අජාන් තේජනියා මහ තෙරුන් වහන්සේ
පරිවර්තනය – ජෝර්ජ් කාරියවසම්
(උපුටා ගැනීමට හෝ පිටපත් කර බෙදා හැරීමට අවසර නැත)
කෙලෙස් කියන්නේ මොනවාද?
කෙලෙස් වශයෙන් අප සැලකිය යුත්තේ ලෝභය ද්වේශය, මෝහය වැනි අපට තදින් ම දැනෙන, බලපාන ඒවා පමණක් නො වේ. ඒවායේ යහළු මිත්‍රයින්, නෑදෑ හිතවතුන්, ඇත්ත වශයෙන් ම කියනවා නම් ඉතා දුරින් සම්බන්ධකම් ඇති අය පවා ඊට ඇතුළත් බව සැලකිය යුතුය. පහත දැක්වෙන අන්දමේ සිතිවිල්ලක් හෝ ඊට සමාන වූවක් කවදා හෝ ඔබේ මනසේ මතු වූවා දැයි මතක් කර බලන්න.
“කවුද ඔය ලයිට් දාගෙන ඉන්නෙ මේ මහ කට්ට දවල්, පිස්සුද මන්ද?” “උන්දැගෙ හැසිරීම මට නම් පේන්න බැහැ.” “හපෝ මට පුළුවනි ඔය වැඩේ ඔයිට ඉක්මණට කරන්න.” “මම කමකට නැති භාවනා යෝගියෙක්, මට බැහැනෙ එක මිනිත්තුවක්වත් හුස්ම දිහා බලා ගෙන ඉන්න.” “ඊයෙ මගෙ භාවනාව හොඳට කෙරුණ, අද ඒකට….. ඔළුව හැමතැනම දුවනව.” “අහා! මේ භාවනාව මොනතරම් හොඳට කෙරෙනවද? කැඩෙන්න නොදී දිගට ම තියා ගන්න ඕනෙ.” “කිරා වැටුනත් කමක් නෑ, භාවනා ශාලාවෙ ම වාඩිවෙලා ඉන්න ඕනෙ නැත්නම් අනිත් අය හිතයි මම මහ වස කම්මැලියෙක්ය කියල.” “අද දවල් දානෙ ගන්න කොට මම පරිප්පු ටිකක් වැඩිපුර බෙදාගන්න ඕනෙ, පරිප්පු ඇඟට ගුණයි.” “අර්ර්… අදත් කිරිබත් වලට මුංඇට දාල.” “ඒ මනුස්සය හරිම ආත්මාර්ථකාමියි, කා ගැනවත් තැකීමක් නැහැ.” “ඇයි මට ම මේ හැම දෙයක් ම සිද්ද වෙන්නෙ?” “ඇයි අනිත් අය කිසි කෙනෙක් මේ නාන කාමරේ සුද්ද කරන්නෙ නැත්තෙ?” “ඇයි මේ භාවනාකාරය මෙතන ම ඇවිදින්නෙ?” “ඇයි මේ මිනිස්සු මේ හැටි සද්ද කරන්නෙ?” “බලන්නකො අරයගෙ උස මහත, ඇවිදිනකොට හරි ම හැඩයි.”
ඒ හැම සිතිවිල්ලක් ම මතු වුනේ කෙලෙස් මුල් කර ගෙනයි! ඒවා සුළු කොට නො සිතන්න!!
“එයා කරපු දේ හිතට ඇල්ලුවෙ නැති වුනත් මම ඒකට තරහ ගත්තෙ නෑ.” කව්රු එක්ක හරි, කවද හරි ඒ වගේ දෙයක් කියල තියෙනවද? වැඩපලේ ප්‍රධානිය ගැන හරි, තමන්ගෙ පවුලෙ කෙනෙක් ගැන හරි, එහෙමත් නැත්නම් තමන්ගෙ යාළුවෙක් ගැන හරි, අහිතකින් සමහර දේවල් තමන්ගෙ කටින් පිට වෙනවද? ඉඳලහිටල හරි කැත විහිළු කරනවද? කාගෙන් හරි වැඩක් කරවගන්න ඕනෙ වුනාම බොරු චාටු දානවද? ඔබේ අදහස්වලට කව්රු හරි එකඟ නො වෙන කොට නොදැනුවත්ව ම ඔබේ කටහඬ වේගවත් වෙනවද?
මේ සෑම දෙයකට ම මුල් වුනේ කෙලෙස්! ඒවායින් ප්‍රවේසම් වෙන්න!!
ඔබ කාගෙ හරි ගෙදරකට ගියාම, දොර නො අරින කොට, දොරට තඩි බෑම බලවත් වෙනවද? ඔබ අකමැති කෙනෙක් ඇතුළෙ ඉන්න බව දැන ගත්තාම ඒ කාමරය ඇතුළට යාම ඔබ ප්‍රතික්ෂේප කර තියෙනවද? පෝලිම් කඩල තියෙනවද? අනුන්ගෙ ගෙදරක නාන කාමරේට ගියාම එතන හොඳ සුවඳ විලවුන් එහෙම තිබුනොත් ඔබ ඒවා ඔබ පරිහරණය කරනවද? කාර්යාලයේ දුරකථනය ඔබේ පෞද්ගලික ඇමතුම් වලට යොදා ගන්නවද? හිතන්නෙ නැතිව ඔබ ඔය වගේ දේවල් කොතෙක් කර තියෙනවද?
ඒ සෑම ක්‍රියාවකට ම මුල් වුනේ කෙලෙස්ය! ඒ බව දැන හිඳින්න!!
මේ ආකාරයෙන් මනස හැසිරෙනතාක් කල් ඔබ බොහොම කොට අත්විඳින්නේ අසතුටය. මීට විසඳුමක් ඇත. ගැලවීමක් ඇත. සැනසීම ඇත්තේ වැඩි ඈතක නො වේ. එය ඇත්තේ ඔබ ළඟමය. දැන් සොයා බලන්න.
සති භාවනාව
පුහුණුව ආරම්භ කිරීමට පළමුව පුහුණුවන්නේ කෙසේ දැයි දැන ගැනීම ඉතා වැදගත් කොට සළකන්න. භාවනාව පිළිබඳ නිවැරදි ආකල්පයක් ඇති කර ගැනීමට අපට පුළුවන්කම ලැබෙන්නේ භාවනාව යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක් දැයි හරියාකාරව වටහා ගැනීමෙන්, පුහුණුවේ ස්වභාවය පිළිබඳ නිවැරදි අදහසක් ඇති කර ගැනීමෙන් හා පුහුණුවට අවශ්‍ය දැනුම ඒකරාශි කර ගැනීමෙන්ය.
අප භාවනාවෙහි යෙදෙන්නේ ශරීරය, වේදනා, මනස හා ධර්මය (සතර සතිපට්ඨානය) මත සිත පිහිටුවා ගැනීමෙන්ය. භාවනාවේ දියුණුවත් සමඟ අප වඩවඩා අවධානය යොදු කරන්නේ මනස වෙතටය. භාවනාව යනු මනස සමග කෙරෙන කටයුත්තක් වීම ඊට හේතුව වශයෙන් දැක්විය හැකිය.
භාවනාව මනසින් කෙරෙන කටයුත්තක්ය
සිහිය පිහිටුවා ගැනීම, දැන හිඳීම ආදිය මනසින් කෙරෙන කටයුතු නිසා භාවනාව මානසික ක්‍රියාදාමයක්ය. එය ශරීරයෙන් කෙරෙන කටයුත්තක් නො වේ. ඔබ හිඳගෙන සිටින ඉරියව්ව, සක්මන් කරන ආකාරය වැනි ශරීරය උපයෝගී කර ගැනීමෙන් කරන කටයුතු ඊට ඇතුළත් කළ නො හැකිය. මොහොතින් මොහොත ශරීරයත් මනසත් අත්විඳින දේ සෘජුව, නිවැරදිව දැන හිඳීම භාවනාවය.
උදාහරණයක් ලෙස මෙසේ කර බලන්න. ඔබ දැන් නමස්කාර කරන ආකාරයට දෑත් එක් කොට දෑතේ ගැටීම ගැන අවධානය යොමු කළේ නම් ඔබට යම් විඳීමක් දැනෙන්නේ මනසෙහි ක්‍රියාකාරිත්වය නිසාය. එය මනසින් කෙරෙන කාර්යයක්ය. ඔබ අන් දෙයක් ගැන සිතසිතා සිටිද්දී එම ගැටීමේ පහස පිළිබඳ දැනුවත් කමක් ඔබට පවත්වා ගත හැකිද? ඇත්තෙන් ම එය කළ නො හැකිය. ඒ වෙත අවධානයක් පවත්වා ගත යුතුමය. ශරීරය වෙත ඔබේ අවධානය පවත්වා ගන්නේ නම් ඔබට නොයෙකුත් අන්දමේ විඳීම් දැන හිඳිය හැකිය. ඒ ඒ විඳීම් වල ගුණාත්මකභාවයේ වෙනස් කම් ඔබට වෙන්වෙන්ව දැන හිඳිය හැකිද? ඒ ඒ විඳීම් වෙත ඔබේ අවධානය යොමු කර ඒවා සමග රැඳී සිටීමට එම විඳීම් නම් කළ යුතුමද? ඇත්ත වශයෙන් ම එය අනවශ්‍යය. ඇත්තෙන් ම එසේ නම් කිරීමට යාම, එම වින්දනය සවිස්තරව දැන හඳුනා ගැනීමට බාධාවක් වනු නො අනුමානය. දැන හිඳින්න! අවශ්‍ය එපමණය. ඒ කෙසේ වෙතත්, දැන හිඳීම, භාවනාවේ එක කොටසක් පමණක් බව සිතට ගන්න.
