අජාන් මුණින්දො ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්
තායිලන්තයේ බුන්වායි වල පිහිටි ආරණ්‍යයේ අධිපති ස්වාමීන් වහන්සේ යුරෝපාදී රටවල සංචාරයක යෙදීමට අදහසක් ඇතිකර ගෙන තිබෙන නිසා සමහර විට උන්වහන්සේ අපේ ආරණ්‍යයේත් ටික කාලයක් වැඩ විසීමට පැමිණෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය බාහිර කටයුතු දැනටමත් මැනවින් සම්පාදනය කර ගෙන ඇතත්, තවමත් බලා සිටින්නේ එම කාලය තුළ උන්වහන්සේගේ ආරණ්‍ය බලා සොයා ගැනීමට කෙනෙක් ඉදිරිපත්වන තෙක්ය. මහණ වීමෙන් පසු බ්‍රිතාන්‍යයේ දැනට අවුරුදු දොළහක්ම මා වාසය කර ඇති නිසා නැවත ආසියාවට යාමට මටත් ඇත්තේ බලවත් කැමැත්තක්ය. තරුණ භික්ෂුවක් ලෙස මා පුහුණුව ලත් තැන්වල නැවතත් වැඩි කාලයක් ගත කිරීමට අවස්ථාවක් ලත් විට (1993 දී) මට ඇතිවූයේ බලවත් ප්‍රීතියක්ය.
එවර, මා ආරණ්‍යයේ ගේට්ටුවෙන් ඇතුල්වන විට සැදෑ එළිය පැතිරෙමින් පැවතින. අළුත් සහ පරණ හිතවතුන් මා වටකර ගත් විට ඇතිවූ හැඟීම්, චකිතය, ගෞරවාදරය විශ්මය දනවන සුළු විය. බැලූබැල්මට දිස්වූයේ, මා සිටි කාලයට වඩා බොහෝ දේ ඇතුළතින් හා පිටතින් වෙනස්වී ඇති බවක ස්වරූපයක්ය. එතැනට සමීප බවක් දැනුනත්, යම්කිසි වෙනසක් ඇති බවක හැඟීමක්ද සිතෙහි ඇති විය. අඳුරින් වසාගත් වනයේ නිහඬතාවයත්, දැල්වෙන හඳුන් කූරුවල සුවඳ හා මුසුවූ කැලෑ මල්වල සුවඳත් මා නැවත පත්කළේ; බලාපොරොත්තු රහිත බවකින් යුතුවූ සිතක, ගුප්ත අත්දැකීම් විඳීමට බලවත් අභිලාෂයක් ඇතිකර ගත්, අවුරුදු විසිහතරක තරුණයෙකු බවටය. බුන්වායි ගම්මානයේ කුඹුරු අතරින් ඇදී ආ ශබ්ද, විද්‍යුත් මාදිලියේ තරංග බව, ඒ අතර මට අවබෝධ විය. එකලදී මෙන් නොව, ගම් මුලාදෑනියාගේ නිවසෙහි පමණක් නොව, සෑම නිවසකම රූපවාහිණියකින් සහ නවීන පන්නයේ සංගීත භාණ්ඩ වලින් අඩුවක් නැති විය.
නමුත් දින කිහිපයක් ගත කිරීමෙන් පසු මට දැනෙන්නට වූයේ ආරණ්‍යය වැඩි වෙනසකට පත්වී නොමැති බවය. තදාසන්න ඌබොන් නගරයේ සිට වැටී ඇති බොරළු පාර තාරදමා උසස් මට්ටමකට ගෙනැවිත් තිබූවත්, කුඹුරු සීසෑම සඳහා මීහරකුන්ගෙන් වන සේවය අතිහිටුවා අත් ට්‍රැක්ටර් යන්ත්‍ර භාවිතයට ගන්නා බව පෙන්නුම් කළේ වූවත්; ආරණ්‍යයට අවශ්‍ය වතුර තවමත් සපයා ගන්නේ ළිදෙන් ඇද ගැනීමෙන්ය, ආරණ්‍යය ඇමඳීමේ කටයුතු දිනපතා සිදු වන්නේ පරණ තාලයටමය, සිවුරු පඬුපොවා ගැනීම සඳහා අවශ්‍ය කොස් අරටු රැහැ ගන්නේ දෑතේ වීර්යයෙන්ය, රාත්‍රි කාලයේදි පොතපත කියවීම සඳහා තවමත් පරිහරණය කරන්නේ භූමිතෙල් ලාම්පුය. අවටින් නැගෙන නවීන මාදිලියේ ශබ්ද මැඬලමින්, සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි ආරණ්‍යයේ හැඬවෙන ‘ගෙඩියෙන්’ නිකුත් වූයේ ථේරවාදි ආරණ්‍ය වලට ආවේනිකවූ ‘සරල පැවතුම් රැකගන්න’ යන ශබ්දයේ දෝංකාරයයි.
ආරණ්‍ය තුළ දවසේ වැඩ කටයුතු කෙරෙන ආකාරයෙහි මා බලාපොරොත්තු වූවාට වඩා ලිහිල් බවක් වූයෙන්, එතැන වැඩ වසන ස්වාමීන් වහන්සේලා සමඟ පැවති පැරණි සුහදතාවය ගොඩනගා ගැනීම සඳහා කාලය මිඩංගු කිරීමට, අවස්ථා කොතෙකුත් විය. ගම්වාසීන් සමඟ සතුටු සාමීචියෙහි යෙදීමටද අවස්ථා උදාවිය. පුදුමයකට මෙන්, 1974 වසරේ ආරණ්‍යය පිහිටුවද්දි එකල වැඩ සිටි භික්ෂූන් වහන්සේලා ගැන නොමැකෙන මතකයක් ඔවුන් තුළ විය. ජීවිතය පුරා කරගෙන ගිය බුලත් හැපීමේ පුරුද්ද වයස්ගත වූවන් හට තවමත් අත්හල නොහැකි පුරුද්දක් වූවාක් මෙන්ම, ලොඹු කටවල් පුරා නැගුන සිනාවෙන් මුව සරසා ගත් ඔවුන්ගේ මුහුණුවලින් නික්මෙන කාන්තියෙහිද අඩුවක් දක්නට නොවීය. ඔවුන් බොහෝ දෙනෙක් අසා නොමැති ලොව පුරා පිහිටි රටවල් වල පිහිටුවා ඇති ආරණ්‍ය පිළිබඳ වතගොත මා හෙළිදරව් කරන විට ඔවුන් ඒ අසා සිටියේ ඉමහත් කුතුහලයකින්ය.
