චිත්ත භාවනා 2 කොටස – සිහිකල්පනාව දියුණු වීම

අජාන් තේජනියා මහ තෙරුන් වහන්සේ 

පරිවර්තනය – ජෝර්ජ් කාරියවසම්

 (උපුටා ගැනීමට හෝ පිටපත් කර බෙදා හැරීමට අවසර නැත)

(‌මීට ප්‍රථමයෙන් චිත්ත භාවනා 1 කොටස” කියවන්න.)

සිහිකල්පනාව දියුණු වීම

පුහුණුවීම ආරම්භ කරන මුල් අවධියේදී දැනුවත්ව හිදීමේ අදහස ඔබ නිතර ම සිහිපත් කළ යුතුය. සිහිකල්පනාව අඛණ්ඩව පවතින බවක් ඔබට හැඟෙන බැවින් එය බිඳී ගිය බව වටහා ගැනීම මුලදී එතරම් ම පහසු කටයුත්තක් නොවේ. නමුත් සිහිකල්පනාවෙහි උද්දීපනයත් සමග ඔබට හැඟීයන්නේ එය නිතර ම බිඳ වැටෙන බවය. බොහෝ විට සිතෙහි රැව්පිලිරැව් දෙන්නේ සිහිකල්පනාව තිබුණාටත් වඩා පහත් මට්ටමකට ඇද වැටී ඇතැයි යන අදහසය. නමුත් මෙතැනදී සත්‍යවශයෙන් ම සිදුවන්නේ ඔබේ සිහිකල්වනාව ඔබ සිතා සිටියාටත් වඩා සීඝ්‍රයෙන් කැඩි කැඩී බිඳි බිඳී යන බව ඔබට හොඳින් අවබෝධවීමය. එය මෙම පුහුණුවේ නිවැරදි මාර්ගය ඔස්සේ ඉදිරියට තැබූ තවත් එක් පියවරක්ය. ඔබේ සිහිකල්පනාව තියුණු වන බව එයින් පෙන්නුම් කර සිටී. ඒ නිසා එය සිතට වදයක් කර නො ගන්න. සතුටු සිතින් එය පිළිගෙන දැන්වත්ව හිඳීමට තවතවත් මනස දිරි ගන්වන්න.

ඒ කෙසේ වෙතත් “සිහිකල්පනාවෙන් සිටින්න, තැන්පත්ව හිඳින්න” යයි තමාට ම පවසා ගැනීමෙන් පමණක් සෑහීමකට පත් නොවන්න. සිහිකල්පනාව බලගන්වා ගැනීම සඳහා නිවැරදි ආකල්පයක් හා කෙලෙසුන්ගේ ග්‍රහණයෙන් මිඳුණු නිරීක්ෂණශීලී මනසක් ඇති කර ගත යුතුය. ඔබ ප්‍රගතිය ගැන ම ලතවන්නෙක් නම් එය දැනුවත්කම පවත්වා ගැනීම සඳහා බාධාවක් වන බව මෙහිදී උදාහරණ කොට දැක්විය හැකිය. මුලදී ම මෙය ක්ලේශයක් බව වටහා ගෙන නිරීක්ෂණය සඳහා එය ඔබේ අරමුණ කර ගන්න. එමෙන් ම සැකය, නොසංසුන්කම, කළකිරීම, ආතතිය, අසහනය, සතුටින් උදම්වීම වැනි දෑ ද ඔබේ නිරීක්ෂණයට ලක්විය යුතුය. ඒවා ගැන විමසමින් මෙසේ ප්‍රශ්න කරන්න. “කවර ආකාර  සිතිවිලි මගේ මනසෙහි පවතීද?” “මගේ ආකල්පය කුමක්ද?” ඔබේ පැවැත්මට කෙලෙස් බලපාන අයුරු දැක ගැනීම සඳහා ඒවා උපකාර වනු ඇත. මේ සඳහා ඉවසීම, උනන්දුව සහ පිරික්සා බැලීමේ ශක්තිය ඔබට අවශ්‍යය. නිවැරදි ආකල්පයක් ඇතිව මෙනෙහි කිරීමට ඇති ඔබේ හැකියාවෙහි වර්ධනයත් සමග සිහිකල්පනාව බලවත් වී, එය එහි අඛණ්ඩත්වය ද ආරක්ෂා කරනු ඇත. පුහුණුව කෙරෙහි ඇති විශ්වාසය දැඩි කරන්නේ එවැනි සිහිකල්පනාවක්ය.

