අජාන් තේජනියා මහ තෙරුන් වහන්සේ
පරිවර්තනය – ජෝර්ජ් කාරියවසම්
(උපුටා ගැනීමට හෝ පිටපත් කර බෙදා හැරීමට අවසර නැත)
(මීට ප්‍රථමයෙන් “චිත්ත භාවනා 1 හා 2 කොටස්” කියවන්න.)
දිගට ම පුහුණුවෙහි යෙදෙන්න
සතිපට්ඨානය (එනම් ශරීරය,වේදනා, මනස හා ධර්මය ඇසුරෙහි මනස පවත්වා ගැනීම) පුහුණු කිරීම එදිනෙදා ජීවිතයට ද යොදා ගැනීමට හැකිය. බොහෝ දෙනෙකුට එහි අසීරුතාවයක් දැනෙන්නේ ඔවුන්ගේ පුහුණුවෙහි ඇති ඌනතාවය නිසාය. කැපවීමකින් යුතුව පුහුණුවෙහි යෙදීම වැදගත්ය. පළපුරුද්ද ඇතිවීමත් සමග එය පහසු දෙයක් බව ඔබට වැටහෙනු ඇත. ඔබේ රැකියාවට හෝ ව්‍යාපාර කටයුතු වලට දක්වන නො අලස්, නො පසුබට, උද්යෝගිමත් ආකල්පය ම පුහුණුව වෙත ඇති කර ගත් විට එය පහසු වන්නේය.
අවාසනාවකට මෙන් බොහෝ දෙනෙක් සිතා සිටින්නේ ධර්මය දැන ඉගෙන ගැනීමටවත්, එය අගැයීමටවත් කාලවේලාවක් නොමැති බවය. එතරමට ම ඔවුන් ඇලීගැලී සිටින්නේ ජීවනෝපායන් සුරක්ෂිත කර ගැනීමේ කටයුතු වලය. ඔබ එවැන්නෙකු නම් භාවනාව සඳහා කාලයක් වෙන් කර ගැනීම ගැන ලත නොවී එදිනෙදා ජීවිතයේදී කරන කියන කටයුතුවලදී දැනුවත්ව සිටීමට නිතර ම මතක් කර ගන්න. නිවැරදි දෘෂ්ඨිය, නිවැරදි අවබෝධය, එමෙන් ම අවශ්‍ය දක්ෂතාවය ගොඩනගා ගැනීමේදී ඉවසිලිවන්තව කටයුතු කරන්න. නො කඩවා මුළු හදින් ම ඔබ පුහුණුවෙහි යෙදෙන්නේ නම් කල්යල් නො යවා එහි ප්‍රතිඵල ඔබ අත්විඳිනවාට සැක නැත.
පුහුණුවෙන් ලැබෙන ප්‍රතිඵල අවංකව තේරුම් ගත් විට දී ඔබ පුහුණුව අත් නො හරිනු ඇත. කොතැනක සිටියත් හැමවිට ම ඔබ එහි නියැලෙනු ඇත. ධර්මය, ජීවිතය සමග සම්බන්ධ කර ගැනීමට නිසියාකාර හැකියාව ලත් තැන දී එමගින් ඇති කෙරෙන වෙනස ඔබට ම පැහැදිලි වෙනු ඇත. ධර්මයෙහි විශිෂ්ඨ ගුණාංගයන් ඔබහට පැහැදිලි වන්නේ එවිටය. ධර්මයේ ජීවාත්මක බවක් ඔබහට දැනෙන අතර එහි ගුණාත්මකභාවය ඇත්තවශයෙන් ම ඔබේ ජීවිතය අර්ථවත් කරනු ඇත.
භාවනා මධ්‍යස්ථානයක් යනු ඉගෙනීම සඳහා කැප වූ තැනක්, එක්තරා ආකාරයක පුහුණු කිරීමේ කඳවුරක් හෝ සිහිකල්පනාව දියුණු කිරීම සඳහා වැඩමුළු පවත්වන ස්ථානයක් පමණක්ය. එම නිසා පුහුණුවෙහි යෙදිය යුත්තේ එදිනෙදා ජීවිතයේදීය. එය අපහසු කටයුත්තක් යැයි නො සිතන්න. නැවත නැවතත් උත්සාහ ගන්න. දැන හිඳීම දියුණු කිරීම මුළු ජීවිත කාලය පුරා කළ යුතු දෙයක්ය. ලත වීමට හේ ඉක්මන් වීමට අවශ්‍යතාවයක් නැත. පුහුණුවෙහි යෙදෙන ආකාරය නිවැරදිව ඉගෙන ගැනීම වැදගත් වන්නේ, ඔබ උගත් දේ එදිනෙදා ජීවිතයේ දී යොදා ගැනීමේ සාර්ථකත්වය ඒ මත රඳා පවතින හෙයින්ය. ඔබ දැන උගත් දෑ ජීවිතයේ ඕනෑම අවස්ථාවකදී යොදා ගැනීමට හැකියාව උදා කර ගත් අවධියේ දී ඔබට ඇති සිහිකල්පනාව, භාවනා ශාලා තුල ඉහළට පහළට ඇවිදීමෙන් දියුණු කර ගත් ඕනෑම ආකාරයක සිහිකල්පනාවට වඩා ශ්‍රේෂ්ඨය.
