අජාන් සුමේධො ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්
සම්පූර්ණයෙන්ම හරි හෝ සම්පූර්ණයෙන්ම වැරදියයි කියන්න පුළුවන් යම් අවස්ථාවක් හෝ යම් පුද්ගලයෙක් ඔබට පෙන්විය හැකිද? හොඳ නරක කියන දෙක හෝ හරි වැරදි කියන දෙක නියත දේවල්ද? දැන් පවතින ආකාරයෙන්ම, ඒව දිහා හොඳින් බැලුවාම, ඈත්මෑත් කොට බැලුවාම, ඇත්තටම එතන ස්ථිර යමක් නැති බව අපට පෙනෙනවා. හරියට මුහුදෙ මතුවන පෙණපිඬු වගේ, සබන් බුබුලු වගේ, සාරයක් නැති දේවල්. ඒ වුනත්, මෙයාකාරයෙන් එම දේවල් දෙකොටසකට දාල, වෙන්කරල අල්ලා ගැනීම නිසයි, අපි මේ දුක සැප කියන මායාවෙ පැටලිල ඉන්නෙ.
අපේ තරාතිරම, අපේ අයිතිය, අපේ අනන්‍යතාවය, අපේ වාසභූමිය ආරක්ෂා කර ගන්න; මේ මායාව වෙනුවෙන්, අපේ ජීවිතය වුනත් පූජා කරන්න අපි ලෑස්තියි. අපි ඉතා තදින් භෞමිකත්වය තුළ කොටුවූ පිරිසක්. අපි හිතනව මේ එංගලන්තය අයිති ඉංග්‍රීසි ජාතිකයින්ට කියල. අපි ඒක දැන් විග්‍රහ කරල බැලුවොත්, මෙතැන තියෙන මේ භූමිය කියනවද මේ එංගලන්තය කියල. මම එළිමහනෙ සක්මන් කරන කොට පොළව උඩට ඇවිත් කියනවද, “මේ එංගලන්තය – දන්නවද ඔය කාගෙ උඩද ඇවිදින්නෙ කියල?” එය කවදාවත් එහෙම කියලත් නැහැ, කියන්නෙත් නැහැ. නමුත් මම ඉඳගෙන කියන්නෙ “මම මේ ඇවිදින්නෙ එංගලන්තයෙ” කියලයි. මමයි ඒ භූමියට එංගලන්තය කියල කියන්නෙ. එය හැඳිනුමක් පමණයි. සම්මුතියක් වශයෙන් අපි ඇති කර ගත් හැඳිනුමක්. අපි හැමෝම එකඟ වෙනව මෙතැන භූමියට එංගලන්තය කියල කියන්න. නමුත් ඇත්තටම එය එහෙම දෙයක් නෙවෙයි. එය, ඒ පෙන්නුම් කර සිටින දේ පමණයි, සලකුණක්, සංඥාවක්. නමුත් අපි ඒ වෙනුවෙන් සටන් කරනවා, ඊට විරුද්ධ වන අයට වධහිංසා පමුණුවනවා. කිව නොහැකි අන්දමේ මොනතරම් බිහිසුණු අපරාධ කරනවාද මේ භූමිය වෙනුවෙන්? දේශ සීමාවෙ එක අඟලක් වෙනුවෙන් නූවමනා වාදභේද කොතෙකුත් ඇති කර ගන්නවාද? නීත්‍යානුකූලව එය මගේ වාසභූමිය වුනත්, “මෙය අජාන් සුමේධෝටයි අයිති”, ඇත්තෙන්ම එහෙම දෙයක් එතැන නැහැ. එය සම්මුතියක් පමණයි. මේ ඔක්කොම අපි මනසින් අල්ලගෙන ඉන්න දේවල්.
මේ වගේ මායාවන්ගෙන්, සම්මුතිවලින් බැඳීගත්තාම, ඔව් ඇත්තෙන්ම, අපි අමාරුවෙ වැටෙනව. හේතුව, ඒවයෙ කිසි ස්ථිරත්වයක් නැහැ, ඒව ධර්මානුකූල නැහැ. “ඒක මගේ, ඒක අයිති මටයි, ඒක මම ආරක්ෂා කරගන්න ඕනෙ, ඒක මගෙ මතු පරම්පරාවට පවරල දෙන්න තියෙන්න ඕනෙ” යන හැඟීමෙන්, මමත්වය වැඩි දියුණු කරගන්න, අපි අපේ ජීවිත කාලය මොනතරම් නාස්ති කර ගෙන තියෙනවද? අපි මේ ආකාරයෙන් මතු පරම්පරාවලටත්, මතු අනාගතයටත්, මතු ජීවිතවලටත් මේ හැඟීම ව්‍යාප්ත කර ගන්නව.
අනන්‍යතාවය, තමන් හඳුන්වා ගන්නා ආකාරය පිළිබඳව හිතාමතාම අපි ඇති කර ගන්නා ආත්මසංඥාව නිසා, ඇත්තෙන්ම කිසිම හරයක් නැති, සාරයක් නැති, ඇතිවී නැතිව යන, හිතින් මවාගන්නා දේවලින් පිරුණු ලෝකයක් අපි නිර්මාණය කර ගන්නව. මේ මායාවන් වෙත තර්ජනයක් එල්ලවූ පමණින් අපි බොහෝ සෙයින් කලබල වෙනව, නොසන්සුන් වෙනව.
