ජෝර්ජ් කාරියවසම්
ඔන්න දැන් ඉතින් කියයි අනේ අපි නැහැ කියල. අනිත් අය කළාට අපි ඕව කරන්නෙ නැහැ. හැබෑවටම? පිළිගන්න කැමති නැහැ. හොඳයි බලමුකො නැද්ද කියල.
ප්‍රශ්නය තියෙන්නෙ කාටද කඩේ යන්නෙ කියල. මෙතන පැති දෙකක් තියෙනව. තමන්ටද? අනුන්ටද? එකපාරටම ඔළුවට එන්නෙ අනුන්ට කියන අදහස. අනුන්ට කඩේ යාමෙන් ඇති වැඩේ මොකක්ද? පැත්තකට වෙලා ඉඳීම දාහෙන් සම්පතයි. ඇයි එහෙම නම් අපි වැඩක් නැති දේවල් ගැන හිතන්නෙ? අනුන් කරන දේවල් ගැන හිතන්නෙ නැතිව, අපි අපේ දෙයක් ගැන හිතමු.
කඩේ නොගිහින් ඉන්න පුළුවන්ද? අපේ අම්ම තාත්ත මුලදි අපි වෙනුවෙන් කඩේ ගියා. මොකක්ද ඒකෙ තිබුණ වරද? අපටත් කවදහරි වාරයක් එනව ඒක කරන්න. එහෙම නොගියොත් අපිට කන්න බොන්න ගෙනත් දෙන්නෙ කවුද? ඒ නිසා ඒක නරක වැඩක් නෙවෙයි.
මේ වැඩේ හොඳ කොටස තියෙන්නෙ කඩේට යන්න කලින්. ඒ කිව්වෙ ගෙදරදිද? නෑ, ගෙදරයි කඩෙයි අතර මඟ. දුර-කෙටි වෙන්න පුළුවන්, දුර-දුර වෙන්න පුළුවන්. මේ කඩේ යන වැඩේට, දුර වැඩි වුන තරමට තමයි හොඳ. හොඳයි ඔහොම යන්කො මම කියල දෙන්නම්.
ඔය යන ගමනෙදි, හොඳට මතක් කරල බලන්න, අතර මඟ තිබුණ දේවල් දැක්කද? මතකද? “ඔව්! මිනිස්සු, වාහන, තවත් කඩ.” ඒ ඇරෙන්න? ඔන්න මතක නෑ. මේ, මතකය කියන දේ බොහොම හොඳ දෙයක්. නමුත් අපි ළඟ ඒක තියෙන්නෙ බොහොම අඩුවෙන්. තිබුණත් තියෙන්නෙ, වැරදි මතක. හොඳ දේ මතක නෑ, නරක දේ මතකයි. “කඩේ යනකොට කව්ද බූරුවෙක් ඇවිත් මගේ ඇඟේ හැප්පුන, මෙවුන් යන්නෙ උඩ බලාගෙන. බස්කාරය වතුර වල උඩින් ගියේ කුපාඩි කමටමයි, මුළු ඇඟම මඬෙන් නෑවුනා. කඩකාරය බඩු කිරුවෙ තරාදිය උඩ එක ඇඟිල්ලක් වාඩි කරවගෙන.” ඒව මතක තිබුණට කමක් නෑ. ඒ වුනත් ඒව මතක් වෙනකොට හිතට එන්නෙ තරහ නේද? ඒකට සතුටුද? නෑ නේද? ඒකයි කිව්වෙ, අපිට මතක හිටින්නෙ නරක දේවල්මයි කියල.
එතකොට මොනවද මේ මතක නැති හොඳ දේවල්. දැන් ලැජ්ජ හිතෙයි. මොනවද දන්නවද? පාරෙ තියෙන ගල්, වතුර වලවල්, කාණු වැහෙන්න දාල තියෙන කොන්ක්‍රීට් ලෑලිවල කැඩිච්ච තැන්, ගැලවිච්ච තැන්, මිනිස්සුන්ට ඇවිදගෙන යන්න තියෙන පාරෙ හරහට හිටවල තියෙන කණු, දාල තියෙන කුණු ගොඩවල්, බල්ලො කැත කරපුව; අන්න ඒ වගේ දේවල්. “ඒක මහ පුදුම කතාවක්නෙ? කොහොමද ඒව හොඳ දේවල් වෙන්නෙ? රට හදන්න කියල ගිය එවුන් මේ රට හදනවද? රට තියා මිනිස්සුන්ට යන්න මේ පාරක්වත් හදනවද?” ඔන්න, ඔන්න පටන්ගත්ත තරහ ගන්න, බණින්න. එපා, එපා නවත්තන්න ඕක.
