අරගලයෙන් සාමයට

බෝධිපාල සිල්මෑණීන් වහන්සේ පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්

        ගොවිතැන් බතේ දිළිඳු බවින් රදළ පැලැන්තියට – පලායාම සහ පුනර්ජීවනය

මෙවැනි අසාමාන්‍ය සිදුවීම් වලින් පිරි බෝධිපාල මෙහෙණියගේ ජීවිතයේ අවසාන භාගය දැන් ගෙවී යන්නේ අමරාවතී ආරණ්‍යයේ පුහුණුව ලබමින්ය. පෙර ‘රෙනී පෑන්’ නමින් හඳුන්වනු ලැබූ බෝධිපාල මෙහෙණිය, ශාඛ්‍යදුහිතෘවක ලෙස බුදුරජාණන් වහන්සේ වෙත සිය ජීවිතය පවරා දීමෙන් ටික කලකට පසු, වාසය සඳහා එතුමිය තෝරා ගත්තේ අමරාවතී ආරණ්‍යයයි.

අමෙරිකා එක්සත් ජනපදය සිය වාස භූමිය ලෙස ඇය තෝරා ගත්තේ තම මව් රට වන කාම්බෝජියාවෙහි බොහෝ කාලයක් තුළ නිරතව සිටි, දේශපාලනමය සහ සමාජීය කටයුතු සියල්ලක්ම අත්හැර දැමීමෙන් පසුවය. අමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ මට්ටමේ රැකියාවල නිරතවෙමින් සිය දූදරුවන් වැඩිවියට පත්වනතෙක් ස්වෝත්සාහයෙන්ම ඔවුන් හදාවඩා සමාජයට හඳුන්වා දීමෙන් අනතුරුව ඔවුන්ගෙන්ද ඈ සමුගත්තේ මහණ දිවියට පිය තැබීම සඳහාය. එතුමිය දැනට වසර දහයක පමණ කාලයක් අමරාවතියෙහි ගත කොට ඇත. මෙම ලිපියෙහි අඩංගුව ඇත්තේ එතුමිය සමඟ පැවැත්වූ සාකච්ඡාවක සාරාංශයයි.

දැන් වියට්නාමය නමින් හඳුන්වන, එකල ප්‍රංශයේ යටත් විජිතයක් වූ ‘ඉන්දු චීනය’ නම් වූ දේශ සීමා රහිත භූමියෙහි ඈ උපත ලද්දේ වියට්නාම් ජාතික මවකට හා කාම්බෝජියානු – ප්‍රංශ සම්භවයක් ඇති පියෙකුට දාවය. වියට්නාමයේ ජීවත්වූ සිය මවගෙන් වෙන්වී, පිය පාර්ශවයේ ඥාතීන් සමඟ කාම්බෝජියාවේ පදිංචියට යාමට ඇය ගත් හද කකියවන තීරණයට එකඟ වීමට මවගෙන් ඇය අවසර යැද්දේ වයස අවුරුදු දොළහේ ලාබාල වියේදීය.

       කාම්බෝජියාවට මම යන්නද? මව් රට අත්හැර යාමට ඔබ අවසර පැතූවේ ඇයි?

උසස් අධ්‍යාපනය සඳහා පවත්වන තේරීම් විභාගයෙන් මා අසමත් වුනා. ඒ කාලයේදීම මෙන් කාම්බෝජියාවේ වාසය කළ මගේ පිය පාර්ශවයේ නැන්දණිය ඇගේ සැමියාත් සමඟ අපව බැහැ දැකීමට පැමිණියා. මගේ උපතින් පසු ඒ මා ඔවුන් දුටු පළමුවෙනි වතාවයි. ඔවුන් සමඟ යාමට මා අවසර පැතුවේ ඒ අවස්ථාවේදීයි. නව දිවියක් ඇරඹීමට අවශ්‍යතාවයක් මට ඇති වුනා. මගේ එකම බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමටයි. කොණ්ඩය රැලි කර ගැනීමටත් මා ආසා කළා. එමගින්, එවැනි දේවලින් පිරි නව දිවියක් ඇරඹීමට වාසනාව උදාවනු ඇතැයි මා සිතුවා.

කාම්බෝජියාවේ විසූ අපේ නෑදෑයින්ට වඩා අපේ පවුල බොහොම දුප්පත්. මගේ පියා කළේ තමන්ගේම රැකිවක්. මුලදී ඔහු යෙදී සිටියේ බයිසිකල් අළුත්වැඩියා කිරීමෙහියි. ඉන් අනතුරුව ඔහු කුලී රථ රියැදුරෙකු ලෙස රැකියාවක් කළා. කුඩා කලදීම ඔහුගේ දෙමාපියන් මියයාම නිසා වියට්නාමයේ සිටි ඥාතීන් වෙත ඔහු පිටත් කර හරිනු ලැබුවා. මගේ මව ඔහුට මුණගැසුනේ වියට්නාමයේදියි. පවුලේ නඩත්තුව සඳහා අවශ්‍ය මුදල් ඉපවූයේ මගේ පියාය. ගේදොර පාලනය පැවරී තිබුණේ මගේ මවටය. අපේ හැදියාව, අධ්‍යාපනය, සනීපාරක්ෂාව, හොඳින් කවාපොවා ඇති දැඩි කිරීමේ කටයුතු සියල්ලම බාරව තිබුණේ ඇයටය. සෑම දිනකම මගේ පියා මගේ මවගෙන් විමසා සිටියේ මෙයයි: “අද වියදමට කොයිතරම් මුදලක් ඕනද?” උදාහරණයක් ලෙස ඇයගේ පිළිතුර වූයේ “අද ඩොලර් පහළොවක් විතර ඕන වේවි” යනුවෙන් නම් ඔහු ටැක්සිය පැදවූයේ හරියටම එම මුදල උපයන තෙක් පමණක්ය. දොයිතුවක් හෝ අඩුවෙන් හෝ වැඩියෙන් ඉපයීම ඔහුගේ සිරිත නොවීය. ඔහුගේ වියදම සඳහා යම් මුදලක් අවශ්‍ය වී නම් තවත් කුලියක් දෙකක් ලැබෙනතෙක් ඔහු රිය පැදවීය.

කාම්බෝජියානු – ප්‍රංශ පරපුරකින් පැවත එන මගේ පියා‍ගේ සොහොයුරිය වන ‘එමලි’, මගේ වැඩිමහල් සොහොයුරිය කුඩා කාලයේදීම දරුකමට හදාවඩා ගැනීම සඳහා අවසර ඉල්ලූයේ ඇයට දරුවන් නොසිටි නිසාය. ඒ කෙසේ වෙතත් මගේ සොහොයුරියට වයස අවුරුදු දාහත වනතෙක් එමලි නැන්දා ආපසු නොපැමිණියා මෙන්ම, කාම්බෝජියාවට ගොස් ටික කලක් ඇවෑමෙන් ඇය විවාහ දිවියකට ඇතුළත් කරනු ලැබ තිබුවා. දැන් මගේ වාරය පැමිණ ඇත. විභාගයෙන් අසමත්ව, නෂ්ටාපේක්ෂිතව, වියට්නාමයෙන් නික්ම යාම හැරෙන්නට අන් මඟක් නොදුටු හෙයින් ඒ සඳහා මවගෙන් අවසර ඉල්ලීමට මෙන්ම, නැන්දණියට මාවත් හදාවඩා ගැනීමට අවස්ථාව සලසා දීමට මෙය කදිම අවස්ථාවක් විය. මට යාමට අවසර දෙන්නේදැයි මම මවගෙන් ඇසීමි. ඇය බලවත් ලෙස ඊට අදිමදිකම් පෑවාය. එවැනි හදිසි තීරණයක් වෙත එළඹීම සඳහා මුහුණ දීමට සිදු වීමෙන් ඇය පත්වූයේ ඇත්ත වශයෙන්ම ඉමහත් දුෂ්කරතාවයකටය. ඇයට තීරණයකට එළඹීමට පිටුවහලක් වූයේ ඇයගේම මවගේ ඔවදන්ය. “දරුවට යන්න දෙන්න. එතකොට දෙන්නා එකිනෙකා බලාසොයා ගනීවි.” මව, මගේ ඉල්ලීමට එකඟ වූවාය. ඇය මගේ වීරවරියයි. දරු සෙනෙහස පසෙකට දමා, දීප්තිමත් අනාගතයක් උදා කර ගැනීම සඳහා මට යාමට අවසර දීමට තරම් ඇය ඉතා ශක්තිසම්පන්න වූවාය.

වෙන්වී යාමට පෙර දින රාත්‍රියේ මම ඇය තුරුළේ නිදා ගතිමි. අපි දෙදෙනා එක්ව හැඬුවෙමු. පසු දින උදෑසණින් මාත් නැන්දණියත් බස් නැවතුම් පළට ඇරලූයේ මගේ පියාණන්ය. මම ඔහුට සුභ පතා ඔහු නොපෙනී යනතෙක්ම වීදුරු කවුළුවෙන් ඔහු දෙස බලා සිටියෙමි. ඒ දැනුණු වේදනාව කෙසේ පවසන්නෙම්ද?

කාම්බෝජියාවේදි පළමුවෙනි ශේණියේ සිට නැවත මට ඉගෙනීමට සිදු වූවත් වසර තුනක සුළු කාලයකදී කණිෂ්ඨ විදුහලට ඇතුළත් වීමේ විභාගයෙන් මා සමත් වූයේ විශිෂ්ට සම්මාන සහිතවය. මගේ සුළු පියා යුදහමුදා කපිතාන්වර‍යෙකු ලෙස සේවය කළ බැවින් නිරතුරුවම තැනින්තැනට මාරුවී යාමට අපට සිදු විය. එම හේතුව නිසා සිදුවන බාධක සහ මගේ ඉගෙනීමේ දක්ෂතා වටහා ගත් මගේ මිත්තණියගේ සොහොයුරිය විසින් යොජනා කරන්නට යෙදුනේ, ඇයගේ දියණියවූ ‘සෞරනෙත්’ නැන්දණිය සමඟ ‘නොම්පෙන්’ නගරයේ නතරවී අධ්‍යාපනික කටයුතු කරගෙන යාමටය.

වැඩි කාලක් යාමට මත්තෙන් කාම්බෝජියානුවන් මගේ පරපුර මෙන් හැඟීයාමෙන් මට දැනුණේ ඉමහත් සොම්නසක්ය. වියට්නාම් භාෂාවට වඩා හාත්පසින්ම වෙනස්වූ කාම්බෝජියානු භාෂාවෙන් කථාබහ කිරීමේ හැකියාව ඇති කර ගැනීමට මට දෑ අවුරුද්දක පමණ කාලයක් ගත විය.

සෞරනෙත් නැන්දණියගේ පවුගේ සාමාජිකයින් රාජකීය පරපුර හා විවාහ සම්බන්ධකම් ඔස්සේ ඥාතිත්වයක් ගොඩනංවා ගෙන තිබූ හෙයින් නොන්පෙන් වලදී මට ගත කිරීමට සිදුවූයේ රදළ පැළැන්තියේ ජීවිතයක්ය. එම ඉහළ පැලැන්තියේ ජීවන රටාව කෙරෙහි මගේ රුචිකත්වයක් හට නොගත් බැවින් මා ගත කළේ චාම් දිවි පෙවෙතක්ය. දැන උගත් කමින් හා පිළිගැනීමකින් යුතු ධනවත් කාන්තාවක් වීමට නම් අධ්‍යාපනික කටයුතු හොඳින් සපුරා ගැනීම හැරෙන්නට අන් පිළිසරණක් නැති බව මා හද පත්ලෙහි සනිටුහන් වී තිබිණි. ඉතාමත් ධෛර්යසම්පන්නව ඉගෙනීමේ කටයුතු වල යෙදීමෙන් අනතුරුව ගෞරව සම්මාන සහිත උපාධියක් ලබා ගැනීමට මම සමත් වූයෙමි.

       ඔබ උපතින් බෞද්ධයෙකු වීද? ආගම් පිළිබඳව ඔබේ අදහස් කිනම් වීද?

වසර 1975 ට පෙර  කාම්බෝජියානුවන්ගෙන් 98% පමණ බෞද්ධයන්වූ බැවින් සෑම කාම්බෝජියානුවකුගේම පිළිගැනීම වූයේ තමන් බෞද්ධ බවය. ඒ කෙසේ වෙතත් මගේ පිය පරපුරේ නෑසියන් ප්‍රංශ ජාතිකයින් වූ බැවින් ඔවුහු ක්‍රිස්තියානි ආගම ඇදවූහ. පල්ලි යනවාට වඩා මා කැමැත්තක් දැක්වූයේ පංසල් යාමටය. එකල ක්‍රිස්තියානුවන්, බෞද්ධයින් හා ඉස්ලාමිකයින් ජීවත් වූයේ අන්නෝන්‍ය සුහදතාවකින්ය.

       ඔබේ සැමියා ඔබේ ජීවිතයට ඉමහත් බලපෑමක් ඇති කර තිබේ. ඔහු මුණගැසුණේ කෙසේද?