සිහිකල්පනාව පුහුණු කිරීම වැඩි මහන්සියකින් තොරව හිතේ සතුටින් කළ හැකි දෙයක් බව හා දැනටමත් තමන් අත් කර ගෙන ඇති සමහරක් ප්‍රතිලාභ මොනවා දැයි පෙනීයාම ඇරඹෙන්නේ මෙතැන් සිටය. කෙලෙස් හඳුනා ගැනීම හා සිහියෙන් සිටිය යුතු බව තමන්ට ම පවසා ගැනීම පහසුවෙන් කළ හැකි කාර්යයක් බව ඔබට පෙනී යනු ඇත. එම හැකියාව මත පිහිටා දිගට ම  පුහුණුව කර ගෙනයාමෙන්, කාලයාගේ ඇවෑමෙන් ඔබේ සිහිකල්පනාව බොහෝ දුරට නො බිඳී පවතින බව ඔබට පෙනෙනු ඇත. පුහුණුවීමේ පරිණතයත් සමග සිහිකල්පනාව බලගත් වීම සිදුවන්නේය.

පුහුණුවේ ප්‍රතිවර්තක ශක්තිය, ස්වභාවිකව, සිහිපැවැත්මේ ස්ථාවරය ඇති කරයි. ජීවිතයේ ඔබ මෙතෙක් අත්නොදුටු අන්දමේ නිදහසක හැඟීමකින් ඔබේ හදවත පිරී යන්නේය. දෛනික වශයෙන් ද බොහෝ විට ඔබ අත් විඳිනුයේ ද එම නිදහසය. පිබිදී ඇති මනස ඒ බව පහසුවෙන් දැනහිඳී. වෙනත් වචන වලින් පවසනවා නම් සිහියෙන් සිටින බව ඔබේ සිහිකල්පනාවට හසුවේ. නිරතුරුව ම ඔබේ මානසික අරමුණ වන්නේ ඔබේ ම මනස බව ඔබ වටහා ගනී. මේ ආකාර බලගැන්වීමක් යටතේ මනස උපේක්ෂා සහගත වන්නේ නිතැතින්මය.

දැනහිඳීම ඉතා බලගතු වූ විට එම බලශක්තිය පවත්වා ගැනීම සඳහා ඔබට අවශ්‍ය වන්නේ ඉතා සුළු වීර්යයක්ය. හිතාමතා වීර්යයක් යොදන්නේ නැතිව වූවත් හැමවිට ම වාගේ ආයාසයකින් තොරව විවිධ දේ දැනහිඳීමේ ශක්තියක් දැන් ඔබ සතුය. උදාහරණයක් ලෙස ගතහොත් ඔබ දෑත සෝදද්දී  දෑතෙහි සෙලවීම, ඒවා එකිනෙක පිරිමැදීම, සබන් සුවඳ, පයිප්පයෙන් වතුර ගලායාම පිළිබඳ හැඟීම, වතුර ගලා යන හඬ, දැනෙන සිසිලස ආදී දෑ ඔබ දැනහිඳින දේවලින් කිහිපයක්ය. එතකුදු නොව, ඔබේ දෙපතුල් පොළවෙහි ගැටී ඇති ආකාරය, ඈත පන්සලකින් විකාශනය වන පිරිතේ හඬ, බිත්තියේ ඇති පැල්ලම් හා ඒවා සෝදා හැරීමට මතුවන නොසංසුන්කම ආදී දෑ ද මේ අතරට එක්විය හැකිය. මේ සියල්ල මධ්‍යයේ වූව ද හදවතේ මතුවන කැමැත්ත හා අකමැත්ත පිළිබඳ දැනුවත් කමක් ද දැන් ඔබ සතුව ඇත.