වාසනාකට මෙන්, ආරණ්‍යයෙහි එකල වැඩ වාසය කළ ඊසාන දිග් භාගයේ විසූ පිළිගත් භාවනා ගුරුවරුන් බැහැදැක ගැනීමටද මට අවස්ථාව සැලසින. මීට අවුරුදු දහඅටකට පෙර, උන්වහන්සේගේ ආරණ්‍යයෙන් නික්ම ගිය පසු නැවත බැහැදැකීමට අවස්ථාවක් නොලත්, මගේ භාවනා පුහුණුවට මුල පෑදූ ස්වාමීන් වහන්සේද ඒ අතර විය. වසර 1930 වකවානුවේ වැඩ සිටි සුප්‍රසිද්ධ අජාන් මං භාවනා ගුරු ස්වාමීන් වහන්සේගේ ගෝල නමක්වූ, බොහෝ දෙනෙකුගේ ගෞරවාදරයට පාත්‍රවූ අජාන් තේට් ස්වාමීන් වහන්සේ, අජාන් චා ස්වාමීන් වහන්සේට වඩා වැඩිමල් විය. අවුරුදු දාහතරේදි මහණ දිවියට සැපත් උන්වහන්සේ මුළු දිවියම කැප කරන ලද්දේ කඩිසරව පුහුණුවෙහි යෙදීමට සහ ධර්මය වෙනුවෙන් සේවය කිරීමටය. අජාන් චා ස්වාමීන් වහන්සේට සමකාලීනව සුප්‍රසිද්ධ සංඝ පීතෘවරයෙකු බවට පත් උන්වහන්සේ අවසානයේදි, ‘හින් මාක් පොන්’ ආරණ්‍ය තනා එහි වැඩ විසූහ. තායිලන්තයට මා පා තැබූ කාලයේදි උන්වහන්සේ වැඩ විසූවේ අපවත්වූ අජාන් ෆන් වැඩ සිටි ‘ටුම්කාට්’ ලෙන් අරණෙහිය. අජාන් චා උතුමාණන් වහන්සේ යටතේ පුහුණුව ඇරඹීමට මත්තෙන්, මගේ මහණ දිවියේ මුල් මාස කිහිපය අජාන් තේට් ස්වාමීන් වහන්සේ සමඟ ගත කිරීමට ලැබීම ඉමහත් වාසනාවක් ලෙස මම සලකමි.
අජාන් තේට් ස්වාමීන් වහන්සේ ළඟ නතර වීමට මා මුලින්ම පැමිණෙන විට, හැත්තෑහතර වෙනි වියේ පසුවූ උන්වහන්සේ ‘ලියුකීමියා’ රෝගයෙන් පෙළෙන බව ඒ දිනවල සොයා ගෙන තිබිණ. එහෙත් දැන්, පුදුමයකට මෙන්, ඊට අවුරුදු දහඅටකට පසුවත්, පිහිට පතා පැමිණෙන දනන් හට පිළිසරණක් වීමට තරම් උන්වහන්සේ ඉමහත් වාසනා ගුණයකින් හෙඹියේය. උන්වහන්සේ වැඳපුදා ගැනීම සඳහා පැය කිහිපයක දුරක් උතුරු දෙසට ගමන් ගන්නා නඩයකට එක්වූ කල මට ඇතිවූ අපේක්ෂා සහගත සිතිවිලි සහ ප්‍රීතිය සුළුපටු නොවීය. “මම මොනවද උන්වහන්සේට පූජා කරන්නේ? උන්වහන්සේට මාව මතක තියෙයිද?” වැනි කුතුහලාත්මක සිතිවිලි වලින් සහ මුල් අවුරුදු වලදි අමාරුවෙන් ගත කළ කාලය පිළිබඳ මතකයන්ගෙන් හා කුඩා ළමයෙකු මෙන් බලාපොරොත්තු සහගත ප්‍රීතියෙන් මා හද වසා ගන්නට විය.
උන්වහන්සේ යටතේ මා සිටි කාලය තුළදි වුවද, උන්වහන්සේ කෙරෙන් දිස්වූයේ සීයා කෙනෙකු තුළ පවතින ලස්සන ලයාන්විත පෙනුමක්ය. දැන්, අනූතුන්වෙනි වියෙහි පසුවන උන්වහන්සේගේ ශාරීරික ශක්තිය පිරිහී ගොස් තිබුණත්, දෑසින් විහිදෙන කාන්තියත්, පැහැපත් ශරීරයත්, තැන්පත් ගැඹුරු ස්වරයත් ඒ අඩුව පිරිමසාලීය. ගෞරවාදරයෙන් උන්වහන්සේගේ දෙපා මුල වැඳ වැටෙන විට දෑස කඳුලින් පිරීයාම වැලැක්විය නොහැකි විය. සාමාන්‍ය මට්ටමින් මට තායි බස කතාබහ කළ හැකි වූවත්, නැවත දැක ගැනීමට හැකි වීමෙන් මා හදෙහි හටගත් බලවත් ප්‍රීති ප්‍රමෝදය උන්වහන්සේට දන්වා සිටීම සඳහා අසල සිටි ස්වාමීන් වහන්සේ නමකගේ පිහිට පැතීමට මට සිදු විය. උන්වහන්සේට මා පිළිබඳ මතකයක් නොතිබුවත් දෙපය අසල හිඳ සිටි මට එහි වෙනසක් නොදැනින. “මොනතරම් පුදුමයක්ද?” යනුවෙන් මට සිතෙන්නට විය. “ඒ අවුරුදු ගණනාව තුළ, නවක ආරණ්‍යගත භික්ෂුවක් ලෙස ඇතුළතින් නැගෙන දුක්ගිනි නිවා ගැනීමට මා දැරූ උත්සාහය මොනතරම්ද? ඒත්, දැන් මම මෙතැන හිඳින්නේ මොනතරම් ප්‍රීතියෙන්ද? මෙහෙමත් සතුටක්!”
බැංකොක් නුවර බොවෝනිවස් ආරණ්‍යයේ අධිපති, සොම්ඩෙට් නයනසංවර මා ගුරු ස්වාමීන් වහන්සේගේ භාවනා ගුරුතුමාවූ අජාන් තේට් ස්වාමිපාදයාණන් වහන්සේගේ ඉගැන්වීම් වෙත මා නැඹුරු වූයේ උන්වහන්සේගේ දේශනවල පරිවර්තන කියවීමෙන්ය. අජාන් තේට් ස්වාමිපාදයාණන් වහන්සේ යටතේ පුහුණුව ලත් ස්වාමීන් වහන්සේලා කිහිප නමකගේ ගුණයහපත් කම් සහ හික්මීම බැංකොක් නුවරදි දැකගන්නට ලැබීමෙන් පසු ඇතිවූ පැහැදීම නිසා අජාන් තේට් ස්වාමීන් වහන්සේගේ හින් මාක් පෙන් ආරණ්‍යයේ මුල් වස් කාලය ගත කිරීමට මගේ ගුරු ස්වාමීන් වහන්සේගෙන් අවසර ලබා ගැනීමට මට හැකි විය. එතැනට මා ගමන් ගත්තේ බැංකොක් නුවරදි මට හමුවූ තවත් බටහිර භික්ෂූන් වහන්සේ නමක් සමඟින්ය. පෙර හැඳිනීමක් නොමැතිව එකම කාලයේදි අප දෙදෙනා ඕස්ට්‍රේලියාවේ භාවනා වැඩමුළු කිහිපයකට සහභාගි තිබූවත්, අහඹු හමුවීමකින් පසු දැන් අප දෙදෙනා එක හා සමාන අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම සඳහා විශිෂ්ට ගුරු ස්වාමීන් වහන්සේ නමක් යටතේ පුහුණුව ඇරඹීමට සූදානම් වීම විශ්මයට කරුණක් විය.
