවත් විස්තරාත්මකව එය දැක ගැනීමට අවශ්‍ය කාලය ඔබට ලැබෙන්නේය.
  126. හිඳගෙන භාවනා කරද්දී ඔබේ මුහුණෙහි පවතින වේදනා ගැන සංවේදී බවක් ඔබට ඇති කර ගත හැකි නම් ඔබ තැන්පත් බවින් යුතු වූවෙක්ද. නැත්‌ෙතක්දැයි එමගින් ඔබට නිගමනය කළ හැකිය. සිත එක්තැන් කර ගැනීමට ඔබ බලය තදින් යොදන්නේ නම් එය ඔබේ මුහුණින් පිළිඹිඹු වනු ඇත. යම් පුද්ගලයෙක් සත්‍යවශයෙන් ම තැන්පත්බවින් යුතු නම් ඔහුගේ මුහුණ ඉතා පැහැපත්ය, මුදු මොළොක්ය, සාමකාමීය.
  127. මනස වැනි දෙයක්, තැකීමකින් තොරව පසෙකට දමා තැබීමට සුදුසු දෙයක් නොවන බව හොඳින් තේරුම් ගන්න, තරයේ මතක තබා ගන්න. නිරතුරුව ම එය රැකබලා ගත යුතුය. ඔබ ගෙවත්ත ගැන සැලකිලිමත් නො වන්නේ නම් එය වල්පැලෑටි වලින් වැසී යනු ඇත. ඔබ මනස ගැන සැලකිලිමත් නො වන්නේ නම් එය ක්ලේශයන්ගෙන් පිරී ඉතිරී යනු ඇත. මනස ඔබට අයත් නො වූවත් එයට වගකිව යුත්තේ ඔබය.
  128. හැඟීම් ඇවිස්සී ඇති විට සිහිකල්පනාව දුර්වලය.
  129. තණ්හාව (ලෙස හඳුන්වන කැමැත්ත) අයහපත් චේතනාවක්ය. ඡන්දය (ලෙස හඳුන්වන කැමැත්ත) යහපත් චේතනාවක්ය. ඡන්දය පෙන්නුම් කර සිටින්නේ ප්‍රඥාවය.
  130. සාමකාමීව දැනහිඳින්න. සාමකාමී බවට පත්ව ඇති බව පිළිබඳ දැනීම; දැනහිඳින්න. සාමයෙහි ආශාවකින් ගිලී ඇද්ද, එයට ඇලීමක් ඇති කර ගෙන ඇද්ද, නො එසේ නම් ඔබ තවමත් එය පිළිබඳව දැනුවත් බවින් පමණක් යුක්තදැයි ඔබට එම දැනීම පෙන්නුම් කර දෙන්නේය.
  131. බලාපොරොත්තු මනසෙහි මතු වූ විට ඒවායෙහි ස්වභාවය දැන ඉගෙන ගන්න. යම්කිසිවෙක් කෙරෙහි අමනාපයක් හෝ කළකිරීමක් ඇති වූ සෑම විටක ම හෝ වටපිටාවෙහි සිදුවන දේවල් පිළිබඳව අප්‍රසාදයක් ඇති වූ සෑම කල්හි ම, යම් යම් බලාපොරොත්තු සහගත හැඟීම් නො වරදවා ම ඔබේ මනසෙහි රැව් පිලිරැව් දෙමින් ඇතිවාට සැක නැත.
  132. තණ්හාව පසුපස නො යන්න. එහි ස්වභාවය ගැන ඉගෙන ගැනීමට කාලය ටිකක් වැය කරන්න. එහි ගතිලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරන්න. හැමවිටම ඔබ තණ්හාවෙහි වසඟයට පත්වන්නේ නම් ඔබ කිසිදිනෙක එහි ස්වභාවය තේරුම් නො ගනු ඇත.
  133. බලගතු සිහිකල්පනාව යම්කිසි බලශක්තියක් ලෙස බොහෝ දෙනෙකු විශ්වාස කරති. සාංකාව, බලාපොරොත්තු, පැතුම් වැනි දෑ මගින් ඇති කෙරෙන මානසික උද්වේගයන්ගෙන් නිදහස්ව, සරලව, සෑහීමට පත්ව පවතින මනසක සිහිකල්පනාව ඇත්තවශයෙන් ම බලවත්ය. මෙවැනි ගුණ මනසෙහි පවතින විට සිහිකල්පනාවෙහි දියුණුවක් ඇති වන බව ඔබට ම වැටහෙනු ඇත. තියුණු අන්දමින් අවධානය එක්තැන් කිරීමට හෝ පමණ ඉක්මවා වෙරවීරිය වැඩීමට ගන්නා උත්සාහයෙන් සිහිකල්පනාව බලවත් නොවන බව සිතට ගන්න.