සිහිකල්පනාව සමග නුවණින් කටයුතු කිරීම සඳහා භාවනා පුහුණුව පිළිබඳව පැහැදිලි අවබෝධයක් සහ නිවැරදි දත්තයන් (කරුණු කාරණා) ඔබ සතු විය යුතුය. සති භාවනාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා දැන් ඔබ මෙය හැදෑරීමෙහි නිරතව ඇත. ඔබ භාවනාවෙහි යෙදෙන විට මනස පිටුපසින් ක්‍රියාත්මක වන්නේ ඔබ ලබා ගන්නා එවන් දැනුමය. ධර්මය කියවීම, ධර්මය සාකච්ඡා කිරීම සහ පුහුණුවන්නේ කෙසේ දැයි මෙනෙහි කිරීම ආදී දෑ මනසින් කෙරෙන කටයුතුය. ඒවා භාවනාවෙහි කොටස් කරුවෝය.
භාවනාව සඳහා මනසින් කෙරෙන කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා භාවනා කරද්දී හා ඉන් පිටතදී අඛණ්ඩව කෙරෙණ පුහුණුව ඉතා වැදගත්ය. සිහිකල්පනාව දවස පුරා පවත්වා ගෙන යාමට ඔබ මනස හැම විට ම දිරිගන්වා ගත යුතුය. හැම තැනකදී ම හැම විටකදී ම අවදිමත්ව මනස දෙස බලා හිඳින්න. හිඳින විට, ඇවිදින විට, අතුපතුගාන විට, කථා කරන විට, පතපොත කියවන විට, ඔබ කරන ඒ සෑම දෙයක් ම දැන හිඳින්න. ඒ සෑම මොහොතකදී ම සිදුවන්නේ කුමක් දැයි ඔබ දැන සිටිය යුතුය. ආරම්භයේදී එය ඉතාමත් අසීරු කටයුක්තක් වූවත් දිගින්දිගට ම කෙරෙන පුහුණුව ඔබ එතැනට පත් කරනු නිසැකය.
තැන්පත් වන්න
මනස සමග කටයුතු කරන විට කිසිදු බලපෑමකින් තොරව, මනසෙහි ආතතිය ඇති කර නො ගනිමින්, තැන්පත් කමින් යුතුව පුහුණුවෙහි යෙදිය යුතුය. ඔබ තැන්පත් වූ තරමට ම සිහිකල්පනාව දියුණු කර ගැනීම ද පහසු ය. අපි මෙතැනදී, “අවධානය එක්තැන් කරන්න”, “සිත එකඟ කර ගන්න” හෝ “විනිවිද දකින්න” යනුවෙන් ඔබට උපදෙස් නො දෙන්නේ අනවශ්‍ය අන්දමින් තද කර ගැනීමක් පිළිබඳ අදහස් ඒවායින් ඇඟවෙන නිසාය. ඒ වෙනුවට අප ඔබ දිරි ගන්වන්නේ, ‘බලන්න’, ‘දකින්න’, ‘සිහියෙන් ඉන්න’ හෝ ‘අවධානයෙන් ඉන්න’ වැනි අදහස් ඇති කර ගැනීමටය.
දැනටමත් මනසෙහි ආතතියක් ඇත්නම් හෝ ආතතිය ගොඩනැගීගෙන එන බව දැනේ නම් තැන්පත් වන්න. තැන්පත් වීම සඳහා තදබල ආයාසයක් යෙදීම කිසිසේත් ම අවශ්‍ය නැත. ඒ ගැන මෙසේ සලකා බලන්න: දැන් මේ මොහොතේ ඔබ සිටින ඉරියව්ව ගැන දැනුවත්කමක් ඔබට තිබේද? කුමක් සමග හෝ ඔබේ අතැඟිලි ගැටී ඇති ආකාරය පිළිබඳ ඔබේ දැනුවත්කම කෙබඳුද? ඔබේ දෙපා, එකිනෙක සමග හෝ පොළවෙහි ගැටී ඇති ආකාරය පිළිබඳව ඇති දැනුවත්කම කෙසේද? මේ කොයි යම් දෙයක් වූවත් දැන හිඳීමට අවශ්‍ය වන්නේ ඉතාමත් සුළු ආයාසයක්, වීර්යයක් බව තේරුම් ගන්න. එම දැන හිඳීම සඳහා අවශ්‍යවන වීර්යය ඉතා අල්ප වූවත් ඔබ විශේෂයෙන් ම මතක තබා ගත යුතු දෙය මෙයයි. එය මොහොතකට පමණක් සීමා නොකොට දවස මුළුල්ලේ ම එම වීර්යය පවත්වා ගත යුතු බවය. එය කටුක දෙයක් ලෙස ආරම්භයේදී හැඟුනත් ඔබ මේ අයුරින් පුහුණුවන්නේ නම් දවස ගෙවී යාමත් සමග ඔබේ මානසික ශක්තිය වර්ධනය වන බව ඔබට දැනෙනු ඇත. මනසට දැනෙන්නේ ප්‍රධෝදමත් බවක්ය. සුවයක්ය. දවස පුරා ඔබ, අර දේට මේ දේට පැනපැන යාමට මනසට ඉඩදී “ඔහේ බලා සිටියේ නම්”, මනස අමතක කර සිටියේ නම්, දිනය අවසානයේදී ඔබට දැනෙන්නේ මහත් විඩාවක්ය. නො දැනුවත්ව ම ඔබ අතින් අනවශ්‍ය දෙයට උවමනාවට වඩා වැඩියෙන් මානසික ශක්තිය වැය කෙරෙන්නේ නම් නිතැතින් ම ඔබ විඩාවට පත් වන්නේය. “මම දැන හිඳීම පවත්වා ගත යුතුය” යන අදහස නිරතුරුව ම සිහිපත් කර ගැනීම පුහුණුවෙහි දිගින්දිගටම යෙදීම සඳහා මහත් අනුබලයක් වන්නේය. පුහුණුවීමට ඔබට උපකාර වන්නේ ආතතියකින් තොරව, තැන්පත් බවකින් යුතුව, නිවැරදිව යොදා ගන්නා එම වීර්යයයි. මනස විඩාවට පත්ව ඇති විට හෝ අසහනය ඇති විට ඔබට යමක් දැන ඉගෙන ගැනීමට අපහසුය. මනසත් ගතත් විඩාවට පත්වන වගක් දැනේ නම් ඔබ පුහුණුවන ආකාරයෙහි යම් වරදක් ඇතිවාට සැක නැත. ඔබ හිඳින ඉරියව්ව සෝදිසි කර බලන්න, භාවනා කරන ආකාරය පිරික්සා බලන්න. ඔබ සිටින්නේ පහසුවෙන් හා විමසිලිමත්වද? ඔබේ ආකල්පය විමසන්න. යමක් බලාපොරොත්තුවෙන් හෝ යමක් සිදුවේය යන හැඟීමෙන් භාවනා නො කරන්න. එසේ කළහොත් ඉන් ලැබෙන ප්‍රතිඵලය වෙහෙසට පත් වීමය.
ඔබ ආතතියෙන් පෙළෙන්නේද, එසේ නැති නම් තැන්පත් කමින් පසු වන්නේදැයි ඔබ දැන සිටිය යුතුය. එය දිගින්දිගට ම දවස පුරා පරීක්ෂා කර බලන්න. ඔබට ආතතියක් දැනේ නම් ඒ ගැන දැනුවත් වන්න. ඔබ එය පැහැර හරින්නේ නම් ආතතිය නිතැතින් ම වර්ධනය වන්නේය. තැන්පත් කමක් ඔබට දැනේ නම් භාවනාවෙහි යෙදීම වඩා පහසුය.
නිවැරදි ආකල්පය
පුහුණුවීම සඳහා තැන්පත්කමත් සිහිකල්පනාවත් අත්‍යවශ්‍යය. ඒ සමග ම නිවැරදි ආකල්පයත් නිවැරදිව සූදානම් කර ගත් මනසත් භාවනාවට ඉතා වැදගත්ය. නිවැරදි ආකල්පය යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද? ඔබ අත්විඳිනා දේ කුමක් වූවත් එයින් සිතට අසහනයක් ගෙන නො දෙන ආකාරයෙන් එය සැහැල්ලුවෙන් බාරගෙන, තුටුපහටු සිතකින් එය විඳීමට, භුක්ති විඳීමට ඉඩ සලසන මානසිකත්වයක් ගොඩනගා ගැනීම, භාවනාව සඳහා නිවැරදි ආකල්පයක් ඇති කර ගැනීම ලෙස හැඳින්විය හැකිය. වැරදි අදහස් ඇති කර ගැනීමෙන් හෝ වැරදි දත්තයන් එක්රැස් කර ගැනීමෙන් හෝ ක්ලේශයන් හරි හැටි හඳුනා නො ගැනීමෙන් එම ආකල්පය මත ඇති කෙරෙන බලපෑම ඉතා බලවත්ය.
