ජෝර්ජ් කාරියවසම්
නිල්වන් අහස. පැහැදිලි අහස. වලාකුළු – එනවා, යනවා. සමහර විට හුඟ වෙලාවක් තියෙනවා. තවත් විටෙක ටික වෙලාවයි. නමුත් නිල්වන් අහස කොහාටවත් ගියේ නැහැ. තවමත් එතනමයි! ලස්සන වලාකුළු, සියුම් වලාකුළු, බලබලා ඉන්න ආස හිතෙන වලාකුළු. නමුත් ඒ පිටුපස ඇත්තේ නිල්වන් අහසයි!
අඳුරු වලාකුළු, වැහි වලාකුළු. කුණාටු, අකුණු, ගෙරවිලි. පොද වැස්ස, තද වැස්ස. කඩා හැලෙන අහස. ටික වෙලාවකට හෝ හුඟ වෙලාවකට පස්සේ නැවතත් නිල්වන් අහස!
වතාවරණයට අනුව වෙනස්වන නොයෙකුත් වලාකුළු – අපට පෙනෙන ලස්සන අහස, අඳුරු අහස, වඟුරන අහස, ගොරවන අහස. අහස ලස්සන වෙන්නේ නැහැ, අඳුරු වෙන්නේ නැහැ, ගොරවන්නේ නැහැ, කඩා හැලෙන්නේ නැහැ – ඒ වෙලාවට නිල්වන් අහස තවමත් එතැන ඇති බව අපට හැඟෙන්නේ නැහැ. ඔක්කොම වැහිල. අහසේ වරද නෙවෙයි – එය අපි දකින්න පුරුදුවී ඇති ආකාරයයි ඒ.
මතුවන, වෙනස්වන මේ වලාකුළු තල්ලු කරන්න යන්න එපා – ඒක හරි යන්නේ නැහැ. ඒවට සාප කරන්න යන්න එපා – එයින් වෙනසක් වෙන්නේ නැහැ. එළිය වසාගෙන අඳුර මතුවුනා වගේම, අඳුර ඉවත්වී නැවත එළිය වැටෙනවා. බලා ඉන්න, කළබල වෙන්න එපා!
ලස්සන සිතිවිලි, සියුම් සිතිවිලි, බලබලා ඉන්න ආස හිතෙන සිතිවිලි, අඳුරු සිතිවිලි, ඇස් තෙමෙන සිතිවිලි, කඳුළු වඟුරුවන සිතිවිලි, හෙණ ගැහුවාක් මෙන් දැනෙන සිතිවිලි – එනවා, යනවා. සමහර විට හුඟ වෙලාවක් තියෙනවා. තවත් විටෙක ටික වෙලාවයි. නමුත් ඒ පිටුපස ඇත්තේ දීප්තිමත්, පැහැදිලි මනසයි!
සතුටු සිත, දුක්බර සිත – නමුත්, ඒ වෙලාවට පැහැදිලි සිත, නොකැළඹුණු සිත තවමත් එතැන ඇති බව අපට හැඟෙන්නේ නැහැ. ඔක්කොම වැහිල. සිතේ වරද නෙවෙයි – එය අපි දකින්න පුරුදුවී ඇති ආකාරයයි ඒ.
වතාවරණයට අනුව මතුවන, වෙනස්වන මේ සිතිවිලි තල්ලු කරන්න යන්න එපා – ඒක හරි යන්නේ නැහැ. ඒවට සාප කරන්න යන්න එපා – එයින් වෙනසක් වෙන්නේ නැහැ. නතර වෙන්න, බලා ඉන්න, තේරුම් ගන්න, කළබල වෙන්න එපා!
එළිය වසාගෙන අඳුර මතුවුනා වගේම, අඳුර ඉවත්වී නැවත එළිය වැටෙනවා. ඉවසන්න! එය ඔබේ ගුණාංගයක් කර ගන්න.
ලේසි දෙයක් නෙවෙයි. නමුත් ඒක කරන්න පුළුවන් දෙයක් බව මතක තියාගෙන නිතරම උත්සාහ ගන්න. ගැලවුම – හොඳ සිහිකල්පනාවයි!