  134. සිතිවිලි දූරීභූත කිරීමට ගන්නා උත්සාහයෙන් ඇත්තවශයෙන් ම සිදුවන්නේ ඒවායෙහි පාලනයක් මිස ඒවා තේරුම් ගැනීමක් නොවේ.
  135. දේවල්වල සැබෑ තත්වය පිළිබද නැණ නුවණ වැඩෙත් ම ජීවිතයෙහි වටිනාකම පිළිබඳව ඇති කර ගෙන තිබෙන අදහස් උදහස්වල ද වෙනසක් ඇති වන්නේය. ඔබ අගයන දේවල් වෙනස්වන විට ඔබේ එදානෙදා කටයුතු වලට දී ඇති ප්‍රමුඛත්වයෙහි ද වෙනසක් ඇති වන්නේය. මෙවැනි අවබෝධයන් වැඩෙත් ම වැඩිවැඩියෙන් පුහුණුවෙහි යෙදීමට මනස නැඹුරුවන්නේ නිතැතින්මය. ජීවිතය සාර්ථකව පවත්වා ගෙන යාම සඳහා එය පිටුවහලක් වන්නේය.
  136. ඔබේ මනාපයන් පිළිබඳව හැඟීමකින් යුතුව, තැන්පත්ව, මනා සිහිබුද්ධියකින් යුතුව කථා කිරීමට ඉගෙනීමෙන්; උද්වේගාත්මක ස්වරයෙන් මුදුණු කථා විලාසයක් නිතැතින් ම ඔබ තුළින් ඉස්මතුවනු ඇත.
  137. පීඩාකාරී මනෝභාවයන් දෙස බලා හිඳීමට හැකියාවක් සහ ඒ සඳහා සූදානමක් ඇත්නම් ඔබ ඒවායින් යමක් ඉගෙන ගනු ඇත.
  138. දක්ෂතාවයක් ඇති පුද්ගලයින්හට වසවිස, ලෙඩරෝග පවා නිවාරණය කර ගැනීමට හැකියාවක් ඇත. එමෙන් ම දක්ෂ භාවනා යෝගියෙක් නීවරණයන් (බාධක) පවා ගුණනුවණ වඩා ගැනීම සඳහා යොදා ගනී.
  139. ජීවිතය පුරා අපි පුරුද්දක් වශයෙන් සෙවීමෙහි, ග්‍රහණය කර ගැනීමෙහි යෙදී සිටින්නෙමු. පසෙකට වී මෙය සිදුවන ආකාරය පිළිබඳ මදක් සෝදිසියෙන් හිඳීම එතරම් පහසු කාර්යයක් නොවේ. ඒ කෙසේ වූවත් මෙවන් පුරුදු දැකීමට හා තේරුම් ගැනීමට නම් පසෙකට වී බලා සිටීම ඇත්තවශයෙන් ම අප විසින් කළ යුතුව ඇත.
  140. ඇලීම හෝ නොරිස්සීම මනසෙහි මතු වී ඇති විට එය ඔබේ භාවනා අරමුණ ලෙස හැමවිටම තෝරා ගන්න.
  141. තමාට ඇත්තේ වැරදි ආකල්පයක් බව මනස හඳුනා ගැනීමෙන් ම; එය නිවැරදි ආකල්පයකට මාරු කර ගැනීමට ඔබට හැකි වන්නේය.
  142. ධනාත්මක චින්තනයෙන් මනස හෙඹි විට එයින් ප්‍රසාදයට පත්වීම වැදගත්ය. එමගින් එවැනි ගුණයහපත් මනෝභාවයන්ගේ වර්ධනය සිදුවේ.
  143. නිදිමත සමග කටයුතු කිරීමට මත්තෙන් ඔබේ ආකල්පය විමසා බලන්න. නිදිමතට විරුද්ධත්වයක් පෑමෙන් සිදුවනුයේ භාවනාව අසහනකාරී තත්වයකට පත්වීමය. නිදිමතක් දැනෙන බව ඔබ පිළිගන්නේ නම් දැනහිඳීම ඇති කර ගැනීමට එය පිළිසරණක් වන්නේය.
  144. නම්කිරීමකින් තොරව දේවල් ඇති හැටියෙන් බලා හිඳීමට ඔබට හැකියාවක් ඇත්නම් එය වඩා තාත්විකය, බලවත්ය.
  145. ඔබ තැන්පත් බවට පත්වී ඇති බව දිගින්දිගට ම දැනේ නම්, ඔබේ තැන්පත්භාවය එමගින් තවදුරටත් බලවත් වන්නේය.
