තමත්වයේ ග්‍රහණය

අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්

            නිකරුණේ ඔබ වෙත අපවාද එල්ල වෙන කොට මොකද වෙන්නෙ? විශේෂයෙන්ම ඔබ යමක් හුදු පරාර්ථකාමී චේතනාවෙන්, හොඳ දෙයක් ඉතා හොඳින් ඉටු කළාම, එය ඔබේ යහපත වෙනුවෙන් ආත්මාර්ථකාමීව කළ බවට චෝදනා නැගෙන කොට මොකද කරන්නෙ? ඔබට ඇතිවන හැඟීම් කොයි වගේද? මිනිස්සු ඔබ වරදවා තේරුම් ගත්තාම දැනෙන්නෙ කොහොමද? ඒ වගේ තමන් ගැන හැඟීම් ඇති වීම, තමන් ලෙස හිතා ඉන්න පුද්ගලයා, කව්රුන් හෝ හැටියට, තමා යම් කිසිවෙකුය කියා සිතා සිටීම මගින් පෙන්නුම් කෙරෙන්නෙ ඔබ තුළ ඇති අවිද්‍යාවයි, ඇති දේ ඇති හැටියට නොදැකීමයි. ඔබ අහවලා යනුවෙන් සිතා ගත් මොහොතේම ඔබ කරන්නෙ, සැණකෙළි භූමියක දකින, වැදෙන වැදෙන පාරට අර අතට මේ අතට විසිවෙන, ‘මැගි අක්කගෙ රූකඩය’ වෙලා ඕන කෙනෙකුට බෝල වලින් දමා ගහන්න ඉඩ දෙන එකයි. දුක් වේදනා ඒ මොහොතේම ඔබ වෙත ගලා ගෙන එනව. අනිත් අය ඔබ ගැන හිතන් ඉන්න ආකාරය නරක නූනත්, ඒ ගොල්ල හිතන අකාරය ඔබ හිතන අකාරයත් එක්ක නොගැලපෙන කොට ඔබේ හිතට හරි නැහැ.

සමහර වෙලාවට ඔබට හමුවෙන ඇතැම් අය ස්ථිරවම හිතා ඉන්නෙ, ඔබටත් වඩා හොඳට ඒ අය ඔබ ගැන දන්නව කියල. මට ඒ කාලෙ හරියට තරහ ගියා අපේ අම්ම, “මට උඹේ හැටි පොතක් වගේ කියෙව්ව හැකි” කියල කියන කොට. මම ඒ වෙලාවට කියන්නෙ තරහෙන් පුපුර පුපුර “නෑ, කොහොමවත්ම බැහැ” කියල. මම අම්මට තදින්ම කියා හිටියෙ ඇය මා ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ කියලයි.

ඔබ ගැන ඔබ හිතා ඉන්න විදියට නෙවෙයි අනිත් අය ඔබ ගැන හිතා ඉන්නෙ කියල, වෙලාවකට ඔබට හිතෙනව. මීට හොඳ උදාහරණයක් මේ අද උදේ සිද්ද වුනා. උදේ දානය අරගෙන ආරණ්‍යයට ආපු තරුණ ගැහැණු අය කීපදෙනෙක් කුස්සියෙ ඉඳන් කථා කරපු දෙයක් අනිත් අයට ඇහිල තියෙනව. ඒ අයට පෙනිල තියෙන්නෙ, මෙතැන ඉන්න නායක හාමුදුරුවන්ගෙ ඇස්, ඒ කියන්නෙ මගේ ඒව, හරියට අළුගෝසුවෙකුගෙ වගේ දරුණු ඇස් දෙකක් කියල. මම  හිතන විදියට නම් ඒ අය අයිත් එන එකක් නැහැ මෙතනට දානෙ අරගෙන.

මට මතකයි දවසක්, ටිකක් පටලවා ගත්ත ගිහියෙක් ඇවිත් අජාන් චා හාමුදුරුවන්ගෙන් අහනව, මොකක්ද මේ පුරුදු වීමේ අරමුණ කියල. ඔහු නොකියවපු පොතක් නැහැ. තේරවාද, මහායාන, සෙන් මේ හැම‍දේම පරතෙරට දන්න කෙනෙක්. ඔහු ඇහැව්ව අජාන් චා හාමුදුරුවන්ගෙන්, අපි පුහුණු වෙන්න ඕනෙ රහතන් වහන්සේ කෙනෙක් වෙන්නද එහෙම නැත්නම් බෝධිසත්වයෙක් වෙන්නද කියල. අජාන් චා හාමුදුරුවො  කිව්ව රහතන් වහන්සේ කෙනෙක් වෙන්නත් එපා, බෝධිසත්වයෙක් වෙන්නත් එපා. ඔබ කව්රු හරි වෙච්ච මොහෙතේම, දැනටමත් ඔබ දුක කරපින්න ගෙන.

Leave a comment