අජාන් බ්‍රහ්වංසෝ මහ තෙරුන් වහන්සේ – පරිවර්තනය
ජෝර්ජ් කාරියවසම්
(මෙහි සියලු ම අයිතීන් පරිවර්තක සතු බව සළකන්න)
මෙය, සතිපතා සිකුරාදා දිනවල බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ධම්මාලෝක බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ වසර 2000 පෙබරවාරි මස 4වෙනි දින පැවැත්වූ දේශනය ද, පර්ත් නගරයේ 1997දී පවත්වන ලද 9-දින භාවනා මුළුවේ දී පැවැත්වූ ධර්ම දේශනයක් හා බටහිර ඕස්ට්‍රේලියාවේ සර්පන්ටයින් පෙදෙසේ පිහිටි බෝධිංඥාන ආරණ්‍යයේ 1995දී පැවැත්වූ ධර්ම දේශනය ද මූලික කර ගනිමින් සකස් කරන ලද්දකි.
කිවන්නාගේ පහසුව සලකා මෙය: “බුදු දහමෙහි හදවත” – පළමුවන කොටස හා “භාවනාව සරල ව දියුණු කිරීමේ මඟ” – දෙවන කොටස යනුවෙන් වෙන්වෙන් ව ඔබ වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
හොඳින් කරුණු අවබෝධ කර ගැනීමේ පහසුව සලකා පළමුවන කොටසට පරිහරණය කිරීමට මත්තෙන් දෙවන කොටස පරිහරණය නො කරන මෙන් කරුණාපූර්වක ව ඔබෙන් ඉල්ලා සිටිමි.
හැඳින්වීම
අජාන් (ගුරුතුමා) බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ වසර 1951දී ලන්ඩන් නගරයේ උපත ලැබූහ. බුදු දහම සමඟ ඔහුගේ මුල් ම සම්බන්ධය ඇති වූයේ පාසැල් වියේ දී ලන්ඩන් නගරයේ පොත්හලක පොතපත පරීක්ෂා කරමින් සිටිය දීය. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සෙෙද්ධාන්තික භෞතික විද්‍යාව හදාරමින් සිටි වකවානුවේ දී, එම පළාතේ බෞද්ධ සංගමයේ සාමාජිකත්වය ලබා සිටි අතර භාවනාවෙහි ද නිරත විය. පළමුවන පන්තියේ ගෞරව උපාධියක් ලබා ගැනීමෙන් පසු ඔහු ඩෙවොන් නගරයේ ජේෂ්ඨ පාසලක භෞතික විද්‍යා ගුරුවරයකු ලෙස කෙටි කාලයක් සේවයෙහි යෙදුනේය. ලන්ඩන් නුවර දී මුණගැසුණු තායිලන්ත භික්ෂුවක කෙරෙහි ඇති වූ මහත් ප්‍රසාදය මුල් කොට ගෙන මහණදම් පිරීම සඳහා හටගත් බලවත් ආශාව මුදුන්පත් කර ගැනීමට තායිලන්තයට ගිය ඔහු වයස 23දී, වට් සාකෙත් ආරණ්‍යයේ තාන් වොකුන් ප්‍රොම් ගුණපෝන් මහ තෙරුන් වෙතින් පැවිදිඋපසම්පදාව ලබා ගත්තේය.
1975දී අජාන් චා මහ තෙරුන් වහන්සේ යටතේ පුහුණුව ඇරඹු උන්වහන්සේ පිටරට භික්ෂූන් උදෙසා ආරම්භ කරනලද වට් පා නනවට් ආරණ්‍යයේ මුල් ගෝල පිරිසට අයත් වූහ. 1983දී ආරම්භ කරන්නට යෙදුණු බෝධිංඥාන ආරණ්‍යය පිහිටුවීම සඳහා උන්වහන්සේ බටහිර ඕස්ට්‍රේලියා වේ පර්ත් නගරයට පැමිණියහ. ආරණ්‍යයෙහි අවශ්‍ය ගොඩනැගිලි ඉදි කිරීම් ආදී කටයුතු සඳහා බොහෝ වෙහෙස මහන්සි වන අතර ම, උන්වහන්සේ විවිධ ජාතීන් අතර බුදු දහම ප්‍රචලිත කිරීමෙහි ද යෙදී සිටිති. කුඩා ළමයින්ගේ සිට ප්‍රාදේශික සිරකරුවන් දක්වා සමාජයේ නානා තරාතිරම්වල අය උන්වහන්සේගේ දෙඇසට ලක් වෙති. භික්ෂු විනය පිළිබඳ ව උන්වහන්සේගේ ප්‍රවීණත්වය බටහිර රටවල වෙසෙන භික්ෂූන් අතර ඉතා ප්‍රකට ව ඇත. උන්වහන්සේගේ මෙම දැනුම සහ උපදේශ එංගලන්තය, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ආදී නොයෙකුත් රටවල වෙසෙන භික්ෂූන් වහන්සේලාට ධර්ම-විනය හැදැරීමට හා පිළිපැදීමට මහත් සේ උපකාරී වෙයි.
1995දී බෝධිංඥාන ආරණ්‍යය පාලනය කිරීමේ භාරදුර කටයුත්ත භාර ගත් උන්වහන්සේ එහි අධිපතිවරයා වන අතර බටහිර ඕස්ට්‍රේලියානු බෞද්ධ සංගමය, වික්ටෝරියා බෞද්ධ සංගමය සහ මෙල්බර්න් චිත්ත විවේක තපෝවනය යනාදී ආයතනයන්හි අනුශාසකයාණෝ ද වෙති. එතුමා අනගාරිකවරුන්, සාමණේරවරුන් හා භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීමේ කටයුතුවලට මූලිකත්වය දෙන අතර ම, ගිහි ජනතාව උදෙසා පර්ත් නගරයෙහි පිහිටි ධම්මාලෝක බෞද්ධ මධ්‍යස්ථානයේදී සති අන්තවල භාවනා පන්ති පැවැත්විම්, සූත්‍ර පිටකය ඉගැන්වීම හා ධර්ම දේශනා පැවැත්වීම් ආදී කටයුතු මඟින් ගිහි පිරිස පුහුණු කිරීමෙන් ද අපමණ සේවයක් ඉටු කරති.
විටින් විට ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තවල හා ඉන්දුනීසියාව, සිංගප්පූරුව, මැලේසියාව ආදී රටවල පවත්වන බෞද්ධ ධර්ම දේශනා හා භාවනා පුහුණු කිරීමේ වැඩ සටහන්වලට ද උන්වහන්සේ ශ්‍රමය වැය කෙරේ. මෙකල ඕස්ට්‍රේලියාවේ ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන ආගම බුද්ධාගම බවට පත් වීමට උන්වහන්සේගෙන් වන සේවය අති මහත්ය.
බෞද්ධ හා ක්‍රිස්තියානි ඉතිහාසයේ මුල් වතාවට, බෞද්ධ භික්ෂුවකට පල්ලියක පූජාව පවත්වන වේලාවට එයට සහභාගී වීමට ලත් ආරාධනයට අනුව මෑත දී පර්ත් නගරයේ සුප්‍රසිද්ධ සාන්ත ජෝර්ජ් පල්ලියේ ඉරිදා සවස පූජාවේ දී දේශනයක් පැවැත්වීම උන්වහන්සේගේ ගුණගරුක බව, මෙෙත්‍රීය සහ සුහදතාවය පෙන්නුම් කෙරෙන්නකි. ඒ සමඟ ම මෙකල ඉතා දුර්ලභ, අන්‍යෝන්‍ය ආගමික සහජීවනය සම්බන්ධයෙන් අන්‍ය ආගමිකයින් අතර වුව ද මුන්වහන්සේ දිනා ගෙන ඇති ගෞරවය හා විශ්වාසය ද එමඟින් මනා ව පිළිබිඹු කෙරේ. භාවනාව පිළිබඳ උන්වහන්සේගේ නිපුණත්වය මෙය කියවීමෙන් ඔබට ම වටහා ගත හැකිය.
බටහිර ඕස්ට්‍රේලියානු බෞද්ධ සංගමය දැනට ඕස්ට්‍රේලියා වේ ඇති විශාලතම බෞද්ධ ආයතනය වන අතර එය ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින බෞද්ධ ආයතනවලින් එකකි. බටහිර සහ ආසියානු ජාතික බෞද්ධයින් එකමුතු කරමින් අනාදිමත් කාලයක සිට පැවත එන ආරණ්‍යයික සම්ප්‍රදාය නඟා සිටුවීමේ අරමුණ මුල් කර ගනිමින්, පැවිදි ජීවිතයක් ගත කිරීම සඳහා කැප වූ ස්ත්‍රීපුරුෂ දෙපාර්ශවයට ම නිවන් දොර විවෘත කර ගැනීම උදෙසා පුහුණුවක යෙදීමට අත්‍යවශ්‍ය වනගත ආරණ්‍යය පිහිටුවීමෙන් හා ගිහි භවතුන්ගේ ධර්මාවබෝධය සහ භාවනාව වැඩි දියුණු කර ගැනීමට යෝග්‍ය නාගරික බෞද්ධ මධ්‍යස්ථානයක් ඇති කිරීමෙනුත් පසුගිය වසර 25ක සුළු කාලයක් තුළ දී එතුමාගේ මූලිකත්වයෙන් එම සංගමය ඉටු කර ඇති සේවය ඉමහත්ය.
1983දී පර්ත් නගරයට ආසන්න ව, අක්කර 97ක භූමිභාගයක දොර ලෑල්ලකට පමණක් සීමා වූ කුටියක වැඩ වසමින්, වසර ගණනාවක් තුළ දහඩිය මහන්සියෙන් ගොඩනැංවීම ඇරඹූ සර්පන්ටයින් පෙදෙසේ පිහිටි බෝධිංඥාන ආරණ්‍යය භික්ෂූන් වහන්සේලා විසිනමකටත්, අනගාරිකවරුන් හතරදෙනකුටත්, ගිහි භවතුන් හත්දෙනකුටත්, බාහිර ලෝකයෙන් ඈත් වී, නිහඬ වාතාවරණයක භාවනායෝගී ව විසීමට අවශ්‍ය වූ සෑම පහසුකමක් ම සලසයි. අද පවත්නා තත්ත්වයට එය ගෙන ඒමට එකල දී අධිපති ධුරය දැරූ අජාන් ජගරෝ මහ තෙරුන් වහන්සේ සමඟ අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ ඇතුළු අනිකුත් ගිහි පැවිදි භවතුන් වැය කර ඇති ශ්‍රමය අති ප්‍රශංසනීය වේ.
ඉංග්‍රීසි ජාතිකයෙක් 1984දී මෙම ආරණ්‍යයෙහි මුලින් ම පැවිදි ජීවිතයට ඇතුළත් විය. ඕස්ට්‍රේලියානු ජාතිකයකු පැවිද්ද ලැබුවේ 1987 වසරේ දීය. 2000 වසරෙහි දී ආරණ්‍යයෙහි වස්වැසූ භික්ෂූන් වහන්සේලා ගණන විස්සක් වූ අතර උන්වහන්සේලා ඉංග්‍රීසි, ජර්මානු, නෝවීජියානු, ලාංකික, මැලේසියානු, රුසියානු, අමෙරිකානු සහ ඕස්ට්‍රේලියානු ආදී ජාතීන්ගෙන් සමන්විත වූහ.
අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ 1998දී පර්ත් නගරයට ආසන්න ව අක්කර 583ක භූමිභාගයක මෙහෙණින් වහන්සේලා සඳහා ධම්මසාර සේනාසනය පිහිටු වන ලදී. එහි නායකත්වය දරනුයේ 1985දී ලංකාවෙහි දී පැවිදි වී එහි අවුරුදු දහයක් ගත කොට මෙරටට පැමිණිමට ප්‍රථම එංගලන්තයේ අජාන් සුමේධෝ මහ තෙරුන් වහන්සේගේ අමරාවතී ආරණ්‍යයෙහි අවුරුද්දක් වැඩ විසූ ඕස්ට්‍රේලියානු ජාතික අජාන් වායාමා දසසිල් මාතාවය. මුල් වතාවට මෙම ආරණ්‍යයෙහි පැවිදි ජීවිතයට ඇතුළත් වූයේ ඕස්ට්‍රියානු ජාතික කාන්තාවකි.
පර්ත් නගරයෙහි පිහිටි ධම්මාලෝක බෞද්ධ මධ්‍යස්ථානයෙහි සති අන්තයේ පැවැත්වෙන බෞද්ධ වැඩකටයුතුවලට සහභාගී වන පින්වතුන් සඳහා සලසා ඇති පහසුකම් අතරට පුස්තකාලයක් ද, සිකුරාදා දිනවල ධර්ම දේශනාවලට සවන් දීමට පැමිණෙන තුන්-හාරසියයක් පමණ පින්වතුන් සඳහා ඉඩකඩ ඇති නවීන පහසුකම් සහිත ධර්ම ශාලාවක් ද, එම කටයුතු සඳහා සති අන්තයේ නතර වීමට පැමිණෙන තෙරුන් වහන්සේලා වෙනුවෙන් තුන්නමකට විසිය හැකි ආවාසයක් ද, සමාජිකයන්ගේ විවිධ සංස්කෘතික කටයුතු සඳහා ශාලාවක් ද ඇතුළත්ය.
අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේගේ ධර්ම දේශනා අඩංගු පොත්පත් මුද්‍රණය කිරීම, ධර්ම දේශනා පටිගත කොට බෙදා හැරීම, මෑතක සිට පරිගණක මඟින් අන්තර්ජාලය හරහා සිකුරාදා සවස පැවැත්වෙන ධර්ම දේශනය ඕනෑම රටක සිට සවන් දීමට අවස්ථාව සලසා දීම යනාදිය මෙම සංගමයෙන් ඉටු කෙරෙන තවත් අමතර සේවාවන් හැටියට හඳුන්වා දිය හැකිය.
බටහිර ඕස්ට්‍රේලියානු බෞද්ධ සංගමය වෙබ් අඩවිය: www.bswa.org.au.
සංස්කාරකගෙන් වචනයක්
මනුලොව ජීවන දුක කෙරෙන් විමුක්තිගාමී මාවතක් සිත දියුණු කිරීම තුළින් ම පෙන්වා දී ඇති බුදු දහම උසස් ඉගැන්වීමෙකි. ‘භාවනා’ යන වචනයෙහි අර්ථය ද ‘සිත දියුණු කිරීම’ යනුයි. එහෙත් මෙම ‘භාවනාව’ නිසි ලෙස ක්‍රියාවට නැඟීම තරමක් අපහසු කාර්යයෙකි. එය ඉවසීමෙන් දීර්ඝකාලීන ව පුරුදු-පුහුණු කළ යුතු වූ ව්‍යායාමයෙකි. සදාචාර සම්පන්න ව, කෙලෙස්වලින් අනුක්‍රමයෙන් මිදෙමින් එය කළ යුතු වේ.
සෙෙද්ධාන්තික භෞතික විද්‍යාවෙන් පළමුවන පන්තියේ ගෞරව උපාධියක් ලබා ගත් ඉංග්‍රීසි ජාතික විද්වතෙක් පසු ව අජාන් බ්‍රහ්මවංසෝ නමින් පැවිදි වී තායිලන්තයේ අජාන් චා මහ තෙරුන් යටතෙහි මහණදම් පිරූහ. උන්වහන්සේ විසින් සම්පාදිත මෙම අගනා කෘතිය තුළින් ඉදිරිපත් කර ඇත්තේ ප්‍රථම ධ්‍යාන තත්ත්වය තෙක් භාවනාව දියුණු කිරීමේ සත් පියවරකින් යුත් භාවනා ක්‍රමයෙකි.
ස්වයං අවබෝධයෙන් බුදු දහම වටහා ගනිමින් එහි දැක්වෙන මාර්ගයට පූර්ණ අවබෝධයකින් හා කැප වීමකින් පිවිස ආධ්‍යාත්මික ප්‍රගති ගමනක යෙදී සිටින බ්‍රහ්මවංසෝ හිමියන් පෙන්වා දෙන මෙම භාවනා මාර්ගය ඇත්ත වශයෙන් ම සරල බැව් කිව යුතුය. දෙතුන් වරක් පොත කියවන විට එය වැටහෙනු ඇත. “බෞද්ධ ඉගැන්වීම් ගබඩාව පුද්ගලයින්ගේ ජීවන දුක් ගැහැට ලිහිල් කර ගැනීම සඳහා ඉමහත් සෙතක් සලසන බව සැබෑවකි. ලොව පෙළන ගැටළුවලට මුහුණ දීමට සපල මඟක් බුදු දහම පෙන්වා දෙයි. මෙම බෞද්ධ පිළිවෙත් අනුගමනය කිරීමෙන් ප්‍රතිඵල ලැබෙන විට…..” යනුවෙන් පවසා ඇති අදහස්වලට අනුව බුදු දහම මිනිසාගේ එදිනෙදා ජීවන ගැටළු විසඳමින් විමුක්තිය කරා යාමට මඟක් සපයන සාරගර්භ ඉගැන්වීමක් බව උන්වහන්සේට මනා ව වැටහී ඇත. ඒ අනුව උන්වහන්සේ පෙන්වා දෙන මාර්ගය නිවැරදිය, සරලය.
