උදාර අකීකරුකම

අජාන් සුඛිතො ස්වාමීන් වහන්සේ පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්

      අත්හැරීමේ ක්‍රියාදාමය තුළින් සිදුවන්නේ හෙමින් සීරුවේ හේතුප්‍රත්‍යයන්ගෙන් මිඳුනු ස්වභාවයට සම්ප්‍රාප්තවීමය. කඹයක එල්ලී පහතට රූරායාම හා මෙය සමාන කළ හැකිය. ඔබ එය කරන ආකාරය දත යුතුය. හොඳයයි සම්මත දේවල එල්ලී ගෙන, මමත්වය අත්හැර දැමීමේදී දැනෙන පහතට ඇදීයාම කෙරෙහි විශ්වාසය ඇති කර ගත යුතුය. එම වේගය ඔබ හසුරුවා ගත යුත්තේ, එවිට උද්දීපනය වන පැහැදිලිකමත් නොඇලෙන ස්වභාවයත් පිළිබඳ අත්දැකීම් එකිනෙක හා මුසුවන ආකාරය, දැනුවත්ව සිටීමට හැකිවන අයුරින්ය.

එම පැහැදිලිකම සහ නොඇලීම එකිනෙක හා සම්බන්ධවන ආකාරය, ඔබේ ජීවිත අත්අදැකීම් තුළින්ම ඔබ අවබෝධ කර ගත යුතුය. පිබිදීමෙන් අදහස් කරන්නේ, ඔබේ සිතුම් පැතුම් සහ පැතිගැනීම් අත්හැර දමා; සිතීම, දැකීම, ආඝ්‍රහණය, ස්පර්ෂය, ආශ්වාස ප්‍රශ්වාසය, හැඟීම්, සිතිවිලි වෙත ඔබේ පැහැදිලි සිහිකල්පනාව යොමුකොට එම ක්‍රියාදාමයන් සිදුවන ආකාරය ඇලීමකින් තොරව පැහැදිලිව දැකීමට ඉඩ සලසා ගැනීමය. මේ සම්බන්ධතාවය ඔබ දකින්නේ ඒ අයුරින්ය. භාවනාවෙන් කෙරෙන්නේ මෙම සම්බන්ධතාවය වඩාත් උද්දීපනය කොට විදහා පෑමය.

පිබිදීම පටන්ගත් විට බොහෝ දෙනෙක් හට මූලිකවම බාධා පමුණුවන්නේ ‘කිරීමෙහි යෙදෙන මනසය’. ජීවිතයට අප දක්වන ප්‍රතිචාරය සහ අප ඒ සමඟ ඇති කර ගන්නා සම්බන්ධතාවය ‘කිරීමය’. “ජීවිතය ඉබේ ගතවීමට මම ඉඩ නොදෙමි. මගේ ජීවිතය මම ගත කරමි.” ජීවිතය මම කරන දෙයක් බවට පත්වී ඇත: “දැන් මම ජීවිතය ගත කරමි”. මෙවැනි ප්‍රවේශයන් මඟින් සිදුවන්නේ නියෝග, බලාපොරොත්තු සහ අදහස් උදහස් වලින් පිරි රාමුවක් තුළ මුළු පද්ධතියම හිර කර ගැනීමය. එමඟින්, මෙම ක්‍රියාදාමයෙහි ඇති සරලත්වය, ස්වාභාවිකත්වය දැකීමට හෝ ඒ සමඟ මුසු වීමට නොහැකි පරාජිතයන් බවට අපි පත් වන්නෙමු.

නිරතුරුවම මනසට ඇඟිලි ගසමින්; “මෙහෙම කරන්න”, “මේ විධියට ඉන්න”, “මනස එක්තැන් කරන්න”, “ප්‍රඥාව ඇති කර ගන්න” ආදි වශයෙන් නියෝග පනවමින් අප උත්සාහ දරන්නේ සිහිකල්පනාව රැවටීමටය. නමුත් සිහිකල්පනාව මේ අණ පිළිපදින්නේ නැත. අපට ඇත්තේ පූර්ණවශයෙන්ම අකීකරු සිහිකල්පනාවක්ය. අප ඒ ගැන ප්‍රීතිමත් විය යුතුය. සිහිකල්පනාව යනු යම් ආකාරයක සංවේදී බවක් වීම ඊට හේතුවය. එය ජලය මෙන්ය. වැවක් ජලය රඳා ගන්නා සේ, මනස රඳනයක්ය. ජලය සිහිකල්පනාවය, වැවෙහි මායිම මනසය. මායිම එහා මෙහා විය හැකිය, වෙනස් විය හැකිය. එය ව්‍යාප්තවූ මනස, විපුල මනස හෝ කොටු නොවූ මනස වටා විය හැකිය. එමෙන්ම එය ඉතා පිරිපහදුවූ, තැන්පත්වූ හෝ ඒකාග්‍රතාවයට පත්වූ මනසක් වටා වුවද විය හැකිය. නමුත් මනසෙහි සීමාව නොහොත් මායිම රඳා පවතින්නේ සිහිකල්පනාව මතය. එනම් සිහිකල්පනාවෙන් හඟවන්නේ ව්‍යාප්තවූ බවක්ද නැත්නම් සියුම් බවක්ද යන්න ඊට මූලික වන්නේය.

ඒ කෙසේ වෙතත්, මනස සිතා සිටින්නේ සිහිකල්පනාවෙහි පාලනය තමන් සතු බවය. නමුත් මනස අණදීම් හා නියෝග පනවන විට සිදුවන එකම දේ ජලාශයෙහි දිය රැළි මතුවීමය. තිගැස්සීමේ රටාවන්ට සහ නොඉවසිලිමත් වීමේ රටාවන්ට අනුකූලව කැළඹීම් හට ගනී. සිහිකල්පනාව වෙව්ලන්නේ එවිටය. එවිට කෙනෙකුට හැ‍ඟෙන්නේ ව්‍යාකූල බවක්ය; දැනෙන්නේ කලබල, අසහනකාරී, පීඩාකාරී ස්වභාවයක්ය. ඇත්තෙන්ම කිසියම් හිතකර දෙයක් ඉන් සිදු නොවේ.