වෙනත් උදාහරණයක් ලෙස ගතහොත්, විටෙක ඔබ භාවනා ශාලාව වෙත පිය නගද්දී සැහැල්ලුවක්, තැන්පත්කමක් පිළිබඳ හැඟීමක් හදවතෙහි පවතින බව දැණුනත් ශාලාවට පිවිසී භාවනාව ඇරඹූ විට යම්කිසි නොසංසුන්කමක් මතුව ඇති බව ඔබට දැනෙන්නට පිළිවන. එවිට මනස එම ක්ලේශය ගැන දැනුවත් වී නොසංසුන්කමේ ආදිනව සළකා බලමින් ඒ පිළිබඳ උනන්දුවක් ඇති කර ගනී. බොහෝ කොට මනසෙහි පැන නගින්නේ මේ ප්‍රශ්නයයි. “ඇයි මේ නොසංසුන් කමක්?” මනස දැන් රැඳී ඇත්තේ එම ප්‍රශ්නය මතය. එකෙනෙහි ම වාගේ ඔබ යුහුසුළු වන්නේ එම නොසංසුන්තාවයත් සමග පැන නැගි, ඒ හා සම්බන්ධ සිතිවිලි, දැනෙන ආතතිය, ගවේෂණය කර බැලීමටය. සමහර විට ඔබට එකවරට ම පෙනී යන්නේ ආතතිය, කළකිරීම හෝ වික්ෂිප්තභාවය ඇති කිරීමට හේතු වූයේ අන්කිසිවක් නොව අතීතයේ දී සිදු වූ යම් සිද්ධීන් කිහිපයකගේ එකතුවක ප්‍රතිඵලයක් ලෙස මෙම අසහනය හා ආතතිය විඳීම මතු වූ බවය. ඇත්තවශයෙන් ම ඔබට මේවා තෝරාබේරා දෙන්නේ ඔබේ ප්‍රඥාවය. නොසංසුන්කමට මූලික වූ හේතූන් මොනවා දැයි මනස දැනහඳුනා ගැනීමෙන් සිදු වන්නේ ආතතියේ බලය පිරිහී ගොස් ශාරීරිකව හා මානසිකව දැනෙන ආතතිය ලිහිල් වී යාමය.

ඔබ තවදුරටත් අවධානයෙන් සිටින විට පෙනීයන්නේ නොසංසුන්කමේ  හා ආතතියේ නො විසඳුන සුළු කොටසක් තවමත් ඉතිරිව ඇති බවය. “ඇයි ඒ සිද්ධීන් හට ගත්තේ?” යන ප්‍රශ්නය මනසෙහි මතු වීමෙන් ඔබ තවත් පියවරක් තබන්නේ විසඳුම සොයා යන නිවැරදි මග ඔස්සේය. දැන් ඔබට සනිටුහන් වීමට පටන් ගන්නේ ඒ සිද්ධීන් හට ගැනීමට තුඩුදුන් කලින් නො දුටු ඔබේ සිතැඟියාව, විරෝධය, විෂම වූ අදහස් උදහස් හා සිතුම් පැතුම්ය. එමගින්, නොසංසුන්කම ඇති කිරීමට ‘මූලික වූ’ හේතු සාධක තමාහට ම පැහැදිලි වීමෙන් ඒවා සහමුලින් ම අත්හැර දැමීමට පිළිවන්වන කඩඉමකට මනස පත් වීමය.

නොසංසුන්කම හා ආතතිය ඇති කිරීමට ඉවහල් වූ හේතූන් පරිසිද දැනගැනීම හේතු කොට ගෙන මින් මතුවට ආතතිය, කළකිරීම හෝ උද්දාමය ඇති කෙරෙන එවන් සිද්ධීන් හට ගන්නා විට ම ඒ බව අවබෝධ කර ගැනීමට මනසට හැකි වන්නේය. එවැනි සිද්ධීන් නැවත මතු වන විට ඊට පිටුපසින් ක්‍රියාත්මක වන කෙළෙස් හඳුනා ගැනීමට ද මනස සමත් වන්නේය. මේ ආකාරයට මනසෙහි අඛණ්ඩත්වය තහවුරු වීමෙන් සිදු වන්නේ මනස තවතවත් බලසම්පන්න වීමය. මේ අවධිය ළඟාවන විට ශ්‍රද්ධාව, වීර්යය, සති, සමාධි සහ ප්‍රඥා යන පංච බල වැඩෙහි යෙදෙන්නේ එකිනෙකට අතහිත දෙමින් ඉතා සමීපවය. වෙනත් ආකාරයකින් පවසනවා නම් ධර්මය එහි වැඩ කොටස ආරම්භ කරන්නේ මෙතැන් සිටය.

