නමක් තියා ගැනීම

අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්

            මට ඇහුන මතකයි, දවසක් අමෙරිකාවෙදි, අම්ම කෙනෙක් තමන්ගෙ දරුවට කියනව “මේ අහන්න, පුතේ අපි දුප්පත් තමයි, ඒ වුනාට පුතාට පුළුවනි කව්රු හරි වෙන්න. ඇත්තටම ඔයා එහෙම හිතනව නම් ඕනම කෙනෙක් වෙන්න පුළුවනි.” ඇත්තටම අපි බොහෝ දෙනෙකුට තියෙන්නෙ ඒ වගේ ජීවිත පරමාර්ථයක් නේද? යම් කෙනෙක්, ලොක්කෙක් වෙන එක, එහෙම නේද? කෙනෙක් ඒ වගේ අදහසක් ඇතුව ජීවිතයක් ගොඩනගා ගැනීම මොනතරම් ශෝචනීයද? යම් කෙනෙක් වෙන්න ඕනෙ කියන අදහස තවත් විදියකින් මෙහෙම දක්වන්න පුළුවනි: ආදරයක් ලබා ගැනීමට කැමති; යම්කිසි වැදගත් කමක් ඇත්තෙකු ලෙස සැලකිය යුතු; අන් අයට නැතුවම බැරි, ප්‍රයෝජනවත්, අවශ්‍ය කරන අයෙකු හැටියට සැලකෙන; කැපී පෙනෙන අන්දමේ පුද්ගලයෙකු වීමට තියෙන ආසාව. අවාසනාවකට වගේ මේ ආසාවන් එක්කම මතු වන අඳුරු සෙවනැලිත් තියෙනව. කාටවත් මගෙන් වැඩක් නැති, කව්රුවත් මාව ගණන් ගන්නෙ නැති, කාටවත් මාව වූවමනා නොකරන, වැඩකට ඇති පුද්ගලයෙකු නොවේය යන බය හැමවිටම මනසෙ හොල්මන් කරනව. තමන්, කාලය නමැති වැලි තලාවෙ මැකී යන පිය සටහනක් පමණක්ය යන හැඟීම ඇති වෙනව.

අවුරුදු ගණනාවකට කලින් අමෙරිකාවෙ දකුණු කෙලවරේ ප්‍රාන්තයක දේශපාලඥයෙක් ඝාතනයට ලක් උනා. ඝාතකයා අල්ල ගත්තාම, ඔහු උදම් ඇනුවෙ: “ දැන් මම ඉතිහාසයේ දහසකින් එක් පංගුවක්” හැටියට හඳුන්වා ගනිමින්. එයින් පෙන්නුම් කළේ ඔහුට වූවමනා කරල තිබුණෙ පත්තර වල නම දාගන්න. ඔහු බයේ හිටියෙ, කවදහරි කව්රුවත්ම නොදන්න පුද්ගලයෙක් හැටියට ඔහුට මැරිල යන්න වේය කියල.

කව්රුහරි වෙන්න ඇති ආසාව නැත්නම් පැවැත්මට තියෙන ආසාව, භව තණ්හාව මේ වගේ දෙයක්. පහුගිය අවුරුදු සීයක, දෙසීයක ඉඳල පැවත එන වකවානුව තුළ මේක කැපී පෙනෙන දෙයක් වෙලා. කර්මාන්ත යුගය බිහි වෙන්න කලින් මේ වගේ දේවල් අහන්න ලැබුණෙ බොහොම කලාතුරකින්.

චිත්තාකර්ශණීය දේවස්ථාන මැද යුගයෙ බිහිවුනු විශිෂ්ටතම කලාත්මක නිර්මාණ හැටියට හැඳින් වීමට හැකි වූනත්, ඒවායේ නිර්මාණාතෘවරයන්ගේ, කලාකරුවන්ගේ නම්ගම් වතගොත සටහන් කර තියන්න ඒ කාටවත් වුවමනාවක් තිබුණු බවට සලකුණක් නම් අපට සොයා ගන්න නැහැ. ආසියාවේ තියෙන ඉතා කලාත්මක නිර්මාණවල කොනක නම ලියා තියන්න, කොටා තියන්න ඒ නිර්මාණ ශිල්පීන්ට අදහසක්, සිතක් පහළ වූ බවක් පෙනෙන්න නැහැ. ලෝකයේ තියෙන ඉතා වටිනා බුද්ධ ප්‍රතිමා එකකවත් පිටිපස්සෙ ඒවා කැටයම් කළ අයගෙ නම් සටහන් කරල නැහැ. මම තමයි මේක කළේ, මමයි ලොක්ක, ඒ වගේ දේවල් ගැන ඒ අය උනන්දුවක් දක්වල නැහැ. ඇත්තටම, මේ විළම්බීත පටන් ගත්තෙ කොයි කාලෙද කියල කියන්න නම් මම දන්නෙ නැහැ.

Leave a comment