නමුත්, සිහිකල්පනාව යන්නේ හැඟීම් පසුපසය, නැතහොත් සංඥාන ඔස්සේය. හැඟීම්; නියෝගයකට, අණදීමකට හෝ සිතාමතා ඇති කර ගන්නා ක්‍රියාදාමයකට (සංඛාර) වඩා වෙනස්ය. ආලෝකය, අවකාශය වැනි දෑ හැඟීම් පුබුදුවයි. ආලෝකය පිළිබඳව දෘෂ්ඨිමය සංඥාන, හැඟීම්, ඇති විය හැකිය. උණුසුම, මිත්‍රත්වය, ආදරය, කරුණාව පිළිබඳව ඇත්තේ චිත්තවේගාත්මක සංඥාන නැතහොත් හැඟීම්ය. ත්‍රිවිධ රත්නය පිළිබඳව ශ්‍රද්ධාත්මක සංඥාන ඇති වේ.

එසේනම්, අප කළ යුත්තේ ඒවා පුබුදුවා ගෙන එතුළ තැන්පත් වීමය. ආලෝකය තුළ තැන්පත් වන්න, අවකාශය තුළ තැන්පත් වන්න, උණුසුම තුළ තැන්පත් වන්න, ගලායාම තුළ තැන්පත් වන්න. ඒවා කෙරෙහි විශ්වාසයක් ඇති කර ගන්න. එම වචන මනසෙහි මතු කර ගන්න. නිරතුරුවම ගලායන ‘හදවතෙහි ඡායාව’ සිතෙහි මවාගෙන එතුළ කිමිදෙන්න. එය විශ්වාස කරන්න. එයින් ඇතිවන ප්‍රතිඵල භුක්ති විඳින්න.

නමුත් ඔබේ කෙඳිරිය: “මොනවද මම කරන්න ඕනෙ? කොහොමද මම ඒ ගලායාම සලස්වන්නෙ? ඔය දේවල් අත්හරින එක කරන හැටි මට තේරෙන්නෙ නැහැ.” නමුත්, ඔබට බැරි දේ ඔබේ ශරීරයට කළ හැකිය. එය නිරතුරුවම කරන්නේ හොඳින් හුස්ම ගැනීම හා හුස්ම හැරීමය. ඇතුළාන්තයේ යමක් කළ යුතු දෙය දනී. එතැනට යන්න. කළ යුතු දේ කුමක්දැයි ඔළුව නොදනී. ඇතුළතින් කෙරෙන කථාව හැරෙන්නට වෙන දෙයක් ගැන හැඟීමක් එයට ඇත්තේම නැත. හුස්ම මෙන් ගලායන දෙයක් වෙත යන්න. එය ඉතාමත් සරලව පැවතිය යුතු නිසා හුස්ම ගැනීම නො ‘කරන්න’. හුස්ම වෙත මනස එක්තැන් නො ‘කරන්න’. එක්තැන් වීම සිදු වීමට ඉඩ දෙන්න. භාවනා නො ‘කරන්න’. හුස්ම ඉහළ පහළ යෑම ගැන පමණක් දැනුවත්ව හිඳින්න. එක්තැන් කිරීමටවත්, භාවනා කිරීමටවත් නොයා තමාගෙන් මෙසේ ප්‍රශ්න කරන්න. “මම හුස්ම ගන්නවාද? හුස්ම මෙතැන තියෙනවාද? කොහොමද දන්නෙ මම හුස්ම ගන්න බව?”

ඒ ආකාරයට කටයුතු කරද්දි, මානසික ශක්තියෙහි වෙනස්වීමක් ඇතිවන බව ඔබට දැනෙන්නට පටන් ගත් විට, එයට සවන් දෙන්න. පිරිසකගේ කථාවට සවන්දීගෙන සිටිද්දි මෙවැනි දෙයක් සිදුවන බව ඔබ අත්විඳ ඇතුවාට සැක නැත. ටික වෙලාවක් ගතවූ පසු ඒ අයගේ කටින් පිටවන වචනවල අර්ථයට ඇහුම්කන් දෙනවා වෙනුවට ඔබේ මනස යොමු වන්නේ කටහ‍ඬේ මිහිරිකම, වචන උච්චාරණය කරන විලාසය ආදිය වෙතටය. උදාහරණයක් ලෙස, කාමරයකින් නිකුත්වන කටහඬවල් කිහිපයක් ඔබට ඇසෙන්නේ නම්, සමහර විට, ඔබ එයින් කෙනෙකු පවසන දේ වෙත කන් යොමන්නේ ඒවායෙහි වැදගත් කමක් ඇතැයි සිතන නිසාය. නමුත් ටික වෙලාවකට පසු ඔහුගේ කටින් පිටවන වචන වලින් අදහස් කරන දේ තේරුම් ගැනීම පසෙක තබා ඔබ උනන්දුවක් දක්වන්නේ ඔහුගේ උච්චාරණ විලාසයටය. “මේ අමුතු කටහඬක්නෙ? වචන උච්චාරණය හරි ලස්සනයි.” දැන් ඔබ සවන් දීගෙන සිටින්නේ වෙනස් ආකාරයකට නේද? ඒ ආකාරයටම හුස්මටත් කන් දෙන්න. දැන් ඔබ අසා සිටින්නේ මානසික හැඟීමකින් යුතුවය. හොඳ සිහිකල්පනාවකින් යුතුව, “හුස්ම ගැනීම ශරීරයට දැනෙන්නේ කෙසේදැයි?” ඔබෙන්ම ප්‍රශ්න කරන්න. “එය ඉණ වටේට, පපුව වටේට ඇති ඇඳුම් වලින් දැනෙන තරමක තදවීමක් වගේ දෙයක්ද? හුස්ම ගනිද්දි තදවෙන ගතියක්, බුරුල්වෙන ගතියක් දැනෙනවාද?” එවැනි සරල අත්විඳීමක් තෝරා ගන්න. එය අත්විඳින්න. නමුත්, නොයෙකුත් දේවල් මනසේ මතුවීම ඇරඹෙන්නේ මේ අතරතුරදීය. “මනසේ තත්ත්වය විග්‍රහ කර බැලීම, පිළිපැදිය යුතු නොයෙකුත් ගාම්භීර උපදෙස්, දැන් කළ යුතු දේ මොකක්ද? කොයි වගේ කෙනෙක් වුනොත්ද හොඳද?” ශක්තිය බුබුලු දමමින් මතුවන බව ඔබට දැනේ. නමුත්, ඒ වෙනුවට තැන්පත් බවේ, දැනුවත් බවේ නතරවී විවේක ගන්න. ඒ දැනීමත් සමඟ නතරවන්න.