  146. හුදකලාව සිටින විට ඔබට සතුටක් හා සාමයක් දැනේ නම් ඔබේ ආකල්පය පරීක්ෂා කර බැලීමට අමතක නො කරන්න. හුදකලාව පිළිබඳ දැනුවත් කමකින් තොරව, එයට ඇලීමෙන් සිදු වන්නේ ඔබේ හුදකලාවට තර්ජනයක් එල්ල වූ විට ඔබ පහසුවෙන් ම කැළඹීමට පත්වීමය.
  147. යම් දෙයක් ඔබ ඉලක්ක කර ගතහොත් ඔබේ පුහුණුව ව්‍යාකූල බවට පත්වන්නේය. යම් දෙයක්, යම්කිසි කාලපරිචෙඡ්දයක් තුළදී බලා හිඳීම සඳහා ඉලක්ක කර ගැනිමෙන් සිදුවන්නේ තමා විසින් තීරණය කර ගන්නා ලද එම කාලාන්තරය තුළදී “බලා හිඳීමට සුදුසු එක ම දෙය එයයි” යන දැඩි අදහසෙහි එල්බ ගැනීමය. සුපුරුදු පරිදි, මනස ඔබේ දැඩි අධිෂ්ඨානයට එකඟ නො වෙමින් වෙනත් දේ වෙත අවධානය යොමු කරන විට ඔබ එයින් කැළඹීමට හා කළකිරීමට පත්වන්නේය.
  148. ඔබේ අත්දැකීම් හොඳදැයි නරකදැයි විමසා බලමින් ඒවා ගැන ලත නො වන්න. එම අත්දැකීම් වෙත ඔබ දක්වන ආකල්පය පිළිබඳව පමණක් සැලකිලිමත් වන්න.
  149. පුහුණුව ආරම්භයේදී සිතිවිලි, සිතිවිලි ලෙසටත් වේදනා, වේදනා ලෙසටත් පිළිගන්නා ලෙස මනසට ඇවටිලි කිරීමට ඔබට සිදු වේ. ඔබේ පළපුරුද්දත් සමග එහි ඇති සත්‍යතාවය ඔබට ටිකින්ටික අවබෝධවනු ඇත. එනමුත් “සිතන්නේ මමය”, “හැඟෙන්නේ මටය” යන දෘෂ්ඨිය පෙරදැරි කර ගෙන ඔබ එම සිතිවිලි හා වේදනා තමා සන්තක කර ගැනීමට ගියහොත් ඇති දේ ඇති හැටියෙන් දැකීමට ඇති ඉඩප්‍රස්ථාව ඇහිරී යන්නේය. අවිද්‍යාව නමැති කඩතුරාව තුළින් (සාවද්‍ය දෘෂ්ඨියකින්) බලද්දී ඔබට පෙනෙන්නේ සත්‍යතාවය නොවේ.
  150. මොනයම් කටයුත්තකදී වූවත් ඔබ දැනුවත්කමකින් යුතුව එහි නියැලෙන්නේ නම් සීමාවන් ඉක්මවා යාමට මනස ඉඩ නො දෙනු ඇත.
  151. කෙලෙස්මල සහිතව සිතද්දී, කියද්දී, කරද්දී නැවත නැවතත් අපි සංසාරය තුළ ම සැරි සරන්නෙමු. ප්‍රඥාවෙන් යුතුව සිතන්නේ නම්, කියන්නේ නම්, කරන්නේ නම් සසරින් එතරවන මගට ඔබ අවතීර්ණවී ඇත.
  152. පුහුණුව පිළිබඳව කළකිරීමකින් ඔබ පසුවන්නේ නම් හෝ පමණට වඩා වෙර වඩමින් ඔබ පුහුණුවෙහි යෙදෙන්නේ නම් ඔබ සතුට හා සාමය අත්විඳින්නෙක් නොවේ.
  153. පුහුණුව සම්බන්ධයෙන් කළකිරීමක් මනසෙහි මතුව ඇත්තේ නම් ඔබට යමක් ලබා ගැනීමට හෝ යම් තැනකට ඒමට අවශ්‍යව ඇත. එසේ නම් ඔබ යෙදී ඇත්තේ පුහුණුව බලයෙන් කර ගෙන යාමට දරණ උත්සාහයකය. එය පුහුණුවට පිළිසරණක් නොවේ.
  154. පුහුණුව පිළිබඳ මනා අවබෝධයක් ඔබට නැත්නම් ඒ සඳහා කැමැත්තක් ද ඔබ තුළ නැත.
