අජාන් සුමේධො ස්වාමීන් වහන්සේ– පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්
මනස අවුල් කරන හැඟීම් එක්ක ඒ කාලෙ මගේ තිබුණෙ බලවත් පිළිකුලක්. ඒ වෙනුවට නිරවුල් මනසකට, විශ්වාසනීය මනසකට මම ඇලුම් කළා. කිසියම් හේතුවක් නිසා මගේ මනස අවුල් වුනාම ඒ අවුල් සහගත තත්වය නිසා ඇතිවන නොයෙකුත් මනෝභාවයන් තුරන් කර ගන්න උදව්වෙන, මොනයම් ආකාරයක හෝ පැහැදිලි පිළිතුරක් සොයාගන්න, මම හැමවිටම වෑයම කළා. ඒව මගහැරල, මනසට වෙන දේක පැටලෙන්න ඉඩ දෙන්න හරි, තව කෙනෙකුට කියල ඒවට හොඳ පිළීතුරක් ලබා ගන්න හරි මම මහන්සි ගත්ත. දැන උගත් අයගෙන්, ලොක්කන්ගෙන්, ගුරු ස්වාමීන් වහන්සේලාගෙන් මම බලාපොරොත්තු වුනා “ඒක හරි, ඒක වැරදියි, ඒක හොඳයි, ඒක නරකයි” කියල මං ලඟට ඇවිත් පෙන්නල දෙයි කියල. මට හැදෙන්න වුවමනාව තිබුණ. ඒ නිසා මට අවශ්‍ය කර තිබුණ, මට විශ්වාස කරන්න පුළුවන්, මම ගරු කරන, යම්කිසි ගරුසර ඇත්තෙක් ලව්ව මාව යහ මඟට යොමු කරවා ගන්න.
බොහොම වෙලාවට අපි හිතනව හොඳ ගුරුවරු, භාවනා වැඩසටහන්, සිල්පද, තුන් සරණය හෝ මහා සංඝරත්නය අපේ ප්‍රශ්න ඔක්කොම විසඳල දීල, අපි සතුටට, සැනසීමට පත් කරයි කියල. අපි පිටතට අත පාගෙන ඉන්නව මේ දේ හෝ අර දේ හෝ අපට වුවමනා කරන දේ හෝ ඉටු කර දේය කියන බලාපොරොත්තුවෙන්. මේක හරියට දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙනව වගේ, ඇවිත් අපිව මේ කරදර වලින් මුදවා ගනී කියල. නමුත් දෙවියො ඇවිත් අපේ මේ ප්‍රශ්න ටික විසඳා නොදුන්නාම, ඊලඟට අපි තවදුරටත් දෙවියො විශ්වාස කරන එක අත්හැරල දානව. “මම දෙවියන්ගෙන් ඉල්ලා හිටිය මට උදව් කරන්න කියල, කෝ නැහැනෙ පැත්තවත් බැලුවෙ”. වැඩිහිටි අපිත් ජීවිතය දිහා බලන්නෙ පොඩි ළමයින් වගේමයි. අපි නොයෙකුත් ප්‍රශ්න පටලවාගෙන ඉන්පස්සෙ බලාපොරොත්තු වෙනව, අම්මි හරි තාත්ති හරි ඇවිත් අපි හැඩි කර ගත්තු දේවල් සුද්ද කර දේවිය කියල. අනේ පව්!