බොහෝ විට භාවනා වාරයක මුල් තත්පර කිහිපය ඉතා සැනසිලිදායකය. ඔබ හිඳගනී. කිසිවෙක් ඔබට කරදර කරන්නේ නැත. ඔබට හැ‍‍ඟෙන්නේ සෑම දෙයක්ම සංසුන් බවය. ඔබ තුළ ඇති හැඟීම් යහපත්ය. හුස්ම ගැනීම, හුස්ම හෙළීම හැර කළ යුතු වෙන යමක් නැත. නමුත්, මෙතෙක් විවෘතව, විහිදී තිබූ සිහිකල්පනාව මඳක් හැකිළීමට පටන් ගන්නේ, “ඕ! මම මේ මොකද කරන්නේ? භාවනා කරනවා නේද?” යන හැඟීම මනසෙහි මතුවීමත් සමඟය. යමක් කළ යුතු බව නැත්නම් හුස්ම සමඟ යමක් කළ යුතුය යන හැඟීම ක්ෂණිකව පහළ වේ. එය මතුවන්නේ සහජාසයෙන්මය. අපට ඇත්තේ, හුස්ම ගැනීම ඒ හැටියට සිදුවන්නට ඉඩදී පසෙකටවී සිටීමට බැරි රුදාවක්ය. “මම තව මොහොතකින් එතැන” යනුවෙන් අපි හැඟීම් අවුස්සා ගන්නෙමු. නමුත්, පැහැදිලිවම මෙමඟින් අප ඇති කර ගන්නේ පීඩාකාරී තදගතියක්ය. මේ, සැලකිය යුතු ආතතියක් ගොඩනැගෙන අන්දමේ සිත එක්තැන් කිරීමක්ය. ඔබ මෙය හඳුන්වන්නේ ඒකාග්‍රතාවය ලෙසද? මේ සමාධියක්ද? නැත, ඔබට දැන් ඇත්තේ හිසරදයක්ය.

මේ අසහනකාරී අත්දැකීම පිටුදැකීම සඳහා මනස ක්‍රියාත්මක වන්නේ මෙතැන් සිටය. මේ සියල්ලක්ම ඇති කරන්නේ අපහසුකාරී තත්ත්වයක් නිසා මනස කැළඹීමට පත්වේ. විරෝධය, නොරිස්සීම වැනි ආගන්තුක ශක්ති විශේෂ හටගැනීම ඇරඹෙන්නේ මෙතැනදීය. වැඩි වේලාවක් ගතවීමට මත්තෙන් පැමිණෙන ‘පොලිස් බලකායේ’ මැදිහත්වීමෙන් මෙය අරගලයකට, යුද්ධයකට, සන්නද්ධ සටනකට පෙරළේ. එමනිසා, ඇත්තෙන්ම ඔබට දැනෙන්නේ අපහසුතාවයක්ය, අසහනයක්ය. මෙවැනි ආගන්තුක ශක්තීන් මතු කළේ කවුදැයි ඔබ දන්නවාද? “පිටවෙන්න! මට කරදර කරන්න එපා. මේ භාවනාකාරයා මෙතැනින් එලවා දමන්න!” යනුවෙන් හඬනගන, ඔබේ අණසක නොපිළිගන්නා සිහිකල්පනාවය.

මේ මොහොතේ ඔබ, සිහිකල්පනාවෙහි තැන්පත් වන්නේ නම් සිදුවන්නේ කුමක්ද? මනස කොතැනකටවත් යොමු කිරීමට තැත් නොකරන්න. තැන්පත්ව සිටීමට උත්සාහ ගන්න. ඔබ යමක් ‘කරන්න’ හෝ ‘හදන්න’ උත්සාහ දරණ බව හැ‍ඟෙනවා නම් එය පිළිගන්න. එයින් නතර වන්න. ශරීරය ගැන දැනුවත්ව ඉන්න. ශරීරයේ යම් තැනක් විශේෂ වශයෙන් දැනෙනවා නම් අවධානය එතැනට යොමු කරන්න. “හොඳයි, දැන් අපි තව උත්සාහ කරමු. යමු ඉස්සරහට” යනුවෙන් හැඟීම් මතුවන්නේ නම් ඒ සමඟ ඔබේ දර්ශනපථයේ මතුවන ශරීරයේ කොටස් මොනවාදැයි සෝදිසි කර බලන්න. සාමාන්‍ය වශයෙන් ඔබට එය දැනෙන්නේ යම්කිසි තදවීමක් ලෙසටය. එය බෙල්ලේ,අතේ, ඔළුවේ, බඩේ, උරහිසේ තදවීමක් ලෙස දැනෙන්නට පිළිවන. එය සිදුවෙන්නේ ඒ ආකාරයෙන්ය. එය පිළිගන්න. එය මුදා හැරීමට අප සිතාමතාම කටයුතු කළ යුතුය.

මෙම තදවීම සිදුවන්නේ නොදැනුවත්වම නිසා ඇත්තවශයෙන්ම කෙනෙක් තුළ තැන්පත් කමක් ඉබේටම ඇති වන්නේ නැත. තැන්පත් කමින් අදහස් කරන්නේ කුමක්දැයි කියාවත් හැඟීමක් ඔබට නැත. ආතති අඩු කර ගැනීමෙන් සිදුවන යහපත ඔබ දැන සිටියත් ශරීරය ඒවාට හොඳින් හුරුපුරුදුවී ඇති නිසා දැන් ඒවා, දැනෙනවා නොදැනෙනවා මෙන්ය. අප හැමවිටම සූදානම්වී සිටින්නේ සන්නද්ධ ඇඳුම් ඇඟලාගෙනය. ලෝකය අප ළඟට එන්නේ රිද්දා ගෙනය. බොහෝ විටම චිත්තයේ අත්දැකීම රිදීමක්ය. මනසේ සංවේදිතාවයට දැනෙන්නේ රිදීමක්ය. ශබ්ද ගෙන දෙන්නේ තැවීමක්ය. රූවවාහිණියෙන් ගලා එන්නේ තැවීම්ය. රථවාහන ඇති කරන්නේ තැවීමක්ය. කොතැනක සිටියත් අප වට කර ගෙන ඇත්තේ තැවීම්ය. දිගින් දිගටම දැනෙන්නේ කඩාහැලෙන ගතියක්ය. මේ සියල්ලක්ම විඳදරා ගන්නා අප කරන්නේ ඇතුළතින් තද කර ගැනීමය. කනට ඇහෙන, ඇහැට පෙනෙන දෙයින් දුරස්තර වීමට, සෑමදෙයක්ම දමාගසා යාමට, හැකිතරම් මඟහැරීමට, අප කරන දැඟලීමෙන් සිදුවන්නේ තවතවත් තද වීමය. දේවල් කපාහැර දැමීමේ ගතියක් අප තුළ නිර්මාණය වන්නේ නොදැනුවත්වමය. එසේ නැතිව කෙසේ මේ ජීවිතයට මුහුණ දෙන්නද?

