ජෝර්ජ් කාරියවසම්
කිසිවක් කරකියා ගත නොහැකි මස්ගුලියක් ලෙස මෙලොවට බිහිවූ ඔබට කිරි ඉල්ලා හැඬීමට ඒ කාලෙ හැකියාවක් තිබුණා. ඇඟේපතේ වේදනාවක් දැනුනාම එයින් සහනයක් ලබා ගැනීමේ අදහසින් ඔබ අඬන්න පුරුදු වුනා. සෙනෙහස ලබා ගැනීමට ආස හිතුනාම දත් නැති කටෙන් ලස්සනට හිනා වෙලා ඒක ලබා ගත්තා. ඒත්, ඒ ක්‍රමවලින් ඒක ලැබුණෙ නැත්නම් අඬලහරි ඒක ලබා ගන්න උත්සාහ කළා. මේ ඔක්කොම ඒ විදියට කරල හරිගිය වෙලාවල් වගේම වැරදුණු වෙලාවලුත් තිබුණ. ඒ වුනත් අතහැරියෙ නැහැ.
ඒව නරක වැඩ නෙවෙයි. වැඩිම වුනොත්, වෙලාවකට තමන් අනුන්ට කන්දොස්කිරියාවක් වුනා මිසක් ඊට වඩා වැඩි නරකක් කළේ නැහැ.
හොඳයි ඔහොම ගියයි කියමුකො. නමුත් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා ඔබ මේ අහිංසක ඇඬිල්ල ආයුධයක් බවට හරවා ගත්තා. බඩගිනි වුනාම බෙරිහන් දුන්නා. තනිකම දැනුනාම බෙරිහන් දුන්නා. අතේ තිබුණ දෙයක් අරගත්තොත් බෙරිහන් දුන්නා. කටේ දාගත්තු කුණු කෑල්ලක් අයින් කළොත් බෙරිහන් දුන්නා. ‘මම’ ඉන්නව කියල පෙන්නන්න බෙරිහන් දුන්නා.
දෙයක් කරකියා ගන්න බැරිව හිටි මේ මස්ගුලිය, දැන් මමත්වයක් හිතට අරගෙන. අතට අහුවුනු දේ ‘මගේ’, කටේ තියෙන කුණු කෑල්ල ‘මගේ’; ගන්න එහෙම එපා. දැන් පේනව නේද, ඔය කුණු ගොඩවල් වලට හිටන්, ‘මගේ’ කියල සීල් තියන්න පටන් ගත්තෙ අද ඊයෙ ඉඳල නෙවෙයි, ඒ කාලෙ ඉඳලම.
ඔය අතරෙම තරහ කියන දේත් තමන් තුළ නොදැනුවත්වම ඉස්මතු වුනා. ඒක පෙන්නන්න, ඇඬීම කෑගැහීමක් බවට පත් කර ගත්තා. මස්ගුලියක් වගේ හිටි කාලෙ, ඔය අතපය එහාට මෙහාට විසි වුනේ තමන්ගෙ කිසි පාලනයක් ඇතිව නෙවෙයි. නමුත්, රිද්දන්න බැරි වුනත්, එහෙම හිතා ගෙන, ළඟ ඉන්න අයට ඒ ලපටි අත් වලින් ගහන්න පටන් ගත්තේ, කව්රුවත් කියා දීල එහෙම නෙවෙයි.
ඔන්න ඔහොම තමයි ඔය හුරතල් දරුව ජීවිතේ පටන් ගත්තේ. සමහරු, ඔය ගති ලක්ෂණ තවදුරටත් දියුණු කර ගෙන ගිහින් තවමත් ඒ ‘හුරතල්’ කම් පෙන්නනවා. නමුත් තවත් සමහරු, ටිකින්ටික ඒව අත්හැර දාල තැන්පත් කම, අහිංසක කම වගේ මනුස්සකම් හුරුපුරුදු කර ගත්තා. හැබැයි,අපි හිතුවට, ඒ ගති නැත්තටම නැති වුනේ නැහැ.
මේ විදියට බලපුවාම අපට පේන්නෙ, මේ ‘මගේ’ කම, තණ්හාව, තරහ වගේ දේවල් පොඩි කාලෙ ඉඳලම අපි ළඟ තිබුණා. ඒ වගේම ඒව තව එන්න එන්නම වැඩි වුනා.