මට මතකයි, මගේ පෞර්ෂයෙහි, මගේ හැටි මෙහෙමයි කියල හිතා ඉන්න ආකාරයෙහි, ඇති සත්‍යතාවය මම මුලින්ම ප්‍රශ්න කිරීමට පටන් ගත් අවධිය. එහෙම ප්‍රශ්න කරන කොට මරණාසන්න වූවෙකුට වගේ බියක් ඇතිවීම ගැන මම පුදුම වුනා. ඒ කාලයෙදි මම, තමන්ව විවේචනය කර ගැනීමේ හැඟීම් වලින් බර වූවෙක් මිසක්, අහංකාර උන්මාදයකින් මම පෙළුනෙ නැහැ. මගේ ආත්ම විශ්වාසය, ආත්මාභිමානය, කිවයුතු තරමේ බලගතු කමක් නැතිව සාමාන්‍ය මට්ටමින් පැවතුනත්, ඒ ආකාරයෙන් මා ගැන ප්‍රශ්න කරද්දි, ඒ තිබුණු ආරක්ෂාවට, ඒ ආත්ම විශ්වාසයට, පටලවා ගත් මගේ පෞර්ෂයට, අභියෝගයක් එල්ල වෙන කොට මට ඇති වුනේ බලගතු තර්ජනාත්මක බියක්. අසනීප, ආබාධයන්ගෙන් හෝ බීමත්කම වැනි දුර්වලකම් වලින් පෙළෙනවුන් ළඟ වුනත් යම් තරමක ස්ථාවර මානසිකත්වයක් තියෙනව. පීඩනෝන්මාදයෙන් හෝ හීනෝන්මානයෙන් (ස්කිට්ස්අෆීනියා) හෝ වෙනයම් මානසික ලෙඩ රෝගයකින් පෙළෙන අය පවා යම් අන්දමක හැඟීමක් ඇති කර ගන්නව, “අපි දන්නව අපි කොයිවගේද කියල. අපේ හැටි එහෙම තමයි, කරන්න දෙයක් නැහැ” යන ආකාරයට. ඒ අයට පුළුවනි කියන්න, “මම හීනෝන්මාදයෙන් පෙළෙන කෙනෙක්. මම ඉන්න තත්ත්වයට මුකුත්ම කරන්න බැහැ.” එක්තරා රටාවකට අනුව පැවැත්ම ගෙන යාමට ඔවුන්ට ඉඩ ඇති බවක හැඟීමක් ඉන් පෙන්නුම් කෙරෙනව. මේ වගේ මොනයම් ආකාරයකින් හරි, අපේ අනන්‍යතාවය, අපේ හැඳුනුම ඒ ඒ ආකාරයෙන් ලකුණු කොට ගෙන, ලේබල් කරගෙන තිබෙන නිසා, එමගින් යම් අන්දමක ස්ථාවර බවක්, ස්වයං විශ්වාසයක් ඇති වෙනව. ඒ ඒ ලේබල් වලට අනුව, සංඥානයන්ට අනුව, ඒ ඒ ආකාරයෙන් එකිනෙකා දෙස බැලීමට අපි සම්මුතියක් ඇති කර ගෙන තියෙනව. ‘මම ලෙඩෙක්, මම අසරණයෙක්, මම උගතෙක්, නොදන්න දෙයක් නැති කෙනෙක්, මම ලොක්කෙක්, තරහ යන කෙනෙක්’, මේ ඒ සඳහා උදාහරණ කීපයක්.
මානසික රෝගි තත්ත්වයක් යටතේ අවට ලෝකය බිඳවැටී යන්නාක් මෙන් දැනෙන්නට හා අපි මවාගත් මායාකාරී ලෝකය දෙදරවා ලීමට ඉඩ සලස්වන අන්දමින් ප්‍රශ්න කිරීමට අවශ්‍ය කරන මානසික ශක්තිය ඔබට දැන් සිතා ගත හැකියි. එම මායාව මත ගොඩ නගාගෙන ඇති ආත්ම විශ්වාසය, සුරක්ෂිතභාවය, සලසාදී ඇති ආරක්ෂාව ඉරි තැලීමට, බිඳවැටීමට ආරම්භවූ විට එය ගෙන දෙන්නේ මහත් භීතියක්. එය එසේ වූවත් අප තුළ ඇති යම් කිසිවක් ඊට මුහුණදීමට අපව යොමු කරනවා. මට මහණ ජීවිතයට ඇතුළත් වීමට ශක්තිය ලැබුණේ කොහෙන්ද? එය යම් විධියක සහජ ඥානාත්මක දැනීමක්, දැනීම තුළින් මතුවන දැනීමක්, මානසික දක්ෂතාවයක්, දැනුවත් කම් සියල්ලම අභිබවා යන බුද්ධියක්; නමුත් අපි එය කොහොම හැඳින්වූවත්, එයට පුද්ගලික මට්ටමේ අයිතිවාසි කමක් කියන්න බැහැ. පෞද්ගලිකව අපි ඇති කර ගෙන තියෙන සංඥානයන් අත්හැර දැමීමට අපි හැමවිටම උත්සාහ ගත යුතුයි. එහෙම නැතිව අපි ඒව අල්ල ගන්න ගියොත් අපි කරන්නෙ තවත් මායාවක් මවා ගැනීමයි. එල්ලීමට, අයිති කර ගැනීමට, තමන්ගෙ හැටියට, හඳුන්වා ගන්න නොගිහින්, අපි ඒ දේවල් වල තත්ත්වාකාරය වටහා ගන්න ඕනෙ. අවධානය යොමු කිරීම, ප්‍රඥාන්විතව දැනහිඳීම, ‘සතිසම්පජඤ්ඤය’, පුහුණු කිරීම කියන්නෙ මේකටයි. වෙනත් වචන වලින් කියනව නම්, මනස කේන්ද්‍රස්ථානය වෙත ගෙන යාමයි, දැනුවත් තැනැත්තාගේ තැනට ඒමයි. මෙතැන ඇති මේ බුදු පිළිරුව: එයයි නිසල තැන. ඔබ මේ බුදුරුව දිහා බැලුවොත්, එය සංකේතයක්. නිසල තැනට පැමිණි මිනිසත් බව පිළිඹිබු කෙරෙන අභිමානවත් සංකේතය එයයි. ඒ නිසල බව දැන් ඔබට ඇති කර ගත හැකිද? එහෙම නම් ඔබට මම කියන දේ තේරෙනව.
‘භාවනාව’ නමින් හැඳින්වෙන දෙයට උනන්දු කරවීමයි, දැන් හැම තැනින්ම ඇහෙන්නෙ. භාවනාව කියන වචනයෙන් නොයෙකුත් දේවල් අදහස් කෙරෙන්න පුළුවනි. මනස පුහුණු කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකි මේ දෙයට, හොඳ නරක දෙකත් ඇතුළත් වෙන්න පුළුවනි. නමුත් මම එය යොදා ගනිද්දි, මම එය බෙහෙවින්ම පාවිච්චි කරන්නෙ, ඉහත දැක්වූ අන්දමේ කේන්ද්‍රගත වීමකට, පිහිටුවා ගැනීමකට, ස්ථාපිත කිරීමකට, කේන්ද්‍රයෙහි තැන්පත්වී විවේක ගැනීමකට. ඇත්තෙන්ම කෙනෙකුට මෙය කර ගත හැකි එකම මග මෙයයි: ඒ ගැන හිතන්නවත්, විග්‍රහ කරන්නවත් එපා. දැනුවත්ව හිඳීමේ, අවධානය පවත්වා ගැනීමේ සරල ක්‍රියාව මත විශ්වාසයක් ඇති කර ගැනීම වගේ සුළු දෙයක් ඒක. එය පහසුවෙන් තේරුම් ගත හැකි සරල දෙයක් වුනත්, අපේ පටලවාගත් මනස එය විකාරයක් කර ගන්නව: “මොනවද මේ ඉඳගෙන කියවන්නෙ? මම කවදාවත්ම ඔය කියන නිසල තැනක් දැකලවත්, හොයා ගෙනවත් නැහැ. භාවනාවට ඉඳගත්තාම ඔය කියන නිසලතාවයක් කොහෙද තියෙන්නෙ?” හෝව්, පොඩ්ඩක් ඔහොම ඉන්න! නමුත්,එහෙම කිව්වට ඔය කියන අදහස ගැන ඔබ දැනුවත් නේද? කිසි දවසක නිසල තැනක් අත්විඳ නැති බවක්, අගමුල පටලවා ගත් චරිතයක් නිසා භාවනාව කරගන්න බැරි බවක්, මනස එහෙම පිටින්ම අවුල්වී ඇති බවක් ඔබට හිතෙනව නම්, ඒ අදහස් මනසෙ ඇති බව දැන හිඳීමම හොඳටම ප්‍රමාණවත්. ඔබට ඇති, අන්න ඒ දැනහිඳීමේ හැකියාව මත විශ්වාසය ඇති කර ගන්න. ඒ නිසයි මම ඔබව උනන්දු කරවන්නෙ, ඔබ යම් විධියකට හිතනවද, ඒ දේවල් වුවමනාවෙන්ම හිතේ මතු කර ගෙන, ඒ ඇති කර ගත් සංඥානයන්, දැනුවත් කමකින් යුතුව හොඳින් විග්‍රහ කර බලන්න. බොහොම වෙලාවට ඒ හැඟීම්, අදහස් මනසෙ මතුවෙන්නෙ පුරුද්දට. ඒ වෙලාවට ඔබ කරන්නෙ, එක්කො ඒව විශ්වාස කරනව, එහෙම නැත්නම් ඉබේටම ඒව අමතක වෙන්න ඉඩ අරිනව. නමුත් දැන් ඒව ගැන සිහියෙන් ඉන්න.
