ජෝන් වයිස් මහතා – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්
භයානක හදිසි අවස්ථාවකදි, ජීවිතය රැක ගැනීම හෝ මරණය, බොහෝ සෙයින්ම රඳා පවතින්නේ ඔබ සිතන ආකාරය අනුවය…… ජෝන් වයිස් පැහැදිලි කරයි.
හදිසියේම පැන නැගි, මරණයට පවා පත්විය හැකි භයානක අනතුරක් අභියසදි, ජීවිතය රැකෙන හෝ එහි අවසානය තීරණය කෙරෙන අන්දමේ තීරණයක් ගැනීමට අවස්ථාව එළඹිවිටදි, නිවැරදිව තීරණයක් ගැනීමට හැකියාවක් තිබේදැයි ඔබට විශ්වාසද? පසුගිය අවුරුද්දේ පෙබරවාරි සහ මාර්තු මාසවලදි ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය හරවා හමා ගිය අති භයානක ලැව්ගිනි වලට මුහුණ පෑ එම ප්‍රාන්ත වැසියන්ට එවැනි තීරණයක් ගැනීමට සිදුවිය. වටපිටාවේ ගින්නක් හටගත් විට රජයේ ප්‍රතිපත්තීන්ට අනුව, නිවාස හිමියන්ට ගත හැකි තීරණ දෙකක් ඇත: එනම්, රැඳී සිටිමින් නිවාස රැකගැනීම හෝ හැකි ඉක්මණින් නිවෙස් අත්හැර දමා ඉවත් වීමය. ඔවුන් අවධාරණයෙන්ම පවසා සිටින්නේ ගිනිදැල් ආසන්නයටම එන තෙක් රැඳී නොසිටීමටය. ළඟටම හඹා එන ලැව් ගින්නකින් පලායාමට උත්සාහ දැරීම එයට ගොදුරු වීමට ප්‍රත්‍යක්ෂ ක්‍රමයක්ය.
තර්කානුකූලව ඉදිරිපත් කළ හැකි කරුණුවලට අනුව එම තීරණවල යම්කිසි සාධාරණත්වයක් ඇත. එනමුත්, එවැනි භයානක දරුණු අවස්ථාවකදි එම ප්‍රතිපත්ති අනුගමනය කරමින් තීරණ ගැනීමේ වගකීම නිවෙස් හිමියන්ට පැවරීම ප්‍රඥාගෝචරදැයි යන්න දැන් උණූසුම් විවාදයකට ලක්වී ඇත. තට්ටු හතරක් උසට, අංශක 1200 කට වඩා වැඩි ඌෂ්ණත්වයකින් යුත් ගිනිදැල් වලින් වට කෙරුනු විට පුද්ගලයින්ට එවැනි තර්කාන්විත නිගමනයන්ට එළඹිය හැකිදැයි විචාරකයෝ ප්‍රශ්න කර සිටිති.
බොහොමයක් පුද්ගලයින් ඉන් ඉහත එවැනි මාරාන්තික අවදානමකට මුහුණ පා නොමැති බැවින් දරුණු බියකට ගොදුරුවූ විට ඔවුන් කෙසේ ප්‍රතිචාර දක්වත්දැයි ස්ථිරව පැවසිය නොහැකිය. නමුත් එයට මුහූණ දුන් දහස් ගණනක් ඕස්ට්‍රේලියානුවන්, බිය කොතරම් වේගයකින් තමන් වෙලා ගන්නෙදැයි අවබෝධ කර ගත් බව නිසැකය.
2009 වසරේ පෙබරවාරි 7 වෙනි සෙනසුරාදා දරුණු දිනයක් වන බව ‘මෙල්බර්න්’ නගරවාසීන් දැන සිටියෝය. ඌෂ්ණ සෘතුව පැවතියේ ගිනි ගනිමින්ය. එදින, ඌෂ්ණත්ව මාපකයේ රසදිය මට්ටම තවත් ඉහළට යාහැකි බවට අනතුරු අඟවා තිබිණ. දිගු කලක් පැවති ඉඩෝරය නිසා සෑම තැනම දිස්වූයේ වියැලී ගිය ගහකොළය. හමාගිය වියලි සුළඟ ඉතා තදබල විය.