අපි මුණගැසුණේ ග්‍රීෂ්ම සෘතුවේ නිවාඩු කාලයේදි ‘බැටම්බෑන්’ වලදීය. එකල ඔහු විශ්ව විද්‍යාල ප්‍රථම උපාධියට සූදානම් වෙමින් සිටි අතර මා සූදානම් වූයේ කනිෂ්ඨ විද්‍යාල ප්‍රවේශය සඳහාය. එකලදී ශිෂ්‍යශිෂ්‍යාවන් ලෙස නිමක් නැති විභාග වලට මුහූණ දීමට අපට සිදුවී තිබුණි. විභාග වලින් අසමත් වූවන්හට මුල් අවධියේදීම පාසැල හැරයාමට සිදුවූ බැවින් ඉතිරි වූයේ ඉගෙනීමට දක්ෂ ඉතා සුළු පිරිසක් පමණි. ඔහු මට ඉගැන්වූයේ ගණිතයයි. මා පසු වූයේ දාහතර හැවිරිදි වියේය. ඔහුගේ වයස විසිඑකක් විය. මිහිරි කටහඬකින් හෙබි ඔහු ඉතා දක්ෂ ශිෂ්‍යයෙක්ද විය. මහණ දිවියට ඇතුළත්ව සිටි ඔහුගේ පියා එරට ප්‍රසිද්ධියක් දැරූ ස්වාමීන් වහන්සේ නමක් විය. එම නිවාඩු සමයේ සිට ‘සෝති’ මගේ ආදරබර පෙම්වතා විය.

විභාගයෙන් උසස් සාමාර්ථයක් ලත් ඔහුට වැඩිදුර ඉගෙනීම සඳහා ජපන් ශිෂ්‍යත්වයක් හිමි විය. ආදරබර හැඟුම් පිරි හදින් ඔහු මගෙන් සමුගත්තේ වැඩිදුර අධ්‍යාපනය සඳහා මා උනන්දු කරවමින්ය. එම වකවානුව තුළදී ලිපි බොහෝ ගණනක් අප දෙදෙනා අතර හුවමාරු විය.

ඔහු ජපානයයේ සිට පෙරලා පැමිණි විගසින්, අපගේ මුල් හමුවීමෙන් වසර හතකට පසු, අපි විවාහ දිවියට ඇතුළත් වූවෙමු. ඔහු ඉංජිනේරුවෙකු ලෙස රැකියාවක නිරතව සිටියදීම, වෘත්තීය පාසැලක ඉගැන්වීමද කළේය. පශ්චාත් උපාධිය සඳහා ඉගෙනීමට අමෙරිකා එක්සත් ජනපදයට යාමට ඔහු ශිෂ්‍යත්වයක් දිනා ගත්තේ මේ අතරතුරදීය. අපේ කුළුදුල් දරුවාගේ උපතට පසු එරටට ගොස් නැවත මා ඔහු සමඟ එක් වූ‍යේ අවුරුද්දකට පමණ පසු වසර 1963 දීය. අප වාසය කළේ ‘ඔහායෝ’ ප්‍රාන්තයේ ‘ඇතෙන්ස්’ නගරයේය. ඔහු විශ්වවිද්‍යාලයට ගිය විට පුතා බලා ගත්තේ මමය. මම විශ්වවිද්‍යාලයට ගිය විට පුතාගේ කටයුතු කළේ ඔහුය. 1969 වසරේ අප නැවත මව්රට කරා පැමිණියේ පුතුන් දෙදෙනෙක්, කුස දරාගත් දරුවෙක් සහ උපාධි දෙකක්ද රැගෙනය. ඒ ඔහුගේ අධ්‍යාපනය පිළිබඳ ආචාර්ය උපාධිය සහ මා ලබා ගත් ගණිතය පිළිබඳ උපාධියයි.

1970 දී සිදුවූ කුමන්ත්‍රණයෙන් පසු කාම්බෝජියාව ජනරජයක් බවට පත්විය. අප්‍රිකානු මහාද්විපයේ ජංගම තානාපති ධූරය දැරූ‍ සෝතිට, පසුවදී අධ්‍යාපන ඇමති ධූරය පැවරිණි. සංස්කෘතික අමාත්‍යාංශයේ බාහිර කටයුතු සම්බන්ධතා අධ්‍යක්ෂකවරිය ලෙස මම රැකියාව කළෙමි. සමාජ කටයුතු සහ දේශපාලන කටයුතු නිසා කිසිසේත්ම මා බලාපොරොත්තු නැති අයුරින් මගේ ජීවිතය ඉතා කාර්යබහුල විය. සෝතිගේ බිරිඳ වශයෙන් පමණක් නොව ඔහුගේ මිතුරිය මෙන්ම ඔහුට මවක් වීමටද මට සිදු විය. ඔහුගේ මිතුරිය ලෙස දේශපාලන රැස්වීම් වලට මටද සහභාගි වීමට සිදු විය. දේශපාලනය පිළිබඳව මගෙන් අදහස් විමසීමද ඔහු නොඅඩුව කළේය. සෑම දිනකම සවස ඔහු ගෙදර ඒමට ප්‍රථම, සෑම පුවත්පතක්ම කියවා බලා ඒ පිළිබඳ වාර්තාවක් මම ඔහුට සකස් කර තැබුවෙමි. සෑම දිනකම මෙන් ඔහුගේ මිතුරන් සඳහා රාත්‍රි භෝජනය සකස් කිරීමටද මට සිදු විය. රාජ්‍යතාන්ත්‍රිකයින් වෙනුවෙන් සංග්‍රහ පැවැත්වීම සිදු වූයේද මා අතින්ය.

       “සුහදිනිය ඔබ පිටවිය යුතුයි.” කාම්බෝජියාවේ වතාවරණය ඉතා බැරෑරැම් වීම ඇරඹුණේ මෙතැන් සිට නේද?

ඔව්. ‘ක්ම‍ර් රුජ්’ වරු රට අල්ලා ගැනීමට ආසන්නව සිටි මේ සමයේදී සෑම පැත්තකින්ම ඇසෙන්නට වූයේ බෝම්බ පිපිරෙන හඬය. එවකට ඔහු හොබවමින් සිටි උප අගමැති ධූරයට අමතරව තවත් අමාත්‍යාංශ හතරක වගකීම්ද ඔහුට පැවරී තිබිණි. වැඩි ආරක්ෂාව පතා නොම්පේන් නගරය වෙත පිවිසෙමින් සිටි අනාථ ළමාලපටින්ට, කාන්තාවන්ට සහ සරණාගතයින්ට පිහිට වීමට මම එය අවස්ථාවක් කර ගතිමි. මේ අවධියේදී නගරය අතිශයින්ම ජනාකීර්ණ විය. ක්ම‍ර් රුජ් වරු රට අත්පත් කර ගැනීමේ අවසාන අදියර සඳහා නොම්පේන් නගරය වටලාගත් විට, දින දෙකක් ඇතුළතදී රට හැර යාමට තමා සමඟ එක්වන මෙන් අමෙරිකානු තානාපතිවරයා විසින් ඇමතිමඬුල්ලේ සාමාජිකයින් වෙත, ආරාධනා පත්‍රිකා මගින් දැනුම් දී සිටිමුත් ඒවා අප වෙත පිරිනමන්නට නොයෙදිණ. ඊට හේතුව වූයේ දෙදිනක කාලසීමාවක් අප වෙත දෙන ලද නම් මගේ සැමියා රට අත්හැර නොයාමට තීරණය කරන බව තානාපතිවරයා හොඳින් දැන සිටි හෙයින්ය. එම නිසා අප වෙත එම ආරාධනය ලැබුණේ රට හැර යාමට දෙපැයක් තිබියදි දුරකථනය ඔස්සේය. හැකි ඉක්මණින් සෝති අපේ ගමන් බලපත්‍ර පිළියෙල කර දුන් අතර, මම දරු තිදෙනාත්, අවශ්‍ය ගමන් මලුත් සූදානම් කර ගතිමි. සියලු දෙනාම එක්වී අමෙරිකානු තානාපති කාර්යාලයට යන අතර මඟදී සෝති අගමැති කාර්යාලය අසලින් බැස, ඔහු කැඳවා ගෙන ඒම සඳහා නැවත රියදුරු මහතා එවන මෙන් මගෙන් ඉල්ලීය.

තානාපති කාර්යාලයට ළඟා වන විට එතැන රැස්වී සිටි පිරිස දැකීමෙන් මම මවිතයට පත්වීමි. එතැන එකම ගාලගෝට්ටියක් විය. තානාපති කාර්යාලයේ ටික වේලාවක් රැඳී සිටීමෙන් අනතුරුව අපි දැවැන්ත හෙලිකොප්ටර් යානයකට ගොඩවීමු. ඒ අතරතුරදී රියදුරු මහතා ආපසු පැමිණ මා අත තැබුවේ කුඩා කොල කැබැල්ලක්ය. එහි මෙසේ සඳහන් විය. “සුහදිනිය ඔබ පිටවිය යුතුයි. මම නතර වෙමි. කාම්බෝජියාවේ සාමය උදාවූ විට අපි නැවත හමුවෙමු.”

       නැවත කිසිදිනෙක ඔහු හමු නොවූ ඔබට, ඉතිරිව ඇත්තේ ඔහු දුන් මේ ලිපිය පමණක් නේද?

“සුහදිනිය ඔබ පිටවිය යුතුයි” සඳහන් ලිපිය මා අත විය. ඔහු තෝරා ගත්තේ නතර වීමටය. ඔහු අධෛර්යමත් කිරීමට තරම් ශක්තියක් මා හද තුළ නොවීය. එය එසේම වේවා! මම ඔහු ගැන ආඩම්බර වෙමි. අප පිටත් වූයේ වසර 1975 හේ අප්‍රේල් මස 12 වන දිනදීය.

අප රටින් පිටතට රැගෙන ගිය සබ්මැරීනය තුළ සිටි සිය ගණනක් පිරිස අතර සිටි අධ්‍යාපන ඇමති තුමා සහ ජනාධිපති තුමාද මට හමුවිය. තායිලන්තයට සැපත්වූ පසු අප අතරින් දේශපාලනය හා සම්බන්ධ වූවන් බැංකොක් නුවර කාම්බෝජියානු තානාපති කාර්යාලය වෙත පැමිණියේ ප්‍රවෘත්ති මගින් එරට තුළ සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමේ අටියෙන්ය. එහිදී මගේ සැමියාට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට මම උත්සාහ කළෙමි. බොහෝ දෙනෙකු මගෙන් අයැද සිටියේ: “තවදුරටත් එහි රැඳී සිටීම නුවණට හුරු දෙයක් නොවන බව ඇයි ඔබේ සැමියාට පහදා නොදෙන්නේ?” යනුවෙනි.

මාස දෙකක පමණ කාලයක් අපි තායිලන්තයේ ගත කළෙමු. එතැනින් අප පිටත් කර හැරියේ ‘කැලිෆෝනියාවේ පෙඩල්ටන්’ සරණාගතයින්ගේ කඳවුරටය. අප්‍රේල් මස දරු තිදෙනාත් සමඟ කාම්බෝජියාව හැර ගිය මම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අමෙරිකාවේ පදිංචි වීමට තීරණය කළෙමි. ‘ඔහායෝ’ ප්‍රාන්තයේ සිටියදි මගේ දෙවෙනි දරුවාගේ උපත සිදුවූ හෙයින් ඔහුද උපතින් අමෙරිකානු පුරවැසියෙකු විය. කඳවුරෙන් බැහැරව යාමට මම එය පිටුවහලක් කර ගතිමි. හිතවතෙකු මගින් පුතාගේ උප්පැන්න සහතිකය ලබා ගැනීමට මම කටයුතු සලස්වා ගතිමි. එය ඉදිරිපත් කළ විගසින්ම කඳවුර හැර යාමට අපට අවසර දෙන ලදී. කාම්බෝජියාවේ ඉංග්‍රීසි පාසැලක් ආරම්භ කිරීම සඳහා කලකට ඉහත මගේ සැමියාගෙන් උදව් ලබාගත් අමෙරිකානු භාෂා අධ්‍යයන විද්‍යා පීඨයේ හිතවතුන් පිරිසක් මා කාම්බෝජියාවෙන් පලාවිත් සිටින බව දැනගත් විගස අප බැහැ දැකීමට පැමිණියෝය. ඔවුන් විමසා සිටියේ “ඔබට දැන් අවශ්‍යව ඇත්තේ මොකක්ද?” යන්නය. නැවත ඉගෙනීමට අවශ්‍යතාවයක් මට ඇති විය. “හොඳයි, ඒ සඳහා අපි ඔබට උපකාර කරන්නම්” යනුවෙන් ඔවුහු පිළිතුරු දුන්හ. ඒ අතරතුර, ‘බොල්ටිමෝ’ නගරයේ ජීවත්වූ, මට ඉතා හිතවත් යහළුවෙකුගේ නිවසේ අපි නවාතැන් ගත්තෙමු. විද්‍යා පීඨයේ හිතවතුන් සහ අමෙරිකානු තානාපති කාර්යාලයේ හිතවතෙකු මගින් ආරාධනා දෙකක් මා වෙත ඉදිරිපත් කරනු ලැබිණ. දෙකම එකවර පැමිණි හෙයින් මට එයින් එකක් තෝරා ගැනීමට සිදු විය. ඉන් එකක් ‘උතුරු ඩැකෝටා’ විශ්වවිද්‍යාලයේ ඉගෙනීම සඳහා ලත් ශිෂ්‍යත්වයක්ය, අනෙක ‘වොෂින්ටන්’ නුවර වසන තානාපතිවරුන්ගේ දූදරුවන්ට ඉගැන්වීමට ලැබුණු ආරාධනයයි. පංතියක ළමුන් පස්හය දෙනෙකුට වඩා නොවන බැවින් මගේ දරුවන්ද ඊට ඇතුළත් කර ගැනීමට හැකි බවද මට පැවසීය. නමුත් මා තෝරා ගත්තේ අධ්‍යාපනයයි. මම ශිෂ්‍යත්වය බාරගෙන උතුරු ඩැකෝටාවට පිටත් වූයෙමි.

