ජෝර්ජ් කාරියවසම්
“ඔබේ තරහ වෙනුවෙන් යමෙක් ඔබට දඬුවම් පමුණුවන්නේ නැත. තරහ, ඔබට දඬුවම් පමුණුවනු ඇත” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.
මොනතරම් වටිනා කියමනක්ද? මොකද කරන්න ඕනෙ? සාදු! සාදු! සාදු!ලොකු සාදුකාරයක් දීල ඔහොම යං.
තරහ, ඔබට දඬුවම් පමුණුවල තියෙනවද? තරහ, කොහොමද මට දඬුවම් කරන්නෙ? මමයි තරහින් අනුන්ට දඬුවම් පමුණුවල තියෙන්නෙ. මම ඔය අනික් අයට බාල්දුවෙන්න යන්නෙ නැහැ. ඔය ලෑස්ති වෙන්නෙ මගෙන් හොඳ දෙකක් අහගන්න. කට පියාගෙන ඉන්නවද? මගෙත් එක්ක නිකන් හැප්පෙන්න එන්න එපා. මෙතන එනව කෙරුම වෙන්න. ඔන්න මගේ තරහ අවුස්සන්නයි හදන්නෙ. වැඩිය ආවොත්හොම්ඹට දෙකක් දෙනව. දන්නවනෙ මම කවුද කියල? ඔන්න නොකිව්වයි කියන්න එපා. මම හොඳට හොඳයි, නරකට නරකයි.
හැමෝම කියන්නෙ තරහ යනව කියල. මොන බොරු කතාවක්ද? මම නම් ඒක පිළිගන්නෙ නැහැ. අනේ කොච්චර හොඳද එහෙම යනව නම්. වැරද්ද තියෙන්නෙ නැවත නැවත එන එක. තවත් සමහරු කියනව තරහ ගන්නව කියල. ඒකත් බොරුවක්. ඒ වගේ ජරා දෙයක් ගන්නෙ මොන මෝඩයෙක්ද? ඒ වගේම තරහ ගියා කියල, ඇත්ත දැනදැනම, අමූලික බොරු කියන අයත් මේ අතරෙ ඉන්නව.
ඒ නිසා තරහ ගත්ත, තරහ යනව, තරහ ගියා කියල කියන අය ඇත්තටම කියන්නෙ ඇත්තක්ද? විශ්වාස කරන්න එපා. ඔක්කොම බොරුකාරයො.
ඒ අය කියන විදියට, ඔය කියන තරහ කොහාටවත් ගියෙත් නැහැ, කොහෙන්වත් ආවෙත් නැහැ, වෙන තැනක තිබිල ගත්තෙත් නැහැ. යනව යනව කිව්වට යන පාටකුත් නැහැ. ඔය තරහ ගියා කියන අය, ඒ ගියේ කොහාටද කියල හොයල බලන්නෙ නැහැ. තරහ ආව, තරහ එනව කියන අය, ඒ ආවෙ කොහෙන්ද කියල බලන්නෙ නැහැ. තරහ ගත්ත කියන අය, ඒ ගත්තෙ මොක්කද කියලවත් ඇහැ ඇරල බලන්නෙ නැහැ. ඇයි ඒ? අනේ මෙහෙමත් ලෝකයක්.
ඔන්න යනව, ඔන්න එනව, ඔන්න ගත්ත කියන දේ පෙනෙන්නෙ බලා ඉන්න අයට. හපෝ යන්න දෙන්න එපා, එන්න දෙන්න එපා, ගන්න නම් එපා කියල අනුන්ට දේසනා කරන අයටත් විටින් විට යන්නෙ ඒ කලම නේද කියල ඒ අයවත් දන්නෙ නැහැ. ඇයි නැත්තෙ?
තරහ නිසා මනුස්සයෙකු තුළ සිදුවන විපර්යාසය අනිත් අයට පෙනෙනව. අතපය එහාට මෙහාට විසිවෙන ආකාරයෙන්, කටේ සද්දෙන්, කටින් පිටවෙන වචනවල ස්වරූපයෙන්, ඇස්වල දිස්වෙන රෞද්‍රකමින් බලා ඉන්න කෙනෙකුට මේ විපර්යාසය පහසුවෙන් හඳුනා ගන්න පුළුවනි. තරහින් පුපුරන වෙලාවට අපි කණ්ණාඩියක් ඉදිරි පිටට ගිහින් නොබලන නිසා ඒ සිදුවන විකෘතිය අපට පෙනෙන්නෙ නැහැ. දැක්කොත් ඇත්තටම ලැජ්ජ හිතෙයි.
