දන්සැල

ජෝර්ජ් කාරියවසම්

        දන්සැලකින් ජීවිතේටම මම කාල නැහැ. නැතිබැරි අයට දෙන ආහාර වේලක් නිසා එයින් එකක් මම ගන්න එක හරි නැහැ කියල හිතෙනව. ඒත් පෝලිමට එකතුවෙලා ඉන්න අය දිහා බැලුවාම නම් එහෙම නැති බැරි කමක් පෙනෙන්නෙ නැහැ. අඳුනන කව්රුවත් දැක්කොත් කියල ලැජ්ජාවකුත් යටි හිතේ මතුවෙනව. ඒ මොනව උනත් කමක් නැහැ, බලන්න ඕනෙ කාල. පෝලිමට මාත් එකතු වුනා.

හීනියට තිබුණ පෝලිම දැන් බලා ඉඳිද්දිම මහත් වෙලා. දන්සැල දිහා බලා ඉන්න කොට මෙහෙම මහත් වෙනව නම්, ඇතුලට ගිහින් කෑවාම කොහොමට මහත් වෙයිද? ඒ වගේම පෝලිම හරි ඉක්මණට පැටව් ගහනව. පෝලිම‍ කොච්චර දිගද කියල බලන්න පිටිපස්සට හැරිල ආපහු බලපුවාම මෙන්න යකෝ ඉස්සරහින් හිටි එක්කෙනා දැන් තුන්දෙනෙක් වෙලා! ඒ වගේ ආශ්චර්යක් මම දැකක්කමයි. ටික වෙලාවක් ගියාට පස්සෙයි මම තේරැම් ගත්තෙ, මෙහෙම පැටව් ගහන්නයි, මේ හැටි මහත් වෙන්නයි හේතුව.

දන්සැල්කාරයින් පුරුදු පුහුණු කරන දාන පාරමිතාව පුරුදු කරන්න මේ පෝලිම්කාරයොත් ඒ මොහොතෙම හිතට අරගෙන. අනේ බලන්කකො ඒකෙත් හැටි, මටම පුදුමයි. පෝලිමට එකතු වෙන්න කෙලවර හොයාගෙන යන අය දැක්කාම හිත උණු වෙලා, තමන් හිටියෙ පෝලිමේ දහවෙනියට නම්, තව තුන්දෙනෙක් ඉස්සරහින් හිටව ගෙන, පටස්ගාල තමන් පෝලිමෙ දහතුන්වෙනි තැනට පහු බහිනව. මොනතරම් පරාර්ථකාමි සත්ක්‍රියාවක්ද? මට නම් තාම බැහැ එහෙම දෙයක් කරන්න හිත හදා ගන්න. නමුත් ටික වෙලාවකට පස්සෙ හෙමිහිට ගැනල බැලුවාමයි මට පෙනුනෙ, ඇයි දෙයියනෙ, ඉස්සෙල්ල එකොලොස්වෙනියට දෙසන්න බලා හිටි මම දැන් ඉබේටම දාහතරවෙනි තැනට වැටිලනෙ! හිතල මට ඒ වගේ සත්ක්‍රියාවක්  කර ගන්න බැරි වුනත්, ඉස්සරහින් ඉන්න මනුස්සය කරපු ඒ පරිත්‍යාගයෙන් මාත් ඉබේටම දානපතියෙක් වෙලා. ආපහු පෝලිමේ අග කෙලවර දිහා බලපුවාමයි මට කල්පනා වුනේ, ක්ෂණයකින් මේ දාන පාරමිතාව පෝලිමේ අන්තිමයා දක්වාම විහිදුන ආකාරය මොනතරම් ආශ්චර්යමත්ද කියල. පෝලිමේ ඉන්න අපි දැන් ඔක්කොම ඒ සත්ක්‍රියාවෙන් පිං සම්භාරයක් රැස් කර ගෙන. පෝලිමට එකතු වුනේ ලැජ්ජාවෙන්, නමුත් දැන් මම ඒ ගැන ආඩම්බර වෙනව. මම ඉස්සරහින් හිටි මනුස්සයට මෙයින් මොනතරම් කුසලයක් අත්වෙන්න ඇද්ද? මාත් හොඳට බලා හිටියෙ ඇතුලට යන්න කලින් ඒ මනුස්සය මා දිහා බලයිද කියල යමක් කියන්න (අනේ නරක දෙයක් නෙවෙයි, අඩුගානෙ කරගත්තු පින අනුමෝදන් වෙන්න කියලවත්). නමුත් ඒ මනුස්සය නෙවෙයි ඔළුව උස්සලවත් ආපහු හැරිල බැලුවෙ, ඇතුලට යනකම්ම. කරපු දෙයින් පොඩ්ඩක්වත් ආඩම්බර වුන පාටක් පෙන්නුවෙ නැහැ. ඒ තරමට නිහතමානීකම.

