අජාන් බ්රහ්වංසෝ මහ තෙරුන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්
(මෙහි සියලු ම අයිතීන් පරිවර්තක සතු බව සළකන්න)
මෙය, සතිපතා සිකුරාදා දිනවල බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ධම්මාලෝක බෞද්ධ මධ්යස්ථානයේ පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ වසර 2000 පෙබරවාරි මස 4වෙනි දින පැවැත්වූ දේශනය ද, පර්ත් නගරයේ 1997දී පවත්වන ලද 9-දින භාවනා මුළුවේ දී පැවැත්වූ ධර්ම දේශනයක් හා බටහිර ඕස්ට්‍රේලියාවේ සර්පන්ටයින් පෙදෙසේ පිහිටි බෝධිංඥාන ආරණ්‍යයේ 1995දී පැවැත්වූ ධර්ම දේශනය ද මූලික කර ගනිමින් සකස් කරන ලද්දකි.
කිවන්නාගේ පහසුව සලකා මෙය: “බුදු දහමෙහි හදවත – පළමුවෙනි කොටස“ හා “භාවනාව සරල ව දියුණු කිරීමේ මඟ – දෙවන කොටස” යනුවෙන් වෙන්වෙන් ව ඔබ වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
හොඳින් කරුණු අවබෝධ කර ගැනීමේ පහසුව සලකා පළමුවෙනි කොටස පරිහරණය කිරීමට මත්තෙන් මෙම දෙවන කොටස පරිහරණය නො කරන මෙන් කරුණාපූර්වක ව ඔබෙන් ඉල්ලා සිටිමි.
භාවනාව සරල ව දියුණු කිරීමේ මඟ
එය කෙසේ විය යුතු ද?
පරමාර්ථය කුමක් ද?
අත්හැරීම දියුණු කිරීමේ මඟ භාවනාවයි. භාවනාවේ දී අප කරනුයේ සංකීර්ණ වූ බාහිර ලෝකය අත්හැර ශාන්ත වූ ආධ්‍යාත්මික ලෝකයකට පිවිසීමය. පිරිසිදු, එමෙන් ම බලසම්පන්න මනසක් ගොඩනඟා ගැනීම සඳහා ගත යුතු ක්රියා මාර්ගය භාවනාව බව යෝගාභායාසයන්හි යෙදෙන්නවුන් අතර හා නොයෙකුත් ආගමික සම්ප්‍රදායන් තුළත් පිළිගත් මතයකි. හුරුපුරුදු ලෝකයෙන් මිදුණු විට මෙම පිරිසිදු මනස ලබා ගන්නා අත්දැකීම් ඉතා අද්භූතජනකය, චමත්කාරය. ඒ තුළින් විඳිය හැකි අනුභූතිය මනස්කාන්තය.
කැළඹුණු සිත, මතුපිට දියරැළි නැගෙන ජලාශයකට සමාන යැයි සිතා ගත් විට සිතෙහි සන්සුන්කම ඇති කිරීම සඳහා අප කළ යුත්තේ එය නො සැලෙන පරිදි පවත්වා ගනිමින්, ඒ සඳහා යෙදු සිහිය, නො කඩවා පවත්වා ගෙන යෑමයි. අපේ ප්‍රයත්නය විය යුත්තේ සංසිඳුණු, ප්රභා සම්පන්න, දැනුම් තේරුම් ඇති, සියුම්, අවධානයක් ඇතුළතින් ඇති කර ගැනීමයි.
නිරතුරු ව ම සිත එක අරමුණක් වෙත යොමු කරවමින්, එය තැන්පත් බවට පත් කිරීමට ඔබ මහත් වෙහෙසක් දැරිය යුතුය. ස්වභාවයෙන් මනස තැන්පත්ය, නිරවුල්ය. මනසෙහි කිඳා බැස ගත් ක්ලේශයන් නිසා නිරතුරු ව ම සතුට ලුහුබඳිමින්, පිටස්තර වූ දෙයෙහි ඇලෙමින්, තෘප්තිය සෙවීමට ගන්නා ආයාසය නිසා සිත එහි තැන්පත් බව රැක ගන්නේ ඉතාමත් කලාතුරකිනි.
භාවනාව දියුණු කිරීමෙන් මනස මනා ව වටහා ගත් පුද්ගලයකුට සිත මේ ආකාරයෙන් ඉවතට ඇදී යෑමේ පුරුද්ද හෙවත් ස්වභාවය මුලිනුපුටා දමා එය නිශ්චල කොට ඉතා සියුම්, නො සැලෙන, තැන්පත් ස්වභාවයකට පමුණුවා ගැනීමට හැකියාවක් ඇත. එවැනි හැකියාවක් නොමැති අපට ස්වාභාවික තැන්පත් බවට සිත ගෙන ඒමට, එය නිරවුල් කිරීමට, ප්රබෝධමත් කිරීමට, භාවනාවේ මුල් අවදියේ දී මහත් වෙහෙසක් දරමින් එහි නියැලී සිටීමට සිදු වන නමුත්, එම වෙහෙස දරා සිටීමට ඔබ උනන්දු විය යුත්තේ එය ඉතාමත් මනරම්, වැඩදායී අවස්ථාවල රසය විඳීමට ඉඩකඩ සලසා දෙන බැවිනි. ඒවා තමා ගත් උත්සාහයනට සරිලන අනගි අවස්ථාවන්ය.
උත්සාහය සහ වීර්‍ය්‍යය අවශ්‍යය
උත්සාහයෙන් තොර ව දියුණුවක් ලබා ගත නො හැකි වීම ස්වාභාවික නියමයෙකි. භික්ෂුවකට හෝ වේවා ගිහියකුට හෝ වේවා, භාවනාවෙන් හෝ වෙනයම් කටයුත්තකින් හෝ හොඳ ප්රතිඵලයක් ලබා ගැනීමට නම් උත්සාහය ඉතා අවශ්‍ය බව අප ඉතා හොඳින් දන්නා කරුණෙකි.
උත්සාහයෙන් පමණක් සියල්ල සර්වසම්පූර්ණ නො වේ. එය ප්රවීණත්වය, එනම් තම දක්ෂතාවය සමඟ ඈඳා ගත යුතුය. මෙයින් තමා අදහස් කරන්නේ තැනට ඔබින පරිදි වීර්‍ය්‍යය අවශ්‍ය පමණ යොදමින් තම කාර්යය ඉටු වන තෙක් එය පවත්වා ගැනීමය. සිතා මතා නිසි ලෙස යොදන මෙම වීර්‍ය්‍යය, සිතෙහි විසිර යාමක් හෝ භාවනාවට බාධාවක් හෝ නො කරන අතර, එය ඉතා විශිෂ්ට සන්සුන්කමක් සිතෙහි වර්ධනය කොට භාවනාවේ ගැඹුරට යෑමට ඔබට ආධාර කරනු ඇත.
වීර්‍ය්‍යය කිනම් අයුරකින් යෙදිය යුතු දැයි වටහා ගැනීම සඳහා භාවනා කිරීමේ පරමාර්ථය පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබිය යුතුය. මේ භාවනාවේ පරමාර්ථය වනුයේ සිත් අලවන නිහඬතාවය, තැන්පත් බව හා නිර්මලත්වය මනසෙහි ඇති කිරීමය. එය ඔබ වටහා ගන්නේ නම් ඒ සඳහා වීර්‍ය්‍යය යෙදිය යුත්තේ කිනම් අයුරකින් සහ කොතැනක දී දැයි ඉතා හොඳින් ඔබට ම පැහැදිලි වනු ඇත.
අත්මිදෙන්න
අත්මිදීම සඳහා වීර්‍ය්‍යය යොදන විට බිහි වනුයේ අත්හැරීමට නැඹුරු වන්නා වූ මනසෙකි. “අත්හැරීමට හුරු කරන ලද මනසක් ඇති යෝගියකු ඉතා ලෙහෙසියෙන් භාවනාවේ පරමාර්ථය වන සමාධිය ළඟා කර ගනී” යන ප්‍රකාශය බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද සරල නමුත් ගැඹුරු වූ අති මහත් ප්රකාශවලින් එකකි. එවන් යෝගියෙක් නිරුත්සාහයෙන් ම වාගේ ඉතා විශිෂ්ට, ප්‍රමෝදජනක, අභ්‍යන්තරික මනසක සුවය රස විඳියි. බුදුරජාණන් වහන්සේ මෙතැන දී පෙන්වා දෙනුයේ එවන් මානසික තත්ත්වයන් ළඟා කර ගැනීමේ රහස අත්හරින්නට, මිදෙන්නට, ප්‍රතික්ෂේප කරන්නට මනස දක්වන කැමැත්තයි.
භාවනාවේ දී අප දියුණු කිරීමට උත්සාහ ගනුයේ ඒ මේ දෙයෙහි ඇලෙන, රැස් කරන මනසක් නො ව, ඊට හාත්පසින් ම වෙනස් වූ නො ඇලෙන, නො බැඳෙන, දුක් කරදර බදා නො ගන්නා මනසකි. භාවනාවෙන් පිටත දී නොයෙකුත් වැඩ–රාජකාරි රාශියක බර උසුලා ගෙන සිටීමට සිදු වුවත්, මෙම කාල සීමාව තුළ දී එවැනි බඩු පොදි උසුලා ගෙන සිටීමට කිසිම අවශ්යතාවයක් නැත. එම නිසා භාවනාවේ දී එම බඩු පොදිවල බර හැකිතාක් දුරට අඩු කර ගැනීමට උත්සාහ ගන්න. මේ දුක් කම්කටොලු ඔබ යට කර ගෙන සිටින විශාල බරක් සේ සිතෙහි තහවුරු කර ගන්න.
එසේ සලකා ගත් විට ඒවායින් නිදහස් වීමට සහ ඒවා අත්හැරීමට ඉඩ දෙන මනසක් ඇති කර ගැනීමට ඔබ නො පසුබට වනු ඇත. මෙම ආකල්පය, වීර්‍ය්‍යය හා අත්හැරීමට මනස දක්වන කැමැත්ත යන කරුණු ඔබ භාවනාවේ ගැඹුරට කැඳවා ගෙන යනු ඇත. භාවනාවේ මුල දී ම වාගේ වුවත්, ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය ධෙෙර්‍ය්‍යය හා ඒ–මේ දෙයෙහි නො ඇලීමට කැමැත්ත උපදවා ගත හොත්, සුළු වශයෙන් හෝ අත්මිදීම දියුණු වන ආකාරය ඔබට පෙනී යනවා ඇත.
මේ මොහොතේ අවධානය – පළමුවන අවධිය
භාවනාවට බිම හිඳ ගත යුතු ම ද?
භාවනාවෙහි යෙදෙන්නකු මුලින් ම කළ යුත්තේ නිශ්ශබ්දතාවය ඇති තැනක් සොයා ගෙන, පුටුවක හෝ බිම හෝ හිඳ ගැනීමයි. පුටුවක හිඳ ගැනීමෙහි හෝ බිම හිඳ ගැනීමෙහි හෝ කිසිදු අරුමයක් නැති අතර කොයි ආකාර ඉරියව්වකින් වුවත් ඔබට ඉතා උසස් මානසික සුවයක් භුක්ති විඳීමට අවකාශ ඇත. එම නිසා දිගු කාලයක් තුළ භාවනාවෙහි යෙදෙද්දී ඔබේ දණහිසෙහි හෝ පිටකොන්දෙහි හෝ බලවත් වේදනාවක් උද්ගත වුව හොත් පුටුවක හෝ මිටි ආසනයක හෝ හිඳ ගැනීම කළ යුතුය. අප යෙදෙන මේ කටයුත්ත බලවත් වේදනා විඳීමට හෝ ශරීරයට අපමණ දුක් ගෙන දීමට හෝ යොදා ගන්නක් නො වන බව තේරුම් ගත යුතුය.
ගතෙහි අධික වේදනාව සිත සමාධියකට ගෙන ඒමට ඇති ඉඩකඩ අහුරා ලන බව ඔබ වටහා ගත යුතුය. බුදුරජාණන් වහන්සේ මධ්යම ප්රතිපදාව ඉගැන්වීමට එක් හේතුවක් හැටියට දැක්වූයේ අධික අසහනය සිතෙහි තද ගතියත්, අධික සැපය සිතෙහි බැඳීමත් වඩන බවය. එම තද ගතිය හෝ බැඳීම හෝ සිත සැනසුම් සුවය වෙත ගෙන ඊමට කිසිසේත් ඉඩ නො දෙනු ඇත. එවන් සිතක ප්රඥාව පහළ වීමට ඉඩකඩක් නැති තරමි. හිඳ ගැනීමේ දී අප නිතර සිහියට ගත යුත්තේ මධ්යම ප්රතිපදාවයි. බිම හිඳ ගැනීමෙන් තමන්ට බලවත් අපහසුවක් ඇති වේ නම්, අන් සියලු දෙනා බිම හිඳගත් පලියට තමනුත් එය අනුකරණය කිරීමට යාම බලවත් මුලාවකි. නිහතමානීකම සිතෙහි ඇති කර ගෙන, උඬඟුකම අත් හළ විට භාවනාව හොඳ අතට හැරී යන බව ඔබට පෙනී යනු ඇත.
මෙතැන මේ මොහොත
භාවනාවට හිඳ ගැනීමෙන් පසු ඔබේ අවධානය, සිහි කල්පනාව, “තමා ඉදිරියෙහි පිහිටුවා ගන්න” යැයි බුදුරජාණන් වහන්සේ දී ඇති එක් අවවාදයෙකි. අවධානය ඉදිරියට ගෙන ඊමෙන් අදහස් කරන්නේ සිත ව්‍යාකූල බවට, වල්මත් බවට පත් කිරීමට සමත් පිටස්තර සිතිවිලිවලින් එය මුදා ගැනීමයි. අවධානය තමා කෙරෙන් ඈතට නො යවා, ලෞකික ජීවිතය හෝ පිටස්තර ලෝකය හෝ සම්බන්ධ සිතිවිලිවලින් සිත පිරී යෑම වළක්වා, භාවනාවට අදාළ නො වන සිතිවිලිවල නො දවටී, ‘මෙතැනින්, මේ මොහොතෙන්’ පිටතට සිතට යෑමට ඉඩ නො දී, එය රැක බලා ගැනීමෙන්, තම අවධානය තමා ඉදිරියෙහි පිහිටුවා ගත හැකිය. දෑස වසා ගැනීමෙන් පසු මුලින් ම කළ යුත්තේ සිත අතීතයට හෝ අනාගතයට හෝ ඇදී යෑම වළක්වා, භාවනාවට අසම්බන්ධ කොයියම් ආකාරයක හෝ සිතිවිලි මතු වීමට ඉඩ නො දී, ‘මෙතැන, මේ මොහොත’ වෙත එය යොමු කර ගැනීමයි. සමහර විට ඒ සඳහා සෑහෙන කාලයක් මිඩංගු කිරීමට ඔබට සිදු වනු ඇත.
එම පරිශ්‍රමය සාර්ථක වූ පසු තමා තෝරා ගත් භාවනා ‘ආරම්මණය’ වෙත සිත යොමු කොට, එම අවධානය වැඩිදියුණු කිරීමට උත්සාහ දැරීම සුදුසු වන්නේයැයි කිව හැකිය. සිත යහපත් දෙයක් වෙත යොමු කළ විට එය නිතැතින් ම සන්සුන් වේ. පෘථග්ජන සිත හැමවිටම පවතින්නේ මොනයම් හෝ අරමුණක් සමඟ පැටලෙමින්ය. යමක් අරමුණු කොට නො ගත් පෘථග්ජන සිතෙහි පැවැත්මක් නැත. සිත හැම විට ම යම් කිසිවක් අරමුණු කොට ගනී. එම තෝරා ගත් දෙය සිත පෝෂණය කරන ආහාරය සේ හැඳින්විය හැකිය. එම ආහාරයෙන් සිත පිරී යෑම, ඉහවහා යෑම නො වැළැක්විය හැකිය. යෝග්‍ය වූ, සෞම්‍ය වූ දෙයක් සිතට නො ලැබුණු විට, එය වෙනත් දෙයක් සොයා ඉවතට ඇදී යයි. බොහෝ විට සිත තෝරා ගන්නේ එය අසහනයට පත් කරන, අවුල් කරන අන්දමේ අරමුණකි. එම නිසා සෞම්‍ය අරමුණක් වෙත සිත යෙදීම වැඩදායකය. සතුටුදායක මට්ටමක සිත ‘මෙතැන, මේ මොහොතෙහි’ පිහිටුවා ගත් පසු අවධානය හුස්ම වෙත යොමු කිරීම සුදුසුය.
ඉක්මන් කොටයි
මූලික අවධීන් හැකි ඉක්මනින් පසු කර ගෙන යෑමට ඔබට ඉඩකඩ ඇතත් එවැනි අදහසක් පහළ වුව හොත්, ඔබ ඉතාමත් ප්‍රවේසම් විය යුතුය. එසේ කළ හොත් ඉක්මන්කාරී ව ඉදිරියට යෑම නිසා, මූලාරම්භයේ දී කළ යුතු ව තිබූ වැඩ කොටස නිසියාකාර ව නිම නො කළ බැවින්, අවශ්‍ය තරමේ ශක්තිමත් පදනමක් තමා ළඟ නැති බව කාලයාගේ ඇවෑමෙන් ඔබට ම අවබෝධ වනු ඇත. මෙය දුර්වල අත්තිවාරමක් මත මහල් ප්රාසාදයක් ගොඩනැඟීම වැනිය. තට්ටු ඉක්මනින් ඉහළට නැවේ සේ ම, ඒවා ඉක්මනින් පහළට ඇද වැටෙනු ඇත. පොළොව ශක්තිමත් ව, ස්ථිර ව සකසා, අත්තිවාරම දැමීමේ දී මෙන් ම ‘මුල් තට්ටුව’ ගොඩනැඟීමේ දීත් බොහෝ කාලයක් ඒ සඳහා මිඩංගු කිරීම අතිශයින් නුවණට හුරුය. එසේ කළ හොත්, ශක්තිමත් ව ගොඩනැංවූ මහල් ප්රාසාදයේ ඉහළ තට්ටු මෙන් භාවනාවේ උසස් ප්රමෝදජනක අවධීන් ස්ථිර ව නො සැලී පවතිනු ඇත.
ආරම්භය
මා උගන්වන ක්රමයට අනුව, ‘මේ මොහොතේ අවධානය’ වෙත එළඹීම සඳහා “අතීතය හා අනාගතය සමඟ ඈඳුණු බඩු පොදි අත්හැරීමේ” ඉතා සරල අවධියෙන් භාවනාව ආරම්භ කරවීමට මම කැමැත්තෙමි. මෙය ඉතා සරල, ඉතාමත් පහසුවෙන් කළ හැකි දෙයක් සේ සමහර විට ඔබට හැඟෙනු ඇත. ‘මේ මොහොත’ වෙත තම අවධානය රඳවා ගැනීමේ මුල් අවධිය සපුරා ලීම සඳහා ඔබේ සම්පූර්ණ ධෙෙර්‍ය්‍යය යොදා එය හරියාකාර ව දියුණු කර ගන්නේ නැති ව භාවනාවේ උසස් අවධීන් කරා වේගයෙන් යෑම ඉතාමත් අනුවණය.
ඉතිහාසය අමතක කරන්න
“අතීතය අත හැර දමන්න”. මෙයින් මා අදහස් කරන්නේ ඔබේ රැකියාව, ඔබේ පවුල, ඔබේ පොරොන්දු, ඔබේ ඉතිහාසය, බාල කාලයේ දී කළ–නොකළ දෑ ආදී කිසිවක් ගැන නො සිතා සිටීමය. සියලු අතීත අත්දැකීම් අත්හැර දැමිය හැක්කේ ඒවා පිළිබඳ අල්පමාත්රයක හෝ ඇල්මක් නො දැක්වීමෙනි. භාවනා කරන කාලය තුළ දී ඔබ ඉතිහාසයක් නැත්තකු සේ සිටිය යුතුය. ඔබ ආවේ කිනම් පෙදෙසක සිට ද? ඔබ ඉපදුනේ කොතැනක ද? ඔබේ මාපියන් කවුරුන් ද? ඔබ හැදුනේ වැඩුනේ කෙලෙස ද? ආදී කිසිවක් ගැන නො සිතිය යුතුය. ඒ සියලු ඉතිහාසය ම භාවනාවේ දී අත්හළ යුතුය. එවිට භාවනාවට සහභාගී වන ඔබ සියලු දෙනා ම එක හා සමාන හුදු භාවනා යෝගීන් පමණි.
කොපමණ වසර ගණනක් ඔබ මීට ඉහත භාවනා කර තිබේ ද? ඔබ පළපුරුදු භාවනා කරුවෙක් ද? එසේත් නැති නම් ආධුනිකයෙක් ද? ආදී වශයෙන් සිතීම නො වැදගත්ය. ඔබ එම ඉතිහාසය ඉවත ලන්නේ නම් අපි සියල්ලෝ ම එක සමාන, එමෙන් ම නිදහස්, අය වෙමු. මෙවැනි උද්වේග, හැඟීම් හා සිතිවිලිවලින් අප නිදහස් වන්නට උත්සාහ කළ යුත්තේ අත්හැරීමෙන් උපදින්නා වූ සැනසීමේ දියුණුව සීමා කිරීමට හා වැළැක්වීමට ඒවා තුඩු දෙන බැවිනි. එබැවින් අවසානයේ දී, ඔබේ ඉතිහාසයේ සෑම ‘කොටසකින්ම’ ඔබ අත්මිදෙනු ඇත. එපමණක් නො ව භාවනා වාරයේ මෙතෙක් ඉතිහාසය ද, දැන් මොහොතකට පෙර සිදු වූ දෙයෙහි මතකය ද ඊට ඇතුළත් විය යුතුය. මේ අයුරින් ඔබ අතීතයේ බර කිසිවක් වර්තමානයට ගෙන නො එනු ඇත. මොහොතකට පෙර සිදු වූ දෙය කුමක් වුවත් ඒ පිළිබඳ ව තව දුරට උනන්දුවක් නො දක්වා එයින් අත්මිදෙන්න.
