පොලින් වෙටුනා මෙනෙවිය – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්
……….. කළකිරුණු තරුණියක ලෙස, පෝලින් වෙටුනා වෙනත් කෙනෙකුගෙන් ලබා ගත හැකි ප්‍රබෝධක ආවේගය කෙරෙහි විශ්වාසයක් ඇති කර ගෙන නොතිබිණ. නමුත් කාලය, චිත්තවේගී කම්පන හා ජීවිත අත්විඳීම් මගින් මෘදු කරන ලදුව; තවත් කෙනෙකු තුළ වෙනසක්, පරිවර්තනයක් ඇති කිරීම සඳහා තමන් උත්ප්‍රේරකයක් විය හැකි බව ඇය පසුව සොයා ගන්නා ලදී. ………..
පාසැලේ ඉහළ පංති වල ඉගෙනුම ලබද්දි “ලෝකයේ ඔබට හිමි තැන ලකුණු කරන්න” යනුවෙන් ඔවා දුන් නොයෙකුත් දේශකයින්ගේ පම්පෝරි වලට අවඥා සහගතව ඇහුන්කන් දුන්නා මට මතකය. මෙසේ නොයෙකුත් දේශකයින් ලවා, වෙනත් වෙනත් ආසාවන්ගෙන් සිත් පුරවා ගත්, තරුණ තරුණියන් ගොන්නකට එවැනි උද්යෝග්‍යාත්මක දේශනයන්ට සවන්දීමට කොතෙකුත් අවස්ථාව සලසා දුන්නත් ඉන් අප ලබා ගත් ඉටිගෙඩියක් නැත. එවැනි දේශන මගින්, විෂාදයෙන් පෙළුනු, සිත්තැවුලින් සහ අසහනයෙන් හද පුරවා ගත්, බැරෑරුම් රෝගී තත්ත්වයක් හා පොරබඳමින් සිටි මගේ මනසට යම් පණිවිඩයක් දීමට නොහැකි විය.
නමුත් ජීවිතයත්, කාලයත් මගේ වෙනසක් ඇති කර ලීය. පාසැලේ උසස් අධ්‍යාපනය නිම කිරීමෙන් වසර හතකට පසු විටෙක මා විෂාදයෙන් මිඳී ඇත, සමහර විට නැත, විශ්වාසය නැති විය, මටම නොයෙකුත් හානි පමුණුවා ගෙන ඇත, සම්බන්ධතා කිහිපයක් ඇති විය, මිත්‍රයින් නැති විය, අළුත් මිතුරන් ඇති විය, වාසභූමි වෙනස් විය, සුවපත් බවක් මටම ඇති කර ගැනීමට හැකි විය, අළුත් විශ්වාස ඇති විය………..
ඉඟටියෙන් පහළ පණ නැතිවී සිව් වසරක්ම රෝද පුටුවකට සීමාවී සිටියත් ඒ අප්‍රසන්නතාවයට හුරු වීම සඳහා මට තවමත් බොහෝ වෙහෙස දැරීමට සිදුවී ඇත.
රෝද පුටුවකට ඇඳ වැටීමට මට සිදු වූයේ කෙසේදැයි, මන්දැයි පසුපස ඇත්තේ දිගු කථාවක්ය. වයස අවුරුදු දහතුනේ සිට විසිදෙක දක්වා බැරෑරුම් රෝග තත්ත්වයක් හේතු කොට ගෙන සුසුම්නාවෙහි සැත්කම් සහ විශේෂඥ ප්‍රතිකාරවලට මුහුණ දීමට මට සිදු වූවත්, මගේ වයසේ අනෙක් තරුණියන් මෙන් එකල මමද ශරීරය හැඩරුව ඇතිව පවත්වා ගැනීම සඳහා උවමනාවටත් වඩා වැඩි වෙහෙසක් දැරුවෙමි. ඒ අතරදී මගේ පුද්ගලික ජීවිතය මුළුමණින්ම බිඳ වැටිණ. මා පටන් ගැනීමට උත්සාහ දැරූ සම්බන්ධතා කිහිපයක්ම ඉතා කුරිරු අන්දමින් බිඳ වැටිම නිසා මා තුළ තිබූ ස්වයං විශ්වාසය සහමුලින්ම පළුඳු විය. නොයෙකුත් නරක පුරුදු වලට සිත යොමු වීමෙන් විහින් කර ගන්නා ලද හානිද ඒ අතර විය. කෙසේ හෝ අවසානයේදී මගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය විය. ඇවිදීම ඉතාමත් දුෂ්කර විය. කෙනෙකුගේ ආධාරයක් නැතිව ඇවිදීමට අපහසුවූ තැන් සිට මා තවතවත් තනි විය. ඉගෙනීමට දක්ෂ සිසුවියක් වූවත් ඉක්මණින් විඩාවට පත් වීම නිසා මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු වලට එය මහත් බාධාවක් විය. ආබාධිත තත්ත්වය හා තනිකම නිසා විෂාදයේ අඳුරු කුහරය තුළට මා තවතවත් ඇදී යන්නට විය. එහි අඩියටම මා ඇද වැටුනු විට, “මගේ උපත සිදු නොවූවා නම් හොඳයයි යන අදහස” තවතවත් තහවුරු කර ගැනීම මා අතින් නොදැනුවත්වම සිදු විය.