ඇඬිල්ල ආයුධයක් කර ගෙන ඒකෙන් අපි ප්‍රයෝජන ගත්තා. තරහ පෙන්නුවා. නමුත් මේකෙ වෙනත් පැත්තක් නැද්ද? ඇඬිල්ල වගේ දෙයක්, බඩු විසිකරනව වගේ දෙයක් කරල, අපේ වුවමනාවන් ඉෂ්ට කර ගත්ත වගේම හිනාව පෙන්නල ඒ දේවල්ම කර ගත්තු, කර ගන්න හිතපු හුරතල්ලු නැද්ද? නමුත් එහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියල අපිට හිතෙන්නෙ නැහැ. අහලත් නැහැ. නමුත්, ඒ වෙනුවට ඒ කාලෙ ඉඳලම අහන්න ලැබෙන්නෙ, “කිරි එරෙන්න නම් අඬන්න ඕනෙ” කියලනෙ. “හිනාවෙලා කිරි ඉල්ල ගන්න” කියල කියමනක් නැහැනෙ.
මට හිතෙන්නෙ මේක, කිරි බීපු කාගෙ ඉවර කරල ඉන්න, ඒව දැන් මතක නැති, ලොකු අයට වෙච්ච වැරදීමක්. මේ කියන ලොකු අය, පොඩි දරුව වෙනුවෙන් ‘හොඳ’ ප්‍රතික්‍රියා දක්වන්න පුරුද්දක් ඇති කර ගත්තේ දරුව අඬන කොටයි. “අන්න අඬනව, බඩගිනි වෙලා වෙන්නැති, කිරි දෙන්න.” “අන්න දරුව අඬනව, ගිහින් බලන්න, වඩාගෙන ටිකක් නලවන්න.”
නමුත් දරුව නොඅඬ සද්ද නැතිව ඉන්නව නම්, ලොකු අයත් සද්ද නැතිව හිටියා, තමන්ගෙ වැඩ ටික කර ගත්තා. නොකිය කිව්වෙ, එහෙම නැත්නම් දරුවට දුන්නෙ “අඬපන්, කෑගහපන්, එතකොට අපි ඇවිත් බලන්නන්” කියන අදහසයි. ඒ කියන්නෙ වැඩිහිටියො, ඒ වගේ හැසිරීම් වලට දරුව පෙළඹෙව්වා. ඒ නිසා දරුවත් තේරුම් ගත්තා, හිනාවෙවී සද්ද නැතිව බබා වගේ හිටියොත්, “සුම්ම තමයි.” ඒ නිසා, “මම යටිගිරියෙන් කෑගහල මෙතන දෙවනත් කරන්න ඕනෙ මේ මිනිස්සුන්ගෙ ඇස් අරවන්න නම්” කියන අදහස ඇති කර ගත්තා.
පොඩිකාලෙ, ඒ කියන්නෙ අපි හිතන ඔය හිතා ඉන්න නොදන්න කාලෙ, සමහර වෙලාවට අපි බලන්න ඇති හිනාවෙලා, අනිත් අය සතුටු කරල, යම්යම් දේවල් ලබා ගන්න. නමුත් ‘වටකරගෙන හිටි සමාජය’ ඒකට වැඩි සැලකිල්ලක් දක්වන්න නැතිව ඇති.
පොඩිකාලෙ ඉඳල ‘තරහ’, ‘මමත්වය’ වගේ ආත්මාර්ථකාමි දේවල් අපි ළඟ තිබුණ නම් මෛත්‍රීය, සුහදතාවය වගේ පරාර්ථකාමි ගති අපි ළඟ තිබුණෙ නැහැ කියල කියන්න පුළුවන්ද?
ඒ හොඳ දේවල් අප අතර නැත්තෙ, සමාජය වැඩි සැලකිල්ලක් දක්වන්නෙ හොඳ දේවල් වලට නෙවෙයි, නරක දේවල් වලටයි. පත්තරවල ලොකුමලොකු අකුරින් මුල පිටුවෙ දාන්නෙ හොඳ දේවල්ද? කාට කියවන්නද එහෙම දාන්නෙ? බොහොම වෙලාවට, තමන් පත්තරයක් නොගත්තත්, පේන දුරක තියෙන පත්තරයක් දිහා ඉස්සිඉස්සි, එබිඑබි බලන්නෙ කාගෙ වුවමනාවටද? තවතවත් විපරම් කරකර බලන්නෙ කොයි වගේ ප්‍රවෘත්තියක් දකින්නද? යටගැහිල තියෙන කෙළෙස් මතුවෙන හැටි පේනව නේද? අපි ඒ දකින, කියවන දේවල් වලින් හිතේ තරහක් ඇති කරනවාට වඩා වැඩි යමක් වෙනවද? තවත් කෙනෙක් එක්ක කතා කරන්න දැන් හොඳ මාතෘකා කීපයක් තියෙනවා. සමාජය විවේචනය කරන්න, පුද්ගලයින් හංවඩු ගහන්න තවතවත් දේවල් අපි ළඟ එකතු වෙනවා. සමාජය හැදුනද? හැදෙනවද? හැදුන පාටක් පේනවද?