හින් මාක් පෙන් ආරණ්‍ය පිහිටා තිබුණේ ලාඕස් රාජධානියේ වියන්ටිආන් අගනගරයේ සිට සැතපුම් තිහක් පමණ ඉහළින් මීකොන් ගං ඉවුර අසබඩ ඝන වනාන්තරය තුළ දුෂ්කර ප්‍රදේශයකය. මා එහි ගත කළ කාලය තුළදි ලාඕස් රට අල්ලා ගැනීම සඳහා කොමියුනිස්ට්වරු ආක්‍රමණයක යෙදී සිටියෝය. මගේ කුටිය පිහිටා තිබුණේ ගං ඉවුරට සෘජුව ඉහළින් පිහිටි කඳුගැටයක් මතය. මා එහි පැමිණි මුල් කාලයේදි අපට උදෑසණින්ම ගංදියෙන් ස්නානය කර ගැනීමට හැකි වූවත්, තායිලන්තය හා ලාඕස් රට අතර සම්බන්ධතා බිඳ වැටීමත් සමඟ, රුසියානු සොල්දාදුවන් මීකොන් ගඟේ බෝට්ටු වලින් යුධ හරඹ වල යෙදීම නිසා ගංදියෙන් නෑම අත්හිටුවීමට අපට සිදු විය.
යුධමය පරිසරයක ජීවත්වීමට සිදුවීම නිසා මගේ අත්දැකීම් වල තියුණු බවක්ද පෙනෙන්නට විය. භාෂාව කථා කිරීමට නොහැකිවීමට අමතරව දේශගුණයටත් ආහාර පානාදියටත් හුරුවීමට විශේෂ ප්‍රයත්නයක් දැරීමට මට සිදුවිය. නයි පොළඟුන්, පැත්තෑයින්, ගෝනුස්සන් වැනි සතුන්ගෙන් හා කුහුඹුවන්ගෙන් පීඩාවක් විඳීමට සිදු නොවන මගේ ජන්මභූමියවූ නවසීලන්තයෙහි වන වාසය සිත් අදනා සුළුය. නමුත් ආසියාතික වැසි වනාන්තරවල දවස ගෙවද්දි හොඳ අවධානයකින් පසුවිය යුත්තේ, විශේෂයෙන්ම නින්දට යන විට, ඉහතකී විසකුරු සර්පයින් මටත් කලින් ඇඳට ගොඩවී ඇත්දැයි විමසා බැලීමටය. සමහර දිනවල දෂ්ඨ කරන කුහුඹුවන් ඇඟ පුරා යාම නිසා නින්දෙන් ඇහැරුණු අවස්ථා එමටය.
හදවත සහ හදවතේ හැසිරීම: මාත්, මා කැටුව පැමිණි භික්ෂූන් වහන්සේත් සමඟ අජාන් තේට් ස්වාමීන් වහන්සේ පැවැත්වූ මුල් සාකචඡාවේදි අපේ පුහුණුව පිළිබඳව කරුණු දැන ගැනීමට උන්වහන්සේ විශේෂ උනන්දුවක් දැක්වූහ. අඩුතරමින්වත් වස් තුන් මාසය උන්වහන්සේගේ ආරණ්‍යයෙහි විසීමට අප තීරණය කර තිබූ නිසා, පුහුණුව ලෙස අප අදහස් කර සිටින්නේ කුමක්දැයි විමසා බැලීම සඳහා උන්වහන්සේගේ කුටියට පැමිණෙන ලෙස අපට ආරාධනයක් ලැබිණ.
ප්‍රශ්න කීපයක් ඇසීමෙන් අනතුරුව සෑහෙන කාලයක් යොදාගනිමින් කළ අනුසාශනයේදි උන්වහන්සේ පැවසූ එක් දෙයක් මගේ සිතට තදින් කාවැදුනු අතර, එකලදි මෙන් දැනුදු එහි විශේෂ වැදගත් කමක් ඇතැයි මට හැඟේ. පරිවර්තකයා මගින් උන්වහන්සේ පවසා සිටියේ, “පුහුණුවෙන් අදහස් කරන්නේ ඔබේ හදවතත්, ඔබේ හදවතේ හැසිරීමත් අතර ඇති වෙනස වටහා ගැනීමය. එය, ඒ තරමටම අතිශයින් සරලය.” එය දැන් නැවත මතකයට නැගෙන විට, උන්වහන්සේ එය උච්චාරණය කළ ආකාරය; තැන්පත් එනමුත් ගැඹුරු බවකින්, පිරිපුන් බවකින් හා නොසැලෙන අවබෝධයකින් යුතු, අත්දැකීමෙන් පොහොසත් එම කටහඬ නැවත ඇසෙන්නාක් මෙන් මට දැනේ. එවැනි සරල උපදෙසක් උන්වහන්සේගෙන් අසන්නට ලැබේයයි මම කිසිවිටෙකවත් නොසිතුවෙමි. මා බලාපොරොත්තුවූයේ තේරුම් ගැනීමට අපහසු, ව්‍යාකූල, ගැඹුරු ඔවදන්ය. උන්වහන්සේ පැවසූ ඒ දේ ඇසීමෙන් පසු පිළිවදනක් ලෙස මා සිතෙහි මතුවූයේ “ඔව්, එය මට තේරෙනවා. ඒ සම්බන්ධතාවය ඇති කර ගැනීමට මට පුළුවනි” යන්නය.
හදවත සහ හදවතේ හැසිරීම අප විසින්ම හොඳාකාරව දැන ගැනීම සඳහා ඇතුළතින් සිදුවන දේ දැන ගැනීමට සහ සෘජු අවධානයක් පවත්වා ගෙන යාමට උත්සාහ දැරීම, එදත් අදත් මගේ භාවනා පුහුණුවේ අඩිතාලම සහ මගේ ගවේශණය ලෙස හැඳින්විය හැකිය. මනස හැඳින්වීමට උන්වහන්සේ යොදගත් ‘ජිට්’ යන තායි වචනය පාළි භාෂාවෙහි ‘චිත්ත’ යන වචනයමය. එය ‘හදවත’ හෝ ‘මනස’ හැඳින්වීම සඳහාද යොදා ගනී.
මනසෙහි බලගතු අවධීන් පිළිබඳව, ධ්‍යාන පිළිබඳව, නොයෙකුත් මට්ටමේ විදසුන් නුවණ පිළිබඳව සහ ධර්ම ඥාන ලබාගැනීම් පිළිබඳව මා නොයෙකුත් දේශනා අසා, කියවා ඇතත් අජාන් තේට් ස්වාමීන් වහන්සේ පෙන්වාදී සිටින්නේ, පුහුණුව පිළිබඳව අප දරා සිටින නොයෙකුත් අදහස් උදහස් හෝ අත්විඳීම්, අත්දැකීම් හා මනසිකාරයන්ගෙන් සිත අයාලේ යා නොදී මනස රැකගැනීමේ ඇති වැදගත්කමය. අප ඒ සියල්ලම බාරගත යුත්තේ මනසෙහි සිදුවන ක්‍රියාකාරකම් ලෙසටය. ඒ සියල්ලක්ම මනසෙහි අන්තර්ගතවූ දේවල්ය. හදවත හෝ මනස හෝ චිත්තය සාගරය බඳු නම් හදවතෙහි හෝ මනසෙහි හටගන්නා ක්‍රියාකාරකම්, එහි මතුවන දියරැලි සේ හැඳින්විය හැකිය. සාගරය මතුපිට මතුවන දියරැලි, දියරැලි ආකාරයෙන් පිළිගැනීමට හදවත හුරුකර ගැනීම අපේ පුහුණුව ලෙස හැඳින්විය හැකිය.
