අජාන් බ්රහ්මවංසෝ ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්
සංස්කාරකගෙන්:
දුකක් ලෙස අප සලකන බොහෝ දේ අතුරින් ‘අසනීපවීම සහ මරණය’ දරුණු වේදනා ගණයට වැටේ. අපි බොහෝ දෙනෙක් ‘දුකෙහි තරම ද’ දන්නෙමු. එහෙත් අනෙක්වා සේම ‘ලෙඩවීම හා මරණය’ පිළිබඳව ද අප තුළ පවතින නිවැරදි නොවන දැක්ම හා ආකල්ප නිසා අනවශ්‍ය දුකක අප ගිලෙන බවත්, උගත යුතු බොහෝ දේ එහෙයින් මගහැරෙන බවත් නො දන්නෙමු.
අසනීප හා මරණය දුකක් නොවන්නේද? ඒවා සමග සාමකාමීව කටයුතු කිරීමට හැකියාවක් ඇත්ද? ලෙඩ හා මරණය තුළ සත්‍යවශයෙන් ම ගැබ්ව ඇත්තේ මොනවාද? එලවා දැමීම, පොරබැදීම, හඬාවැටීම අත්හැර දමා ලෙඩ හා මරණය පිළිබඳව අපගේ දැක්ම, අවබෝධය නිවැරදි කර ගන්නේ නම් ජීවත්වීම මීට වඩා පහසු නොවන්නේද? ජීවිතය සුන්දර නොවන්නේද?
ප්‍රඥා ඇස අරවන බුද්ධ පුත්‍රයෙකුගේ දෙසුමකි මේ. සන්සුන්ව කියවන්න. මරණය සහ ලෙඩරෝග සමග අප තුළ ඇතිවන ‘පොරබැදීම’ , ‘තරහව’ සංසිඳී….. සැනසීම උදාවන අයුරු විඳින්න. මෙම දේශනය කර ඇත්තේ ලෝවැසි බෞද්ධ ප්‍රජාව අතර ගෞරවාදරයට පාත්‍රව සිටින අජාන් (ගුරුතුමා)
බ්‍රහ්මවංසෝ මහ තෙරුන්වහන්සේ විසිනි. සෙෙද්ධාන්තික භෞතික විද්‍යාව පිළිබඳව බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියේ උපාධිධාරියකු වූ උන්වහන්සේ භද්‍රයෞවනයේදී ම තායිලන්තයට ගොස් පැවිදි වූහ. සුප්‍රසිද්ධ අජාන් චා මාහිමිපාණන් වෙතින් වසර ගණනක් ආරණ්‍යවාසි බෞද්ධ පිළිවෙත පුහුණුවී සැනසීමට පත්ව වසර හතලිහකට ආසන්න ප්‍රීතිමත් මහණ දිවියක් ගෙවා ඇති එතුමෝ මේ වන විට ඕස්ට්‍රේලියාවේ වැඩ වසති. මෙම පරිවර්තනය බ්‍රහ්මවංසෝ තෙරුන්වහන්සේගේ අවසරය මත අප පාඨකයන්ට පිදෙන ධර්ම දානයකි.
ගීතානි පෙරේරා.
පරිවර්තකගෙන්:
අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාවක් ඇසුරෙන් සැකසූ ‘ලෙඩරෝග, මරණය සහ සාමය’ යන මෙම ලිපිය පරිශීලනය කිරීමෙන් ඇතැම් විට ඔබට ජීවිතයේ නො දුටු පැත්තක් දැකිය හැකි වනු ඇත. ජීවිතය තුළින් ලබන කටුක අත්දැකීම් යුගලයක් වන ලෙඩරෝග හා මරණය සඳහා මුහුණ දිය යුතු ආකාරය එතුමෝ අනුශාසනයෙන් පමණක් නොව ආදර්ශයෙන් ම ප්‍රකට කරති.
නිදසුන්, කතානුසාරයෙන් කරුණු දක්වන උන්වහන්සේ, ඕනෑම මොහොතක සිත තුළ සාමය ඇති කර ගැනීමෙන් ලෝකයා ප්‍රශ්න – ගැටළු යැයි හඟින දේවල්වලින් ජීවිතාවබෝධය ළඟා කර දෙන බව පෙන්වා දෙති.
සියලු දේවල් හා ප්‍රාණීන් ඇති ව, පැවතී, නැති ව යන බැවින් අනිත්‍ය නම් වූ ද, නිතර දුක් ගෙන දෙන බැවින් දුක් නම් වූ ද, තමන් කැමති සේ නොපවත්නා බැවින් අනාත්ම නම් වූ ද බුදු දහමේ ගැඹුරු මූලික සිද්ධාන්තයන් පිළිබඳ අවබෝධය ලබා දෙන්නේ අප කාහටත් ප්‍රායෝගිකව අත්හදා බැලිය හැකි ‘අත්හැරීම’ නම් වූ සරල ක්‍රියාවෙනි. එමගින් ධර්මාවබෝධය ද, ඔබේ ජීවිතයට තිරසාර සාමය ද උදා වනු ඇත.
කථා කරන භාෂා ශෛලීයයෙන් ලියවුනු මුල් පිටපත ව්‍යාකරණයානුකූලව සංස්කරණය කර දීමට සහාය වූ ගීතානි පෙරේරා මහත්මිය පිං දීමෙන් යුතුව සිහිපත් කරමි. ලෙඩරෝග සහ මරණය හේතු කොට ගෙන සිත්තැවුලින් පසුවන බොහෝ දෙනෙකුගේ හදවත් සිසිල් කිරීමට මාහැඟි ඔසුවක් බඳු වූ මෙම දේශනය අප වෙත ඉදිරිපත් කිරීමෙන් සහ එය පරිවර්තනය කිරීමට අවසර දීමෙන් දක්වන ලද අනුග්‍රහය වෙනුවෙන් අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන්වහන්සේට අප සැමගේ නමස්කාරය මේ සමග පුද කිරීමට කැමැත්තෙමි.
මේ පොත කියවීමෙන් හා කරුණු අවබෝධයෙන් ඔබේ ජීවිතයට සාමය උදාවේවා!
ජෝර්ජ් කාරියවසම්.
ලෙඩරෝග මරණය හා සාමය
(අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන්වහන්සේ විසින් මැලේසියාවේ ‘බුඩිස්ට් ජෙම් ෆෙලෝෂිප්’ බෞද්ධ ආයතනයේදී වසර 2001 මැයි මස 30 වන දින පවත්වන ලද දේශනයේ සිංහල අනුවාදයයි මේ.)
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ///
ලෙඩරෝග මරණය ඉදිරියේ අප ඉවසීමෙන් හා සැනසීමෙන් ඉන්නේ කෙසේද කියා මෙම සැන්දෑවේදී කථාකිරීමට මම අදහස් කරමි. ‘බුදු දහම’ බටහිර රටවල සීඝ්‍රයෙන් පැතිර යන්නේ සාමාන්‍ය ජීවිතයේදී පැන නගින බොහොමයක් ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් මග පෙන්වන නිසා බව වෙසෙසින් සඳහන් කරන්නෙමි. එම ප්‍රශ්න ඒ ඒ ආකාරයෙන් මතු වීමට මූලික වූ හේතුන් මොනවාද යන්න හඳුනාගැනීමටත් අපට එම දහම අවස්ථාව ලබා දී ඇත.
අසනීප හා මරණය වැනි අවස්ථා සමග සාමය ඇති කර ගැනීමට බෞද්ධ දර්ශනය, බෞද්ධ අදහස්, විශේෂයෙන් ම බෞද්ධ පුහුණුව අපට උපකාරී වේ. අසනීපයකින් පෙළෙන එසේ නැති නම් මරණාසන්නව සිටින බෞද්ධයින්, එසේ නැතහොත් මියගිය බෞද්ධයකුගේ නෑදෑ හිතවතුන් එම වේදනාව විඳදරා ගන්නා අන්දම අබෞද්ධයින්ගේ විස්මයට ද හේතුවී ඇත. ලෙඩරෝග හා මරණය බොහෝ දෙනෙකුට ඉසිලීමට අපහසු දුකකි.
එසේ වුව ද බෞද්ධයින් එම අපහසුතාවයට මුහුණදෙන ආකාරය දැකීමෙන්, ඒ ගැන විමසිලිමත් වන අන්‍යාගමිකයින් පවා මරණය හා අසනීප වැනි අවස්ථා දෙස බෞද්ධ ඇසකින් බැලීමට වෑයම් කරති.
ජීවිත කාලය පුරා අප සෑම දෙනෙක් ම සොයනුයේ සතුටයි. බුද්ධ දර්ශනයට අනුව ඔබ ‘නියම සතුට’ ලබාගන්නේ ජීවිතය තේරුම්ගැනීමත් සමගිණි. තත්ත්වාකාරයෙන් ඇති හැටියෙන් අප ‘දේවල්’ තේරුම්ගන්නේ නම් ජීවිතයේ පැනනගින දුක් කම්කටොලු මගහරවා ගැනීමට එය උපකාරී වේ. බුදු දහම යන්නෙන් අදහස් කරන්නේ මෙවැනි බෞද්ධ මධ්‍යස්ථානයකට පැමිණ වන්දනාමාන කිරිම පමණක් ම නොවේ. ඔබ පැමිණ, ඔබ පුහුණුවී සත්‍යය අවබෝධ කර ගැනීම බුදු දහමයි. පුහුණුව තුළින් ඔබ ජීවිතය තේරුම් ගනී. එය හරියාකාරව තේරුම් ගැනීමෙන් ජීවිතය විසින් දිනපතා ඔබ හමුවට රැගෙන එන ප්‍රශ්න අමාරුකම් රාශියක් මග හරවා ගැනීමට හැකි වේ.
අප දැන් උත්සාහ කරමු….. අසනීපයකදී හෝ මරණයට මුහුණපෑමට සිදු වූ විට ඇතිවන දුෂ්කරතාවන් පිළිබඳව විමසා බැලීමට. මම ඔබෙන් ප්‍රශ්නයක් අසමි, ජීවිතයේ කිසිදාක ලෙඩ නො වූ කෙනෙක් අප අතර සිටින්නේද? නැත. අප සියලු දෙනා ම ජීවිතකාලය තුළ දී විටින්විට ලෙඩරෝගවලින් පෙළී තිබේ. කිසිදිනක අසනීප නො වූ අයෙක් සිටී නම් එය අසාමාන්‍ය තත්ත්වයකි, අරුම පුදුම දෙයකි, ලොකු විහිළුවකි. එසේ නම් කොතැනක හෝ කාට හෝ වැරදීමක් වී ඇත.
සත්‍යවශයෙන් ම අසනීපවීම සාමාන්‍ය දෙයකි. ස්වභාවික දෙයකි. සිදුවිය යුතු දෙයකි. එසේ නම් පසුගිය වර දොස්තර මහතා වෙත ගිය විට “දොස්තර මහත්තයෝ මොකක් හෝ වැරැද්දක් වෙලා තියෙනවා. මට සනීප නැහැ” කීවේ මන්ද? ඔබ බෞද්ධයෙක් නම් නැවත වරක් වෛද්‍යවරයකු වෙත යාමට සිදු වූ විට කියන්න ඔහුට “දොස්තර මහත්තයෝ නියම විදිහට වැඩේ වුනා. මට සනීප නැහැ” කියා. සිනාසෙන්න එපා. සත්‍යය එයයි.
අසනීපයක් වූ විට දුක ඇති කර වන මූලික කරුණ මෙයයි. එනම්, එය වරදක් ලෙස සිතමින්, “ලෙඩවීම වැරදියි – ලෙඩ නොවිය යුතුයි” යනුවෙන් අදහසක් අපි ඇති කර ගෙන සිටින්නෙමු.
බොහෝ අය ව්‍යායාමයන්හි යෙදේ. ඇවිදීම – දිවීම – පැනීම – රතු හාල් බත් කෑම – කිරි බීම – පෝෂ්‍යදායි ආහාරපාන ගැනීම – ඒ සියල්ල අකුරට සිදු කරයි. එහෙත් අවසන “ලෙඩ වූ විට” ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල සුන්වේ. දුක තමයි! ඔවුන් ඒ සියල්ල කළේ දැඩි වෙහෙස මහන්සියෙනි. එහෙත් ලෙඩ වේ. ඔබ මොනවා කළත් කම් නැත. හොඳින් ඔබේ සනීපාරක්ෂාව රැක ගන්න. නමුත් ඒ මොනවා කළ ද, ලෙඩරෝග සෑදීම වැලැක්විය නො හැකි බව මතක තබාගන්න. කොහෙත් ම එහි අසාධාරණයක් නැත. අසනීප වූ පලියට නුවමනා වැරදි හැඟීමක් ඇති කර
නො ගන්න.
“වැරද්ද මා අතය” යන හැඟීමත්, අස්ථාන බියත් පිළිබඳව මා මීට පෙර දේශනා කර තිබේ. මේ දෙක ම වක්‍රාකාරයකින් අසනීපයත් සමග මතුවන ආකාරය දුටු විට පුදුම සිතේ. “වරද මා අතය”, “මා ප්‍රවේසම් වූයේ නැත” යන හැඟීම් අසනීප වූ විට අපට ඇති වේ. ඒ සමග ම තරමක බියකුත් මතු වේ. බිය ඇතිවනුයේ ශරීරය පාලනය කර ගැනීමට බැරි බව අපට හැඟීමෙනි. විශේෂයෙන් ම, යොවුන් වියේදී ඇඟපත හොඳින් ශක්තිමත්ව තිබෙන විට අපට ඕනෑම දෙයක් කිරීමට හැකියාව ඇත. අතපය අපට අවනතය. සිතුණු සිතුණු ආකාරයෙන් ඒවා හැසිරවීමට පුළුවන. නමුදු අසනීප වූ විට අපට හිතුමනාපයට වැඩකටයුතු කර ගැනීමට නො හැක. සිරුරට පණ නැත. අවශ්‍යතා ඉටු කර ගැනීමට බැරි වූ විට අපට ම ලැජ්ජා සිතේ. මේ අතර ශරීරය පාලනය කර ගත නො හැකි වේ යැයි බියක් ද අප තුළ ඇති වේ.
අසනීප අපට පෙන්වා දෙන දෙයක් තිබේ. “ඇත්තට ම කාට ද ශරීරය අයිති? එය අයිති ඔබටද?”…. එවැනි අයිතිවාසිකමක් ඇත්නම් “අසනීප වෙන්න එපා” යැයි කීමට අපට හැකියාවක් තිබිය යුතුය. ලෙඩ නිවාඩු දමා නිවසේ රැඳීමට සිතුණු විට ඇත්තට ම අසනීප වීමට ඔබට අවශ්‍යය. නමුත් බොරුවටවත් එය කළ නො හැක. එය එසේ නො වේද? නමුත් ඔබ සැබෑවට ම අසනීප වන්නේ කොහෙත් ම වුවමනාවක් නොමැති වෙලාවකය. මහා කරදර වේලාවකය. සමහර විට අප අසනීප වන්නේ නිවාඩුවක් ගතකිරීමට යන්න සූදානම් වූ විටදීය. එසේ නැත්නම් මංගල උත්සවයක් වැනි වැදගත් කටයුත්තක් යෙදී තිබෙන දවසකය. අසනීප වන්නේ එසේ නො විය යුතු වෙලාවකය. එයින් පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද?…. අපට මේ අසනීප කියන දේවල් පාලනය කිරිමට කිසිදු හැකියාවක් නැති බවය. ඒවා ශරීරයත් සමග අපට ලැබෙන දේවල් පමණි.
ශරීරය පාලනය කළ හැකි කාටද?….. ශරීරය අයිති ඔබට නම් මෙසේ කීමට හැකි විය යුතුය. “මේ සුමානේ අසනීප වුනාට කමක් නැහැ. නමුත් ඊළඟ සුමානේ එහෙම වෙන්න නම් හිතන්නවත් එපා.”
නමුත් ගැටළුව එවැනි අණක් දීමට අපිට හැකියාවක් නැති වීමය. එම නිසා අසනීප පිළිබඳ අපේ ම අත්දැකීම්වලින් මෙම ශරීරය අපට අයිති දෙයක් නොවන වග, එය අයිති ස්වභාව ධර්මයට බව අපට ම අවබෝධ වේ. ස්වභාව ධර්මය යනු ධර්මයට කියන තවත් නමකි. ශරීරය අයිති ස්වභාව ධර්මයටයි. එය අයිති හේතුඵල ධර්මයටයි. එය අයිති කර්මයටයි. එය අයිති පරිසරය ආදී තවත් නොයෙකුත් දේවල් වලටයි.
