ජුඩිත් ක්ලාක් මහත්මිය – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්
සත්‍යාවබෝධය අපෙන් ඈත් කර තබන්නේ එකම එක් දෙයක් නිසාය. ප්‍රශ්නයක්ව ඇත්තේ, ‘මම’ ලෙස හඳුන්වන මේ එකම එක් දෙය, අප තුළ ඉතාමත් ගැඹුරින් කාවැදී තිබීමය. එනමුත්, ‘මම’ යනුවෙන් සලකා ගන්නා දෙය ගොඩනගා ගෙන ඇත්තේ මිත්‍යාවක් මත නිසා, ඇත්තෙන්ම, එහි පදනම දුර්වලය. එය කොතරම් අස්ථිරවූ දෙයක්දැයි පවසනවා නම්, එහි ස්ථාවරත්වය රැක ගැනීම සඳහා අපට නොයෙකුත් අන්දමේ උපක්‍රමයන් පිහිටාධාර කර ගැනීමට සිදු වේ. අනාගත බලාපොරොත්තු, මහන්තත්ත්වය මෙන්ම වටිනා ඇඳුම් පැළදුම්, ගේදොර, වතුපිටි, යානවාහන වැනි තමන් සතු දේපළ මගින් අපි එය හුවා දක්වන්නෙමු. නමුත් අද දවසේ, එවන් දේවල් වලින් පවා සෑහීමකට පත්වන බවක් පෙනෙන්නට නැත. දැන් අපි එයට ප්‍රසිද්ධියත් ඈඳා ගෙන ඇත්තෙමු.
රැකියා සොයා දෙන කාර්යාලයක, රැකියා පත්‍රිකා ප්‍රදර්ශන පුවරුවක් ඉදිරියේ සිටගෙන සිටින තරුණයින් දෙදෙනෙකු පිළිඹිබු කෙරෙන කාටූනයක්, මම මෑතකදී සඟරාවක පළවී තිබෙණු දුටුවෙමි. එම පත්‍රිකාවල සඳහන්වූ රැකියා, හුවා දක්වා තිබුණේ ඉස්තරම්ම කෝකියා, ඉස්තරම්ම උද්‍යාන පාලකයා, ඉස්තරම්ම මේසන්කරුවා, ඉස්තරම්ම පිංතාරුකරුවා, ඉස්තරම්ම වඩුවැඩකරුවා, ඉස්තරම්ම පයිප්ප අළුත්වැඩියා කරන්නා, යනාදි වශයෙන්ය. එයින් උපහාසයට ලක්කර තිබුණේ රැකියා වැනි දේවල් වලදී පවා අපේ ආකල්පයන් වෙනස්වී ඇති ආකාරයය. රැකියාවල් දහයක් අතුරින් තමන් අනාගතයේදී තෝරා ගැනීමට කැමැත්තක් දක්වන රැකියාව කුමක්දැයි සොයා බැලීම සඳහා කරන ලද විමර්ශනයකදී, අමෙරිකානු සිසුන්ගෙන් සියයට විසිතුනක් කැමැත්ත පළකොට තිබුණේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක කුලපතිවරයා වීමටය, සියයට දහතුනක් දේශපාලඥයෙකු වීමටය, සියයට නවයක් බලගතු ව්‍යාපාරයක අධ්‍යක්ෂක වරයා වීමටය, එනමුත් පුදුමයකට මෙන් සියයට හතලිස්තුනක් තෝරා ගෙන තිබුණේ ප්‍රසිද්ධියට පත්වූවෙකුගේ පෞද්ගලික සහායකයා වීමේ රැකියාවය. අප්‍රසිද්ධියේ සිටිනවාට වඩා ප්‍රසිද්ධියේ ගෑවී සිටීම වඩා වැදගත් බව ඔවුන්ගේ හැඟීම විය. එය කෙසේ වූවත්, ඉස්තරම්ම බෞද්ධයෙකු වීම විකල්පයක් නොවේ. බෞද්ධ පුහුණුවේ පූර්ණ කර්තව්‍යව ඇත්තේ ටිකෙන්ටික හෝ මමත්වයේ සංකේතය බිඳහෙළා ගනිමින් එම මිත්‍යාවෙන් සහමුලින්ම මිඳීමය. පාරමිතා පුහුණු කිරීමේ මූලික පරමාර්ථය එයයි.
පාරමිතා යන වචනයේ සාමාන්‍ය අදහස පරිපූර්ණත්වයයි. නමුත් මෙය බොහෝ විට වැරදියට තේරුම් ගන්නේ, සර්ව සම්පූර්ණ පුද්ගලයෙකු වීමක්, අංග සම්පූර්ණ ‘මම’ කියා කෙනෙක් ගොඩනගා ගැනීමක්, එයින් ඇඟවෙන හෙයින්ය. පාරමිතා යන වචනයේ සාරාර්ථය විය යුත්තේ ‘එතෙර වීමය.’ මෙතෙරින් එතෙරට යාමය. වෙනත් වචන වලින් පවසනවා නම්, ‘මම’ කියා කෙනෙකුට කළ හැකි යමක් තවදුරටත් ඉතිරිව තිබිය නොහැකි ආකාරයෙන් සෑම දෙයක්ම අභිබවා සිටීමය. පාරමිතා සර්ව සම්පූර්ණ කළ විට ඒවායේ ගුණමහිමයෙන් පිළිඹිබු කෙරෙන්නේ බෝධිසත්වයෙකු සතු චර්යාවය.
ඒ කෙසේ වෙතත් මමත්වයේ හැඟීම් වලින් බර, මෙවන් ගුණදම් වලින් පරිපූර්ණවූ බවක අහලකටවත් නොපැමිණි අප මෙම ගමන අරඹන්නේ, බුදු මගෙහි ඉදිරියට යාම සඳහා මග පෙන්වීමට සහ අපව දිරිමත් කිරීමට, චර්යා සංවර්ධන නීතිමාලාවක් සේ එම පාරමිතාවන් පිහිටාධාර කර ගැනීමෙන්ය. පූර්ණවශයෙන් පාරමිතාවන් ගණනින් දහයක් වූවත්, පරිත්‍යාගය (දාන), සංවරය (සීල), ඉවසීම (ශාන්ති), වීර්යය (වීරිය), සමාධිය (සමාධි) සහ ප්‍රඥාව (පඤ්ඤා) යන හය ආරම්භය ලෙස ගනිමු.
ප්‍රඥාව උපදවා ගැනීම සඳහා අපට අවශ්‍ය විශේෂ මෙවලම් ලෙස මුල් පාරමිතා හතර (පරිත්‍යාගය, සංවරය, ඉවසීම, වීර්යය) හැඳින්විය හැකිය. සත්‍යාවබෝධය වෙත යොමු කෙරෙන දොරටු ලෙස අවසාන දෙක (සමාධිය හා ප්‍රඥාව) නම් කළ හැකිය. පරිත්‍යාගය මුලින්ම සඳහන් කර ඇත්තේ එය කිරීමට පහසු හෝ ආධුනික පුහුණුවක් ලෙස සලකා නොවේ. යම් තරමක හෝ පරිත්‍යාගයකින්, අත්හැරීමකින් තොරව කිසිවක සාර්ථකත්වයක් දැකිය නොහැකිවීම ඊට හේතුවය. එය අවසන් වන්නේ ‘මම’ යන සංකල්පය සහමුලින්ම අත්හැරීමෙන්ය. මෙමගෙහි අවසානයද එය වේ. ‘මම’ යන මායාකාරී හැඟීම අත්හැර දැමිය හැකි නම්, ඒ, මග දිනීමක්ය.