පොඩි ළමයෙක් සතෙක් හුරතල් කරන කොට ඒක වලක්වන්න අම්මල තාත්තල ගන්න උත්සාහය දැකල තියෙනවද? “ඇයි ඔය ජරාව අතගාන්නෙ? කන්න දෙන්න එපා, එලවල දාන්න. අතගාන්න එපා, ඇදුම හැදෙනවා. විෂබීජ යනවා. මේ ළමය කියන දේ අහන්නෙම නෑනෙ, දැන් දෙනව දෙකක් ගිහිල්ල වෙන වැඩක් කරේ නැත්තන්.” මතකයි නේද?
පොඩිකාලෙ අපි ඒ යට ගහගෙන හිටි අනුකම්පාව, දයාව, කරුණාව නැවත ඉස්මතු කර ගන්න හදන කොටම ඒක උපන්ගෙයිම මරල දානවා. කොයි අම්මද කියන්නෙ, කීයෙන් කීදෙනාද කියන්නෙ, “ඔය සතා අතගෑවට කමක් නෑ, හැබැයි හොඳට අත් දෙක සෝද ගන්න” කියල. ජරාව අතගාන්න එපා කියකියා අපි ළමයි හදනව නම් ලෙඩ වුන අය, රෝග හැදුන අය, තුවාල හැදුන අය, ජරාව නෙවෙයිද? අපිත් ජරාවට යන්නෙ නැද්ද? කවදහරි අපටත් ඔය ජරාව අතගාන්න වෙන්නෙ නැද්ද? ඔව්, එහෙම පුරුදු නොවෙච්ච අය, ඒ වගේ අවස්ථාවලදි හැසිරෙන ආකාරය ඔබ සමහර විට දැකල ඇති.
ඔය පාර අයිනෙ ගිනි අව්වෙ ඉඳගෙන, අව්ව වැස්ස බලන්නෙ නැතිව, කිළුටු ඇඳගෙන, අතපාගෙන ඉන්න අය දැක්කාම මොනවද හිතෙන්නෙ? “බොරු කාරයො. රස්සාවක් නොකර කම්මැලිකමට නිකන් කන්න බලාගෙන ඉන්න අය. ඔය පත්තරවල තියෙන්නෙ, ඔය ඔක්කොම බිස්නස් කාරයො, සල්ලි පුරවල, ඕක කරන්නෙ රස්සාවට.” ඒක ඔය කියන තරම් හොඳ බිස්නස් එකක් නම්, ඔය බිස්නස් නැතිව ඉන්න අයට නරකද, ඒ වගේ අළුත් බිස්නස් එකක් පටන් ගත්තොත්? දැන් හිතට අමාරු ඇති එහෙම කීව කියල. නමුත්, ඒක අහන්නවත් කැමති නැති අයට පේනවද, ඒ මිනිස්සු විඳින දුක? කීයක් හම්බ කළත් අනේ ඇත්තටම මොන තරම් දුකක්ද ඒ මිනිස්සු විඳින්නෙ? හැමදාම පාරෙ, අව්වට වේලෙනව වැස්සට තෙමෙනව, වෙලාවකට කන්න නෑ, බොන්න නෑ, නිදා ගන්න නෑ, ඉන්න තැනක් නෑ, යන්න තැනත් නෑ. අපට වගේ හිතුන හිතුන දේ කරන්න බෑ.
මම නොකිව්වට, දැන් ඔය ලොකු පොහොසත් බිස්නස් කාරයො තවත් ඉන්නෙ? ( හැබැයි ඒ සමහරු එතෙන්ට ඇවිත් ඉන්නෙ, අර කට්ටිය වගේ ලැබුණ දෙයක් විතරක්ම්ම අරගෙන නෙවෙයි.) අපි ඒ අය ගැනත් ඔහොම කතා කරනවද? අපි ඒ අය ගරහනවද? දැන් ඔය හම්බ කළා ඇති කියනවද? ඒ අයට දියුණු වෙන්න (හම්බ කරන්න) තියෙන මං අහුරනවද?
