ජෝර්ජ් කාරියවසම්
උකුස්සන් ඉහළ අහසේ කොතරම් සැරිසැරුවත් කුසගිනි නිවාගැනීම සඳහා පොළවට බැසිය යුතුමය. ඒ කොතැනක සිටියත් ඔවුන් හැමවිටම ඇස් යොමා සිටින්නේ පොළව දෙසටමය. වැදගත්යමක් සිදුවන්නේ එතැනය.
මිනිසුන් වන අපට, අවට ඇති දේ ඇති සැටියෙන් දැකගැනීමට ඉහළට යාමට අවශ්‍යමද? පහළදී දකින දේ නොදුටුවා සේ හා දැනෙන දේ නොදැනුනා සේ සිටින අපට, එම දේම ඉහළදී දැන ගැනීමෙන් හා දැක ගැනීමෙන් වෙනසක් වේයයි ඔබ සිතනවාද? කුණුකසල ඇත්තේ අප අවටමය. හොඳ නරක සිතේ නැගෙන්නේද වැඩිපුරම ඒ ආශ්‍රිතවය. ඉහළට ගොස් හරි ‘ශෝක්’ කියා උදම් ඇනුවත් පහළට විත් ලගින්නට වෙන්නේ මේ හැමවිටම දකින පෙනෙන කුණුකසල ඇසුරේමය. ඔබේ අදහස, ඒවායින් කිතිකැවෙන විට නැවතත් ඉහළට යන්නටද? ඉහළදී හොඳ හැඟීමක් ඇති කරගත් පලියට කුණුකසල ඉවත් වේවිද? පැතුවාට හරි යයිද? අනුන්ගේ ප්‍රඥාව තමන්ගේ කරගත හැකිද?
මෙම වෙබ් අඩවිය ඇරඹූ දිනයේ සිට පසුගිය අවුරුදු හතරක කාලය තුලදීම මට දැක ගැනීමට ලැබුනේ එකමඑක දෙයයි. සියයට සීයකටම අවශ්‍යව ඇත්තේ පහළ අතහැර ඉහළට යාමට මඟක් සොයා ගැනීමටය. හැම දෙනාම වැඩිපුරම බලන්නේ ලිපියේ මාතෘකාවේ ඇති ගාම්භීරත්වයයි, එසේත් නැත්නම් කතෘවරයාගේ ප්‍රසිද්ධියයි. අනුන්ගෙන් ලබාගන්නා රෙකමදාරුවයි. ලිපියක් නොකියවා එහි අන්තර්ගතය කෙසේ තක්සේරු කල හැකිද? සමහර විට ඒ අය එම සෘදිබල ලබා ගන්නට ඇත්තේ ඉහළ සඳහන් කල ගණයට අයත් ලිපි දෙක කියවා ගැනීමෙන් යයි මට සිතේ. (ඔබ මේ මහ පොළවේ අඩිය ගසාගෙන සිටින්නේ නම් ඒ මොන ලිපි දෙකදැයි සිතා ගැනීමට ඔබට හැකියාවක් ඇතැයි මම සිතමි.)
අනේ සාදු! මොනතරම් පිනක් ඉන් මට අත්වන්නට ඇත්ද? එහෙව් කොට තවතවත් ලිපි පරිවර්තනය කර පලකිරීමේ පල කිම? නිවන් දැකීමට ඒ ලිපි දෙක මදැයි!
බොහෝ ඉහළ යාමට හැකියාවක් තිබූ සැරියුත් මහරහතන් වහන්සේටත් අතපසුවූ සුළු දෙයක්, කුඩා සාමනේර නමක් පෙන්වාදුන් විට උන්වහන්සේ එම වරද පිළිගෙන එය හදා ගත්තා. කතෘගේ තරාතිරමවත්, වරදේ ගාම්භීරත්වයවත් උන්වහන්සේ සළකා බැලුවේ නැහැ. ඒකට අපි! ඒක සුළු දෙයක්නෙ, අනික උඹ කවුද අපට උගන්නන්න එන්නෙ?
එකමඑක් අයෙක් අඩු තරමින්වත් ලිපි දහයක්වත් කියවා බැලුවේ, අවුරුදු හතරකට පසු, මේ ලඟදී දවසකයි. ඒ ඔබ නොවන බව නම් මට සහතිකය. කොතරම් ඉහළට ගොස් ඇත්දැයි ඔබ සිතා සිටියත්, සෘදිබල තිබූවත්, මට හොරෙන් ඒවා නොකියවා ඉන්න ඔබට පුළුවන් කමක් නැහැ. මා දන්නේ එපමණයි.