පරිත්‍යාගය පුහුණු කිරීමේදි අපේ වත්පොහොසත්කම් වල ප්‍රශ්නයක් මතු නොවේ. එමෙන්ම අප සතු දේපල විකුණා ලැබෙන මුදල් දුප්පතුන්ට බෙදා දීමට අවශ්‍යතාවයක්ද නැත. අවශ්‍ය වන්නේ අපේ ආකල්පයන්ගේ වෙනසක්ය. නිරාකරණය කර ගැනීමට ඇත්තේ, ‘මොනවාද’ යන්න නොව ‘කෙසේද’ යන්නය. එයින් අදහස් කරන්නේ “මම කරමි” යන්න වෙනුවට, “මේ මොහොතේ මම කරන යමක් වේද, මුළු හදින්ම මම එයට කැප වෙමි” යන්න ආදේශ කර ගැනීමය. මෙතැනදි අවශ්‍ය කරන්නේ, කල්දැමීමකින් හෝ පසුබෑමකින් තොරව එදිනෙදා කටයුතු නොපිරිහෙළා ඉටු කිරීමට කැමැත්තක් ගොඩනගා ගැනීමය.
පිහිනීම ඉගැන්වීමට මගේ පියා තීරණය කළේ මට වයස හතක් වූවිටය. එකලදී, අද මෙන්, පිහිණුම් තටාකවල ජලය, ඌෂ්ණ කලාපීය රටවලදි දැනෙන වතුරේ රශ්නයට හා සමාන තරමට රත් කිරීමක් සිදු නොවීය. ජලය අයිස් මෙන් සීතල විය. ඊටත් වඩා මට බිය ගෙන දුන්නේ පපුවේ මට්ටමට ජලය පැමිණි විට හුස්ම ගැනීමට මට නොහැකි වේයයි යන හැඟීමය. එම බය කෙතරම් දුරට බලපෑවේදැයි පවසනවා නම් එකවරට දියට පැනීමට හිත හදා ගැනීම මට කිසිසේත්ම කළ නොහැකි විය. ඒ වෙනුවට මා කළේ තටාකය අයිනේ වාඩිවී කුකලේ මහපට ඇඟිල්ල දියෙහි ඔබා ඉවතට ඇද ගැනීමය, එසේ නැවතත්, කිහිප වරක් එය දියෙහි ඔබා ඉවතට ඇද ගැනීමය. දියට බැසීම පමා කළ පමණට දැනෙන සීතලද අධික විය. කළ යුතුව තිබූ එකම දෙය හැකි ඉක්මණින් දියට පැන ගතට උණුසුමක් දැනෙන තෙක් අර අතට මේ අතට පිහිණීම හෝ දැඟලීමය.
අතීත අත්දැකීම් මගින් අපි එවැනි පාඩම් උගෙන ඇත්තේ නම් පසු කලකදී, බොහොමයක් ප්‍රශ්න වලට විසඳුම් සපයා ගැනීමට ඒවා උපකාර වන්නේය. නමුත් යමක් කිරීමේදි ඒ වෙනුවෙන් ‘මා’ සහමුලින්ම පවරා දීමට ඉගෙනීම, එතරම් පහසු දෙයක් නොවේ. කිරීමට කැමති දේවල් වල යෙදීමට අපට එතරම් අපහසුවක් නැත. සිත් අදනා නවකථාවක් කියවන විට එයින් සිත ඉවතට ඇදගැනීමට අන් දෙයකට පහසු නැත. ආදරයෙන් පිරි චිත්‍රපටියක් නරඹන විට සිත විසිර යන්නේම නැත. ත්‍රාසජනක හෝ භයානක දෙයක් කරන විට ඒ වෙනුවෙන් කැපවී සිටීමට අපට හැකියාවක් ඇත. අපහසුතාවයන් උද්ගත වන්නේ; ඒකාකාර, නොවැදගත් යයි සිතෙන, සිතට නොගැලපෙන හෝ කම්මැලි දේවල් ලෙස දැනටමත් තීරණය කර ගෙන ඇති දේවල් කිරීමේදීය.
ළඟදී මා ටික දිනක් නතරව සිටියේ මගේ මිතුරියක් සමඟ ඇගේ දියණිය විසින් පවත්වා ගෙන යනු ලබන ඉතාලියේ පිහිටි සමුද්‍රාසන්න හෝටලයකය. සෑම අවුරුද්දකම සංචාරකයින් බහුලව ගැවසෙන සමයේදී ඉතාලියට ගොස් දියණියට සහායවීම ඇගේ සිරිත විය. ඇයට පැවරී තිබුණේ නේවාසිකයින්ගේ වාසය සුවපහසු අන්දමින් සිදුවන්නේදැයි විමසා බැලීමය. ඇය කරන කටයුත්තෙන් ඉමහත් ආස්වාදයක් විඳිමින් ඔවුන් වෙනුවෙන් ඇය කරන කැපවීම දැකීමෙන් මම මවිතයට පත් වූවෙමි. අමුත්තන් උදෑසණ තේපානය අවසාන කිරීමට මත්තෙන් ඇය සෑම මේසයකටම ගොස්, “අද දවසේ ඔබ වෙනුවෙන් මට කළ හැකි යමක් වේදැයි” ඇය විමසන්නේ හද පිරි සුහදතාවයකින්ය. දිවා සහ රාත්‍රි භෝජන සඳහා ඔවුන්ට ආසන වෙන්කර තැබීම, ඇවිදීමට සුදුසු සෞන්දර්යයෙන් පිරි රමණීය ස්ථාන පිළිබඳ විස්තර ඉදිරිපත් කොට ඒ සඳහා උනන්දුවක් දක්වන අයට මාර්ග සිතියම් සහ ගමනාගමනය සඳහා අවශ්‍ය කාලසටහන් සපයාදීම ඇය ඊට ඇතුළත් කොට ගෙන තිබුණි. ඇය ඇලුම් කළ දේ ඔස්සේ ඔවුන්ට නොමැකෙන ආස්වාදයක් ලබාදීමට උපරිම උත්සාහයක් දැරීම ඇගේ අරමුණ විය. ඇය එහි යෙදුනේ ඇගේ මුළු හදින්මය. එයින් මට පැහැදිලි වූයේ අප කරන ඕනෑම කටයුත්තකදී, සත්‍යම සේවාවක් ලබාදීමේ සහ පිහිටක් වීමේ ආකල්පයක් අපට ඇති කර ගත හැකි නම්, අපේ ජීවිත මෙතරම් කුරිරු නොවන බවය.