අභිනිෂ්ක්‍රමණයේ අගය මෙහි දිගින්දිගට පැහැදිලි කිරීමෙන් ම මෙහි පෙන්වන ක්‍රමයෙහි නිරවද්‍යතාවය වටහා ගත හැකිය. අතීත-අනාගත දේවලට කාලය නාස්ති කිරීමෙන් වැළකී භාවනාවෙහි යෙදිය යුතු සැටි මෙහි දෙවන කොටසින් මනා ව විස්තර වී ඇත. ‘මේ මොහොතෙහි අවධානය’ ‘නිහඬ අවධානය’ ‘ඇතුළත කථාව’ වැනි මාතෘකා මඟින් පැහැදිලි කර දී ඇති කරුණු වැදගත්ය. භාවනාව නිසි ලෙස කිරීමට අගනා උපදෙස් ලෙස ඒවා පිළිගත හැකිය.
අවසන් පරිච්ජේදයෙන් සමථ-විපස්සනා වෙන් කර දැක්වීමේ සාම්ප්‍රදායික මතය බැහැර කිරීම ද වැදගත් උපදෙසක් ලෙස පිළිගත හැකිය. එම මතය නිවැරදිය යනු අපගේ ද මතය බැව් පවසමු.
අ.ග.සි. කාරියවසම්
සංස්කාරක
පරිවර්තකගෙන් වචනයක්
ලංකාවේ ජීවත් වන බොහෝ දෙනකුට “දරුපවුලත් සමඟ පිට රටකට ගොස් සැපවත් ජීවිතයක් ගත කිරීමට ඇත්නම්” යන අදහසක් ඇත. දැනට අවුරුදු 30කට පමණ ඉහත දී එවන් අදහසක් මට ද ඇති විය. වැඩි දුර ඉගෙනීමත්, රැකියාවත් සඳහා එංගලන්තයට ගිය මා ඉන් පසු ව දරුපවුල ද සමඟ දිවි ගෙවීම සඳහා තෝරා ගත්තේ ඕස්ට්‍රේලියාවයි.
කුඩා කල සිට ම බුද්ධ ධර්මය හා බෞද්ධ චාරිත්‍රවාරිත්‍ර පිළිබඳ ව හොඳ අවබෝධයක් තිබුණ ද, පිටරටවල දී අන්‍ය ආගමිකයන් එවැනි ගුණ ධර්ම සමහර විට අප පිළිපදිනවාටත් වඩා හොඳින් පිළිපදින බව පෙනී යාම නිසා ආධ්‍යාත්මික ගුණවගාව වෙත තවදුරටත් මා මනස තදින් ඇදී යාමක් නො වීය. බුදු දහම දුකින් මිදීම අරමුණු කොට ගත් නමුදු සැප දුටු තැන එයට ඇලීම අන් අයගේ මෙන් ම අපගේ ද උරුමය වී ඇත. මේ සැපත්, එය සෙවීමට ගන්නා තැතත්, එය සුරැකීමට ගන්නා වෙරත් දුකක්යැයි බෞද්ධයින් වශයෙන් අපි පිළිගන්නෙමු ද?
තම රටේ හෝ පිටරටක හෝ සිටියත් කිසිවකු කිසි දිනක සෑහීමකට පත් නො වන්නා වූ මෙම තාවකාලික සැපත සොයමින්, නො ලද හැකි සතුටත් ලුහුබඳිමින්, ජීවිතයේ මෙතෙක් විඳි හා විඳින්නා වූත් දුක පිළිබඳ හැඟීමක් සහ වැටහීමක් දැනට අවුරුදු 12කට පමණ ඉහත දී සිතෙහි පහළ වූයෙන්, මම ඒ ගැන විමසිලිමත් වූයෙමි.
එකල අප ආරණ්‍යයෙහි විසු විනයගරුක, සිල්වත් භික්ෂූන් වහන්සේලාගේ පැවැත්මෙහි මා කලින් නො දුටු උපශාන්ත භාවයක්, සැනසුන බවක් දිස් වන්නට විය. අන්‍ය ආගමිකයින් ලෙස උපත ලබා, තෙරුවන් සරණ ගිය මොවුන් අතර උපතින් බෞද්ධයකු වූ මම අසරණයෙක් වීමි.
පොතපතින් උගත් ධර්මයට දැනුම සීමා කර නො ගත්, ධර්මයේ සාරය වූ භාවනාව තුළින් හදවත් සිසිල් කර ගත්, විනයගරුක බවින් ගත සංවරයට පමුණුවා ගත්, උන්වහන්සේලා මා වෙත ගෙන ආ පණිවිඩය කුමක් ද? “බුදු දහම අකාලිකය, බුදුරජාණන් වහන්සේ පෙන්වූ මඟට පිවිසීමට දැනුදු අපට හැකියාවක් ඇත” යන්නය.
උන්වහන්සේලා වෙතින් ධර්මය හා භාවනාව හැදැරිමෙන්, ප්‍රතිපත්ති පිරීමෙහි ඇති හරය හා අගය වටහා ගතිමි. ඉතා පිරිසිදු සහ ඉතා පැහැදිලි වූ ධර්මය, අප අතර ප්‍රචලිත ව පවතින මේ ජීවිත කාලය තුළ දී එය අවබෝධ කර ගැනීමට උනන්දුවක්, ධෙෙර්‍ය්‍යයක් නො ගෙන මරණින් පසු තමන් නො දක්නා මතු ජීවිතයක දී එම ධර්මය ම අවබෝධ කර ගැනීමට ලැබේවායි පැතීමේ ඇති තේරුම කුමක් ද? අප රවටන්නේ කවුරුන් ද? නිවන යනු පැතීමෙන් පමණක් ලද හැකි දෙයක් නො වේ. එය මරණින් පසු ලද හැකි ද නො වේ. නිවන යනු මනුෂ්‍ය ජීවිතයක් තුළ දී තමා විසින් ම අවබෝධ කර ගත යුතු සත්‍යයකි. නිවන් මඟ තම ජීවිත කාලය තුළ දී තමා විසින් ම අවබෝධයකින් යුතුව පුරුදුපුහුණු කළ යුත්තක්ය.
සැනසුන සිත ප්‍රීතිමත්ය. ප්‍රීතිය සිත ප්‍රබෝධමත් කරයි. ප්‍රීතිමත්, ප්‍රබෝධමත් සිත පහසුවෙන් එක්තැන්වේ. එක්තැන් වූ සිතෙහි ප්‍රඥාව පහළ වේ. දියුණු කර ගන්නා වූ, තියුණු කර ගන්නා වූ ප්‍රඥාව නිවනට මඟයි.
භාවනාවේ ප්‍රගතිය සඳහා මූලික වන අත්මිදීම ඇරඹෙන්නේ පිටතින් නො ව ඇතුළතිනි. තම මනස තුළ මතු වන, පවතින දේ පිළිබඳ ව හරි සිහියක් නොමැති නම් ඒවායින් අත්මිදීමක් කළ හැකි ද? බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2500කට පෙර පවසා ඇති “අප සිතන, කියන සහ කරන සෑම හොඳ හෝ නරක හෝ දෙයකට ම මුල් වන්නේ සිතය” යන කියමන ඇතුළත් ධම්මපදයේ මුල් ගාථාව අප කොතෙකුත් අසා සහ කියවා ඇතත්, භාවනාවෙහි යෙදී සිත සන්සුන් සහ තැන්පත් කර ගන්නා තෙක්, තම ජීවිතයේ වැදගත් පෙරළියක් ඇති කිරීමට සමත් එම මූලික සිද්ධාන්තය හදවතට කා-වද්දා ගැනීම අතිශයින් ම දුෂ්කරය.
උදෑසන ඇස් ඇරුණු මොහොතේ පටන් රෑ නින්දට ඇස් පියවා ගන්නා තෙක් සතිය හෙවත් පියවි සිහිය පවත්වා ගැනීමට උත්සාහ ගන්න. දවසේ වැදගැම්මකට නැති සිතිවිලි මතු වීම ඇරඹෙනුයේ ඔබ උදෑසන ඇඳෙන් නැඟිට පය බිම තැබීමටත් කලිනි. “තව මිනිත්තුවකින් නැගිට්ටා නම්, රැ නින්ද ගියේ ම නැහැ නේ, හෙට ටිකක් කලින් නිදා ගන්නට ඕනෑ, මොකක් ද අර සද්දෙ උදේ පාන්දර ම, මොනවට ද මිනිස්සු මේ බල්ලන් ඇති කරන්නේ?” යනාදී සෑම සිතිවිල්ලකට ම මුල ක්ලේශයන් බව වටහා ගැනීමට ඔබ ප්‍රඥාව උපදවා ගන්නේ කවදා ද? දෑස විවෘත ව ඇතත්, මෙවන් සිතිවිලි ගෙන දෙන්නේ සිතට අසහනයක් මිස සහනයක් නො වන බව ඔබට නො පෙනෙන්නේ මන් ද? දවස මුළුල්ලේ ම නො කඩවා මතු වන අනර්ථකාරී සිතිවිලි නිසා එක්රැස් වන අසහනයෙන් මිදෙන්නට මඟක් නැද්ද? මඟක් ඇතත් එය නො දුටුවකු සේ කුසීත ව බලා සිටින්නේ ඇයි?
ක්ලේශයන්ට යටහත් වූ දුබලයකු ලෙස දවස අරඹන්නේ නැති ව, සිතිවිලි රහිත, සැනසුණු, ප්‍රභාස්වර සිතකින් අද දවස පිළිගැනීමට තවමත් ඔබගේ සූදානමක් නැත්තේ කාගේ බලපෑම නිසා ද? දත් මදිද්දී කණ්ණාඩියේ එහා පැත්තේ ඔබට සුභ උදෑසනක් පැතීමට බලා සිටින පුද්ගලයා දෙස කෙලින් බැලීමට ඔබ මැලි වන්නේ ඇයි? දත් බුරුසුව ඉවත්කොට ඔහු සමඟ සුහදතාවයෙන් සිනාසීමට ඔබට හැකියාවක් නැද්ද? මිතුරන් සමඟ සිනාසීමට හැකි නම්, ඔබ ඉදිරියේ දැන් සිටිනා පුද්ගලයා කොන් කරන්නේ ඇයි? නුරුස්සන්නේ ඇයි? ඔහු කළ වරද කුමක් ද? ඔබ මුවඟ නැහෙන සිනාව ඔබේ හදවතෙහි සැනසීම පිළිබිඹු කරන කැඩපතයි. හෙට උදැසන එය ඇත්තක් දැයි සොයා බලන්න! එහෙත් ප්‍රශ්නය එය මතක් වෙයි ද යන්නය.
තමාගේ ම යහපත සඳහා මෙවැනි සුළු දේවලින් සතිය නො කඩවා පවත්වා ගැනීමට උත්සාහ ගන්න. සිතෙහි පහළ වී ඇති සිතිවිල්ල තමාට ද, එමෙන් ම අනුන්ට ද යහපත, සැපත ළඟා කර දෙන්නක් ද? නො එසේ නම් එම සිතිවිල්ල යොමු කෙරෙන්නේ තමාට හෝ අනුන්ට හෝ අයහපතක්, පීඩාවක් ගෙන දීමට දැයි ඔබට අඟවා සිටින්නේ සතියයි. දැනට එය රහසක් වුවත්, සන්තානයෙහි පහළ ව ඇති සිතිවිල්ලේ ආදීනව විග්‍රහ කොට එය පවත්වා ගැනීමට හෝ එයින් අත්මිදීමට හෝ අවශ්‍ය කාලය සහ ධෙෙර්‍ය්‍යය ලබා දෙන්නේ එම සතියයි. ඔබට දැහැමි ජීවිතයක් ගෙන යෑමට ඉඩකඩ ලබා දෙන්නේ සතියයි. සුළුවෙන් හෝ සතිය පවත්වා ගැනීමට ඔබට හැකියාව ලත් විට, එය ඔබට ප්‍රත්‍යක්ෂ වනු ඇත.
නිවහල්, නිරවුල්, ප්‍රීතිමත් දිවිපෙවතක් උදෙසා හොඳ දේ හොඳ හැටියටත්, නරක දේ නරක හැටියටත් සිතට එකඟ ව පිළිගැනීමට හා ඒ අනුව ක්‍රියා කිරීමට සුදුසු හොඳ ම මොහොත සිහියෙන් සිටින මේ මොහොතයි. දියුණු කර ගත් සතියත්, නිවැරදි දැකීමත් මේ මොහොතෙහි ලබා දෙන සැනසුම, සාමය හා ප්‍රීතිය යම් මොහොතක රස විඳීමට ඔබට හැකි වූයේ නම්, බුදුරජාණන් වහන්සේ දෙසූ දහමෙහි හරය ඔබ හදවත විනිවිද ගිය මොහොත, එම මොහොතයි. විචිකිච්ඡාවෙන් තොර ව, ආපසු බැලීමක් නොමැති ව කෙළවර දක්නා තෙක් බුදු මඟෙහි ඉදිරියට යාම අරඹන සුභ මොහොත ද එම මොහොතයි.
බොහෝ දෙනෙක් තමා දන්නා, හඳුනන අය භාවනා කරන නිසා හෝ ශාරීරික ව සහ මානසික ව යම්යම් දේ ලබා ගැනීමේ අදහසින් හෝ අද පටන් ගෙන හෙට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් භාවනාව අරඹති. “මම සියල්ල දනිමි” යන ස්වාභිමානය ඇති ව, භාවනාවේ යථාර්ථය පිළිබඳ ව නිවැරදි සහ පැහැදිලි අවබෝධයක් ඇති කර ගන්නේ නැති ව, කරන්නන් වාලේ ‘භාවනා කිරීමට’ යෑමෙන් ටික දිනක දී ‘භාවනා නො කිරීමට’ ඔවුන්ගේ මනස යොමු වී යාම බොහෝ විට සිදු වන දෙයකි.
ඒ-මේ දෙයෙහි නියැලෙන්නේ නැති ව, සුළු මොහොතක් හෝ එක්තැන් වී සිටීමට ඇති ‘නොපුරුදුකම’ නිසා සිතෙහි මතු වන නොසන්සුන්කමින් විඩාවට පත් වී, ‘භාවනා කිරීම’ අතරමඟ නතර කිරීමෙන් වැළකී සිටීමට මඟක් ඔවුහු නො දනිති. ‘භාවනා කරද්දී’ වැල නො කැඩී සිතෙහි මතු වන නොයෙකුත් මාදිලියේ සිතිවිලිවලින් වල්මත් වී, එක් අරමුණක සිත පිහිටුවා ගැනීමට අපොහොසත් ව භාවනා කිරීමට තිබූ ආසාව අතුරුදහන් වී, සිතෙහි වීර්‍ය්‍යය සහමුලින් ම සිඳී ගොස්, සිත අඩපණ වී, කුසීතකමින් සිත පිරී යෑමෙන් ඔවුන් භාවනාව අත්හැර දමන්නේ ඉතා සුළු කාලයක දීය.
පළපුරුදු භාවනානුයෝගී සිල්වතකුගෙන් මේ පිළිබඳ ව උපදෙස් නො ලැබීම හා නො පැතීම, නිවැරදි දැකීමක් ඇති කර ගත් කල්‍යාණ මිත්‍රයකුගේ ඇසුර නො සෙවීම සහ පිරිසිදු අරමුණක් ඇති කර නො ගැනීම ආදී කරුණු රැසක් භාවනාව කඩාකප්පල් වීමට හේතු වශයෙන් පෙන්වා දිය හැකිය.
භාවනාව සඳහා උපදවා ගත යුතු ආසාව අනෙකක් නො ව බලවත් උනන්දුවයි. එය ඇලීමක් නො වේ. භාවනාවේ දියුණුව සඳහා ඇති කර ගන්නා තණ්හාව අනෙකක් නො ව දැඩි අධිෂ්ඨානයයි. එය කෑදරකමක් නො වේ. භාවනාවේ දී ඇලීමෙන් සහ කෑදරකමින් සහමුලින් ම අත්මිදිය යුතුය. දියුණුවක් දැකීමට නො ඉවසිලිමත් වීම, ඉහළ මට්ටමකට ළඟා වීමට – එනම් ධ්‍යානයක් ලබා ගැනීමට, එසේත් නැති නම් නිමිත්තක් දැක ගැනීමට – පහළ වන දොළදුක ආදී දෑ භාවනාවේ දියුණුව මුළුමනින් ම ඇනහිටුවයි.