තමන්ටම ආවේනිකවූ ඇවතුම් පැවතුම් ඉවත් කර ගන්න උත්සාහ කිරීමෙන් සිද්ධ වෙන්නෙ, අවිනිශ්චිත තත්ත්වයකට මනස පත් කර ගැනීමයි. ඔබට දැන් හිතෙනවා නම් ඔබේ පෞර්ෂය මායාවක් නිසා එය අත්හැර දැමිය යුතුයි, එහෙම නැත්නම් දැන් තවත් මායාවක මම පැටලිල කියල; ඒ කියන්නෙ, “අත්හැර දැමිය යුතු පෞර්ෂයක් ඇති යම් කිසිවෙක් මම. ‘පෞර්ෂය අත්හැර දැමීමට හැකි’ පෞර්ෂයක් ඇත්තෙක් මම.” ඒ අදහසත් හරයක් නැති විලම්බීතයක්. මෙතැන ඇති වැදගත් දේ අත්හැර දැමීම නෙවෙයි. දැනහිඳීමයි. ඒ මතුවන සිතිවිලි ගැන දැනුවත්ව හිඳීමයි.
දැන් ඔබ හිතෙන් හොඳ ප්‍රසිද්ධියට පත්වූවෙකු වෙන්න; ඇත්තෙන්ම හිතා මතාම එහෙම කෙනෙකු වෙලා, එය විකාරයක් වෙන තත්ත්වයකට ගෙන යන්න. ඔබට එයින් හොඳ විනෝදයක් ලැබේවි. ඔබේ පෞර්ෂය ඒ වගේ ඉතා බොළඳ තත්ත්වයකට ගෙනැවිත්, ඇතුළතින් ඊට හොඳින් ඇහුන්කම් දෙන්න. ඔබේ මානසික සම්බන්ධතාවය, අවධානය පවත්වා ගත යුත්තේ, ඒ මවාගත් පෞර්ෂය ග්‍රහණය කර ගැනීමෙහි නෙවෙයි, නමුත් තමන් විසින්ම තම මානසිකත්වය වෙනස් කර ගනිමින්, එය නිර්මාණය කර ගන්නා දෙයක් බව තේරුම් ගැනීමෙහියි. හොඳට බලන්න, කාලයක් රැඳී පවතින, වෙනස් නොවී පවතින, මොනයම් අන්දමක හෝ පුද්ගල සංඥානයක් ඔබට ඇති කර ගන්න බැහැ. තමන්ගෙ මුළු මානසික ශක්තියම යෙදුවත්, රඳා පැවතීමේ ශක්තියක් ඇති, පුද්ගල මට්ටමේ කිසිවක්, සංඥානයක්, තමන්ට ඇති කර ගන්න බැහැ. ඒ සෑම දෙයක්ම මිරිඟුවක් වගේ ඇතිවී නැතිව යනව, ඉක්මණින් වෙනස් වෙනව, තාවකාලිකයි. නමුත්,ඒ කොහොම වුනත්, පෞර්ෂය කියන්නෙ තමන් ගොඩනගා ගන්නා දෙයක් බවට දැනහිඳීමක් එතැන තියෙනව. අන්න ඒ දැනුවත් බවයි ඔබ දියුණූ කර ගත යුතු.
මම දැන් වුවමනාවෙන්ම හිතනව: “මම ඔළුව අවුල් කර ගත්තු පුද්ගලයෙක්, ඒ නිසා අනාගතයේදි සත්‍යාවබෝධ කර ගන්න නම් මීට වඩා හොඳට භාවනා කරන්න ඕනෙ.” මම ඒක හිතනව, නමුත් මම ඒ එක්කම එයට ඇහුන්කම් දෙනව. මම ඒක වුවමනාවෙන්ම හිතුව, දැන් මම ඒ ගැන විමසා බැලීමක් කරනව. ඒ අදහස මට හැඟීම් ඇති කළා. මම එහෙම හිතන්න තීරණය කළා. ඒ වගේම මට මේ ඔක්කොම ඇතුළතින් ඇහෙනව. මම ඒ ගැන හිතුව. ඒ වුනත් ඒ සිතිවිල්ල ඒ අදහස පිළිබඳව දැනුවත්ව ඉන්න දෙය, එයට ඇහුන්කම් දෙන දෙය, මම ඇති කළේ නැහැ. මම එය මැව්වෙ නැහැ. හොඳට බලන්න! මම ඒ අදහස ඇති කර ගත්ත, නමුත් ඒ අදහස ගැන දැනුවත්ව ඉන්න දෙය මම ඇති කළාද? නැහැ. එය එතැන පවතිනව.
