කරුමක්කාරයෝ

ජෝර්ජ් කාරියවසම්

       බොහෝ විට දේවල් සිදුවන්නේ ඔබට ප්‍රියමනාප ආකාරයෙන් නොවේ. ලෝක ස්වභාවය එයයි. කවදා හෝ එය වෙනස් වේයයි ඔබ සිතනවාද? ඒ දවස එන තෙක් බලා සිටිනවාද? නැතිනම් ……

නිල්වන් පැහැදිලි අහස හරිම දීප්තිමත්. නමුත් එය ඒ අයුරින්ම පවතින්නේ නැහැ නේද? ඔබ මොකද සිතන්නේ? වලාකුළු ඇවිත් එය අඳුරු කරනවා, එහෙම නේද? අඳුරත් සමඟ ඔබ වලාකුළු සම්බන්ධ කරගෙනයි ඉන්නේ. වලාකුළු – අඳුර. නෑ එහෙම දෙයක් නෑ. ඒ ඔබ සිතා සිටින ආකාරය, මවාගෙන තියෙන වැරදි සංකල්පයක්.

කාන්තාරයක හෝ හැමදාම අතරක් නැතිව හිරු රශ්මියෙන් පිච්චෙන තැනක ඔබ ඉන්නවා නම්, වලාකුළු ඔබට ආශීර්වාදයක්, සම්පතක්. වලාකුළු පිළිබඳව තිබූ ඔබේ සංකල්පය දැන් වෙනස්. ඒ නිසා තියෙන දේ ඒ හැටියට පිළිගන්න කෙනෙක් වෙන්න. එතකොට අඳුර ඇති තැන අඳුර නැතිවෙනකම් බලා ඉන්නේ නැහැ. පතපතා ඉන්නේ නැහැ. අව්ව ඇති තැන හෙවන වැටෙනකම් බලා ඉන්නේ නැහැ. පතපතා ඉන්නේ නැහැ. දුක් වෙවී ඉන්නේ නැහැ. ඒක ලෝක ස්වභාවයක් බව තේරුම් අරගෙන, ජීවිතය ගැන සැලකිලිමත්ව ඉදිරියටම යනවා. ලැබුනොත් හොඳයි – නොලැබුනොත් ඒත් හොඳයි.

හිතේ හයිය – ස්වයං විශ්වාසය අපට තියෙනවාද? ඔය දෙක, දෙකක් නොවයි. එකම දේ. එකක් ඇති කර ගන්න කොට අනික ඉබේටම ගොඩනැගෙනවා. ඔය ‍පතපොතේ, දේසනා වලදි කියන්නෙම දෙවෙනි එක ඇති කර ගන්න කියල. ඒක පිළිගත් වචනයක්නෙ. නමුත් සරල බාසාවෙන් හිතේ හයිය ඇති කර ගන්න කිව්වොත් ඒකෙන් එච්චර ලොකු දෙයක් හැ‍ඟෙන්නෙ නෑ.

ලොකු නැති දේවල් වලින් තමයි පටන්ගන්න ඕනෙ. පොඩි දෙයක්වත් කර ගන්න බැරි අය කොහොමද ලොකු ලොකු දේවල් කර ගන්නෙ? මේ ලෝකෙ ජීවත් වෙනකොට මුහුණ දෙන්න වෙන කරදර ආවාම අපි කොහොමද ඒව එක්ක ගනුදෙනු කරන්නෙ? කොච්චරවත් ඔය දුක්ගැහැට වලට මුහුණ දීල තිබුණත්, හොඳට බලන්න, තවත් එකක් ආපු ගමන් පුදුම වෙනව, හරියට ඒ වගේ දෙයක් ජීවිතේට නොදැකපු කෙනෙක් වගේ. ඇයි මේ? ඉස්සෙල්ල එකෙන් ඉගෙන ගත්තෙ නෑ.  ඊට ඉස්සෙල්ල එකෙනුත් ඉගෙන ගත්තෙ නෑ. ඊට ඉස්සෙල්ල, ඉස්සෙල්ල, ඉස්සෙල්ල එකෙනුත් ඉගෙන ගත්තෙ නෑ. ඉගෙන ගත්තත් දැන් මතක නෑ. එහෙම අයට ස්කෝලෙ යන කාලෙ අපි කියන්නෙ මෝඩ ළමයි කියල. දැන් ස්කෝලෙ නොගියත්, ඒත් එම තනතුරටම පත්වෙලා.