දැන් හොඳට හිතල බලන්න. ඔය කියපු එක ගලක හැප්පුනාද? ඔය කියපු එක වලක වැටුනද? එක බලු ගූ ගොඩක් පෑගුනාද? ඉතින්, ගමන මොනතරම් හොඳින් කෙරුනද? ඇයි මේ අවලාද?
ඇයි නොහැප්පුනේ? ඇයි නොවැටුනේ? සිහිකල්පනාව තිබුණ! ඒක නොතිබුණා නම් කොහොමට හිටීද? කී දෙනෙකුගෙ ඇඟේ හැප්පෙයිද?
මේ රටේ ඉන්න අය හරි වාසනාවන්තයි. රට වැසියන්නේ සිහිකල්පනාව වර්ධනය කර ගැනීමට ඉඩප්‍රස්ථා සලසා දීමේ උතුම් චේතනා මූලික කර ගෙනයි, අපේ රටේ බලධාරීන් පාරවල්, පේව්මන්ට් එයාකාරව පවත්වාගෙන යන්නෙ. ඔය දියුණුයි කියල උදම් අනන රටවල් වල මිනිස්සු පාරවල් දිගේ ඔහේ ඇවිදගෙන යනව, සිහිකල්පනාවක් ඕනෙම නැහැ. වෙලාවකට පව් කියල හිතෙනව, ඒ මිනිස්සුන්ට එහෙමවත් අවස්ථාවක් ලබාදෙන්න ඒ ආණ්ඩු ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඒ අය තනිතනිවම පුද්ගික ක්‍රම හොයාගන්න ඕනෙ තමතමන්ගෙ සිහිකල්පනාව දියුණු කර ගන්න. බලන්න මොන තරම් අසාධාරණයක්ද කියල. ඒකට අපේ රට, අපට ඒක අනිවාර්යයි. මං අහන්නෙ, කට කහනවටය කිව්වෙ ලෝකෙන්ම උතුම් රට ලංකාවය කියල!
මේ ඇරෙන්න තවත් දෙයක් තියෙනව අපි නොදැකපු. ගෙවල් ඇතුළෙත් මේ වගේම දෙයක් සිද්ද වෙනව. අපි ගේ ඇතුළෙ ඇවිදින කොට ඇවිදින්නෙ සිහිකල්පනාවෙන්ද? ගෙවල් ඇතුළෙ මොනතරම් දේවල් අපි ගොඩගහගෙන ඉන්නවද? පුටු, මේස, ඇඳන්, අල්මාරි; එකට දෙක වෙන්න තියෙනව. ඒත් ඕවයෙ අපි හැප්පෙනවද? හැපුනොත් කවුරුහරි අහන්න බැරි නෑ, ඇයි ඇස් පොට්ට වෙලාද කියල? සමහර විට ඒ බයට, ලැජ්ජාවට නිසා වෙන්නැති අපි ඒවයෙ නොහැප්පෙන්නෙ. ඒ කොහොම වුනත්, අපිට ඒ පුළුවන්කම ලැබුණෙ පුරුද්දෙන්. සිහිය නැතත් මට ගේ ඇතුළෙ ඇවිදින්න පුළුවනි කියන තරමට සිහිකල්පනාව අල්ලල දාල. ඒක හොඳ දෙයක් නෙවෙයි.
සිහිකල්පනාව අපට අවශ්‍යම දෙයක්. නමුත් අපි ඒක වැඩි දියුණු කර ගන්න උත්සාහ ගන්නෙ නෑ. ඒක පුරුද්දක් කර ගෙන. අර ගිරව් වගේ. ගිරව දන්න ඉටිගෙඩියක් නෑ. අනුන්ගෙන් ඉගෙන ගත්තු දේවල් ඔහේ පුරුද්දට කියා ගෙන යනව. ඌ කූඩුවෙ ඉන්නෙ හිරවෙලා. එක්කො තටු කපල. නිදහසක් නෑ. නිහසේ ඉන්න ගිරව්ත් එහෙමද?
හිරවෙලා ඉන්න අපටත් වුවමනා නැහැ. නිදහසේ සැනසීමෙන් ඉන්නයි උත්සාහ ගන්න ඕනෙ. අන්න ඒ හින්ද අපිත් කඩේ යමු. අනුන් වෙනුවෙන් නෙවෙයි, අපි වෙනුවෙන්.