අපිත් එක්ක හිටිය එක අමෙරිකානු මෙහෙණියක් අපෙන් අයින් වෙලා, මූලධර්මවාදි ක්‍රිස්තියානි කල්ලියකට එකතු වුන බව දැනගත්තාම, අවුරුදු ගණනාවකට ඉස්සර, වරක්, මම හොඳටම හිත නරක් කර ගත්ත. ඇත්තටම, මම ඒ දවස්වල වෙනත් සිල්මෑණි කෙනෙකුට ඇගේ ගුණ වර්ණනා කරමින් හිටියෙ. “ඇය හරිම හොඳ කෙනෙක්, ඇයට හොඳට දැනුම තේරුම තියෙනව, ඇගේ හදවත හරිම පිරිසිදුයි, ඔබේ මහණ ජීවිතයේදි ඇය ඔබට ආදර්ශයට ගත හැකි හොඳ සිල්මෑණි කෙනෙක් වේවි.” නමුත් ඇය අපෙන් වෙන්වුන ආරංචිය දැන ගත්තාම මට කර කියා ගන්න දෙයක් නැති වුනා. ඇත්තටම මම ලැජ්ජාවට පත්වුනා. “ඇය කොහොමද මේ වගේ දෙයක් කළේ?” කියල මම හිතහිත ඉන්න පටන් ගත්ත. “කොහොමද ඇය මේ වගේ තත්වයකට පත්වුනේ?” කියල, බැරිම තැන, මම මේ ගැන මගේ අජාන් චා ගුරු ස්වාමීන් වහන්සේගෙන් ඇහැව්ව. උන්වහන්සේ මා දිහා බලල, අමුතු විධියෙ දඟකාර හිනාවකුත් එක්ක මට කිව්ව, “සමහර විට එයා හරි ඇති කියල.”
උන්වහන්සේ මට පෙන්නල දුන්න, මම මේ කරන දේ ඉඳගෙන: ‘මගේ තත්වය ආරක්ෂා කර ගන්න, අනුන් අවිශ්වාස කිරීමේ හැඟීම් වලින් බරවෙලා, පැහැදිලි උත්තරයක් බලාපොරොත්තුවෙන්, හිත හදා ගැනීමට වුවමනාවෙන්, ඇය බුද්ධාගම පාවදුන් බවට උන්වහන්සේගේත් අනුමතිය අපේක්ෂාවෙන්,’ මම හැසිරෙන ආකාරය ගැන. මම මෙතැන ඇති පැටලීම දිහා ඇස් ඇරල බලන්න පටන් ගත්තෙ එතකොටයි. මම ඒ සිදුවුන දේ සම්පූර්ණයෙන්ම පිළිගන්න, එයට ඒ විදියට පවතින්න ඉඩදෙන්න පටන් ගත්තාම, මගේ හිතේ තිබුණ තද ගතිය පහව ගියා. ඒ මානසික පැටලීම, ඒ ආකාරයෙන්ම පිළිගැනීම තුළින් එය මට තවදුරටත් ප්‍රශ්නයක් වුනේ නැහැ. එහි බලපෑම ටිකින්ටික මතකයෙන් මැකී ගියා. මනසෙ මතුවුන ඒ අවුල් සහගත ස්වභාවය අත් නොවිඳ ඉන්න, මා දැරූ උත්සාහය මට එයින් පෙනී ගියා.
භාවනාවෙදිත් අපට මේ වගේ ගැටළු සහගත අවස්ථා වලට මුහූණ දෙන්න සිද්ධ වෙනව. ඊලඟට මොකද කළ යුතු කියල හිතා ගන්න බැරි අවස්ථා එමටයි. පුහුණුවීම ගැන, අපි ගැන, ජීවිතය ගැන, පැටලිලි සහගත හැඟීම් මතුවන අවස්ථා, ඉන් සමහරක්. අපි පුහුණු වෙන්නෙ, මේ මානසික තත්වයන් තල්ලු කර දාන්න නෙවෙයි. ඒ තත්වයන් මතුවුනාම ඒවා දැනෙන, හැඟෙන ආකාරයෙන්ම පිළිගැනීමටයි. අපි නිතරම වගේ අත්විඳින; අවිනිශ්චිත කම, අනාරක්ෂිත භාවය, ශෝකය, සංවේගය මේවායින් සමහරක්. ඒ වගේම මනසෙ අප්‍රාණික කම (විෂාදය), කනස්සල්ල, සාංකාව, බිය, තමන්ව නොරිස්සීම, දෝෂදර්ශී බව, පසුතැවීමත් ඒ ගොඩටම එකතු කරන්න පුළුවන්. අපි බොහොම වෙලාවට උත්සාහයක් ගන්නව, අපි නිරෝගීව සාමාන්‍ය විධියට ඉන්නව නම් ඔය කියන මනසික තත්වයන් එකක්වත් ඇති වෙන්නෙ නැහැ කියල, විශ්වාසයක් ඇති කරගන්න. නමුත් මේ මනස ඇති කර ගන්න, ‘මම ඔහේ සාමාන්‍ය මනුස්සයෙක් හැටියට ඉන්නව’ කියන අදහස, මනඃකල්පිතයක්. ඔය කියන විධියෙ සාමාන්‍ය මනුස්සයෙක් ඇත්තටම ඔබට හමුවෙලා තියෙනවද? මට නම් නැහැ.