මෙල්බර්න් නගරාසන්නයේ පිහිටි ‘ග්ලෙන්බර්න්’ ගමෙහි විසූවෝ බොහෝ දෙනෙක් වැවිලි කරුවෝය. එගම විසූ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙක්වූ ‘ඉයන් තෝමස්’ එදින ගත කළේ ගුවන් විදුලිය ඔස්සේ නිකුත් කෙරෙන නවතම කාලගුණ වාර්තාවන්ට කන් දෙමින්ය. ඉජිනේරුවෙකුවූ තෝමස්ගේ විශේෂඥතාවය වූයේ ගොඩනැගිලිවලට ගිනිනෙන් සිදු විය හැකි හානි තක්සේරු කර බැලීමේ ක්ෂේත්‍රයෙහිය. ඔහුගේ නිවසත්, ඒ ඉදිරිපිටවූ තණනිල්ලත් වටවී තුබුණේ ‘කින්ලේක්’ වනෝද්‍යානය වසාසිටි ‘යුක්ලිප්ටස්’ ගස්කොළණින්ය. අමුඅමුවේම ගිනිලා හැකි මෙම ගස්වල කොළ අධික තෙල් ගතියකින් යුක්තය. තමන් සිටි තත්ත්වයේ භයානකත්වය තක්සේරු කර ගැනීමට කාලගුණ වාර්තා අනවශ්‍යවූ බව තෝමස් ප්‍රකාශ කරයි.
දහවල් එකොළහට පමණ හමා ගිය දරුණු සුළඟින් විදුලි කනුවක් කඩා වැටීමෙන් හටගත් ගින්න, අවට දවමින්, පැය කිහිපයක් පුරා පැවතින. හවස හතර වන විට හදිසියේම ඌෂ්ණත්වය පහත වැටෙන්නට විය. සැලකිය යුතු අන්දමේ භයානක තත්ත්වයක් උද්ගත නොවූ නිසා අප සන්සුන් වූයේ යැයි තෝමස් පවසයි.
නමුත් ගුවන් විදුලි ප්‍රකාශන වලට මග හැරුණේ තෝමස්ගේ නිවසට කිලෝ මීටර දහසයක් දුරින් පිහිටි කින්ලේක් ගම දක්වාම ලැව් ගින්න පැතිරී ඇති බවය. සීතල මඳ පවනින් ප්‍රකෘතිමත්වූ ගින්න ඊටත් වඩා බලගතුවී ග්ලෙන්බර්න් ගම දෙසට හමා එමින් පැවතුනේ බිය දනවන වේගයකින්ය. ඉදිරියෙහි ඇතිවිය හැකි ව්‍යසනය ගැන ඔවුන්ට හැඟීමක් ඇති කර ගැනීමට හැකිවූයේ අසල නිවසක විසූ ‘ලෝ’ සහ ‘මෙරිල් නිව්ස්ටඩ්’ යුවලගේ වාහනය නිවසට ළඟාවූ විටය. මොහොතකට කලින් එම දෙපලගේ පුතා, ගම දිසාවට ගින්න වේගයෙන් හමා එන බව දුරකථනයෙන් පැවසූ බව ඔවුන් දන්වා සිටියෝය. එම දිසාවෙන් එන සුළඟ ගෙන ආ දුමාරයෙන් මුළු පෙදෙසම කළු පැහැ ගැන්වෙන්නට විය. අළු සමඟ ගිනිගෙන දිලිසෙන කුඩා අඟුරු කැට අහසින් කඩා හැලීම ඇරඹුනේ මේ අතරමය.
“බිය වීමට විශේෂ හේතුවක් නැතැයි සිතා සිටි අපට, නුදුරු පරිසරය ගිනිගෙන දැවෙන බව හැඟීයාමෙන් ඇතිවූයේ ක්ෂණික කම්පනයක්ය” යනුවෙන්, එවිට ඇතිවූ හැඟීම් තෝමස් පැහැදිලි කරයි. රැඳිය යුතුද, ඉවත්ව යා යුතුද යන තීරණය ගැනීමේ අවස්ථාව එළඹියේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ අන්දමින් ක්ෂණිකවය. පැමිණ සිටි අසල්වැසියන් තීරණය කළේ ඉවත්ව යාමටය. තෝමස් යුවල රැඳී සිටිමින් නිවස ආරක්ෂා කර ගැනීමට තීරණය කළහ. “ඒ අවස්ථාවේදි පළායාම අනුවන බව මගේ අදහස විය” යනුවෙන් පවසන තෝමස් “මගේ අසල් වැසියන් වාහනය පදවාගෙන යන්නේ මොනතරම් භයානක පරිසරයකටදැයි ඔවුන් නොදනී” යනුවෙන් තම අදහස තවදුරටත් තහවුරු කර සිටී. නමුත් රැඳී සිටීමට, ඔහු තීරණය කළ පරිසරය, ඊට වඩා තරමක් හෝ යෙහෙකැයි පැවසීමටද කෙනෙකුට නොහැකිය. විදුලි බලය නොමැතිව, ගින්න එළිපත්තටම පැමිණ තිබියදී, තමන්ගේම පිහිට හැර අන් කිසිවකුගේ පිහිටක් ඔවුන්ට නොවීය.
