හිස මත තෙල් බඳුන

අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්

            ‘තෙලින් පිරුණු භාජනයක්’ උදාහරණ කර ගෙන සිහිකල්පනාව සියුණු කර ගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ අපට උගන්නල තියෙනව. රූමත් නාට්‍යාංගනාවකගේ ලස්සන රැඟුමක් බලබලා විනෝද වෙන සෙනඟ ගොඩක් මැද්දෙන් කට ළඟටම තෙල් පුරවපු භාජනයක් හිස උඩ තියාගෙන බොහොම අමාරු ගමනක් යන්න කෙනෙකුට පැවරිල තියෙනව. නියමය, එක තෙල් බිංඳුවක්වත් බිම නොහෙලා ඉතාමත් පරිස්සමින් මේ ගමන යාමටයි. බැරිවීමකින් හරි තෙල් බිංඳුවක්වත් බිම ඉහිරුණහොත් තියුණු කඩුවක් අතේ තියාගෙන පිටි පස්සෙන් එන වධකයාට අණ කරල තියෙන්නේ ඒ මොහොතේම එක කඩුපාරින් ඔවුගේ හිස ගසා දාන්නයි.

මේ තෙල් භාජනය ඔළුව උඩ තියා‍ගෙන යන පුද්ගලයා ඔබ කියල මොහොතකට හිතන්න. එහෙම නම් ඔබේ අවධානය යොමු විය යුත්තේ මොහොකටද? කොතැනකටද? නාට්‍යාංගනාව දිහා බලන්න ගියොත් වැඩේ වරදිනව, සෙනඟට බැණබැණ ඒ ගොල්ල එක්ක පැටලෙන්න ගියොත් තෙල් මුට්ටියත් කුඩුකරව ගන්න බැරි නෑ. දිගින්දිගටම තෙල් භාජනය ගැන ඔබේ වැඩි අවධානයක් යොමු වෙන්න ඕන. ඔව්, ඒක ඇත්ත. නමුත් ඒකෙන්ම ඔළුගෙඩිය බේර ගන්න පුළුවන් වෙයිද? ඒ අතරතුරේ ඇවිදගෙන යන පාර දිහාත් හොඳට බලන්න ඕනෙ. නැත්තන් පාරෙ තියෙන වලක වැටෙන්න පුළුවනි. ගල් මුල් වල පැටලිල වැටෙන්න උනත් බොහොම වෙලාවට ඉඩ තියෙනව. ඒ හින්ද නිසා සැරින්සැරේට ඉදිරියෙ තියෙන බාධක අවහිර ගැන විමසිල්ලෙන් ඉන්න ගමන් නැවතනැවතත් මුලික දේට, ඒ කියන්නෙ, ඔළුව උඩ තියෙන තෙල් මුට්ටියට අවධානය යොමු කරන්න වෙනව. වැඩි වෙලාවක් තෙල් භාජනයගැන සිහියෙන් ඉන්න ගමන් වරින්වර ඉදිරිය බලබලා මාර්ගය ගැන සෝදිසියෙන් යන්න ඕනෙ.

මෙහෙම තමයි බුදුරජාණන් වහන්සේ සතිය – සිහිය පවත්වා ගැනීම වගේම, සමපජ්ජඤය – සිහිනුවණින් විමසා බැලීම පුහුණු කරන ආකාරය ගැන කියල දෙන්නෙ. සිහිනුවණින් විමසා බැලීම කියන්නෙ, සතිය පිහිටුවා ගත්තු ආරම්මණයෙන් මනස මොහොතකට ඉවත් කර ගෙන තවත් ඒ වෙනුවෙන් ඊට අමතරව කළ යුතු දේවල් තියෙනවද කියල හොයල බලන එක. වෙන මොනවද ඒ අතරෙ සිද්ධ වෙන්නෙ? බාධක අවහිර වශයෙන්, මනසෙ නීවරණ ධර්ම මතු වෙනවද? ප්‍රශ්න මොනවත් පැන නගිනවද? කියල විමසල බලන්න ඕනෙ. ඒ වගේම, ඒවට විසඳුමකුත් තමන්ටම හොයා ගන්න වෙනව. ඇස් පියා ගෙන හිටියටම මදි, අපේ ප්‍රඥාවත් අපි යොදා ගන්න ඕනෙ!

Leave a comment