අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්
සතුට අසතුට හමුවේ අපි හැසිරෙන්නේ, ඒවා බාර ගන්නේ, ඒවායේ නිසි නොනිසි කම ගැන බුද්ධිමත්ව විමසා බැලීමෙන්ද නැත්නම් සිහිණුවනක් නැතිව නොසැලකිල්ලෙන්ද යන බව අපි හොඳින් සොයා බලන්න ඕනෙ. පළමුවෙනි නීවරණය, කාමඡ්චන්දය, ඉන්ද්‍රියන් පිනවීමට ඇති කැමැත්ත සමාධියට බාධාවක් වෙන්නෙ, සැප ගෙන දෙන දේට නොනිසි ආකාරයෙන් අපි ආසාවක් ඇති කර ගන්න නිසයි. සතුට ගෙන දෙන දෙයක් අපේ සැලකිල්ලට ලක් වුනාම, පුරුදු නොකරපු මනසක් මොකද කරන්නෙ, ඒකෙ තියෙන සතුට ඇති කරන ගුණාංගයටම පමණක් අවධානය සීමා කර ගන්නව. ඒකෙ තියෙන අසතුට ගෙන දෙන, අකමැති, අවලස්සන, එහෙමත් නැත්නම් මධ්‍යස්ථ වේදනාවක් ඇති කරන කොටස් වලට අවධානයක් යොමු නොකර ඒවා දැක්ක නොදැක්ක වගේ ඉන්නව. අපි කැමති පුද්ගලයෙක් හෝ දෙයක් ගැන හිතන කොට සිහියට එන්නෙම, ඒ තැනැත්තා තුළ හෝ ඒ දෙයෙහි ඇති අපි ආස කරන එක්තරා කොටසක් ගැන පමණයි, සම්පූර්ණ දැකීමක් ඇති කර ගන්නෙ නැහැ.
යම් දෙයක ඇති සතුට ගෙන දෙන දේ අපි හඳුන්වන්නෙ ‘සුභ නිමිත්ත’ හැටියටයි. නිමිත්ත කියන්නෙ ‘ඡායාව’ එහෙම නැත්නම් ‘එක්තරා අංගයක්’, ‘සුවිශේෂ ලක්ෂණයක්’. බොහෝ දේවල් ඒකරාශි වෙලා හැදිල තියෙන ඒ සංකීර්ණ දෙයෙහි සැබෑ ස්වරූපය එයින් විද්‍යමාන වෙන්නෙ නැහැ. හිතට ගැලපෙන දෙයක් අපේ අවධානයට ලක් වුනාම අපි මනස යොමු කරන්නෙ ඒකෙ ලස්සන, එහෙම නැත්නම් ඒකෙ සුභ නිමිත්ත වෙතටයි. අපි සාමාන්‍යයෙන් සුභ නිමිත්ත වර්ධනය කර ගන්නෙ කාමුක දේවල්, කෑම බීම, ඒ වගේම අපි ආගිය තැන් ආදිය පිළිබඳවයි. මේ වගේ සුභ නිමිත්ති ගොඩක් අපි මනසෙ තැන්පත් කර ගෙනයි ඉන්නෙ. සැරින්සැරේට අපි මෙයින් එකක් ඇදල අර ගෙන, ඒක අර පැත්තට මේ පැත්තට හරවහරව බොහොම ආසාවෙන් බලබලා අතගගා, තවතවත් ඒකට ඇති ආසාව වැඩි කර ගන්නව. ඒකෙන් ලබා ගන්න පුළුවන් අවසාන රස බිංඳුවත් මිරිකල ගන්නයි අපි මහන්සි ගන්නෙ. සුභ නිමිත්තකින් මේවගේ දිගින්දිගටම ආස්වාදයක් ලබන කොට ඒවයෙ බලය වැඩිවෙල, ඒව වෙතට මනස ඇදල ගන්නෙ කාන්දමක් වගේ. මේ විදියටයි, මනස වෙලාවකට සම්පූර්ණයෙන්ම වගේ, කාමාස්වාදයෙන් වැහිල යන්නෙ. මනසෙ තැන්පත් කර ගෙන තියෙන මේ වගේ දර්ශන එක්ක දැවටිදැවටි ඉන්න කොට සිද්ධවෙන්නෙ අත්හැර දාන්න, අනාසාව ඇතිකර ගන්න යොදා ගන්න පුළුවන් වැඩදායී ධර්මයන්ගේ බලය සිඳී බිඳී යාම, එම බල ශක්තිය දුර්වල වීම. ඒ එක්කම අවැඩදායී, අයහපත් ධර්මයන්ගේ බලය වැඩි දියුණු වෙලා ඇලීම තවතවත් බලවත් වීම.
දෙවෙනි නීවරණය වන, ද්වේශය සමඟ බැඳුණු අසුභ නිමිති හැටියට අපි මනස පුරව ගෙන ඉන්නෙ අපි කැමති පුද්ගලයින්, අතීත සිද්ධි, අත්විඳීමට සිදුවූ දේවල් පිළිබඳ මතකයන්ගේ දර්ශනයි. මේ වගේ දර්ශන අපි සලකන්නෙ සත්‍යතාවය වෙත අප කැඳවා ගෙන යන නිවැරදි කෙටි මාර්ග හැටියටයි. ඇත්තටම ඒ වැරදි අවබෝධයට මුල් වෙන්නෙ, ඒ අවධානයට ලක්වූ වස්තුව පිළිබඳව අපි සංඤ්ඤානනය කර ගෙන තියෙන ආකාරය මුළුමණින්ම වෙනස් කිරීමට බලවේගයක් ගොඩ නගා ගැනීමට, අපට උදව් විය හැකි සෑම තොරතුරක්ම පැත්තකට දැමීමයි. ඇත්ත දැකීමට උදව් වෙන ඒ තොරතුරු ගැන අපි කිසිම තැකීමක් කරන්නෙ නැහැ. මේ අසුභ නිමිත්ත හැටියට අපි බොහොම විට අරගන්නෙ, පුද්ගලයෙක් හෝ තැනක් වගේ බාහිර වස්තුවක්, එහෙමත් නැත්නම් අපි අකමැති අපේම අභ්‍යන්තරයෙහි පවතින ගුණාංගයක් වෙන්න වුනත් පුළුවනි. මේ ආකාරයෙන් අසුභ නිමිති වෙත මනස යොමු කරාම අයහපත් ධර්මයන්, ගුණාංගයන් වැඩි දියුණු වෙනව වගේම ඇත්ත ඇති හැටියට දැකීම, සමාව දීම, මෛත්‍රීය වගේ යහපත් ගුණධර්ම වල පිරිහීම ඇති වෙනව. තවතවත් අපේ මනස වැරදි පැත්තට නූවමනා අන්දමින් බර වෙනව.