බුදුරජාණන් වහන්සේ අනුමත කර තියෙන්නෙ, ඒ වෙනුවට මේ මොහොතෙ මෙතැන අවධානයෙන් යුතු, අවදිමත්,ඇහුම්කන්දෙන, සිහිකල්පනාවෙන් යුතු වූවෙකු වීමටයි. තමා ගැනත්, මේ මොහොත ගැනත්, විශ්වාසයක් ඇති, විවෘත, පිළිගැනීමට සූදානම් මනසක් ඇත්තෙකු වෙන්නයි. එයයි අපට උන්වහන්සේගෙන් ලැබෙන දිරි ගැන්වීම. භාවනාවෙදි අපි ඇති කර ගත යුතුව ඇත්තේ, දේවල් තල්ලු කර දැමීමෙහි යෙදී ඉන්න අයෙකුගෙ ආකල්පය නෙවෙයි. අපේ කෙලෙස්, අපේ වැරදි, දුරින්දුරු කර දැමීමෙන් මීට වඩා හොඳ කෙනෙකු වීමටවත් නෙවෙයි. අපේ ආකල්පය විය යුත්තේ ඇස් ඇරීමට, විවෘත වීමට, ජීවිතය ගැන විමසිලිමත් වීමට, මෙතැන මේ මොහොත අත් විඳීමට, ජීවිත අත්දැකීම් ඒ දිගහැරෙන ආකාරයෙන්ම විශ්වාසයක් ඇතිව පිළිගැනීමට, හැකියාවක් ඇති කර ගැනීමටයි. ඒ සඳහා අපි ඔය හිතන විධියේ කිසිවක් කළ යුතු නැහැ. ජීවිතයේ ඇඹරුණු කොටස් දිග හරින්න වුවමනා නැහැ. ඒ සමඟ මතුවන සෑම ප්‍රශ්නයක්ම විසඳන්න අවශ්‍ය කරන්නෙත් නැහැ. සෑම දෙයක්ම සාධාරණීය කරනය කරන්න වුවමනාත් නැහැ. සෑම දෙයක්ම තියෙනවට වඩා හොඳ කරන්න යන්නත් එපා.
හොඳට බලන්න! හේතුප්‍රත්‍යයන් මත රැඳී පවතින මේ ලෝකයේ හැම වෙලාවෙම වැරදි තියෙයි. ඒක නතර කරන්න බැහැ. මාත් එක්ක, මා එක්ක ඉන්න අයත් එක්ක එකට ජීවත් වෙන කොට, මේ ආරණ්‍යයේ, මේ භාවනා මුළුවෙ, ගෙදර, කාර්යාලයේ, මේ රටේ ඕන තරම් වැරදි සොයා ගන්න පුළුවන්. හේතූන්, වාතාවරණ හැම වෙලාවෙම වෙනස් වෙන නිසා කිසි දිනෙක, කිසි තැනෙක ස්ථිර, සර්වසම්පූර්ණ බවක් සොයා ගන්න ලැබෙන්නෙ නැහැ. අපිට ඕනෑ කරන විධියට සෑම දෙයක්ම හොඳින් සිද්ධ වෙන කොට, අග්‍රගණයෙ මොහොතක් අපිට අත්විඳින්න ලැබුණත්, ඒ මොහොත ඒ ආකාරයෙන්ම පවතින වතාවරණයක් අපිට දිගටම පවත්වා ගෙන ගිය හැකිද? හුස්ම ඉහළට ගැනීමේ ඉහළම තැන අපට ජීවත් විය හැකිද? අපි හුස්ම පහළට හෙළිය යුතුයි. තැන මාරුවෙනව. ඉහළ – පහළ.