       කාම්බෝජියාවේදීට වඩා විශාල වෙනසක් නේද?

අපොයි ඔව්! ඉතා විශාල වෙනසක්. මා ඒ ගත් තීරණය ඇසූ අය මවිතයට පත්ව විමසූයේ: “ලෝකේ වෙන යන්න තැනක් නැති නිසාද එහේ ගියේ? මොන තරම් සීතලද?” නමුත් මගේ හද කකියවන වේදනාව – එය ඊටත් වඩා දරුණු විය. මට අවශ්‍ය වූයේ ඉසිලිය නොහැකි අභියෝගයකට මුහුණ දීමටය. මගේ මනස පවසා සිටියේ: “විශ්වවිද්‍යාලයට ගිහින් අමාරුම විෂය තෝරා ගන්න බලන්න!” මම ඉමහත් වෙහෙසක් දරමින් අධ්‍යයන කටයුතුවල නිරත වූයේ යන්තමින් හෝ ඉස්පාසුවක් ලබාගැනීමට මනසට ඉඩක් නොලැබෙන අයුරින්ය. එසේ යන්තම් හෝ ඉඩක් දෙන ලද්දේ නම් ඔහු අහිමි වීමෙන් විඳි වේදනාව දරා ගැනීමට නොහැකි වීමෙන් සිහිවිකල් වීමටද ඉඩ තිබුණි. “ඔහු ගිහින්. සදහටම ඔහු ගිහින්.” නිතරම මා උත්සාහ ගත්තේ එය අමතක කිරීමටය. යෙදෙන වැඩය පහසුවූ විට මනස හසුරුවා ගැනීම අපහසු විය. එහෙයින් මා නිතරම මා ඉල්ලා සිටියේ වැඩ අතරින් අමාරුම වැඩයයි. වැඩ කටයුතු වලින් මනස පුරවා ගෙන, සිතීමට ඉඩක් තබා නොගැනීමෙන් මා බලාපොරොත්තු වූයේ හැමවිටම මනස වෙනතකට යොමු කර ගැනීමටය. එය ඒ ආකාරයෙන් ඉටු නොවන බව වටහා ගැනීම සඳහා මට කලක් ගත විය. භාවනාව ගැන සිතක් පහළ වූයේ මේ අවධියේදීය.

“ඔබ දුක දැකිය යුතුයි. භාවනාවේදි එයට මතු වන්නට ඉඩදී ප්‍රශ්නය විසඳා ගත යුත්තේ එතැනදීමය.” එසේ වූවද භාවනාව පුහුණු කිරීමට මුලදී මට බියක් ඇති විය. “හොඳ ගුරුවරයෙක් නැතිව භාවනා කරන්න ගිහින් ඔළුව අවුල් වුනොත්, කවුද මගේ ළමයි බලා ගන්නේ?” එම නිසා එම පුහුණුව ප්‍රවේසමෙන් කරන්නට මම තීරණය කළෙමි. ඒ අනුව මුලදී මම බෞද්ධ දර්ශනය වෙත සිත යොමු කළෙමි. හොඳ දේ කළොත් එහි හොඳ විපාක මා වෙත ළඟා වන බව පිළිබඳ විශ්වාසය මත පිහිටා, මම අන් අයට පිහිට වීමට පෙළඹුනෙමි. භාෂා කීපයක් කථා කිරීමට මට හැකියාව තිබූ හෙයින් සරණාගතයින්ට පිහිට වීමට ස්වේච්ඡාවෙන්ම මම ඉදිරිපත් වුයෙමි.

       “උන්වහන්සේ කැරට් කනවා දැක්කා”

සහනාධාර වලින් යැපෙමින්, රෙනි / බෝධිපාල දරුවන් හදාවඩා ගන්නා අතරතුරදීම උතරු ඩැකෝටා විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික ගණිතය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගත්තාය. ඉන්පසු පරිගණක සැලසුම් වරියක් ලෙස කලක් සේවය කිරීමෙන් අනතුරුව, බලශක්ති නිශ්පාදන සමාගම් කිහිපයක ජ්‍යෙෂ්ඨ ආර්ථික විශ්ලේෂණවරිය ලෙස කටයුතු කළාය. ඇගේ විවේක කාලය මිඩංගු කරන ලද්දේ දූපුතුන්ගේ කටයුතු කිරීම සඳහාත්, ‘උතුරු ඩැකෝටා’ සහ ‘මිනිආපොලිස්’ නගරවල සරණාගතයින්ට පිහිටවීම සඳහාත්ය. වැඩි පිරිසකට ආධාර කිරීමට කාලය ලබා ගැනීමේ අදහසින් ඇය මිනිආපොලිස් නගරයට මාරු වීමක්ද ලබාගත්තාය. ක්ම‍ර් රුජ් වරු පළවා හරිමින් වියට්නාම් හමුදා කාම්බෝජියාව ආක්‍රමණය කිරීම නිසා කාම්බෝජියානු සරණාගතයින්ගෙන් කඳවුරු පිරී ඉතිරී යන සමයේදී ඇය නිවාඩු කාලය මුළුමණින්ම ගත කළේ එම කඳවුරු තුළය. වසර 1983 දී තායිලන්තයට අතරමග ‘සීවුල්’ ගුවන් තොටුපලේදී අහම්බෙන් මුණගැසුණු, සරණාගතයින්ට පිහිටවීම සඳහා වැඩම කරවමින් සිටි කීර්තිමත් කාම්බෝජියානු ජාතික මහාගෝෂානන්ද තෙරුන් වහන්සේට පිං සිදුවන්නට භාවනා කිරීමේ අගය නැවත ඈ තුළ රෝපණය වන්නට විය.

ගුවන් තොටුපළ තුළ ආසනයක හිඳගෙන උන්වහන්සේ කැරට් අනුභව කරමින් සිටිනු මම දුටුවෙමි. ඒවා උන්වහන්සේගේ ගමන් මල්ල තුළ විය. මම උන්වහන්සේ සමීපයට ගොස් “ඔබ වහන්සේ කාම්බෝජියානු ජාතිකයෙක්ද?” යයි විචාලෙමි. ටික වේලාවක් සතුටු සාමීචියෙහි යෙදීමෙන් අනතුරුව මම මෙසේ විමසුවෙමි. “භන්තේ, සිතිවිලි අත්හරින්නේ කොහොමද? සැලසුම් කිරීමේදි යමක් මනසේ මතුවීමත් එක්කම මා ඒ ගැන හුඟක් හිතන්න යන නිසා මට නිදා ගන්නවත් බැරි වෙන වෙලාවල් තියෙනවා.” උන්වහන්සේගේ පිළිතුර වූයේ “භාවනා කරන්න.” එතැන් පටන් භාවනාව පිළිබඳ අදහස මගේ සිත තුළ තැන්පත් විය. උන්වහන්සේ කඳවුරු බලා පිටත්ව ගියහ. මමද කඳවුරු බලා පිටත්ව ගියෙමි. නමුත් අපට නතර වීමට කටයුතු සලසා තිබුණේ එකම හෝටලයේ බැවින් අපි එතැනට ළඟා වූයේ එක විටය.

මුලින්ම කාම්බෝජියාවෙන් පැන ආ සරණාගතයින්යින්, අධික සාගින්න හේතු කොට ගෙන කහ පැහැති හිසකේ වලින් සහ ඉදිමුණු උදර වලින් යුක්ත වූහ. අපි එක්ව ගමන් කළෙමු. උන්වහන්සේටද මටද හැඬීම වළක්වා ගත නොහැකි විය. අප සිත්වල මතුවූයේ “කෙසේ අපි මොවුන්ට උපකාර කරන්නෙමුද?” යන සිතිවිල්ලය. එතැන් පටන් සෑම වර්ෂයකදීම අපි එක්ව කටයුතු කළෙමු. සමහර අවුරුදු වලදී කඳවුරුවල වැඩට මා සහභාගිවූ අතර අනෙකුත් අවුරුදුවලදී නිව්යෝක් නුවර එක්සත් ජාතීනගේ සංවිධානයට ගොස්, රටින් පිටුවහල්වී සිටි ජනාධිපති තුමා සමඟ එක්වී සංවිධානාත්මක කටයුතුවල නිරත වීමි. ඒ දිනවල මා කෙතෙක් දුරට දේශපාලන කටයුතුවල නිරත වූයේදැයි කිවහොත් දූදරුවන් නේවාසිකාගාරවල රඳවා, කඳවුරුවල සිටින නිදහස් සටන්කාමීන් සමඟ එක්වීමට තරම් සිතක් මා තුළ පහළ විය.

මගේ ස්වාමියාගේ වෙන් වීමෙන් බලවත් සේ කම්පාවට පත්ව, ඔහු තවමත් ජීවතුන් අතර සිටීද, නැද්ද යන දෙගිඩියාවෙන් පෙළෙමින්, ක්ම‍ර් රුජ් වරුන් කෙරෙහි හටගත් බලවත් කෝපය මැඬපවත්වා ගත නොහැකි වීම නිසා මා විඳි වේදනාව ඉතා බලවත් විය. එහෙත්, උදව් උපකාර කිරීමේ යහපත් චේතනාව මා හද තුළ තදින් කාවැදී තිබුණ හෙයින් හැකි හැම විටම කඳවුරු වල රැඳී සිටි කාම්බෝජියාවන්ට උදව් කළෙමි. ඊට වඩා වැඩි යමක් මට කළ නොහැකි වූයේ ක්ම‍ර් රුජ් වරුන් පිළිබඳව විටින්විට හට ගන්නා නොයෙකුත් මනෝභාවයන් නිසාය. යමක් ඉටු කිරීමට සූදානම්වූ විට ඔවුන් මා ඉදිරියේ මැවී පෙනෙන බැවින් ඉන් ඉදිරියට පා තැබීමට මා තුළ ශක්තියක් නොවීය. ක්ම‍ර් රුජ් සරණාගතයින් සිටින කඳවුරු වලට ගිය විට ක්ම‍ර් රුජ් දරුවන් මා නෙත ගැටේ. ඒ කුඩා දරුපැටවුන් අහිංසකය, අසරණය, හදවත් පිරිසිදුය – ඔවුන් මිනීමරුවන් නොවේ. මගේ සතුරන්ද නොවේ. මගේ සතුරෝ ඔවුන්ගේ දෙමාපියන්ය. ඔවුන්ට සමාව දීම මට කිසිසේත්ම කළ නොහැකි දෙයක් විය. එය දරුණු විසක් මෙන් මා හද දවාලයි. අනුකම්පා සහගත සිතිවිලි හැමවිටම එතැනින් වියලී යයි.

මම විඳින්නාවූ දුක වටහා ගත් ‘මිනෙසෝටා’ නගරයේ සදාචාර පුනරුත්ථාපන සංවිධානයේ සාමාජික මිතුරෝ කිහිපදෙනෙක්, දෙවෙනි ලෝක යුද්ධයෙන් භේදභින්නව සිටින යුරෝපා ජාතිකයින් සමගි සම්පන්න කිරීමේ අදිටනින් පිහිටුවා ගෙන ඇති එම සංවිධානයේ රැස්වීම් වලට සහභාගි වන ලෙස මට ඇරයුම් කර සිටියහ. එතැනදී නැරඹීමට සලස්වන ලද චිත්‍රපටි අතර දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මානුවන් විසින් වධහිංසා වලට භාජනය කරන ලද කීර්තිමත් ප්‍රංශ සමාජවාදිනියක්වූ ‘අයිරීන් ලොරේ’ නම් කාන්තාව හා ඇගේ පුතණුවන් පිළිබඳ කතාන්තරය ඇතුළත් ‘හෙටට ආදරය’ නමැති චිත්‍රපටියද විය. ජර්මන් කාන්තාවන් උදෙසා සදාචාර පුනරුත්ථාපන සංවිධානය මගින් සංවිධානය කරන්නට යෙදුනු වැඩමුළුවක දේශනයක් පැවැත්වීමට ආරාධනය කළ විට ඇය එම ඇරයුම ප්‍රතික්ෂේප කරමින් මෙසේ පවසා සිටියාය. “මම කොහොමද උන් එක්ක යාළුකමක් ඇති කර ගන්නේ? උන් මගේ මුළු පවුලම විනාශ කළා.” ඉන් ඉක්බිති ඇය ඒ පිළිබඳව නැවතනැවතත් මෙනෙහි කර බැලීමෙන් පසු, එම අදහස වෙනස් කර ගැනීමට චිත්ත ධෛර්යය උපදවා ගත්තාය. ජර්මන් කාන්තාවන් මුණගැසීමට අවස්ථාව සලසා ගත් ඇයට, ඔවුන් වෙත සමාව පිරි නැමීමට හැකි විය. පැසවමින් තිබූ තුවාලය සුව කර ගැනීමෙන් පසු ප්‍රංශ හා ජර්මානු තරුණ පරපුර අතර සුහදතාවය ගොඩනගාලීමේ අත්වැලක් ඉදිකිරීමෙහි දැන් ඇය නිරතව සිටින්නීය.

