අජාන් බ්රහ්මවංසෝ ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්
ශාලාවට ඇතුළ් වෙද්දි මට සිහිපත් වුනේ මුදු මනසක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය මොනතරම් වැදගත්ද කියලයි. නමුත් අද ලෝකයේ ජීවත්වෙන හුඟ දෙනෙකුටම තියෙන්නෙ රළු මනස්. එහෙම වෙලා තියෙන්නෙ තමන් ඇති කර ගෙන තියෙන නොයෙකුත් අරමුණු, ආසාවන් මුදුන්පත් කර ගැනීමට ඇති දැඩි කැමැත්ත, ඔබට උවමනා විධියෙන්ම දේවල් ලබා ගැනීමට ගන්නා උත්සාහය, ආදි හේතූන් නිසයි.
නමුත් මම දැකල තියෙන දෙයක් තමයි, මේ මොහොතේ සතුට සාමය ඇති කරදීමට සමත් වෙන්නෙ, ඒ වගේම ධර්මය පිළිගැනීමට පිළිපැදීමට, භාවනාවෙ ගැඹුරට යාහැකි අන්දමේ මනසක් ගොඩනගා ගැනීමට උදව් වෙන්නෙ රළු මනසක් නෙවෙයි, මුදු මොළොක් මනසක්.
අපි ළඟ තියෙන්නෙ පාලනයෙන් තොර, දුවන්නන් වාලෙ දුවන මනසක්. මුදු මනසකින් මම අදහස් කරන්නෙ ශාන්ත, විවෘත, දේවල් පිළිගන්නා, තැනට ඔබින හැටියට ඕනෑම දේකට මුහුණ දෙන්න සූදානම් මනසක්. ඒ වගේ මුදු මනසකට පුළුවනි, මේ මොහොතෙ සතුටින් ඉන්න, ඇසුරු කරන අයට සතුටක් ලබාදෙන්න, සුහඳතාවයෙන් කටයුතු කරන්න. ධර්මය ඉගෙන ගැනීමට රුචි කරන, ඒ වගේම ඒවා ඉගෙන ගැනීමෙන් විදසුන් නුවණ ලබා ගැනීමටත්, භාවනාවෙ ගැඹුරට යාමටත් හැකි මනසක්, ඒක. සමහර වෙලාවට, ඔබේ මනස දිහා බැලුවාම ඔබට පෙනෙනව, එය යම්යම් දේවල්වල, අභිමතාර්ථයන්ගෙ ගැඹුරින් පැටලිල, නොයෙකුත් අදහස් උදහස් වලින් පිරිලයි තියෙන්නෙ. බොහොම වෙලාවට එය අපට නොපෙනෙන නිසා අපි අඳුරෙ ගිලිලයි ඉන්නෙ. රළු මනසෙ, කොන්ක්‍රීට් වගේ තද මනසෙ, ඇති මේ අන්ධ ස්වභාවය නිසා ධර්ම මාර්ගයෙහි ගමන් කරන්න, සෑම අවස්ථාවකදිම ඉදිරියට යාමට අවශ්‍ය කරන ප්‍රඥාව, හරි දැකීම උපදින්නෙ නැහැ. ගමනෙ මුල් අවදියේදි හැම දෙනෙකුටම අවශ්‍ය වෙන්නෙ, තම ජීවිතයේ ළඟින් ජීවත්වෙන අය එක්ක සුහඳතාවයෙන් ජීවත්වෙන හැටි පුරුදුවීමයි. එතනදි අපි තේරුම් ගත යුතුව ඇත්තෙ සතුටින් ඉන්න ආකාරයයි. ඉදිරියට යාම ආරම්භ වෙන්නෙ එතැනිනුයි. එදිනෙදා ජීවිතයේදි අනිත් අය එක්ක එකට ඉන්න අමාරු නම්, තමන් ගැන කළකිරීමක් ඇතිවෙනව නම්, අනිත් අය ගැන කළකිරීමක් ඇතිකර ගන්නව නම්, අනිකුත් අය අතරෙ තමන්ට හිමි තැන ගැන පසුතැවෙනව නම්, එයයි එදිනෙදා ජීවිතයේදි තමන් විඳින අසහනය. එදිනෙදා ජීවිතයේදි සහනයක් නැති වුනාම, සැනසීමක් නැති වුනාම, සෑහීමකට පත්වීමක් නැති වුනාම, හිතේ තද ගතියක් ඇති වෙනවාමයි. එය මනසට කෙරෙන අකටයුත්තක්. ඒ වගේ මානසික මට්ටමකින් ජීවත්වීම පහසු දෙයක් නෙවෙයි. මම හිතනව ඔබ හොඳින් අත්විඳ ඇති මනසෙ රළු අවස්ථා, ඔබ තරහින් ඉන්න අවස්ථා, බියෙන් ඉන්න අවස්ථා, මනස පීඩනයෙන් පෙළෙන අවස්ථා; මේව කෙනෙකුට මුහුණ දීමට අමාරු අවස්ථා. ඒ වගේ අපහසුතාවයන්ගෙන් පෙළෙන අවස්ථාවලදි තමන්ගෙ හිතවත් අය ඇවිත් ඔබට මෛත්‍රීයෙන් යුතුව කරන කියන දේවල් පවා නොපිළිගැනීමට ඔබ පෙළඹෙන්නෙ මනසෙ ඇති ඒ රළු ගතිය නිසයි.
ඒ නිසා මේ වගේ තත්ත්වයක මනස තියෙන කොට, දුක් කරදර වලින් මනස පිරිල තියෙන කොට, ඔබ කොහොමද ධර්මය පිළිබඳ හරි දැකීමක් ලබාගන්නෙ? ඔබට පුළුවන්ද ගැඹුරු භාවනාවකින් ලබන සතුට ලබාගන්න? සෘණවාදි පැවැත්මක්, හැකිළුනු මානසිකත්වයක් ඇති රළු මනසකට කොයිම විධියකින්වත් බැහැ; නිහඬතාවය වෙත, ශූන්‍යතාවය වෙත නැඹුරු කිරීමට අවශ්‍යවන මනසෙ විවෘත බව ඇති කර ගන්න. මුදු මනසක ස්වභාවය මෙතැනදි උදාහරණයක ආකාරයෙන් මෙහෙම පෙන්නුම් කරන්න පුළුවනි. අසහනයෙන් පිරුණු තද ගුලියක් වගේ තිබුණ මනස ටිකින් ටික ප්‍රසාරණය වෙලා එය පැතිරිල යනව කුහර ගොඩාක් තියෙන, වතුර උරා ගන්න ස්පන්ජයක් වගේ, පාන් ගෙඩියක් වගේ, මුදු තත්ත්වයකට. මනස විවෘත වෙනව. අසහනය නැමැති ඒ තද ගුලිය තුනීවෙවී අවකාශයේ පැතිර ගිහින් අසහනයක් නොදැනෙන තරමට ලිහිල්වී යනව. මේ වගේ උපමා වලින් පෙන්වා දෙන්නෙ විවෘතවූ පැතිරීගිය මුදු මනසකත්, ආරක්ෂාව වගේම තමන්ගෙ තැන තහවුරු කර ගැනීමට මාන බලන රළු මනසකත්, අතර ඇති වෙනසයි. ඒ නිසා දෛනික ජීවිතයේදි මුදු මනසක් පවත්වා ගැනීමේ ඇති වැදගත්කම මෙයින් පෙන්නුම් කර දෙනව.