සිත, මෙසේ ඉතා පහතටඇද වැටීමෙන් ටික කාලයකට පසු ශෛල්‍යකර්මයකට නැවතත් මා භාජනය කෙරිණ. එම සැත්කමින් සති කිහිපයකට පසු දින දෙකක පමණ කාලයක් තුළ ඉඟටියෙන් පහළ කිසිම දැනීමක් නොවීය. වෛද්‍යවරුන්ට කළ හැකි දෙයක් නොවීය. දෙමාපියන්ගේ හදවත් පුපුරා හැළිණ. ඇතුළතින් මම සෑම බලාපොරොත්තුවක්ම අත්හැර දැමීමි.
මින් ඉදිරියට ඇවිදීමට නොහැකි වන බව පවසා, විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට ඊට හේතුවක් දැක්වීමට නොහැකි වූ කල ඔබට දැනෙන අසරණකම විස්තර කළ නොහැකිය. ඒ හැරෙන්නට, සුසුම්නාවට හානියක් ඇති වූ කල ඔබ පත්වන්නේ ළදරුවෙකුගේ ස්වභාවයටය. නැවතත් විහින් සොයා බලාගැනීමට ඉගෙන ගන්නා තෙක් ඔබේ පැවැත්ම රඳා පවතින්නේ අන් අයගේ පිහිටාධාර මතය. අහිමි වූ ස්වාභිමානය අසීමිතය. පුනරුත්ථාපන රෝහලේ සති බොහෝ ගණනක් නතරව සිටීමට මට සිදු විය. අන් අය ඉදිරියේ, දුරස්තරයෙකුගේ හා හැඟීම් නැත්තෙකුගේ ස්වරූපයක් මා කෙරෙන් විද්‍යමාන විය. අසල්වැසි රෝගීන් සමඟ සුහදතාවයක් ඇති කර ගත් මා ඔවුන්ට පිටතින් පෙන්නුම් කර සිටියේ සියල්ලම හොඳින් සිදු වන බවක්ය. එනමුත් මුල් මාසය පුරා සෑම රාත්‍රියකම ඇඟපත සෙලවීමට නොහැකිව ඇඳ මත දිගාවී මා සිටියේ පූර්ණ අවදියෙන්ය. දෙකපොල් ඔස්සේ රූරා වැටෙන කඳුලැලි තුළින්, නිහඬව, මා විලාප නැගුවේ “තොපි නොදකින්” යනුවෙන් ඉහළ නොපෙනී සිටින, මට පිහිට ලබා ගත හැකි යයි පවසන එවුන්ට ශාප කරමින්ය.