සිතෙහි දෝංකාරයක් ඇති කිරීමට අතීතයට ඔබ කිසි සේත් ම ඉඩ නො දිය යුතුය. මොළොක් ද්රව්‍යයකින් ඇසුරුම් කරන ලද මැදිරියක බිත්තියක යමක් වැදුන හොත් එහි ආපසු විසි වීමක් සිදු නො වේ. එය මොළොක් ඇසුරුමේ කිඳා බැස, එතැන ම නතර වේ. මොළොක් ද්රව්‍යයකින් ඇසුරුම් කරන ලද මැදිරියක් සේ මනස දියුණු කර ගත හොත් එය තුළ මතු වන යම් අත්දැකීමකට, හැඟීමකට හෝ සිතිවිල්ලකට, ඒ තුළ ඒ මේ අතට පෙරළෙමින්, විසි වෙමින්, වැදෙමින් මහත් කලබැගෑනියක් ඇති කිරීමට අපහසු වනු ඇත. මනස මොළොක් නම්, ඒවා මතු වූ සැණින් ම සමථයට පත් වේ. එලෙස ම ඊයේ සිදුවීම්වලට, එසේ ම ඊට පෙරාතුව අතීතයට මනසෙහි ඒ මේ අත විසි වෙමින් දෝංකාර දීමට අප කිසි ම ඉඩක් නො දිය යුතුය. මෙලෙස අතීතය විඥානයෙහි දෝංකාර දීම නතර කළ යුත්තේ අත්හැරීම, බැහැර කිරීම හා සැහැල්ලු කිරීම සඳහා මනස හුරු–පුරුදු කිරීම අප දන් අරඹා ඇති හෙයිනි.
අතීතය අපැහැදිලිය
අතීතය මෙනෙහි කොට කෙසේ හෝ එම අතීතයෙන් යමක් ඉගෙන ගෙන ඒ හා සම්බන්ධ ප්‍රශ්නවලට විසඳුමක් සොයා ගත හැකිය යනු බොහෝ දෙනකුගේ වැටහීමයි. ඔබ එම අතීතය වෙත එබී බලන්නේ අනිවාර්යයෙන් ම ඇති දේ විකෘති කොට පෙන්වන ඇස් කණ්ණාඩියකින් බව සිතට ගත යුතුය. ඔබ යමක් මෙසේ සිදු වූයේයැයි සිතුවත් සත්‍ය වශයෙන් සිදු වී ඇත්තේ අනෙකකි. මොහොතකට උඩ දී සිදු වූ සිද්ධීන් ගැන මිනිසුන් බොහෝ විට වාද කරන්නේ මේ නිසාය. වාහන අනතුරුවල දී, පැය බාගයකට උඩ දී සිදු වූ සිද්ධියක් ගැන වුව ද, එය සියැසින් දුටු පුද්ගලයින් දෙදෙනකු අවංක ව එය සිදු වූ ආකාරය විස්තර කරන්නේ දෙවිධියකට බව ඒවා විභාග කරන පොලිස් නිලධාරීන් හොඳින් දන්නා කරුණෙකි.
අපේ මතකය විශ්වාස කළ නො හැකිය. මතකය, කොතරම් අවිශ්වාසදායක ද කියා ඔබ සලකා බලන්නේ නම් භාවනාවේ දී අතීතය ගැන සිතා බැලීමෙහි සහ මෙනෙහි කිරීමෙහි එතරම් අගයක් නොමැති බව ඔබට වැටහෙනු ඇත. එවිට එයින් අත්මිදීමට ඔබට හැකි වන්නේය. මියගිය පුද්ගලයකු වළලා දමන අයුරින් අතීතය ඔබට වැළලිය හැකිය. එම මතකයන් මිනී පෙට්ටියක දමා ‘භූමදානය’ කොට නැති නම් ආදාහනය කොට අවසාන කරන්න. අතීතයෙහි කල් නො හරින්න, මළ ගිය මොහොතවල් සහිත මිනීපෙට්ටි හිස මත තබා ගෙන යෑම තව දුරටත් නො කරන්න. එසේ කරනවා නම් ඇත්ත වශයෙන් ම තමාට අයත් නැති බරපතල වගකීම්වල බරින් ඔබ යට කර ගෙන සිටීමට ඔබ ඉඩ දී ඇත. මේ මොහොතේ ම අතීතය සම්පූර්ණයෙන් ම අතහැර නිදහස් වීමට ඔබට හැකියාව ඇත.
අනාගතය අවිනිශ්චිතය
අනාගතය පිළිබඳ ව ඇති උද්වේග, බලාපොරොත්තු, බිය, සැලසුම් හා අපේක්ෂා….. මේ සියල්ල ම ද බැහැර කරන්න. බුදුරජාණන් වහන්සේ විටක දී අනාගතය සම්බන්ධ ව මෙසේ පවසා ඇත: “යම් අයුරකින් සිදු වේ යයි ඔබ සිතන සෑම දෙයක් ම, හැම විටම සිදු වන්නේ ඊට වෙනස් වූ ආකාරයකින්ය.” අනාගතය විශ්වාස කළ නො හැකි, නො දන්නා, අවිනිශ්චිත දෙයක් සේ ප්රඥානවන්තයින් වටහා ගෙන ඇත. ඉදිරිය මේ ආකාර වේයැයි බලාපොරොත්තු සහගත වීම අතිශයින් ම අනුවණ ක්රියාවක් වන අතර භාවනාවේ දී අනාගතය ගැන සිතමින් සිටින හැම මොහොතක් ම නිකරුණේ කාලය අපතේ හැරීමකි.
පුදුමාකාර මනස
මනසෙහි ඇති සැඟවුණු අද්භූත ස්වභාවය වැටහී යනුයේ එය සමඟ කටයුතුවල යෙදෙන විට දීය. එයට නොයෙකුත් මනස්කාන්ත හා බලාපොරොත්තු නො වූ දේවල් කළ හැකිය. භාවනාවේ දී මනසෙහි සාමය උදා නො වීම නිසා වෙහෙසට පත් ව සිටින භාවනා යෝගීන් “තවත් වැදගැම්මකට නැති පැයක් ලැග සිටීමට සිදු වී ඇතැ”යි සිතමින් කල් ගෙවීම බොහෝ විට කෙරෙන දෙයකි. මෙසේ සිතමින් අධෙෙර්ය්යයට පත් ව සිටිය දීත් සමහර විට, බලාපොරොත්තු රහිතව ම, අද්භූතජනක දෙයක් සිදු වී භාවනාව ඉතා සියුම්, සාමකාමී තත්ත්වයකට පරිවර්තනය විය හැකිය.
මෑතක දී දින දහයක භාවනාවකට මුල් වරට සහභාගී වූවකුගෙන් මට මෙසේ අසන්නට ලැබිණ. මුල් දිනයේ දී ම ඔහුගේ ගතේ රිදීම්, කැක්කුම් ඉවසා ගත නො හැකි වීම නිසා ගෙදර යාමට අවසර ඉල්ලා සිටි විට භාවනා ගුරුවරයා පවසා සිටියේ “යන්න එපා, තව එක්දිනක් නතර වන්න, ඔය අමාරු මඟ ඇරී යන බව මා සහතික කරනවා” යනුවෙනි. ඔහු තව දිනක් නතර විය. එදින අවසානයේ දී අපහසුකම් තවත් උග්‍ර වූයෙන් ඔහු නැවත ගෙදර යාමට අවසර ඉල්ලීය. ගුරුවරයා නැවතත් අවවාද කර සිටියේ “තවත් දවසක් නැවතී බලන්න, ඔය වේදනාව නැති ව යයි” යනුවෙනි.
තුන්වන දවස ගත වුවත් ඇති වූයේ වේදනාවෙහි අඩු වීම නො ව වැඩි වීමෙකි. දින නවයේ දී ම සවසට වේදනාවෙන් මිරිකෙමින් ගුරුවරයා වෙත ගොස් ගෙදර යාමට අවසර ඉල්ලා බැගෑපත් වුව ද, නැවතනැවතත් ගුරුවරයා කියා සිටියේ, “තවත් එක්දිනක් ඉන්න, වේදනාව නැතිව යනවා” කියායි. අවසාන දිනයේ උදෑසන මුල්භාවනා වාරයේ දී ඔහු සිදු වේ යයි සිතා සිටි සියල්ල ම බිඳ හෙලමින් ගතෙහි කැක්කුම් සියල්ල ම අතුරුදහන් විය. මොනයම් අපහසුකමක් වත් නැවත ඉස්මතු නො වීය. රිදීම්වලින් තොර ව බොහෝ වේලාවක් භාවනාවෙහි නිරත වීමට ඔහුට හැකි විය.
මනස දැක්වූ මේ අපූරු කුසලතාවය ඔහුගේ සිත කුල්මත් කළ අතර, එය කෙසේ සිදු වී දැයි ඔහුට අදහා ගත නො හැකි විය. මින් පැහැදිලි වන්නේ අනාගතය ගැන අප කිසිවක් නො දන්නා බවයි. එය පුදුමසහගත හෝ අද්භූතජනක හෝ විය හැකිය: ඔබේ බලාපොරොත්තු සියල්ලක් ම ඉක්මවා ලිය හැකිය. අනාගතය පිළිබඳ ව සෑම සිතිවිල්ලක් ම ඉක්මවා ලිය හැකිය. අනාගතය පිළිබඳ ව සෑම සිතිවිල්ලක් ම, සෑම බලාපොරොත්තුවක් ම අත හැර දැමීමට මෙවැනි අත්දැකීම් ඔබට අවශ්‍ය ධෙෙර්‍ය්‍යය හා ප්රඥාව ලබා දෙනු ඇත.
“තව මිනිත්තු කීයක් තිබෙනවා ද? මේ අසහනය තව කොතෙක් වේලා ඉවසන්න ද?” ආදී වශයෙන් සිතමින් භාවනාවෙහි යෙදී සිටින්නේ නම් ඔබ නැවතත් අනාගතයෙහි සැරිසැරීම අරඹා ඇත. දුක්–වේදනාවන් මොහොතකින් දුරු වී යා හැකිය. නිදහස් වීම ඊළඟ මොහොතේ දී වන්නට පුළුවන. සිදු වන්නට යන්නේ කුමක් දැයි නිශ්චය කිරීමට ඔබට හැකියාවක් නැත.
හොඳට නො කෙරෙන භාවනාව
මීට පෙර ඔබ සහභාගි වූ භාවනා මුළුවල දී සමහර විට “මෙතෙක් මා එක් භාවනා වාරයක දී වත් සතුටුදායක ප්රතිඵලයක් ලබා නො ගත්තෙමි” යැයි ඔබට යම් විටෙක සිතෙන්නට ඇත. නමුත්, ඊළඟ වාරයේ භාවනාවට හිඳ ගත් විට සියල්ල ම සන්සුන්ය, පහසුය. එවිට “මේක මහ පුදුමයක්. මට දැන් භාවනා කළ හැකිය” යි කියා උදම් වූවත් ඊළඟ භාවනා වාරය තවත් අවුල් ජාලයකි. මෙහි රහස කුමක් ද? “මගේ මුල් භාවනා ගුරුවරයා කියා සිටි දෙයක් එකල මගේ අදහස්වලට එකඟ නො වූ හෙයින් ඒ ගැන වැඩි සැලකිල්ලක් නො දැක්වූයෙමි. ඔහු කියා සිටියේ නරක භාවනා වාරයක් කියා දෙයක් නොමැති බවය.” ඒ කියමන සත්‍යයෙකි. අසහනය ගෙන දුන් තමාගේ අපේක්ෂාවන්ට අනුකූල ව සිදු නො වූ, ඔබ නරකයයි කියා හඳුන්වන සෑම භාවනා වාරයක් ම සාධාරණ ව විග්රහ කර බලන්නේ නම් ඇත්ත වශයෙන් ම, ‘වැටුප් වෙක්පත’ සඳහා ඉතා මහන්සි වී ඔබ වැඩෙහි යෙදුනු වාරයන් ලෙස එම භාවනා වාර හැඳින්විය හැකිය.
මෙය වෙනත් අයුරකින් පෙන්වා දෙන්නේ නම්, යම් කිසිවෙක් සඳුදා මුළු දවස ම වැඩෙහි යෙදී දිනය අවසානයේ දී කිසි වැටුපක් නො ලබයි. “මොන දෙයක් සඳහා මා මෙපමණ මහන්සි වූයේ ද?” කියා ඔහු සිතයි. ඔහු අඟහරුවාදා වැඩට ගොස්, එදින ද කිසි ම වැටුපක් නො ලබයි. තවත් නරක දවසක්. බදාදා මුළු දවසත්, බ්රහස්පතින්දා මුළු දවසත්, බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළේ වුව ද, ඒ සඳහා කිසි වැටුපක් නො ලබයි. ඔහුට එක දිගට නරක දවස් හතරක් ම ගත කිරීමට සිදු වූවා සේය. සිකුරාදා උදා විය. එදින ද පෙර දිනයන්හි දී මෙන් වැඩ කර අවසානයේ දී ප්රධානියා වැටුප් වෙක්පත ඔහු අතට පත් කරයි. “සැමදා ම වැටුප් දිනයක් නම්” ඔහු සිතයි. සතුට මොනවට කියන්න ද?
සෑම භාවනාවක් ම ‘වැටුප් දිනයක්’ විය නො හැක්කේ ඇයි? ඉහත දැක්වූ උපමාවෙන් එය ඔබට වැටහෙනවා ද? ඒ අසීරු භාවනා වාර තුළ දී ඔබ ස්වයං විශ්වාසය ශක්තිමත් කර ගන්නා අතර, භාවනාවේ උන්නතිය සඳහා අවශ්‍ය හේතූන් ගොඩනඟා ලයි. අසහනයට පත් වන භාවනා වාරවල දී සහනය උදා කර ගැනීම සඳහා කටයුතු කිරීමෙන් ඔබ සාමය උදෙසා අවශ්‍ය ශක්තිය හා බලවේගය දියුණු කර ගනී. සෑහෙන පමණ හොඳ ජයග්රාහී ගුණයන් ඔබ සුරක්ෂිත කොට ගෙන ඇත්නම් මනස හොඳ භාවනාවකට යොමු වී තවත් ‘වැටුප් දිනයක’ රසාස්වාදය ඔබට ලබා දෙනු ඇත. එම නිසා ඇත්ත වශයෙන් ම, ඔබ වැඩෙහි යෙදෙන්නේ ‘නරක’ භාවනා වාර තුළ දීය.
පසුගිය දිනක සිඩ්නි නගරයේ පවත්වන ලද භාවනා පංති මාලාවක දී එයට සහභාගී වූ මහත්මියක සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වද්දී එදින මුළු දවස ම ඇය මා හා උරණ ව සිටි බව පැවසුවාය. ඒ හේතූන් දෙකක් උඩය. මුල් භාවනා වාර තුළ දී සිතෙහි මතු වූ අපහසුකම් නිසා ඇය ඉතා වෙහෙසට පත් වූයෙන්, ඒවා අවසාන කිරීමට මා සීනුව නාද නො කොට උවමනාවට වඩා කල් ගත්තේයයි ඇය මා කෙරෙහි ද්වේෂ සහගත සිතක් ඇති කර ගත්තාය. අවසාන භාවනා වාරවල දී ප්රීතිය හා සාමය පහසුවෙන් අත් කර ගැනීමට ඇයට හැකි වූයෙන්, ඒවා නිම වීමට අවශ්‍ය පමණ කල් නො දී ඉක්මනින් මා සීනුව නාද කළේයයි ඇය නැවතත් මා හා සිත් අමනාප කර ගත්තාය. නමුත්, සෑම භාවනා වාරයක් ම පැවැත්වූයේ එක් පැයක් පමණි. භාවනා ගුරුවරයකු ලෙස සීනුව නාද කිරීමෙන් වත් දිනුමක් ලබා ගත නො හැකිය.
“සීනුව නාද වීමට තව කොතෙක් වේලා ඇත් දැ”යි? අනාගතය ගැන සිතමින් භාවනාවෙහි යෙදෙන්නන් හට අත් වන ඉරණමයි මේ. තමා විසින් ම වදවේදනා විඳීම ඇති කර ගන්නේ, තමාට කිසි අයිතියක් නැති, අනුන්ගේ බර කරට ගන්නා විටය. “තව මිනිත්තු කීයක් ගත වීමට තිබෙනවා ද?” හෝ “මීළගට මා කළ යුත්තේ කුමක් ද?” යනාදී බඩුපොදි උසුලා නො ගැනීමට ඔබ විශේෂයෙන් ම ප්රවේසම් විය යුතුය. මෙවැනි සිතිවිලි පහළ වනවා නම් ඔබ සිටින්නේ මේ මොහොතේ සිදු වන දෙය පිළිබඳ ව අවධානයකින් නො වේ. ඔබ භාවනාවෙහි යෙදී නැත. ඔබේ සැලසුම් විසිරී ගොස් බලා සිටිනුයේ අසහනයට ආවඩමිනි.
බලගතු මේ මොහොත
“අද දිනය කුමක් ද? දැන් වේලාව කීය ද?” යනුවෙන් වත් හැඟීමක් නැති තරමට මේ මොහොත වෙත අවධානය රඳවා ගෙන සිටින්න. “මේ උදැසන ද? සවස ද?” ඔබ නො දනී. දන්නේ ‘මේ මොහොත’ කුමක් ද කියා පමණකි. ‘මේ දැන්’ මේ අයුරින් ඔබ ළඟා වන්නේ ‘මේ මොහොතෙහි’ භාවනාවෙහි යෙදී සිටීම මිස “කෙතෙක් වේලා භාවනා කර ඇද්ද? තව මිනිත්තු කීයක් ඉතිරි ව ඇද්ද? හෝ අද දවස කුමක් ද?” කියා වත් නො දන්නා ඉතා ලස්සණ, කාලය සනිටුහන් කිරිමේ ආරණ්‍යයික පිළිවෙතක් වෙතටය.
තරුණ භික්ෂුවක ලෙස මා තායිලන්තයේ සිටි එක් අවධියක දී, “මේ මොන අවුරුද්ද ද?” කියා වත් මට නිශ්චිත අවබෝධයක් නො වීය. කාලයෙන් මිදුණු එවන් පරිසරයක ජීවත් වීමට ඉඩ ලැබීම ඉමහත් වාසනාවෙකි. අපට ජීවත් වීමට සිදු වී ඇති කාලයත් සමඟ තරඟ කළ යුතු, කාලය විසින් මෙහෙයවෙන පරිසරයකට වඩා එවන් පරිසරයක් සෑම අතකින් ම නිදහස්ය. කාලයට වහල් නො වූ මෙවන් පරිසරයක දී ඔබ මේ මොහොතේ සුවය විඳිනුයේ අවුරුදු දහස් ගණනාවක් සිට ම, සෑම ඥානවන්ත උත්තමයකු ම මේ මොහොතේ සුවය විඳි ලෙසට මය. එම තත්ත්වය සෑම විට ම එලෙසින් ම පවතී. දැනුදු එහි කිසි වෙනසක් නැත. ඔබ ‘මේ මොහොතෙහි’ සත්යය, යථා ස්වභාවය වෙත එළඹ ඇත.
‘මේ මොහොතේ’ යථාවබෝධය තේජාන්විතය, මහානුභා සම්පන්නය. සියලු අතීතයන් හා සියලු අනාගතයන් අත්හැර දැමූ විට ඔබට දැනෙන්නේ අළුත් ජීවිතයක් ලැබූවකු සේය. ඔබ මෙතැන මේ මොහොතේ දැනුවත් ව සිටී. ඔබේ අවධානය වර්තමානයෙහි පමණක්–එනම් මේ මොහොතෙහි–රඳවා ගෙන සිටීම ‘මේ මොහොතේ අවධානය’යි. මෙය භාවනාවේ මුල් පියවරයි, මුල් අවධියයි. මෙතැනට ළඟා වීමට ඔබ ඉටු කර ඇත්තේ ඉතා වැදගත් කටයුතු රාශියකි.
භාවනාවේ ගැඹුරට යෑම ඇනහිටුවන, සිත අතීතයට හා අනාගතයට ඇදී යාමේ මුල් බාධාවෙන් ඔබ අත්මිදී ඇත. එම නිසා මෙම මුල් අවධියට පිවිස, එය ශක්තිමත් ව, ස්ථිර ව, නො සැලෙන සේ පවත්වා ගැනීමට මුළු ධෙෙර්‍ය්‍යය ම යොදන්න. ඉන් පසු ව ‘මේ මොහොතේ අවධානය’ තවත් පිරිසිදු කර ගනිමින් දෙවන අවධියට එළඹෙමු. එය ‘මේ මොහොතේ’ නිහඬ අවධානයයි.
මේ මොහොතේ නිහඬ අවධානය – දෙවන අවධිය
ඔබ සූදානම් ද?
මෙතෙක් දුරට මා පැහැදිලි කර සිටියේ සිත අලවන නිහඬතාවය, නිසලතාවය සහ ගැඹුරු ප්රඥාන්විත අත්දැකීම්වලින් හෙබි, නිර්මල මනසක් ගොඩනඟා ගැනීම මේ භාවනාවේ පරමාර්ථය බවයි. සෑම භාවනාවක දී ම අඛණ්ඩ ව දිව යන්නා වූ නූලක් සේ මතු වී පෙනෙන ශාරීරික හා මානසික බැඳීම්වලින් අත්මිදීම අපගේ ප්‍රධාන කර්තව්‍යය වන බව තව දුරටත් පෙන්වා දී සිටියෙමි. දීර්ඝ කාලයක් තුළ නො කඩවා මේ මොහොතෙහි පහසුවෙන් රැඳී සිටීමට භාවනා යෝගියා හැකියාව අත් කර ගත් විට ඔහු පළමුවන අවධිය උදා කර ගෙන ඇත.
මා භාවනාවේ මූලික අවස්ථාව ලෙස හඳුන්වන මෙම තත්ත්වයට ළඟා වීම සඳහා පිළිපැදිය යුතු දේ ඉතා දීර්ඝ ලෙස අවසාන වශයෙන් විස්තර කර දුනිමි. එහි දී මා ප්රකාශ කළ ආකාර ‘මේ මොහොතෙහි’ යථාවබෝධය ඉතා බලසම්පන්නය, තේජාන්විතය. මෙතැනට ළඟා වීම සඳහා අවශ්‍ය කටයුතු රාශියක් ඔබ ඉටු කොට ඇත. භාවනාවේ ගැඹුරට යෑම වළකන මුල් බාධකයන්ගෙන් ඔබ අත්මිදී ඇත. මෙතරම් දුරට දස්කම් පෑමට ඔබ සමත් වූයේ නම් මනසේ මීටත් වඩා චමත්කාර වූ සැබෑ නිහඬතාවය කරා ඔබ තවත් ඉදිරියට යා යුතුය. සත්‍යයට විස්තරයක් අනවශ්‍යය.
