අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්
භාවනාව කර ගෙන යන කොට හැමෝම එනව යම්කිසි තත්ත්වයකට, එතැනට ආවාම, තදින්ම නොයෙකුත් දේවල් වල ඇදකුද සොයන ගතියක් මතු වෙනවා. අනික් අයව පේන්න බැරුව යනව, භාවනාවට බාධා කරන අය එක්ක වෛරයක් ඇති කර ගන්නවා. ඔබේ සමාධිය මොන ක්‍රමයකින් හරි ආරක්ෂා කර ගන්න බොහොම උත්සාහ කරනව. ඒකෙන් බලවත් පීඩනොන්මාදයක් ඇති වෙනව.
ඔව් ඇත්තටම, පොත් පත් වල සඳහන් වෙනව මේ සමාධි හිමිකාරත්ව සංකල්පය තහවුරු කර ගැනීම සාධාරණ බව දැක්වෙන වගන්ති. බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනව “හැම වෙලාවෙම ඔබේ භාවනා අරමුණ ආරක්ෂා කර ගන්න. ඔබේ සමාධිය විසිරී යන්න ඉඩ දෙන්න එපා” කියල. එතැනදි උන්වහන්සේ අනුදැන වඳාළේ අනවශ්‍ය ලෙස භාවනාවට බාධා කරන වතාවරණයන් ගෙන් අයින් වෙන්න කියල. නමුත් අපිට පුළුවනි මේ ආකල්පය ඕනෑවට වඩා දුර දිග ගෙනියන්න. “මම දියුණු කර ගෙන යන මගේ සමාධිය” ආරක්ෂා කර ගන්න ගිහින් සමහර වෙලාවට අපි නොදැනුවත්වම, මම හරිය යන ආකල්පය මත පිහිටල අනික් අය, අනිකුත් දේවල්, ජීවත් වෙන වතාවරණය, පවුල් ජීවිතය, සමූහ වාසය වගේ දේවල් එක්ක නූවමනා ද්වේශයක්උපදවා ගෙන, බොහොම වෙලාවට, ඇති කර ගන්න ලෑස්ති වෙන ඔය කියන සාමය ලෙහෙසියෙන්ම නැති කර ගන්න, ඉඩ තියෙනව. භාවනාවෙදි මුහුණ දෙන්න වෙන එක ක්ලේශයක් මේක.
ඔබේ භාවනා අරමුණ රැක බලා ගන්න එක එච්චර ලේසි දෙයක් නොවෙන බව ඇත්ත. ඔව්! ඒ හින්ද ඇත්තටම වෙලාවකට අසහනය ඇති වෙනව. ඒ වුනාට ඒකෙ වරද අනික් අය පිට පටවන්න නම් යන්න එපා. මේක අභියෝගයක් හැටියට සලකල, ප්‍රඥාවෙන් ප්‍රශ්නය තේරුම් අර ගෙන, ඒක මග හරව ගන්න එක හුඟක් වටිනව. මේ අසහනයෙන් මනස පෙලෙන එක විසඳ ගන්න තවත් හොඳ විදියක් තියෙනව. ඒ තමයි අනික් අය වෙත මෛත්‍රී කරුණා සහගත සිත් ඇති කර ගැනීම. නැත්නම් මොකක්ද මේ කරන මහ ලොකු භාවනාවෙ තේරුම?