හානිය සිදුවී මාසයක් ගතවු තැනදී මා තුළ යම් වෙනසක් සිදු විය. හිස තුළ ආලෝකයක් මතු වූවා යයි කිවහොත් එය නිවැරදිය. මෙම පුනරුත්ථාපන කාලය තුළදී නොයෙකුත් චිත්තවේග වලින් මිරිකෙමින්, හැමවිටම පසු බසිමින්, පාලනයෙන් තොර ජීවිතයක් පාලනය කිරීම සඳහා වලිකමින් මෙතෙක් මා ජීවත්වූ ආකාරය පිළිබඳව මෙනෙහි කර බැලීමට මට අවස්ථාව ලැබිණ. මගේ පරණ ජීවිතය, මගේ පරණ ශරීරය, මගේ පරණ සිතුම් පැතුම් සියල්ලක්ම නැති වී විනාශ වී ගියත්, තවමත් ජීවත්ව සිටින මා තුළ, නොපෙනෙන ඉතා බලගතු ආත්මයක් ඇති බව මට පැහැදිලි විය. බාහිර දේවල් මට අහිමි වූවත් ප්‍රීතියෙන් සිටීමට කැමත්තක් දක්වන, හදවතේ ගැඹුරින් සිටින කෙනා කවුදැයි මම හඳුනා ගතිමි. ඒ හඳුනා ගත් පුද්ගලයාට මගේ බලවත් කැමැත්තක් ඇති විය. ජීවිතය ගැන කිසිවක් ස්ථිරව විශ්වාස කළ නොහැකිය. ගූ ගොඩවල් මතු විය හැකිය. බලාපොරොත්තු කඩ වීම්, පරාජය, දුක මග දිගටම ඇත. අපට පාලනය කළ හැකි එකම දෙය, අප ජීවිතයට මුහුණ දෙන්නේ මොන ආකාරයෙන්ද යන බව පමණක්ය.
ඉන්පසු මා කළේ ජීවිතයේ මින් ඉහතදී නොකළ දෙයක් කිරීමය. මම අත්හැරියෙමි. කෙසේ හෝ සෑම දෙයක්ම මට අහිමි වීම නිසා; අන් අය මා තේරුම් ගන්නා ආකාරය, මට සලකන ආකාරය ගැන ලත වෙමින්, සම්ප්‍රදායානුකූලව ‘සාමාන්‍ය යයි’ සැලකෙන දේවල් ජය ගැනීම සඳහා පොරබඳමින්, අවුරුදු බොහෝ ගණනාවක් තුළ දුක ඇති කෙරෙන ආකාරයෙන් ගත කළ ජීවිතයෙන් මම නිදහස ලබා ගත්තෙමි. එම අතීතයෙන් නිදහස ලබා ගත් මා දැන් ඉදිරියෙහි ඇති සත්‍යතාවයට හිස නැමීමට තීරණය කළෙමි. ජීවිතය වට කර ගෙන ඇති වතාවරණය කෙසේ වූවත්, ඉතා සුළු දේවල් වලින් උකහා ගන්නා ප්‍රීතියෙන් සෑහීමට පත් වෙමින්, අන් අයගේ සුහදතාවය අගයමින්; විවෘතව, නිහතමානීව, සෑම මොහොතකටම මුහුණ දීමට යත්න දරමින්, මගේ අනුදැනුම යටතේ මා දැන් මේ සිටින ආකාරයෙන්ම, නැවත ජීවිතය ගොඩනගා ගැනීමට මම අධිෂ්ඨාන කර ගතිමි. එම ආකල්පයේ බලවේගය මගින් ඉදිරි සිව් වසර සතුටින් ගෙන යාමට මට හැකි විය. ඒ කෙසේ වෙතත්, උගත් පාඩම් නැවත මතක් කර ගැනීමට සහ ජීවිතය ගොඩනගා ගනිමින් තවදුරටත් ඉදිරියට යාම සඳහා දිරි ගැන්වීමට පිටස්තර ආධාර විටින්විට මට අවශ්‍ය වේ.
එවැනි අවස්ථාවක් පසුගිය මාසයේදී මට උදා විය. එය, උද්ගතව ඇති තත්ත්ව උඩ ඉදිරියට යාමට මට ඇති දිරිය තවදුරටත් පවත්වා ගෙන යා හැකිදැයි යන්න ගැන මගේ සිත විචිකිඡ්චාවෙන් පිරුණු, අසහනය ඉහවහා ගිය සතියක් විය. එදින, මා වැඩ කළ කාර්යාලය අසල වූ අවන්හලක දහවල් ආහාර ගනිමින් පසු වූ වෙමි. ඒ අතර, අසල මේසයක් මත වූ සඟරාව අතට ගෙන බුදිමින් සිටි පාන්පෙති වල රස විඳිමින් එහි පිටු පෙරලද්දි තද අකුරින් ලියවුනු එක් ලිපියක පෙරවදනට මගේ සිත ඇදී ගියේය. එහි සඳහන් වූයේ මෙයයි: “සීතල ලොවක ඒ මේ අත පාවෙමින් සිටි ඉන්ඩඩීප් තපාර් නැවත නිවහන වෙත යාමට සිත පොළඹවා ගත්තාය. එවිට ඇගේ නෙත ගැටුනු නාඳුනන්නෙකුගේ නිහඬ වීර්යයෙන් ඔද ගැන්වුනු ඈ, ඇගේ ආත්මය රිදවන, ඇනී ඇති උල් කටු ඉවතට ඇද දැමීමට අදිටන් කර ගත්තාය.”