“මේ මොහොතේ නිහඬ අවධානය” සහ “ඒ පිළිබඳ ව සිතමින් සිටීම” අතර වෙනස මෙතැන දී පැහැදිලි කර දීම ප්රයෝජනවත්ය. රූපවාහිණියේ පෙන්වන ක්රිකට් තරඟයක් නැරඹීම උපමාවක් ලෙස ගෙන හැර දැක්වීමෙන් මෙය විස්තර කර දීම පහසුය. මෙවැනි තරඟයක් නරඹද්දී ඇත්ත වශයෙන් ම කිවහොත් එතැන තරඟ දෙකක් එකවර පැවැත්වෙන බව ඔබට පෙනී යනු ඇත. තිරය මත නරඹන තරඟය එකකි, තරඟ ප්රකාශකයාගේ විස්තරයත් සමඟ ඔබ නරඹන තරඟය අනෙකකි.
තරඟ වැද සිටින්නේ ශ්රී ලංකා හා ඕස්ට්‍රේලියා නු පිලවල් දෙක නම්, ලාංකික හෝ ඕස්ට්‍රේලියානු හෝ ප්රකාශකයකුගෙන් අසන්නට ලැබෙන විස්තරය බොහෝ විට ඇත්ත වශයෙන් ම සිදු වූ දෙයට වඩා වෙනස් වීමට ඉඩ ඇත, තරඟ විස්තරය සෑම විට ම එක් පිලකට බරය. තිරය මත විස්තර ප්‍රකාශයක් රහිත ව කරන නැරඹීම ‘මේ මොහොතේ නිහඬ අවධානය’ ලෙසත්, විස්තර ප්රකාශයට අවධානය යොමු කරමින් නැරඹීම ‘ඒ පිළිබඳ ව සිතමින් සිටීම’ ලෙසත් මෙහි දී උපමා කර දක්වමි. සත්යතාවයට ඔබ වඩාත් සමීප වන්නේ අර්ථකථනයෙන් තොර ව තරඟය නරඹන විටය, එලෙසින් ම මේ මොහොතේ අවධානය නිහඬව අත්විඳිනා විටය. මෙය ඔබ හොඳින් අවබෝධ කර ගත යුතුය.
ඇතුළත කථාව අහිතකරය
සමහර විට දී අප මේ ලෝකය හඳුනා ගෙන ඇතැයි සිතා සිටිනුයේ මනසෙහි මේ ඇතුළතින් කෙරෙන විස්තරය තුළිනි. නමුත් සත්‍ය වශයෙන් මනසෙහි එම අභ්‍යන්තර කථාව ලෝකය පිළිබඳ ව කිසිවක් නො දනී. දුක්වේදනාවලට මුල් වන මුලාව ගොතනුයේ එම අභ්‍යන්තර කථාවයි. අපේ විරුද්ධවාදීන් වෙත වෛරය දැක්වීමටත්, හදබැඳි සෙනෙහෙවතුන් සමඟ කඩ නො කළ හැකි ලෙස භයානක අන්දමින් තද බැඳීම් පැවැත්වීමටත් මුල් වනුයේ මෙම අභ්‍යන්තර කථාවයි. ජීවිතයේ සෑම ප්‍රශ්නයකට ම මූලිකයා ද මෙම අභ්‍යන්තර කථාවයි. අභ්‍යන්තර කථාව බිය උපදවන අතර, එය සෑම විට ම ඔබේ නිදොස් බව ද තහවුරු කරයි. මෙම මුලාවන් මැවීමට අභ්‍යන්තර කථාව දක්වන නිපුණත්වය, රූපවාහිණි ප්රකාශකයකු සිය නරඹන්නන් වසඟයට ගෙන ඔවුන් තුළ ද්වේෂය හෝ ශෝකය හෝ ඇති කිරීමට දක්වන හැකියාවට සම කළ හැකිය. ඔබේ පරිශ්‍රමය යොමු ව ඇත්තේ සත්‍යය අවබෝධ කර ගැනීමට නම් නිහඬ අවධානයේ අගය වටහා ගෙන භාවනාවේ දී එය වෙන මොනයම් ආකාරයේ හෝ සිතිවිල්ලකට වඩා අතිශයින් ම වැදගත් බව තරයේ සිතට ගන්න.
සිතිවිලි නිස්සාරය
තමාගේ සිතිවිලි මහත් සේ අගය කිරීමට තමා දක්වන කැමැත්ත නිහඬ අවධානයේ මූලික බාධකයයි. දෙවන අවධිය, එනම් “මේ මොහොතේ නිහඬ අවධානය” වෙත එළඹීමට ඔබට ඉඩ සලසන්නේ තමාගේ සිතිවිලි ඇගයීමේ පුරුද්ද හෙමින් සීරුවෙන් අත්හැර දැමීමේත්, නිහඬ අවධානයේත් වටිනාකම අවබෝධ කර ගැනීමේ විදර්ශනා ඥානයයි හෙවත් ඇති තතු දැකීමේ නුවණයි.
සෑම මොහොතක් දෙස ම මහත් ඕනෑකමින්, ඉතා සමීප ව බලා සිටින විට එම මොහොතෙහි සිදු වූ දේ විග්රහ කිරීමට කාලයක් කිසිසේත් ම ඔබ සතු ව නැත. මෙය සිත තුළ කෙරෙන කතාව නතර කිරීමට යොදා ගත හැකි සූක්ෂම උපක්රමයකි. බොහෝ විට සිතිවිල්ලක් වනුයේ ඒ මොහොතෙහි සිදු වූ දේ ගැන තමා දක්වන මතයයි. උදාහරණයක් වශයෙන්, “එය හොඳයි” “එය වැරදියි“, “මොකක් ද ඒ” යනාදී සියල්ල ම මොහොතකට උඩ දී සිදු වී අභාවයට ගිය අත්දැකීම් පිළිබඳ තමාගේ විවේචනයි. ඔබේ සැලකිල්ලට භාජනය වූ අභාවයට ගිය අත්දැකීම් විවේචනය කරද්දී එම මොහොතේ ම ඔබ වෙත ළඟා වූ අත්දැකීම පිළිබඳ ව කිසි හැඟීමක් ඔබ වෙත නැත. එය ඉවත ලා ඇත. පරණ අමුත්තන් සමඟ කටයුතු කරන විට, දැන් ළඟා වන අළුත් අමුත්තන් ගැන ඔබ කිසි ම තැකීමක් නො කරයි.
සිතිවිලි සමඟ සංවාදය නතර කිරීම
සාදයක දී අමුත්තන් දොරෙන් ඇතුල් වූ විට ඔවුන් පිළිගන්නා තැනැත්තා ඔබේ මනසයයි සිතන්න. එක් අමුත්තකු පිවිසි විට, ඔහු හා කථාවට වැටී, අර දේ මේ දේ ගැන දොඩමළු ව සිටිය හොත්, ඔබ දොරෙන් ඇතුළු වන අනෙකුත් අමුත්තන් පිළිගැනීමක් නො කරන හෙයින්, ඔබේ යුතුකම පැහැර හැර ඇත. සෑම මොහොතක ම අමුත්තන් දොරෙන් ඇතුල් වන බැවින් ඔබට කළ හැකි එක ම දෙය එක් අමුත්තකු පිළිගෙන, හැකි ඉක්මනින් ඊළඟ අමුත්තා පිළිගැනීමය. කිසි ම අමුත්තකු සමඟ ඉතා කෙටි සංවාදයක් වත් පැවැත්විය නො හැක්කේ දොරෙන් ඇතුල් වන ඊළඟ අමුත්තා ඔබට මඟහැරෙන බැවිනි. ඇස, කන, නාසය, දිව, ශරිරය යන පසිඳුරන්ගේ දොරින් පිවිසෙන සෑම අත්දැකීමක් ම මනසට ඇතුල් වන්නේ එකකට පසු එකක් යන අනුපිළිවෙළිනි.
ඔබේ සිහිකල්පනාව මින් එක අත්දැකීමක් පිළිගෙන එය හා සතුටු සාමිවියේ යෙදුන හොත් ඒ පිටුපසින් ම පැමිණෙන ඊළඟ අත්දැකීම ඔබට මඟහැරෙනු ඇත. සෑම සිදුවීමක් ම අත්විඳිමින්, සම්පූර්ණ වශයෙන් ම ඔබ මේ මොහොතේ ගිලී, මනස වෙත පැමිණෙන කිසි ම අමුත්තකු මඟ නො හරින්නේ නම්, අභ්‍යන්තර කථාව සඳහා ඔබට කිසි ම ඉඩක් නොමැත. ඔබට, ඔබ හා සතුටු සාමීචි කථාවක යෙදිය නො හැකි නම් මනසට ඇතුල් වන සෑම දෙයක් ම එම මොහොතෙහි දී ම සිහි කල්පනාවෙන් යුතු ව පිළිගැනීමෙහි ඔබ සම්පූර්ණයෙන් ම නිරත ව ඇත. එසේ නම්, “මේ මොහොතෙහි අවධානය” ඔබ දැන් පිරිපහදු කර ගෙන ඇත්තේ සෑම මොහොතක දී ම එය “එම මොහොතේ නිහඬ අවධානය” වන පරිදිය.
මෙම මට්ටමට ඇතුළත නිහඬතාවය දියුණු වූ විට ඉතා විශාල බරකින් මිදුණු ලෙස ඔබට හැඟෙනු ඇත. මෙය අවුරුදු හතලිහක, පනහක කාලයක් තිස්සේ බර ගෝනියක් පිටේ එල්ලා ගෙන, එම කාලය මුළුල්ලේ ම නො නැවතී සැතපුම් බොහෝ ගණනක් ඉතා වෙහෙස මහන්සියෙන් එය ගෙන ගියා හා සමානය. එම ගෝනිය පිටෙන් උනා, සුළු කාලයකට හෝ බිමින් තැබීමට ඔබට අවශ්‍ය ධෙෙර්‍ය්‍යය හා ප්රඥාව ලැබිණ. අභ්‍යන්තර කථාව නමැති බර ගෝනියෙන් මිදීමත් සමඟ ම තමා විඳින්නා වූ සැනසුම, සැහැල්ලුව සහ නිදහස අතිමහත් බව ඔබට වැටහෙනු ඇත.
අතරමැද නිහඬතාවය
සිතිවිලි අතරමැද පවතින නිහඬතාවය සහ අභ්‍යන්තර කථාවන් අතරමැද පවතින නිහඬතාවය දැන හඳුනා ගැනීම නිහඬ අවධානය දියුණු කර ගැනීමේ තවත් වැදගත් ක්රමයකි. එක් සිතිවිල්ලක් අවසාන වී, ඊළඟ සිතිවිල්ලේ ආරම්භය දෙස ඉතා සමීප ව ඉතා තියුණු සිහිකල්පනාවකින් බලා සිටින්නේ නම්, එතැන ඇති පරතරය, හිඩැස ඔබේ අවධානයට හසු වේ. අන්න එයයි ‘නිහඬ අවධානය’. පටන් ගැනීමේ දී එය ඉතාමත් සුළු මොහොතකට සීමා වන නමුත්, ඉක්මනින් අතුරුදහන් වී යන්නා වූ එම නිහඬතාවය හඳුනා ගත් විට ඔබ එයට හුරු වනු ඇත. එම හුරු වීමත් සමඟ ම එය දිගු කාලයක් තුළ පවතිනු ඇත. කෙසේ හෝ ඔබ එම නිහඬතාවය සොයා ගෙන එහි රස විඳීමට පටන් ගත් විට එහි වැඩීම සිදු වේ. නමුත් නිහඬතාවය ඉතාමත් කුලෑටි බව සිහියට ගන්න. ඔබ ඇය ගැන කථා කරන බව නිහඬතාවයට ඇසුන හොත් ඇය එම මොහොතෙහි ම අතුරුදහන් වන්නීය.
පිරුණු කළේ දිය නො සැලේ
මෙම අභ්‍යන්තර කථාව අත හැර දමා, මේ මොහොතේ නිහඬතාවය සෑහෙන කාලයක් තුළ රැක ගැනීමෙන් ඇති වන මහත් සොම්නස දැන හඳුනා ගැනීමට අප සෑම දෙනාට ම අවකාශ ලැබෙන්නේ නම්, එහි අගය කියා නිම කළ නො හැකිය. මනසෙහි ප්රඥාව සහ නිර්මලත්වය වර්ධනය කර ගැනීම සඳහා භාවනාවේ දී මහත් සේ උපකාරී වන්නේ සිතීම නො ව නිහඬතාවයයි. ඇතුළතින් නිහඬ වීමෙන් ඇති වන ප්‍රීතිය හා වටිනාකම අවබෝධ කර ගත් විට එය ඔබට ඉතා වැදගත්, සිත් ගන්නා දෙයක් වනු ඇත. එවිට මනස නැඹුරු වනුයේ මෙම නිහඬතාවය වෙතටය.
සිතීම ඉතාමත් අත්‍යවශ්‍ය අවස්ථාවන්ට පමණක් සීමා කරමින්, මනස නිරතුරු ව ම නිහඬතාවය සොයා යනු ඇත. මේ තත්ත්වයට පැමිණි විට අප බොහෝ විට ගිලී සිටින්නා වූ සිතිවිලිවල ඇති නිස්සාර භාවය හා එවැනි සිතිවිලි හිසරදයකට වඩා වැඩි යමක් ලබා නො දෙන බව අවබෝධ කර ගැනීමෙන් ඔබ බොහෝ විට, ඉතා පහසුවෙන් හා ප්රීතියෙන්, අභ්‍යන්තර නිසලතාවයෙහි මනස පවත්වා ගනිමින් කල් ගෙවනු ඇත.
භාවනාවේ දෙවන අවධිය ලෙස හඳුන්වන “මේ මොහොතේ නිහඬ අවධානය” තුළ සාමය හා ප්රීතිය භූක්ති විඳීමට ඔබට ඉඩ ලැබෙන අතර, ඒ තුළින් ප්‍රඥාවේ උපත ද සිදු වනු ඇත. මෙම අවධීන් දෙක ප්‍රගුණ කර ගැනීම සඳහා ඔබේ කාලයෙන් බොහෝ කොටසක් වැය කර මෙතැනට ළඟා වීමට ඔබට හැකියාවක් ඇත්නම්, ඇත්ත වශයෙන් ම ඔබ භාවනාවේ බොහෝ දුරක් දැනටමත් ගමන් කොට ඇත.
හුස්ම වෙත රඳවා ගත් අවධානය – තෙවන අවධිය
එක් දෙයක් තෝරා ගන්න
මෙතැනින් ඉදිරියට යාමට නම්, සිතෙහි මතු වන්නා වූ සෑම දෙයක් ගැන ම නිහඬ ව සිටිනු වෙනුවට “එක් දෙයක් මත පමණක් රැඳුණු මේ මොහොතේ නිහඬ අවධානය ඔබ තෝරා ගත යුතුය. ‘එක් දෙය’ ලෙස, ආශ්වාස–ප්‍රශ්වාසයෙහි වේදිතය (ආනාපාන සතිය), මෙෙත්‍රී සහගත අදහස (මෙෙත්‍රීය), මනසෙහි මවා ගන්නා වූ වර්ණ වත් චක්රයක ඡායාව (කසිණ) හෝ සාමාන්‍ය වශයෙන් භාවිතයෙහි නො යෙදෙන, එහෙත් අවධානය යොමු කළ හැකි වෙනත් යමක් හෝ මේ සඳහා උපයෝගී කර ගත හැකිය. ආශ්වාස–ප්රශ්වාසය මත රඳවා ගන්නා වූ මේ මොහොතේ නිහඬ අවධානය හෙවත් ආනාපානසති භාවනාව මම මෙහි දී විස්තර කර දෙමි.
ආනාපාන සතිය
ආනාපාන සතිය ඉතා ලෙහෙසි, නො ගැඹුරු උපදෙස් අඩංගු භාවනා ක්රමයක් සේ මතුපිටින් පෙනුණත්, එම ලිහිල් උපදේශයන් නිවැරදි ව අනුගමනය කරමින්, ඉතසිතින් එහි යෙදෙන්නකුට අත් කර ගත හැකි අභ්‍යන්තර මානසික සුවය, සන්සුන් බව ඉතාමත් බල සම්පන්න බව මෙහි දී මතක් කර දිය යුතුය. අවධානය එක් දෙයක් මත පිහිටුවා ගැනීමට තෝරා ගැනීමෙන් තමා කරන්නේ, නානාවිධත්වය අතහැර දමා, ඊට විරුද්ධ වූ ඒකාග්රතාවය වෙත මනස යොමු කිරීමය. එක් දෙයක් වෙත පමණක් අවධානය පවත්වා ගැනීමෙන් උද්දීපනය වන්නා වූ සාමය, ප්‍රබෝධය හා බලය, මනස එක්තැන් වීමට පටන් ගත් විට සැලකිය යුතු අන්දමින් වර්ධනය වේ.
ඇස, කන, නාසය, දිව, ශරිරය හා මනස , ඇසුරෙන් හටගන්නා වූ දැකීම, ඇසීම, සුවඳ, රසය, ස්පර්ශය හා සිතිවිලි ආදී සංස්කාරයන් කරණ කොට ගෙන, මේසයක් මත ඇති දුරකථන හයක් එක වර නාද වන්නා සේ, විඥානයෙහි ඇති වන නානාවිධත්වය ගෙන දෙන හිරිහැරය කෙතරම් දැයි වටහා ගන්නේ, නානාවිධත්වය දුර ලා ඒකාග්‍රතාවය වෙත නැඹුරු වීම මඟින් මේසය එක දුරකථනයට පමණක් සීමා කිරීමෙන් ජනිත වන සහනය, ප්‍රබෝධය අත්විඳීමෙනි. ආශ්වාස–ප්රශ්වාසය මත පමණක් සිහි එළවා සිටීම සඳහා මෙම නානාවිධත්වය ඇති කරන පීඩාව දැන හඳුනා ගැනීම අතිශයින් ම වැදගත්ය.
ආනාපාන සතිය දියුණු නො වීම
“මේ මොහොතේ නිහඬ අවධානය” ඉතා සැලකිල්ලෙන් ප්‍රගුණ කර ගෙන ඇත් නම්, ඉතා පහසුවෙන් එම අවධානය ආශ්වාසය හා ප්‍රශ්වාසය වෙත යොමු කොට, මොහොතක් මොහොතක් පාසා නො කඩවා එම ආශ්වාසය හා ප්රශ්වාසය දෙස බලා සිටීමට ඔබට හැකි වනු ඇත. ආනාපානසති භාවනාවට එරෙහි ව නැඟී සිටින ප්‍රධාන බාධක දෙකක් මේ වන විට ඔබ තුනී කර ගෙන සිටිම ඊට හේතුවයි.
අතීතයටත්, අනාගතයටත් විටින් විට පැන යාමට මනස දක්වන ඇල්ම මුල් බාධකයයි. දෙවැන්න මනසේ අභ්‍යන්තර කථාවයි. ආනාපානසති භාවනාවේ ගැඹුරට යෑම සඳහා ඉතා වැදගත්, එමෙන් ම ඉතා අත්‍යවශ්‍ය පුහුණුවක් ලෙස, “මේ මොහොතේ අවධානය” හා “මේ මොහොතේ නිහඬ අවධානය” යන මූලික අවධීන් දෙක මා උගන්වන්නේ එම නිසාය.
දුව–පනිමින් භාවනා කළ නො හැකිය
තමන්ගේ සිහි කල්පනාව අතීතය හා වර්තමානය අතර දුව පනිමින් සිටිය දී සහ තමන්ගේ අභ්‍යන්තරයෙහි කෙරෙන අර්ථ කථනයෙහි ගිලී පවතිද්දී, ආනාපානසති භාවනාව ඇරඹීම බොහෝ විට භාවනායෝගීන් කරනා අනුවණ ක්රියාවෙකි. සූදානමක් නොමැතිකම නිසා අසහනයට පත් ව, ආනාපානසති භාවනාව ඉතා දුෂ්කර හෝ කිසිසේත් ම කළ නො හැකි හෝ දෙයක් සේ සලකා ඔවුහු එය අත්හැර දමති. එසේ අත්හරින්නේ නිසි තැනින් එය ආරම්හ නො කරන හෙයිනි.
අවධානය යොමු කරන ආරම්මණය ලෙස ආශ්වාසප්‍රශ්වාසය ඔවුන් තෝරා ගත්තේ ඒ සඳහා අවශ්‍ය මූලික පුහුණු වීමේ කටයුතු කිසිවක යෙදීමෙන් තොර වය. එය එසේ වුවත්, මෙම මූලික අවධීන් දෙක සම්පූර්ණ කර ගෙන, මනස හොඳින් පිහිටුවා ගැනීමෙන් පසු තම අවධානය ආශ්වාසයප්‍රශ්වාසය වෙත යොමු කළ විට ඔබට එහි රස විඳීමට කිසිම අපහසුවක් නො වන්නේය. ආශ්වාස–ප්‍රශ්වාසයෙහි රැඳී සිටීමට අපහසු බව ඔබට හැඟේ නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ ඔබ මූලික අවධීන් දෙක ‘හැකි ඉක්මනින් අවසන් කොට ඇති බවෙකි. නැවත මූලික අභායාසයන්හි යෙදෙන්න. සැලකිලිමත් ව ඉවසීම ඉක්මන් මඟය.
වැඩි විස්තර සිතට නො ගන්න
හුස්ම ඉහළ–පහළ හෙළීම භාවනා අරමුණ ලෙස තෝරා ගත් විට, ඔබේ සම්පූර්ණ සැලකිල්ල යොමු විය යුත්තේ මේ මොහොතේ හුස්මෙහි වේදිතය වෙතටය. ඔබ විඳින්නේ “හුස්ම විසින් කෙරෙන කාර්යය කුමක් දැයි ඔබට අඟවා සිටින දෙයයි.” එනම් එය ඉහළට යයි ද, එය පහළට යයි ද, නැති නම් එය අතරමැද ද යන වගයි. මනසට දැනෙන දේ, හැඟෙන දේ අවශ්‍ය පමණට වඩා වැඩි වුවොත් එය මනස අවුල් කිරීමට ඉවහල් වනු ඇත. එම නිසා අපේ දැනීම හුස්ම වටයේ කොතැනක ඔබ සිටී දැයි යන්නට පමණක් සීමා කිරීම මෙහි දී වැදගත් වන්නේය. හුස්ම වටයේ දී ඇති වන දැනීම සුවදායක ද? පීඩාදායක ද? යනුවෙන් විමසිලිමත් නො වන්න. ශරීරයේ කොතනක එය පිහිටා සිටී දැයි නො සොයා ඔබ සිටින්නේ හුස්ම ගනිමින් ද, හරිමින් ද යන්න ගැන පමණක් සිහියෙන් සිටින්න. එපමණකින් සෑහීමකට පත් වන්න.
