කෘතවේදිබව සහ නිහතමානිකම

අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්

            ආරණ්‍යගත ජීවිතයේදි අපි හැම නිතරම උත්සාහ ගන්නෙ අපේ සරණ, අපේ පිහිට, අපේ ගැලවීම අප තුළම සොයා ගනිමින්, අපේ පැවැත්මෙහි හැසිරීමෙහි වගකීම අප විසින්ම බාර ගැනීමටය. එමනිසා එවැනි පුද්ගලිකත්වයකට තැනදෙමින් යෙදෙන පුහුණුවේදි නොදැනුවත්වම මාන්නයට ගොදුරු වීමෙන් වළකින්නේ අපට ලැබෙන දේවල් පිළිබඳව මෙනෙහි කර බැලීමෙන්ය. ආධ්‍යාත්මික මාන්නයෙන් විනාශමුඛය කරා ඇදී යාමෙන් ගැලවෙන්නේ අපේ යැපීම ගැන සලකා බැලීමෙන්ය. විශේෂයෙන්ම අපේ පැවැත්ම සඳහා අන් අයගෙන් පිරිනැමෙන දානමානාදිය හොඳින් මතකයට ගැනීමෙන්ය. මේ ආකාරයට මෙනෙහි කර බැලීම ඇත්තවශයෙන්ම, නිහතමානිකම ගොඩනගා ගැනීම සඳහා අවශ්‍යවන ඉමහත් වටිනාකමකින් යුතු ආධ්‍යාත්මික ගුණාංගයක්වූ අවංක නිහතමානිකම, බෙහෙවින් උපකාර වන්නේය. නිහතමානිකමින් අපි අදහස් කරන්නේ, එවැනි දෙයක් අප තුළ ඇති බව පෙන්නීමට බාහිරයෙන් අපි කරන දෙයක්වත්, ඒ නාමයෙන් අපි අනුකරණය කිරීමට උත්සාහ කරන දෙයක්වත් නොවේ. මමත්වය අත්හැර දැමීමෙන් සහ අප සතු සියල්ලම අප වෙත පිරිනමා ඇති දේවල් බව අවංකවම සිතට ගැනීමෙන් මතුවන සැබෑ නිහතමානිකමය.

Leave a comment