මේ විධියට ඔබට විමසා බැලිය හැකියි. දැනුවත් බවෙහි හා සිතීමෙහි වෙනස ඔබ තේරුම් ගන්නවා. මොකක්ද මේ නිසල තැන, කේන්ද්‍රය, දැනුවත්කම පවතින තැන? වචන වලින් එය විස්තර කරන්න බැහැ. මේ වගේ සිතා බැලීමට තමයි ආවර්ජනය කර බලනවා කියන්නෙ. පිළිතුරු තමන්ටම පැහැදිලි වෙනවා. මේ දෙය වෙතට අවධානය ගෙන එන්න, මම මගෙන්ම ප්‍රශ්න අහනවා. පිටස්තරයෙක්ගෙන් මගේ ප්‍රශ්නයට ලැබෙන පිළිතුරක් වගේ පිළිතුරක් මම බලාපොරොත්තු වෙන්නෙ නැහැ. එය ඇතුළතින් ලැබෙන පිළිතුරක්, තේරුම් ගැනීමක්, අවබෝධයක්. ඒ වගේ ආවර්ජනාත්මක ප්‍රශ්න මගින් කෙරෙන්නෙ මගේ අවධානය නිරවුල් කර දීම, අවශ්‍ය දෙය වෙත මනස යොමු කිරීමට වගේම අවශ්‍ය දෙය ගැන දැනුවත්ව හිඳීමට මට උදව් කිරීම.
වැඩි වැඩියෙන් මම අවධානය යොමු කරන කොට, මම දැන්වත්ව ඉන්න කොට මට අවබෝධ වෙනව මේ නිසල තැනේ පවතින, රැව් පිළිරැව් දෙන, නිහඬතාවනේ හඬ. මම එය මැව්වෙ නැහැ. එය මගේ නිර්මාණයක් නෙවෙයි. මට එහෙම අයිතිවාසිකමක් කියන්න බැහැ, “නිහඬතාවයේ හඬ මගේ පුද්ගලික දෙයක්. එය අයිති අජාන් සුමේධෝට” කියල. ඒක හරියට මේ අවට තියෙන වාතය, අවකාශය තමන් සතු කර ගන්න හදනව වගේ දෙයක්. “මුළු ලෝකයේම තියෙන වාතය අයිති මටයි” කියනව වගේ විලම්බීත කථාවක්. පුද්ගලිකත්වයක් ඒව වටා ගොඩ නගන්න බැහැ. එය ඔබට ‘විය’ හැකි තත්තවයක් පමණයි. ඔබ මේ නිසල තැන වීමෙන්: විවේක ගනිමින්, විවෘත මනසකින් ඔබේ පෞර්ෂයට, ශරීර වේදනා වලට, මතුවන මනෝභාවාත්මක පුරුදුවලට, මනසෙ ඇති සිතිවිලි වලට පවතින්න ඉඩ දිය හැකියි. දැන්, ඒවා සමඟ සම්බන්ධයක් ඇති කර ගත යුත්තේ ඒවා තමන්ගේ ලෙස හඳුන්වා ගැනීමට නෙවෙයි, තේරුම් ගැනීමට, පවතින්නට ඉඩදීමට හා පිළිගැනීමටයි. ඒවාට අයිතිය ඇති කර ගත් මොහොතේම, සෘණවාදි සිතිවිල්ලක් ඔස්සේ එයට ඇමිණීමයි අපේ පුරුද්ද. මගේ හිතේ කළකිරුණ ස්වභාවයක් මතුවුනාම, “ඔන්න පටන් ගත්ත ආයිමත්, අරයගෙයි මෙයාගෙයි වැරදි හාර අවුස්සන්න. ඒව මම නොකළ යුතු දේවල්. මෙච්චර කාලයක් මහණ වෙලා ඉඳලත් පේනව නේද, කවදද මේව නතර කරන්නෙ? ඔය ආයිමත් පරණ තත්ත්වයටම වැටුන නේද?” සෘණවාදි සිතිවිල්ලක් මගේ දෙයක් හැටියට සැලකුවාම මොනතරම් කළකිරුණ හැඟීම් මතුවෙනවද? එහෙම නැත්නම්, “මම ඒ විධියට හිතන්න හොඳ නැහැ. මම හොඳ හාමුදුරුනමක් නම් හැමෝටම හොඳවෙන්න ඕනෙ…….”, ඒ විධියට හිතනව. නමුත් ඒ එක්කම, දැනුවත් කම මතුවුන ගමන්, ඔබ ඒ ඔක්කොම සිතීම් අත්හරිනව. නැවත කේන්ද්‍රයට යනවා. නිසල තැන වෙනවා.
කරුණාවෙන් තේරුම් ගන්න. මොනතරම් වතාවක් ඔබ පීලි පැන්නද කියල මෙතැන ප්‍රශ්නයක් නැහැ. නැවත කේන්ද්‍ර ගත වීමට අවශ්‍ය වෙන්නෙ අවධානය යොමු කිරීමේ සරල ක්‍රියාව විතරයි. එය අමාරු දෙයක් හෝ අපට දුරස්තර, යම් බලගතු දෙයක් නෙවෙයි. වැරැද්ද, අපි ඒකට පුරුදු වෙලා නැති එක පමණයි. අපි පුරුදු වෙලා තියෙන්නෙ, කැරකෙන රවුම උඩට වෙලා ඉඳලෙන කැරකි කැරකි ඉන්න, සිතන පතන ඕනම කෙනෙක් වෙවී ඉන්න. මායාවල පැටලෙන්න, ලබාගන්න බැරිවුන වින්දයන් හිතින් මවා ගන්න, දවල් සිහින දකින්න; අපි ඒවට පුරුදු වෙලා. අන්තගාමී වෙලා අපිට හොඳට පුරුදුයි. අපි පරිස්සම් වුනේ නැත්නම්, කල්පනාවෙන් හිටියෙ නැත්නම්, කිසිම වගවිභාගයක් නැතිව, අපිට පුරුදු දේවල් ඒ විධියටම කෙරෙනව. නැවතත් අපි කැරකෙන රවුම උඩටම වැටෙනව. මොකද එතැන අපිට දැන් හොඳට පුරුදුයි. අපි දැනුවත්ව හිටියෙ නැත්නම්, සිහිකල්පනාවෙන් පරිස්සමින් නොහිටියොත්, නැවතත් අපි දුකින් පිරුණු ලෝකයේ අතරමං වෙනවා. මේකෙ හොඳ පැත්තකුත් තියෙනවා. අපි වැඩි වැඩියෙන් දැනුවත් කම ඇති කර ගන්නවා නම්, එතකොට අර පරණ පුරුදු, අපි හුරුවෙලා තිබුණු දේවල් ටිකින්ටික මගහැරෙන්න පටන් ගන්නවා. අපි මේ මායාවන්ට තවදුරටත් ඉන්ධන සපයන්නෙ නැහැ, පසුපස යන්නෙ නැහැ. අපි විරුද්ධත්වයක් පාන්නෙත් නැහැ. අපේ මේ ශරීරය ගැන, පරණ මතකයන් ගැන, සිතිවිලි, පුරුදු, අපේ පෞර්ෂය ගැන අහිතක් ඇති කර ගන්නෙ නැහැ. ඒව කරදරයක් කර ගන්නෙ නැහැ. අපි කිසිම දෙයක් පහත් කරල කථා කරන්නෙ නැහැ, විවේචනය කරන්නෙ නැහැ, ගුණ වර්ණනා කරන්නෙ නැහැ, චාටු බස් දොඩන්නෙ නැහැ, අතිශයෝක්තියෙන් හුවා දක්වන්නෙ නැහැ. එය ඒ පෙන්නුම් කර සිටින දේ පමණයි. එතැනින් එහාට යන්නෙ නැහැ.