ඒ චිත්‍රපටිය නැරඹීමෙන් අනතුරුව මා තුළ ඇතිවූ වෙනසින් මම සැබවින්ම විස්මයට පත්වීමි. “ජර්මානුවන්ට සමාව දීමට ඇයට හැකි වූවා නම් ක්ම‍ර් රුජ් වරුන්ට සමාව දීමට ඇයි මට බැරි?” සමාව පිළිබඳව මා තුළ හටගත් මුල්ම සිතිවිල්ල එය විය. නමුත් එම හැඟීම මතුවෙමින් හා යටයමින් පැවතිණ. එතැනදී හඳුනාගත් හිතවතෙක් දිනක් මගෙන් විමසුවේ: “ඔබ ඒ ආර්යාව මුණ ගැසීමට කැමතිද?” යන්නය. “අනේ ඔව්, පුළුවන් නම් ඒක කොචච්ර හොඳ දෙයක්ද?” ස්විට්සර්ලන්තයට ගොස් ඇයව මුණ ගැසීමට ඔවුහු මට පහසුකම් සලසා දුන්හ. නිවාඩු කාලය සඳහා අතිකාල දීමනාවක්ද ලබාදී නොමිලයේ ගුවන්යානා ටිකට් පතක්ද ඔවුන් මා වෙත පිරි නැමූහ. ඒ සඳහා දෙසතියකට ස්විට්සර්ලන්තය බලා මම පිටත්ව ගියෙමි.

       රහස නිහඬ කාලයයි

අයිරීන් ලොරේ ආර්යාව ඇගේ ගෙදරදීම මුණගැසීමට අපට ඉඩකඩ ලැබිණි. ඇය දැන් අසූහතර වෙනි වියට පා තබා ඇත. දිනක් සවස තුනට පමණ අපි ඇයගේ විසිත්ත කාමරයේ තේ පානය කරමින් සිටියෙමු. ටික වේලාවකට පසු මම ඇයගෙන් මෙසේ විමසීමි: “ආර්යාවනි, ඔබට ජර්මානුවන් කෙරෙහිවූ වෛරය සංසිඳවා ගැනීමට හා ස්වයං හැකියාවක් ඇති කර ගැනීමට හැකිවීමේ රහස කුමක්ද?” “එම රහස නිහඬ කාලය ඇති කර ගැනීමය” යනු ඇගේ පිළිතුර විය. එවිට, “මොකක්ද මේ නිහඬ කාලය?”, කියා මම මගෙන්ම ප්‍රශ්න කර සිටියෙමි. ඇයත් සමඟ තේ පානය කිරීමෙන් පසු අපේ හමුව එතැනින් නිමාවට පත්විය.

පසු දිනෙක, සදාචාර පුනරුත්ථාපන සංවිධානයේදී දැන හඳුනාගත් මගේ ඉතා කුළුපග මිතුරෙක්වූ ඩේවිඩ් චැනර්ගෙන් “නිහඬ කාලය කුමක්දැයි” මම විමසීමි. එවිට ඔහු, “ඔබ බෞද්ධයෙක් දැයි” මගෙන් ප්‍රශ්න කර සිටියේය. “ඔව් මම බෞද්ධයෙක්මි” යයි පැවසූ විට, “එසේ නම්, නිහඬ කාලය කියන්නේ භාවනාවටයි” යනුවෙන් ඔහු පිළිතුරු දුනි.

එදින රාත්‍රියේ සංවිධානය වෙත මා කැටිව ගිය මිතුරෙකුගෙන් මා ඉල්ලා සිටියේ නිහඬ කාලයට පිවිසෙන ආකාරය මට පහදා දෙන ලෙසටය. ඔවුන් ක්‍රිස්තියානු ලබ්ධිකයින් බව මා දැන සිටි හෙයින් මා එතැනට ගියේ පිරිත් පොත් කිහිපයක්ද රැගෙනය. ඔහු මට පවසා සිටියේ “ඔය පොතකින් එක ඡේදයක් කටපාඩම් කර ගන්න. ඉන් පස්සේ නිහඬව ඉඳගෙන, ඔබේ ප්‍රශ්නය පිළිබඳ සිතිවිල්ලක් මතුවුණු ගමන් ඒක කොලයක සටහන් කර ගන්න.” ඔවුන්ගේත් අපේත් භාවනාව අතර වෙනස මෙයයි. ඔවුන් භාවනාව සඳහා මාතෘකාවක් තෝරා ගෙන ඒ අනුව මතුවන සිතිවිලි සටහන් කර ගන්නවා. අපි එහෙම මාතෘකාවක් තෝරා ගන්නේ නැහැ. අප යෙදෙන්නේ, ප්‍රශ්නය එක්ක මනසේ මතුවන සිතිවිලි, ක්‍රියාකාරකම් දිහා බලමින් ඒවායින් සිත නිදහස් කර ගැනීමෙහිය.

දෙදිනක් පමණ ඒ ආකාරයට කටයුතු කළායින් පසු නිහඬව කාලය ගතකරන අන්දම මම අවබෝධ කර ගත්තෙමි. ඇතුළතින් කෙරෙන කථාවට සවන් දීමට මම ඉගෙන ගතිමි. පසුවදී ‘අරගලයෙන් – සාමයට’ යන තේමාව යටතේ පැවැත්වුණු වැඩමුළුවකට සහභාගිවීමටද මට අවස්ථාව සැලසුණි. එතැනදී, සමාව දීම පිළිබඳ අදහස් ටිකෙන්ටික සිත තුළට ගලා එන්නට විය. සමාව දෙන පිළිවෙල මම දුටුවෙමි. ඔව්! එතැනදී මම පළමුවරට ක්ම‍ර් රුජ් වරුන්ට සමාව දුනිමි.

කඳවුරු සංවිධායකයින් දිනක් මගෙන් අසා සිටියේ, සමාවදීම යන මාතෘකාව යටතේ කෙටි දේශනයක් වැඩමුළුවකට සහභාගිවන අය වෙනුවෙන් පැවැත්වීමට පුළුවන්ද යන බවය. මම එය ඉතා සතුටින් බාර ගතිමි. එය පවත්වන දිනට පෙර දින රාත්‍රියේ මම නැවත නැවතත්, “ක්ම‍ර් රුජ් වරුනි, මම ඔබට සමාව දෙමි” යන සිතිවිල්ල සිතෙහි ධාරණය කර ගත්තෙමි. මම එම අදහස කොලවල ලිවීමි. මට එදින රෑ නින්දක් නොවීය. ඒ තරමටම ඒ අදහස මගේ සිත පාරන්නට විය. එහෙත් මම, “ක්ම‍ර් රුජ් වරුනි, ඔබ මට කර තිබෙන දේවලට, මම ඔබට සමාව දෙමි” යනුවෙන්, දිගින්දිගටම කොලවල ලිවීමි. ඒ ලියන සෑම කොලයක්ම ඉන්පසු ගුලි කොට විසි කළෙමි. එසේ කීවතාවක් කළාදැයි මම නොදනිමි. එහි කෙළවරක් නොදුටුවෙමි. රැය පහන්වීගෙන එන මොහොතේදී “කාලය අවසාන වීගෙන යයි” යනුවෙන් තවත් කොලයක ලිවීමි. මගේ සිත දැන් තදින්ම පෑරී ඇත. මගේ සිත පිරී ඉතිරී ඇත්තේ වේදනාවෙන්ය. නමුත් මේ සියල්ල අවසානයකට පැමිණි විට මම ක්ම‍ර් රුජ් වරුන් දුටුවෙමි. ‘ක්ම‍ර් රුජ් වරු’ මාව පෙළන්නේ නැත. නිදාගන්නට බැරිව ඇත්තේ මටයි. මේ ඇතුළේ සිර කර ගෙන සිටින සිරකාරියට වගකිව යුතු කවුද? මමයි. මට ඇයව නිදහස් කර ගත හැකි නම් ඇයට කළ හැකි දේවල් මොනතරම්ද? මට අවශ්‍යව ඇත්තේ මගේ මව්බිමට උපකාර කිරීමටයි.

අවසානයේදී, එදින මගේ මනසට පිළිගන්නට සිදුවූයේ: “මම ඔවුන්ට සමාව දිය යුතුයි. ඒ හැර වෙන විසඳුමක් නැත” යන්නය. එවිට නිතැනින්ම මෙන් මා හදවතෙහි පැන නැංගේ: “ක්ම‍ර් රුජ් වරුනි, මට කරන ලද සෑම දෙයකටම, මම ඔබට සමාව දීමට යන්නෙමි. එසේම මම ඔබෙන් ඉල්ලා සිටින්නේ, මෙතෙක් කල් මම ඔබ වෙත දැක්වූ වෛරය වෙනුවෙන් මට සමාව දෙන ලෙසටය.” ද්විපාර්ශිකව එය සිදු විය යුතුය.

දේශනය පැවැත්වීමට මගේ වාරය පැමිණියා. විශාල පිරිසක් ඉදිරියේ මා පෙනී සිටියත් මගේ කටහ‍ඬෙහි කිසිදු වෙව්ලීමක් සිදු වුනේ නැහැ. මගේ හද ගැස්ම පැවතුනේ සාමාන්‍ය ආකාරයටමය. මම ඔවුන් ඉදිරියේ මෙසේ පවසා සිටියෙමි. “මිත්‍රවරුනි, දැන් මා ඔබ ඉදිරියේ පෙනී සිටින්නේ ඉතා වැදගත් දෙයක් පැවසීමටයි. ඔබ සියල්ලන්ගේම දැන ගැනීම පිණිස මම ඔබට පවසා සිටින්නේ මෙතෙක් කල් මගේ හදවතේ සිර කර ගෙන සිටි ඒ සිරකාරිය නිදහස් කළ බවය. ක්ම‍ර් රුජ් වරුන් මගේ රටට කරන ලද අකටයුතු සියල්ල වෙනුවෙන් මම ඔවුන්ට සමාව දෙමි. ඒ අතරම මෙතෙක් කල් මා ඔවුන් වෙත පවත්වා ගෙන ආ වෛරය වෙනුවෙන් සමාව දෙන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි.”

දෙවියනි! එය මොනතරම් බලවත්ද? බොහෝ දෙනෙක් කඳුළු වගුරනවා මම දුටුවෙමි. නමුත් මම නොහඬා සිටියෙමි. ඉන්පසු ……….. එතැන වූයේ මොනතරමක නිහැඬියාවක්ද? බිම වැටෙන ඇල්පෙනෙත්තියක හඬ වූවත් ඇසෙන තරමටම නිහැඬියාව රජ විය. “දැන් මගේ හදවතේ පවතින හැඟීම කියා පෑමට තව මිනිත්තුවකට මට අවසර දෙන්න” යයි මම සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියෙමි. “මම මෙතෙක් කල් ඇතුළතින් උසුලාගෙන සිටි ඒ බර පොදිය බිම තැබීමට උපකාර කිරීම ගැන මම ඔබට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.” මගේ හදවතේ දැනුණු  උණුසුම මොනතරම්ද? මට දැනුණේ කිව නොහැකි සැහැල්ලුවක්ය. ඇත්තෙන්ම මට දැනුණේ පියඹාගෙන යාමට වූවත් හැකි තරමේ සැහැල්ලුවක්ය.

       මගෙන්ද ඔය අහන්නේ? මම උන් ඔක්කොම මරා දානවා.

වැඬමුළුව අවසන් කොට නිවසට පැමිණි විට මට මුහුණ පෑමට සිදුවූයේ මගේ පුතාගේ බලවත් අභියෝගයකටය. එකලදී ඔහු වයස විස්සක පමණ කොලු ගැටයෙක් විය. “අම්මේ, එහාට වෙලා ඉඳගෙන මොනවද මෙච්චර වෙලා කළේ?” “වෙන මොනව කරන්නද? ක්ම‍ර් රුජ් වරුන්ට සමාව දෙන්න මම තීරණය කළා.” “මොනවා?” ඔහු තදින්ම තිගැස්සී සිටියා. “ඒ මොන වල්භූත කතාවක්ද? අම්මට පිස්සුද? එහෙම කිව්වට මට සමාවෙන්න. අම්ම මේව කියන්න යන්නෙ, ඒ මව්වරුන්ටද? ඒ පියවරුන්ටද? තමන්ගෙ ඇස් ඉදිරිපිටදීම තමන්ගෙ දරුවන් මරාදාපු එවුන්ට, දරුවො උඩ විසි කරල පිහිවලින් අල්ලපු එවුන්ට, සමාව දෙන්න කියල අම්ම ඒ මව්පියවරුන්ටද කියන්න යන්නේ? හිතන්නවත්එපා.”