බොහෝ විට අපට ඇත්තේ වැරදි ආකල්පයන්ය. නිවැරදි ආකල්පයක් ඇති කර ගැනීමට වෑයම් කරන්නේ නැතිව, ඒ වෙනුවට, තමා තුළ ඇත්තේ වැරදි ආකල්පයක් ද, එසේ නැති නම් නිවැරදි ආකල්පයක් දැයි දැන ගැනීම වැදගත්ය. නමුත් තමන්ට ඇත්තේ වැරදි ආකල්පයක් නම් ඒ ගැන විමසා බැලීම ඊටත් වඩා වැදගත්ය. ඔබේ වැරදි ආකල්පයන් දැන හඳුනා ගැනීමට උත්සාහ ගන්න. ඒවා ඔබේ පුහුණුව මත බලපාන අයුරුත්, ඒවා ඇති විට ඔබට දැනෙන හැඟීමත් විමසා බලන්න. ඔබ ගැන සැලකිල්ලෙන් හා සෝදිසියෙන් හිඳිමින් පුහුණුවෙහි ඔබ යෙදී සිටින්නේ කවරාකාර මානසිකත්වයකින් දැයි සොයා බලන්න.
තැන්පත්කමකින් හා සිහිනුවණින් යුතුව තමා ඉදිරියේ දැන් සිදුවන්නේ දේ සතුට ගෙන දෙන දෙයක් හෝ අසතුට ගෙන දෙන දෙයක් වේවා, එය පිළිගැනීමට, බාරගැනීමට, සමග විසීමට හැකියාව ලබා දෙන්නේ නිවැරදි ආකල්පයයි. හොඳ හෝ නරක වේවා සෑම අත්විඳීමක් ම පිළිගැනීමටත් ඒවායින් දැන ඉගෙනීමටත් ඔබ සූදානම් විය යුතුය. හොඳ හෝ නරක වේවා සෑම විඳීමක් වෙත ම මනස දක්වන ප්‍රතිචාරය නොහොත් ඇතුළත කථාව, එනම් තත්වාකාරයෙන් එය පිළිගැනීමට හෝ නො පිළිගැනීමට, ඒ වෙත කැමැත්තක් හෝ අකමැත්තක් දැක්වීමට, එය පාලනය කිරීමට, එය විනිශ්චය කිරීමට, එයට විරෝධය දැක්වීමට මනස කටයුතු කරන ආකාරය දැන හිඳීමෙන් බොහෝ දේවල් ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව සැලසෙන්නේය.
යම් දෙයකට දක්වන කැමැත්ත පෙන්වන්නේ එය ලබා ගැනීමට ඔබට ඇති ආශාවය. අකමැත්ත පෙන්වන්නේ එයින් ඉවත් වීමට, එය පිටු දැකීමට ඔබ දක්වන රුචියයි. අවිද්‍යාව නිසා හට ගන්නා ක්ලේශයන් ලෙස කැමැත්ත හා අකමැත්ත හැඳින්විය හැකිය. අවිද්‍යාව හෙවත් ඇති තතු හරි හැටි නො වැටහීම තදබල ක්ලේශයක්ය. කැමැත්ත හෝ අකමැත්ත මත ඔබ සිතිවිලි මනසෙහි ඇති කර ගැනීමට, ඒවා අයිති කර ගැනීමට උත්සාහ නො ගත යුත්තේ තණ්හාව ඊට මුල් වන හෙයින්ය. සිදුවන දෙය ප්‍රතික්ෂේප නො කළ යුත්තේ ප්‍රතික්ෂේප කිරීම ද්වේශය උපදවන හෙයින්ය. මනසෙහි යමක් සිදුවන බව නො දැන හිඳීම හෝ යමක් සිදු නොවන බව නො දැන හිඳීම යන මේ කාරණා දෙක ම අවිද්‍යාවේ හවුල් කරුවන්ය.
සිදුවන දෙය ඔබට අවශ්‍ය ආකාරයට හැඩගස්වා ගැනීම සඳහා අයුතු බලපෑම් නො කළ යුතුය. ඔබ කළ යුතුතේ සිදුවන දෙය ඒ ආකාරයෙන් ම දැන හිඳීමට උත්සාහ දැරීමය. දේවල්, ඒ ආකාරයෙන් හෝ මේ ආකාරයෙන් සිදු විය යුතු යයි සිතීම, ඒවා තමා කැමති ආකාරයෙන් සිදු වීමට හෝ සිදු නො වීමට දක්වන කැමැත්ත හඳුන්වන්නේ බලාපොරොත්තුව නමිනි. බලාපොරොත්තු තුළින් මතුවන්නේ චකිතයය, අනිසි අපේක්ෂාවයය. පහසුවෙන් ම ද්වේශය වෙත ඔබ නැඹුරු කිරීමට ඒවාට හැකියාවක් ඇත. ඔබේ ආකල්පයන්, සිතැඟියාවන් දැන හඳුනා ගැනීම අතිශයින් ම වැදගත්ය. ඔබේ පුහුණුව ස්වයන් විවේචනයකට ලක් කර ගනිමින් එය කෙරීගෙන යන ආකාරය පිළිබඳව අහිතක් ඇති කර ගැනීම වැරදි ආකල්පයක්ය. එමගින් කළකිරීම ඉස්මතු විය හැකිය. ඔබේ සිතැඟියාවට අනුව පුහුණුව සිදු නො වන්නේය යන අදහස මූලික කර ගෙන, එය වෙනත් ආකාරයකට සිදු විය යුතුය යන බලාපොරොත්තු ඇති කර ගැනීමෙන් හෝ පුහුණුවෙන් අදහස් කෙරෙන්නේ කුමක්දැයි නො දැනීමෙන් මෙම කළකිරීම මතු විය හැකිය. මෙවන් ආකල්පයක් පුහුණුවට බාධා කරන අතර එමගින් මනස හැකිළීමට ද ඉඩ ඇත. කළකිරීම හොඳින් හඳුනා ගැනීමට ද උත්සාහ ගන්න. එය මුළුමණින් ම පිළිගන්න. එය හොඳ සිහියෙන් බලා හිඳින්න. කළකිරීමේ ස්වභාවය දෙස බලා හිඳීමේ හා එය විමසා බැලීමේ ක්‍රියාදාමය තුළින් ඊට හේතුව ඔබට පැහැදිලි වනු ඇත. හේතුව දැන හඳුනා ගැනීමෙන් කළකිරීම පහව යන්නේය. එපමණක් නොව ඉදිරියේදී එවැනි අවස්ථා තේරුම් ගැනීමට සහ ඒවාට මුහුණදීමේ හැකියාව වර්ධනය කර ගැනීමට ඔබට හැකි වන්නේය. කළකිරීම හේතු කොට ගෙන ඔබේ මනසටත් ගතටත් සිදු වන හානිය ඔබට ප්‍රත්‍යක්ෂ වන්නේ එවිටය. ඔබේ පක්ෂග්‍රාහී ආකල්පයන් හොඳාකාරව දැකීමත් සමඟ ම ඒවායින් ගැලවීමට මග ද හෙළිදරව් වන්නේය. මේ අයුරින් ඔබ දියුණු කර ගන්නේ කෙළෙස් සමග හරියාකාරව ගනුදෙනු කිරීමේ නිපුණත්වයය.
වැරදි ආකල්පයන් හට ගන්නේ අවිද්‍යාව හේතු කොට ගෙනය. අපි සැවොම වැරදි ආකල්පයන් උරුම කොට ගත්තෝ වන්නෙමු. තණහාව, ද්වේශය වැනි මූලික ක්ලේශයන් මෙන් ම ඒවායේ දුරස්තර නෑදෑයින් ලෙස හැදින්විය හැකි, සීමාරහිතව අප ඇති කර ගන්නා උද්දාමය, ශෝකය, අසහනය වැනි ක්ලේශයන්ට ද පදනම වන්නේ වැරදි ආකල්පයන්ය. මෙවැනි ආකල්පයන් නො පිළිගැනීම ම ඒවායේ වර්ධනයට හේතු වේ. ඒවා භාවනාවට බාධා පමුණුවනවා පමණක් නොව සතුටුදායක දිවිපෙවෙතක් ගෙනයාමට එරෙහිව ද නැගී සිටින්නේය. සැබෑ නිදහස හා සාමය වෙත එළඹීම වළකාලන්නේ මෙම ක්ලේශයන්ය.
කෙළෙස් සුළු කොට නො සිතන්න. ඒවා සිනාසෙන්නේ ඔබටයි!
කෙලෙස් ගැන විමසිල්ලෙන් ඉන්න. මනසෙහි මතුවන කෙලෙස් ගැන දැනුවත් වන්න. හොඳින් සැලකිලිමත්ව ඒවා හඳුනා ගැනීමට උත්කුස වන්න. ඒවාට නො ඇලෙන්න. ඒවා ප්‍රතික්ෂේප නො කරන්න, නො දුටුවා සේ නො සිටින්න. ඒවා තමන්ගේය යන හැඟීම ඇති කර නො ගන්න. ඒවා තමන්ගේ ලෙස නො සලකමින්, ඒවාට නො ඇලෙන්නේ නම් ඒවායේ බලය ක්‍රමක්‍රමයෙන් පිරිහී යන්නේය. හැමවිට ම නැවත නැවතත් කිනම් ආකල්පයක් ඇතිව ඔබ භාවනාවෙහි යෙදී සිටින්නේදැයි පිරික්සා බලන්න.