මෙම ශරීරය ඔබ සතු දෙයක් නොවේ. අප අසනීප වූ විට ඒ බව ශරීරය අපට පෙන්වා දෙයි.
බුදු දහමේ මූලික සිද්ධාන්තයක් වන ‘අනත්ත’ යන්න අපි සියලු දෙනා අසා ඇත්තෙමු. එනම් “ආත්මයක් නැතැයි” යන අදහස. ‘අනත්ත’ යන්නෙහි අප දකින්නේ එම පැතිකඩයි. මේ ශරීරය මගේ නොවේ. එය මට අයිති නැත. ඒ නිසා ඊට සුදුසු කාලය පැමිණි විට ලෙඩරෝග වැළඳ ගනී. එසේ නැතුව අපට පහසු වෙලාවට නොවේ. අසනීපවීම අපේ වරදින් සිදුවන්නක් නොවේ. ඒ පිළිබඳව අපට කළ හැකි කිසිවක් නොමැති බව අප තේරුම් ගත යුතුය. ඉතින් එයට අප මොනවා කරන්නද? මාගේ සිත්ගත්, බුදු දහමේ එන වැදගත් කියමනක් ඇත.
“අපට කළ හැකි දෙයක් නැති තැන අපි මොකුත් කළ යුතු නැත.” … කුමක්ද එසේ නම් කළ යුතු? “පැත්තකට වී, ඒ අසනීපයෙන් හොඳට රස විඳින්න.”
අසනීපවීම කෙතරම් හොඳ දෙයක්ද? මා අසනීපවී නම් මෙසේ දේශනා පැවැත්වීමට මට සිදුවන්නේ නැත. මුළු දවස ම ඇඳේ දිගා වී සිටිය හැකියි. අන් සියලු දෙනා මා අසලට ම විත් මාහට සත්කාර කරනු ඇත. භික්ෂුන් වහන්සේ නමක් අසනීපවීම මහත් සතුටක් ගෙන දෙන කාරණයකි. එය අපේ දායකයින්ට පුණ්‍ය කටයුතු කර පිං රැස් කර ගැනීමට අවස්ථාවක් ලබා දීමක්ය. අවුරුදු කිහිපයකට උඩදී මම දන්නා ස්වාමීන්වහන්සේ නමක් චිකාගෝ නගරයට වැඩියහ. එනුවර ඒ වන විට අධික සීතලක් පැවතිණි. සීත සෘතුවේදි අධික ලෙස හිම වැටීම සිදුවේ. සෑම තැනක ම වතුර මිදී ඇත. දිනක් උන්වහන්සේ හිම මත ලිස්සා වැටී අතක් කඩාගත්තේය. දෙමව්පියන් බැහැදැකීමට ගොස් සිටි උන්වහන්සේට රෝහල් ගත වීමට සිදුවිය. උන්වහන්සේගේ මව කඩිනමින් වාට්ටුවට පැමිණියාය. ඒ සිද්ධිය ගැන කියද්දි උන්වහන්සේ පැවසුවේ මවගේ මුහුණේ තිබුණු සතුට, කිසිදිනක නො දුටු සතුටක් එවෙලේ ඇයගේ මුහුණේ තිබීම, උන්වහන්සේට මහත් ගැටළුවක් වූ බවය.
“අම්මට මොකද මේ වෙලා තියෙන්නේ? මගේ අතේ තියෙන වේදනාව දැනෙන්නේ නැද්ද? මගේ අත කැඩිලා. මේ හිනාවෙන වෙලාවක්ද? අම්මට තියෙන මෙෙත්‍රීය ඕකද?”
මෙහෙම සිතමින් සිටියදී මව තමන්ට දැනෙන සතුට පිළිබඳව පැවසුවාය. කාලයකට පස්සේ ඇයගේ වාරය පැමිණියා, ඇයට හැකි වී තිබුණා පුතාව තමා අසලින් රඳවාගෙන සුමාන ගණනක් තිස්සේ ළඟින් හිඳිමින් ඇයගේ සිතේ හැටියට තම පුත්‍රයාට ආදරය පෙන්වීමට.
එය ඇත්තක් නොවේද? අපට ආදරය කරන, සැලකිල්ලක් දක්වන අය, මෙවැනි අවස්ථාවලදී ඔවුන් අපව හොඳින් රැකබලා ගනී. එසේ නොවේද? එය කෙතරම් හොඳ දෙයක්ද? ප්‍රායෝගිකව මෙෙත්‍රීය දැක්වීමට ඒ අයට අපි අවස්ථාවක් ලබා දෙන්නෙමු. මෙෙත්‍රීය යනු “සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!” යි කියමින් හිදීම ම නොවේ. වැදගත් වන්නේ අවශ්‍ය තැනට ගොස් ඒ පිළිබඳව යමක් ඉටු කිරීමය. එම නිසා අසනීප අපිට, හොඳින් සැලකීම පුරුදු පුහුණු කිරීමට අවස්ථාවක් ලබා දෙනවා. අඩුපාඩුවලින් තොරව ඒ රෝගීන්ගේ අවශ්‍යතා සපුරා දී ඒ අයගේ සිත් සතුටු කිරීමට, සුවපත් කිරීමට අවස්ථාවක් අපට ලැබීම මොනතරම් හොඳද? ඔබ ලෙඩවී නම් එය මොනතරම් උතුම් පරිත්‍යාගයක්ද? හොඳ දෙයක්ද? ඔබ අන් අයට ඒ අයගේ මෙෙත්‍රීය දියුණු කර ගැනීමට, දයාව දියුණු කර ගැනීමට අවස්ථාවක් ලබාදීම එමගින් සිදුවෙනවා.
ලෙඩුන් බැලීමට රෝහලට ගිය විට ඔබ ප්‍රවේසම් විය යුතුය. බොහෝ විට රෝගියෙකු බැලීමට ගිය විට ඔබ මුලින් ම අසන ප්‍රශ්නය කුමක්ද? ඔබ අසන්නේ දැන් කොහොමද කියායි. ඔබ මේ අසන්නේ මොන මෝඩ ප්‍රශ්නයක්ද? එම උදවිය රෝහලේ සිටින්නේ අසනීප නිසයි. කුමක්ද එවිට ඔබ එම අයගෙන් බලාපොරොත්තු වන පිළිතුර? මෝඩ ප්‍රශ්නයක් ඇසුවා වගේ ම ඔබ කරන්නේ ඒ අයට කරකියා ගැනීමට දෙයක් ද නැති කර දැමීමයි. ඔබට රිදවීමට එම අයට වුවමනාවක් නැත. ඔබ අසනීප අයෙකුගෙන් එසේ විමසූ විට ඔවුන් බොරුකීමට පෙළඹෙති. සතරවන ශික්ෂාපදය කැඩීමට ඔබ ඒ අයට උපකාර කරයි.
“මට අද ටිකක් හොඳයි වගේ දැනෙනවා” ඔව්හු කියති. ඇත්තට ම ඔවුන්ට වුවමනා “අද කිසිකමකට නැහැ. අමාරුව වැඩියි වගේ දැනෙන්නේ, මොන මගුලකට ද ඒ මෝඩ ප්‍රශ්නය මගෙන් ඇහුවේ…..” යි කීමටයි. නමුත් ඔවුන්ට එසේ කියාගත නො හැකිය.
අසනීපවී ලෙඩ ඇඳේ සිටින අය බැලීමට එන උදවියගේ සිත් රිදවීමට නො හැකි නිසා, එවැනි මෝඩ ප්‍රශ්න ඇසූ විට බොරු කීමට ඔවුන්ට සිදුවේ. එම නිසා කරුණාකර ලෙඩෙකු බැලීමට ගිය විට එවැනි ප්‍රශ්න නො අසන්න. රෝගියකු වී රෝහලේ සිටින විට ඒ අය අසනීපය ගැන කථා කිරීමට අකැමැති බව ඔබ දැනගත යුතුය. වෛද්‍යවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සමග අසනීපය ගැන ඔව්හු ඇති තරම් කථා කර ඇත. තවත් ඒ පිළිබඳව කියවමින් සිටීමට ඔවුන්ට වුවමනා නැත. එම නිසා රෝගීන් බැලීමට රෝහලට ගිය විට ඔවුන් සමග වෙන දෙයක් කථා කරන්න.
“දැන් කොහොමද?”, “අද කොහොමද?”, “දැන් සනීපද?” මේවා රෝගියාගෙන් ඇසිය යුතු ප්‍රශ්න ද? රෝගය සුව වී නම් එම ස්ථානයේ ඔවුන් නතරව සිටීද?
අවුරුදු කිහිපයකට පෙර ටිබෙට් ජාතික භික්ෂුණියක් බැලීමට මම රෝහලට ගියෙමි. ඇය මහායාන, මම ථෙරවාද කියා කිසි ම ගැටළුවක් මට නොවීය. එ් එක් එක් අය බුදුදහම අදහන වෙනස් පිළිවෙත්ය. සියලු දෙනා මට එක හා සමානය. එම මෙහෙණිය අප ආරණ්‍යයේ ටික දිනකට නතරව සිටිද්දි අසනීප වූයෙන් අප ඇය රෝහල්ගත කළෙමු. ඇයට පිළිකාවක් වැළඳී ඇති බව දැන ගන්නට ලැබිණි. එය බොහෝ දුර පැතිරී තිබෙන්නක් ද විය. ඇය දැක බලා ගැනීමට අපි විටින්විට රෝහලට ද ගියෙමු. දිනක් ඇය ආරණ‍්‍යයට දුරකථන ඇමතුමක් දී මා කැඳෙව්වාය.
“අජාන්ට පුළුවන් ද මාව ඇවිත් බලන්න. මම හිතනවා තව දවස් දෙක තුනකට වැඩිය මට ජීවත් වෙන්න විදියක් නැහැ කියල. පිළිකාව හුඟාක් දුර විහිදිලා.”
ඒ පුදුම දෙයකි. ඇය සිතු ආකාරයට ම එය සිදුවිය. මෙහෙණිය දින දෙකකට පසුව මිය ගියාය. මරණසන්න වූ විට සමහර අයට තමන් ජීවත් වන දින ගණන පිළිබඳ පුදුමාකාර දැනීමක් ඇති වේ. ඒ කෙසේ වුවත් මම ඇය බැලීමට ගියෙමි. මගේ අවශ්‍යතාව වාට්ටුව බාර හෙදියට දැනුම් දුන් විට ඇය මගේ ඉල්ලීම ප්‍රතික්ෂෙප කළාය.
“බොහොම කණගාටුයි. ඇය අපට කියලා තියෙන්නේ කිසිම කෙනෙකුට ඇයව බලන්න එන්න දෙන්න එපා කියලයි.” එම ප්‍රකාශයෙන් මම විස්මයට පත් වූවෙමි. “ඒක වෙන්න බැරි දෙයක්. දැන් ටිකකට කලිනුයි ඇය මට ටෙලිෆෝන් කළේ ඇයව බලන්න එන්න කියලා. මම හැම වැඩක් ම දාලායි මේ ආවේ.”
එහෙත් මට මෙහෙණිය දැකීමට යාමට ඉඩ දිය නො හැකි බව හෙදිය ප්‍රකාශ කළාය. මම ද අත් නො හැරියෙමි.
“එහෙනම් ඇයි මට ඇය ටෙලිෆෝන් කළේ?” නැවත මම ඇයගෙන් ප්‍රශ්න කළෙමි. “යමු, මම ඇය දොරේ අලවා ඇති දේ පෙන්වන්න” කියමින් හෙදිය මා රෝගියාගේ කාමරයේ දොර අසලට කැඳවාගෙන ගියාය.
“මොකක්ද ඔය කොලේ ලියල තියෙන්නේ කියල පේනවද? අමුත්තන්ගේ පැමිණීම සම්පූර්ණයෙන් තහනම්.” ඇය එය කියවද්දි මම එම කොලයේ පහතින් වූ ඉතා කුඩාවට ලියා තිබූ දේ ඇයට පෙන්වීමි. “මේ මොකක්ද?” ‘අජාන් බ්‍රහම් හැර’ – ඇය ඉතා කුඩා අකුරෙන් එහි ලියා තිබුණාය. හෙදිය මට කාමරයට යාමට ඉඩ දුන්නාය.
“අජාන් බ්‍රහම් හැර, ඇයි එහෙම කොලයේ ලිව්වේ?” මම මෙහෙණියගෙන් ඇසීමි. “ඇයි මම විතරක් අවසර.” එවිට ඇය මෙසේ කීවාය.
“මම මැරෙන්න කිට්ටුවෙලා ඉන්න බව දැනගෙන මාව බලන්න එන අය අනේ මැරෙනවා නේද කියා, ඉතින් පටන් ගන්නවා අඬන්න. එතකොට මගේ හිත හොඳට ම පෑරෙනවා. ඔබ වහන්සේ විතරයි මාව බලන්න ආවහම නොයෙකුත් විහිළු තහළු කරලා මගේ සිත සතුටු කරවන්නේ.”
“මම දන්නවා මැරෙන විත්තිය. මට ඕන නැහැ, මේ මෝඩ මිනිස්සු ඇවිත් දුක් වෙවී මාව තවත් දුකට පත් කරනවට. මට එතකොට ඒගොල්ලන් සනසන්නයි වෙන්නේ. ජීවිතයත් මරණයත් එක හැටියට පිළිගන්න, ලෙඩ වුනා කියලා බයෙන් නො ගැහෙන අයයි මට ඕන හමුවෙන්න, කතා කරන්න. නැතිව, මැරෙන්න බයේ ගැහෙන අය නෙවෙයි, මට සැනසීමෙන් ඉන්න ඉඩ දෙන අයයි, මට දැන් ඕනේ. මගේ සැනසීම නැති කරන අය නෙවෙයි.” ඇය තවදුරටත් පැවසුවාය.
එම මෙහෙණිය මා හට විශේෂයක් දැක් වූයේ ඒ නිසයි. ඇතුළට ඒමට ඇය මට පමණක් අවසර දී තිබුණි. ලෙඩ ඇඳන් උඩ සිටින අය හමුවීමට ගිය විට එම ඇඳන් අසල හැසිරිය යුතු ආකාරය පිළිබඳව මනා පලපුරුද්දක් මට තිබේ!
ඔබ අසනීප වූ විට ඔබට වුවමනා කරන්නේ මොනවාද? ඔබ කැමතිද ඔබ දැකීමට එන කවුරුන් හෝ කියයි නම් “අනේ පව් දෙයියනේ අහිංසකයාට වෙලා තියෙන දේ. මොනවා කරන්නද? අනේ මැරෙන්න නම් එපා. කොහොම හරි ගොඩඑන්න බලන්න. මාවයි ළමයිවයි දාල යන්න නම් එපා. කොහොම හරි ලෙඩ හොඳ කර ගෙන ආපහු වැඩට යන්න බලන්න. ගත්තු ණය කොච්චරක් කියලා ගෙවන්න තියෙනවද? අපට පුළුවන් ද ඕව තනිව ම කර ගන්න.” එසේ නො කීවත් බොහෝ දෙනෙකුගේ සිතෙහි ඇත්තේ එවැනි අදහස්ය.
තවත් කෙනෙකුගේ හදවත පෙළන්නේ නැතිව, ඒ වෙනුවට ඇයි අපට බැරි ඒ අයගේ සිත් සතුටු කිරීමට?
මෙවැනි ආකල්පයක් ඇති කර ගැනීම අසනීප මැඩපවත්වා ගැනීමට ඇති හොඳ ම මගයි. පුංචි හෝ සතුටක් ඇති කර ගන්නේ නම් එය ලෙඩ සුව වීමට විශාල බලපෑමක් ඇති කරයි. අද උදෑසන හෙදි ශිෂ්‍යයන් හමුවීමට ගිය විට ඔවුන් මගෙන් විමසුවේ ‘පැච් ඇඩම්ස්’ යන වීඩියෝ පටය බලා තිබෙනවා ද යන්නයි. ඔවුන් එයට බලවත් කැමැත්තක් දැක්වූහ. මම එය ගැන අසා ඇත්තෙමි. එහි පෙනී සිටින දොස්තර මහතා ලෙඩුන් හිනස්සා, සතුටු කරවා, ලෙඩුන්ගේ අසනීප ගතිය අඩු කරන්න පුළුවන් බව, විද්‍යානුකූලව ඔප්පු කොට තිබේ. ඔබ යන්තමින් සිනාසුනත්, ‘එන්ඩොෆින්’ නැමති වේදනා නාශක හෝමෝනය ලේ ධාතුවට එක් වීමෙන් රෝගය සුව අතට හරවයි. එය වේදනාව , නැති කිරීම සඳහා ස්වභාව ධර්මය දී ඇති ඔසුවකි. එම හෝමෝනය ඔබට සුව පහසුව ගෙන දීමට මෙන් ම ලෙඩ රෝග වලින් වැළකී සිටීමට ආධාර උපකාර කරයි.