මම තැන්පත් වීමි. “පුතේ, එහෙම නම් ඔයාගෙ විසඳුම මට කියන්න. අම්ම නම් බැලුවෙ ඒක ඒ විධියෙන් විසඳන්නයි. පුතා ඒක විසඳන්න යන්න එපා. නමුත් මට කියන්න ඔයාගෙ විසඳුම මොකක්ද කියල?” “ මගෙන් අහනවනම් මම කියන්නම්, මම උන් ඔක්කොම මරල දානවා.” “පුතා ඒ මරන්නෙ කවුද?” “උන්.” “උන් කියන්නෙ කවුද?” “ක්ම‍ර් රුජ් නායකයා, මුලින්ම පොල්පොට්.” “ නමුත් එයා තනිවම නෙවෙයිනෙ මේවා කළේ?” “ඔව්, මම මරනව ඊලඟ එකා, ඊලඟ එකා, ඊලඟ එකා ………” “තව කොච්චරක්ද?” “ ඊලඟ එකා, ඊලඟ එකා …… උන් ඔක්කොම.” “මම තැන්පත්වී ඔහුට කියා සිටියේ: “පුතේ දැන් තවමත් උඹ හොඳ මනුස්සයෙක්. තවම කාටවත් නරකක් කළේ නැහැ. ඒව ඔක්කොම කළේ හිතෙන් විතරයි. නමුත් දැන් ඔබ මේ වෙනකොටත් කී දෙනෙක් මරා දාලද?” ඔහු පටන් ගත්තා ගණින්න. ඊලඟට මට කියනවා: “මම දන්නෙ නැහැ, අම්ම මට මොනවද මේ කරන්නෙ කියල?” මට දැනුණා ඔහු වෙනස් වුන බව. වසර කිහිපයකට පස්සේ, මධ්‍යම අප්‍රිකාවේ සාම හමුදාවේ සේවය අවසන් කොට ගෙදරවිත්, ඔහු මාව බදාගෙන ආදරය දක්වා අවසන, මට කීවේ මෙයයි: “අම්මේ ඔබ හරි. ඔබ ඒ කියපු දේ හරි.”

එමඟින්, ඒ ආකාරයෙන්, බරපතල දෙයක් සම්බන්ධව ඔබට මිනිසුන්ට සමාව දිය හැකි නම්, කෙනෙක් සමඟ ඇති කර ගත් සුළුසුළු අමනාපකම් ඉවත්වී යන්නේ නිරායාසයෙන්මයි. මගේ දරුවන්ගෙන් වුනත්, මට පුළුවන් වුනා සමාව ඉල්ලන්න. අපේ මුළු පවුලම සාම පණිවිඩයක් ලෙස එය භාවිතා කළා. එය මට ලබා දුන් පිහිට අසීමිතයි. මගේ පරණ යහළුවන් ගැන පවා මට ඒ දිනවල හැඟුනේ, ඒ අයව මොහොතකින් කපා හැරිය හැකි බවක්. වෙනකක් තබා, මා අමනාපකම් ඇති  කර ගත් විමුක්තිකාමි සටන්කරුවන්ගේ නායකයා වගේම, අනිකුත් දේශපාලඥයින්ට මම සැලකුවේ ඒ ආකාරයටමයි. පසුව, මම ඒ සෑම දෙනෙකුගෙන්ම සමාව අයැද සිටියා.

       “මම ඔබේ තානාපතිවරිය වන්නෙමි.”

ලංකාවේ සිංහල දෙමළ ජනතාව අතර සාමකාමී සහජීවනය ගොඩනගාලීමේ අරමුණින් වසර 1987 දී සදාචාර පුනරුත්ථාපන සංවිධානය මගින් ලංකාවට පිටත් කර හැරීම සඳහා මා තෝරා ගති. මගේ බෞද්ධ මුතුන් මිත්තන් කවුරුන්දැයි මා දැන සිටියත් එතෙක් ඔවුන් සමඟ කිසිම සම්බන්ධයක් මා පවත්වා තිබුණේ නැහැ.

අපි නුවරට ගිය දිනෙක ඔවුහු මා ශ්‍රී දළඳා මාලිගයට කැඳවා ගෙන ගියහ. මගේ ශ්‍රද්ධාව නැවත ලියලන්න පටන් ගත්තේ එම මොහොතේදීය. බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටදී මා මෙසේ පොරොන්දු වූවෙමි. “බුදුරජාණන් වහන්ස, ඔබේ දියණිය දැන් ඔබ වෙතට පැමිණ සිටී. ඔබ වහන්සේ මෙතැන වැඩ සිටින බව කරුණාකර ඇයට දැනගැනීමට සලස්වන්න.” එම මොහොතේම මගේ රෝම කෙළින් සිටියා. ප්‍රීතිය උතුරා යන්න පටන් ගත්තා. මම හඬා වැටුණෙමි. “බුදුරජාණන් වහන්ස මෙතැනට වඩින්න. මම ඔබේ තානාපතිවරිය වෙන්නෙමි. අයහපත් දේ ලෙස සලකන වෛරය, නරක සිතිවිලි, නොරිස්සීම වැනි සියළු දෙයින්ම මගේ සිත නිදහස් කර දෙනු මැනවි. ඒවා ඉවත් කර ධර්මය මා සිත තුළ තැන්පත් කර දෙන සේක්වා.”

මම පෙරළා අමෙරිකාවට පැමිණෙන විට මිනිආපොලිස් නගරයට භාවනා ගුරු ස්වාමීන් වහන්සේ නමක් වැඩම කර සිටියහ. දුරකථන ඇමතුමක් මගින් මගේ මිතුරෙකු විමසා සිටියේ: “හොඳ භාවනා ගුරුතුමෙක් පැමිණ සිටිනවා. ඔබ කැමතිද උන්වහන්සේ හමුවීමට යන්න?” ඒ කාම්බෝජියාවේ මහත් කීර්තියක් දැරූ ‘හෙම් හොම්’ ස්වාමීන් වහන්සේය. මම උන්වහන්සේගේ භාවනා මුළුවකට සහභාගි වීමි. එය ඉතා බලගතු විය. සිත තුළ හටගන්නා මානසික ක්‍රියාදාමයන් හඳුනා ගැනීමට දින පහක් පමණ ගත විය. එතැනදී මට අවබෝධ වූයේ, ඇත්තවශයෙන්ම, කාම්බෝජියානු වැසියන්ට උදව් කළ හැකි එකම මග රැඳී ඇත්තේ භාවනාව මත බවය. එහි ඇති අසීමිත බලවේගය යොදා ගැනීමෙන් ඔවුන් තුළ පවතින වේදනාව තුනී කළ හැකි බව මට වැටහුණි. භාවනාව තුළින් මා වටහා ගත්තේ තමන් තුළ ඇති වේදනාවට පිටත කිසිවක් සම්බන්ධ නැති බවය. එය තුනී කර ගත යුත්තේ ඔබ විසින්මය. එය එසේ කළ හැක්කේ ඔබට පමණි. වෙන කිසිවක් අවශ්‍ය නැත. එතරමටම එය සරලය.

       එතුමා ඉගැන්වූයේ කිනම් අන්දමේ භාවනාවක්ද?

ඒ ඉගැන්වූයේ ‘මහා සී’ භාවනා ක්‍රමය බව මම අමරාවතියට පැමිණෙන තෙක් දැන සිටියේ නැත.

උන්වහන්සේ මුණගැසීමත්, වසර 1991 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධවීමත්, අතරතුර කාලයේදී මා තුළ ඇතිවූයේ පුදුමාකාර වෙනසක්ය. ඒ ක්ම‍ර් රුජ් වරුන්ට මුළු හිතින්ම සමාව දීමට මා ලත් හැකියාවය. එයින් මම එතෙක් කල් උසුලා ගෙන සිටි බරින් නිදහස් වූයෙමි. සිරවී තුබූ ගුලියක් ඉවත් වූවාක් මෙන් මගේ ආත්ම ශක්තිය නැවත මා වෙත ගලා එන්නට විය. සහමුලින්ම මගේ සිත සුවපත් කර ගැනීමට, එදා මා ස්විට්සර්ලන්තයේදී පැවැත්වූ දේශනයට සහභාගි වූවන් ඉදිරිපිටදී සමාව දීම පිළිබඳ ප්‍රකාශය කළ දිනයේ සිට, දෑ අවුරුද්දක පමණ කාලයක් ගතවිය. සෑම කඳවුරකම මෙන් රැඳී සිටි ක්ම‍ර් රුජ් වරුන් හා භේදභින්නවී සිටි අනෙකුත් ජනකොටස් අතරට ප්‍රතිසන්ධානයේ පණිවූඩය රැගෙන යාමේ අරමුණ පෙරදැරි කර ගනිමින් ‘කාම්බෝජියානු ළමා අරමුදල’ නමින් ව්‍යාපෘතියක් මම ආරම්භ කළෙමි. ප්‍රතිසන්ධානය කාම්බෝජියාව තුළ ප්‍රතිෂ්ඨාපනය කිරීමට නම් මුලින්ම එය ගුරුවරුන් අතර ස්ථාපිත කළ යුතු බව මගේ හැඟීම විය. ගුරුවරු මගින් එය ළමාලපටින්ට ඉගැන්වීම පහසුවෙන් කළ හැකි බව මම වටහා ගත්තෙමි. එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් බොහෝ ගණනක් ඒ සඳහා මට ආධාර විය. වියට්නාම් හමුදා කාම්බෝජියාවෙන් ඉවත්වූ පසු පෙරළා පැමිණෙන කාම්බෝජියානු පුරවැසියන්ට සුදුසු වතාවරණයක් සකස් කර තැබීම මගේ එකම අරමූණ විය. කඳවුරු තුළ රැඳී සිටියදීම ඔවුන් එක් රැස් කර ගැනීම වඩා පහසු බව මට හැඟී ගියේය. මම ක්ම‍ර් රුජ් වරුන් සහ විරුද්ධවාදීන් ප්‍රතිසන්ධානය කරවීමි. ඔවුන් අතර ගැවසෙද්දී මා සිත පාරමින් තිබූ එම තුවාලය සුව විය.

මට අවසර දීමට ප්‍රථමයෙන්, අන්කිසිවෙකුට ක්ම‍ර් රුජ් කඳවුරකට ඇතුළු වීමට අවසර දී නොතිබුණි. මිනසෝටා ප්‍රාන්තයේ සෙනෙට් සභිකවරයෙකුවූ ‘බොෂ්විශ්’ මහතාගේ දැන හැඳුනුම්කම් මූලික කර ගනිමින් අමෙරිකා එක්සත් ජනපදයේ ආධාරය ලබාගෙන, තායිලන්ත රජයේ අනුමතිය මත අපට කඳවුරු තුළට ඇතුල්වීමට අවසර ලැබිණ. අප සමඟ එක්ව වැඩ කළ සරණාගතයින්, ඔවුන් නතරව සිටි කඳවුරු වලින් පිටතට කැඳවා ගෙනගොස්, වැඩමුළුවලට සහභාගිවන අනෙක් කඳවුරුවල අය සමඟ මුසු කරවීමටද අපට අවසර ලබා ගැනීමට හැකි විය. නමුත් එයට ඉඩ දෙන ලද්දේ මා ප්‍රාණ ඇපකරුවෙකු වශයෙන් තබාගැනීමෙන් අනතුරුවය. ඒ, ඔවුන් පැනගියහොත් මා සිරභාරයට ගැනීමේ එකඟ තාවය මතය.

       අපි එක්වී නැවත ගොඩනගමු

නිතරම මෙන් කඳවුරින් කඳවුරුට යාමට මට සිදු විය. ප්‍රවාහනය සඳහා අප යොදාගත්තේ කුලී රථය. එම ගමන් බිය ජනක විය. ක්ම‍ර් රුජ් වරුන් සමඟ පමණක් මා ගමන් කළ යුතුවූ අතර වැඩමුළුවට සහභාගිවූ අනෙකුත් සාමාජිකයින් ගමන්ගත්තේ, ක්ම‍ර් රුජ් වරුන් හා සම්බන්ධකම් නොපැවැත්වූ සරණාගතයින් සමඟය. අනතුරක් සිදු කිරීම ගැන සිතීමටවත් ඔවුන් නොපෙළඹෙන බවට විශ්වාසයක් මා තුළ විය. අඩුතරමින්වත් රියදුරා මට පක්ෂපාත කෙනෙකු බව දැන හිඳීම පවා මට මහත් අස්වැසිල්ලක් විය. වැඩමුළුව පැවැත්වූයේ බැංකොක් නුවර පිහිටි රජයේ හෝටලයකය.

       එතැනදී සිදුවූයේ කුමක්ද? ඔවුන් එකිනෙකා විශ්වාස කළේද?