සෑම භාවනා වාරයක ම අවසානයේදී දෙනෙත ඇරීමට පළමු ව, භාවනාව පටන් ගැනීමේ දී පැවති මනසේ ස්වභාවය සහ දැන් පවත්නා මනසේ ස්වභාවය ද සුළු කාලයක් තුළ හොඳින් සංසන්දනය කර බලන්න. භාවනාවෙහි යෙදීමෙන් මනසෙහි තැන්පත් බව හා නිරවුල් බව වර්ධනය වූයේ ද? මනස එක්තැන්වූයේ ද? එසේ වූයේ නම්, එම තත්ත්වය උදා කර ගැනීම සඳහා තමා යොදා ගත් උපායයන් හා ඉවහල්වූ හේතුසාධක හොඳින් මතකයේ රඳවා ගන්න. ඒවා මතු භාවනා වාර තුළ දී උපයෝගී කර ගන්න. අඩුලුහුඩුකම් මඟහරවා ගන්න.
නො එසේ නම්, මනසෙහි දැක ගත හැකි වෙනසක් නො වූයේ ද? එය වියවුලට පත් වූයේ ද? සිත විසිර ගියේ ද? එසේ වූයේ නම් කවර හේතූන් නිසා භාවනාව අබලදුබල වූයේ දැයි හොඳින් විග්‍රහ කර බලන්න. එම හේතූන් සිහියට ගෙන, භාවනාවෙන් පිටත දී, එනම් එදිනෙදා ජීවිතයේ දී, ඒවා ඉවත් කිරීමට සහ දුර්වල කිරීමට ඔබ වැයම් කරන්නේ නම්, හරිහැටි නො කෙරුණු භාවනාවෙන් වුව ද ඉටු වනුයේ යහපතෙකි. එය කාලය අපතේ හැරිමක් නො වේ. සිතේ සැනසීමට අකුල් හෙළන, ක්ලේශයන් දැන හඳුනා ගැනීමට අවශ්‍ය ශක්තියක් හා ප්‍රඥාවක් ඔබ ඇති කර ගන්නෙහිය. සමථය දියුණු කර ගැනීමට යත්න දරන පුද්ගලයින් එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස භාවනාවේ දී මෙන් ම ඉන් පිටත දීත් දියුණු කර ගන්නේ නිවැරදි දැකීමයි. භාවනාවේ දී සමථය හා අත්වැල් බැඳ ගන්නා විපස්සනාව එයයි.
හරිහැටි නො කෙරෙන භාවනා වාරයක දී මතු වන අසහනය නැති නම් දුක ඇත්ත වශයෙන් ම දුකක් නො ව, දුක නැති කර ගැනීමට මඟ පෙන්වීමකි. ඔබේ ප්‍රඥාව දුකත්, දුක ඇති වීමට හේතුවත් පෙන්වා දෙන නිසා එයින් අත්මිදී ප්‍රීතිය හා සැනසීම ළඟා කර ගැනීමට ධෙෙර්‍ය්‍යය ගන්න.
එවැනි භාවනා වාරයක දී සිතෙහි මතු වූ නොසන්සුන්කම ඇති කිරීමට තුඩු දුන් හේතූන් භාවනාවෙන් පිටත දී ඔබේ මනසට බලපෑමක් ඇති නො කරන්නේයයි ඔබ සිතන්නෙහි ද? සිත තුළ පැසවමින් පවතින්නා වූ එම හේතූන්, එම ක්ලේශයන් යටපත් කරමින් සඟවා ගෙන වෙනතක් බලා ගෙන සිටිය හැකි වුවත් ඒවායින් මනසට වන හානිය ඔබට නො පෙනුනත්, කාලය ගත වීමත් සමඟ ම ඔබ නො දැනුවත් ව ම, ඔබේ ඉරියව් හා ක්‍රියාකලාප තුළින් ඒවා ලොවට හෙළිදරව් කෙරෙනු ඇත.
යම් මොහොතක සිතෙහි පහළ වූ දුකක්, එහි පැලපදියම් වීම වැළැක්වීම සඳහා අවශ්‍ය වූ සිහිකල්පනාව නො මඳ ව දියුණු කර ගන්න. පිරිසිදු, ප්‍රබෝධමත් සහ සැනසුණු සිතකින් දවසේ එදිනෙදා කටයුතුවල යෙදෙන්න. තමාගේ ලාබ-ප්‍රයෝජන සඳහා වත්, සතුට සඳහා වත්, අනුන් පිනවීම සඳහා වත් හෝ වෙන මොනයම් කාරණයක් නිසා වත් හෝ පංච සීලය බිඳී යාමට කිසිම ඉඩක් නො තබන්න. දාන, සීල ආදී ගුණධර්මයන් තවතවත් වැඩිදියුණු කර ගන්න.
‘සැප ඇති’ තැන්වල නැවත ඉපදීමට අර අඳින්නේ නැති ව, ‘සැප නැති’ තැන්වල උපත ලැබීමට ඇති ඉඩ අහුරා, දුකින් මිදීම අරමුණු කොට ගෙන, සාමය, සැනසීම ළඟා කර ගැනීම සඳහාත්, මෙලොව අභිවෘද්ධිය සඳහාත්, තථාගතයාණන් වහන්සේ අනුදැන වදාළ භාවනාවෙහි ඉතසිතින් යෙදෙන්න. මනසට එහි ස්වාභාවික තැන්පත් බවට පත්වීමට ඉඩ දෙන්න. සෑම භාවනා වාරයක ම ආරම්භයේ දී සිතෙහි තදින් කාවද්දා ගත යුත්තේ, “කිසිවෙක් නො වෙමි, යා යුතු තැනක් නැත, කළ යුතු දෙයක් නැත, මෙතැන මේ මොහොතේ, හිඳිමි, දනිමි” යන්න පමණයි.
සීලය වැඩිදියුණු කර ගන්න. සීලයෙන් භාවනාව ද, භාවනාවෙන් ප්‍රඥාව ද, ප්‍රඥාවෙන් සීලය ද දියුණු වේ. භාවනාවෙන් ඔබ අත් කර ගන්නා සැපත, සැනසුම හා සාමය ඔබ ඇසුරට පත් අය තුළ ද ඉතිරී-පැතිරී යෑම වැළැක්වීම ඔබට කළ නො හැකි දෙයකි. ඔබට කළ නො හැකි දෙයකින් ලොවට සෙතක් සැලසේ නම්….. ඔබට කළ හැකි දේවල් ගැන කවර කථා ද?
සිල්වතකු වීමෙන් මේ ඉතා කෙටි ජීවිතයේ දී දිනෙන්-දින ප්‍රපාතයට යන සමාජයේ මිම්මට අනුව තමාට අවාසියක් වූවත්, එම සමාජයේ තැනක් නො ලැබුණත්, සෙස්සන්හට තමා සිහි වියරු වූවකු සේ පෙනුනත්, අන් අයට නො පෙනෙන, ආර්‍ය්‍ය පුද්ගලයින් දක්නා, බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කර දී ඇති ලෙසට මැරි-මැරී උපදින, ඉතා දික් වූ දුක් සහගත සංසාරයෙහි ඔබට අයත් වන්නේ ‘අමරණීය’ තැනකි.
මෙය කෙටි කථාවක් හෝ නව කථාවක් හෝ නො ව ඉතා දිග කථාවකි. සමහර විට තම ජීවිත කාලය තුළ දී වුව ද කියවා නිම කළ නො හැකි තරමේ දිග කථාවකි. මෙය කියවද්දී, එහි අඩංගු අදහස් තේරුම් ගැනීමට පහසු වූවත් නො රැවටෙන්න. භාවනාවේ යෙදෙද්දී, එහි අඩංගු අදහස් එක් වරට ම ක්‍රියාත්මක කිරීමට අපහසු වූවත් නො පසුබට වන්න. එක් වරක් පමණක් කිය වුව ද, උන්වහන්සේ විස්තර කර දෙන්නා වූ විලාසයේ ලිහිල් බව නිසා මෙම භාවනා ක්‍රමය ඔබේ ඥානයට පහසුවෙන් හසු වනු ඇත. නමුත් අවාසනාවකට මෙන්, කියවීමෙන් අත් කර ගන්නා ඥානය අප බලාපොරොත්තු වන ප්‍රතිඵලය වූ මානසික සහනය ළඟා කර දීමට අපොහොසත්ය. නිරතුරු ව ම විමසිලිමත් ව, සිහිකල්පනාව තමා වෙතින් ගිලිහී යාමට ඉඩ නො දී දිනපතා ඉඩ ලත් සෑම විටක දී ම භාවනාවෙහි යෙදෙමින්, මෙහි අඩංගු අදහස් හා උපදෙස් අවබෝධයෙන් ම තම හදවතෙහි තහවුරු කර ගන්න. සිත සන්සුන් වීමත් සමඟ ම මනසෙහි පහළ වන ප්‍රඥාව ඊට ආධාර වන බව ඔබට ටික දිනක දී පෙනී යනු ඇත. ප්‍රඥාව නොමැති ව භාවනාව ද, භාවනාව නොමැති ව ප්‍රඥාව ද ඇති නො වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ එහෙයිනි. භාවනාව හරියාකාර ව නො කෙරෙන විට දී හෝ එහි දියුණුවක් නො දකින විට දී හෝ එයින් අසහනයට පත් නො වන්න. මෙය නැවතනැවතත් කියවා, මෙතෙක් ඔබේ මනසට හසු නො වූ, මතුපිටින් සරල ව පෙනුනත්, එහි අඩංගු ගැඹුරු බවත් ටික දිනකින් ක්‍රියාවට නැඟීමට පහසු පිළිවෙතත් වටහා ගෙන, ඔබේ මතු සුභසිද්ධිය සඳහා තවතවත් දිරි ගන්න. නො පසුබට වන්න. දැන් සැප විඳ පසු ව දුක් විඳිනවාට වඩා දැන් මහන්සි වී දැනුත්-පසුවත් සැප විඳින්න.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයෙහි හරය හා අගය ඔබ වටහා ගත්තේ නම්, භාවනාවෙහි යෙදී හරියාකාර ව මෙහි අඩංගු උපදෙස් පිළිපදින්න. ඔබේ සිත තැන්පත් බවට හා නිරවුල් බවට පත් කර ගත්තේ නම්, එය උන්වහන්සේට දක්වන උසස්ම ගෞරවය බව සිතට ගන්න. පළමු ව තමා සම්මතෙහි පිහිටා මෙෙත්‍රීය පෙරදරි කර ගෙන, සැමගේ අභිවෘද්ධිය සඳහා ධර්මයට හිතැති ඔබේ හිතවතුන් ද යහ මඟට ගැනීමට දිරි ගන්න, ඔවුනට ආදර්ශයක් වන්න.
ධර්මය සිතෙහි තහවුරු වන්නේ ඔබ එය අවබෝධ කර ගැනීමට දක්වන කැමැත්ත හා ධර්මයට දක්වන ගෞරවය මුල් කර ගෙනය. එම නිසා මෙය ගෞරවය පෙරදැරි කර ගෙන කියවන්න. ධර්මයට සිත යොමු කළ, ඔබගේ හිතවතුන්ගේ අතට ද මෙය පත් කරන්න. ත්‍යාග අතුරින් උතුම්ම ත්‍යාගය ධර්ම ත්‍යාගයයි. මූලික වශයෙන් ම, කුටියක හිඳ ඉටිපන්දම් එලියේ ආධාරයෙන්, රැය බොහෝ ගණනක් වැය කොට, කාහටත් කියවා තේරුම් ගැනීමට පහසු වන අයුරින් සරල බසින් මෙය ඔබ අතට පත් කළේ “භාවනා කරන්න කැමතියි නමුත් හරියට කියලා දෙන්න කෙනෙක් නැහැ”, “පොත්වල තියෙන ක්‍රම තේරුම් ගන්න අමාරුයි”, “භාවනා පන්තිවලට යන්නට වේලාවක් නැහැ” යනාදී බොළඳ තර්ක ඉදිරිපත් කරමින් භාවනාවේ නො යෙදෙන අතළොස්සකට හෝ භාවනාවෙහි යෙදී තම සිත හඳුනා ගැනීමෙන්, එහි ඇති දුර්වලකම් අවබෝධ කර ගෙන, ඥානාන්විත ව ඒවා මඟහරවා ගැනීමෙන් සෙතක්-ශාන්තියක් අත් කර ගැනීමට හැකි වනු ඇත යන බලාපොරොත්තුවෙනි. දැනටමත් භාවනාවෙහි යෙදී සිටින්නන්හට භාවනාව තව දුරටත් ගැඹුරට දියුණු කර ගැනීමට මෙය ආධාර වේ නම්, ඒ අමතර ලාභයෙකි. එය එසේ ම වේවායි ඉත සිතින් පතමි.
පරිවර්තනයේ දී සහ අදහස් තව දුරටත් විස්තර කර දීමේ දී යම්යම් ප්‍රමාද දෝෂ ඇති වූයේ නම් එහි වගකීම මා සතු බව කරුණාවෙන් සලකන්න.
අවසාන වශයෙන් ධර්මය පිළිබඳ සිය අවබෝධය ඔබට ද නො අඩු ව ලබා දීම සඳහා උන්වහන්සේගේ ධර්ම දේශනා සිංහලට පරිවර්තනය කොට ඔබ අතට පත් කිරීමට අවසර දුන් මා ගුරුදේවයන් වන අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේට මාගේ නමස්කාරය පුද කරමි.
ජෝර්ජ් කාරියවසම්
පරිවර්තක
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
බුදු දහමෙහි හදවත
බුදු දහමෙහි හරය පිළිබඳ ව ගැඹුරින් සලකා බැලීමට මම අද දින අදහස් කරමි. බොහෝ විට බුදු දහම ලෙස ගෙන හැර දක්වන නොයෙකුත් අන්දමේ පුදුම සහගත දේවල් පුවත්පත්වල සහ පොත්පත්වල මම කියවා ඇත්තෙමි. එම නිසා මෙහි දී සත්‍යම වූ බෞද්ධ ඉගැන්වීම්වල හරය සිද්ධාන්තයක් වශයෙන් නො ව අත්දැකීමක් වශයෙන් පෙන්වා දීමට බලාපොරොත්තු වෙමි.
මනෝරෝග නිරීක්ෂණය
ඥානාන්විත ආකල්පයන් සහ දක්ෂෝපායයන් යොදා ගනිමින් මෙලොව ජීවිතය වඩාත් සාමකාමී කර ගන්නා ක්‍රමයක් ලෙස සිතමින් සමහර පුද්ගලයින් තවමත් බුද්ධාගම මනෝරෝගයන්ට යම්කිසි අන්දමේ පිළියමක් ලබා දෙන්නක් හැටියට සලකන බව මම දනිමි. මෙවන් පිළියම්වලින් පොහොසත් බෞද්ධ ඉගැන්වීම් ගබඩාව, පුද්ගලයින්ගේ ජීවන දුක් ගැහැට ලිහිල් කර ගැනීම සඳහා ඉමහත් සෙතක් සලසන බව සැබෑවෙකි. නැණවත් ආකල්පයන් සහ සානුකම්පිත චේතනාවන් උපයෝගී කර ගනිමින්, ලෝකයෙහි පවතින්නා වූ ගැටළුවලට මුහුණ දීමට සඵල මඟක් බුද්ධාගම පෙන්වා දෙයි. මෙම බෞද්ධ පිළිවෙත් අනුගමනය කිරීමෙන් ප්‍රතිඵල ලැබෙන විට, බුදු දහමෙහි ඇති හරය හා එහි වැදගත්කම අවබෝධ වීමෙන් ඔවුන් තුළ ඉමහත් භක්තියක් සහ විශ්වාසයක් ගොඩනැඟේ.
සිකුරාදා සවසට ධර්මයට සවන් දීම සඳහා බොහෝ දෙනකු මෙම බෞද්ධ මධ්‍යස්ථානයට රැස් වන්නේ මන්දැයි මම බොහෝ විට මෙනෙහි කරමි. ඒ ඔවුන් එයින් යමක් ලබා ගන්නා නිසාය. මෙම ඉගැන්වීම්වලින් ඔවුන් ලබා ගන්නේ වඩා සාමකාමී දිවිපෙවෙතක් සඳහා සැලසුමක්, තමා කෙරෙහි ප්‍රියමනාප භාවයක් හා අනෙකුත් සත්වයින් සමඟ සුහදත්වයක් ඇති කර ගැනීමට හැකියාවත්ය. ජීවිතයේ ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා පිළියමක් මේ අයුරින් සැලසෙන අතර, එයින් යහපත් ප්‍රතිඵල ලැබේ. ඒ නමුත් ඇත්තෙන් ම බුද්ධාගම මෙය නො වේ. මේ එයින් අත්කර ගන්නා වූ අමතර ප්‍රතිලාභයකි.