බුරබුරා නැගෙන ගිනිදැල් ඉදිරියට ඇදී ආවේ පැයට කි. මී. 130 පමණ වේගයකින්ය. ගම්වාසීන් සියළු දෙනාම ගින්නට කොටු වූයේ නොසිතූ විරූ අයුරින්ය. විකල්ප ගැන සිතීමටවත් එතැන කාලයක් නොවීය. අසල්වැසි ‘බොබ් රිචින්ස්’ නමැති කාර්මික ශිල්පියා නිවස හැරදමා පළායාමට තීරණය කළේ සිය නිවසේ දොරජනෙල්වල වීදුරු, අධික ඌෂ්ණත්වය දරා ගැනීමට නොහැකිව පුපුරා හැළෙන විටය. නීතිරීති වලට අනුව එය නොකළ යුතු දෙයක් වූවත්, එය එසේ මෙසේ ගින්නක් නොවූ බව ඔහු දැන් පවසයි. ගිනිදළු මැදින් වාහනය පදවාගෙන ගොස් දිව රැක ගැනීමට ඔහුට හැකිවිය. නමුත් බොහෝ දෙනෙකුට නොහැකි විය. දුමේ බලවත් කම නිසා සිහිකල්පනාව විකෘති වීමත්, කලබලය නිසා වාහන එකිනෙක හා ගැටීමත් හේතුකොට ගෙන බොහෝ දෙනෙකුට වැඩි දුරක් යාගත නොහැකි විය. අධික ඌෂ්ණත්වය නිසා ටයර් උණුවීම හා තෙල් ටැංකි පුපුරා යාම එයට තවත් බලවත් හේතුවක් විය.
රැඳී සිටීමත් එවැනිම ජීවිත පරදුවට තැබීමක් විය. තවත් අසල්වැසියෙක්වූ ‘ටීනා විල්සන්’ තම දරු තිදෙනාත් කැටිව, දියණියන් දෙදෙනෙක් සමඟ අසල නිවසක විසූ ‘පෝල්’ සහ ‘කැරෙන් රෝලන්‍ඩ්’ගේ නිවසට ගොඩවූයේ ඇයට කළ හැකි හොඳම දෙය එය වූ බැවින්ය. “මේ ගෙදර වහලට හයිකළ වතුර මල් තියෙනවා, ඒ නිසා කරදරයක් වෙන එකක් නැහැ, පස්සෙ කථා කරන්නම්” යනුවෙන් බැහැරක සිටි සැමියාට ඇය දන්වා සිටියේ දුරකථනය මගින්ය. ඉන් මඳ වේලාවකට පසු කැරෙන් රෝලන්ඩ් දුරකථනය ගෙන සිය සොහොයුරියට, “පරක්කු වැඩියි, අපි ඔක්කොම කොටුවෙලා” යනුවෙන් කෑගැසුවේ මරහඬින්ය. ඔවුන් සියළු දෙනම මරණයට පත්වූවෝය.
ලැව්ගින්න තෝමස්ගේ නිවස අසල ගස් කොළන් වලට ඇවිලෙන විට, එතෙක් මරණයට පත් සංඛ්‍යාව හැත්තෑ දෙනෙක් පමණ විය. ඔහුගේ නිවසේ වහලටත්, අවට තණ නිල්ලටත් සවිකර තිබූ වතුර මල් මගින් ගින්න පැතිර යාම මගහරවා ගැනීමට හැකිවේයයි ඔහු බලාපොරොත්තුවූ නමුත්, විදුලිය ඇණහිටීම නිසා විදුලියෙන් වැඩකළ වතුර පොම්පය, දැන් ඒ සඳහා යොදා ගත නොහැකි විය. එහෙයින් බාල්දි වලට වතුර පුරවා ගෙන අතේ පයේ සවිශක්තියෙන් ගින්න සමඟ සටන් වැදීමට ඔහුටත් බිරිඳටත් සිදුවිය. මේවන විට තමන් ඉදිරියේ අඩියකට දෙකකට වඩා දුරක් නොපෙනෙන තරමට ගින්නේ දුමාරය බලවත් විය.