වැඩමුළුව ඉතාමත් සාර්ථක විය. කල්ලි හතරකට අයත් සරණාගතයින් හැත්තෑවකට ආසන්න පිරිසක් ඊට සහභාගි විය. මුල් රැස්වීම් වාරයේදී හතලිහකට ආසන්න ගුරු පිරිසක් අඩකවාකාරව පිළියෙල කරන ලද ආසන වල හිඳගෙන සිටියහ. ක්ම‍ර් රුජ් වරුන්ගේ නායකයා සැසිවාරය ආරම්භ කරමින් මෙසේ පැවසීය. “අධ්‍යාපනය සම්බන්ධව අපේ ජනතාව දැනුවත් කිරීම සඳහා පසුගිය දස වසර තුළදී යම්කිසිවෙකු ඉදිරිපත්වූ මුල් වතාව මෙයයි. අපට මූලිකවම අවශ්‍ය කර තිබූ මෙම උපකාරය අප වෙත පිරිනැමීම ගැන ස්තුතිය පුදකරමින්, කාම්බෝජියානු ළමා අරමුදලේ සාමාජිකයින්, අපි සාදරයෙන් පිළිගනිමු. අපේ දරුවන්ට අධ්‍යාපන පාඨමාලාවක් සකස් කිරීම සඳහා ඔබේ සහයෝගය ලබා දෙන මෙන් අපි ඉල්ලා සිටින්නෙමු. පිටරැටියන්ගේ ආධිපත්‍යයෙන් අපේ රට නිදහස් කර ගැනීම සඳහා අවසානය තෙක් සටන් කිරීමට කාම්බෝජියානු දරුවන් පුහුණු කළ යුතුව ඇත. විශේෂයෙන්ම අපේ අසල්වැසි වියට්නාම්වරුන්ගෙන් …….”

ඔහු මෙසේ දේශනය පවත්වා ගෙන යද්දී මම ඔහු කපා හැරියෙමි. මම අත ඔසවමින් ඔහුගේ දේශනය නවත්වා මෙසේ පැවසීමි. “සහෝදරයා ඔබේ කථාව එතැනින් නතර කරන්නට සිදුවීම ගැන මට සමාවෙන්න. තවදුරටත් එයට සවන් දීගෙන සිටීම මට කළ නොහැකියි. ඒ දරුවන් පිරිසිදුයි, අහිංසකයි. ඔවුන්ට ඉගැන්වීම සඳහා ඔබ වැනි අය පුහුණු කිරීම අපේ පරමාර්ථයයි.අපේ වේදනාව ඒ දරුවන් මත පටවන්න එපා. එය ඔවුන්ට දැරිය නොහැකි දෙයක්. මම මේ කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. ක්ම‍ර් රුජ් වරුන් හැටියට ඔබ අපේ රටට කර ඇති විනාශය අති මහත්. මම ඔබ සැමට වෛර කළෙමි. නමුත් එහි ඇති වරද දැන් මම දනිමි. මම එය දැන ගත්තේ කෙලෙසද? ඒ වෛරයෙන් මගේ ශරීරය ඔත්පල වුනා. මගේ දක්ෂතාවයන් සියල්ලක්ම එයින් යටපත් වුනා. ඔබ කෙරෙහි වෛරය කෙතරම් දැයි පවසනවා නම් මට ඔබව පෙති ගැසීමට වුවමනා කළා. ඒ වේදනාව අවුරුදු හයක්ම මාව විනාශ කළා. මම එය තේරුම් ගත්තා. ඔබ කෙරෙහි මා ඇති කරගෙන සිටි ඒ වෛරයට මා දැන් සමාව අයැද සිටිනවා. මගේ හදවත පිරිසිදු කර ගැනීමට මට ඉඩ දෙන්න.”

එසේ ඉල්ලා සිටීමෙන් පසු මම තවදුරටත් මෙසේ පවසා සිටියෙමි. “ඒ අතරම, ඔබ විසින් කරන ලද ඒ සෑම අකටයුත්තකටම මම ඔබට සමාව දෙමි. විශේෂයෙන්ම මගේ පවුලට; මගේ සැමියා දැන් අප අතර නැහැ. ඒ වගේම, මගේ ඥාතිහිතෛෂීන්ට. ඒ වගේම, මගේ රට උඩුයටිකුරු කොට, කනපිට පෙරලීමෙන් කරන ලද මහා විනාශයට, මම සමාව දෙන්නෙමි. අතීතය අතීතයම වේවා! මෙතැන් සිට, අපි සැවොම එක්ව, පිරිසිදු සිතින් නැවත ගමන අරඹමු.”

අපි එතැනින් නතර කළෙමු. දේශනය පවත්වා ගෙන යද්දී, වෙන්වෙන්ව, මට ඔවුන් සෑම දෙනෙකු සමඟම නෙතටනෙත මුණ ගැසුණෙමි. සමහරෙක් හඬාවැටෙනු මම දුටුවෙමි. තවත් සමහරෙකු හැඟීම් විරහිතව ගල් පිළිම මෙන් දිස් විය. දේශනය අවසානයේදී කාන්තාවෝ බොහෝ දෙනෙක් පැමිණ මා වැළඳ ගත්තාහ. ඔවුන් පවසා සිටියේ: “මෙතැන් සිට ඔබ මෙන් අනෙකුත් කාම්බෝජියානුවන් අප හට සමාව දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එය නැවතත් එක්ව විසීමේ මූලාරම්භය වේවා!” “ඔව්! ඔබේ වැඩ කොටස ඔබ ඉටු කරන්න. මගේ කොටස මම ඉටු කර දෙන්නම්. අපි සැවොම එක්ව නැවත කාම්බෝජියාව ගොඩ නංවමු.”

එලෙස කටයුතු කරමින්, එක්ව ඉදිරියට යද්දි, අධ්‍යාපන කේෂ්ත්‍රයේ වුවමනා එපාකම් මොනවාදැයි සොයා බැලීම පහසු වන බව අපේ හැඟීම විය. එක හඬින් ඔවුන් පවසා සිටියේ එයට හොඳ නායකත්වයක් අවශ්‍ය බවය. එය නොමැති බැවින් අධ්‍යාපනය අවුල් ජාලයක් බවට පත්ව ඇති බව ඔවුන්ගේ විශ්වාසය විය. එම නිසා අපි ඔවුන් වෙනුවෙන් නායකත්වය ගොඩනැංවීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කළෙමු. අමෙරිකාවේදී මේස වටා රැස්වී සුවපහසු ඇතිව හිඳගෙන සාකඡචා මගින් සකස් කෙරෙන පාඨමාලාවක් කාම්බෝජියාවේදී ක්‍රියාත්මක කිරීම හරවත් නොවන බව මා වටහා ගත් බැවින් සෑම වාරයකම අපි ඒ සඳහා කාම්බෝජියාවට පැමිණියෙමු. ක්‍රියාවට නැංවෙන දේශයේදීම, එය සකස් කිරීම, වඩාත්ම සුදුසු දේ විය.

       දෙසවන සහ දෙනෙත් විවෘත කර තැබීම

වසර 1991 දී එකඟවූ ‘පැරිස් සම්මුතියට’ අනුව වියට්නාම් හමුදාවන්  කාම්බෝජියාවෙන් ඉවත්ව යාමට කටයුතු සැලසුම් කෙරිණ. ඉන් ඉක්බිති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එකඟත්වයට අනුව ව්‍යවස්ථානුකූල රජතුමෙකු යටතේ බහු පාර්ශ්වික ප්‍රජාතන්ත්‍රවාදී රජයක් කාම්බෝජියාවෙහි ස්ථාපිත කිරීම සඳහා යොදාගත් වැඩ පිළිවෙල නිසියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි නිරීක්ෂණය කිරීමට පත් කරන ලද කමිටුවෙහි සාමාජිකාවක් ලෙස රෙනී / බෝධිපාල තෝරා ගැණින. මිනිසෝටාවේ තමා නිරතව සිටි රැකියාවෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඇය කාම්බෝජියාවේදී මැතිවරණ නිලධාරිණියක්, පරිවර්තකයෙක්, පරිගණක තාක්ෂණික ශිල්පිණියක් හා පරිපාලිකාවක් යනාදී වශයෙන් යෙදී සිටි කටයුතු වලට අමතරව, විශේෂයෙන්ම, ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස කටයුතු කිරීමට ඈ පෙළඹුණේ සිය සැමියා තවමත් ජීවතුන් අතර සිටී නම් ඇගේ කටහඬ ඔහුට හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි යන අපේක්ෂාවෙන්ය.

       ඔබේ සැමියා ගැන තොරතුරක් ලැබුණේම නැද්ද?

නැත. ඔහු දැරූ ප්‍රසිද්ධිය නිසා ඔහු ගැන සොයා බැලීම ඉතාමත් අසීරු කටයුත්තක් විය. ඒ ගැන ඔබ අසන ප්‍රශ්න කොතැනකින් කෙළවර වේදෝයි යනු සැක සහිත විය. එය හිතවතුන් හෝ විරුද්දවාදීන් අතට පත්වීමට තිබූ ඉඩකඩ බොහෝ විය. අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳ තොරතුරු සොයා බැලූ රතුකුරුස සමාජයටවත් ඔහුගේ නම හෙළිකිරීමට සිහිනෙකින්වත් මම නොසිතුවෙමි. එය එතරම් භයානක විය. එනමුත් මා මුළු හදින්ම ඔහු සොයමින් සිටියේ දෙසවන් හා දෙනෙත් විවෘතව තබා ගනිමින්ය.

මැතිවරණය සඳහා සූදානම් වෙද්දි රටපුරා එම සංවිධාන කටයුතු මෙහෙයවූ නිලධාරීන්ගේ පරිවර්තකයෙකු ලෙස කටයුතු කිරීමට මා ස්වේඡ්චාවෙන්ම ඉදිරිපත් වූයේ එම ගමන්බිමන් වලදීවත් ඔහු පිළිබඳ තොරතුරක් දැනගැනීමට හැකිවේයයි යන බලාපොරොත්තුවෙන්ය. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් සමඟ රට පුරා සැරිසරමින් රහස්‍ය තොරතුරු එක්රැස් කිරීමෙහි යෙදී සිටි කේ. ජී. බී. සහ සී.අයි. ඒ. වැනි චරපුරුෂ සංවිධාන ක්ම‍ර් රුජ් වරුන්ගේ පාපෝච්චාරණ සටහන් කර ගනිද්දි ඒවා පරිවර්තනය කිරීම සඳහාද මම එක් වූයෙමි. සමහර විට අපට අසන්නට ලැබුණේ ඉතාමත් බිහිසුණු අන්දමේ සමූලඝාතනයන් පිළිබඳ තොරතුරුය. ඇසීමට පවා බිය ගෙනදෙන එම විස්තර පිළිබඳ මතකයන් දවස අවසානයේදී සිතෙන් අත්හැර දැමීමට අපි පුරුදු වූවෙමු. ‘ඒවා මනසෙහි රඳවා ගතහොත් ඔබට සිදුවන හානිය සුළුපටු නොවේ.’

දූෂණ මැඬපැවැත්වීමේ අදහසින් නීතිවිරෝධී ක්‍රියා සිදුවන්නේදැයි සොයා බැලීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත හදිසි කඩාපැනීම් වලටද අපි සහභාගි වීමු. එය භයානක කටයුත්තක් විය. ඇතැම් විට අපේ පැමිණීමට පැය කිහිපයකට පෙර දේශපාලන කටයුතුවල නියැළුනු ප්‍රතිවාදීන් මරා දමා දූෂණ හෙළිදරව් කර ගැනීමට තිබූ සාක්ෂි සියල්ලම විනාශ කර දැමීමට තරම් ඔවුන් සැහැසිවූහ. කිසිම දැනුම් දීමකින් තොරව දියෙන්, ගොඩින්, අහසින් එම ස්ථාන වලට කඩා පැණීම අපේ පරමාර්ථය විය. මම රට වෙනුවෙන් කළ දෑ බොහෝය. වංචනික ක්‍රියා තුරන් කිරීමේ අදහසින් රජයේ සහ හමුදාවේ වැටුප් ගෙවීමේ ක්‍රමය පරිගණක ගතකොට එමගින් දූෂණය රජකළ පරිපාලන සේවා කටයුතු යහමඟට ගෙන ඒමට කටයුතු සැලැස්වීමි. මගේ රට වෙනුවෙන් යමක් කිරීමට හැකිවීමෙන් මා ලත් තෘප්තිය ඉමහත්ය.

මෙහෙණියක ලෙස ජීවිතය ගත කරන මෙම කාලය මගේ ජීවිතයේ වැදගත්ම කාලපරිච්ඡේදයයි. රට භේදභින්න වෙමින් ප්‍රපාතයට ඇදවැටෙන සමයක ඒවායින් කළකිරීමකට පත්නොවී මෙහෙණියක් ලෙස ජීවිතය ගත කිරීමට කාලයක් ලැබේයයි මම සිහිනෙකින්වත් නොසිතුවෙමි. 1994 වසරේ ‘හෙම් හොම්’ මගේ ගුරු ස්වාමීන් වහන්සේ ඔත්පලව රෝහල් ගතව සිටිද්දි උන්වහන්සේ මට මෙසේ පැවසූහ: “ඔබ මෙහෙණියක් වෙනවා දැකීමටයි මගේ කැමැත්ත. එයට කොපමණ බාධා ඇත්දැයි ඔබ සිතනවාද?”එතැනදී මම උන්වහන්සේට පවසා සිටිසේ : “මට තවමත් වගකීම් රාශියක් පැවරී තිබෙනවා. බාධකයයි කිව හැකි කොටස 15% වඩා නැහැ.”