අප බොහෝ දෙනෙක් ක්‍රියාකාරකම් තුළ හිරවී ඇත. මනස සෙලවෙන විට, මට අමතක වීමෙන්, තවමත් මා දියරැලිත් සමඟ ඉහළට පහළට යන්නේ යථාදර්ශය මා වෙතින් ගිලිහී යාම නිසාය. පුහුණුවෙන් අදහස් කරන්නේ යථාදර්ශය ගිලිහී යා නොදී, සාපේක්ෂ වැදගත්කම පමණක් මතකයෙහි තබා ගෙන; දැනුවත්කමත් ඒ දැනුවත්කමට ගෝචරව ඇති දෙයත් අතර ඇති වෙනස, එසේ නැතිනම් දැනහිඳීමත් දැනහිඳිනා දෙයත් අතර ඇති වෙනස තමන්ට පෙන්වා දෙන මට්ටමේ සිහිකල්පනාවක් ගොඩනගා ගැනීමට කටයුතු කර ගෙන යාමය. ශරීර සංවේදනා පිළිබඳ දැනුවත් බවක් අපට ඇත; වේදනා, ඇතුළත ශක්තියේ වෙනස් වීම්, මනසිකාර, අදහස් උදහස්, සංකල්පනා, මතක, මනඃකල්පිත දේවල් පිළිබඳ දැනුවත් බවක් අපට ඇත. මේ සියල්ලක්ම ක්‍රියාකාරකම් ලෙස දැනහිඳිය යුතුය. මේවා ක්‍රියාකාරකම් බව අපේ දැනුවත්බවට නොපෙනේ නම් සිදුවන්නේ කුමක්ද? අපි එම ක්‍රියාකාරකම බවට පත්වන්නෙමු; ක්‍රියාකාරකමෙහි අපි කොටු වන්නෙමු. “සිනාසෙන්න, නමුත් සිනාවෙහි අතරමං වෙන්න එපා. අඬන්න, නමුත් ඇඬුමෙහි අතරමං වෙන්න එපා.” යනුවෙන් හරවත් කියමනක් ජපන් බුද්ධාගමෙහි (‘සෙන්’ බුද්ධාගම) ඇත. “සිතන්න, නමුත් සිතීමෙහි අතරමං වෙන්න එපා. විනෝද වන්න, නමුත් විනෝද වීමෙහි අතරමං වෙන්න එපා.” යනුවෙන් අපට තවත් ඊට එක් කළ හැකිය.
බොහෝ විට බෞද්ධයින් ලෙස සලකන අය මෙන්ම බෞද්ධ භාවනාවෙහි නිරතවන්නෝ බොහෝ දෙනෙක් තැන්පත්, සාමකාමී, නිදහස් බවින් අදහස් කරන්නේ; මනසෙහි ඇති සෑම දෙයක්ම ඉවත් කිරීමක්, මනස හිස් කර තැබීමක් ලෙසටය. සමහර විට භාවනාවේදි මනස විවෘත, ඉඩකඩ ඇති, වැඩි යමක් සිදු නොවන අකාරයකින් දිස්වන්නට පිළිවන. එසේ වූවත්, කළ යුතු දේ කරගත් බවක්, සත්‍යාවබෝධ කරගත් බවක් ඉන් අදහස් නොකෙරේ. ඉඩකඩ ඇති, පැතිරුනු, පැහැදිලි, විවෘත වතාවරණයක් තුළ බලගතු ප්‍රීති ප්‍රමෝදයක් හා ජීව බලයක් දැනෙන විට, හරියාකාර අවබෝධයක් හා සූදානමක් අප තුළ නැත්තේ නම්, “හරි තමයි! මේ දැනෙන දේ තමයි හැම දේකම අවසානය” යනුවෙන් වැරදි වැටහීම් මනසෙහි ඇති කර ගැනීමට බොහෝ විට ඉඩ ඇත. අජාන් තේට් ගුරු ස්වාමීන් වහන්සේ පවසා සිටින්නේ මෙවැනි යහපත් දැනීමක්, දැකීමක් පවා අයත් වන්නේ හදවතෙහි ක්‍රියාකාරකම් ගොනුවටම බවය. වතාවරණයට සාපේක්ෂව දැන් සිදුවන ක්‍රියාකාරකම පිළිබඳව දැනුවත්ව සිටීම පුහුණුවේ අරමුණය. මේ ක්‍රියාකාරකම සිදුවන වතාවරණය කුමක්ද? එය පිළිබඳව දැනුවත්ව සිටින්නේ කුමක්ද? දැනුවත් බවින් යුතු බව දැනහිඳීමටත්, දැනුවත් බවින් යුතුව ඇත්තේ කුමක් ගැනදැයි දැනහිඳීමටත්, අප සිහිකල්පනාව දියුණු කර ගත යුතුය.
මතක තබා ගැනීමට උත්සාහ දැරීම: එදා සිට අද දක්වාම මා අනුගමනය කරන පුහුණුවෙහි නියැලී සිටීමට බලගන්වන මෙම උතුම් දහම් තිළිණය, අජාන් තේට් ස්වාමීන් වහන්සේගෙන් මා ලබාගත් පළමුවැන්නය. එකලදී මා විටින්විට ප්‍රීතිමත් අත්දැකීම් ලත් උද්‍යෝගිමත්, ආධුනික භාවනා යෝගියෙක් වීමි. පුහුණුවෙන් යම් ඉහළ මට්ටමේ ප්‍රතිඵලයක් උදාකර ගැනීමේ අධිෂ්ඨානයෙන්, බලවත් වීර්යයක් මම ඒ සඳහා යෙදීමි. උදෑසණින්ම අවදිවී පිංඩපාත චාරිකාවෙහි ගොස් ලැබෙන ආහාර පාන වලින් දවසේ එකම ආහාර වේල සපුරා ගෙන, ටික වේලාවක් විවේක ගැනීමෙන් පසු දවසේ ඉතිරි කාලය මා යෙදවූයේ හිඳිමින් සහ සක්මන් කරමින් භාවනාවෙහි යෙදීමටය. ඒ අතර ඉංග්‍රීසි බසින් ලියවුනු ධර්ම පොත් වලින් කිහිපයක් තෝරාගෙන ඒවායෙහි අඩංගු කරුණු මෙනෙහි කිරීමෙහිද මා යෙදුනෙමි. සමගාමිකයින් කථා කරන භාෂාව නොදන්නා නිසා මා කතාබහෙහි යෙදුනේ ඉතා මඳ වශයෙන්ය. ආරණ්‍යගත සම්ප්‍රදාය තුළ විශේෂ සැලකිල්ලක් දක්වන බුදුරජාණන් වහන්සේ අනුදැන වඳාළ මරණානුස්මෘති භාවනාව, සිය මූලික භාවනා අරමූණ ලෙස යොදාගත් මා සමඟ පැමිණි බටහිර භික්ෂූව, මා කෙරෙහි විශේෂ අවධානයක් දක්වන බව මට පෙනී ගියේය. ඒ කෙසේ වෙතත්, මසින්මස, කාලය ගතවීමත් සමඟ, මරණයට ආසන්න වූවෙකුගේ ශරීර ලක්ෂණ මා කෙරෙන් විද්‍යමාන වන්නට වූ හෙයින්, ඔහුගේ භාවනා අරමුණ සඳහා මා යොදා ගන්නා බව මට තේරුම් ගියේ පසුවදීය. ලුනුමාළු අච්චාරුවත්, මිරිස් ගුලියත්, ඇලෙන හාලේ බතත් සමඟ මගේ එතරම් සමීප බවක් නොවූයෙන්, කෙමෙන් කෙමෙන් මා ඇවිදින මිනිස් ඇට සැකිල්ලක් බවට පත්ව තිබිණ. එහෙත් වස් තුන් මාසයම එතැන ගත කිරීමට ගෙන තිබූ තීරණය නිසා, එම අධිෂ්ඨානයද මට තදින් බලපාන්නට විය.