භාවනා කරන ඉරියව්වෙන් හිඳිමින් හුස්මෙන් කෙරෙන්නේ අපේ ශරීරය සන්තර්පනය කිරීමක් බව සිතට ගෙන, කිසිවක් නොකර සිටීමට අපට හැකියාවක් ඇත. ඔබ හුස්මට යමක් කරනවා වෙනුවට, ඔබ වෙනුවෙන් යමක් කිරීමට, හුස්මට ඉඩ දෙන්න. ශරීරය තුළින් හුස්ම ගන්න. උරහිස් තුළින් හුස්ම ගන්න. අත් තුළින් හුස්ම ගන්න. බෙල්ල තුළින් හුස්ම ගන්න. හුස්මට ශරීරය තුළින් ගමන් කිරීමට පහසුවන ආකාරයට, හුස්මත් ශරීරයත් ඔබගේ සහකරුවන් හෝ යහළුවන් මෙන් සිතා හුස්මටත් ශරීරයටත් එක්වී ශරීරයේ ඉහළ කොටසින්, ඇස් වලින් ශක්තිය ගලා යෑමට ඉඩ සලසන්න. එයින් හැ‍ඟෙන්නේ යමක් පිළිගන්වන බවක්, යමක් වැළඳගන්නා බවක් වැනි දෙයක් වන නිසා එයින් මනසට ඇති කෙරෙන්නේ වැදගත් බලපෑමය. ශරීරය අපට පිළිගැන්වෙනවා, හුස්ම අපට පිළිගැන්වෙනවා; යමක් ඔබට පිළිගැන්වෙන විට එතැන ඇත්තේ අමුතු ලස්සනක්ය, සුමුදු බවක්ය. ඒ සඳහා ඔබ යමක් කළ යුතු නැත. එය ඔබම, ඔබට, ඔබ පිළිගන්වා ගැනීමක්ය.

කෙනෙකුට යමක් ලැබෙන බව හෝ පිළිගැන්වෙන බව දැනීමෙන් ඇති කෙරෙන හැඟීම, එයින් අදහස් කරන දේ, ඒ සංඥානය හොඳින් තේරුම් ගන්න. එය බලපාන්නේ සිහිකල්පනාවටය. එමඟින් තැන්පත් බවට පත්වන සිහිකල්පනාව සිතට ගෙන දෙන්නේ සතුටක්ය. ඔබ ඒ සඳහා යමක් කළ යුතු නැත. ඔබ ඒ සඳහා සුදුස්සෙකු විය යුතු නැත. ඔබේ ඇති විශ්වාසය නිසා එය ඔබට පිළිගැන්වෙන්නේය.

මානසික දැනුවත් බව හා සංඥාන වෙත චිත්තය දක්වන්නේ බලවත් කැමැත්තක්ය. විශ්වාස කරන බව පිළිබඳව ඇතිවන සංඥානය, යමක් ලැබීමට සුදුස්සෙකු බව පිළිබඳව ඇතිවන සංඥානය, සතුටින් පිළිගන්නා බව පිළිබඳව ඇතිවන සංඥානය, ඒවායින් සමහරක්ය. එවැනි සංඥාන පසුපස යාමට මනස කැමතිය. එයින් සිදුවන්නේ මනස තැන්පත්වීමය, විවෘතවීමය. ඒ හේතු කොට ගෙන , මනස ප්‍රතික්‍රියා දැක්වීම, තද කර ගැනීම, දරදඬුවීම නතර කර දමන්නේය. මෙම කරුණුවල සත්‍යතාවය තවදුරටත් සොයා බලන්න. සංඥානය යොදා ගැනීමට හැකි ආකාර විමසා බලා ඒවා ප්‍රයෝජනයට ගන්න. තමන් කොතරම් උසදැයි මොහොතකට සිතන්න. ඔබ කැමති තරම් උස වීමට මනසට ඉඩ දෙන්න. ඔබ අවට අවකාශය සීමාරහිතව ප්‍රසාරණය වීමට ඉඩ දෙන්න. ඔබට සිතෙන පරිදි ඔබ කැමති ඕනෑම තැනකට යාමට මනසට ඉඩ දෙන්න. ඒ යනයන තැන සුවපහසු බවක් හා ඔබ හොඳින් පිළිගන්නා බවක් සිතේ ඇති කර ගන්න. ඔබ මෙතන හිරවී ඇත, හිර කර ඇත යන හැඟීමෙන් නිදහස් වන්න. ඔබට ලැබී ඇති කාලය අසීමිතය. එමනිසා ඉක්මන් වීමට හේතුවක් නැත. සිහිකල්පනාවට අනුව එසේ සිතිමෙහි ඇති වරද කුමක්ද?

