විරෝධය

ජෝර්ජ් කාරියවසම්

          අපේ හිත හැම දේකටම එකඟ වෙන්නෙ නැහැ. හැප්පෙන වෙලාවල් තියෙනව. හිත අපට ඕන විදියට හසුරුව ගන්න එක ලේසි නැහැ. මේ විදියෙ දේවල් ඉබේටම වගේ ඇතුළතින් මතු වෙන්නත් පුළුවනි. පිටතින් එන බලපෑම් නිසා ඇති වෙන්නත් පුළුවනි. ඇතුලත බලපෑම, පිටත බලපෑම හැටියට දෙයාකාරයකින් අපි ඒව බාර ගත්තත්, හොඳින් විමසා බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවනි, මේ ඔක්කොම ඇති වෙන්නෙ ඇතුළතින් බව.

අපට ඇතුළතින් හිතෙනව කාට හරි බණින්න, නමුත් බණින්නෙ නැහැ. එක්කො බයට නැත්නම් බැණීමෙන් ඇති වැඩක් නැහැ, ප්‍රශ්නය තව දුරදිග යන්න පුළුවනි කියල ප්‍රඥාන්විතව කරන විමසා බැලීම තුළින්. ඒවගේම අපිට හිතෙනව කාට හරි ගහන්න. ඒත් ඉස්සෙල්ල පෙන්නා දුන්නු හේතු නිසාම බොහෝ විට එහෙම ඉක්මන් වෙන්නෙ නැහැ.

ජීවත් වෙන සමාජය තුළත් අපි මේ විධියට හැසිරෙන වෙලාවල් තියෙනව. ඒ වෙලාවල් වලදි අපේ වගේම සම අදහස් තියෙන අයත් එක්ක අපි එකතු වෙනව. තනියම කරන්න බැරි දේ තව අයත් එක්ක එකතු වෙලා කරනව. ඒවයෙ කෙලවරටම ගියාම, කෑ ගගහ පෙලපාලි යනව, වටපිටාවෙ  තියෙන කාර්යාලවලට සාප්පුවලට ගල්මුල් එල්ල කරනව. සමහර වෙලාවට මිනී මරාගන්න තරමට ඒව දුරදිග ගෙනියනව.

මේ තමයි අපේ හදවතේ තියෙන විරෝධය පළකරන්න හදන එහෙම නැත්නම් පළකරන ක්‍රම. මේ කියන විරෝධය නැතිනම් අකමැත්ත ඒත් නැතිනම් නොරිස්සීම නිසා ගෙවල් දොරවල් වල සමාජයේ මොනතරම් අරගල, ඝට්ටන, ව්‍යසන සිද්ද වෙනවද? මොනතරම් ගුටිබැට හුවමාරු වෙනවද?

විරෝධය, විරුද්ධත්වය ලොකු වචනයක්. ඒක ඔළුවෙ වැඩකරන කොට, අපි උත්සාහ ගන්නෙ කොහොමද මම මේක පළ කරන්නෙ, අනිත් අයට දැනෙන්න සලස්වන්නෙ කියල, නොයෙකුත් දොරටු සොයන එක, අවස්ථාවල් හොයන එක. නමුත් ඇයි අපි මේ තත්ත්වයට වැටුනෙ කියන එක ගැන හිතල බලන්නෙ නැහැ. කව්රු හරි කියපු දෙයක්, කරපු දෙයක්, කෙනෙක් හැසිරෙන විදිය, කටයුතු කරන විදිය, ඒව තමන්ට බලපාන අන්දම, සමාජයට බලපාන අන්දම යනාදිය ගැන අපි ඇති කර ගන්නා “මම මේකට කැමති නෑ” කියන පුංචි සිතිවිල්ල දිගින් දිගටම පෝෂනය කරපු නිසයි, විරෝධය පළ කරොත් හොඳයි කියන තැනට අපි ඇදිල ආවෙ. විරෝධය කියන, බැමි කඩා බිඳගෙන යාමට සූදානම් ජලකඳ අපිට පෙනෙනව. නමුත් ඒක උත්පාදනය කරපු පුංචි උල්පත පෙනෙන්නෙ නැහැ. ඒක දකින්න තරමට අපේ මනස සියුම් නැහැ. එක්තැන් කරන්න පුරුදු කරගෙන නැහැ. ඒ නිසා ඒ ගැන හිතල බලන්න. අපේ මනසෙ මතුවන විරෝධතා මූලය, ඊළඟ වතාවෙ මතුවෙන කොටම අල්ල ගන්න පුළුවන්ද බලන්න. එහෙම අල්ල ගන්න බැරිනම්, අපි ඒක වවාගෙන කන බව දැක්කාමවත් ඒක එතනින් නතර කරන්න.