මෙහෙම අපි කටයුතු කරගෙන යනකොට, ඒවා සමඟ අපේ බැඳීම, අල්ලා ගැනීම, මගේ යයි කියා සැලකීම ටිකටික ගිලිහී යන්න පටන් ගන්නවා. තවදුරටත් අපි මායාවන්ට වසඟ වෙන්නෙ නැහැ. අපිට ඒවා අභිබවා යාමට හැකි වෙනවා. තමන් ලෙස සිතා සිටින මමත්වය නමැති මායාව විනිවිද දැකීමට හැකියාව ලබාගත්තාම, අපි නැඹුරු වෙන්නෙ ඇතිතතු වැටහෙන කේන්ද්‍රස්ථානයටයි, නිසල තැනටයි.
මෙය ඇත්තටම ඔබට විශ්වාස කළ හැකි දෙයක්. ඔබ ඒ සඳහා උනන්දු කරවීමේ මගක් හැටියටයි මම මේ දේවල් දිගින් දිගටම පවසන්නෙ. ‘ඔබ ඒ ගැන හිතනවා නම්’, ඔබ එය විශ්වාස කරන්නෙ නැහැ. සමහර වෙලාවට අපේ ඔළුව අවුල් වෙන තරමට, භාවනාව, බුද්ධාගම ගැන මොනතරම් අදහස්, මත, දෘෂ්ඨි අපට නිතර අහන්න ලැබෙනවද? සංඝයා වහන්සේලා අතර පවා මොනතරම් විවිධ අදහස්, මත, දෘෂ්ඨි පවතිනවද? ඒ නිසා තමන් කෙරෙහි විශ්වාසය ඇති කර ගැනීම ඉතාමත් වැදගත්. සිතීමට වඩා දැනහිඳීමේ හැකියාව ඔබ පුහුණු කළ යුතුයි. “මට මාවවත් විශ්වාස කරගන්න බැහැ. මම මුලින්ම සමාධිය ඇති කර ගන්න ඕනෙ. මේ භාවනාව පටන් ගන්න කලින් මගේ මේ ඔළුවෙ තියෙන පිස්සු විකාර, ඔල්මොරොන්දම් විසි කර දාන්න ඕනෙ.” ඔබ එය විශ්වාස කරනවා නම්, ඔව්! එහෙම නම් ඔබ එයයි කළ යුතු. නමුත්, ඒ සිතිවිලි ඇති කරන මායාව, ඔබට පෙනෙන්න පටන් ගන්නවා නම්, සුළුවෙන් හෝ ඒ හැකියාව වෙත විශ්වාසය ගොඩනගා ගන්න. ඒ සිතිවිලි ප්‍රතික්ෂේප කිරීමක් ඉන් අදහස් කරන්නෙ නැහැ. ඒ දේවල් කරන්න එපා කියල මම කියනව නෙවෙයි. නැවතත් වැරදි කොණින් මනින්න, හිතන්න පටන් ගන්න එපා. ඔබේ සීලය පිරිසිදු කර ගන්න එපා කියල මම කියා හිටිනව නෙවෙයි, ඔබේ මානසික ගැටළු විසදා ගන්න එපා කියනව නෙවෙයි, වෛද්‍ය උපදෙස් ගන්න එපා කියනව නෙවෙයි, ධ්‍යාන වඩන්න එපා කියනව නෙවෙයි. ඔබ “කළ යුතු දේ” ගැන හෝ “නොකළ යුතු දේ” ගැන ප්‍රකාශයක් නෙවෙයි, මම මේ ඉදිරිපත් කරන්නෙ. මම ඔබට පෙන්වා සිටින්නෙ, ඔබට පුළුවනි විශ්වාසය ඇති කර ගන්න – මෙතැන මේ මොහොතෙ දැනුවත්කමට, සතිසම්පජඤ්ඤයට.
ඔබ අතරින් කව්රුහරි කෙනෙක් මා ළඟට ඇවිත් කිව්වොත්, “අජාන් සුමේධෝ, මගෙ ඔළුව විකාර වෙලා, මට පොඩිකාලෙ සලකල තියෙන්නෙ මහ දරුණු විධියට. මට තියෙනව මානසික ප්‍රශ්න ගොඩක්. මම ඉන්නෙ හැමතිස්සෙම බයෙන්. ඒ හින්ද මම මේ ටික විසඳ ගන්න, මානසික වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕනෙ. මේ ඉන්න විධියට නම් මට බැහැ භාවනා කරන්න.” එතකොට මම කියනව: “ඔව්, ඇත්ත තමයි. එහෙම කරන්න, ඔබේ මනස හොඳටම අවුල් වෙලා. ඒ හින්ද මනො වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඔය ඉන්න තත්ත්වය වෙනස් කරගෙන, ඊට පස්සෙ ඇවිත් භාවනා කරන්න.” මම ඒ කරන්නෙ ඔහුට ලොකු උපකාරයක්ද? මම ඔහුට නිසල තැන පෙන්නුම් කර දෙනවද? එහෙම නැත්නම් ඔහු තමන් පිළිබඳව ඇති කර ගෙන තියෙන මානසිකත්වය තව ටිකක් තහවුරු කර දෙනවද? අපි සාමාන්‍ය මට්ටමින් බැලුවාම, ඔහු ඇති කර ගෙන තියෙන ඒ අදහස් වැරදි නැහැ. ප්‍රතිකාර ගැනීම අවශ්‍ය නැහැ කියල මම කියනව නෙවෙයි. මෙයයි කළ යුතු හොඳම දේ: ඔහු මේ විධියෙ, අර විධියෙ පුද්ගලයෙක් යැයි අපි ඔහුට නොකිව යුතුයි. ඔහුට එල්ලී ගෙන ඉන්න පෞර්ෂයක් අපි ඉදිරිපත් කළ යුතු නැහැ. අපි කළ යුත්තේ, අවදිමත් වීමට ඔහුට ඇති හැකියාව පෙන්නුම් කර දීල, තමන් ගැන අවධානයෙන් ඉන්න ඔහු උනන්දු කිරීම හා ඔහු ධෛර්යමත් කිරීමයි. එයින් ඇතිවන ප්‍රතිඵලය මොකක්ද කියල මට කියන්න බැහැ. ඒ වුනත් ඒ උපදෙස හොඳය කියල මට හිතෙනව. සත්‍යය මෙයයි: ඔබේ සත්‍යමවූ පෞර්ෂය, වටපිටාවෙ සිදුවන දේවල් මත රඳා පවතින්නක් නෙවෙයි.