සති භාවනාවෙහි ඔබ යෙදී සිටින්නේ ඔබේ ගත හා සිත අතර ඇති සම්බන්ධතාවය දැන ඉගෙන ගැනීමෙහි බව හොඳින් මතක තබා ගන්න. අමුතු දෙයක් ඔබ කළ යුතු නැත. විශේෂත්වයක් නොමැතිව සාමාන්‍ය අයුරින් හිඳින්න, හැසිරෙන්න. නිතැතින් සිදුවන ක්‍රියාවලියෙහි වෙනසක් ඇති කිරීම අනවශ්‍යය. වේගය බාල කිරීමක් අනවශ්‍යය. කළ යුතු එක ම දේ සිදුවන දේ සිදු වන්නට ඉඩහැර ඒ ගැන දැනුවත් වීම පමණක්ය. ඇති දේ ඇති හැටියෙන් දකින්න.
ඒකාග්‍රතාවය වෙත මනස යොමු කිරීමට අවශ්‍යතාවයක් නොමැත. පුහුණුවීමත් සමග ම ස්වභාවිකව එයට සිදු වන්නට ඉඩ හරින්න. අපේ මූලික කර්තව්‍යය විය යුත්තේ වඩවඩාත් සිහිකල්පනාව ඇති කර ගැනීමය. සිහිකල්පනාවෙහි නො බිඳුණු ස්වභාවය, අඛණ්ඩත්වය ඇති විට මනසෙහි තියුණු බවක් හා දැන හිඳීමෙහි පරිපූර්ණතාවයක් ඔබට විද්‍යමාන වනු ඇත.
මෙය අමතක නො කරන්න. දැන හිඳිනා දෙයෙහි හෝ අරමුණෙහි ඇති එතරම් විශේෂත්වයක් නැත. දැන හිඳීම පිටුපසින් පවතින මනසෙහි ක්‍රියාශීලී බව වඩා වැදගත්ය. දැන හිඳීම පවත්වාගෙන යනු ලබන්නේ නිවැරදි ආකල්පයකින් යුතුව නම් ඕනෑම අරමුණක් නිවැරදි අරමුණක් වන්නේය.
ඔබට ඇත්තේ නිවැරදි ආකල්පයක්ද?
ප්‍රඥාන්විත දැන හිඳීම
සති භාවනාවේදී දැන හිඳිනා දේ දන්නා, පිළිගන්නා මනසකින් පමණක් සෑහීමකට පත්වීම අපේ අරමූණ නො වේ. අනුවණයෙකු මෙන් නො සිතා, නො බලා කරන්නන් වාලේ මෙය කළ නො හැකිය. පුහුණුව දීප්තිමත් වීමට නම් ඔබේ ප්‍රඥාවත්, තීක්ෂණ බුද්ධියත් යන දෙක ම ඊට එක් කළ යුතුය. භාවනාව බල ගැන්වෙන්නේ එවිටය. ප්‍රඥාන්විතව දැන හිඳිම සඳහා ඔබට උපකාර වන උපාංගයන් සමහරක් මේවාය.
- පුහුණුව පිළිබඳ නිවැරදි අවබෝධය සහ නිවැරදි කරුණු කරණා දැන හිඳීම.
- නිවැරදි පෙළඹීම සහ උනන්දුව.
- නිවැරදි සිතිවිලි, මෙනෙහි කිරීම සහ විමසා බැලීම.
පුහුණුව පිළිබඳ නිවැරදි කරුණු කරණා සහ පැහැදිලි අවබෝධය ලබා ගන්නේ අදාළ පොතපත කියවීමෙන් සහ ධර්ම සාකච්ඡා මගින්ය. මෙතැන මේ මොහොතේ පුහුණුවෙහි යෙදී සිටින්නේ මන්දැයි පැහැදිලිව අවබෝධ කර ගැනීමෙන් නිවැරදි පෙළඹීම සහ උනන්දුව ඇති වන්නේය. “භාවනා කරන්න මට අවශ්‍යය ඇයි?” “මම බලාපොරොත්තු වන්නේ කුමක්ද?” “භාවනාව යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි මා දනීද?” මෙසේ ඔබ කවදා හෝ තමන්ගෙන් ම ප්‍රශ්න කර තිබේද? නිවැරදි පෙළඹීමත්, උනන්දුවත් රඳා පවතින්නේ මෙම ප්‍රශ්න වලට ඔබ සපයන පිළිතුරු මතය. නිවැරදි කරුණු කාරණා සහ නිවැරදි පෙළඹීම භාවනාවේදී ඔබ සිතන, මෙනෙහි කරන දෑ මත ඇති කරන බලපෑම සුළුපටු නො වේ. සුදුසු මොහොත එලැඹි විට ප්‍රඥාන්විත ප්‍රශ්න නැගීමට ඔබට ආධාර වන්නේ ද ඒවාය.
ඇති කර ගන්නා නිවැරදි සිතිවිලි, මෙනෙහි කිරීම සහ විමසා බැලීම ඔස්සේ ඔබ ගමන් ගන්නේ නිවැරදි පුහුණුව කරාය. ආධුනිකයෙකු ලෙස පුහුණු වෙද්දී යම් අපහසු අවස්ථාවක් උද්ගත වුවහොත් ඔබ මුලින් ම කළ යුත්තේ, එවන් අවස්ථාවකදී පිළිපැදිය යුතු උපදෙස් මොනවාදැයි මෙනෙහි කොට ඒවා ක්‍රියාවට නැංවීමට උත්සාහ දැරීමය. සිදු වන්නේ කුමක්දැයි ඔබට අපැහැදිලි නම් මෙසේ ප්‍රශ්න කිරීමෙහි වරදක් නැත. “මගේ ආකල්පය කුමක්ද?” “මට අභියෝග කරන ක්ලේශය කුමක්ද?” විශේෂයෙන් ම ඔබ ආධුනිකයෙක් නම් උවමනාවට වඩා සිතීමෙන් හා මෙනෙහි කිරීමෙන් වළකින්න. හේතුව, එගින් ඔබේ මනස විසිර යාමට ඉඩකඩ ඇති හෙයින්ය. එවැනි ප්‍රශ්න හා සිතිවිලි මගින් සිදු විය යුත්තේ ඔබේ උනන්දුව ගොඩනගා ගැනීමට උපකාරයක් වීම පමණක්ය.
ඒ කෙසේ වූවත්, නිවැරදි කරුණු කාරණා ඔබ දැන සිටියදීත්, නිවැරදි පෙළඹීම සහ නිවැරදි මෙනෙහි කිරීම් වල නිරත වූවත්, ඔබ අතින් වැරදි සිදු වීමට ඉඩ ඇත. වැරදි හඳුනා ගැනීම ප්‍රඥාන්විත දැන හිඳීමෙහි එක්තරා වැදගත් අංගයක්ය. අප අතින් කොතෙකුත් වැරදි සිදු වේ. එය ස්වභාවික දෙයක්ය. ඔබ අතින් වරදක් වී ඇති බව දැනගත් විට එය පිළිගන්න, එහි වගකීම ද බාර ගන්න. එයින් යමක් ඉගෙන ගැනීමට උත්සාහ ගන්න.
ඔබේ සිහිකල්පනාව දිගින්දිගට ම පවත්වා ගෙන යාමේ හැකියාවේ වර්ධනයත් සමග පුහුණු වීමට ඇති කැමැත්ත ද වර්ධනය වේ. ඔබේ පුහුණුව බල ගන්වන්නේ ප්‍රඥාන්විත දැන හිඳීමය. එය නව අත්දැකීම් ද ඔබ වෙත ළඟා කර දෙන්නේය. එය සති භාවනාවෙන් බලාපොරොත්තු වන අවසාන ප්‍රතිඵලය වූ විදසුන් නුවණ ඔබ වෙත ළඟා කර දීමට ද පිටුවහලක් වන්නේය.
සති භාවනාව යනු දැන ඉගෙන ගැනීමේ කටයුත්තක්ය. ඒ සඳහා ඔබේ අවධානය ප්‍රඥාන්විතව යොදන්න.
ඉරියව්ව / ආහාර ගැනීම / එදිනෙදා කටයුතු
උදෑසන අවදි වූ වේලේ පටන් රෑ නින්දට වැටෙන තෙක් සිහියෙන් සිටීමට අමතක නො කරන්න. ඔබ සිහියෙන් නො සිටින බව හැඟෙන ඕනෑම අවස්ථාවකදී ඔබේ මානසිකත්වය විමසා බලන්න. ඔබේ මනසේ ස්වභාවය කුමක්දැයි දැන හිඳීමට උත්සාහ ගන්න. ඔබ පසුවන්නේ සැහැල්ලුවෙන් ද එසේ නැත්නම් අසහනයෙන් දැයි විමසා බලන්න. ඉන්පසු ඔබට ශරීරයේ පහසුවෙන් දැන හිඳිය හැකි ඕනෑම කොටසකට මනස යොමු කිරීම අරඹන්න. භාවනාවට යොමු වූ මනස සරල විය යුතුය. ව්‍යාකූල බවින් තොර විය යුතුය. දැනෙන ඕනෑම විඳීමක් වෙත මනස යොමු කර, එය මූලික අරමූණ කර ගෙන එය සමග මේ මොහොතේ රැඳී සිටීමට දිරි ගන්න. ප්‍රධාන හෝ අවශේෂ අරමුණක් වෙත සිහි එළවා ගෙන මේ මොහොතේ සිහිය පවත්වා ගන්න. ඔබ අවධානයෙන් සිටිය යුතුතේ කුමක් ගැනදැයි සැක පහළ වූ හැම විට ම, ඇත්තෙන් ම ඔබේ මනස යොමු කළ හැකි යම්කිසිවක් එතන ඇති බව ඔබට වැටහෙනු ඇත. ප්‍රධාන අරමුණ සමග හැමවිට ම රැඳී සිටිය යුතු යැයි කියා නියමයක් නැත. ඔබේ මනස වෙනත් අරමුණක් වෙත, එනම් යම් විඳීමක්, ශබ්දයක්, සිතිවිල්ලක් හෝ කෙටියෙන් පවසනවා නම් අඩුතරමින් මනස විසිර ගොස් ඇති බවවත් ඔබේ අවධානයට ලක් කර ගත හැකි නම්, මේ නව අරමුණින් සෑහීමකට පත් විය හැකි නම්, ඒ හොඳට ම ප්‍රමාණවත්ය. එහි කිසි වරදක් නැත. එමෙන් ම එකකට වැඩි ගණනක් අරමුණු ඔබේ සිහියෙහි පවතින බව දැන හිඳින්නේ නම් එහි ද කිවයුතු වරදක් නැත.