ඒ කෙසේ වෙතත්, හැමවිටක ම කෙළෙස් හඳුනා ගැනීමට ස්වභාවික හැකියාවක් සිහිකල්පනාවට නැත්තේය. අප සෑම දෙනෙක් තුළ ම අපට නො පෙනෙන සැඟවුණු ගතිගුණ, තදින් ඇබ්බැහි වී ඇති පුරුදු කොතෙකුත් ඇත. ඒවා ස්වභාවිකව සිහිකල්පනාවට හසු නො වේ. ඉතා ගැඹුරින් සැඟවී ඇති හෙයින් සාමාන්‍ය මට්ටමේ සිහියෙන් බලා සිටිය දී ඒවා අපට මගහැරී යන්නේය. තමා ඉදිරියේ අනෙකුත් පුද්ගලයයින් හැසිරෙන ආකාරය, මතු වී ඇති මනෝභාවයන් සමග ඒ අයට ප්‍රතික්‍රියා දක්වන ආකාරය සිහියට ගන්න. ඔබ අවට හැසිරෙන පුද්ගලයින් ඔබ ඉදිරියේ දී ඔවුන්ගේ තත්වය ආරක්ෂා කර ගැනීමට වෑයම් කරන බව දුටු විට දී ඔබේ හැසුරුනු අන්දමත් එවිට ඔබ ඇති කර ගත් ආකල්පයත් පරීක්ෂා කර බලන්න. කිනම් ආකාරයකින් ඔබ ඔවුන්ගේ සිත් රිදවන ලද දැයි වටහා ගැනීමට ඔබට බොහෝ විට අපහසු වනු ඇත. ඒ ගැන ඔබ තුළ පසුතැවීමක් හට නො ගන්නේ නම්, ඔබේ පුහුණුවේ වටිනා කම ගැන සිතාබලා, අවස්ථාවක් ඇත්නම්, සිත් රිදීමට හේතුව ඔවුන්ගෙන් ම විමසා බැලිය හැකිය. නො එසේ නම්, පසු විටෙක, ඔබ ළඟින් ඇසුරු කරන හිතවතෙකුට සිදු වූ දෙය විස්තරාත්මකව පවසා ඔහු හෝ ඇය සිතන ආකාරයෙන් එම අවස්ථාවේදී ඔබ අතින් යම්කිසි අතපසු වීමක් සිදු වී දැයි විමසා බලන්න. වරදක් සිදු වී ඇති වූ බව ඔබට හැඟේ නම් එය නිවැරදි කර ගැනීම සඳහා ඊට අඳාළ ධර්ම කාරණා සාකච්ඡා කිරීම හෝ නිසි උපදෙස් ලබා ගැනීම ඔබ විසින් කළ යුතුය. මෙවැනි සැඟවී ඇති  පුරුදු දැනහඳුනා ගෙන ඒවා විමසා බැලීම ඉතා වැදගත්ය. වැරදි ආකල්පයන් හේතු කොට ගෙන නො දැනුවත්ව ම  පැලපදියම් වී ඇති ‘නො දුටු’ පුරුදු ඇත්නම් ඒවා දැනහඳුනා ගැනීමටත් පරීක්ෂණාත්මකව මෙනෙහි කර බැලීමටත් ඔබේ ප්‍රඥාව උපකාර වනු ඇත.

ආධුනියකු ලෙස ඔබ පුහුණුවෙහි යෙදෙන්නෙකු නම් ප්‍රඥාවෙන් ඵල ප්‍රයෝජන ගැනීම සඳහා මඳක් වීර්යය වැඩීමට ඔබ උනන්දු විය යුතුය. සිහිකල්පනාව ප්‍රඥාන්විතව යොදා ගැනීමෙන් පුහුණුව සාර්ථක කර ගත හැකිය. විශේෂයෙන් ම බාධක හමුවේ ඒවා සමග කටයුතු කරන්නේ කෙසේ දැයි සිතා බැලීම ඔබ අනිවාර්යයෙන් ම කළ යුතු කාර්යයක්ය. කාලයාගේ ඇවෑමෙන්, පුහුණුවේ පරිණතයත් සමග සිහිකල්පනාවේ අඛණ්ඩත්වය රැක ගැනීමට හැකියාව ලත් විට, අඳාළ වැඩ කොටස ඉටු කර දීම සඳහා ප්‍රඥාව පෙරමුණ ගන්නේ කඩිනමින්ය. වැරදි සහ නිවැරදි ආකල්ප අතර ඇති වෙනස හඳුනා ගන්නේ ප්‍රඥාවය. කෙළෙස් කපා හරින්නේ ද ප්‍රඥාවය. පුහුණුව ප්‍රබල වීම ඇරඹුණ විට සිහිකල්පනාවත් ප්‍රඥාවත් වැඩෙහි යෙදෙන්නේ එකමුතුවය. නිරතුරුව ම සිහිකල්පනාව ස්වභාවිකව පවතින විට ඔබ ගොඩනගා ගත් ප්‍රඥාව සෑම විටකදී ම ඔබේ පිළිසරණය වෙනුවෙන් ඉදිරිපත් වන්නේය.