දර්ශන වාදය
බුද්ධාගම වැළඳ ගත් සමහරෙක් එය ඉතා විශිෂ්ට දර්ශන වාදයක් ලෙස සලකති. මගේ ධර්ම දේශනාවලින් පසු ව, ඔවුන් කෝපි මේසයක් වටා හිඳිමින්, පැය ගණනක් ධර්මය පිළිබඳ ව වාදවිවාදවල යෙදී සිටිය ද, ඔවුහු සත්‍යාවබෝධයෙන් බොහෝ සේ දුරස්ථරයහ. බොහෝ කොට මෙම පුද්ගලයින් ඉතා බැරෑරුම් දේ සාකච්ඡාවලට මුල් කොට ගත්ත ද, එම අති උදාර විෂයයන් පිළිබඳ ව ඔවුන් කථා කරන්නේ, සිතන්නේ ඔවුන්ගේ මොළවලින් පමණයි. එතැනින් නික්ම, තම නිවෙස් බලා යද්දී, තමාගේ වාහනයට ඉදිරියෙන් දමන මුල්ම වාහනයට බැණ වදින්නේ අසභ්‍ය වචනයෙනි. එයින් ම ඔවුන්ගේ පැවතුම් සියල්ල ම අහෝසි වී යන්නේය. මොළයේ මවා ගත් දර්ශනයට වඩා වැදගත් වන්නේ හදවතෙහි උපදින දර්ශනයයි.
වත්පිළිවෙත්
බුදු දහම දර්ශන වාදයක් සේ සලකනවා වෙනුවට ඇතැමෙක් එය ආගමක් ලෙස අදහති, පිළිගනිති. බුදු දහමෙහි ඇති වත්පිළිවෙත්හි යම් හරයක් ඇත. තමා වත්පිළිවෙත් ඉක්මවා සිටින්නේයයි සිතුවත්, ඒ පමණින් ම ඒවා ඉවත ලෑම නුසුදුසුය. සමහර විට පුද්ගලයින් වත්පිළිවෙත් කිසිවක් ම අනවශ්‍යයයි සිතමින් උඩඟුව, ඒවා කෙරෙහි දරදඬු අදහස් ඇති කර ගන්නා බව මම දනිමි. නමුත් සත්‍යතාවය අනෙකකි. වත්පිළිවෙත්වල මානසික බල වේගයක් ඇත. උදාහරණ වශයෙන්, ස්ත්‍රී-පුරුෂ දෙදෙනකු එක් ව විසීම ඇරඹීමට මත්තෙන් ඒ උදෙසා මංගල උත්සවයක් පැවැත්වීම සමාජයෙහි පවතින වැදගත් චාරිත්‍රයෙකි. එවන් උත්සවයක දී සමහර විට මනසට හා හදවතට යමක් සිදු වීමට අවකාශ ඇත.
ඇතුළතින්, ඉතා ගැඹුරින් බාර ගත් වගකීමෙහි දෝංකාරය යම් කිසි වැදගත් දෙයක් සිදු වූ බව පිළිබද දැනුම හා එක් ව පවතී. මරණයක් වෙනුවෙන් පවත්වන උත්සව, ඉටු කෙරෙන වත්පිළිවෙත්, කරන්නා වූ සජ්ඣායන, සිදු වූ දේ පිළිබඳ ව මෙනෙහි කිරීම සහ පවසන්නා වූ කාරුණික වචන, මරණය හා සම්බන්ධ වූ පුද්ගලයින් හට සහනයක් ළඟා කර දෙයි. එවන් කටයුතු ඔවුනට හිතවතකුගේ වියෝව සන්සුන් සිතකින් භාර ගැනීමට උපකාරී වේ. සිදු වූ දෙයෙහි ඇති සත්‍යතාවය නිරාවරණය වීමෙන්, එම පුද්ගලයින්ගෙන් අවසාන වශයෙන් වෙන් වීම සිදු වූ බව පිළිගැනීමට ඔවුනට පහසු වේ.
අප ආරණ්‍යයේ මේ හා සමාන ව අතීත සිත් තැවුල්, අමනාපකම් ඉවත ලා, කෙනකුගෙන් සමාව යැදීම සඳහා කමා කිරීමේ පූජාවක් බොහෝ විට උපයෝගී කර ගනු ලැබේ. කතෝලික ආගමේ ද පව් සමා කිරීමේ පූජාවක් ඇත. කමා කිරීමේ පූජාවට ඇතුළත් විය යුතු දේ පිළිබඳ විස්තර කුමක් වුවත් කම් නැත. වැදගත් වන්නේ චාරිත්‍ර විධියක් හෝ පූජා උත්සවයක් හෝ තුළින් සමාව දීම ශාරීරික ව පෙන්නුම් කළේ ද යන්න පමණකි.
සිදු වූ වරදට “අනේ මට සමා වෙන්න” යයි කියා සිටීමත්, ඒ වෙනුවෙන් තෑග්ගක් හෝ මල් පොකුරක් හෝ දීමත් අතර වෙනසක් නැද්ද? එසේ නැති නම්, ඔවුන් වෙත ගොස් “මම ඉහත දිනයේ දී කළ දේ සමාව ලැබීමට තරම් වත් නොහොබිනා නමුත්, අද රෑ කෑමට මා සමඟ යාමට එන්න” කියා ආරාධනය කිරීමෙහිත්, “මෙන්න, අසවල් චිත්‍රපටය බැලීම සඳහා ප්‍රවේශ පත්‍ර කිහිපයක්” කියා ඒවා බාර දීමෙහිත් යම්කිසි වැදගත්කමක් ඇත. වචන කිහිපයක් මුමුණනවාට වඩා සමාව යැදීමත් සමඟ ම ඊට උචිත ලස්සණ චාරිත්‍ර විධියක් පැවැත්වීමෙන් එහි අගය තව දුරටත් ඔප මට්ටම් කළ හැකිය.
බුදු පිළිමයක් අබියස පසඟ පිහිටුවා කරන නමස්කාරයෙහි ඉතා වැදගත් අරුතක් ඇත. එයින් තම නිහතමානී බව පිළිබිඹු කෙරේ. ඉන් පැවසෙන්නේ තමා තවමත් යථාවබෝධය, නිවන් අවබෝධය ලබා නොමැති බවය. තමාගේ අවබෝධයට පසක් නො වූ යමක් ඇති බවත්, එය පසක් කර ගැනීම තමාගේ උතුම් අභිලාෂය බවත්ය. පාසැල් යන අවදියේ දී හෝ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබද්දී හෝ තමාගේ ගුරුවරයින් හා මහාචාර්‍ය්‍යවරුන් තමාට වඩා දැනුමින් උසස් බව පිළිගන්නා නිහතමානිත්වයට මෙය සමාන කළ හැකිය.
විශ්ව විද්‍යාලයේ දී මහාචාර්‍ය්‍යවරුන් හා වාදයට යන්නේ නම් ඔබ ඉගෙන ගැනීමට යන්නේ කුමක් ද? නිහතමානීකම යනු යටහත් භාවය නො වේ. තමාගේ එතරම් වැදගත්කමක් නොමැති බව පිළිගැනීමක් ද නො වේ. පුද්ගලයින් අතර ඇති ගුණයහපත්කම්වල වෙනසට කරන ගෞරවය නිහතමානීකමයි. දණින් වැටී කරන නමස්කාරය, හොඳ සිහිකල්පනාවකින් යුතු ව කරන්නේ නම්, එය සිතෙහි ඉමහත් ප්‍රමෝදයක් ඇති කිරීමට සමත් පූජෝපහාරයකි. භික්ෂුවකට දක්වන ගෞරවය හැටියට බොහෝ දෙනෙක් දණින් වැටී මට නමස්කාර කරති. එලෙසින් ම මම ද බොහෝ දෙනකුට නමස්කාර කරමි.
තමා කොතරම් ඉහළ තරාතිරමකට පත් වූවත් තමාට නමස්කාරය කළ හැකි පුද්ගලයෙක් හැම විටම සිටී. එවන් කෙනකු සොයා ගැනීමට නැති තරම් නම් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අප අතර සිටිති. දණින් වැටී කරන නමස්කාරය මට ඉමහත් තෘප්තියක් ගෙන දේ තමාට වඩා ජේෂ්ඨ වූ භික්ෂුවක ඉදිරිපිට දණින් වැටී කරන නමස්කාරයෙන් තමාගේ ස්වාභිමානය ද, (විනයගරුක භික්ෂුවක ඉදිරියේ එය ඉතා පහසු වූවත්) විශේෂයෙන් ම තමන්ගේ සිතට නො ගැළපෙන භික්ෂුවකට එසේ කිරීමට සිදු වූ විට සිතෙහි මතුවන විනිශ්චය කිරීමේ මානසික ස්වභාවය ද දුර ලා ගැනීම සඳහා ඉවහල් කොට ගත හැකි ලස්සණ වාරිත්‍ර ධර්මයකි. එහි නිසියාකාර ව යෙදෙන්නේ නම් අත් කර ගත හැකි ප්‍රතිඵල රැසෙකි.
ආරණ්‍යයේ සිටින අයට මා පවසන්නේ දණින් වැටී නමස්කාර කිරීමෙහි නිතර යෙදෙන්නේ නම්, ඉන් අඩු තරමින් තමාගේ උදරයේ මාංශ පේෂීන් සවිශක්තිමත් වන අතර ම, තරබාරුකම ද නැති වී යන බවය. නමුත් එහි ඊට වඩා වැදගත්කමක් ඇත. එනම් බෞද්ධ වත්පිළිවෙත් ඵලප්‍රයෝජනවත් බවය. නමුත් බුද්ධාගමෙහි හරය ඊට වඩා බොහෝ සෙයින් ගැඹුරු වූවකි.
භාවනාව සහ සත්‍යාවබෝධය
බුදු දහම යනු කුමක් ද?
බුදු දහම යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි යම් කිසිවකු ප්‍රශ්න කළ හොත්, වචන කීපයකින් ඊට සුදුසු පිළිතුරක් සැපයීම. ඉතාමත් අපහසුය. එය විස්තර කර දීම සඳහා බුද්ධාගමේ හදවත වූ, උපස්ථම්භය වූ, දුරවබෝධකර වූ, මෙම භාවනා කිරීමේ පිළිවෙත කරා යාමට සිදු වීම නො වැළැක්විය හැකිය. ‘බුද්ධ’ යන ගෞරවාන්විත නාමයෙන් හඳුන්වන්නේ ගසක් (බෝගස) යට භාවනා කරමින් සිටිය දී නිවන් අවබෝධ කළ දෙවියකු හෝ බ්‍රහමයකු හෝ නො ව, අප මෙන් අවුරුදු 29ක් ලෞකික ජීවිතයක් ගත කළ මනුෂ්‍යයකු බව බුදු දහම හදාරා ඇති සෑම දෙනකු ම දන්නා කරුණෙකි.
මිනිත්තු කිහිපයකට උඩ දී ඔබ සැවොම ද භාවනාවෙහි යෙදී සිටියහ. ඔබට නිවන් අවබෝධ නො වුනේ ඇයි? භාවනාව තුළින් උන්වහන්සේ ලබා ගත් එම සත්‍යාවබෝධය, ඇත්ත වශයෙන් ම බුද්ධාගමේ උපතට හේතු විය. බුදු දහමේ අරුත එයයි, කේන්ද්‍රය එයයි. බුදු දහම යනුවෙන් අදහස් කෙරෙන්නේ මෙම සත්‍යාවබෝධයයි. එසේ නැති ව, නිරෝගී ජීවිතයක් පිළිබඳ ව හෝ සැපවත් ජීවිතයක් ගත කිරීම පිළිබඳ ව හෝ ඉගෙනීමෙන් නුවණ වඩා ගෙන, සිය මිතුරන් හා එක් ව, කෝපි මේසයක් වටා හිඳිමින් බැරෑරුම් දේ පිළිබඳ ව වාදවිවාද කිරීම නො වේ. මා නැවතත් අවධාරණයෙන් පවසන්නේ බුද්ධාගමෙහි නියම අරුත සත්‍යාවබෝධය, නිවන් අවබෝධය බවයි.
සත්‍යාවබෝධයේ සැබෑ තේරුම කුමක් දැයි කියා යම් කිසි අන්දමේ හැඟීමක්, සංඥාවක් ඔබ උපදවා ගත යුතුය. ඇතැම් පුද්ගලයෝ මා වෙත පැමිණ, “මම සත්‍යාවබෝධය කර ගතිමි” යි පවසති. මා වෙත එවන ලිපිවල සමහරෙක් “ඔබේ ඉගැන්වීම්වලට බොහොම ස්තුතියි. මා දැන් සත්‍යාවබෝධය ලබා ඇති බව කරුණාවෙන් සලකන්න” යනුවෙන් ලියා දන්වති. ඒ අතර සමහරෙක්, තමාගේ ගුරුවරයින් හෝ ‘ගුරුන්’: ගැන, “අනේ ඔව්, ඒ අය නම් සත්‍යාවබෝධය ලබා ගෙන” යනුවෙන් පවසතත්, ඔවුන් එසේ පවසනුයේ සත්‍යාවබෝධය යන්නෙහි තේරුම හරියාකාර ව දැන ගෙන නො වේ.
සත්‍යාවබෝධය යන වචනයෙන් පෙන්නුම් කර සිටින්නේ එක්තරා අන්දමක ප්‍රඥාවේ අති විශිෂ්ට උද්දීපනයෙකි. එය සිතෙහි මොනයම් දුකක් හෝ මතු වීම සහමුලින් ම අත්හිටුවා ලිය හැකි අන්දමේ අවබෝධයෙකි. සෑම දුකකින් ම නොමිදුණු පුද්ගලයකු කිසිසේත්ම සත්‍යයාවබෝධ කර ගෙන නොමැත. යමෙක් තවමත් දුකින් පෙළෙත් නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ සෑම ඇලීමකින් ම ඔවුන් අත්මිදී නැති බවයි. තමා සතු දේ වෙනුවෙන් තවමත් වද විඳින, හිතවතකු මළ විට තවමත් හඩා වැළපෙන, තවමත් සිතෙහි තරහ මතු වන, කාමුක ආශාව ඇතුළු අනිකුත් පසිඳුරන්ගේ ආශ්වාදයන්ගෙන් තවමත් තෘප්තියක් ලබන පුද්ගලයෝ සත්‍යාවබෝධය කර ගත්තෝ නො වෙති. සත්‍යාවබෝධය මේ සියල්ලම අභිබවා, මේ සියල්ලෙන් ම මිදුනේ වේ.
හික්ෂුවක මෙසේ පැවසීමෙන්, සමහර විට ඉතා පහසුවෙන් පුද්ගලයන් අසතුටට පත් කළ හැකිය. භික්ෂූන් වැඩකට නැති නිකමුන් කොටසක් සේ ඔවුනට හැඟෙන්නට පුළුවන. ඔවුන් චිත්‍රපට නො බලති, ටෙලිනාටක නො බලති, සංගීතයට කන් නො දෙති, සංවාසයෙහි නො යෙදෙති, සම්බන්ධකම් කිසිවක් නො පවත්වති, විනෝද ගමන්වල නො යෙදෙති, මොනම අන්දමක වත් විනෝදයක් නො ලබති. කිසිම වැදගැම්මකට නැති නිකමුන් කොටසක් නේ ද? එනමුත්, සිකුරාදා දිනවල මෙතැනට පැමිණ ධර්ම දේශනා පවත්වන භික්ෂූන් හා මෙහෙණින් වහන්සේලා තරම් සැනසුණු, ප්‍රීතිමත් පුද්ගලයින් තමන් අතර නො ගැවසෙන බව හැඟී යාමෙන්, ඔවුන් තුළ ඉමහත් කුතුහලයක් ඇති වේ. භික්ෂූන් වහන්සේලා නිකමුන්ට වඩා බොහෝ සෙයින් වෙනස්වෙති. ඊට හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති වෙනත් අන්දමක සැපතක් ඔවුන් දන්නා බැවිනි. ඔබ සැම ද එම සැපත පිළිබඳ ව යම්කිසි හැඟීමක් උපදවා ගන්නේ ඔබගේ භාවනාව හොඳ අතට හැරී ගෙන යන විටය.
අත්මිදීම, අත්හැරීම
ඇලීම හේතු කොට ගෙන දුක් වේදනා උපදින බවත්, සතුටට හේතු වන්නේ අත්හැරීම බවත්, එමඟින් සත්‍යාවබෝධය කරා එළඹිය හැකි බවත්, බුදුරජාණන් වහන්සේ උගන්වා ඇත. අත්මිදෙන්න! බොහෝ විට මේ අත්හැරීම කරන්නේ කෙසේ දැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති. එසේ ප්‍රශ්න කළත්, ඇත්ත වශයෙන් ම ඔවුන් බලාපොරොත්තු වන්නේ, “ඇයි අපි අත්හරින්නේ?” යන්නට උත්තරයකි. එයට පිළිතුරු සැපයීම ඉතා අපහසු වන්නාක් මෙන් ම, කෙලෙසකින් වත් එය වචනවලින් පැහැදිලි කර දිය නො හැකිය. ඒ වෙනුවට, පිළිතුරු වශයෙන් මා පවසා සිටින්නේ “මේ මොහොත භාවනාව සඳහා සුදුසු කාලයයි. එරමිණිය ගොතා ගන්න, මෙතැන මේ මොහොතෙහි රැඳී සිටින්න” යනුවෙනි. අත්හැරීම යනුවෙන් අදහස් කෙරෙන්නේ කුමක් දැයි එය ඔවුනට අවබෝධයක් ලබා දෙන හෙයිනි.