හිඳගෙන භාවනා කරද්දී ගත සිත දෙක ම සුවපහසු වෙන් තබා ගත යුතුය. ඔබ සැහැල්ලුවෙන් සිටින්නේ දැයි විටින්විට විමසා බලන්න. ආතතියක්, අසහනයක් දැනේ නම් සැහැල්ලු බවක් මුලින් ඇති කර ගෙන ඉන් පසු ඔබේ ආකල්පය කුමක් දැයි විමසා බලන්න. ඇතුළත ක්‍රියාශීලී නම් එම ක්‍රියාව හොඳින් දැන හිඳින්න. සැහැල්ලුවෙන් සරල බවින් යුතුව සිදුවන දේ බලා හිඳින්න. මනස දැන හිඳින්නේ කුමක්ද? එය දැන හිඳින්න, බලා හිඳින්න. එය ඔබේ ඉරියව්ව, ශාරීරික විදීමක්, හුස්ම, මානසික විඳීමක්, ශබ්දයක්, ගඳක්, සුවඳක් වැනි ඕනෑම දෙයක් විය හැකිය. සතුට අසතුට වැනි මනෝභාවයන්ගෙන් හෝ සිතිවිලි වලින් මනස පිරී හෝ විසිරී ඇතිවා වන්නට පිළිවන. හොඳ සුවපහසුවෙන් මෙට්ටය මතට වී ඔබ ඉතා වැදගත් දෙයක් ගැන සිතසිතා සිටිනවා විය හැකිය. නමුත් ඒ ගැන ඔබේ දැනුවත් බවක් නැති නම් ඔබ කරන භාවනාවක් නැත! මෙසේ සිතිවිලි වල පැටලි පැටලී සිටින බව හදිසියේ ම දැන ගත් විට එයින් කළබලයට පත් නො වන්න. දුක් නො වන්න. ඔබෙන් ගිලිහී ගිය සිහිකල්පනාව නැවත ඔබට ලැබී ඇත. ඒ ගැන සතුටු වන්න. සැහැල්ලුවන්න, සන්සුන්වන්න, ඔබේ ආකල්පය විමසා බලන්න. නැවත මතක් කර දෙනවා නම් මේ අභ්‍යාස නැවත මුල සිට ආරම්භ කරන්න.
එදිනෙදා කටයුතු වල නිරත වීම සඳහා ඇවිදින විට, ඇවිදින බව හොඳින් දැන හිඳින්න. ඒ සඳහා හෙමින් හෝ වේගයෙන් යෑම අනවශ්‍යය. සුපුරුදු අන්දමින් ඇවිදින්න. මනස යොමුව ඇති දේ ගැන සිහියෙන් ඉන්න. එසේ නැති නම් පාද වලට දැනෙන ස්පර්ශය හෝ ඇවිදින විට දැනෙන ගතේ චලනය වෙත අවධානය යොමු කරන්න. ඇවිදිද්දී ගතේ යම් තැනක දැනෙන වේදනාවක් වෙත මනස යොමුව ඇත්නම් එහි ද වරදක් නැත. නමුත් මතක තබා ගන්න, අනිවාර්යයෙන් ම එක ම දෙයක් මත, එනම් එක ම අරමුණක් මත දිගින්දිගට ම මනස පවත්වා ගෙන හිඳීම අනවශ්‍යය. එමගින් ආතතියක් ඇති කෙරේ නම් ඇත්තවශයෙන් ම ඔබ ඒ දේ නො කළ යුතුය. ඔබ ඇවිදගෙන යන්නේ කොතැනකට දැයි හොඳ සිහියෙන් සිටිය දී ඔබට පිටත ශබ්ද ඇසෙන්නට පුළුවන. නමුත් ඒ කුමක් දැයි සොයා බැලීමට ඔබ උත්කුස වුවහොත් එයින් ඇවිදීම වෙත ඇති ඔබේ අවධානය බිඳෙන හෙයින් ඉන් වළකින්න. ඒ කෙසේ වෙතත් ඔබේ සිහිකල්පනාව දිගින්දිගට ම පවත්වා ගෙන යාමට හැකි වූ විට යම් දෙයක් වෙත නෙත හෝ සිත යොමු වුවහොත් එය ද දැන හිඳීමට ඔබට හැකි විය යුතුය. මේ අයුරින් දැන හිඳීම සඳහා අවශ්‍ය හැකියාව දියුණු වන්නේ ඔබේ නිරන්තර පුහුණු වීමත් සමගය. මෙබඳු නිපුණත්වයක් නැති විට, යම් දෙයක් නෙත ගැටීමෙන් සිත ඒ වෙත ඇදී ගියහොත් සිදු වන්නේ ඔබේ සිහිකල්පනාව බිඳ වැටීමය.
හිඳිමින් හෝ ඇවිදිමින් කරන භාවනාවේ දී ඔබ උපයෝගී කරගත් මූලික සිද්ධාන්තයන් ම ඔබ සිටගෙන සිටින ඉරියව්වෙන් භාවනා කරද්දීත් යොදා ගත හැකිය. අසහනය, ආතතිය ගැන සෝදිසියෙන් ඉන්න.
ඔබ කෑම කන විට එය කළබලයෙන් නො කරන්න. ආහාර ගනිද්දී කෑදරකමක් ඇති වුවහොත් සිහිකල්පනාව ගිලිහී යන්නේය. එම නිසා ඔබ ඉක්මන් කමකින් යුතුව කෑම ගැනීමෙහි නිරතව ඇති බව දනී නම් කෑම ගැනීම ටිකකට නතර කරන්න. ඒ ඉක්මන්කම සමග යටින් මතු වී ඇති කෑමට ගිජුකම හෝ දැනෙන වින්දනය දෙස ටික වේලාවක් බලා හිඳින්න. ආහාර ගැනීමේ කටයුත්ත සිදු වන ආකාරය හොඳින් වටහා ගැනීම සඳහා සෑහෙන ප්‍රමාණයක සංසුන් කමක් මනසෙහි තිබිය යුතුය. ආහාරයට ඇති රුචිය, ඔබ කෑමට කැමති දේ අකමැති දේ, මනසෙහි ස්වභාවය, නොයෙකුත් රස, සුවඳ, වින්දනය යන මේ සියල්ල ම අත් විඳින්න. ශරීරය සෙලවෙන, අතපය තබාගෙන සිටින ආකාරය ද දැන හිඳින්න. සෑම දෙයක් ම විස්තරාත්මකව දැන හිඳීමට බිය නො වන්න. ඔබ විඳින දේ හොඳින් අත්විඳින්න.
සිහිකල්පනාව හොඳින් පවත්වා ගත යුතු ඉතා වැදගත් අවස්ථා දෙකක් ලෙස ඔබ හුදකලාව සිටින කාලයත්, ඔබේ පෞද්ගලික කටයුතු වල නිරත වන කාලයත් සඳහන් කළ හැකිය. ඉතා පහසුවෙන් ම සිහිකල්පනාව ගිලිහී යාමට ඉඩකඩ ඇත්තේ ඔබ තනිව ම සිටින මෙවන් අවස්ථා වලදීය. දොරවල් අරින වහන විට, දත් මදින විට, ඇඳුම් ඇඟලා ගන්නා විට, ඇඟ සෝදන විට, වැසිකිළියට ගිය විට ඔබ ඉන්නේ සිහියෙන්ද? මේ කටයුතු වල නිරතව සිටිද්දී ඔබට හැඟෙන්නේ කෙසේද? ඔබට ප්‍රියමනාප දේවල් නුරුස්සනා දේවල් එවන් අවස්ථාවන්හිදී සිහිපත් වන්නේද? ඒ අතර තුර යමක් ඔබේ නෙත ගැටුණු විට ඒ ගැන දැනුවත් බවක් ඔබට හැඟේද? යමක් ඇසෙන විට ඔබ ඉන්නේ දැනුවත්වද? ඔබට දැනෙන, පෙනෙන, හැඟෙන, ඇසෙන, රස දැනෙන, ගඳ සුවඳ දැනෙන, ස්පර්ෂ කරන, සිතන හැම විට ම ඒ පිළිබඳව විචාරාත්මක අදහස් උදහස් මනසෙහි හට ගන්නා බව ඔබට පෙනෙන්නේද? කථා කරන විට ඔබ සිටින්නේ දැනුවත්වද? එවිට ඔබේ කට හඬේ ශබ්දය ස්වරය ගැන ඔබ සිටින්නේ දැනුවත්වද?