කොපමණ අවස්ථාවන්හි දී සිහිකල්පනාව ගිලිහී ගියේ දැයි ප්‍රශ්නයක් කර නො ගන්න. එය ගිලිහී ගිය විට සුහදශීලීව ඉවසීමෙන් යුතුව නැවත මේ මොහොත වෙත පැමිණෙන්න. දැනහිඳීම පවත්වා ගත යුතු බව නිරතුරුව ම සිහිපත් කර ගැනීම යෝග්‍ය වූවත් එහි දියුණුව දැකීමට කෑදරයෙක් නො වන්න. ඔබට වඩා ඉක්මණින් අන් අය දියුණුවට පත්වන බවක් ඔබට හැඟේ නම්, ඒ ගැන අහිතක් ඇති කර නො ගන්න. එයින් ඔබට වන අවැඩක් නැත. මග දිගේ ඔබ ඉදිරියට යා යුත්තේ ඔබට ගැලපෙන වේගයෙන්ය. කළ යුතු එක ම දේ කැපවීමකින් එහි නිරත වීමය. වැඩි කල් නොයවා ඒකාන්තයෙන් ම ඔබේ සිහිකල්පනාවේ දියුණුව ස්වභාවිකව සිදු වනු ඇත.

ප්‍රඥාව

සාමාන්‍ය වශයෙන් ප්‍රඥාව සහ ඤාණය වැඩෙන්නේ පොතපත කියවීමෙන් හෝ ධර්මයට සවන් දීමෙන් (සුතමය පඤ්ඤා); සිතීමෙන් හා මෙනෙහි කිරීමෙන් (චින්තාමය පඤ්ඤා); අවබෝධාත්මක අත්විඳීම් ඇසුරින් (භාවනාමය පඤ්ඤා) යන ත්‍රිවිධාකාරයෙන්ය.

නිවැරදිව කරුණු කාරණා දැනගැනීමට සුතමය ප්‍රඥාව අවශ්‍ය වන්නේ භාවනාව ආරම්භයේදීම ය. මෙම කරුණු කාරණා තෝරා බේරා සකස් කර ගැනීමට උපකාර වන්නේ චින්තාමය ප්‍රඥාවය. අත්විඳීම් ඔස්සේ අවබෝධාත්මක ප්‍රඥාව ලබා දෙන්නේ භාවනාමය ප්‍රඥාවය. සුතමය ප්‍රඥාවත් චින්තාමය ප්‍රඥාවත් යන දෙක ම අපට අවශ්‍ය වන්නේ සිහිකල්පනාව දියුණු කර ගැනීමටය. ඒ අනුසාරයෙන් සාර්ථක කර ගන්නා භාවනාමය ප්‍රඥාව තුළින් අවබෝධාත්මක ප්‍රඥාව ළඟා කර ගත හැකිය. මේ අංග තුන ම භාවනාවේ කොටස්ය. විදසුන් නුවණ සඳහා ඒවා අතිශයින් ම වැදගත්ය.

භාවනාව ආරම්භ කරන මුල් අවධියේ දී දහම් පොත්පත් භාවිතය, ධර්ම සාකච්ඡාවන්ට සහභාගිවීම අත්‍යවශ්‍යය. ඒ ඇසුරින් පුහුණුව සඳහා උපදෙස් හා ඊට අඳාළ කරුණු ද, සිතා බැලීම සඳහා ‘යම්යම් දේවල්’ ද ඔබ ලබා ගන්නේය. බාධක හමුවේ මෙනෙහි කර බැලීමටත්, ධර්ම සාකච්ඡා වලදී ප්‍රශ්න ඇසීමටත් අපි පුරුදු විය යුත්තෙමු.