තායිලන්තයේ සිටි මුල් අවුරුද්දේදී ම වෙනත් ආකාරයකින් මම එය අවබෝධ කර ගත්තෙමි. ආගමික කටයුතු වලට අනෙකුත් ආරණ්‍යවලට යද්දි අප බොහෝ විට ගමන් කළේ භාණ්ඩ ගෙන යන භාග ලොරිවල පිටුපස නැගීගෙනය. නායක ස්වාමීන් වහන්සේ අසුන් ගත්තේ ඉදිරිපස ආසනයේය. උන්වහන්සේට කිසි අපහසුවක් නො තිබුණත් පිටුපස බිම හිඳගෙන ගමන් කළ අප සිටියේ මහත් අපහසුවෙනි. මෙවැනි බඩු අදින ලොරිවල වාඩිවෙන තට්ටුවට උඩින් හා වටේට යකඩ රාමුවක් සවි කොට ඇත. වහින විට එය මත කැන්වස් රෙද්දක් අතුරයි. තායිලන්තයේ මේ පළාත්වල සෑම මාවතක් ම බොරළු සහිත මඩින් පුරවා ඇත. වර්ෂාවකට පසු මෙම මාවත් වල සෑම තැනක ම විශාල වලවල් සෑදෙන අතර ලොරිය මෙම වලකට වැටුන විට එය යන්නේ පහළටය, හාමුදුරුවරු යන්නේ ඉහළටය. මම තායි හාමුදුරුවරුන්ට වඩා උස මහතට සිටි අතර, හිසට ආවරණයක් ද නො වීය. බූ ගෑ මගේ හිස, ලොරිය වලට වැටෙද්දී වේගයෙන් ඉහළට ගොස් වැදෙන්නේ යකඩ ගරාදි රාමුවේය. වේදනාව තදබලය. ඒ මම පැවිදි දිවියට ඇතුල් වූ මුල් කාලයයි. මා තවම පොඩි හාමුදුරු නමකි. හිස වැදුන විට කටින් පිට වූයේ එතරම් හොඳ වචන නොවේ. මේ කියන්නේ සත්‍යයකි. ඒවා කියවෙන්නේ පුරුද්දටය. ඔබ දන්නා පරිදි ලිස්සා වැටුන විට හෝ රිදුන විට කීමට බටහිර රටවල අය නොයෙකුත් වචන රාශියක් සූදානම් කර ගෙන ඇත. මට කියවුනේ ඒවායින් සමහරෙකි. තායි හාමුදුරුවරුන්ගේ හිසත් යකඩයේ වදියි. නමුත් ඔවුහු රිදුන විට සිනාසෙයි. මට මුලින් සිතුනේ මෙම හාමුදුරුවරුන්ට ‘පිස්සු’ විය යුතුයි යන්නයි. කොහොමද කෙනෙක් හිනා වෙන්නේ රිදුනාම?
මා ලබා ඇත්තේ විද්‍යාව පිළිබඳ පුහුණුවක් නිසා පරීක්ෂණයක් කර බැලීමට මම සිතුවෙමි. නැවත වරක් හිස යකඩයේ වැදුනු විට දෙස් නො තියා, සිනාසීමට මම පුරුදු වූවෙමි. මා සොයා ගත් දෙය ඔබ දන්නවාද? හිස කොතැනක හෝ වැදුනු විට සිනාසීමෙන් දැනෙන රිදීම අඩුවන බව අත්දුටුවයි. දැන් ඔබත් උත්සාහ කර බලන්න!
මෙය සත්‍යය කරුණක්, සිනහව වේදනාව අඩු කරයි. ස්වාභාවික වේදනා නාශක ‘එන්ඩොෆින්’ සිරුරට නිදහස් කරන හෙයින් තදට රිදීමක් හෝ සීරීම් තැලීම් වල වැඩි වීමක් සිදු නොවේ. සිනාසුන තරමට වේදනාව අඩු වෙනවා සේ ම අසනීප වී සිටින විට ගත හැකි හොඳම බෙහෙතත් එයයි. එම නිසා ඔබ රෝහලකට යන විට ‘හොඳ විහිළු ටිකක්’ රැගෙන යන්න. ඒ සමග හොඳ ‘හිනාවකුත්’ රැගෙන යන්න. ලෙඩුන් සමග විහිළු කරන්න. සිනාසෙන්න. ඒ අය සුවපත් කිරීමට තිබෙන හොඳම ක්‍රමය එයයි. අසනීපය තදින් හිතට ගතහොත්, බිය වුවහොත්, ඒ පිළිබඳව කලකිරුණහොත් අසනීප සුව වීමට දිගු කලක් ගත වේ.
සෑම දෙනෙකු ම සුවසේ සිටිනු දැකීම අපගේ කැමැත්තයි. එබැවින් අසනීප සමග කටයුතු කරන විට උපේක්ෂාවෙන් ඒ පිළිබඳ සිතීමට වඩා අසනීපය සතුටක් කර ගැනීම, අසනීපය සමග විනෝද වීම, එයට සිනාසීම වඩාත් ඵලදායි වේ. මෙසේ කටයුතු කරන භික්ෂුන් වහන්සේලා ද මම දැක ඇත්තෙමි. උදාහරණයක් ලෙස තායිලන්තයේ දී මට අසනීප වූ ප්‍රථම අවස්ථාව සිහියට නැගේ. එය උණසන්නිපාතය විය. ‘නනචට්’ ආරණයේ සිටි සෑම භික්ෂුන් වහන්සේ නමකට ම එය සෑදී ඇත. එය බෝ වෙන්නේ කැලයේ සිටින කුඩා සතෙකුගෙනි. එය බොහෝ විට සෑදෙන්නේ විදේශවල සිට එන පිරිසටය. තායිලන්තයේ පාරම්පාරිකව ජීවත් වූ ස්වාමීන් වහන්සේලාට එය බෝ වෙන්නේ නැත. පරම්පාරිකව එම රටේ ජීවත්වන උන්වහන්සේලා එයට ඔරොත්තු දෙයි. එම රෝගය වැළදීමෙන් තායිලන්තයේ රෝහල් වල තත්ත්වය දැක බලා ගැනීමේ අවස්ථාව ද මට හිමි විය. අප ආරණ්‍ය පිහිටියේ තායිලන්තයේ දුෂ්කර පලාතක නිසා මා ඇතුළ වූ රෝහල ද නොදියුණු එකක් ම විය. එය පිටිසර පලාතක තුන්වන පංතියේ රෝහලක්ය. උදාහරණයක් ලෙස ඔවුහු දන්නා කියන සෑම බෙහෙත් වර්ගයක් ම මගේ සිරුරට එන්නත් කළහ. ඒ සඳහා භාවිතා කළ ඉදිකටු “වරක් පාවිච්චි කර විසි කරනු” වර්ගයේ ඒවා විය හැකිය. සමහර විට ඒවා බැංකොක් නුවර රෝහල්වල පාවිච්චි කිරීමෙන් පසු ඉවත දැමූ එන්නත් කටු විය හැකිදැයි මට සැකය. හාමුදුරුවරු ඕනෑම දෙයකට ඔට්ටු බැවින් එවැනි ජාතියේ ඉදිකටු එවන්නේ ද අපි සිටින පළාත්වලටමය. මා සිටි රෝහලේ උදවියට එම කටු මගේ සම ඇතුළට තල්ලු කිරීමට මහත් උත්සාහයක් ගැනීමට සිදුවිය. මා වින්දේ පුදුම වේදනාවක්ය.
එපමණක් ද නොව දරාගත නොහැකි උණෙන් ගැහෙමින් සිටි මට, මුල් දිනයේ ම රාත්‍රියේ සිදු වූ දෙයින් මගේ සිත දැඩිසේ කම්පාවට පත්විය. මම දැඩි සේ අසාධ්‍යව සිටියෙමි, වෙන්නට යන දේ නොදැන සිටියෙමි. මා ඇතුළත් කරන විට සේවයේ සිටි හෙදියගේ රාජකාරිය සවස හයට අවසන් විය. පැය භාගයකට පමණ පසු වෙනත් හෙදියක් පැමිණ ඇද්දැයි මම සොයා බැලුවෙමි. කිසිවෙකු පැමිණ නැත.
“කෝ රෑට වැඩ කරන නර්ස්” මම යාබද සයනයේ සිටි හාමුදුරුවන්ගෙන් ඇසීමි. “රෑ නර්ස්, මොන රෑ නර්ස් කෙනෙක්ද? රෑට එහෙම අමාරු වුනොත් ඒක තමන්ගෙ කරුමෙ.”
මා හට ඇති වූයේ දරාගත නො හැකි සෝකයකි. මගේ තට්ටම් වලට ඇනපු ඉදිකටු වලින් නැගෙන වේදනාව නිසා ඒ පැත්තට අත තැබීමට නො හැකි තරම් රිදේ, කියන්න බැරි තරමට අමාරුකම් පැවතුනත් දුක කීමට කිසිවෙක් සිටියේ නැත. මේ ලෙස දින තුන හතරක් ගත වූ පසු, දවසක් මා ඒ සිටි තත්ත්වයෙන් මිදුනෙමි. සිදු වූයේ කුමක්දැයි ඔබ දන්නවාද? මගේ ලෙඩ බැලීමට පැමිණියේ කවුද? ඒ අජාන් චා ස්වාමීන් වහන්සේයි. එකවර මට මහත් සතුටක් දැනිණි. මා බැලීමට මාගේ ගුරු හාමුදුරුවෝ පැමිණ ඇත. එහෙත් ඒ සතුට පැවතියේ තප්පර කිහිපයක් පමණි.
“බ්‍රහ්මවංසෝ දෙකෙන් එකයි වෙන්නේ, එක්කෝ සනීප වෙයි, නැත්නම් මැරෙයි.” එසේ පවසා අජාන් චා හිමි ආපසු වැඩියහ.
එම ඉගැන්වීම කොතරම් විශිෂ්ටද? මාහැඟි උතුම් ධර්මයකි. අජාන් චා හිමියන්ගේ වරදක් හොයන්න? ඔබට එය කිරීමට නො හැක. උන්වහන්සේ කෙලින් ම කාරණාවට බහින අයෙකි. වටෙන් ගොඩෙන් කතා කිරීමක් නැත. උන්වහන්සේ පැවසුවේ “එපමණ කාලයක් ලත වෙවී ඉන්නවත්, වේදනා විඳින්නවත් වෙන්නේ නැහැ, එක්කෝ සනීප වේවි නැත්නම් මැරිල යාවි.” එය තමයි අසනීපය සම්බන්ධව දැන ගත යුතු අනෙක් කාරණාව, අප දන්නවා අසනීප ඔය කියන තරම් කල් පවතින්නේ නැති බව, ඒ නිසා කොතරම් අමාරු වුනත් ඔබට එයින් විනෝද වීමට හැකියාව ඇත. ඔබට එක්කෝ හොඳ වෙයි නැති නම් මැරෙයි. අසනීපව සිටින බෞද්ධයකු සිතිය යුත්තේ එසේය. ලෙඩරෝග පිළිබඳව මෙනෙහි කොට ප්‍රඥාව දියුණු කර ගැනීමට, ජීවිතය තේරුම් ගැනීමට අප උත්සාහ කළ යුතුය.
අජාන් මහාබෝව නමින් හැඳින්වුනු උසස් පෙළ තායිලන්ත ගුරු භික්ෂුන් වහන්සේ දිනක් තම අත්දැකීමක් පිළිබඳව විස්තර කරමින් මා සමග මෙසේ පවසා සිටියහ. ඒ උන්වහන්සේගේ තරුණ කාලයේදී අජාන් ‘මන්’ යන ගුරු ස්වාමීන් වහන්සේ සමග සිටියදී සිදු වූ දෙයක් පිළිබඳවය. දිනක් අජාන් මහබෝවා ස්වාමීන් වහන්සේට මැලේරියාව සෑදිණි. මෙම දරුණු උණරෝගය සමග කෙසේ හෝ සටන් කොට ජය ගනිමි යැයි උන්වහන්සේ සිතා ගත්හ. සිතුවොත් සිතු දේ කරන උන්වහන්සේ අධිෂ්ඨාන බලය යොදවා රෝගය ගණන් නො ගෙන කෙසේ හෝ සුව කර ගැනීමට තීරණය කළහ. එම කාර්යය ටික දිනක් සාර්ථකව සිදු කර ගෙන ද ගියහ. මෙය දුටු අජාන් මන් ස්වාමීන් වහන්සේ වහා ම සංඝ රැස්වීමක් කැඳවා දැන් විශාල කීර්තියක් දිනා සිටින අජාන් මහබෝව ස්වාමීන්වහන්සේට තදින් තරවටු කළහ. අජාන් මන් පැවසූවේ කුමක්ද?
“බෞද්ධයෙක් ලෙස රෝගයක් සෑදුනු විට හැසිරෙන්නේ ඔහොම නොවෙයි. එය සමග සටන් කරන්න යන්නේ නැහැ. රෝගය පිළිබඳව මෙනෙහි කර එහි ස්වභාවය තේරුම් ගැනීමට මහන්සි ගත යුතුයි. රෝගයක් යනු තමන්ට ලැබුණු හොඳ ගුරුවරයෙක් කියා තේරුම් ගත යුතුයි. මෙම ශරීරය ඔබට අයිති නැති බව එය ඔබට උගන්වනවා. අසනීපයක් යනු නිරෝගීව සිටින අවස්ථා දෙකක් අතර ඉඩකඩයක්. එය ඔබට උගන්වන්නේ කෙතරම් උතුම් ධර්මයක්ද? ඇයි එය සමග සටන් කරකර ඒ අවස්ථාව අපතේ හරින්නේ? එයින් ප්‍රයෝජනයක් නො ගන්නේ?”
ලෙඩරෝගවලට අප මුහුණ දිය යුතුයි. ඒවා පිළිබඳව මෙනෙහි කිරීමෙන් ඉතා වැදගත් සත්‍යතාවක් තේරුම් ගැනීමේ හැකියාව අපට ලැබේ. බුදුරජාණන් වහන්සේ එම සත්‍යය මෙසේ ධම්මපදයට ඇතුළත් කර ඇත.
“ශරීරය ලෙඩ වුනත් මනස ලෙඩ කර ගැනීමට අවශ්‍ය නැත. මනස නිරෝගීව තබා ගැනීමට අපට හැකියාව ඇත.”
අසනීප දෙයාකාර බව, වේදනාව දෙයාකාර බව බුදුරජාණන් වහන්සේ එයින් පෙන්නුම් කර දී ඇත. එකක් ශාරීරික වේදනාවය, අනෙක මානසික වේදනාවය. මා සිතන්නේ අප ආරණ්‍යයේ සිටින අනගාරිකවරයෙක් තමන්ගේ ම දත ගලවා ගත් ආකාරය ගැන මා මීට පෙර සඳහන් කර තිබෙනවා. එය ඉතා හොඳ උදාහරණයක් මේ ශාරීරික වේදනාවත් මානසික වේදනාවත් අතර වෙනස පෙන්වා දීමට, මානසික වේදනාව පවසන්නේ “හපෝ හිතන්නවත් පුළුවන්ද? මොනතරම් වේදනාවක්ද? අනේ මට නම් බැහැ මේක අදින්න.” නමුත් ශාරීරික වේදනාව පවසන්නේ “ඕන නම් තත්පරයයි දෙකයි, වැඩි ම වුනොත්, මොනවද ඊට වැඩිය?” නමුත් අප කරන්නේ මානසික වේදනාව ශාරීරික වේදනාවක් සමග එකතු කිරීමයි. එවිට “හාපෝ උහුලන්න බැහැ. හිතන්නවත් බැහැ.” සෑම අසනීපයකදී ම සිදුවන්නේ එයයි. ශාරීරික වේදනාව ගැන කිසිවක් කිරීමට අපට නො හැකි වූවත් මානසික වේදනාව ගැන අපට යමක් කළ හැකියි. අපට එය අත්හැර දැමීමේ හැකියාව තිබේ. එය අත්හරින්න. අසනීපයකින් පවා අපට යමක් ඉගෙන ගැනීමට හැකියාව ඇත. ඒ සඳහා අප අසනීපය පිළිබඳව මෙනෙහි කළ යුතුයි.