එක්සත් ජාතීන්ගේ සංවිධානය රට හැර යාමෙන් පසුවත්, මා රට තුළ රැඳී සිටිමින් විවිධ සංවිධාන කටයුතු වල නිරතව සිටියේ ඒ සඳහා කිසිදු වේතනයක් බලාපොරොත්තු නොවෙමින්ය. භාවනාව මගින් ලබා දිය හැකි සෙත මා වටහා ගෙන සිටි බැවින්, භාවනාව පිළිබඳ හොඳ ගුරු උපදේශක ස්වාමීන් වහන්සේ නමකට අයත් බැටම්බෑන් නගරයේ පිහිටි ආරණ්‍යයක, එහි වැඩ වාසය කළ මා මිත්‍ර ‘නැට්නේරි’ ජ්‍යෙෂ්ඨ මෙහෙණින් වහන්සේ සමඟ එක් වෙමින් ‘මානසික සනීපාරක්ෂා උපදේශක සේවය’ නමින් ව්‍යාපෘතියක් ආරම්භ කළෙමි. යුද්ධ සමයේදී සිදුවූ විනාශය හේතු කොට ගෙන ඒ වන විට කාම්බෝජියාවෙහි මානසික රෝහල් කිසිවක් ඉතිරිව නොතිබිණි. හොඳ භාවනාව ගුරු උපදේශකවරයකුගේ  උදව් උපකාර ලබා ගත හැකි ස්ථානයක් ඇසුරු කර ගනිමින්, භාවනාවෙන් ලබා දිය හැකි සහනයත්, මනෝචිකිත්සාවත් ඒකීකරණය කිරීම මගේ අදහස විය. එකල, නැට්නේරි මෙහෙණියගේ සහ එම ආරණ්‍යයේ අධිපති ස්වාමීන් වහසන්සේගේ පිහිටාධාර පැතීම සඳහා මානසික රෝගීන් සෑහෙන පිරිසක් ආරණ්‍යයට පැමිණෙමින් සිටියෝය. රෝගීන් සමඟ කටයුතු විධිමත් කිරීම සඳහා සැලැස්මක් ක්‍රියාත්මක කොට, රෝගීන් වැඩි පිරිසකට ආධාර කිරීම් වස් අධිපති ස්වාමීන් වහන්සේට සහාය වනු පිණිස ස්වාමීන් වහන්සේලා සහ මෙහෙණින්  වහන්සේලා දාහත් නමක් මානසික උපදේශක වරුන් ලෙස පුහුණු කරවීමි.

වසර 1996 දී දඹදිව සංචාරයක් සඳහා ආරාධනයක්, මහාඝෝෂානන්ද ස්වාමීන් වහන්සේගෙන් මා ලදිමි. පිටත් වීමට සති තුනක් පමණ තිබියදී මට මෙවන් අදහසක් පහළ විය. “බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට යන මේ ගමනේදී උන්වහන්සේට පූජා කළ හැකි උතුම්ම දෙය මොකක්ද?” මගේ කෙස් කළඹ බුදුරජාණන් වහන්සේට පූජා කොට, මෙහෙණියක් බවට පත්වී, උන්වහන්සේ යටතට පත්වීමට මම තීරණය කළෙමි. එහෙයින්, මා අමරාවතියට පැමිණෙන විට, සුදුවත දැරූ දසසිල් මෑණියක් බවට මම පත්ව සිටියෙමි.

       මල, මල, මල

වසර 1997 දී සිදුවූ කුමන්ත්‍රණයකින් පසු කාම්බෝජියාවේ හමුදා රජයක් පිහිටුවීම ගැන මම ඉතා කණස්සල්ලෙන් පසු වූයෙමි. සදාචාර පුනරුත්ථාපන සංවිධානය සමඟ සාකච්ඡා කිරීමට අමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන ලෙස ආරාධනයක් මට ලැබිණ. කාම්බෝජියාවට යන අතර මඟදී ස්විට්සර්ලන්තයේ දින කිහිපයක් මට නතර වීමට සිදු විය. එහිදී, අමරාවතියට පැමිණෙන ලෙස ආරාධනයක් ඩේවිඩ් චැනර් මහතාගෙන් මට ලැබිණ.

       අමරාවතියට පැමිණි විට ඔබට ඇතිවූ හැඟීම් මොනවාද?

මෙහි පැමිණි විට මට දැනුණේ ඉමහත් සැනසීමක්. ඒ ආ සැණින් මම ‘තානියා’ සිල් මෑණියන් හමුවී මට කසාවත පෙරවීමට ඇත්නම් යෙහෙකැයි පවසා සිටියෙමි. නමුත් එය සිතූ පලියට එකවර සිදු කළ හැකි දෙයක් නොවන බව මා වටහා ගත්තේ පසුවදීය. සමහර විට මහණ දිවියේදී නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවේ. මෙතැන ඇත්තේ මා හැදුණු වැඩුණු සංස්කෘතියට වඩා බෙහෙවින්ම වෙනස් සංස්කෘතියක්ය. මෙතෙක් කල් සමාජීය මට්ටමින් මා දැරුවේ ඉහළ තනතුරුය. නමුත් මා දැන් සැණින් පත්වී සිටින්නේ කුස්සියේ පිඟන් සෝදන්නියකගේ, වැසිකිළි සුද්දකරන්නියකගේ තත්ත්වයටය. නමුත් මා ශ්‍රද්ධාවෙන් මුහුකුරා ගිය තැනැත්තියක් නිසා ඒ සියල්ල ඉවසා දරා ගැනීමට මට හැකියාවක් ඇත. මගේ දයාබර සැමියාගේ වියෝවෙන් හටගත් මා හද පෙළන වේදනාව සමඟ සසඳා බැලීමෙන් පසු අනෙක් පුද්ගලයින් සමඟ වාසය කරද්දී පැන නැගෙන ප්‍රශ්න මගින් ඇති කෙරෙන වේදනා ඉතා පහසුවෙන් මට විඳ දරා ගත හැකි විය. ඔහු මියගොස් ඇති බව ඔබේ ඇස් ඉදිරිපිටදී දැකගත හැකිවී නම් ඔබට ඉදිරියට යා හැකිව තිබිණ. එහෙත් එය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගත හැකි නොහේ නම් එම දුක කෙසේ වාවාගන්නද? එය ඉතා බැරෑරුම්ය. නමුත් දැන් – ඒ සියල්ල මනස හැර ගොසින්ය.

මෙතැන අනෙකුත් පුද්ගලයින් සමඟ වාසය කරද්දි, තවතවත් පුහුණුවෙහි යෙදෙද්දි, ඔබේ සංවේදිතාවය බොහෝ සෙයින් තියුණු වන්නේය. මා කෙරෙහි අනෙතුත් අය තුළ මතුවන හැඟීම් එතරම් සුභදායක නොවන බව මට හැඟුණු හැටවිටම, “මම ඔබේ සිත රිදවූයේදැයි” ඇසීමට මම කිසි විටෙක පසුබට නොවන්නෙමි. එවැන්නක් සිදුවී ඇති බව දැනුණු මොහොතේම, එය නිවැරදි කර ගැනීම සඳහා “සමාවෙන්න, මා එය සිතාමතා කළ දෙයක් නොවේ” යනුවෙන් සමාව අයැද සිටින්නෙමි.

ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට හැකියාවක් ඇති කර ගැනීමට මට සිදු විය. මුලින්ම මට පැවරුණු රාජකාරිය වූයේ බුද්ධ පූජාව සඳහා මල් සකස් කර තැබීමය. උදෑසණ වැඩ රාජකාරි සඳහා වෙන්වූ කාල සීමාව තුළදී එම කටයුත්ත, වැඩිහිටි සිල් මෑණිවරුන්ගේ නියමයන්ට අනුව අවසන් කිරීමට කාලවේලා මඳවූ හෙයින්, ඒ සඳහා අමතර කාලයක් ගැනීමට මට සිදු විය. මෙය මෑණිවරුන්ගේ උදහසට ලක්විය. වෙන් කර ඇති කාලයට අමතරව, භාවනාව සඳහා යෙදිය යුතු කාලය ඒ වෙනුවෙන් මිඩංඟු නොකරන ලෙස ඔවුන් මට අවවාද කර සිටියහ. එය මගේ භාවනාවට මහත් බාධාවක් විය. භාවනාවට හිඳගත් හැමවිටම මගේ මනසෙහි මතුවූයේ මල් පිළියෙල කිරීමේ ප්‍රශ්නයයි. මල්වර්ග සහ ඒවායේ වර්ණ වලට අනුව, කොලත් සමඟ මිශ්‍ර කරමින් මල් බඳුන් හැඩගන්වන්නේ කෙසේදැයි යනුවෙන් මම හැමවිටම කල්පනා කළෙමි. එම නිසා මන්ත්‍රයක් ලෙස ‘මල’ යන වචනය පාවිච්ච් කිරීමට මම පුරුදු වූවෙමි. භාවනාවේදී ‘බුද්ධෝ’, ‘බුද්ධෝ’, ….. යනුවෙන් සිතින් සිතනු වෙනුවට මම ‘මල’, ‘මල’, ‘මල’, ….. යනුවෙන් ජපකරන්නට වීමි. ඇත්තෙන්ම එය සාර්ථක විය. මගේ මනස තැන්පත් විය, නිසල විය, නිහඬ විය. මනස යම් කිසිවක ඇලී ගත් විට එය නතර කිරීම සඳහා, තවදුරටත් මනසට එය සමඟ පැටලීමට ඉඩ නොතබමින්, එම දෙයම මන්ත්‍රයක් සේ ජපකිරීමට මම පුරුදු වූවෙමි.

       එය හැරෙන්නට, ඔබේ ශරීරය හෝ හුස්ම, මන්ත්‍රයක් ලෙස ඔබ භාවිතා කළේද?

ආනාපාන සතිය වඩද්දි ඉහළට පහළට යන හුස්මත් සමඟ ‘බුද්ධෝ’, ‘බුද්ධෝ’ වැනි අර්ථවත් වචනයක් යොදා ගැනීමට හා ඒ අතරතුර ඇස, කන, නාසය ආදී බාහිර ආයතන හයෙන් හට ගන්නාවූ සෑම දෙයක් ගැනම සිහියෙන් සිටිමට මම උපදෙස් ලබා සිටියෙමි. එහෙත් මගේ මනස ඇති කරන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා මම මගේම මන්ත්‍රයක් යොදා ගතිමි. එය උපයෝගි කර ගනිමින් තවදුරටත් සිතිවිලි මතු නොවන තෙක් මනස අස්වසාලීමට පුහුණු වූවෙමි. මෙහි ගත කළ මුල් මාස දෙක තුළදී නිහඬතාවය මගේ ප්‍රධාන අරමුණ ලෙස භාවිතයට ගතිමි. මුලදී එය තීව්‍ර කර ගැනීම මඳක් අපහසු වූවත් එය ගැඹුරට විහිදී යනු මම අත්දුටුවෙමි.

       එදා පටන් අද දක්වා භාවනා අරමුණ සඳහා ඔබ යොදා ගන්නේ නිහඬතාවයේ හඬද?

ආධාරකයක් ලෙස එහි ඇති වැදගත්කම මම හොඳින් වටහා ගෙන ඇත්තෙමි. මනස විසිරී නොයන තාක් කල් මම එය භාවිතා කොට, මනස නොසන්සුන් වූවිට, නැවත මන්ත්‍රයේ පිහිට සොයා යන්නෙමි.

මම මගේ මවටත් නිහඬතාවයේ හඬට සවන් දීමට ඉගැන්වූවෙමි. ඇය මිය යාමට ප්‍රථම අප අතර තිබූ ගැටළු කිහිපයක් විසඳා ගැනීමටද මට හැකි විය. ඉතා දීර්ඝ කාලයක් තුළ මගේ මව සමඟ හෝ වියට්නාමයේ සිටි අනෙකුත් නෑසියන් සමඟ කිසිඳු සම්බන්ධතාවයක් නොපැවැත්වීම පළමුවැන්නයි. මා ජීවත්ව සිටීදැයි නැත්දැයි දැනගැනීමට නොහැකිවීම නිසා එම කාලය තුළ ඔවුන් විඳි දුක ඉමහත්ය. ඉතා කුඩා අවධියේදීම මා අන් අයෙකුට පවරා දීමෙන් ඇය කරන ලද්දේ සාපරාධයක් යයි සිතමින් මගේ මව විඳි දුක දෙවැන්නය.