‘පච්චුප්පන්න ධම්ම’, වර්තමානයෙහි ධර්මය, මෙතැන ඇති සත්‍යය පෙන්වාදීමෙන්, කෙනෙක් ඒ අදහස් වැරදි විධියට අල්ල ගෙන, මේ දේවල් එක්ක මොනවත්ම කරන්න ඕනෙ නැහැ කියල හිතන්න පුළුවනි. “වෙන්න තියෙන දෙයක් වුනාවෙ. වෛද්‍ය උපදෙස් වුවමනා නැහැ. භාවනාවම කරගෙන යන්න. සර්ව සම්පූර්ණ භාවනාව ඔක්කොම ප්‍රශ්න විසඳල දේවි.” ඒ ගමන, අපි දැන් ඒ අදහස අල්ල ගෙන ආගම් විරෝධීන් වෙනව. “හැම ආගමකින්ම කෙරෙන්නෙ කාලය නාස්ති කිරීමක්. මනො චිකිත්සාව මොන බොරු වැඩක්ද? ඒව මොනවත් ඕනෙ නැහැ. මොකද කරන්න ඕනෙ, සිහිකල්පනාවෙන් ඉඳගෙන භාවනා කරන්න.” ඒ තවත් දෘෂ්ඨියක්, එහෙම නේද? ඒ වගේ මතවාද වලින් කේන්ද්‍රය පෙන්නුම් කෙරෙන්නෙ නැහැ. ඉන් කෙරෙන්නෙ, පවතින තත්ත්වයන් සහ සම්මුති විනිශ්චය කිරීම පමණයි. “ඔබට ආගම් අවශ්‍ය නැහැ. ඒ ඔක්කොම බොරු මනස්ගාත.” ඔබට එහෙම කියන්න පුළුවන් කම තිබුණත්, “අන්තිමට, අපි ඔක්කොම එක කළ යුතු පිබිදීම වගේ සරල දෙයක්” කියල කියන්න පුළුවන් වුනත්, එයත්, භාෂාව හැසිරවීමෙන් ඇති කර ගත් තවත් සම්මුතියක් නේද? “ඔබ අමුතුම විධියෙ පුද්ගලයෙක්, ඔබ තවම නිදි, දැන්වත් නැගිටින්න!” ඒකත්, අර අදහස් ඔබ හොඳට අල්ල ගෙන නේද, කියල කෙලින්ම නොකියා; එක අතකින් බලපුවාම ඔබ එහෙම වුනත්; බලගැන්වීම සහ දිරිගැන්වීම මගින් ඔබට පෙන්නුම් කරදෙන්නෙ, අපට ආවේනිකවූ පිබිදීමේ සරල ක්‍රියාවයි.
අද ජීවත්වෙන හුඟ දෙනෙක්ට බලගතු ශ්‍රද්ධාවක් නොමැතිකම නිසා ඒ අය බොහොම ව්‍යාකූල බවට පත්වෙනව. හැම දෙයක්ම සැක කරන පුරුද්දක් ඇති, සංශයවාදීන් බවට පත් වෙනව. වැඩිහිටියන් හැටියට අප ළඟ කොතෙකුත් සංශයවාදී අදහස් තියෙනවද? බලගතු ස්වයං පිළිරූ මවාගෙන තියෙනවද? තමන් පිළිබඳ තදබල, දරදඬු හැඟීම් එක්රැස් කරගෙන තියෙනවද? මා ගැනම කථා කරනව නම්, මගේ පෞර්ෂය, හැමවිටම සැක කරන, විවේචනාත්මක අදහස් වලින් පිරුනක්. මේ සැක කිරීමේ ගතිය මට තිබුණු බලවත්ම හිසරදයක්. මේ හේතුව නිසාමයි මට ක්‍රිස්තියානුවෙකු විය නොහැකි. ක්‍රිස්තියානුවෙක් ලෙස විශ්වාස කළ යුතු දේවල් මට කොහෙත්ම විශ්වාස කරන්න බැහැ. මට තිබුණෙ විවේචනාත්මක, තර්කානුකූල නොවන දේවල් නොපිළිගන්නා චරිතයක්. තිස්දෙහැවිරිදි වියේදී කිසිවක් නොපිළිගන්නා ගතිය තදින් පැවතුනා. ජීවිතය පිළිබඳ අමිහිරි අත්දැකීම් වුවමනාවටත් වඩා වැඩියෙන් මම අත්විඳ තියෙනව. වයස තිස්දෙක කාලෙ මම මගේ ජීවිතයෙන් සෑහීමකට පත්ව හිටියෙ නැහැ. මා ගැනත්, තවත් අය බොහෝ දෙනෙක් ගැනත් මට ලොකු කළකිරීමක් තිබුණ. සැකය, එපාවීම, මංමුලාව හැමවෙලාවෙම ඇසුරු කරගෙන හිටි මට, අන්ධකාර දෝනාවෙ කෙළවර ඇති එළිය දැක්කෙ බුද්ධාගම තුළින්. ජීවිතය එබඳු වූවත්, අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට මට හැකියාවක් ලැබුණෙ බුද්ධාගම පිළිබඳව මා තුළ තිබූ උනන්දුව නිසයි.
එය මට පෙන්නුම් කර හිටිය මට යමක් ඇත්තෙ කොතැනද කියල, ඒ සංඥාව තමයි, මම මේ මහණ දිවියට ඇදල ගත්තෙ. පහසුවෙන් යමක් නොපිළිගන්නා ගතිය, සැකය, ඉහල මට්ටමේ ස්වයං අභිමානය, මේව එක අතකින් බැලුවාම තමන්ගෙම හොඳටත් හිටින්න පුළුවනි. ඒ තමයි හැමදෙයක්ම ගැඹුරින් ප්‍රශ්න කර බැලීමට ඇති හැකියාව. එමගින්, ශ්‍රද්ධවූ දේවල් හැටියට සලකල, බොහොම වෙලාවට ආගම් වල ප්‍රශ්න නොකරන දේවල්, ප්‍රශ්න කිරීමට ඔබට උනන්දුවක් ඇති වෙනව. ‘ලුන්ග් පෝ චා’ කෙරෙහි මගේ සිත ඇදී යාමට එක හේතුවක් වුනේ, ඕනෑම දෙයක් ප්‍රශ්න කිරීමට ඉඩ දීමයි. “ඔබ මේක විශ්වාස කරන්න ඕනෙ, ඔබ අරක ගැනත් විශ්වාස කරන්න ඕනෙ” කියල කලින් සූදානම් කරගත් ක්‍රමවේදයක් උන්වහන්සේ ළඟ තිබුණෙ නැහැ. දරදඬු, බලෙන් පොවන, ඒකාධිපති ශෛලීයක් උන්වහන්සේ කිසි විටෙක අනුගමනය කළේ නැහැ. ඒ වෙනුවට ප්‍රශ්න කිරීමට, සොයා බැලීමට, ආවර්ජනය කිරීමට, උනන්දු කරවීමයි උන්වහන්සේ කළේ.