නොබැණ්නට, නොගැහැව්වට අපි තවත් නොයෙකුත් සියුම් ක්‍රම වලින් අපේ විරෝධය පළ කරනව. එයින් සමහරක් තමයි පළිගැනීම, කේලාම් කීම, එකට එක කර පෙන්නීම. මේ හැම එකකින්ම කෙරෙන්නෙ හිත රිදවීම. යටින් ඉඳන් කරන දරුණු අන්දමේ පළිගැනීමක්.

“මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින්, මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා නටුවෙන්…..” නන්දා මාලනී ගයන ඒ ගීතයෙ මොන තරම් අර්ථයක් තියෙනවද? අනේ ඒක හරි ලස්සන සිංදුවක් කියල හැමෝම එක්ක කියනව, ඇහෙන ඇහෙන වෙලාවට අහගෙන ඉන්නව හරි සතුටින්. නමුත් ඇත්තටම තමන්ගෙ හදවතට එබී බැලුවද, හඳ අයින් කරන්න තරම් දුරට වලි‍ නොකෑවට නොහිතුවට, හිතාමතාම ඊට වඩා පොඩිපොඩි දේවල් මොනතරමක් අනුන්ට ලබාගන්න තිබුණ ඉඩකඩ ඇහිරුවද? ලස්සනට දේවල් තියාගන්න කැමති කෙනෙකුගෙ හිත රිදවන අදහසින් ඒ ඒ දේවල් පොඩිකළාද, ඒ ඒ තැන් හැඩිකළාද? දෙන්නෙක් එකිනෙකාට උදව්පදව් කර ගෙන සමගියෙන් ඉන්නව නම් ඒ සමගිය බිඳින්න උත්සාහ කර නැද්ද? ඒ උත්සාහය ජයගත්තු වෙලාවල් නැද්ද? ඒ වගේ දේවල් වලින් සතුටු වෙලා නැද්ද? තමන්ගෙ වත්තෙ කුණු අනුන්ගෙ වතුවලට තාප්ප උඩින් විසි කරල නැද්ද? පයින් යන ගමන්, මෝටර් සයිකල් වලින් යන ගමන්, වාහන වලින් යන ගමන් කුණු බෑග් අනුන්ගෙ ගේට්ටු ඉස්සරහින් විසිකර ගෙන ගිහින් නැද්ද? අනුන්ගෙ තාප්ප වල විකාර ඇඳල නැද්ද? දැන්වීම්, විරෝධතා පත්‍රිකා අලවා නැද්ද? ගෙදර දොරේ තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස මඟ හැර නැද්ද? නඩත්තු මුදල් ගෙවන්න තියෙන අය ඒ වගකීම පැහැර හැර නැද්ද? කොතෙක් කියල මේ නොපනත් කම් පෙන්නන්නද?

මේ අන්දමින් විරෝධය පළ කිරීමෙන් ප්‍රශ්න විස‍ඳෙනවද? එක විරෝධයක් මදිවට තවත් එකක් ඇතිවෙන එකයි එයින් වෙන්නෙ. තමන්ගෙ හදවතේ ඇති අසහනය පිටකර ගන්න ක්‍රම වලින් වෙන්නෙ තවත් කෙනෙකුගෙ හිත  හොඳටම රිදවීමයි. හදවතේ තෙතමනයක් ඇති අයට මෙවැනි දේවල් කිරීමට තියා හිතීමටවත් හිත නමා ගන්න බැහැ. මේ වගේ විෂ පැතිරෙන, හිතාමතාම පතුරුවන සමාජයක් හැදෙයිද? අපේ හදවත්වල උපදින මේ අසහනයට පාලනයක් නැත්නම් එය යම් අන්දමක විරෝධයක ආකාරයකින් පුපුරා යනව. අසහනය පැටව් ගහනව. උත්පත්ති පාලනයක් නැහැ.