ඔබ අවට ඇත්තේ මොනවාද? ඔබ මෙතෙක් ජීවත් වූයේ කුඩා පෙට්ටියක් තුළ සිරවී නේදැයි ඔබට වැටහීමට පටන්ගන්නේ “මුළු ලෝකයේම ඇති කාලය”, “මුළු සක්වලේම ඇති අවකාශය” වැනි හැඟීම් සිත තුළ මතු කර ගැනීමෙන්ය. බොහෝ විට ඔබ සිටින්නේ කොටුවීය. එක්කෝ, ඉතා කෙටි කාලයක් තුළ බොහෝ කටයුතු කර ගැනීමට සිදුවීමෙන් හෝ එසේ නැත්නම් ඔබේ කාර්යාලය ලෙස හඳුන්වා ගන්නා කුඩා කාමරය තුළ සිරවීමෙන් හෝ දැනෙන්නේ නිදහස සීමා වීමක්ය. දවසේ වැඩි කාලයක් ඔබ ගත කරන්නේ ‘මගේ’ යයි කියා ගන්නා කුඩා යකඩ පෙට්ටියක් තුළ හිඳගෙන මංමාවත් දිගේ එහා මෙහා ගමනෙහි යෙදීමය. සමහරක් අය අසලට යන විට ඔබට ඇසෙන්නේ “පැත්තකට වෙන්න, මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න” යනුවෙන් නඟන අ‍ඳෝනාවය. බැරිවීමකින් කව්රුන් හෝ ඇ‍ඟේ හැපුනොත් ඔබ කරන්නේ “ඇ‍ඟේ හැපුනාට මට සමාවෙන්න” යනුවෙන් සමාව යැදීමය.

මේ සෑම දෙයකින්ම සිදුවන්නේ තවතවත් ඇතුළත තද වීමය. පිරිසක් සමඟ භාවනාවෙහි යෙදෙන විටද සිදුවන්නේ මෙයමය. භාවනාවට හිඳගත් සැණින් ඔබ ඇතුළාන්තයෙන් හැමවිටම නැ‍ඟෙන්නේ මෙවන් අ‍ඳෝනාවක්ය. “මෙතැන භාවනා කරන්න පුළුවන් තැනක්ද? හුස්ම ගන්න දඟළන, කහින, හෙලවෙන සත්වයින්ගෙන් මෙතැන පිරිල. මේ ඔක්කොම ජීවිත ප්‍රශ්න වලින් අයින් වෙලා, කොන්වෙලා, වෙන්වෙලා, තනිවෙලා, තාපසයෙක් වගේ කොහාට හරි වෙලා හිටියොත් තමයි මට කවද හරි මේ තැන්පත්කම ලැබෙන්නෙ….”

එසේනම් බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා පුහුණුවුයේ කොතැන්හිද? වායුසමනය කළ, විදුලිපංකා සවිකළ සුඛෝපභෝගි භාවනා මධ්‍යස්ථානවල නම් නොවේ. සැපපහසු කොට්ට, කොන්ද කෙලින් තබා ගැනීමට සෑදූ නොයෙකුත් මාදිලියේ ආසන උන්වහන්සේලා භාවනාව සඳහා යොදා නොගත්හ. එකල ඉන්දියාවේ තිබූ කැලෑ, වනාන්තර උන්වහන්සේලාගේ භාවනා මධ්‍යස්ථාන විය. හිඳ ගත්තේ මහ පොළව මතය. එම ස්ථාන ශබ්දවලින් පිරුණු, අපහසු, කටුක වතාවරණ විය. භාවනාව වෙනුවෙන් පරිහරණය කළ එකම දෙය ‘අත්හැරීමය’. උන්වහන්සේලා එම අත්විඳීම් සහනදායක බවට පත් කර ගත්තේ ‘අත්හැරීම’ භාවිතා කිරීමෙන්ය. පිටතින් සහනය ඇති කර ගන්නවා වෙනුවට උන්වහන්සේලා සහනය ඇති කර ගත්තේ ඇතුළතින්ය.

සාමාන්‍යවශයෙන්, මේ මොහොතේ ඇති සැනසීම ඔබට පහසුවෙන් දැනෙන්නේ නැත. නමුත් ඔබ අල්ලා තද කර ගන්නේ නැත්නම්, මතුවන දේවල් දිගටම ඔබට ඇලී නොපවතින නිසා, එය අත්විඳීමට හැකියාවක් ඔබට ඇත. නොඇලීමේ අර්ථය එයයි. ඔබ තැන්පත් නම් මතුවන ඕනෑම දෙයක් හිතාමතාම ඒ ආකාරයෙන්ම බාර ගැනීමට ඔබට පිළිවන. “මෙහෙම හොඳයි. මට කරදරයක් නෑ. මේ වේදනාව ශාරීරිකව දැනෙන දෙයක් පමණයි. ශාලාවේ ඇති ෆෑන්වල ශබ්දය මට කරදරයක් නොවේ. පාරෙ යන වාහනවල ශබ්ද, ඈතින් සිංදු, එක දිගටම ඇහුනත් ඒත් ඒකට කමක් නැහැ.” ඔබ තැන්පත්ය. ඒවා ඇති බව ඇත්තය. නමුත් ඔබේ දැනුවත්කම, සිහිකල්පනාව තැන්පත් නිසා, මනෙසෙහි ගොඩනැගී ඇති මෘදුබව නිසා, මනස ඒවාට ප්‍රතික්‍රියා දක්වන්නේ නැත. ඔබේ පපුව ගැහෙන්නේ නැත. තද වෙන්නේ නැත. ඒවායින් ගැලවීමට ක්‍රම සොයන්නේ නැත. එම නිසා ඒවාට ඇලෙන්නේ නැත. ඔබේ සිහිකල්පනාවේ සටහන් වන්නේ මේ සංසිද්ධීන්වලට ඔබ දක්වන ප්‍රතික්‍රියාව පමණක්ය. ප්‍රශ්නය ඔබේ ප්‍රතික්‍රියාවය. ඔබ යමක් තල්ලු කරනවා නම් ඔබට එය දැනෙනවා නේද? එය දැනීමක්ය.