කවදද අපි ඉගෙන ගන්නෙ? දුක් කරදර, මේකත් ඉස්සෙල්ල එක වගේම තමයි. මුළු ලෝකෙම නැති වුනා කියල හිතුවට, එහෙම වුනාද? ඔය ලෝකෙ තවමත් එහෙමම තියෙන්නෙ. ඒ හින්ද, මේ පාර මේ දුක, කරදරය ගැන මම එහෙම හිතන්නෙ නෑ. ඕන දෙයක් වුනාවෙ. කෑල්ලක් ගැලවිල ගියත් කමක් නෑ. පැත්තක් ගැලවිල ගියත් කමක් නෑ. නොගැලවුන කෑලි තව ගොඩක් ඉතිරි වෙලා තියෙනව. ඒ ටික හොඳට හයි කර ගෙන, හයිය ඇති කර ගන්න, ඊළඟ පාර තව එකක් ගැලවිල නොවැටෙන විදියට.

මේ ලියාගෙන යන දේ ගැනත් මට දැන් ප්‍රශ්නයක් මතු වුනා. මේ හයිය ඇති කර ගන්න කියල කිව්ව පලියට හැමෝටම පුළුවන්ද ඔය කියන හයිය ඇති කර ගන්න? ඒ ගැන මට දැන් මෙහෙම හිතෙනව.

පොඩි කාලෙ අපි බිම වැටිල ඉන්නෙ, නැගිට ගන්න බෑ. නැගිටින්න තියා පෙරලෙන්නවත් දන්නෙ නැති කාලයක් තිබුණ. කාලෙකට පස්සෙ වාඩිවෙලා ඉන්න පුළුවන්කම ලැබුණ. එතැන ඉඳල ඇවිදින්න ඉගෙන ගන්න සෑහෙන කාලයක් ගියා. වැටිවැටී, වැටිල රිදි රිදී හරි ඉගෙන ගෙන, අපි දැන් ඇවිදිනව. ඒ කාලෙ අපට උපදෙස් ලැබුණෙත්, නැගිටින්නෙ මෙහෙමයි, ඇවිදින්නෙ මෙහෙමයි, ඇවිදින කොට එක කකුලකට බර දීල අනික ඉස්සරහට ගෙනියන්නෙ මෙහෙමයි කියල වුනාට ඇති වැඩක් තියෙනවද? ඒ කාලෙ ඕව තේරුම් ගන්න පුළුවන් දේවල් නෙවෙයි. අහගෙන ඉඳල, කල්පනාකර බලල, කව්රුවත් කී පලියට ඇවිදින්න බෑ. කාලයත් එක්ක, අම්ම තාත්තගෙ උදව්ත් එක්ක, අපි ඒක අමාරුවෙන් පුරුදු කර ගත්ත. දැන් වැටෙන්නෙ නැහැ, වැටුනත් නැගිටිනව.

නමුත් දැන් වැටුනම, අපි කියන්නෙ නැහැ, ‘ඉස්සරත් මම වැටිල හිටියෙ, ඒ නිසා ටික කලක් මෙහෙම ඉමු’ කියල. ඒ නිසා කෙනෙක් වැටුනාම ‘බලා ඉන්න එපා, නැගිටින්න’ කීවාම, දැන් ඒකෙ තේරුමක් තියෙනව. නැගිටින්න කියල උපදෙස් දෙන්න පුළුවන්. ඒ උපදෙස් තේරුම් ගන්න පුළුවන්, ක්‍රියාත්මක කර ගන්නත් පුළුවන්.

ඒවගේම, උපතින්ම යම්යම් ආබාධ ඇතිව ඉපදුන අයට ඇවිදින්න කියල උපදෙස් දුන්නට, අතහිත දුන්නට, ඒ අයට ඒක කර ගන්න බැහැ. අපට පිළිගන්න වෙනව ඒ අයට මේ උපදෙස් වලින් ප්‍රයෝජනයක් නොවෙන බව.

සෑහෙන කාලයක් ජීවත් වෙන්න වාසනාව තියෙන අයට, අවාසනාවන්ත කාලෙකුත් ලබනව, එක්තැන්වෙන, එකම තැන වැටිල ඉන්න වෙන. වයසට ගියාම ඇඟට වාරු නෑ. එතකොටත් මේ උපදෙස් වලින් වැඩක් තියෙනවද? හිතට හයිය ඇති කර ගෙන දැන් නැගිටින්න කියල කීවට පලක් නෑ.

ඒ නිසා දැන් අපිට තේරුම් ගන්න පුළුවනි, මේ හිතේ හයිය ඇති කර ගන්න කියන එක, නැතිනම් වැටුනාම නැගිටින්න කියන එක, හැමෝටම ගැලපෙන්නෙ නැති බව. එක්තරා ජන කොට්ඨාශයකට විතරයි ඒක දිරවන්නෙ. අනික් අයට ඒක අජීරණ වෙනව. කුඩා කාලෙ ගත කරන, මහළු වයසෙ ජීවත්වෙන ජනකොටස් බෑ උපදෙස් මගින් නැගිටුවන්න. මේ අතර මැද කොටසේ ශාරීරික, මානසික ආබාධවලින් තොර අයව පුළුවනි, උපදෙස් දීල නැගිටින්න කියල දිරිමත් කරන්න.