නොතැනක සිටියත්, කරන කියන දෑ කුමක් වූවත්, ඔබට හොඳ සිහිකල්පනාවක් පවත්වා ගත හැකි නම් ඔබ අන් අය සමග සතුටින් හා සාමදානයෙන් දිවිපෙවෙත ගත කරනු ඇත. මේ තත්වය ඔබ වෙත පහසුවෙන් ළඟා වන්නේ පුහුණුවේ බලවේගය නො මඳව පවතින විටය.
පුහුණුවේ යෙදෙද්දී ලබන නව අත්දැකීම් ඔබ කියවා හෝ අසා ඇති දේ මත පිහිටා අර්ථ නිරූපණයෙහි නො යෙදෙන්න. එම අත්දැකීම් තුළින් ඔබ ලද්දේ නිවැරදි අවබෝධයක් නම් එම විදසුන් නුවණ හෝ ප්‍රඥාව, ඔබේ අදහස් උදහස්වල, ඔබේ ඇවතුම් පැවතුම්වල, ඔබේ පිළිගැනීම් මත, වෙනකක් තබා ඔබේ චර්යාවෙහි මහත් වූ වෙනසක් ඇති කිරීමට සමත් වනු ඇත. ඔබේ අභිවෘර්ධිය සඳහා පිළිසරණක් නොවන විදසුන් නුවණකින් ඔබට ඇති ඵලය කුමක්ද?
භාවනාවට උචිත නිවැරදි ආකල්පය කුමක්ද?
- සිදුවන දේ (සහනය හෝ අසහනය ගෙනදෙන) කුමක් වූවත් එය පිළිගනිමින්, ඒ ගැන විමසිලිමත් වෙමින් තැන්පත්ව හිඳීම භාවනාවයි.
- නිරීක්ෂණයෙහි යෙදෙමින්, ඉවසිලිවන්තව, තේරුම් සහිතව, දැනුවත්කමින් සිටීම භාවනාවයි. ඔබ කියවා හෝ අසා ඇති දෙයක් අත්විඳීමට ගන්නා උත්සාහය භාවනාවක් නොවේ.
- මේ මොහොත වෙත අවධානය යොමු කරන්න. අතීතය පිළිබඳ සිතිවිලිවල අතරමං නො වන්න. අනාගතය පිළිබඳ සිතිවිලි පසුපස ඇදී නො යන්න.
- භාවනා කරද්දී ගත සිත දෙක ම සුවපහසුවෙන් තිබිය යුතුය.
- ගත සිත දෙක ම විඩාවට පත් වන්නේ නම් ඔබ පුහුණු වන ආකාරයෙහි යම් දෝශයක් ඇත. එම නිසා ඔබ පුහුණු වන ආකාරය පරීක්ෂා කර බැලීම සඳහා දැන් කාලයයි.
- භාවනා කරද්දී මනස එක්තැන් කිරීමට ඔතරම් වෙර දරන්නේ මන්ද?
-
- ඔබට යමක් අවශ්‍යද?
- ඔබ සිටින්නේ යමක් සිදුවන තෙක්ද?
- ඔබ සිටින්නේ යමක් නතර වන තෙක්ද?
- මෙවැනි ආකල්පයක් ඇත්දැයි සෝදිසි කර බලන්න.
- භාවනා යෙදෙන මනසෙහි තැන්පත් බව සහ සාමය පැවතිය යුතුය.
- තදින් සිත එක්තැන් නො කරන්න, පාලනය නො කරන්න. බලය යෙදීම, වැට කඩුලු බැඳීම නතර කරන්න.
- යමක් ඇති කර ගැනීමට උත්සාහ නො ගන්න. සිදුවන දේ ප්‍රතික්ෂේප නො කරන්න. දැනුවත්ව ඉන්න.
- යමක් ඇති කිරීමට ගන්නා උත්සාහය තණ්හාවයි. සිදුවන දේ ප්‍රතික්ෂේප කිරීම ද්වේෂයයි. යමක් සිදුවන බව හෝ සිදු නොවන බව නො දැන සිටීම අවිද්‍යාවයි.