අපව හඳුන්වා ගෙන ඇති ආකාරය නොයෙකුත් විධියෙන් අපි ව්‍යාකූල බවට පත්කර ගෙනයි තියෙන්නෙ. සෑම දෙයක්ම සලකා බලන්නෙ ඒ පුද්ගලිකත්වය මත පිහිටලයි. ශරීරයෙහි, මනසෙහි පවතින කාමුක බලවේග අපි සලකන්නෙ ඉතාමත් පුද්ගලික දෙයක් හැටියටයි. පිපාසය, බඩගින්න වගේ දේවල් සලකන්නෙත් ඒ ආකාරයටමයි. බඩගින්න සමඟ අපි ඈදෙන්නෙ ඉතාමත් පුද්ගලික මට්ටමකින්. ස්වභාවිකව පවතින මූලික බලවේග දිහා බලල, අපි ඒවා විනිශ්චය කරන්නෙ ඉතාමත් පුද්ගලික විධියටයි. “අපි බියගුළු, ලාමක, නිවටයන් නොවිය යුතුයි.” අපි මේ ආකාරයෙන් හිතල ජීවිත ව්‍යාකූල බවට පත් කර ගන්නෙ, අපට කිසි දිනෙක මුදුන් පත් කර ගත නොහැකි අන්දමේ ඉතා ඉහළ මට්ටමේ, විශිෂ්ටතම පරමාදර්ශයන් සමඟ අපේ ගතිපැවතුම් සංසන්දනය කර ගෙනයි. අපි නිමක් නැති ස්වයං විවේචන ඇති කර ගන්නෙ ඒ නිසයි. ස්වභාවිකත්වය පිළිබඳ හැඟීමක් අවබෝධයක් නොමැතිකම නිසා තමන් විහින්ම ස්වයං අවඥාවට තමන් පත් කර ගන්නව, මානසිකව කඩා වැටුනු තත්ත්වයකට ඇද වැටෙනවා. ලෝක ස්වභාවය හා එහි නීතිරීති හඳුනා නොගෙන, ඒවා මත පිහිටා කටයුතු නොකරන නිසා, අපි ජීවිතය පවත්වා ගෙන යන්නෙ, නොයෙකුත් විපරීත අදහස් උදහස් වලින් පිරිණු තමන්ගෙම ලෝකයකින් බිහිවූවන් ලෙසටයි.
ඒ නිසා අපි භාවනාවෙ යෙදෙන්නෙ ඇති දේ ඇති හැටියෙන් අවබෝධ කර ගැනීමටයි. ස්වභාවිකව පවතින නීතිය නැතහොත් ධර්මය මේ ආකාරය යයි දැන ගැනීමටයි. කාමාශාවෙහි හැටි මෙහෙමයි, එය මගේ නෙවෙයි. ශරීරය, මනස මේ වගේ, එය කාමුක හැඟීම් වලින් යුතු නිසා, අපි ඒ බලවේග බලාපොරොත්තු විය යුතුයි. ශරීර අවයවයන් මේ වගේ, ඒවායේ හැටි මේ මේ විධියයි, කාටත් පොදුයි, පුද්ගලිකත්වයක් ඊට එක්කළ යුතු නැහැ. ඒව මම මවා ගන්න දේවල් නෙවෙයි.
දේවල් තියෙන ආකාරයෙන්ම දකින්න, මුලදි අපි ශරීරය වගේ ඉතා ප්‍රකට, මූලික දේවල් දිහා බලන්න පටන් ගන්නව. ඒ හැර, මම මගේ හැඟීම් වලට යට වෙලා, ඊට පුද්ගලිකත්වයක් එක්කාසු කරන්න යන්නෙ නැහැ. පිපාසය, බඩගින්න මෙන්න මේ වගේ. දිවි රැක ගැනීමට ඇති බලවත් ආශාව නිසා ඉබේ මතුවන, එම සහජාසීය බලවේග අපි පරීක්ෂා කර බලනව. ප්‍රජනනය සඳහා, ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා අපට ඇත්තේ බලවත් සහජාසයක්. උදාහරණ ලෙස, බඩගින්න, පිපාසය, පරිස්සම් වීම, ආරක්ෂාව සලසා ගැනීම වැනි දේවල් දක්වන්න පුළුවනි. සහජාසයෙන් මතුවන ශාරීරික ආරක්ෂාව පිළිබඳ හැඟීමක් අපි හැමෝම ළඟ තියෙනව. මනුෂ්‍යයින් අතර විතරක් නෙවෙයි, සත්ව ලෝකයෙත් පවතින ගතියක් මේක. නමුත් එය ඉතා ව්‍යාකූල බවකට පත්වෙන්නෙ, අපි ඒකට පුද්ගලිකත්වය එකතු කරන්න යාමෙනුයි. ඊළඟට අපි ඒ දේවල් ඉතා ඉහළ මට්ටමේ සංමුතියන්ට අනුව විනිශ්චය කිරීමට පෙළඹෙනවා. මේ මේ මට්ටම් වලින් ඒවා පවත්වා ගත යුතුය යන අදහසක් අපට එනව. ඉන් පස්සෙ අපි ඉන්නෙ අවුල් වුන මානසිකත්වයකින්, කිසි දෙයක් හරියට කර ගන්න බැරිව යනව. මොළේ අවුල් කරන, ජීවිතයේදි අපි ඇති කර ගන්න අවුල් ජාලයක් මේක.