වස් කාලය තුළ ඉහළ මට්ටමින් පුහුණුව ගෙනයාම සඳහා මා ගත් වීර්යයේ මහිමයෙන් ඇත්තවශයෙන්ම මා යම්යම් ප්‍රතිලාභ ලැබූ බව අවධාරණයෙන් පැවසිය හැකිය. ඉතා විසිතුරු අන්දමින් මතකයෙහි රැඳුණු මනසේ පැහැදිලිකම පිළිබඳ අත්දැකීමක් වස් කාලයේ මැද භාගයේදි මට අත්විඳීමට හැකි විය. එය සිදුවූයේ මගේ විසිහතරවෙනි ජන්ම දිනයට රැයකට හෝ දෙකකට කලින්ය. කිවයුතු විශේෂ පුහුණුවක නොයෙද සිටියදි එය සිදුවූයේ නිරායාසයෙන්මය. අනිකුත් භික්ෂූන් වහන්සේලා මධ්‍යයේ මා හිඳගෙන සිටියේ සවස පූජාවට සහභාගි වීම සඳහාය. පූජාව පැවැත්වූයේ, සිමෙන්ති පොළව මත පැදුරු එළන ලද, පැති ආවරණය නොකෙරුනු, සිත් ඇද නොගන්නා පෙනුමකින් යුතු ලීයෙන් තැනූ විවෘත ශාලාවකය. වෙනදා මෙන්ම එදිනද අප සඤ්ඡායනයෙහි යෙදී සිටියේ සුපුරුදු පරිදි මඳුරු ප්‍රහාරයන්ට ලක්වෙමින් සහ දණහිස්වල වේදනාව ඉතා අමාරුවෙන් ඉවසා දරා ගනිමින්ය. එකවර, කිසි අන්දමක හෝ පෙර දැනුවත්වීමකින් තොරව, ජීවිතයෙහි කිසිදිනෙක මා අත්නොවිඳි අන්දමේ පුදුමාකාර පැහැදිලිකමක මා ගිලී ඇති බව මට අවබෝධ විය. මට දැනුනේ, හැම අතින්ම ස්වභාවික, එනමුත්, ඒ අතරම අදහාගත නොහැකි අන්දමේ සුවතාවයක් මා අත්විඳින බවය. මෙතැන් සිට, මා දේවල් වටහා ගන්නා ආකාරය නැතහොත් සංඤ්ඤානනය කරන ආකාරය සැමදා සැමකල්හිම මේ ආකාරයෙන්ම විය යුතු බව මට හැඟෙන්නට විය. සත්‍යවශයෙන්ම දේවල් පවතින්නේ ඒ ආකාරයෙන් වූවත්, එවැනි අදහසක් ඇතිවීමට හේතුව වූයේ මෙතෙක් කල් මට එය දැකගැනීමට නොහැකිවීමය. පූජාවෙන් පසු මගේ සිතෙහි මතුවූ උද්දාමය නිසා මා ඒ ගැන හිතවත් ස්වාමීන් වහන්සේ නමකට දන්වා සිටියෙමි. එවිට උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ “අපි යමු, ගිහින් අජාන් තේට් ස්වාමීන් වහන්සේට මේ ගැන කියමු” යනුවෙන්ය.
සවස පැවැත්වෙන පූජාවෙන් පසු, භික්ෂූන් වහන්සේලා කිහිප නමක් අජාන් තේට් ස්වාමීන් වහන්සේගේ කුටියට ගොස් සියළු දෙනාම එකතුවී උන්වහන්සේ සම්බාහනය කිරීම ආරණ්‍යගත සම්ප්‍රදාය වේ. තායි සම්බාහනය ඉතා දැඩිය. සෑම දෙනෙක්ම වැලමිටි යොදා ගනිමින් උන්වහන්සේ සම්බාහනය කරන්නේ හැකිතාක් වෙර යොදමින්ය. කෙනෙක් එතුමාගේ යටි පතුලත්, තවත් කෙනෙක් කකුලත්, තවත් අයෙක් අතක් ආදි වශයෙන් තදින් සම්බාහනය කිරීමෙහි යෙදෙති. සෑම රැයකම උන්වහන්සේ මෙයට භාජනය වේ. මෙදින සවස මට සිදුවූ දේ ගැන පැවසූ විට උන්වහන්සේ සම්බාහනය නතර කිරීමට අණ කොට ඇඳ මත වාඩිවී “මට ඒ ගැන වැඩිපුර දැනගැනීමට උවමනාය” යයි පැවසූහ. එහෙයින් සිදුවූ සියල්ල මම උන්වහන්සේට නොවහළා පැවසුවෙමි. භාවනාව පිළිබඳ මෙතෙක් මා අසා ඇති වැදගත්මයයි මා සිතන උපදේශය එදින සවස උන්වහන්සේ ගෙන් අසන්නට ලැබිණ.
උන්වහන්සේ පැවසූයේ “මෙවැනි පැහැදිලි මොහොතවල් වගේම, ඒ වෙලාවෙ තිබූ සිහිකල්පනාව බොහොම අගෙයි. මෙතැන ඉඳල ඔබේ පුහුණු වෙන්න ඕනෙ ඒ ආකාරයටම ඒ තත්ත්වය හැකි ඉක්මණින් මතකයට ගැනීමටයි.” අප ඒ සාකච්ඡාව පැවැත්වූයේ පරිවර්තකයෙකුගේ මාර්ගයෙන් නිසා එය පහසු දෙයක් නොවීය. අපට කෙළින්ම එකිනෙකාට කථා කිරීමට හැකියාවක් තිබුණේ නම් උන්වහන්සේ ඉන් අදහස් කළේ, “මේ මොහොතේ සිහිකල්පනාව හොඳින් පවත්වා ගෙන යන්න. ඒ ආකාරයේ පැහැදිලි දැකීම වෙත හැකි ඉක්මණින් ළඟා වීමට ඉගෙන ගන්න. එය සරලයි – එය මතක තබා ගැනීමට වීර්යය කරන්න.” ටිකෙන්ටික, නිවැරදි වීර්යය යෙදීමෙන්, අඛංඩ පුහුණුව තුළින්, එම වෙනස ඇති කර ගැනීමට, අප බොහෝ දෙනෙකුට හැකියාව ඇති බව දැන් මම වටහා ගෙන ඇත්තෙමි.