ඔබ මේ මොහොතේ භාවනා කිරීමට එකඟ වූයේ නම්, භාවනාව සඳහා කාලය වැය කළ යුතුය. එම කාලය තුළ දී ඔබ සාමාන්‍ය වශයෙන් යෙදෙන කටයුතුවලින් ‘අත්මිදී’ ඇත. එරමිණිය ගොතා ගැනීමෙන් අදහස් කරන්නේ කය නො සැලෙන සේ තබා ගැනීමයි. එම නිසා අතපය අර අතට, මේ අතට ඇඹරවීමෙන්, දිගහැරීමෙන්, නිරතුරුව ම ගතෙහි පවතින නළියන ස්වභාවයෙන් ඔබ දැන් ‘අත්මිදී’ ඇත. මේ මොහොතේ මෙතැන රැඳී සිටීම සඳහා ඔබ දැන් අතන මෙතන යාමෙන් ‘අත්මිදී’ ඇත.
මෙවන් දෙයින් ගත අත්මිදුනා සේම, ඔබේ සිත ද ‘අත්මිදීම’ අරඹා ඇත. “මොන දෙයකට භාවනා කරනවා ද?” යන සිතිවිල්ලෙන් ‘අත්මිදී’ ඔබ දැන් භාවනා කරන්නේ, තමාගේ ම දරදඩු අදහස්උදහස්වලින් ‘අත්මිදී’ හිතවතකුගෙන් හෝ වෙනත් අයකුගෙන් හෝ ‘භාවනා කරන්න’ යන අවවාදයට හිත නැමීමට තරම් ප්‍රමාණවත් නිහතමානීකමක් සිතෙහි ඇති කර ගැනීම සඳහා, මොහොතකට හෝ තම ස්වාභිමානයෙන් ‘අත්මිදුන’ බැවිනි. ආරම්භයේ දී ම ඔබ කෙතරම් දේ අත්හැර ඇද්ද?
එලෙසින් ම, භාවනාවේ අවසාන කාල පරිච්ජේදය ඉතා වැදගත්ය. කරුණාකර, හැම විට ම මෙය සිහියේ තබා ගන්න. භාවනාවේ අවසාන මිනිත්තු කිහිපය තුළ දී තමාගෙන් මෙසේ විචාරන්න “මට දැන් හැඟෙන්නේ කෙසේ ද?” “එය කොයි අන්දමේ හැඟීමක් ද?” “ඇයි ඒ?” “එසේ වීමට හේතුව කුමක් ද?” යනුවෙනි.
භාවනාව විනෝදාත්මක සහ සතුට ගෙන දෙන්නක් බැවින් අපි එහි යෙදෙමු. මේ ජීවිතයේ විඳින්නා වූ මානසික අසහනය හීන වීම හෝ ශාරීරික සෞඛ්‍යය වර්ධනය වීම හෝ ආදිය භාවනාවෙහි නිරත වීමෙන් අත් කර ගන්නා වූ අමතර ලාභයන් වුවත්, අප එසේ කරන්නේ ‘ඉන්’ යමක් ලබා ගැනීමේ චේතනාවෙන් නො වේ. භාවනා කිරීමෙන් ඔබේ කේන්තිය, නොරුස්නා ගතිය දුබල වී යන්නේය. මේ සැමට ම වඩා වැදගත් යමක් එහි ගැබ්ව ඇත.
එනම්, ඉන් ලබන්නා වූ හුදු ආශ්වාදයයි! තරුණ වියේ දී ම බෞද්ධයකු වීමට මට හේතුව වූයේ එයයි. බෞද්ධ පොතපත කියවීමෙන් භක්තිය වර්ධනය වූවත් එපමණකින් මම සෑහීමට පත් නො වීමි. භාවනාවේ යෙදී, සැනසීම ඉමහත් සැනසීම, කිව නො හැකි තරම් සැනසීම ලබා ගත් විට යම් කිසිවක් මට පවසා සිටියේ ජීවිතයේ මා ලත් උත්තරීතර අත්දැකීම එය බවයි. එය මට තවදුරටත් අත්විඳීමට අවශ්‍ය විය. එය මනා කොට විග්‍රහ කර බැලීමට ආශාවක් ද ඉපදුනි. මන්ද?
දහසකුත් දේශනා, වාද-විවාද, පොතපත සහ න්‍යායයන්ට වඩා භාවනාවේ එක් ගැඹුරු අත්දැකීමක් වටිනා හෙයිනි. ඔබ පොතපතින් ඉගෙන ගන්නේ ඔබේ අත්දැකීම් පිළිබඳ ව නො ව, අන් අයගේ අත්දැකීම් පිළිබඳ වය, වචනවලට සීමා වූ එවන් ද ඔබ දිරිගැන් වූවත්, සැබෑ අත්දැකීම් ඇත්තෙන් ම ඔබ සෙලවීමට සමත් වේ. ඇත්තෙන් ම ඒවා පොළව දෙදරවන අත්දැකීම් වන්නේ, මෙතෙක් කල් ඔබ ආධාර කර ගෙන සිටි දෑ සියල්ල ම දෙදරා යන හෙයිනි. මේ භාවනා මඟ වෙත නැඹුරු වීමෙන්, අත්හැරීමෙහි සත්‍යම වූ අදහස ඔබ නිසියාකාර ව හඳුනා ගන්නෙහිය.
පිළිගැනීම, කමා කිරීම සහ අත්හැරීම
සමහරකුට භාවනා කිරීම දුෂ්කර දෙයක් ව ඇත්තේ, ඔවුන් භාවනාවේ දී අත්හැරීම සිදු කරන ආකාරය ඉගෙන නොමැති බැවිනි. අතීතය හා අනාගතය වැනි සුළු දේ අත්හැර දැමීමට අපට අපහසු මන් ද? අද දින අසවලා කළ කී ද ආදිය පිළිබඳ ව ඇති වූ උද්වේග සමඟ තදින් බැඳී සිටින්නේ ඇයි? ඒ ගැන සිතන තරමින් අපේ අනුවණකම මැන ගත හැකිය. “යම් කිසිවකු ඔබ මෝඩයකු ලෙස පවසා සිටිය හොත්, ඒ ගැන සිතන සෑම වාරයක් පාසා ම ඔවුහු ඔබ මෝඩයකුයයි කියා සිටිති” යන පැරණි කියමන ඔබට මතක ද? ඇසුනු සැණකින් ම ඔබ එයට අත හැර යාමට ඉඩ දෙන්නේ නම් කිසි දිනක ඔබ නැවතත් ඒ ගැන නො සිතනු ඇත. ඔවුන් ඔබ මෝඩයකුයයි කියා සිටියේ වැඩිතරමින් එක් වරකි. එයින් අහවරයි, අවසානය එයයි. ඔබ නිදහස්ය.
අතීතයෙහි විහින් කොටු වී සිටීමට අප ඉඩ දෙන්නේ ඇයි? එය අත්හැර දැමීමට අපට නො හැකි මන් ද? නිදහස් වීමට ඔබට ඇත්තෙන් ම අවශ්‍ය ද? එසේ නම් පිළිගන්න, කමා කරන්න, අත්හැර දමන්න. තමා විසින් ම කර ගත් දෙයක් නිසා හෝ අනුන් කළ කී දෙයක් නිසා හෝ යම්කිසි අන්දමක සිත් තැවුලක් ඇත්තේ නම් එය පිළිගන්න, කමා කරන්න, අත්හැර දමන්න. උදාහරණ වශයෙන් පවුලේ කෙනකු මිය ගිය විට ඔවුන් මිය යාම නුසුදුසුයයි තමා සමඟින් ම ඔබ වාදයෙහි යෙදේ. එසේ නැති නම්, තම රැකියාව අහිමි වූ විට, එය නො සිදු විය යුත්තකැයි සිතීමෙහි ඔබ නො නවත්වා ම නිරත ව සිටී.
එසේ නැති ව යම්කිසි අන්දමේ වැරැද්දක් සිදු වී ඇති නම් එහි අසාධාරණත්වය පිළිබඳ උද්වේගයන්ට ඔබ වල්මත් කිරීමට ඉඩ දී බලා සිටී. කිසිවකු ඔබට බල නො කළ ද, ඉතිරි මුළු ජීවිත කාලය තුළ දී ම තමා ම ඉදි කර ගත් කුරුසියක විහින් ඇණ ගසා ගැනීමට ඔබට හැකියාවක් ඇත. ඒ වෙනුවට පිළිගෙන, කමා කොට, කමා කරන ආකාරය ඉගෙන ගන්න. අත්මිදීම එම ඉගෙනීමෙහි ගැබ් වී ඇත. අත්මිදීමෙන් ඔබ ඉටු කරන්නේ අතීතයේ බැඳීම්වලින් මිදුණු අනාගතයකට සුවපහසු ලෙස ඔබ වෙත ළඟා වීමට ඉඩ සලසා දීමයි.
මා හා කිට්ටු සම්බන්ධකමක් පවත්වන, බෞද්ධ හැදියාවක් ඇති, පර්ත් නගරයේ වසන කාම්බෝජියානු ජනතාව පිළිබඳ ව යම්යම් කරුණු මා මෑතක දී සමහර පුද්ගලයන් හට පවසා ඇත. බෞද්ධ සංස්කෘතියක් ඇති ඔවුහු, සැම විටම ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා භික්ෂුවකගේ උදව් උපකාර පතන්නෝය. එය ශතවර්ෂ ගණනාවක් තුළ සිටම පැවත එන සම්පුදායකි. එම ජනතාවගේ ආගමික කේන්ද්‍රස්ථානය, එක්රැස්වීමේ මූලස්ථානය හා ගුරුහරුකම් ලබා ගන්නා අයගේ වාසස්ථානය ආරණ්‍යයයි. උපදේශකවරු එහි වසන භික්ෂූන් වහන්සේලා වෙති. විවාහක පුරුෂයින්, ඔවුන්ගේ බිරිඳනුන් සමඟ වාද-විවාද ඇති කර ගත් විට ඔවුන් පැමිණෙන්නේ ආරණ්‍යයටය.
තරුණ භික්ෂුවක ලෙස මා තායිලන්තයේ වාසය කරද්දී, දිනක් එක් මිනිසකු පැමිණ “දින කිහිපයකට මට ආරණ්‍යයෙහි නතර වීමට හැකි ද”යි මගෙන් ප්‍රශ්න කළේය. ඔහුට භාවනා කිරීමට අවශ්‍ය ව ඇතැයි සිතු මම “ඔබ භාවනා කරන්න ද යන්නේ?” කියා නිකමට ඇසුවෙමි. “අනේ නැහැ. මගේ බිරිඳ සමඟ පොඩි අමනාපයක් ඇති කර ගත් නිසා මම ආරණ්‍යයට ආවා” යයි ඔහු පිළිතුරු දුන්නේය. ඔහු නතර විය. දින තුනහතරකට පමණ පසු, මා වෙත පැමිණි ඔහු “මට දැන් හොඳ වගේ හැඟෙනවා, ගෙදර යන්න දැ?”යි මගෙන් අවසර ඉල්ලීය.
එය මොන තරම් ප්‍රඥාන්විත ද? තැබෑරුමකට ගොස් සිහි මඳ වන තෙක් බීමත් ව, තමාගේ සිතේ පැසවන කනස්සල්ල, ද්වේෂය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා, තමා සිතන පරිදි මෙතෙක් කල් ඇය තමාට කර ඇති ‘නොහොබිනාකම්’ සිය සගයින් සමඟ ඇද බානවා වෙනුවට ඔහු කළේ, ඔහුගේ බිරිඳ ගැන කිසිවක් නො දොඩා, කරුණාව සහ සාමය පමණක් දැක්වූ භික්ෂූන් සමූහයක් සමඟ වාසය කිරීමය. සාමකාමී, සුදුසු පරිසරයක හිඳ තමා කළ, නො කළ දෑ සිහිපත් කිරීමෙන්, ටික දිනකින් ඔහුට සහනයක් ලැබිණ. “සමහර විට, ආරණ්‍යය කියන්නේ උපදේශ ලබා ගත හැකි ස්ථානයක්, ආරක්ෂක ස්ථානයක්, ප්‍රශ්නවලින් අත්මිදීමට පුද්ගලයින් පැමිණෙන ස්ථානයක්” යයි පැවසීම නිවැරදිය.
අතීතයෙහි තැවෙමින් සිටිනවාට වඩා, විශේෂයෙන් ම සිදු වූ යමක් පිළිබඳ ව ද්වේෂයෙන් පසු වනවාට වඩා, එය නරක ද? අපි කනස්සල්ල තව දුරටත් තහවුරු කරන්නෙමු නම්, ඇත්ත වශයෙන් සිදු වන්නේ කුමක් දැයි වටහා ගනිමු ද? එසේ නැති නම්, ද්වේෂයෙන් විකෘත වූ ඇස් කණ්ණාඩියක් තුළින් අනුන්ගේ වැරදි දෙස බලමින්, ඔවුන් විසින් කරන ලද ‘නොහොබිනා’ දේ පිළිබඳ ව පමණක් සිත් යොමු කර ගෙන සිටිය දී, ප්‍රශ්නයෙහි සැබෑ ස්වරූපය කවදා හෙළිදරව් කර ගත හැකිද?
මගේ අවධානයට යොමු වූ එක් කරුණක් නම්, මෙම කාම්බෝජ ජනකොට්ඨාශයට අයත් සෑම දෙනකු ම පොල්පොට්’ ඒකාධිපති පාලනය යටතේ වසර ගණනාවක් ම දුක් විඳ ඇති බවය. අඹ ගෙඩියක් සොරකම් කිරීමේ වරදට තම බිරිඳ තමා ඉදිරිපිට දීම ‘පොල්පොට්’ සගයකු විසින් මරා දමනු දුටු කාම්බෝජියානු මිනිසකු මම හඳුනමි, කුසගින්න නිසා අඹ ගසකින් ගෙඩියක් ඇය නෙළා ගත්තාය. මෙය දුටු එම සගයා, කිසිම වගවිභාගයක් නොමැති ව, ඇයගේ පුරුෂයා ඉදිරිපිට දී ම ඇයට වෙඩි තබා මරා දැමුවේය.
ඔහු මෙම සිද්ධිය මට විස්තර කරද්දී, මම ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි. වෛරයෙන් තැවීමක්, කණස්සලු ස්වභාවයක් හෝ වෙනෙකක් තබා දොම්නසක සේයාවක් වත් ඔහු වෙතින් දැක ගැනීමට නො හැකි වීම මා විශ්මයට පත් කළේය. ඔහු දිස් වූයේ සිදු වූ දේ සාමකාමී ව පිළිගන්නා නිවුණු සිතැත්තකු ලෙසය. එය එලෙසින් සිදු නො විය යුතු වුවත් එය එසේ සිදු විය.
අතීතයෙන් අත්මිදීමෙන් අපට වර්තමානයෙහි රස විඳිය හැකි අතර අනාගතයට ද නිදහස ලබා දිය හැකිය. අප හැම විට ම අතීතය කර ගසා ගෙන සිටින්නේ ඇයි? අතීතයට ඇති ඇලීම, යම්කිසි මතයක් හෝ න්‍යාය ධර්මයක් හෝ නො ව චෙෙතසික ස්වභාවයෙකි, මානසික ගතියෙකි. “අනේ මගේ ඇති ඇලීමක් නැහැ” යනුවෙන් හෝ “මා කෙතෙක් දුරට නො ඇලෙනවා ද කියනවා නම් නො ඇලීම කෙරෙහි වත් මගේ ඇලීමක් නැත” යනුවෙන් පුරසාරම් දෙඩුවත්, ඒවා ලස්සණට ගළපා කී වත්, ඒ සියල්ලක් ම බොරු බේගල්ය.
ඔබේ නිදහසට ඉඩ අහුරන, වදවේදනා ගෙන දීමට මුල් වන, ඔබේ හදවතට ඉතා සමීප වූ දෑ ඔබට අත්හැරීමට නො හැකි නම්, ඔබ ඇලී ඇති බව ඔබ හොඳාකාරව ම දනී. තමාගේ දෙකකුල් වටා තමා විසින් ම දමා ගන්නා ලද යදම් ලෙසට ඇලීම හඳුන්වා දිය හැකිය. වෙනෙකකු පැමිණ ඔබ බැඳ නො දැම්මේය. ගැලවීමට අවශ්‍ය යතුර ඔබ වෙත ඇතත්, ඔබ එය පාවිච්චි නො කරයි. මෙසේ අප සිර වී සිටින්නේ ඇයි? අනාගතය පිළිබඳ සෑම උද්වේගයක් ම, කණස්සල්ලක් ම අත්හැර දැමීමට බැරි මන් ද? ඊළඟ මොහොතේ සිදු වන්නට යන දේ ගැන ඔබ කණස්සල්ලෙන් පසු වන්නේ ද? එසේ හැසිරීමට හේතුව කුමක් ද?