උදාන කථා වස්තුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති මෙම කථාව විවිධ අවස්ථාවලදී මම ඉදිරිපත් කරන්නෙමි. එම කථාව, විශේෂයෙන් ම අසහනය හා පීඩනය නිසා වැළඳෙන රෝග තේරුම් ගැනීමට සුදුසු එකකි. කාලයට ගැලපෙන ලෙස මෙය මම මදක් වෙනස් කර කියමි. අධිරාජයාගේ මාලිගයට පැමිණි යක්ෂයාගේ කථාවයි මේ. අධිරාජයා මාලිගාවෙන් පිටතට ගිය වෙලාවක මේ කැත – නපුරු – තරහෙන් පුපුරණ – බැලීමට බිය සිතෙන යක්ෂයා මාලිගයට පැමිණියා. එහි සිටි සොල්දාදුවෝ, ඇමතිවරු, මාලිගාවේ සේවකයෝ ආදී සියල්ල මේ යක්ෂයා දැකීමෙන් බිරාන්ත වූවා. ඒ අතරේ යක්ෂයා ‘දඩිබිඩිගා’ සිංහාසනයේ වාඩි වූවා. මෙය දුටු විටයි, එම ස්ථානයේ සිටි උදවිය නැවත පියවි සිහියට පැමිණියේ. සියලු දෙනාට ම බොහෝ සේ කේන්ති ගොස් මෙසේ බෙරිහන් දේ. “පලයන් යන්න මෙතැනින් – කවුරු කියලා හිතුවද? කවුද එන්න අවසර දුන්නේ? ඔය වාඩිවෙලා ඉන්නේ මොකක් උඩ කියලා හිතුවද? නැගිටලා දොට්ට බහින්නයි කිව්වේ.”
මේ කියැවෙන සෑම නපුරු වචනයකට ම, තරහින් කරන සෑම දෙයට ම, තරහින් සිතන සිතිවිල්ලක් පාසා ම සිදුවූයේ කුමක්ද? මේ යකා තවත් කැත වූවා. තව තවත් නපුරු වූවා. ගඳ උසුලා ගැනීමට නො හැකිව ගියා. සොල්දාදුවෝ කඩු සරඹ කරන අතරේ ඇමතිවරු සිංහාසනය ගලවා ගැනීමට එහෙ මෙහෙ පනිති. සියලු දෙනා යකෙකුට කථාකරන්නා සේ යකාට බැන වදී. එයින් යකා තවතවත් විශාල වී, කැත වී, බිය උපදන විරූපියකු වූවා. සටන මෙපරිද්දෙන් සෑහෙන වේලාවක් පවතින විට අධිරාජයා පැමිණියා. ඔහු එන විට යකා කාමරය පිරී යන තරමට ම විශාලව සිටියා. යකාගේ කටින් පිටවෙන වචන දැන් කාලේ හැදෙන ළමයින්වත් නො දනී. යකාගේ විරූප, බියකරුකම උතුරනවා. මෙම අධිරාජයාට එම තනතුර ලැබුණේ නිකම් නොවෙයි; ඔහුට තිබුණු විශිෂ්ට ප්‍රඥාව නිසයි. සිංහාසනය පුරා සිටින යක්ෂයා දුටු ගමන් ප්‍රඥාවන්ත අධිරාජයා කළ යුතු දේ වටහා ගත්තා. ඔහු යකාට මෙසේ පැවසුවා.
“මොනතරම් එකක් ද මාව බලන්න ආපු එක, මම මේ හිතහිතා හිටියේ කරදරයක්වත් ද කියලා, මෙපමණ දවස් නොආ නිසා, කෝ තාම කවුරුත් මොනවත් බොන්න ගෙනැත් දුන්නේ නැද්ද?”
මෙසේ කරුණාවෙන් දයාවෙන් කථා කරන විට යකා ප්‍රමාණයෙන් අඩු විය. ගඳ අඩු විය. කටේ ශබ්දය ද, විරූපය ද අඩු විය. තමන් කළ මෝඩකම් අනෙක් උදවිය තේරුම් ගත්තේ එවිටයි. හැමෝම දැන් යකාට කරුණාව පෙන්වන්න, ආදරය දක්වන්න පටන් ගත්හ.
“තේ ද බොන්නෙ? කෝපිද? කිරි දාන්නද? සීනි දාලා ගේන්නද? නැත්නම් කිතුල් හකුරු එක්ක බොනවද?” සමහරු අසති. තවත් සමහරු කෙසෙල්ගෙඩි ගෙනෙති, විස්කෝතු ගෙනෙති. යකාට කාගන්නටත් බැරි ප්‍රමාණයට ආහාර වර්ග. යකාගේ කටත් දැන් ‘පුංචි’ වෙමින් පවති. කෙනෙක් යකාගේ ‘ඔළුව පීරන’ අතර තව කෙනෙක් තෙල් ද ගාති. විවිධ සත්කාර පවත්වති. මෙසේ කටයුතු කෙරෙන විට යක්ෂයා මුලින් සිටි ප්‍රමාණයට ම කුඩා විය. තවත් කරුණාව පෙන්වන විට යකා අතුරුදහන් වී ගියේය. මාලිගාවට පැමිණි යකා එළවා ගත් අන්දමයි ඒ.
බුදුරජාණන් වහන්සේගේ මෙම කථාව සඳහන් වෙන උදානවල තවදුරටත් උන්වහන්සේ මෙසේ ද පවසති. “මහණෙනි, මම ඒ කිව්වේ තරහා කන යක්ෂයා ගැනයි. තරහා කන එකයි මේ යක්ෂයා කරන්නේ; ඔබ ඒ කන්න දෙන ප්‍රමාණය සුළු වුවත්, මේ යකා තවත් අඟලකින්වත් විසාල වෙනවා. තවත් විරූප වෙනවා. තවතවත් රෞද්‍ර වෙනවා. මේ කිව් නොකිව් සෑම ආකාරයකින් ම භයානක වෙනවා.” ලෙඩරෝග සියල්ල තරහා කන යක්ෂයෝ මෙන්ය. විශේෂයෙන් ම අසහනය නිසා ඇතිවන අසනීප ඊට ඇතුළත්ය. තවත් අසහනය ඇති කර ගතහොත්, තද කර ගතහොත් එම ලෙඩ සුව අතට හැරෙන්නේ ම නැත.
“පලයන් යන්න. උඹට මෙතන ඉන්න අයිතියක් නැහැ. මට අසනීප වෙන්න වුවමනා නැහැ. යන්නයි කිව්වේ.”
අන්න ඒ නිසා අසනීප සමග ගණුදෙනු කරන හොඳ ම විදිහ වන්නේ “මට අසනීපයි. අනේ තවත් ටිකක් අසනීප වෙන්නකෝ” යැයි කියා බලන්න. එයින් මා කියා සිටින්නේ අසනීපය සමග සටන් වදින්නේ නැතිව අසනීපය සමග විවේක සුවය විඳිනවා නම්, අසනීපය ඔබ පිළිගන්නවා නම්, එම අසනීපයත් සමග ඔබ සාමයෙන් පසුවනවා නම්, අසනීපය පිළිබඳව සොයා බලනවා නම් අසනීපය සුව අතට හැරෙන බව ඔබට පෙනීයනු ඇත.
මුලින් කී යක්ෂ ගණයට අයිති, බහුලව පවතින රෝගයකි, පිළිකා රෝගය. අපි එයට ශාප කරන්නෙමු. එයට කොහෙත් ම කැමති නො වන්නෙමු. පිළිකාව කෙරෙහි මහත් බියක් දක්වන්නෙමු. එය අපට සෑදුනහොත්, අපි මෙසේ කියවීමට පටන් ගන්නෙමු. “යන්න කීවේ මෙතනින්, මෙතනට එන්න අයිතියක් නැහැ.” ඒ කියවීම වෙනුවට පිළිකාවත් සමග සාමය ඇති කර ගතහොත් කෙසේ වේවි ද; ඇත්තට ම ඔබට එය කළ හැකි නම්? මා පවසන්නේ, සත්‍ය ලෙසට පිළිකාව සමග සාමයෙන් විසිය හැකි නම් පිළිකාව නැතිව යන බව ඔබට පෙනේවි. ඔබට පුළුවනි එය සහමුලින් ම නැති කර දමන්න.
මම වරක් එසේ කර බැලීමි. නමුත් ඒ පිළිකා රෝගය සමග නොවේ. මා පැවිදි වූ අලුත, තායිලන්තයේ ඈත පළාතක සිටි කාලයේදී මට දරුණු දත් කැක්කුමක් සෑදිණි. මේ මගේ දත් කැක්කුම පිළිබඳ කථාවයි. මා සිටියේ වනාන්තරයේ පිහිටි ආරණ්‍යයකය. බෙහෙත් කිසිවක් තිබුණේ නැත. අඩු ම තරමින් දත ඇද දැමීමට අඩුවක්වත් තිබුණේ නැත. දත් දොස්තරවරු නොසිටිය පළාතකි මේ. මේ කැක්කුමත් අනිකුත් ජාතියේ රිඳුම් කැක්කුම් මෙන් ම රාත්‍රිය වන විට වැඩිවෙන්නට පටන් ගත්තේය. එයට හේතුව මම නො දනිමි. ඇතැම් විට එය මනස විසින් සිදුකරන්නක් විය හැකිය. කිසිවක් ම කරකියාගත නො හැකි විට – තනියම කැලේ කුටියක මහරාත්‍රියේ සිටින විට – එසේත් නැති නම් රාත්‍රියට නින්දට ගිය විට කැක්කුම් බොහෝ විට වැඩි වේ. බෙහෙවින් ම ශක්තිමත් මනසක් තිබූ මට ඒ කාලයේදී හොඳින් භාවනා කිරීමේ හැකියාව ද තිබුණි. එසේ වූවත් මෙම දත් කැක්කුමත් සමග මොන හුස්ම දෙස බලා හිඳීමක්ද? හිඳගෙන භාවනා කිරීම මට කළ නො හැකි විය. මම නැගිට, පිටතට ගොස් සක්මන් භාවනාව කිරීමට සූදානම් වුණෙමි. එහෙත් වැඩි වේලාවක් යාමට ප්‍රථම එය ද නතර කිරීමට මා හට සිදුවිය. සක්මන මදක් කරන විට එය ඇවිදීමක් නොව දිවීමකට හැරුණි. ‘කැක්කුම’ ඒ තරමට දරුණු විය. කිසිවක් කර කියාගත නො හැකි අසරණ තත්ත්වයකට මම වැටුණෙමි. සිත සන්සුන් කර ගැනීමට නො හැකි විය. තද වේදනාවක් පවතින විට ‘පිස්සු සෑදීගෙන’ එන්නාක් මෙන් සෑම තැනකට ම දුවන්නට සිතේ. ආපසු කුටියට ගොස් ‘පිරිත්’ කීමට මම සිතුවෙමි. මොන පිරිතක්ද? මද වේලාවකට පසු මට ඇසුණේ පිරිත් කියනවා නොව මා කෑගසන බවය.
මම ගාථා කීම නතර කළෙමි. ඒ දවස මට හොඳින් මතකය. ඝන කැලෑව මැද – දැන් වේලාව රෑ දොළහට පමණය. අනෙක් හාමුදුරුවරු තද නින්දේය. කිසිවකුට කරදර කිරීමට මට නො සිතිණි. මට දැන් කර ගන්න දෙයක් ද ඇත්තේ ම නැත. වේදනාව කිසිසේත් උහුලාගත නො හැක. ගැලවෙන මගක් ද පෙනෙන්නට නැත. මෙසේ යනඑනමං නොමැතිව ඉතාමත් අසරණ තත්ත්වයට පත් වූ විට ඔබ දැන ඉගෙන ගත් ධර්මය ගලා ඒමට පටන් ගනී. මගේ හිසට එකම එක වචනයක් ආවේය.
එය මම කලින් කිහිපවතාවක් ම අසා ඇත්තෙමි. එම වචනය අජාන් චා හාමුදුරුවන් වහන්සේත් මා හට උගන්වා ඇත. පොතපතෙහි ද එය දැක ඇත. තවත් බොහෝ ගුරු හාමුදුරුවරු මඟින් ද එය අසා ඇත. කුමක්ද ඒ වචනය? ‘අත්හරින්න.’ ඔබ එම වචනය අසා තිබෙනවාද? ඔබ එය මීට කලින් කර තිබෙනවාද? මම පළමු වතාවට එය කළෙමි. මොනතරම් පුදුම සහගත අත්දැකීමක්ද? එම වචනය මගේ ඔළුවට ආ විගස ම – මම අත්හැරීම කළ මොහොතේ ම, ඒ වේදනාව ක්ෂණයකින් නැතිවී ගියේය. එම අත්දැකීම අදහා ගැනීමට නො හැකි තරම් විස්මයජනකය. වේදනාව වෙනුවට එතැන මතු වූයේ අසීමිත සතුටකි, සාමයකි. මිනිත්තුවකට කලින් වේදනාවෙන් සිහිවිකල වූවෙක්, දැන් කිසිදු වේදනාවක් නැත්තෙක්, මේ මනස මොනතරම් වේදනා අතින් එකතු කරනවා ද කියා මම එයින් තේරුම් ගතිමි. මුලදී මම වේදනාව සමග සටන් කළෙමි. එය නැති කර දැමීමට බැලීමි. ඒ සටන මගින් මම ඒ වේදනාව එන්න එන්න ම දරුණුවට – දරුණුවට – දරුණුවට ම පත් කළෙමි. මම ඒ තරහා කන යකාට කෑම දෙමින් හුන්නෙමි. මම අත්හැරි විගස යකා අතුරුදහන් වූවේය. ඉතාමත් සාමකාමීව එම මැදියම් රැයේ මම පැයක් පමණ වේලා භාවනා කළෙමි. කෙතරම් ලස්සනද? කිසිදු වේදනාවක් නැත. රාත්‍රි එකට පමණ නින්දට ගිය මම පැය කීපයක් නිදා ගත්තෙමි.
පාන්දර තුනට ආපසු අවදි වූයෙමි. තායිලන්තයේ ආරණ‍්‍යවල උදේ ඝංඨාරය හඬවන වේලාව එය විය. උදේ තුනට ම අවදිවිය යුතු යැයි තද නීතියක් නොමැත. තමන්ට වුවමනා නම් ඊට පෙර වුව ද අවදි විය හැකිය. අවදි වූ විට තවමත් දත් කැක්කුම පවතින බව මට දැනිණි. නමුත් රාත්‍රියේදී තරම් දරුණු බවක් නොදැනිණ. එදා සිට මම වේදනාවන්ට බිය නො වූයෙමි. වේදනාව යනු කුමක්ද කියා මම තේරුම් ගතිමි. වේදනාව යනු “මට වුවමනා නැහැ උඹ මෙතන ඉන්නවා දකින්න. පලයන් යන්න.” බොහෝ විට අප එය දකින්නේ ඒ ආකාරයටය. ජීවිතයේ ඔබ නොයෙකුත් වේදනා විඳ තිබුණත්, දොස්තර මහත්වරු කොතරම් බෙහෙත් දුන්නත්, නැති කර ගැනීමට නො හැකි වේදනාවකට මුහුණ දීමට සිදුවන දිනයක් එළඹෙනු ඇත. සමහර විට කලට වේලාවට බෙහෙත් නො ගැනීමෙන් එය සිදුවිය හැකිය. ඒ කුමක් වූවත් කරුණාකර මතක තබා ගන්න, වචනය ‘අත්හරින්න.’ සමහර විට මා කළා සේ ම, ඔබටත් එම වචනය හරියට තේරුම්ගෙන ඇත්තට ම අත්හැර දැමීමට ඔබට ද වාසනාව තිබිය හැකිය. අත්හැර දමන්න. වේදනාව පහවී යනු ඇත.