එදින සවස අජාන් තේට් ස්වාමීන් වහන්සේ පැවසූ ඒ වදන්වල ඇති වටිනාකම ඉතා තදින් මට අවබෝධ වූයේ, අවුරුදු හතක් ඇවෑමෙන් සීත සෘතුවේ දිනෙක පොරෝණයක් තුළ ගුලිවී, එංගලන්තයේදී මා පැවැත්වූ භාවනා මුළුවක, භාවනාවෙහි යෙදෙමින් සිටි අවස්ථාවකදීය. එදින සාකච්ඡා වාරයෙන් පසු මා අපායකට ඇද වැටුනේයයි කීම අතිශයෝක්තියක් නොවේ. එදා ඒ විඳි පුදුමාකාර අත්දැකීමෙන් වැඩි කාලයක් ගත වීමට මත්තෙන් මගේ මනසෙහි මතුවූයේ ඉතා කටුක, අමිහිරි මනසික අවධීන්ය. විස්තර කළ නොහැකි එම කුරිරු මානසික අවධීන් හේතු කොට ගෙන මගේ ආත්ම විශ්වාසය සහමුලින්ම බිඳ වැටිණ. පුහුණුව සඳහා හොඳ සූදානමක් තිබිය යුතු බව මා නිතරම අවධාරණය කර සිටින්නේ එබැවින්ය.
එකලදී මා ‘හිපි සංස්කෘතියෙන්’ ඉවත්වී වැඩි කලක් ගතවී නොතිබිණ. අජාන් තේට් ස්වාමීන් වහන්සේ සමඟ ගත කළ එම කාලයට මාස කිහිපයකට කලින්, එතෙක් ජීවත්වූ හිපි කල්ලියෙන් ඉවත්වී, ඕස්ට්‍රේලියාවේ විශාල කාන්තාරයක් මා තරණය කළේ ආගන්තුකයින්ගේ වාහන වලට අතපෑමෙන්ය. එතැන් සිට ඉන්දුනීසියාව හරහා ටිමෝ රටට ගොස් සුළු කාලයක් එහි ගත නොට, ජාවා දූපතද දැක බලා ගෙන, මැලේසියාවේ සහ තායිලන්තයේ මා කාලය ගත කළේ බොහෝ සෙයින්ම මුහුදු වෙරලවල සහ ආපනශාලා වලය. ඉන්පසු මා කෙලින්ම නතර වූයේ හිස බූගා, සිවුරක් පොරවා ගෙන මේ ගැඹුරු භාවනා පුහුණුවෙහිය. ඇත්තවශයෙන් ඒ සඳහා මගේ හොඳ සූදානමක් නොවීය.
අජාන් තේට් ස්වාමීන් වහන්සේගේ අසීමිත කරුණාවත්, නිරතුරුවම කළ සොයාබැලීමත් නිසා එම ඉතා අප්‍රසන්න මානසික අවධීන්ට ඔරොත්තු දීමට මට හැකිවිය. නමුත් එම අවස්ථාවේදි දුන් උපදෙස් වල බලමහිමය, පිළිසිඳ අවබෝධකර ගැනීමට අවුරුදු හතක කාලයක් මට ගත විය. දැන් මා සෑම දෙනෙකුටම පෙන්වා දෙන්නේ මතක තබා ගැනීමට වීර්යය කිරීමෙහි ඇති වැදගත් කමය. අප උගත් දේ අමතක වීම නිසා අප ලත් අත්දැකීම්, අප කළ උත්සාහය, අත්කර ගත් ඇතුළු නුවණ ආදීන් අවතක්සේරු කිරීම බොහෝ විට අප අතින් සිදුවේ. අජාන් චා ස්වාමීන් වහන්සේ මෙය රූපාලංකාරයකින් ගෙනහැර දක්වා ඇත. “අවබෝධ ඥානයෙන් හා සිහිකල්පනාවෙන් යුතු මෙම මොහොතවල් බටයකින් වැගිරෙන දිය බිඳු හා සමානය. ඒ වැගිරෙන දිය බිඳු අතර කාල සීමාව මුලදි දීර්ඝය” යයි උන්වහන්සේ පවසති. මෙම කාලසීමාවන් තුළ අප සිහි එළවා නොසිටින්නේ නම් , සිතීමෙහි, තක්සේරු කිරීමෙහි යෙදෙන්නේ නම්, දැනෙන සංවේදනා පිළිබඳව විග්‍රහයක යෙදි සිටින්නේ නම්, එවිට අපට සිතෙන්නේ සිහිකල්පනාවෙන් යුතු මෙම මොහොතවල් අගයක් නැති, අහඹු සිදුවීම් ලෙසටය. නමුත් අජාන් චා ස්වාමීන් වහන්සේ පවසන්නේ ටිකින්ටික, මේ වැගිරෙන දිය බිංඳු අතර කාල සීමාව කෙටිවී අවසානයේදි එය අඛංඩව වැගිරෙන දිය සීරාවක් බවට පත්වන බවය. නිරතුරුවම දරණ උත්සාහය හේතු කොට ගෙන සිහිකල්පනාව අඛංඩත්වයට පත්වේ. මොහොතවල් වෙන්වෙන් වශයෙන් ගත් කල ඒවා සමානය, එනමුත් ඒවා අතර බිඳීමක් දැන් නැත.
අමතකවීම අපේ ජන්ම පුරුද්ද වූවත් වාසනාවකට මෙන් මතක තබා ගැනීමට අපට හැකියාවක් ඇත. සාමාන්‍ය වශයෙන්, අපේ හදවතත්, මනසත් එකලස් කර ගනිමින් භාවනාවට හිඳගත් විට, මනස නිහඬතාවයට පත්වේ. යථාදර්ශය ඉස්මතුවී මතකය උද්දීපනය වේ. නැවතත් මනස අයාලේ යාම අරඹයි. “මම එහෙම කළේ නැත්නම් හොඳය” යයි සිතිවිල්ලක් මතුවේ. “ලයිට් බිල ගෙවන්න අමතක වුනා. හෙටවත් බලමු.” දැන් අප හිරවී ඇත්තේ සිතිවිලි අතරය. අප අතරමංවී ඇත. එනමුත් අපේ හදවත් මතක තබා ගැනීමට පොළඹවා ඇති නිසා නැවත මතකය ඉස්මතු වේ. අපට මතක් වන්නේ නම් එය වටී. නමුත් ඒ සමඟම විනිශ්චයකාරි මනස “ඇයි මෙහෙම මතක නැති වෙන්නෙ. මගේ භාවනාව කමකට නැහැ” යනුවෙන් පවසන්නේ නම් නැවතත් අප අතරමංවී ඇත. වැදගත් කම ඇත්තේ මතක් වීමෙහිය. අමතක වීම ගැන ලතවීම නොවැදගත්ය.