ගැටෙන තැනක් අනවශ්‍යය
හුස්ම ගැනීම හා හෙළීම පිළිබඳ අවධානය ශරීරයේ අසවල් අසවල් ස්ථානවල පිහිටුවා ගත යුතුයැයි ඇතැම් භාවනා උපදේශකයෝ නියම කර සිටිති. සමහර භාවනා උපදේශකයින් හුස්මෙහි වේදිතය නාසයෙහි කෙළවරෙහි ද, සමහරු එය යටි බඩෙහි ද විඳින ලෙස දක්වන අතර තවත් සමහරෙක් එම විඳීම, අතන හෝ මෙතන හෝ වශයෙන් පවත්වා ගන්නා ලෙස උපදෙස් දෙති. මගේ පළපුරුද්දට හා අවබෝධයට අනුව හුස්ම ගැනීමේ දී හා හෙළීමේ දී එම සුවය දැනෙන ස්ථානය වෙත එල්ල කෙරුණු අවධානයක් ඇති කර නො ගැනීමෙන් වඩා හොඳ ප්‍රතිඵලයක් ලැබේයයි දන්වා සිටීමට කැමැත්තෙමි. එම සුවය කෙනකුගේ උඩු තොල මත පිහිටන්නට පුළුවන. තව කෙනකුගේ උදරය හා සම්බන්ධ වන්නට පුළුවන. තවත් සමහරකුට එම දැනීම ඔහුගේ ශරීර ස්වභාවය අනුව නොයෙක්නොයෙක් තන්හි ඇති වීමට පුළුවන.
එය විඳින තැන නො වැදගත්ය. ඇත්ත වශයෙන් ම එය තැනකට සීමා නො කරන්නේ නම් වඩා හොඳය. ඔබ හුස්මෙහි වේදිතය නාසය කෙළවරෙහි පවත්වා ගත හොත් එය හුස්ම පිළිබඳ සිහි කල්පනාවක් නො ව නාසය පිළිබඳ සිහි කල්පනාවකි. එමෙන් ම ඔබ එය යටි බඩෙහි පවතින්නේයයි සලසා ගත හොත් එය යටි බඩ පිළිබඳ සිහි කල්පනාවකි. මෙම භාවනාවෙහි වැදගත්කම රඳා ඇත්තේ විඳීම ඇති වන ස්ථානය මත නො වේ.
භාවනාවේ මේ අවධිය පටන් ගැනීමේ දී ඔබ විසින් කළ යුතු ව ඇත්තේ හුස්මෙහි සුවය වෙත, තමාගේ සිහිය මනා කොට පිහිටුවා ගැනීමය. ආරම්භයේ දී දත යුත්තේ “හුස්ම ගන්නා බව ඔබ දනී ද? හුස්ම හෙළනා බව ඔබ දනී ද?” යන්න පමණෙකි. හුස්මෙහි සුවය ගතට දැනෙන ස්ථානය වෙත ඔබේ අවධානය යොමු කිරීමට යෑමෙන් දෙආකාරයකින් සිත වියවුලට පත් විය හැකිය.
සිත විසිර යෑම
ඇතැම් විට ඔබ සිතා සිටින ස්ථානයෙහි එම සුවය බලවත් ව නො පිහිටීම සිදුවන්නට පුළුවන. එම නිසා ඔබ කොතෙකුත් සිත එතැනට යොමු කළ ද හුස්මෙහි සුවය ඔබේ ග්රහණයට හසු නො වන්නට ඉඩකඩ ඇත. එවිට සිතෙහි පෝෂණය සඳහා පැහැදිලි දෙයක් නො ලැබීමෙන් සිත වෙන දෙයක් සොයා යෑමට අවකාශ ඇති බැවින් ඔබට භාවනාවෙන් හොඳ ප්රතිඵලයක් බලාපොරොත්තු විය නො හැකිය. හුස්මෙහි සුවය, ගතෙහි යම් තැනක පැහැදිලි ව උද්ගත වේයැයි යන අදහස මුල් කොට ගෙන භාවනාවෙහි නිරත වීමෙන් සිත අයාලේ යා හැකිය. මෙය පළමු වන දුෂ්කරතාවයයි.
ශරීරයේ යම් ස්ථානයක හුස්ම ඉහළ–පහළ යාම සටහන් ව පවතිද්දී, එම දැනීම තවත් ස්ථානයක ඉස්මතු වූ විට ඔබේ අවධානය එතැනට යොමු කළ හොත් සිදු වන්නේ හුස්ම ශරිරයේ තැන්තැන්වල ගැටීම පසුපස අවධානය නැඹුරු කරමින් යෑම නිසා සිතෙහි නිසියාකාර සාමයක් ගොඩ නො නැඟී සමාධිය තැනින්තැනට පැන යෑමෙන් සිත චංචල බවට පත් වීමය. මෙය හුස්ම ශරීරයෙහි යම් තැනක ගැටෙන්නේයයි කියා එය සටහන් කර ගැනීමට යෑමෙන් ඇති වන අවුලයි.
මෙය විසඳීමට භාවනා උපදේශකවරයා දෙන උපදේශය වනුයේ “හුස්ම ගැටෙන තැන් පසුපස නො ගොස්, සාමාන්යයෙන් එය හොඳින් ඉස්මතු වී දැනෙන පෙදෙස වෙතට පමණක් සිත යොමා ගන්න” යන්නය. එසේ කළ ද, විටින්විට ඔබට පෙනී යනු ඇත්තේ එම පෙදෙස ආශ්රිත ව හුස්ම නො පවතින බවයි. හුස්ම එතැනින් අතුරුදහන් වීම නිසා සිදු වන්නේ සිත විසිර යෑමය. මීට විසඳුමක් වශයෙන් මා ඔබට පවසා සිටින්නේ හුස්ම ගැටෙන්නේ ශරීරයේ කොතනක දැයි විපරම් කිරීමෙන් වැළකී සිටීමට යත්න දරන ලෙසටයි.
හුස්ම කොතැනක ඉස්මතුවේ දැයි නො සොයා ඔබේ හැඟීම හුස්ම ඉහළට යන්නේ ද නැති නම් පහළට යන්නේ දැයි විමසීමට පමණක් සීමා කොට හුස්ම ගැනීම මොන අවධියේ ද නැති නම් හුස්ම හෙළීම මොන අවධියේ ද එනම් එහි මුල ද, මැද ද, අග ද, කියා දැන සිටින ලෙසටයි. සිරුරේ ඇති වන දැනීම ඉවත ලා මේ මොහොතෙහි හුස්ම වටයේ කොතැනක ඔබ සිටී දැයි යන්නට සිත යොමු කිරීමෙන් ඉහත දුෂ්කරතාවයෙන් මිදිය හැකිය.
අත්දැකීමෙන් මෙය අවබෝධ කර ගැනීම සඳහා මේ ප්‍රශ්නය ඔබෙන් අසා බලන්න. දැස පියා ගෙන තමාගෙන් ම මෙසේ අසන්න: “මම හුස්ම ගන්නෙම් ද, එසේ නැති නම් හරින්නෙම් ද?” “ශරීරයෙහි අසවල් තැන හුස්ම ගැටෙන්නේය” යන හැඟීම ඇති වීමට පළමු ව, ඊට පිළිතුර ඔබට ලැබෙනු ඇත. ශරීරයේ කොතැනක ඒ හුස්ම ගැටෙන්නේ දැයි යන දෙවන ප්‍රශ්නය ඒ සඳහා අවශ්‍ය නො වන බව ඔබට ම පැහැදිලි වනු ඇත. ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම සඳහා අවශ්‍ය වන්නේ හුස්ම වටයේ එම මොහොතෙහි ඔබ සිටින්නේ කොතැනක දැයි යන්න පමණකි.
ගත වෙත සිත යොමු වීම
හුස්මෙහි සුවය දැනෙන ස්ථාන වෙත සිත යොමු කිරීමට යෑමෙන් හුස්ම ගැනීමේ කටයුත්ත (සන්තතිය) කෙරෙහි සිත යොමු කිරීමට පමණක් නො ව, ගත ආශ්රිත ව ද හැඟීමක් සිතෙහි ඇති කර ගැනීමට සිදු වීම දෙවන දුෂ්කරතාවයි. හුස්මෙහි සුවය දැනෙන ස්ථානය අවට ගතෙහි කොටස් වෙත සිත ඇදී යෑම ද මෙහි දී පහසුවෙන් සිදු විය හැකිය. එම ස්ථානය අවට කැසීම්, රිදීම් සහ සීතල හෝ උෂ්ණය හෝ ඉස්මතු වීමෙන් ගතෙහි උද්ගත වන නලියනසුළු ගතිය බලවත් වූ විට හුස්ම වෙතට වඩා ගත කෙරෙහි සිත ඇදී යෑමෙන් ගතත්, සිතත් සන්සුන් වීම පහසුවෙන් සිදු නො වනු ඇත. හුස්මෙහි සුවය වෙතට සිත නැඹුරු කර ගැනීම සඳහා ගතෙහි යම් තැනකට සිත යොමු කිරීමෙන් සිදු වන්නේ ගත ඔබේ අවධානය පැහැර ගැනීමය. නො දැනුවත් ව ම ගත වෙත ඔබේ අවධානය වර්ධනය වීමෙන් එය ගෙන එන ඉහත කී මැසිවිලිවලින් මිදීමට නො හැකි ව අවසානයේ දී ඔබට ඒවාට පිළියම් යෙදීමට සිදු වනු ඇත.
දත යුත්තේ හුස්මෙහි වේදිතය පමණි
“මා දැන් හුස්ම ඉහළට ගනී ද? නැති නම් පහළට හෙළයි ද?” යන්න ඔබ දන්නේ කෙසේ ද? ඒ අනුව යම් වින්දනයක් හුස්ම කරන කාර්යය කුමක් දැයි ඔබට අඟවා සිටී ද, ආනාපානසති භාවනාවේ කේන්ද්රය විය යුත්තේ එයයි. “මෙම වින්දනය කොතැන ආශ්රිත ව පවතින්නේ ද?” යන උද්වේගය අතහැර දමා, එම වින්දනය වෙතට තම අවධානය යොමු කරන්න, ගතෙහි ඇති වන විඳීමකින් හෝ වෙන කොයියම් ආකාරයකින් හෝ වේවා යමකින් ඔබට මේ හුස්ම ඉහළට යෑමයයි ද, මේ හුස්ම පහළට යෑමයයි ද අඟවා සිටී නම්, එපමණකින් ඔබ සෑහීමකට පත් විය යුතුය. සැනසීම උදා කර ගැනීම සඳහා එම හැඟීම පමණක් ඔබේ භාවනා අරමුණ විය යුතුය.
බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ ආනාපානසති භාවනාව ආරම්භයේ දී “හුස්ම ගැනීමේ කාලය දිග ද? හුස්ම හෙළීමේ කාලය දිග ද? හුස්ම ගැනීමේ කාලය කෙටි ද? හුස්ම හෙළීමේ කාලය කෙටි ද?” ආදී වශයෙන් සිහි එළවා සිටීමටය. මෙය හුස්ම කෙරෙහි අවධානය උපදවා ගැනීම සඳහා යොදා ගන්නා උපක්රමයෙකි. හුස්ම පිළිබඳ ව පරීක්ෂාකාරී වීමෙන් පමණක් එය කෙරෙහි කැමැත්තක් ඇති කර ගැනීම සමහරකුට ඉතාමත් අසීරුය. ඒ සඳහා කියා සිටින්නා වූ උපදෙස් පිළිපැදීමෙන් පමණක් එම කැමැත්ත ඇති නො වේ.
හුස්මෙහි දිගු බව හෝ කෙටි බව හෝ පිළිබඳ දැනුමක් ඇති ව සිටීමට, කෙනකුගේ සිහි–නුවණ තරමක් බලගතු විය යුතුය. මෙහි දී මා කියා සිටින්නේ හුස්මෙහි දිගු බව හෝ කෙටි බව හෝ ගැන පරීක්ෂාවෙන් සිටීමට කලින් “මේ මොහොතේ හුස්ම ඉහළට යන බව දනී ද? මේ මොහොතේ හුස්ම පහළට යන බව දනී ද?” යනුවෙන් විමසිලිමත් වීමටය.
මේ අයුරින් භාවනාවෙහි යෙදී සිටින කාල පරිච්ජේදය තුළ දී අතිශයින් වැදගත් වන්නේ හුස්ම පිළිබඳ ව පිහිටුවා ගත් එම අවධානය නො කඩවා පවත්වා ගැනීමය. එය එක් හුස්මක් හා තව එක් හුස්මක් පමණකට සීමා නො කොට ඇත්ත වශයෙන් ම එම අවධානය හුස්ම වාර සිය ගණනක් තුළ දී පවා එකක් පාසා එකක් කෙරෙහි ම යොමු කරගෙන සිටීම අවශ්‍යය, ඔබ ගන්නා සෑම හුස්මක්මත්, ඔබ හෙළනා සෑම හුස්මක්මත් පිළිබඳ ව දැනීමක් ඇති ව එකක් වත් මඟ හැරී යෑමට ඉඩ නො දී සිහිබුද්ධියෙන් විසීම මෙයින් අදහස් කෙරේ.
සමාධිය
මෙතැන දී “අප යෙදී සිටින්නේ කුමක් කරමින් දැයි?” යන ඉතා වැදගත් කරුණ හරියාකාර ව තේරුම් ගැනීමට එසේත් නැති නම් ‘සමාධි’ යන බෞද්ධ වචනයේ අදහස තේරුම් ගැනීමට දැන් අවස්ථාව එළඹ ඇත. ඔබ මේ වචනයේ විවිධ තේරුම් මීට කලින් අසා දැන සිටින්නට පුළුවන. ඒ කෙසේ වෙතත් තෝරා ගත් භාවනාමය අරමුණ, ‘ආරම්මණය’ වෙත නො කඩවා සිහිය රඳවා ගැනීමට මනසට ඇති හැකියාව ‘සමාධිය’ වශයෙන් තේරුම් ගැනීම ඔබට වඩාත් වැඩදායී වනු ඇතැයි මා සිතන අතර එය භාවනාවෙන් උසස් ප්රතිඵල උදා කර දීමට ද ඉවහල් වනු ඇත.
මෙහි ඉතාමත් වැදගත් කරුණ සිහිය රඳවා ගෙන සිටීමය. එක් වාරයක් හුස්ම ගැනීමත්, එක් වාරයක් හුස්ම හෙළීමත් වෙත සිහිය රඳවා ගෙන සිටීම ඕනෑ ම කෙනකුට පහසුවෙන් කළ හැකි දෙයක් වුවත්, එම සිහිය නො කඩවා හුස්ම ගැනීම–හෙළීම වාර සීයයක්, දෙසීයයක් තුළ මඟහැරීමක් නැති ව පවත්වා ගැනීමට පුළුවන්කමක් ඇත්නම් ඔබ පළපුරුදු භාවනායෝගියකු විය යුතුය.
නිහඬ–නිශචල භාවය
යමකු මෙම අවස්ථාවට එළඹ තෝරා ගත් ආරම්මණය වෙත ඒකාකාර අවධානයක් ඇති කර ගත් විට එම මනස සමාධිගත ව ඇතැයි කිව හැකිය. මෙය සමාධිය පමණක් නො ව නිශ්චල භාවය හෝ නිහඬතාවය හැටියට ද හැඳින්විය හැක්කේ මනස විවිධාකාර සිතිවිලිවල, ආරම්මණවල නො ගැටී, වියවුලට පත් නො වී, එක දෙයක් කෙරෙහි පමණක් සිහි එළවා ගෙන සිටින හෙයිනි. මනස විවිධාකාර අදහස් ඔස්සේ නො ගොස්, නානාප්‍රකාර දිසාවන්හි දිව නො යා, එකලස් ව තිබෙන විට එය නිශ්චල භාවයට පත් වේ. ඔබ ශරීරය නො සොල්වා සිටිය දී එය නිශ්චල භාවයට පත් වන්නේ යම්සේ ද, එලෙස ම මනස එක් දෙයක් වෙත දිගු කලක් සිහි එලවා සිටිද්දී එය නො සැලෙන නිසා මනස නිශ්චල භාවයට පත් වේ.
ඒකාග්‍රතාවය
මනස පිහිටි තැන ස්ථිර ව ම පවත්වා ගනිමින්, එය බලා සිටින දෙස ම දිගට ම බලා සිටීමට හැකියාවක් ලත් විට සිත නිශ්චලතාවයට හෝ නිහඬතාවයට හෝ පැමිණියේයයි කීම නිවැරදිය. එක් දෙයක් වෙත සිහි එළවා සිටීමෙන් ලබා ගන්නා වූ සමාධිය, සිතෙහි එකඟ බව, ඒකාග්රතාවය වශයෙන් ද නම් කළ හැකිය. තවත් ආකාරයකින් දක්වතොත් ඒකාග්රතාවය යනු දීර්ඝ කාලයක් තිස්සේ එක ම දෙයක් වෙත සිත යොමා ගෙන සිටීමය. ආනාපානසති භාවනාවේ දී මෙය “අවකාශයේ යම් තැනක එක්තැන් වූ” යන අදහසට වඩා කාලයත් සමඟ එක්තැන් වූ යන අදහසින් තේරුම් ගැනීම වඩා සුදුසුය. මේ සමාධි යන්නෙහි අරුතයි.
හුස්ම වෙත රැඳුණු අවධානය තක්සේරු කිරීම
සමාධිය වෙත එළඹීම සඳහා හුස්ම කෙරෙහි අවධානය රඳවා ගෙන සිටීමට ඔබ මහත් වෙහෙසක් දැරිය යුතුය. හුස්ම ගන්නා වාර ගණන දැන සිටීම මේ සඳහා යොදා ගත හැකි ඵලදායී ක්රියා මාර්ගයක් ලෙස හඳුන්වා දීමට මම කැමැත්තෙමි. ඔබ අවුරුදු ගණනාවක් තිස්සේ භාවනාවේ යෙදුණු කෙනකු වුවත්, මේ ක්රමය ඉතා වැඩදායී වනු ඇත. විටින්විට මම මේ ගණන් කිරීමේ ක්රමය උපයෝගී කර ගැනීමෙන් “මගේ සිත සන්සුන් ද? පැහැදිලි ද? අවධානාත්මක ද?” කියා තක්සේරු කර ගනිමි.
ගණන් කිරීම පහසු ක්රමයෙකි. නමුත් හුස්ම වාරයන් ගණන් කරමින් සිටිය දී වුව ද සිත විසිර යා හැකි බැවින් සිහි–කල්පනාව බලවත් කර ගැනීම සඳහා එය යම්කිසි රටාවකට අනුව කිරීම වඩාත් සුදුසුය.
මෙහි දී එක් වටයක් හුස්ම වාර 45කින් සමන්විත වූයේයැයි සලකමු. මෙම හුස්ම වාර හතලිස්පහ එක දිගට, 1 සිට 45 දක්වා ගණින්නේ නැති ව, එය නව කොටසකට බෙදා හුස්ම වාර නවයක්, හුස්ම වාර අටක්, හතක්, හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක් හා එකක් වශයෙන් වෙන්වෙන් ව ගණන් කිරීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි.
මේ ක්රමයට අනුව කොටසින් කොටසට හුස්ම වාර ගණන එක බැගින් අඩු කරමින්, නිවැරදි ව හුස්ම වාරයන් ගණන සිතෙහි සටහන් කර ගැනීම සඳහා “පසුගිය කොටසේ දී ගණන් කළේ හුස්ම වාර කීය ද? දැන් ගණන් කරන මේ කොටස හුස්ම වාර කීයකින් අවසන් කළ යුතු ද?” යනුවෙන් දැනුවත් ව සිටීමට සිදු වන හෙයින් හොඳ සිහිකල්පනාවකින් එය කළ යුතුය. උදාහරණයක් වශයෙන් පසුගිය කොටසේ දී 1 සිට 5 දක්වා හුස්ම වාර පහක් ගණන් කළේ නම්, දැන් කොටස හුස්ම වාර හතරකින් අවසන් කළ යුතුය. ඊළඟ කොටසේ දී ඔබ ගණන් කළ යුත්තේ හුස්ම වාර තුනක් පමණකි.
තවදුරටත් මෙය පැහැදිලි කරත හොත් වටයක ආරම්භයේ දී ඔබ හුස්ම ඉහලට ගන්නා විට ‘එක’ කියා සිතෙහි සටහන් කර ගන්න. හුස්ම පහළට හෙළන විට නැවතත් ‘එක’ කියා සිතෙහි සටහන් කර ගන්න. ‘එක–එක’ යයි සිතෙන් කියමින් ඔබ ඒ සටහන් කර ගත්තේ පළමුවන හුස්ම වාරයයි. ඔබ සිටින්නේ වටයේ පළමුවන කොටසේ බැවින් එයට හුස්ම වාර නවයක් ඇතුළත් විය යුතුය. එම නිසා ඊළඟ හුස්ම ඉහළට ගන්නා විට ‘දෙක’ කියාත්, පහළට හෙළන විට නැවතත් ‘දෙක’ කියාත් සිතෙහි සටහන් කර ගන්න. මේ ආකාරයට ‘තුන–තුන’ , ‘හතර–හතර’ ආදී වශයෙන් ‘නවය–නවය’ දක්වා හුස්ම වාර නවයක් සිතෙන් ගණින්න. ඒ පළමුවන කොටසේ අවසානයයි.
දැන් ඔබ පැමිණ සිටින්නේ දෙවන කොටසේ ආරම්භයටයි. පසුගිය කොටසට වඩා එක් හුස්ම වාරයක් අඩුවෙන් මෙහි දී ගණන් කළ යුතු බැවින් මෙම කොටසට ඇතුළත් විය යුත්තේ හුස්ම වාර අටකි. පසුගිය කොටසේ දී මෙන් හුස්ම ඉහලට ගන්නා විට ‘එක’, හුස්ම පහළට හෙළන විට ‘එක’ කියා ආරම්භ කොට ඊළඟ හුස්ම ‘දෙක–දෙක’ කියා සිතෙන් ගණන් කරමින් ‘අට–අට’ දක්වා හුස්ම වාර අටක් ගණන් කර දෙවන කොටස අවසන් කරන්න. දැන් තුන්වන කොටසේ ආරම්භයයි. ඊට හුස්ම වාර හතක් ඇතුළත් විය යුතුය. එම හුස්ම වාර හත ගණන් කළ පසු ඔබ එළඹෙන්නේ වටයේ හතරවන කොටසටය. එහි දිග හුස්ම වාර හයකි.
මේ අයුරින් පස්වන කොටසට හුස්ම වාර පහක් ද, හතර වන කොටසට හුස්ම වාර හතරක්ද, හත්වන කොටසට හුස්ම වාර තුනක් ද, අට වන කොටසට හුස්ම වාර දෙකක් ද නවවන කොටසට එනම් වටයේ අවසාන කොටසට එක හුස්ම වාරයක් ද සිතෙන් ගණන් කර කොටස් නවය අවසන් කරන්න.