‘පරිත්‍යාගය පුහුණු කිරීම’, අපෙන් ඉල්ලා සිටින්නේ, ඕනෑම අවස්ථාවකදි අපෙන් ඉටුවිය යුතු යමක් වේද, එයට සිය කැමැත්ත පළකොට සිටීමටය. ප්‍රශ්නයක්ව ඇත්තේ, එය “හා! හොඳයි” කියා සතුටින් බාරගන්නවා වෙනුවට, “බැහැ” කියා පැවසීමට අප තුළ කාවැදී ඇති පුරුද්දය. මෙසේ ප්‍රතික්ෂේප කිරීම දුරලා ගැනීමට මගක් සොයා ගැනීමට මත්තෙන්, එම අවස්ථා දැන හඳුනා ගැනීමට අප මුලදීම උත්සාහ කළ යුතුය.
ප්‍රතික්ෂේප කිරීම සිදුවන අවස්ථා කොතෙක්දැයි සොයා බැලීම සඳහා අවුරුදු කිහිපයකට උඩදි මම පරීක්ෂණයක් පැවැත්වීමි. ඒ සඳහා උදෑසණින්ම මම කලිසමේ එක් සාක්කුවකට ඔලිඳ ඇට අහුරක් දමා ගතිමි. ඒවා මා යොදා ගත්තේ, ‘බැහැ’ යන ප්‍රතික්‍රියාව මනසෙහි ඇතිවන බව දුටු සෑම අවස්ථාවකදීම එයින් එකක් කලිසමේ අනිත් සාක්කුවට දමා ගැනීම සඳහාය. මුලදි දේවල් හොඳින් සිදුවන බවක් පෙන්නුම් කළත්, ඔලිඳ ඇට වැඩි ප්‍රමාණයක් එකින් එකට මාරු නොවූවත්, කාලය ගතවීමත් සමඟ ‘බැහැ’ අවස්ථා පිළිබඳ දැනුවත් බව වර්ධනය විය. මේවා සෘජුවම යමක් කිරීම ප්‍රතික්ෂේප කරන අවස්ථාම නොවූවත්, සිත ඇවිස්සුණ බව දනවමින් දිග හුස්මක් ගැනෙන, තොල් අතරින් ‘ත්’ ශබ්දය පිටවන, සුසුමක් හෙළන, ඇතුළතින් “මොන කරදරයක්ද මේ?” යයි සිතෙන අවස්ථාද ඊට ඇතුළත් විය. උත්තර දීමට ටෙලිෆෝනය අතට ගැනීමට මත්තෙන්, දැන් මට පැය ගණනක් කරච්චලය අසාගෙන සිටීමට සිදුවන්නේ යයි පෙර අත්දැකීමෙන් දන්නා අවස්ථාවලදි, සිතෙහි මතුවන ප්‍රතික්‍රියාව මීට එක් උදාහරණයක්ය. එහෙයින් සෑම මැසිවිලිලක්ම, ‘ත්’ ශබ්දයක්ම, සුසුමක්ම, සිත කුපිතවීම නිසා ඇතුළතින් නැගෙන සෑම අඳෝනාවක්ම, මෙම ගැනීමට එක් විය යුතුය. ඕනෑම කෙනෙකුට ඉදිරිපත්වී කළ හැකි කටයුත්තක් පැන නැගි අවස්ථාවකදි, ස්වේච්චාවෙන් වෙනත් කෙනෙක් ඉදිරිපත් වන තෙක්, ඇඟට නොදැනී තමන් එය මග හරිමින් සිටි අවස්ථාද, ‘බැහැ’ ප්‍රතිචාර ගොන්නටම එක් විය යුතුය.
සතිය අවසන් වන විට, දවස අවසානයේදි අනෙක් සාක්කුව පිරෙන්නට විය. මෙම අභ්‍යාසයෙහි වැදගත්කම ඇත්තේ කොපමණ ඔලිඳ ඇට ප්‍රමාණයක් මාරු වූයේද යන්න නොව අකමැත්තෙන්, නොරිස්සුකමින්, ගෝරනාඬුවෙන්, අලසකමින් යුතුව එදිනෙදා කටයුතු කොතරම් අප අතින් සිදුවන්නේදැයි දැන හඳුනා ගැනීමය. එයින් පෙනීයන්නේ අපේ ජීවිතයෙන් වැඩි කොටසක් තුළ අප පූර්ණ වශයෙන් ජීවත් නොවන බවය. මෙම අභ්‍යාසය මම ඔබට අනුමත කර සිටිමි. පැන නැගි ඇති අවස්ථාවට මුළු හදින්ම තමන් පවරාදීමේ පුහුණුව තුළින් සිදුවන්නේ ක්‍රමක්‍රමයෙන් සෑම දෙයක්ම ‘මගේ ක්‍රමයට’ සිදු විය යුතුය යන අසහනකාරී අදහසින් මිඳීමය.
මෙයින් අප යොමු වන්නේ දෙවෙනි පාරමිතාවවූ සීලය හෙවත් සංවරය වෙතය. එහි අර්ථය, ඇතුළතට නැඹුරුවක් ඇතිව, සිහිකල්පනාවෙන්, හැමවිටම අප කරන දේ ලෙස හැඳින්වීමෙහි වරදක් නැත. ආරම්භයේදි එය බලෙන් කරන, අස්වාභාවික පුහුණුවක් ලෙස හැඟුනත් එය නොකඩවා සිදුවන විට, ස්වභාවික මනුෂ්‍ය චර්යාව වෙත කෙනෙකුට පිවිසිය හැකි දොරටුව එය බව පෙනී යන්නේය. සාධාරණ මෙන්ම පිළිගත හැකි සංවරයක් පවත්වාගෙන යාමේ වගකීම අප භාරගත යුතු අතර එය කිසිවිටෙකවත් කාසමඟ හෝ කරන ගණුදෙනුවක් ලෙස සිතට නොගත යුතුය. ආහාර ගන්නා, පුදපූජා පවත්වන වේලාවන්, භාවනා කිරීමට වෙන් කෙරුණු කාලය ආදි වශයෙන් දිනපතා පහසුවෙන් යොදාගත හැකි සරල කාල සටහනක් අප අනුගමනය කළ යුතුය. ඊට අමතරව ශරීරය හැසිරවීමේදි ශාන්ත බවක් හා යම් ලාලිත්වයක් අප ඇති කර ගත යුතුය. මෙවැනි සංවරයක් පවත්වා ගැනීමට දරණ ප්‍රයන්නයේදි නොවැළැක්විය හැකි අයුරින් මතුවන ප්‍රතිචාර චිත්ත වේගයන්ගේ ශක්තිය දමනය කර ගැනීමට එම හුරුව අපට බෙහෙවින් උපකාර වේ. ශාන්ත බව පවත්වා ගෙනයාමට අවශ්‍ය සිත, ශරීරය ඇසුරෙහි රඳවා ගත නොහේ නම්, එම ප්‍රතිචාරත් සමඟ අපේ ඇදී යාමක් සිදු විය හැකිය.