වැඩි වේලාවක් ගතවීමට මත්තෙන් ගින්නෙන් මුළු නිවසම වටවිය. තෝමස් සහ ඔහුගේ බිරිඳ, ඔවුන් ගත් තීරණය වෙනුවෙන් දැන් කැපවී ඇත. එය හරි හෝ වැරදි තීරණයක්දැයි දැන ගැනීමට හැකියාවක්ද නැත. තමන්ට හැකි උපරිම මට්ටමින් කටයුතු කරගෙන යාම හැර, කළ හැකි අන් කිසිවක් නොවීය.
ආපදාවකදි ගත යුතු මුල්ම පියවර එය පිළිගැනීමය. අනතුරක් සිදුවීමට යන බව දැනදැනත් බොහෝ පුද්ගලයින් හැසිරෙන්නේ එවැන්නක් සිදුවිය නොහැකිය යන අදහසෙහි එල්බගෙන බව, ඒ පිළිබඳව කරන ලද විමර්ශන වලින් අනාවරණයවී ඇත. සමාජශාලාවල විනෝදවන්නවුන්, ශාලාව දුමින් පිරීයද්දීත් නටමින්, කමින්, බොමින් විනෝදයෙහිම ගිලී සිටිති. ගිලෙමින් පවතින නැවක ඇතැම් මගීන්, දුම්වැටි උරමින් සැපපහසු ඇතිව වාඩිවී සිටින්නේ නැවේ පැත්තක් ඇලවී ඇති බව දැකදැකත්ය. සාමාන්‍ය පැවැත්මට, සම්මතයට පටහැනිව යමක් සිදුවෙනවා දැකීමට මනස දක්වන අකමැත්ත නිසා, සිදුවන දෙය නොපිළිගෙන සිටීමට මනස ඇති කර ගන්නා එක්තරා මානසික ස්වභාවයක් ලෙස මෙය හැඳින්විය හැකිය. තමා ඉදිරියෙහි දිග හැරෙන භයානක තත්ත්වය හඳුනා ගැනීමට අපහසු තාවයක් දක්වන්නේ විශේෂයෙන්ම එවැනි අවදානමකට මුහුණදී නැති අය බව මනෝ වෛද්‍යවරු පවසති.
ඒ අතර, සිදුවන දේ පිළිගන්නවුන් හට අතිශයින්ම බිය ගෙනදෙන්නේ, සිදුවීමට යන අනතුරෙහි පරිමාණය තක්සේරු කර ගැනීමට නොහැකිව දෙගෙඩියාවෙන් පසුවන, ආපදාවේ මුල් අවධියය. බිය ගැන අපේක්ෂාවෙන් පසුවීම, බොහෝ විට, එය විඳිනවාටත් වඩා අපහසුය. උදාහරණ වශයෙන්, සබකෝලයේ බලගතු කම නිසා වේදිකාවට පිවිසීමට මත්තෙන් වමනය කරන රංගන ශිල්පීන් වේදිකාව මතදී වමනය නොකරති. පැරෂූට්කරුවන්ට තදින්ම බිය දැනෙන්නේ පිටතට පැනීම සඳහා ගුවන් යානයේ දොරටුව අසලට පැමිණි විටය.
ආපදාවක් අභියසදි එය සිදුවේද, සිදුනොවේද යන මානසික අස්ථිරතාවයත්, ඉදිරියේදි විඳීමට සිදුවේයයි සිතන විවිධාකාර දේවල්වල ඵල විපාක සහ ඒවායින් ගැලවීම සඳහා කළ නොකළ යුතු දෑ ගැන සිතීමට සහ තුලනය කර බැලීමට යාමත් නිසා කෙනෙක් සිය මානසික ආතතිය දෙගුණ තෙගුණ කර ගන්නේය. එමෙන්ම සිදුවිය හැකි දරුණුම දේවල් ගැන සිතීමටද මනස පෙළඹෙන්නේය. තමා ඉදිරියෙහි ඇති අවදානම ගැන හැකිතාක් කරුණු සොයා ගැනීම, ඒවා මනසෙහි තැන්පත් කර ගැනීම; බිය මර්ධනය කර ගැනීම සඳහා මුලදීම ගත හැකි මූලික පියවරවල්ය.