නමුත් ඒ නැගිටුවන්න බැරි අය ඒ තත්ත්වයෙම ඉන්නෙ පව් පලදීමක්, කරුමයක් නිසා නොවන බවත් අපි හොඳින් තේරුම් ගන්න ඕනෙ. ලෝක ස්වභාවය ඒකයි. ඒ අයට නැගිටින්න උපදෙස් දෙන්න පිළිවනි, නමුත් ඒ අයට එක්කො ඒව තේරෙන්නෙ නැහැ, එහෙම නැත්නම් ක්‍රියාත්මක කර ගන්න බැහැ. ඒක උපදෙස් වල වරදක් නිසාවත්, අහන අයගෙ පව්කාරකම නිසාවත් සිදුවන දෙයක් නෙවෙයි. ඒ නිසා අපි ඒ ජනකොටස් උපදෙස් නොතේරෙන, නොපිළිපදින අය ලෙස හංවඩු ගැසීම, කොන් කිරීම කිසිසේත්ම සුදුසු නැහැ. පව්කාරයින් ලෙස සලකන්න එපා.

ඒ විග්‍රහය යටතේ දැන් කාටවත් බැහැ ‘අනේ ඔය බණෙන් ඇති වැඩක් නැහැ, ඕව හැමෝටව ගැලපෙන්නෙ නැහැ’ කියල උපදෙස් නොසලකා හරින්න. බැලූබැල්මට ඒකෙ ඇත්තක් තියෙනව වගේ තමයි පෙණෙන්නෙ. මටත් ඔය ප්‍රශ්නමයි මතු වුනේ. නමුත් ඒකට දැන් උත්තර ලැබුණ. උපදෙස් ගැලපෙන්නෙ එක්තරා ජන කොට්ඨාශයකට විතරයි. තමන් අයිති මොන කොට්ඨාශයටද කියල හිතල බලන්නවත් හැඟීමක් ඇති වෙනව නම් ඒ හොඳටම ඇති, තමන් ඊට සුදුසුසෙක් වෙලා. අඩු ගණනේ මේක කියවගෙන යන්න හිතෙනව නම්, ඔබ ඒ සුදුසුකම ලබල හුඟක් කල්.

උපදෙස් වලින් පලක් නොවන, පොඩි ළමයින්ගෙ වයසක උදවියගෙ ගණයට වැටෙන ජන ‍කොට්ඨාශයට අයිති කවුද කියල හිතාගන්න බැරි කමක් මතු වෙනව නම් පොඩි උදව්වක් කළ හැකියි. උදේ ඉඳන් හැන්දැවෙනකම් බීගෙන දඟලන, බීමට ඇබ්බැහිවුන, කුඩු ගැහීමට හුරු වුන පුද්ගලයින්ට බැහැ, මේ කියන දේවල්, උපදෙස් පිළිපදින්න. ඒ වගේම මේ ගණයට එකතු වෙනව තලාපෙලා හිරිහැර කරන, තමන්ගෙ වාසිය වෙනුවෙන් වැඩ කරන, අනුන්ට හෙණගැහිල ගියත් කමක් නෑ කියල හිතන, තමන්ගෙම මඬිය තද කර ගන්න, හිතක් පපුවක් නැති, හිතේ තෙතමනයක් නැති, අනුන්ගෙ දුක නොදකින අයත්. ඒ අයටත් ඕව තේරුම් ගන්න බැහැ. තේරුම් ගත්තත් ඒව ක්‍රියාවට නගන්න වෙලාවක් නැහැ, තමන් කර ගෙන යන (හොර) වැඩ රාජකාරිත් එක්ක. ඔය කට්ටි දෙකම එක වගේ, එක්කො මොලේ එහෙම පිටින්ම වැඩ කරන්නෙ නැහැ, නැත්නම් එක කොටසක් වැඩ කරන්නෙ නැහැ.

මේ එක්කම අපි අතරේ ඉන්නව, අන්ත දුගී දුප්පත් අසරණ අය. එදාවේල හම්බ කර ගන්න, උදේ ඉඳන් රෑ වෙනකම් දහදුක් විඳින අය. ඒ අයට වෙලාවක් නැහැ, අවස්ථාක් නැහැ. ඒ වගේම තවත් දෙයක් ඒ අයට බලපානව. ඒ උපදෙස් කොච්චර හොඳ වුනත්,  ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තත්, ටිකකට නැගිට්ටත්, ආපහු වැටෙනව. බොහොම වෙලාවට සමාජයේ ඇති, සාධාරණයයි කියා බොහෝ දෙනෙක් පිළිගත්, නොහොබිනා කම් ඔවුන්ට එරෙහිව නැගී සිටිනව.