ප්‍රඥාවේ උන්නතිය සඳහා සිතාමතා ම අපි මෙවැනි ව්‍යායාමයන්හි යෙදිය යුත්තෙමු. අප විශේෂයෙන් ම කල්පනාවට ගත යුත්තේ අප උගත් දෑ පුහුණුව කෙරෙහි බලපාන අන්දමය. මෙසේ ඒකරාශි කරගත් උපදෙස් හා දත්තයන් මනසෙහි පිටුපසින් හිඳිමින් අප දේවල් දකින ආකාරය, තේරුම් ගන්නා ආකාරය සහ ඒවා ගැන සි‍තන ආකාරය මත බලපෑම් ඇති කරයි. එම නිසා ‘මූලික කරුණු’ හොඳින් අවබෝධ කර ගත යුතු බව අමතක නො කරන්න. ඔබ කරන දේ හොඳින් දැනහිඳින්න. තමන්ගේ පුහුණුව ගැන සැකයක් ඇති වූ විට හෝ එයට විසඳුමක් නො දකින විට ඔබ වටහා ගෙන ඇති දේ නිවැරදි දැයි ගුරුවරයෙකුගෙන් විමසා බලන්න. බුද්ධිමත්ව පුහුණුවෙහි යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ඉවහල් වන්නේ නිවැරදි දත්ත, නිවැරදි සිතිවිලි හා නිවැරදි පෙළඹීමය. ප්‍රඥාව ලබා ගැනීම සඳහා අප යෙදෙන මෙම ක්‍රියාපටිපාටිය බොහෝ දෙනෙකුට හැඟෙන්නේ හෙමිහිට දිග හැරෙන, වේදනාකාරී අත්දැකීම් වලින් හෙබි පුහුණුවක් ලෙසටය. නොයෙකුත් අත්වැරදි සිදු වීම ඊට හේතුවය.

සිදුවන වැරදි වලට බිය නො වන්න. වරදක් සිදු වූ විට තමා වැරදි කරුවෙක් යයි නො සිතන්න. වැරදි සිදු වීම නො වැළැක්විය හැකිය. ඒවා අපේ දියුණුවට ඉවහල් වන අපේ ගමන් මගෙහි එක් අංගයක් ලෙස සලකන්න. ඉතා සැලකිලිමත්ව ඒවා පරීක්ෂා කර බලමින් එම වැරදි වලින් යමක් ඉගෙනීමට ඔබට හැකි නම් එය ප්‍රඥාව වැඩෙහි යෙදී ඇති බවට හොඳ සළකුණක්ය. වැරදි වලින් ඉගෙනීම සාර්ථක මට්ටමක පවතින විට නිරුත්සාහයෙන් ම වැඩිවැඩියෙන් ප්‍රඥාව පහළ වීම ඇරඹෙන්නේය. කාලාන්තරයකට පසු පුහුණුව ප්‍රබල වීමත් සමග දැනහිඳීම තවතවත් බලවත් වීමෙන් මෙතෙක් එක්රැස් කර ගත් දැනුම, අවබෝධය අපේ පුනරුත්ථාපනය සඳහා පුනපුනා මතු වීමට පටන් ගන්නේ ස්වභාවිකවම ය. ප්‍රඥාවත්, සිහිකල්පනාවත් කණ්ඩායමක් වශයෙන් එකට කටයුතු කිරීම අරඹන්නේ ද මෙවන් පසුබිමක් යටතේය.

සිහිකල්පනාව ස්වභාවිකව පවතින විට මනස බලගතුය. ලබා ගෙන ඇති ප්‍රඥාව එවිට අපේ සුභසාධනය සඳහා පෙරමුණ ගන්නේය. එය මතු කර ගැනීම සඳහා අතිරේක වීර්යයක් යෙදීම තවදුරටත් අනවශ්‍යය. දැනහිඳින මනස බලවත් වූ විට කාර්යක්ෂම ලෙස කෙළෙස් සමග කටයුතු කිරීමට ප්‍රඥාවට හැකිය. ප්‍රඥාවෙහි දියුණුව මනසෙහි නිරවුල්කමත් උපේක්ෂාවත් ඇති කරයි. අවසානයේ දී, මෙම ගුණාංගයන් ස්ථාවරව පවතින විට යම්යම් අවස්ථාවල දී ඔබ දේවල් දැකීමට පටන් ගන්නේ මුළුමණින් ම නැවුම් ආකාරයකටය.වෙනත් අයුරකින් පවසනවා නම් තත්වකාරයෙන් දේවල් දැකීමෙහි ආරම්භය ලෙස මෙය සැලකිය හැකිය.