ජීවිතය අවදානමට ලක් කෙරෙන අවස්ථාවකට, මුහුණදෙන මුල් වතාවේදි, මනස වික්ෂිප්තභාවයට පත්කරන බලගතුම දෙය, තමන්ගේ මාකසිකත්වය කොයි ආකාරයෙන් පවතීදැයි යන සැකය හෙවත් මානසික අස්ථිරතාවය ලෙස හැඳින්විය හැකිය. පෙර මුහුණදී ඇති අතුරුආපදා මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා බෙහෙවින් උපකාර වන්නේය. අභියෝගාත්මක අවස්ථාවකදි තමා තුළ පවත්වා ගන්නා සංයමය, මතුවිය හැකි ආතතිය බොහෝ දුරට මැඬලන්නේය. අසීරු, අපල සහගත අවස්ථාවකදි තමාගේ සංයමය නැහොත් ස්වයං පාලනය දුබල වීමට ඉඩහැරීමෙන් සිදුවන්නේ, ආතතිය උද්දීපනය කෙරෙන ‘කෝටිසෝල්’ නමැති හෝමෝනය නිකුත්වීමට අනුබල දීමක් බව මේ පිළිබඳව කරන ලද පරීක්ෂණ මගින් හෙළිදරව් වී ඇත. වතාවරණය සුරක්ෂිත කරගැනීම පිණිස සහනදායි කටයුතු වල නියැලීම වැනි දෑ මගින්, ඇතුළතින් දැනෙන බියසංකා ඔස්සේ සිත විසිරීයාම වළක්වා ගෙන, තම අවධානය ඵලදායි බාහිර කටයුත්තක් සඳහා යොමු කර ගත හැකිය.
සර්ව සුභවාදී හා බාහිර් වර්තිකාදී (පිටත දේ වෙතටම සිත යොමු කරගත්) පුද්ගලයින් ව්‍යසනකාරි තත්ත්වයක් උද්ගත වූ අවස්ථාවලදි සාමාන්‍ය වශයෙන්, බොහෝ විට, ක්‍රියාශීලි පිළිවෙත් අනුගමනය කරති. එමෙන්ම, තමන් මුහුණදෙන මොනයම් ආකාරයේ අවස්ථාවක් වූවත් තමන්ට හිතකරවන අයුරින් හසුරුවා ගැනීමට සමත් පුද්ගලයින්ද මේ ගණයටම ඇතුළත් වෙති.
සහජ දක්ෂතාවය හා දී ඇති කටයුත්තක් ඵලලාභි අයුරින් නිමාවකට පත් කර ගැනීමට හැකියාවක් ඇතැයි යන ස්වයං විශ්වාසය යන දෙක කිට්ටු සම්බන්ධතාවයක් ඇත. මෙවැනි චර්යා ගුණයන්ගෙන් හෙඹි පුද්ගලයින් තමන් පත්ව ඇති ඕනෑම තත්ත්වයක් අවස්ථාචෝචිතව, කාලානුරූපීව හොඳින් මෙනෙහි කොට බලා, තමන්ට වාසිදායක අයුරින් එය හසුරුවා ගැනීමට සමත් වෙති.
කිඹුලෙකුට ඔබ බිය ගැන්විය නොහැකිය. නතර කර ගැනීමට නොහැකිව ලිස්සා යන වාහනයක් ඔබට බිය ගෙන දෙන්නේ නැත. බිය ගෙන දෙන එකම දෙය, ඔබේ මනස එවැනි දේවල් අර්ථනිරූපණය කරන ආකාරයය. බිය, සම්පූර්ණ වශයෙන්ම මොලයෙහි තැන්පත්වී ඇති සංසිද්ධියක්ය. නැවත සලකා බැලීම, තක්සේරු කර බැලීම; බිය මැඬපවත්වා ගැනීම සඳහා යොදා ගත හැකි ඵලදායි, හොඳම ක්‍රියාමාර්ගය වන්නේ එහෙයින්ය. නමුත් නැවත සලකා බැලීමට, තක්සේරු කර බැලීමට සමහරක් පුද්ගලයින් දක්වන්නේ අන්අයට වඩා දක්ෂතාවයක්ය. තමන්ට සිදුවන දේවල් තර්ජනයක් ලෙස බාර නොගෙන, අභියෝගයක් ලෙස සිතීමට හැකියාවක් දක්වන්නන් තුළ යහපත් චිත්ත වේග පහළවන බවත්, වැඩිපුරම හටගන්නේ ධනවාදි සිතිවිලි බවත්, ආත්ම විශ්වාසය ප්‍රබල බවත් පර්යේෂණ මගින් සොයාගෙන ඇත.