ඊළඟපාර කඩේ යනකොට හොඳට බලන් යන්න. ඇයි දෙයියනේ! මේ එක ගලකවත් මම හැප්පුණෙ නැහැනෙ? මම මේ වලවල්වල නොවැටි බේරුණ එක මහ පුදුමයක්නෙ? වැටුණ නම් බෙල්ල කඩල යනව. අඩුගානෙ කකුලක්වත් කැඩෙන්න තිබුණ. නොදැනුවත්වම වුනත්, බලන්න තමන් ආරක්ෂා වෙලා තියෙන තරම. තමන් ගැන මොනතරම් ආඩම්බරයක් ඇති වෙනවද? ඒවගේම දැනෙන සතුට? දැන් යනයන තැන, බැලූබැලූ අත සතුටු වෙන්න දෙයක් තියෙනව. ගලක් දැක්කත් සතුටු වෙනව, අනේ මම මේ ගලේ හැප්පුණෙ නැහැ නේද කියල. වලක් දැක්කත් සතුට, අනේ මම වැටුණෙ නැහැ නේද කියල. බලන්න එදා කඩේ ගිය හැටියි, අද කඩේ යන හැටියි අතර වෙනස. එදා ගියේ බැනබැන අද යන්නෙ හිනා වෙවී. සිහියත් තියෙනව, සතුටත් තියෙනව. අනික එදා වෛර කරපු අයට අද වෛර කරන්නෙ නැහැ. වෙනද බැනබැන ගිය අයට දැන් බනින්නෙ නැහැ. එදා, ගලක හැප්පුණාම ගලටත් බැනබැන ගිය මනුස්සය, දැන්, සිහිකල්පනාව කොහාටද ගියේ කියල හොයනව. මෛත්‍රීය වඩන්න කලින් මුලින්ම තරහ නොගෙන ඉන්න පුරුදු වෙන්න ඕනෙ. මේ කඩේ යාමෙන් අපි ඒකත් පුරුදු කරනව. ඇරත්, මේ පාරවල් හදන්න වෙන්කරපු සල්ලි සාක්කුවෙ දාගෙන, පාරවල් ඔහේ තියෙන්න ඇරල, අපේ ආරම්මණවල (වලවල්වල) ගැඹුර තවත් වැඩි වෙන්න ඉඩ හැරීමෙන්, මට සිහිකල්පනාව වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව සලසා දුන් ඒ අයට අනේක වාරයක් පිං කියල සතුටු සිතක් ඇති කර ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි නියම මෛත්‍රීය කියන්නෙ. (එයත් හැදුන, මාත් හැදුන. අනේ සාදු!) කම්මැලි නැතිව වැඩිවැඩියෙන් කඩේ යන්න, දවසක ඒකත් කර ගන්න පුළුවන් වෙනව.
බලන්න, කඩේ යනවද කියල අහපු ගමන් ඒක පිළිගන්න ලැජ්ජ වුනු අය දැන් සතුටු වෙනව. අපි හිතාගෙන ඉන්න දේවල් ඇතුළෙ තියෙනව අපිට හිතාගන්න බැරි දේවලුත්. ඒ හින්ද, හැම දෙයක්ම අර පැත්තට මේ පැත්තට හරවල බලන්න, කලින් නොදැකපු දේවල් තියෙනවද කියල.
හැබැයි පුතෝ මම එකක් කියන්නම්, ඔය කාර්බාර් වලින් යන අයට නම් ඔය අවස්ථාව නැහැ. ඒ අයට පේන්නෙ; “දැක්කද අර ගොනා කාරෙක දාපු හැටි, තව පොඩ්ඩෙන් හැප්පෙනව. මම එනව දැකදැකත් දැක්කද අර මිනිහ කහ ඉරෙන් පැනපු හැටි? මේ මිනිස්සුන්ට මොනව වෙලාද? ඉවසිල්ලක් කියන එකක් ඇත්තෙම නැහැ.” පේන්නෙ අනුන්ගෙ වැරදිමයි. ඇයි ඒ? ඒ අය යන්නෙ ඈත බලාගෙන. ළඟ බලන්න ඉඩක් නැහැ. හදිසියෙ ඔය ළඟ තියෙන දෙයක් බැලුවොත්, ඒත් ඉතින් ඔය කව්රු හරි එවපු SMS එකක් වගේ දෙයක් විතරයි!