ඔය විදියට ස්ථාන මාරුව දිගින් දිගටම සිද්ද වෙලා ඇතුලට යනකොට සෑහෙන වෙලාවක් ගිහින්. දේශපාලඥයින්ගෙ ඇඟිලි ගැහීමක් නැතිව ස්ථාන මාරුවීම් සිද්දවෙන ආකාරය මම හැබැහින්ම දැක ගත්ත. එහෙමටම කියන්නත් බැහැ, කවුද දන්නෙ මට ඉස්සරහින් හිටියෙ දේශපාලඥයෙක්ද කියල?

මට පිටිපස්සෙන් හිටියෙ වයසක අම්ම කෙනෙක්. තවත් දහ පහළොස් දෙනෙක් එක්ක අපි දෙන්නම ඇතුලට ගියේ එක රොත්තට. පිඟාන උඩට එලපු පොලිතින් කොලේට බත් එළවලු බෙදාගෙන මාත් වාඩි වුනේ ඒ අම්ම වාඩි වුන පුටුවට අල්ලපු එකේ. මම කන්න පටන් ගත්ත. මොහොතකට පස්සෙ අම්ම ඉන්න පැත්ත බැලුවාම මම දැක්ක, ඒ අම්ම බත් එක කන්නෙ නැතිව ඒක ඔතාගෙන සිලිසිලි බෑග් එකකට දාගෙන නැගිටල යනව. එවෙලෙ ලොකු අනුකම්පාවක් මගෙ හිතට දැනුන. බත් එක කාල මාත් එලියට බැස්ස.

නමුත් එදා රෑ ඇ‍ඳේ ඇලවෙලා ඉන්න කොට උහුලගන්න බැරි දුකක් හිතේ මතු වුනා. වැල නොකැඩි ප්‍රශ්න ගොඩාක් මගෙ හිතට ගලා එන්න පටන් ගත්ත. තමන් නොකා, අම්ම ඒ බත් එක ඔතාගෙන ගියේ කාට දෙන්නද? කවුරු හරි ගෙදර ඉන්දෙද්දිද අම්ම ඒ ගමන ආවෙ බත් අරගෙන යන්න? යන්න එන්න බැරි කෙනෙක් ගෙදර ඉන්නවද? කව්රු හරි ගෙදර ලෙඩින්ද? බඩගින්නෙ ගෙදර ඉන්න පොඩි දරුවන්ටද ඒ බත්එක? ඒ ගෙදර ඉන්න අයටයි, ඒ අම්මටයි අද දවසෙ ලැබෙන බත් වේල ඒකද? අනිත් දවස් වලටත් ඔහෙ කොහෙන් හරි ලැබුණ දෙයක් කාල, වැඩිපුර ඉන්නෙ බඩගින්නෙද? තවත් බත් එකක් අරගන්න හිතාගෙන අම්ම පෝලිමට ආපහු එකතු වුනාද? එහෙම එකතු වුනා නම්, ඒ වෙලාවෙ පෝලිම හුඟක් දිගට තිබුණ නිසා තව කොච්චර වෙලාවක් බලා ඉන්න ඇද්ද? තව බත් එකක් ලැබේදෝයි නොලැබේදෝයි හිතහිතා පෝලිමෙ ඉන්න ඇත්තෙ හිතේ මොන ගින්දරකින්ද?