අධිතාත්වික සටන් පුහුණුවෙහි යෙදෙන යුද්ධ භටයින් පිළිබඳව ‘මාර්ක් ටේලර්’ විසින් කරන ලද පරීක්ෂණ වලදි, තමන් මුහුණදි ඇති අවදානාත්මක වතාවරණය ධනාත්මක අයුරින් විමසා බලන හා සැලකිල්ලට භාජනය කරන හේවා භටයින්ගේ ලේ පද්ධතියෙහි, ආතතිය ඇති කරන හෝමෝන ප්‍රමාණය ඉතා අඩු මට්ටමක පවතින බව සොයා ගෙන ඇත. එහෙයින්, සමාජයීය අතුරු ආපදා වලට මැදිවීමෙන් අසහනයට පත්වන සාමාන්‍ය ජනතාව, එවැනි වතාවරණ යටතේ හැමවිටම ඇති කර ගන්නා සෘණවාදි චින්තනය හා ඉහත සඳහන් කළ ධනාත්මක චින්තනය අතර වෙනස අප හොඳින් සලකා බැලිය යුතුය.
කාංසාව පදනම් කොට ගත් ආබාධවලින් පෙළෙනවුන්, දැනුවත් බවකින් යුතුව කෙරෙන චිකිත්සාවන්හි යෙදවීම, ඔවුන්ට මහඟු පිළිසරණක්ය. එවැනි චිකිත්සාවන්හි යෙදෙන අතරතුරදි මනසෙහි මතුවන අතාත්වික සෘණවාදි සිතිවිලි පිළිබඳව දැනුවත්ව සිටිමින්, සිතාමතාම තමන් පත්ව සිටින වතාවරණය ධනවාදි අයුරින් නැවත සිතා බැලීමට ආබාධිතයින් හට පුහුණුවක් එමගින් ලබා දේ. මේ සඳහා චිකිත්සා විශේෂඥයින් වෙත යාමට අවශ්‍යතාවයක් නැත. කළබැගෑනියක උණුසුම යටතේ මනසෙහි මතුවන චිත්තවේගවල බලය මැඬලා ගැනීම සඳහා තම හැඟීම් බෙදාහදා ගැනීමට තවත් අයෙක් සොයා ගැනීම හෝ තමන්ටම ශබ්ද නගා පවසා ගැනීම වැනි සරල දෙයකින්, විසිරී ගිය මානසික පද්ධතිය නැවත තම පාලනයට නතු කර ගැනීමට පුළුවන.
තෝමස් යුවලගේ නිවස අසලට ගින්න පැන ආ විට, බිය ප්‍රකාශ කර ගැනීම සඳහා ඔවුන්ට විවේකයක් නොවීය. කළ යුතු දෑ ක්‍රියාවට නැගීම සඳහා ඔවුන් දෙදෙනාම යුහුසුළු වූහ. ගෙය අවට වෘක්ෂයන් ගිනිලමින්, ගින්න හතර වටයටම පැතිරෙමින් පැවතින. මේ අතර ගිනිගත් දැවැන්ත වෘක්ෂයක් මහ හඬක් නඟමින් ගරාජය ඉදිරි පිටට කඩා වැටුණේ පලායාමට තුබූ ඉඩකඩද අහුරමින්ය. ගින්න තවතවත් ළංවෙද්දි, අවදානම් සහිත තැන් පරීක්ෂා කරමින්, බාල්දි වලට පුරවා ගත් ජලයෙන් එම තැන් දිය බත් කරමින්, තෝමස් යෙදි සිටියේ ගෙතුළ කඩිනම් සංචාරයකය. නොනවතාම නොයෙකුත් කටයුතු වල යෙදීම නිසා බිය පසෙකට ලෑමට ඔවුන්ට හැකි විය.