දැන් හැමෝගෙම වගේ කටට එන්නෙ, මේ අය අවසනාවන්තයො, පව්කාරයො, කරුමක්කාරයො යනාදි සමාජය සාධාරණයයි පිළිගත් නොයෙකුත් හංවඩු ගැසීම්. නමුත් එහෙම හංවඩු ගහල, ඒ අයව කොන්කරන එක සම්පූර්ණයෙන්ම වැරදියි. එහෙම හිතනව නම්, තමන් ළඟ පව් නෑ කියල හිතනව නම්, දැනටමත් නොදැනුවත්වම තමන් පව්කාරයෙක් වෙලා.

කෙලින්ම නොපෙනුනාට ඔය කිව් අය ළඟ තියෙන අඩුපාඩු අපි ළඟත් තියෙනව. නොබිව්වට අපිත් බීපු කෙනෙක් වගේ හැසිරෙන වෙලාවල් තියෙනව. කුඩුකාරයින්ට සිහිය නැහැ. තරහ ගිය අවස්ථා වලදි අපටත් සිහිය නැත්තටම නැතිවෙන වෙලාවල් තියෙනව. ලෝබකම, හෙළා දැකීම, වෛර කිරීම, සාප කිරීම, පලි ගැනීම, එකටඑක කිරීම, තමන්ගේ වාසිය පමණක් සැලකීම, අහිතවත් අයට අහිතකර දේවල් සිද්දවෙන කොට යටිහිතින් සතුටුවීම වගේ දේවල් අපේ සිත්තුල මතුවෙන වෙලාවල් නැද්ද? ඒ අනුව හිතපු, හැසිරුනු, ක්‍රියාකරපු අවස්ථා නැද්ද? නමුත් වෙනසක් තියෙනව, මොකක්ද? උපදෙස් නොදිරවන කොට්ඨාශය තුළ මේ ගති ලක්ෂණ තදින් කාවැදිල, ලේසියෙන් අයින් කරන්න බැහැ. උපදෙස් දිරවන, ඒව ක්‍රියාත්මක කර ගැනීමට උත්සාහ දරණ කොට්ඨාශය තුළ මේ ගති ලක්ෂණ එතරම් තදින් කාවැදී නැහැ. ඒව ඉවත් කර ගන්න පුළුවන් ආකාරයට ඒ අය තුළ සිහිකල්පනාව, ප්‍රඥාව පිහිටල තියෙනව. එහෙම නැත්නම් ඒ දෙක දියුණු කර ගන්න උත්සාහ දරණව. එම නිසා උපදෙස් වලින් වැඩක් ඇත්තේ එක්තරා කොටසකට පමණයි.

ඒ නිසා අපි හැමෝම කරුමක්කාරයො. කරුම(-ය උරුම-)ක්කාරයො. අපි මේ මොහොත ගෙවන්නෙ, මේ මොහොත වෙනකම්, පෙර කරපු කර්මයන්ට අනුව. ඒක පලදීමක් නෙවෙයි. අපි හොඳයයි හිතා තෝරාගත් ක්‍රියා මාර්ග වලට අනුව ක්‍රියා කිරීමෙන් ලත් ප්‍රතිඵල භුක්ති විඳීමක්. ඒ වගේම මේ මොහොතෙ අපි කරන්නෙ මතුවට බලපාන කර්ම. ගෙවන කර්ම හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. කරන කර්ම හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. ඒ අනුව මතුවදි ගෙවන කර්ම වඩා හොඳ වෙන්නත් පුළුවන්, වඩා නරක වෙන්නත් පුළුවන්. ඒ නිසා, හොඳ අනාගතයක් වෙනුවෙන් මේ මොහොතේ අපේ සිහිකල්පනාව හොඳින් පවතින්න ඕනෙ, පවත්ව ගන්න ඕනෙ.

අර ස්කෝලෙයන කාලෙ මතක්කරපු තානාන්තරයට තවමත් හිමිකාරයෙක් නෙවෙයි නම්, හොඳට තේරුම් ගන්න, මේ මොහොතෙ සිද්දවෙන දේවල් අහසින් කඩා වැටුණු දේවල් නෙවෙයි. ඒව විඳවන්න එපා. ඒව විඳින්න. හිතේ හයිය කියන්නෙ ඒව විඳදරා ගැනීමට ඇති ශක්තිය. හොඳ දේවල් ඉදිරියෙ නන්නත්තාර නොවී, නරක දේවල් ඉදිරියෙ දණින් නොවැටි, ඉදිරියටම යන්න. කරුමයෙ උරුමක්කාරයෙක් වෙන්න එපා. එහෙම පුළුවන් නම් ඒ තමයි අවසානය. නිවන!

Leave a comment