- දැනුවත්ව හිඳීන මනසෙහි තණ්හාව, ද්වේශය හෝ නො ඉවසිල්ල පහව ගොස් ඇත්තේ යම් පමණකටද, සත්‍යවශයෙන් ම එපමණට ඔබේ සිත භාවනාවට නැඹුරුව ඇත.
- මොනයම් හෝ බලාපොරොත්තුවක් ඇති කර නො ගන්න. අවශ්‍යතාවයක් ඇති කර නො ගන්න. නො ඉවසිල්ලෙන් පසු නොවන්න. එවැනි ආකල්පයන් මනසෙහි පවතින තාක් කල් භාවනාව අසීරු වන බව සිතට ගන්න.
- ඔබේ සිතැඟියාවන්ට ගැපෙන අයුරින් දේවල් සිදු කර ගැනීමට උත්සාහ නො ගන්න. ඔබ උත්සාහ ගත යුත්තේ සිදුවන දේවල් ඒ ආකාරයෙන් ම දැන හිඳීමටය.
- මනස යෙදී සිටින්නේ කුමකද?
-
- සිතීමෙහිද?
- දැන හිඳීමෙහිද?
- මනසෙහි අවධානය යොමුව ඇත්තේ කොතැනකටද?
-
- ඇතුළතටද?
- පිටතටද?
- බලා හිදීමෙහි හෝ නිරීක්ෂණයෙහි යෙදී ඇති මනස දැනුවත්ව හිඳින්නේ සැලකිලිමත්වද? නො සැලකිලිමත්වද?
- යමක් ලැබේය හෝ යමක් සිදුවේය යන බලාපොරොත්තුවෙන් සිටින මනස භාවනාවට අයෝග්‍යය. එලෙස භාවනාවෙහි යෙදීමෙන් සිදු වන්නේ මනස විඩාවට පත්වී භාවනාව අත්හැර දැමීමය.
- හොඳ හෝ නරක අත්දැකීම් දෙකොටස ම පිළිගෙන ඒවා නිරීක්ෂණය කළ යුතුය.
-
- ඔබට අවශ්‍ය හොඳ අත්දැකීම් පමණක්ද?
- යන්තමින් හෝ අසහනයක් ගෙන දෙන අත්දැකීම් ඔබට අනවශ්‍යද?
- එය සාධාරණද?
- දහම් මග එයද?
- භාවනාවේදී ඇති කර ගෙන ඇති ආකල්පය එක් වරක් නොව දෙවරක් ම පරීක්ෂා කර බලන්න. සැහැල්ලු නිදහස් මනස භාවනාවට යෝග්‍යය. ඔබේ ආකල්පය නිවැරදිද?
- මනස සිතීමෙහි යෙදී ඇත්නම් ඉන් කලබලයට පත් නො වන්න. ඔබ පුහුණු වන්නේ සිතීම නතර කිරීමට නොවේ. සිතිවිලි පහලවන හැමවිට ම ඒවා පිළිගැනීමට හා හඳුනා ගැනීමටය.
- ඔබේ අවධානය යොමුවන කිසිවක් ප්‍රතික්ෂේප නො කරන්න. ඒ ආශ්‍රිතව හටගෙන ඇති ක්ලේශයන් හඳුනා ගෙන ඒවා විභාග කර බලන්න.
- අවධානය යොමුව ඇති දේ එතරම් වැදගත් නොවේ. අතිශයින් ම වැදගත් වන්නේ දැන හිඳීම පවත්වා ගෙන යාම සඳහා උපකාර වන, පසුබිමින් ක්‍රියාත්මකව ඇති “බලා හිඳින” මනසය. නිවැරදි ආකල්පයකින් යුතුව ඔබ බලා හිඳින්නේ නම් ඕනෑම අරමුණක් නිවැරදි අරමුණක් වන්නේය.
- ශ්‍රද්ධාව ඇති විට පමණක් වීර්යය උදා වන්නේය. වීර්යය ඇති විට පමණක් සිහිකල්පනාව අඛණ්ඩව පවතින්නේය. අඛණ්ඩව සිහිකල්පනාව පවතින විට පමණක් සමාධිය තහවුරු වන්නේය. සමාධිය තහවුරු වූ විට පමණක් ඇති දේ ඇති හැටියට අවබෝධ වීම ඇරඹෙන්නේය. ඇති දේ ඇති හැටියට අවබෝධ වීම ඇරඹුනු විට ශ්‍රද්ධාව තවතවත් බලවත් වන්නේය.
(මීළඟට “චිත්ත භාවනා 4 කොටස – භාවනාව සඳහා වැදගත්වන කරුණු” කියවන්න.)