මේ අවස්ථාව එළඹි විට ඔබ හුස්ම ගණන් කිරීමේ එක් වටයක් නිම කොට ඇත. මේ සඳහා ඔබ හුස්ම ඉහළට ගැනීමේ හා පහළට හෙළීමේ වාර 45ක් කෙරෙහි අවධානය නො කඩවා පවත්වා ගෙන ඇත. මේ ආකාරයෙන් තවත් වට දෙකක් හුස්ම වෙත සිහිය රඳවා ගත හැකි නම්, වට තුන අවසානයේ දී නො කඩවා පිළිවෙළින් හුස්ම වාර 135ක් අවසාන වන තෙක් පරීක්ෂාකාරී ව සිට ඇත. මේ අතරතුර දී “මා දැන් සිටින්නේ වටයේ කිනම් අවස්ථාවක ද? අටවැන්නේ මැද ද?, ගිය වාරයේ මා ගැන්නේ එකේ සිට හයට ද? නැති නම් එකේ සිට පහට ද?” යනුවෙන් සැකයක් පහළ වූයේ නම් ඊට පිළිතුරක් සෙවීමට උත්සාහ නො ගෙන එකවර ම අළුත් වටයක් මුල සිට ආරම්භ කරන්න.
අවිශ්වාසයකින් තොර ව වට තුනක අවසානය තෙක් හුස්ම වෙත සිහි රඳවා ගැනීමට හැකි නම් ඔබ හුස්ම ගැනීම සහ හෙළීම කෙරෙහි අවධානය නො කඩවා පවත්වා ගැනීමේ හැකියාව සැලකිය යුතු අන්දමින් වර්ධනය කර ගෙන ඇත. එනම් භාවනාවේ තුන්වන අවධිය වන හුස්ම වෙත රඳවා ගත් අවධානයෙහි රසය කෙබඳු දැයි ඔබ වටහා ගෙන ඇති බව කිව හැකිය.
කැළඹීමෙන් පිබිදීම
ඇතැම් විට භාවනාව මහත් අසීරු කාර්යයක් වන්නේ විටින්විට ඇති වන අධික නිදිමත ගතියත්, සිතෙහි දඩබ්බර ගතියත්, සිත අයාලේ විසිර යෑමත් යනාදිය හේතු කොට ගෙනය. බොහෝ විට තමා සිටින්නේ කොතැනක ද කියා වත් දැනීමක් නැත. තමා කරන්නේ කුමක් ද හෝ සිටින්නේ කොතැනක ද හෝ යනුවෙන් සැකයක් ඇති වුව හොත්, එය අවධානය රැක ගැනීමට ඔබට තිබූ ශක්තිය පිරිහී ගිය බවට ඉඟියක් සේ සිහියට ගත යුතුය. දැන් මුල සිට ආපසු පටන් ගැනීම හැර වෙන කළ යුත්තක් නැත.
ආපසු මුලට යෑමෙන් භාවනා යෝගියාට ඇති වන මානසික කම්පනය ඔහු තුළ උනන්දුවක් ඇති කර ලීමටත්, අවධානය ගැන සුපරීක්ෂාකාරී වීමටත්, මනස පුබුදුවා ලීමටත් උපකාරී වේ. නැවත–නැවතත් මුල සිට පටන් ගැනීමට සිදු වීමෙන් කෙනකු තුළ ඇති විය හැකි අසහනය බලවත්ය. එයින් ඇති වන මානසික කැළඹීම සිතෙහි උනන්දුවක්, ධෙෙර්‍ය්‍යය සහ නිවැරදි සැලකිල්ලක් උපදවන අතර, එම කැළඹීම ම භාවනාවේ තෙවන අවධිය හෙවත් “හුස්ම වෙත රදවා ගත් අවධානය” පුගුණ කර ගැනීමට උපකාරී වනු ඇත.
සිත එක්තැන් නො වීම
අවධානය හුස්ම වෙත යොමු ව තිබිය දී සිතෙහි අන් තැනක් සිතීමෙහි යෙදී සිටිය හැකිය. අප මෙහි දී ප්රවේසම් විය යුත්තේ දෙයාකාරයකින් මෙය සිදු විය හැකි බැවිනි. එක්කෝ මනස හුස්ම වෙත අවධානය යොමු කර ගෙන සිටිය දී එය වෙන තැනකට ගොස් ඒ හා සැණකින් ආපසු පැමිණ නැවතත් වෙන තැනකට යෑමයි. මේ අයුරින් ඉදිරියට හා ආපස්සට වේගයෙන් දිවෙන මනසක් කෙසේ වත් නිශ්චලතාවයට නො පැමිණෙනු ඇත. එසේත් නැති නම් මනස හුස්ම සිය කේන්ද්රය කොට ගෙන සිටිය දී එම අරමුණ අවට දේවල් කෙරෙහි ද සිහියෙන් සිටින බවෙකි.
ඒ නිසා භාවනාවේ පරමාර්ථය සපුරා ලීම සඳහා කළ යුතු ව ඇත්තේ හුස්ම සමඟ අනිකුත් දේවල් ඔබේ මනසෙහි තවමත් රැඳී ඇත්නම් හුස්ම වෙත ඇති අවධානයෙහි වැදගත්කම මෙනෙහි කොට එය තම අවධානයෙහි කේන්ද්රස්ථානය සේ පිහිටුවා අනිකුත් ද පිළිබද අවධානය ඊට දුරස්තර ව පිහිටීමට කටයුතු සැලසීමය. ඒවා මනස නැමැති තිරයෙහි මැද පිහිටීමට ඉඩ නො දිය යුතුය. හුස්ම තිරයේ මැද පිහිටුවා ගෙන එය වෙත සම්පූර්ණ අවධානය යොමු කරන විට බාහිර දේ තිරයෙන් ඉවත් ව යන්නේය.
මෙය හොඳින් වටහා ගැනීම සඳහා, උදාහරණයක් ලෙසට විහාර ගෙයක පිහිටි බුදු පිළිමයක් සිහියට ගන්න. බුදු පිළිමය වෙත සිත යොමා ගෙන සිටින විට එයට පිටුපසින් පිහිටි විශාල බිත්තිය ද, එය ඉදිරියෙන් ඇති පූජාසනය ද, ඒ මත තබා ඇති මල් ද එම අවධානයට එක් වනු ඇත. නමුත් ඔබ නො කඩවා බුදුපිළිමය දෙස බලා සිටිය හොත් වෙනත් දෑ ඔබේ අවධානයෙන් ගිලිහී යනු ඇත. මිනිත්තු පහකින් හෝ දහයකින් හෝ ඔබ දකින්නේ බුදු පිළිමය පමණි. එය අසල ඇති මල් පවා ඔබට නො පෙනී යනු ඇත. මෙය අවධානයේ ස්වභාවයයි. ඔබ යම් දෙයක් වෙත අවධානාත්මක ව සිටින විට සිත එය එල්ල වූ තැනට කිඳා බසී.
මෙය සවසට රූපවාහිණිය නැරඹීමට බෙහෙවින් සමානය. එය ක්රියාත්මක කළ විට එහි පිහිටා ඇති, එය පාලනය කරන නොයෙකුත් බොත්තම් ද, එය මත හා එහි දෙපසින් පිහිටි දේවල් ද මුල දී ඔබේ ග්‍රහණයට අසු වුව ද සුළු වේලාවකට පසු අවධානය හොඳින් එල්ල වූ විට ඔබට පෙනෙන්නේ රූපවාහිණී තිරයේ ඇති දෑ පමණකි. මුල දී හුස්ම සමඟ ඈඳුන වෙනත් දෑ ඔබේ අවධානයෙහි රැඳී ඇත්නම් හුස්ම මනසෙහි මැදට ගෙන, අනික්වා ඉන් ඈත් කොට තැබීමට කටයුතු කරන්න. එසේ කළ විට අනිකුත් දෑ අතුරුදහන් වී යනු ඇත. එසේ නො කොට අනිකුත් දෑ මනසේ මැදට එන්නට ඉඩ හළොත් හුස්ම අතුරුදහන් වී එය මනස නමැති තිරයෙන් මැකී යන්නේ ඔබ නො දැනුවත් ව මය.
හුස්ම ගැනීම–හෙළීම කෙරෙහි යොමු කළ අවධානය වැඩිදියුණු කිරීම මෙහි දී පරමාර්ථය කර ගත යුතුය. මේ අවස්ථාව වන විට හුස්ම ඉහළට ගැනීමේ දී අඩු තරමින් මොහොතක හෝ දෙකක හෝ කාලය තුළ වත් ඒ ගැන සිහියෙන් සිටීමෙන් හුස්ම ගන්නා බවත්, හුස්ම පහළට හෙළීමේ දී ද අඩු තරමින් මොහොතක හෝ දෙකක හෝ කාලයක් තුළ වත් ඒ ගැන සිහියෙන් සිටීමෙන් හුස්ම පහළට හෙළන බවත් තහවුරු කර ගැනීමට ඔබට හැකියාවක් ඇත.
පාලනය නුසුදුසුය
තමා හුස්ම පාලනය කිරීමට නො දැනුවත් ව ම ගන්නා තැත මේ අවධියේ දී බොහෝ විට උද්ගත වන බාධකයෙකි. එය හුස්ම ගැනීම වේදනා දෙන කටයුත්තක් බවට පත් කරයි. මෙම බාධකයෙන් මිදීම සඳහා කළ යුත්තේ වාහනයක ගමන් කරන මඟියකු එහි කවුළුවක් තුළින් පිටත බලා සිටින්නා සේ හුස්ම දෙස බලා සිටීමය. තමා මඟියකු මිස එහි රියැදුරා නො වන අතර, “පිටුපස ආසනයේ හිඳ ගෙන අණ දෙන රියදුරා” නො වන බව ද සලකා, අණ දීම් සහ විධාන කිරීම් අත්හැර දමා ගමනෙහි ආශ්වාදය විඳින්න. ගතට හුස්ම ගැනීමට ඉඩ දී, ඊට අතපොවන්නේ නැති ව එදෙස බලා සිටීමෙහි පමණක් යෙදෙන්න.
හුස්ම ඉහළට ගන්නා බව ඔබ දනී ද? හුස්ම පහළට හෙළනා බව ඔබ දනී ද? මෙසේ එක් හුස්මක් වත් අත නෑර, හුස්ම වාර සියයකට වැඩි ගණනක් කෙරෙහි අවධානය පවත්වා ගෙන සිටිය හැකි නම් භාවනාවේ තුන්වන අවධිය ලෙස හැඳින්වෙන “හුස්ම වෙත රඳවා ගත් අවධානය” වෙත ඔබ එළඹ ඇත.
ආනාපානසති සූත්රයෙහි සඳහන් වන “ඉහළට ගන්නා හුස්ම දිගු හුස්මකි, නැති නම් කෙටි හුස්මකි, පහළට හෙළනා හුස්ම දිගු හුස්මකි, නැති නම් කෙටි හුස්මකි, කියා භික්ෂුව දනී” යන උපදේශයෙන් විස්තර කෙරෙන මට්ටමට, මේ අවස්ථාවේ දී ඔබේ භාවනාව දියුණුවට පත් වී ඇත. එක් හුස්මක් එය අවසානයේ දී, තවත් හුස්මක් එය අවසානයේ දී, තවත් හුස්මක්…..
අනුක්‍රමයෙන් ගොඩ නැඟීම
එළඹ ඇති අවධිය මීට ඉහත අවධීන්ට වඩා සාමකාමීය, ප්‍රීතිමත්ය. භාවනාවේ තවත් ගැඹුරට යාමට නම් අවධානය හුස්ම වෙත සම්පූර්ණයෙන් ම පවත්වා ගැනීමට ඔබ දැන් දිරි ගත යුතුය. අප යෙදී සිටින්නේ තෝරා ගත් අරමුණ වෙත ඇති අවධානය ප්‍රගුණ කරමිනි. එය ටිකින්ටික ගොඩනඟා ගත යුත්තකි. මුල දී එය හොඳින් පවතින අවධානයක් ලෙස නො දුටුවත් එය සැලකිය යුතු අවධානයෙකි. සෑහෙන කාලයක් අවධානයෙන් සිට සිත ඉවතට ඇදී යයි. එය වටහා ගත් විගස සිත නැවත අරමුණ වෙත දිව එයි.
තව දුරටත් මෙය පැහැදිලි කරනවා නම් හුස්ම වෙත ඇති අවධානය වැඩීමේ දී, හුස්ම ගැනීම වෙත යොමු කළ සිත, සුළු මොහොතකට හෝ වෙනතකට යොමු වූවොත් ඊළඟ හුස්ම හෙළීම වෙත එය ගෙන ආ යුතුය. එය සිදු වන බව දුටු පසු සිත නැවතත් ටිකකට හෝ ඉන් ඉවත් වුව හොත්, ඊළඟ හුස්ම ගැනීම වෙත එය ගෙන ආ යුතුය. ඔබ මෙහි දී යෙදී සිටින්නේ සිත ඉවතට ඇදී යෑමේ කාල සීමාව පාලනය කරමිනි, කෙටි කරමිනි.
මේ අවධියේ දී එම අවධානය වෙනතකට ඇදී යාමට කිසි සේත් ම ඉඩ නො දිය යුතුය. මෙය හරියට කෙනකු සිරගත කිරීම හා සමානය. මුල දී මේ තැනත්තා (සිත) දිනකට මිනිත්තු පහක කාලයක් සිර ගෙයි වාතාවරණයට හුරු කළ යුතුය. හැම දිනක ම මිනිත්තු පහක කාලයක් සිර ගෙයි විසීමට හුරු වීමෙන් පසු එම කාලය මිනිත්තු දහය දක්වා දිගු කොට, අනුක්රමයෙන් මුළු දින ම, හැම දිනක ම, ඔහු එහි රඳවා ගත යුතුය. එනමුත් එය ඉතාමත් සැපවත්, සුවදායක, සිත් අලවන සිර ගෙයක් වනු නො අනුමානය. උත්සාහ ගෙන බලන්න.
හුස්ම වෙත රඳවා ගත් සම්පූර්ණ අවධානය – සිව්වන අවධිය
සෑම මොහොතක් ම දැන හිඳින්න
සතරවන අවධිය වන “හුස්ම වෙත රදවා ගත් සම්පූර්ණ අවධානය” ඇති වන්නේ, යමකු හුස්මෙහි සෑම මොහොතක් වෙතට ම තම අවධානය විහිදුවා ගත් විට දීය. හුස්ම ඉහළට ගැනීමේ දී මුල්ම වින්දනය උපදින විට ම එය හුස්ම ඉහළට ගැනීමේ ආරම්භක අවස්ථාව බව ඔබ දනී. එතැන් සිට, හුස්ම ඉහළට ගැනීම කෙරෙද්දී ක්රමයෙන් දියුණු වන්නා වූ සෑම වින්දනයක් දෙස ම එකක් වත් මඟ නො හැර අවධානයෙන් සිටින්න. හුස්ම ඉහළට ගැනීම අවසන් වූ විට, එම මොහොත ද ඔබ දනී. එය හුස්ම ඉහළට ගැනීමේ අවසාන මොහොත ලෙස මනස තහවුරු කර ගනී. ඊළඟ මොහොත, හුස්ම ගැනීමත් හුස්ම හෙළීමත් අතර පවතින ඉඩකඩයයි, අවකාශයයි.
හුස්ම හෙළීම අරඹන තෙක් කිසිවක් සිදු නො වන මෙම ඉඩකඩය සෑදී ඇත්තේ මොහොතවල් රාශියකිනි. ඊළඟට හුස්ම හෙළීමේ ආරම්භය ඇති වන මොහොතත්, ඉන් අනතුරු ව එය වැඩෙමින් පවතින සෑම මොහොතක්මත්, අවසාන වශයෙන් හුස්ම හෙළීමේ කටයුත්ත සම්පූර්ණ වී, හුස්ම හෙළීම අතුරුදහන් වී යන මොහොත ද ඔබ දනී. මේ සියල්ල ම කෙරෙන්නේ නිහඬ ව, දැන්, මේ මොහොතේ දීය.
එම අවධානය මොහොතකට හෝ දෙකකට හෝ සීමා නො කොට, හුස්ම ගැනීමේ දී හා හෙළීමේ දී මුල සිට අගට නො කඩවා, සම්පූර්ණ වශයෙන් ම පවත්වා ගත යුතුය. හුස්ම ඉහළට ගැනීම ආරම්භ කළ මොහොතේ සිට එහි අවසානය දක්වා හුස්ම ඉහළට යෑම පවත්නා කල් දැනෙන වේදිතය, භූක්ති විඳීමට සිත නම්මා ගත යුතුය. මෙලෙස ම හුස්ම පහළට හෙළීමේ දීත් එහි ආරම්භයේ සිට එහි පහස තුනී වී ගිලිහී යන තෙක් සිහිය රඳවා ගත යුතුය. “හුස්ම කඳ වෙත පවත්වා ගන්නා වූ සම්පූර්ණ අවධානය” යනුවෙන් ආනාපානසති සූත්රයෙහි විස්තර කෙරෙන්නේ මෙයයි.
මනසට තනිකර ඉඩ දෙන්න
මේ අන්දමින් නො කඩවා හුස්ම වාර සිය ගණනක් තුළ හුස්ම ඉහළට ගැනීමේ හා පහළට හෙළීමේ සෑම මොහොතක ම ආශ්වාදය විඳින්න. මෙම අවධිය “හුස්ම වෙත රඳවා ගත් සම්පූර්ණ අවධානය” ලෙස හැඳින්වෙනුයේ එම නිසාය. දත්මිටි විකා බලය යෙදීමෙන් වත්, තදින් අල්ලා ගැනීමෙන් හෝ තද කර ගැනීමෙන් වත්, මෙම අවස්ථාවට එළඹිය නො හැකිය.
මෙබඳු නිසලතාවයක් වෙත ළඟා විය හැක්කේ මේ මොහොතේ නිහඬ ව කෙරෙන්නා වූ ආශ්වාස–ප්රශ්වාසය ගෙන දෙන ක්ෂණික ආශ්වාදය හැර අනෙකුත් සෑම ලෞකීය දෙයක්මත් අත්හැර දැමීමෙනි. ‘ඔබ’ මේ අවධිය වෙත නො එළඹෙයි. මේ අවධිය වෙත එළඹෙන්නේ මනසයි. මනස විසින් ම ඒ සඳහා අවශ්‍ය වැඩ කොටස සැපයේ. ආශ්වාස–ප්රශ්වාසය පමණක් දැන හිඳීමෙන් ළඟා කර දෙන මේ අවධිය ඉතාමත් සුවදායක මෙන් ම සැනසිලිදායක ද බව මනස වටහා ගනී.
හුස්ම වෙත සම්පූර්ණ අවධානය ඇති කර ගත් විට එය හැර වෙනත් දේ මනසෙහි ඇති නම්, ඒවා හුස්ම හා බැඳුණු සිතිවිලි හෝ එහි සුවය හෝ ඒ පිළිබඳ විස්තර හෝ විය යුතුය. වෙනත් අයුරකින් කියත හොත් ඒ හැර මෙලොව වෙනත් කිසිවක් නැති ලෙසට ඔබට හැඟෙනු ඇත.
ඉක්මන් නො වන්න
පළපුරුදු යෝගාවචරයනට මෙම අවස්ථාව එළඹි විට සිත ගැඹුරු, දුර්බෝධ සමාධියකට රැහැණකින් බැඳ ඇද ගත් ලෙසට සමාන හැඟීමක් පහළ වනු ඇත. සමහර විට මෙතැන දී ‘සමාධි නිමිත්ත’ යනුවෙන් හැඳින්වෙන සළකුණ පහළ වීමට පුළුවන. ‘සමාධි සළකුණ’ හෝ ‘සමාධි නිමිත්ත’ හෝ යනුවෙන් අදහස් කෙරෙනුයේ සිත එකඟ වීමේ සළකුණයි.
මනසෙහි මැවෙන මෙම සළකුණ හුස්මෙහි එක්තරා ස්වරූපයෙකි. ගැඹුරු සමාධියකට එළඹීමට හැකියාව ලත් විට මෙම සළකුණ ඉතා වැදගත් වන්නේ එය ධ්‍යානයකට පිවිසීමට උපකාර වන හෙයිනි. සතරවන අවධියට එළඹීමට ආසන්න ව සිත සන්සුන් බවට පත් වන කාලසීමාව තුළ දී මෙම සමාධි නිමිත්ත මතු වීමට බොහෝ විට ඉඩ ඇත. ඔබ එය නො සලකා හැර, සතරවන අවධියට සුදුසු ප්රකාර මානසික ශක්තිය ඇති කර ගැනීමට මෙහි දී සිතට ගත යුතුය.
මේ අවධියේ දී අවශ්‍ය තරමේ සමාධියක් නොමැති ව සතරවන අවධියට අදාළ ප්‍රමාණයේ අවධානය රැක ගෙන සිටීමේ බලයක් සිතෙහි උපදවා ගන්නේ නැති ව මේ සමාධි නිමිත්ත පහළ වූ විට එය ලුහුබැඳ යෑම යෝගාවචරයන් පොදුවේ කරන අනුවණ ක්රියාවෙකි. එයින් සිදු වන්නේ සමාධි නිමිත්ත පමණක් නො ව හුස්ම ගැන තිබූ අවධානය ද සිතින් ගිලිහී යාමය. එසේ කළ හොත් භාවනාවේ මූලාරම්භයට අකමැත්තෙන් වුව ද නැවත යෑමට සිදු වේ.
බලවේගය ගොඩ නඟන්න
මෙය උපමා කොට දැක්වීම සඳහා මා ආරණ්‍යයෙහි වෙසෙන භික්ෂූන් වහන්සේලාට ගෙන හැර දක්වනුයේ කුඩා කාලයේ දී අප කව්රුත් පදවා ඇති කුඩා සෙල්ලම් කාරයකි. දැති රෝද සහිත එම කුඩා කාරය බිම අතුල්ලා අතහැරි විට ඉදිරියට දිව යයි. වේග ශක්තිය ගොඩ නඟා ලීමට එය කිහිප සැරයක් ඉස්සරහට පස්සට ගෙන යමින් බිම ඇතිල්ලිය යුතුය. ඇතුළත දැති රෝද ඉතා වේගයෙන් කරකැවීමට පටන් ගත් විට අත හැරියොත් පමණක් එය කාමරයේ එහා කොනට ම ගොස් නතර වෙයි. එසේ හරියාකාර ව වේග ශක්තිය ගොඩ නඟන්නේ නැති ව ඉක්මනින් අත හැරිය හොත් එය අඩියකට දෙකකට වඩා ඉදිරියට දිව නො යයි.
