ස්වයං විශ්වාසය

ජෝර්ජ් කාරියවසම්

            ඔබේ සිතේ මතුවන ස්වයං පරාජය පිළිගන්නා සිතිවිලි එතැනම කපා හරින්න. “අනේ මට මොකද මේ?” යනුවෙන් ඔබට සිතේ නම් මොහොතකට නතර වෙන්න. මදකට නොසිතා ඉන්න. ඒ සිතිවිල්ල එක්ක පැටලෙන්න එපා. ඒ ගැන නොසිතන තාක් කල් ඔබට දැනෙන්නේ සහනයක් නේද? හොඳට ඇතුළතින් බලන්න. පිටත ඇති ප්‍රශ්නය ‍ඉන් විස‍‍ඳෙන බවක් නොහැඟුනත් ඔළුව බිත්තියේ ඇන ගන්නවාට වඩා ඒක හොඳ නේද? නැත්නම් ඔබ නතර වෙන්නෙ ලොකු ඔළුවෙ අමාරුවකින්. අපි හිත හදා ගැනීම පටන් ගන්නෙ ඔන්න ඔය වගේ පොඩි තැන් වලින්. පොඩි දේවල් වල එකතුවෙන් හැදෙන්නෙ ලොකු දේවල්. පැරදි පැරදි තමයි අපි දිනන්නෙ. පරදින්නෙ නැත්තම් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවද? උත්සාහ ගන්න.

දැන් තව ටිකක් ඉදිරියට යන්න. සිත පහළට අදින සිතිවිලි වෙනුවට ඔබේ ආධ්‍යාත්මය පුබුදු වන සිතිවිලි ඒ වෙනුවට ඇතිකර ගන්න. “ඒකට කමක් නෑ” ලෙහෙසියෙන්ම කටින් පිටවෙන වචන ටිකක්. නමුත්, දැන් මේ වගේ වෙලාවක මොහොතකට හරි, ඒ වචන ටිකින් මුළු හදවතම පුරවා ගෙන නිහඬවෙන්න ඔබට පුළුවන් නම්; ‘ලෝකයම නැති වුනත්’ ඔබට ඔබ ඉන්නවා. අපි දැන් මේ කතා කරන්නෙ ඉවසීම ගැන. ඒක පුරුදු කරන මීට වඩා ‍හොඳ විධි තියෙනවද? ස්වයං විශ්වාසය ඇති කර ගන්නෙ මේ වගේ තැනකදි නැත්නම් වෙන කොතැනකදිද? මෛත්‍රීයෙ පටන් ගැන්ම මෙතැන නේද? මේ වගෙ වෙලාවක තමන්ටම දීගන්න බැරි මෛත්‍රීයක් අනුන්ට දෙන්නෙ කොහොමද?

ප්‍රඥාව ඇති කර ගන්නෙ ඔන්න ඔහොමයි. අමාරු තමයි. ඒත් කරල බලන්න. පස් වලට යට වෙලා, ඔළුගෙඩිය පැලවෙලා, ඒක පූදිනකම් බලා ඉන්න එපා. ආදාහනය කළොත් අනේ ඒකත් නෑ, පව් දෙයියනේ! අනුන්ගෙන් ලැබෙන කම් බලන් ඉන්නව, අහන් ඉන්නව. අපේ වැඩේ ඕක තමයි.

Leave a comment