ගැටීම, සම්බන්ධවීම, ඔබේ වගකීමය. බාහිර දේ ඔබේ ඇඟට බලෙන් ඇතුළ්වන්නේ නැත. සිතේ සැඟවී ඇති දේවල්, යට ගැසී ඇති දේවල්, ඉබේටම කඩාගෙන මතුවන්නේ නැත. ධර්මයෙහි විග්‍රහ කොට ඇත්තේ ගැටීම් ආශ්‍රිතව මතුවන හැඟීම් කර්මානුරූපීව සිදුවන දෙයක් බවය. එයින් අදහස් කරන්නේ, එම හැඟීම් හා ඒවාට අප දක්වන ප්‍රතික්‍රියා විලාසය අතර ඉතා කිට්ටු සම්බන්ධතාවයක් ඇති බවය. අපට දැනෙන දේවලට වගකිව යුත්තේ ඒ වෙත අප දක්වන පුදුමාකාර ආශාවය. අප මහන්සි ගන්නේ, එක්කෝ මේ හැඟීම් පසුපස හඹා යාමටය නැත්නම් ඒ මතුවන හැඟීම් තල්ලු කර දැමීමටය. එම හැඟීම් උත්තේජනය කරන්නේ, උද්දීපනය කර පෙන්වන්නේ ඒවායෙහි ඇති ධනාත්මක හෝ සෘණාත්මක ස්වභාවයය. “ඉදිරි කාලය තුළ මොන දෙයක් ගැන හිතුවත් අලියෙක් ගැන නම් හිතන්න එපා” යයි ඔබට උපදෙසක් ලැබුණොත් ඔබ කරන්නේ කුමක්ද? “අලියෙක්? මොන අලියෙක්ද? ඒ කිව්වෙ හීලෑ අලියෙක්ද, වල් අලියෙක්ද? එදා පෙරහැරේ අලි දහයකට වඩා හිටිය …….”. යම් දෙයක් ගැන හිතන්න එපා යයි උපදෙසක් තමන්ටම දීගත් විට මනසට ගලා එන්නේ ඒ දේමය.

ගැටීම් ඔස්සේ හට ගන්නා හැඟීම්වලට චේතනාත්මක නැඹුරුවක් ඇත. අන් අයුරකින් පවසනවා නම් එය ඔබට පෙන්වන්නේ කඩාබිඳ ගෙන යාමට මාර්ගයක්ය. නමුත් සිහියෙන් යුතුව භාවනාවෙහි යෙදී සිටියදි එසේ කඩාබිඳ ගෙන යාමට අවශ්‍යතාවයක් නැති බව ඔබට පැහැදිලි වන්නේය. විටින් විට ඇ‍ඟේ ගැටෙන සුළං රැළි මඟින් කාමර‍යේ උණුසුම හා වාතය සෙලවෙන බව ඔබට දැනෙන්නේය. සීලිමේ සවි කර ඇති විදුලි පංකාවල ශබ්දය අඩුවැඩි වන බව මනසෙහි සනිටුහන් වේ. නහය කසන බවක් හෝ ඇ‍ඟේ තද ගතියක් දැනුනත්, සංසුන්ව ඒවා බාරගත හැකි නම්, හැඟීම්බර ගතියක් සිහිකල්පනාව ඇති කර ගන්නේ නැහැ. ඒවායින් ගැලවීමට උත්සාහ දරන්නේත් නැත. සිහිකල්පනාව ඒවායින් සෑහීමකට පත්ව ඇති නිසා ඒ පිළිබඳව යමක් කිරීමේ චේතනාවක් මනස ඇති කර නොගනී. එහෙයින් මනස විකාර රූපි වන්නේ නැත. එවන් වතාවරණ යටතේ අප කරන්නේ බලා හිඳීම පමණක්ය. ඒ අයුරින් අපි, ප්‍රතික්‍රියා දැක්වීමට ඇති ප්‍රවණතාවය දුබල කර ගන්නෙමු.

අවධානය යොමු කරන දේ තෝරා ගැනීමෙන්, තවත් ක්‍රමයකට, ගැටෙන්නේ කුමක් සමඟදැයි ඔබටම තීරණය කළ හැකිය. ඔබ හුස්ම ගන්නවාද? ඒ බව දන්නේ කෙසේද? මේ යොමු කිරීම සහ මනස ගෙන ඒම, හඳුන්වන්නේ විතක්කය යනුවෙන්ය. සිහිකල්පනාව පවත්වා ගෙන ඇති යම් විෂයක් තුළ යම් රටාවකට අනුව මනස යොමු කිරීමට, ඔබ ගන්නා තීරණයට මෙය සම කළ හැකිය. වටපිටාවේ තවත් නොයෙක් දේ තිබුණත් ඒවා ගැන ඔබ උනන්දුවක් දක්වන්නේ නැත. බොහෝ විට ඔබ දවස පුරා කරන්නේ මෙවැනිම දෑය. ඔබ වාහනයක් පදවා ගෙන යන්නේ නම් ඔබේ උනන්දුව පවතින්නේ වාහනය පැදවීම ගැනය. පාර දෙපැත්තේ ඇති විශාල දැන්වීම් පුවරු ගැන ඔබ සැලකිල්ලක් දක්වන්නේ නැත. ඔබේ අවධානය ඇත්තේ අවට ඇති වාහන ගැනය, මඟ සලකුණූ පිළිබඳවය. ඔබ අනෙකුත් දෑ කපා හරින්නේය. ඇත්තෙන්ම, වාහනයක් පදවා ගෙන යන අතුරතුර තව කෙනෙක් සමඟ කථාවට වැටීමට වුවද පිළිවන. එවිට ඔබ කරන්නේ අවධානය එකින් එකට මාරු කිරීමය. මනසේ සාමාන්‍ය පැවැත්ම මෙයාකාරය. මනාපයට අනුව තෝරා ගැනීම සිදුවේ. වාහනය තුළ ඔබ සිටින්නේ තනිවම නම් සිහිකල්පනාව සූදානමින් සිටින්නේ අවශ්‍යවූ විට පාරේ ඉදිරියට, පිටුපසට, තිරිංග වලට, සුක්කානමට සිහිය මාරු කිරීමටය. ඒ කිසිවක් එක පොදියට ඔබ බදා ගෙන නැත.

විතක්කයෙන් අදහස් කරන්නේ මේ සුසර කිරීමය. අවශ්‍ය නාලිකාව තෝරා ගැනීම සඳහා ගුවන් විදුලි යන්ත්‍රයද අපි මෙසේ සුසර කර ගන්නෙමු. අනෙකුත් දේවල් තල්ලු කර දැමීමේ අභිලාෂයෙන් මෙය සිදු නොකරන බව ඔබ හොඳින් තේරුම් ගත යුතුය. මෙතැනදී ව්‍යාපාදයක්, නොරිස්සීමක්, අකමැත්තක් මතුවන්නේ නැත. නමුත් ඕනෑවට වඩා උත්සාහයක් දැරුවහොත් ඔබ අත්විඳින්නේ දැඩි උත්සාහයක, තල්ලු කිරීමක හැඟීමක්ය. ඔබ යමක් තල්ලු කිරීමේදි මතුවන සෑම සංසිද්ධියක්ම ඇත්තෙන්ම එවිට උද්දීපනය වන්නේය.

