අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්
මගේ වයස අවුරුදු එකහමාරෙ ඉඳල අවුරුදු දහඅට වෙනකන්, ඇදුම රෝගයෙන් මම පෙළුන. මගේ පොඩි කාලෙ මට අමතක නොවන ඉතා වැදගත් මොහොතක් හැටියට මට මතක් වෙන්නෙ ඇදුම තදවෙලා හුස්ම ගන්න බැරුව හිටි වෙලාවකුයි.
ඒ කාලෙ අපි ජීවත් වුනේ බංගලාවක. මගේ නිදන කාමරය තිබුණෙ මැද සාලෙ ඉඳල ටිකක් ඈතින්. මේ කියන දවසෙ, ඇදුම තදවෙලා මම කාමරයට වෙලා ඇඳේ වැතිර ගෙනයි උන්නෙ. අවශ්‍ය කරන බේත්හේත් ඔක්කොම ළඟ තිබුණත් මම හිටියෙ හුස්ම ගන්න බැරිව බොහොම අමාරුවෙන්, වේදනාවෙන්. මට දැන් මතක් වෙන කොට වුනත් බය හිතෙනව. මේ හුස්ම ගන්නව කියන සුළු දේත් එදා මට කිව නොහැකි තරම් බලවත් ප්‍රශ්නයක් වුනා. සෑම හුස්ම ඉහළට ගැනීමක්ම හරියට කන්දක් නගිනව වගේ. මම මුදුනටම නැග ගත්තත්, මට ඒ නැගපු දුර ආපහු පහළට ඒ ගන්න බැහැ. මම ආපහු එන්නෙ ටික දුරක් විතරයි. ඒ මදිවට ඊළඟ හුස්ම කියන්නෙත් තවත් විශාල කන්දක්. මට කරකියා ගන්න දෙයක් නැතිව හිටියෙ, එහෙන් වේදනාව, එහෙන් තනිකම. මට හිතුන, මට මේ විදියට නම් තවත් උහුලන්න බැහැ කියල. එක වෙලාවකදි මට හිතුන අම්මටයි තාත්තටයි අඬගහන්න, එතකොට ඒ අය මා ළඟට ඇවිත් මගේ අතින් අල්ල ගෙන මගේ පපුව අතගගා මාව සනසාවි. මම අඬගහන්න හදන කොටම මට ඇහුන සාලෙ පැත්තෙන් ඔක්කොම හයියෙන් හිනා වෙන සද්දයක්.
ඒ වෙලාවෙ මගේ දෙමව්පියො හිටියෙ රූපවාහිණියෙ විහිළු වැඩ සටහනක් බලබලා. ඒ දෙන්න එකතු වෙලා එකපාරටම එහෙම හිනා වෙන කොට මට දැනුන ලොකු සතුටකුත්. ඒ අය අතරෙ තියෙන එකමුතුකම දැනිල මට ඒ අය ගැන ලොකු සෙනෙහසක් ඇති වුනා. ඒ එක්කම මට හැඟී ගියා තදබල පාළුවක්, තනිවීමක්, වෙන්වීමක්. එතකොටම මට ආපහු හිතුන මම ඒ අයට අඬගහන එකේ තේරුම මොකක්ද? ඒ දෙන්න එකට එකතු වෙලා හැන්දෑවෙ සතුටින් ඉන්න එක නැති කරල, ඒ වෙනුවට ඔවුන්ට දුකක් ඇති කරන්න නේද මම හදන්නෙ? ඒ ආවත් ඒ අයට පුළුවන්ද මා වෙනුවෙන් මොනවත් කරන්න. ඕන කරන බෙහෙත් ජාති ඔක්කොම මෙතන තියෙනව. මම බෙහෙත් අරගෙනයි ඉන්නෙ. ඉවසගෙන ඉන්නව මිසක් වෙන මොනවද කරන්න පුළුවන්? එතකොට මට වැටහුනා මේ මගේම දුක් වේදනාව, මගේ දෙමාපියන්ට ඒක අයින් කරන්න බැහැ. මා වෙනුවෙන් මගේ දුක, වේදනාව ඒ අයට අරගන්න පුළුවන් නම්, මා වෙනුවෙන් ඉන් කොටසක් බාරගන්න පුළුවන් නම්, දෙවරක් හිතන්නෙ නැතිව ඒ අය ඒක කරන විත්තිය මට විශ්වාසයි. ඒ වෙනුවෙන් මුදලක් වියදම් කරල ඒක කරන්න පුළුවන් නම් බැංකුවෙ තියෙන ඔක්කොම සල්ලි ටික වුනත් වියදම් කරල, තවත් නය වෙල හරි ඒක ඉටු කරන බව මම දන්නව, මගේ මේ වේදනාව තුනී කරල දෙන්න. මගේ ජීවිතයේ මුල වතාවට එතෙන්දි මට වැටහුනා ඔබ ඉපදෙන කොට ඔබ උපදින්නෙ තනියම, ඔබ ලෙඩ වුනාම ඔබ ලෙඩින් ඉන්නෙ තනියම, ඔබ මැරෙන කොට ඔබ මැරෙන්නෙ තනියම. අපි හැම වෙලාවෙම ඇත්තෙන්ම තනිවෙලා නේද? මට ඒක වැදගත් මෙනෙහි කිරීමක් වුනා.