ඒ වගේම කණ්ණාඩියකට, වටපිටාවෙ ඉන්න අයට, නොපෙනෙන අදෘශමාන දේවලුත් මේ අතරෙ ඇතුළතින් සිද්ද වෙනව. ඒව පෙනෙන්නෙ, දැනෙන්නෙ; ආවෙ කොහෙන්ද, ගියේ කොහාටද, ගත්තෙ මොකක්ද කියල විපරම් කර බලන අයට විතරයි. මොනවද ඒ?
ලේ පිච්චෙනව කියල සමහරු කියනව. පිච්චෙනව කොහොම වෙතත් රුධිර පීඩනය නම් අධික ලෙස වැඩි වෙනව. පපුව ගිඩිගිඩි ගාල ගැහෙනව. අසහනය, ආතතිය වැඩි වෙනව. හෘද්‍යාබාධ වැඩි කර ගන්න කියාපු බෙහෙත. රුධිර පීඩනය වැඩි වුනාම ආයුෂ කෙටි වෙනව. හෘද්‍යාබාධ හැදුනාම තිබුණ ආයුෂත් නැති වෙනව. සමහරු ඩුග්ගාල මැරිල වැටුන වෙලාවලුත් තියෙනව.
දඬුවම් පමුණුවනව කීවාම කව්රුවත් කෝටුවක් අරගෙන ගහන්නෙ නැහැ. ඒ නිසයි, මම තරහින් අනුන්ට දඬුවම් පමුණුවනව මිසක් මට කවුද දඬුවම් කරන්න එන්නෙ කියල, සමහරු හිතාගෙන ඉන්නෙ.
තමන්, අර කලින් කිව් ආකාරයෙ තරහ ගන්න, ගිය, යන, කෙනෙක් නම්, ඒ ක්‍රියාවල් අතින් ප්‍රසිද්ධියක් උසුලනව නම්, දන්නකියන අය අතරෙ තමන් එතරම් ප්‍රියමනාප පුද්ගලයෙක් වෙන්න බැහැ. හුඟ දෙනෙක් බලන්නෙ මගහැරල යන්න, දැක්කත් නොදැක්ක වගේ ඉන්න. වැඩිය කතාවට එන්නෙ නැහැ. ආශ්‍රයට කැමති වෙන්නෙ නැහැ. හදිසියකදි කව්රුවත් කැමැත්තෙන් උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙන්නෙ නැහැ. තමන් ඉදිරියෙ හොඳ මූණක් පෙන්නුවත් යටි හිතේ ඒ අය තුළ තියෙන්නෙ පිළිකුලක්.
ගුණයහපත් කම් නොදන්න අය අතරෙ තැනක් තියා ගන්න තමන්ට පුළුවන් කම ලැබුණත්, එහෙම අය හොඳ හිතවතුන් සේ පෙණුනත් වැඩිකල් ගත නොවී, ඔය කියන ඇයි හොඳයි කම් නැතිභංග වෙන කාලයකුත් ළඟා වෙනව. එදාට තමයි ඇත්තටම තනි කම දැනෙන්නෙ.
ඉතින් මේකට මොකක්ද තියෙන විසඳුම? කව්රුත් කියන්නෙ තරහ ගන්න එපා කියල, තරහ හොඳ නැහැ කියල. හොඳ දෙයක් වුනත්, නරක දෙයක් වුනත් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, අරගෙන ඉවරනෙ? ඉතින් එහෙම නම්, ලාබ පාඩු බලන්නෙ නැතිව, තරහ අල්ලල විසි කර දාමු.