විභාගයක්, පරීක්ෂණයක්, දොස්තර ළඟට යෑම හෝ දන්ත වෛද්‍යවරයකු වෙතට යෑම හෝ ගැන ඔබ බිය වූ වාර කොපමණ ද? දතක් ගැලවීම ගැන ලෙඩකු වීමට තරම් සිතින් බිය උපදවා ගෙන දන්ත වෛද්‍යවරයා වෙත යෑමට සූදානම් ව සිටිය දී, එදින ඔහු හමු වීමට ඉඩකඩ නොමැති බව දන්ත වෛද්‍යවරයා දන්වා සිටී; එතැනට යාමට වත් උවමනා කරන්නේ නැත! එසේ නම් බිය වූයේ ඇයි?
සිදු වේයැයි ඔබ සිතා සිටින අයුරින් ඒවා කිසි විටෙක සිදු නො වේ. අනාගතය කෙතරම් අස්ථිර ද කියනවා නම් ඒ ගැන කණස්සල්ලෙන් පසු වීම තරම් නිශ්ඵල ක්‍රියාවක් නැති බව තවමත් ඉගෙන ගෙන නැද්ද? ඊළඟට සිදු වන්නට යන්නේ කුමක් දැයි අපි කිසිසේත් නො දනිමු. අතීතය සහ අනාගතය අත්හැර දැමූ විට අපි භාවනාවේ ගැඹුරට යන මඟට පිවිසියෝ නො වන්නෙමු ද? සැනසිලිමත් වන්නේ, නිදහස් වන්නේ, ලද දෙයින් සතුටු වන්නේ කෙසේ ද කියා ඉගෙන ගැනීම ඇත්ත වශයෙන් ම මෙය නො වන්නේ ද?
සත්‍යාවබෝධය යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි මෙවන් දෑ ඇඟවුම් කර සිටී. බොහොමයක් ම අපේ ඇලීම් රඳා පවතින්නේ අපේ ම අනුවණකම, අමු මෝඩකම මත බැව් අවබෝධ කර ගැනීම එහි අර්ථයයි. භාවනාව ගැඹුරට දියුණු කරන්නට කරන්නට, අපි වැඩිවැඩියෙන් අත්හැරී ම ද කරන්නෙමු. බොහෝ සෙයින් අත්හරින විට අප ලබා ගන්නා ප්‍රීතිය හා සාමය ද ඒ හා සමාන ව බලවත් වේ. බුදු මඟ මුළුමනින් ම අනුක්‍රමයෙන් දියුණු කර ගන්නක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙයිනි. වරකට එක පියවරක් බැගින් කෙනකු ඉදිරියට ගෙන යන සෑම පියවරක් පාසා ම දිනුමක් ලබා ගන්නා මඟකි මේ. එමඟ ඉතා පියකරු වන්නේ එම නිසාය. මේ මඟෙහි ඉදිරියට යන්නට යන්නට හිමි වන්නා වූ ත්‍යාගයන්ගේ අගය ද, ඒවායේ ප්‍රියංකරත්වය ද වැඩි දියුණු වේ. තබන්නා වූ මුල් පියවරේ දී ම වුව ද ඔබට ත්‍යාගයක් හිමි වේ.
මුල් වතාවට භාවනාවෙහි යෙදුනු අවස්ථාව තවමත් මා මතකයෙහි රැඳී පවතී. එය සිදු වූ කාමරය ද මතකය. ඒ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ කින්ස් විද්‍යාපීඨයේ, වර්ඩ්ස්වර්ත් කාමරයයි. ඉන් පෙර කිසිදිනෙක මා භාවනා කර නොමැති නිසා මිත්‍රයින් කිහිප දෙනකුත් සමඟ හිඳ සිටියේ මිනිත්තු පහක හෝ දහයක හෝ සුළු කාලයක් පමණකි. මිනිත්තු කිහිපයක් වුවත් “එය මොන තරම් සැපතක් ද” කියා මට සිතුනි. විඳි සුවය අදත් මතකය. මා තුළ අනුනාදය වෙමින් පැවතුණු යම් කිසිවක් කියා සිටියේ ඉතා චමත්කාරජනක තැනකට යොමු කෙරෙන මාර්ගය එය බවයි.
කෝපි සහ බීර බොමින් මිතුරන් සමඟ නොයෙකුත් මාදිලියේ දර්ශනයන් පිළිබඳ ව කොතෙකුත් සාකච්ඡා පවත්වා ඇතත්, එම සෑම ‘සාකච්ඡාවක්’ ම වාගේ කෙළවර වූයේ වාදවිවාදවලිනි. කිසි දිනෙක ඒවායින් මම සතුටට පත් නො වීමි. ඉතා සමීප ව ඇසුරු කිරීමට ලැබුණු, විශ්ව විද්‍යාලයේ සිටි සුප්‍රසිද්ධ මහාචාර්‍ය්‍යවරුන් තුළ ද සතුටක් නො දුටුවෙමි. අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ව, එවන් දිවියක් ගෙන යාමට අදහස් නො කිරීමට එය එක් හේතුවක් විය.
තමන් හදාරා ඇති විෂය ක්ෂේත්‍රය තුළ ඔවුන් ඉතා දිප්තිමත් ව බැබළුනත්, අනෙක් අතින් ඔවුහු සාමාන්‍ය පුද්ගලයින් මෙන් ම අනුවණයහ. අන් අය මෙන් ඔවුන් අතර ද වාදවිවාද, කණස්සල්ල, අසහනය යනාදිය නො මඳ ව පවතී. එය මාගේ සිතට තදින් කා වැදිණි. එවන් සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක සිටින තීක්ෂණ බුද්ධිමතුන් සතුටින් පසු නො වන්නේ ඇයි? සතුටක් ලබා නො දෙන්නේ නම් දක්ෂයකු වීමෙහි ඇති හරය කුමක් ද? මා අදහස් කරන්නේ සැබෑ ප්‍රීතියයි, සැබෑ සාමයයි. සැබවින් ම සෑහීමකට පත් වීමයි.
සැබෑ සාමය හා සන්තුෂ්ටිය
මා මුලින් ම දුටු සැබැවින් ම සෑහීමකට පත්, සන්තුෂ්ටිමත්, සැනසුණු පුද්ගලයා තායිලන්තයේ මා ගුරුවර අජාන් චා මාහිමිපාණෝය. කිසියම් අපූර්වත්වයකින් හෙබි උන්වහන්සේ සතු දේ මම දුටු වෙමි. එවිට මා මට ම කියා ගත්තේ “මටත් එය අවශ්‍යයි, මට එම දැනුම අවශ්‍යයි, එම සාමය අවශ්‍යයි” යනුවෙනි. ලොව වටා සෑම දෙසකින් ම පුද්ගලයින් උන්වහන්සේ හමුවට පැමිණියහ. ඒ සෑම කෙනෙක් ම උන්වහන්සේ භික්ෂුවක වූ පළියට උන්වහන්සේට යටහත් පහත් බවක්, නියාලු බවක් පෙන්වා උන්වහන්සේ වර්ණනා කිරීමෙහි නො යෙදුනහ. සමහරෙක් උන්වහන්සේ සමඟ වාද කිරීමටත්, තවත් සමහරෙක් උන්වහන්සේගේ මොනයම් හෝ අතපසු වීමක් සොයා ගැනීමටත්, සමහර විට බැණ වැදීමටත් සමත් වූහ.
උන්වහන්සේගේ ගෝල අජාන් සුමේධෝ මහතෙරුන් සමඟ මුල් වරට එංගලන්තයට ගිය විට සිදු වූ සිද්ධියක් මට මතකය. උන්වහන්සේ හැම්ස්ටඩ් පෙදෙසෙහි පිණ්ඩපාතයෙහි යමින් සිටිය දී, (ඒ දැනට අවුරුදු 30කට පමණ උඩ දීය) එක් අශීලාචාර තරුණයෙක්, සිනහ උපදවන ඇඳුමක් ඇඳගත් මේ ආසියාතිකයා වෙත පැමිණ ඔහුගේ මුහුණට එල්ල කළ පහර නාසයෙහි නො වැදී ගියේ යන්තමිනි. නො වදින්නට පහර එල්ල කරන බවක් අජාන් චා හිමිපාණෝ දැන නො සිටියහ. ඉන් පසු ඔහු පයින් ගැසුවේ, එය ද යන්තමින් නො වැදී යන්නටය.
සිනහ උපදවන ඇඳුමින් සැරසුණ මේ ආසියාතික භික්ෂුව කුලප්පු කිරීම මෙම තරුණයාගේ අදහස විය. කොයි මොහොතේ තමාට පහරක් වදී දැයි උන්වහන්සේට සිතා ගත නො හැකි විය. එක් පහරක් වත් නො වැදුනේ කිසිම චකිතයක් නැති ව, ඉතා සාමකාමී ව, යන්තමින්වත් ද්වේෂයක් මෙම තරුණයා වෙත ඇති කර නො ගැනීමට උන්වහන්සේ සමත් වූ බැවිනි. එම සිද්ධියෙන් පසු ව උන්වහන්සේ පවසා සිටියේ, තම ජේෂ්ඨ ගෝලයන්ගේ පැවැත්ම හොඳින් තක්සේරු කර බැලීම සඳහා යැවිය යුතු ඉස්තරම් ම ස්ථානය එංගලන්තය බවයි. මනා ව පුහුණු කර ගත් උපේක්ෂාවක් අජාන් චා මාහිමිපාණන් සතු ව පැවතිණ.
“මම සත්‍යාවබෝධ කර ගත්තෙමි” කියා පැවසීමට පහසු නමුත් මෙවැනි සිද්ධියකට ඔවුනට මුහුණ පෑමට සිදු වුව හොත්, ඔවුන් නැවත නතර වී බලන්නේ සැතපුමක් දුව ගොසිනි. එකල ම, හැමිස්ටඩ් පෙදෙසේ විසූ වෙනත් භික්ෂුවකට දිනක් සවස් කාලයේ ඇවිදීමට යද්දී තැබෑරුමක් පසු කර යෑමට සිදු විය. එදින, එංගලන්තය හා ස්කොට්ලන්තය අතර ප්‍රධාන පෙළේ පාපන්දු තරඟයක් පැවැත්වෙන බව මෙම භික්ෂුව දැන නො සිටියේය. තරඟය අවසන් වී ස්කොට්ලන්තයට පක්ෂපාතිකයෝ එතුළ බීමත් ව සිටියෝය. මේ වකවානුව, ‘කුන්ග් ෆු’ භිකෂුවක වටා ගෙතුණු කථාවක් එරට රූපවාහිනියෙහි ප්‍රචාරය වෙමින් පැවතුණු කාලයක් විය.
කුඩා කාලයේ දී එම භික්ෂුව අමතන ලද්දේ ‘පළඟැටියා’ නමිනි. වෙරිමතින් සිටි මෙම ස්කොට්ලන්ත පාපන්දු පාක්ෂිකයන්, තැබෑරුමේ කවුළුව තුළින් බලන විට, ඇවිද ගෙන යන භික්ෂුව දැක, ‘අන්න පළඟැටියා’ කියා කෑ ගසන්නට වූයෙන්, මෙම හික්ෂුව බියට පත් විය. බීමත් ව සිටියෝ දැවැන්ත ස්කොට් ජාතිකයෝය. එනිසා ඔහු දුවන්නට පටන් ගති. පන්සලට රිංගා ගන්නා තෙක් ඔවුහු ද භික්ෂුව ලුහුබැඳ ගියහ. ‘පළඟැටියා’ ජීවිතය බේරා ගැනීමට දිවීය. ඒත් ඔහු පැරදිණි. නමුත්, හැම්ස්ටඩ්වල දී අජාන් චා මාහිමිපාණන් ප්‍රායෝගික ව පෙන්නුම් කර සිටි අන්දමේ අත්දැකීමක් වැනි දෑ ඔබ සත්‍යාවබෝධය කරා යන මඟට පිවිස ඇති බවක් ඉඟි කර සිටී.
අනුක්‍රමික මාවත
සෑම පියවරක් පාසාම ප්‍රතිඵල ළඟා කර දෙන, එක් පියවරකට පසු තව පියවරක් තබමින් යා යුතු අනුක්‍රමික මාවත බුදු දහමෙහි සාරාර්ථය ලෙස හැඳින්විය හැකිය. ප්‍රතිඵල ලබා ගැනීම සඳහා භාවනා කිරීම නුසුදුසු බව සමහරකුගේ අදහසයි. එය සම්පූර්ණ පුහු කථාවකි. ප්‍රතිඵල ලබා ගැනීමට භාවනා කරන්න. ප්‍රීතිසහගත වීමට භාවනා කරන්න. සැනසීම උදා කර ගැනීම සඳහා භාවනා කරන්න. ටිකෙන්ටික සත්‍යාවබෝධය ලබා ගැන් ම සඳහා භාවනා කරන්න. නමුත්, ‘ප්‍රතිඵල’ බලාපොරොත්තුවෙන් ඔබ එහි යෙදෙනවා නම්, ටිකක් ඉවසන්න. බොහෝ දෙනකු වෙත ඇති දුර්වලකමක් වන්නේ, ප්‍රමාණවත් ඉවසීමක් නොමැති ව, මුල දී ම වාගේ, ඉහල මට්ටමේ අභිමතාර්ථයන් ඇති කර ගැනීමය. ඔවුන් මුලාවට, අසහනයට සහ කලකිරීමට පත් වන්නේ ඒවා ඉටු නො වන විටය.
තමන්ගේ පුහුණු වීම සත්‍යාවබෝධය වෙත ස්වාභාවික ව මෝරා යාමට අවශ්‍ය තරම් කාලයක් ලබා දීමට ඔවුහු අපොහොසත් වෙති. ඒ සඳහා කාලය අවශ්‍යය. සමහර විට එය ආත්ම ගණනාවක් ද විය හැකිය. එම නිසා කලබල නො වන්න. මේ මඟ ඔස්සේ පිය නඟන විට සෑම පියවරක් පාසා ම ඔබ යමක් අත් කර ගනී. ටිකක් අත්හැරීමෙන් ඔබ නිදහස හා සාමය උදා කරගනී. බෝහෝ සෙයින් අත්හැරීමෙන් දිව්‍ය සැපත හා සමාන ප්‍රමෝදයක් විඳී. මෙතන දීත්, ආරණ්‍යයේ දීත්, මා භාවනාව උගන්වන්නේ මේ ආකාරයෙනුයි. ධ්‍යාන නමින් හැඳින්වෙන මෙවන් ප්‍රමෝදජනක අවධීන් හෙවත් අත්හැරීමේ අවධීන් වෙත එළඹීම තම ඉලක්කය කර ගන්නා ලෙසට මම භාවනායෝගීන් උනන්දු කරවා සිටිමි.
ධ්‍යාන
සැමට ම අවශ්‍ය ව ඇත්තේ සතුටු වීමයි. මා මෙයින් අදහස් කරනුයේ සැබෑ සතුටයි, පිවිතුරු සතුටයි, හaදයංගම සතුටයි. එම සතුට ලබා ගත හැකිවන්නේ ධ්‍යානයන්ට පිවිසීමෙනි. මෙම අවස්ථාවන් වැඩි කාලයක් නො පැවතීම ඒවායේ ඇති එකම වරදයි. ඒවා පවතිනුයේ පැය කිහිපයක් පමණකි. එසේ වුවත් ඒවා ඉතාමත් සිත් ඇද ගන්නාසුළුය. ඒවා උදා වන්නේ සැබෑ අත්මිදීම තුළිනි. විශේෂයෙන් ම චේතනා, තීරණ, පාලනය ආදිය සහමුලින් ම අත්හැරි විටය. ඉතාමත් ගැඹුරු භාවනාවක සුවය විඳීම සහ එම තත්ත්වයට පැමිණීම සිදු වූයේ කෙසේ දැයි දැන හැඳින ගැනීම සිත ප්‍රබෝධමත් කරයි.