පිට කොන්ද කෙළින් තබාගෙන, හිස කෙළින් කොට, නිකට මඳක් ඇතුළට නවා, දෑස අඩවන් කොට ගෙන, දිව උඩු තල්ලේ වදින සේ තබාගෙන, හැකි නම් එරමිණිය ගොතා ගෙන හිඳ ගැනීම භාවනාවේදි අප ශරීරය පවත්වා ගන්නා ආකාරයයි. ශරීරය එසේ පිහිටුවා ගෙන එය තැන්පත් කර ගන්නා ලෙස භාවනාවේදි අපට උපදෙස් ලැබේ. මුලදී එය ඉතා අස්වාභාවික ඉරියව්වක් ලෙස හැඟුණත්, කොන්ද හකුළුවා ගෙන භාවනා කරනවාට වඩා එය පහසු බව, දිගු කාලයක් හිඳගෙන සිටින විට, අත්දැකීමෙන්ම අපි වටහා ගන්නෙමු. නිවැරදිව ශරීරය පිහිටුවා ගැනීමෙන් වැඩි වේලාවක් භාවනා කරගෙන යාමටත් අවධානය පවත්වා ගැනීමටත් පහසු වන්නේය. භාවනා ශාලාවෙන් පිටතදී අප ශරීරය පවත්වා ගත යුත්තේ අන් අයුරකින්ය. බඩු මිලදී ගැනීමට සාප්පුවකට ගොඩවූ විටදී පවා ශරීරය පවත්වා ගතයුතු ආකාරයක් ඇත. බසයකට ගොඩ වෙන විට කඩාබිඳ ගෙන යාමක් පෙරළාගෙන යාමක් අප අතින් සිදු නොවිය යුතුය.
ශරීරය විධිමත්ව පවත්වා ගැනීමේ හැකියාව, ජීවිතයේ අපහසු අවස්ථාවන්හිදි අපට පිහිට වන්නේය. කුඩා කළ, කෙනෙකු වමනය කරන විට ඊට එකතු නොවී සිටීම මට කළ නොහැකි දෙයක් විය. එහෙයින් මගේ කාමරයේම සිටි මගේ නැගණියන් අසනීපවී වමනය කරන විට මට එතැනින් පිටවී යන්නට සිදු විය. එවැනි අවස්ථාවකදී ප්‍රතිචාර නොදක්වා සිටිය නොහැකි තරමට මම අසරණවූවෙක් වීමි. චීන කටු චිකිතිසාව මගින් ලෙඩුන් සුවකිරීම මා ඇරඹූ විට, ගැබිණි මව්වරුන්ගේ උදෑසණ වමනයට ප්‍රතිකාර කිරීමද ඊට ඇතුළත් විය. දිනක් කෙනෙක් දුරකථනයෙන් මට දන්වා සිටියේ මුල් දරුවා පිළිසිඳ ගත් ඔහුගේ බිරිඳ දිනකට විසිතිස් වාරයක් වමනය කරන බවය. ඔහු මගෙන් ඉල්ලා සිටියේ ඇයට ප්‍රතිකාර කරන ලෙසටය. දුරකථනය පහත හෙලූවිට මගේ හදවතට දැනුනේ විසිතිස් වාරයක් වමනය කිරීමෙන් ඇයට මොතරම් පීඩනයක් දැනෙනවා ඇත්දැයි යන්නය. ප්‍රතිකාර කිරීමට නියම කරගත් දිනයේ උදෑසන චිකිත්සාගාරයට ඔවුන් ඇතුළුවන විට මගේ බිය තවත් තහවුරු වූයේ වමනය එකතු කිරීමට ඇගේ සැමියා අතැතිව සිටි භාජනය දැකීමෙන්ය. ඇයත් සමඟ ප්‍රතිකාර කාමරයට ඇතුළ්වී විනාඩි කිහිපයක් ගතවීමට මත්තෙන් ඇය වමනය කිරීම ඇරඹූයේ අප බලාපොරොත්තුවූ ආකාරයටමය.
සුදු කබායක් හැඳ, චීන කටු අතැතිව වෛද්‍යවරයෙක් ලෙස සිටින ඔබට දැන් ඇයත් සමඟ එකතුවී වමනය කිරීමට එය අවස්ථාවක් කර ගත නොහැකිය. එමෙන්ම, එයින් ගැලවීමට ඇය තනිකර දමා කාමරයෙන් පැන යාමද කළ නොහැකිය. එය විකල්පයක් නොවේ. ඉතා අසරණ තත්ත්වයකට පත්ව සිටින රෝගියා වෙත තම සම්පූර්ණ අවධානය යොමුවන නිසා, එවැනි අවස්ථාවන්හිදී තමනුත් අසරණයෙකු නොවී සිටීමට හැකිවීම සැලකිය යුතු කරුණක්ය. වෘත්තීය මට්ටමින් සලකා බලන කළ තමන් කෙරෙහි අවධානයක් ඇති කර ගැනීමට එය අවස්ථාවක් නොවන අතර, සම්පූර්ණ අවධානය යොමුවිය යුත්තේ රෝගියා වෙතය. ජීවිතයේ ගැටළු සහගත අවස්ථාවන්හිදී ශරීරය නිසි අයුරින් පවත්වා ගැනීමෙහි ඇති වැදගත් කම මෙවැනි අත් දැකීම් පෙන්වා දෙන අතර, එමගින් පෞද්ගලික ගොඩනගා ගෙන ඇති සීමාවන්ගෙන් නිදහස් වීමක්ද සිදුවේ.
පරිත්‍යාගය සහ සංවරය යන පාරමිතාවන් එක්වීමෙන් යම් පමණක ඇතුළත ශක්තියක් ගොඩනැගීම ආරම්භ වේ. ඉවසීමෙන් අප අදහස් කරන්නේ ඇතුළතින් සහ පිටතින් අප අකමැත්තක් දක්වන පුද්ගලයින් හෝ අවස්ථා, විඳදරා ගැනීමය. පැවැත්ම ගෙනයාමට දේවල් අප බලාපොරොත්තුවන ආකාරයෙන්ම සිදු වීමට අවශ්‍යතාවයක් නොමැති බව එමගින් අපට උගත හැකිය. අපට සුවපහසුව දැනෙන වතාවරණයෙන් ඉවතට යාමට හැකියාව ඇති කර ගෙන එමගින් උද්ගතවන අපහසුකාරි, අසහනකාරි වේදනාවන් විඳදරා ගැනීමට ඉගෙනුමක් නොලබන්නේ නම් අපි ඉතා පටු ජීවිත අත්දැකීම් ලද්දෝ වන්නෙමු. බුදු මගෙහි මඳ දුරක් යන්නෝ වන්නෙමු.