ඔබ ඉන්නේ ආතතියකින් යුතුව ද නො එසේ නම් සැනසීමෙන් දැයි නිරතුරුව ම විමසා බැලීම ද ඉතාමත් නුවණට හුරුය. එසේ නො කරන්නේ නම් ඔබේ මානසිකත්වය කෙබඳු දැයි ඔබ දැන ගන්නේ කෙසේද? ආතතියක් ඇති බව දැනේ නම් එය දෙස බලා ඉන්න. ආතතිය ඇති විට පුහුණු වීම කළ නො හැකිය. ආතතියක් මනසෙහි ගොඩ නැගී ඇත්නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ මනස නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවය. දෛනික ජීවිතයේදී ඔබ විටින්විට මේ ආකාරයෙන් සැලකිලිමත් වන්නේ නම් ආතතිය ගොඩ නැගීම වළක්වා ගත හැකිය. ආතතිය ගොඩ නැගීමට හේතු සාධක කවරේදැයි යන්න පුහුණුවත් සමග ඔබ අවබෝධ කර ගන්නා තවත් දෙයක්ය. එම නිසා ආතතිය දැන හිඳීමට අමතක නො කරන්න! ඔබ තද ගතිය, ආතතිය පහසුවෙන් ඇති කර ගන්නා පුද්ගලයෙක් නම් දිනකට වරක්වත් බිම දිගා වී භාවනා කරන්න. එසේ පුහුණු වීමෙන්, හිඳගෙන, සිටගෙන, සක්මන් කරන යන සෑම ඉරියව්වකදී ම, එය ඔබට සිහිය පවත්වා ගැනීමට උපකාර වන්නේය.
සිතීමෙහි යෙදීමෙන් මනස අයාලේ ගොස් ඇති අවස්ථාවක දී, ශබ්දයක් වෙත ඔබේ අවධානය යොමු වූයේ නම් ශබ්දය ඇසුණු බව පමණක් දැන හිඳින්න. සිතීම මනසෙහි ස්වභාවිකව සිදුවන කටයුත්තක්ය. හොඳින් කන් ඇසෙන්නේ නම් ශබ්ද කන ගැටීම සිදු වන්නේ ස්වභාවිකවමය. සිතන බව හෝ ශබ්දයක් ඇසුණ බව මනස දනී නම් ඔබේ පැවැත් ම සතුටුදායකය. ශබ්ද හෝ සිතිවිලි වලින් ඔබ කැළඹීමට පත්වන්නේ නම් හෝ ඒවාට ප්‍රතිචාරක් දක්වන්නේ නම් හෝ ඒවා විග්‍රහ කිරීමට පෙළඹෙන්නේ නම් ඔබේ ආකල්පය ප්‍රශ්න කටයුතුය. විසිර යන මනසත් ඇසෙන ශබ්දත් ප්‍රශ්න ඇති නො කරයි. ප්‍රශ්න ඇති වන්නේ “ඒවා ඒ ආකාරයෙන් සිදු නො විය යුතු යැයි” ඔබ ඇති කර ගන්නා ආකල්පය නිසාය. ඔබ මේ සංධිස්ථානයේදී හඳුනා ගෙන ඇත්තේ මනසේ පවතින ස්වභාවික ක්‍රියාකාර කම් දෙකක්ය. එනම් සිතීම හා ඇසීමය. ඒ ඔස්සේ ඔබේ අවධානය යොමු වූයේ ඒවාට ආවේනික වූ අරමුණු දෙකෙක් වෙතය. වල්මත් නො වී එය දැන හිඳීම භාවනාවේ අරමුණය.
සිතීම පෙන්නුම් කරන්නේ මනසෙහි ක්‍රියාකාරිත්වයයි. ඔබ මේ භාවනාවට අවතීර්ණ වන මුල් අවධියේ දී සිතිවිලි දෙස දිගින්දිගට ම බලා නො හිඳින්න. ඒසේ ම එම සිතිවිලි නො සලකා හැර කෙලින් ම ඔබේ භාවනා අරමුණ වෙත ද නො යන්න. ඔබ සිතීමෙහි යෙදී ඇති බව දැනගත් විට ඒ සිතිවිලි වෙත අවධානය යොමු කොට “එය සිතිවිල්ලක් පමණක් නේද?” යන හැඟීම මනසෙහි ඇති කර ගන්න. “එය මගේ සිතිවිල්ල” යනුවෙන් කිසි විටෙක නො සිතන්න. දැන් නැවත ඔබේ මූලික භාවනා අරමුණ වෙත යන්න.
සිතන මනස කරදරයක් හෝ බාධකයක් ලෙස ඔබට හැඟේ නම්, ඔබ මේ පුහුණුවන්නේ සිතීම නතර කිරීම සඳහා නොව සිතිවිලි මතුවන ඕනෑම අවස්ථාවක දී ඒවා දැන හඳුනා ගැනීමටත්, ඒවා පිළිගැනිමටත් බව සිහිපත් කරන්න. ඔබට සිහිකල්පනාවක් හෝ දැන හිඳීමක් නොමැති විට ඔබ සිතීමෙහි යෙදී ඇති බව ඔබට නො හැඟේ. ඔබ සිතන බව ඒත්තු ගැනීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඔබ සිහිඑළවා ගෙන සිටින බවය. මනස සිතීමෙහි නියලුනේද, විසිර ගියේද, යම් කිසිවකින් මනස වික්ෂිප්ත වූයේ දැයි ඔබ දැන සිටිනතාක් කල් ඔබේ පුහුණුවෙහි දොසක් නොමැති බව සලකන්න.
සිතීම නතර වූයේ ද නැද්ද යනු නො වැදගත්ය. වඩා වැදගත් වන්නේ ඔබ සිතන දේ අවශ්‍ය ද අනවශ්‍ය ද, වැඩදායී ද අවැඩදායී ද, තැනට සුදුසු ද නුසුදුසු ද, අර්ථවත් ද අනර්ථවත් ද යනුවෙන් දැන හිඳීමට ඔබට ඇති හැකියාවය.
සිතිවිලි දෙස බලා හිඳිමින් ඒවා සමග නො පැටලී සිටීමට ඉගෙනීම පුහුණුවේ ඇති ඉතා වැදගත් අංගයක්ය. සිතිවිලි සමග නො පැටලී සිටීමට කොතෙක් උත්සාහ දැරුවත් ඒවා වර්ධනය වේ නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ ඔබ නො දැනුවත්ව ම ඒවා සමග පැටලී ඇති බවය. මෙය සිදුවන්නේ නම් හෝ අතරක් නැතිව සිතිවිලි මතුවන්නේ නම් ඔබ සිතිවිලි දෙස බලා හිඳින්නෙකු නො වේ. එසේ නම් සිතිවිලි දෙස බලා හිඳීම ඉක්මණින් නතර කොට පසුබිමින් ඔබට දැනෙන අසහනය හෝ කයේ දැනෙන වෙන යම් වේදනාවක් වෙත සිත යොමු කරන්න.
හිඳගෙන හෝ සක්මනෙහි හෝ ඒදිනෙදා කටයුතු වල නිරතව සිටියදී විටින්විට තමන්ගෙන් ම මෙසේ විමසා බලන්න. මනස කරන්නේ කුමක්ද? සිතීමද? එසේ නම් සිතන්නේ කුමක් ගැනද? දැන හිඳින්නේද? ඒසේ නම් දැන හිඳින්නේ කුමක් ගැනද? ඒ අයුරින් හැම නිතර ම සිහිඑළවා ගෙන සිටින්න.
වේදනාව, අසහනය, මානසික හැඟීම් (උද්වේග)
කැකැකුම්, රිදීම් හා ශරීරයේ නොයෙකුත් අපහසුතාවයන් අත්විඳින විට නිතැතින් ම ඔබේ මනස ඒවා වෙත විරෝධයක් පළකෙරේ නම් එවැනි අසතුට ගෙන දෙන විඳීම් දෙස කෙළින් ම බලා හිඳීමට තරම් මානසික ශක්තියක් ඔබ තවමත් උපදවා ගෙන නැත. වේදනාවන්ට කැමති වන්නෝ කවරහුද? එම නිසා විරෝධයක් ඇති විට එදෙස බලා හිඳීමෙන් සිදු වන්නේ දැනෙන වේදනාව තවත් දැඩි වීමය. අකමැති පුද්ගලයෙක් දෙස නැවත නැවතත් බලද්දී තවතවත් තරහ යාම සමග මෙය සංසන්දනය කළ හැකිය. එම නිසා වේදනා දෙස බලා හිඳීමට මනසට බල නො කරන්න. මෙය සටනක් නොවේ, ඉගෙන ගැනීමට ලැබී ඇති අවස්ථාවක්ය. ඔබ වේදනා දෙස බලා හිඳින්නේ එය අඩු කර ගැනීමටවත්, එය ඉවත් කර ගැනීමටවත් නො වේ. ඔබ එදෙස බලා හිඳින්නේ මානසික වේදනාව (විශේෂයෙන් ම මනස දක්වන විරෝධය හා ඊට දක්වන ප්‍රතිචාරය) සහ ශාරීරික වේදනාව අතර ඇති සම්බන්ධතාවය මෙන් ම ඔබ එය සංඤාණය කර ගෙන ඇති (සිතා සිටින) ආකාරය තේරුම් ගැනීමටය.