වියට්නාමයේ සිටි මගේ දෙමාපියන් සමඟ වසර 1993 දී නැවත සම්බන්ධකම් ඇති කර ගැනීමට ගත් තීරණයට ප්‍රථමයෙන්, සත්‍ය වශයෙන්ම මා හද තුළ වූයේ, කොමියුනිස්ට්වරුන් කෙරෙහි මා දැක්වූ වෛරය නිසා යම් අන්දමක හෝ ලිපි හුවමාරුවක් සිදු වූයේ නම් ඔවුන් මගේ දෙමාපියන්ට වධ හිංසා පමිණුවනු ඇතැයි යන බියය. ඒ අතර, ලාබාල වියේදීම මා පිටස්තරයෙකුට පවරා දීම නිසා මා ඇයට වෛර කරමින්, ඇයව ප්‍රතික්ෂේප කරන බවක හැඟීමක් මගේ මව ඇති කර ගෙන සිටියාය. ඇය මගේ වීරවරිය ලෙස මා සලකා ගෙන සිටි බව ඇය නොදැන සිටියාය. මම ඇයට පැවසුවේ: “අම්මේ, අම්මා මාව කාටවත් දුන්නේ නැහැ – මමයි ඒකට අම්මගෙන් අවසර ඉල්ලුවේ. අම්ම ඒකට දුක් වෙන්න එපා. බලන්න, ඒකෙන් මම කොයිතරම් ප්‍රසිද්ධ කාන්තාවක් වුනාද කියල? මට යන්න අවසර දුන්න එක ගැන ඇත්තටම මම අම්මට පිං දෙනවා.” ඈ මිය යාමට ප්‍රථම මම ඇගෙන් සමාව ලබා ගතිමි.

ඔවුන් බැහැදැකීමට නැවත වියට්නාමයට මා යන විට ඔවුන් ජීවත්වූයේ කුඩා පැල්පතකය. දරුවන් නව දෙනෙකු හදාවඩා ගැනීම සඳහා තම මුළු ජීවිතයම කැප කොට දැන් මේ මහළු වයසේදීත්, අහස වහලයක් කොට ගත් පැල්පතක ජීවත්වෙනු දැකීමෙන් මම බලවත් ලෙස කම්පාවට පත්වීමි. මම ඇයට නිවසක් තනා දුනිමි. එය ගඩොලින් බැඳි මාලිගයක් බවට පත්විය. ඒ මා මුළු ජීවිතයටම කළ වැදගත්ම දෙයයි. මටය කියා නිවහනක් නොතිබියදීත් මගේම මුදලින් මම ඒ නිවස ඔවුන්ට තනවා දුනිමි. මගේ දෙමාපියන් එයින් ඉමහත් සතුටට පත්වූහ. එය දැකීමෙන් විශ්මයට පත් ගම්වැසියෝ “දුවක් මේ ගේ හදල දුන්න? මේ වගේ ගෙයක් හදල දෙන්න පුළුවන් වෙන විධියට ඔබ කොහොමද දුවක් හැදුවෙ?”

මගේ භාවනාව දියුණුවෙන් දියුණුවට පත්විය. යුතුකම් පැහැර හැරීමේ අසහනයෙන් මම මිදුනෙමි. ඔබට කළ හැකි දෙය ඔබ කළා. මගේ පියාගේ අවමඟුලට සහභාගිවූ සෑම දෙනෙකුටම නවාතැන් ගැනීම සඳහා එම නිවස ප්‍රමාණවත් විය. ඊට ඉහත තමන්ගේය කියා එවැනි තැනක් ඔවුන් සතු නොවීය.

සිහියෙන් සිටීමයි ඉතා වැදගත්.’ මාස කිහිපයකට ඉහතදී ඔබේ මව මිය ගියා. ඔබ ඇයට භාවනාව ඉගැන්නුවාද?

ඇත්තෙන්ම ඔව්. එතෙක් මා අත්හැර දමා තිබූ වියට්නාම් පාර්ශවය සමඟ සබඳකම් ප්‍රකෘතිමත් කර ගැනීමට ධර්මය මට බෙහෙවින් උපකාර වූවා. මගේ මව භාවනාවට යොමු කිරීමට මට බලවත් අවශ්‍යතාවයක් විය. මගේ සිත ප්‍රශ්න කර සිටියේ: “මගේ අම්මට මම ණයගැතියි. ඇය මගේ මුල්ම ගුරුතුමියයි. ඇයට උදව් කිරීමට දැන් මට කළ හැකි දේ මොකක්ද?” ඇය මිය යාමට දෑ අවුරුද්දකට කලින් මම ඇයට භාවනාව ඉගැන්වූවෙමි. මම ඇය අසලට වී සිටින විට ඇයට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වූයේ රසවත් කෑමක් ගැන කථා කිරීමට හා සිදු වූ පැරණි දේවල් අසා සිටීමටත්ය. මා සිතා ගත්තේ: “දැන්ම මම යමක් කළ යුතුයි. මම ආවෙ කෑම ගැන කථා කරමින් ඉන්න නෙවෙයි.”

මම දිනක් පාන්දරින්ම ඇගේ ඇඳ ළඟට ගොස් මෙසේ පවසා සිටියෙමි. “අම්මේ, මට අම්මත් එක්ක බෙදාගන්න දෙයක් තියෙනවා. මම මහණවුන දවසෙ ඉඳල ඉගෙන ගත් දේ මෙන්න මේකයි. මෙන්ම මෙහෙමයි මම මරණයට මුහුණ දෙන්නෙ, මෙන්න මෙහෙමයි මම ජීවිතය හදා ගන්නෙ කියන එක. අම්ම කැමතිද  බුදුරජාණන් වහන්සේ ළඟට වෙලා ඉන්න?” “ ඔව්! මම ඒකට නම් බොහොම කැමතියි.” එවිට වැඩි විස්තර කිරීමකින් තොරව මම ඇගෙන් අසා සිටියේ: “හොඳට අහගෙන ඉන්න කොට අම්මට යම්කිසි සද්දයක් ඇහෙනවද?” “ඔව්, ඔව් මට ඇහෙනව බල්ලෝ බුරනවා. පළගැටියන්ගේ සද්දේ …….” “ නෑ. නෑ අම්මෙ ඒ සද්ද නෙවෙයි. තව හොඳට අහගෙන ඉන්න.”  අවසානයේදී ඇයට යම්කිසි ශබ්දයක් ඇසෙන්නට විය. ඇය ඒ ගැන  ප්‍රශ්න කරන්නට වූවාය. “මේ රැහැයියන්ගෙ සද්දෙද? සද්දයක් නම් දිගින්දිගටම ඇහෙනව වගේ තමයි. ඒකද ඒ සද්දෙ?”

“අන්න ඒක තමයි, අම්මෙ ඒක තමයි සද්දෙ. ආයිමත් අහගෙන ඉන්න” යයි මම ඇයට පවසා සිටියෙමි. ටික වේලාවකට පසු ඇය කියා සිටියේ: “ඔව් ඒක එකදිගටම ඇහෙනවා. ඒ වුනාට ඒක දුක හිතෙන සද්දයක්. වෙනස් වෙන්නෙ නැහැ. එක වගේමයි.” “ඔව් අම්මෙ මුලදි ඒක ඇහෙන කොට දැනෙන්නෙ දුකක් වගේ තමයි. දිගටම ඒක අහගෙන ඉන්න පුරුදු වුනාම ඒක වෙනස් වේවි. අනික ඔය ටෙලිනාටක බලබලා ඒවා අහගෙන ඉන්නවට වඩා කොයිතරම් හොඳද?”

දෙවෙනි දවසේ ඇය සිටියේ ඉතාමත් ප්‍ර‍බෝධමත් ගතියකින්. ඇය මගේ සොහොයුරියටත් එය ඉගැන්වීමට පටන් ගත්තා. “මම කියන දේ අහන්න, අහගෙන ඉන්න. ඒ සද්දෙ ඇහෙන්න නම් හොඳ සිහියෙන් අහගෙන ඉන්න ඕනෙ. නැත්නම් ඒ සද්දෙ ඇහෙන්නෙ නෑ. අන්න! හොඳ සිහියෙන් ඉන්න. බලන්න එහෙම නේද කියල?” මම ඇයට පන්සිල් පද හොඳින් තේරුම් කර දී පසුව ‘සුගතෝ’ යන මන්ත්‍රයද පහදා දුනිමි.

ඇය අවසන් හුස්ම හෙලද්දි නෑදෑයින් සියල්ලෝම එතැනට රැස්ව සිටියහ. එතැන පැවතුනේ බලගතු නිහඬතාවයක්ය. ඇය දෑස පියා ගත්තා; එපමණින් එය අවසාන විය. රැස්ව සිටි සැමගෙන් මා ඉල්ලා සිටියේ ඇය භාවනාව සඳහා යොදාගත් මන්ත්‍රය සජ්ඣායනය කරන ලෙසටය. මුළු කාමරයම ‘සුගතෝ’, ‘සුගතෝ’, ‘සුගතෝ’ හඬින් ඒකනින්නාද විය. සෑම දෙනෙක්ම සිටියේ හොඳ සිහිබුද්ධියෙන් යුක්තවය. ඈ මිය ගියේ අන්න ඒ ආකාරයටය.

වසරේදී නැවත කාම්බෝජියාවට යෑමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මා මුලින්ම භාවනාව හැදෑරූ ආරණ්‍යයේ වස් තුන් මාසය ගත කළා. කාම්බෝජියානු වැසියන්ගේ දුක තුනී කර ගැනීමට ආධාර කිරීමේ අටියෙන් ඔවුන්ට භාවනා ප්‍රගුණ කරවීමට මට අවශ්‍යව තිබුණා. ඔවුන්ගේ සැපදුක් සොයා බැලීමටත්, රටේ තොරතුරු දැනගැනීමටත් අවස්ථාවක් මට එයින් ලැබුණා. අවුරුදු නවයකට පසු, පුරා මාස හතරක පමණ දිගු කාලයක්, අමරාවතියෙන් පිටත ගත කළ මුල් වතාවයි ඒ. මෙතැන ජීවිතය සුවපහසු වූවත්, එය මා සැලකුවේ, ඔවුන් වෙනුවෙන් ඉටු විය යුතු සේවයක් ලෙසටයි.

තවදුරටත් කාම්බෝජියාවේ නතරව සිටිමින් රට ගොඩ නැංවීමට වෙහෙසෙන මගේ මිත්‍රවරුන්ට, ගිහිගෙයින් ඉවත්වූ මෙහෙණයක් ලෙස උදව් උපකාර කිරීම වඩාත් පහසු බව මට එහිදී පෙනී ගිය තවත් දෙයක්. ඒ වගේම ඔවුන් වෙත අළුතින් යම් අදහසක් ඉදිරිපත් කිරීමට මා අපොහොසත් වූවත්, දැන් මම මේ ලබන පුහුණුව තුළින් යමක් ඔවුන් වෙත පිරිනැමීමට හැකි බව මට හොඳින් වැටහෙනවා. සමහර විට ඔවුන් මම ආත්මාර්ථකාමි පුද්ගලයෙකු ලෙස සැලකීමට ඉඩ තිබෙනවා. එහෙත් මා දැන් ජීවත්වෙන්නේ සැනසීමකින් හා ප්‍රීතියකින් නොවේ නම් අන් අයට මට සාමයක් සැනසීමක් ළඟා කරදිය හැකිද? පළමුව ඒ සැනසීම මා තුළ ගොඩනගා ගත යුතුයි. විශේෂයෙන්ම, මා ඉහත සිටි තත්ත්ව ගැන සලකා බලද්දි, වෙන දෙයක් කරනවාට වඩා මම දැන් කරන දේ, වඩා ප්‍රවේශම් සහිත බව මට හැ‍ඟෙනවා. මා සිල් මෑණියක් නිසා කෙනෙකුගෙන් යමක් මම බලාපොරොත්තු නොවන බව මේ මිනිසුන්ට තේරුම් ගැනීමට පහසුයි. මගේ සැමියා එරට ඉමහත් ජනාදරයට පත්ව සිටි අයෙකු වීම නිසා මට ඇත්තේ විශාල ජනප්‍රියත්වයක්. එම නිසා රජය සමඟ එක් වීමෙන් මට රටට විශාල සේවයක් කළ හැකි බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. නමුත් තවත් සමහරෙකුට ඇත්තේ භීතියක්; මා ඔවුන්ගේ පිඟානෙන් කොටසක් අයිති කර ගනීයයි සැකයක්. මට ඒ කිසිවක් අවශ්‍ය නැහැ. ඒ නිසා මේ ක්‍රමය වඩා ප්‍රායෝගිකයි.

       ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් පිරිසුදු හදවතකින් කාම්බෝජියානු ජනතාවට උදව් උපකාර කිරීම දැන් ඔබේ පරමාර්ථයද?

සම්පූර්ණවශයෙන්ම ධර්මය පමණයි. කාම්බෝජියානු වැසියන් පමණක් නොව මා අභිමුඛයට පැමිණෙන ඕනෑම කෙනෙකුට පිහිටවීම මගේ එකම පරමාර්ථයයි.

සිල් මෑණියක් ලෙස අමරාවතියෙහි මා ජීවිතය ගත කරන්නේ ඉමහත් ප්‍රීතියකින්. භාවනාවට යෝග්‍ය වාතාවරණයක් සලසන මෙතැන පුහුණුවීම සදහා කදිම ස්ථානයක්. මෙතැන ජීවිතයෙන් මා ලබන තෘප්තිය වචන වලින් විස්තර කිරීම අපහසුයි. හොඳයි එතැනින් මා නතර වෙන්නම්.

Leave a comment