‘ජූඩෝ’ ක්‍රීඩාවෙහි විශිෂ්ට දක්ෂතාවයක් දැක්වූවෙක් මෙසේ පවසා ඇත. ජපානයේ ජූඩා ක්‍රීඩාවෙහි යෙදෙන අය සම්ප්‍රදායානුකූලව ශීත සෘතුවේ මැද මාසය හඳුන්වන්නේ ‘ශීත පුහුණුව’ ලෙසය. ජනෙල් සම්පූර්ණයෙන්ම විවෘත කළ ශාලාවක ජූඩෝ පුහුණුව ආරම්භ කරන්නේ උදෑසණ පහටය. අවට හිමෙන් වැසීගත්, ජපානයේ ශීත සෘතුව අතිශයින්ම සීතය. එවැනි තද ශීතල වතාවරණයක් යටතේ ඔබේ ශරීරයේ ක්‍රියාකාරිත්වය සියයට හැටකට පමණ පහත වැටේ. ශරීරය සීතලෙන් ගල්ගැසී ඇති නිසා කෙනෙක් ඔසවා විසිකිරීමට, උරහිස් පොළවට තදකර ගැනීමට ගතවන කාලය ඔබ සාමාන්‍යයෙන් සිතනවාට වඩා වෙනස්ය. පුහුණුව සිදුවන්නේ ඔබේ සිතැඟියාවන්ට අනුකූලව නොවේ. ඒ කෙසේ වෙතත්, ඔබේ සිහිකල්පනාවත්, සංසුන්කමත් පවත්වා ගැනීමට ඔබට හැකියාව ඇත්නම්, ඒ සියයට හැටේ ශක්තිය සම්පූර්ණ වශයෙන්ම යොදා ගැනීමට ඔබට පිළිවන. ඔබට එම තත්ත්වය අත්කර ගත හැකි නම්, වෙනත් ඕනෑම අවස්ථාවකදී පවා, එය ඔබේ සහාය සඳහා වේ. “මාසයක්ම සීතලේ ගැහෙමින් පුහුණුවීමේ ඇති තේරුම මොකක්ද? අපිට පුහුණුවීමට සීතල නොදැනෙන තැන් ඕනතරම් තියෙනවා. අනෙක සෑම තරඟයක්ම පැවැත්වෙන්නේ උණුසුම් කළ හෝ වායුසමනය කළ ශාලාවලයි. ඒ නිසා එවැනි පුහුණුවක ඇති හරය මොකක්ද?” යනුවෙන් ප්‍රශ්න කළ විට ඔහු පවසා සිටියේ, එවන් දුෂ්කර වතාවරණ යටතේ ඔබ පුහුණුවී නැත්නම්, සෑම දෙයක්ම සර්ව සම්පූර්ණ නැති තැනකදී ඔබට කිසිවක් කරකියා ගත නොහැකිවන බවය. “මේ සීතලේ මම මොනවා කරන්නද?” යනුවෙන් ඔබේ සිතේ ඇතිවන කඩාවැටීම නොවැළැක්විය හැකිය. යන්තම් හෝ අසනිප ගතියක් දැනෙන්නේ නම් ඔබට තරඟ වැදීමට සිත් නොදෙනු ඇත. කටුක වතාවරණයක් යටතේදී වූවත් උපරිම ශක්තිය මෙහෙයවා කටයුතු කිරීමට ඔබ පුහුණුවී ඇත්නම් ඒ වැදගත් ඉගෙනුමක්ය. මෙය ජීවිතයේ ඕනෑම අවස්ථාවකට වූවත් යොදා ගත හැකිය.
සුප්‍රසිද්ධ චෙස් ශූරයෙකුගෙන් ඔහුගේ විශිෂ්ට ජයග්‍රහණයන් ගැන විමසූ විට ඔහු පවසා සිටියේ, “සම්පූර්ණ සුවයෙන් සිටි කෙනෙක් මා අතින් පැරදී ඇත්තේ කලාතුරකින් බව ඔබ දන්නවාද?” යනුවෙන්ය. පැරදුන අය බොහෝ විට තම ගැලවීම සඳහා ඉදිරිපත් කරන්නේ “මට අද එච්චර හරි නැහැ” යනුවෙන් මනඃකල්පිත අසනීප ගතියක්ය. අපහසු වතාවරණයන් යටතේ නිදහසේ හැසිරීමට හැකියාවක් ඇති කර ගෙන නොමැති නිසා, සාමාන්‍ය මට්ටමේ පැවැත්මක් ගෙනයාමේදී පවා විශේෂ වරප්‍රසාද සහ වතාවරණ අප බලාපොරොත්තු වන බැවින් අපේ නිදහස සීමාවී ඇත. මාර්ගය පුහුණු කිරීමේදී උද්ගත වන අසීරු අවස්ථාවන් තුළින් ඉදිරියට ඇදීයාම සඳහා අවශ්‍ය ශක්තිය උපදවා ගැනීමට නම්, ජීවිතයේ දුෂ්කර අවස්ථාවන්ට මුහුණදී ඒවා විඳදරා ගැනීමට අප උගත යුතුය. එම ශක්තිය හතරවෙනි පාරමිතාවවූ වීර්යය උපදවා ගැනීම සඳහා යොදාගත හැකිය.
සිසුන් දෙකොටසකට ගැටළු කිහිපයක් විසඳීමට සලස්වා, ඔවුන් පිළිබඳ පරීක්ෂණයක් ‘කොළොම්බියා’ විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලදී. අවසානයේදී, එයින් එක් කණ්ඩායමක් ඉතා විශිෂ්ට ලෙස එම ගැටළු විසඳා තිබූ බැවින්, පර්යේෂකයින් එම කණ්ඩායම ඉහළින් වර්ණනාවට පාත්‍ර කර සිටියෝය. අනිත් කණ්ඩායම ඒ සඳහා ගත උත්සාහය අගය කරමින් ඔවුන්ටද ප්‍රශංසා කරන ලදී. දෙවෙනි වටයේදී, ඉහතදී දක්ෂයින් ලෙස වර්ණනා කරන ලද කණ්ඩායම, ප්‍රශ්න විසඳා තිබුණේ මුලදීට වඩා අඩු මට්ටමකින්ය. නමුත් හොඳ උත්සාහයක් දරණ ලදැයි ප්‍රශංසාවට භාජනයවූ කණ්ඩායමේ ප්‍රතිඵල මෙවර සියයට තිහකින් ඉහළ ගොස් තිබිණ. මෙයින් පැහැදිලිව පෙනීයන්නේ අපේ හැකියාවන්ගෙන් අපි සෑහීමකට පත්වුවහොත් ඉදිරි කටයුතු වලදී අප යොදන වීර්යය සීමා කෙරෙන බව සහ අපේ හැකියාවේ පමණ කොතෙක්දැයි උරගා බැලීම එතරම් උනන්දුවක් නොදක්වන බවය.
මොන ක්‍රමයකින් හෝ පවරාදි ඇති වැඩ කොටස නිම කිරීමට මගක් අප සොයා ගත යුතුය. එය මට කළ නොහැකි බව පැවසීම විකල්පයක් කර නොගත යුතුය. ඔබෙන් බලාපොරොත්තුවන කාර්යයන් නිමාවට පත්කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ධෛර්යය ඔබම සොයා ගත යුතුය. සිතා සිටි සීමාවන් ඉක්මවා තවත් ඉදිරියට ඇදීයාමට හැකියාක් අපට ඇති බව තේරුම් ගන්නේ එවැනි වීර්යයක් යෙදීමෙන්ය.