මුලින් ම ඔබේ ආකල්පය විමසා බලන්න. වේදනාව ඉවත්ව යන ලෙස හෝ අඩුවන ලෙස පැතීම වැරදි ආකල්පයක්ය. වේදනාව ඉවත්වේ ද නැද්ද යනු නො වැදගත්ය. ප්‍රශ්නය වේදනාව නො වේ, එය එසේ නොවිය යුතු යැයි සලකා ඊට දක්වන සෘණවාදී ප්‍රතිචාරයය. ඔබේ වේදනාව හට ගෙන ඇත්තේ ශාරීරික ආබාධයක් හෝ දුබලතාවයක් හේතු කොට ගෙන නම් එය තව දුරටත් උග්‍ර වීමට ඉඩ නො දීමට හොඳින් වග බලා ගන්න. නමුත් ඔබ සෞඛ්‍යසම්පන්න නිරෝගී පුද්ගලයෙකු නම් මනසින් කෙරෙන කටයුතු හොඳින් දැන හඳුනා ගැනීම සඳහා වේදනාව ලබා දෙන්නේ කදිම අවස්ථාවක්ය. වේදනාවක් ඇති විට එය පිළිබඳ දැනුවත්කම සහ එය වෙත මනස දක්වන විරෝධතාවය ඉතා බලවත් නිසා ඒ ගැන අවධානයෙන් සිටීම පහසුය. තරහ, විරෝධය, ප්‍රතික්‍රියා, ආතතිය හෝ අපහසුතාවයක් ඔබේ මනසෙහි ඇති විට ඒ ගැන දැනුවත්ව සිටීමට හුරු වන්න. අවශ්‍ය නම් දැනෙන වේදනාවත්, ඊට ප්‍රතික්‍රියා දැක්වීමට පසුබිමින් ඔබ ඇති කර ගෙන ඇති ආකල්පයත් අතර මාරුවෙමින් ඒවා විමසීමට භාජනය කරන්න. ගතත් සිතත් දෙක ම තැන්පත් කර ගන්න. සංසුන්වන්න යයි තමාට ම කියා ගනිමින්, මානසික විරෝධතාවය වෙත එමගින් ඇති කෙරෙන බලපෑම ගැන විමසිලිමත් වන්න. ඔබේ මානසිකත්වයත්, වේදනාවත් අතර සෘජු සම්බන්ධතාවයක් ඇත. මනස තැන්පත් වූ සංසන් වූ තරමට ම දැනෙන වේදනාවෙහි තියුණු බව ද කෙමෙන්කෙමෙන් හීන වී යන්නේය. නමුත් දැනෙන වේදනාව වෙත මනස දක්වන ප්‍රතික්‍රියාව ඉතා තදබල නම්, වේදනාව දරාගත නො හැකි තරමට දරුණු වන බවක් දැනේ නම් ඔබේ ඉරියව්ව වෙනස් කර සුවපහසුවක් ඇති කර ගන්න.
වේදනාව සමග හරියාකාරව කටයුතු කරන ආකාරය ඉගෙනීමට මෙසේ උත්සාහ ගෙන බලන්න. වේදනාවක හැඟීමක් පහළ වූ මොහොතේ ම එය කොයිතරම් දුබල වේදනාවක් වූවත් ගතෙහි හා සිතෙහි ඇති ආතතිය සොයා බලා, ගතත් සිතත් සැහැල්ලු කර ගන්න. මනසේ යම් කොටසක එම වේදනාව පිළිබඳ දැනුවත් බවක් ඇති වනු ඇත. ඒ නිසා දිගින්දිගට ම ආතතිය ගැන විමසා බලමින් සැහැල්ලුවෙන් ඉන්න. ඒ අතර ම ඔබේ ආකල්පය විමසා බලා දැනෙන වේදනාව උග්‍ර වන්නේ නම් ඉරියව්ව වෙනස් කිරීමට අවසර ඇති බව මනසට දැනුවත් කරමින්, නැත්නම් තමන්ට ම පවසා ගනිමින් වේදනාව සමග කටයුතු කිරීමට මනස දක්වන බිය තුනී කර ගන්න. බිය හෝ ආතතිය දෙස බලා සිටීමට ඇති අකැමැත්ත සිඳී යනතෙක් හෝ නැගිටීමට මනසෙහි අදහසක් මතුවන තෙක් හෝ වේදනාව සමග විසීමට අකමැත්ත පහළ වන තෙක් ඉහත සඳහන් කළ ආකාරයට කටයුතු කරන්න.
වේදනාව දෙස සෘජුව බලා හිඳිය යුත්තේ එය වෙත මනස විරෝධයක් නො දක්වන අවධියේදීය. ඉතා සියුම් අන්දමේ විරුද්ධත්වයක් බොහෝ විට තිබිය හැකි බව සිතට ගන්න. එම සියුම් මානසික අසහනය හඳුනා ගත් මොහොතේ ම එම වින්දනය වෙත මනස යොමු කරන්න. යන්තමින් හෝ මානසික අසහනයක් දැනේ නම් එය වෙනස් වන හැටි බලන්න. එය අඩු වන්නේද? වැඩි වන්නේද? මනසෙහි සංවේදීතාවය, උපේක්ෂාව ප්‍රබල වූ විට මෙවැනි සියුම් වෙනස්කම් හඳුනා ගැනීම පහසු වන්නේය. මානසික අපහසුතාවය දෙස හෙමින් සීරුවේ බලද්දී ඔබේ මනසට හුදෙක් උපේක්ෂාව ම දැනෙන තත්වයකට මනස පත් වෙනු ඇත. මෙවැනි සත්‍ය ම වූ උපේක්ෂාවක් ඔබ ගොඩනගා ගෙන ඇති අවධියේදී වේදනාව දෙස කෙලින් ම බලා සිටියත් මානසික අපහසුතාවයක් තවදුරටත් ඔබට නො දැනෙනු ඇත.
මනස දක්වන ප්‍රතික්‍රියා දෙස ඔබ බලා හිඳින්නේ එමගින් “ඒවා ඉවත් කර ගත හැකිය” යන අදහසින් නොවන බව මතක තබා ගන්න. ප්‍රතික්‍රියාවල ස්වභාවය පරීක්ෂා කර බැලීම සඳහා ලත් මාහැඟි අවස්ථාවක් ලෙස ඒවා සලකන්න. ඔබගෙන් ම මෙසේ ප්‍රශ්න කර බලන්න. ප්‍රතික්‍රියා, ඔබට හැඟෙන දේ මත බලපාන්නේ කෙසේද? ඔබට හැඟෙන එම දේවල් ඔබ සිතන ආකාරය මත ඇති කෙරෙන බලපෑම කෙබඳුද? සිතිවිලිවලට පිටුපසින් ඇති ඔබේ ආකල්පය කුමක්ද? ඔබ වේදනාව පිළිගන්නා ආකාරයෙහි වෙනසක් ඇති කිරීමට ඉහත සඳහන් කරුණු වෙන්වෙන්ව හෝ සමූහයක් වශයෙන් හෝ බලපෑමක් ඇති කෙරේද?
කැසීම, රිදීම, සීතල, උෂ්ණය, ගඳ, සුවඳ වැනි ශාරීරික වශයෙන් දැනෙන අනෙකුත් අපහසුතාවයන් මතු වූ විට ඉහත දක්වන ලද උපදෙස් කැරුණු කාරණා උපයෝගී කර ගනිමින් ඒවා සමථයකට පත් කර ගන්න. ශාරීරික අපහසුතාවයක් හමුවේ අප දක්වන ප්‍රතික්‍රියාවන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳව අප මෙතෙක් උගත් දෑ තරහ, ඊර්ෂ්‍යාව, අසහනය, බලාපොරොත්තු කඩවීම, කාමාශාව, තණ්හාව වැනි නොයෙකුත් මානසික අපහසුතාවයන් සමග කටයුතු කිරීමේදී ද යොදා ගත හැකිය. වේදනාව පමණක් නොව මනස කෙලසන අනෙකුත් ක්ලේශයන් අභියස ද ඒ ආකාරයෙන් කටයුතු කිරීමෙන් තදබල කැමැත්ත, අකමැත්ත, ආශාව, ද්වේශය යනාදිය හඳුනා ගෙන ඒවා අත්හැර දැමීමට හුරුපුරුදු වන්න.
ඉහත දක්වන ලද මනෝභාවයන් මෙනෙහි කර බලද්දී ඔබ කටයුතු කරන්නේ ස්වභාවික සංසිද්ධීන් සමගින් බව ඒත්තු ගැනීම ඉතා වැදගත්ය. ඒවා “ඔබේ මනෝභාවයන්” නො වේ. අපි සෑම දෙනෙක් ම ඒවා අත්විඳින්නෙමු. මනෝභාවයන් සමග එකට මතුවන නොයෙකුත් සිතිවිලි, අදහස් උදහස්, සිතුම් පැතුම් ගැන මෙනෙහි කර බලද්දී ඔබ එය හොඳින් සිහියෙහි තබා ගත යුතුය. මෙය මාගේය යන හැඟීමෙන් ඇති කර ගන්නා සෑම සිතිවිල්ලක් ම ඇත්තවශයෙන් ම තවතවත් එවැනි මනෝභාවයන් මනසෙහි ඇති කිරීමට ඔබ සපයන ‘ඉන්ධන’ යන්ය.