අධික ලෙස පාලනය කිරීමත්, ඇලීම හේතු කොට ගෙන උපදින්නා වූ බලවත් ආශාවත් නිසා ඔබ වෙත සාමය ළඟා නො වන බව අවබෝධ කර ගන්නේ එවැනි අත්දැකීම් තුළිනි. නමුත් හැකිතාක් දුරට අත්මිදීම, හැකිතාක් දුරට ඇත්හැර දැමීම, හැකිතාක් දුරට මැදිහත් නො වීම හා හැකිතාක් දුරට පාලනයෙන් තොර වීම ප්‍රගුණ කළ පමණට ඒ තාක් දුරට ඔබ ප්‍රීතිසහගත වනු ඇත. මේ අයුරින් ඉගෙන ගන්නා දේ පොතක ඔබ කියවා ඇති, දේශනයක දී ඔබ අසා ඇති හෝ කෝපි මේසයක් වටා රැස් වී තර්ක-විතර්ක කිරීමෙන් ඔබ ලබා ගත් දෙයට හෝ වඩා ඉතා බලගතුය, ඵල-ප්‍රයෝජනවත්ය. ඇත්ත වශයෙන් ම ඔබ ඒ තුළින් යම් කිසිවක් අත්විඳී.
ඔබ මෙහි දී සමීප වන්නේ ආගමේ (ධර්මයේ) හදවත ලෙස ඇතැමෙක් හඳුන්වන ‘පරම විඥානය’ (ගුප්ත බලය) වෙතය. මෙය ඇත්ත වශයෙන් තමා ම ලබා ගන්නා අත්දැකීමෙකි. විශේෂයෙන් ම ඔබ මෙහි දී කරනුයේ ‘පාලකයාට’ නැති නම් ‘කරන්නාට’ ඉවත් වීමට ඉඩ දීමය. යමක් අවුල් නො කර සිටීම අපට ඉතා අපහසුය. මනුෂ්‍යයන් වෙත ඇති මූලික දුර්වලකම මෙයයි. බොහෝ විට යම්යම් දේවලට ඒවායේ පාඩුවේ තිබීමට ඉඩ හැරිය යුතු වුවත්, අපට එය කළ නො හැකි බැවින් අපි එසේ නො සිටිමු. අපේ ස්වභාවය ඒවා අවුල් කිරීමයි. හැම විට ම යමක් කිරීමෙහි නිරත ව සිටින්නේ නැති ව සැනසිල්ලේ විවේකී ව සිටීමට ඔබට නො හැකි මන්ද?
භාවනාවේ දී නතර වීම දුෂ්කරය. එනමුත් නතර වූ තරමට ලැබෙන ප්‍රතිලාභ බොහෝය, සැනසීම නො මඳය. භාවනාවේ දී අත්හැරීම සිදු කරන විට චේතනා අත්හරින්න, පාලනය අත්හරින්න. තමාට ම කථා කිරීම නතර කළ විට ඔබ ඇතුළත නිහඬතාවය ඇති වෙයි. ඔබ අතුරින් කීදෙනෙක් තම හිස තුළ ඇති ගාලගෝට්ටියෙන් විඩාවට පත් ව ඇත් ද? සමහර විට ඔබ අතුරින් කීදෙනෙක් අසල්වැසියන්ගේ ගෝසාවක් නැති වුවත් තම කන් ඇතුළේ ම ඊට වඩා මහ හඬින් පවතින ගෝසාව නිසා රෑ නිදි වර්ජිත ව සිටින්නට ඇද්ද?
කියවීම, කියවීම, කියවීම, කනස්සල්ල, කනස්සල්ල, කනස්සල්ල, සිතීම, සිතීම, සිතීම! සිතීමට අවශ්‍යතාවයක් උදා වූ විට, ඔබට පැහැදිලි ව සිතීමට නො පුළුවන. එනමුත් නො සිතා සිටීමට සිදු වූ විට ඔබට සැනසිලිමත් ව සිටිය නො හැකිය.
මනුෂ්‍යයින් වෙත ඇති තවත් දුර්වලකමකි මේ. භාවනා කරන්නේ කෙසේ දැයි ඉගෙන ගන්නා විට, තමන් තුළ මැදහත් භාවය පවත්වා ගැනීමේ අභිප්‍රාය ඇති වීම නිසා අත්මිදෙන ආකාරය පිළිබඳ ව හැඟීමක් පහළ වේ. එමඟින් සෑම සිතිවිල්ලක් ම නිරුද්ධ වී යන තරමට ම අත්හැරීම කළ හැකි වේ. මේ සිතිවිලි සියල්ලක් ම, ඇතුළතින් කෙරෙන විග්‍රහයන් හෝ වැඩි විස්තරයන්ය. සිතිවිල්ලක් හා සත්‍යතාවය අතර වෙනසට උදාහරණයක් ලෙස, නිව්යෝක් නගරය පිළිබඳ ව පොතක් කියවීම හා නිව්යෝක් නගරයට යෑම සමාන කළ හැකිය. සත්‍යයට ආසන්න කුමක් ද? ඔබට එහි දී වාතයෙහි සුවඳ දැනේ, වාතාවරණය පිළිබඳ හැඟීමක් ඇත, ප්‍රකaති ස්වභාවය ඔබ ඇස් ඉදිරි පිට ඇත. මේ සියල්ලක් ම එලෙසින් ම පොතක ලියා විස්තර කළ හැකි ද? සත්‍යය සැම විට ම නිහඬය. අසත්‍යය සැම විට ම වචන හා මුසු ව පවතී.
ගත නිරුද්ධ වූ විට
‘කපටි මිනිසුන්’ හා ‘කපටි ගැහැණුන්’ ගැන ද සිහියෙන් සිටින්න. ඕනෑ ම දෙයක් ඔබට විකිණීමට ඔවුහු අති දක්ෂයෝ වෙති. මේ මොහොතේ එවැන්නෙක් ඔබ මනසෙහි ජීවත් වෙයි. ඔහු හෝ ඇය පවසන ඕනෑ ම දෙයක් හිස් මුදුණින් පිළිගැනීමට ඔබ සූදානම්ය. ඔහුගේ හෝ ඇයගේ නම ‘සිතීමයි’. එම ඇතුළත කෙරෙන කථාව අතහැර දමා නිහඬ වුවොත් ඔබ ප්‍රීතිය උදා කර ගනී. ඉන් පසු ඔබ මනසේ අතනට මෙතනට ඇදී යාමේ ස්වභාවය නතර කොට, හුස්මෙහි පමණක් රැඳී සිටින විට, එම ප්‍රීතිය මනස මුහුකුරායයි. අනතුරු ව ශරීරය අත්හැර දමා, පසිඳුරන් අතුරුදහන් වීමට ඉඩ හැරීමෙන් ඔබ අතිශයින් ම ප්‍රමෝදයට පත් වේ. මූලික බුද්ධාගම මෙයයි. රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ මුළුමනින් ම අතුරුදහන් වෙයි. මෙය ඉන්ද්‍රිය අසංවේදී කුටියක සිටීමට සමාන වුවත් විඳින්නා වූ සුවය ඊටත් වඩා විශිෂ්ටය. නමුත් එය නිහඬතාවය නො වේ. ඔබට කිසිවක් ඇසෙන්නේ නැත. එය අන්ධකාරය නො වේ. ඔබට කිසිවක් පෙනෙන්නේ නැත. එය ශරීරයේ සුවපහසු බව පිළිබඳ හැඟීමක් නො වේ. ශරීරය කියා දෙයක් ඇත්තේ නැත.
සුවදායක සංවේදනයේ බලගැන්වීම ඇරඹෙනුයේ ගත අතුරුදහන් වූ විටය. මනස ශරීරයෙන් ඉවත් ව තිබිය දී අත්දැකීම් ලත් පුද්ගලයින් ඔබ දන්නවා ද? ඔවුන් සෑම දෙනකුම අත්විඳ ඇත්තේ, ශරීරය මරණයට පත්වූ විට ගතින් වෙන් වී පා වී යාමය. එය ඉතා සාමකාමී, විසිතුරු, ප්‍රමෝදජනක අත්දැකීමක් බව ඔවුන් පොදුවේ පවසන එක් දෙයකි. ගතින් මිදුනු විට භාවනාව ද මේ හා සමානය. ඔබ මේ ශරීරයෙන් නිදහස ලත් විට, එය ඉතා සාමකාමීය, විසිතුරුය, ප්‍රමෝදජනකය. ඉතිරි ව ඇත්තේ කුමක් ද? මෙතැන දී රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් කියා දෙයක් නොමැත. ගැඹුරු භාවනාවේ දී පවතින මනස ලෙස බුදුරජාණන් වහන්සේ හැඳින්වූයේ මෙයයි. ගත අතුරුදහන්වූ විට ඉතිරි ව ඇත්තේ මනසයි.
උපමාවක් ලෙස දිග ලෝගුවක් හැඳ, කබායක් පොරවා ගත්, රජකු ගැන සිතන්න. ඔහුගේ පාදවල පාවැසුම් ඇත. ඔළුවේ ඉහළ කොටස වැසෙන අන්දමින් ඔටුන්නක් ද, පහළ කොටස වැසී යන සේ උතුරුසළුවක් ද පැළඳ සිටී. ඇඳුම්පැළඳුම් පහකින් සම්පූර්ණයෙන් වැසී ඇති නිසා ඔබට ඔහු දැකිය නො හැකිය. මනස ද එලෙසමය. එය රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශයන්ගෙන් සම්පූර්ණයෙන් ම වසා ගෙන ඇත. එනිසා මනුෂ්‍යයෝ එය නො හඳුනති. ඔවුන් දන්නේ ඇඳුම්-පැළඳුම් ගැන පමණකි. රජු බැහැදකිද්දී දකින්නේ ඔහු ඇඳි ඇඳුම්-පැළඳුම්ය. ඒවා තුළ වසන්නේ කවරෙක් දැයි නො දනිති.
“ජීවිතය යනු කුමක් ද? මෙතන ඇතුළත සිටින්නේ කවරෙක් ද? මා ආවේ කොහෙන් ද? මන්ද? මා මේ ජීවිතය සමඟ කුමක් කළ යුතු ද?” ආදී වශයෙන් සිතමින් ඔබ ව්‍යාකූල බවට පත් වීමෙහි එතරම් අරුමයක් නොමැත. රජතුමාගේ ඇඳුම් ගැළවීම හා සමාන ව පසිඳුරන්ගෙන් මිදීමෙන් “මෙතැන ඇත්තෙන් ම සිදු වන්නේ කුමක් ද? පැවැත්ම ගෙන යන්නේ කවරෙක් ද? මේ වචන කියවා තේරුම් ගන්නේ කවු ද? දකින්නේ කවු ද? ජීවිතාස්වාදය විඳින්නේ කවරෙක් ද? මේ කවු ද?” යනාදිය දැන ගැනීමට පුළුවන. ඔබ මේ ප්‍රශ්නයන්ට නිවැරදි පිළිතුරු සොයා ගැනීමට ආසන්න වනුයේ පසිඳුරන්ගෙන් මිදුණු විටය.
මනස
මෙවැනි ගැඹුරු භාවනාවක දී ඔබ දකින්නේ ‘මනස’ නමින් හැඳින්වෙන දෙයයි. පාළි භාෂාවෙන් එය හැඳින්වෙනුයේ ‘චිත්ත’ යනුවෙනි. මෙය විස්තර කර දීම සඳහා බුදුරජාණන් වහන්සේ ඉතා ලස්සණ උපමාවක් ගෙන හැර දක්වා ඇත. පසළොස්වක් පොහොය දිනයක දී, අහස වළාකුළුවලින් වැසී ඇති නම් පුර සඳ අහසෙහි ඇතත් එය දැකීමට අපහසුය. වළාකුළු තුනී නම්, සමහර විට එහි අපැහැදිලි හැඩය යන්තමින් දැක ගත හැකිය. එතන යමක් ඇති බව ඔබ නිසැක ව ම දනී.
භාවනාවේ දී මෙම බලගතු අවස්ථාවන් කරා එළඹීමට මොහොතකට පෙර තත්ත්වය ද මෙයාකාරය. යමක් ඇති බව හැඟුණත්, එය නිශ්චය කර ගැනීම උගහටය. ‘ඇඳුම්-පැළඳුම්’ කිහිපයක් තවමත් ඉතිරි ව ඇත. ඔබ තවමත් සිතමින් සහ කරමින්, ගතෙහි වේදනා විඳිමින් හෝ ශබ්දයන්ට ඇහුම්කන් දෙමින් සිටී. නමුත් යම් අවස්ථාවක දී තථාගතයාණන් වහන්සේ උපමා කර සිටි අයුරින්, වළාකුළුවලින් මිදී, පැහැදිලි අහසෙහි බබළන සඳෙහි සම්පූර්ණ වටරවුම දුටු විට, ඔබ එය සඳ බව දැන ගනී. සඳ එතන ඇත. සඳ සත්‍ය වශයෙන් ම පවතින දෙයකි. එසේ නැති ව එය වළාකුළුවල බලපෑමෙන් ඇති වූ දෙයක් නො වේ.
එලෙස ම, මනස මොළයේ බලපෑමෙන් ඇති වූ දෙයක් නො වන බව ඔබ හොඳාකාර ව ම දැන ගනී. ඔබ මනස දකී. ඔබ මනස දැන ගනී. “මිදුණු ප්‍රකaති මනස පියකරුය, දීප්තිමත්ය, ප්‍රභාස්වරය” යි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට තිබේ. මෙම අත්දැකීම් ඉමහත් ප්‍රමෝදයක් ගෙන දෙනවා පමණක් නො ව අර්ථසහගත ද වේ.
පුනරුත්පත්තිය පිළිබඳ ව අසා ඇතත් තවමත් එය නො පිළිගන්නා අය කීදෙනෙක් ඇද්ද? නැවත ඉපදීම සිදු වන්නේ කෙසේ ද? ශරීරයට නැවත ඉපදීමේ හැකියාවක් කොහෙත් ම නොමැත. මළ පසු අප යන්නේ කොහාට දැයි සමහරුන් මගෙන් ප්‍රශ්න කරන විට මා පවසන්නේ එය ‘තැන් දෙකකින්’ එකක් විය යුතු බවයි. එක්කෝ වළපල්ලට නැති නම් දර සෑයටයි. ශරීරය යන්නේ එතැනටයි. නමුත් මනස යන්නේ එතැනට ද?
මෙලොව ජීවත් වන පුද්ගලයින් බොහෝ දෙනකු මෝඩකම නිසා සිතා සිටින්නේ, හැසිරෙන්නේ, මනසක් නැති, ශරිරයක් පමණක් ඇති අය සේය. එම නිසා ආදාහනය කිරීමෙන් හෝ භූමදානය කිරීමෙන් හෝ පසු සියල්ල නිමයි, සිදු වී අවසානයි. කෙලවර එයයි යනුවෙනි. මෙම මතය බිඳ හෙළිය හැක්කේ බෝගස යට දී බුදුජාණන් වහන්සේ භාවනාව තුළින් අත් කර ගත් එම නුවණ ලබා ගැනීම සඳහා අපේ භාවනාව ද දියුණු කර ගැනීමෙනි. පැහැදිලි සිහි බුද්ධියෙන් සිටිය දී ම ඔබට ම ඔබේ මනස දැක ගත හැකිය. එය ඔබ දැක ගන්නේ, මනස සම්මෝහණයට පත් කර ඇති විටක දී වත්, කුසීත ව සිටිනා විටක දී වත් නො ව, ඉතා පැහැදිලි සිහි බුද්ධිය ඇති ව භාවනායෝගී ව සිටින විටක දීය.
මනස දැක ගැනීම
තමා ම මනස දැක දැන ගත් පසු ලබා ගන්නා වූ එක් ප්‍රතිඵලයක් වන්නේ මනස ශරීරය හා අසම්බන්ධ ව පවතින දෙයක් බව සිහි-නුවණින් දැන ගැනීමයි. මෙම නිදහස් බවින් අදහස් කෙරෙන්නේ ගත දුබල වී මරණයට පත් වූ විට එය භූමදානය හෝ ආදාහනය හෝ අන් ක්‍රමයකින් හෝ විනාශ කර දැමුවත් එයින් මනසට හානියක් නො පැමිණෙන බවයි. ඔබ මෙය දැන ගන්නේ මනසෙහි යථා ස්වභාවය දැක ගැනීමෙනි. ඔබ දකින මනස, ශරීරයේ අභාවය අභිබවා සිටී.
ප්‍රථමයෙන් ම තමාට ම දැක ගන්නට ලැබෙන, මුහුණෙහි පිහිටා ඇති නාසය මෙන් පැහැදිලි, විදසුන් නුවණ වන්නේ ‘මම’ ලෙස සිතා සිටින මේ ශරීරයට වඩා වැඩි වැදගත් යමක් ජීවිතය හා සම්බන්ධ ව පවතින බවයි. දෙවනු ව, ඔබට අවබෝධ කර ගැනීමට හැකි වන්නේ මෙම මනස සහ සෑම සත්වයකු වෙත ම නො කඩවා පවත්නා වූ විඥානය (විඥාන සන්තතිය) අතර සැලකිය යුතු වෙනසක් නැති බවය. මනුෂ්‍යයෙක් වේවා, තිරිසනෙක් වේවා, කෘමියෙක් වේවා, ලිංග භේදයෙන් තොර ව, ඕනෑ ම වයසක, ඕනෑම ජාතියකට අයත් සෑම ජීවිතයකට ම පොදුවේ ඇත්තේ මෙම මනසයි. මෙම විඥානයයි, මෙම ක්‍රියා මූලයයි.