මනසට නඟාගත් දෙයෙහි අනුනාදයක් මෙන් විතක්කයට පිටුවහලක් වන්නේ විචාරයයි. එක්ව යාමක්, විමසා බැලීමක්, රස විඳීමක්, දැනෙන්නට ඉඩ හැරීමක් ලෙසටද මෙය විස්තර කර දීමට පිළිවන. කුමක්දැයි කියා, කරන සොයා බැලීමක්ය එය. මේ සඳහා ඉක්මන් වීමට අවශ්‍යතාවයක් නැත. ක්ෂණිකව එය කුමක්දැයි ඔබට දැන ගැනීමට නොහැකිය. අමුත්තෙක් දැනහඳුනා ගැනීම හා මෙය සමාන කළ හැකිය. එය මොකක්ද? දැනෙන්න ඉඩ හරින්න. කෙටියෙන් පවසනවා නම් එය කුමක් වැනිදැයි තමන්ගෙන්ම අසා බලන්න. “හුස්ම, ඔව් එය ගලා යාමක් වගේ.” සංඥානයේ ඇත්තේ ගලායාම පිළිබඳ හැඟීමක්ය. ඉන්පසු මොකක්ද? ඔව්! එයට යම්කිසි දිගක් ඇත. යම් ආකාරයක ජීව බලයක් එයට ඇත්තේය. ගලා යාමක්, දෝලනය වීමක්, ඉහළ පහළ යාමක්, උස් පහත් වීමක්, වෙනස් වන ස්වභාවයක් එයට ඇත. ඔබ එය පරීක්ෂා කර බැලිය යුත්තේ එලෙසටය. වචන යොදා නොගනිමින් එහි නිරතවීම වඩාත් උචිතය. වචන භාවිතයෙන් සිදු වන්නේ සිතිවිලි ඇති වීමය. ඔබට හැකි නම් හුස්ම ගැනීම මනසින් දකින දෙයක් ලෙස මවා ගන්න. මිත්‍රත්වයක, අස්වසාලීමක, සතුටු අත්විඳීමක් ගෙන දෙන චිත්තවේගයක, ස්වභාවයෙන් එය සලකා බලන්න. එය ඔබේ ශරීරය තුළින් ගමන් කරන දෙයක් ලෙස හැඟීමක් ඇති කර ගන්න. එය ඇති කරන්නේ මිත්‍රත්වයක, ළඟ ඇසුරක හැඟීමක්ය. ඔබට එය විශ්වාස කළ හැකිය.

මේ වග තේරුම් ගැනීමට කලක් ගත වේ. එක් හුස්මක්, ඊළඟට තව හුස්මක්, ඒ ආකාරයට කටයුතු කරන්න. දිගින් දිගටම එහි යෙදෙන්න. මෙය රසවත් දෙයකට ඇල්මක් ඇති කර ගන්නා විට දැනෙන හැඟීම හා සමානය. ඒ රස විඳීමක්ය. හුස්ම කොපමණ ලොකුද? එය කොපමණ කුඩාද? එය දිගද? එය මහතද? හුස්ම පිළිබඳ ඔබේ අදහස සටහන් කර ගන්න. එතැනින් ආරම්භ කරන්න. උදාහරණයක් ලෙස හුස්ම ඉහළට පහළට යන්නේ ශරීරය තුළ ඉහළට පහළටද? නමුත් ඒ එහෙමද? ඉහළට පහළට යනවා වෙනුවට හරහට යන දෙයක් ලෙස සිතීමට උත්සාහ ගන්න. මහත්වන විට දැනෙන අත්දැකීම හුස්මෙහි තිබේද? මහත්වෙනවා, පළල්වෙනවා; ශරීරයට හුස්මත් සමඟ මහත්වීමට, පළල්වීමට ඉඩ දෙන්න. දැන් ඔබට ඇත්තේ රවුම් මහත බෝලයක් වැනි ශරීරයක්ය. එය ලොකු, මෘදු, ඇ‍ඳෙන සුළු බෝලයක් මෙන් හුස්මත් සමඟ දිග හැරෙන්නේය, හැකිලෙන්නේය. කලින් පැවති, ඉහළට පහළට ඇදෙන, හීනි දෙයක හැඟීමක් දැන් ඔබට නැත. මෙවැනි සංඥාවක් ඇති කර ගැනීමෙන් සිහිකල්පනාව යම්කිසි රසයක් විඳින බව ඔබට දැනේ. එවිට, එය පහසුවෙන් එක්තැන්වන බව ඔබට පෙනෙනු ඇත. එවැනි ඵලදායි සංඥාවන් ඇති කර ගැනීමට ඔබ දිරිමත් නොවන්නේ නම් ඔබ දිගින් දිගටම අත්විඳින්නේ පරණ පුරුදු මොටවූ සංඥාන පමණක්ය. ඒ මොනවාද? බය, වරදී යන හැඟීම, ලජ්ජාව, යමක් කර ගැනීමට නොහැකිවේය යන හැඟීමෙන් මතුවන කණස්සල්ල, බලය යෙදීම ආදි දේවල් සමඟ සම්බන්ධ නොයෙක් සංඥාන ඊට ඇතුළත්ය. මෙසේ ඇබ්බැහිවී ඇති සංඥානයන්ගේ සෙවනැලි ඔබේ සිහිකල්පනාවට තදින් බලපාන්නේය.