ඇති තතු ඇති හැටියෙන් දැකීම යනුවෙන් අදහස් කරන්නේ, ඉහත දී මතු පිටින් හෝ බුද්ධියට ගෝචර වන අයුරින් ඔබ දැනසිටි, සිතාසිටි දෑ පිළිබඳව ඉතා තියුණු, ගැඹුරු අවබෝධයක් ඇති වීමය. මෙය ක්ෂණිකව, ස්වභාවිකව ලබා ගන්නා දැනුමක්ය. එය ලබා ගැනීම ‘ඔබට’ කළ නො හැකිය. ‘ඔබ’ මැදිහත් වීමෙන් එය ලබා ගත නොහේ. ඇතුළතින් දැකීමක් පිළිබඳ යම් අත්දැකීමක්  විස්තර කරද්දී වචනයෙන් පැවසෙන දේවල් සහ සත්‍යවශයෙන් ම ලත් අත්දැකීම අතර වෙනස සුළුපටු නො වේ. ඒ ආකාර අත්දැකීමක් ඔබ ලබා ඇතැයි සිතන්නේ නම්, සත්‍යවශයෙන් ම ඔබ ඇතුළතින් දැකීමක් ලද බවක් හෝ එවැන්නක් ලැබීමට සුදුසු කමක් ඇත්තෙකු බව එයින් තහවුරු නො කෙරෙන බව සිතට ගන්න. සුදුසු කාලය එලැඹි විට ඒ සඳහා සුදුසු තත්වයකට ඔබ පත්ව ඇත්තේ නම් ඔබ ලබා ඇති පුහුණුවට සරිලන අයුරින් ඔබේ ම අත්දැකීම් සහ විදසුන් නුවණ ඔබට ලැබෙනු ඇත. ඔබ කියවා ඇති හෝ අසා ඇති නොයෙකුත් විදසුන් නුවණ හා ඒ පිළිබඳව ඔබ ලබා ගන්නා සත්‍ය ම වූ අවබෝධය අතර ඇත්තේ කිව නොහැකි තරමේ වෙනසක් බව එවිට ඔබට වැටහෙනු ඇත.  යම් දෙයක් පිළිබඳව ඔබ ලත් විදසුන් නුවණ ගැන හෝ එම ‘අත්දැකීම වටා’ සිදු වූ දේවල් ගැන හෝ ඔබට යම්කිසි ප්‍රකාශයක් කළ හැකි වූවත් ඔබ ලත් ගැඹුරු අවබෝධය කිසිසේත් ම මුවින් පල කළ නො හැකි දෙයක්ය.

සත්‍යතාවය පිළිබඳව සෘජුව අත්විඳින්නා වූ එවැනි විදසුන් නුවණ මගින් ඔබේ චරියාව කෙරෙහි හා ඔබ ජීවත් වන ලෝකය පිළිබඳව ගොඩනගා ගෙන ඇති අදහස් උදහස් කෙරෙහි ඇති කෙරෙන බලපෑම අති මහත්ය. වෙනත් අයුරකින් පවසනවා නම් මේ අයුරින් ඔබ ලබා ගන්නා ප්‍රඥාව, ඔබ දේවල් පිළිගෙන ඇති ආකාරය හා ඒවා දකින ආකාරය ක්ෂණික පෙරළියකට පත් කරන්නේය. එසේ වූවත් “ඉතා ගැඹුරින් ඇතුළාන්තය දකින මනස” පවා අස්ථිරය. එම අත්දැකීම පවතින්නේ මොහොතකට පමණය. නමුත් ‘ජීවමානව’, තිරසාරව පවතින්නේ එහි ගුණාත්මකභාවයයි; මනසෙහි දියුණුවට අඳාළ වන ශක්තියයි. අපි මෙම ගුණාත්මකභාවය පෝෂණය කර නො ගන්නේ නම් එහි ජීවගුණය පිරිහී යන්නේය. එය ජීවමානව තබා ගැනීමටත්, ලබාගත් ප්‍රඥාව වැඩි දියුණු කර ගනීමටත්, එම ප්‍රඥාවෙන් නිසි ප්‍රයෝජන ගනිමින් එදිනෙදා කටයුතු සාර්ථකව කර ගෙනයාමටත්, ඉවහල් වන්නේ අඛණ්ඩව පවත්වා ගනු ලබන පුහුණුවය. මෙහිදී අඛණ්ඩත්වය යනුවෙන් අදහස් කරනු ලබන්නේ දිනකට හෝ සතියකට නොකඩවා පැය කිහිපයක් භාවනාවේ නිරතව සිටිය යුතුය යන්න නො වූවත්, ඇත්තෙන් ම ඔබට එසේ කළ හැකි නම් ඉන් අත්වන ප්‍රතිඵල අති මහත්ය. අඛණ්ඩව කෙරෙන පුහුණුවෙහි නියම අරුත වන්නේ ඔබ කරන කියන සෑම කටයුත්තකදී ම ඔබේ හැකියාවේ උපරිම මට්ටමින් සිහිකල්පනාව පවත්වා ගනිමින් එම කටයුතුවල නිරත වීමය.