කෙසේ නමුත් තරහ, පීඩනය, උද්දාමය වැනි මනෝභාවයන් මනසෙහි මතු වූ විට ඒ සමග මනසෙහි පහළවන්නා වූ නොයෙකුත් සිතිවිලි සමග නො පැටලී සිටීම පහසු නොවන බැවින් ඒවා මෙනෙහි කිරීමට යාමෙන් සිදුවන්නේ මුහුණලා ඇති මනෝභාවය තවතවත් වර්ධනය වීමය. එවන් අවස්ථාවකදී වඩා යෝග්‍ය වන්නේ එම මනෝභාවය සමග මනසෙහි මතු වී ඇති හිතකර හෝ අහිතකර වු විඳීම හෝ හැඟීම ඉතා පැහැදිලිව දැන හිඳීමය. අවාසනාවකට මෙන් සමහර විට එම හැඟීම හෝ විඳීම දෙස බලා හිඳීමෙන් දරා ගැනීමට නොහැකි අසහනයක් ඇති විය හැකිය. එවැනි තත්වයක් උද්ගත වූ විට හුස්ම හෝ ශබ්දයක් වැනි ස්වභාවිකව පවතින දෙයකට ඔබගේ අවධානය යොමු කිරීම හිතකරය. ඒ ආකාරයෙන් ඔබ සිදු කරන්නේ දක්ෂ අන්දමින් උපායශීලීව එම හානිකර සිතුවිලි මතුවීම නතර කිරීමය. එසේ නැති නම් අඩු තරමින්වත් සිතිවිලි අඩු කර ගැනීමය. “ඔබ” තවදුරටත් එම “රංගනයෙහි” කොටස් කරුවෙකු නො වුවහොත් එම මනෝභාවය කෙමෙන් පහව යනු ඇත. අපහසු වූවත්, හැමවිට ම මේ විඳීම් සහ හැඟීම් සහමුලින් ම පිටුදැකීමට වෙර දරන්නේ නැතිව විටින්විට ඒවා දෙස බැලීමට ද පුරුදු වන්න!
හටගත් මනෝභාවය දුබල අවධියක හෝ දරා ගත හැකි මට්ටමක පවතින විට දැනෙන විඳීම්, හැඟීම්, සිතිවිලි මෙන් ම ශාරීරික වේදනා දෙස බලා හිඳීමට ඔබට එතරම් අපහසුවක් නොවනු ඇත. මනෝභාවයත්, හැඟීම් හා සිතිවිලි අතරත් ඇති සම්බන්ධතාවය තේරුම් ගත් පමණට අනාගතයේදී පහළ විය හැකි මනෝභාවයන් සමග බුද්ධිමත්ව වැඩදායී අයුරින් කටයුතු කිරීමට ඔබට හැකිවන්නේය.
ඔබේ ආකල්පය පරීක්ෂා කර බැලීමට අමතක නො කරන්න. ඇත්තෙන් ම ඔබ මතු වී ඇති මනෝභාවය පිළිගන්නේ ද නැති නම් ඊට විරුද්ධත්වයක් පළ කරන්නේ දැයි පරීක්ෂා කර බලන්න. මනෝභාවයත් සමග මතු වූ තමන්ට හඳුනා ගැනීමට නො හැකි වූ විරෝධයක් හෝ නො දැනුවත්ව ම එය පිළිබඳව ඇති කර ගත් “තමන්ගේය” යන හැඟීමක් (මමත්වයක්) හෝ ඇති විට එම මනෝභාවය තවතවත් තියුණු වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත. මනෝභාවය සහමුලින් ම ඉවත්ව යෑම අත්‍යවශ්‍ය දෙයක් නො වේ. මෙතැන දී විෂය මූල කරුණ වන්නේ මනෝභාවයන් දැනෙන්නේ කෙසේද, මනෝභාවයක් මතු වූ විට ඔබ සිතීමට පෙළඹෙන්නේ කොයි ආකාරයෙන්ද, ඒවායේ “ස්වභාවය” හා මනස හැසිරෙන ආකාරය කෙසේ දැයි වටහා ගැනීමය.
නොකඩවා දැන හිඳීම
ඔබ සිටින ඉරියව්ව කුමක් වූවත් උදෑසන අවදි වූ තැන් පටන් රෑ නින්දට යන තෙක්, නොකඩවා දැන හිඳීම, පුහුණුව සඳහා අත්‍යවශ්‍ය කරුණක්ය. කිසි විටෙක හරයක් නැතිව සිත අයාලේ විසිර යෑමට ඉඩ නො දෙන්න. මනස වැඩෙහි යෙදී සිටීම වැදගත්ය. එනම් එය දැනුවත්ව සිටිය යුතුය. කරන කටයුත්ත කුමක් වූවත් වැදගත් වන්නේ එය දැන හිඳීමය. දැන හිඳීම නො කඩවා පවත්වා ගැනීමට උපකාර වන්නේ නිවැරදි වීර්යයයි. මෙතැනදී එයින් අදහස් කෙරෙන්නේ දැන හිඳීම කුළු ගන්වන නිවැරදි වීර්යයි. අනලස් වීර්යයයි. එය යම් දෙයක් වෙත ආයාසයකින් සිත යොමු කර ගැනීමට යොදන වීර්යය නො වේ. එය දැනුවත්ව සිටීමට මනස යොමු කරවන සාමාන්‍ය මට්ටමේ වීර්යයක්ය. ඒ සඳහා බලගතු ආයාසයක් යෙදිය යුතු නැත.
ඔබේ අත්විඳීමේ සෑම කොටසක් ම සවිස්තරව දැන හිඳීම අනවශ්‍යය. දැන හිඳින්න, දැන හිඳින්නේ කුමකුදැයි කියා ද දැන හිඳින්න. නිතර මෙසේ විමසා බලනන. “දැන් මම දැන හිඳින්නේ කුමක්ද?” “මගේ දැන හිඳීම ඇත්තවශයෙන් ම හද පතලෙන් ම දැනෙන දැන හිඳීමක් ද, නැත්නම් එය මතුපිටින් පමණක් දැනෙන දෙයක්ද?” ඒ ආකාර විමසා බැලීම්, දැන හිඳීම නොකඩවා පවත්වා ගෙන යාමට උපකාර වන්නේය. මතක තබා ගන්න: දැන හිඳීම එතරම් අපහසු දෙයක් නො වේ; අපහසු වන්නේ එය දිගින්දිගට ම පවත්වා ගෙන යාමය!
පුහුණුව සඳහා ප්‍රතිවර්තක (ක්‍රමක්‍රමයෙන් ඒකරාශිවන) ශක්තිය අවශ්‍යය. එය වර්ධනය කර ගැනීමට ඇත්තේ එක ම මගක්ය. ඒ දැන හිඳීම අඛණ්ඩව පවත්වා ගැනීමෙන්ය. නොකඩවා නිවැරදි වීර්යය යොදන විට ක්‍රමක්‍රමයෙන් සිහිකල්පනාවෙහි ප්‍රවර්තක ශක්තිය වැඩි දියුණු වී මනස බල ගැන්වෙන්නේය. සිහිකල්පනාවෙහි ප්‍රවර්තක ශක්තිය ඇති විට මනස බලගතුය. බලගතු මනසක් නිවැරදි සිහිකල්පනාවෙන්, නිවැරදි එකලස් බවින් හා ප්‍රඥාවෙන් යුක්තය.
නොකඩවා වීර්යය යොදන්න. සිහිකල්පනාවෙන් යුක්ත වීමට මනස දිරි ගන්වන්න. එමගින් ඔබේ සිහිකල්පනාව දිගින්දිගට ම පවත්වා ගෙන යා හැකිය.
මන්ද?
භාවනාවෙහි නැතහොත් මනස දියුණු කර ගැනීමෙහි යෙදෙද්දී දැන ගත යුතු, සිහි තබා ගත යුතු කරුණූ “උවමනාවටත් වඩා වැඩිය” යන හැඟීමක් මේ වන විට ඔබේ සිතෙහි පහළ වී ඇතිවාට සැක නැත. පුහුණුව ආරම්භ කිරීමටත් ප්‍රථමයෙන් මෙතරම් කරුණු කාරණා දැන ගැනීම අවශ්‍ය මන්ද? මේ කරුණු කාරණා සියල්ල ම ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් හා පිළිපැදිය යුතු දේ මේ යැයි පැහැදිලි කර දීමෙන් බලාපොරොත්තු වන්නේ එක ම එක දෙයක්ය. එනම් නිවැරදි ආකල්පයක් ඇතිව භාවනාවෙහි යෙදීම පිණිස ඔබට අවශ්‍ය කරන නිවැරදි දෘෂ්ඨිය නැතහොත් හරි දැකීම ලබා දීමටය. හරි දැකීම ඇති විට ස්වභාවයෙන් ම සිදු වන්නේ, නිවැරදි වීර්යය යෙදීමෙන් නිවැරදි සිහිකල්පනාවත්, ප්‍රඥාවත් දියුණූ වීමය. ඔබ ඒකරාශි කර ගත් කරුණු කාරණා සහ ඒවා පිළිබඳ අවබෝධය ඔබ පිහිටා සිටින දෘෂ්ඨියේ පදනම ලෙස සැලකිය හැකිය. ඒ මත පිහිටා කටයුතු කිරීමෙන් ඒ ඒ අවස්ථාවන්හිදී ඔබ හැසිරෙන ස්වභාවය කෙරෙහි ඇති කෙරෙන බලපෑම අද්විතීතය.
පුහුණුවේ සාරාංශය
- පුහුණුව පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කර ගන්න.
- තැන්පත් වන්න.
- අත්විඳීම ඒ හැටියෙන් ම පිළිගැනීමට උචිත නිවැරදි ආකල්පය ඇති කර ගන්න.
- ප්‍රඥාන්විතව දැනුවත් කමින් සිටින්න.
- කෙලෙස් හඳුනා ගන්න.
(මීළඟට “චිත්ත භාවනා 2 කොටස – සිහිකල්පනාව දියුණුවීම” කියවන්න.)