ප්‍රවේසම්වීම: අජාන් තේට් ස්වාමීන් වහන්සේගේ උපදේශය මෙයයි. “ඔබ කළ යුතු එකම දේ ඉක්මණින් මතක් කර ගැනීමය.” එම වස්කාලය තුළදි උද්යෝගිමත්ව, හැකි පමණින් මම හොඳ උත්සාහයක් දැරුවෙමි. එසේ වූවත්, ඒ අතර තුරදීත් විටින්විට මතුවූ බිය, අසහනය, කරකියා ගත නොහැකි තත්ත්ව නිසා මතුවූ අප්‍රසන්නතා විඳ දරා ගනිමින් නොවැටී සිටීමට මම බලවත් ආයාසයක් දැරුවෙමි. වස්කාලය අවසන් වන විට මගේ සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් දුර්වල විය. ඔවුන්ගේ තීරණය වූයේ බැංකොක් නුවරට ගොස් වෛද්‍ය උපදෙස් ලබාගෙන විවේක ගැනීම මට සුදුසු බවය. නමුත් ඇත්තවශයෙන්ම මට සිදුවූයේ රෝහල් ගතවීමටය. ආරණ්‍යයෙන් පිටත්වීමට පෙර අජාන් තේට් ස්වාමීන් වහන්සේ හමුවූ විට ඉතා වැදගත්, මගේ පුහුණුවට මහෝපකාරිවන තුන්වෙනි උපදේශය මා වෙත පිරිනැමිණ. එසේ උපදෙස් දුන්නේ, හොඳහිත පෙන්වීමට නොව උන්වහන්සේ තුළවූ ප්‍රඥාව සමඟ මුසුවූ බලවත් කරුණාව පෙරදැරි කර ගෙනය. මේ මාර්ගයෙහි ස්වභාවය උන්වහන්සේ විසින් මනාකොට අවබෝධ කරගෙන ඇත්තාහ. එතුමා ඒ පැවසූ දෙය තවමත් ගැඹුරින් මගේ සිතෙහි කාවැදී ඇත. “ප්‍රවේසම්වන්න. ඔබ තුළ, ඔබ සිටින තැනින්, ඔබ පහසුවෙන් ඇදවැටිය හැකිය. සැලකිලිමත් වන්න.”
බොහෝ විට රත්නගිරි ආරණ්‍යයේ සවස භාවනාව මා ආරම්භ කරන්නේ, “සැලකිලිමත්ව අවධානය යොමුකර ගනිමින් …….” යන වදනින්ය. ‘සිහිකල්පනාවෙන්’ යන වචනය වෙනුවට ‘සැලකිල්ලෙන්’ යන වචනය යොදාගත හැකි බව මගේ අදහසය. අජාන් තේට් ස්වාමීන් වහන්සේගෙන් සමුගනිද්දී මා සිටි දුර්වල තත්ත්වය යටතේ මට අවශ්‍යව තිබුණේ එවැනි කාරුණික වදනක්ය. මා ඒ සිටි දුක්ඛිත තත්ත්වය යටතේ, මා කෙරෙහි අකරුණාවක් විහින් ඇතිකර ගැනීමට හෝ ඔළුව අවුල්කර ගැනීමට ඉතා පහසු වතාවරණයක් සැකසී තිබිණ. අසහනයෙන් අසරණව සිටින විට සිතෙහි මතුවිය හැකි අදහස් ඔබ හොඳින් දනී. වරද පැටවීමට සුදුසු කෙනෙකු සොයා ගැනීම සඳහා සිතීම අරඹන්නේ “කවුරු හරි මොකක් හරි කරල” යන සිතිවිල්ලෙන්ය. අසතුටින් සිටින අවස්ථාවකදි, එය තමා හෝ වෙනත් අයෙකු විසින් කරන ලද වරදක් නිසා සිදුවූ බවට හැඟීමක් ඇති කර නොගෙන සිටීමට අපට බොහෝ විට අපහසුය.
අපට අසතුටක් දැනේ නම් අපෙන් ඉටු විය යුත්තේ ඒ අසතුට සමඟ සිටීමට සිත නම්මා ගැනීමය. අප සැලකිලිමත් නොවන්නේ නම් අප පවසන්නේ වැරුද්දක් සිදුවී ඇති බවය. එසේ පවසා ගැනීමෙන් අපට වන සෙතක් නැත. ඇතුළතින් හෝ පිටතින් එම වදන් පිටවීමට ඉඩ ඇත. අසතුට, දුක හෝ දොම්නස වරදක් ලෙස හුවා දැක්වීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ඇතුළතින් වැරදි අදහසක් සිතේ ඇති කර ගත් බවය. එය, ඇති හැටියෙන් බාර ගැනීමක් අප අතින් සිදුවන්නේ නැත. අප එය පිළිගන්නේ නැත, අත්විඳින්නේ නැත, එයට සිදුවන්නට ඉඩ දෙන්නේ නැත. එය දැනුවත්බව තුළ සිදුවෙමින් පවතින හුදු ක්‍රියාකාරකමක් ලෙස දැකීමට අපට ‘දැනුවත්බවක්’ නැත. එම යථාදර්ශය අප තුළ නොමැති බැවින්, අප දඟලන්නේ ඒ දුක සම්බන්ධව යමක් කිරීමටය, මොනයම් ක්‍රමයකින් හෝ එයින් ගැලවීමටය. අසහනකාරි අත්විඳීමක් සමඟ කටයුතු කරද්දි වැරැද්දක් නිසා එය සිදුවූ බව හෝ කාගේ හෝ වරදකින් එය සිදුවූ බව අප පවසන්නේ නම් එය අපේ සිහිමඳ බව කියාපෑමක්ය. නිරතුරුවම මෙයාකාරයෙන් හැසිරීමේ පුරුද්ද; මැඬපවත්වා ගත නොහැකි මානසක ගතිලක්ෂණයක් බව පැවසිය හැකිය. ‘සැලකිලිමත්වන්න’ යනුවෙන් වෙන්වී යාමේදි අජාන් තේට් ස්වාමීන් වහන්සේ දුන් ඔවදන, අවබෝධ ඥානයෙන් නොවේ නම් සහජ ඥානයෙන් මගේ සිත ඒ වෙත නැඹුරු කරවීමට සමත් විය.
මනසෙහි ඒකාග්‍රතාවය: අජාන් තේට් ස්වාමීන් වහන්සේගේ අවසාන ඉගැන්වීම මා වෙත පිරිනැමුනේ 1993 දී බුන්වායි ගමේ සිට ගමන් ගත් නඩය සමඟ ගොස් උන්වහන්සේ බැහැදුටු විටදීය. ඉන් මාස කීපයකට පසු වසර අනූහතරක් ආයු වළඳා උන්වහන්සේ සදහටම අපගෙන් සමුගත්හ. ශබ්ද නගා කථා කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවන අයුරින් අප හිඳගත්තේ උන්වහන්සේට ඉතා සමීපවය. උන්වහන්සේ සිටි විඩාපත් දුර්වල තත්ත්වය නිසා කථාවට ගොස් තවදුරටත් උන්වහන්සේ වෙහෙසට පත් කිරීමට මගේ කැමැත්තක් නොවීය. උන්වහන්සේගේ දෙපය අසල හිඳගෙන සිටීමට ලැබීමෙන් පමණක්ම, මම සෑහීමට පත්වීමි. එනමුත්, පැහැදිලිව පෙන්නුම් කෙරුණු බලවත් උනන්දුවකින් සහ අපරිමිත කරුණාවකින් උන්වහන්සේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු සැපයූහ. ඒ වන විට, එදින උන්වහන්සේ බැහැදැකීමට පැමිණ සිටි පිරිසෙන් බොහෝ දෙනෙක් නික්ම ගොස් තිබුණ හෙයින් ඉතිරිව සිටියේ මා සමඟ පැමිණි කුඩා නඩයේ පිරිස පමණක්ය. බුදුදහමේ සාරය ලෙස හැඳින්විය හැක්කේ කුමක්දැයි එතැන සිටි තරුණ භික්ෂූවක් උන්වහන්සේගෙන් විමසූ බව මට හොඳින් මතකය. “බුද්ධාගම! ඔබට වුවමනා බුද්ධාගම ගැන අර්ථදැක්වීමක්?” යනුවෙන් උන්වහන්සේ පිලිවිචාළහ. “බුද්ධාගමෙන් අදහස් කරන්නේ ඉතා බලගතු ඒකාග්‍රතාවයෙහි, පැවත සිටීමයි.” බුද්ධාගම පිළිබඳව ලියා ඇති දේ, කියා ඇති දේ බහුල වූවත් එවැනි විශිෂ්ට උත්තමයෙක් මාර්ගය පිළිබඳව කරන ලද ඒ පැහැදිලි සරල ප්‍රකාශය මට මිළ කළ නොහැකි තිළිණයක් විය.
