ඉවසිලිවන්තව විඳදරා ගැනීම

අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්

              අපේ වනගත ආරණ්‍ය සම්ප්‍රදායේ, විශේෂයෙන්ම අපේ පරම්පරාවට අයිති ආරණ්‍යවල ඉවසිලිවන්තව විඳදරා ගැනීම පිළිබඳව ඉගැන්වීම් අපේ හදවත් තුළට නොරින්ගවන දවසක් හොයා ගන්න අමාරුයි. ඉවසීමෙන් විඳදරා ගැනීමේ ශක්තිය ගොඩනගා ගන්න අපි බොහෝ දෙනෙකුටම ඇත්තෙ බලවත් ආශාවක්. සමහර වෙලාවලට මේක ඕනවට වඩා දුර දිග යන අවස්ථාවල් තියෙනව. මේ විඳදරා ගැනීමේ ශක්තිය පිළිබඳව අදහස වුවමනාවට වඩා වැඩියෙන් හිතට ගත්තාම සිදු වෙන්නෙ, තමන්ගෙ විඳදරා ගැනීමේ ශක්තිය අනික් අයට පෙන්නන්න යාමෙන්, තමන්ගෙ එඩිතර කම කියා පාන්න යාමෙන්, එකිනෙකා අතර තරඟකාරී තත්ත්වයක් උදා වීමයි. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. නමුත් මේ වගේ උතුම් ඉගැන්වීමක් විවේචනයට ලක් කිරීම කිසිසේත්ම සුදුසු නැහැ, කීපදෙනෙක් ඒක වැරදි විදියට අල්ල ගත්තු පලියට.

මේ ගුණාංගය දියුණු කර ගන්නව වෙනුවට තවත් සමහරෙක් අනුගමනය කරන්නෙ වෙනත් විදියක ප්‍රතිපත්තියක්. “අකමැති දේ එක්ක මොනවටද ඔය හැටි හැප්පෙන්නෙ? මොනවටද තමන්ගෙ කාලය නාස්ති කර ගන්නෙ? ඇයි තමන් කැමති දෙයක් තෝර ගෙන ඒකෙන් විනෝද වෙන්න බලන්නෙ නැත්තෙ? ඇරත් වැඩි කාලයක් නැහැනෙ අපිට ජීවත් වෙන්න?”

අසතුට ගෙන දෙන දේවල් විඳදරා ගනිමින් ඒව එක්ක අහිතක් ඇති කර නොගෙන, පැවැත්ම ගෙන යාමට ඇති හැකියාව මනසෙහි ඇති වටිනා මැණිකක් ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා දී තියෙනව. අසතුටුදායක වේදනාවක මුල්ම ප්‍රහාරය එල්ල වෙන කොට, ඔබට ඉවසිලිවන්තව විඳදරා ගැනීමේ ශක්තියක් නැත්නම් සිහිකල්පනාව නැමති අශ්වාරෝහක කණ්ඩායම ඔබේ ගැලවුම සඳහා පිම්මේ ඔබ වෙත ළඟා වීමට කලින්, කර කියා ගත නොහැකි තත්ත්වයකට ඔබ පත් වීමට හොඳටම ඉඩ කඩ තියෙනව. ඔබ දැනටමත් පරාජය වෙලා. ඔබට වුවමනා කරන්නෙ ක්ලේශයන්ගෙ මුල්ම තල්ලුව එනකොට ඊට එරෙහිව නැගී සිටීමට හා නොසැලී එඩිතරව මුහුණ දීමට හැකියාවක්. මනාව පුහුණු කර ගත් සතියක් ඔබට නැත්නම්, ඔබේ සූදානමක් නැති අවස්ථාවකදි හදිසි ශාරීරික වේදනාවක් හෝ කව්රු හරි හිටිගමන් බැණ වැදුනොත් බොහොම වෙලාවට ඒ මොහොතෙ සතිය කොහෙද කියලවත් හොයා ගන්න නෑ. නමුත් ඔබට ඉවසිලිවන්තව විඳදරා ගැනීමේ ශක්තියක් තියෙනව නම් ඒ වගේ අවස්ථාවකදි වුනත් ඒ දේවල් විඳදරා ගෙන සිටීමට පුළුවන් කමක් ඔබට ලැබෙනව. ඉවසිලිවන්තව විඳදරා ගැනීමේ ඇති වටිනා කම හොඳින් තේරුම් ගත්තු තරමටම ඒ ගැන ඔබේ ඇති විශ්වාසය බලවත් වෙනව. ඒ වගේම එය ප්‍රගුණ කර ගන්න ඔබට කැමැත්තකුත් ඇති වෙනව.

මේ පිළිබඳව අජාන් චාට වඩා හොඳ ගුරුවරයෙක් සොයා ගන්න ලැබෙන එකක් නැහැ. අජාන් චා හාමුදුරුවො තරුණ භික්ෂුවක්ව හිටි කාලෙ කාමුක ආසාවන් එක්ක කරපු සටන් මම නිතරම වගේ අහල තියෙනව. ඒ කාලෙදි උන්වහන්සේගේ පුහුණුව ඇත්තටම යුද්ධයක් ලෙස හැඳින්නෙව්වොත් ඒකෙ වරදක් නැහැ. ඒව මට විස්තර කරන්න බැහැ, තමන්ම ඒ දරුණු සටන් දර්ශන හිතෙන් මවා ගන්නව මිසක්. එක්තරා අවස්ථාවකදි මේ බලවත්, අසික්කිත, මනස විකෘති කරන රාගික සිතිවිලි වලින්උන්වහන්සේගේ මනස වැහිල තිබිල තියෙනව රෑ දාවල් දවස් හතක්ම, අවසානයෙදි ඒව යටපත්වී යනකන්ම. මේ අතිශයෝක්තියක් නෙවෙයි. අජාන් පසන්නො ස්වාමීන් වහන්සේ වරක් ඇහැව්වාම මොනවගේ උපායන්ද ඔබ වහන්සේ යොදා ගත්තෙ ඒ වගෙ දරුණු රාගික, කාමුක සිතිවිලිත් එක්ක කටයුතු කරන්න කියල, අජාන් චා හාමුදුරුවො උත්තර දුන්නෙ: “මම අමුතු දෙයක් කළේ නැහැ. ඉවසගෙන හිටිය මිසක්!”

Leave a comment