අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්
මහණ වෙන්න කලින්, මම තරුණ කාලෙ, ඉරානය හරහා ගමන් කරන්න මට සිද්ද වුනා. ඒ දවස්වල අතේ සතයක් නැතිව, මානසිකව මම බොහොම පහළට වැටිලයි හිටියෙ. මම නිදාගත්තෙ අඟුපිල්වල, අනුන්ගෙන් ලැබෙන දේකින් තමයි මම කෑවෙ බීවෙ. දවසක් මට කෙනෙක් කාසි කීපයක් දුන්න. මම දැනගෙන හිටිය, ටෙහෙරාන් නගරයේ තිබුණු සුප් හලක් ඉතා සුළු මුදලකට ලොකු සුප් කෝප්පයකුයි, ඇති තරම් කන්න පානුයි දෙන. මේ කියන දවසෙ මම උදේ පාන්දරින්ම නැගිටල නගරය මැදින් මේ සුප් හල වෙත යමිනුයි හිටියෙ.
වැඩට යන්න ලෑස්ති වෙලා ගෙදරින් එලියට බැහැපු අයෙක් හැටියට පෙනුන ගෑනු කෙනෙක් මාව පහු කර ගෙන ගියා. ඒ යන ගමන් ඈ මා දිහා බැලුවෙ මහ පිළිකුල් සහගත විදියට. මම පිළිගන්නව ඒක හේතු සහගතයි කියල, මොකද මම හිටියෙ මහ ජරාවට. ඇය ආපහු හැරිල මා ළඟට ඇවිත් මා දිහා දරඳඬු විදියට බලාගෙන මට අණ කළා, මම ඇය එක්ක යා යුතු බව. අපි තට්ටු නිවාස සංකීර්ණයකට ගිහින් එතන තිබුණු විදුලි සෝපානයකට ගොඩ වුනා. ඒ කාලය තුළ ඈ එක වචනයක්වත් මා එක්ක කථා කළේ නැහැ. මට හිතා ගන්න බැරි වුනා මොකක්ද වෙන්න යන්නෙ කියල. ඇය මාව ඇගේ ගෙදරට එක්ක ගෙන ගිහින් ගොරෝසු විදියට මට පෙන්නුව කෑම කාමරය. එතැන මට වාඩි වෙන්න සලස්සල මහ විසාල කෑම තොගයක් මම ඉදිරියෙන් තිබ්බ. බඩ පිරෙනකන්ම මම ඒව කනකන් ළඟට වෙලා බලා ඉඳල, ඇය කෑගහල පර්සියන් භාෂාවෙන් මොකක්ද කිව්ව. ඇගේ පුතා ආව පිරිසිදු කලිසමකුයි කමීසෙකුයි අරගෙන. ඒව මට දීල, ඇය මට පෙන්නා හිටිය මම ඇඳගෙන ඉන්න ඇඳුම් පුච්චන්නයි හොඳ, නාන කාමරය පෙන්නල ගිහින් නාගෙන ඇඳුම් මාරු කර ගන්න මට අණ කළා. නාල ඇඳුම් ඇඳගෙන එලියට ආවාම ඈ මට දොර පෙන්නුව. අපි ගෙයින් එලියට ඇවිත් විදුලි සෝපානයෙන් පහළට බැහැල නැවත පාරට ආව. ඇය වචනයක්වත් කථා නොකර යන්න ගියා. ඇගේ කරුණාව ගැන මට පුදුම හිතුන.
ටික දිනකට පස්සෙ මගෙ වාසනාව හොඳ අතට හැරුණ. මට නැවත ඉන්දියාවට ගිහින් තවත් කාලයක් භාවනා කටයුතු වල යෙදෙන්න ඉඩ ලැබුණ. මෙහෙම ඉන්න අතරෙ, දවසක් මට අර ටෙහෙරාන් නගරයෙදි උපකාර කළ කාන්තාව මතක් වෙලා ඇය මොනතරම් ආදර්ශමත් කාන්තාවක්ද කියල මට හිතුන. ඇය මට ඒ කළ උදව්ව කවමදාවත් අමතක නොවෙන බව මට ස්ථිරවම වැටහුණා. ඒ එක්කම වගේ මගේ මනසට ගලා එන්න පටන් ගත්ත මේ අදහස. මට එක වේලක් කන්න දීල, නාගන්න සලැස්සූ මේ කාන්තාව ගැන මට මෙච්චර කෘතවේදී බවක් හැඟෙනව. මම මගේ අම්මයි තාත්තයි එක්ක අවුරුදු දහඅටක්ම වගේ ජීවත් වුනා. ඔවුන් මට දවසට වේල් තුනක් කන්න දුන්නා. මට වුවමනා කරන ඔක්කොම ඇඳුම් පැලඳුම් දුන්නා. මට අසනීප වුනාම මටත් වඩා වැඩියෙන් ඔවුන් මා ගැන බය වුනා. නමුත්, මම ඒ ඔක්කොම මට ලැබිය යුතු මට උරුම දේ හැටියට සැලකුවා. මම මගේ අම්ම තාත්තටත් වඩා වැඩියෙන් ඒ ඉරාන ජාතික කාන්තාවට කෘතවේදී බවක් දක්වන බව මට හැඟුණ. මට තේරුම් ගියා, මම හිතන විදියෙ ලොකු දුර්වල කමක් තියෙන විත්තිය. ළමයෙක් හැටියට මම මගේ දෙමාපියන්ගෙන් මොනතරම් දේවල් ලබා ගෙන තියෙනවද, ඒ ගැන කිසිම තැකීමක් නොකර?
මට හිතෙනව භාවනා කරන හුඟ දෙනෙක් ළඟම තියෙනව දෙමාපියන් එක්ක විසඳ ගන්න බැරිවුන ප්‍රශ්න මහ ගොඩක්. ඒ සිතිතැවුල් භාවනාවෙ දියුණුවට ලොකුම බාධකයක්. ඔවුන් ඔබගේ මිම්මෙන් සර්ව සාධාරණ නොවීම ගැන සමාවක් දීමට ඇති මැලිකම, ඔබ කැමති නැති විදියට ඔවුන් තුළ ඇති ලෝභය, ද්වේශය, අණුවන කම, පෘතග්ජනයින් හැටියට ඔවුන් පිළිගැනීමට ඔබට ඇති බැරි කම, ඉන් සමහරක්. මේ දේවල් ගැන අපි හොඳින් සිතා බැලිය යුතු නේද? සුවවීමට ඔබ ඉඩ දිය යුතු එක්තරා අන්දමක තුවාලයක් මේක.