“ඔබ විරුද්ධත්වය පළ කරන සෑම දෙයක්ම, ඔබ එකඟතාවය පළ කරන යම් දෙයක ආකාරයෙන් වෙනත් අයුරකින් ප්‍රකාශ කළ හැකියි” කියල වැදගත් කියමනක් තියෙනව. නමුත් එය ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රඥාන්විතව දේවල් තේරුම් අරගෙන කටයුතු කරන අයට පමණයි.

නටුවෙන් මල අයින් කරපු අය, නටුවත් එක්ක මලක් හෝ මල් පොකුරක් දීල බලන්න එයින් ඇතිවන වෙනස. ගෙවල් හැඩි කරපු අය, ගෙදරදොර කටයුතු වලට අතහිත නොදුන් අය; ගෙවල් පිරිසිදු කරල, පිඟන් කෝප්ප හෝදල බලන්න, එයින් තමතමන්ගෙ ජීවිත වලට, පවුල් ජීවිතයට මොනතරම් ආලෝකයක් උදාකර දෙනවද කියල. ඒ වගේ බලගතු විපර්යාසයක් තමන් තුළ ඇති කර ගන්න බොහෝ දෙනෙකුට කිසි හයියක් නැහැ. “මම මොනවටද එහෙම කරන්නෙ?” කියල ක්ෂණිකව හිතේ මතුවන අදහස පෙන්වන්නෙ හිතේ හයිය නෙවෙයි, හිතේ ඇති අබලදුබල කම. ඊට එරෙහිව කටයුතු කරන්න බලගතු එඩිතර කමක් තියෙන්න ඕනෙ. ඒ අනුන් තලාපෙලා හිරිහැර කරල පිටතට පෙන්වන ‘එඩිතර’ කම නෙවෙයි. තමන්ට මෙතෙක් තේරුම් ගැනීමට බැරිව තිබූ යමක් තේරුම් ගැනිමට, මනසේ ඇතිවන ප්‍රඥාව නමැති බලගත් ශක්තිය, පුහු මමත්වය නිසා මාන්නය නිසා තමන් වෙනුවෙන් හා අනුන් වෙනුවෙන් ඉටු කර දීමට අතපසුවූ යහපත් දෙයෙහි හොඳයයි සම්මත දෙයෙහි යෙදීමට මනසේ උපදින එඩිතර කමයි ඒ.

බුදුන් වහන්සේ පෙන්නා දී තියෙනව “යුද්ධ දහසක් දිනිය හැකි පුද්ගලයාට වඩා තමන්ගෙ මනස දිනාගත හැකි පුද්ගලයා ශේෂ්ඨය” කියල.

අදටත් අපට ඒක තේරුම් ගන්න බැරිවුනාට අශෝක රජතුමා එහි ඇත්ත නැත්ත පෙන්නල දුන්න.එතුමා විරෝධයෙ කෙළවරටම ගියා. තවදුරටත් විරෝධයක් පළ කරන්න අවශ්‍යතාවයක් නැති තැනට ආව. ඒ වෙනුවෙන් තමන් කරපු අපරාධ,මිනිස් ඝාතන, පොලවට උරාගන්න සලස්වපු ලේ ගැන සිහිවෙන කොට තමයි, විරෝධය සහමුලින්ම නැති කිරීමෙන් බලාපොරොත්තුවූ සහනය, දැරිය නොහැකි අසහනයකට පෙරලුනේ.

ඉතා සංසුන්ව පාර දිගේ පිඬුසිඟා වඩින භික්ෂූන් වහන්සේ නමකගෙන්, පිටතින් කෙරෙන දමනයට වඩා ඇතුලතින් කෙරෙන දමනයෙහි ඇති වටිනාකම අවබෝධ කරගත් රජතුමා ලොවට සැලසූ සෙත මෙහිදී මතකයට ගෙන බලන්න.