මෙලෙස ම සතරවන අවධියේ දී බලවත් සන්සුන්කමක් ගොඩ නඟා ගනිමින් ඉන් අනතුරු ව පමණක් සමාධි නිමිත්ත පසුපස යා යුතුය. එසේ නො කළ හොත් ගැඹුරු සමාධියකට එළඹි විට එය පවත්වා ගැනීම ඉතාමත් අසීරු වන්නේය. ඔබ සමාධියට ඇතුල් වූ සැණින් එයින් පිට වීම ද සිදු වේ. එය ධ්‍යානයකින් ලබන පරිපූර්ණ අත්දැකීමකට සමාන කළ නො හැකිය. සුළු මොහොතකට හෝ ළඟා කර දෙන සැනසුම ආශ්චර්‍ය්‍යමත් වුව ද, මනස තමා ඉදිරියේ මැවී පෙනුණ ද ඔබ එය මේ අවස්ථාවේ දී ප්රතික්ෂේප කළ යුතුය. අමාරුවෙන් හෝ සතරවන අවධිය සඳහා අවශ්‍ය සම්පූර්ණ අවධානය ගොඩ නඟා ගන්න. ඉන් පසු එය දිගු කාලයක් තුළ පවත්වා ගැනීමට ධෙෙර්‍ය්‍යය ගන්න.
ගත සන්සුන් වීම
හුස්ම කෙරෙහි සම්පූර්ණ අවධානය ඇති කර ගෙන සිටින මේ අවධියේ දී සෑහෙන වේලාවක් තුළ ඔබේ මනස එක් ආරම්මණයක් මත රැඳී සිටින නිසා සිත කලබලයට පත් කරන්නා වූ සිතිවිලිවලින් එය මිදී ඇති බව ඔබට වැටහී යනු ඇත. තවමත් ශරීරය පිළිබද හැඟීමක් ඔබේ අවධානයේ රැඳී ඇත්නම් එය ඉතාමත් දුරස්ථ, සියුම් හැඟීමක් වනු ඇත. මෙතැන දී ඇත්තේ හුස්ම ගැන හැඟීමක් පමණි. ඔබේ ශරීරයේ දෙකකුල්, තට්ටම්, පිටකොන්ද, දෑත්, හිස යනාදිය ගිලිහී ගියාක් මෙන් අතුරුදහන් වී ඇත. මේ ශරීරය නිසංසල බවට පත් ව ඇති අවස්ථාවයි. ශරීරය සමථයකට පත් වන්නේ ඒ වෙත ඇති අවධානය ඈත් වූ විටයි. අවධානය ශරීරය වෙත පවතින තාක් කල් එහි අවශ්‍යතාවන්, ඉල්ලීම් නතර නො වන නිසා ශරීරය සන්සුන් කළ නො හැකිය.
එහෙයින් තමාගේ අවධානය වෙනතකට යොමු කළ හොත් නැති නම් භාවනාවේ දී තම අවධානය සම්පූර්ණයෙන් ම ශරීරයෙන් ඉවත් කොට හුස්ම මත රැඳ වුව හොත්, ශරීරය අන්තර්ධාන වීමේ පහස ඔබට විඳීමට හැකි වන්නේය. ශරීරය අතුරුදහන් වීමේ සලකුණින් පෙන්නුම් කරනුයේ ‘කාය පස්සද්ධියයි’: එනම් ශරීරය නිශ්චලතාවයට පත් වීමයි.
මෙතැන දී මනසේ නිසංසලතාවය ද පිළිබිඹු වනු ඇත. එය පූර්ණ නිසංසලතාවය නො වූ වත්, මනසේ වංචල ස්වභාවය බොහෝ දුරට මඟහැරී ඇති අවධියෙකි. දැනෙන්නේ හුස්ම පමණි. යම් කිසි සිතිවිල්ලක් සිතේ පහළ වේ නම්, එය භාවනාව පිළිබඳ ව හෝ හුස්ම පිළිබඳ ව හෝ විමසීමක් වනු ඇත. සිත හුස්ම වෙත රැඳී ඇතත් සිතිවිලි පිළිසිඳ ගැනීම තවදුරටත් කෙරෙනු ඇත. මේවා බොහොමයක් ම සිත දිරි ගැන්වීම, එක්තැන් කිරීම, ආරක්ෂා කර ගැනීම, පරීක්ෂා කිරීම ආදී දෑ අරමුණු කොට ගත් ඒවාය. සිතේ කෙරෙන විවරණ, නියෝග, තවදුරටත් කෙරී ගෙන යතත් ඒවා සිදු වන්නේ තමාගේ අනුමැතිය, අනුදැනුම ඇති ව හුස්ම වෙත පවත්වා ගත් අවධානය නො කඩවා පවත්වා ගෙන යාමේ අභිප්රාය උදෙසාය.
‘කරන්නා’
භාවනාවේ මේ තත්ත්වයට එළඹීමත් සමඟ ම එය නිරායාසයෙන් ම වාගේ දියුණුවට පත් වන බව ඔබට ප්‍රත්‍යක්ෂ වනු ඇත. තම ස්වාභිමානයෙහි බලවත් කොටසක් වන ඇතුළතින් අණ දෙන්නා, සිතන්නා, කියවන්නා නැති නම් ‘කරන්නා’ සෙමින් අතුරුදහන් වී යාම අරඹන්නේ මෙතැන දීය. ඔබ පැත්තකට වී මඟ අහුරන්නේ නැති ව, අත දැමීමක් නො කර, සියල්ල ඉබේ ම සිදුවන අයුරු නරඹන්න. ඔබ ඉඩ හළොත් මනස නිතැතින් ම ඇදී යන්නේ මෙම ඉතා සාමකාමී හා ඉතා ප්රීතිමත් එක් දෙයක් සමඟ කල් හැරීමේ එනම් හුස්ම ගැන පමණක් දැන හිඳීමේ ඒකාග්රතාවය වෙතටය. මෙය මනසේ ඒකාග්රතාවයයි, මේ මොහොතේ ඒකාග්රතාවයයි, නිහඬත්වයේ ඒකාග්රතාවයයි.
සතරවන අවධියෙන් එහා
භාවනාවේ සතරවන අවධිය පිහිනුම් තටාකවල ගැඹුරට කිමිදීම සඳහා යොදා ගන්නා දුණුපුවරුවක් ලෙස මා හඳුන්වන්නේ මෙතැන සිට භාවනාවේ ප්රබෝධමත් අවස්ථාවන් වෙත කිමිදීමට එය ඉඩ සලසන බැවිනි. ඔබ මැදිහත් වන්නේ නැති ව විඥානයේ මේ ඒකාග්රතාවය පවත්වා ගත් විට, හුස්ම ක්රමයෙන් අතුරුදහන් වී යාම ඇරඹෙනු ඇත. මෙසේ හුස්ම අතුරුදහන් වී යන්නා සේ ඔබට හැඟෙන්නේ, හුස්ම කේන්ද්රය කොට මෙතෙක් පැවති මනසෙහි අවධානය ක්රමයෙන් ඉන් ඉවත් වෙමින් ඊටත් වඩා තේජාන්විත වූ සාමය, නිදහස හා ප්‍රමෝදය වෙත මනස නැඹුරු වී යන බැවිනි.
බොහෝ කාලයකට ඉහත දී ඔබ සතුටු–සාමීචි කථා අතහැර දැමීය. එලෙසින් ම විස්තර කිරීම්, විග්රහ කිරීම්, තක්සේරු කිරීම් ද ඉවත ලීය. හුස්ම, ශරීරය, සිතිවිලි, ශබ්ද හෝ බාහිර ලෝකය ගැන දැන් කිසිම හැඟීමක් නැත. මනස කෙතරම් නිසල දැයි කිව හොත් ඔබට කිසිවක් පැවසීමට නො හැකිය. ඔබ දැන සිටින්නේ ප්රියාකරත්වය, සාමය, ප්‍රමෝදය, ආලෝකය (ඔබේ සංඥානය, යම් ප්‍රකාර නාමයකින් හඳුන්වා දෙන දෙය) ගැන පමණි.
ඔබ දැන් භුක්ති විඳින්නේ මනසේ ප්‍රමෝදය නමැති ප්‍රථම මල් පලදාවයි. මෙම ප්‍රමෝදය වැඩිදියුණු වී, එය තවදුරටත් ස්ථිර හා ශක්තිමත් බවට පත් වනු ඇත. භාවනාවේ ධ්‍යාන නමින් හැඳින්වෙන අවස්ථාවන් තුළට ඔබ පිවිසෙන්නේ මෙතැන දීය.
මූලික අවධීන් හතර වැදගත්
අප මෙහි හඳුන්වා දුන් පරිදි භාවනාවේ මූලික අවධීන් හතර, එනම්
1. මේ මොහොතේ අවධානය
2. මේ මොහොතේ නිහඬ අවධානය
3. මේ මොහොතේ හුස්ම වෙත රඳවා ගත් නිහඬ අවධානය
4. හුස්ම වෙත රඳවා ගත් සම්පූර්ණ අවධානය
ඒ පිළිබඳ විස්තරයක් ඔබ වෙත ඉදිරිපත් කෙරී ඇත. ඊළඟ අවධියට යාමට ප්‍රථම මේ සෑම අවධියක් ම හොඳින් පුගුණ කර ගැනීම ඉතා වැදගත්ය. මේ අත්හැරීමේ අවධීන් ඔබ කඩිමුඩියෙන් අවසාන කළ හොත් ඉහළ අවධීන් වෙත ළං වීම කිසිසේත් ම කළ නො හැකි වන්නේය. ප්‍රමාණවත් නො වන අත්තිවාරමක් මත, උස ගොඩනැගිල්ලක් ඉදි කිරීමට මෙය සැසඳිය හැකිය. පළමුවන තට්ටුව ඉක්මනින් ගොඩ නංවා, එයාකාරයට ම දෙවන හා තුන්වන තට්ටු ද ගොඩ නංවා සතරවන තට්ටුවත් ගොඩ නංවා ගත්තේ වුව ද මුළු ගොඩනැගිල්ල ම මඳක් වෙව්ලීමට පටන් ගනී. පස්වන තට්ටුව එකතු කිරීම ඇරඹු විට ඒ සියල්ල ම ඇද වැටේ.
එම නිසා කරුණා කර පස්වන අවධියට යාමට කලින් මෙම ආරම්භක අවධීන් හතර සඳහා බොහෝ කාලයක් මිඩංගු කොට, ඒවා සියල්ල ම හොඳින් ශක්තිසම්පන්න හා ස්ථිර කර ගන්න. සතරවන අවධිය වන “හුස්ම වෙත රඳවා ගත් සම්පූර්ණ අවධානය” එනම්–එකක් වත් මඟ හරින්නේ නැති ව ආශ්වාසප්රශ්වාසයේ සෑම මොහොතක් ම පිළිබඳ දැනීම–හුස්ම වාර දෙසීයක් හෝ තුන්සීයක් තුළ එක දිගට ම පවත්වා ගැනීම ඔබට පහසුවෙන් කළ හැකි විය යුතුය. මේ අවධියේ දී, හුස්ම වාර ගණන් කිරීමක් මෙයින් අදහස් නො කරමි. මෙය සතරවන අවධිය අභිබවා යාමට ප්‍රථම එහි කෙතෙක් වේලා රැඳී සිටීමට හැකි විය යුතු දැයි පෙන්නුම් කිරීමක් පමණි. භාවනාවේ ඉක්මන් මඟ ඉවසීමයි.
තමාගේ උපදේශකයා තමා ම වීම
හුස්ම ගැනීම හා හෙළීම සම්පූර්ණයෙන් දැන සිටීමට අතිමහත් දක්ෂතාවයක් තිබිය යුතුය. මෙය සපුරා ලීමට කළ යුත්තේ එහාමෙහා යාමට සිතට කිසිම ඉඩකඩක් නො තැබීමය. මොහොතකට හෝ සිත ඉවතට ඇදී ගියේ නම්, ඉන් පෙන්නුම් කෙරෙනුයේ සතරවන අවධියට සිත පමුණුවා ගැනීමට නො හැකි වූ බවයි: අඛණඩ ව, සම්පූර්ණ අවධානයකින් යුක්ත ව හුස්ම ගැනීම නො කෙරෙන බවයි. තෙවන අවධියේ දී, හුස්ම වෙත තම අවධානය නො කඩවා පවත්වා ගැනීමට ඔබ සමත් වූයේ නම්, එය සතරවන අවධිය ප්‍රගුණ කිරීමට මහත් රුකුලක් වනු ඇත.
හුස්ම ගැනීම වෙත අවශ්‍ය තරමේ අවධානයක් තබා ගෙන සිටිය හැකි නම් අනෙකුත් කටයුතු පිළිබඳ සිතිවිලිවලින් ඔබ කොතෙක් දුරට ඈත් වී ඇද්දැයි ඔබට අවබෝධ වනු ඇත. පිටතින් ඇසෙන ශබ්ද හෝ ශරීරයේ ඇති වන රිදීම් හෝ සිතෙහි හට ගන්නා සිතිවිලි හෝ තම සිහිකල්පනාවේ කෙලවරට ආසන්න ව උද්ගත වූ වේදනා හැටියට හැඟී යනු ඇත. හුස්ම ගැනීමේ දී, හෙළීමේ දී විකසිත වන සුවය තම සිහිකල්පනාවේ කේන්ද්රය ලෙස පවතින බව ද, මූලස්ථානය ගන්නා බව ද පැහැදිලි ව පිළිබිඹු වනු ඇත.
ඉහත කී සිත වල්මත් කරවන ශබ්ද, රිදීම්, සිතිවිලි යන ද සිහි කල්පනාවෙහි කේන්ද්රයට ආසන්න ව නො පිළිසිඳීම නිසා හුස්ම මුල් කොට ගෙන පවත්නා සිහිය සිඳ දැමීමට හෝ දුර්වල කිරීමට හෝ ඒවා අසමත් වන්නේය. එහෙයින් ඈතින් ඇසෙන ශබ්ද හෝ ශරීරයේ දැනෙන රිදීම් හෝ මනසෙහි යන්තමට මතු වූ සිතිවිලි හෝ සිහියේ පවතිද්දී වුව ද, ඒවායෙහි බලය පෙරට වඩා බොහෝ සේ දුර්වල බැවින් ඔබ හුස්ම වෙත සම්පූර්ණ අවධානය සතුටුදායක අන්දමින් පවත්වා ගෙන යන බව පැවසිය හැකිය.
භාවනාවේ සතරවන අවධියට අදාළ වන, හුස්ම ගැනීම පිළිබඳ ව මුළුමනින් ම දැනුවත් ව සිටීමේ හැකියාවක් ඇති කර ගැනීම අතිශයින් ම වැදගත්ය. මෙයින් අදහස් වනුයේ තුන්වන අවධිය අවසානයේ දී ලබා ගත්තාට වඩා ගැඹුරු සමාධියකට එළඹීමට හැකියාව ලත් වගයි. මෙවැනි සලකුණු හෙළිදරව් වීම භාවනාවේ යෙදෙන්නන් හට වැදගත් වන්නේ තම උත්සාහයන් කොතෙක් දුරට සාර්ථක වී ඇත්දැයි ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා ඒවා ආධාර වන බැවිනි.
භාවනා උපදේශකයකුගෙන් අසා දැන ගැනීමට අවකාශ ඇතත්, මේ සඳහා වඩාත් සුදුසු උපදේශකයා තමා මය. අවංක ව තම භාවනාව පිළිබඳ ව විමසිලිමත් ව හිඳිමින් සිතෙහි මතු වන සලකුණුවල ආධාරයෙන් භාවනාවෙන් ලබන ප්‍රතිඵල තමාට ම මැනගත හැකිය. එම නිසා ඔබ සතරවන අවධියට එළඹ, සම්පූර්ණ අවධානය රැක ගනිමින්, හුස්ම වාර 100, 200, 300 තුළ නො කඩවා හුස්ම ගැනීම–හෙළීම පිළිබද ව දැනුවත් ව සිටීමට ඉතා හොඳින් පුහුණ වන්න.
පියකරු හුස්ම වෙත සම්පූර්ණ අවධානය – පස්වන අවධිය
පියකරු හුස්ම
පස්වන අවධිය හඳුන්වා දෙන්නේ “පියකරු හුස්ම වෙත රඳවා ගත් සම්පූර්ණ අවධානය” නමිනි. බොහෝ විට ඉහත අවධියේ සිට මෙම අවධියට සම්ප්‍රාප්ත වීම නිරුත්සාහයෙන් ම, ස්වාභාවික ව ම සිදු වන දෙයකි. සමබර ව කෙරෙන හුස්මට, මොනයම් අයුරකින් වත් බාධා වීමට ඉඩ නො දී, තමාගේ අවධානය සීරුවෙන්, නො කඩවා ම හුස්මෙහි වින්දනය වෙත රඳවා ගෙන සිටින විට එය සංසිඳීමට පටන් ගනී. සාමාන්‍ය හුස්මෙහි පවතින රළු ස්වභාවය ගිලිහී ගොස් එය ඉතා සිනිඳු, සාමකාමී ‘පියකරු හුස්මක්’ බවට පෙරළේ. මනස මෙම පියකරු හුස්ම හඳුනා ගෙන, එහි අසාමාන්‍ය ප්රියාකරත්වයෙන්, ඉමහත් තෘප්තියකට පත් වේ. මනස විඳින්නා වූ සන්තුෂ්ටිය බලවත් වේ. පියකරු හුස්ම දෙස බලා සිටීමෙන් ම එය සතුටට පත් වන්නේය. ඒ සඳහා මනසට බලපෑමක් කිරීම අනවශ්‍යය. සිය කැමැත්තෙන් ම මනස පියකරු හුස්මෙහි රැඳී සිටී. ‘ඔබ’ කිසිවක් නො කරන්න.
මේ අවධියේ දී ඔබ යමක් කිරීමට තැත් කළ හොත් මුළු සංතතිය ම දෙදරා ගොස් හුස්මෙහි ප්රියංකරත්වය ද ගිලිහී යනු ඇත. මෙය හරියට ‘නයින් හා ඉනිමං’ දාදු සෙල්ලමේ දී ඉත්තා, නාගයකුගේ ඔළුව පටන් ගන්නා කොටුවට ගොඩ වීමට සමානය. එවිට කොටු බොහෝ ගණනක් පසුබැසීමට සිදු වේ. මෙතැන් සිට භාවනාවේ ‘කරන්නා’ ඉවත් විය යුතුය. ‘දැන හිඳින්නා’ කිසිවක් නො කොට බලා හිඳීම පමණක් කළ යුතුය.
සන්සුන් වන ලෙස දන්වන්න
මේ අවධියේ දී ඔබ මනස අරමුණු කොට ගත් ආරම්මණය ශාන්ත භාවයට ගෙන ආ යුතුය. එනම් හුස්ම සන්සුන් බවට, සාන්ත බවට පත් කළ යුතුය. “සන්සුන් වන්න” යයි සුළු ඉඟියක්, අණක් මනසට දීමෙන්, හුස්ම සන්සුන් බවට පත් කළ හැකිය. මේ අවධියේ දී මනස බලසම්පන්න බවට පත් වෙමින් පවතින නිසා මොළොක් බසින් ඇතුළතින් කෙරෙන මේ ඇයැදුම, හුස්ම ශාන්ත භාවය කරා ළඟා කර වීමට සමත් වනු ඇත. ඒ සඳහා මොහොතකට අභ්‍යන්තර නිහඬතාවය බිඳ “සන්සුන් වන්න”යැයි සිතින් තමාට ම පවසා ගන්න. ඔබ කළ යුත්තේ එපමණයි. භාවනාවේ මේ අවධියේ දී මනස මටසිළුටු තත්ත්වයක පවතින බැවින් මෙවන් සුළු ඉඟියක් පමණක් දීමෙන් වුව ද මනස ඉතා කීකරු ව ඊට අවනත වේ. හුස්ම සන්සුන් වී ‘පියකරු හුස්ම’ විකසිත වන්නේ එවිටය.
ආරම්මණය අත් නො හරින්න
ඇතුළතින් කෙරෙන පාලනය, අණ දීම් ආදිය අත්හැර ආරම්මණය පමණක් අත් නො හැර සිටීම තවත් ක්‍රමයෙකි. මනසෙහි කලබලකාරී ස්වභාවයට මූලික හේතුව වූයේ අවධානයේ දුබල බව නිසා ලෙහෙසියෙන් හඳුනා ගැනීමට අසමත් වූ ඇතුළතින් කෙරෙන පාලනය හා අණ දීම් තුළින් බව දැන් ඔබට වැටහෙනු ඇත. මනසෙහි ස්වාභාවික ව පවතින නිසලතාවය කරා සිත ඇදී නො ගියේ ද එබැවිනි. එම පාලනය අණ දිම්, ඇතුළතින් කෙරෙන විග්රහ ආදිය අත්හැරීම ආරම්භ කළ විට හුස්ම ඉතා සියුම්, මෘදු ස්වභාවයට පත් වන බැවින්, හුස්ම ගැනීම සිදු වන බව සිහියෙහි රඳවා ගෙන සිටීම ද මඳක් අපහසු වනු ඇත.
‘පියකරු හුස්ම’ කොහි දැයි විමසන්න
මේ අවධියේ දී ආධාරකයක් ලෙස ‘පියකරු හුස්ම’ කොහි දැයි විමසිලිමත් වීම ද ඉතා වැඩදායකය. පියකරු වූ හුස්ම කොහි දැයි සිතට ගැනීමෙන් හුස්මෙහි ඇති ප්රියංකරත්වය වෙත සිත ඇදී යන්නේ මේ වන විට හුස්ම ඉතා සියුම් ශාන්ත භාවයට පත් ව ඇති හෙයිනි. හුස්මෙහි ඇති පියකරු බව, එයට ආවේණික වූ ස්වරූපයක් වුව ද ඔබ එය මෙතෙක් නො දුටුවේ ඒ හා බැඳුණු අනෙකුත් රළු ස්වභාවයන් එය යටපත් කොට තිබුණු නිසාය. යමකු හුස්ම ශාන්ත බවට පත් කොට ගෙන, පියකරු වූ හුස්ම වෙත සිත යොමු කළ විට ඔහුට එම පියකරු වූ හුස්ම විද්යමාන වනු ඇත. එය ඉතාමත් සිත් අලවන ආස්වාදයෙකි. මේ පියකරු ආශ්වාදය ඔබ ධ්‍යානය වෙත රැගෙන යන වාහනයයි.