ආධ්‍යාත්මික මාවතේ ගමන් ගන්නා විට හැකි සෑම උත්සාහයක්ම දරමින් අපේ උපරිම මට්ටමින් කටයුතු කරන්නේ නම්, අවසානයේදි තවදුරටත් ඉදිරියට ඇදීයාම සඳහා මොනයම් ආකාරයක හෝ පිහිටාධාරයක් ලැබෙන බව අපි අසා ඇත්තෙමු. අප කොතෙක් දුරට වීර්යය දැරීමට සූදානම් දැයි අපෙන්ම ප්‍රශ්න කළ යුතුය. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කථා පුවතේ සඳහන්ව ඇත්තේ උග්‍ර තපස්දම් රැකීම අත්හැර දැමීමෙන් පසු උන්වහන්සේ ස්නානය කොට ආහාර අනුභව කළ බවය. බෝමුල හිඳගැනීමෙන් පසු, මනුෂ්‍ය පැවැත්මෙහි ඇති දුකට විසඳුමක් සොයා ගන්නා තෙක්, එම උත්සාහයේදී මියෑදුනත්, හිඳගත් තැනින් නොනැගිටින බවට උන්වහන්සේ අධිෂ්ඨාන කර ගත්හ. “හොඳයි අපි පැයක් විතර උත්සාහ ගෙන බලමු, මොනවගේ උත්තරයක් ලැබේවිදැයි?” කියා උන්වහන්සේ එතැනදී නොපැවසූහ. එම නිසා, අවශ්‍ය කරන උත්සාහයේ ප්‍රමාණයත්, නමුත් ‘මම’ දැරීමට සූදානම් උත්සාහයේ ප්‍රමාණයත් අතර වෙනස, හැමවිටම හොඳින් සලකා බලන්න.
අවංකව සිතා බලන්න! ඔබ කැමති දේවල් කිරීමට නම් ඔබට ඕනෑතරම් ශක්තිය හා වීර්යය ඇති බව ඔබ පිළිගත යුතුය. කුඩා ළමුන් ලෙස අප කැමැත්තක දැක්වූ දේ පිළිබඳව සිහිපත් කර බැලීම මෙතැනදී වැදගත්ය. කුඩා කල මම, ගැලවීමට හැකියාවක් ඇති හැම විටකදීම, කොතැනකටවත් හෙමිහිට ඇවිද ගෙන යාමෙන් වැළකී සිටියෙමි. දිවීමට හෝ පැනපැන යාමට මා දැක්වූ තදබල ආශාව නිසා තැනකට ශාන්ත ලෙස ඇවිද ගෙන යාමට මගේ කිසි හුරුවක් නොවීය. සැතපුමක් දුර පැනපැන යන්නට යයි දැන් මට ආරාධනයක් ලැබුණහොත් මගේ සිත භීතියෙන් වෙලී යන්නේය. නමුත් වයස හතඅට කාලයේදි මට එවැනි ආරාධනාවක් ලැබුණා නම් ඊටත් වඩා වැඩි දුරක් වූවත් පැනපැන යාමට මා ඉදිරිපත් වනවා නිසැකය. පසු ජීවිතයේදී ප්‍රයොජනයට ගැනීම සඳහා එකල තිබූ ජවය ආරක්ෂා කර ගැනීමට හැකිවූවා නම් යෙහෙකැයි දැන් මට සිතේ. නමුත් සත්‍යය එය නොවේ. කිවයුතු අසනීපයකින් ඔබ නොපෙළෙන්නේ නම් එම ශක්තිය තවමත් ඔබ වෙත ඇත. නමුත් එය මතු වන්නේ ඔබ ඊට විරුද්ධත්වයක් නොපාන මට්ටමේ තරම අනුවය. එම ශක්තිය ඔබ සතු දෙයක් නොවේ. ඔබේ සිතැඟියාවන්ට අනුව එයට ආරාධනා කළ නොහැකිය. ඔබ බලාපොරොත්තුවන එම දෙවෙනි සුළඟ හමා එන්නේ ඔබ කරන කටයුත්තට ඔබ මුළු හදින්ම කැපවී සිටින විටය. ‘මට’ එය කැඳවිය නොහැකිය.
ශක්තිය උපදවා ගැනීමට ස්වභාව ධර්මයෙන් කිසිදු අවහිරයක් නැත. ‘රජ පෙන්ගුයින්’ සත්ව වර්ගය ගැන මෙතැනදි සිතා බලන්න. පැටවුන් බිහි කිරීමට සුදුසු කාලය උදාවූ විට එම රජ පෙන්ගුයින්වරු මුහුදෙහි වාසය අත්හැර දමා ‘ඇන්ට්‍රාක්ටිකා’ ප්‍රදේශයේ අයිස් තට්ටුවේ වැඩිම ඝනකමක් ඇති තැන් සොයා සීත සෘතුවේදී සැතපුම් හැත්තෑවකටත් වඩා වැඩි දුරක් ගමන් කරති. ඔවුන් අති විශාල සංඛ්‍යාවක් එක තැනකට එක්වී බිත්තර දමන්නේ එතැනට ළඟාවීමත් සමඟය. බිත්තරය දැමීමෙන් හා මාස ගණනාවක් තුළ කිසිම ආහාරයක් නැතිව සැතපුම් හැත්තෑ ගණනක දුරක් ඇවිදීමෙන් ඉතා වෙහෙසට පත්ව සිටියත්, නැවතත් මේ ගැහැණු සතුන් සැතපුම් හැත්තෑ ගණනක දුරක් මග ගෙවා ආපසු මුහුද වෙත ඇදෙන්නේ ආහාරය පිණිස මසුන් ඇල්ලීමටය. ඒ අතර පිරිමි සතුන් ඒ ඒ තැන්වල නතර වන්නේ දැමූ බිත්තරය, අයිස් මත නොගෑවෙන සේ සිය දෙපා මත සුරක්ෂිතව තබා ගෙන, එකම ඉරියව්වෙන් සිටගෙන යටි බඩේ ඇති සිනිදු ලොම් වලින් එය වසාගෙන උණුසුම් කරමින් ඒවා රැකීමටය. ඒ කාලය තුළ දරුණු හිම කුණාටුවලට මුහුණ දෙමින්, අවට ඌෂ්ණත්වය වතුර මිඳෙන ඌෂ්ණත්වයටත් වඩා අංශක පණහක් පමණ පහත වැටී තිබියදීත් මාස හතරක් තිස්සේ බිත්තරය රැකීමෙහි මෙම පිරිමි සතුන් යෙදී සිටිති. බැරිවීමකින් හෝ බිත්තරය අයිස් තට්ටුව මත පතිත වුවහොත්, එය එම මොහොතේම ගල්වේ. පිරිමි සතුන්ටද කෑම අවශ්‍ය නිසා ඔවුන් සැතපුම් හැත්තෑවක දුරක් මග ගෙවා ආපසු මුහුදට යන්නේ මාස හතරකට පසු පැමිණි ගැහැණු සතුන්ට කුඩා පැටවාගේ භාරකත්වය පවරා දෙමින්ය. “සැතපුම් හැත්තෑවක් ආපහු යන්න! අනේ මට බැහැ. මට බඩගිනියි, මහන්සියි. පැටියට ගෙනාපුවයින් ටිකක් මටත් දෙන්න.” යනුවෙන් ඔවුන් පවසන්නේ නම්, ‘රජ පෙන්ගුයින්’ සත්ව විශේෂය මිහිපිටින් අතුරුදහන්වී දැන් බොහෝ කල්ය.