“කව්රු හරි එක් කම්මුලකට පහරක් ගැහැව්වොත් අනිත් කම්මුලත් හරවන්න” කියල ක්‍රිස්තුස් වහන්සේ ඇයි අපට උපදෙස් දුන්නෙ? “බැණ්නොත් බැණපන්, ගැහැව්වොත් ගහපන්” කියල උදම් අනන සමාජයක අපට පුළුවන්ද උන්වහන්සේගේ එම උපදෙස පිළිපදින්න, ඒ අහලකටවත් එන්න? ඇයි බැරි? තමන්ගෙන්ම අහල බලන්න. එතකොට පෙනෙයි අර කිව් අබලදුබලකම.

ඔය වගේ වැදගත් කියමන්වල ඇති ගැඹුර පිළිබඳව කොච්චර කියෙව්වත්, කොච්චර ඇහැව්වත්, කොච්චර පෙන්නල දුන්නත් අපට ඒක ක්‍රියාත්මක කරගන්න තරම් හයියක් හිතේ ඇති කර ගන්න බැහැ. නිස්කාන්සුවෙ ඉන්න වෙලාවට ඔය වගේ දේවල් ගැන හිතල බලන්නවත් අපි උනන්දු වෙන්නෙ නැහැ. ඒ වගේ ප්‍රකාශ වලින් උන්වහන්සේලා පෙන්නා දුන්, අපි ඇති කර ගත යුතු එම බලගතු ප්‍රඥාව, අපිම  උපදවා ගන්න ඕනෙ. එහෙම නැතිව එය ඉබේටම පහළ වෙනකම් බලා ඉන්න එපා.

විරෝධතාවය වෙනත් විදියකින් ප්‍රකාශ කරපු හොඳ අවස්ථාවක් දැන් මගේ මතකයට එනව. එකොළහදොළහ වසරෙ විද්‍යාව හදාරන කොට ඔය රසායනික ද්‍රව්‍ය එකට එකතු කළාම හැදෙන නොයෙකුත් සංයෝග වර්ග ගැන ඉගෙන ගන්න ලැබෙනව. ඒ අතුරින් එක වර්ගයක් බිම දාල වේලෙන්න ඇරල පයට පෑගෙන්න ඇරියාම පටපට ගාල පුපුරනව. දවසක් ඔය ‘නාහෙට නාහන’ ගණයට අයිති පංතියෙ හිටි යාළුවො කට්ටියක් ඕව හොරෙන් හදාගෙන ඇවිත් අපි හිටි තට්ටු ගොඩනැගිල්ලෙ පඩිපෙලවල් දිගේ දැම්ම. පැය කීපයකට පස්සෙ විවේක කාලය ආවාම, පහළට බැහැගෙන ළමයින්ට ඒව පෑගෙන කොට ‘පටපට’ ගාල පුපුරන්න පටන් ගත්ත. මේක හැමෝටම ලොකු විනෝදයක් වුනා. ඒ අතරෙ ඒ කාලෙ උප විදුහල්පති තුමා වූ කීර්තිසිංහ මහත්මයත් ඒ එක්කම පහළට බැහැගෙන ආව. ඒ වගේ අවස්ථාවකදි අපි බලාපොරොත්තු වුනේ මේ ‘මදාවි’ වැඩේ කළ අය සොයල දඬුවම් කරල, තරවටු කරල ‘විරෝධය’ පළකරයි කියල. නමුත් එතුමා කාටත් ඇහෙන්න හයියෙන් “අනේ බං ඔයිට වැඩිය හයියෙන් මට පඩින්න පුළුවන්” කියාගෙන පහළට බැහැල ගියේ සිය ‘විරෝධය’ පළ කරමින්.

එදා වගේ අදත්, එය මට සිහිපත් වෙන්නෙ, එතුමා ළඟ තිබූ ප්‍රඥාව, තැන්පත්කම නැවතත් මතක් කර දෙමින්.

Leave a comment