අක්‍රීය ව බලා ඉන්න
අත පෙවීමක් නො කොට පියකරු හුස්ම දෙස පමණක් මේ මොහොතේ බලා සිටිමින්, “හුස්ම ගනිමි” , “හුස්ම හෙළමි” යනුවෙන් හෝ හුස්මෙහි මුල, මැද හෝ අග හෝ යන සංඥානයන්ට ගිලිහී යාමට ඔබ ඉඩ දිය යුතුය. දැන් පවත්නා එක ම දේ මේ මොහොතේ සිදු වන පියකරු හුස්මෙහි වේදිතය පමණකි. හුස්ම වටයේ කොතැනක සිටින්නේ ද, එසේත් නැති නම් ශරීරයේ කොතැනක එය ඉස්මතු වී පෙනේ ද යන උද්වේගයන්ගෙන් මනස දැන් නිදහස්ය. මෙතැන දී ඔබ යෙදී ඇත්තේ භාවනාවේ ආරම්මණය හැකි තරම් දුරට ලිහිල් කර ගනිමින්, මේ මොහොතේ විඳින්නා වූ හුස්මෙහි ඇති නුවමනා විස්තර සියල්ල ම ඉවත ලමින්, ‘ගනිමි’ , ‘හෙළමි’ යන ද්විධත්වයෙන් ඈත් වෙමින්, දැන ගත හැකි අන්දමේ වෙනසක් නොමැති ව, ඉතා සියුම් ව, නො කඩවා පවතින ‘පියකරු හුස්ම’ ගැන පමණක් සිහි එළවා ගෙන සිටීමෙහිය.
කිසිවක් නො කොට බලා හිඳින විට ආශ්වාසය හා ප්‍රශ්වාසය ඉතා පියකරු හා ඉතා සෞම්‍ය බවට පත් වී කාලයේ ගත වීමක් නො දැනී ම එය සිදු වන ආකාරය බලන්න. එය කොතෙක් දුරට සන්සුන් වීමට ඉඩ හළ හැකි දැයි පරීක්ෂා කරන්න. තවතවත් සන්සුන් වෙමින් හා රසවත් වෙමින් සිදු වන්නා වූ පියකරු හුස්මෙහි රසාස්වාදය විඳුමට කාලය යොදවන්න. අත්දැකීම් දහරාවේ කිසි ම බිඳීමක් නොමැති ව, මොහොතක් මොහොතක් පාසා නො කඩවා මේ පියකරු හුස්ම පිළිබඳ දැනීමක් ඔබ වෙත පවතිනු ඇත. ආයාසයක් නොමැති ව බොහෝ කාලයක් තුළ ඔබ දැන සිටින්නේ මේ පියකරු හුස්ම ගැන පමණකි. හුස්ම අතුරුදහන් වීමට දැන් ඉඩ හරින්න.
පියකරු බව පමණි
පියකරු බව පමණක් ඉතිරි කරමින් හුස්ම අතුරුදහන් වී යන්නේ එය සෑහෙන තරමට සන්සුන් වූ විටය. එය කෙලෙස වත් ‘ඔබට’ අවශ්‍ය වූ විට සිදු නො වේ.
ඉංග්රීසි සාහිත්‍යයෙන් උපුටා ගත් උපමා කතාවක් මෙතැනට යෝග්‍ය වන්නේය. ලුයිස් කැරොල් කතුවරියගේ ‘ඇලිස් ඉන් වන්ඩර්ලැන්ඩ්’ පොතේ දැක්වෙන පරිදි, ඇලිස්ට සහ සුදු රැජිනට සිනාසෙන පූසකු අහසෙහි දෘශ්‍යමාන විය. ඔවුන් බලා සිටිය දී මුලින් ම පූසාගේ වලිගය ද, ඊළඟට පහුරු–පාදයන් ද, ඉන්පසු පස්සා ගාත් ද, නො පෙනී ගියේය. ඉන් පසු ව මුළු ශරීරය ම අතුරුදහන් වී ගොස් ඉතිරි වූයේ තවමත් සිනාව රැඳි පූසාගේ ඔළුව පමණකි. අනුක්‍රමයෙන් පූසාගේ ඔළුව ද නො පෙනී යාම ආරම්භ වූයේ කන් හා රැවුල්ගස්වලිනි. ටික වේලාවකට පසු, පූසාගේ ඔළුව සම්පූර්ණයෙන් ම නො පෙනී ගියේ තවමත් අහසෙහි රැඳුණු සිනාව පමණක් ඉතිරි කරමිනි. මෙය තොල් පෙති විරහිත ව කෙරෙන සිනාවක් වුව ද අගයේ කිසිම අඩුවක් එහි නො වීය.
භාවනාවේ මේ අවධියේ දී අත්හැරීම් සිදු කෙරෙන ආකාරය පෙන්වා දීම සඳහා තත්ත්වාකාරයට ආසන්න සැසඳීමක් ලෙස එම උපමාව ගෙන හැර දැක්විය හැකිය. මුහුණෙහි සිනාවක් සහිත පූසා යනුවෙන් අදහස් කළේ පියකරු හුස්මයි. පූසා නො පෙනී යාම හුස්ම නො පෙනී යාමට සමානය. ගතින් තොර, අහසෙහි රැඳුණු සිනාව ලෙසින් පෙන්නුම් කරනුයේ මනසෙහි පැහැදිලි ව ප්‍රදීපනය කෙරෙන ‘පියකරු’ බවය.
මෙහි දී අපට හුරුපුරුදු ලෝකයෙන් උදාහරණයක් ගත් විට එය ඇපල් ගෙඩියක් දෙස බලා සිටීමට සමාන කළ හැකිය. එය දෙස බලා සිටින විට ඔබට දකින්නට ලැබෙන ගුණාංග නම් එහි හැඩය, වර්ණය, සමහර විට එහි සුවඳක් ඇත්නම් එම සුගන්ධය යනාදියයි. ටික වෙලාවකට පසු ඔබ එහි එක් ගුණාංගයක් තෝරා ගනී. උදාහරණයක් වශයෙන් ඔබ තෝරා ගන්නේ එහි වර්ණය නම්, ඔබ දකින්නේ එපමණකි. ඇපල් ගෙඩියේ අනිත් ගුණාංගයන් නො පෙනී, නො දැනී යනු ඇත. හුස්ම සමඟ සිදු වන දේ ද මේ හා සමානය. එහි එක් ගුණාංගයක් ඉස්මතු වී වැඩෙන අතර අනෙක් ගුණාංග හීන වී යයි. වඩාත් ප්‍රබල වන ගුණාංගය හුස්මෙහි මානසික ගුණාංගයයි, මානසික ලකුණයි, සමාධි නිමිත්තයි. පියකරු වූ හුස්ම, මනහර වූ හුස්ම, සිත්කළු හුස්ම, ප්රමෝදජනක හුස්ම යනාදී ලෙසට ඔබට පැහැදිලි වන්නේ අනෙකක් නො ව සමාධි නිමිත්තයි. සුළු කාලයක දී පියකරු වූ හුස්ම යන හැඟීම, සටහන වෙනස් වී හුස්ම ගන්නා බව සිතින් ගිලිහී, එහි පියකරු බව, විසිතුරු බව, අලංකාරය පමණක් සිතෙහි රැඳෙනු ඇත.
ආරම්මණය ඇසුරෙහි පමණක් සිත රඳවා ගෙන සිටීමට හැකි කරන මනසෙහි ගුණාත්මක භාවය තව දුරටත් සියුම්, පරිපූර්ණ බවට පත් වීම ක්රමයෙන් වර්ධනය වනු ඇත. ආරම්මණය පවිත්‍ර කරන, මනස පිරිපහදු කෙරෙන, විශිෂ්ට ගමන් මඟකට ඔබ දැන් පිවිස ඇත. ඔබ සමාධියේ ගැඹුරට යෑම දැන් අරඹා ඇත. ආරම්මණය පිරිසිදු වන විට, එහි රළු පැතිකඩවල් ගිලිහී යාම සිදු වේ. නො කඩවා ම ඔබ දැන් අත්විඳිනුයේ ‘පියකරු’ බව පමණකි. එය යම් දෙයක පියකරු බව නො වේ. දැන් මනස පිළිගනුයේ මනසෙහි ම අරමුණු පමණකි. ගතින් වෙන් වූ මෙම පිරිසිදු මානසික අරමුණ වන ‘පියකරු’ බව මනසෙහි එක ම ආරම්මණය වන්නේය. මෙම පිරිසිදු මානසික අරමුණ ‘සමාධි නිමිත්ත’ ලෙස හඳුන්වමි.
නිමිත්ත ආලෝකයක් ද?
මෙම සමාධි නිමිත්ත මනස නමැති භූමිභාගයෙහි (චිත්ත) සැබවින් ම පවතින දෙයක් වුවත්, මුල් වතාවට එය දිස් වූ විට එය ඉතාමත් විශ්මයජනකය. කෙටියෙන් පවසනවා නම්, “මෙවන් දෙයක් ජීවිතයේ මින් පෙර කිසි දිනක අත්විඳ නැති ලෙස දැනේ.” ඒ කෙසේ වුවත්, ‘සංඥානය’ නමින් හඳුන්වන මානසික ක්රියාව ඉතා යුහුසුළු ව, මුළු ජීවිත කාලය තුළ දී ලත් අත්විඳීම් එක් රැස් කර ගත් ‘මතක බැංකුව’ හාරා අවුස්සමින්, මීට යන්තමින් හෝ සමාන දෙයක් ඇත්දැයි සොයා බලන්නේ, මනසට මේ දෙය පිළිබඳ ව යම් අන්දමක හෝ විස්තරයක් සැපයීම සඳහාය. භාවනායෝගීන් බොහෝ දෙනකුගේ සංඥානයට, මෙම ගතක් නොමැති පියකරු බව, මෙම මානසික උද්දාමය හැඟෙනුයේ විසිතුරු ආලෝකයක් ලෙසටය. එහෙත් එය ආලෝකයක් නො වේ.
දෑස වසා ගෙන චක්බු විඥානය හෙවත් දැකීමේ දී ඇස හා වස්තුව ආශ්රිත ව උපදින විඥානය නතර කර දැමූයේ බොහෝ කාලයකට ඉහත දීය. ලෝකයත් සමඟ බැඳුණු පසිඳුරන්ගේ ආස්වාදයෙන් මිදී, මුල් වතාවට නිදහස ලැබූ චිත්ත විඥානයයි, මේ වසා සිටි වළාකුල්වලින් මෑත් වූ පුරසඳ මෙන් බබළනුයේ. ඒ පසිඳුරන්ගේ ග්රහණයෙන් මිදුණු ප්රභාස්වර සිතයි. තමා ඉදිරියේ දෘශ්‍යමාන ව ඇත්තේ මනස මිස ආලෝකයක් නො වේ. නමුත් බොහෝ දෙනකුට එය ආලෝකයක් ලෙස සංඥානනය වන්නේ තමාගේ සංඥානයට ඉදිරිපත් කළ හැකි හොඳ ම නමුත් අසම්පූර්ණ විස්තරය එපමණක් වන බැවිනි.
තවත් සමහර භාවනායෝගීන් මෙම මුල් වතාවට මනස දැකීමේ සංඥානය විස්තර කරනුයේ ශාරීරික සංවේදනයක්, බලවත් සන්සුන්කමක් නැති නම් ධ්‍යාන සුවයක් ලෙසිනි. නැවතත් කාය විඥානය හෙවත් සැප වේදනා සහ දුක් වේදනා, සීතල සහ උෂ්ණය ආදිය ප්‍රහේද කොට දක්නා විඥානය, බොහෝ කාලයකට ඉහත දී නතර කර දැමූ හෙයින් මෙය ශාරීරික ව පවත්නා වූ වින්දනයක් විය නො හැකිය.
නමුත් එය සංඥානනය වන්නේ හුදු සුඛ වේදනාවක් ලෙසටය. කෙනෙක් මෙය සුදු ආලෝකයක් ලෙසත්, තවත් කෙනක් රන්වන් තරුවක්, තවත් කෙනක් නිල් මුතු කැටයක් ලෙසත් දකී. මෙහි දී දැන ගත යුතු වැදගත් කරුණ වන්නේ මොවුන් සියලු දෙනා ම විස්තර කරනුයේ එක ම සංසිද්ධියක්, එක ම ආශ්චර්‍ය්‍යයක් වීමයි. සියලු දෙනාගේ ම අරමුණට විෂය වනුයේ පිරිසිදු මනස වුවත්, මේ විවිධාකාර විස්තරයන් ඔවුන් එකතු කරනුයේ තමතමන්ගේ විවිධාකාර වූ ප්‍රත්‍යක්ෂ ඥානයන්ට අනුකූල වය.
නිමිත්ත හඳුනා ගැනීම
පහත දැක්වෙන අංගලක්ෂණ හයෙන් ඔබට නිමිත්ත හඳුනා ගත හැකිය:
1. එය ප්‍රකට වන්නේ පස්වන අවධියෙන් ඔබ්බටය: එනම් භාවනායෝගියා පියකරු හුස්ම සමඟ බොහෝ වේලාවක් ගත කළාට පසු වය.
2. එය ප්‍රකට වන්නේ හුස්ම අතුරුදහන් වූ විටය.
3. එය පහළ වන්නේ බාහිර ආයතන පස අතහැරදැමීමෙන් පසු ව පමණකි: එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය යන දොරටු පහෙන් ඇතුළු වන සෑම අරමුණක් ම, සම්පූර්ණයෙන් ම අත් හැරුණු විටය.
4. එය දෘශ්‍යමාන වන්නේ මනස නිහඬ නම්ය: මොනයම් ආකාරයක හෝ විස්තරාත්මක සිතිවිලි (අභ්‍යන්තර කථාව) සම්පූර්ණයෙන් ම අත් හැරුණු විටය.
5. එය පුදුමාකාර වුවත් තදින් සිත් අලවනසුළුය.
6. එය අතිශයින් ම සරල, පියකරු දෙයකි.
මා මේ අංගලක්ෂණ විස්තර කළේ ඇත්ත නිමිති හා බොහෝ විට තමා ම සිතින් මවා ගන්නා ව්‍යාජ නිමිති මොනවා දැයි තමාට ම වෙන් කොට හඳුනා ගැනීම පහසු වීම සඳහාය.
පියකරු නිමිත්තේ ආශ්වාදය – සවන අවධිය
නිමිත්ත පමණයි
සයවන අවධිය “පියකරු නිමිත්තේ ආශ්වාදය විඳීම” ලෙස හඳුන්වමි. මේ අවධිය උදා කර ගත හැක්කේ හුස්ම පිළිබඳ අවධානය, ශරීරය, සිතිවිලි හා පසිඳුරන් ආශ්රිත අරමුණු යන සියල්ලක් ම සම්පූර්ණයෙන් ම අත්හැර දමා පියකරු නිමිත්ත පමණක් ඉතිරි කර ගැනීමෙනි.
නිමිත්ත ස්ථාවර නො වීම
සමහර විට නිමිත්ත මුල් වතාවට දිස් වන විට එය ‘අපැහැදිලි’ ස්වරූපයක් ගනු ඇත. එසේ නම්, විගසින් ම ඔබ භාවනාවේ පෙර අවධිය කරා යා යුතුය: එනම්, පියකරු හුස්ම වෙත නො කඩවා පවත්වා ගන්නා වූ නිහඬ අවධානයයි. ඔබ කඩිනමින් නිමිත්ත වෙත ගොස් ඇත. තවත් විටෙක එය අස්ථිරය: ප්රදීපාගාරයකින් නිකුත් වන ආලෝකධාරාවක් මෙන් අඩුවැඩි වෙමින් තිබී ඉන් පසු නො පෙනී යයි. නැවතත් පෙන්නුම් කරනුයේ ඔබ ඉක්මනින් පියකරු හුස්ම වෙතින් ඉවත් වූ බවයි. පියකරු හුස්ම වෙත තම අවධානය දිගු කාලයක් තුළ පහසුවෙන් පවත්වා ගැනීමට පුරුදු–පුහුණු කර ගෙන ඇත්තේ නම් එවැන්නකුට පමණක් ඊටත් වඩා බොහෝ සෙයින් සියුම් වූ නිමිත්ත මත තම අවධානය රඳවා ගෙන සිටීමට හැකි වනු ඇත. එම නිසා පියකරු හුස්මෙහි මනස හොඳින් පුහුණු කරන්න. අනලස් ව, ඉවසීමෙන් එම පුහුණුවෙහි යෙදෙන්න. එවිට නිමිත්ත වෙත යාමට කාලය එළඹි විට එය ඉතා දීප්තිමත්ය, ස්ථිරය, පහසුවෙන් රඳනසුළුය.
යමකින් සෑහීමට පත් වීමේ ගුණාංගය ඔබේ සිතෙහි තවමත් තදින් තහවුරු වී නො තිබීම නිමිත්තේ අපැහැදිලි ස්වභාවයට ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැකිය. ඔබ තවමත් යමක් බලාපොරොත්තු වන්නෙහිය. බොහෝ විට ඔබ පසු වන්නේ එක්කෝ ඉතා දීප්තිමත් නිමිත්තක්, නො එසේ නම් ධ්‍යානයක් බලාපොරොත්තු වෙමිනි. හොඳින් මතක තබා ගන්න, මෙය ඉතා වැදගත්ය. එනම් ‘ධ්‍යාන’ යනු සියල්ල අත්හළ, සියල්ලෙන් ම අත්මිදුණු අවස්ථාවන්ය. ඒ විශ්වාස කළ නො හැකි අන්දමින් මනස සෑහීමට පත් ව ඇති අවස්ථාවන්ය. එම නිසා කෑදර සිත ඉවත ලන්න. පියකරු හුස්මෙන් සෑහීමට පත් වීම දියුණු කර ගන්න. එවිට නිරුත්සාහයෙන් ම නිමිත්ත සහ ධ්‍යාන පහළ වීම සිදු වනු ඇත.
කඩාකප්පල් ‘කරන්නා’ගෙන් මිදීම
‘කරන්නා’ තවමත් අත පෙවීම නතර නො කිරීම, නිමිත්ත අස්ථිර ව පැවතීමට ප්‍රධාන හේතුව වශයෙන් දැක්විය හැකිය. පිටුපස ආසනයේ හිඳිමින් රිය පැදවීමෙහි නියුතු අයකු මෙන් අණ දෙමින්, නුවුවමනා තැනට සෑම විට ම අනවසරයෙන් රිංගමින් මෙම ‘කරන්නා’ සෑම දෙයක් ම වියවුලට පත් කරයි. නිසලතාවය වෙත ස්වාභාවික ව සංක්රමණය වන සංතතියක් ලෙස භාවනාව හැඳින්විය හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ‘ඔබ’ මඟ නො අහුරා පසෙකට වීම පමණකි. භාවනාවේ ගැඹුරට යාමට හැකි වන්නේ, ඔබ සත්‍ය වශයෙන් ම ඇත්හැරීම සිදු කළ විටය. මෙයින් අදහස් කරනුයේ එම සංතතියට අත පෙවීමට ‘කරන්නාට’ කිසිම ඉඩකඩක් නැති පමණට සත්‍ය වශයෙන් ම අත්හැරීමය.
එවන් බලගතු අත්හැරීමක් වෙත හිත නම්මා ගැනීම සඳහා නිමිත්ත වෙත තම අකලංක විශ්වාසය පිරිනැමීම යොදා ගත හැකි දක්ෂෝපායකි. මොහොතකට නිහඬතාවය බිඳ, තමා මනස තුළ සිටින්නේයයි සලකා, තමාගේ සම්පූර්ණ විශ්වාසය නිමිත්ත වෙත පවරන බැවින්, සියලු ම අණ දීම් අත්හිටුවා, ‘කරන්නාට’ දැන් අතුරුදහන් වන ලෙස ඉතා මොළොක් බසින් කොඳුරන්න. එවිට, ඔබ බලා සිටිය දී ම, නිමිත්ත ලෙස ඔබ ඉදිරියේ පිළිබිඹු වන මනස, තව දුරටත් ඔබට ‘කිරීමට’ දෙයක් ඉතිරි නො කොට, සංතතිය මුළුමනින් ම සියතට ගනු ඇත. මෙහි දී ඔබ කිසිවක් කිරීම අනවශ්‍ය වන්නේ ඔබගේ උදව්–උපකාර නොමැති ව අවධානය රැක ගැනීමට නිමිත්තේ ඇති අසාමාන්‍ය පියකරු බව සමත් වන බැවිනි. තක්සේරු කිරීමෙන් වැළකීමට මෙතැන දී ඔබ ප්‍රවේසම් විය යුතුය. “මොකක් ද මේ?”, “ධ්‍යානයක් ද?”, “මා, මීළඟට කුමක් කළ යුතු ද?” යනාදී වශයෙන් මතු වන ප්‍රශ්න අන් කිසිවක් නො ව නැවතත් මැදිහත් වීමට ‘කරන්නා’ ගන්නා කපටි ප්රයත්නයකි. එය සංතතියේ ව්‍යසනය ඇති කරයි.
ගමන අවසාන වූවාට පසු සියල්ල ම තක්සේරු කර බැලිය හැකිය. දක්ෂ විද්යාඥයකු පරීක්ෂණයක් තක්සේරු කර බලන්නේ, සියලූ ම දත්තයන් ලබා ගත් පසු වය. එම නිසා, දැන්, තක්සේරු කිරීමෙහි හෝ සියල්ල ම සිතින් තීරණය කොට ගැනීමෙහි හෝ නො යෙදෙන්න. “නිමිත්තේ අද්දර ස්වභාවය රවුම් ද? නැති නම් බිත්තරයක හැඩය ද?” ආදී ද ගැන විමසිලිමත් නො වන්න. ඒ සියල්ල අනවශ්‍යය. ඒවා යොමු කෙරෙන්නේ නානාවිධත්වය, ‘ඇතුළත’ සහ ‘පිටත’ යන ද්විධාකාරත්වය යනාදී තවත් නොයෙකුත් වියවුල් වෙතටය.
ධ්‍යාන – සත්වන අවධිය
කේන්ද්රගත අවධානය
කැමති දෙසකට නැඹුරු වී යාමට මනසට ඉඩ දෙන්න: ඒ බොහෝ විට ම නිමිත්තේ කේන්ද්රය දෙසටය. නිමිත්තේ ඉතාමත් පියකරු කොටස එහි කේන්ද්රයයි. ආලෝකය පැහැපත් සහ ඉතා දීප්තිමත් වනුයේ මේ අසලය. සියල්ලෙන් ම අත්මිදෙමින් කේන්ද්රය දෙසට අවධානය ඇදී ගොස් එතුළට ම වැටෙන්නට ඉඩ හරිමින් එම ගමනේ රසය විඳින්න. එසේත් නැති නම් ආලෝකයෙන් තමා සහමුලින් ම වසා ගැනීමට ඉඩ දෙන්න. මෙය ඇත්තෙන් ම එක ම අත්දැකීමක විවිධ ආකාරයන්ය. මනසට ප්‍රමෝදයෙහි ගිලී යාමට ඉඩ දෙන්න. භාවනා මඟෙහි සත්වන අවධිය වන ‘ධ්‍යාන’ උදා වීමට ඉඩ දෙන්න.