ඊළඟ වතාවේදි, “මම අද රෑට භාවනා නොකර ඉන්නවා. මොකක්ද ඕක අදට විතරයිනෙ” යනුවෙන් ඔබට සිතෙන්නේ නම් ඉහත කරුණු මතක් කර ගන්න. ඔබ මෙලෙස ඔබේ නිදහසට ඉදිරිපත් කරන කරුණු ඉතා සුළු දෙයක් ලෙස පෙනුනත්, ඇත්තවශයෙන්ම ඊට පිටුපසින් හිඳිමින් ඔබව මෙහෙයවන්නේ “දේවල් මගේ ක්‍රමයට විය යුතුය” යනුවෙන් පවසන අණක්ගුණක් නැති දරුණු බලවේගයක්ය. අපේ කුසලතා යොදා ගත යුත්තේ මෙතැනදීය. “මෙවර පමණක් මම භාවනා නොකර හිඳිමි” යනුවෙන් සිතනවා වෙනුවට, “නෑ, මෙවර පමණක් මම භාවනාවට හිඳිමි” යනුවෙන් එය අනෙක් පැත්තට හරවා ගත යුතුය. මුළු ජීවිතයටම විඳවවිඳවා සිටිය යුතු දෙයක් ලෙස එය නොසලකා, ටිකෙන්ටික දිගින්දිගටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය උපදවන අප්‍රතිහත ධෛර්යයක් සේ එය සලකන්න.
පරිත්‍යාගය, සංවරය, ඕනෑම අභියෝගයක් ඉවසා දරා ගැනීමේ ශක්තිය හා එම ශක්තිය මගින් උපදවන වීර්යය යන පාරමිතාවන් මගින් ඔබේ මනස බලගන්වා ගත් විට, ඔබ ඉදිරියෙහි විවෘත වන්නේ සත්‍යාවබෝධය කරා දිවෙන දොරටු දෙකය. එනම් සමාධිය සහ ප්‍රඥාවය.
අඳුර පතුරුවමින් එළිය යටපත් කරගෙන සිටි වලාකුළු ඉවත්වී හිරු කිරණ ගලා ඒමට ඉඩ සලසන්නා සේ, සමාධිගත වීමෙන් නැතහොත් භාවනාවෙන් මූලිකවම අප බලාපොරොත්තු වන්නේ, නොකඩවා මතුවන සිතිවිලි වලට විරාමයක් ලබාදීමය. පැහැදිලි දැකීමක් ඇති වන්නේ එවිටය. ඇති දේ ඇති හැටියෙන් දැකීම ප්‍රඥාවය. භාවනාවට හිතදීම අපට ඉතා අපහසු දෙයක් වී ඇත. ඊට එරෙහිව මතුවන අපේ කලබලකාරිත්වය පෙන්නුම් කර සිටින්නේ, අපේ යථා ස්වභාවය නොපෙන්වා, අපේ නැති වැදගත්කම් සහ අපව අවශ්‍ය බව අනුන්ට පෙන්වීමට යාමෙන් අප බොහෝ දේ පටලවා ගෙන ඇති බවය.
මගේ මිතුරෙක් විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙක්ය. ඔහුට පැවරී තිබූ වැඩ ප්‍රමාණය අධිකය. සතියකට දින හයක් දවසක් පැය දොළහ බැගින් වැඩෙහි යෙදී සිටියත් ඔහුට අවශ්‍ය වැඩ කොටස නිමා කර ගත නොහැකි විය. මෙම වැඩ කටයුතු මහත් හිසරදයක් බව ඔහු පිළිගත්තද අංශයේ ප්‍රධානියා හෙයින් ඔහුට ඒවා මග හැරීමට ක්‍රමයක් නොවීය. අවුරුදු කීපයකට ඉහත, නිවාඩු කාලය ආසන්නයේදි අළුත්වැඩියා කටයුතු සඳහා ඔහුගේ කාමරය අත්හැර තාවකාලිකව වෙනත් කාමරයකට යාමට ඔහුට සිදු විය. ඒ වන විට නිවාඩුවට ප්‍රථම අවසන් කළ යුතු වැඩ ප්‍රමාණයද ගොඩගැසී තිබිණ. අඩුතරමින්වත් පැය දොළහේ දවස් තුනක් ඒ සඳහා වැයවන බවට හැඟීමක් ඔහු තුළ විය. ඒ සඳහා අවශ්‍ය සටහන් පිටපත් ගොන්නක් ඉණක් උසට කාමරයේ කොනක ගොඩගසා “මේවා ඉවත් නොකරන්න” යයි සටහනක්, කාමරය සුද්ධ පවිත්‍ර කරන අයගේ දැනගැනීම සඳහා ඒ මත තැබීය.
ඊළඟ දවසේ නොයෙකුත් වැඩ කටයුතු වල යෙදීමෙන් අනතුරුව හවස්වී කාමරයට පැමිණි විට එම කොළ ගොන්න එතැන නැති බව ඔහුට පෙනී ගියේය. හැකි ඉක්මණින් කාමරය පිරිසුදු කරන තැනැත්තා හමුවී එයට සිදුවූයේ කුමක්දැයි විමසා බැලීය. විසි කළ යුතු කොළයයි සිතා ඒවා කුණු ගෙන යන වාහනයට දැමූ බව එම තැනැත්තා පැවසීය. නිවාඩු දීමට කලින් නිමාවට පත් කළ යුතුව තිබූ, දින තුනේ අත්‍යවශ්‍ය වැඩ කොටස, ඔහුගේ හිස ගිනි දල්වමින් එසේ අතරුදහන් විය. නමුත්, මෙතැනදි ඔහු පැවසූ අන්දමට, සිත්ගන්නා දෙය වූයේ බාරදීමට අතපසුවූ පුස්තකාල පොතකට ගෙවන්නට සිදුවූ දඬමුදල හැරෙන්නට නැතිවූ වැඩ ගොන්නෙන් ඔහුට සිතූ තරම් හානියක් නොවූ බවය. දවස් තුනක පොහොසත් කමක් ඔහු සතු විය. මෙතැනදී ටිකක් නතරවී ඔහුට සිතා බැලීමට සිදුවූයේ ‘අත්‍යවශ්‍ය’ වැඩ නිසා පැය දොළහේ දින තුනක් මිඩංගු කිරීමට සිදුව තිබූ වැඩ ප්‍රමාණයෙන් කොයිතරම් කොටසක් ඇත්තටම අත්‍යවශ්‍යද යන්නය.