තවමත්, හරියාකාර අඩිතාලමක් මත පුහුණුව ගොඩනගා ගෙන නොමැති අයට අජාන් තේට් ස්වාමීන් වහන්සේ බුද්ධාගම අර්ථදැක්වූ ආකාරය පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීමට නොහැකි වුවහොත් එය පුදුමයට කරුණක් නොවේ. ඒ ගැන හරි අදහසක් ඇති කර ගැනීමට හැකි අය පවා, බොහෝ කොට, පැහැදිලි දැනුවත් කමකින් යුතුව සිහි එකලස් කරගෙන, එක අරමුණක සිත පවත්වා ගන්නේ කෙසේදැයි නොදනී. ඉතා සුළු වශයෙන් හෝ ඒකාග්‍රතාවයෙහි ඇති වැදගත්කම අප අගයන්නේ නම්, එවිට, හැමවිටම ව්‍යාකූලව පවතින, ඇති දේ ඇති හැටියෙන් නොදකින, අසම්පූර්ණ මනසෙහි තතු අපි හොඳින් වටහා ගන්නෙමු. මනස ඒකාග්‍රතාවයෙහි පවතින විට දැනෙන ස්වභාවික සුවතාවයට හරස් වන්නේ මෙවැනි මානසික තත්ත්වයන්ය.
පුරුද්දක් වශයෙන්, තරුණ වියේදී අපි බොහෝ දෙනෙක් මෙවැනි හරස්වීම් වලට පාත්‍රවී ඇත්තෙමු. ජීවිතයෙන් සෑහීමකට පත්වීම සඳහා ඒ පිළිබඳ අපේ නිවැරදි දර්ශනය, අපේ නිවැරදි දේශපාලන පිළිවෙත, අපේ නිවැරදි ජීවන රටාව, අපේ නිවැරදි සම්බන්ධතා, අපේ නිවැරදි සමාජයීය හැසිරීම තෝරාබේරා ගැනීම සඳහා අපි නිරතුරුවම උත්සාහයක යෙදෙන්නෙමු. සිත ඇදීයන එවැනි දේවලට ඇති නැඹුරුව මඳකට අත්හිටුවා හුස්ම වෙත අවධානය යොමු කිරීමට, මා සහභාගිවූ මුල් භාවනා මුළුවේදි ඉගෙනුම ලබන තෙක්, මනස එකලස් වූවිට දැනෙන ස්වභාවික සුවතාවයෙහි අගය මට සොයා ගැනීමට හෝ අනාවරණය කර ගැනීමට නොහැකි විය. ඒ අවස්ථාව උදාවනතෙක් මා සිතා සිටියේ තෘප්තිමත් හැඟිමක් ඇති කර ගැනීමට නම්, යමක් කළ යුතු බව හෝ මත් ද්‍රව්‍යයක පිහිට පැතිය යුතු බවය. තැන්පත්, නිසල, සාමකාමි, පැහැදිලි කමින් යුතු හදවත හා එක්වූවිට හෝ මතක්වූවිට, ලෝකයෙහි ස්වභාවය පැහැදිලිව දැකීමෙන්, ඉදිරියේදි, ලෝකය සමඟ අපේ සම්බන්ධතාවයෙහි වෙනසක් ඇති වන්නේය. ලෝක ස්වභාවය, ලෝකය පවතින ආකාරය තවමත් එසේමය. බලගතු හා සාමාන්‍ය මට්ටමින් දැනෙන සතුට හා අසතුට තවමත් උඩ යට යමින් එලෙසින්ම පවතී. සතුට, ප්‍රීතිය, සොම්නස, අමන්දානන්දය, දොම්නස, බලාපොරොත්තු බිඳවැටීම, අසාධාරණය, දුක්ගැහැට වල වෙනසක් නැත. නමුත් මේ සියල්ලක්ම ඇතිවී නැතිව යන බව පැහැදිලිව දැකීමෙන් සහ සෑම අත්දැකීමකම ඇති හටගැනීමේ හා නිරුද්ධවීමේ ස්වභාවය සිහිකල්පනාවට ලක්වීමෙන් පසු, අපි තවදුරටත්, ඇබ්බැහිවූ මනාපයන්ට යටත්වී මොනයම් හෝ අත්දැකීමක්වත් ග්‍රහණය කර ගැනීම සඳහා අපේ ශ්‍රමය ආයෝජනය නොකරන්නෙමු. එම ශ්‍රමය අප යොදවන්නේ අත්දැකීමෙහි ඇති ස්වභාවය තේරුම් ගැනීම සඳහා පමණක්ය.
අජාන් තේට් ස්වාමීන් වහන්සේගේ මෙම හතරවෙනි උපදේශයට අනුව, ඇත්තවශයෙන්ම අපි වෙර දැරිය යුත්තේ, බෞද්ධ දර්ශනයෙහි කෙලපැමිණියෙකු වීමටවත්, හැකිතාක් භාවනා මුළුවලට සහභාගිවී නොයෙකුත් අත්දැකීම් ලබා ගැනීමටවත් නොව, අවහිරයකින් තොරව නිරතුරුවම හදවතත් මනසත් ඒකාග්‍රතාවයෙහි පවත්වා ගන්නේ කෙසේදැයි අවබෝධ කරගැනීමටය. මෙම තත්ත්වය දැනහඳුනා ගැනීමෙන් සහ එය නිවැරදි මාර්ගය වෙත යොමු කරගැනීමෙන් පුහුණුවෙහි ප්‍රගතිය දැකීමට අපි සුදුසුකම් ලද්දෝ වන්නෙමු.
ඉතා සරල එනමුත්, බෙහෙවින් අඳාළ මෙම උපදෙස් හතර වෙනුවෙන් අජාන් තේට් ස්වාමීන් වහන්සේට මගේ අකලංක ගෞරවාදරය පිරිනමන අතර ඒවා ඔබ සමඟ බෙදා ගැනීමට හැකිවීම ගැන මම අතිශයින් සතුටට පත්වන්නෙමි
ඔබේ අවධානය වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙමි.