අහන්මානය

අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්

            අශෝක රජතුමාගේ ගුරුවරය තරුණ කාලෙදි සුවඳ විලවුන් වෙළෙන්දෙක් හැටියටයි රස්සාව කළේ. ඒ නගරයේ සිටි ඉතාමත් රූමත් නගර ශෝභනිය ඔහු කෙරෙහි බලවත් ආදරයක් ඇති කර ගෙන ඔහුව පොළඹවා ගන්න නොයෙකුත් ආකාරයෙන් උත්සාහ ගත්ත. නමුත් ඇය ගැන කිසිම සැලකිල්ලක් ඔහු දැක්වුවෙ නැහැ. ඇය එක්ක රැයක් ගත කරන්න අනික් අය කෑදරකමින් පොරකද්දි, ඊට කැමැත්තක් නොදක්වපු, ඒ සතර දිග් භාගයටම හිටි එකම තැනැත්තා ඔහු පමණයි. ඒ නිසාම ඔහුව වසඟයට ගන්න ඇයට තිබුණු ආශාව තවතවත් බලවත් වුනා. ඇය තදබල ලෙස සෙනෙහසකින් පසුවෙමින් ඔහු වෙත නොයෙකුත් ආකාරයෙන් කොතෙකුත් ආරාධනා යැව්වත් ඔහු දිගින්දිගටම පිළිතුරු යැව්වෙ “තාම කාලය ඇවිත් නැහැ” කියලයි.

දවසක් හවස් කාලෙ ඇය එක්තරා අමුත්තෙක් එක්ක ඇති කර ගත් පොරොන්දුවට අනුව කාලය ගත කරමින් ඉඳිද්දි, ඇයට දැනගන්න ලැබුණ ඇගේ ඇසුර බලාපොරොත්තුවෙන් ඉතා ධනවත් අමුත්තෙක් බලා ඉන්න බව. මුදලට ඇතිවූ ගිජුකම නිසා ඇයට වුවමනා වුනා දැනට ඇය ළඟ ඉන්න පුද්ගලයගෙන් බේරෙන්න. නමුත් ඔහු ගෙන් ගැලවෙන්න තියෙන එකම මාර්ගය ඔහු මරා දැමීමෙන් පමණක් බව තේරුම් ගත් ඇය, ඔහු මරා දැමීමට කටයුතු සූදානම් කළා. නමුත් අවසානයේදි, ඇය කළ ඒ අපරාධය හෙළිවෙලා ඉතා දරුණු දඬුවමක් ඇයට හිමි වුනා. රජතුමා නියම කළා ඇගේ අත්, පා, නාසය, කන් කපල අමුසොහොනට ගිහින් දාල මැරෙන්න අරින්න. ඇය ඉතා වටිනා වස්ත්‍රාභරණයෙන් සැරසී හිටියත් ඇගේ අත, පය, නාසය, කන ඒ ඒ තැන්වල වැටිලයි තිබුණෙ. ඇයට හිටි ඇගේ ඉතා විශ්වාසවන්ත සේවිකාවො ඇය ළඟට වෙලා ඇය සනසමින් සිටිද්දි ඇගේ ජීවිතය ටිකින්ටික නිරුද්ධ වේගන යමිනුයි තිබුණෙ. හදිසියේම මේ අතරෙ එක් සේවිකාවක් දැක්ක තරුණයෙක් ඒ පැත්තට එන බව. මේ එන්නෙ, අවුරුදු ගණනාවක්ම ඇගේ ස්වාමිදුව ආදරයෙන් වෙලී සිටි පුද්ගලය බව ඇය හඳුනා ගත්ත. “ මෙච්චර දවසක් ‘තවම කාලය ඇවිත් නෑ’ කියකිය හිටි යෝදය, දැන් මහ පුදුම කාලයක්නෙ තෝරගෙන තියෙන්නෙ ඇයව බලන්න එන්න” කියල ඇයට කියවුනා. ඔහු එන බව ඇය ස්වාමිදුවට සැලකර හිටියාම එකවරටම තිගැස්සුණ ඇය සේවිකාවන්ට අණ කර හිටිය, “ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න. ඔය අත් කකුල් ළඟින් තියල, නහය මුහුණ උඩින් තියල රෙද්දකින් මාව වහන්න.” ඇගේ ජීවිතය අවසාන මොහොතට ළඟා වෙලා  තියෙද්දිත් ඇගේ අහන්මානය එච්චරට බලවත් වුනා. ඇයට හැඟුනෙ, මම මේ ඉන්න තත්ත්වය මේ තරුණයට නොපෙනෙනව නම් හොඳයි කියලයි. කෙසේ වෙතත්, මේ තරුණය ළඟට ඇවිත් ඉතාමත් බලගතු ධර්මයක් පැහැදිලි කර දුන්න. ධර්මයට සවන් දීල ඇය මිය යන්න කලින් සෝවාන් ඵලයට පත් වුනා. ධර්මය පැත්තෙන් බැලුවාම, ප්‍රීතිමත් අවසානයක් ඇති හොඳ කථාවක් ඒක.

Leave a comment