ප්‍රඥාව ප්‍රකට වීම ඇරඹෙන්නේ පුහුණුවේ මෙම අවධියට එලැඹි විටය. සිහිකල්පනාව හැමවිට ම  ඒ හා අත්වැල් බැඳගෙන සිටිනුයේ වී නමුත් රංගනය මෙහෙයවනු ලබන්නේ ප්‍රඥාව විසින්ය. අපේ පුහුණුවට නව ජීවයක් ලබා දෙන්නේ මෙවන් ප්‍රඥාවය.

සුතමය, චින්තාමය හා භාවනාමය ප්‍රඥා එකට එකතු වී කටයුතු කිරීම ඒවායේ ස්වභාවය ය. සිතිවිලි උපයෝගී කර ගනිමින් ඔබ දියුණු කර ගන්නා ප්‍රඥාව ධර්මය කෙරෙහි ඇති ඔබේ ශ්‍රද්ධාව දියුණු කරන්නේය. තවතවත් භාවනාවෙහි නියැලීමට ඔබ යොමු කර වන්නේ එම ශ්‍රද්ධාවය. පුහුණුවෙහි යෙදීමට ඇති බලවත් කැමැත්ත ඔබ පොළබවාලන්නේ තවදුරටත් ධර්මය ඉගෙනීමට හා ඒ ගැන මෙනෙහි කිරීමටය. වැරැද්දක් සිදු වූ විට ඒ ගැන බිය වීමට හා පසුතැවීමට හේතුවක් දැන් ඔබට නැත. ඒ වෙනුවට දැන් ඔබේ සිත යොමු වන්නේ දුෂ්කර අවස්ථාවන්ට නවතාවයකින් යුතුව මුහුණ දෙන්නේ කෙසේ දැයි විමසා බැලීමටය.

පුහුණුවෙන් ලබන ප්‍රතිඵල ඔබට මැනෙවින් විද්‍යමාන වන අතර ඉතා ගැඹුරින් ඔබ උගත් දේ පිළිබදව දැන් ඔබට ඇත්තේ පැහැදිලි අවබෝධයක්ය. මේ සැමෙකක් මගින් ම සිදුවන්නේ තවතවත් ශ්‍රද්ධාව බලවත් වීමය. ඇති දේ ඇති හැටියෙන් දැකීම ආරම්භ වීමත් සමග ධර්මය වෙත ඇති ශ්‍රද්ධාවෙන් මනස පිරී ඉතිරී යන්නේය. මෙය නැවතත් ඔබව පොළඹවන්නේ මුළු හදින් ම පුහුණුවෙහි යෙදීමටය. සිහිකල්පනාව දියුණු කර ගැනීම සඳහා යෙදෙන පුහුණුව ඔබේ දිවිපෙවෙතේ ප්‍රධානාංගය බවට පත්වන අතර ඔබ මෙතෙක් දැනසිටි ලෝකය තවදුරටත් ඒ ආකාරයෙන් ඔබට දිස් නො වනු ඇත. ඔබ නොයෙක් අත්දැකීම් ලත් පිරිපුන් භාවනායෝගියෙකු වේවා, අන් සැමට වඩා භාවනාව පිළිබඳ දැනුම් තේරුම් ඇත්තෙකු වේවා, එහෙත් ඔබ ලබා ඇති ප්‍රඥාවෙන් හෝ ලබා ඇති විදසුන් නුවණින් කිසි ලෙසකින්වත් සෑහීමට පත් නො වන්න. ඔබේ දැනුම හා හැකියාව සීමා කර නො ගන්න. අලුත් අත්දැකීම් හා ගැඹුරු අවබෝධයන් වෙත සම්ප්‍රාප්ත වීමට මනසෙහි දොරටුව නිතර ම විවෘතව තබන්න.

(මීළඟට “චිත්ත භාවනා  3 කොටස – දිගටම පුහුණුවෙහි ‌යෙදෙන්න” කියවන්න.)

Leave a comment