අඩුතරමින් මේ දුප්පත් මිනිස්සු තමන් කරන රස්සාව බොහොම මහන්සියකින්, උනන්දුවකින්, කැපවීමකින් කරනවා. වරුවෙ නිවාඩු නෑ, ඕවර් ටයිම් නෑ, ලෙඩ නිවාඩු නෑ. ඒ අය, ඔය රස්සාවට යනව කියල ගිහින්, එතැනදි උදේට කෑම කාල, දවල්ටත් කෑම කාල, රෑට කෑමට විතරක් ගෙදර යන අයට වඩා හොඳ නැද්ද? (අනේ එහෙම කිව්වට තරහ වෙන්න එපා, හැමෝම එහෙම නෑ. රෑටත් කාල හොඳට බීල යන අයත් ඉන්නව.)
ඒ නිසා මේ කියපු දේවල් අහල, ඊළඟ වතාවෙ, ඔය පාර අයිනෙ වැටිල ඉන්න කෙනෙක් වෙන්න ඕනෙම නැහැ, ඔය නැතිබැරි කෙනෙක් දැක්කාම හිතේ අනුකම්පාවෙන් කීයක් හරි දීල බලන්න, මොකද වෙන්නෙ කියල. ලැබුණ මනුස්සයට සතුට ඒ මොහොතට විතරයි, නමුත් දුන්නු මනුස්සයාට ඒ සතුට දැනෙනවා, ඒක මතක්වුන මතක්වුන වෙලාවට. හැබැයි මෙහෙම හිතන්න නම් එපා, “මම නොදුන්නට අනික් මිනිස්සු දෙනව ඕන තරම්.” නමුත් හිතල බලන්න, අනික් මිනිස්සුත් “මම” වගේ නම්, ඒ මනුස්සයට දෙයියන්ගෙම පිහිටයි! හැබැයි එකක් මතක තියා ගන්න, ඒක එහෙම නම්, දෙයියො තමන්ට පිහිට වෙන්නෙත්, ඒ මනුස්සයට දෙයියො පිහිට වෙලා ඉන්න ආකාරයටමයි. කමක් නෑ නේද? ඊළඟපාර දෙයියන්ගෙන් පිහිට ඉල්ලන කොට ඒක මතක් කර ගන්න. එතකොට, “දෙයියො අහක බැලුව” කියල තමන්ට දුකක් දැනෙන්නෙ නෑ.
මේ ලෝකෙන් දුප්පත්කම තුරන් වෙන්න ඕනෙ කියල අපි නිතරම වගේ බොහොම ගැඹුරින් හිතනවා, පතනවා. නමුත් අපේ කෙරුවාව මෙයාකාර නම් දුප්පත්කම ලොවින් තුරන් වෙයිද? දැන් කියයි, “මේ නම් නිකමුන් බෝකරන වැඩ පිළිවෙලක්” කියල. එහෙම නම් හිතල බලන්න, දවසකට රුපියල් දාහක් දෙනව කියල කිව්වොත්, ඒ නිකමුන්ගෙ රස්සාව කරන්න කැමති වෙනවද? දවසක් නෙවෙයි, දෙකක් නෙවෙයි, හැමදාම!
ඇස් අරින්න! මේ සමාජයක් හදන්න, හැදෙනකම් බලා ඉන්නෙ නැතිව, සමාජයේ බලපෑමෙන් අර පොඩිකාලෙ යට ගැහිල ගිය හොඳකමට, මනුස්සකමට නැවත ඉස්මතු වෙන්න ඉඩ හරින්න. එයින් ලැබෙන සතුට තමන් හඳුනගත්තාම, ඉන් පස්සෙ ඔය සමාජයට බැහැ, ඔබෙන් ඒක ඉවත් කරන්න. සමාජය කියන, කරන හැම දෙයක්ම ඉස් මුදුණින්ම පිළිගන්න එපා. තමන්ම හිතල බලන්න, හරි දේ මොකක්ද, වැරදි දේ මොකක්ද කියල. ඊට අවශ්‍ය ප්‍රඥාව අප ළඟ තියෙනවා.
පුළුවන් කමේ හැටියට, රුපියලක් වුනත් කමක් නෑ (ඉස්සර තිබුණු සතෙන් බාගයක් තරම්වත් නෑ දැන්) ඔය වෙනුවෙන් ආයෝජනය කරල වැඩේට බහින්න. කාලයක් යනකොට ඔය ‘සතුටු’ ගිණුමෙ අගය දෙගුණ තෙගුණ වෙනවා. එතකොට තවතවත් ආයෝජනය කරන්න හිතෙයි. ඒ ගිණුම සම්පූර්ණයෙන්ම සුරක්ෂිත බවට සහතිකයි. කොයි සක්විතියෙකුටවත් බැහැ ඒව අරගෙන රට පනින්න!