තවදුරටත් එම ලිපිය කියවා ගෙන යද්දි, එහි කතුවරියවූ ඉන්ඩඩීප් තපාර් මෙනෙවිය මාර්ග අංක 444 දරණ මගේ බස් මාර්ගයෙහිම ගමන් ගන්නා තවත් මගියෙකු බව මට අවබෝධ විය. “හරි පුදුමයක් නේද මේ?” යන හැඟීමෙන් යුතුව මම එය දිගටම කියවා ගෙන ගියෙමි. ඉන්ඩඩීප් එහි විසිතුරු අයුරින් සඳහන් කොට තිබුණේ සීත සෘතුවේ එක් දිනෙක ඉහතකී බස් මාර්ගයේ බස් රථයක් පැමිණෙන තෙක් බලා සිටියදි, සිය දෙමාපිය නෑදෑ හිතවතුන් ගෙන් වෙන් වීමෙන් ඇයට දැනුන තනිකමත්, දුකත්, තමා කෙරෙහි හටගත් අනුකම්පාවත් නිසා නිහඬව හඬමින් සීතලෙන් ගැහෙමින් සිටි අවස්ථාවක් ගැනය. එම විස්තරයෙහි තවදුරටත් සඳහන් වූයේ අවසානයේදි බස් රථය පැමිණි විට, එයට ගොඩවූ වෙනත් අයෙකු, රෝද පුටුවක සිටි ගැහැණු ළමයෙකු පිළිබඳවය. මා විශ්මයට පත් වූයේ ඇය මේ විස්තර කරන්නේ මා ගැන නොවේදැයි මට ඒත්තු ගැන්වුනු විටය.
“අප අතරින් මතුවූ ඉඩකඩය අතරින් ඇය රෝද පුටුව හසුරුවා ගෙන ඉදිරියට ගිය ආකාරය පැසසුම් කළ යුතුය.” ඉන්ඩඩිප් තවදුරටත් එහි සඳහන් කරයි. ඈ මා අසල සිටගෙන බස් රථය එනතෙක් බලා සිටියා මට මතකය. නමුත් මා පසුවූයේද මගේ දෙනෙතින් වැගිරෙන කඳුළු ඇය දකීදෝයි යන සැකයෙන් නිසා මට ඈ ගැන එතරම් අවධානයක් නොවීය.
“අන් සෑම දෙනාම බසයට ගොඩවනතෙක් බලා සිටි ඇය, රෝදපුටුව ඇතුළට ගැනීම සඳහා රියදුරු මහතා ලෑල්ල ඇතුරූ විට, ඇය ඒ මතින් බසයට ගොඩ වූවාය. දුඹුරු වර්ණ සමකින් හා වයස අවුරුදු විස්සක පමණ පෙනුමකින් යුතු වූ ඇය තුළ චකිතයක්, කුලෑටි බවක් හෝ ලජ්ජාශීලී බවක්, බයාදු කමක් හෝ ව්‍යාකූල බවක් දිස් නොවීය. ඒ වෙනුවට ඇය වෙතින් විහිදී ගියේ ඇය තුළවූ චිත්ත ධෛර්යයේ බල මහිමයයි.”