මෙතැන ආරණ්‍යයෙ වැඩවසන සංඝයා වහන්සේලා හැටියට, ලොකු එකමුතුවක් තියෙනව; පවුලක් වගේ, හිතවත්තු වගේ, සහෝදරයො වගේ. එකිනෙකා වෙත බලවත් මෛත්‍රීයක් තියෙනව, සැලකිලිමත් කමක් දක්වනව, ගරු කරනව. ඒ හින්ද ආදර්ශමත් ආරණ්‍යයක කොටස් කාරයෙකු හැටියට ජීවත් වෙන්න ලැබීම සිත පුබුදු කරනව. ඒක ඉතා වැදගත් දෙයක්. නමුත් අපි මතක තියා ගන්න ඕනෙ, එකට හිටියත් අපි තනිවෙලා. නොයෙකුත් විදියෙන් එකිනෙකාට උදව්පදව් කරගෙන මෙතන ඉන්න පුළුවන්කම තිබුණත්, ඒත් ඒ එක්කම අපි ඔක්කොම තනිවෙලා. ඒක අමතක කරන්න එපා.
අපේ දියුණුව, අපේ නොදියුණුව, ධර්මයෙන් පිරිහීම, මේ ඔක්කොටම අපිමයි වගකිවයුතු. බුදුරජාණන් වහන්සේලා කරන්නෙ අපට මග පෙන්වීමක් පමණක් බව අපි තේරුම් ගන්න ඕනෙ.උන්වහන්සේලාට බැහැ අපි වෙනුවෙන් මේ දේවල් කරල දෙන්න. ධර්මය අවබෝධ කරගත් ශේෂ්ඨ ගුරු උතුමාණන් වහන්සේලා එක්ක එකට ජීවත් වීමට කාලය අපට ලැබුණත් අපේ වැඩ කොටස ඉටු කර දෙන්න උන්වහන්සේලාට බැරි බව අපි මතක තියා ගන්න ඕනෙ. මේ කරුණ පවා අපට නැවත නැවතත් මතක් කර දෙන්නෙ අපි තනිවී ඇති බවේ යථාර්ථයයි.
බාරගත්, කළ යුතු වැඩ කොටස වගකීමකින් යුතුව අපි කළ යුතුයි. එයින් අපි තැති ගැනීමකට පත් විය හැකි වූවත් බුදුරජාණන් වහන්සේ පවසා ඇත්තේ එය අපිට කළ හැකි දෙයක් බවයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මා සිත් ගත් ප්‍රකාශයක් වන්නේ: “මහණෙනි, මම ඔබට පවසා සිටින්නේ අයහපත් දේ අත්හැර දාල, යහපත් දේවල් වැඩි දියුණු කර ගන්නයි. මනස පිරිසිදු කර ගන්නයි.” මේ ඔබට කළ හැකි දෙයක්: අයහපත් දේ අත්හැර දැමීම, යහපත් දේ දියුණු කිරීම, මනස පිරිසිදු කර ගැනීම. ඒව ඔබට කළ නොහැකි දේවල් නම් තථාගතයාණන් වහන්සේ ඒ දේවල් ඔබට උගන්වන්නේ නැහැ. මේ කෙටි ප්‍රකාශයේ ගැබ්වී ඇත්තෙ ඉතා ගැඹුරු ධර්මයක්. උන්වහන්සේගේ අසමසම ප්‍රඥාවෙනුයි මෙය දේශනා කළේ, එය පුහුණු කළ හැකි දෙයක් බව උන්වහන්සේ දැන සිටි නිසයි. මෙය හැම දෙනාටම එකසේ බලපාන, ඵලදායි, හොඳ ප්‍රතිඵල ලබා දෙන දෙයක්. ඇත්තටම එය සත්‍යයක්.