කාලය ගතවීමත් සමඟ ගින්න පිළිබඳව ප්‍රචාරයවූ තොරතුරුද ගිනිබිය අස්වසාලීමට සමත් විය. “කාලය ගත වෙද්දි අපි එයට හෙමිහිට හුරු වූවෙමු.” සැලකිය යුතු ප්‍රමාණයකට අපි හොඳින් කටයුතු කරගෙන ඇති බව හා තවදුරටත් ජයගැනීමට හැකියාව ඇති බව හැඟීයාම චිත්ත ධෛර්යය පවත්වා ගැනීමට මූලික හේතුව වූ බව තෝමස් පවසයි.
අවසානයේදි අළුයම 2.30 ට පමණ ගින්න මැඬපැවැත්වී ඇති ආකාරයක් දිස්වන්නට විය. මීටර හතරහමාරක පමණ ආසන්නයට ගින්න පැමිණ තිබිණ. නුදුරු ප්‍රදේශයේ ගිනිදැල් බොහෝ දුරට නිවී ගොසින්ය. නැවත ගිනි ගැනීමට දෙයක් ඉතිරි නොකරමින් ගේ අවට තණ නිල්ල මුළුමණින්ම දැවී ගොස් ඇති නිසා දැන් එය ආරක්ෂාවක් විය. නැවතත් ගින්න ඇවිලුනහොත් එය දැක ගැනීමට හැකිවන අයුරින් දොර ජනෙල් රෙදි මෑත්කොට ඇඳට ඇදවැටී දෙදෙනාම පැය තුනක පමණ කාලයක් නිදා ගත්හ.
අරුණෝදයත් සමඟම දැඩිවූ සුළඟ, දුම්රොටු විසුරුවමින් යට ගැන්වී තිබූ ගිනි අඟුරු නැවත දැල්වාලීම නිසා උසට නැගෙන ගිනිසිළු තැනතැන දිස්වන්නට විය. අමාරුවෙන් හෝ ගෙයින් පිටතට විත් තැනතැන ඇවිලෙන ගිනිදැල් නිවා දැමීමට තෝමස් බලවත් වෙහෙසක් දැරීය. රැයක් පුරා වූ මහන්සියත්, ගිනි රශ්මියෙන් දැවුනු ශරීරයේ පීඩාවත් නිසා තවදුරටත් වාරු නොදෙන තත්තවයකට ඔවුන් දෙදෙනාම පත්ව සිටියෝය. වමනය නොදා වතුර පොදක් බීමට පවා අපහසු තත්ත්වයක් උද්ගතවී තිබිණ. තැනතැන නැගෙන ගිනි දැල් ක්‍රමක්‍රමයෙන් නිවීයාමත් සමඟ ඔහුට සන්සුන් වීමට හැකි විය. ඔවුන් දෙදෙනාම ජීවිත බේරා ගත්හ.
2009 වසරේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි වලින් ජීවිත 210 ක්, නිවාස 2000 කට වැඩි ප්‍රමාණයක් සහ අක්කර මිලියනයක පමණ භූමියක් විනාශයට පත්විය. ජීවිත එපමණ ගණනක් විනාශවූයේ “රැඳී සිටින්න නැත්නම් ඉවත්වන්න” යන ප්‍රතිපත්තිය නිසාදැයි යන්න වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට විසඳා ගැනීමට නොහැකි ප්‍රශ්නයක් වී ඇත. “අනිවාර්යයෙන්ම වැසියන් ඉවත් කළ යුතුය” යන ප්‍රතිපත්තිය ඒ වෙනුවට යොදා ගත යුතු බවට ඇතැමෙක් වාද කරති. මෙහිදි තෝමස් එයට විරෝධය පළ කර සිටී. ඔහුගේත් බිරිඳගේත් උත්සාහය නිසා නිවස රැකුණ බව ඔහුගේ අදහසය. බිය ඇති කරන ආතතිය මගින්, සම්පූර්ණ විශ්වාසයක් ඇතිව නිවැරදි තීරණ ගැනීමට ඇති හැකියාව දුබල කරන බව සැබෑවක් වූවත්, දිවි රැකගැනීමට මිනිසුන් තුළ ඇති සහජ හැකියාව ඉතා බලවත් නිසා වතාවරණයට ගැලපෙන අයුරින් කටයුතු කිරීමට ක්‍රමයක් ඔවුන් සොයා ගන්නා බව තෝමස් පවසයි.