සංඥාන හසුරුවා ගැනීමට ඇති හැකියාව, අත්හැරීම සඳහා උපකාරී වේ. එය පුහුණු කිරීම ලෙහෙසි දෙයක් නොවූවත් ක්‍රමක්‍රමයෙන් එය ඉටුවන්නේය. “මා උගන්වන්නේ ක්‍රමානුකූලව පුහුණු විය යුතු මාර්ගයක්ය” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වඳාළේ එහෙයින්ය. තමා ළඟ ඇති බව නොහැ‍ඟෙන සංඥාන, පුරුද්දෙන් ඇබ්බැහිවී ඇති සංඥාන, පැහැදිලිව තේරුම් ගෙන ඒවා තුනීවී යාමට අප ඉඩ සලසා ගත යුතුය. ඒවා ඇති බව තමන්ට නොහැ‍ඟෙන නිසා ඒවා සාමාන්‍ය දේ බවට පත්වී ඇත. කොතෙක් දුරට ඒවා කාවැදී ඇත්දැයි පවසනවා නම් අප සලකන්නේ ඒවා තිබිය යුතු දේවල් ලෙසටය. අපට පෙනෙන්නේ ඒවා සත්‍ය දේ මෙන්ය. එමනිසා, යහපත උදා කර දෙන සංඥාන මතු කර ගෙන ඒවාට විවෘත වීම අප හිතාමතාම කළ යුතුය. ආලෝකය පිළිබඳ සංඥාන, නිදහස, පහසුව, ස්ථිරත්වය, තැන්පත්කම, විශ්වාසය, කරුණාව, ගුණවත්කම, පිහිටවීම පිළිබඳ සංඥාන ඉන් සමහරක්ය.

වුවමනාවෙන්ම මනසින් රූප මවා ගැනීම, හුස්ම හිතේ මවා ගැනීම ඇතැම් අයට බොහෝ විට උපකාරයක් වේ. මේ සඳහා සමහරක් අය බුදුරජාණන් වහන්සේගේ පිළිම සිහිපත් කර ගනිති. ඔබ බුදුරජාණන් වහන්සේගේ රූපය ඒ සඳහා යොදා ගන්නේ නම් ඒ ගැන මඳක් ප්‍රවේසම් විය යුතුය. යම් දෙයක් අප හිස් මුදුනේ රුවා ගන්නේ නම් ඒ දෙය තමන් දිහා ඉහළ සිට බලා සිටින ලොකු කෙනෙකුගේ තත්ත්වයට පත් වන්නේය. එමඟින්, එය තමන්ට වඩා උසස්යයි යන හැඟීම ඇති වේ. එවැනි හැඟීමකින් අපි බුදුරජාණන් වහන්සේද ඉහළ සිට, “ඔහොම කරල බැහැ. ඉක්මන් කරන්න. කෝ තාම නෑනෙ” යනුවෙන් පවසන කෙනෙක් බවට පත් කර ගන්නෙමු. “උන්වහන්සේ ඉතා ගැඹුරු උපදෙස් දී තියෙනවා, කළ යුතු දේවල් පෙන්වා දී තියෙනව, කෝ තාම මම  අහලකටවත් ඇවිත් නැහැනෙ. මට ඒ උපදෙස් හරියට ක්‍රියාත්මක කර ගන්න බැහැ” යනුවෙන් තමන්ටම පවසා ගනිමින් තමන් අසරණයෙකුගේ තත්ත්වයට වැටෙන්නේය. එමනිසා, උන්වහන්සේගේ රූපය සිහිපත් කරනවා නම්, ඒ ඉහළ සිට අපට පැවරී ඇති කටයුතු හරියාකාරව ඉෂ්ට කරන්නේදැයි බලා සිටින, අපේ අඩුපාඩු සොයා බලන, කෙනෙකු හැටියට නොසිතා අපට ආදරය කරුණාව දක්වන, අපේ යහගුණ වලට ආශීර්වාද කරන, අප දැන් සිටින ආකාරයෙන්ම පිළිගන්නා කල්‍යාණමිත්‍ර, උත්තමයෙන් ලෙස සැලකීමට මතක තබා ගන්න.

ඔබට බුදුරජාණන් වහන්සේගේ රූපය යොදා ගැනීමට අපහසු නම් ඒ ගැන ලත නොවී ඒ සඳහා වෙනත් රූපයක් යොදා ගන්න. මෙතැනදි, සිහිකල්පනාව වර්ධනය කර ගැනීමට උචිතවන රූප පමණක් යොදා ගත යුතුය. එමගින් සිහිකල්පනාව එම රූප සංඥාන ආධාර කර ගනිමින් තැන්පත් බවට පත්වේ. වැවක ඇති ජලයට පහතට ගලා ගෙන යන ලෙස ඔබට අණ කළ හැකිය. නමුත් කිසිවක්  සිදු වන්නේ නැත. එහෙත් ඔබ ඇලක් කැපුවොත් එය දිගේ ජලය පහතට ගලා යනු ඇත. එලෙසම ඔබේ සංඥාන, හැඟීම්, සිහිකල්පනාව ඔස්සේ ගමන් කරමින් එය හා සම්බන්ධවේ. එහෙත්, අප පුරුදුව ඇත්තේ සිහින මවන, සිතැඟියාවන් වෙනස් කරන, පීඩනය ගෙන දෙන ආකාරයේ සංඥාන පසුපස හඹා යාමටය. ඉන් සමහරක් නම් කළකිරුණු  චිත්තය, බියට පත් චිත්තය, තැවෙන චිත්තය, ලතවෙන චිත්තය, කම්පනයට පත් චිත්තය තුළින් මතුවන, සනිටුහන් වන සංඥානයන්ය. ඒ කෙසේ වෙතත්, සංඥාන තමන්ගේ සුභසිද්ධිය සඳහා යොදා ගැනීමට දිරි ගන්න. චිත්තය මෙහෙයවීම පුහුණුව තුළින් උගත යුතුය. මෙසේ දිරිගන්වා ගැනීමට ආශීර්වාදය ලත් තැනැත්තා ක්‍රම සොයා ගනී. ඒ ආශීර්වාදය ලත් තැනැත්තා සිටින්නේ කොතැනකද? ඔබ ආශීර්වාදය පිරිනමන ඕනෑම තැනක, ඒ ආශීර්වාද ලත් තැනැත්තා ගැවසේ.

සුවපත් වේවා!

පරිවර්තනය සංස්කාර-ක

(එංගලන්තයේ චිත්ත විවේකාරාමයේ අධිපති ධූරය හොඹවන අජාන් සුඛිතො ස්වාමීන් වහන්සේගේ දේශනයක් ඇසුරින් සකස් කරන ලදි.)

Leave a comment