ප්‍රීතිමත් වකවානු, ආදරයෙන් පිරි සම්බන්ධතා, ජයග්‍රහණ, වාසනාවන්ත සිදුවීම් ආදී ජීවිතයේ හොඳයි කියල අපි සලකන සෑම දෙයකටමත් මේ නීතිය බලපානවා. මේව ඇත්තෙන්ම අපිට සතුටු විය හැකි ප්‍රීතිමත් අවස්ථා. ඒව ගැන අහිතක් ඇති කර ගන්න එපා. නමුත් වෙනස් වීමේ ස්වභාවය උරුම කොට ගත් එම දේවල් මත, අපේ විශ්වාසය ගොඩනගා ගත යුතු නැහැ. ඒවා ලබා දෙන රසයෙ මුදුණටම, ඉහළටම ආවට පස්සෙ, ඒවට යන්න තියෙන්නෙ එකම එක පැත්තකට විතරයි – පහළට. අපි පුරුදු වෙලා තියෙන්නෙ අපේ වත්කම, අනෙක් පුද්ගලයින්, වෙනත් රටවල්, සම්බන්ධතා, ලස්සන ගෙවල්, හොඳ භාවනා මුළු පවත්වන තැන්, අපේ සරණ ලෙස සලකන්නයි. ඒ වෙනුවට අපි සරණ ලෙස ගත යුත්තේ අවදිමත්ව සිටීමට, මේ මොහොතෙ වතාවරණය සිදුවන දේ මොකක් වුනත් ජීවිතය ගැන විමසිල්ලෙන් සිටීමට, අපට ඇති හැකියාවයි. මතුවී ඇති, අත්විඳින, සිතිවිලි මනෝභාවයන් එක්ක පොර බැඳීම නතර කරන්න උදව් වෙන්නෙ, ඇලීමේ බලවේගය එක්ක ඇදී යා නොදී අපට නතර වීමට නිදහස ලබා දෙන්නෙ, හේතුප්‍රත්‍යයන් වෙනස් වෙද්දිත්, ඇති දේ ඇති හැටියෙන් පිළිගැනීමට අපට ඇති කැමැත්තයි.
නරක සිතිවිලි, අයහපත් මානසික තත්වයන් නිසා විඳින වේදනා අකාමකා දාන්න යාම, ඒවාට විරෝධය දක්වන්නට යාම, මොනතරම් වෙහෙසක් ඇති කරනවාද කියල හොඳට බලන්න. විරෝධය දැක්වීමෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? මගේ මනසෙ මතුවෙලා තියෙන මම අකමැති දෙයක් තල්ලු කරල දාන්න හැදුවොත් මනස ඒක අත්හරින්නෙම නැහැ, තදින් අල්ල ගන්නවා. ඔබටත් එහෙමද? ඔබට පේන්නම බැරි කෙනෙක්, ඇත්තටම තදින්ම ඔබේ හිත රිදවපු කෙනෙක් ගැන හිතන්න. ඒ හොඳටම ඇති, තරහ මතුවීමට, පිළිකුල ඇති වීමට, ඒ පුද්ගලය පිළිබඳ කෘර අදහස් වලින් මුළු හිතම වැහිල යන්න. තල්ලු කරකර, තල්ලු කරකර, අපි ඒක විශාල දෙයක් කර ගන්නවා. තල්ලු කරන්න, තල්ලු කරන්න, දැඩිව අල්ලා ගැනීම තවත් දැඩි වෙනවා.
භාවනාවෙදි ඔබ මේක කරල බලන්න. ඔබට බය හිතෙන, පිළිකුල් කරන, වුවමනා නැති, අකමැති දෙයක් දිහා හොඳින් බලන්න. ඔබ ඒවට විරුද්ධතාවය පෙන්නන කොට, ඔබ ඒවයෙ බලය වැඩි කරනවා. සිහිකල්පනාවෙන් යුතු ඔබේ ජීවිත අත්විඳීම මත, එය ඇති කරන බලපෑම ඉතා බලගතුයි. එය ඔබ වසඟයට ගන්නවා. නමුත් ඔබේ පැවැත්මේ, ඔබ ඉදිරියට එන හොඳ, නරක දෙවර්ගයම විවෘත මනසකින් ඔබ පිළිගන්නව නම් මොකද වෙන්නෙ? හේතුප්‍රත්‍යයන් මත ඇතිවෙන අත්විඳීම, සතුටු සිතින් පිළිගැනීමට පටන් ගත්තාම, දේවල් මා වෙතින් ගිලිහී යාමට පටන් ගන්න බව, මම මගේ අත්දැකීමෙන් තේරුම් අරගෙන තියෙනවා, ඒව ඇතුළට එනවා, ඊලඟට එලියට යනවා. අපි ඇත්තටම කරන්නෙ දොර විවෘත කිරීම; ඕනෑම දේකට, බය, සාංකාව, පසුතැවීම, ශෝකය, තරහ, කනස්සල්ල, අපි ඒවට ඇතුළට එන්න ඉඩ දෙනවා. එයින් අදහස් කරන්නෙ නැහැ, ඒ සිදුවන දේවලට අපි කැමතියි, එහෙම තමයි ඒව සිද්ධ වෙන්න ඕනෙ කියන එක නෙවෙයි.
සදාචාරාත්මක විනිශ්චය කිරීමක් ගැන නෙවෙයි, අපි මෙතැනදි මේ කථා කරන්නෙ. අපි, මෙතැන ඇති දේ මොනව වුනත්, අපේ ඒ අත්දැකීම, සතුටු සිතකින් පිළිගන්න ආකාරය ගැනයි. විරෝධය පාමින් අපි ඒක ඉවත් කරන්න හදන්නවත්, මම මගේ කියන හැඟීමකින් ඒක බදා ගන්නවත් යන්නෙ නැහැ. මේ මොහොතෙ, ඒ පවතින ආකාරයෙන්ම යමක් අපිට පිළිගන්න පුළුවන් නම් එය හට ගැනීමට තුඩු දුන් හේතූන් නැතිවී යන බව අපට පෙනෙන්න පටන් ගන්නවා.