මෙය පැහැදිලි වීමෙන්, අනෙකුත් සත්වයින් වෙත පවත්නා වූ තම ගෞරවාදරය බලගතු වේ. එය හුදෙක් තම ජාතිය, තම වර්ගයා හෝ තම ආගම හා සම්බන්ධ මනුෂ්‍යයින්ට පමණක් සීමා වූවක් නො ව, පොදුවේ සෑම සත්වයකු ම වෙත දැක්විය හැකි ගෞරවාදරයෙකි. එය උදාර මාහැඟි අදහසකි: “සෑම සත්වයෙක් ම සතුටට පත් වේවා, නීරෝගී වේවා, සෑම ජාතියකට ම, පුද්ගලයකුට ම, සෑම සත්වයකුට ම අපි ගරු කරමු.”
කෙසේ වෙතත් එම තත්ත්වයට අප පත්වන්නේත්, හදවතෙහි දයාව උපදින්නේත්, මූලික වශයෙන්, අන්‍යයන් හා අප අතර ඇති සමානත්වය දුටු විටය. හරකකු අපට වඩා හාත්පසින් ම වෙනස්යයි ද, හරකෙක් මනුෂ්‍යයින් මෙන් නො සිතයි ද කියා සලකා ගත් විට, ඉන් එකකු මරා කෑම පහසුය. නමුත්, ඔබට ආච්චි අම්මා කෑ හැකි ද? ඇය ඔබට හුඟාක් සමානය. ඔබට කූඹියකු මැරිය හැකි ද? බොහෝ විට ඔබ කුහුඹුවන් මරන්නේ, ඔවුන් හා අප අතර සමානත්වයක් නැති බව සිතීමෙනි.
නමුත් කුහුඹුවන් දෙසට ළං වී සැලකිල්ලෙන් බැලුව හොත් එතරම් වෙනස්කමක් දැක ගැනීමට නො හැකි වනු ඇත. ස්වභාව ධර්මයට ආසන්න ව, කැලෑවේ ආරණ්‍යයක වාසය කරන විට පැහැදිලි ව වටහා ගන්නා වූ කරුණක් වන්නේ තිරිසනුන්ට ද චිත්ත වේග ඇති බවත්, විශේෂයෙන් ම දුක් වේදනා දැනෙන බවත්ය.
පිළිහුඩුවන්, මීයන්, කුහුඹුවන් හා මකුළුවන් වැනි සතුන් වෙත ඇති පෞද්ගලිකත්වය ඔබට දaශ්‍යමාන වේ. සෑම මකුළුවකුට ම ඔබට මෙන් මනසක් ඇත. මෙය දුටු විට බුදුරජාණන් වහන්සේ සෑම සත්වයකු වෙත ම දැක්වූ දයාව ඔබ වටහා ගනී. එපමණක් නො ව, සත්ව වර්ගයන් අතර පුනරුප්පත්තිය මනුෂ්‍යයින් මනුෂ්‍යයින් ලෙස ම නො ව, මනුෂ්‍යයින්, තිරිසනුන් ලෙස හෝ තිරිසනුන්, මනුෂ්‍යයින් ලෙස හෝ උපත ලැබීම සිදු වන්නේ කෙසේ දැයි කියා යම් කිසි හැඟීමක් පහළ වනු ඇත. මේ සෑම දෙයකට ම මූලික වන්නේ මනස බව ඔබට පැහැදිලි වනු ඇත.
භූත ලෝකවල සහ දේව ලෝකවල ගතක් නොමැති ව මනස පැවතිය හැකිය. “එසේ පවතින්නේ කෙසේ ද? එම පැවැත්ම සිදු වන්නේ කෙසේ ද? ඔවුන් කවරහු ද?” යනාදිය ඔබට ඉතා පැහැදිලි වනු ඇත. මෙම බලගතු ඥානයන් සහ අවබෝධයන් අත් කර ගන්නේ භාවනාවේ ඉතා ගැඹුරට ගිය විටය. මේ සැමට ම වඩා වැදගත් වන්නේ මනසෙහි ස්වභාවය දැන ගැනීමෙන් විඥානයේ ස්වභාවය අවබෝධ කර ගැනීමට හැකි වීමය. නිසලතාවයේ ස්වභාවය ඔබ දැන ගනී, ජීවිතයේ ස්වභාවය හඳුනා ගනී. “කුමක් විසින් මනස වටයෙන්-වටයට කරකවයි ද? නැවත-නැවතත් උපත සොයමින් මනස කැරකෙන්නේ මන්ද?” යනාදිය ඔබ වටහා ගනී, කර්ම නීතිය පසක් කර ගනී.
තුන් නුවණ
පළමුවන නුවණ
බුදුරජාණන් වහන්සේ බෝරුක මුල දී ත්‍රිවිධ ඥානයක් ලබා ගත් සේක. පෙර ජීවිතවල මතකය ලබා ගැනීම ඉන් පළමු වැන්න විය. කෙනකු මනස වෙත ආසන්න වන විට තම අත්දැකීම් සමඟ ම නොයෙකුත් අන්දමේ බල සහ ශක්තීන් ද ඔහු ලබා ගනී. මෙම බල සහ ශක්තීන් යනු මනස යොදා ගැනීමේ සහ හසුරවා ගැනීමේ සූක්ෂ්ම හැකියාව හැර අන් දෙයක් නො වේ. ගැඹුරු භාවනා අවධීන් වෙත නිතරනිතර එළඹීමට හැකියාව ලත් විට මනස ඉතා හොඳින් හසුරවා ගැනීමට හැකි වේ. බුදුරජාණන් වහන්සේ කළ එක් දෙයක් වූයේ මනසට අතීතය වෙත යාමට අණ කිරීමය. මෙවැනි ගැඹුරු භාවනා අවධීන් වෙත එළඹීමෙන් පසු ව ඔබට ද මෙය කළ හැකිය. “ඔබගේ පැරණි ම මතකය කුමක් ද? තවතවත් ඈතට, ඈතට යන්න.” මේ අයුරින් මනස හසුරවන හික්ෂූන් වහන්සේලා තම ළදරු වියේ මතකය ලබා ගනිති. තමා උපත ලැබූ මොහොත පවා මේ මතකයට අඩංගු විය හැකිය.
සමහර අය කියා සිටිනුයේ ඔබට උප්පත්තියේ දී විඥානයක් නො තිබුණු බවයි. ඒ සඳහා අවශ්‍ය ‘නියුරෝන -ස්නායු ශෛශල’: එම අවධියේ දී දියුණු වී නැති බව හෝ ඒ හා සමාන දේ හෝ ඔවුහු හේතු කොට දක්වති. නමුත් උපතෙහි මතකය ඉස්මතු වූ විට ඔබට හැඟෙන්නේ එම උපත හා සම්බන්ධ සෑම අත්දැකීමක් ම තමන් විඳිනා බවකි. ඉන් පසු මතකයේ ඊටත් වඩා ඈත අතීතයට යාමට, තමාගෙන් ම ඉල්ලා සිටි විට පෙර ජීවිත මතකයට පිවිසීමට ඔබට හැකි වන්නේය. භාවනාව තුළින් තමාගේ පෙර ජීවිත දැන ගනී. පුනරුත්පත්තිය අවබෝධ කර ගනී. බෝගස යට දී උන්වහන්සේ ප්‍රගුණ කළේ මෙයයි. මනසට සිදු කළ හැකි දේ හා එය සිදු වන ආකාරය ඔබ වටහා ගනී. මේ බුදුරජාණන් වහන්සේ ලබා ගත් පළමුවෙනි නුවණයි.
දෙවන නුවණ
“ඔබ නැවත උපදින්නේ කෙසේ ද? ඔබ නැවත උපදින්නේ මන් ද? ඔබ නැවත උපත ලබන්නේ කොතැනක ද?” යනු දැන ගැනීම දෙවන නුවණයි. මේ කර්ම නීතියයි. කෙනෙක් පොතක් ගෙනවුත් අද මට පෙන්වීය. එය නොමිලයේ බෙදා දීම සඳහා ලැබී ඇති, අවාසනාවකට මෙන් මා කියවා නැති, පොතකි. කර්ම නීතිය පිළිබඳ ව එහි ඇති සමහර අදහස් ඉතා අස්වාභාවිකය. මගේ මතකයේ හැටියට, බිම දිගා වී ගෙන සූත්‍රයක් කියවුව හොත්, ඊළඟ ජාතියේ දී දුබල පිට කොන්දක් සහිත ව උපදින බවක් එහි සඳහන් ව ඇත. නියම මෝඩ අදහස්!, කර්මය මීට වඩා බොහෝ සෙයින් සංකීර්ණය. එය මූලික ව ම රඳා පවතින්නේ මනසේ චේතනාත්මක ගුණය උඩය.
කර්මය නිශ්චය කෙරෙන්නේ මුළුමනින් ම වාගේ මනසෙහි ඇති වන ඇදී යාම, ඇලී යාම මතය. කළ දේ මත ම පමණක් නො වේ. “කොතැනින් එය මතු වූයේ ද? මතු වීමට හේතුව වූයේ කුමක් ද?” ආදිය ද මූලික වේ. භාවනාවේ දී ඔබ මෙය දැක ගන්නවා පමණක් නො ව, එම මනස සහමුලින් ම නිදහස් වන්නේ කෙසේ දැයි කියාත්, ඔබ දැක ගනී. කර්මය පිළිබඳ ව මෙවැනි නිසරු අදහස් අප අතර සුලභ ව ඇත. බොහෝ විට මෙවැනි අදහස් දැරීමට හේතු වන්නේ, කර්මය සහ කර්ම විපාකය අතර වෙනස හරියාකාර ව වටහා නො ගැනීමය.
තෙවන නුවණ
දුක නැති කිරීම පිළිබඳ ව ලත් නුවණ තුන්වැන්නයි. ආර්‍ය්‍ය සත්‍යයන් සතර වටහා ගැනීමෙන් යථාවබෝධය සහ නිවනට මඟ කුමක් ද යන්නත් සහ එමෙන් ම එහි නියම අර්ථයත්, පහදා ගනී. එහි අර්ථය නිදහසයි, මනස නිදහස් වීමයි. විශේෂයෙන් ම එය ගතින් නිදහස් වේ. ගත ඇසුරු කොට උපදින්නා වූ දුක් වේදනාවලින් පමණක් නො ව, එය හා ඇසුරු කොට උපදින්නා වූ සැප වේදනාවලින් ද (සැපයට ඇලීම මහත් දුකකි) නිදහස ලබා ගනී. මෙයින් අදහස් කෙරෙනුයේ කාමුක ආසාවන් වෙත සිත ඇදී යාමක්, දුක් වේදනා පිළිබඳ ව බියක්, ශරිරය ජරාවට පත් වීම, දිරා යෑම පිළිබඳ දොම්නසක්, සිතෙහි ඊෂ්‍යාවක්, වෛරයක්, අහිතක්, අනාදරයක්, විවේචනයට බියක් තව දුරටත් ඇති නො වීමය. තමන් වෙත එල්ල වන විවේචන, ගැරහීම් ආදියට පුද්ගලයින් බිය වන්නේ ඇයි? හේතුව ස්වාභිමානය හැර අනෙකක් නො වේ. ඔවුන් තමන් ලෙස යම්කිසිවක් අල්ලා ගනී. මේ සෑම දෙයකින් ම නිදහස් වූ ලෙසට, ඔබ මොහොතකට සිතන්න. එය කොයි වාගේ හැඟීමක් වෙයි ද? බියක් නැත, ඇලීමක් නැත, මේ මොහොතින් ඉවත් වීමට අවශ්‍යතාවයක් නැත. වෙන අයුරකින් පවසනවා නම් නැති වීමට කිසිවක් නැත, අඩුවක් නැත, කිරීමට දෙයක් ඉතිරි ව නැත, යා යුතු තැනක් නැත, මොනයම් දෙයක් වුවත් කම් නැත, හේතුව ඔබ මෙතැන සිටින්නේ සර්ව සම්පූර්ණ ප්‍රීතියෙන් වීමය. යථාවබෝධයේ අරුත මෙයයි. මෙම භාවනාව බුදුරජාණන් වහන්සේ ලත් යථාවබෝධයේ මූලයයි, ඔබේ යථාවබෝධයේ මූලය වන්නේ ද එයයි.
එම භාවනාවෙන් තොර ව යථාවබෝධයක් නොමැතිය. එම නිසයි බුදු දහම මනෝරෝග චිකිත්සාවක්, දර්ශන වාදයක්, ආගමක් යන සෑම දෙයක් ම අභිබවා සිටිනුයේ. එය මනුෂ්‍යත්වයේ පතුළට ම කිඳා බසී. සෑම පුද්ගලයකුට ම ඒ සඳහා හැකියාවක් සහ සුදුසු මනසක් ඇත. භාවනා කරන්නේ කෙසේ දැයි ඔබ දනී. අය කිරීමක් නොමැති ව, අවශ්‍ය සෑම උපදෙසක් ම භාවනා උපදේශකයෝ විස්තර කර දෙති. ඔබට එය කිරීමට උවමනා ද? බොහෝ විට ලැබෙන උත්තරය “සමහර විට හෙට, අද නම් ටිකක් අමාරුයි” යන්නය. ඒ කෙසේ වෙතත්, එම බීජය, එම සත්‍යය, ඔබේ මනසෙහි තබා ඇති නිසාත්, භාවනාවේ දැනටමත් ඔබ යෙදී ඇති නිසාත්, ඒ පිළිබඳ ව උනන්දුවක්, උද්යෝගයක් ඔබ තුළ ඇත.
සත්‍යාවබෝධය, සාමය පිළිබඳ හැඟීම සිත කුල්මත් කරයි. මෙම මඟට එරෙහි ව යෑම ඔබට කිසිසේත් ම කළ නො හැකිය. ඔබට එය කලකට කල් දැමිය හැකිය. එය සමහර විට ජීවිත කාල කිහිපයක් විය හැකිය. නමුත් මේ පිළිබඳ ව පුදුමය වන්නේ, කෙනකු මිට අවුරුදු කිහිපයකට උඩ දී පැවසූ ආකාරයට “මෙම ඉගැන්වීම් අසන්නට ලැබුණු විට ඒවා ඉවත දැමීම කළ නො හැකිය.” ඔබට ද ඒවා අමතක කළ නො හැකිය. ඔබ කුමක් විශ්වාස කළ යුතු දැයි ඒවා නො පවසයි. ඒවා හුදෙක් තර්කානුකූල වූ සිද්ධාන්ත ද නො වේ. නමුත් ඒවා පෙන්නුම් කර සිටිනුයේ ඔබට තේරුම් ගත හැකි, අත්දැකිය හැකි දේවල්ය. එතකුදු නො ව, ගැඹුරට යාමත් සමඟ ම මේවා පිළිබඳ ව සහජ ඥානය ඇති කර ගැනීමට ඔබට හැකියාව ද ලැබේ.
බුදුරජාණන් වහන්සේ අතිවිශිෂ්ට උත්තරීතර පුද්ගලයෙකි. උන්වහන්සේ වෙත තිබූ එකලස් බව, කරුණාව සහ ප්‍රඥාව අසීමිතය. සිත් ඇද ගන්නා යමක් යථාවබෝධය තුළ ඇත. එයාකාර ව ම අමතක කොට සිටිය නො හැකි යමක් නිදහස පෙන්නුම් කර සිටී. එනිසා බුදු දහම පෙන්නුම් කර සිටිනුයේ කුමක් දැයි ඔබ ටිකින්ටික වටහා ගනී. පොතපත කියවීමෙන් වත්, මා පැහැදිලි කර දෙන දෙයින් වත්, ඔබ බුදු දහම අවබෝධ කර නො ගනී. එය වටහා ගත හැක්කේ සාමකාමී භාවනා වාරවල දී ඔබ ලබා ගන්නා අත්දැකීම් තුළිනි. බුදු දහම ඉගැන්වෙනුයේ එතැන්හි දීය. එම නිසා ඔබේ භාවනාවෙන් තෘප්තිමත් වන්න, යථාවබෝධය ගැන බිය නො වන්න. භාවනාවෙහි යෙදෙන්න. ඉන් ප්‍රීති වන්න, ඔබ කිසි දිනක පසුතැවිලි නො වනු ඇත.
මෙයයි බුදු දහම, භාවනාව සහ යථාවබෝධය එහි හදවතයි. එහි හරයයි. මෙතෙක් පැවසූ දේවලින් කොටසක් වත් ඔබ හට වැටහේවා යනු මගේ පැතුමයි.
(දැන් “බුදු දහමෙහි හදවත භාවනාවයි – දෙවන කොටස” කියවන්න)