තරහ ගත්ත, ගත්ත කිව්වට මම නම් හිතන්නෙ නැහැ, ඒක හරියටම අල්ල ගත්ත කියල. ගත්තෙ පුරුද්දට, නැතිව තේරුම දැනගෙන නෙවෙයි. ගත්ත දේ විසි කරන්න වුනත් ඒක අල්ල ගත්තු දෙයක් වෙන්න එපැයි. අල්ල නොගත්තු දෙයක් විසි කරන්නෙ කොහොමද? ඒ නිසා ගත්තු දේ හොඳට අල්ල ගන්න පුළුවන් වෙන්න ඕනෙ.
කියන්න නම් ලේසියි, කරන්න තමයි අමාරු. කතාව ඇත්ත. අර පොඩි කාලෙ ඇලවල් වල, දියකඩිති වල මාළු ඇල්ලුව වගේ මතුවෙන කොටම අල්ල ගන්න ඕනෙ. ඒකට හොඳ සිහිකල්පනාවක් තියෙන්න ඕනෙ. අපි ඒ කාලෙ අල්ලපු ‘ගප්පි’ කියන පුංචි මාළුව හරි ඉක්මණට පැටව් ගහනව. ඒ වගේම තමයි, මනසෙ හොල්මන් කරන මේ තරහ කියන මාළුවත් උපදින කොට පේන්නෙ නැති තරමට පුංචියි. හොඳ සිහිකල්පනාවක් තියෙන්න ඕනෙ, දකින්න, අල්ල ගන්න. හරි ඉක්මණට පැටව් ගහනව.
ආ! මට බැරි වුනානේ තරහට පොඩි කාලෙ කියන නම කියන්න. කතාවට ගිහින් තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙලා යනව. නම, ‘අකැමැත්ත.’
පොඩි කාලෙදිම, අකැමැත්ත අල්ලල විසි කර දාන්න කැමැත්තක් ඇති කර ගන්න. ලොකු වෙන්න ඉඩ ඇරියොත් අපිව හපාකනව. තවතව පැටව් ගහනව. එතකොට ඔන්න එනව, ඔන්න යනව කියකියා බලා ඉන්න තමයි වෙන්නෙ. ඒ ලොකු එකා දකින්න නම් ඔය කියන තරම් සිහිකල්පනාවක් අවශ්‍ය කරන්නෙ නැහැ. ඕනෙ කෙනෙකුට පේනව. සිහිය නැති අයටත් පේනව.
‘අකැමැත්ත’ කියන පොඩි එකාට උස මහත් වුනාම කියන්නෙ ‘තරහ’ කියල. ඒක මහ පුදුම දෙයක්නෙ, කවුද දන්නෙ, ඔහොම කියන්න එපැයි. මොකක්ද ඔච්චර පුදුම වෙන්න තියෙන්නෙ? ‘තරහත්’, ‘මිනිහ’ වගේම තමයි. ‘මිනිහ’ට පොඩි කාලෙ කියන්නෙ ‘දරුව’ කියල. දරුව උස මහත් වුනාම මිනිහ වෙනව. ‘දරුව’ මෙල්ල කර ගත්ත හැකියි. නමුත් ‘මිනිහ’ මෙල්ල කර ගන්න එක ලේසි නැහැ. තරහත් ඒ වගේම තමයි. මිනිහයි, තරහයි එකතු වුනාම කොහොමට හිටීද, බුදු සරණයි!
මම කැමැති දේට වෙන කෙනෙකු අකැමැති වෙන්න පුළුවන්. මම අකැමැති දේට වෙන කෙනෙකු කැමැති වෙන්න පුළුවන්. ලෝක ස්භාවය ඒකයි. අන්න එතැනදි තමයි තමන්ට නියම දානපතියෙක් වෙන්න පුළුවන්. තමන්ට නැති වුනත් අනිත් අය වෙනුවෙන් දීල දාන්න, අත්හැර දාන්න. තමන් කැමැති දේට අනුන් අකැමැති නම් අත්හැර දාන්න. තමන් අකැමැති දේට අනුන් කැමැති නම් දීල දාන්න. ඒ සිතිවිලි කුරවල් කරකර අකැමැත්තට උපදින්න ඉඩ දෙන්න එපා. ලොකු කරගෙන, පැටව් ගහන්න ඉඩ අරින්නත් එපා. ඒක බාල්දු වීමක් නෙවෙයි. මනස උසස් කර ගැනීමක්. මනස දියුණු කර ගැනීමක්.