ධ්‍යානයට බාධක
ධ්‍යානයට පිවිසෙන දොරටුවේ දී පොදු වශයෙන් මුහුණ පෑමට සිදු වන බාධක දෙකකි: අධික ප්රමෝදය හා බියයි. අධික ප්රමෝදය, කුතුහලය උපදවයි. මෙතැන දී “ඕ…..මේ ඒක තමා” යයි මනස සිතුවොත්, ධ්‍යානයට පිවිසීම බොහෝ විට සිදු නො වේ. මේ ‘ඕ…..’ ගෑම් යටපත් කළ යුත්තේ මොන ම අන්දමක වත් මැදිහත් වීමක් නො කොට නිහඬ වීම අගයමිනි. ඊට නිසි අවස්ථාව වූ ධ්‍යානයෙන් මිදීමෙන් පසු ව කිරීමට මේ ‘ඕ…..’ ගෑම් අතපසු කරන්න.
නමුත්, බොහෝ විට ම මතු වන බාධකය විය හැක්කේ බියයි. මෙම බිය පහළ වන්නේ ධ්‍යානයෙහි ඇති ඉතා බලගතු බව හා ඉමහත් ප්‍රමෝදය අවබෝධ වීමෙන් හෝ ධ්‍යානයට පිවිසීම සඳහා යම් කිසිවක් අත්හැර යා යුතු බව හැඟී යාමෙනි: ඒ ‘ඔබ’ යි! ධ්‍යානයට පෙර ‘කරන්නා’ නිහඬ ව සිටියත් ඔහු තවමත් රැඳී සිටී. ධ්‍යානය තුළින් ‘කරන්නා’ සම්පූර්ණයෙන් ම ඉවත් විය යුතුය.
නමුත්, දැන හිඳින්නා තවමත් ක්රියාශීලීය. ඔබ මුළුමනින් ම දැනුවත් ව සිටී. නමුත් පාලනය කිරීම් සියල්ලක් ම ඔබේ ග්රහණයෙන් ඉවත් ව ඇත. තීරණයක් ගන්නවා තබා එක් සිතිවිල්ලක් වත් මවා ගැනීමට ඔබට හැකියාවක් නැත. චේතනා කිරීමේ හැකියාව ක්රියාවිරහිත වීම, ආධුනිකයාගේ සිත භීතියෙන් වෙලීමට සමත්ය. සම්පූර්ණ සිහියෙන් හා අවදියෙන් සිටින්නේ නමුත්, යමක් සිතීමට හෝ පාලනය කිරීමට හෝ තිබූ හැකියාව තමා වෙතින් සම්පූර්ණයෙන් ම පැහැර ගත් මෙවන් අත්දැකීමක්, ඔබ ජීවිතයේ කිසිදාක අත්විඳ නැත. බිය ලෙස උද්දීපනය වන්නේ තමාගේ පෞද්ගලික උරුමය සේ මෙතෙක් සිතා සිටි යමක් කිරීමට ඇති හැකියාව පවරා දීමට ඇති අකමැත්තය.
භක්තිය සහ විශ්වාසය අවශ්‍යයි
මේ අවස්ථාව එළඹි විට පිටස්තර ලෝකයට අයිති වූ පාලනය කිරීම්, අණ දීම්, විනිශ්චය කිරීම් සහ නිගමන ආදිය අතහැර, චිත්තාකර්ෂණීය වූ එහෙත් සමහරකුට ඇතුළු වීමට බිය උපදවන, මෙම ලෝකයේ ස්වරූපය කිනම් ආකාර දැයි අප සොයා බැලිය යුතුය. බිය උපදවන්නේ එය අප කිසිසේත් නො දන්නා පරිසරයක් බැවිනි. එය අනතුරුදායක නො වන අතර ඇත්ත වශයෙන් ම ගතට හා සිතට මේ සොයා බැලීම ඉතා වැඩදායී වනු ඇත. නමුත් අප ඒ පිළිබඳ කිසි ම හැඟීමක් මින් පෙර ලබා නොමැති බැවින් භීතිය ඉස්මතු වීමට බොහෝ විට අවකාශ ඇත.
භීතිය මතු වුව හොත් මෙතෙක් ගොඩනඟා ගත් මානසික සුවය ඉක්මනින් ම නැති වී ගොස් මනස භාවනාවේ මූලාරම්භයට ම ඇද වැටෙනු ඇත. එම නිසා මේ භීතිය ගැන විමසිලිමත් වෙමින් එය මතු වීම පටන් ගන්නා සැණින් ශුද්ධාව මතු කර ගැනීමෙන් හා නොයෙකුත් මහණුන්, මෙහෙණින් හා යෝගාවචරයින් විසින් මීට ඉහත දී කරගෙන ඇති “බිය වීමට කිසි ම හේතුවක් නොමැතිය” යි යන ප්රකාශය සිහිපත් කිරීමෙන් තව පියවරක් ඉදිරියට තබා ඉතා ගැඹුරු වූ මේ ශාන්තියේ සුවය පරීක්ෂා කර බැලීමට ඔබට හැකි වනු ඇත. මේ පියවර ගැනීමෙන් පසු එහි සුවදායකත්වය සහ ආරක්ෂිත බව ඔබට ම ප්‍රත්‍යක්ෂ වනු ඇත. ඉදිරියට ගන්නා සෑම පියවරක් පාසාමත් එය තවතවත් පියකරු වනු ඇත. බිය තුරන් කර ලිය හැක්කේ එම පියවර ගැනීමෙන් හා එහි ආදීනව විග්රහ කිරීමෙන් පමණකි. එම නිසා මේ බිය නැති කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් මත සහ ප්රතිලාභය ලෙස අත්කර ගැනීමට ඉතා සමීප ව ඇති චිත්තාකර්ෂණීය ප්‍රමෝදය මත විශ්වාසයක් සහ භක්තියක් ඇති කර ගන්න. තථාගතයාණන් වහන්සේ බොහෝ විට වදාළේ, ධ්‍යාන වෙත පිවිසීමෙන් අත් කර ගන්නා වූ ප්රමෝදය ගැන “බිය නො වී, ඒවායේ රසය විඳිමින්, තවතවත් ඒවා දියුණු කර ගැනීමටත්, නිරතුරු ව ම එහි යෙදෙන්නටත්ය” (ලටුකිකොපම සූත්‍රය, මජ්ඣිම නිකාය). එම නිසා බිය මතු වීමට මත්තෙන් එම ප්රමෝදය හා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් කෙරෙහි භක්තිය පවත්වා ගනිමින්, උන්වහන්සේගේ ආර්‍ය්‍ය ශ්‍රාවකයන් ආදර්ශ කොට ගන්න. ධර්මය කෙරෙහි විශ්වාසය ඇති කර ගෙන, ආයාසයකින් තොර, ගතක් නැති, ස්වාභිමානයෙන් මිදුණු ඔබට ජීවිතයේ ලද හැකි අද්විතීය ප්රමෝදය ලබා දීම සඳහා, උණුසුම් සුහදතාවයකින් ඔබ වැළඳ ගැනීමට ධ්‍යානයන්ට ඉඩ හරින්න. සුළු කාලයකට පාලනය කිරීම සම්පූර්ණයෙන් ම අත්හැර දැමීමට ධෙෙර්‍ය්‍යය උපදවා මේ සෑම අත්දැකීමක් ම තමා විසින් ම විඳ බලන්න.
ධ්‍යාන හඳුනා ගැනීම
ධ්‍යානයක් නම් එය බොහෝ වේලාවක් පවතිනු ඇත. එහි පැවැත්ම මිනිත්තු කිහිපයක සුළු කාලයකට සීමා වූයේ නම් එය ධ්‍යානයක් ලෙස හැඳින්වීම නුසුදුසුය. සාමාන්‍ය වශයෙන්, ඉහළ ධ්‍යාන පැය කීපයක් තුළ ම පවතී. ඊට ඇතුළ වූ විට කළ හැකි අන් දෙයක් නොමැත. ඔබ ධ්‍යානයෙන් මිදෙන්නේ ඉන් ඉවත් වීමට මනස සූදානම් නම් පමණි. වෙනත් අයුරකින් පවසනවා නම් ඔබ ඉවතට එන්නේ මෙතැනට ළඟා වීම සඳහා සියල්ලෙන් ම අත්මිදෙමින් තමා එක් රැස් කර ගත් මානසික ඉන්ධනයන්ගේ බලය සහමුලින් ම දැවී ගියාට පසු වය. විඤ්ඤාණයේ මෙම නිසල, තෘප්තිමත් අවස්ථාවන් බොහෝ වේලාවක් තුළ පැවතීම ඒවාට ආවේණික ස්වාභාවික අංග ලක්ෂණයකි.
ඉහත දී විස්තර කර දුන් ආකාරයට නිමිත්ත මනා කොට අවබෝධ කර ගැනීමෙන් පමණක් ධ්‍යානයකට පිවිසීමට හැකි වීම තවත් එක් ගුණාංගයකි. ධ්‍යානයකට පිවිසි විට ශරීරයෙහි දුක් වේදනා පිළිබද හැඟීමක් ඇති වීමට හෝ පිටත ඇති වන ශබ්ද ඇසීමට හෝ ‘හොඳ’ සිතිවිල්ලක් වුව ද ඇති කර ගැනීමට හෝ කිසි සේත් ම හැකියාවක් ඔබට නොමැති බව හොඳින් දත යුතුය. මෙතැන ඇත්තේ සංඥානයේ පරිශුද්ධ ඒකාග්රතාවයයි.
බොහෝ කාලයක් තුළ නො වෙනස් වෙමින් පවතින ද්විධත්වයක් නොමැති, ප්රමෝදයේ හුදු වේදිතයයි. මෙය සිහි මුර්ඡා වීමක් නො වේ. සිහි කල්පනාව, සතිය, ඉතාමත් උසස් මට්ටමකට උද්දීපනය වී පවතින අවස්ථාවකි. මේ විස්තරය ඉදිරිපත් කළේ ඔබ ධ්‍යානයක් ලෙස සලකන දෙය සැබෑවක් ද, නො එසේ නම් සිතින් මවා ගන්නා ලද්දක් දැයි තමාට ම වටහා ගැනීමට හැකියාවක් ලබා දීම සඳහාය.
අනුශාසනය
භාවනාවට මීට වඩා බොහෝ දේ අඩංගු වන නමුත් අවධීන් හතක් උපයෝගී කර ගනිමින් ප්රථම ධ්‍යානයේ තත්ත්වයට එය දියුණු කර ගැනීම සඳහා ඉතා සරල ක්රමයක් මෙතෙක් සැකෙවින් විස්තර කර දුනිමි. මීට අමතර ව, පංචනීවරණ මොනවා ද, ඒවා මැඩ පවත්වා ගන්නා අන්දම, සතිය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද, එය යොදා ගන්නා ආකාර වන සතර සතිපට්ඨානය, ජයග්රහණය කරා ගෙන යන මාර්ග සතර (සෘද්ධිපාද), පංච නියාම ආයතන, ඉන්ද්රිය සහ ඉහළ ධ්‍යානයන් පිළිබඳ වත් බොහෝ දේ පැවසිය හැකිය. භාවනාවේ ප්රගතිය සඳහා මෙකී–නොකී සෑම දෙයක් ම හේතු–සාධක වන නමුත්, එවන් අවස්ථාවක් ලැබෙන තුරු ඒවා පසෙකට ලමි.
සක්මන් භාවනාව හා සැසඳීම
භාවනාව දියුණු කර ගැනීමට සක්මන් භාවනාව ඔබ උපයෝගී කර ගන්නට අදහස් කරන්නේ නම්, හිඳිමින් කරන භාවනාව සමඟ එය සැසඳුව හොත් තබන්නා වූ සෑම පියවරක් පාසාමත්, සෑම වම් සහ සෑම දකුණු පියවරක් පාසාමත්, නො කඩවා සිහි එළවා සිටීම තුන්වන අවධිය ලෙස නම් කළ හැකිය. එකක් වත් අත් නෑර සෑම පියවරක් ම ඔබ දත යුතුය. එක් වම් පියවරක් හෝ දකුණු පියවරක් හෝ අත හැරෙන්නේ නැති ව සක්මන් මළුවේ ඉදිරියට හා ආපස්සට දහවරක් වත් පියවර තැබීමට හැකි නම්, ඔබ තුන්වන අවධිය ප්රගුණ කොට ඇති බව නිගමනය කළ හැකිය.
පාදයක් ඔසවන විට එහි මුල් අවස්ථාවෙහි සිට ම එනම් එය ඉහළට එසවී පොළොවෙන් ඉවතට ඇදී ඒමේ දී සහ පාදය ඉදිරියට ගෙන යෑම, බිම තැබීම හා එයට බර දීම ආදී සෑම ඉරියව්වක දී ම මතු වන වේදනාව හොඳාකාර ව දැනෙන පරිදි තම අවධානය දියුණු කිරීම ඉන් පසු ව කළ යුතුය. වම් කකුල හා දකුණු කකුල මත රැඳුණු මෙම අවධානය, සෑම පියවරක ම මූලාරම්භයේ සිට අවසානය දක්වා ම නො කඩවා රැක ගනිමින් සක්මන් මළුවේ ඉදිරියට හා ආපස්සට දහවරක් වත් පිය නැඟිය හැකි නම්, ඔබ සක්මන වෙත සම්පූර්ණ අවධානය ඇති කර ගෙන ඇති බව කිව හැකිය. මේ සතරවන අවධියයි.
ඇවිදීමේ ක්රියාව ගැන ඔබේ සිත මුහුකුරා ගොස් ඇති බැවින් සිත වෙනත් දෙයකට ඇදී යෑමෙන් වළකිනු ඇත. මනස ඉතාමත් සන්සුන් ව, සම්පූර්ණ අවධානය රැක ගනිමින් සමාධිය කරා එළඹීම එයට සාධකයක් බව ඔබට පෙනී යනු ඇත. කුරුල්ලන්ගේ නාදය පවා නෑසී ගොස්, ඔබේ දැනීම ඇවිදීමට පමණක් සීමා වනු ඇත. ඔබේ අවධානය එක දෙයකට යොමු ව එක් දෙයක් මත රැඳී, එක් දෙයකින් ම සෑහීමට පත් වනු ඇත. මෙය ඉතා සිත්කළු ආශ්වාදයක් වනු නො අනුමානයි.
හැකියාවක් ඇත් නම්, හිඳීමේ භාවනාවෙහි ගුණාංග සක්මන් භාවනාව හෝ ඔබ එදිනෙදා යෙදෙන්නා වූ වෙනත් ඕනෑ ම කටයුත්තක් සමඟ හෝ සසඳා බලන්න, කෑම කන විට කටෙහි තබන සෑම ආහාර පිඩක් ගැන ම දැන සිටීම තුන්වන අවධියයි. ආරම්භයේ සිට ම අත එසවීම, ආහාර පිඩ මුඛයෙහි තැබීම, විකීම, ගිළීම ආදී කෑම ගැනීමේ දී කෙරෙන සෑම ක්රියාවක් ම ඔබ දත යුතුය. මෙය හෙමිහිට කිරීම අනවශ්‍යය, නමුත් දැනුම ඇති ව එය පරිස්සමින් කළ යුතුය. එවිට කරන්නා වූ කටයුත්තෙහි සම්පූර්ණ සිහියෙන් ඔබට යෙදිය හැකිය. එම තත්ත්වයට මනස පුහුණු කර ගත හැකි නම්, සිරුරෙහි අවශ්යතාවයන් සඳහා කළ යුතු කාර්යයන් කාලය නසන්නා වූ කාර්ය ලෙස ඔබ කිසිසේත් නො සලකනු ඇත.
සමථය හා විපස්සනාව වෙන් කළ හැකි ද?
යම් ක්රියාවක් සිතෙහි වංචල බව දුර ලා, සිත සන්සුන් බවට පත් කොට, සමබරතාවයට ගෙන ඒමට ඉවහල් වේ ද, එවැනි ක්රියා පාලි භාෂාවෙහි ‘සමථ’ යන වචනයෙන් අදහස් කෙරේ. මෙම වචනය බුදුරජාණන් වහන්සේ විසින් නොයෙකුත් අවස්ථාවල දී යොදා ගන්නා ලද්දේ සිතෙහි කලබලකාරිත්වය දුර ලා, සිතිවිලි බහුලතාවය ලිහිල් කොට, නො සන්සුන්කම පළවා හැරීමට ඉවහල් වන ක්රියා සඳහායි. එම නිසා මෙම භාවනාව ප්රඥාව උපයෝගී කර සිතෙහි තැන්පත් බව වර්ධනය කර ගැනීමෙන් සිතට සැනසීම ළඟා කර ගැනීමේ මාර්ගයක් හැටියට ඔබට සලකා ගත හැකිය.
මේ සියල්ලක් ම ඇති තතු දක්නා නුවණින්, විපස්සනා වෙන් බැහැර වූ සමථය පමණක් දියුණු කරන ක්‍රමයක් සේ පිළිගැනීමට සූදානම් අයට, විපස්සනා කියා හෝ සමථ කියා හෝ වෙන්වෙන් ව දියුණු කළ හැකි දෙයක් නොමැති බව කරුණාවෙන් මතක් කර දීමට කැමැත්තෙමි. මෙය හඳුන්වන්නේ භාවනාව යනු “මනස දියුණු කිරීම” යනුවෙනි. එය බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ ක්රමයයි. තවමත් භාවිතයේ යෙදෙන උතුරු–නැගෙනහිර තායිලන්තයේ ආරණ්‍යගත සම්පුදායට අයත් මාගේ ගුරු හිමිපාණන් වන අජාන් චා හිමි බොහෝ විට පැවසූයේ සමථ හා විපස්සනා දෙක වෙන් කළ නො හැකි මෙන් ම එම යුගලය නිවැරදි දාෂ්ටිය, නිවැරදි සිතිවිලි, නිවැරදි ඉන්ද්‍රිය සංවරය යනාදියෙන් බැහැර ව දියුණු කළ නො හැකි බවයි.
ඉහත දැක්වූ අවධීන් හතෙහි දියුණුවක් දැකීමට නම්, තථාගතයාණන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ දැනුමක් ද, විශ්වාසයක් ද, සංවර සීලයෙහි පිරිසිදු පැවැත්මක් ද අත්යවශ්ය බව නො කියා ම බැරිය. මේ සෑම අවධියක් ම ළඟා කර ගැනීම සඳහා විදර්ශනා ඥානය අවශ්යය. එනම් ‘අත් හැරීම’ යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක් දැයි වටහා ගන්නා, අත්හැරීමේ දී සත්යයෙන් ම වන්නේ කුමක් දැයි දැක ගන්නා, විදසුන් නුවණයි. මේ අවධීන් ඔබ කෙතෙක් දුරට දියුණු කර ගත්තේ ද, එපමණට ම ඔබේ විදසුන් නුවණ ද ප්‍රබල ව වැඩෙනු ඇත.
ඔබට ධ්‍යානයක් කරා එළඹිය හැකි නම්, ඔබේ අවබෝධය සහමුලින් ම වෙනස් වී යනු ඇත. වෙනත් අයුරකින් පවසනවා නම් විපස්සනා නුවණ ධ්‍යාන වටා ද, ධ්‍යාන විපස්සනා නුවණ වටා ද රඟ දක්වනුයේ අත්වැල් බැඳ ගෙනය. මෙය නිවනට මඟ වන්නේය. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි, ධ්‍යානයන්හි වැඩ වසන්නන්ට ප්‍රතිඵල හතරක් අපේක්ෂා කළ හැකිය: එනම්, මාර්ගය දිනුවකු වීම, එක් වරක් පැමිණෙන්නකු වීම, නැවත නො පැමිණෙන්නකු වීම හෝ සියලු කෙලෙස් නැසූවකු වීම යන මාර්ග ඵල හතරය.(පාසාදික සූත්‍රය, දීඝ නිකාය).
ඉවසීමෙන් සැනසීම ලැබේ
ඉතා සරල භාවනා ක්රමයක් දැන් මා ඉතා විස්තරාත්මක ව පැහැදිලි කොට දී ඇත. මේ අවධීන් වෙත ළඟා වීම සඳහා සහ ඒවා ප්‍රගුණ කර ගැනීම සඳහාත් අධිෂ්ඨානය සහ වීර්‍ය්‍යය මෙන් ම ආසාව හා තණහාව ද ඇති කර ගත යුත්තේ, ආසාවන් නැසීම සඳහා අවශ්‍ය වන ආසාව ද, තණහාව දුරු කිරීම සඳහා අවශ්‍ය වන තණහාව ද භාවනා මඟෙහි දී අත්‍යවශ්‍ය වන හෙයිනි. ආසාව නොමැති ව වීර්‍ය්‍යය ඉපදවිය නො හැකිය. එම නිසා අධිෂ්ඨානය සිතෙහි ඇති කර ගෙන, එය සඵල කර ගැනීමට උත්සාහ ගන්න.
අධිෂ්ඨානය ඇති කර ගත් ලෙසට ම, ඉවසීම නැතිකමින් ඒවා සම්පූර්ණ කර ගැනීමට නො හැකි වූ විට ඇති වන සිත් වේදනාව ගැන ද ටිකක් පරිස්සම් වන්න. එම නිසා, ඔබේ අධිෂ්ඨානය මෙම භාවනා වාරයේ දී සඵල නො වූයේ නම් හෝ කිසියම් භාවනා මුළුවක දී එය ඉටු කර ගැනීමට අසමත් වන්නේ නම් හෝ දුක් නො වන්න. එය එතරම් වැදගත් නැත. ඊළඟ භාවනා මුළුවේ දී ඔබට එය සපුරා ලීමට හැකි වනු ඇත. එසේ සිදු නො වුව හොත් තවදුරටත් මහන්සි ගන්න. ඊළඟ ජීවිතයේ දී එය ඉටු විය හැකිය. අවශ්‍ය වන්නේ නො පසුබට උත්සාහයයි. සමහර අය සිත් තැවුලට පත් වී භාවනා වාර දෙකක් හෝ තුනක් හෝ වැනි සුළු කාලයක් තුළ දී භාවනා කිරීම අත්හිටවනු ඇත. එය නො ඉවසීම ලෙස මම හඳුන්වමි.
සත්‍යාවබෝධය ලබා ගැනීමේ උතුම් පරමාර්ථය සපුරා ගැනීමට කළ යුතු භාවනාව දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය ධෙෙර්‍ය්‍යය නො මඳ ව ඔබ හට ලැබේවා යනු මගේ පැතුමයි.