වසර කිහිපයකට උඩදී, මම මේ කියන පුද්ගලයා බටහිර ඕස්ට්‍රේලියාවේ පතලක වැඩ කළේය. සෑම දිනක ම ඔහු වැඩ කළේ රාත්‍රියේදී, තනිවමය. වෙඩි බෙහෙත් දමා පතලේ යම් යම් කොටස් පිපිරවීම මොහුගේ රාජකාරිය විය. අනෙක් පිරිස දවල් කාලයේදි ඒ පිපිර වූ පස් ගල් උඩට රැගෙන එති. එය බරපතල වගකීමක් ඇති භයානක රැකියාවක්ය. කිසිවකු වැඩ නො කරන වේලාවට ඔහු එය කළේ එම නිසාය. මේ කියන දිනයේ රාත්‍රි ඔහු වැඩට යාමට පෙර අසුබ නිමිත්තක් දුටුවේය. අද කුමක් හෝ නරක දෙයක් සිදුවන බවක් ඔහුට හැඟිණ. එහෙත් ඔහු වැඩට ගියේය. වෙඩි බෙහෙත් බැඳ, හොඳින් බැලුවේය. සියල්ල සූදානම්ය. බිය වීමට කිසිවක් නොමැත. ඒවා පිපිර වීමට සූදානම් වන විට ම පිටුපසින් ඇසුණු ශබ්දයක් නිසා ඔහු හැරී බැලුවේය. ඒ ගල් අදින රේල් පෙට්ටියකි. කවුරුන් හෝ එයින් එකක තිරිංග හරියට තද නො කර නවත්වා ගොස් ඇත. තිරිංග බුරුල්වී එය තමන් ඉන්න තැන වූ පල්ලමට ඇදීගෙන එයි. බේරීමට පැනීමට තැනක් නැත. රේල් පෙට්ටිය වේගයෙන් එයි. එයින් ගැලවීමක් නොමැත. හැපෙනවා හැපෙනවාමය. එය සිරුරේ හැපුණු වේගයට ඔහු රේල්පාර මත ඇද වැටුණි. ඔහුට දෙපාවලට වූ දේ දැනුණි. එක් පාදයක් වෙන්වෙන්න ම කැපී ගොසින්ය. ඔහු වැතිරගෙන සිටියේය. මේ මැදියම් රැයයි. ඊළඟ පිරිස වැඩට ඒමට තව පැය කීපයක් ඇත. එසේ වැතිරි සිටින විට ඔහුට දැණුනේ පුදුමාකාර අත්දැකීමකි. ජීවිතයේ ඔහු විඳ ඇති ප්‍රමෝදමත් ම අත්දැකීම එය බව ඔහු මා සමග පැවසුවේය. වේදනාවේ බලවත්කම නිසා ඔහු ‘අත්හැරියේය.’ ඒ විඳි ප්‍රමෝදය ආධ්‍යාත්මික අත්දැකීමක් ලෙස හැඳින්විය හැකිය. පසුදින වැඩට පැමිණි අය ඔහුව රෝහලට රැගෙන ගියහ. සැත්කම් කිහිපයකින් පසුව ඔහු සුවය ලැබුවේය.
එක් පතල්කරුවෙක් පසු දිනෙක ඔහු බැලීමට රෝහලට පැමිණි බව ඔහු මා සමග පැවසුවේය. රේල්පෙටිටිය නොසැලකිලිමත් ලෙස දමා ගිය පුද්ගලයා මොහුයි. ඇතුළට පැමිණිමට බියකින් මෙන් මේ පුද්ගලයා දොර අසල කැරකෙමින් සිටින අන්දම දුටු ඔහු “එන්න ඇතුළට. ඒකට කමක් නැහැ… ඇත්තට ම මට වුවමනායි මම එවෙලේ වින්ද අත්දැකීම වෙනුවෙන් ඔබට ස්තුති කරන්න.” එය ඇසීමෙන් තවත් බිරාන්ත වූ ඒ මිනිසා පලා ගියේ නැවත නොපැමිණෙන්ටමය.
ඔහු එය පැවසූ ආකාරය වැරදි වුව ද, ඇත්තෙන් ම එම මිනිසාට ස්තූතිවන්ත වීමට ඔහුට අවශ්‍ය විය. ඒ, ‘කකුලක් වටින,’ පුදුම සහගත අත්දැකීම ලබා ගැනීමට සැලැස්වීම සම්බන්ධවය. එයයි, අත්හැරීමෙන් ලබන අත්විඳීම. සමහර අවස්ථාවලදි අප අසනීප සමග ගනුදෙනු කළ යුත්තේ එලෙසටමය. අත්හරින්න අපට පිළිවන. අසනීපය වෙනුවෙන් යමක් කළ හැකි නම්, බෙහෙත් ගැනීම ව්‍යායාම කිරීම වැනි දේ අප කළ යුතුය. ප්‍රතිකාර කළ යුතුය. එසේ ම අසනීපය සමග සාමය ඇති කර ගනිමින් ඒ පිළිබඳව මෙනෙහි කළ යුතුය. ලෙඩය සුව වෙනවා නම් මොනතරම් හොඳද? එය මරණය කරා අපව ගෙනයනවා නම් – ඒත් කමක් නැත. මරණයේ ඇති වරද කුමක්ද? ලෙඩෙන් බාගයක් ලෙඩේට ඇති බියයි. ලෙඩේ නිසා මිය යාවි යැයි යන හැඟීමෙන් අපි විශාල බියක් ඇති කර ගනිමු. මන්ද? අපි මරණයට බිය වෙමු. බෞද්ධයෝ එසේ විය යුතු නැත. බොහෝ බෞද්ධයෝ මරණයට බිය නැත.
මේ වන විට ජීවතුන් අතර නොමැති, අපට සිටි ඉතා හිතවත් දායිකාවක් මරණයට මුහුණ දුන් ආකාරය පිළිබඳව මෙහිදී මා පැවසිය යුතුය. ඇය නිතර ම අසනීප ගතියෙන් පසු වූ නිසා වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටියාය. පරීක්‍ෂණ වාර කිහිපයකට පසු ඇය පෙනහළු පිළිකාවකින් පෙළෙන බව සොයා ගැනිණි. නමුත් ඒ වන විට ප්‍රමාද වැඩිය. කිසිදු ප්‍රතිකර්මයක් කළ නො හැකි තරමට පිළිකාව විහිදී තිබිණි. ඇය මට දුරකථන ඇමතුමකින් ඒ සියලු තොරතුරු කීවාය. මම ඈ බැලීමට ගියෙමි. බොහෝ සතුටින් ලෙඩ ඇඳේ සිටි ඇය, මා සමග විහිළු තහළු ද කළාය. ජීවත් වීමට තිබුණේ මාස දෙකතුනක කාලයක් පමණක් වුව ද ඇගේ ඉරණම බොහොම හොඳින් බාර ගැනීමේ හැකියාව ඇයට තිබිණි.
සිවුදරු මවක් වූ ඇයගේ ස්වාමිපුරුෂයා, බොහෝ කලකට පෙර ඇයගෙන් වෙන්වී සිටියේය. දරුවන් ගුණයහපත් කමින් මනාව හැදී වැඩුනු අය විය. ඔවුන් එකිනෙකා රැකබලාගෙන හොඳින් ජීවත් වේ යැයි ඇය සිතු අතර ඒ ලෙසට ඔවුන් දැන් ජීවත් වේ. එවැනි හොඳ දරුවන් දමා යාමටවත් මරණයටවත් අපගේ දායිකාව කිසිදු බියක් දැක් වූයේ නැත. මා සමග එක්ව විහිළු තහළු කිරීමට තරම් ‘හයියක්’ ඈ සතු විය.
“තායි හිතවතුන්ට කියන්න මාව බලන්න එන්න එපා කියලා. ඕනෙ නම් පස්සේ එන්න කියන්න, මම පෙට්ටියේ ඉන්න කොට. එතකොට මට ප්‍රශ්නයක් නැහැ.”
එසේ කියමින් ඈ සිනාසුනි. මම මද වේලාවක් ඇඳ අසල රැඳී සිට වාට්ටුවෙන් එළියට ආවෙමි. එම ස්ථානය භාර ප්‍රධාන හෙදිය මම එනතුරු රැඳී සිටියාය.
“කරුණාකරලා පොඩ්ඩක් මෙහාට එනවද? මට පුද්ගලිකව කථා කරන්න වුවමනායි.” අයිරිෂ් ජාතික මේ කතෝලික කාන්තාව ඉතා බැරෑරුම්ව මට මෙසේ කීවාය.
“බොහොම සතුටුයි ඔබ ලෙඩා බලන්න පැමිණීම පිළිබඳව. මට ටිකක් බයයි. මේ තායි ගෑණු ළමයා ගැන. එයා මේක පිළිගන්නේ නැහැනේ.”
“මොකක්ද පිළිගන්නේ නැහැ කියන දෙයින් අදහස් කරන්නේ?” මම ඇසීමි.
“මේ මනුස්සයා නැහැනේ මැරෙන බව දැන දැනත් ඒක පිළිගන්නේ.”
“මොකද නැත්තේ? ඇය මා එක්ක කීවා ඇය මැරෙන්න යන බව. වෙනකක් තියා අවමංගල කටයුතු ගැනත් ඇය කථා කළා.”
මම එසේ පැවසූ විට මෙම ප්‍රධාන හෙදිය අන්දුන් කුන්දුන් වූවා ය. ඒ විස්මයෙන් ඇය මෙසේ ද ඇසුවාය.
“එහෙනම් ඇයි මේ ගැන තරහා පෙන්වන්නේ නැත්තේ? ඇයි ඇගේ හිතේ කිසි අමනාපයක් නැත්තේ?”
මෙම පිළිකා වාට්ටුවේ රාජකාරි කරන මෙම හෙදියට නිතර ම දක්නට ලැබෙන්නේ මීට ප්‍රතිවිරුද්ධ දසුන්ය. රෝගියකුට “වැඩිකලක් නෑ…. මැරෙන්නයි යන්නේ” කී විට ඒ සෑම දෙනාට ම තරහ යන්නේය. සිත අවුල් කර ගන්නේය, හඬා වැටෙන්නේය. පසුව ආඩපාලි ද කියන්නේය.
“ඇයි මට විතරක් මෙහෙම වුනේ?”
නමුත් අපගේ දායිකාව තම ඉරණම දැනගැනීමෙන් බියපත් නො වූවාය. මරණය එකහෙලා පිළිගත්තාය. ඇය ලස්සනට මිය ගියාය. එය අනෙක් උදවියට ආදර්ශයක් විය. එම කාන්තාවගේ දොස්තර මහතා බෞද්ධයකු නො වූවත් ඔහු කීවේ “ඇය ‘ටොප්’ එකට මැරුණා” කියාය.
ඇත්තෙන් ම මරණයත් – අසනීපයක් හැටියට සැලකිය යුතු බව මෙයින් පෙනේ. මරණයේ ඇති වරද කුමක්ද? මෙය නීති විරෝධී දෙයක් නොවේ. එයින් අපගේ සිල්පද නො කැඩේ. මරණය වරදක් නොවේ. එම නිසා මරණයට බිය නො වන්න. විශේෂයෙන් ම ඔබ බොහෝ සේ හොඳ ක්‍රියා කර තිබේ නම් සීලය ආරක්ෂා කර තිබේ නම් වතාවත් කරන්නේ නම් ඔබට හොඳ උපතක් අනිවාර්යයෙන් ම ලැබේ. මරණයට බිය වන්නේ මන්ද?
භික්ෂුන් වහන්සේ නමක් ලෙස බොහෝ සෙයින් අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට මට පැවරී ඇත. එවැනි මළගමකට ගිය විට මා කියන කථාවලින් එකකි මේ. දිගුකලක් විවාහ දිවිය සාමයෙන් ගත කළ යුවලකගෙන් එක් අයෙක් මියගිය පසු වැඩිකලක් යාමට මත්තෙන් අනිත් කෙනාත් මිය ගියේය. මේ කිට්ටුව – කිට්ටුව මියගිය දෙදෙනා දිව්‍ය ලෝකයේ පෙනී සිටියහ. මොවුන් පිළිගත් දේවදූතයෙකු ඔවුන් කැඳවාගෙන ගියේ කඳු පෙලක් අසල තිබූ අලංකාර මන්දිරයකටය. එතැනදී දේවදුතයා මෙසේ පවසයි: “මේ දෙන්නා කර තිබෙන හොඳ දේවල්වලට අනුව මෙහේ ඉන්නාතුරු මේ මන්දිරය අයිති ඔබ දෙපලටයි.” එසේ කියමින් ඔහු මන්දිරයේ යතුරු කැරැල්ල දෙදෙනාට බාර දුනි. මිලියන ගණනක් වටිනා මෙවැනි මන්දිරයක් සෑදීම එසේ මෙසේ පුද්ගලයකුට කළ හැක්කක් නොවේ. එවිට මේ මිනිසා පුදුම වී පැවසුවේ “මේ වගේ ගෙයක් කොහොමද මම බාරගන්නේ? මට පුළුවන්කමක් නැහැ, මේකෙ ලයිට් බිලවත් ගෙවා ගන්න.” එවිට දේවදුතයා පැවසූයේ “මේ අහනවද, මේ දිව්‍යලෝකයක්, ඔය බිල් කියන ජාති මෙහෙ නැහැ. හැම දෙයක් ම නොමිලේ.” එසේ පැවසූ දේවදුතයා මෙම යුවල මන්දිරය තුළට කැඳෙව්වේය.
ඇතුළත වූ අලංකාරය කෙසේ කියා නිම කරන්නද? සෑම කාමරයක ම සෑම ස්ථානයක ම තිබුණේ මිල කළ නො හැකි තරමේ උත්කෘෂ්ට භාණ්ඩය. සිවිලිමේ පටි පවා කර තිබුණේ තේක්ක සහ බුරුත දැවයෙනි. ගල්ගැසී බලා සිටින යුවල ඇමතු දේවදුතයා යළිත් මෙසේ පැවසීය.
“මේ භාණ්ඩ හිතට අල්ලන්නේ නැති නම් ඕනෑ ම වෙනසක් කළ හැකියි. බය නැතිව කියන්න.”
“වෙනස් කරන්න නොවෙයි, මට හිතාගන්නවත් බැහැ, අනිත් බඩු කොහොම වෙතත් අතන තියෙන රූපවාහිනියවත් රක්ෂණය කර ගන්න මට වත්කමක් තියෙනවද කියල?”
“මොනවද මේ කථාකරන්නේ. මෙහෙ කොයින්ද හොරු, මේ දිව්‍ය ලෝකේ. මොනවටවත් වියදම් කරන්න ඕන නැහැ.”
දේවදුතයා එසේ අවධාරණය කර මේ දෙදෙනා මන්දිරයේ විශාල ගරාජයට කැඳවාගෙන ගියේය. සුඛොපභෝගි විසල් වාහන තුනක් පමණ ගාල් කළ හැකි එම ගරාජයට ගිය විට මෙම යුවලගේ ඇස් උඩ ඉන්දවිණි. මොන දෙයියන්ට කියන්නද? එහි තිබූ වාහන අතර රෝල්ස්රොයිස් වර්ගයේ දෙපසට ම ආසන සවිකෙරුණු මෝටර් රියක් ද, ‘කැඩිලැක්’ වර්ගයේ රියක් ද; එපමණක් ද නොව තනිව ම වේගයෙන් යා හැකි ‘ෆෙරාරි’ වර්ගයේ අලංකාර මෝටර් රථයක් ද විය. මුලු දිව්‍ය ලෝකයට ම තිබුණේ එම වර්ගයේ මෝටර් රථ තිහක් පමණි.
“මේ ඔක්කොම එලවා බලන්න. හොඳ නැතෙයි හිතෙනවා නම් වෙන ඒවාට මාරු කර දෙන්නම්. ඕනතරම් වේගයෙන් යන්න. මෙහේ නැහැ හයියෙන් එලෙව්වොත් අල්ලන උදවිය” දේවදූතයා පැවසීය.
මිය යාමට ප්‍රථම කුඩා ජපන් මොටර් රියක්වත් ගන්නේ කෙසේදැයි මේ මිනිසා සිතමින් සිටියත් ඔහුට එයට ද වත්කමක් නො වීය. එසේ ගත්ත ද ඒ හිටි ලෝකයේ ඇති මාර්ගවල වේගයෙන් රිය පැදවීමට ද නො හැකිය. මිනිසාට අතීත මතකය පැමිණියේය. හේ නැවත බිය වූවේය.
“මා ළඟ සල්ලි නැහැනේ, මේ වගේ කාර්වලට බදු ගෙවන්න. මම හිතන්නේ ලක්ෂ පනහක් – හැටක් විතර යයි ඒකට” ඔහු දේවදුතයාට පැවසීය.