අද වෙසක් දවස හින්ද, එහෙම හරි, හැමෝටම කන්න කෑම වේලක් හොයා ගන්න පුළුවන් කමක් තිබුණත්, ඉතිරි තුන්සිය හැටහතර දවස? අපි හුඟ දෙනෙක් පෝලිමෙ ගියේ විනෝදෙටත් එක්ක, නමුත් ඒ අම්මගෙ පාර්ථනාව මොන වගේ වෙන්න ඇද්ද? අනේ මට තව බත් පාර්සල් දෙක තුනක් එකතු කරගන්න කම්වත් බත් ඉවර වෙන්න එපා. පෝලිමේ අගට එකතුවෙලා ආපහු මුලට එනකම් හිතේ මොනමොන හැඟීම් මතු වෙන්න ඇද්ද? බැරිවෙලාවත් ආපහු ඇතුලට යා ගන්න බැරි වුනා නම් මොනතරම් දුකක් දැනෙන්න ඇද්ද? තවත් බත් එකක් ගන්න බැරි වුනා නම් කීදෙනෙක් එක්ක ඒ පොඩි බත් පාර්සලේ බෙදා ගන්න ඇද්ද? වෙසක් දවසෙවත් බඩගින්න නිවා ගන්න පුළුවන් වුනාද?

අනේ මගේ බත් එකත් ඒ අම්මට දෙන්න ලැබුණ නම්? නමුත් මම ඒ දේ දකිනකොට මගේ බත් එක කන්න පටන් අරගෙන, පරක්කු වැඩියි. ඒ එක්කම ප්‍රශ්නයක් මතුවෙනව. හොඳයි පරක්කු නැතිව මම ඒ දේ දැක්ක නම් ක්ෂණිකව, ඒ මොහොතෙම, මගේ බත් එකත් ආපහු ඔතල, ඇයට දෙන තීරණයට එන්න, මට පුළුවන් කමක් තියෙන්න ඇද්ද? මම දන්නෙ නැහැ. නමුත් ඇත්තටම මගෙ මනස එන්න ඕනෙ එතෙන්ට.

අනිත් එක, කාල ඉවරවෙලා, මට ගිහින් බලන්න අමතක වුනා ඒ අම්ම තවමත් ඉන්නෙ පෝලිමේද කියල. එහෙම දැක්ක නම් මාත් ආපහු පෝලිමේ ගිහින් තවත් බත් පැකට් එකක් අරගෙන ඒක අම්මට ඔතල දෙනවද? නැත්නම් ළඟ තිබුණ කඩේකට ගිහින් කෑම ටිකක් අරගෙන ඒ අම්මට දෙනවද? අනේ එහෙම කර ගන් පුළුවන් වුනා නම්  මොනතරම් සතුටක්ද?

නමුත් දේවල් ඒ විදියට සිද්ද වුනේ නැහැ. ඒත් එක දෙයක් දැන් මට තේරෙනව. මගේ මනස තැනකට ආව. කොතැනකට ගියත්, කොතැනක හිටියත්, හොඳ සිහිකල්පනාවෙන් ඉන්න ඕනෙ. එතකොට ආයිමත් ඔය වගේ අවස්ථාවක් මඟ හැරෙන්නෙ නැහැ. ක්ෂණිකව ක්‍රියා කළ යුතු ආකාරය දැන් මනස දන්නව. ඒක ස්ථිරයි.

දුන්නු දෙයක් නෑ, නමුත් දැන් මට දෙන්න හිතක් තියෙනව. ඒකෙන් මම සතුටු වෙනව.

දෑසින් ගලපු කඳුළු වලින් හදවත සේදිල පිරිසිදු වුනා. සුභ වෙසක් දිනයක් වේවා කියල මටම පාර්ථනා කර ගත්ත. ටික වෙලාවකට පස්සෙ නින්ද ගියා.

Leave a comment