හදේ කොතැනක හෝ හිදී ‘ඔබ’ නිදා නොනිදා මෙන් – කවුද මේ ඔබ?

ජෝර්ජ් කාරියවසම්

          මම සිංහල ගීත වලට ආසයි. සමහර විට සංගීත රටාව වෙන්න පුළුවන්, ඒත් බොහෝ විට පදමාලාවෙ අර්ථයයි මගේ සිත ඇද ගත්තෙ. ‘සංනාලියනේ සංනාලියනේ’, ‘මල හිරු බසිනා හැන්දා යාමේ’, ‘සුලං කපොල්ලේ’, ‘ලදුනේ ලදුනේ’, ‘කන්‍යා නොවෙය මා’ වගේ, මතකයට එන ගීත බොහොමයක් තියනව. තමනුත් මතක් කරල බලන්න.

          මම පාන්දර හීනයක් දැක්ක. හුඟක් හීන දකිනව. නමුත් මේ හීනය දැක්කට පස්සෙ මගෙ හිතට ආවෙ, සුනිල් එදිරිසිංහ මහත්මයා ගයන “හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන්, බලා අවසර, සොයා කල් දැන, වෙලා හස රැහැනින්, පෙළයි මා මුදා සුව දැහැණින් කියන ගීතයයි. පුදුමයි. මීට කලින් හීන වලට ගීත සම්බන්ධ වෙලා නැහැ. මම ඒ ගැන හිතල බැලුව.

          කොතෙක් මේ ගීතය අහල තිබුණත්, ඒ හැම වෙලේම හිතට එන්නෙ, අපි කාගෙත් හිතට එන පොදු හැඟීමමයි. මටත් එහෙම ‘ඔබ’ක් හිටියද කියලයි. ‘ඔබ’ කියල අපි අදහස් කරගන්නෙ ගැහැණියෙක් හෝ පිරිමියෙක්. එහෙම නේද? නමුත් මේ දැක්ක හීනයට ලිංග භේදයක් තිබුණෙ නැහැ. ඒකයි මට හිතන්න සිද්ද වුනේ.

           ‘සුව දැහැණෙන්’ මුදන්න, ඒ කියන ‘ඔබ’, ගැහැණියක් හෝ පිරිමියෙක් වෙන්නම ඕනෙද? එ් වෙන දෙයක් වෙන්න බැරිද කියල මට හිතුන.  ගැහැණියෙක් පිරිමියෙක් වගේ සජීවි දෙයක් වෙන්නත් පුළුවන්; ගේදොර, වතුපිටි, යානවාහන වගේ අජීවි දෙයක් වෙන්නත් පුළුවන්; අමනාපයක්, පුරුද්දක්, ගතිගුණයක් වගේ චේතනාත්මක දෙයක් වෙන්නත් පුළුවන්. මම වැරදිද?

          නිවී හැනහිල්ලෙ හොයල බැලුවොත්, ගීතය අහනකොට හිතට එන එක පිරිමියෙක් හෝ එක ගැහැණියෙක් වෙනුවට, ඒ වගේ සජීවි අජීවි ‘ඔබ’ලා කීදෙනෙක් හොයා ගන්න බැරිද?

          ඒ හැමදෙනාම බොහොම වෙලාවට ඉන්නෙ හිත යට නිදාගෙන නේද? ‘බලා අවසර’, ‘සොයා කල් දැන’ ඒ අය නැගිටල මොනතරම් ‘පෙලීමක්’ ඇති කරනවද? ‘සුව දැහැණ’ නැත්තටම නැතිවෙනව නේද?

          දැන් කියයි, අනේ අපි මොනතරම් හොඳ දේවල් කරනවද? නරක දේවල් වලින් ඈත් වෙලා බොහොම හොඳින් ජීවිත් වෙන්නෙ. අපෙන් කාටවත් කරදරයක් නැහැ. අපි දැන් බොහොම දැහැමි ජීවිතයක් ගත කරන්නෙ. බණ භාවනා කරල හිත සමාධි ගත වෙන වෙලාවලුත් තියෙනව.

          කතාව ඇත්ත. බොහොම අගෙයි. නමුත්……… කවුරු  නොදැනගත්තත්, බොහොම වෙලාවට, හැංඟිල ඉඳන් කරදර කරන කෙනෙක් ඔබටත් ඉන්නව නේද? කාලෙන් කාලෙට, වෙලාවෙන් වෙලාවට වෙනස් වෙන, ඒ එක්කෙනෙක්ද දෙන්නෙක්ද…… දහසකුත් එකක් වෙන්න පුළුවන් නේද? කමක් නෑ, හංගගෙන හිටියට ලැජ්ජ වෙන්න ඕනෙ නැහැ. අපි කවුරුත් එකයි. කාටවත් නොඇගෙව්වට අපි හැමෝටම කව්රුහරි ඉන්නව. නමුත් එ්ක පිලිගන්න හිත ටිකක් හොරයි. එයත් එක්ක හැංඟිමුත්තන් සෙල්ලම කරකර හිටියොත් තමයි ලැජ්ජ වෙන්න ඕනෙ. අනුන්ට නෙමෙයි, තමන්ටමයි ලැජ්ජ.  

          හැබැයි ඒක වරදක් හැටියට දකින්න එපා. ලැජ්ජ බය නැති ලෝකයක ඉපදුනු නිසා අපි හැමෝම ඒකට ගොදුරු වෙලා.

          හැංගිල ඉන්න ඒ ‘ඔබ’ එලියට එන කොටම, නැගිටින කොටම අල්ල ගන්න. කියන්න, ඔබත් එක්ක හැංඟිමුත්තන් සෙල්ලම් කරන්න මම තව දුරටත් කැමති නැහැ කියල. එයාව අත්හැර දාන්න. කිව්වට ලේසි නැහැ. අත්හැර දැම්මත් නැවත නැවත් පස්සෙන් එනව. කලයුතු සුදුසුම දේ නොකල නිසයි එහෙම වෙන්නෙ. තවතවත් උත්සාහ කරන්න. ඒ උත්සාහයම වටිනව. මටත් එහෙම එක්කෙනෙක් හරි ඉන්නව නේද කියල දකින එකත් ලොකු දිණුමක්. ප්‍රඥාවෙ වැදගත්කම එ්කයි.

          මේ අතරෙ, “අනේ උඹ දාහක් තියාගෙන අපිට කයිවාරු ගහන්න එන්න එපා” කියල හැඟීමක්, මෙය කියවන ඔබේ හිතට එන්න පුළුවන්. පරිස්සම් වෙන්න. ඒ සිතිවිල්ලම ඇති, අනේ අපට එහෙම කවුරුවත් නෑ කියකියා හිටි ඔබටත්, කෙනෙක් ලැබුන වෙන්න. දැන් ඔබයි ඒ කෙනා හොයා ගත්තෙ. මට ඒ කෙනා හමු වෙන්නෙ නැහැ. හමු වුනත්, දාහක් ඉන්න මට තවත් එක්කෙනෙක් වැඩි වුනාට ප්‍රශ්නයක් නැහැ. ඔබටයි ප්‍රශ්නෙ.

අනේ කරගත්ත දෙයක්!

Leave a comment