වරදේ ඇති නිවරද

ජෝර්ජ් කාරියවසම්

           ‘මනුෂ්‍යයින් නිවැරදි විය යුතුය.’ මේ අදහස ඔබේ ජීවිතය තුළින් ඉවත් කර ගත හැකි නම්, දුක්කන්දරා බොහොමයක් ඔබ වෙතින් ඉවත්ව යනු ඇත.

වරදක් වූවේ තමා අතින් නම් නොතැවෙන්න. වැරදි සිදු නොවන්නේ කා අතින්ද? පිළිගන්න, තමන්ට සමාව දෙන්න. සිතසිතා සිටීමෙන්වත්, පසුතැවීමෙන්වත් අතීතය වෙනස් කළ හැකිද? මළගිය අතීතයත් සමඟ යට යන්නේ නැතිව තමන්ට හදාගත හැකි බවට විශ්වාසයක් ඇති අනාගතයත් සමඟ මතු වන්න.

වරද සිදුවූවේ වෙනත් අයෙක් අතින් නම් සිතා බලන්න. තරහ ගැනීමට, පළිගැනීමට බැරි කාටද? ඒ පොඩි ළමයින් පවා කරන දෙයක් නේද? අපේ ආධ්‍යාත්මයේ දියුණුවක් ඇති වන්නේ ඉබේටමද? එය පටන් ගන්නේ මේ වගේ තැන්වලින් නේද? තරහ නොගැනීමට, පළි නොගැනීමට අවශ්‍ය චිත්ත ශක්තිය ඔබට දැනෙ‍නවාද? තරහගැනීමට, පළිගැනීමට එවැනි ශක්තියක් අවශ්‍යද? තරහගන්න, පළිගන්න සිතුවත් ඒ අතරතුරදීවත්, අඩුතරමින් මේ වෙනසවත් දකින්න. ඒ මතුවන සිතිවිලි දිහා බලන්න, නමුත් ඒවා ක්‍රියාවට නොනඟා සිටීමට හැකිතාක් උත්සාහ ගන්න. පටන් ගැන්ම ඇත්තේ එතැනයි. ‘සම්පජඤ්ඤය’ නැතහොත් දැකීම හා ප්‍රඥාව කියන්නේ එයයි. අද පැරදුනත් හෙට හෝ අනිද්දා ඔබට දිනිය හැකි බවට ඇති විශ්වාස අත් නොහරින්න. අසා සිටීමෙන් පමණක්, ඉබේටම, ඒ ශක්තිය පිටතින් ආරෝපනය වනතෙක් බලා නොසිටින්න. මේ ඔබේ ස්වයං ශක්තිය ගොඩනගා ගැනීමේ ආරම්භකස්ථානයයි. ප්‍රායෝගිකව කෙරෙන මෛත්‍රීයේ උල්පත ඇත්තේ මෙතැනයි. වරදක් වූවත්, එය නිවරදක් බවට පත්කර ගන්නේ මේ ආකාරයෙනුයි. ඔබට ජය!

Leave a comment