දුක්ඛයෙන් නිදහස් වීමෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කර සිටියේ දුක, පීඩනය නැත්තටම නැතිවීමක් ගැන නෙවෙයි. ඒ වෙනුවට තීරණය තමන්ටම තෝරා ගැනීමට ඉඩදීමක්. එක්කො මට පුළුවනි, මා වෙත පැමිණෙන දුක්කරදර එක්ක පැටලෙන්න, ඇලෙන්න, දුකෙන් වෙලී ගන්න. එහෙම නැත්නම් මට පුළුවනි, එය බාරගන්න. මම මුහුණදී ඇති අවාසනාවන්ත තත්වය , අසාධාරණ අත්දැකීම් ගෙන දෙන දුක මදිවට, විවේචනය, නොරිස්සීම, නොපිළිගැනීම ආදිය මගින් තවත් දුක ඒකට එකතු කර නොගෙන ඉන්න ඔබට පුළුවන් වෙන්නෙ, පිළිගැනීම, තේරුම් ගැනීම තුළිනුයි. බුද්ධත්වයට පැමිණුනාට පස්සෙත් බුදුරජාණන් වහන්සේට අති භයානක දේවල් වලට මුහුණ දීමට සිදු වුනා. තමන්ගේම මස්සිනා නොයෙකුත් ආකාරයෙන් උන්වහන්සේ මරන්න උත්සාහ කළා. තවත් අය උන්වහන්සේ නොකරපු වැරදි වලට දෝෂාරෝපනය කළා, නොයෙකුත් අපහාස කළා, විවේචනයට ලක් කළා. උන්වහන්සේට දරුණු ශාරීරික ආබාධ වලට මුහුණ දෙන්න සිද්ධ වුනා. බුදුරජාණන් වහන්සේටත් එහෙම වුනා නම් අපි ගැන මොනව කියන්නද? නමුත් උන්වහන්සේ ඒ අත්දැකීම් වටා දුක ඇති කරගත්තෙ නැහැ. උන්වහන්සේ ඒවාට තරහින්, පිළිකුලෙන්, දොස් පැවරීමෙන්, ක්‍රෝධයෙන් ප්‍රතිචාර දැක්වුයේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ කළේ ඒවා ඒ හැටියෙන් පිළිගැනීමයි.
උන්වහන්සේගේ මේ ආදර්ශමත්ඉගැන්වීම් මට ඉතාමත් වැදගත් දෙයක් වුනා. එය මට ඉගැන්නුවා, ජීවිතයෙන්, මට වාසි සහගත දේවල් නොඉල්ලන්න. ඒ වගේම, ‘හුඟක් භාවනා කළොත් ජීවිතයේ අමිහිරි අත්දැකීම් වලින් වැළකී ඉන්න පුළුවන්’ වේය යන බලාපොරොත්තුවක් මම ඇති කර ගත්තෙත් නැහැ. “දෙයියනේ මම අවුරුදු පණහකට කිට්ටු කාලයක් මහණ දම් පුරල තියෙනවා. කරුණාකරල, මෙච්චර කාලයක් හොඳ ළමයෙක් වගේ හිටි නිසා මට ලැබිය යුතු හොඳ දේවල් ලබා දෙන්න.” මම එහෙම ඉල්ලල බැලුව. නමුත් ඒක හරි ගියේ නැහැ. බැගෑපත්වීම් වලින්, ඉල්ලීම් වලින් තොරව ජීවිතය පිළිගැනිමට ඇති හැකියාව ගෙන දෙන්නෙ බලවත් විමුක්ති රසයක්. හේතුව, තමන්ගේ වුවමනා එපාකම් වලට අනුව වතාවරණය පාලනය කිරීමට, හැසිරවීමට අවශ්‍යතාවයක් තවදුරත් මතු වෙන්නෙ නැහැ. මගේ අනාගතය ගැන ලතවීමට හෝ නොසන්සුන් කමක් ඇති කර ගැනීමට හේතුවක් මට දැන් නැහැ. දැන් තියෙන්නෙ තමා කෙරෙහි ශ්‍රද්ධාවක්, විශ්වාසයක්. එඩිතර කමක් දැනෙන්නෙ; විශ්වාස කිරීමට, තැන්පත්වීමට, ජීවිතයට විවෘත වීමට, අත්දැකීමට විරෝධයක් නොපා, එයින් බියට පත්වෙන්නෙ නැතිව, එය විමසා බැලීමට,එයට මුහුණ දීමට පුරුදු පුහුණු කර ගත් හැකියාව නිසයි. ජීවිතයේ මතුවන දුක්කරදර වලින් ඉගෙනීමට ඔබ කැමති නම්, නොසෙල්වන මනසක් ඇති කර ගැනීමට ඔබත් සුදුස්සෙක් බව මතක තියා ගන්න.