“මේවට බදු ගෙවන්න වුවමනා නැහැ. රක්ෂණ ඕන නැහැ. මේ දිව්‍යලෝකයේ හැමදේම සැපයෙන්නේ නොමිලේ. පෙට්ට්‍රල් නිකම්, අවසර පත්‍ර ඕන නැහැ. ගිය ආත්මේ කළ හොඳ දේවල්වලට ලැබෙන තෑගි තමයි මේ.”
මෙසේ පවසා දේවදුතයා මේ දෙදෙනාට සෑම දෙයක් ම බාරදී ඉවත්ව ගියේය.
දේවදුතයා පිටත්ව ගොස් වැඩි වේලාවක් යාමට මත්තෙන් මේ මිනිසා සිය බිරිඳත් සමග තරහ ගැනීමට පටන්ගත්තේය. ඇයට විවිධාකාරයේ දොස් නගන්නට වූයේය. ඔහු සිටියේ දැඩි නොරිස්සුමකිනි. වැඩි වේලාවක් යාමට පෙර ඔහු කේන්තියෙන් පුපුරන්නට විය. බිරිඳට ඔහුගේ වෙනස තේරුම්ගැනීම අපහසු විය.
“හැබැහැට ඔහේට මොකද වෙලා තියෙන්නේ? මෙපමණ ලස්සන ගෙයක්, හිතන්නවත් බැරි වටිනා සම්පත්, වාහන රාශියක් ලැබිලත් මොකද ඔය හැටි පුපුරන්නේ? මොකද අඳු කැවිලද?”
“මොකද කියලා අහනවා, ඇයි දැන් මතක නැද්ද? ගිය ආත්මයේ ඔහේ මට හොඳයි හොඳයි කිය කියා ගුණ කෑම ජාති ගිල්ලෙව්වේ නැති නම් මීට අවුරුදු කීයකට කලින් ද මම මෙහාට එන්නේ?”
ඔබගේ බිරිඳත් ඔබට ගුණයෙන් වැඩි හොඳ ආහාරපාන සකසා දෙනවාද? ඒ ගැන ටිකක් හිතා බලන්න. මෙම කථාවේ තේරුම හොඳ ගුණ යහපත් අය මරණයට බියවිය යුතු නැති බවයි. කොතරම් හොඳ, සතුටුදායක දේවල් අනෙක් පැත්තේ සූදානම් වී තිබේද? දිව්‍යලෝක ඔය කී ආකාරයට පවතින්නක් නො විය හැකිය. නමුදු අප හොඳින් දන්නා කරුණක් ඇත. අප කුමන ආගමක් ඇදහුව ද අප ජීවත් වූයේ හොඳින් නම් නැවත උපදින විට කිසිදු අඩුවක් නොමැතිව අවශ්‍යතා සියල්ල සපිරෙන දිවියක් ඇති බවයි එ්.
එසේ නම් අප මරණයට බිය මන්ද? ඇයි අප අනෙක් උදවිය මැරෙනවට බිය වන්නේ? විශේෂයෙන් ම එම උදවිය වයසට ගිය අය නම් ශරීරය දිරාපත්වී ඇත්නම් ඇයි එම අයට යාමට අවසර දිය නොහැකි? ඊට මූලික හේතුව අප මරණය හරියට තේරුම්ගෙන නොමැති වීමය. මැරෙන්නට ඇති බියය. අප ඒ දෙස බලන්නේ වැරදි ආකාරයටය. මරණය යනු එක් ජීවිතයක අවසානයයි. ඉන් පසු තවත් ජීවිතයක් අපට ලැබෙන බව අපි දනිමු. දේව ලෝකයක නොවේ නම් නැවත මනුෂ්‍ය ලෝකයේ හෝ වෙනත් කොතැනක හෝ අපි උපදින්නෙමු. එම නිසා පාසල් ගොස් අවසන් යැයි නො සිතන්න. නැවත පාසල් යාමට සිදුවේ. තමන් නිවන අවබෝධය කර නො ගත්තේ නම් නොඅනුමානව නැවතත් වතාවක් තෙමා ගත් කලිසන්, රෙදිකෑලි ඇඳගෙන හඬහඬා වැටිවැටී සීටීමට සිදුවන්නේය. අප ගුණ ධර්ම අනුව ජීවත් වෙනවා නම්, විශේෂයෙන් ම පුනරුත්පත්තිය හා කර්මය කුමක්ද කියා තේරුම්ගෙන ඇත්තේ නම් මරණය පිළිබඳ ඇති බිය සිතෙන් පහව යන්නේය.
අවමංගල උත්සවවලදී සිනහව උපදවන විහිළු කතා කීම මාගේ පුරුද්දකි. බටහිර රටවල ඇති අවමංගල කටයුතු කර දෙන සමාගම් මෘත දේහයන් භාරගත් විට ඒ වෙනුවෙන් ඉටු විය යුතු සෑම දෙයක් ම නිසි පිළිවෙලට ඉටු කර දෙයි. ආදාහනය කළ පසු භෂ්මාවශේෂ පවා ගෙනවිත් භාර දේ. එම කටයුතු සඳහා පැමිණෙන මහත්ම මහත්මීන් සිටින්නේ ඉතා හොඳට හැඳ පැලඳ ගෙනය. පෙනුම ගාම්භීරය. ගමන ඉතා සන්සුන්ය. තැනට ඔබින අන්දමට කටයුතු කිරීමට දක්ෂය. හැසිරීම විශිෂ්ටය. පසුගිය දිනක අවමංගල උත්සවයකදී මම කලින් සඳහන් කළ කථාව කීමට පටන්ගත් විට පිටු පසින් සිටගෙන සිටි අවමංගල්‍ය කටයුතු මෙහෙයවන නිලධාරි මහත්වරු මා දෙස ඔරවාගෙන බලා සිටියහ.
“හා හා ඕව කියන්න එපා. මේ විහිළු කරන තැනක් නොවෙයි. පිස්සුද?”
ඔවුහු යටි හිතින් එසේ අසන බව මට පෙනුණි. සාමාන්‍ය සිරිත එය නේද? මළගෙවල්වල සිටිය යුත්තේ මුහුණ හකුළුවාගෙන ඇඹුල් කර ගෙන බවයි පිළිගැනීම. එහෙම නොවේද? එහෙත් මම කියන්නේ මෙයයි. අර විහිළු කථාව කී විට මළගමට සහභාගි වූ සියලු දෙනාගේ ම සිත් ප්‍රබෝධමත් විය. එවිට පෙර කී නිලධාරීන්ගේ මුහුණු ද ආලෝකමත් විය. අස්ථාන බිය පහව ගියේය. උත්සවය අවසන් වූ විට මා අසලට පැමිණි ඔවුන් පැවසුවේ මෙයයි.
“ඒ කළ දේ, බොහොම හොඳයි, බොහොම හොඳයි” ඒ විහිළුවලට බොහොම ස්තූතියි. අපි හිතන්නේ ඒ මැරුණු මනුස්සයාට ඕන කළෙත් ඒ වගේ දෙයක්….”
ඔහුගේ මළගමට පැමිණි අය හඬා වැලපෙනවාට, දුකෙන් ඉන්නවා දැකීමට, ඔහුට වුවමනා නො කරන්න ඇති. ඔබට වුවමනා ඔබගේ අවමගුල දවසේ යාළුවෝ නැදෑයෝ හඬා වැටෙනවාටද? නැති නම් එම උදවිය දුකක් ඇති කර නොගෙන සතුටින් සිටිනවා දැකීමටද? ඔබ කැමති එම අය සතුටින් සිටිනවා දැකීමට නම් එදාට මට අඬගහන්න!
මෙය සැහැල්ලුවට නො ගන්න. ඊට හේතුව, එයින් පෙන්වා දෙන්නේ මරණයට බිය නො වන්න යන්නයි. මම තවත් කථාවක් කියන්නම්. එය ගැඹුරින් හිතට කා වදින්නක්, එසේ ම ලස්සන කථාවක්, එය මගේ ජීවිතය හා සම්බන්ධ වූවක්ය. මගේ පියා මිය ගියේ මට අවුරුදු දහසය වන විටදීය. මම ඔහුට බොහෝ සේ ආදරය කරමි. ඔහු මට හොඳ පියෙක් විය. නමුත් ඔහු මිය ගිය විට – ආදාහනය කළ විට මම නො හැඬුවෙමි. මගේ දෑසට කඳුළු ඉනුවේ නැත. අද වනතුරු ඒ පිළිබඳව මම හඬා නැත්තෙමි. මගේ සිතෙහි සාංකාවක් පසු තැවීමක් ඇති වූයේ ද නැත. මගේ හිතට එය දැනුණු ආකාරය, මගේ හදවත එය පිළිගත් ආකාරය අන්‍යයන්ට විස්තර කර දීම තබා, මට ම එය තේරුම් ගැනීමට දිගු කාලයක් ගත විය. මම මේ කථාව, මම සහභාගීවන සෑම අවමගුලකදී ම වාගේ මගේ කථාවට ඇතුළත් කරමි.
මට එය හැඟුණු ආකාරය මෙසේය. මම එය විස්තර කරනුයේ තවත් උපමාවකිනි. ලන්ඩන් නුවර ජීවත් වූ මගේ තරුණ කාලයේදී මම සංගීතයට බොහෝ සේ ආසා කළෙමි. ලන්ඩන් නුවර එකල පැවති බොහෝ සංගීත සන්දර්ශනවලට මම සහභාගි වී ඇත්තෙමි. කිනම් වර්ගයක සංගීතයක් වුවත් එයට සවන්දීමට මම කැමැත්තක් දැක් වූවෙමි. පසු කාලවලදී ලෝක ප්‍රසිද්ධිය දිනාගත් සංගීත කණඩායම් ඒ අයගේ මුල් කාලවලදී මම දැක ඇත්තෙමි. දැන් දස දහස් ගණනින් සෙනග රැස් වූව ද ඒ කාලයේ ඔවුන්ගේ සංගීත වැඩසටහන් වලට පැමිණියේ අතළොස්සක් පමණි. ලෝක ප්‍රසිද්ධිය දිනූ ‘රෝයල් ඇල්බට් හෝල්’ වැනි ස්ථානවල පැවැත්වෙන සංගීත සන්දර්ශනවලට සහභාගි වීමට ද මම පුරුදුව සිටියෙමි. එම සංගීත සන්දර්ශන අවසන් වූ විට අප සියලු දෙනා නැගී සිට අත්පොළසන් දුන් ආකාරය කෑ ගැසූ ආකාරය මට තවමත් ඉතා හොඳින් මැවී පෙනේ. අප උත්සාහ කළේ එම කණ්ඩායම ලවා තව ටික වේලාවක්වත් ගායනයක් හෝ වාදනයක් කරවා ගැනීමටය. ඔවුන ද ඊට එකගව තව මද වේලාවක් ගායනයෙහි වාදනයෙහි යෙදෙමින් අප සිත් සතුටු කරන්නේය. අවසානයේදී ඒ පිරිසටත් එම කටයුත්ත අවසන් කිරීමට සිදු වේ. සංගීත භාණඩ එකතු කර ගනිමින් එම උදවියටත් අවශ්‍ය කරනුයේ තම තමන්ගේ නිවෙස් කරා යාමටය. ඒ සෑම දිනක ම සන්දර්ශනය අවසන් වූයේ ඉතා රෑ බෝ වූ පසුවය. හොඳින් උණුසුම් කොට ආලෝකමත් කර තිබූ මෙම ශාලාවල සිට එළියට පැමිණි විට දැනෙන්නේ නිතර ම කඩා හැළෙන වැහි පොද, සීතල, අඳුර හා පාළුවය. ඒ සංගීත කණඩායමේ දක්ෂතාව නැවත වතාවක් කිසි දිනෙක ඒ ආකාරයෙන් ඇසීමට නො ලැබෙන බව මම දැන සිටියෙමි. එහෙත් මොහොතකටවත් මගේ සිතට දුකක් දැණුනේ නැත. ලන්ඩන් නුවර ඒ සීතල, කළුවර රාත්‍රියේ එළියට පැමිණි විට මට හැඟුණේ මොනතරම් දක්ෂ අන්දමින් ඔවුන් එම සංගීතය – රංගනය ඉදිරිපත් කළා ද යන්නය. එතන ඒ මොහොතේ සිටීමට ලැබීම මොනතරම් වාසනාවක්ද? මම මොනතරම් භාග්‍ය සම්පන්නද? උමං දුම්රියේදී හා මා නිවසට යන තුරු මා දෙසවන රැව්දුන්නේ ඒ සංගීතයයි. එම සිත් අලවන ඉදිරිපත් කිරීම පසුදිනත් මාගේ හදවත ප්‍රබෝධයෙන් තැබීමට සමත් විය. මගේ පියා මිය ගිය විට මට හැඟුණේ ද එලෙසමය.
ඔහුගේ ආදාහනය අවසන් වී ලන්ඩනයේ අඳුරු සීතලට පිවිසුණු විට මට හැඟුණේ පියෙකු වශයෙන් ඔබ කළ දෑ මොනතරම් වටීද? ඔබ දැන හැඳින ඔබ සමග අවුරුදු දහසයක් ම ජීවත් වීමට ලැබීම මොනතරම් වාසනාවක්ද? පියාණෙනි! ඔබට අනේක වාරයක් පිං. පියෙක් හැටියට ඔබ මට දුන් ආදර්ශ ගුරු හරුකම් මට අමතක නො වේ. මට කොයියම් විදියකින් හෝ දුකක් දැනුණේ නැත. ඔහු ගත කළ ලස්සන පැවැත්මෙන් මට දැනුණේ කෘතවේදී බවකි, ප්‍රමෝදමත් බවකි. මට දැණුනේ මගේ ජීවිතය ආලෝකමත් වූ බවකි. එය තව දිගුකාලයක් පැවතුණා නම් හොඳය. මා භිකුෂුවක් ලෙස ඔහු දුටුවා නම් මොනතරම් ඒ ගැන ආඩම්බර වෙයිද? එය කෙසේ වූවත් එවැනි මිනිසෙකු අවුරුදු දහසයක කාලයක් තිස්සේ දැන හැඳින සිටීමට ලැබීම මම තවමත් අගය කොට සලකමි.
මරණයට අවුරුදු කීපයකට පෙර දිනක, මා ඇමතූ මගේ පියා මෙසේ පැවසීය.
“පුතේ නුඹ ජීවිතයේ මොන දේ කළත්, මොනවා කළත් මගේ ගෙදර දොර නුඹට විවෘතයි.”
එම වදන් මගේ මතකයට නිතර පැමිණේ. ලන්ඩන් නගරයේ අපට තිබුණු නිවස බෙහෙවින් කුඩා එකකි. එබැවින් මගේ පියා අදහස් කළ දෙය තේරුම් ගැනීමට මාහට තරමක කාලයක් ගතවිණි. ‘ගෙදර’ යනුවෙන් ඔහු අදහස් කෙළේ ඔහුගේ ම හදවතය.
“ඔබ කුමන ආකාරයකට හැදී වැඩුනත්, ජීවිතය ගෙනගියත් මගේ හදවත ඔබට විවෘතයි. ඔබ හැමවිට ම මගේ පුතා. ඇතැම් විට ඔබ සමග වාද කළත්, ඔබ කියන දේවලට එකඟ නො වූවත් අමතක නො කරන්න, මා හැමවිට ම ඔබට ආදරෙයි. එහි වෙනසක් නැහැ.”
කොන්දේසි විරහිත සැබෑ ආදරය මම මුල්වතාවට හඳුනා ගත්තේ එමගිනුයි. මගේ පියාගේ ස්වභාවය එවැන්නකි. එබැවින් ඔහු මිය ගිය විට මගේ හදවතට පණ පෙවුණි. එවන් පුද්ගලයකුගේ ඇසුර ලැබීමට තරම් මා වාසනාවන්තයකු වීම පිළිබඳව මම හැමවිට ම ආඩම්බරවීමි. සෑම අවමගුල් උත්සවයකදී ම එම කථාව පැවසූ විට, එම සිත්වල වියෝව නිසා හට ගත් දුක්සහගත සිතිවිලි ඉවත් වී ඒ වෙනුවට ආදර්ශමත් ගුණයහපත් සිතිවිලි මතුවිය. හැඬීමට දුක්වීමට එතැනට පැමිණි උදවියට මා පෙන්වා දෙන්නේ, මියගිය අය සමග මෙපමණ කලක් එකට ජීවත් වීමට ලැබීම, එවන් පුද්ගලයකු දැන හඳුනා ගැනීමට ලැබීම මොනතරම් වාසනාවක් ද යන්නය. එවිට ඔවුන්ට මෙසේ කියැවේ.
“ඔබට බොහොම ස්තූතියි. මගේ සහකාරයා හැටියට, මගේ සහකාරිය හැටියට, මගේ තාත්තා, මගේ අම්මා, මගේ සහෝදරිය, මගේ සහෝදරයා, මගේ මිතුරිය, මගේ මිත්‍රයා හැටියට, පසුගිය අවුරුදු කිහිපය තුළ අප ගත කළ ජීවිතය මොනතරම් අගේද? නැවත වරක් අපි හමුවෙමු.”
මළ ගෙදරින් ඔවුන් පිටත්ව යන්නේ මරණය ගැන හඬමින් නොවේ. ජීවිතය අගය කරමිනි. එම නිසා මරණය පිළිබඳව කඳුළු වැගිරුවා දැන් හොඳට ම ඇති. කෙනෙකුගෙන් වෙන්වන විට අප එයින් ආදර්ශයක් නො ගන්නේ ඇයි? එම නිසා හැඬීම නවතා දමා හැරගිය තැනැත්තාට ස්තුති වන්ත වීමට පුරුදුවන්න. එය ඉතා උතුම් ආකල්පයක්, ප්‍රඥාවන්ත ආකල්පයක්, එය ජීවිතයත් මරණයත් පිළිබඳ අපගේ ආකල්පයන් පූර්ණ වෙනසකට භාජනය කරන අන්දමේ ආකල්පයක්. මරණයෙන් ගැලවීමට ක්‍රමයක් අපට නොමැති බව හා එය ජීවිතයේ ම කොටසක් බව අප පිළිගත යුතුය. එය කොතරම් අගේද? එයින් මරණය සමග සාමයක් අප තුළ ඇතිවන්නේය. එම සාමය නිසා මරණයට මුහුණදීම පහසුවන්නේය.
මා පැවැත් වූ මුල් ම අවමංගල උත්සවය මට හොඳින් මතකය, ඔහු අවුරුදු විසිඑකක් වයස ඇති ඉංග්‍රීසි ජාතික තරුණයෙකි. මරණය සිදු වූයේ පිළිකාවක් නිසාය. එංගලන්තයේ සිට ඔහුගේ දෙමාපියෝ මළගෙදරට පැමිණියහ. පුත්‍රයා බෞද්ධයකු බව දැන සිටියත් බුද්ධාගම කුමක්ද කියාවත් ඔවුන් දැන සිටියේ නැත. මිය යාමට ප්‍රථම ඔහුගේ එකම ඉල්ලීම වූයේ මිය ගිය පසු මා ලවා අවසන් කටයුතු ඉටු කර දෙන ලෙසය. ඔහුගේ ඉංග්‍රීසි ජාතික මව සහ පියා එංගලන්තයේ ගම්බද පලාතක ජීවත් වූ මධ්‍යස්ථ පැවතුම් ඇති අය වූහ. ආදාහනයේ කටයුතු වලට මා එන බව දුටු විට ඔවුන්ගේ මුහුණු කඩා වැටුණු හැටි මම දුටුවෙමි. ඔවුන් සිතන ආකාරය මට වැටහිණි.
“අනේ දෙයියනේ, කවුද මේ අපේ පුතාගේ අවසන් කටයුතු කරන්න එන එක්කෙනා? අපට සිටි එක ම පුතා ඒ. මොනවද මෙතන වෙන්නේ? ඇයි පූජකවරයෙකු හෝ දේවගැතිවරයෙකු හොයාගන්න මේ අයට බැරිවුණේ? ඇයි මීට වඩා හොඳට මේ වැඩය නො කරන්නෙ?”
නමුත් අවමංගල්‍ය කටයුතු අවසන් වූ පසුව එම උදවිය එයින් කොතරම් සතුටට පත් වුයේ ද කියතහොත් එවලේ ම ඩොලර් පන්සීයක චෙක්පතක් ලියා අප කැඳවාගෙන පැමිණි අයට පිරි නැමූහ.
එම දෙපල අවුරුදු පහකට පසු අපගේ ආරණ‍්‍යයට පැමිණියේය.
“ඔබ තුමා එදා කළ දේ අපේ හිතින් අස් කර ගන්න අපට බැරි වුණා. මොනතරම් හොඳින් ඒ කටයුත්ත කළාද? එය අපේ ජීවිතයට බලපෑවා. පිළිකාවෙන්, අපට සිට එක ම පුතා නැතිවීම උහුලගන්න බැරිවයි අප සිටියේ. නමුත් ඔබතුමා අපේ ඒ දොම්නස සොම්නසකට හරවලා පුතාගේ මරණය සමග සාමය සැනසීම ඇති කර ගැනීමට අපට ඉගැන්වුවා. ඔබට බොහොම ස්තූතියි.”
ඔවුන් වසර පහකට පසු එතරම් දුරක සිට, එංගලන්තයේ සිට පැමිණියේ අන් කිසිවකට නොව මා මුණ ගැසීමටය.
මා කොතරම් දුරට මිනිසුන්ගේ හදවතට කිට්ටු වෙනවා ද කියා මට තදින් දැනේ. ක්‍රිස්තියානි නෑ හිත මිතුරන් සිටින බෞද්ධයන්ගේ අවමංගල්‍ය කටයුතු කරන විට, ඇතැම් අය “මම අදහන්නේ ක්‍රිස්තියානි ආගම, ඒකට කමක් නැහැ, මම මැරුණාම කරුණාකර මගේ අවසාන කටයුතුත් මේ විදියට ම කර දෙනවාද?” මගෙන් ඉල්ලා සිටී.
එයින් පෙන්නුම් කෙරෙන්නේ මරණය තේරුම්ගත් බවයි. මරණයේ ඇති වරදක් නැත. එම නිසා කරුණාකර මරණය ඔබේ ජීවිතයේ කොටසක් කර ගන්න. ඒ සමග සාමය ඇති කර ගන්න. මැරෙන්නටත් මරණයටත් සූදානමක් ඇති කර ගෙන ඒ සමග සාමයට පත් වූවා ම බොහෝ විට ඔබට ජීවත් වීමට ඇති කාලය දික් වේ. දැන් මම තවත් කථාවක් කීමට යන්නෙමි.
ඇමෙරිකාවේ සිටි ඔහු, හොඳ පොරබදන ශුරයෙකි. ඔහුට හොඳ මොළයක් ද තිබුණි. ඔහු ඔක්ස්පර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුල් වූයේ ඉතා ප්‍රසිද්ධ ‘රෝඩ්ස්’ ශිෂ්‍යත්වය දිනා ගනිමිනි. පසුකාලයකදී ඔහු පැවිදි වී තායිලන්තයේ සිටින විට ‘ටයිෆොයිඩ්’ උණ රෝගයට ගොදුරු වූයේය. ආරණ්‍යයට පැමිණි දොස්තර මහතෙකු මෙම හාමුදුරුවන්ගේ තත්ත්වය දැක වහා ම බැංකොක් නුවරට ගෙන යන ලෙස අවවාද කළේය. අප ඔහු රැගෙන ගියේ දුම්රියෙනි. පෙර කී වෛද්‍යවරයා ගිලන් රථයක් ද කැටිව දුම්රිය පොලට පැමිණ සිටියේය. පසු දිනක ඔහු මට පැවසූයේ රෝගියා දුම්රිය පොලේ සිට රෝහලට යන තුරුවත් ජීවත් වේ ද යන්න පවා ඔහුට සැක සහිත වූ බවය. අපේ හාමුදුරුවෝ සිටියේ එතරම් අසාධ්‍ය තත්ත්වයකය. කඩිනමින් රෝහලට ඇතුල් කර ගත හැකි වූ නිසා අපට ඔහුගේ ජීවිතය ගලවා ගත හැකි විය. නමුත් ඔහුට සම්පූර්ණ සුවය ලැබුනේ නැත. නිතර රෝගී ස්වභාවයෙන් පසු වූ උන්වහන්සේව එංගලන්තයේ ආරණ්‍යයකට පිටත් කර යැවීමට සිදුවිය. එහිදී ලද හැකි ප්‍රතිකාර වලින් පවතින තත්ත්වය වෙනස් වේ යැයි අපි සිතුවෙමු. එහෙත් එය ද සිතූ තරම් වෙනසක් ඇති නො කළේය. වසර දෙක තුනක් ම ප්‍රතිකාර කළත් සුව වෙන බවක් නොපෙනුණි. එංගලන්තයේ සිටි අජාන් සුමේධෝ හිමියන්ට අදහසක් පහළ විය. බෞද්ධ ප්‍රඥාවෙන් බිඳක් උන්වහන්සේ ප්‍රයෝජනයට ගත්හ. ‘චිත්හර්ස්ට්’ ආරණ්‍යයේ රෝගියා සිටි කාමරය වෙත එතුමෝ ගියහ. අපේ ස්වාමීන් වහන්සේ සිටියේ මරණාසන්න තත්ත්වයකය. අජාන් සුමේධෝ හිමි උන්වහන්සේගේ යහන අසලට ගොස් හිඳගෙන මෙසේ පැවසුවේය.
“මම මෙතනට ආවේ මෙම ආරණ්‍යයේ වැඩ වෙසෙන භික්ෂුන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා, අනගාරික වරුන්, ගිහිදායක දායිකාවන් වෙනුවෙනුයි, ඒ හැම දෙනා ම වෙනුවෙන් මැරෙන්න ඔබට අවසර දෙන්නයි. ඒ නිසා මරණයට බය වෙන්න එපා. ඒක වරදක් නො වේ. එම නිසා ඔය තරම් උත්සාහ ගන්න එපා ජීවත් වෙලා ඉන්න.”
ඔබට මතක ද රෝඩ්ස් ශිෂ්‍යත්වය දිනූ උගතා, පොරබදන ශුරයා. ඔහු හඬා වැටුණා. උන්වහන්සේ හැකිතාක් වැළපුනා, වැළපුනා, වැළපුනා.
ඉන් පසුව ඔහුගේ රෝගය මදින් මද සුව අතට පත් වූයේය. උන්වහන්සේ තවමත් ජීවත් වන්නේය. අසනීපයට පෙර සිටි තත්ත්වයට පත් නො වූවත් කිවයුතු තරම් අමාරුවක් නොමැතිව ඔහු හොඳින් සිටී. ඒ සුවපත් වීම පුදුම සහගත නොවේද? අජාන් සුමේධෝ ස්වාමීන් වහන්සේ එතන ඇති ප්‍රශ්නය දුටුවේය. රෝගීව සිටියදී එම හාමුදුරුවෝ ලෙඩය සුව කර ගැනීමට ගන්නා බලවත් උත්සාහය නිසා ම රෝගය තවතවත් උත්සන්න විය. එසේ වූයේ වුවමනාවට වැඩි පීඩනයක් අසහනයක් ඇති කර ගත් නිසාය. එතුමා හැකිතරම් උත්සාහ ගත්තේ නො මැරී සිටීමටය. එතුමා සිතුවේ මරණයට පත් වීම ‘මහ මදිකමක්’ ලෙසය, නො විය යුතු දෙයක් ලෙසය. මෙතරම් විශාල පිරිසක් තමන්ව ජීවත් කර වීමට වෙර දරද්දී එම උදවිය අත්හැර දා ඔවුන්ගේ බලාපොරොත්තු සුන්කර යෑම කොතරම් නොසුදුසු ද යන්නයි. එය උපකාර කරන උදවියට කරන අයුක්තක් ලෙස එතුමා සැලකුවේය. එම සිද්ධියෙන් පසුව මරණයට ආසන්නව සිටින අයට ගුරුහරුකම් දීමට ගිය විට මා අසන මුල් ම ප්‍රශනය මෙයයි.
“තාම නැද්ද? මැරෙන්න තමන්ගෙන් අවසර ගත්තේ?” මම ඒ වෙනත් ලෙසකට අසන්නේ, “මරණය බලාපොරොත්තුවෙන් සිටින ඔබ ඒ සමග සාමයෙන් ද සිටින්නේ?” කියාය.
“මරණයට පත්වීමේ වරදක් නැහැ. මරණය සාධාරණ දෙයක්. ඒ සමග සාමය පවත්වා ගන්න” කියමින් ඔවුන් දිරි ගැන්වීමටයි මම ඒ හැමවිටම උත්සාහ ගන්නේ, මම බලාපොරොත්තු වන්නේ.
දෙවනුව බලන විට මෙහි තවත් ප්‍රශ්නයක් ද ඇත. මරණයට ආසන්න බොහෝ දෙනෙක් මා සමග පවසන්නේ “මම නම් මැරෙන්න සූදානම්. නමුත් මේ කරදරේ තියෙන්නේ ළඟින් ම ඉන්න අයගෙන් නේ. ඒ අයට ඕන මම මැරෙන්නෙ නැතිව තියා ගන්නයි.” ඇත්තවශයෙන් ම මෙය මැරෙන්න සිටින අයට ලොකු අසහනයක් ගෙන දෙන්නේය. තමන් කැමති වූවත් අනෙක් අය එයට ඉඩ අහුරයි.
“අම්මේ, අම්මේ, මැරෙන්න එපා, අනේ මැරෙන්න නම් එපා. කොහොම හරි අල්ලගෙන ඉන්න. හොඳවෙන්න බලන්න.. යන්න නම් එපා.”
එම නිසා මම නෑදෑයින්ට කියන්නේ ඔබේ හිතට ගැලපෙන විදියට සූදානම් වී, මරණයට ලංවී සිටින අය ළඟට ගොස් මෙසේ කියන්න.
“මම ඔබට මැරෙන්න අවසර දෙනවා.”
මට මතකයට නැගෙන, මෙලෙස මා අවවාද දුන් තවත් අවස්ථාවක්ය මේ. ඔහු හොඳ තරුණයෙක්. ඔහුට පිළිකාවක් සෑදිණි. නම ස්ටීවන්, වයස අවුරුදු තිහක් පමණි. ජීවත් කිරීමට කිසිම දෙයක් කළ නො හැකිව තිබිණි. ජීවත් වීමට ඉතුරුව තිබුණේ තව එක් දිනකි. මම ඔහුව බැලීමට ගියෙමි. ඔහුගේ බිරිය ජෙනීය. මම මුලින් ස්ටීවන්ට කථා කළෙමි.
“කොහොමද? මරණයට ලෑස්තිද?” මම ඇසුවෙමි.
“මම ලැස්තියි” ඔහු කීවේය.
ඊළඟට මම ජෙනීගෙන් ඇසුවේ “ස්ටීවන්ට යන්න අවසර දුන්නේ නැද්ද?” යන්නය.
එතන සිදු වූ දෙය හරි පුදුමය. මම මදක් මෑත් වූයෙමි. ජෙනී ඇඳ උඩ වාඩිවී ස්ටීවන්ව ළඟට ගෙන මෙසේ පැවසුවාය.
“ස්ටීවන් මම ඔයාට මැරෙන්න අවසර දෙනවා.”
ඔවුන් එකිනෙකා වැළඳගෙන හැඬුවෝය. එකිනෙකාගෙන් වෙන් වීමට අවසර ගත් ආකාරය කොතරම් චමත්කාරද? මගේ පියාගේ ම වචන වලින් “ඔබ මොනව කළත් මගේ හදවත ඔබට විවෘතයි. ඔබ මිය ගියත් එය එසේමයි.” සැබෑ ආදරයෙන් අප ආදරය කරන අයට නිදහස කරා යාමට අප ඉඩදිය යුතුය. අප ඔවුන්ට නිදහස දෙන්නෙමු.
“මම ඔබට ඇති තරම් ආදරෙයි. මට වුවමනා ඔබ සතුටින් ඉන්නව දකින්නයි. ඔබ සාමයට පත්වෙනවා දැකීමටයි. එයයි මට වැදගත්.”
“මගේ ආදරවන්ත සහකාරයාණෙනි, සැමියාරෙණනි, මා ආදර පුංචි දුවේ, පුතේ අප හැරයාමට ඔබට අවසර දෙමි.”
එයයි නිදහස ලබාදීම කියනුයේ. කුඩා කාලයේ මිය ගියත් එහි ඇති වරදක් නැත. බෞද්ධ දර්ශනයට අනුව එය කර්මානුරූපව සිදුවන්නක් බව අපි දනිමු. තරුණ වයසේදී මරණය? මහළු වයසේදී මරණය? බොහෝ දෙනෙකුට තේරුම් ගැනීමට අපහසු දෙයක් වී ඇත්තේ අඩු වයසින් මිය යන්නේ මන්ද යන්නය. කුමක් හෝ වරදක් මෙතැන සිදුවී ඇති බව අපේ හැඟීමය. අසනීප නො වූ කෙනෙක් සිටී නම් “අත ඔසවන්නැයි” මෙම දේශනාව මුලදී ම මා ඇසූ විට කිසිවකු අත එසෙව්වේ නැත. සියලු දෙනා ම රෝගී වී ඇත. එය ස්වාභාවිකය. අසනීපවීමේ ඇති වරදක් නැත. මරණයේ ද ඇති වරදක් නැත. වයසේ ප්‍රශ්නයක් එතැන නොමැත. උපදින විට ම මියගිය අය පිළිබඳව මම දනිමි. අවුරුද්දෙන්, දෙකෙන්, තුනෙන් මිය ගිය අය දැක ඇත්තෙමි.
මම දන්නා පවුලක දරුවෙක් ඉපදී සති තුනකින් මිය ගියේය. ඔවුන්ට වුවමනා වූයේ මේ දරුවාගේ කටයුතු හැකිතරම් හොඳින් සිදු කිරීමටය. ඔව්හු මේ පුංචි දරුවා කුඩා පෙට්ටියක තැන්පත් කළහ. දේහය රැගෙන යාමට දෙපැත්තට ම ආසන ඇති සුඛොපභෝගී විශාල රථයක් ද ඒ සඳහා තෝරා ගත්හ. ආදාහන කටයුතු බාර සමාගමේ දෙදෙනෙක් ඊට ගැලපෙන ලෙස හොඳින් හැඳ පැළඳගෙන ඉදිරිපස අසුන්දෙකේ තැන්පත්ව සිටි අතර පිටුපස ඕනෑතරම් ඉඩකඩ තිබූ හෙයින් මම පසුපස අසුනේ හිඳගතිමි. අවසන් කටයුතු බාර මටය. එසේ ම මෙවැනි ගමනක් යන පළමු වතාව ද එය විය. එම නිසා එය විනෝදජනක වීය. වාහනය රතු එළියට හන්දියක නැවැත් වූ විට, ළඟින් ම නැවැත් වූ වාහනයේ සිටි අය බැලුවේ අපේ වාහනය දෙසය. ඉස්සරහින් සිටින නිලධාරීන් දෙදෙනා දුටු විට එම උදවියගේ දෑස් නිරායාසයෙන් ම යොමු වූයේ රථයේ පිටුපසටය.
“කෝ මීනී පෙට්ටිය?”
කුඩා පෙට්ටියක් නිසා ඔවුන් එය දුටුවේ නැත. ඒ වෙනුවට දකින්නට ලැබුනේ මාවය. මම ඔවුන්ට සිනාසී අත වැනුවෙමි. ඔවුන් බැලූ ආකාරය තුළ තිබුනේ “මේ මිනිස්සුන්ට පිස්සුද? ඇයි මේ පණ තියෙන මිනිහෙක් වලදාන්න ගෙනියන්නේ?” යන්නය. එම නිසා “එවැනි ලොකු වාහනවල නොයන එකමය වඩා හොඳ.”
වයස් සීමාවක් නොමැතිව අප සියලු දෙනාට ම මිය යාමට සිදුවන බව සත්‍යයකි. මේ ඉදිරිපත් කරන කථාව බාලවයස්කාරයින්ගේ මරණය තේරුම් ගැනීමට ආධාරවන වැදගත් කථාවක්ය. අවස්ථාවේ හැටියට බොහෝ ‘මළගෙවල්’ වලදී මම මේ කථාව ද කියමි.
බොහෝ කලකට පෙර සිටි මේ ස්වාමීන්වහන්සේ ජීවත් වූයේ තායිලන්තයේ විශාල කැලෑවකය. එතුමාගේ කුටිය පොල්අතු සෙවිලි කොට උණ ලීයෙන් තැනූ පුංචි පැලක් විය. දිනක් රෑ තද කුණාටුවක් හැමීය. දෝරේ ගලන වර්ෂාවක් පතිත විය. සුළඟ බෙහෙවින් ම භයානක විය. වටපිටාවේ ගස් ඉදිරි වැටිණි. කුටිය අසලට විශාල ගස් ඇදවැටෙනු උන්වහන්සේට ඇසිණි. ගසක් කුටිය උඩට ඇද වැටුනොත් ගැලවීමක් නොමැති බව උන්වහන්සේ දැන සිටියේය. එහෙයින් මුළු රාත්‍රිය ම නිදිවරා ගෙන සිටීමට සිදුවිය. කුණාටුව පාන්දර යාමයේ පහව ගියේය. ජීවිතය යන්තම් බේරිණි. උදෑසනින් ම එළියට පැමිණි උන්වහන්සේ සිදුවී ඇති විනාශය පිරික්සුවේය. යුධ පිටියක් සේ දිස්වන වනාන්තරය පුරා ඇදවැටුණු ගස්කොලන් හා දැවැන්ත අතු රිකිලිය. ඊළඟට උන්වහන්සේ දුටුවේ කුණාටුව නිසා කඩාහැලී ඇති කොළ ගොඩය. බලාපොරොත්තු වූ ලෙස විශාල ප්‍රමාණයක් දුඹුරු පාට වූ කොළ – පරණ කොළ බිම වැටී තිබිණ. ඒවා ගස්වල රැදී සිටි කාලය නිමා කොට දැන් බිම සෑම තැනකම විසිරී ගොසිනි. ඉදුණු කහපාට කොළ අතර දිලිසෙන තද කොළපාට කොළ ද බිම වැටී ඇති බව උන්වහන්සේ දුටුවේය. දින දෙකතුනකට උඩදී දිග හැරුණු අලුත් ම කොළ, ලා දළු, අතුරිකිලි ද ඒ අතරේ තැනින් තැන වැටී තිබිණි. ගස්වල තවමත් ඉතිරිව ඇත්තේ මොනවාදැයි බැලීමට එතුමාට සිත්විය. බලාපොරොත්තු වූ ලෙසට කොළපාටින් බබලන හොඳ කොළ බොහොමයක් ම අතුවල රැදී තිබිණි. ලාබාල මෙන් ම මෝරපු කොළ බිම වැටී තිබුණත්, උන්වහන්සේ දුටුවේ වේලුණු, වකුටු වූ, රැළි වැටුණු දුඹුරු පැහැ කොළ තවමත් ගස්වල රැඳී ඇති බවය.
උන්වහන්සේ එයින් තේරුම් ගත්තේ කුමක්ද? අපේ ජීවිතයත් එබඳුමය.
“තරුණ අය මැරිලා. ඒත් අපේ වයසක ආත්තම්මා තවමත් එල්ලීගෙන සිටින්නීය.”
ඇය රැළි වැටුණු දුඹුරු වී වකුටු වූ කොළයක් බඳුය. එයයි සොබාදහම, එයයි ධර්මය. සත්‍යතාව මෙයයි. ධර්මය මෙයයි. ඒ හැර මෙතැන වැරදීමක් සිදු වී නොමැත. සොබාදහමේ මෙන් ම මනුෂ්‍යයින් අතර ද සිදුවන්නේ මේ දෙයමය.
අසනීප, හදිසි අනතුරු වැනි කුණාටු අපේ සමාජය හරහා හමායන විට මුලින් ම වැටෙන්නේ වයසක උදවියය. සමහර විට තරුණ අය, ළදරුවෝ පවා වැටෙති. නමුත් එහි වරදක් නො දකින්න. ඇයි තරුණ වයසේදී මරු වැළඳගන්නේ කියා නො අසන්න. එසේ අසනවා නම් එයින් පෙන්නුම් කෙරෙන්නේ ඔබ ධර්මය වටහාගෙන නැති බවය. ධර්මය උගන්වන්නේ ඕනෑම මොහොතක අප මරණයට පත්විය හැකි බවය. දැන් මට පෙනෙන හැටියට කලින් දුටු බොහෝ දෙනෙක් අදත් මෙතන දේශනාව ඇසීමට පැමිණ සිටිනවා. මෙතැනට රැස් වූ අය තුන් සීයක් පමණ සිටිනවා යයි සිතුවහොත්, සංඛ්‍යාලේඛන වලට අනුව ඊළඟ අවුරුද්දේ නැවත මෙතනට මා එන විට අඩු තරමින් හය දෙනෙක්වත් මිය ගොස් සිටිය යුතුය. කවුද ඒ හය දෙනා? දැන් ඉතින් බොරුවට ළඟ ඉන්න වයසක උදවිය දිහා බලන්න එපා!
මරණය තේරුම් ගැනීමෙන් සිදුවන්නේ අපේ ජීවිත ආලෝකමත් වීමයි. මැරෙන බව අපි දන්නවා නම් අපි ජීවිතය මීට වඩා අගය කොට සලකන්නෙමු. අපට ලැබී ඇති කාලයෙන් නිසි ප්‍රයෝජන ගන්නෙමු.
මම තවත් කථාවක් කීමට කැමැත්තෙමි. සිඩ්නිවල සිටින මා දන්නා හඳුනන ඔහු, වෙළඳ ව්‍යාපාරිකයෙකි. දිනක් ඔහු වෛද්‍ය පරික්ෂණයකට සහභාගී විය. දවස් කිහිපයකට පසුව වෛද්‍යවරයා ඔහුට දුරකථන ඇමතුමක් දුන්නේය. මුලින් ම ඔහු ඇසුවේ “කෝ, නෝන ළඟ ඉන්නවාද?” යන්නය. එයින් ඔහු දැන ගත්තේ එනපාට හොඳ නැති වගය. “ඇයි මොකද? කරදරයක්ද?” ඔහු විමසුවේය.
“කොහොම මේක කියන්න ද මම දන්නේ නැහැ? ඒත් හංගන්න බැහැ. කරපු පරික්ෂණවල වාර්තා ඇවිත් තියෙනවා. ඒකේ කියන්නේ ඔබට පිළිකාවක් තියෙනවා කියලා. ඒක දුර්ලභ ගණයේ එකක්. හැම තැනම විහිදිලයි තියෙන්නේ, කරන්න කියලා නම් දෙයක් නැහැ. මට බොහොම කණගාටුයි මෙහෙම කියන්න වුනාට.”
ඔහු ඇසුවා “මට තව කොච්චර කල් තියෙනවාද?” කියා.
“හරියට ම කියන්න බැහැ, මාස දෙකක් නැත්නම් තුනක් වෙන්න පුළුවන්. නමුත් මාස හයක් නම් ඉන්න වෙන එකක් නැහැ. ඉක්මන් කරලා කර ගන්න තියෙන දේවල් කර ගන්න.”
මොහුට මෙය දැනුණේ වෙඩිල්ලක් වැදුණා සේය. බොහොම හොඳ සනීපෙන් සිටි ඔහු පිළිකාවක් සෑදේවි යැයි සිහිනෙන්වත් සිතා නො සිටියත් එය එසේ සිදුවිය. ඔහු කළේ කුමක්ද? බිරිඳ හා ළමයින් කැඳවා ඇත්ත කීමය. මුලු පවුලත් සමග යුරෝපයේ සංචාරයක යෙදීමට බොහෝ කලක සිට ඔහු ආසාවෙන් සිටියේය.
“දැන් තමයි එයට කාලය” ඔහු තීරණය කළේය. “මම හැමෝ ම එක්ක යුරෝපයට යනවා.”
දින කීපයක් තුළදී ඔහු වෙළඳ ව්‍යාපාරය විකුණා දැම්මේය. ඔහු මට කීවේ නියම වටිනාකම නොලැබුණත් එය කඩිනමින් විකුණා ගැනීමට ලැබීම ගැන ඔහු සතුටු වූ බවය. ඔහු ප්‍රථම පන්තියේ ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගත්තේය. ඔහුට වුවමනා වූයේ පුළුවන් තරම් හොඳින් මේ අවසන් සවාරිය දරු පවුල සමග ගත කිරිමටය. නමුත් ප්‍රවේශපත් අතට ගත් දිනයේ ම ඔහුට නැවතත් දුරකථන ඇමතුමක් ලැබුණි. එය ද පරණ වෛද්‍යවරයාගෙන්මය. මෙය සත්‍ය කථාවකි. වෛද්‍යවරයා කථා කලේ පෙරටත් වඩා නොසන්සුන්වය, කලබලයෙන්ය.
“අනේ මම දන්නේ නැහැ. මේක කොහොම කියන්න ද කියලා? මෙතන අපට ලොකු වැරදීමක් වුනා. එක ම නම තියෙන දෙන්නෙක් හිටියා. ඔබට කිසි ම අසනීපයක් නැහැ, සමාවෙන්න.”
මේ වගේ දෙයක් සිදු වූයේ ඇමරිකාවේ නම් වන්දි ඉල්ලා නඩු මගට බැසීම අනිවාර්යය. නමුත්, මෙම ව්‍යාපාරිකයා පැවසුවේ අනෙකකි.
“දෝස්තර මහතා මගේ හොඳ ම ගුරුවරයායි.”
මෙම සිද්ධියෙන් ඔහු ලබාගත් අත්දැකීම ගැන ඔහු කෘතවේදී වූයේය. ඔහු ඒ චාරිකාවෙහි යෙදී පවුලේ උදවිය සමග හොඳින් විනෝද වූයේය. දරු පවුලේ වටිනාකම ඔහු තේරුම් ගත්තේ ඒ අත්දැකීමෙන් පසුවය. තවත් වාපාපාරයක් ඇරඹීමට අවශ්‍ය මුදල් ඔහුට තිබුණේය. ඔහු දැන් එය කරන්නේ සුළුවෙන්ය. ඔහු නැණවතෙකි. මෙම අත්දැකීම ඔහුගේ මුලු ජීවිතය ම වෙනස් කළ බව ඔහු කීවේය.
ඔහු තේරුම් ගත්තේ “මෙයයි ස්වභාව දහම. මෙයයි ධර්මය. නැතිව වැරදීමක් මෙතැන සිදුවී නැත. මරණය ඕනෑම වෙලාවක පැමිණිය හැකිය.”
සෑම දවසක් ම ඔහු අගය කොට සැලකුවේය. කලින් ඔහුට වැදගත් වූ, පොහොසත්වීම වැනි දේවල් දැන් ඔහු එතරම් අගයන්නේ නැත. තමන්ගේ දරු පවුල, ආධ්‍යාත්මික ජීවිතය ඔහුට ඊට වඩා වැදගත්ය.
මරණය අපට ජීවිතයේ ඇති වැදගත්කම පෙන්වා දෙන්නේය. මොනවට ද අපි ඉපදුනේ? කනත්තේ සිටින ලොකු ම පොහොසතා වීමටද? එසේ නැති නම් අපේ ජීවිතය සාර්ථක කර ගෙන, එයින් නියම ඵල ප්‍රයෝජන ලබාගෙන, සියල්ල අතහැර දමා යන දිනය පැමිණි විට අප යහතින් ජීවිතය ගත කළ බව සිහිපත් කළ හැකි තත්ත්වයකට පත් වීමටද?
“අපේ ජීවිතයෙන් අප සතුට ට පත්වුනා. යහපත් දේ කළා. ජීවත්වූ ලෝකය කාටත් හොඳින් සිටිය හැකි තැනක් කිරීමට අප සමාජයට සේවයක් කළා. ඉපදුණ තැන අප කෙළෙසුවේ නැහැ.”
මැරෙන මොහොත එළඹුණු විට ඔබට මෙසේ පැවසිය හැකි නම්, “ඔව්! මම හොඳින් ජීවත් වුනා. මම දරු පවුල රැකබලා ගත්තා. මම සමාජයට සේවයක් කළා, පිං පෙත් කළා, සිල්පද මම රැකගත්තා. මම හොඳ සේවයක් කළා.”
එම සිතිවිලිත් සමග ඔබ මියයන්නේ ඉතා ම තැන්පත් සාමකාමී මනසක් ඇතිවය. එය මොනතරම් වාසනාවන්ත මරණයක්ද? එවන් පුද්ගලයෙක් ඇසුරු කිරීමට ලැබේ නම් එය කොයි තරම් අපූරුද?
ඔබේ ලෙඩරෝග හා මරණය සමඟින් සාමයට පත්වේවා යැයි පතමින් දේශනය මින් නතර කරන්නම්.
ඔබ සැමට සැපත, සැනසීම, සාමය නිදුක් නීරෝගිභාවය ලැබේවා!