පිනට සුදුසුවීම

අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්

            කුඩා කාලයේදී දෙමාපියන්ගෙන් මට ලැබුණ ප්‍රඥාන්විත ඔවදන් වරින්වර සිහිපත් කර ගැනීම මගේ සිරිතක්. උදාහරණයක් හැටියට මගේ තාත්ත මට නිතරම කිව්වෙ “ කොන්ද කෙලින් තියාගෙන වාඩිවෙලා ඉන්න පුරුදු වෙන්න” කියලයි. මහණවෙලා ඉන්න මට දැන් වැටහෙනව, ඒ මොනතරම් වැදගත් බලගතු දුරදිග බලල දුන් අවවාදයක්ද කියල. නමුත් පාසැල් වියේදි මම ඒකෙ වැදගත් කම තේරුම් ගත්තෙ නැහැ.

ඒ වගේම පොඩි කාලෙ මම අහල තියෙන කියමන් වලින් විටින්විට මනසෙ මතුවන එකක් තමයි; “පිනක් තියෙන්න ඕනෙ.” විශේෂයෙන්ම ආරණ්‍යගත ජීවිතයේදි ඒක සිහියේ තබා ගැනීම ඉතාම වැදගත් කියල මම හිතනව. අපට ලැබිල තියෙන දේවල් අපේ උරුමය කියල අපි බොහොම ලෙ‍්සියට හිතා ගෙන ඉන්නව: හැමදාම අපට කෑම ළඟටම ගෙනත් දෙනව, අපටම කියල කුටියක් තියෙනව වැටිල ඉන්න, අපට හොඳ අය ලැබිල තියෙනව ආශ්‍රය කරන්න.

නිතරම වගේ අපි කරල තියෙන පිං සිහිපත් කරනව නම්, ඒ වගේ භෞතික දේවල් විතරක් නෙවෙයි, ආධ්‍යාත්මික වශයෙන් අත්කර ගන්නා සුළුසුළු ජයග්‍රහණ, ඒ වගේම ටිකටික හරි අපි ඇති කර ගන්නා යහගුණ ආදිය; එතකොට පුහුණුව හොඳින් නොකෙරෙන කොට හරි, ඒකෙ දියුණුවක් නොදකින කොට හරි ඇතිවන කළකිරීම එමගින් තුනී වෙලා යනව. නොහිතපු විදියට අපේ පුහුණුව ඉහළට පහළට, අර අතට මේ අතට ඇඹරෙන කොට, කරදර වලට මුහුණ දෙන කොට, බලාපොරොත්තු කඩවෙන කොට, මනස අඳුරෙන් වැහී යන කොට, මේ වගේ නොවැලැක්විය හැකි බාධක මතුවෙන කොට, ඒ වගේම මුලදි හිතුවට වඩා පුහුණුවේ ඇති බැරෑරුම් කම තේරුම් යන කොට; හිත හදාගන්න අපට ඇති එකම පිහිට අපට අඩුතරමින් හරි මේ තත්ත්වයට එන්න අපි පිං කරල තියෙන බව වටහා ගැනීමෙනුයි. අපි මේ කරන්නෙ දින දහයෙ භාවනා මුළුවකට සහභාගි වීමක් නෙවෙයි, ඒක අවුරුදු දහයක, විස්සක, තිහක පුහුණුවක් වෙන්නත් ඉඩ තියෙනව. ඒත් පිනක් තිබුණොත් විතරයි. ඔබේ පිං ගැන සිහිවෙන කොට අන්තිමට ඔබට හැ‍ඟෙනව “මේ ඇරෙන්න වෙන කරන්න දෙයක් ඇත්තටම නැහැ නේද?” කියල. කළ යුතුව ඇති දෙයක් කරන බවක හැඟීමක් අප තුළ මතුවෙනව. මේ මොනතරම් වටිනා සරණාගමනයක්ද!

Leave a comment