කොහොමද අපි මුදු මනසක් ඇති කර ගන්නෙ? මුදු මනසක් ගොඩනගා ගැනීමට ඇති එක් ක්‍රමයක් තමයි ශ්‍රද්ධාව ඇති කර ගැනීම. යන්තමින් හෝ ශ්‍රද්ධාවක් ඇති අය දන්නව සූත්‍ර සජ්ඣායනය වැනි සුළු දෙයකින් ඉතා බලගතු විවෘත බවක්, මෘදු බවක් ඇති කර ගන්න හැටි. ඔබට හිතා ගන්න බැරි නම් උදේ පාන්දර, හැන්දෑ යාමේ කළ යුතු මොනවද කියල, ඒ වගේම කරන්න දෙයක් නෑ කියල හිතෙන වෙලාවට, හිතට පාළුවක් අලසකමක් දැනෙන කොට, පිරිත් ටිකක් සජ්ඣායනය කරල බලන්න. බුද්ධ, ධම්ම, සංඝ ත්‍රිරත්නයේ ගුණ සිහිපත් කරන්න. ඒ වුනාට පාළි වචන ටික ගිරව් වගේ කියාගෙන යන්නෙ නැතිව, ඒ කියන ගමන් ඒවායේ අදහස මෙනෙහි කර බලන්න. ගරු කළ හැකි දෙයක් වෙත සද්ධාව ඇති කර ගැනීමට උත්තේජකයක් හැටියට, එය යොදාගන්න. ඔබ බෞද්ධයෙකු නොවුනත් බුද්ධ යන වචනයෙ තේරුම මෙනෙහි කරන්න; කෙලෙසුන් නසා රහත්වූ, සෘදිබල ඇති, ධ්‍යානවල සමවැදීමට හැකියාව ඇත්තාවූ, අසීමිත ප්‍රඥාවකින් යුතුවූ, දෙව්මිනිසුන්ට අමනුෂ්‍යයින්ට ගුරුවරයෙක්වූ, දුකින් මිඳීමට මාර්ගය පෙන්නාදීමට හැකි ප්‍රඥාවකින් හෙඹියාවූ, එම උතුම් ගුණාංගයන් ගැන සිතා බලන්න. සත්වයින් දුකින් මුදා ගැනීමට මහෝපකාරිවූ ගුරු උතුමෙක්. උන්වහන්සේ සතුවූ අසමසම ප්‍රඥාව, අති මහත් ගුණ සම්භාරය, සියළු සතුන්හට මහාකාරුණිකවූ උත්තමයෙක්; මේ දේවල් අපි සිතා බැලිය යුතුයි. මේ ගුණ සමුදාය ගැන සිත යොමු කරන්න පුළුවන් තැනකින් පටන් ගන්න. හරියට දැන් කාලෙ හැදෙන තරුණ පරපුර නළුවෙක් හෝ නිළියක් හෝ ගායකයෙක් කෙරෙහි ඇති කර ගන්නා උද්දාමය වගේ. බුදුහාමුදුරුවො ගැන අපට ඊට වඩා දහස් ගුණයකින් අභිමානයක් ඇති කරගන්න පුළුවනි. සමහර වෙලාවට අපට දකින්න ලැබෙන දෙයක් තමයි බොහොමයක් සම්ප්‍රදායික බෞද්ධයින් පවා ඉහළ මට්ටමේ ශ්‍රද්ධාවක් බුදුරජාණන් වහන්සේ වෙත ඇති කර ගන්නෙ නැහැ. මට මතකයි එක්තරා තායි භික්ෂූන් වහන්සේ නමක් ශ්‍රද්ධාව ගැන විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට දේශනයක් පවත්වද්දි මේ ගැන තදින් කියා සිටි අවස්ථාවක්. තායිලන්තයේ ඉතා ජනප්‍රිය ගායිකාවක් ‘බූබූ’ කියන්නෙ. උන්වහන්සේ පැවසුවේ, “බූබූ ළඟදි අමෙරිකාවෙ ඉඳල ආපහු තායිලන්තයට ආපු දවසෙ මොනතරම් තරුණ තරුණියො ගුවන් තොටුපලට ගිහින් අඬඅඬා පොරකෑවද ඇයව දකින්න, පිළිගන්න. නමුත් බුදුහාමුදුරුවො එනව කිව්වොත් අපි අතරින් කීදෙනෙක් ගුවන් තොටුපලට ගිහින් ඒ වගේ පොරකනවද උන්වහන්සේව දැකබලා ගන්න, පිළිගන්න. බෞද්ධ රටක ඔබ වගේ අයට තියෙන ශ්‍රද්ධාව මොකක්ද? ඔබට තියෙන්නෙ බූබූ ගැන ශ්‍රද්ධාව විතරයි. බුදුහාමුදුරුවො ගැන එහෙම නැහැ. ඔබේ තියෙන බෞද්ධකම මොකක්ද?”
ඔබට හිතා ගන්න පුළුවනි, ඒ වගේ වීරයෙක් වීරවරියක් ගැන මතක් වෙන කොට මොනතරම් චිත්ත ශක්තියක් මනසෙ ඇතිවෙනවද කියල මේ තරුණ පිරිස් අතරෙ. අපිටත් ඉන්නව ඒ වගේ වීරයෙක්. බුදුහාමුදුරුවො! ඔබට ඒ මානසික උද්දාමය ඇති කර ගන්න පුළුවන් නම්, එයට අවතීර්ණය වෙන්න පුළුවන් නම්, උන්වහන්සේගේ බලගතු ජීවිත කථා කියවල, ඒ ජීවිත වලදි උන්වහන්සේ තුළ පැවති බලගතු බලමහිමය ගැන හිතල බලන්න. එමගින් ඔබට ලැබෙන දිරිය බලවත්. අන්න ඒ ශ්‍රද්ධාවෙන් බලගැන්වෙන වීර්යයි මනස මුදු බවට පත් කරන්නෙ. එහෙම නැත්නම් උන්වහන්සේගේ ධර්මය මෙනෙහි කරල බලන්න. ඒ ධර්මය ඔබේ ජීවිතයේ යම් තරමක් දුරට, සුළු පමණකින් හෝ මහා පරිමාණයකින් බලපෑමක් ඇති කරල තියෙනවද? ඔව් ඇත්තටම ඒ ධර්මය මොනතරම් බලවත්ද? බුද්ධ ධර්මය, මොනතරම් ප්‍රභාමත්ද, සිත්කළුද, දීප්තිමත්ද, ලගන්නා සුළුද? මොනතරම් ගැඹුරට සිත් කාවදිනවද? සිතනවාට වඩා ගැඹුරට මනස ගෙන යනවද? ඒ සඳහා ඔබට බුදුරජාණන් වහන්සේ හා අනෙකුත් ගුරුවරාදීන් වෙත ශ්‍රද්ධාවක් තිබිය යුතුයි. ශ්‍රද්ධාව කවුරුවත් හෙළිදරව් කළ දෙයක් නෙවෙයි. එය රහසිගත ඉගැන්වීමක් නෙවෙයි. එය ඔබේ හදවතින්ම පැන නැගිය යුතු දෙයක්, හදවත හාරා අවුස්සා බලා සොයා ගත යුතු දෙයක්. ඔබට හැකියාවක් තියෙනව, ඕනෑම වෙලාවක බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් ඒ ධර්මයම විහින් අවබෝධ කර ගන්න. භාවනාව ඔබට අවස්ථාවක් ලබා දෙනව, මනස මොන වගේද, මනසෙ ක්‍රියාකාරකම් මොනවගේද, කියල සොයා බලන්න.
මේ ධර්මය ඒ වගේ පුදුම සහගත දෙයක්. ධර්මය විතරක් නෙවෙයි සංඝරත්නයත් ඒ වගේම බලගතුයි. සමහර විට ඔබට හමුවෙල තියෙනව, ඔබ අහල තියෙනව මාර්ගඵල ලාභී සංඝ ප්‍රීතෘවරයාණන් වහන්සේලා ගැන. ඔවුන් සතුව තිබූ අධි මානසික බලවේග ගැන හිතල බලන්න. සමහර උතුමන්ලා ගැන අහන කොට ඇඟේ මවිල් කෙලින් හිටිනව. සිත මවිත කරන ඒ වගේ උතුමාණන් වහන්සේලා ගැන අහන්න ලැබීමත් සිතට ලොකු ප්‍රීතියක්. මගේ මහණ ජීවිතය තුළදි එවැනි උතුමන්ලා දැනහැඳින ගැනීමට ලැබීම මගේ භාග්‍යයක්. ඔවුන් සතු බලය, කරුණාමහිමය, ඒ අයගේ මහා පෞරුෂය, කියන්න වචන නැහැ. මේ ජීවිත කාලය තුළදීම ඔබටත් පුළුවනි, ඒ වගේ කෙනෙක් වෙන්න. ඒ වගේ මෙනෙහි කර බලන්න පුළුවන් සංඝයා වහන්සේලා, ඒ පිවිතුරු පුද්ගලයො හැම දෙනෙක්ම කැලෑවල් වලටම වෙලා ඉන්නෙ නැහැ. ඒ අය කැලෑවලින් එළියට ඇවිත් තමන්ගෙ කුටිවල ඉඳගෙන මුළු දවසම වුනත් කැප කරනව, අන්අය එක්ක කථා කරමින් ධර්මය පැහැදිලි කර දෙන්න. කොයිතරම් මහන්සියක් දැනුනත් නතරවීමක් නැහැ. කරුණාවෙන්, දයාවෙන් යුතුව, ඔබ කොයි අන්දමේ මෝඩ ප්‍රශ්නයක් ඇහැව්වත් සංසුන්ව, මෛත්‍රී සහගතව ඒවට උත්තර දෙනව. එමගින් තමන් සතු කාරුණික බව පෙන්නනව විතරක් නෙවෙයි, ප්‍රඥාවත් පෙන්නුම් කරනව.
අන්න ඒ වගේ පුද්ගලයින් තමයි අපව දිරි ගන්වමින් යායුතු මග පෙන්වා දෙන්නෙ. ඒ වගේ අයට ඔබට ගෞරව කරන්න පුළුවන්. දැනුත් මට මතක් වෙනව ඒ කාලෙ මට මුණගැහුණු ඒ වගේ උත්තමයින් ගැන. දැනට මම අවුරුදු තිහකට වැඩි කාලයක් මහණදම් පුරල තියෙනව, ඒ කාලය තුළදි මම ලබා ගත් දේවල් අතුරින් වඩා වැදගත් කියල හිතෙනව, මේ උතුමන් වහන්සේලා මුණ ගැහෙන්න ලැබීම. මොනතරම් වාසනාවක්ද අජාන් චා වගේ උත්තමයෙකුගෙ දෙපා සෝදන්න ලැබීම. අවුරුදු හතලිහක් පණහක් විතර වටිනව. මට නම් හිතෙන්නෙ එහෙමයි. ඒ වගේ උත්තමයින්ගෙන් ලැබෙන දිරිය ඉතාමත් ප්‍රබලයි. ඒ ගැන සිහිවෙන කොට සිත ප්‍රීතියෙන් උතුරා යනව, වීර්යයෙන් සිත ඔඳ ගැන්වෙනව. එමගින් කරන්නෙ ශ්‍රද්ධාව නැමැති බලවේගයට ගලා ඒමට දොරටුව විවෘත වීමයි.
අන්න ඒ ආකාරයෙනුයි මනස මෘදු බවට පත්කර ගන්නෙ. ඒ නිසයි, සම්ප්‍රදායානුකූලව ස්වාමීන් වහන්සේලා උදය හවස පිරිත් සජ්ඣායනය කරන්නෙ. තමතමන්ගෙ කුටි වල ඉඳගෙන ඒ වගේ දේවල් කිරීමෙන් ශ්‍රද්ධාව වැඩෙනව. ඔබ මෙතැනදි යම් සම්ප්‍රදායකට අනුව සජ්ඣායනය කරන්න වුවමනා නැහැ. වඩා වැදගත් වෙන්නෙ තමන්ගෙ සිත් ගන්නා, හොඳින් තේරුම වැටහෙන, සිතට ධර්මය කාවද්දා ගැනීමට උපකාර වන සූත්‍ර ඒ සඳහා තෝරා ගැනීමයි. මම ආසම කරන සූත්‍රය තමයි රත්න සූත්‍රය. විශේෂයෙන්ම ඔබ මේවයෙ තේරුම දැනගන්න ඕනෙ. ඔබ තේරුම දැනගෙන ඒව සජ්ඣායනය කරන කොට ඔබට හැඟීමක් ඇතිවෙන්න ඕනෙ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දෙනව කියල. විශේෂයෙන්ම පිරිත් සූත්‍රවල තියෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්, උපදෙස්. ඒවයෙ විශාල බලවේගයක් තියෙනව. විටින්විට රත්න සූත්‍රය කියවන කොට මට හැඟෙනව, බුදුහාමුදුරුවො ගැන නේද මේ කියන්නෙ කියල. රත්න සූත්‍රයෙ ‘නිබ්බාන ගාමිං පරමං හිතාය’ වචන වලින් කියවෙන්නෙ බුදුහාමුදුරුවො නිවනට ළඟාවීම ගැනයි. මොනවටද, හැමදෙනාගෙම හිත සුව පිණිස. මට ඒක ඇහෙන කොටම හැඟෙනව, ඔප්පුවෙනව හැමදෙනාගෙම හිතසුව පිණිස කළ යුතු දේ නිවන අවබෝධ කර ගැනීම මිස බෝධිසත්ව සංකල්පය නොවන බව. බලන්න, ඒ කියමනේ තියෙන බලගතු කම. සංසාරයෙන් ඉවත් වීමට තියෙන හොඳම මග ඒකයි. මෙයයි, තමන් අතින් කෙනෙකුට දිය හැකි උතුම්ම ත්‍යාගය. මේ වගේ සුළුසුළු කොටස් සජ්ඣායනය කරද්දි හිතේ ඇති කරන්නෙ බලගතු ශ්‍රද්ධාවක්. එය මනස මෘදු කරනව. ඒකයි සමහර වෙලාවට කෙනෙක් මගෙන් අහන දේකට එකපාරට මම ‘හා’ කියන්නෙ. මගේ මනස මෘදුව තියෙන වෙලාවට කෙනෙකුට පුළුවනි ලේසියෙන් මට කියල වැඩක් කරව ගන්න. විශේෂයෙන්ම සජ්ඣායනයකට පස්සෙ කුටියෙන් එළියට එන කොට.
ඒ වගේ මෘදු මනසක් දියුණු කර ගත්තොත් තමන්හෙ හිතට සතුට ලබා දෙනව වගේම තමන්ට ලේසි වෙනව අනිත් අය එක්ක සුහදතාවයෙන් කල් ගෙවන්න. විශේෂයෙන්ම, වැඩිහිටි භික්ෂුවක් ලෙස මම එය දියුණු කර ගත යූතුමයි. මට බැරි නම් අනිත් අයත් එක්ක සුහදව ඉන්න, අන්තිමට මෙතැන ඉතිරි වෙන්නෙ එක්කෙනෙක් විතරයි. එතකොට මොකක්ද ආරණ්‍යයකින් ඇති වැඩේ. ඒ වගේම ලාබාල භික්ෂූන් වහන්සේලාත් මනස මෘදු කර ගත යුතුමයි. නැත්නම් අනිත් අය එක්ක එකට ජීවත් වීම ලේසි වෙන්නෙ නැහැ.
ඔබේ මනස මෘදු නම්, උද්යෝගිමත් නම්, ප්‍රීතිමත් නම් ඔබ දන්නව ඔබ අතින් අනිත් අය මැන බැලීමක්, වැරදි සෙවීමක් සිදු නොවෙන බව. ඔබ කීවතාවක් තවත් භික්ෂුවක් ගැන හෝ තමන් ගැන හෝ ඉන්න තැන ගැන හෝ වැරදි සොයල තියෙනවද? එතකොට දැනෙන්නෙ මොනවගේද? එය ඇති කරන්නෙ බලවත් අසහනයක්, කළකිරීමක්. එහෙම මනසකින් ඇති වැඩේ මොකක්ද? ඔබ කරන කටයුතු වලින් කිසි දියුණුවක් ලැබෙන්නෙ නැහැ. ධ්‍යාන ලබා ගැනීමට, නිවන් දැකිමට එය උපකාර වෙන්නෙ නැහැ. වැරදි සෙවීමෙන් තමන් යැවෙන්නෙ මාර්ගයෙ අනිත් පැත්තටයි. ඔබ ඇති කර ගන්නෙ දුබල මනසක්. එයින් ඔබේ මනසෙ නිදහස සීමා කර ගන්නව. කකුල් දෙකට යදම් දාල වගේ, ඔළුව උඩ බර ගලක් තියල වගේ තද ගතියක් දැනෙනව. වැරදි සොයන මනස ඔබට පීඩා කරනව. ඔබ හොඳින් දන්න දෙයක් තමයි; ඔබ කෙනෙකුගේ වැරදි සොයන කෙනෙක් නම්, ඔබ ඔබේත් වැරදි සොයන කෙනෙක්. තමන්ගෙ වැරදි සෙවීම, එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඔබත් එක්ක කවුරු හරි තරහ නම් ඔබට කුටියට ගිහින් ඒව ඔක්කොම අමතක කරල දාන්න පුළුවනි. නමුත් ඔබ ඔබේ වැරදි සොයනව නම් ඒව අමතක කරල දාන්න, ඔබ කොහේ කියල යන්නද? ඔබ යනයන තැන යන්නෙ ඒවත් අරගෙන. වැරදි සෙවීමේ පුරුද්ද, මනසෙ සෘණ වාදි අදහස් ඇති වීම, හිතේ කළකිරුණු ස්වභාවය, මුහුණෙ හිනාවක් ඇති කර ගන්න බැරි කම, මේව දුරලා ගැනීමට ඇති එකම මග තමයි මුදු මනසක් ඇති කර ගැනීම. මුදු මනසකින් ඔබ අනිත් අය දිහා බලන කොට, ඔබ දිහාම බලන කොට, ඔබට හැඟෙනව අපි හැමෝම සර්වසම්පූර්ණ නැහැ. නමුත් හිතන තරම් ඒ අය නරක නැහැ. මමත් සර්වසම්පූර්ණ නැහැ, නමුත් ඒ තරමට මමත් නරක නැහැ කියල. වැරදි නොසොයා ඉඳීම, තදින් ව්වේචනය නොකිරීම මගින් මනසෙ ඇතිවෙන මෘදු ගතිය ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට ඉඩකඩ ලබා දෙනව. ඔබේ ගන්න දෙයක් නැහැ, මනසෙ දියුණුවක් ඇතිවෙන පාටක් නැහැ, ඒ විදියට හිතහිතා ඉඳීම නතර වෙනව.
ඒ නිසයි මම හැමවිටම කියන්නෙ මේ ආරණ්‍යයෙ ඉන්න හැමෝටම මේ ජීවිතයේදිම සත්‍යාවබෝධ කර ගන්න හැකිවෙනව කියල. ඒ තමයි මුදු මනසකට ඇතිවෙන හැඟීම, ඒ වගේම ප්‍රඥාන්විත මනසක ඇතිවෙන සිතිවිල්ල. ඔව්, ඇත්තෙන්ම ඔබට අත්හැරිය යුතු දේවල් ගොඩාක් තියෙනව, නමුත් එය කළ හැකි දෙයක්. ඒ වගේ මුදු මනසක්, ධනවාදී හැඟීම් ඇති මනසක්, සමාවදීමට හැකි මනසක්, විවේචන වලින් තොරව පිළිගන්නා මනසක් වෙනව වගේම දිරිය සම්පන්න මනසකුත් වෙනව. එවැනි මනසක් තමන්ව දිරි ගන්වා ගන්නවා වගේම අනික් අයවත් දිරි ගන්වා සිටිනව. එදිනෙදා ජීවිතයේ සතුට සොයා ගන්නව. ඔබ අනුන් කරන දේවල් ගැන අහිතක් ඇති කර ගන්නෙ නැහැ. ඒවා හිතට කරදරයක් කර ගන්නෙ නැහැ. ඔබ අනුන්ට සමාව දෙනව වගේම තමන්ටත් සමාව දීගන්නව. එම නිසා ත්‍රිවිධරත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගැනීම වැනි දෙයකින් වගේම; හුදකලාව වනාන්තරයෙ වාසය කරන, නොයෙකුත් සතුන් සමඟ එකට ජීවත්වෙන, යහපත් පුද්ගලයින් ඇසුරු කරන සංඝයා වහන්සේ නමක් ගැන සිහිපත් කිරීමෙනුත් තමන්ට හයියක් ලැබෙනව.
ඔබට මුදු මනසක් තියෙනව නම්, මේ සල්ලි පස්සෙම දුවන එක නතර කරල, ඔබ ඉගෙන ගන්නව මේ ලෝකය සමඟ ගැටෙන්නෙ නැතිව ජීවත් වෙන්න. ඇත්තෙන්ම ජීවිතයේදි රස්සාවක් කිරීමේ නාමයෙන් සල්ලි හම්බ කිරීම මුල් කරගෙන අපි සමහර වෙලාවට මොනතරම් හිතට නොගැලපෙන දේවල් කරනවද? ඒ කියන කරන දේවල් වලින් බොහොම වෙලාවට අපි අසහනයට පත්වෙනව, කළකිරෙනව. බොහොම වෙලාවට ඔබටම හිතෙනව, මේව නොකළ යුතු දේවල් කියල. මේ තමයි ලෝක ස්වභාවය. ඔබට කව්රුවත් නිකම් සල්ලි දෙන්නෙ නැහැ. මේ තමයි ලෝක ස්වභාවය. බොහොම වෙලාවට ඔවුන් ඔබට වැඩිපුර සල්ලි දෙන්නෙ, නීතිරීති වලට යටින් රිංගන්න ඇති පුළුවන් කමට, වංචා කිරීමට ඇති හැකියාවට. ඒ වගේ තැන්වලට ඔබ කොටු වෙලා ඉන්නෙ, බොහොම වෙලාවට වෙන කරගන්න දෙයක් නැති නිසයි. ඔබ ඉන්න වතාවරණ යටතෙ ඒව නොකර ඉන්න බැරි නිසයි. නමුත් මේ වගේ ආරණ්‍යයක ඉන්න කොට ඔබ කොයි විධියකින්වත් කරන්නෙ නැහැ, වැරදි දෙයක්, කෙනෙකුට කරදරයක් වෙන දෙයක්, අයහපතක් වෙන දෙයක්, අසාධාරණයක් වෙන දෙයක්, කෙනෙකුගෙන් කඩාවඩා ගන්න දෙයක්. ඒ නිසයි මේ වගේ තැනක ගතකරන ජීවිතය පිරිසිදු එකක් වෙන්නෙ. ඒ පිරිසුදු ජීවන රටාව ඔබ දිරිමත් කරනව, ඔබේ මනස ඔසවා තබනව.
සමහර වෙලාවට ඔබ වනාන්තරයේ ඇවිදින්න යනව වෙන්න පුළුවනි. එහෙම නැත්නම් වනාන්තරයේ අපි ජිවත් වෙන මේ කොටස ගින්නෙන් ආරක්ෂා කරගන්න මායිම අවට පිරිසිදු කරනවා වෙන්න පුළුවනි. එමගින් සත්ව ජීවිත කීයක් ආරක්ෂා වෙනවද? මේ ලස්සන ගස් කොළන් ආරක්ෂා කර ගැනීමක් වෙනවද? ඒ සඳහා සිදු විය යුතු කටයුතු ආණ්ඩුවෙන් කරල දෙනකම් බලා ඉන්නෙ නැතිව, ඔබේ යුතුකමක් හැටියට, කළ යුතු දෙයක් ඔබ ඉෂ්ට කරනව. බටහිර ඕස්ට්‍රේලියාවේ කෙළවරක පිහිටි මේ අක්කර සීයක භූමිභාගයක් එයින් ආරක්ෂා වෙනව. ඒ වෙනුවෙන් ඔබ අතිනුත් යමක් ඉෂ්ට වෙනව. එයින් ඔබට ප්‍රීතියක්, ආඩම්බරයක් ඇති වෙනව. ඒ ජීවන රටාවම ඔබේ මනස මොළොක් කරන බව ඔබටම පෙනෙනව.
රාත්‍රියට එළියට ඇවිත් අහසෙ තරු දිහා බලා ඉන්න. හඳ නැගෙන හැටි බලා ඉන්න. එහෙම නැත්නම් ඈත පෙනෙන මහා මාර්ගයෙ අර පැත්තට මේ පැත්තට දුවන වාහන දිහා බලා ඉන්න. වෙලාවකට ඔවුන් උතුරු පැත්තට යනව, ආපහු දකුණු පැත්තට යනව. ගමනෙ කෙළවරක් නැහැ. ඒ තමයි ලෝකෙ හැටි, ඒ තමයි ජීවිතයෙ හැටි, ඒ තමයි පිටත ලෝකෙ හැටි. ඔවුන් ඉස්සරහට යනව, පස්සට යනව, ඉස්සරහට පස්සට, නමුත් ඇත්තටම කොහාටද ඒ අය යන්නෙ? කොහාටවත් යන්නෙ නැහැ. එක රෝහලක ඉඳල තව රෝහලකට යනව, මරණය ළඟා වෙනකම් ඒකයි කරන්නෙ. අවසානයේදි ඔබ යනව ආපු තැනටම.
ඔබ ආරණ්‍යයක ඉන්න කොට මොනව හරි දෙයක් ඔබ අතින් කෙරෙනව. ආරණ්‍යය තුළ ඔබ ජීවත්වෙන විදිය විතරක් නෙවෙයි, ඔබ මෘදු කරන්නෙ, අනිත් අය වෙනුවෙන් ඔබ අතින් කෙරෙන දේවලුත් ඒකට බලපානව. සමහර වෙලාවට ඔබ පුදුම වෙනව ඇයි මේ තරම් මිනිස්සු දානය අරගෙන මේ ආරණ්‍යයට එන්නෙ කියල. ඇයි මෙච්චර විශාල පිරිසක් මේ තරම් රසවත් ආහාර පාන අරගෙන දිනපතා මෙතැනට එන්නෙ? එහෙම එන්න පහසු කම් නැති අය වෙනත් ක්‍රමවලින් ඒව ලැබෙන්න සලස්සනව. ඔබ දන්නව සමහර සති අන්තවල විහාරයට දානය වශයෙන් පූජා කරන දේවල් වෑන් එකට දාගන්න බැරි තරමට තියෙනව. මේව දැක්කාම ඔබට දැනෙන්නෙ මොනතරම් ප්‍රීතියක්ද, හිතට නැඟෙන ධෛර්යය මොනතරම්ද? ඔබ අතින් මොනව හරි වෙන නිසා නේද එහෙම වෙන්නෙ? ඒ අය ඔබට ඒ විදියට උපකාර කරන්නෙ, මම මෙතන ඉන්න නිසාම නෙවෙයි. එහෙම නම් ඒ අය දෙන්න ඕනෙ මට වුවමනා කරන දේවල් විතරක් නේද? ඒ අය ඒව දෙන්නෙ අපි හැමෝමටම. ඒ විතරක්ද? මම නැති සති අන්තවලදිත් ඒ අය කෑමබීම අරගෙන එනව. ඒකෙන් පෙන්නුම් කෙරෙනව, මගෙන් විතරක් නෙවයි, මේ ඔක්කොගෙන්ම ඒ අය යම් කිසිවක් ලබා ගන්නව. ඒ අය මේ තරමට උනන්දු වෙන්න ඔබ අතින් කෙරෙන්නෙ මොනවද? ඒ තරම් දුර බැහැර ඉඳල ඇවිත් ඔබ වෙනුවෙන් කැපවීමක් කරන්න, ඒ අයගෙ සිත් උනන්දු කරවන යමක් ඔබ අතින් සිද්ධ වෙනව. ඔබ හොඳ ආදර්ශයක්; ඒ අයට ආදර්ශයක් වෙන නිසයි එහෙම වෙන්නෙ.
ඔවුන් බොහෝ දෙනෙක් කියන්නෙ පිටත ලෝකයේ ජීවත් වෙන එක ලොකු කළකිරීමක් ඇති කරනව කියල. කන්තෝරුවල වැඩ කරන අය කියන්නෙ එක්කො ඒ අයගෙ ශ්‍රමය සූරගෙන කනව කියලයි. එහෙම නැත්නම් ඒ අය කළ යුතු වැඩ කොටස නොකර මග හරිනව. එක එක්කෙනා අතර කැපිලි, ගැරහීම්, නොරිස්සීම තමයි ඒ තැන් වලදි වැඩි දියුණු වෙන්නෙ. ඒ ගමන ගෙදර ගියාමත් හැසිරෙන්නෙ ඒ ආකාරයටමයි. එක්කො බොනව, මත් ද්‍රව්‍ය ගන්නව, ටෙලිවිෂන් එක හිහා බලා ගෙන ඉන්නව. ඒකෙත් දකින්නෙම අතන කෙරෙන යුද්ධයක්, මෙතැන කෙරෙන යුද්ධයක්, මරාගැනීම්, පලිගැනීම්, දූෂණ. බලන්න පිටත ලෝකය මොනතරම් දූෂ්‍ය වෙලාද කියල? ඒ නිසයි ඒ අය සැනසීම සොයාගෙන ආරණ්‍යයට එන්නෙ. ඒ අය දකින්නෙ බාහිර ලෝකය එක්ක බැලුවාම මෙතැන ඉන්නෙ සාන්තුවරයො කියල. මෙතැන ඉහළ කෙළවරේ ඉන්න වැඩිහිටි අය වගේම පහළ කෙළවරේ ඉන්න ලාබාල අයත් ඊට ඇතුළත් වෙනව. ඒ නිසා ලෝකෙ ඉන්න අයත් එක්ක සසඳලා බලපුවාම මෙතැන ඉන්න අනාගාරිකවරයෙක් වුනත් වැටෙන්නෙ සාන්තුවරයෙක්ගෙ ගණයට. ඒ අයත් බාගයක් දුර ගිහින්. ඒ නිසා තමන් ඉන්න තත්ත්වය සුළු කොට හිතන්න එපා. ඔබ දැකල තියෙනව නේද මේ දානය අරගෙන එන දායිකාවො මොනතරම් ගෞරවයකින්ද අපට සලකන්නෙ කියල. අපට උවමනා කරන සෑම දෙයක්ම සපයල දෙනව. ඒ වගේම අහනව තව මොනවද උවමනා කරන්නෙ කියලත්. ඔබ ඔවුන්ට ලබා දෙන්නෙ තමන් ළඟ තියෙන හොඳකම. ඔබ ආදර්ශයෙන් ඒ අයට පෙන්නුම් කර හිටින්නෙ ඔබේ සංවරය, නිහතමානිකම, කරුණාව වගේ දේවල්. හොඳින් කතා කරන අය, කරුණාවෙන් කතා කරන අය, මෘදු ලෙස කතා කරන අය හැටියටයි ඔවුන් ඔබව දකින්නෙ. ඔබ ඒ එනයන අය විවේචනය කරකර ඉන්නෙ නැහැ. මොනවද අද ඔය අරගෙන ඇවිත් තියෙන්නෙ? මම ඔය ජාති කන්න ආස නැහැ. මොනවටද ඕව උස්සගෙන එන්නෙ? ඔබ ඒ විධියට කතා කරන්නෙ නැහැ. මම හිතනව ඔබ එහෙම කතා කරන්නෙ නැහැ කියල. ඔබ ඒ අයට කතා කරන්නෙ කරුණාවෙන්, ඒ අයට නැවත එන්න ආස හිතෙන විධියට.
උදාහරණයක් හැටියට, අද දානෙ වෙලාවෙ කට්ටියක් ආවෙ පරක්කු වෙලා. ඒ අය පරක්කු වෙලා කෑම ගෙනාවාම අපි කියනවද, ඇයි මේ හැටි පරක්කු වෙලා ආවෙ? මේ වෙලාව වෙනකොට අපි දානෙ වළඳල ඉවර විත්තිය දන්නෙ නැද්ද? එන්න කලින් දැන ගන්න ඕනෙ නේද හරි වෙලාව? යන්න යන්න දැන් පරක්කු වැඩියි, අපිට ඕව ඕනෙ නැහැ. ඒ විධියට අපි කතා කරන්නෙ නැහැ. කන්තෝරු වල ඉන්න අය නම් කතා කරන්නෙ ඒ විධියට, පරක්කු වෙලා ආවාම. අද බඩු වගයක් ගන්න ගියාම කඩේක අයත් හැසිරුනෙ අන්න ඒ ආකාරයට. ඒ අය බඩු විකුණන්නෙ අපේ පලියට වගේ. නමුත් අද පරක්කු වෙලා දානය අරගෙන ආපු පිරිසකට අපි කතා කළේ කරුණාවෙන්. එන්න එන්න ඇතුළට, පරක්කු වුනාට කමක් නැහැ. මට ඒ කෑම උවමනා කරල තිබුණෙ නැහැ. මගේ පාත්‍රයෙ තිබුණ උවමනාවටත් වඩා වැඩියෙන් කෑම. මෙහාට ගේන්න මම ඔයින් ටිකක් ගන්නම්. මම දැක්ක මෙතන දානෙ වළඳමින් ඉතිරි වෙලාහිටි හාමුදුරුවරු, බොහොම කරුණාවෙන් ඒ ගෙනාපු දානෙන් සුළු කොටසක් හරි, මුහුණෙ හිනාවකුත් එක්ක, ඒව පිළිගන්නව. ගත්තු ප්‍රමාණය නෙවෙයි එතැන වැදගත් දේ. ඒ අය බොහොම දුරබැහැර ඉඳලයි ආවෙ, ආරණ්‍යයට ආපු මුල් වතාව, ඒ අය දැනහිටියෙ නැහැ දානෙ ගන්න වෙලාවල්. ඔබ එයින් ටිකක් හරි අරගෙන ඒ අයට දුන් සතුට ඔබට දැනෙන්න ඇති. ඔබ යමක් ඒ අයට දුන්න. ඒ වගේ දේවල් තමයි මනස මෘදු කරන්නෙ. ඒ වගේ මුදු මොළොක් ක්‍රියාකාරකම් මොනතරම් සතුටක් ගෙන දෙනවද? ආරණ්‍යගත ජීවිතයේදි අපට ඒ වගේ සතුට දෙන්නත්, ඇති කර ගන්නත් පුළුවනි.
උදේ ආරණ්‍යය පිරිසිදු කිරීමේ වැඩ පවරන කොට වුනත් වැඩ ගොඩ කරන්න නරකයි. කළ යුතු වැඩ ගොඩ ගැහිල තිබුණත් ඕනවට වඩා බර පටවන එක හරි නැහැ. සමහර අය මම දැක්ක පවරපු වැඩ කොටස ඉවර කරල, කලින් ආපහු යනව. තව කරන්න වැඩ ඕන තරම් තිබුණ. මම ඒ බව ඇඟෙව්වාම මම දැක්ක ඒ අයගෙ මුහුණු ඇඹුල් වෙනව. මම කිව්ව ඒකෙන් කමක් නැහැ, දැන් ගිහිල්ල නාගන්න කියල. ඔබ ඒ වගේ මෘදු වුනාම ඒක ඒ අයට තදින් දැනෙනව. ඔබට හිතාගන්න පුළුවන් එහෙම කරුණාවක් දැක්වුවාම ඒ අය කොයිකරම් සතුටට පත්වුනාද කියල. ඔබ ඒ වගේ කරුණාවන්ත වුනාම, ඒ අය ඔබ වෙනුවෙන් තවත් මහන්සි වෙලා වැඩ කරනව. එය ඇත්තක් නේද? අන්න එහෙමයි කෙනෙකුගෙන් වැඩ ගන්නෙ.
නමුත් ඒක නෙවෙයි මම මෘදු බව පෙන්නන්න හේතුව. ඒ ආකාර දේවල් වලින් ආරණ්‍යය තුළ ඉන්න අයගෙ සිත්සතන් ප්‍රීති සහගත වෙනව. මෙතන අය ඉන්නෙ අසතුටින් නම්, ඒ අය මෙතනට එන අයට දෙන පණිවිඩය මොකක්ද? මෙතන ඉන්න අයගෙ හිත් තද නම්, තරහින් ඉන්නව නම්, වාද කරගන්නව නම්; එකිනෙකා දිහා බලන විධියෙන් ඔබේ නොරිස්සුම්කම්, ගති පැවතුම් පිටත අයට පෙන්නුම් කෙරෙනව. මෙතනට එන අයට ඒක හොඳින් පෙනෙනව. නමුත් එන සෙනග දිහා බලපුවාම පේනව මේ ආරණ්‍යයෙ ඉන්න අය සමගියෙන් සහයෝගයෙන් ඉන්න බව. ඒ එකමුතුකමට මුල් වෙන්නෙ මෙතන ඉන්න අයගෙ මනසෙ තියෙන මෘදු ස්වභාවයයි. ඒ අය යමක් ගන්නව වගේම යමක් දෙන්නත් සූදානම්, ඒ අය කැමතියි සමාව දෙන්න, ඒ අය කැමතියි එකිනෙකාට උදව් කරගන්න. ඒ තමයි මෛත්‍රීය ප්‍රායෝගිකව පෙන්නුම් කෙරෙන හැටි. ඔබ එකිනෙකාට උදව් කරගන්නව නම්, එකිනෙකා බලා ගන්නව නම්, කෙනෙක් අසනීප වුනාම ඒ අයගෙ වැඩ කොටසත් තමන් බාර ගන්නව නම්, උවමනා එපාකම් විමසා බලනව නම්, ඒකයි මුදු මනසක ස්වභාවය. සමහර වෙලාවට, අපි අසනීපයෙන් ඉන්න අයට කෑමබීම කුටියටම ගිහින් දෙනව. නමුත් සමහරු හිතනව මොනවටද බලෙන් කවන්නෙ, එන්න බැරි නම් ඔන්න ඔහෙ හිටපුවාවෙ. ඔය වේලක් දෙකක් බඩගින්නෙ හිටියට කමක් නැහැ. අනික මහතත් වැඩියිනෙ. ටිකක් කෙට්ටු වුනාවෙ. මම ඒවගෙ අය දැකල තියෙනව. නමුත් ඒක නෙවෙයි හරි ක්‍රමය. මට මතකයි, තායිලන්තෙ ඉඳල කාලෙකට එංගලන්තයට ගිය තරුණ අනගාරික කෙනෙක්ට පැවරිල තිබුණෙ දවල් දානය පිලියෙල කිරීම. ඔහු මොකද හිතුවෙ? මේ හාමුදුරුවරු මෙතනට ඇවිත් ඉන්නෙ කෑමවල රස බලබල ඉන්න නෙවෙයි. ලැබුණ දෙයක් කනව මිසක් රස කරකර ඉන්න දෙයක් නැහැ. ඒ නිසා ඔහු කළේ තියන එළවළු ඔක්කොම එකට දාල කිසිම රහක් නැති ගොරෝසු සුප් එකක් හදල, බත් එක්ක කන්න දුන්න එක විතරයි. නමුත් ඔහු ඒ ආරණ්‍යයේ එතරම් ජනප්‍රිය පුද්ගලයෙක් වුනේ නැහැ. ඒ වගේ දේවල් ආරණ්‍යයක පවතින සාමය, සාමූහික කම රැකගන්න උදව් වෙන්නෙ නැහැ. ඒ වගේම මට මතකයි, ඒ කාලෙ හාමුදුරුවරුන්ට දානෙ බෙදුවෙ, ඒ කටයුත්ත පවරා තිබුණ හාමුදුරු නමක් හෝ දෙනමක් පමණයි. පේලියට හාමුදුරුවරු වාඩිවෙලා ඉන්නව, මේ දෙනම ඇවිත් උයල තියෙන දේවල් හැන්දක් හෝ දෙකක්, ඒව කන්න කැමති වුනත් නැතත් පාත්‍රවලට දාගෙන දාගෙන යනව. අන්න එහෙමයි ඒ කාලෙ දානෙ බෙදුවෙ. තමන් කැමති දෙයක් බෙදා ගන්න ඉඩක් නැහැ. මට මතකයි, එක හාමුදුරු නමක් මට කිව්ව කෙනෙකුට දානෙ බෙදන කොට ඒ බෙදන දේවල් වෙන්වෙන්ව බෙදන්න, නිසි ප්‍රමාණයකට. ඔබ කැමති යම් විධියකටද, ඔබ අනිත් අයට බෙදන්නත් ඕනෙ ඒ විධියටමයි. ඒකෙන් වෙන්නෙ ඒ අයගෙ ආසාවන් වැඩි දියුණු වීමක් නේද කියල ඇහැව්වාම ඒ ස්වාමීන් වහන්සේ පැවසුවෙ “නැහැ. ඒ විධියටයි අපි අනිත් අය එක්ක හොඳින් ජීවත් වෙන්න ඉගෙන ගන්නෙ” කියල. එමගින් පෙන්නුම් කර හිටින්නෙ ආරණ්‍යක සුහදතාවයෙන් සාමයෙන් ජීවත් වීමට උවමනා මුදු මනසක් ඇති කර ගැනීමේ ක්‍රියාමාර්ගයක්. එයින් එතන ඉන්න අයගෙ හිතට සතුටක් දැනෙනව. එහෙම සතුටක් දැනෙන්නෙ නැත්නම් වැඩිකල් නොගිහින් ඒ ඉන්න අය වෙන තැන් හොයාගෙන යනව.
එකට ජීවත්වෙන ස්වාමීන් වහන්සේලාට, ප්‍රඥාන්විතව ජීවත්වීමෙන්, මුදු මනසක් ඇති කර ගෙන සතුටින් සිටීමට ඇති හැකියාව බුදුරජාණන් වහන්සේ අගේ කොට සැලකුව. උන්වහන්සේ එය උපමා කළේ කිරිත් වතුරත් එකට මුසු කිරීමට ඇති පහසු කමත් එක්කයි. ඔබට ඒ වගේ කරුණා සහගත මුදු මොළොක් මනසක් තියෙනව නම්, එකිනෙකා වෙත මෛත්‍රී සහගත සිතිවිලි ඇති වෙනව නම්, ඔබට භාවනා කිරීමට පහසු වෙනව. හුස්ම දිහා බලාගෙන ඉන්න වුනත් ඔබට අවශ්‍ය කරන්නෙ මෘදු මනසක්. රළු මනසකට ඒ වගේ දෙයක් කරන්න බැහැ. හුස්ම මනසට උරා ගන්න ඕනෙ, හරියට ස්පන්ජයක් වතුර උරා ගන්නව වගේ. මනසට පුළුවන් වෙන්න ඕනෙ හුස්ම පිළිගන්න, බාරගන්න. ඔබට තියෙන්නෙ රළු මනසක් නම් ඔබ කරන්නෙ මනසට බල කරනව හුස්ම දිහා බලා ඉන්න. “මිනිත්තු පහක් මම දැන් බලා හිටිය, කෝ තාම බැහැනෙ එක දිගට හුස්ම දිහා බලා ඉන්න. කිසි කමකට නැහැ. අවුරුදු පහක් දහයක් භාවනා කරලත් තාම බැහැනෙ. මගෙන් ඇති වැඩේ මොකක්ද? වෙන වැඩක් කර ගන්න එක මීට හොඳයි.” ඔබට ඕනෙ, හුස්ම දිහා කරුණාවෙන් බලා ඉන්න පුළුවන් මුදු මනසක්. ඒ වගේ මනසක් කීවතාවක් ඔබ අසමත් වුනාද කියල හිතන්නෙ නැහැ. මේ වතාවෙ මට ඒක හරි යන්න පුළුවනි. කොච්චර කල් ගියත් කමක් නැහැ. ඇතුළට එන එක හුස්මක් දිහා බලා ඉන්න. පිටතට යන එක හුස්මක් දිහා බලා ඉන්න. එච්චරයි ඔබට කරන්න තියෙන්නෙ. ඒ ටික කරන්න. “ඔව් ඒක මම කළා. හරි හොඳයි. මට පුළුවනි.” අන්න ඒ වගේ මුදු බවක්, ශාන්ත බවක්, සංසුන් බවක්, දයාවක් ඇති කර ගන්න. එතකොට හුස්ම දිහා බලා ඉන්න එක පහසු වෙනව. හුස්ම එක්ක සුහදතාවයක් ඇති කරගන්න.
පහුගිය දවසක ආනාපානසති භාවනාව උගන්වද්දි මම ඒ අයට කිව්වෙ හුස්මත් එක්ක අතිනත ගන්න කියලයි. ඒක හොඳ උපමාවක්. එයින් පෙන්නුම් කෙරෙන්නෙ හුස්ම වෙත දක්වන මුදු බවක්, යහළු මිත්‍ර කමක්. ඔබ හුස්ම එක්ක මාංචු දාගන්නෙ නැහැ. හුස්ම එක්ක මුදු බවක් ඇති කරගන්නෙ, සුහදව හුස්මෙ අතගන්නයි. ඔබ කාගෙ හරි අතගන්නව නම් ඒ අය යන්නෙ කොහාටද, ඔබත් යනව ඒ එක්ක. ඒ අය වමට යනව නම් ඔබත් වමට යනව, ඒ අය ඉක්මණට යනව නම්, ඔබත් ඉක්මණට යනව. මෙය හුස්ම එක්ක අතිනත ගැනීමේ හැඟීමක්. ඔබ එයින් ඇති කරගන්නෙ නිවැරදි ආකල්පයක්. ඔබේ භාවනා අරමුණ වෙත දක්වන සුහදතාවය, එකමුතුකමයි, එයින් අදහස් කෙරෙන්නෙ. ඒ අරමුණ එක්ක පවත්වා ගන්න සිහිකල්පනාවත් එතකොට ඒ වගේමයි. අරමුණ කොතැනද, සිහිකල්පනාවත් එතැන. ඒකයි සමාධිය! එයයි රඳා පවත්වා ගන්නාවූ සිහිකල්පනාව.
අපි ඇති කරගන්නාවූ ඕනෑම ආකාරයක මුදු ආකල්පයක් හෝ හුස්ම අගේ කොට සලකමින් ඊට පළකරන කෘතඥතාවය හෝ හුස්ම වෙත දක්වන මෛත්‍රී සහගත හැඟීම් හෝ ආනාපානසතියෙන් ඔබට සිදුවන යහපත හෝ සලකා බැලීම වැනි දේවලින් ඔබට මනසෙ මුදුභාවය ඇති කර ගන්න පුළුවනි. ඔබේ මනසේ පවතින මානසික තත්ත්වයට අනුකූලව ඇතුළට එන හුස්ම ඔබට පිළිගැනීමට පුළුවනි. එය ඔබේ සිහිකල්පනාවෙන් යුතු එකම අත්දැකීම බවට පත්කර ගන්න පුළුවනි. ඔබේ මනස රළු නම් ඔබට එවැනි දෙයක් කරන්න බැහැ. කළුගලක් ඇතුළට යමක් තල්ලු කරන්න හදනව, නමුත් ඇතුළට යන්නෙ නෑ වගේ, එහෙම නැත්නම් කළුගලක් මත යමක් තවරනව, නමුත් උරා ගන්නෙ නැහැ; එය ස්පන්ජයක් වගේ මෘදු විය යුතුයි. මම මෙය නොයෙකුත් වතාවලදි පෙන්නල දීල තියෙනව.
සමහර වෙලාවට ඔබට දැනෙනව මනසෙ ඇති මෘදු කම, ඒ වගේම වෙලාවකට දැනෙනව මනසෙ ඇති තද ගතිය. එය ඇඹරිල, පොඩිවෙලා, ගල්වෙලා තියෙන ස්පන්ජයක් වගේ. බොහොම අයට තමන්ගෙ මනස පවතින ආකාරය කොයිවගේද කියල දැනෙනෙව. ඒ වගේ තද ගතියක්, රළු ගතියක් දැනෙන්නෙ තමන්ගෙ වරද නිසා නෙවෙයි. දවසේ පැන නැගුනු ප්‍රශ්න, අතීතයේදි මුහුණ දී ඇති දුක් කරදර ඊට හේතුව විය හැකියි. ඔබට එහෙම දැනෙනව නම්, එය පිළිගන්න. එයයි සත්‍යතාවය, එයයි මනසෙ පවතින ස්වභාවය. ඔබ උගත යුත්තේ, ඒ ඇඹරුණු ගතිය, පොඩිවුන ගතිය, ගල්වුන ගතිය දුරලා ගන්නයි. ස්පන්ජයට දිගහැරෙන්න ඉඩ දෙන්න. එයට පුළුන් රොදක් වගේ මෙලෙක් වෙන්න ඉඩ දෙන්න. අන්න එහෙම වුනොත් තමයි ස්පන්ජයට පහසුවෙන් වතුර උරාගන්න පුළුවන්කම ලැබෙන්නෙ. ඒ වගේ මනසකට පුළුවනි හුස්ම උරාගන්න. ඒ වගේම ඒ එක්ක උපදින සතුට, ප්‍රීතියත් උරාගන්න. මනස ඒ වගේ මුදු ස්වභාවයක පවතින කොට භාවනා කිරීම ලෙහෙසි දෙයක් වෙනව. අතිනත ගැනීම, උරාගැනීම, සමඟ විසීම වැනි සිතා බැලීමට සුදුසු උපහැරණ දැන් ඔබ ළඟ තියෙනව.
මුදු මනසට හැකියාවක් තියෙනව ඉවසන්න. රළු මනසකට එහෙම ඉවසීමක් නැහැ. සෑම දෙයක්ම මේ මොහොතෙම ඕනෙ. භාවනාවට කොච්චර කාලයක් ගතවුනාද? පැයක්, දෙකක්, තුනක්, දහයක්, ඒත් ප්‍රශ්නයක් නැහැ. අද කර ගන්න බැරි වුනොත් හෙට පුළුවන් වෙයි, හෙට බැරි වුනොත් ඊළඟ සතියෙ, ඊළඟ සතියෙ බැරි වුනොත් ඊළඟ අවුරුද්දෙ, ඊළඟ අවුරුද්දෙ බැරි වුනොත් ඊළඟ ජීවිතයේදි පුළුවන් වෙයි. “කොයිතරම් කාලයක් ගත වුනත් මට කමක් නැහැ. මම මගේ වැඩ කොටස හොඳින් කරනව. ඒ කරන දේ මම සතුටින් කරනව. මම එයින් සෑහීමකට පත්වෙනව.”
සත්‍යාවබෝධ කර ගන්න විධි ගොඩක් තියෙනව. එයින් එකක් තමයි, දුකින් මිඳීම හෙමින් කර ගන්න ක්‍රමය. නමුත් ඒ මාර්ගය දිගේ යන කොට කී දෙනෙක් ඊට ඔරොත්තු දෙයිද මම දන්නෙ නැහැ. ඒ නිසා මම යොමු කරවන්නෙ සතුටින් ඉක්මණින් යා හැකි මාර්ගය වෙතටයි. අවශ්‍ය නම් ඔබට එය කළ හැකියි. ඔබ දියුණු කළ යුත්තෙ නිවන වෙත සතුටින් යාහැකි මාර්ගයයි. ඔබ මනස මෘදු කර ගන්නව. ඔබ උවමනාවෙන්ම මනස මෘදු කර ගන්නව. ඔබ දන්නව මුදු මනස කොයි වගේද, රළු මනස කොයි වගේද කියල. ඔබ දන්නව මුදු මනසකට හේතු වෙන්නෙ මොනවද කියල. ඔබ දන්නව රළු මනසකට හේතු වෙන්නෙ මොනවද කියල. ඔබ සොයා ගත යුතුයි මුදු මනසක් ඇති කර ගැනීමට මොනවද උවමනා කරන්නේ, මොන ක්‍රියා මාර්ගද ගත යුතු, මොනවද දියුණූ කර ගත යුතු හැකියාවන්; ඒව දැනගෙන මනස මොලොක් කර ගන්න. සමහර වෙලාවට විහිළු කථා පොත් කියවීමෙන් මනස මොලොක් වෙනව, ජීවිතය බරපතල ලෙස හිතට ගන්නෙ නැහැ. ඔබ හිනා වෙමින් සතුටින් ඉන්න වෙලාවට ඔබට පුළුවන්ද තමන් එක්ක හරි අනුන් එක්ක හරි තරහයින් ඉන්න. මම දැකල තියෙනව කෙනෙක්ව හිනස්සන්න පුළුවන් කම අපේ ගුරු ස්වාමීන් වහන්සේලා ධර්මය ඉගැන්වීමේ ක්‍රමයක් හැටියට යොදා ගන්නව. එය ප්‍රතිඵල ලබා දෙන බව මම දන්නව. ඒ මුදු බව ඔබ දිරි ගන්වනව. ඒ මුදු බව මනසට විවෘත වෙන්න ඉඩ සලසනව. ඒ විවෘත වීම තුළින් ටිකක් හෝ සතුටක් මනසට ගලා එනව. ප්‍රීතිය හා සුඛය ටිකක් හෝ මනසට ඇතුළ් වුනාම, මනසෙ ඇති වුනාම, එමගින් මනසෙ ඇති අනිකුත් උද්වේගයන් අත්හැර දැමීම පහසුවෙන් කළ හැකි වෙනව. උද්වේගයන් අත් හැරෙන කොට මනස සාමයට පත් වෙනව. මේ වගේ සුළුවෙන් හෝ සිතේ මතුවන සතුට, මුදුභාවය, සංහිඳීම ටිකෙන් ටික වර්ධනය වෙන්න පටන් ගෙන එය ගැඹුරු ප්‍රීතියකට, ගැඹුරු සාමයකට පත් වෙනව. සංතෘෂ්ටිය, සෑහීමකට පත්වීමේ ගතිය ඇති වෙන්නෙ මුදු මනසකයි. රළු මනස හයිය, තද පසක් වගේ, කිසි දෙයක් පැලකරන්න බැහැ. පැලවෙන්නෙ නැහැ. පැලෑටි වල මුල් මහන්සි ගන්නව ඒ තද පසේ ඇති අතරවල් තුළින් රිංගගෙන ගැඹුරට යන්න. නමුත් ඒක කරගන්න බැහැ. ඒ නිසා ඒ වගේ පොලොවක ඔබට දකින්න ලැබෙන්නෙ කණාටු පැල. මේ වගේම තමයි රළු මනසත් හැසිරෙන්නෙ. ගැඹුරු භාවනාවෙ එහෙම නැත්නම් ගැඹුරු විදසුන් නුවණෙ මුල් ගැඹුරට යන්නෙ මුදු මොලොක් මනසකයි. මුල් ගැඹුරට යන්න යන්න මනස ප්‍රීතිමත් වෙනව, සැනසීම ඇති කර ගන්නව. මෘදු අන්දමින් භාවනාවෙ යෙදීමට හැකියාව ඇති කරගත්තාම භාවනා කිරීම තවතවත් ලෙහෙසි වෙනව. ඔබ හුඟ කාලයක් තිස්සෙ භාවනා කරන කෙනෙක් නම් කාලය ගත වීමත් සමඟ භාවනාව ලෙහෙසි වන බව, ඉස්සර වගේ අමාරු නැති බව දැනගැනීම සිතට සහනයක් නෙවෙයිද? මගේ අත්දැකීම නම් ඒකයි. ඊට හේතුව ඔබේ ප්‍රඥාවෙ දියුණුවත් සමඟ ඔබට වැටහෙනව මනස මොලොක් කර ගන්නා ආකාරය. සමහර වෙලාවට මේ තරුණ අය තමන් වෙත තද ගතියක්, දරදඬු ගතියක් ඇති කර ගන්නව. තද නීති පනවා ගන්නව. නමුත් ගුරු ස්වාමීන් වහන්සේලා තුළින් පෙන්නුම් කෙරෙන්නෙ වයසට යාමත් සමඟ දියුණු කරගත් මෘදු ස්වභාවයකුයි. ඊට ඉවහල් වෙන්නෙ ඔවුන් දියුණු කර ගත් ප්‍රඥාවයි. අජාන් චා ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලිව පෙනුනු දෙයක් ඒක. ඔබේ මනස එන්න එන්නම මෘදු වෙනව නම් ප්‍රීතිය ඇති කර ගැනීමට මනසට පහසු වෙනව. ප්‍රීතිමත් මනස පහසුවෙන් සමාධිගත කර ගන්න පුළුවනි. ‘සුඛිනො චිත්තං සමාධියති’ කියන ප්‍රකාශයේ තේරුම ඒකයි. මනසෙ සතුට සමාධිය ඇති කරනව. භාවනාවෙ ගැඹුරු අවධීන් වෙත එළඹෙන කොට ඔබේ මනස ඉතාමත් මෘදුව තියෙන්න ඕනෙ. භාවනා ක්‍රියාවලිය පවතින්නෙ එ මුදු බව, මොලොක් බව මතයි. ඔබේ මනස රළු නම්, ඉති සියුම් සංවේදී බවක් නැත්නම්, මුදු බවක් නැත්නම්, ඔබට බැරි වෙනව ඒ අවධිවලදි මනස සුදුසු ආකාරයෙන් මෙහෙයවා ගන්න. මනසට අණ දිය යුත්තේ මුදු ආකාරයෙන් මිස රළු ආකාරයෙන් නොවේ. ගැඹුරු සමාධියකට මනස ගෙන ඒමට නම්, මනස පිබිද විය යුත්තේ සියුමැලි ස්පර්ශයකින් මිස බදබල ස්පර්ශයකින් නොවේ.
මනස හුස්ම වෙත යොමු වුනාම මුදු මනස කරන්නෙ ප්‍රීතියෙන් මනස පුරවගෙන සිදු වන දේවලට ඒ විධියට වෙන්න ඉඩ හරිනව. නිමිත්තක් මතු වුනාම පාලනය එහෙම පිටින්ම අත්හැරදාල මනස ඉතාමත් මෘදු අන්දමින් පවත්වා ගන්න ඕනෙ. මේ ඉතාමත් සියුම් අවධීන් වලදි ඔබ තදින් උත්සාහ ගත්තොත් එයින්ම සෑම දෙයක්ම කඩාබිඳ වැටෙනව. හුඟාක්ම බුරුලෙන් හිටියොත් ඒත් ඒකමයි වෙන්නෙ. ඒ අතරමැද ඉතාමත් සියුමැලි, සංවේදි පැවැත්මකුයි අවශ්‍ය වෙන්නෙ. ඉතාමත් සංවේදීව මනස හසුරුවා ගැනීමේ හැකියාව තුළිනුයි ඔබ ඒ දේ කරගන්නෙ. පියකරු හුස්ම නිමිත්තකට පෙරලා ගැනීමට, නිමිත්ත තුළින් ධ්‍යානයකට එළඹීමට, බාහිර ආයාසයක් යෙදිය යුතු නැහැ. ඉතාමත් සංවේදීව, ඉතාමත් සියුමැලිව කෙරෙන ස්පර්ශයක් මෙවන් අවධිවලදි ඉතා වැදගත් වෙනව. බොක්සින් කාරයෙකුගෙ, පොරබදන්නෙකුගෙ වගේ රළු බවක් නෙවෙයි ඒක; එය පිරිපුන් සංගිතඥයෙකුගෙ, සිත්තරෙකුගෙ වගේ සියුමැලි බවක් වෙන්න ඕනෙ. මනසෙ මුදු බවින් පෙන්නුම් කෙරෙන්නෙ ප්‍රීතියයි. ප්‍රීතිය විතරක් නෙවෙයි, සමාධියෙ ගැඹුරත් ඒකෙන් පෙන්නුම් කෙරෙනව.
ඔබ දන්නව ඇයි ඔබ භාවනා කළ යුත්තෙ, ධ්‍යාන ලබා ගත යුත්තෙ කියල; ඒ බව සූත්‍ර වල සඳහන් වෙනව. හතරවෙනි ධ්‍යානයට සමවැදිල එයින් එළියට ආවාම තමයි මනස සැබෙවින්ම මුදු මොළොක් බවට පත් වෙන්නෙ. අන්න එවැනි මනසක් තමයි සත්‍යාවබෝධය සඳහා යොදා ගන්න පුළුවන්. එය නම්‍යතාවයකින් යුතු මනසක්. මුදු මනසක් තමයි අනුහුරු කළ හැකි. එක්තරා ආකාරයකින් එයයි භාවනාවෙ පරමාර්ථය; අපි ළඟ තියෙන රළු දරදඬු මනස නැමිය හැකි, වැඩක් ගත හැකි, මුදු මනසක් බවට පතිකර ගැනීම. ගැඹුරු සමාධියකින්, ධ්‍යානයකින් එළියට එන මනසක් ඔබට රිසි ආකාරයකින් ඕනෑම තැනකට, ඕනෑම දෙයකට යොමු කළ හැකියි. ඔබ පුදුම වෙයි ඒවගේ මනසක් ඔබට ලබාදෙන බලය දැක්කාම. එවැනි බලයක් කිසිසේත්ම ලබාදෙන්න බැහැ රළු, ගොරහැඬි මනසකට; එහෙම මනසකට පුළුවන් දේවල් විනාශ කර දාන්න විතරයි. ඔබට උවමනා නම්, බලගතු සමාධියකින් පස්සෙ, මනස පෙර ජීවිත සිහිපත් කිරීමට වුනත් යොමා ගන්න පුළුවනි. එවැනි බලයක් මුදු මනසකට තියෙනව. මොකක්ද මගේ මුල්ම මතකය. සිතූ පමණින් එය එතෙන්ට යනව. ඔබට දෙවිවරු දැකීමට අවශ්‍ය නම්, ඔබට දෙවිවරු දැකිය හැකියි. මනසට ඒ බව අඟවන්න. මනස එය ඔබට ඉටුකර දෙනව. රළු මනසකින් ඒව කරන්න යන්න එපා. එය කළ නොහැකි දෙයක්. මුදු මනසකට පමණයි එවැනි බලයක්, ශක්තියක් ඇත්තෙ. රළු මනසකට එවැනි සංවේදීතාවයක් නැහැ. මීටත් වඩා ඉතා වැදගත් වෙන්නෙ, ඒ මුදු මනස, ඒ සංවේදී මනස, යොමු කරන්න චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්න. රළු මනසකට ඒ දේ කරන්න බැහැ. සත්‍යමවූ විදසුන් නුවණක් ඔබට ලබා ගත හැකි වන්නෙ එවැනි මුදු මනසක් ඇත්නම් පමණයි. ඒ මනස තමයි ඔබ සංසාරයෙන් එතෙර කර වන්නෙ. සංසාරය හතරවටින් කඩා ඉහිරෙන්න පටන් ගන්නව. මුදු මනස අවිද්‍යාවෙ අත්තිවාරම බුරුල් කරනව. එතකොට ඒ මත ගොඩනගා ගත් දේවල් කඩා වැටෙන්න පටන් ගන්නව. මෙතෙක් තිබුණ කොන්ක්‍රීට් වගේ තද අත්තිවාරම අයින් කරල ඒ වෙනුවට ‘ජෙලි’ වගේ දෙයකින් ඒක පුරවනව. අවිද්‍යාවට නැගී හිටින්නට දැන් හයියක් නැහැ; ඇද වැටෙනව. මුදු මනසෙ ස්වභාවය ඒකයි. ඒ මුදු බව සිත ප්‍රීතියෙන් පුරවනව, මනසට ශක්තිය ලබා දෙනව. මම මේ කියන මුදු මනසට යා යුතු නියම දිශාව පෙනෙනව. ඒ මග පෙන්වීම ලැබෙන්නෙ, ධර්මයට සවන් දීම, ධර්මය හැදෑරීම, ධර්මයෙන් දිරිමත් වීම ආදියෙන් ප්‍රීතිය තුළිනුයි. මුදු බවත්, එක්කම ගැඹුරු විදසුන් නුවණත් තමන් වෙත ළඟා වෙනව. ඒ ගැඹුරු විදසුන් නුවණත්, ගැඹුරු අවබෝධයත් තුළින් තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි, රහත් ආදි මාර්ගඵලයන් ලබා ගන්නා මාර්ගයට අවතීර්ණය වෙන්නෙ. ඒ තමයි මුදු මනසක හැටි.
ඒ වගේ මනසක් කොයිතරම් මෘදුදැයි පවසනවා නම් ඒ මනසට දැනෙන්න පටන් ගන්නව තමන් හා සහවාසය කරන උතුම් අයගෙ මානසික ස්වභාවය. විටෙක විවේචනාත්මක ගතියක් ඒ අය පෙන්නුවත් ඒ එක්කම මුහුණෙ සිනාවකුත් ඇති බව ඔබට පෙනෙනව. ඒ ආකාරයෙ පුද්ගලයින් සමඟ විසීමත් සතුටක්. බලගතු බලයක් තිබුණත්, විශිෂ්ට ප්‍රඥාවක් තිබුණත්, සමාධිය බලවත් වූනත්, ඒ අයට ඇත්තෙ ඉතා මුදු මොළොක් මනසක්. බොහොම දෙනෙක් අජාන් මහ බෝව ස්වාමීන් වහන්සේ ඉතා දරදඬු, බය හිතෙන, තදින් විවේචනය කරන, කෙනෙක් හැටියට හිතාගෙන හිටියත් උන්වහන්සේත් සමඟ මා ලත් අත් දැකීම් වලින් මට දැනුණෙ, මට හමුවුනු ඉතාමත් මුදු මනසක් ඇත්තෙකු හැටියටයි. ඉතා මුදු, ඉතා ප්‍රසන්න, ඉතා කරුණාවන්ත, උණූසුමින් හද පිරීගිය, උත්තමයෙක් හැටියටයි. මම මේව කියන අතරෙම මට පුළුවනි ඒ ගුණ යහපත් කම් දැන් වුනත් මා ඉදිරියෙ මවා ගන්න.
ඒ නිසයි බුදුරජාණන් වහන්සේගේ පිහිට පතාගෙන නොයෙකුත් තරාතරම් වල අය උන්වහන්සේ වටා රොක් වුනේ; රජවරු, දුගී දුප්පත් අසරණයින්, විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා, උන්වහන්සේ පිරිවරා ගෙන හිටියෙ උන්වහන්සේ ළඟ තිබුණු අසීමිත කරුණාව, දයාව,මෛත්‍රීය, මුදු බව නිසයි. ඒ නිසා මේ මෘදුභාවය ඉතා වැදගත් දෙයක් අපි නතු කර ගත යුතු. එදිනෙදා ජීවිතයේදි එය හැකිතාක් දුරට දියුණු කර ගන්න උත්සාහ ගන්න. විශේෂයෙන්ම තමන් එක්ක ජීවත් වෙන අය සමඟ ඉඳිද්දි; තමන්ගෙ අසල්වාසින්, ඥාතින්, හිතවතුන් සමඟ මෙන්ම තමන් එක්ක ඉඳිද්දි. එය භාවනාවට ප්‍රයෝජන වෙනව. තමන් එක්ක තදින් ඉන්න එපා. හුස්ම වෙත මෘදු මනසක් ඇතිකර ගෙන, එයට ගලා ගෙන යන්න ඉඩ දෙන්න. ඒ වගේම මෘදු කමේ ඉහළම මට්ටමේ අත්විඳිය හැකි ධ්‍යානයන්ට සමවැදීමට උත්සාහ ගන්න. ඒ මෘදු අවධීන්ගෙන් පසුව මනස අවශ්‍ය තැන්වලට යොමු කරන්න, එවිට මනසට ඒ හැකියාව තියෙනව. ඔබට එතකොට බුදුරජාණන් වහන්සේගේ බලගතු ධර්මය, විමුක්තිය ලබා දෙන ධර්මය, අවබෝධ කරගන්න හැකියාව ලැබෙනව. ඒ තත්ත්වයට ඔබ පත්වෙන්නෙ මුදු මනසක් ගොඩනගා ගැනීමෙනුයි