  155. නිවැරදි පුහුණුව ප්‍රීතිය සහ උනන්දුව ඇති කරයි. එවැනි පුහුණුවක් ලබාදෙන ප්‍රතිලාභ බොහෝය. අර්ථවත් දිවිපෙවෙතක් ගෙනයාම සඳහා එම පුහුණුව ඔබ සතු මාහැඟි සම්පතක්ය.
  156. පුහුණුව සහ ඉන් ලද හැකි ප්‍රයෝජන ඔබ දනී නම් පුහුණුවෙහි ඔබ යෙදී සිටින එක මොහොතක්වත් නීරස නො වනු ඇත.
  157. නිදිමත ඇති වීම ස්වභාවිකය. එහි වරදක් නැත. නිදිමත නො හොඳ දෙයක් ලෙස සලකා ඒ වෙත ද්වේශයක් ඇති කර ගන්නේ නම් ඔබ යෙදී ඇත්තේ නිදිමත තවදුරටත් වර්ධනය කර ගැනීමෙහිය. එය වැරදි ආකල්පයක්ය. නිදිමත හඳුනා ගෙන එය පිළිගන්න. නිවැරදි ආකල්පයක් ඇතිව ඔබ නිදිමත දෙස බලා හිඳින්නේ නම් ඔබ යෙදී ඇත්තේ භාවනාවෙහිය.
  158. ඔබ සතු වත්කමක් හෝ මිල මුදලක් නැති නම් ඔබට ව්‍යාපාරිකයෙක් වීමට නුපුළුවන. ජීවිතය යහතින් ගෙන යාමටත්, මුදල් හරිහම්බ කර ගැනීමටත් අවශ්‍ය නම් ඔබ බොහෝ වෙහෙස මහන්සිවී වැඩ කළ යුතුය. එය අසීරු කටයුත්තක්ය. එලෙස උපයාගත් මුදල් නිසියාකාරව ආයෝජනය කරන්නේ නම් එමගින් තවතවත් මුදල් උපයා ගත හැකිය. එලෙස ම සති භාවනාවට ඔබ ආධුනිකයෙක් නම් නොවරදවා භාවනාවෙහි යෙදීමත්, ප්‍රඥාව දියුණු කර ගැනීමත් ඉතා අසීරු දෙයක් ලෙස නිතර ම ඔබට හැඟෙනු ඇත. ඔබ ලබාගත් සුළු ප්‍රඥාව හෝ හරියාකාරව යොදා ගන්නේ නම් එමගින් ප්‍රඥාව තවතවත් වර්ධනය කර ගැනීමට ඔබට හැකි වන්නේය.
  159. විපස්සණාවෙහිදී අරමුණ පිහිට වන්නේ නිවැරදි සිහිකල්පනාවත්, සමාධියත්, ප්‍රඥාවත් දියුණු කර ගැනීම සඳහාය. තණ්හාව, ද්වේශය හෝ අවිද්‍යාව වැනි මොනයම් ක්ලේශයක් හේතු කොට ගෙන මනස කැළඹී ඇත්තේ නම් හෝ ප්‍රතික්‍රියා දැක්වීමට පෙළඹෙන්නේ නම් ඔබට ඇත්තේ වැරදි සිහිකල්පනාවක්ය. ඉන් සමාධිය හා ප්‍රඥාව නො වැඩේ.
  160. අරමුණ හෝ අත්විඳිනා දේ මගහැරීමට උත්සාහ නො ගන්න. කෙලෙස් සමග පැටලීම අත්හැරීමට උත්සාහ ගන්න.
  161. සිදුවන සෑම දෙයක් ම හේතුව සහ ඵලයේ ස්වභාවික ප්‍රකටවීමක් ලෙස තේරුම් ගැනීම අවශ්‍යය. ඇති දේ ඇති හැටියෙන් පිළිගැනීමට මුලදී උත්සාහ ගන්න. එනම් “මෙය මගෙන් කෙරෙන” කටයුත්තක් නොව “සොබාදහමට” අනුව සිදුවන කටයුත්තක් ලෙස දැකීමට උත්සාහ ගන්න. මෙවන් ප්‍රඥාවක් ආරම්භයේදී ම ඇති කර ගැනීම ප්‍රයෝජනවත්ය. කෙලෙස් තුරන් කරන්නේ එම ප්‍රඥාවය.
  162. මනස යොමු කරගෙන සිටීම ම සමාධිය නොවේ. සමාධිය අත්විඳීම යනුවෙන් අදහස් කරන්නේ මනස නිසලව, සාමකාමීව, තැන්පත්ව පවතින බවය.

නිමි

සාධු! සාධු! සාධු!

 

Leave a comment