නාඳුනන්නෙකු විසින් ඔබ ගැන කරන ලද විස්තරයක් කියවන විට දැනෙන ඇඟ කිළිපොලා යාම කෙබඳුදැයි මා ඔබට කිව යුතුද? තවදුරටත් ජීවිතය ඉදිරියට ඇදගෙන යාම සඳහා එම මොහොතේ මට බලවත් සේ අවශ්‍යව තිබූ, ‘නැවත මතක් කර දීම’, ඔබේ අකමැත්තක් නැත්නම්, විශ්වයෙන් මා වෙත ගෙන ආ පණිවිඩයක් සේ සලකන්න. තවදුරටත් ඇය මෙසේ සඳහන් කරන්නීය: “ මගේ ගමනාන්තය ළඟා විය. ඇය බසය තුළ තවමත් හිඳගෙන සිටී. ඇය රැගත් බස් රථය මා වෙතින් ඉවතට ඇදී ගියත් ඇයගේ මුහුණින් පිළිඹිබු වූ හැඟීම් මා තුළ රැඳී ඇත. එම මුහුණින් දිස්වූයේ ඇය තුළවූ චිත්ත ධෛර්යයි. ඕනෑම දෙයක් පිළිගැනීමට ඇය තුළ වූ ශක්තියයි. එය සිත්පිත් නැති විඳදරා ගැනීමේ ශක්තියක් නොවේ. මරණයට පවා මුහුණ දිය හැකි, බාධක ඉවසා දරා ගෙන ජීවිතයේ ඉදිරියට පිය නැගීමට අනුබල දෙන දිව්‍යමය ශක්තියක්ය. අවසානයේදී මට එය පෙන්නුම් කළේ ඒ අතින් මා කොතරම් බොළඳද යන්නය.” එම වදන් කිවද්දි මට දැණුනු නිහතමානීකමත්, මතකයට ආ මගේ චිත්ත ධෛර්යයත් වාසනාවකට මෙන් එම අවස්ථාවේදී මට අත්‍යවශ්‍යම වූ දෙයක් විය.
පුදුමයකට මෙන්, “කෙනෙක් දිරිගැන්වීමට ඔබටද හැකියාවක් ඇත” යනුවෙන් හත් අවුරුද්දකට ඉහතදි කථිකයින් පවසනු අවඥා සහගතව අසා සිටි මට, දැන් එහි ඇති සත්‍යතාවය සහ ඔවුන් ඉන් අදහස් කළේ කුමක්දැයි යන්න අවබෝධ වන්නට විය. සත්‍යමවූ දිරිගැන්වීම් බොරු බේගල් ලෙස සැලකීම නොවටී. ඒවා, අප සෑම දෙනෙකුටම අවශ්‍ය, මේ ජීවිතය කොතරම් අමාරුදැයි තේරුම් ගැනීම වටා ගෙතුනු කියමන්ය. නමුත් ඉදිරියට යන මාවත තෝරා ගැනීම පැවරී ඇත්තේ අපටය. එලෙසින්ම නිවැරදිව ඒ මං තෝරා ගැනීමට අන් අයටත් උපකාර කිරීම අපේ යුතු කමය. මුවින් කිසිවක් නොපවසා, තවත් කෙනෙකුගේ ජීවිතය ඉදිරියට ගෙන යාමට, ජීවිතයේ හරය හරියාකාරව තේරුම් ගැනීමට බලපෑමක් මට කළ හැකි වේයයි මම සිහිනෙකින්වත් නොසිතුවෙමි. නමුත් දැන් මට අවබෝධ වී ඇත්තේ එය ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක් බවය. ඒ සඳහා කොටින්ම අවශ්‍ය කරන්නේ කෘතවේදී ජීවිතයක් ගත කරමින්, ඇතුළත විවෘතව තබා ගෙන, ස්වයංතාපයෙන් තොරව, තමා අභියසට එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ධෛර්යය උපදවා ගැනීමය.
ඉන්ඩඩීප් ලිපිය අවසන් කර තිබුණේ ඉතා සිත් ගන්නා අයුරකින්ය. “මේ ජීවිත ගමනේ ඇත්තේ එකම එක සත්‍යයක්ය: එනම් තමන් ඉදිරියටම යා යුතුය. බොරළු සහිත යටි පතුල් පීඩාවට පත් කරන, සිහි මඳ කරන අධික බෑවුම් සහිත ආදී නොයෙකුත් අන්දමේ මං මාවත් ඔස්සේ යාමට අපට සිදු විය හැකිය. සමහර විට ඒවා මට සිළුටු වීමටද පිළිවන. විටෙක එම ගමනේදී කිසි හව්හරණක් නැතිව වැස්සට තෙමීමට හා අව්වට වේලීමටද සිදු වේ. නමුත් ඔබ ඉදිරියටම යා යුතුය. ස්වයං අනුකම්පාව හෝ දුක උපදවා ගන්නේ නැතිව ඕනෑම දෙයක් පිළිගැනීමට සූදානම්ව ධෛර්යයෙන් යුතුව ඉදිරියට යාම ඉතා වටනේය.”