සැදැහැවතුන් කණ්ඩායමක් භාවනා උපදෙස් ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධ භාවනා ගුරුවරයෙකුගේ පිහිට පැතූහ. භාවනා කරන පිළිවෙල විස්තර කර දීමෙන් අනතුරුව ඔහු අවධාරණය කර සිටියේ, දෛනික කටයුතු වලදී තදින් ප්‍රතිචාර දැක්වීමෙන් වැළකීමටත්, පූජනීයත්වය අගැයීමටත්, නිතිපතා භාවනාමය කටයුතු වල යෙදීමටත්, නිරතුරුව උත්සාහ ගත යුතු බවය. එතුමා පැවසූ ආකාරයට, අපේ අරමුණ විය යුත්තේ, සෑම දෙයක්ම අභිබවමින් පැතිර පවතින්නාවූ මේ එකම දිව්‍යමය ජීවිතයෙහි ඇති වටිනාකම අවබෝධ කර ගැනීමය. අවසානයේදි, භාවනාවේදි පමණක් නොව එදිනෙදා ජීවිතයේදි පවා අප මෙම අවබෝධය තහවුරු කරගත යුතුය.
“මේ මුළු ක්‍රියාදාමයම පෙනේරයක් වතුරෙන් පිරවීම හා සමානය” යනුවෙන් පවසා ඔහු රැස්ව සිටි පිරිසට හිස නමා ආචාර කොට සමු ගත්තේය. සැවොම ආචාරශීලීව ඔහු ශාලාවෙන් පිටව යනවා බලා සිටියෝය. ඉන්පසු පිරිසෙන් කෙනෙක් මෙසේ පැවසීය. “ඒක බොහොම හොඳයි. පෙනේරයක් වතුරෙන් පුරවන්න කිව්වාම ඔක්කොම හරි. ඒ කියන්නෙ අපි කාටවත් මේ වැඩේ කර ගන්න බැහැ.” ඔහු තවදුරටත් “නමුත් ඒක නේද අපට දැන් වෙලා තියෙන්නෙ. මට නම් එහෙමයි. මම දේශනා අහන්න යනව. භාවනා කරන්න යනව. ධර්මය කියවනව. අහලපහල අයට උදව් කරනව. දෙවියන්ට, මළගිය ඇත්තන්ට පිං පමුණුවනව. මගේ හැසිරීම ටිකක් හොඳවුන බව පෙනෙනව. මම කලබල වෙන්නෙ නෑ. ඉවසනව. වැඩිපුර ඕපදූප කථා කරන්නෙ නැහැ. ටික කාලයකට බොහොම ලොකු සතුටක් දැනෙනව. නමුත් වැඩි කාලයක් නොගිහින් ඒව අඩුවේගන ගිහින් මම පරණ තත්ත්වයටම වැටෙනව. ඔව්! හරියට පෙනේරයක් වතුරෙන් පුරවනව වගේ. එතකොට ඔහු කිව්වෙ අපිට කරන්න පුළුවන් එච්චරයි කියන එකනෙ. එතකොට මොකක්ද මේකෙ තේරුම?” යනුවෙන් පවසා සිටියේය.
පෙනේරයේ කථාව කණ්ඩායමේ දීර්ඝ සාකච්ඡාවකට භාජනයවූ නමුත් සෑම දෙනාටම සෑහීමකට පත් විය හැකි විසඳුමක් සොයා ගැනීමට නොහැකි විය. එයින් අදහස් කෙරෙන්නේ, ගිහියන් වශයෙන් තාවකාලික සැනසීමක් ලබා ගන්නවාට වඩා වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි බවය යන්න, සමහරෙක් තර්ක කර සිටියේය. අප බොහෝ දෙනෙක් භාවනාව පිළිබඳව ඇති කර ගෙන ඇති අදහස් වල මූලික වරදක් ඇති බව ඇතැමෙකුගේ තීරණය විය. ඒ අතර තවත් සමහරෙක් පවසා සිටියේ ‘පෙනේරයේ උපමාව’ ධර්මයේ යම් තැනෙක සඳහන්ව තිබිය යුතු හෙයින් ඒ ගැන වැඩිදුරටත් සොයා බැලිය යුතු බවය. නමුත් ඒ ප්‍රයත්නයද අසාර්ථක විය. අවසානයේදි මේ ප්‍රශ්නය කණ්ඩායමේ පිරිස අතරින් ගිලිහී ගියද, එක් කාන්තාවක් මේ ගැන ගුරුවරයාගෙන්ම විමසා බැලීමට තීරණය කළාය.
ගුරුතුමා ඇය අතට පෙනේරයක් සහ කෝප්පයක් දී ඇය කැටිව මුහුදු වෙරලට ගොස් ගලක් මත හිඳ ගැනීමට සැලැස් විය. මුහුදු රළ ඒ ගල සිසාරා බිඳෙමින් පැවතින. “හොඳයි මට දැන් ඔය පෙනේරය වතුරෙන් පුරවා පෙන්වන්න” යයි ඔහු ඇයට අණ කළේය. ඇය නැමීගෙන මහත් උනන්දුවකින් පෙනේරයට වතුර වත්කරන්නට වූවාය. පෙනේරය අඩියෙහි වතුර දිස් වීමටත් මත්තෙන් ඒවා ක්ෂණිකව අතුරුදහන් විය.
“ආධ්‍යාත්මික පුහුණුවත් ඔය වගේමයි. මේ පෙනේරය පුරවන්න හදනව වගේ, ‘මමත්වය’ කියන ගල උඩ හිඳගෙන දිව්‍යමය අවබෝධය ඇතුළට පුරවන්න බැහැ. තමත්වය තුළට දිව්‍යමය ජීවිතය කවන්න බැහැ” යනුවෙන් ගුරුවරයා ඇයට පැවසුවේය. “එහෙම නම් එය පුරවන හැටි ඔබ තුමා මට පෙන්වා දෙන්න” යයි ඇය ඇයැද සිටියාය. ගුරුවරයා පෙනේරය ඇය අතින් ඉල්ලා ගෙන, මුහුදේ ඇසට පෙනෙන තෙක් මානයේ ඈතට ඔහු එය විසි කළේය. එය ටික වේලාවක් දිය මතුපිට පාවෙමින් තිබී ක්ෂණිකව දිය යට කිමිඳ ගියේය. “දැන් එය වතුරෙන් පිරිල. ඒ වගේම එය ඒ විධියටම පවතිනව” එතුමා පැවසුවේය. “අන්න එහෙමයි පෙනේරය වතුරෙන් පුරවන්නෙ. ආධ්‍යාත්මික පුහුණූව කළ යුත්තෙත් ඒ ආකාරයටමයි. මමත්වය තුළට දිව්‍යමය ජීවිතය හැමදාම ටිකටික පුංචි කෝප්පයකින් වක්කර කර ඉඳල හරි යන්නෙ නැහැ. ඒ වෙනුවට, දිව්‍යමය ජීවිතය නැමැති මුහුදේ ඈතට, ඔබේ මමත්වය අල්ලා විසි කළ යුතු දවසක් ඔබට වෙත එළඹෙනවා” යනුවෙන් එතුමා තවදුරටත් පවසා සිටියේය.
මුලින් පටන්ගත් පරිත්‍යාගය අවසන් වන්නේ මෙතැනින්ය. ‘අපව’ සම්පූර්ණයෙන්ම පරිත්‍යාග කිරීමයි, ඒ. අප සෑම දෙනෙක් තුළම පවතින ජීවිත ප්‍රඥාව විවෘත වන්නේ, බැබලීමට පටන් ගන්නේ එය සිදුවූ විටය.