එය ඒ විධියෙන් වෙන්න අවශ්‍යතාවයක් නැති බව දකින්න දැන් කාලය එළඹී තියෙනව. කොයිතරම් ව්‍යාකූල තත්ත්වයකට අපි පත්ව සිටියත්, පුහුණුවීම ඉතාමත් සරලයි. මෙතැනදී තමයි අපට ඉවසීම තදින්ම වුවමනා කරන්නෙ. අපි වික්ෂිප්තභාවයට පත්වී ඉන්න කොට, බොහොම වෙලාවට අපි ළඟ ඉවසීමක් නැහැ. අපිට බුද්ධිමත් මනසක් තිබුණට හිතනව ඉක්මන් වැඩියි. දැඩි ආවේග ඇති කර ගන්නව, ඒ හින්ද අපි ලේසියෙන්ම මංමුලා වෙනව. මේක මහ පැටලිල්ලක්, අපිට තේරෙන්නෙ නැහැ කොහොමද මෙයින් ගැලවෙන්නෙ කියල. අපි දන්නෙ නැහැ ඒ වගේ තත්ත්ව වලට මුහුණ දෙන්න, මොකද අපි දකින්නෙ නැහැ එතන ඇති යථාර්ථය. මෙතැනදී මම කේන්ද්‍රස්ථානය පෙන්වා දීමෙන්, නිසල තැන පෙන්නුම් කර දීමෙන්, මේ මොහොත වෙත යොමු කිරීමෙන්; මෙම තත්ත්වය අභිබවා යාමට, එයින් මිඳීමට මගක් පෙන්වා දෙනව. මිඳීමෙන් අදහස් කරන්නෙ බයෙන් පැන දිවීමක් නෙවෙයි. අපට මිඳීයාමට හැකි දොරටුව තුළින් පෙන්නුම් කර හිටිනව, ඇති කර ගෙන තියෙන අවුල් ජාලයේ පරිමාණය, පැටලී ඇති ගැඹුර, ‘මමය මාගේය’ කියමින් එල්ලී ගෙන ඉන්න මවාගත් පෞර්ෂයේ සංකීර්ණත්වය.
එය ඉතාමත් සරලයි, තේරුම් ගැනීමට අපහසු දෙයක් එතැන නැහැ. නමුත් ඔබට එය සිතිවිලි මගින් ඕනෑතරම් පටලවා ගත හැකියි. “අනේ මම දන්නෙ නැහැ මට මේක කරගන්න පුළුවන් වෙයිද කියල…….” අන්න එතැනදි තමයි මේ විශ්වාසය අපට පිහිට වෙන්නෙ. “අනේ මම දන්නෙ නැහැ….” යන හැඟීම මේ මොහොතෙ මතුවූ බව ඔබ දනී නම්, “අනේ මම හිතන්නෙ නැහැ කවදාවත්ම මට නිවන් දකින්න පුළුවන් වෙයි කියල”, එයත් මේ මෙහොතෙ මතුවූ හැඟීමක් බව ඔබට දැනහිඳිය හැකි නම්, අන්න ඒ දැනුවත් කමයි ඔබ විශ්වාස කළ යුතු. මම දනිමි. එපමණයි ඔබ දත යුතු. එතැන ඇති දෙයත් එපමණයි. අපි ඒ හැඟීම් විනිශ්චය කරන්න යන්නෙ නැහැ. අපි කියන්න යන්නෙ නැහැ “ඒ මොන මෝඩ අදහසක්ද?” කියල. අපි එයට කිසිවක් එකතු කරන්නෙ නැහැ. නිහඬ වෙනව, නතර වෙනව. ඒ පිළිබඳ දැනුවත් කම පමණයි ඉතිරි කර ගන්නෙ. ඒ දැනුවත් කම පමණයි අවශ්‍ය කරන්නෙ. ඒ හැඟීම, ඒ අදහස ඉස්මතු කර පෙන්වා දෙන දෙයට වඩා, ඒ පිළිබඳ දැනීම දැනුවත්කම විශ්වාස කිරීමට පුරුදු වෙන්න.
එක අතකින් බැලුවාම එය සාමාන්‍ය සරල හැඟීමක්, නමුත් ඒ අදහසට ඇලීමෙනුයි අපි සම්පූර්ණයෙන්ම අතරමං වෙන්නෙ. “අපි භාවනාව දියුණු කර ගන්න ඕනෙ. අපි ආත්මාර්ථකාමි වෙන්න නරකයි. අපි තව සංවර වෙන්න ඕනෙ. අපේ ජීවිතවලට අපි මීට වඩා වග කියන්න ඕනෙ.” ඒව බොහොම හොඳ අදහස්, කිසි වැරැද්දක් නැහැ. නමුත් ඊට ඈඳුනොත් මොකද වෙන්නෙ? ඊළඟට හිතන්න පටන් ගන්නව, “මම වගකීම බාරගෙන නැහැ. මීට වඩා වගකීම හිතට ගන්න ඕනෙ. මම ආතිමාර්ථකාමි වෙන්න හොඳ නැහැ. මම මා ගැනම විතරයි හිතන්නෙ. එහෙම කරන එක හොඳ මදි.” ආපහු කැරකෙන රවුම උඩට වැටිල. ඉස්තරම්ම උපදෙස් වුනත්, එයින් තැති ගැනීමක් ඇති කරනව. ඔබ මොකද කළ යුතු? ඒ සිතිවිලි පිළිබඳ දැනුවත්කම විශ්වාස කරන්න. “මම වගකිව යුතුයි…..” එය දකිනව, නමුත් තමන්ගෙ ඊට ඇති සම්බන්ධතාවය තවදුරටත් ඇලීමක ස්වරූපය ගන්නෙ නැහැ. එය නොපිළිගැනීමක් නෙවෙයි, නොදැක්ක වගේ සිටීමක් නෙවෙයි, අවිශ්වාස කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. නමුත් නිමක් නැතිව ඒ ගැන හිතහිතා, කැරකෙන රවුම උඩට වෙලා, කලන්තෙ දානකම් සිතිවිලිවල පැටලෙන්නෙ නැහැ. එය කළ යුතු දෙයක් හැටියට නැවත නැවතත් මනසෙ මතුවෙනව නම්, එහෙම නම් වගකිව යුතු පුද්ගලයෙක් වෙන්න. පරණ පුරුදු වලට වැටෙන්නෙ නැතිව, තමන්ගෙ දැනුවත් කම, අවධානය පිළිබඳ ආකල්පය කෙරෙහි විශ්වාසය ඇති කර ගන්න.
තමන් ඇති කර ගෙන තියෙන අවුල් ජාලයේ, ව්‍යාකූලත්වයේ, කැරකෙන රවුමේ, හේතු ප්‍රත්‍යයන්ගේ තරාතිරම දැනගැනීමට, ඔබට නිසල තැන උපකාර වෙනව. එය, ඒවා සමඟ නිවැරදි සම්බන්ධතාවයක් ඇති කර දෙනව. එමගින්, මමත්වයේ බලපෑම යටතේ ඒවා පෞද්ගලීකරණය කර ගැනීමට ඉඩ නොතබා, ඒවායින් පෙන්නුම් කර දෙන දේ, ඒ හැටියෙන්ම දැකීමට ඉඩ සලසා දෙනවා. එවිට ඔබ දකිනවා, ඔබේ සත්‍ය ස්වභාවය මේ දැනහිඳීම බව, එය පිරිසිදු අවධියක්, පිරිසුදු දැනුවත්කමක්. මනස හැඩගැසී ඇති ආකාරයට අනුව ඔබ කවරෙක්දැයි සිතින් මවා ගන්නේ නැතිව, ඔබේ සැබෑ නිවහන, ඔබේ සත්‍ය ස්වරූපය, හැමවිටම මතක තබාගැනීමට පුහුණු වන්න.